Tuesday, July 13, 2021

කුල දුවක් අහසින් ගියාය

 



කුල දුවක් අහසින් ගියාය

රාජකීය පණ්ඩිත,

ශාස්ත්‍රපති

මහරැඹෑවැවේ පාලිත හිමි


අද ලිපියෙන් අප ඉදිරිපත් කරන්නේ ගිරිහඬු මහ සෑ වන්දනාවට කැමැතිව උබ්බේග පී‍්‍රතියෙන් පිනාගොස් අහසින් ගිය එක් කුලදුවක් පිළිබඳ කතා ප්‍රවෘත්තිය යි.


බුද්ධඝෝෂ හිමියන් මෙම කතාව උදාහරණ ලෙස යොදා ගන්නේ විතක්ක, විචාර, පීති,සුඛ, ඒකග්ගතා යන ධ්‍යානාංගයන් ගැන කරුණු විස්තර කරන අවස්ථාවේ පීති යන්නෙහි ප්‍රභේදයක් වන “උබ්බේග‘ පී‍්‍රතිය හැඳින්වීමට උදාහරණයක් වශයෙනි. පී‍්‍රතිය පස් ආකාර වෙයි. එබැවින් පළමුව මේ පස් ආකාර පී‍්‍රතිය හෙවත් පස්වනක් පී‍්‍රතිය පිළිබඳ දැන ගැනීම මෙහි දී ධර්මාවබෝධය සඳහා පහසු වෙයි.


පස්වනක් පී‍්‍රතිය

පී‍්‍රති සුඛය යනු, කාය චිත්ත පිනවීම යි. එහි ලක්ෂණය අරමුණ පි‍්‍රය වශයෙන් දක්නා බව යි. රසය චිත්ත – කාය පිනවන බව යි. නැතහොත් පැතිරෙන බව යි. එය ඛුද්දක පී‍්‍රතිය, ක්ෂණික පී‍්‍රතිය ඔක්කන්තික පී‍්‍රතිය. උබ්බේග පී‍්‍රතිය හා ඵරණ පී‍්‍රතිය වශයෙන් පස් ආකාර වෙයි.


1) ඛුද්ධක පී‍්‍රතිය


ශරීරය ලොමුදහ ගැන්වීම් මාත්‍රයක් කිරීමට සමත් කුඩා පී‍්‍රතිය,


02.) ක්ෂණික පී‍්‍රතිය


ක්ෂණිකව ඇතිවන පී‍්‍රතිය විදුලි කෙටීමක් හා සමාන ය. මෙය ඛුද්දක පී‍්‍රතියය වඩා බලවත් ය,


03.) ඔක්කන්තික පී‍්‍රතිය මුහුදු වෙරළ පැතිරෙන මුහුදු රළ සෙයින් ශරීරය පිනවමින් පැතිර පවත්නා පී‍්‍රතිය. මෙය ක්ෂණික පී‍්‍රතියට වඩා බලවත් ය,


04.) උබ්බේග පී‍්‍රතිය ඔක්කන්තික පී‍්‍රතියට වඩා බලවත් මෙය කය උඩට ගෙන ගොස් අහසෙහි නගා පියන පමණට සමර්ථ වෙයි,


05.) ඵරණ පී‍්‍රතිය


මෙයින් පිනා ගිය කල්හි මහා ජල ප්‍රවාහයකින් පිරුණු පර්වත කුක්ෂියක් මෙන් හාත්පසම ස්පර්ශ කරන ලද්දේ වෙයි,


පෙර ලක්දිව ගිරිහඬු මහවෙහෙරට සමීප වත්තකාල නම් ගම්වැසි කොරණක නම් මහා විහාරයක් විය. එහි එක් නිවසක ගර්භිණී සැදැහැති කුල දුවක් විය.ඇගේ මව්පියෝ එක් දවසක් ගිරිහඬු මහවෙහෙරට බණ අසනු කැමතිව දුවණිය ගර්භිණි බැවින් අවේලාවෙහි ඇවිදීම නුසුදුසු හෙයින් දෙමාපියෝ ඇයට කියන්නේ, “දුවණියනි, අප ගොස් බණ අසා එන්නෙමු” කියා බණ ඇසීම සඳහා පිටත්ව ගියහ. ඒ දියණිය ද බණ ඇසීමට යෑමට කැමැත්ත මෙන් ම හැකියාව ද තිබුණ ද, දෙමව්පියන්ගේ වචනය ඉක්මවන්නට නො හැකිව යහපතැයි පිළිගෙන නිවසේ සිටියාය.


දෙමාපියන් පිටව ගොස් ටික වේලාවකට පසුව ගෙමිදුලට බට ඇය සඳ පහනින් ගිරිහඬු මහ වෙහෙර ආකාශ චෛත්‍ය මළුවෙහි බබළමින් දැල්වෙන පහන් පූජාව දිටීය. ඇයට භික්ෂු සංඝයා වහන්සේගේ ගණ සජ්ඣායන ශබ්දයද ඇසුණි. එවිට ඇය විහාරයට ගොස් මෙබඳු සෑ මළුවක ඇවිදින්නට මෙබඳු ධර්ම කතා අසන්නට ලැබුවෝ ඒකාන්තයෙන් මහා පිනැත්තෝ ය යනුවෙන් සිතීය. මෙසේ සිතිවිලි පහළ වූ ඇයට මුතු රැසක් බඳු චෛත්‍ය බලත් ම උබ්බේග පී‍්‍රතිය උපන්නා ය. එයින් ඕ තොමෝ අහසට නැගී දෙමාපියන්ට පෙරාතුව ම ආකාශ චෛත්‍යාංගණයේ බැස බණ අසමින් සිටියා ය.


මව්පියෝ අවුත් අදහාගත නො හැකිව ‘දරුව ,ඔබ කවර මගෙකින් මෙහි පැමිණියේ දැයි’ විමසී ය. එවිට ඇය ‘මම අහසින්් ආවෙමි. මගෙකින් නො ආවෙමියි’ පිළිතුරු දුන්නී ය. පුදුමයට පත් මව්පියන් ‘දරුව අහසින් යන්නෝ නම් මහාරහතන් වහන්සේ ය. ඔබ කෙසේ පැමිණියා ද?” විමසී ය. එවිට ඇය පවසන්නී ‘සඳ පහනින් චෛත්‍ය දෙස බලාහුන් මට බලවත් වූ බුද්ධාලම්බන පී‍්‍රතියක් උපන්නේ ය. එයින් මම මා අන් සිටි තැන් නොදත්තෙමි. ගත් අරමුණින් ම අහසින් අවුත් මළුවෙහි පිහිටියෙමි’යි යනුවෙන් ඇය පිළිතුරු දුන්නී ය.


භාවිතය


යමක් කරන විට අපගේ සිත සැදැහැවත් බවින් පිරිපුන් නම්, එයින් යමක් බලාපොරොත්තු වුවත් නැතත් මේ අත් බවෙහි ම එයින් යහපත් ප්‍රතිඵලයක් ලැබෙන බව නම් අනිවාර්ය වෙයි. විශේෂයෙන් බුද්ධාදි තුණුරුවන් කෙරෙහි අපගේ අචල ශ්‍රද්ධාවක්, පැහැදීමක් පවතීනම් එය අපගේ උභයාර්ථ සුභසිද්ධිය සඳහාම හේතු වනු නො අනුමාන ය. කෙනෙක් ධර්මය ඇසීමට එළඹෙන්නේ, ධර්මය අසන්නේ ශ්‍රද්ධාව නිසා ය. කෙටියෙන් කියතොත් නිර්වාණගාමී මාර්ග ප්‍රතිපදාව ම රැඳී ඇත්තේ ශ්‍රද්ධාව මත පදනම්ව ය. එබැවින් නිර්වාණගාමී මාර්ගයේ පළමු පියවර ශ්‍රද්ධාව හෙවත් පැහැදීම ලෙස ගතහොත් එය නිවැරැදි ය.


පච්චනීක සූත්‍රය



පච්චනීක සූත්‍රය  

202

මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

එකල වනාහි පච්චනීකසාත නම් බමුණු තෙම සැවැත්නුවර වෙසෙයි. ඉක්බිති පච්චනීකසාත බමුණාහට මෙබඳු සිතෙක් විය: ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වැඩ වෙසෙන තැන යම් තැනෙකද එතැනට පැමිණෙම් නම් මැනවි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යමක් යමක් වදාරණසේක් නම් උන්වහන්සේගේ ඒ ඒ දෙයට මම විරුද්ධවාදියෙක් වන්නෙමි.”

එකල භාග්‍යවතුන් වහන්සේ අභ්‍යවකාශයෙහි සක්මන් කරනසේක. ඉක්බිති පච්චනීකසාත බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ සක්මන්කරන භාග්‍යවතුන් වහන්සේට අනුව සක්මන් කරමින් “ශ්‍රමණය, ධර්‍මය කියව” යි කීය.

