Showing posts with label කර්මය. Show all posts
Showing posts with label කර්මය. Show all posts

Saturday, June 5, 2021

රැස්වන කර්ම ගැන නිබඳව ම සිතන්න


 

රැස්වන කර්ම ගැන නිබඳව ම සිතන්න

අතුරුගිරිය සදහම් පදනමේ අනුශාසක

ගලිගමුවේ ඤාණදීප හිමි


අප සෑම විටම සිතනවා, කතා කරනවා. ක්‍රියාත්මක කරනවා, සිත, කය, වචනය තුන් දොරම චේතනාවක් සමඟම යි ක්‍රියාත්ම වෙන්නේ. එසේනම්, කර්ම රැස් නොකර ජීවත් වෙන ක්‍රමයක් ලොවේ කොහේවත් නැහැ. බුදුවරු පහළව අපට පෙන්වා වදාළේ, කර්ම රැස් කරන්නේ නැතිව ජීවත් වන ක්‍රම නොවෙයි. එලෙස සිටින්නට කාටවත් බැහැ. බුදුවරු පහළව පෙන්වා වදාළේ, මේ රැස්වන කර්මයන්ගෙන් එක කොටසක් තිබෙනවා , සම්පූර්ණයෙන් වළකා ගත යුතු යි. ඒ ‘සබ්බ පාපස්ස අකරණං’ සියලු පාපී අකුසල කර්මයන්ගෙන් වළකින්නැ’යි වදාළා.


මේ රැස්වන කර්මයන්ගෙන් අකුසල කර්මයන් වළකා ගත යුතු යි. ‘කුසලස්ස උපසම්පදා’ යනුවෙන් කර්ම වෙයි. කුසල කර්ම, පුණ්‍ය කර්ම ඒවා රැස්කරගත යුතු යි. සිත , කය, වචනය මුල්කරගෙන බණ අසන විට , සිල් රකින විට, දන්දෙන විට, පින් කරන විට, හැම වේලාවෙම කර්ම රැස් වෙයි. ඒ රැස් වෙන්නේ සුළු කුසල කර්ම. මේවා රැස් කරන්නැ’යි වදාළා. ‘සචිත්ත පරියො දපනං’ තමන්ගේ සිත දමනය කර ගන්න.


භාවනා කරන විටත් කර්ම රැස් වෙනවා. එය ධර්මයේ ‘අන්‍යෙයාභි සංස්කාර’ වෙයි. ඒ කර්මයට අනුව සමාධිය වඩන්නා රූපී බ්‍රහ්ම ලොවක උපත ලබයි. අරූප ධ්‍යාන වඩන්නා අරූප සමාධියට අනුව අරූපී බ්‍රහ්ම තලවල උපත ලබයි. එවිට සමථ – විපස්සනා භාවනා වඩන කෙනාටත් ඒ තුළ යම් කර්ම රැස් වෙයි. ඒ සමාධි මට්ටමට අනුව උපදින බ්‍රහ්ම තල තිබෙනවා. ඒ නිසා පින් කරන පුද්ගලයා ‘පුණ්‍යාභි සංස්ඛාර’ පිනට අනුව කර්ම රැස්කර ගන්නවා. සුගතියේ උපත පිණිස. අකුසල් රැස් කරගන්නා අකුසලයට අනුව විපාක පිණිස දුගතියට නැඹුරු වූ කර්ම රැස් කරගන්නවා. සමාධිය වඩන කෙනා රූපී, අරූපී බ්‍රහ්ම තලවල විපාක පිණිස කර්ම රැස් කරගන්නවා. එවිට මේ යන ගමන තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය ‘කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව’ ලෙස පෙන්වා වදාළා.


ඒ මාර්ගය තුළ අකුසල් ප්‍රහාණය කර කුසල් වඩාගෙන, සමාධිය වඩාගෙන ම ඒ රැස්කර ගන්නා කර්මයන්ගේ විපාක ක්ෂය වීම පිණිස පවතින කර්ම රැස් වෙනවා. ඒවා රැස් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. කර්මය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙන්වූයේ ‘කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව’ ලෙස යි. මේ කර්මයන්ගේ විපාක ක්ෂය කරන ප්‍රතිපදාව යි. පුණ්‍ය කර්ම, පාප කර්ම එයයි රහතන් වහන්සේ ගැන කියන්නේ ‘පුණ්‍ය පාප පහී නස්ස නත්ථි ජාගරං කතො භයං’ රහතන් වහන්සේ යනු පිනේ විපාකත් අකුසල විපාකත් සියල්ල ප්‍රහාණය කරගත් උත්තමයන් පිරිසකි. ඒ නිසා සාමාන්‍ය ලෝකයා කෙලෙස් සහිතව, අවිද්‍යාව තුළ ඉන්න ලෝකයා සැම විට ම පෙර කර්ම ගෙවා අලුතෙන් සංසාරයට කර්ම රැස්කර, යන ගමනක්.


