Showing posts with label Dhammapada. Show all posts
Showing posts with label Dhammapada. Show all posts

Monday, November 18, 2024

ශාක්‍ය - කොලියයන්ගේ දියදබරය




 දවස තිලෝගුරු සම්මා සම්බුදුරජානන් වහන්සේ අලුයම ලොව බලා වදාරණ සේක් යුදට සැරසී ගත් දෙපස නෑයන් දැක “මා මෙහි නො ගියහොත් මූ හැම දෙන යුදබිම නැසී යන්නාහ, එහෙයින් මා දැන් එහි යා යුතුය” යි සිතා එකලාව ම අහසින් වැඩ රොහිණී ගඟ මැඳ අහසෙහි පලක් බැඳ වැඩ හුන් සේක. යුද පිණිස ගඟබඩ දෙපස රැස් වූ නෑයෝ බුදුරජුන් දැක යුද අවි බිම දමා දොහොත් මුදුන් දී වැඳ සිටියහ. ඉක්බිති බුදුරජානන් වහන්සේ “මහරජුනි! මේ කලහය කුමක් නිසා?” යි විචාළවිට “නො දනිමු ස්වාමීනි!” යි ඔවුහු කීහ. “කවරෙක් දනී දැ?” යි විචාළවිට “සෙනෙවිරද්හු දනිති” යි කීහ. සෙනෙවිරදුන් විවාළ විට “යුවරජහු දනිති” යි කීහ. මෙලෙසින් දස් කම්කරුවන් තෙක් චිචාරා ඔවුන් දියදබරයෙකැ යි කීවිට “මහරජුනි! මෙය දියදබරයෙකැ යි කියත්, එසේ නම් දබරයට මුල් වූ දියත්ත වටිනා කමින් කොතෙක් වටී ද, දිය මිලට ගන්නේ ද නො වේ, වටිනාකම කිය හැක්කේ දිය මිලට ගණිතොත් පමණි, දිය සිඳී බොන්නට නාන්නට දිය නැති ව ගිය කල්හි වුව ද දියෙහි වටිනා කමෙක් නෑ නො වේ දැ” යි වදාළ විට “එසේ ය ස්වාමීනි! දියෙහි වටිනාකමෙක් නැත, දිය සිඳී ගිය කල්හි ද දියෙහි වටිනා කමෙක් නැතැ” යි ඔවුහු කීහ. “එසේ නම් අගයක් නැති දියත්තක් නිසා යුද වැද සිටුනා තොපගෙන් එකක්හුගේ වටිනාකම කොතරම් වේ දැ?” යි ඇසූ කල්හි “තිලෝගුරු හිමියනේ! අප එකක්හුගේ වටිනා කම නො කිය හැකිය, අගය මෙතෙකැ යි පමණ නො කිය හැකිය” යි කීහ. බුදුරජානන් වහන්සේ “එසේ නම් වැඩි වටිනාකමක් නැති වටිතත් තුට්ටුවක් තරමිනුත් නො වටිනා දියත්තක් නිසා පමණ නො කටහැකි අගය ඇති එක් රජදරු කෙනෙකුන් වුව ද මේ නිසා නැසී ගියහොත් එය තොපට තරම් දැ” යි අසා වදාළ සේක. එහිදී ඔවුහු සැම දෙන නිහඬ වූහ. බුදුරජානන් වහන්සේ ඔවුන් අමතා “මහරජුනි! කුමක් නිසා මෙබඳු නො සුදුසු ගැරහිය යුතු කරුණක් ඉදිරියට ගෙණ අවි ගැටුම් දිවිනැසුම් කරන්නහු ද, මම දැන් මෙහි නො ආයෙම් නම් අද මෙහි මේ ගඟ ලේගඟක් වනු එකාන්ත ය, තෙපි ඉදිරිපත් වූවහු අයුත්තක් අපරාධයක් කරන්නට ය, තෙපි උනුන් කෙරෙහි වෛරී ව වසන්නහු ය, මම වෛර නැත්තෙම් වෙමි, තෙපි කෙලෙස් ලෙඩින් පීඩිත ව වසන්නහු ය, මම කෙලෙස් ලෙඩින් නො ද පීඩිත වෙමි, තෙපි සසර දිග් ගසන පස්කම් බැඳුම් සෙවුමෙහි උත්සාහ ඇති ව වසන්නහු ය, මම එහි උත්සාහ රහිත ව වසමි” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.

සුසුඛං වත ජීවාම වෙරිනෙසු අවෙරිනො,

වෙරිනෙසු මනුස්සෙසු විහරාම අවෙරිනො.

.

සුසුඛං වත ජීවාම ආතුරෙසු අනාතුරා,

ආතුරෙසු මනුස්සෙසු, විහරාම අනාතුරා.

.

සුසුඛං වත ජීවාම උස්සුකෙසු අනුස්සුකා

උස්සුකෙසු මනුස්සෙසු විහරාම අනුස්සුකා.

වෛර ඇති මිනිසුන් අතුරෙහි අවෛරි වූ අපි, මිනිසුන් වෛර ඇතිව වසන කල්හි අවෛරී ව වසමු ද, (ඒ අපි) එකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වන්නෙමු.

ආතුර වූවන් අතුරෙහි නො ද ආතුර වූ අපි, මිනිසුන් ආතුර ව වසන කල්හි අනාතුර ම වසමු ද, (ඒ අපි) එකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වන්නෙමු.

උත්සාහ ඇත්තවුන් අතුරෙහි උත්සාහ රහිත වූ අපි, මිනිසුන් උත්සාහ ඇති ව වසන කල්හි උත්සාහ රහිත ව වසමු ද, (ඒ අපි) එකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වන්නෙමු.

Sunday, November 26, 2023

රන් සෑයෙක්

රන් සෑයෙක්

පූජාරහෙ පූජයතො බුද්ධෙ යදි ව සාවකෙ

පපඤ්චසමතික්කන්තෙ තිණ්ණසොකපරිද්දවෙ.

(ආමිස ප්‍රතිපත්ති දෙකින්) පිදීමට සුදුසු වූ, (තෘෂ්ණා දෘෂ්ටි මාන යන තුන්) ප්‍රපංචයන් මොනොවට ඉක්මියා වූ, ඉක්ම ගිය ශෝක පරිද්‍රව ඇති (හෙවත් ශෝකපරිද්‍රව දුඃඛයෙන් එතෙර ට ගියා වූ) බුදු පසේබුදුන් ද නොහොත් බුදුසව්වන් ද වන්‍දනමානනාදියෙන් සිවු පසයෙනුත් යමෙක් පුදා ද,

තෙ තාදිසෙ පූජයතො නිබ්බුතෙ අකුතොභයෙ

න සක්කා පුඤ්ඤං සඞ්ඛාතුං ඉමෙත්තමපි කෙනචි.

රාගාදි කෙලෙස්ගිනි නිවීමෙන් නිවුනු සිත් ඇති, කිසි බියෙකින් වත් අරමුණෙකින් වත් උවදුරක් නැත්තා වූ, එ බඳු (හෙවත් මෙකී ගුණෙන් යුත්) ඒ බුදු පසේබුදු සව්වන් (දිවමන් කල්හි ද පිරිනිවි කල්හි ද) පුදන්නහුගේ පින්කම් මේ මෙතෙකැ යි ගණින්නට කිසි පුද්ගලයකු විසිනුදු නො පිළිවනි.

සම්මා සම්බුදුරජානන් වහන්සේ දවසෙක සැවැතින් නික්ම බරණැස බලා මහාභික්‍ෂුසඞ්ඝයා පිරිවර කොට ඇති ව වඩිනා සේක්, අතරමග තොදෙය්‍ය ගම සමීපයෙහි වූ එක්තරා දෙවොලකට ගොඩවැද අනඳ තෙරුන් යවා ඒ අසල ගොවිකම් කරමින් හුන් බමුණකු කැඳවා ලූ සේක. එ බමුණු පැමිණ බුදුරජුන් නො වැඳ එහි දෙවොල වැඳ සිටියේ ය. එකල්හි බුදුරජානන් වහන්සේ ද “බමුණ! මේ පෙදෙස කිමැ යි හඟනෙහි දැ?” යි අසා වදාළ සේක. ඔහු “මෙ තැන අපගේ පරපුරෙන් ආ සෑ තැනෙකි, භවත් ගෞතමයන් වහන්ස! ඒ නිසා වඳිමි” යි පිළිතුරු දින. බුදුරජානන් වහන්සේ “තා විසින් කළ සෑ වැඳීම ඉතා අගනේ ය, මෙ තැන වඳින තා විසින් කරන ලද්දේ ඉතා යහපත් ක්‍රියාවකැ”යි බමුණා සතුටු කළ සේක. ඒ වේලෙහි එහි හුන් භික්‍ෂූන් වහන්සේ බුදුරජානන් වහන්සේ බමුණාට කළ ස්තුතිය අසා “කුමක් නිසා භාග්‍යවතුන් වහන්සේ මොහුට මෙබඳු උසස් පැසසීමක් කළ සේක් දැ” යි සැකයක් ඉපද වූහ. ඉක්බිති බුදුරජානන් වහන්සේ ඒ භික්‍ෂූන් ගේ සැකය දුරු කරණු පිණිස මැදුම්සඟියෙහි ආ ඝටීකාර සූත්‍රය වදාළ සේක. නැවැත ස්වකීය ඍද්ධ්‍යනුභාවයෙන් කසුප් බුදුරජුන්ගේ යොත්නක් උස් වූ රන්සෑය අනෙක් රන්සෑයක් කොට අහසැ මවා මහාජනයාට දැක්වූ සේක. “බමුණ! මෙසේ කිරීම, පිදිය යුත්තන්ට පිදීම ඉතා සුදුසු ය” යි වදාරා මහාපරිනිර්‍වාණ සූත්‍රයෙහි වදාළ ලෙසින් ම බුද්ධාදී වූ චතුර්විධස්තුපාර්‍හයන් මේ මේ ය යි පැහැදිලි කොට දුන්හ. නැවත එහිදී ශාරීරික - උද්දෙසික - පාරිභෝගික යන ත්‍රිවිධ චෛත්‍යයන් වෙසෙසින් දක්වා මේ ධර්‍මදේශනාව ද කළ සේක.

පූජාරහෙ පූජයතො බුද්ධෙ යදි ච සාවකෙ,

පපඤ්චසමතික්කන්තෙ තිණ්ණසොකපරිද්දවෙ,

.

තෙ තාදිසෙ පූජයතො නිබ්බුතෙ අකුතෝ භයෙ,

න සක්කා පුඤ්ඤං සඞ්ඛාතුං ඉමෙත්තමිති කෙනචීති.

පූජාවට සුදුසු වූ ප්‍රපඤ්චයන් ඉක්මවා ගිය ඉක්මවාලු ශෝක පරිදේවයන් ඇති බුදුවරුන් ද නොහොත් බුදු සව්වන් ද (යමෙක්) පුදා ද, නිවුනු සිත් ඇති කොතැනිනුත් බියරහිත වූ එබඳු පුද්ගලයන් පුදන්නහුගේ පිණ මේ මෙතෙකැ යි ගණින්නට කිසිවකුටත් නො හැකි ය.

පූජාරහෙ = පිදීමට සුදුසු වූ. පිදිය යුතු වූ.

ආමිෂපූජා-ප්‍රතිපත්තිපූජා යි ඉතා කොටින් පූජා දෙකෙකි. විස්තර මතු එන්නේ ය. ඒ දෙ පරිදි වූ ම පූජාවන්ට සුදුසු වූවෝ කවරහු ද, යනු ගාථායෙහි එන අනෙක් පදයන්ගෙන් මතු වන්නේ ය.

පූජයතො = පුදා ද.

 ශබ්ද ප්‍රථමා විභක්ති එකවචනය වූ ‘යො’ යනු අපේක්‍ෂා කොට සිටියේ ය.

බුද්ධෙ = බුදුවරුන්ද. [1]

සාවකෙ = බුදුසව්වන් ද. [2]

පපඤ්චසමතික්කන්තෙ = ප්‍රපඤ්චයන් ඉක්මවා ගිය.

පපඤ්ච නම්, තෘෂ්ණාදෘෂ්ටිමානයෝ ය. තෘෂ්ණාදෘෂ්ටිමානයෝ සත්ත්‍වයන් සසර බොහෝ කල් තබත්නු යි පපඤ්ච නම් වෙත්. “පපඤ්චෙන්ති සත්තෙ සංසාරෙ චිරං ඨපෙන්තීති = පපඤ්චා” යනු විවෘති යි. සත්ත්‍වයන් සසර මත් වූවන් සේ පමාවූවන් සේ තබත්නු යි ද පපඤ්ච. මේ ඒ කියූ සැටි:- “පපඤ්චෙන්ති සත්තෙ මත්තපමත්තාකාරෙනාති = පපඤ්චා” යි. තෘෂ්ණා දෘෂ්ටි මානයන්ගේ විස්තර යට කියන ලදි. ප්‍රපඤ්චසඞ්ඛ්‍යාත තෘෂ්ණා දෘෂ්ටි මානයන් ඉක්මවා ගියෝ ආර්‍ය්‍යයන් වහන්සේ ය. උන්වහන්සේ ස්‍රෝතාපත්ත්‍යාදී ආර්‍ය්‍යමාර්‍ගඥානයෙන් ඔවුන් ඉක්මවා ගියහ. එහෙයින් ආර්‍ය්‍යයෝ පපඤ්චසමතික්කන්ත නම්.

තිණ්ණසොක පරිද්දවෙ = තරණය කළ ශොක පරිදෙවයන් ඇති. පරිදෙවයන් නැසූ.

ශෝක පරිදේව විස්තරය කියන ලද්දේ ය. ශෝක පරිදේව ද නැසිය යුත්තේ තරණය කළ යුත්තේ මාර්‍ගඥානයෙනි.

තෙ තාදිසෙ = එබඳු වූ ඔවුන්.

බුදු-පසේබුදු-මහරහතුන් වහන්සේ ගැණෙත්.