(එවිට භාග්‍යවතුන් වහන්සේ) “විරුද්ධ දේ කීමෙන් සතුටු වන්නාවූ, ලෝභාදියෙන් කිලිටි සිත් ඇති, එකටෙක කිරීම බහුලකොට ඇතියෙකු විසින් (තථාගතයන්ගේ) සුභාෂිත ධර්‍මය හොඳාකාර නොදත හැක්කේය.

“යමෙක් චිත්තය සම්බන්‍ධ අපුසාදයද, බද්‍ධ වෛරයද අත්හැර එකට එක කිරීම නැති කරන්නේද, හෙතෙම ඒකාන්තයෙන් සුභාෂිතධර්‍මය අවබෝධ කරන්නේය” (යි වදාළසේක.)

මෙසේ වදාළ කළ පච්චනීකසාත බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය: “පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. “යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවකුට හෝ මාර්‍ගය කියන්නේද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය ප්‍රකාශකරන ලද්දේය. පින්වත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණගත උපාසකයෙකැයි සලකන සේක්වා.”

Monday, July 12, 2021

බුද්ධිය සොයා යන ගමන

 


බුද්ධිය සොයා යන ගමන
කැලණිය විශ්වවිද්‍යාලයේ.
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ,
මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි

"ප්‍රඥාවේ එකිනෙක මට්ටම් පවතී. ලෞකික මිනිසුන් වශයෙන් අප තුළ පවතින ප්‍රඥාව වූකලී දැනුමේ එක්තරා දියුණු අවස්ථාවකි. එය ලෞකික ප්‍රඥාව නම්වේ. බුදුදහම අනුව තේරුම් ගතයුතු කරුණක් වන්නේ ප්‍රඥාව නම් වන එකී බුද්ධිමය තත්ත්වයට මෘදු මොළොක් භාවමය තත්වයක් ආරෝපණය කර ගැනීමට හැකියාවක් නැත්නම් එම බුද්ධිය ඵල රහිත වන බවයි."

දැනුම, බුද්ධිය හා ප්‍රඥාව ලබා ගැනීම යනුවෙන් අපගේ මොළය ආශ්‍රිතව සිදු කෙරෙන ක්‍රියාවලීන් තුනක් පවතී. මෙම තෙවැදෑරුම් ක්‍රියාවලීන්ගෙන් අප මුලින්ම සිදු කරනුයේ දැනුම සොයා ගැනීම යි. දරුවකු ඉපදුණු දා සිටම මව්පියන් තම දරුවාගේ අනාගතය සඳහා ඔහු දැනුම් සම්භාරයකින් සන්නද්ධ කිරීමට සැලසුම් සාදනු ලබන ආකාරය ඔබ දැක ඇත.

එසේම හය හතර තේරෙන වියේ දී පාසල් වෙත, පෞද්ගලික පන්ති වෙත රැගෙන යමින් හෝ ගුරුවරුන් තම නිවසට ගෙන්වා ගනිමින් හෝ එකී දැනුම ලබා දීම සඳහා මව්පියෝ කාලය, ධනය හා ශ්‍රමය වැය කරමින් මහත් පරිශ්‍රමයක් දරති. දැනුම (Knowledge)  යනුවෙන් හඳුන්වනු ලබන මෙම ඥාන සම්භාරය ලබනුයේ පොතපත මගින් පමණක් නොවේ. ගුරුවරුන්ගෙන් මෙන්ම තම නුවණ මෙහෙයවා ද මෙය වැඩි දියුණු කර ගනී. එසේම එය සමාජ ආශ්‍රයෙන් මිතුරන්ගේ ඇසුරෙන් මෙන්ම වයස මුහුකුරා යාමෙන් ද වැඩි දියුණු වේ. තම පුඵල් වූ විෂයබද්ධ දැනුම පෙන්වා කඩඉම් විභාග ආදිය සමත් වී උගත් (Educated) කෙනෙකු ලෙස සම්භාවනාවට පාත්‍ර වේ. උසස් වෘත්තිකයෙකු වීමට අවශ්‍ය මූලික සුදුසුකම වන්නේ මෙකී විෂයබද්ධ ඥානය ප්‍රකට කිරීමෙන් ලබාගත් සහතික ආදියයි. එබැවින් වර්තමාන සමාජ රටාව අනුව සෑම පුද්ගලයෙකුටම දැනුම ජීවත්වීමේ ප්‍රධාන මෙවලම බවට පත්වී ඇත. බුද්ධිය (Intelligence)  යනු කෙනෙකු තුළ පවතින ඉහත කි දැනුම ලබා ගැනීමට හා ලබාගත් දැනුම ඵලදායක ලෙස භාවිත කිරීමට ඇති හැකියාව හෙවත් කුශලතාවයි. මෙය කරණීයමෙත්ත සූත්‍රය වැනි තැන්වල සක්කො යනුවෙන් යෙදී ඇති බව සක්කො උජූ ච සූජූ ච යනාදී ගාථාවෙන් ද පෙනේ. එසේම කුසලො යන පදයෙන් ද අදහස් කෙරෙන අයුරු කුසලො චස්ස මුදු අනතිමානී යනාදී ගාථාවෙන් ද පැහැදිලි වේ. එහි සක්කො යන්නෙන් හැකියාව ඇති කෙනෙක් යන්න ද කුසලො යන්නෙන් කුශලතා ඇත්තෙක් යන්න ද කියැවේ. කුමක් සඳහා වන හැකියාව හෙවත් කුශලතාව ද යත් යමක් තේරුම් බේරුම් කොට ගෙන එය ඵලදායක ලෙස ක්‍රියාවට නැගීම සඳහා වන හැකියාව හෙවත් කුශලතාව යි. නූතන බටහිර මනෝවිද්‍යාවෙහි මෙම හැකියාව කුශලතා (Skills) යටතේ විස්තර කෙරෙන බව අපි දනිමු. එහෙත් නූතන මානෝ විද්‍යාවට වර්ෂ සිය දහස් ගණනකට පෙර අප සතුව තිබිය යුතු මෙකී බුද්ධිය පිළිබඳව බුදුදහමෙහි පැහැදිලි නිර්දේශයක් දී ඇත. බුදුදහමට අනුව කෙනෙකුගේ බුද්ධිය අර්ථවත් වන්නේ එයට හදවත ආශ්‍රයෙන් පැන නගින මෘදු මොළොක් මනෝභාවයන් සමඟ ඒකාබද්ධ විය හැකි නම් පමණකි. කෙනෙකුට ඔහුගේ හදවතෙන් පැන නගින දයාව, කරුණාව, අනුකම්පාව, හිතෛෂී බව, උපේක්ෂාශීලී බව යොදා ගනිමින් දැනුම භාවිත කළ හැකි නම් එය අර්ථවත් බුද්ධියක් බව කිව යුතු ය. ගැඹුරු අරුතකින් විමසා බලන විට විශ්වයේ ක්‍රියාකාරිත්වය වූකලී හුදු ගනුදෙනුවකි. පොළොව තුළ ගස් වැල් ආදිය මැනවින් ඇත්නම් අහසින් පොළොවට වැසි වැටේ. පොළොව කාන්තාරයක් වූ විට වැසි නොවැටේ. එසේම අහසින් වැසි දිය පොළොවට පතිත වේ නම් පොළොවෙහි ගහ කොළ වැඩී වැව් ගංගා පිරී යාමෙන් අහසේ වැසි වළාකුළු ලෙසින් පැවතිය හැකි ය. මෙලෙසින් අහස හා පොළොව අතර ඇත්තේ ද හුදු ගනුදෙනුවකි. ගුරුවරයා හා ශිෂ්‍යයා ද, දෙමාපියන් හා දරුවන් අතර ද, පැවිද්දා සහ දායකයා අතර ද, ස්වාමියා හා කම්කරුවා අතර ද යනාදී වශයෙන් සමාජ සංස්ථාවේ සකලවිධ සාමාජිකයන් අතර පවතින්නේ මෙම න්‍යායම වේ. මේ නිසා මෙකී ගනුදෙනුව නිසි පරිදි කළමනාකරණය කිරීමේ ඥානය බුද්ධිය වේ. එය නිසි පරිදි සිදු කිරීමට අපොහොසත්වීම යනු බුද්ධියේ දුර්වලත්වයකි. මෙම ව්‍යවහාරික බුද්ධිය බෞද්ධ මූලාශ්‍රයන්හි නම්කොට ඇත්තේ වොහාරිකපඤ්ඤා යනුවෙනි. එහෙයින් ඔබ පාසල, පන්සල, දහම් පාසල, විශ්වවිද්‍යාලය ආදී අධ්‍යාපන ආයතනයක දී ලබන යම් දැනුමක් වේ නම් එය ලබා ගන්නා ක්‍රමවේදය පිළිබඳව ද සවිඥානක විය යුතුය. එසේම දැනුම බුද්ධියක් බවට පරිවර්තනය කර ගැනීමට ද උත්සුක විය යුතු ය.