රහතන් වහන්සේ ගැන පමණයි, ධර්මයේ හඳුන්වන්නේ ‘ඛීනං පුරාණං’ උන් වහන්සේ පමණයි පෙර කර්ම ක්ෂය කර අවසන් කරන්නේ. ‘නවං නත්ථි සම්භවං’ අනාගතයේ භවයක් නිසා අලුතෙන් කර්ම රැස් කරන්නෙත් නැහැ. ‘විරත්ථ චිත්තා ආයතිකේ භවස්මිං’ පෙර කර්මත් ක්ෂය කළා. අලුත් කර්ම රැස් කරන්නෙත් නැහැ. උන් වහන්සේලාගේ සිත අලුතෙන් භවයක පිහිටා නැහැ. ‘තෙ ඛීන බීජා අවිරුළ්හිච්ඡන්දා’ බීජයක පැළවෙන ස්වභාවය නැතිවුණා වගෙ යි. ‘නිබ්බන්ති ධීරා යථා යං පදීපො’ පහනක් නිවී යනවා සේ එතනම නිවී යයි.


මේ ස්වභාවය පවතින්නේ රහතන් වහන්සේ තුළ පමණ යි. අනෙක් සෑම කෙනෙක් ම පෘතග්ජන මට්ටමෙන් කෙලෙස් සහිතව ජීවත් වන සෑම පුද්ගලයෙක් ම පෙර කර්ම ගෙවා අලුතෙන් සංසාරයට කර්ම රැස් කර යන පිරිසක්. ඒ නිසා බුදුවරු පහළව අපට පෙන්වා වදාළේ, සැම විට ම කර්මය ගැන සිතන්න. ඔබ නිබඳව ම සිහි කරන්න මා කුමන කුසලයක් කළත් එහි විපාක මම ම සංසාරයේ අරගෙන යනවා.


ඒ වගේම මා යම් අකුසලයක් කළොත් , ඒ අකුසල විපාකත් සසරේ දුක විඳ විඳ ම මට ම අරගෙන යන්නට වෙනවා. ‘යං කම්මං කරිස්සාමි කල්‍යාණං වා පාපකංවා තස්ස දායාදෝ’ මම කරන දේ යහපත් ද? යහපත් විපාක මට ලැබෙනවා. මා කරන දේ අයහපත් ද? අයහපත් විපාක මට ලැබෙනවා. මේ කාරණාව උදේ , සවස ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා කාටත් පොදු ධර්මතාවක්. බුදුරජාණන් වහන්සේටත්, උන් වහන්සේගේ ඥතීන්ටත් සියලු ම දෙනාට එය සාධාරණ යි.