පූජයතො = පුදන්නහුට, නැත, පුදන්නහුගේ.

නිබ්බුතෙ = නිවී ගිය සිත් ඇති.

රාග - දෝස - මෝහ - ජාති - ජරා - මරණ - සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාස යන මොවුන් සත්ත්‍වයන් දවාලන කෙලෙස් ගිනි ය. මේ ගිනිවලින් නො දැවෙන එක ද පෘථග්ජනයෙක්, ලෝකයෙහි කො තැනකත් නැත්තේ ය. මුළු සත්ත්‍වලෝකය දිවා රෑ දෙක්හි අතර නො තබා ම ඇවිළ දන්නේ ය. මේ ගිනි නිවීම වන්නේ ආර්‍ය්‍යමාර්‍ගඥානප්‍රතිලාභයෙනි. එහෙයින් මේ ගිනි නිවුවෝ ආර්‍ය්‍යමාර්‍ගඥානප්‍රතිලාභයෙන් කෘතකෘත්‍ය වූ ආර්‍ය්‍යයන් වහන්සේ ය. බුද්ධාදි උත්තමයෝ ය. උන්වහන්සේ ය නිබ්බුත. කෙලෙස්ගිනි මුළුමනින් නිවාලූ බැවිනි.

අකුතො භයෙ = කො තැනිනුදු බිය රහිත වූ.

දිව්‍ය - බ්‍රහ්ම - මනුෂ්‍ය - නරක - තිර්‍ය්‍යක් - ප්‍රේත - අසුර යන මේ කිසිතැනකින් අරමුණෙකින් ඉපැදුම් - පෙළුම් - දිරුම් - මැරුම් ඈ කිසි පෙරැළියෙකින් නො බිය වන්නෝ බිය නැත්තෝ ලෝකාතීත වූ බුද්ධාදි ආර්‍ය්‍යයන් වහන්සේ ය. එසේ ම ලෝකධර්‍මයන් ගෙන් නො තැවෙන්නෝ නො ද සැලෙන්නෝ මුන්වහන්සේ ය. එහෙයින් මුන්වහන්සේ අකුතො භය නම් වෙත්.

ප්‍රථම ගාථායෙහි එන පූජාරහෙ - පපඤ්චසමතික්කන්තෙ - තිණ්ණසොකපරිද්දවෙ යන තෙ පදය එක් ව බුද්ධ - සාවකෙ යන දෙ පදයට විශේෂණ විසින් සිටියේ ය. ද්වීතීය ගාථායෙහි එන තාදිසෙ - නිබ්බුතෙ - අකුතො භයෙ යන තෙ පදය තෙ යන්නට විශේෂණව සිටියේ ය.

න සක්කා පුඤ්ඤං සඞ්ඛාතුං ඉමෙත්තමිති කෙන චි = පිණ මේ මෙතෙකැ යි ගණන්නට කිසිවකු විසිනුදු නො හැකි ය. පිණ ගණින්නට කිසිවකුටත් නො හැකි ය. පිණෙහි අණ ගුණ යට කියන ලදි.

පිදිය යුතු වූ, ඉක්මවා සිටි ප්‍රපඤ්ච ඇති එතෙර කළ ශෝක පරිදේව ඇති බුදුවරුන් බුදුසව්වන් යමෙක් පුදා ද, නිවුනු රාගාදි ගිනි ඇති කො තැනිනුත් බිය නැති එබඳු පුද්ගලයන් වඳින්නහුට පුදන්නහුට ගැබෙන පිණ, පිණෙහි පමණ මේ මෙතෙකැයි කිය හැක්කෙක් ලෝකයෙහි නැත්තේ ය. දෙවියකු විසින් බ්‍රහ්මයකු විසින් මාරයකු විසින් මනුෂ්‍යයකු විසින් ඒ ලැබෙන පිහි පමණ නො කිය හැකි ය. මෙබඳු ගුණවත් මහා පුරුෂයන් ජීවත් ව ඉන්ද දී හෝ පිරිනිවී ගිය කල්හි හෝ, වඳින පුදන කල්හි, ඒ වඳින්නහුට පුදන්නහුට තම සිත සම සේ පිහිටුවා ගත හැකි නම් ඔවුනට ලැබෙන විපාක ඵලය සමාන වේ. බුද්ධාදී වූ උතුමන් කෙරෙහි වන චිත්තප්‍රසාද හේතුවෙන් පමණකුත් සත්ත්‍වයෝ සුගතියට යන්නාහ.

බුදුරජානන් වහන්සේ රජගහ නුවර වෙළුවනාරාමයෙහි වැඩ වසනා දවසෙක ඉතා අලුයම් කාලයෙහි බුදුරජුන් විසින් පුරුදු පුහුණු කළ මහාකරුණා සමාපත්තියට සමවැදී එයින් නැගී සිට, ලොව බලා වදාළ සේක්, එනුවර සැඩොල් ගෙයක වසන එක් සැඩොල් මැහැල්ලියක දුටු සේක. දැක ඇය කෙරෙහි නැගුනු මහත් කරුණා ඇති බුදුරජානන් වහන්සේ තමන් වහන්සේගේ නුවණැස යොදා බලන සේක්, ඇය ආයු ගෙවී ඇති බැවින් හා නිරයෙහි උපදවන පෙර කළ අකුශල කර්‍මයක් විපාකදාන අවස්ථාවට එළඹ සිටුනා බැවින් අදම කලුරිය කොට අපායයෙහි උපදනා බව දැන, ඇය ලවා දෙව්ලොව ඉපදීමට කරුණු වන කුශලකර්‍මයක් කරවන්නට මහණගණයාත් පිරිවරා ගෙණ රජගහනුවර පිඩු සිඟා වැඩි සේක. සැඩොලිය ද සැරයටිකොණ එල්බ කොළපතක් අතට ගෙණ නුවරින් බැහැර යන්නී බුදුරජුන් දැක ඒ දෙසට මූණ දී සිටියා ය. බුදුරජානන් වහන්සේ ඇයගේ ගමන් වළකන්නා සේ ඇය ඉදිරියෙහි වැඩ සිටි සේක. එකල්හි ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන මහාස්ථවිරයන් වහන්සේ බුදුරජානන් වහන්සේගේ අදහස් දැන ආයු ගෙවී ගිය බැගෑපත් සැඩොල් මැහැල්ලිය ද දැක ඈ ලවා බුදුරජුන්ගේ පා වන්දවනු පිණිස මහත් කරුණායෙන් මෙසේ වදාළ සේක:-

“සැඩොලිය! මුන්වහන්සේ එසේ මෙසේ කෙනෙක් නො වෙත්, මුන්වහන්සේ සියලු මුනිවරයන්ට උතුම් වූ සියල්ල දත් මහාකාරුණික වූ ගෞතම බුදුරජානන් වහන්සේ ය, තී කෙරෙහි මහත් අනුකම්පායෙන් නුවරට නො වැඩ තිට පරලොවින් යහ පතක් කරනු සඳහා මහසඟුන් පිරිවරා ගෙණ මෙහි වැඩ සිටින සේක, දෙවිමිනිසුන් විසින් කරණු ලබන කුදුමහත් පූජා, මහත් විපාක ඇත්තක් කිරීමෙහි සමර්‍ත්‍ථ වූ මුන්වහන්සේ කෙරෙහි සිත පහදා ගණුව, තීගේ ජීවිතය පවත්නා කාලය ඉතා සුලු ය, වැඩි කල් නො පවත්නේ ය, එය දැන් බිඳ වැටෙනු ඇත, එහෙයින් දොහොත් මුදුන් දී බුදුරජානන් වහන්සේගේ සිරිපා වහා වදුව” යි.

සැඩොලිය එ බස් අසා හටගත් වෙවුලුම් ඇත්තේ පහන් සිතින් පසඟ පිහිටුවා වැඳ බුදුරජුන් කෙරෙහි වූ ප්‍රීතියෙන් එකඟ වූ සිත් ඇති ව සිටියා ය. බුදුරජානන් වහන්සේ ද සැඩොලිය තමන් වහන්සේ කෙරෙහි පහන් ව ගිය බව දැන මෙය මෑට දෙව්ලොව ඉපදීමට පමණැ යි මහණගණයාත් ගෙණ නුවර පිඬු සිඟා වැඩිසේක. ඒ වේලෙහි අලුත වැදු ගව දෙනක් වසුපැටියාත් සමග එ තැනින් දුවන්නී බුදුරජුන් වෙත ම බැල්ම හෙලා සිටි මැහැල්ලට අඟින් ඇණ ඇය ජීවිතක්‍ෂයට පත් කළා ය. එකෙණහි ඕ තොමෝ බුදුරජුන් කෙරෙහි කළ චිත්තප්‍රසාදමාත්‍ර හේතුවෙන් තව්තිසා දෙව් ලොව මහත් වූ රන් විමනෙක දෙවඟනන් සිය දහසක් පිරිවර කොටි උපන්නී ය. එසේ උපත ලැබූ ඒ දෙව්දු තොමෝ තමන්ගේ දිවඉසුරු බලා උදම්ව “මම කිනම් කුසලයක් කොට මෙබඳු මහත් දෙව් සැපතක් ලැබීම් දැ” යි බලන්නී මුගලන් මහා තෙරුන්ගේ නියමයෙන් බුදුරජුන්ගේ සිරිපා වැඳ උන්වහන්සේ කෙරෙහි කළ චිත්ත ප්‍රසාදමාත්‍රයෙන් ලදැ යි දැක බුදුරජුන්ගේ හා මහාතෙරුන්ගේ ගුණ සිහි කොට “මහා තෙරුන් දක්නට යෙමි” යි සිතා විමානය සමග මිනිස් ලොවට අවුත් මහතෙරුන් කරා එළැඹ විමන අහස්හි රඳවා විමනින් බැස, “මහාවීරයන් වහන්ස! දිව්‍යද්ධිර්යට පැමිණි මම මේ වනයෙහි එකලාව වැඩ හිඳනා ක්‍ෂය කළ ආශ්‍රව ඇති පහ වූ රාගාදිරජස් ඒ ඇති තෘෂ්ණාරහිත වූ මහත් අනුභාව ඇති ඔබ වහන්සේ වඳිමි” යි වැඳ සිටියා ය.

එකල්හි මුගලන් මහා තෙරණුවන් “මා වඳින තී කවරහ” යි අසා වදාළ විට “ස්වාමීනි! එදා ඔබ වහන්සේ විසින් බුදුරජුන්ගේ පා වඳුව යි නියෝග කරන ලද මම මහත් ප්‍රසාදයෙන් උන්වහන්සේගේ පා වැඳ සිටි සැඩොල් මැහැලිය වෙමි, එ කෙණෙහි ම කුළු දෙනක විසින් ඇණ මරණ ලද්දී දැන් තව්තිසා දෙව්ලොව රන් විමනෙක ඉපිද සිටිමි, සියදහසක් දෙවඟනෝ මට පිරිවරව සිටිත්, ඒ හැම එකියකට ම වඩා මම. සිරුරු පැහැයෙන් හා පිරිවර සැපතින් ප්‍රධාන වෙමි, මේ මහත් සැපත ලැබීමට මම ලොකු පින් කමක් නො කෙළෙමි, මේ සැපත ලැබීමට කරුණු වූයේ පින්වතුන් වහන්සේගේ නියෝගයෙන් මග වඩනා බුදු රජානන් වහන්සේගේ පා වැඳ උන්වහන්සේ කෙරෙහි කළ චිත්ත ප්‍රසාදමාත්‍රය” යි කියා ඒ දෙව්දු තොමෝ දෙව්ලොවට ගියා ය.

මේ ඒ දෙව්දුවගේ ප්‍රකාශය පොතෙහි ආ සැටි:-

“අහං භදන්තෙ චණ්ඩාලී තයා වීරෙන පෙසිතා,

වන්‍දිං අරහතො පාදෙ ගොතමස්ස යසස්සිනො.

.

සාහං වන්‍දිත්‍ව පාදානි චුතා චණ්ඩාලයොනියා,

විමානං සබ්බතො භද්දං උපපන්නම්භි නන්‍දනං.

.

අච්ඡරානං සතසහස්සං පුරක්ඛත්‍වාන තිට්ඨති,

තාසාහං පවරා සෙට්ඨා වණ්ණෙන යස්සා යුතා.

.

පහූතකතකල්‍යාණා සම්පජානා පතිස්සතා,

මුනිං කාරුණිකං ලොකෙ තං භන්තෙ වන්‍දිතුමාගතාති”

තමන් වෙත අලුත උපන් දෙව්දුවක දැක සක්දෙව්රජ තෙමේ “සොඳුර! තී පෙර මිනිසත් බවේදී කිනම් කුසලයක් කෙළෙහි ද? මේ මහත් දිව්‍ය විපාකය කිනම් කුශලකර්‍මයක් කොට ලද දැ?” යි. ඇසී ය. “සක්දෙව්රජතුමනි! මම එදා රජගහනුවර එක්තරා ගැහැණියක් වීමි, ඒ මම ඉතා උදෑසන නින්දෙන් නැගිට මුණකට සෝදා ගෙයි කටයුතු කොට පිරිසිදුව ඇඳ පැලඳ ගෙණ වැටකොලු මල් සතරක් කඩා ගෙන අජාසත් රජු විසින් බුදුරජුන් පිරිනිවි කල්හි බුදුරජුන්ගේ සිරුරුද නිදන් කොට ගොඩ නැගු දාගැබට පුදනට මග බැස ගියෙමි, වටපිට නො බලා බුදුගුණ සිහි කරමින් මග බැස ගිය මා වෙතට දුව ආ දෙනකු විසින් දුන් අං පහරින් මම එතැන ම මැරී වැටුනෙමි, දාගැබට මල් පුදන්නට නො හැකි වීමි, ඒ මල් දා පුදන්නට සිතා ගත් පමණින් මේ මහත් සැපත ලැබීමි, ඉදින් මල් පුදන්නට ඉඩ ලැබුනේ නම්, මෙයට වඩා මහත් සැපතක් ලබනු එකාන්තය” යි ඒ දෙව්දූ තොමෝ කීවා ය.