මිළින්දපඤ්හය නම් ග්‍රන්ථයේ බුද්ධිය මුහුකුරා යන කරුණු අටක් දැක්වේ. 1. වයස මුහුකුරා යාම 2. කීර්තිධර කෙනෙකු වීම 3. යම් යම් කරුණු සම්බන්ධයෙන් බුද්ධිමතුන්ගෙන් ප්‍රශ්න කිරීම 4. ආගමික ස්ථාන ආශ්‍රය කිරීම 5. නුවණින් මෙනෙහි කිරීම 6. සාකච්ඡා කිරීම 7. ස්නේහවන්තයන් ඇසුරු කිරීම 8. පතිරූපදේශ වාසය හෙවත් ජීවත්වීමට සුදුසු ප්‍රදේශයක ජීවත් වීම යනු ඒ අටයි. බුද්ධිය පෝෂණය කර ගැනීම යනු අධ්‍යාපනයෙන් පමණක් ලැබිය හැකි හුදු පෞද්ගලික කාරණයක් නොවේ. එය කරුණු රාශියක් එකතුවීමෙන් ලැබෙන ප්‍රතිලාභයකි. ඉහත දැක්වූ කරුණුවලින් පෙනෙනුයේ බුද්ධිය මුහුකුරා යාමට අවශ්‍ය ඇතැම් සංසිද්ධීන් ස්වභාවිකවම කෙනෙකුට ලැබෙන බවයි. එහෙත් ඇතැම් ඒවා නුවණ මෙහෙයවා සකසා ගතයුතු තත්වයන් ය. මීට අමතරව බුද්ධිය වැඩි දියුණු කර ගැනීම සඳහා ඉවහල් වන ආගමික සන්දර්භයක් පිළිබඳව ද මෙහි ලා සඳහන් වීම සැලකිය යුතු කරුණක් වේ. මනසිකාරය හෙවත් නුවණින් මෙනෙහි කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් ගැඹුරුම විග්‍රහය දක්නට ලැබෙනුයේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්හි ය. එය නම් සතිපට්ඨානයයි. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව බුද්ධියේ දියුණුම අවස්ථාව ප්‍රඥාව  (Wisdom) යනුවෙන් හැඳීන්වේ. භෞතික වස්තූන්ගේ සංයුතිය පිළිබඳ ඇත්ත ඇති සැටියෙන්ම දැනගැනීමේ මෙකී බුද්ධිය එහි හඳුන්වනු ලබනුයේ විදර්ශනා ප්‍රඥාව නමිනි. ඉහත සඳහන් කළ ගනුදෙනුව ගැඹුරු දාර්ශනික අරුතකින් මෙහිදු භාවිත කළ හැකිය. එම ගනුදෙනුව හේතුඵල න්‍යායක් වශයෙන් පටිච්ච සමුප්පාදය යටතේ ධර්මයේ විස්තර කෙරේ. මිටි යැයි යමක් ඇති විට උස යැයි දෙයක් සම්මත වේ, එසේම උස යැයි සම්මත යමක් ඇත්නම් මිටි යැයි දෙයක් සම්මත වේ. ඉපදීම ඇති විට සංස්කාර ඇතිවේ. සංස්කාර නැතිවිට ඉපදීම නැතිවේ යනාදී වශයෙනි. මෙලෙසින් ලෝකයේ ද්වයතාව ආශ්‍රිත ගනුදෙනුව තේරුම් ගත යුතුය. මෙම යථාර්ථය විනිවිද දැකිය හැකිනම් එය ප්‍රඥාවෙහි ලක්ෂණයකි.

කෙසේ වෙතත් මෙම ප්‍රඥාවේ එකිනෙක මට්ටම් පවතී. ලෞකික මිනිසුන් වශයෙන් අප තුළ පවතින ප්‍රඥාව වූකලී දැනුමේ එක්තරා දියුණු අවස්ථාවකි. එය ලෞකික ප්‍රඥාව නම්වේ. බුදුදහම අනුව තේරුම් ගතයුතු කරුණක් වන්නේ ප්‍රඥාව නම් වන එකී බුද්ධිමය තත්වයට මෘදු මොළොක් භාවමය තත්වයක් ආරෝපණය කර ගැනීමට හැකියාවක් නැත්නම් එම බුද්ධිය ඵල රහිත වන බවයි. මනෝවිද්‍යාවෙහි මෘදු කුශලතා (Soft skills)  යනුවෙන් විස්තර කරනුයේ ද එම කාරණයම වේ. අප ලබාගත් දැනුම සක්‍රිය ලෙස සමාජගත කරනුයේ කෙසේද යන අවබෝධය උගතා හෙවත් ඉගෙනීමෙන් ලද දැනුම් සම්භාරයක් ඇත්තා තුළ තිබිය යුතු ය. කථා කරන භාෂාව ප්‍රියශීලී ලෙස, ශිෂ්ට ලෙස හා ඵලදායක ලෙස සන්නිවේදනය කරනුයේ කෙසේද යන අවබෝධය  (Communication skill) එහිදී වැදගත්ම අංගයක් වේ. එසේම තමා ජීවත්වන සමාජය සමඟ සුහදතාව පවත්වා ගන්නේ කෙසේද යන විඥානය ඔහුට තිබිය යුතු ය. එය සමාජ කුශලතාවක් (Social skill) ලෙස සැලකේ. බුදුදහම අනුව හදවතක් නැති බුද්ධියෙන් ප්‍රයෝජනයක් නැත. සිය ගණනක් ජාතක කථාවලින් මෙය නිදසුන් සහිතව පෙන්වා දී ඇත. බුද්ධිය ආත්මාවබෝධය සඳහා යොදා ගත යුතුම වේ. නිදසුනක් ලෙස ඔබට තරහක් ඇති වුවහොත් මම ඉන්නේ තරහින්ය යන ආත්මාවබෝධය තමාට තිබිය යුතුය. ඉන් පසු මා මෙසේ සිටීම හරිද යනුවෙන් ධර්මානුකූලව සිතා ස්වයං පාලනයක් ඇති කරගත යුතුය. අත්තාධිපතෙය්‍ය, ධම්මාධිපතෙය්‍ය, ලොකාධිපතෙය්‍ය යනුවෙන් තමන් පිළිබඳ ස්වයං පාලනයක් ඇති කරගැනීමට ක්‍රම තුනක් ධර්මයෙහි පෙන්වා දී ඇත. එසේම අපගේ බුද්ධියෙන් ප්‍රයෝජනයක් වන්නේ අනෙක් අයගේ දුක් කරදරවලදී ඔහු සමඟ පෙනී සිටීමට හැකි භාවමය තත්වයක් අපට ඇත්නම් පමණකි. තවකෙනකුගේ දුකක් ඔහුට තනියම විඳ ගැනීමට හැරීම මානව ධර්මය නොවේ. ධර්මය නම් කුමක් ද? එය භූත දයාවය යනුවෙන් ඍෂි භාෂිතයක් ඇත. එබැවින් ඔබ උගත් ශිෂ්‍යයෙකු, ගුරුවරයෙකු හෝ සමාජ සංස්ථාවේ උගත් නිලධාරියෙකු හෝ විය හැකිය. කවරෙකු වුවත් ඔබ උගත් දෙය තමාගේ මෙන්ම අනුන්ගේ යහපත සඳහා සමාජගත කිරීමටත්, සමාජයේ සෙසු අයට අපි වැටිල හිටියොත් බෑ, අපි නැගිටිය යුතුය, එය කරන්නේ මෙසේ යැයි පෙන්වා දෙමින් උත්තේජනයක් ඇති කිරීමට සමත්විය යුතුය. බුද්ධියේ සැබෑ අරුත නම් එයයි. මෙසේ බුද්ධිය අවදි කොට ජීවිතය දෙස බලන පුද්ගලයාට තමා සහ ලෝකය පිළිබඳ යථාර්ථය විනිවිද දැකිය හැකිය. එය විදර්ශනා ප්‍රඥාවය. එය හුදු සියල්ලේ අභාවය, අශූභය, දුක, හරයක් නැති බව දකින ක්‍රමවේදයක්ම නොවේ. දුක හා සැප, ලැබීම හා හානිය, සැපත හා විපත යනාදියෙහි දුක් දොම්නස් වැළඳ ගනිමින් ජීවත් නොවීමේ ක්‍රමවේදයක් ද වේ. උසස් මිනිසෙකු ලෙස ජීවත්වීමට නම් මෙම ජීවන ප්‍රතිපදාව කවරෙකුට වුවත් තිබිය යුතුය.