ඔබ සිතන්න, යශෝධරාව පිරිනිවන් පාන විට මහ පොළොව කම්පිත වුණා. ඒ මහපොළොව ම පලාගෙන ගිනිදැල් පහළ වෙලා, යශෝධරාවගේ පියාණන් අපාගත වුණා. ඒ ඔහු රැස්කරගත් කර්ම විපාක යි. ඒ යශෝධරාවගෙ ම එකම සහෝදරයා දේවදත්ත, පණ පිටින් ම පොළොව පලාගෙන අපායට ඇදිලා ගියා. එවිට අපට පෙනෙන්නේ ඒ ඔහු රැස් කරගත් කර්ම යි. බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් අතර ගත්ත ද, කිහිප දෙනෙක් නිවන් දකින විට, කිහිප දෙනෙක් ම පොළොව පළාගෙන අපාගත වුණා. ඒ නිසා තම තමන් රැස් කරගත් කර්ම විපාක තමන්ම අරගෙන යන සංසාර ගමනක්. ඒ නිසා හැම වේලේම ඔබ කර්මය ගැන සිතනවා නම්, අකුසල කර්ම වලින් වළකින්න පුළුවන්. උදේ , සවස ඔබ සිතන්න ‘කම්මස්ස ඛො කොම්හි’ මම කර්මය ස්වකීය කර ගත් කෙනෙක්මි. ‘කම්ම දායාදො’ මම කර්මය දෑවැද්ද කරගත් කෙනෙක් මි. ‘කම්ම පටිසරණො’ මම කර්මය පිළිසරණ කරගත් කෙනෙක් මි. ‘කම්ම බන්ධු’ මට ඉන්න එකම ඥාතියා , මගේ එකම නෑයා මා රැස්කරගත් කර්මය යි. මා යම් හොඳක් හෝ නරකක් කළොත්, එහි විපාක මට සසරේ ගෙනියන්න වෙන බව සිතන්න. ඔබ කර්මය ගැන එලෙස සිහි කරනවා නම්, ඔබට අකුසලයෙන් වළකින්න පුළුවන්. ඔබේ සිතට තරහක්, ද්වේෂයක්, වෛරයක්, පාපී අකුසල සිතිවිලි ඇති වුණොත්, ඒ සැනින් මතක් වෙනවා කර්මය ගැන සිතන්නාට මේ දේ කළොත්, මෙහි විපාක මට ම ගෙවන්නට වෙනවා. මට ම මේ අකුසල විපාක සසරේ අරගෙන යන්න වෙනවා. මෙලෙස මතක් වෙනවා එය සිහි කරන පුද්ගලයාට. එවිට අකුසලයෙන් වළකින්න පහසු යි. සිහිය පිහිටුවන්න පුළුවන්. ඒ නිසා සැම විට ම කර්මය ගැන සිහි කරන්න. බුදුරජාණන් වහන්සේ, හැම බුදුකෙනෙක්ම පහළව පෙන්වා දුන්නේ, ‘සබ්බ පාපස්ස අකරණං’ සියලු පාපී අකුසලයෙන් වළකින්න. ‘කුසලස්ස උපසම්පදා’ පුළුවන් තරම් කුසල් වඩන්න. ‘සචිත්ත පරියො දපනං’ තමන්ගේ සිත දමනය කර ගන්න. ‘ඒතං බුද්ධාන සාසනං’ එය බුදුවරු පහළ ව පෙන්වා දුන් බුද්ධානු ශාසනාව යි.


- ජම්මික ප්‍රබෝධනී වැලිකල

Wednesday, June 2, 2021

කර්මයට අනුව විපාකය නියතයි


 කර්මයට අනුව විපාකය නියතයි

අතුරුගිරිය සදහම් පදනමේ

අනුශාසක

ගලිගමුවේ ඤාණදීප හිමි


" ‘මහණෙනි, චේතනාවක් පහළ කරලා යම් කර්මයක් රැස් කරාද, එහි විපාක නොවිඳා ප්‍රහාණය කරන ක්‍රමයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ’ යි සඳහන් වෙනවා.'


බුදුන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පරිපූර්ණ කළ ද, අවසාන මොහොතේ කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයේ ගෞතම බෝසතාණන් වහන්සේගේ වදනින් සිදු වූ යම් අකුසලයක විපාකයක් බලවත් වූ බව සඳහන් වෙනවා. ඒ වන විට බුදුරජාණන් වහන්සේලා විසි තුන් නමකගෙන් විවරණ ලබා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් දස පාරමී , පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී වශයෙන් සම්පූර්ණ වෙලා අවසානයට විවරණ ගන්න තිබෙන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන්.