මේ දෙව් දුව කී සැටි:-

“කොසාතකී නාම ලතත්‍ථි භන්තෙ, තිත්තිකා අනභිච්ඡිතා,

තස්සා චත්තාරි පුප්ඵානි, ථූපං අභිහරිං අහං.

.

සත්‍ථු සරීරමුද්දිස්ස, විප්පසන්නෙන චෙතසා,

නාස්ස මග්ගං අවෙක්ඛිස්සං, න තග්ගමනසා සතී.

.

තතො මං අවධී ගාවී, ථූපං අපත්තමානසං,

තඤ්චාහං අභිසඤ්චෙය්‍යං, භිය්‍යො නූන ඉතො සියා.

.

තෙන කම්මෙන දෙවින්‍ද, මඝවා දෙවකුඤ්ජර,

පහාය මානුසං දෙහං, තව සහබ්‍යමාගතා”

එකල්හි සක්දෙව්රජ තෙමේ මාතලී දෙව්පුත් අමතා “මාතලි! පුදුමයෙක්, මේ විසිතුරු වූ කර්‍මවිපාකය බලව, ටික විසිනුදු කළ කුශලකර්‍මය මහත් ඵල ඇත්තේ ය, තථාගත වූ සම්බුදු රජුන් කෙරෙහි හෝ උන්වහන්සේගේ සව්වකු කෙරෙහි හෝ සිත පහන් කල්හි දක්‍ෂිණාව ස්වල්ප නො වන්නී ය, මාතලි! එව, අපි වඩ වඩාත් තථාගතයන් වහන්සේගේ ධාතූන් පුදමු, එහිලා මඳකුදු පසුබට විය යුතු නොවේ, පින් රැස් කිරීම සැප යි, බුදුරජුන් දිවමන් කල්හි හෝ පිරිනිවී කල්හි උන්වහන්සේ කෙරෙහි සිත පහන් කල්හි සම වූ විපාක වන්නේ ය, යම් තැනක පුද සැලකිලි කොට සත්ත්‍වයෝ සග සැපටත් නිවන් සැපටත් යත් ද, තථාගතයන් වහන්සේ ඒ හේතුයෙන් බොහෝ දෙනාට හිත සැප පිණිස ලොව පහළ වන්නාහ” යි කී ය.

එදා සැඩොල් මැහැල්ලියක් ව සිටි මැයට මේ මහත් උදාර වූ දෙව්සැපත ලැබීමට කරුණු වූයේ අතර මග දී දිවමන් බුදුරජුන් සියැසින් දැක උන්වහන්සේගේ මහත් ගුණයෙහි ඉපද වූ චිත්ත ප්‍රසාදමාත්‍රය යි.

එදා එක්තරා කුලගෙයක ඉපද සිටි මැයට මේ මහත් උදාර වූ දෙව්සැපත ලැබීමට කරුණු වූයේ සිරුරුදා නිදන් කොට කළ දාගැබක් මලින් පුදන්නට කළ චිත්තොත්පාදය යි. මේ දෙ දෙනාගේ චිත්තප්‍රසාදයත් චිත්තොත්පාදයත් දෙක ම බුදුරජුන් අරමුණු කොට වී ය. පිරිනිවි බුදුරජුන් කෙරෙහි හෝ පිරිනිවි බුදුසව්වෙකු කෙරෙහි හෝ සියැසින් නො දැක ද චිත්තප්‍රසාද මාත්‍රයෙන් දිව සැපත් ලැබීම සසුන් පිළිවෙතෙහි නො වඳ බව කියාලන්නේ ය.

බුදු සව්වන් කෙරෙහි සැදෑ සිතින් කරණ සත්කාරයෙහි ඉෂ්ට විපාකය බලනු මැනැවි.

 රජගහනුවර වැසි එක්තරා සැදැහැති උපාසකයෙක් සඞ්ඝයා උදෙසා නිතිබත් සතරක් දෙන්නට නියම කොට එය සකස් කොට දෙන්නේ ය. ඔහුගේ ගෙය පිහිටි පෙදෙස නිතර සොරුන් හැසිරෙන පෙදෙසක් වූ බැවින් සොරුන්ගෙන් උවදුරු වේ ය යන බියෙන් ඒ වළකාලනු පිණිස නිතර ගෙයි දොර වසා තබන්නේ ය. මේ නිසා සිඟා වඩනා භික්‍ෂූන් වහන්සේ ඇතැම් දවසක එහි පිඬු සිඟා වැඩියාහු ද පිඬු නො ලැබ හැරී එන්නාහ. දවසක් උපාසක තෙමේ “සොඳුර! කිම අපගේ ස්වාමීන් වහන්සේ පිඬු සිඟා මෙහි වඩනා සේක් ද? උන්වහන්සේට භික්‍ෂාව පිරි නමන්නී දැ” යි සිය බිරිය අතින් විචාළේ ය. එවිට ඕ තොමෝ “හිමියෙනි! ඇතැම් දවස්හි උන්වහන්සේ මෙහි නො වඩිනා සේක, ඒ නො වඩිනා දවස්වල දන් පිරිනමන්නට නො ලැබේ ය” යි කිවු ය. “මා නිතිබත් සතරක් පිළියෙල කොට තිබිය දී උන්වහන්සේ දිනපතා මෙහි නො වඩින්නේ කුමක් නිසා දැ” යි උපාසකයා ඇසූ විට “දිනපතා වාගේ මේ ගෙයි දොර වසා තිබෙන බැවින් උන්වහන්සේ එසේ නො වඩිනු ඇතැ” යි උපාසිකා තොමෝ කිවා ය. උපාසක මේ අසා මහත් සංවේගයට පැමිණ එක් මිනිසකු දොරටුපල්ලකු කොට එහි සිටුවා “තමුසේ අද පටන් මේ ගෙය රැක බලා ගෙණ මෙහි නැවතී සිටිය යුතු ය, පිඬු සිඟා වඩිනා ස්වාමීන් වහන්සේ මේ ගෙට වැඩියා ම දොර හැර උන්වහන්සේ ගෙය තුළට වැඩම කරවා පාත්‍රය පිළිගෙන අසුන් පැණවීම් පා දෙවීම් ඈ සියලු වතාවත් දැන මැනැවින් කළ යුතු ය” යි නියම කෙළේ ය. දොරටුපල් තෙමේ “මැනැවැ” යි එය පිළිගෙණ එතැන් පටන් එසේ කරණුයේ ගෙට වඩිනා භික්‍ෂූන් වහන්සේට වතාවත් කොට දන් පිළිගන්වා අවසානයෙහි උන්වහන්සේ වෙතින් බණ අසා උපන් සැදෑ ඇතියේ කම්පල අදහා සරණසිල් පන්සිල්හි පිහිටා ගත්තේ ය. කලක් ගෙවී ගිය තැන මිය ගොස් යාම දේවලෝකයෙහි උපන්නේ ය. දොරටුපල්ලා අනුන්ගේ දානයෙහි වතාවත් කිරීමෙන් හා එහි පින් අනුමෝදන් වීමෙන් මිය ගොස් තව්තිසා දෙව්ලොව උපන්නේ ය. ඔහුට එහි සොළොස් යොදුන් පමණ වූ රන් විමනෙක් පහළ වී ය.

දවසෙක දෙව්ලොව චාරිකායෙහි වැඩම කළ මුගලන් මහා තෙරුන්ට හමු වූ මේ දෙව්පුත් තෙමේ “ස්වාමීනි! මෙහි ඉපැත්මට මා කළ පින්කම උපාසකයාගේ ගෙට වඩනා බුදුසව්වනට අසුන් පණවා දී, මෙහි වැඩ හිඳිනු මැනැව, ආර්‍ය්‍යයන්ගේ ආරෝග්‍යය කෙසේ ද? වසන තැන් සුවපහසු කම් ඇත්තේ දැ? යි පැවැත් වූ පටිසන්‍ථාර කථාමාත්‍රය හා, මොවුහු බ්‍රහ්මචාරීහු ය, ධර්‍මචාරීහු ය, සිල්වත්හ යි යන ඈ විසින් සිතෙහි පැවැති ප්‍රසාදමාත්‍රය” යි දන්වා සිටියේ ය.

මේ දෙව්පුත්හුගේ ප්‍රකාශය:-

“දිබ්බං මමං වස්සසහස්සමායු

වාචාභිගීතං මනසා පවත්තිතං,

එත්තාවතා ඨස්සති පුඤ්ඤකම්මො

දිබ්බෙහි කාමෙහි සමඞ්ගිභූතො” යි.

බණපොතෙහි ආ මේ ද දන්නේ ය.

“තිට්ඨන්තෙ නිබ්බුතෙ චාපි සමෙ චිත්තෙ සමං ඵලං,

චෙතො පණිධිහෙතූහි සත්තා ගච්ඡන්ති සුග්ගතිං

බහුන්නං වත අත්‍ථාය උප්පජ්ජන්ති තථාගතා,

යත්‍ථ කාරං කරිත්‍වාන සග්ගං ගච්ඡන්ති දායකා”

එහෙයින් තෙරුවන් ගුණ සලකා පහන් සිතින් කරණ කුදු මහත් හැම පිදිවිල්ලක් ම විපාකදානයෙන් මහත් වන බැවින් කරණ කුසලය කුඩා ය යි කිසිවකු විසිනුත් පින් කිරීමට පසු බට නො විය යුතු ය. පිණට අවමන් නො කළ යුතු ය. දෙවියන්ගේ හෝ මිනිසුන්ගේ ජීවිතය වැඩී යනුයේ පින් කළ තරමටැ යි දැන පින් කළ යුතු ය. යහතින් දිවි ගෙවන්නට නම් තෙරුවන් කෙරෙහි පහන් සිත් ඇතිව පින් කළ යුතු ය.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ බමුණු තෙමේ සෝවන් වූයේ ය. යොත්නක් පමණ වූ රන්සෑය සත් දවසක් අහස ම රැඳී සිටියේ ය. එහි රැස් වූ මහාජනකාය ද ඉතා මහත් වී ය. ඔවුහු සතිය මුළුල්ලෙහි නොයෙක් අයුරින් සෑය පිදූහ. එහි රැස්ව හුන් මිසදිටු ගත්තවුන්ගේ මිසදිටු ද බිඳී ගියේ ය. සතිය කෙළවර සෑය බුදුරජුන්ගේ ආනුභාවයෙන් තුබූ තැන ම පිහිටා ගත්තේ ය. රන්සෑය පිහිටා තිබූ තැන එ කෙණෙහි ම ගල්සෑයෙක් පහළ ව සිට ගතු. ඒ මහාජනසමාගමයෙහි අසූසාර දහසක් දෙනාහට ධර්‍මාවබෝධය වූයේ ය.

ස්වර්‍ණචෛත්‍ය වස්තුව නිමි.

Tuesday, November 14, 2023

බොහෝ භික්‍ෂූන් එක්ව කළ කථාවක්


සුඛො බුද්ධානං උප්පාදො සුඛා සද්ධම්මදෙසනා

සුඛා සඞ්ඝස්ස සාමග්ගී සමග්ගානං තපො සුඛො.

සම්‍යක්සම්බුද්ධවරයන්ගේ ඉපැද්ම සුවයට කාරණ ය. සද්ධර්‍මදේශනාව ද සුවයට කාරණ ය. ඝඞ්ඝයා ගේ සමග බව ද (එක් සිත් බව ද) සුවයට කාරණ ය. සමග වූ භික්‍ෂූන් ගේ තපස ද (බුඞවචනය උගන්නට ද ධූතාංග පරිහරණයට ද මහණදම් රක්නට ද පිළිවන් හෙයින්) සුවට කාරණ ය.


එක් දවසක් පන් සියයක් පමණ භික්‍ෂුහු උවැටන්හලෙහි රැස් ව “ඇවැත්නි! මේ ලෝකයෙහි සැපය කුමක් දැ” යි කතාවක් ඉපදවුහ. එහි සමහරු “රජසැපය තරම් සැපයෙක් නැතැ” යි කීහ. සමහරු “කම් සැපය තරම් සැපයෙක් නැතැ” යි කීහ. මේ අතර එහි වැඩම කළ භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “මහණෙනි! තමුසේලා මා මෙහි එන්නට පෙරාතුව කුමක් ගැන කතා කරමින් හුන්නහු දැ?” යි අසා වදාළ සේක. ඔවුන් “ස්වාමිනි! අපි මේ ලෝකයෙහි ඇති සැපය කුමක් දැ යි කතා කරමින් හුන්නමෝ ය” යි කී කල්හි “මහණෙනි! තමුසේලා කුමක් කියහු ද? මේ තමුසේලා කියන හැම සැපයක් ම සසර දුකෙහි ගැලී සිටියේ ම ය, මේ ලෝකයෙහි ඇති සැපය නම් බුද්ධෝත්පාදය ධර්‍මශ්‍රවණය සඞ්ඝසාමග්‍රිය යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.

සුඛො බුද්ධානං උප්පාදො සුඛා සද්ධම්මදෙසනා

සුඛා සඞ්ඝස්ස සාමග්ගී සමග්ගානං තපො සුඛො ති.

බුදුවරුන්ගේ ඉපදීම සැපයි. සද්ධර්‍මදේශනා සැපයි. සඞ්ඝයාගේ සාමග්‍රිය සැප යි. සමග වූවන්ට තපස සැප යි.

සුඛො බුදධානං උප්පාදො = බුදුවරුන්ගේ උපත සැප ය.

මෙහි සුඛ ශබ්දය, සුඛො-සුඛා යි සිටියේ තිලිඟු බැවිනි. සුඛං යි නපුංසකලිඞ්ගයෙහි ද වේ. ලෝකයෙහි බුදුවරු උපදනාහු දුක්ඛිත සත්ත්‍වයන් ජාතිකාන්තරාදියෙන් එතෙර කොට නිවන් පුර පමුනුවා මුළුමනින් සුඛිතයන් කරණු සඳහා ය. එහෙයින් බුදුවරුන්ගේ ලොව ඉපැත්ම නිවන් සුවයට කරුණු වන බැවින් සැපය යි වදාළ සේක.