ඥානයේ, බුද්ධියේ හා ප්‍රඥාවේ වෙනස පිළිබඳ අවබෝධය ඔබට වැදගත් වනු නො අනුමාන ය. බුද්ධිය සොයා යන ගමනේ දී කවර වයසක, කවර තත්වයක සිටින තැනැත්තෙකු වුවද සැලකෙනුයේ ශිෂ්‍යයෙකු වශයෙනි. ඔහු සතුව තිබිය යුතු ශ්‍රද්ධාව හෙවත් විශ්වාසයි. බුද්ධ දේශනාවේ මෙසේ සඳහන් වේ. “ශ්‍රද්ධාව ඇති තැනැත්තා (ගුරුවරයා වෙත) එළඹේ. එළඹෙන තැනැත්තා ආශ්‍රය කරයි. ආශ්‍රය කරන්නා ඇහුම් කන් දෙයි. ඇහුම්කන් දුන් තැනැත්තා ධර්මය අසයි. ධර්මය අසන්නා මතකයේ තබා ගනියි. මතකය ඇති තැනැත්තා අර්ථය පරීක්ෂා කොට බලයි. අර්ථය පරීක්ෂා කොට බලන්නාට ධර්මයෝ වහා වැටහෙති. වැටහුණු කල්හි කැමැත්ත ඇතිවේ.

හටගත් කැමැත්ත ඇති තැනැත්තාට උත්සාහය ඇතිවේ. උත්සාහය ඇති තැනැත්තා තුලනය කොට බලයි. තුලනය කොට සිත එකඟ කරයි. එකඟ කළ සිත් ඇත්තා පරම සත්‍යය අවබෝධ කරගනී. ප්‍රඥාවෙන් එය විනිවිද දකී.” මේ අනුව දැනුම බුද්ධියක් බවට පරිවර්තනය කොට එය ප්‍රඥාව දක්වා දියුණු කිරීමෙන් මනුෂ්‍යත්වයට අරුතක් ආරෝපණය කිරීමේ වැඩ පිළිවෙළ අඛණ්ඩ ක්‍රියාවලියක් බව තේරුම් ගත යුතුය. ඒ සඳහා මොළය මෙන්ම හදවත ද අවශ්‍ය වන බව කිසි විටෙකත් අමතක නොකළ යුතුය


චිත්තානුපස්සනාව


චිත්තානුපස්සනාව:


සිතට ගලා එන අරමුණු මෙනෙහි කරන්න

අම්බලන්ගොඩ, කහව ගල්දූව

ආරණ්‍ය සේනාසනයේ

කම්මට්ඨානාචාර්ය

ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද

කහගොල්ලේ සෝමවංශ හිමි


බොහෝ දෙනාගේ සිත බොහොම කල බලයි. ඒ සිතින් වැඩක් ගන්නට බැහැ. කලබල නැති සිතෙන් වැඩක් ගත හැකි යි. අධ්‍යාපනයට වැදගත් වන්නේ කල බලකාරී නැති සිත යි. කලබලකාරී උද්දච්ඡ සිත ප්‍රයෝජනයක් නැහැ. එසේම මහග්ඝත සිත ධ්‍යාන අවස්ථාවට යන සිත තැන්පත් සිතක්. ඒ සිතෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. පාඩම් සිටිනවා. පොත පත කියවන්න පුළුවන්. සංවරකම තියෙනවා. භාවනා ආදී ගුණ සම්පත් හොඳින් දියුණු වෙනවා. ඒ ගැන හසල දැනුමක් ලැබෙන්නේ සිත අනුවම බලමින් වාසය කිරීමෙනි. ඒ සඳහා කවුරුත් චිත්තානුපස්සනාව භාවනාව සඳහා වාඩි වෙලා සිත දෙසම බලාගෙන සිතට දැනෙන අරමුණු මෙනෙහි කරන්න.


සතිපට්ඨාන භාවනාව කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව, යනුවෙන් ක්‍රම හතරකට පැහැදිලි කරනවා. භාවනා කර්මස්ථාන විසි එකක් දේශනා කර වදාළා. ප්‍රධාන අනුසස් හතක් දේශනා කර තිබෙනවා. සතිපට්ඨාන භාවනාව වඩන්නාගේ සිත පිරිසුදුවීම, ඇඬීම වැළපීම දුරුවීම, කායික දුක් මානසික දුක් සංසිඳුවා ගැනීම, නිවන් මඟට බැස ගැනීම ,නිර්වාණය සාක්ෂාත් කිරීම ආදී ආනිසංස සමුදාය ප්‍රථමයෙන් දේශනා කිරීමෙන් සතිපට්ඨාන සූත්‍රය ආරම්භ කළා. එහි මූලික කරුණු පෙර ලිපි මඟින් සඳහන් කළෙමු. අද සඳහන් කරන්නේ චිත්තානුපස්සනාවේ තවත් කොටසකි.


නමස්කාරය , ඉතිපි සෝ, ස්වාක්ඛාත, සුපටිපන්න ගාථා සජ්ඣායනා කර තුනුරුවන්ට මාගේ නමස්කාරය වේවා, යනුවෙන් සිතාගෙන, කය ඍජුව තබාගෙන භාවනාවට වාඩි වෙන්න. සිත අනුව බැලීම මේ මඟින් සිදු කරනු ලබයි. චිත්තානුපස්සනාවේ පළමු කොටස ලෝභ සිත, ලෝභ නැති අලෝභ සිත, පටිඝ සිත සහ මෛත්‍රී සිත ගැන සඳහන් කළා. අද චිත්තානුපස්සනාවේ සමෝහ සිත, වීත මෝහ සිත ගැන සඳහන් කරමු.


සමෝහ යනු මෝහ සහිත බවයි. එනම් අවිද්‍යාව යි. සමෝහ සිත් දෙකකි. උපේක්ෂා සහගත උද්දච්ච සිත සහ විචිකිච්ඡා සිත මෝහ නම් වෙයි. එනම් මුලා වීමයි. මෝහ සිත් දෙකෙන් සියලුම ලෝභ , ද්වේශයන්ට මූලිකව කටයුතු කරයි. ලෝභය සහ තරහව නිසා මෝහය සම්බන්ධ වෙයි. එවිට ලෝභය සහ ද්වේශය එකතු වන්නේ නැහැ. ඒ දෙකම විරුද්ධයි. ලෝභය සමඟ මෝහයද , ද්වේශය සමඟ මෝහය ද එකතු වෙයි.


එසේනම්, තම සිතේ මෝහ සිතක් ඇතිවුණ කල්හි මෝහ සිතක් යනුවෙන් දැනගත යුතු යි. එය නැති වූ ගමන් ඇති වන්නේ වීත මෝහ සිත යි. එනම් මෝහය නැහැ. වීත මෝහ සිත් දෙකයි. වීත මෝහ සිත් අසූ හතයි. සිත් අසූනවයක් තිබෙනවා. එයින් එකක් මෝහ සහගත යි. ඉතිරි අසූ හත මෝහයෙන් තොර නිසා වීත මෝහ නම් වෙයි. එවිට තම සිත මෝහ සිතක් බව දැනගෙන මෝහ සිතක් යනුවෙන් මෙනෙහි කරන්න.


තවද සංකිත්ත, වික්කිත්ත යනුවෙන් සිතක් තිබෙනවා. මේ සිත් දෙකත් හොඳින් දැනගෙන ඒ පිළිබඳ සිත පිහිටුවා ගැනීම මෙයින් සඳහන් කරනවා. සිත අනුව බැලීමට කවුරුත් හුරු පුරුදු විය යුතු යි. එයින්, තමන්ට ලොකු නුවණක් ඇති වෙනවා. එය විශේෂිත වෙයි. ඒ දියුණු සිත නුවණ සම්බන්ධ වූ විට ඥාන සම්ප්‍රයුක්ත වෙයි. ඒ තත්ත්වයට පත්වන්නේ තම සිත ශක්තිමත් නම් පමණ යි. එසේනම්, සිත සහ නුවණ දෙකක්. මේ දෙක එකට එකතු විය යුතු යි. ඥාන සම්ප්‍රයුක්ත සිතකින් චිත්තානුපස්සනාව ඉදිරියට ගෙන යන්න පුළුවන්.