ඒ කාලයේ බෝසතාණන් වහන්සේ ජෝතිපාල මානවක නමින් බොහොම ධනවත්, කුලවත් උසස් පවුලක උපත ලබා සිටියා. ඒ කාලයේ තමන්ගේ යාළුවෙක් සිටියා, ඔහු වළං සාදා ජීවත්වන කුඹල් කරුවෙක්. ඔහුගේ නම ඝටීකාර. ඒ තැනැත්තා බොහොම සාධාරණව වළං සාදා ඒ මුදලින් මව් පියන් පෝෂණය කරමින් අහිංසක දිවි පෙවෙතක් ගත කළා. දවසක් මේ ඝටීකාර, බුදුන් වහන්සේගෙන් ධර්මය අසා පැහැදී ධර්මය අවබෝධයක්, වැටහීමක් ඇති වුණා. ඔහු කල්පනා කළේ, තම මිත්‍ර ජෝතිපාල ද කෙසේ හෝ බණ අසන්නට රැගෙන යා යුතු බව යි. ඒ නිසා ඔහු මෙසේ පැවසුවා. ‘යහළුව, ලොවුතුරා බුදු කෙනෙක් පහළවී සිටිනවා. අපි බණ අසන්න යමුදැ’යි විමසුවා. එසේ පවසද්දී බෝසතාණන් වහන්සේ වූ ජෝතිපාලගේ මුවින් පැවසුවේ ‘මුඩු මහණන්ගෙන් බණ අසා වැඩක් නැති’ බව යි. දෙවන වතාවටත් ඝටීකාර පැවසුවේ, නෑ මිත්‍රය, බුදු කෙනෙක් පහළ වෙලා. අපි බණ අසන්න යමු’යි යනුවෙනි. දෙවන වතාවටත් ජෝතිපාල පැවසුවේ ‘මුඩු මහණන්ගෙන් බණ අසා වැඩක් නැති බව යි.’ මේ මොහොතේ ඝටිකාර උපක්‍රමයක් යෙදුවා. අපි දිය නාන්න ගඟට යමු යැ’යි පැවසුවා. ඒ කාලයේ කුල භේදය දඹදිව බලවත් ව තිබුණා. උසස් කුලයේ පුද්ගලයෙක් ගඟට බැස දිය නාද්දී , පහත් කුලයක කෙනෙක් එදාට ගඟට බසින්නේ නැහැ. ඒ නිසා ජෝතිපාල මානවකයා දිය නා අවසන් වෙද්දී, ඝටීකාර ගං ඉවුරට වී කල්පනා කළා. ඔහුගේ වෑයම වුණේ, තම මිතුරා කෙසේ හෝ බණ අසන්න රැගෙන යා යුතු බව යි. දිය නා අවසන්ව ගොඩට පැමිණෙන, ජෝතිපාල මානවකයාගේ කෙස් වැටියෙන් ඝටීකාර අල්ලා ගත්තා. බණ අසන්න එනවද, නැද්දැ’යි ඔහු විමසුවා. එලෙස අසද්දී ජෝතිපාල මානවකයා මෙලෙස කල්පනා කළා. ඝටීකාර කුඹල් කරුවෙක්. ඔහු පහත් කුලයේ කෙනෙක්. මා වගේ උසස් කුලයක කෙනෙක්ගේ කෙස් වැටිය කවදාවත් මෙලෙස අල්ලන්නේ නැහැ. කවදාවත් නැතිව ඔහු, මට සැර කළා, කෙස් වැටියෙන් අල්ලා, බණ අසන්න යනවද? නැද්ද යනුවෙන් මට සැර කළා. එසේනම්, බණ කියන්නේ ඒකාන්තයෙන් ම බුදු කෙනෙක් වෙන්න ඇති. ඒ නිසා බණ අසන්න යමු යැ’යි එදා දෙදෙනාම කාශ්‍යප බුදුරදුන් හමුවට ගියා. බණ ඇසූ ජෝතිපාල මානවකයා එදා කාශ්‍යප බුදුන් වහන්සේ ළඟ පැවිදි වුණා. පැවිදි වී විසි හතර වන වරටත් විවරණ ලබා ගත්තා. ‘මහණෙනි, මේ මහා භද්‍ර කල්පයේ ඊළඟට ගෞතම නමින් සම්මා සම්බුදු පදවිය ලබන්නේ මේ උත්තමයන් වහන්සේ බව වදාළා.


එසේනම්, සංසාරයේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා මේ කෙලෙස් සහිතව යන ගමනේ භයානකකම වදනින් වූ පුංචි වැරැද්ද, එනම්, ‘ඔය මුඩු මහණන්ගෙන් බණ අසා වැඩක් නැහැ’ කියන වදන පිට වුණා. මේ වදනින් සිදු වූ පාපී අකුසලය විපාකයක් ලෙස බුද්ධත්වයට පත්වෙන්න අවුරුදු හයක් අනේකවිධ දුක් පීඩා විඳිමින් දුෂ්කර ක්‍රියා කළා.