දෙවියන් සහිත ලෝකයට හිතයක් සිදු කළ හැකි ජීවිතයක් පිළියෙල වන්නට ගත වන කාලය කළයුතු වීර්‍ය්‍යය විඳියයුතු වෙහෙස හළ යුතු සැපත මෙ තරම් ය යි මොන ලෙසකිනුත් කියන්නට නො පිළිවන. ගුණයෙන් හා දැනුමෙන් පරම කොටියට නො පත් වූ ජීවිතයකට නියම විසින් ක්‍රමවත් සේවාවක් කළ නො හැකි ය. එහෙයින් මේ ජීවිතය දානයෙන් ශීලයෙන් නෛශ්ක්‍රම්‍යයෙන් ප්‍රඥායෙන් වීර්‍ය්‍යයෙන් ක්‍ෂාන්තියෙන් සත්‍යයෙන් අධිෂ්ඨානයෙන් මෛත්‍රියයෙන් උපේක්‍ෂායෙන් යන මේ මහත් ගුණයන්ගෙන් පශ්චිම කොටියෙන් කල්ප ලක්‍ෂයක් අධික කොට ඇති චතුරසඞ්ඛ්‍යයක් මුළුල්ලෙහි හැදී වැඩී යා යුතු ය. මෙ කියූ ගුණයගෙන් වැඩුනු ජීවිත අතුරෙහි එය අද්වීතීය විය යුතු ය. අසහාය විය යුතු ය. අප්‍රතිම විය යුතු ය. අප්‍රතිසම විය යුතු ය. අප්‍රතිභාග විය යුතු ය. අසම විය යුතු ය. අසමසම විය යුතු ය. අග්‍ර විය යුතු ය. මෙලෙසින් සකස් වූ ජීවිත ඇත්තෝ ම ලෝක සේවාවෙහි සමර්‍ත්‍ථ වේ. ඔවුහු නම් සම්මා සම්බුදුවරයෝ ය. උන්වහන්සේලාගේ උපත සැපය යි වදාළේ බුදුවරුන්ගේ ලොව පහළවීම නිසා මෙම ප්‍රඥාචක්‍ෂුසගේ ප්‍රඥාලෝකයාගේ ප්‍රඥාවභාසයාගේ සවැදෑරුම් අනුත්තරිය ධර්‍මයන්ගේ පහළවීම වන්නේ ද, සිවු පිළිසැඹියාවන්ගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම වන්නේ ද, අනේකධාතු නානා ධාතූන්ගේ ප්‍රතිවේධය වන්නේ ද, සෝවන් සෙදගැමි අනගැමි රහත් මගපලයන්ගේ සාක්‍ෂාත් කිරීම වන්නේ ද එහෙයිනි.

මෙසේ ගුණනුවණින් කුළුගැන්වුනු බුදුවරුන්ගේ උපත නිසා ම සත්ත්‍වලෝකය සසර දුකින් මිදී යන්නේ ය. නැත, නො ද මිදෙන්නේ ය. යම් ඉගැන්වීම් මගෙක අරිඅටඟිමග නො ඉගැන්වේ නම්, ඒ ඉගැන්වීම් මඟ සිස් ය. නිසරු ය. අර්‍ත්‍ථ රහිත ය. එය සත්ත්‍වයාගේ විමුක්තිය පිණිස පවතී යනු සත්‍ය නො වේ. එය අසත්‍යයෙකි. නො ද පිළිගත යුතු ය. අරිඅටඟිමග නො ලැබෙන ඉගැන්වීම් මඟකින් දුක - දුක් හට ගැණිම - දුක් සන්සිඳීම ගැන පිළිසමුපා ගැන දැනුමක් මොන ලෙසකිනුන් නො ලද හැකි ය. එකල්හි සත්ත්‍වවිමුක්තියෙක් නැත්තේ ය. සත්ත්‍වයාහට දුකෙන් මිදීමෙක් කවදාවත් නො ලැබෙන්නේය. දුකෙහි ම ගැලෙන්නේය. සසරින් මිදෙන එක් ම මග වූ ඒ මේ අරී අටඟි මග ඇති දහම්මග එලිපෙහෙලි වනුයේ බුදුවරුන්ගේ උපතින් ම ය. එහෙයින් බුදුවරුන්ගේ උපත සැපැයි දත යුතු ය. එහෙත් එය දුර්‍ලභ ය. “ඉමස්ස ඛො භික්ඛවෙ! එකපුග්ගලස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං” යනු එහිලා සාධක සූත්‍ර යි.

සුඛා සදධම්මදෙසනා = සද්ධර්‍මදේශනා සැප ය. [1]

සද්ධර්‍ම ශ්‍රවණයට පැමිණ දහම් අසා ධර්‍මය වූ පරිදී දිවි ගලවන සත්ත්‍වයෝ ජාති ජරාමරණාදි දුඃඛරාශියෙන් මිදෙත් ද, මෙසේ සද්ධර්‍මදේශනා, සැපයට කරුණු වන බැවින් සැපය යි වදාළ සේක. එහි සද්ධම්ම නම්:- බුදුරජානන් වහන්සේ විසින් සත්ත්‍වහිතානුකම්පායෙන් සංසාර විමුක්තිය පිණිස දේශනා කොට වදාළ ධර්‍ම සමූහය යි. ඒ සමූහය, ධර්‍මයට අනුව දව රෑ දෙක්හි ද්වාරාත්‍රයය හසුරු වන හැම සත්ත්‍වයන් සසර දුකෙහි, අපායයෙහි හෙන්නට නො දී දරා සිටුනා බැවින් ධර්‍ම නම් වී ය. ප්‍රථම තරඞ්ගයෙහි ‘සහිතං’ යනට කළ පරිකථාව බලනු. ඒ ම ශෝභන වූයේ පරම සත්පුරුෂ වූ බුදුරජුන් විසින් වදාරණ ලදුයේ සද්ධම්ම නමැ යි කියනු ලැබේ. “සොභනො ධම්මො = සද්ධම්මො, සතං වා බුද්ධාදි සප්පුරිසානං ධම්මො = සද්ධම්මො” යනු එහි ලා දත යුතු ය.

ඒ මේ සද්ධර්‍මදේශනාව සම්මුති-පරමාර්‍ත්‍ථ විසින් දෙ පරිදි ය. එහි අනිත්‍ය-දුඃඛ-අනාත්ම ලක්‍ෂණ නො දක්වා, ස්කන්‍ධ-ධාතු-ආයතන-සමෘතිප්‍රස්ථාන නො දෙසා, සත්ත්‍ව-පුද්ගල-ස්ත්‍රී-පුරුෂ-ක්‍ෂත්‍රිය-බ්‍රාහමණ-දේව-මාර-යක්‍ෂ-රාක්‍ෂස-නාග-සුපර්‍ණාදීන්ගේ වශයෙන් ලෝකය බෙදා විග්‍රහ කොට, ලෝකයාගේ ව්‍යවහාර විසින් කරණ දේශනා සම්මුති දේශනා ය. සත්ත්‍වපුද්ගලාදී වූ ලෝක ව්‍යවහාරය නො ගෙන, අනිත්‍ය ය, දුඃඛ ය, අනාත්ම ය, ස්කන්‍ධ ය, ධාතු ය, ආයතනය, සමෘතිප්‍රස්ථාන ය, යන ඈ විසින් පංචස්කන්‍ධ ය බෙදා විග්‍රහ කොට, ඇති තතු විසින් කරන දේශනා පරමාර්‍ත්‍ථ දේශනා ය. යම් කෙනෙක් ලෝක ව්‍යවහාර ගෙණ කරණ දේශනාව අසා අර්‍ත්‍ථප්‍රතිවේධය කොට මොහඳුරු නසා මගපල ලබන්නට පොහොසත් වෙත් ද, සම්මුතිදේශනාව ඔවුන් සඳහා ය. යම් කෙනෙක් පරමාර්‍ත්‍ථ විසින් කරණ දේශනාව අසා අර්‍ත්‍ථප්‍රතිවේධය කොට මොහඳුරු නසා මඟපල ලබන්නට පොහොසත් වෙත් ද පරමාර්‍ත්‍ථ දේශනාව ඔවුන් සඳහා වූ ය. ද්වාදශ තරඞ්ගයෙහි “අත්තානං චෙ පියං ජඤ්ඤා” යන්නට කළ පරිකථාව බලනු.

ධර්‍මාධිෂ්ඨාන ධර්‍මදේශනා - ධර්‍මාධිෂ්ඨාන පුද්ගලදේශනා - පුද්ගලාධිෂ්ඨාන පුද්ගලදේශනා - පුද්ගලාධිෂ්ඨාන ධර්‍මදේශනා යි ධර්‍ම - පුද්ගල වශයෙන් සද්ධර්‍මදේශනාව සිවු පරිදි වන්නී ය. එහි “නාහං භික්ඛවෙ! අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං භාවිතං කම්මනියං හොති, යථයිදං චිත්තං, චිත්තං භික්ඛවෙ! භාවිතං කම්මනියං හොති” යි මෙබඳු වූවා ධර්‍මාධිෂ්ඨාන ධර්‍මදේශනා ය. “අට්ඨානමෙතං භික්ඛවෙ! අනවකාසො යං දිටඨිසම්පන්නො, පුග්ගලො කඤ්චි සඞ්ඛාරං නිච්චතො උපගච්ඡෙය්‍ය නෙතං ඨානං විජ්ජති” යි මෙබඳු වුවා ධර්‍මාධිෂ්ඨාන පුද්ගලදේශනා ය. “එකපුග්ගලො භික්ඛවෙ! ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්‍ථාය හිතාය සුඛාය දේවමනුස්සානං” යි මෙබඳු වූවා පුද්ගලාධිෂ්ඨාන පුද්ගලදේශනා ය. “එකපුග්ගලස්ස භික්ඛවෙ! පාතුභාවා මහතො චක්ඛුස්ස පාතුභාවො හොති” යි මෙබඳු වූවා පුද්ගලාධිෂ්ඨාන ධර්‍මදේශනා ය.

එහි ධර්‍මය ප්‍රධානස්ථානය කොට තබා ධර්‍මාවබෝධය කරවීමට ධර්‍ම විසින් කරන දේශනා ධර්‍මාධිෂ්ඨාන ධර්‍මදේශනා නමු. ධර්‍මය ප්‍රධාන විසින් ගෙන එය පුද්ගලයා මතු පිට තබා කරණ දේශනා ධර්‍මාධිෂ්ඨාන පුද්ගලදේශනා නමු. පුද්ගලයා ප්‍රධාන විසින් ගෙණ පුද්ගලයාගේ වශයෙන් ම කරණ දේශනා පුද්ගලාධිෂ්ට්ඨාන පුද්ගලදේශනා නමු. පුද්ගලයා ප්‍රධාන කොට තබා ධර්‍මය විසින් කරණ දේශනා පුද්ගලාධිෂ්ඨාන ධර්‍මදේශනා නමු.

තව ද ආනුපූර්වීධර්‍මදේශනා - පර්‍ය්‍යායදර්ශිනීධර්‍මදේශනා - කරුණාපූර්‍වඞ්ගමධර්‍මදේශනා - ලාභානපේක්‍ෂිතධර්‍මදේශනා - අවිහිංසාපූර්‍වඞ්ගමධර්‍මදේශනා යනු විසිනුදු සද්ධර්‍මදේශනා පස් වැදෑරුම් ය. එහි දානයට අනතුරුව ශීලය, ශීලයට අනතුරුව ස්වර්‍ගය යන ඈ ලෙසින් වූවා ආනුපූර්වීදේශනා ය. ඒ ඒ අර්‍ත්‍ථය ගැණ, නුවණින් සලකා එයට හේතු උදාහරණ දී කරුණු දක්වමින් ආවා පර්‍ය්‍යායදර්ශිනීදේශනා ය. සසර දුකෙහි බැඳී සිටුනා සත්ත්‍වයන් දැක ඔවුන් එයින් මුදාලනු පිණිස වූවා කරුණාපූර්‍වඞ්ගමදේශනා ය. චීවරාදී වූ සිවුපසය ලබනු රිසියෙන් නො වූවා ලාභානපේක්‍ෂිත දේශනා ය. තමන් හුවා දැක්වීම, පරා හෙළා දැකීම ඈ විසින් තමන් හා අනුන් හා නො ද පෙළනු රිසියෙන් වූවා අවිහිංසාපූර්‍වගම දේශනා ය.

ශාසනිකධර්‍මදේශනාවන්හි ආදියෙහි ශීලය මද්ධ්‍යයෙහි මාර්‍ගය අවසානයෙහි නිවන පැවැසෙන්නේ ය. එසේ පැවැසෙනුයේ බුදුරජානන් වහන්සේගේ දහම් දෙසීම එසේ බැවිනි. මේ එයට සාධක:- “සො ධම්මං දෙසෙති ආදිකල්‍යාණං මජ්ඣෙ කල්‍යාණං පරියොසාන කල්‍යාණං” යනු. ආදියෙහි ශීලය පැවැසෙන ධර්‍ම දේශනා ආදිකල්‍යණ ය. මද්ධ්‍යයෙහි මාර්‍ගය පැවැසෙන ධර්‍ම දේශනා මජ්ඣෙකල්‍යාණ ය. අවසානයෙහි නිවන පැවැසෙන ධර්‍ම දේශනා පරියොසානකල්‍යාණ ය. තව ද ශාසනයාගේ ආදි නම්, ශීල සමාධි විදර්‍ශනා ය. “කො චාදි කුසලානං ධම්මානං සීලං ච විසුද්ධං දිට්ඨි ච උජුකා” යනු සාධක යි. මද්ධ්‍යය නම්, ආර්‍ය්‍ය මාර්‍ගය යි. “අත්‍ථි භික්ඛවෙ! මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා” යනු සාධක යි. පර්‍ය්‍යයවසාන නම්, ඵලය හා නිවන ය. මෙය එයට, සාධක විසින් දන්නේ ය. “තස්මා තිහ ත්‍වං බ්‍රාහ්මණ! බ්‍රහ්මචරියං එතං සාරං එතං පරියොසානං” යනු. “ නිබ්බානොගධං හි ආවුසො විසාඛ! බ්‍රහ්මචරියං වුස්සති නිබ්බානපරායණං නිබ්බාන පරියොසානං” යන මෙයින් නිවන අවසානය යි කියන ලදි.