යම් ක්ෂණයක යම් සිතක් උපදිනවා නම්, ඒ සිත පිළිබඳව සිහියෙන් යුතුව සිතීම චිත්තානුපස්සනාව යි. තම සිත සහ අන්‍ය සිත පිළිබඳව සිතනවා නම්, තමන්ගේ ද අනුන්ගේ ද සිත දෙස බලනවා නම් එය චිත්තානුපස්සනාව යි. සිත ඇතිවීම සහ නැතිවීම ද බැලිය යුතු යි. එවිට තමන්ට හොඳ දැනීමක් ඇති වෙයි. චිත්තානුපස්සනාවේ අනිත්‍ය , දුක්ඛ , අනාත්ම හොඳින් වටහාගන්නට පුළුවන් . ’සංකිත්ථ චිත්තේ යනු ථීන මිද්ධයෙන් යුක්ත සිත යි. එනම් කම්මැළි සිතයි. හැකිළුණූ සිත යි. තමන්ට කම්මැළි , අලස, සිතක් දැනුණු කල්හි එය ථීනමිද්ධ සිතක් යනුවෙන් දැන, මෙනෙහි කරන්න. වික්ඛිප්ත යනු වික්ෂේප වුණ සිතයි. එක අරමුණක තබා ගන්නට බැහැ. චපල සිත ක්. උද්දච්ඡය සමව යෙදුණා වූ එක අරමුණක පවත්වාගන්නට නොහැකි චපල වූ සිත වික්ඛිප්ත සිත යි. විසුරුණු සිත යි. එවිට තමන්ට විසුරුණු සිතක් ලැබුණු කල්හි එය විසිරුණු සිතක් යනුවෙන් දැන ගන්න. ථීනමිද්ධය තමන්ගේ සියලුම කුසල ධර්ම විනාශයට පත් කරන දෙයක්. සසංකාරික යනුවෙන් සිත් පහක් තිබෙනවා. අකුසල් සිත් දොළහක් තිබෙනවා. ඒ සිත්වල කම්මැළිකම හට ගනි යි.


උද්දච්ඡයට වෙනම සිතක් තිබෙනවා. මෝහ සිතක්. එයින් සිත වික්ෂේප කරයි. එක අරමුණක සිත තබා ගන්නට බැහැ. මේ නිසා ඒ සිත් දෙකම හොඳ නැහැ. එය අකුසල පාක්ෂික බැවින් ථීනමිද්ධ යනුවෙන් සඳහන් කරනවා. කම්මැළිකම ඇති සිතත්, උද්දච්ඡ සිතත් හොඳට දැනගෙන එයට අනුකූලව බැලීම චිත්තානුපස්සනාව යි. ථීනමිද්ධය හට ගැනීම නැතිවීම බැලීම විපස්සනාව යි. සිතේ විසිරීම, ඇතිවීම, නැතිවීම බැලීම විදර්ශනාවයි. මේ දෙක එකටම යන භාවනාව චිත්තානුපස්සනාව යි. හොඳම ක්‍රමය වන්නේ අසුන් ගෙන සිත අනුවම බැලීම යි. එවිට සිතට ගතට දැනෙන කම්මැළිකම, නිදිමත ඍජුව මෙනෙහි කරන්න. දීර්ඝ වශයෙන් නිදිමත එනවානම්, නැඟිට සක්මනෙහි යෙදෙන්න. ඔසවනවා, තබනවා යනුවෙන් පියවර ගනිමින් සක්මන් කළ යුත යි. එවිට කම්මැළිකම දුරුවූ විට නැවත වාඩි වෙලා චිත්තානුපස්සනාවෙහි සිත පිහිටු වන්න. අරමුණෙහි සිත තබාගන්න අපහසු නම් මගේ සිත විසිරී යනවා... යනුවෙන් කිහිප වාරයක් ම මෙනෙහි කර, විසිරී යන සිත ද අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කර නැවත අරමුණෙහි එනම් චිත්තානුපස්සනාවෙහි සිත පිහිටුවා ගත යුතු යි. එය බොහොම වැදගත් කාරණයක්. ඒ මඟින් සිත තැන්පත් කරගන්න පහසු යි. සිත දෙසම බැලීම මෙලෙස සඳහන් කරනවා. එක අරමුණක් දෙකක් නොවෙයි. බොහෝ අරමුණු සිතට ගලා එයි. ඒ සියලු අරමුණු නුවණින් බලමින් කටයුතු කිරීමෙන් තමන්ට චිත්තානුපස්සනාව සවි ශක්තිමත්ව ඉදිරියට ගෙන යා හැකි යි.


සිත් සහ චෛතසික ගැන හොඳින් දැනගත යුතු යි. දැන් මහග්ඝත සිත යනු කුමක්දැ’යි දැන ගනිමු. එනම් රූපාවචර , අරූපාවචර සිත් තිබෙනවා. ඒ මාර්ග සිත හොඳින් දැන ගත යුතු යි.රූපාවචර බ්‍රහ්ම ලෝක දාසයක් තිබෙනවා. අරූපාවචර සිත් වලට අයිති අරූපාවචර බඹතල හතරක් තිබෙනවා. සියල්ල විස්සයි. රූපාවචර බ්‍රහ්මයන්ට සිත් පහළොව යි. කුසල් පහයි. විපාක පහයි, ක්‍රියා පහයි. අරූපාවචර බ්‍රහ්මයන්ට කුසල් සතරයි. විපාක සතරයි, ක්‍රියා සතරයි. එවිට රූප , අරූප සිත විසි හත යි. චෛතසික තිස් පහයි. එවිට ධ්‍යාන සිතක් ලැබුණහම එය ධ්‍යාන සිතක් යනුවෙන් මෙනෙහි කළ යුතු යි. ඒ ධ්‍යාන සිත ඇතිවී නැතිවී යන බව කල්පනා කර අනිත්‍ය , දුක්ඛ , අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. එක අරමුණක් දිගටම මෙනෙහි කරද්දි ධ්‍යාන අවස්ථාවට සමීප වෙනවා. එය සොයා ගන්න අපහසු බැවින් ගුරු උපදෙස් ඇතිව ම යා යුතු යි. ගුරු උපදෙසින් චිත්තානුපස්සනාවේ ධ්‍යාන අවස්ථාවට එද්දී සිතට ගතට අපමණ සුන්දරත්වයක්, සැනසීමක් ලැබෙනවා. ඒ බව දැනගෙන මෙනෙහි කරමින් ඉදිරියට යා යුතු යි. මාර්ග ඵල අවස්ථාව යනු රූපාවචර අරූපාවචර සිත් ද ඉක්මවා යාමයි. ලෝකෝත්තර තත්ත්වයට යාම යි. ලෝකෝත්තර යනු මාර්ග ඵල අවස්ථාව යි. මාර්ග ඵල අවස්ථාවට පත් වන්න හැම සිතක් ගැන ම දැනීමකින් හොඳට මෙනෙහි කරගෙන සිත අනුවම බලා ඒ සිතත් අනිත්‍ය , දුක්ඛ , අනාත්ම වශයෙන් දකින්න. එවිට සිත දියුණු තත්ත්වයකට ගෙන එන්නට පුළුවනි.


පෙර සඳහන් කළා සේ ලෝභ සිතක් නම් එය මෙනෙහි කළ යුතු යි. තරහ සිතක් නම් එයද මෙනෙහි කළ යුතු යි. මෝහ සිතක් නම්, වීත මෝහ සිතක් නම් එය ද මෙනෙහි කරන්න. කම්මැළි සිතක් නම් එයද මෙනෙහි කරන්න. උද්දච්ඡ එනම් විසුරුණු සිතක් නම් එයද මෙනෙහි කරන්න.තරහ හෝ මෛත්‍රී සිතක් පැමිණියත් මෙනෙහි කරන්න.


ධ්‍යාන සිතක් නම් එයද ධ්‍යාන සිතක් බව මෙනෙහි කර එය ද අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිතන්න. ශබ්දයක් ඇසුණොත් ඒ ඇසුණු සිත මෙනෙහි කරන්න. සිරුරේ වායුවක් හැපුණොත් එය ද මෙනෙහි කරන්න. ඈත ශබ්දයක් ඇසුණත් මෙනෙහි කරන්න. ගඳ, සුවඳක් නාසයට දැනුණත් මෙනෙහි කරන්න. ගන්ධයක් ... ඒ පහළ වූ සිත ද අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් පැමිණෙන සිත මෙනෙහි කරන්න. මෙලෙස සිතට ගලා එන අරමුණු මෙනෙහි කිරීම චිත්තානුපස්සනාව යි.



නිර්භය භූමියකට ළඟා වෙන්නට..

 


නිර්භය භූමියකට ළඟා වෙන්නට...

බයව අවුලේගම

කැලේගම පුරාණ විහාරයේ

හිඳව සෝභිත හිමි


" නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස


අච්ඡරාගණ සංවුට්ඨං - පිසාච ගණ සේවිතං

වනංතං මෝහනං නාම - කතං යාත්‍රා භවිස්සතී.