එසේනම්, මේ සියල්ල බුදුන් වහන්සේ ම බුද්ධත්වයට පත්ව වදාළා. ‘මහණෙනි, මේ පෙර කර්මයක්. සංසාරයේ රැස්කරගත් කර්ම විපාක, බුද්ධත්වය ලැබුවත්, පසු පස විපාක වශයෙන් පැමිණියා. එසේනම්, මේ සමාජයේ ජීවත්වන සාමාන්‍ය මිනිසුන් කරන, කියන , සිතන දේ, අපමණ අපරාධ කෙතරම් ද? මේවා සසරේ විඳිමින් යන බලවත් කර්මයන් ලෙස මිනිසුන් කෙතරම් රැස් කර ගන්නවාද? එහි විපාක ඔවුන්ට කෙතරම් කලක් විපාක වශයෙන් විඳින්නට ලැබෙයි’ ද?


බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් අහෝසි කර්ම පෙන්වා වදාළා. එය ඇතැම් මිනිසුන්ට එසේනම්, අප කරගත් කර්ම අහෝසි කරගන්නා ක්‍රමයක් ඇතැ’යි සිතෙන්නට පුළුවනි. ඇතැම් ආගම්වල පව් සමාකර ගන්නවා වගේ අහෝසි කරගන්න පුළුවන් කර්ම ස්වභාවයක් බුදුරජාණන් වහන්සේ දකින්නේ නැහැ. බුදුන් වහන්සේ පෙන්වනවා, ‘මහණෙනි, චේතනාවක් පහළ කරලා යම් කර්මයක් රැස් කරාද, එහි විපාක නොවිඳා ප්‍රහාණය කරන ක්‍රමයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ’ යි සඳහන් වෙනවා.


යම් චේතනාවක් පහළ කර කර්මය රැස් කළොත් එහි විපාක තමන්ට කුමන ක්‍රමයකින් හෝ කැරකී, කැරැකී එනවාම යි. ඒ නිසා පින්වතුනි, අහෝසි කර්ම යනුවෙන් පෙන්වන්නේ ධර්මාවබෝධයත් සමඟ විපාක දෙන පරිසරයක් නැති වීම තුළ අහෝසිවන කොටසක්. ඒ යම්කිසි කෙනෙක් කෙසේ හෝ වීර්යයෙන් භාවනා කර සෝවාන් ඵලයට පත් වුණොත්, ඒ සමඟ ම අපායගාමී අකුසල් සියල්ල ම අහෝසි වෙනවා. ඒ නිසා ඒ උත්තමයා සතර අපායෙන් මිදෙනවා. එපමණක් නොවේ, සෝතාපන්න ඵලයට පත්වූ කෙනාට ආත්ම හතකින් විපාක දෙන යම්තාක් සසරේ කර්ම තිබුණා ද, ඒ සියල්ල අහෝසි වෙයි. එවිට සෝතාපන්න පුද්ගලයාගේ උපත උපරිම ආත්ම හතකට සීමා වෙද්දී ධර්මාවබෝධයත් සමඟ විපාක දෙන පරිසරය නොමැති වීම නිසා එතනින් එහාට විපාක දෙන්න තිබුණු සියලු කර්ම අහෝසි වෙයි.


ඊළඟට බුදුන් වහන්සේ පෙන්වා වදාළේ, කෙනෙක් මේ ජීවිතයේ වේගයෙන් වීර්යය වඩා සකදාගාමී ඵලයට පත් වුණොත්, කාම ලෝකයේ එක වතාවයි උපත ලබන්නේ. කාම ලෝකයේ එතනින් එහා විපාක දෙන කර්ම තිබුණ ද, ඒ සියල්ල අහෝසි වෙයි. ඊළඟට වීර්යය වඩා, භාවනා කළ කෙනෙක් අනාගාමී වුණොත්, එනම්, න – ආගාමී නොහොත් නැවත කාම ලෝකයට එන්නේ නැහැ’යි අර්ථය යි. අනාගාමී තත්ත්වයට පත්වන විට ම කාම ලෝකයේ විපාක දෙන කර්ම සියල්ල ම ඔහුට අහෝසි වෙලා යනවා. ඒ උත්තමයා ශුද්ධාවාස බඹලොව ඉපදී එහි පිරිනිවන් පානවා.


- ජම්මික ප්‍රබෝධනී වැලිකල

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...