මෙසේ ම ශාසනිකදේශනා නම්, ස්ත්‍රීපුරුෂාදි වර්‍ණනා නිශ්ශ්‍රිත නො වූ සිවු සීවටන් ඈ ගැඹුරු දහම් ඇසුරු කොට සිටි දෙවියන් සහිත ලෝකයට හැමතකී වැඩ සහිත වූ ශිථිල-ධනිත-දීර්‍ඝ-ගරුක-ලහුක-නිග්ගහීත-සම්බන්‍ධ-ව්‍යවස්ථිත-විමුක්ත යන ව්‍යඤ්ජන නො නසා සමාන ව්‍යඤ්ජනයෙන් යුක්ත වූ සියල්ල නො අඩු වූ එසේ ම නො වැඩි වූ චීවරාදී වූ සිවුපසය ලැබීමෙහි ආශාවෙන් නො කිලිටි වූ ශීල-සමාධි-ප්‍රඥා යන ශික්‍ෂත්‍රය ගැබ් කොට සිටි දේශනා ය. “සාත්‍ථං සබ්‍යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙති” යන මෙයින් දක්වා වදාළේ බුදුරජානන් වහන්සේගේ ධර්‍ම දේශනා මෙ කී ගුණයන්ගෙන් පරිපූර්‍ණ ව සිටුනා බව ය. මෙහි ධර්‍ම දේශනා ක්‍රම මෙ මතු ම නො වේ. තව ද ඇත්තේ ය. පාය්‍යර්‍ත්‍ථකථාශ්‍රයයෙන් ඒ දත යුතු ය.

සුඛා සඞ්ඝස්ස සාමග්ගි = සඞ්ඝයාගේ සාමග්‍රිය සැප ය.

යම් හෙයකින් සඞ්ඝයාගේ සමඟි බව එක් සිත් ඇති බව දෙවියන් සහිත ලෝකයට හිත පිණිස සැප පිණිස වැටේ ද එහෙයින් සඞ්ඝයාගේ සමඟි බව සැප ය යි වදාළ සේක.

සඞ්ඝස්ස යන මෙහි සඞ්ඝ නම්, සසුන් පිළිවෙතෙහි ගොස් කෙලෙස් නසා සසරදුක් මුළුමනින් නසා සිටි උසස් පිරිස හා කෙලෙස් නසන්නට දිවි නො තකා පිළිවෙත් පුරන්නා වූ පිරිස ය. සඞ්ඝ යනු, දක්‍ෂිණාර්‍හ-සම්මුති විසින් ගැණෙන සඞ්ඝයා කෙරෙහි හෙන්නේ ද මෙහිලා නැගී සිටියේ ගිහි දහම් සිඳහැර සසුන් පැවිද්දෙන් පැවිදි ව සිවු පිරිසිදු සිල් පුරන්නා වූ දුහඟ රකින්නා වූ සම්මුතිසඞ්ඝ තෙමේ ය. මෙහි ත්‍රයොදශwතරඞ්ගයෙහි දානං යනු විස්තර කළ ධර්‍මකථාව බැලිය යුතු ය.

සාමග්ගි නම්, එක්වීම ය. එය සිතින් හා කයින් වන්නේ ය. උනුන්ගේ සිත් එකෙනෙකට අවිරුද්ධ ව පැවැත්ම එක් දෘෂ්ටියෙක පිහිටීම සිතින් වන එක්වීම ය. කායසාමග්‍රිදානයෙන් එක් සීමායෙක්හි සිටීම කයින් වන එක්වීම ය. “සමග්ගො නාම සඞ්ඝො සමානසංවාසකො සමානසීමයං ඨිතො” යනු විනයපදභාජනයෙහි ආයේ ය. සඞ්ඝසාමග්‍රී නම්, සඞ්ඝයාගේ එක්වීම වෙනසක් නැති බව සමවිනයකම් ඇති බව සමඋදෙසීම් ඇති බවැයි අර්‍ත්‍ථ කථායෙහි කියන ලදි. “සඞ්ඝසාමග්ගීති සඞ්ඝස්ස සමග්ග භාවො භෙදා භාවො එකකම්මතා එකුද්දෙසතා ච” යනු අර්‍ත්‍ථ කථාය.

උපාලි මහරහතුන් වහන්සේ :- කති නු ඛො භන්තෙ! සඞ්ඝසාමග්ගියො? ස්වාමීනි! සඞ්ඝසාමග්‍රීහු කෙතෙක් ද?

බුදුරජානන් වහන්සේ :- ද්වෙමා උපාලි! සඞ්ඝසාමග්ගියො. අත්‍ථුපාලි සඞ්ඝසාමග්ගි, අත්‍ථාපෙතා බ්‍යඤ්ජනුපෙතා. අත්‍ථුපාලි, සඞ්ඝසාමග්ගි අත්‍ථුපෙතා ච ව්‍යඤ්ජනුපෙතා ච.

කතමා ච සා උපාලි, සඞ්ඝසාමග්ගි අත්‍ථාපෙතා ව්‍යඤ්ජනූපෙතා? යස්මිං උපාලි, වත්‍ථුස්මිං හොති සඞ්ඝස්ස භණ්ඩනං කලහො විග්ගහො විවාදො සඞ්ඝභෙදො සඞ්ඝරාජි සඞ්ඝවවත්‍ථානං සඞ්ඝනානාකරණං, සඞ්ඝො තං වත්‍ථුං අවිනිච්ඡිනිත්‍වා අමූලා මූලං ගන්ත්‍වා සඞ්ඝසාමග්ගිං කරොති, අයං වුච්චති උපාලි, සඞ්ඝසාමග්ගි අත්‍ථාපෙතා ව්‍යඤ්ජනුපෙතා. කතමා ච සා උපාලි, සඞ්ඝසාමග්ගි අත්‍ථුපෙතා ච ව්‍යඤ්ජනුපෙතා ච? යස්මිං උපාලි, වත්‍ථුස්මිං හොති සඞ්ඝස්ස භණ්ඩනං කලහො විග්ගහො විවාදො සඞ්ඝභෙදො සඞ්ඝරාජි සඞ්ඝවවත්‍ථානං සඞ්ඝනානාකරණං, සඞ්ඝො තං වත්‍ථුං විනිච්ඡිනිත්‍වා මූලා මූලං ගන්ත්‍වා සඞ්ඝසාමග්ගිං කරොති, අයං වුච්චති, උපාලි! සඞ්ඝසාමග්ගි අත්‍ථුපෙතා ච ව්‍යඤ්ජනූපෙතා ච. = “උපාලි! සඞ්ඝසාමග්‍රි දෙකෙකි. උපාලි! අර්‍ත්‍ථයෙන් තොර වූ පදයෙන් යුකත වූත් සඞ්ඝසාමග්‍රියෙක් ඇත. උපාලි! අර්‍ත්‍ථයෙන් තොර වූ පදයෙන් යුක්ත වූ ඒ සඞ්ඝසාමග්‍රි කවරී ද? යත්: උපාලි! යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයෙක් කලහයෙක් විග්‍රහයෙක් විවාදයෙක් සඞ්ඝයාගේ බිඳීමෙක් සඞ්ඝයාගේ ඉරි තැලීමෙක් සඞ්ඝයාගේ වෙන් වීමෙක් සඞ්ඝයාගේ වෙනස් බවෙක් වේ ද, සඞ්ඝ තෙමේ ඒ වස්තුව විනිශ්චය නො කොට අමූලයෙන් මූලයට ගොස් සඞ්ඝසාමග්‍රිය කෙරේද, උපාලි! මේ අර්‍ත්‍ථයෙන් තොර වූ පදයෙන් යුක්ත වූ සඞ්ඝසාමග්‍රිය යි කියනු ලැබේ.

උපාලි! අර්‍ත්‍ථයෙන් නො තොර වූ පදයෙන් යුක්ත වූ ඒ සඞ්ඝසාමග්‍රිය කවරී ද? යත්: උපාලි! යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝසාමග්‍රිය කෙරේ ද, උපාලි! මේ අර්‍ත්‍ථයෙන් යුක්ත වූත් පදයෙන් යුක්ත වූත් සඞ්ඝසාමග්‍රිය යි කියනු ලැබේ”

අනතුරු ව උපාලි ස්ථවිරයන් වහන්සේ මෙය අසා උගෙණ හුනස්නෙන් නැගිට උතුරු සඟසිවුර එකස් කොට වැඳ සිය වෙහෙර බලා වැඩියහ. බුදුරජානන් වහන්සේ මෙසේ වදාළ සේක:- “එකධම්මො භික්ඛවෙ! ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනහිතාය බහුජනසුඛාය බහුනො ජනස්ස අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. කතමො එක ධම්මො? සඞ්ඝසාමග්ගි. සඞ්ඝෙ ඛො පන භික්ඛවෙ සමග්ගෙ න චෙව අඤ්ඤමඤ්ඤං භණ්ඩනානි හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරිභාසා හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරික්ඛෙපා හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරිච්චජනා හොන්ති. තත්‍ථ අප්පසන්නා චෙව පසීදන්ති, පසන්නානඤ්ච භිය්‍යොභාවො හොතීති” යනු. “මහණෙනි! ලෝකයෙහි සදේවලෝකයාහට හිත සැප පිණිස වැඩ පිණිස පවත්නා වු එක් ධර්‍මයෙක් ඇත්තේ ය, ඒ නම් සඞ්ඝසාමග්‍රිය යි, මහණෙනි! සඞ්ඝයා සමග වූ කල්හි කයින් හා සිතින් එක්ව බැඳී සිටි කල්හි උනුන් අතර කලහයෝ තර්‍ජනයෝ පිරිහෙළීම් අත්හැරීම් නො වන්නාහ, එහිලා නො පහන් වූවෝ පහදිත්, පහන් වූවන්ගේ පහන්බව වඩවඩාත් දියුණු වන්නේ ය” යනු ඒ සූත්‍රයෙහි ඉතා කෙටි අදහස ය.

සංඝයාගේ සමඟි බව සැපයට කරුණු ය. සමඟි වූවනට අනු බල දීම ද සුව එළවන්නේ වේ. සමඟි බවෙහි ඇලුනා වූ ධර්‍මයෙහි පිහිටි පුද්ගල තෙමේ නිවනින් නො පිරිහෙයි. සඞ්ඝයා සමඟි කොට කල්පයක් දෙව්ලොව සතුටු වේ, යි බුදුරජානන් වහන්සේ වදාළ සේක. මේ ඒ වදාළ සැටි:-

“සුඛා සඞ්ඝස්ස සාමග්ගි සමග්ගානඤ්ච අනුග්ගහො

සමග්ගරතො ධම්මට්ඨො යොගක්ඛෙමා න ධංසති

සඞ්ඝං සමග්ගං කත්‍වාන කප්පං සග්ගම්හි මොදතීති”

“එකධම්මො භික්ඛවෙ! ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති” යනාදීන් වදාළා වූ දේශනායෙහි ‘එකධම්මො’ යනු යෙදුනේ සඞ්ඝසාමග්‍රියෙන් උපදනා පුණ්‍යරාශිය දක්වනු සඳහා ය. සඞ්ඝසාමග්‍රිය වනාහි එක් කුශලධර්‍මයෙකි, එක් අනවද්‍යධර්‍මයෙකැ යි අටුවායෙහි කීයේ එහෙයිනි. “මේ ය ධර්‍ම ය, මේ ධර්‍මය නො වේ” යි යන ඈ විසින් සඞ්ඝයා අතර යම් විවාදයෙක් උපන්නේ නම් එහිලා විනය දන්නහු විසින් “සඞ්ඝයා අතර උපන් මේ විවාදය අනර්‍ත්‍ථකර ය, බිහිසුණු ය, ඉදිරියෙහි වැඩී ගියේ නම්, එය සඞ්ඝසාමග්‍රිය ඉරිතැලීමට සඞ්ඝයාගේ බිඳීයෑමට කරුණුය” යි සලකා තමාත් පක්‍ෂයක බැස සිටියේ නම්, ගිනිගත් අඟුරු රැසක් පාගන්නකු සේ වහා එයින් වැළකිය යුතු ය. මෙරමා විසිනුදු ගන්නා ලද එය, තමාට සන්සිඳවිය හැක්කේ නම්, එහිලා උත්සාහවත් ව ඉතා දුර බැහැර ගොසින් හෝ එය සන්සිඳවිය යුතු ය. තෙමේ ඒ පිණිස අපොහොසත් නම්, විවාදයත් වැඩේ නම්, එහි දී සුදුසු ප්‍රතිබලසම්පන්න වූ ශික්‍ෂාකාමී සබ්‍රහ්මචාරීන් වෙත ගොස් ඔවුන් උත්සාහවත් කරවා ධර්‍මවිනය ශාස්තෘශාසනය පරිදි ඔවුන් ලවා සන්සිඳවාලිය යුතු ය. මෙසේ මේ විවාදය සන්සිඳවීමෙන් සඞ්ඝයා සමග කිරීමෙහිලා විවාදය සසිඳවන්නහුගේ සිත්හි හට ගන්නා ධාර්මිකඋද්‍යෝගය මහත් කුසලයක් බැවින් එය ‘එකධම්මා’ යන මෙයින් දක්වා වදාළ සේක. මේ උද්‍යෝගය දෙපසට බෙදී ගිය භික්‍ෂූන්ට හා ඒ දෙපසට අනුව වැටෙන මෙහෙණ-උවසු-උවැසියනට ද එසේ උන් අරක් ගත් දෙව් බඹුන්ට ද වන්නට ගිය අහිතකර වූ දුක් එළවන ඒ අධර්‍මය වළකාලීම කුසල් රැස් වන්නට කරුණු බැවින් දෙවියන් සහිත ලෝකයට සැප එළවන්නේ වේ.

“යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ සමග්ගා සන්නිපතිස්සන්තී, සමග්ගා වුට්ඨහිස්සන්ති, සමග්ගා සඞ්ඝකරණීයානි කරිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි” මහා පරිනිබ්බාන සූත්‍රයෙහි ආ මේ ද සිත්හි දැරිය යුතු ය. “මහණෙනි! භික්‍ෂුහු යම් තාක් කල් සිතින් හා කයින් සමග ව රැස්වන්නාහු ද, සිතින් හා කයින් සමග ව නැගී සිටින්නාහු ද, සිතින් හා කයින් සමග ව සඞ්ඝකර්‍ම කරන්නාහු ද, මහණෙනි! මෙසේ පවත්නා තාක් භික්‍ෂූන්ට වැඩීමක් ම මුත් පිරිහීමෙක් නම් නො වන්නේ ම ය” යනු එහි කෙටි අදහස ය.

සෑ පිළිදැගුම් කරණු පිණිස හෝ බෝගෙය, පොහොයගෙය වසා පිළියෙල කරනු පිණිස හෝ කතිකාවක් නියම කරගණු කැමැත්තෙන් හෝ අවවාද දෙනු කැමැත්තෙන් හෝ රැස් වන්නට ගෙඩිය ගැසූ කල, කිසිත් නො බැණ අන් හැම වැඩක් බහා තබා සියල්ලට පළමු මම රැස්වීමට යමි යි එක්වරට ම නැගී සිටිත් නම්, ඔවුහු ය සමග ව රැස්වෙන්නාහු.

මෙසේ රැස් වූවෝ සිතා මතා කතා කොට කළ යුතු දැය කොට එක්ව ම නො නැගී සිටින්නෝ නම්, ඔවුහු සමගව නැගී සිටින්නෝ නො වෙත්. තව ද “අසුවල් තැන වෙදහෙදකම් කරණ නැකැත් කියන බලි බිලි දෙන බලිහුනියම් කරණ දෙවොල් නටන දෙවියන් පුදන පඬුරු බඳින ගිහින් අයත් මෙහෙවර කරණ පවිටු මහණෝ සසුන වනසත්, දහම් නො දහම් කරත්, විනය අවිනය කරත්, අඹුදරුවන් රකිත්, කවරෙක් එහි ගොස් ඔවුනට නිග්‍රහ කරන්නේ දැ” යි විචාළ කල්හි “මම යමි, මම යමි” යි යම් කෙනෙක් යන්නට නැගී සිටිත් නම්, ඔවුහු ය සමගව නැගී සිටින්නාහු.

ආගන්තුකයකු දැක “මේ පිරිවෙණට යව, අර පිරිවෙණට යව, අපි කවුරු වෙමු දැ” යි නො බැණ ඒ ආගන්තුකයා පිළිබඳ වත් කරන්නෝ ද, දිරාගිය පාසිවුරු දරන්නකු දැක ඔහු පිණිස පා සිවුරු සොයන්නෝ ද, ගිලන්හට ගිලන් බෙහෙත් පිරිකර සපයන්නෝ ද ඉතා බැගෑපත් කිසි ද පිහිටක් නැති ගිලනකු දැක “අසුවල් පිරිවෙණට යව, අසුවල් පිරිවෙණට යව” යි නො කියා තමන්ගේ පිරිවෙණට කැඳවා ගෙන ගොස් පිරිදැගුම් කරන්නෝ ද, ඉගෙණීමෙහි පසුබස්නා දුර්‍වලයකු දැක වහා නුවණැති ඇදුරකු සංග්‍රහ කොට ඔහු වෙත පමුණුවා ඔහු ලවා ඔහුගේ දැනුම ඔසොවා තබන්නෝ ද, උපසම්පදා පරිවාස මානත්ත අබ්භානාදි සඞ්ඝකර්‍ම කරන්නෝ ද සමග ව එක් ව බැඳී සිට සඞ්ඝකෙමී කරන්නෝ වෙත්.

මෙසේ සඞ්ඝසාමග්‍රියෙහි පැවැත්මට හැම තැන සමග ව රැස් වීම සමග ව නැගී සිටීම සමගව සඞ්ඝකර්‍ම කිරීම යන මෙ තුණ ප්‍රධාන විසින් ගත යුත්තේ ය.

පාරිලෙය්‍යක වනයට වඩින ගමනේදී අරලියගස්වනයට වැඩි,

බුදුරජානන් වහන්සේ

:-

අනුරුද්ධයෙනි! කිම ඉවසිය හැකි ද? කිම දිවි ගැලවිය හැකි ද? කිම පිණ්ඩපාතයෙන් වෙහෙස නැත්තහු ද?

අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ

:-

නැත, පින්වතුන් වහන්ස! ඉවසිය හැකියි. දිවි යැවිය හැකියි. පිණ්ඩපාතයෙන් වෙහෙසෙක් නැත.

බුදුරජානන් වහන්සේ

:-

කොහොම ද? අනුරුද්ධයෙනි! එක්සිත් ඇති ව සතුටු ව වාද විවාද නැති ව තමුසේලා කිරි හා දිය එක් වූවා සේ උනුන් දෙස ප්‍රිය ඇසින් බලන්නහු ද?

අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ

:-

ස්වාමීනි! එසේ ය, අපි සමග ව සතුටු ව වාද විවාද නැති ව එක් වූ කිරි හා දිය සේ නො වෙනස් ව උනුන් දෙස දිය ඇසින් බලමින් වසන්නෙමු.

බුදුරජානන් වහන්සේ

:-

අනුරුද්ධයෙනි! තමුසේලා කෙසේ සමගවහු ද?

අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ

:-

ස්වාමීනි! මෙහි මෙබඳු හොඳ සබ්රම්සරුන් හා එක් ව වසන්නට ලැබීම අප හැමට මහත් ලාභයෙකැ යි අපට නිතර සිහි වන්නේ ය. එසේ සිහිවත් ම අපි ඉතා හොඳින් එක්සත් ව වසන්නෙමු. ස්වාමීනි! මේ ආයුෂ්මතුන් වහන්සේලා කෙරෙහි මාගේ මෛත්‍රී සහගත කායවාඞ්මනස්කර්‍ම ප්‍රකට ව ද අප්‍රකටව ද එළැඹ සිටියේ ය. එකල්හි ස්වාමීනි! මාගේ සිත මේ ආයුෂ්මතුන් වහන්සේලාගේ සිතට යටත් කොට උන්වහන්සේලාගේ සිතට අනුකූල ව පවත්වන්නේ නම්, මැනැවැ යි මට අදහස් වේ. එකල්හි මම මාගේ සිත උන්වහන්සේගේ සිතට යටත් කොට උවූහන්සේගේ සිතට එකඟ ව පවත්වන්නෙමි. ස්වාමීනි! අපගේ ශරීරයෝ ම වෙන් ව පවතිත්. සිරුරුවලින් ම පමණක් අපි වෙන් ව සිටුම්හ. අපට ඇත්තේ එක් සිතෙක් ම ය. සිතෙන් වෙනස් බවෙක් අපට නැත්තේ ය.

බුදුරජානන් වහන්සේ

:-

නන්‍දිය! නන්‍දියගේ අදහස කෙසේ ද? නන්‍දිය මෙහි කුමක් කියන්නේ ද?

නන්‍දිය ස්ථවිරයන් වහන්සේ

:-

ස්වාමීනි! මෙහිලා මාගේ අදහසෙහි වෙනස් බවෙක් නැත. අප කාගේත් අදහස එකෙක්ම ය. අපට වෙන් වෙන් වූ සිත් නැත. වෙන් වෙන් වූ අදහස් නැත. අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ යම් සේ කියූ නම් මා කියන්නේත් එසේ ය.

බුදුරජානන් වහන්සේ

:-

කිම්බිල! කොහොම ද, මේ දෙනමගේ අදහසට කිම්බිලත් එකඟ ද?

කිම්බිල ස්ථවිරයන් වහන්සේ

:-

එසේය, තිලෝගුරු හිමියෙනි! අපගේ අදහස් වල වෙනසක් නැත්තේ ය. පැවැතුම්වල වෙනසක් නැත්තේ ය.

බුදුරජානන් වහන්සේ

:-

හොඳයි! හොඳයි! අනුරුද්ධයෙනි! අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව හළ ආත්මාලය ඇති ව වසහු ද තමුසේලා?

අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ

:-

ස්වාමීනි! අපි එකාන්තයෙන් අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව හළ ආත්මාලය ඇති ව වසන්නෙමු.

බුදුරජානන් වහන්සේ

:-

හොඳයි! අනුරුද්ධයෙනි! කෙසේ නම් තමුසේලා අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව හළ ආත්මාලය ඇති ව වසහු ද?

අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ

:-

ස්වාමීනී! මෙහි අප අතර යමෙක් පළමු කොට ගමින් පිඬු සිඟා ගෙණ ආයේ නම්, හෙතෙමේ අසුන් පණවා පැන් බඳුන හා පිරිබෝදිය බඳුන එළවා තබා ඉඳුල් ලන බඳුන ගෙණවුත් තබයි. යමෙක් පසුව ගමින් පිඬු සිඟාගෙණ ආයේ නම්, හෙතෙමේ වළඳා ඉතිරි වූ දැය කැමැති නම් වළඳයි. නො කැමැති නම් තණ නැති බිමක හෝ බහයි. නැත, සතුන් නැති දියෙහි හෝ පාකොට හරියි. යමෙක් පැන් කළය, පිරිබෝදිය කළය, වැසිකිළිදිය කළය සිස්වූවන් දකියි ද හෙතෙමේ ඒ හැම එකක් දියෙන් පුරවා එළවා තබයි. ඔහුට එය එකලා ව කළ නො හැක්ක් නම් හස්ත සංඥායෙන් දෙවැන්නකු ගෙන්වා ගෙණ අත් විලඟුයෙන් ගෙණ එළවා තබයි. ඒ නිසා කිසි කතාබහෙක් අප අතර නැත. ස්වාමීනි! අපි පස් දවසකට වරක් එක්තැන් ව මුළු රෑම දැහැමි බණකතා කියමින් හිඳින්නෙමු. ස්වාමීනි! අපි මෙසේ අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව හළ ආත්මාලය ඇති ව වසන්නෙමු.

බුදුරජානන් වහන්සේ

:-

මැනැවි. මැනැවි. අනුරුද්ධයෙනි! යයි වදාළ සේක.

සමග ව එක්සිත් වන්නට පිළිපැදිය යුත්තේ කෙසේ ද, යනු මෙයින් පැහැදිලි වන්නේ ය. සඞ්ඝසාමග්‍රිය සංඝයාගේ පහසුව පිණිස සසුනෙහි කල් පැවැත්ම පිණිස නිවන් පසක් කරණු පිණිස උපකාර වන්නා සේ මහණ-මෙහෙණ උවසු උවැසියන්ගේ හා දෙව් බඹුන් ඈ හැම කෙනෙකුගේ එලොව මෙලොව දියුණුව පිණිස එලොව මෙලොව සැප විහරණය පිණිස වන්නේ යනු දතයුතු ය.

සමග්ගානං තපො සුඛො = සමග වූවන්ට තපස සැප ය. [2]

විශේෂ විසින් භික්‍ෂූන් වහන්සේගේ සමග බව බුදුවදන් උගෙණීමට ධූතඞ්ගපරිහරණයට මහණ දහම් පුරනට ප්‍රබල හේතු බැවින් සමගවූවන්ට තපස සැපැයි වදාළ සේක.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ භික්‍ෂුහු රහත්බැව්හි පිහිටියාහු ය. දේශනා තොමෝ මහාජනයාට වැඩ සහිත වූ ය.

Sunday, October 22, 2023

ආනන්ද මහාස්ථවිරයන් වහන්සේගේ ප්‍රශ්නය

දුල්ලභො පුරිසාජඤ්ඤො න සො සබ්බත්‍ථ ජායති

යත්‍ථ සො ජායති ධීරො තං කුලං සුඛමෙධති.

පුරුෂාජානේය (හෙවත් උත්තම පුරුෂ) තෙම දුර්‍ලභ ය. හෙ තෙම හැම තැන්හි ම උපදෙන් නො වෙයි. ඒ ප්‍රාඥ තෙම යම් කුලයෙක උපදනේ ද, ඒ කුලය සුවයට පැමිණෙන්නේ ය. (සැපතින් වැඩෙන්නේ ය.)

බුද්ධෝපස්ථායක වූ ආනන්ද මහාස්ථවිරයන් වහන්සේ එක් දවසක් දිවාස්ථානයෙහි හුන්නාහු “බුදුරජානන් වහන්සේ හස්ත්‍යාජානීයයෝ ඡද්දන්ත කුලයෙහි හෝ උපෝසථ කුලයෙහි උපදිති, අශ්වාජානීයයෝ සින්‍ධව කුලයෙහි හෝ වලාහකස්සරාජ කුලයෙහි උපදිති, ආජානීය වෘෂහයෝ දක්‍ෂිණා පථයෙහි උපදිති, යි හස්තයාජානීය්‍යාදීන් උපදින තැන් වදාරණ සේක, එහෙයින් පුරුෂාජානීයයෝ කොහි උපදින්නෝ දැ? යි දත යුතු ය” යි බුදුරජුන් වෙත එළැඹ වැඳ “ස්වාමීනි! පුරුෂාජානීයයෝ කොහි උපදින්නෝ දැ?” යි විචාළාහු ය. “ආනන්ද! පුරුෂාජානීයයෝ සෙස්සවුන් මෙන් හැම තැන උපදින්නෝ නො වෙති, දිගින් හා පළලින් යොදුන් තුන් සියයක් හා යොදුන් දෙසිය පණසක් පමණ වූ අවටින් යොදුන් නව සියයක් පමණැති මද්ධ්‍යදේශයෙහි උපදිත්,. උපදින්නෝ ද එසේ මෙසේ කුලයෙක නො උපදිත්, රජමහසල් කුලයෙහි හෝ බමුණු මහසල් කුලයෙහි හෝ යන එක්තරා උසස් කුලයෙක උපදනාහු ය” වදාරා මේ ධර්‍ම දේශනාව කළ සේක.