උජුකො නාමසෝ මග්ගෝ - අභයා නාම සාදිසා

රථෝ අකුජනෝ නාම - ධම්මචක්කේ හි සංයුතෝ තී "


සුපින්වතුනි,


බුදුරජාණන් වහන්සේ, සැවත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නා කාලයේ උන්වහන්සේ දිනපතාම ධර්ම දේශනා පවත්වනවා. ඒ ප්‍රදේශවාසී ජනතාව ධර්ම ශ්‍රවණය කරන්නට සන්ධ්‍යා කාලයේ ජේතවනාරාමයට ළඟාවෙනවා. ඇතැම් අය බණ අහලා යනවා. ඒත් අවබෝධයක් ලබා ගන්න උත්සාහ ගන්නේ නැහැ. සමහර පුද්ගලයන් හොඳට බණ අහලා ඒ ධර්ම මාර්ගය අනුගමනය කිරීමට උත්සාහවත් වෙනවා.


එක්තරා කෙළෙඹි පුත්‍රයෙක්. තරුණයෙක් මේ බණ අහලා කල්පනා කරනවා. මේ කියන දේශනාවන් මට ගිහි ගෙදර ඉඳගෙන හරියට පිළිපදින්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මම බුදුරජාණන් වහන්සේ සමීපයේ පැවිදි වෙන්න ඕනෑ. ඒ තරුණයා මවුපියන්ගෙන් අවසර ලබාගෙන බුදුරජාණන් වහන්සේ සමීපයෙහි පැවිදි වුණා. බොහොම උත්සාහයෙන් බණ භාවනා කළා. බුදුන් වහන්සේ ළඟ පැවිදිවෙලා. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා. කර්මස්ථාන ලබාගෙන අශුභ කර්මස්ථානය තමයි මේ හාමුදුරුවෝ නිතර වැඩුවේ. එහෙම වඩන කොට මේ රූපයේ තියෙන අනිත්‍යතාව මේ රූපය අනිත්‍යයි. දුක්ඛයි. අනාත්මයි. කියලා ඒ විදියට භාවනා කරනවා. හැම දෙයක් ගැනම අශුභ වශයෙන් බලමින් මේ සංසාර දුක නැති කිරීම සඳහා තමයි මේ ස්වාමීන් වහන්සේ ක්‍රියා කළේ. නමුත් ඒ තරම් උත්සාහයෙන්, වීර්යයෙන් භාවනා කරගෙන නිතර ම ක්‍රියා කළත් මේ ස්වාමින් වහන්සේට සෝවාන් ආදි මාර්ගඵලයක් ලබන්නට කලින් ආයුෂ පිරිහීම නිසා අපවත්වීමට සිද්ධ වුණා. මේ හාමුදුරුවෝ බොහොම හොඳට භාවනා කරගෙන කර්මස්ථාන වඩාගෙන හිටපු නිසා නිදා පිබිදියා වගේ චාතුර්මහා රාජික දිව්‍යලෝකයෙහි උප්පත්තිය ලැබුවා. භාවනාකරන ඉරියව්වෙන්මයි ගිහිල්ලා එහි උප්පත්තිය ලැබුවේ. ඉතින් කල්පනා කරනවා. මම මේ විදිහේ කෙනෙක් ‘භික්ෂුවක්’ නමුත් මේ දිව්‍ය ලෝකයේ පිරිස අපේ මනුෂ්‍ය ලෝකයටත් වඩා නැටුම්, ගැයුම්, වැයුම්, කම්සැප විඳීම් ප්‍රබල විදියට තියෙන ස්ථානයක්. මේ දිව්‍ය පුත්‍රයා ඉන්නේ පළක් බැඳගෙන භාවනා කරන ඉරියව්වෙන්මයි. නමුත් තත්ත්වය ගැනවත්, තමන් දේවතාවෙක්ද කියන එකවත් කල්පනා කරන්නේ නෑ. මේ භාවනා කරන ඉරියව්වෙන්ම එහි පහළ වෙලා ඉන්න නිසා. මොහුගේ රූපය පෙනෙන ආකාරයට සැලැස්සුවට පස්සේ තමයි තමන් දැන් ඉන්නේ මිනිස් ලොව නොවෙයි දිව්‍ය ලෝකයේ පහළ වෙලා ඉන්නේ කියලා කල්පනා වුණේ. මම මේ තරම් මහණ දම් පිරුවේ, භාවනා කළේ, අශුභ කර්මස්ථාන වැඩුවේ, මේ තරම් අප්සරාවන් පිරිවරාගෙන. මේ විදියට කටයුතු කරන්න නෙවෙයි. මම බුදුරජාණන් වහන්සේ හමුවෙලා තත්ත්වය පැහැදිලි කරලා දෙන්න ඕනෑ. මධ්‍යම රාත්‍රියේ මේ දේවතාවා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි පහළ වුණා. බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීන් වහන්ස, මම මේ දිව්‍යලෝකයෙහි උපන්නා. දිව්‍යාප්සරාවෝ මා පිරිවරාගෙන ඉන්නවා.


නමුත් මට පේන්නේ කොහොමද? හරියට ප්‍රේතියො ගොඩක් මා වටකරගෙන ඉන්නවා වගෙයි. මට කිසිම බැඳීමක්, ආශාවක් ඇති වෙන්නේ නැහැ. ප්‍රේත සමූහයක් මා වටකර ගෙන ඉන්නවා වගෙයි පෙනෙන්නේ. අශුභ කර්මස්ථාන වඩලා තිබුණේ. මම මේ පහළ වෙලා ඉන්නා වනය මා මුළා කරන තැනක්. මම මෝහයට පත් කරන තැනක්. මගේ මේ තත්ත්වය පිරිහෙන තැනැක්. මම කොහොමද මේකෙන් ගැලවිලා යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට ප්‍රශ්නයක් මතු කළා. අන්න ඒ වෙලාවෙයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරමින්, මේ සසරින් ගැළවෙන ආකාරය පැහැදිලි කළේ. එහි සඳහන් වෙනවා. භය වෙන්න එපා. ඔබ කිසි දේකට කම්පා වෙන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ පාර පැහැදිලි කරනවා. ‘උජුකො නාම සෝ මග්ගෝ’ ඔබට යාමට තිබෙන පාර බොහොම සෘජුයි මේ පාරේ හොඳට ගමන් කරන්න. එහෙම ගමන් කරන කොට කිසිම භයක් නෑ. බොහොම නිර්භය ස්ථානයකට යන්න පුළුවන්. ඒ පාරේ ගමන් කරන්න. එම මාර්ගය ඇති මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න. ඒ මාර්ගය ඉතාම හොඳ, කෙළින් තිබෙන මාර්ගයක්. දෙපැත්තේ තියෙනවා අගල් දෙකක්. කාමසුඛල්ලිකානු යෝගය. අත්තකිලමථානු යෝගය කියලා ඒවාට වැටෙන්නේ නැතිව මේ කෙළින් පාරේ ගමන් කරන කොට ‘අභයා නාම සාදිසා’ නියම නිර්භය භූමියකට ස්ථානයකට ඔබට ළඟා වෙන්න පුළුවන්. අන්න තියෙනවා’ තතෝ අකුජනෝ නාම – ධම්මචක්කේහි සංයුතෝ’ කිසිම ජරබර ශබ්ද මොකවත් නැති හොඳ රථයක් තියෙනවා. ඒ රථයෙන් ගමන් කරන කොට මෙන්න මේ නිර්භය ස්ථානයට ගමන් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති මේ මාර්ගෙන් ගමන් කරන්න. ඒ මාර්ගයේ ගමන් කරන කොට මැඳුම් පිළිවෙතේ යන කොට කිසි භයකින් තොරව ඒ නිර්භය ස්ථානයට පැමිණෙන්න පුළුවන්. ධර්ම චක්‍රයෙන් යුතු නිර්මල රථයක් තියෙනවා. ඒ රථයේ නැගිලා ගමන් කරන කොට නියම ස්ථානයට පැමිණෙන්න පුළුවන්. රථය විස්තර කරනවා. ‘හිරීතස්ස අපාලම්බෝ - සතස්ස පරිවාරණං ධම්මානං සාරථිං බ්‍රෑමි සම්මා දිට්ඨි පුරේජවං’ ගොඩ වෙලා යන කොට මේ කරත්තේ තියෙනවා ඇඳි දෙකක් හොඳට හේත්තු වෙලා යන්න පුළුවන්. ඒ ඇඳි දෙක හැටියට උපමා කර තිබෙන්නේ මොනවාද? හිරි, ලජ්ජාව, ඔත්තප්ප බය, ලජ්ජාව භය දෙක නමැති මෙන්න මේ දේව ධර්ම ලෝකපාලන ධර්ම, දෙක තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. ලෝක පාලක ධර්ම දෙක අනුගමනය කරමින් යන කොට බයක් ඇතිවෙන්නේ නැහැ. එහි තියෙනවා සෙවිල්ල නමැති වහලය. කරත්තයක සෙවිල්ලක්, වහලයක් තිබුණොත් පමණයි නොතෙමි යන්න පුළුවන් වෙන්නේ.


මේ රථයේත් එහෙම තියෙනවා. මේ ධම්ම රථයේ තියෙන සෙවිල්ල මයි සතිය, සිහිය නිර්වාණ ගාමිණි ප්‍රතිපදාවේ දී ලජ්ජා භය, දෙකත් සිහියත් හොඳින් තියෙන්න ඕනෑ. මේ රථයේ තියෙන අංගෝපාංග ධර්ම නමැති රථයට ගොඩ වුණාම මේ රථයේ යන්න පුළුවන් ලජ්ජා භය නමැති ඇඳි දෙක තිබෙනවා නම් ඒ වගේ ම නොතෙමි යන්න පුළුවන් වහලය නමැති සිහිය තිබෙනවා නම් සම්මා දිට්ඨිය නමැති රියදුරා පෙරටු කරගෙනයි මේ රථය ඉදිරියට ගමන් කරන්නේ. යම්කිසි ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා කෙනෙක් මෙන්න මේ කියන රථයට ගොඩවෙලා යනවා නම්, ‘ඒතේන යානේත නිබ්බාණස්සේව සන්තිකෝ. නිවන ළඟට යන්න පුළුවන්කම ලැබෙනවා.


ඔබ සැමට තෙරුවන් සරණයි.

දෙවහිත සූත්‍රය

 


දෙවහිත සූත්‍රය

199

මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ, කුසයෙහි වාතාබාධයකින් පීඩිතවූසේක. ආයුෂ්මත් උපවාණ තෙමද භාග්‍යවතුන් වහන්සේට උපස්ථායකවෙයි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උපවාණ ඇමතූසේක. (අමතා) “බලව, උපවාණය, තෝ මට උණුදිය (ගෙනෙන සැටියක්) දනුව” යි (කී සේක.)

“එසේය, ස්වාමීනි” යි ආයුෂ්මත් උපවාණ තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තරදී දේවහිත බමුණාගේ නිවස යම්තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ නිශ්ශබ්දව එකත් පසෙක සිටියේය.

එකත්පසෙක සිටි නිශ්ශබ්දවූ ආයුෂ්මත් උපවාණයන් දෙවහිත බමුණා දිටීය. දැක ආයුෂ්මත් උපවාණයන්ට ගාථාවෙන් (මෙසේ) කීය:

“හිස මුඩුකළ, සඟළ සිවුරු පෙරවූ, පින්වත් තෙම කුමක් පතමින්, කුමක් සොයමින්, නිශ්ශබ්දව සිටින්නෙහිද? කුමක් ඉල්ලන්නට ආයෙහිද?”

“ලොව අර්හත්වූ සුගතවූ මුනිතුමා කුසයෙහි ආබාධයකින් පෙළෙනසේක. බමුණ, ඉදින් තා සතු උනුදිය ඇත්නම් ඒ මුනීන්‍දූයන් වහන්සේට දුන මැනවි.

“පිදිය යුත්තන් විසින් පුදන ලද, සත්කාර කළ යුත්තන් විසින් සත්කාර කරනලද, ගරුකළ යුත්තන් විසින් ගරු කරන ලද උන්වහන්සේට දෙනු පිණිස ගෙන යන්නට උණුදිය කැමැත්තෙමි” යි (ආයුෂ්මත් උපවාණතෙමු කීය.)

ඉක්බිති දේවහිත බමුණුතෙම උණුදිය කදක් පුරුෂයෙකු ලවා ගෙන්වාගෙන සකුරුපිඩක්ද ආයුෂ්මත් උපවාණ තෙරුන්ට දිනි.

ඉක්බිති ආයුෂ්මත් උපවාණ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ උණු දියෙන් නහවා, උණු දියෙන් සකුරු දියකොට, භාග්‍යවතුන් වහන්සේට දුන්නේය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේගේ ඒ ආබාධය සංසිඳුනේය. ඉක්බිති දේවහිත බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීචි කථා කෙළේය. සතුටුවිය යුතුවූ, සිහිකටයුතුවූ, කථාකොට එකත්පසෙක යුන්නේය.

එක්පසෙක හුන් දේවහිත බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙකින් මෙසේ කීය:

“දානවස්තුව කවරෙකුහට දෙන්නේද (දියයුතුද)? කවරෙකුහට දුන්දෙය මහත්ඵල ඇතිවේද? කවර ආකාරයෙකින් කොතැනක දෙන්නහුගේ දානය සඵලවේද?”

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “යමෙක් පෙර ජාති පිළිවෙළ දනීද, ස්වර්‍ගය හා අපායත් දකීද, අර්‍හත්වයට පැමිණියේද, මාර්‍ගඥානයෙන් (චතුරාර්‍ය්‍ය සත්‍යය) දැන නිමවූ සියලු කටයුතු ඇත්තේද, (කායාදී) මෞන ගුණයෙන් යුක්තද,

“මෙහි (මෙබඳු තැනැත්තාට) දෙන දෙය දෙන්නේය (දියයුතු). මෙහි දෙනලද්ද මහත්ඵල ඇතිවේ. මේ ආකාරයෙන් දෙන්නහුගේ දානය මහත්ඵලවේ.

මෙසේ වදාළකල දේවහිතබමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: “පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘතකරන්නේද, මංමුළාවූවකුට හෝ මාර්‍ගය කියන්නේද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය ප්‍රකාශ කරන ලද්දේය. අද පටන් මා දිවහිම්කොට සරණ ගිය උපාසකයකු සේ භාග්‍යවතුන් වහන්සේ සලකන සේක්වා.”


Sunday, July 11, 2021

චිත්තානුපස්සනාව

 චිත්තානුපස්සනාව:



සිතට දැනෙන කුසල් අකුසල්

අම්බලන්ගොඩ, කහව ගල්දූව

ගුණවර්ධන යෝගාශ්‍රමයේ

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ

මහා ලේඛකාධිකාරී

කම්මට්ඨානාචාර්ය

ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද

කහගොල්ලේ සෝමවංශ හිමි


කයට වඩා සිත සකසා ගැනීම වඩා වැදගත්. සිතට වහල් වුණොත් අපේ වැඩ කටයුතු කරගන්න අපහසු යි. සිත ශක්තිමත් වන්නේ නැහැ. බොහෝ පිරිස් ගෙල වැළලා ගැනීම, දුම්රියට පැන සිය දිවි නසා ගැනීම වැනි ජීවිත හානි පවා සිදු කර ගන්නේ සිත පාලනය කරගත නොහැකි නිස යි.


කායික, මානසික සැනසීම කෙරෙහි කොයි කවුරුත් සිත යොමු කර ගැනීම වැදගත් වෙයි. ඒ නිසා සිහි කල්පනාවෙන් වැඩ කටයුතු කිරීමට චිත්තානුපස්සනාව කුමන අයකුට වුවද බොහොම වැදගත්.


කය ඍජුව තබාගෙන, දෑස පියාගෙන, වමත මත දකුණත තබාගෙන සිත දෙස බැලිය යුතු යි. තම සිතට ලෝභකමක් දැනුණොත් එය ලෝභ සිතක් බව දැන ගැනීම පළමු කාරණය යි. චිත්තානුපස්සනාවේ ක්‍රම දාසය යි. පළමුව සරාග සිතක්, තණ්හා සිතක්, ලෝභ සිතක් නම් ඒ රාග සහිත, තණ්හා සහිත, ලෝභ සිතක් බව දැන ගත යුතු යි. ලෝභ සිත් අටක් බුදු පියාණන් වහන්සේ පහදා දුන් සේක. 1)සොම්නස් සහගත දිට්ඨි සම්ප්‍රයුක්ත අසංකාරික සිත, 2)සොම්නස් සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත සසංකාරික සිත, 3)සොම්නස් සහගත දිට්ඨිගත විප්‍රයුක්ත(වැරැදි අවබෝධය නොමැති බව) අසංකාරික සිත 4)සොම්නස් සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික සිත 5)උපේක්ෂා සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංකාරික සිත 6)උපේක්ෂා සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත සසන්කාරික සිත, 7)උපේක්ෂා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසන්කාරික සිත, 8)උපේක්ෂා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික සිත