දුල්ලභො පුරිසාජඤ්ඤො න සො සබ්බත්‍ථ ජායති,

යත්‍ථ සො ජායතී ධීරො තං කුලං සුඛමෙධතී ති.

පුරුෂාජානෙය තෙමේ දුර්‍ලභ ය. ඒ පුරුෂාජානෙය තෙමේ හැම තැන නො උපදී. ප්‍රාඥ වූ හෙතෙමේ යම් කුලයක උපදී නම් ඒ කුලය සැපයෙන් වැඩෙන්නේ ය.

දුල්ලභො පුරිසාජඤ්ඤො = පුරුෂාජානෙය තෙමේ දුර්‍ලභ ය. ලැබිය නො හැකි ය. ලැබීම අපහසු ය.

මෙහි පුරිස ශබ්දය හා එක්ව සිටි ආජඤ්ඤ යනු කර්‍තෘ අර්‍ත්‍ථයෙහි සිද්ධ කෘදන්ත ශබ්දයෙකි. “ආභුසොකාරණාකාරණං ජානාතීති = ආජඤ්ඤං” යනු නිරුක්ති යි. හැමතින් ගැඹුරට ම බැස කරුණු නො කරුණු දන්නේ ආජඤ්ඤ නම් යනු එහි අරුති. පිරිමි බව ලත් හැම කෙනකු කෙරෙහි ම වෙනසක් නො තබා සාමාන්‍ය විසින් නැගෙන පුරිස ශබ්දය ආජඤ්ඤ ශබ්දය හා එකාර්‍ත්‍ථවත් භාවයට ගියේ විශෙෂාර්‍ත්‍ථයක් කියන්නේ ය. ඒ නම් ලෞකික - ලෝකෝත්තරාර්‍ත්‍ථයන් ඉතිරි නො කොට දැනීමෙහි සමර්‍ත්‍ථ වූත් ලෞකික - ලෝකෝත්තරාර්‍ත්‍ථයන් ඉතිරි නො කොට දත්තා වුත් පුරුෂ ශ්‍රේෂඨ තෙමේ පුරුෂෝත්තම තෙමේ පුරිසාජඤ්ඤ නම් වේ යනු මෙහි ලා කියා පෑම ය. භාෂායෙහි වෘෂභ - අශ්ව - හස්ති ශබ්දයන් හා ඝටිත ව සිටි ආජඤ්ඤ ශබ්දය විසින් වෘෂභාදීන් අතුරෙහි ජාතිමත් වූ ද කරුණු නො කරුණු දැනීමෙහි සමර්‍ත්‍ථ වූ ද ස්වාමියාගේ අදහසට අනුව යන වෘෂභාදීහු කියනු ලැබෙත්. “ආජඤඤො ජාතිමා කරණාකාරණානං ආජානනකො, සාමිකානං අජඣාසයානුවත්තකා, සො තිවිධො හොති උසභාජඤඤො අස්සාජඤඤො හත්‍ථාජඤඤොති” යනු සාධක කථා ය. මෙසේ ගත් කල්හි උසභාජඤ්ඤ - අස්සාජඤ්ඤ - හත්‍ථාජඤ්ඤ - පුරිසාජඤ්ඤ යි ආජඤ්ඤයෝ සිවු දෙනෙක් වෙත්. වෘෂභයන් අතුරෙහි ජාතිමත් ශ්‍රේෂ්ඨවෘෂභ තෙමේ, අශ්වයන් අතුරෙහි ජාතිමත් ශ්‍රේෂ්ඨඅශ්ව තෙමේ, හස්තීන් අතුරෙහි ජාතිමත් ශ්‍රේෂ්ඨහස්ති තෙමේ, පුරුෂයන් අතුරෙහි ජාතිමත් ශ්‍රේෂ්ඨපුරුෂ තෙමේ ආජඤ්ඤ ය.

න සො සබ්බත්‍ථ ජායති = ඒ පුරිසාජඤ්ඤ තෙමේ හැම තැන නො උපදියි.

ශ්‍රේෂ්ඨ පුරුෂ තෙමේ, පුරුෂ ශ්‍රේෂ්ඨ වන ජාතියෙහි ප්‍රත්‍යන්ත දේශයෙක හෝ පහත් කුලයෙක හෝ නො උපදියි. උපදිනුයේ දඹදිව මද්ධ්‍යදේශයෙහි මහාජනයා විසින් වැඳුම් පිදුම් ගරු සැලකිලි කටයුතු වූ ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ කුලයන් අතුරෙහි එවක වඩාත් මානනීය වූ කුලයෙහි ය. එසේ ම හැම කල්හි නො ද උපදනේ ය. ලෝකයට හිත පිණිස තමන් මතු කළ මග ගොස් පල ගැණුමෙහි පොහොසත් වූ අල්පරජස්ක වූ තියුණු වූ මෘදු වූ ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන් ඇති සුවසේ හෝ දුකසේ ධර්‍මාවබෝධය කට හැක්කා වූ පරලොව බිය දක්නා සුලු ව වසන්නා වූ මිනිසුන් ඇති කාලයෙහි ම උපදියි.

යත්‍ථ සො ජායති ධීරො = ඒ ප්‍රාඥ තෙමේ යම් ක්‍ෂත්‍රිය බ්‍රාහමණ කුලයෙක උපදී ද.

තං කුලං සුඛං එධති = ඒ කුලය සැපයට පැමිණේ. සැපයෙන් වැඩෙන්නේ ය.

යම් දේශයක යම් කුලයෙක පුරුෂ ශ්‍රේෂ්ඨයෙක් උපන්නේ නම්, ඒ දේශය ඒ කුලය ශීලසමාධ්‍යාදි ගුණ සම්පත්තියෙන් හා ධන සම්පත්ත්‍යාදී වූ අනෙක් හැම සම්පත්තියෙන් වැඩෙනු එකාන්ත ය. එයට දැක්විය හැකි සාධක එදාත් තුබුනේ ය. අදත් ඇත්තේ ය. මේ ගාථා ධර්‍මයෙන් දැක් වූ පුරුෂශ්‍රේෂ්ඨයා මහෝත්තම වූ බුදුරජානන් වහන්සේ ය. උන්වහන්සේගේ උපත දුර්‍ලභ ය. එය එක් දේශයක එක් ජාතියෙක එක් කුලයෙක මිනිසුන්ගේ වැඩීමට සීමා වූයේ ය යි වරදවා නො ගත යුතු ය. ඒ උපත දෙවියන් සහිත ලෝකයෙහි වැඩීමට කරුණු විය. “තං කුලං” යනු මෙහි යොදා වදාළ සියලු සත්ත්‍ව ලෝකය එක් ම කුලයක් කොට ගැණීමෙනි. තමන් වහන්සේගේ ශාක්‍ය කුලයෙහි වැඩීම පමණෙක් ම නො දක්වන ලද්දේ ය. මේ වනාහි දේසනා විලාසය යි.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙනා සෝවන් ඵලාදියට පැමිණියාහු ය.

Saturday, October 21, 2023

අග්ගිදත්ත පුරෝහිතයා

 

මහාකොසොල් රජුගේ පෙරෙවි බමුණා නම් අග්ගිදත්ත බමුණු තෙමේ ය. පසේනදි කොසොල් රජ තෙමේ මහාකොසොල් රජු මළ පසු “මපියානන්ගේ පෙරෙවියා” යි පියාට කළ පෙරෙවිකම් සලකා ගරුබුහුමන් පෙරදැරි ව ඔහු තමන්ගේත් පෙරෙවිකමට ගත්තේ ය. ඔහු රාජසේවාව පිණිස රජගෙට එන කල්හි පෙර ගමන් කොට පිළිගෙණ “ගුරුන්නාන්සේ මෙහි එන්නැ” යි අඬගා ඔහුට සම අසුනක් දෙවාලයි. මෙසේ සම අසුන් ගෙණ ඉන්නා වූ අග්ගිදත්ත තෙමේ “දිනක් රජ්ජුරුවෝ මට නො තරම් සේ සලකති, මෙය හැමදා කෙරෙන්නෙක් නො වේ, රජුගේ සිත් හැම දා එක සේ කෙලෙසිනුත් සතුටු කළ නො හැකි ය, මෙය දැනෙන්නේ වැරදුනු දා ය, ඔහුට වඩා මම මහලු වෙමි, එ ද සුදුසු නො වේ, රජ සැප විඳිතත් විඳිය යුත්තේ සමවයස් ඇත්තන් එකතුව ය, අප දෙදෙනාගේ වයස අහසට පොළොව සේ ඉතා ඈත් ය, මා මහලු බැවින් මට සුදුසු, රාජසේවාව හැරදමා පැවිදි වීමැයි” යි සිතා රජු වෙත ගොස් ඒ බව රජුට දන්වා සිටියේ ය. රජ තෙමේ ද එයට ඔහුට අවසර දින.

එ කල්හි ඔහු නුවර බෙර හසුරුවා තමන් ලඟ තුබූ ධනයෙන් සත් දවසක් මහදන් පවත්වා ඉසිවෙස් ගෙණ පැවිදි වී ය. ඔහු හා කැටිව බොහෝ දෙන ද පැවිදි වූහ. අඟුමගද දෙරට හා කුරුරට හා අතර එක් පෙදෙසක, වාසයට ගිය අග්ගිදත්ත තවුස් තෙමේ ශිෂ්‍යයන් අමතා “දරුවෙනි! තොප කිසිවකුටත් කාම විතර්‍කාදී වූ යම් පාප විතර්‍කයෙක් උපන්නේ නම් ඔහු විසින් වහා ම එක එක වැලිගොටුව බැගින් ගෙණවුත් මෙහි බැහිය යුතු ය” යි අවවාද ලෙසින් කීයේ ය. ඔවුහු එය පිළිගෙණ, පාප විතර්‍කයක් උපන් විට එසේ කළහ. ටික දවසක් යත් ම එ තැන මහවැලි ගොඩෙක් නැංගේ ය. එහි අහිච්ඡත්ත නම් නාරජෙක් අරක් ගතු. අඟුමගද දෙරට වැස්සන් හා කුරුරැටියෝ මසක් පාසා ඔවුනට දන් දෙත්. අග්ගිදත්ත තෙමේ සත්කාර ගෙණ ආවුන්ට “හෙල් පිහිට කොට ගණිවු, වන කැලෑ සරණ කොට යවු, අරම් අසපු පිහිටයි අදහවු, ගස්කොළං සරණ කොට යවු, එසේ සරණ ගෙණ දුකින් මිදෙවු” යි බණ කියයි. තම තවුස් පිරිසටත් එලෙසින් ම අවවාද කරයි. ඔය දවසෙහි දෙව්රම් වෙහෙර වැඩ වසන බුදුරජානන් වහන්සේ ලොව බලා වදාළෝ, අග්ගිදත්තයා දුටහ. දැක මුගලන් මහා තෙරුන් කැඳවා “මුගලන්! මහදනා නො මග යවන නො තොටට පමුණුවන අග්ගිදත්ත තමුසේට නො පෙණේ ද, තමුසේ එහි ගොස් උන්ට අවවාද කොට උන් සැම දෙනා සුමගට ගණිවු” යි වදාළ සේක. “ස්වාමිනි! ඔවුහු බොහෝ ය, එකලා මට ඔවුන් සුමගට ගැණීම පහසු නැත, බුදුරජානන් වහන්සේත් වඩනා සේක් මැනවැ” යි මුගලන් තෙරුන් දන්වා සිටි කල්හි බුදුරජානන් වහන්සේ “මුගලන්! මම ද එන්නම්, තමුසේ මට පෙරාතු ව එහි යවු” යි වදාළ සේක.

මුගලන් මහා තෙරණුවෝ මගබැස වැඩියහ. වඩිනා ගමනේ “මූලා බොහෝ ය, බලවත්හු ය, යම් ලෙසකින් මම මුන් හැම දෙනා රැස් ව සිටි තැනේදී යමක් කීයෙම් නම් හැම දෙන නැගී සිට කැටි කැටි ව දොඩන්නට පටන් ගණිති” යි සිතා එකකුගෙන් එකකු වෙන් කරණු පිණිස දළ පොදවැස්සක් වස්වා ලූහ. වැසිපොද වැටෙත් ඔවුහු සියලු දෙන හුන් තැන්වලින් නැගිට තමතමන්ගේ පන්සල් තුළට රිංගා ගත්හ. ඉක්බිති මුගලන් මහා තෙරණුවෝ අග්ගිදත්තයාගේ පන්සල් දොර සිට “අග්ගිදත්ත” යි ඇමතූහ. ඒ අසා අග්ගිදත්ත “මට නම කියා අමතන්නට හපනෙක්, මෙ ලොව කොතැනකත් නැත, කවරෙක් මට නම කියා අමතා දැ” යි මානයෙන් තද ව “කතා කරන්නේ කවරෙක් දැ” යි ඇසී ය. “බමුණ! මමැ” යි තෙරුන් කී කල්හි බමුණු “කිමැ” යි විචාළේ ය. “අද එක් රැයක් මෙහි නවතින්නට මට ඉඩ දෙන්නැ” යි උන්වහන්සේ ඉල්ලූහ. “අය්යෝ! කණගාටුයි, මෙහි එකකුට මුත් දෙදෙනකුට වැද හෝනට ඉඩපහසු නැතැ” යි බමුණු කී ය. “අග්ගිදත්ත! එසේ නො කියව, මිනිස්සු මිනිසුන් ලඟට යති, ගොනු ගොනුන් ලඟට යති, පැවිද්දෝ පැවිද්දන් ලඟට යති, එහෙයින් එසේ කියනු නො වටියි, ගිහිගෙවලට යන්නට පැවිදි වූ අපට නො හැකි ය, කෙසේ නමුත් අදට නැවතීමට පොඩ්ඩක් ඉඩ දෙව” යි කීහ. එකල්හි “තමුසේ පැවිදි කෙනෙක් දැ” යි අග්ගිදත්ත ඇසී ය. “ඔව් මම පැවිද්දෙක්මි” යි කී කල්හි “කෝ තමුසේගේ තවුස් පිරිකරැ” යි විචාළේ ය. “බමුණ! මාගේ පිරිකර තිබේ, එය වෙන වෙන ම ගෙණ ඇවිද පියන්නට තරම් හයියක් මට නැත, එය මහගැහෙටකි, එහෙයින් අභ්‍යන්තරයෙහි ම රුවා ගෙණ ඇවිදිමි” යි කීහ.