චිත්තානුපස්සනාවේ දී ලෝභ සහගත සිත් අටක් මේ අනුසාරයෙන් පැහැදිලි කරනවා. එවිට මේ සිත් අටෙහි ලෝභ සිත් හටගන්නේ. තමන්ට තණ්හාවක් නොහොත් ලෝභයක්, රාග ආස්වාදයක් ඇති වුණොත් ඒ සිත් අටෙන් එකකින් හට ගන්නවා. මේ සිත් අට ලෝභය තමන්ගේ සිතේ පහළවන නිසා පංච කාම වස්තූන් පිළිබඳව තෘෂ්ණාව බල පවත්වන බැවින් එය අනාගාමී මාර්ග ඥානය දක්වා ම පවතිනවා. සෝවාන් වෙද්දී මෙහි අපාය ශක්තිය නැතිවී යයි. එයත් මෙනෙහි කළ යුතු වෙයි. ලෝභ සහගත සිතක්, ඇති වුණොත් එය ලෝභ සහගත සිතක් යනුවෙන් හොඳින් දැනගත යුතු යි. මගේ සිත තණ්හා සහගත යි. තණ්හාව යනුවෙන් හඳුනාගෙන හොඳින් මෙනෙහි කළ යුතු යි. තණ්හාව නොහොත් ලෝභය අනිත්‍යය යි. දුක්ඛ යි අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න. ලෝභ සිත් අට හොඳින් පාඩම් කරගෙන මගේ සිතේ ලෝභ සිත් අටක් තිබෙනවා මේ සිත් අටෙන් සියුම් ලෝභය තණ්හාව රාගාස්වාද චේතනා සියල්ල හට ගන්නා බව දැනගත යුතු යි.


තමන්ට යම්කිසි දෙයක් පිළිබඳව ආසාවක් උපන්නොත් මේ ලෝභ සිතක් බව දැනගත යුතු යි. එය දිගට මෙනෙහි කරද්දී නැති වී යනවා. ලෝභ සිත ඒ මොහොතේ හට ගෙන නිරුද්ධ වෙනවා. නැවත හට ගන්නේ අලුත් සිතක් . එයත් නිරුද්ධ වෙනවා. එකම ලෝභ සිත දිගටම තිබෙනවා නොවෙයි. උප්පාද, තිථි, භංග වශයෙන් චිත්තක්ෂණයක් පාසාම නිරුද්ධ වී යනවා.


සිතක ආයු කාලය චිත්තක්ෂණ දාහත යි. ඉන්පසුව නැවත හටගන්නේ වෙනම සිතක්. ඒ ගැන හොඳ දැනීමක් කවුරුත් ඇතිකරගෙන චිත්තානුපස්සනාව කෙරෙහි බලවත් ඕනෑකමකින් කටයුතු කරන්න. තම සිතේ තණ්හාව රාගය තිබෙන බව දැනගත යුතු යි. එසේ නැත්නම් දිගට මෙනෙහි කළත් කමක් නැහැ. එවිට නැතිවෙලා යනවා. තණ්හාව අනිත්‍යය යි, දුක්ඛ යි අනාත්මයි යනුවෙන් මෙනෙහි කරන්න. එය විදර්ශනා භාවනාව යි. සිත ගැන බැලීම සමථ භාවනාව යි. මේ ක්‍රම දෙකම මෙලෙස ගෙන යා හැකි යි. කවුරුත් තම තමන්ගේ ගුණ ධර්මයන් හොඳින් දියුණු කරගෙන ඉදිරියට යන්න. එවිට ලෝභ සහගත බව ඉවත් වුණහම පහළවන්නේ වීතරාග සිතක්. සිත් අසූනවයෙන් අටක් අඩු කළාම අසූ එකක් වීතරාග සිත් වෙයි. එනම් ලෝභය, තණ්හාව, රාගය, නැති සිත් අසූ එකක් තිබෙනවා. සියලුම සිත් අසූ නවය යි. එයින් අපේ චිත්තානුපස්සනාවට තණ්හාවට අටක් අයින් කළා. ඉතිරි සියුම් සිත් වීතරාග සිත්. එවිට දැන් තණ්හාව ඉවත් වුණහම ලෝභය, ඉවත්වුණහම මගේ සිතේ ලෝභය තණ්හාව රාගය නැත . මගේ සිත වීතරාගි යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි. නැත්නම් ඒ බව දැනගත යුතු යි. එයත් හොඳින් මෙනෙහි කර වීතරාගී සිත අනිත්‍යයයි, දුක්ඛ යි අනාත්මයි යනුවෙන් මෙනෙහි කළ යුතුයි. එවිට තමන්ට ලොකු දැනුමක්, ලැබෙයි. තමාගේ සිත බොහෝ වැදගත් තත්ත්වයට පත් වෙනවා. සිත පිළිබඳව මනා වැටහීමක් ඇති කරගන්න පුළුවන්. කවුරුත් සිත පිළිබඳ දැනීම වැඩිකළ යුතු යි. සිත පිළිබඳ අවබෝධය වැඩිකළොත් බොහොම වැදගත්. එවිට සිත අනුව බලමින් තමන්ගේ භාවනාව හොඳට දියුණු තියුණු කරගන්න මහන්සි ගත යුතු යි.


දැන් පටිඝ සිත ගැන කතා කරමු. තරහව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව පළිගැනීම පටිඝ චේතනාව සිතේ දොම්නස් බව සිතේ දුසීත බව ආදී අර්ථ කිහිපයකින් ම පටිඝ සිතට අර්ථය දෙන්න පුළුවන්. තමන්ට තරහ, වෛර , ක්‍රෝධ, ඊර්ෂ්‍යා සිතක් මතු වුණොත්, එය කුමන සිතක් දැයි හඳුනාගෙන දිගටම මෙනෙහි කළ යුතු යි. තමන්ගේ සිත තරහවෙන් අත්මිදුණා නම් , එයත් හොඳින් දැනගත යුතු යි. එය අනිත්‍යය යි, දුක්ඛයි, අනාත්මයි වශයෙන් මෙනෙහි කළ යුතු යි. උදාහරණයක් ලෙස සිතේ තරහව මතු වුණොත්, එය තරහව බව දැනගත යුතු යි. ඒ දැනීම ඥාන සම්ප්‍රයුක්ත යි. තරහව අකුසල පාක්ෂික වෙයි. එවිට අකුසල පාක්ෂික සිත අකුසලයෙන් මුදා ගන්නට චිත්තානුපස්සනාව ප්‍රයෝජනවත් වෙයි. මාන්නයක් හට ගත්තොත් මගේ සිතේ මාන්නයක් මතු වුණ බව වටහා ගත යුතු යි. එයද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු යි.


පටිඝ සිත දෙයාකාර වෙයි. දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත අසංකාරික සිත, දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත සසංකාරික සිත යනුවෙන් සිත දෙආකාර වෙයි. චිත්තානුපස්සනාවේ දී මතක තබාගත යුත්තේ පටිඝ සිත්, තරහ සිත් දෙකයි ඇති වන්නේ. සියලුම සිතේ පහළවන තරහ, වෛර, ක්‍රෝධ හටගන්නේ සිත් දෙකෙන්ම යි. ඒ නිසා මගේ සිත දැන් තරහවට යොමුවුණු බව දැනගත්විට එය චිත්තානුපස්සනාව යි. තරහව අනිත්‍යය යි, දුක්ඛ යි අනාත්ම යි යනුවෙන් මෙනෙහි කිරීම විපස්සනාව යි. එසේම තරහ සිත මෙනෙහි කර ඉන් ඉවත්වූවාට පසුව තරහව නැහැ. ඒ සිත වීත දෝස නම් වෙයි. සිත් අසූනවයෙන් දෙකක් පටිඝ සිත් වෙයි. ඉතිරි අසූ හත වීත දෝස නම් වෙයි. එසේනම් මගේ සිත දැන් වීත දෝස යි. එහි තරහව නැහැ. ඒ නිසා වීතදෝස සිත අනිත්‍යයයි, දුක්ඛ යි, අනාත්මයි යනුවෙන් මෙනෙහි කරන්න.


එසේනම්, මේ පාඩමේ ලෝභ සහගත සිත් අටයි. වීතරාග සිත් (ලෝභය නැති වූ විට) අසූ එකයි. සදෝස සිත් (පටිඝ සිත්) දෙක යි. වීතදෝස අසූනවයෙන් දෙකක් අඩුවී අසූ හත යි.


වෙහෙර විහාරයක් දුටුවොත් හෝ බුදුන් වඳින දසුනක දී හෝ ශ්‍රද්ධා සිතක දී හෝ එය ශ්‍රද්ධා සිතක් බව දැන මෙනෙහි කළ යුතු යි. එලෙස සිතට දැනෙන අකුසල් සහ කුසල් සිතිවිලි මෙනෙහි කරමින් චිත්තානුපස්සනාව හොඳින් දියුණු කරගත හැකි යි.


- ජම්මික ප්‍රබෝධනී වැලිකල

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...