එකල අග්ගිදත්ත “මොහු තවුස් පිරිකර නො ගෙණ හැසිරේ ය” යි උන්වහන්සේට කිපියේ ය. ඉක්බිති මහාතෙරණුවෝ “අග්ගිදත්ත! අහක පලයන්, තරහ නො ගෙණ, මට වසන්නට තැනක් කියව” යි කියා නැවැත “මේ වැලිගොඩේ ඉන්නේ කවරෙක් දැ” යි ඇසූහ. “නාරජෙකැ” යි ඔහු කී ය. “එසේ නම් මට ඒකවත් දෙව” යි ඉල්ලූහ. “එ තැන ද දෙනු නො හැකි ය, එහි ඉන්නා වූ නාරජ නපුරු එකෙකැ” යි කී ය. “තට එයින් කම් නැත, මට එතැන. දෙව” යි නැවත කීහ. “තමුන්නාන්සේට ඌ හා එක් ව හිඳින්නට හැකි නම් මට කමක් නැත, තමුන්නාන්සේ ම වන්නක් ඉවසිය යුතු ය, මට අඩාපාලි කියනු බැරිය, කැමැති නම් හුන්නාට මගෙන් වරදෙක් නැතැ” යි අග්ගිදත්ත කියා සිටියේ ය.

ඉක්බිති මහාතෙරණුවෝ වැලිගොඩ වෙත ගියහ. නාරජ තෙමේ, එන්නා වූ තෙරුන් දුර දී ම දැක, “අර මහණ එන්නේ මෙහි ය, ඔහු මා මෙහි ඉන්නා බව නො දනියි, දුම් දමා ඔහු මරමි” යි දුමා ගියේ ය. ඒ කල්හි මහාතෙරණුවෝ “මේ නාරජ! මම ම දුමන්නට දනිමි, අනෙකෙක් නො දනී, යි සලකා” යි තමන් වහන්සේත් දුමා ගියහ. ඒ වේලෙහි දෙදෙනාගෙන් නැගි දුම බඹලොව තෙක් නැගී සිටියේ ය. ඒ දුමින් නාරජ ම පෙළුනේ ය. තෙරුන්ට කිසිත් ගැහටෙක් නො වී ය. ධුමවේගය ඉවසනු නො හැකි නාරජ තෙමේ ගින්නෙන් ඇවිළී ගත්තේ ය. තෙරණුවෝත් තේජෝධාතු සමාපත්තියට සමවැද ඔහු හා එක් ව දිලෙන්නට වූහ. ගිනිදැල් ද බඹලොව තෙක් නැගින. එ කල්හි ඔහුගේ සිරුර පන්දම් විලක්කුවලින්, දල්වන ලද්දක් සේ පෙනෙන්නට වන. තවුස් පිරිස ගිනිදැල් දැක “නාරජ තෙමේ මහණහු දවා, අනේ! හොඳ මහණ, අප කීවක් නො ගෙණ නටුයේ” යි සිතී ය.

තෙරුන් නාරජු දමා විෂ නැත්තකු කොට වැලිගොඩ මත වැඩහුන් කල්හි නාරජ වැලිගොඩ දරණපටින් වෙළා කුළුගෙයක් පමණ වූ පෙණගොබක් මවා තෙරුන් හිස මත දරා සිටියේ ය. තවුසෝ “මහණහු මළ නො මළ බව දනිමු” යි තෙරුන් වෙත ගොස් වැලිගොඩ මත හුන් උන්වහන්සේ දැක දොහොත් මුදුන් නගා ස්තුති කරමින් “මහණ! නාරජු විසින් පෙළන ලදුයෙහි දැ” යි ඇසූහ. “නො පෙණේ ද නාරජු, මා මත්තෙහි පෙණය දරා සිටින්නේ?” යි තෙරණුවෝ ඇසූ හ. එකල්හි තවුසෝ “පින්වත! මහ පුදුමයි, මෙබඳු මහානයෙක් දමන ලද්දේය” යි තෙරුන් වට කොට සිට ගත්හ.

ඉක්බිති බුදුරජානන් වහන්සේ එහි වැඩි සේක. මුගලන් මහාතෙරණුවෝ බුදුරජුන් දැක නැගිට වැන්දාහ. ඒ දුටු තවුසෝ “මෙතෙමේ ඔබ වහන්සේටත් වඩා උසස් එකෙක්දැ” යි ඇසූහ. “ඔව්! මෙතෙමේ මා පියා, භාග්‍යවත් බුදුරජානන් වහන්සේ, මම මුන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍ර” යි කීහ. බුදුරජානන් වහන්සේ වැලිගොඩ මත වැඩ හුන්හ. එවිට තවුසෝ “ශිෂ්‍ය පුත්‍රයාගේ ආනුභාවය මෙතරම් නම් මොහුගේ ආනුභාවය කොතරම් විය යත දැ” යි සලකා දොහොත් මුදුන් නගා ස්තුති කළහ. එහිදී බුදුරජානන් වහන්සේ අග්ගිදත්ත අමතා “ඔබ තම අතවැස්සන්ට අවවාද දෙන්නහු කුමක් කියා අවවාද දෙන්නහු දැ?” අසා වදාළසේක. “මේ හෙල පිහිට කොට යවු, මේ කැලය සරණ කොට ගණිවු, මේ අරම පිහිටැයි අදහවු, මේ රුක සරණයැ යි සලකවු, මෙතැන් සරණ යනුයේ දුකින් මිදේ යි මෙසේ අවවාද කරම්” යි අග්ගිදත්ත දන්වා සිටි කල්හි “අග්ගිදත්ත! මෙතැන් සරණ යන්නේ දුකින් නො මිදේ, බුදුන් දහම් සඟුන් සරණ, යනුයේ ම සියලු සසර දුකින් මිදේ” යි වදාරා මේ ධර්‍ම දේශනාව කළ සේක.

බහු වෙ සරණං යන්ති පබ්බතානි වනානි ච,

ආරාමරුක්ඛචෙත්‍යානි මනුස්සා භයතජ්ජිතා.

.

නෙතං ඛො සරණං ඛෙමං නෙතං සරණමුත්තමං

නෙතං සරණමාගම්ම සබ්බදුක්ඛා පමුච්චති.

.

යො ච බුද්ධඤ්ච ධම්මඤ්ච සඞ්ඝඤ්ච සරණං ගතො,

චත්තාරි අරියසච්චානි සම්මප්පඤ්ඤාය පස්සති.

.

දුක්ඛං දුක්ඛසමුප්පාදං දුක්ඛස්ස ච අතික්කමං

අරියඤ්චට්ඨඞ්ගිකං මග්ගං දුක්ඛූපසමගාමිනං.

.

එතං ඛො සරණං ඛෙමං එතං සරණමුත්තමං

එතං සරණමාගම්ම සබ්බදුක්ඛා පමුච්චති.

බියෙන් තැති ගත් බොහෝ මිනිස්සු බොහෝ වූ හෙල් ද වන ද අරම් ද රුක් ද එකතින් සරණ කොට යත්, සරණය යි සලකත්, පිළිගණිත්.

මේ සරණය නිර්‍භය නො වේ. මේ සරණය උතුම් නො වේ. මේ සරණයට පැමිණ හැම දුකින් නො මිදේ.

යමෙක් බුදුන් ද දහම් ද සඟුන් ද සරණ කොට ගියේ නම් හේ, මේ සිවුසස් දහම් මනා කොට නුවණින් දන්නේ ය.

මේ දුඃඛසත්‍යය ද දුඃඛසමුදය සත්‍යය ද දුඃඛයාගේ අතික්‍රමණය ද දුක් සන්සිඳවීමට පමුණුවනසුලු අරී අටඟි මග ද යන මේ සරණය නිර්‍භය වේ. මේ සරණය උතුම් වේ. මේ සරණයට පැමිණ සියලු දුකින් මිදේ.

බහුං = බොහෝ වූ.

‘බහුං’ යනු ‘බහූ’ යි ගන්නැ යි අටුවාව කියයි. එ කල්හි ඒ පදය ගාථාවෙහි එන පබ්බතානි - වනානි - ආරාමරුක්චෙත්‍යානි යන තෙපදය හා මනුස්සා යනු හා වෙසෙසයි. පබ්බතානි යනාදී වූ තෙපදය වෙසෙසන කල්හි එපදය නපුංසකලිඞ්ගික වේ. මනුස්සා යනු වෙසෙසන කල්හි පුංලිඞ්ගික වේ.

වෙ = ඒකාන්තයෙන්.

සරණං යන්ති = පිහිට කොට යෙත්. පිහිටැ යි සලකත්.

පිහිට කොට යෑම නම් හැම එකක් හැම වැඩක් සිදුකරගණු සඳහා ඒ ඒ සජීවාජීවවස්තු තමන්ට වහළැයි ගැණීම ය. සැලකීම ය. ගමනාර්‍ත්‍ථධාතූන් අවබෝධාර්‍ත්‍ථයෙහි ද වැටෙන බැවින් යන්ති යන ක්‍රියාපදයට සලකත්දනිත්, යන අරුත් ද දෙන්නෝ ය.

පබ්බතානි ච = පර්‍වතයන්ද.

“තත්‍ථ තත්‍ථ ඉසිගිලි වෙපුල්ල වෙභාරාදිකෙ පබ්බතෙ ච” යනු අටුවා. ඒ ඒ තන්හි වූ ඉසිගිලි -වෙපුල්ල - වෙභාරාදී වූ පර්‍වත. මෙහි ආදිශබ්දයෙහි ලෝවැස්සන් විසින් දෙවියන් අරක් ගන්නා ලදැ යි පිළිගත් හැම පර්‍වත කෙනෙක් ම සඞ්ග්‍රහයට යෙත්.1

වනානි ච = වනයන් ද.

“මහාවනගොසිඞ්ගසාලවනාදී වනානි” යනු අටුවා. මහාවන - ගෝසිඞ්ගසාලවනාදී වූ වන. මෙහි ද ආදිශබ්දයෙහි ඒ මහා වනාදිය මෙන් ලෝවැස්සන් විසින් “දෙවියන් වසති” යි පිළිගත් සුභගවන - දේවසාලවන - අන්‍ධවන - මධුවන - තාලවන - කුමුදුවන - චම්පකවන - බහුලවන - භද්‍රවන - ඛාදිරවන - කාලිඞ්ගාරණ්‍ය - මෙද්ධ්‍යාරණ්‍ය - මාතඞ්ගාරණ්‍ය - උපලාවෘතාරණ්‍ය යනාදී වූ හැම වන කෙනෙක් ම සංග්‍රහයට යෙත්. [1]

මෙලොව පරලොව ඉෂ්ටාර්‍ත්‍ථසිද්ධිය පතා දෙවියන් උදෙසා බිලි පුද පවත් වන කැලෑපෙදෙස් මෙයින් ගැණේ. මේ වනපෙදෙස්හි යමෙක් මළේ නම් හෝ බඹලොව ඉපිද කෙළවර මෝක්‍ෂයට පැමිණේය යි මිසදිටුවෝ කියත්. අන්‍ධ විශ්වාසයෙන් කියන මේ කියුම් බැහැරලිය යුතු ය. නො ද පිළිගත යුතු ය.

“වනෙෂෙවතෙවෂවරණෙය්‍යෂු යසතු ප්‍රාණාන් පරිත්‍යජෙත්,

බ්‍රහ්මලොකෙථිතිර්භූත්‍වා ස යාති පරං පදම්”

යනු එහිලා කීහ.

මොනර - කොවුල් ඈ පක්‍ෂීන් විසින් සෙවුනා ලද තැන වනැයි අපගේ පොතපතෙහි කියන ලද්දේය. “වනන්ති තං හජන්ති මයූරකොකිලාදයො සත්තාති = වනං” යනු ඒය.

“බහු වෘක්‍ෂස්ථානං = වනම්, ග්‍රාමාද්වහිර් ගුල්මලතාකීර්‍ණං නිර්‍ජනං බහුවෘක්‍ෂසංතතස්ථානං = වනම්” යනු ද එහිලා දත යුතු ය.

ආරාමරුක්ඛචෙත්‍යානි = අරම් - සෑරුක් ද

“වෙළුවනජීවකම්බවනාදයො ආරාමෙ ච උදෙනචෙතිය = ගොතමචෙතියාදීනි රුක්ඛචෙතියාදීනි ච” යනු අටුවා. වේළුවන - ජීවකම්බවන ඈ අරම් ද, උදේනචේතිය - ගොතමකචේතිය ඈ සෑරුක් ද යනු අරුත්. මෙහි ආදිශබ්දයන්හි දෙවියන් අරක් ගනා ලදැයි ලෝවැස්සන් පිළිගත් අම්බපාලිවන - උපවත්තන වන - වජ්ජිචේතිය - සාරන්දදචේතිය යනාදී වූ සෙසු අරම් සෑරුක් සඞ්ග්‍රහයට යෙයි.

සිත් ඇලෙන තැන ආරාමය යි ගණිත්. “ආගන්ත්‍වා රමන්තී එත්‍ථාති = ආරාමො” යනු එහි සමර්‍ත්‍ථනය යි. හේ පුෂ්පාරාම ඵලාරාම විසින් දෙ පරිදිය.

පෘථිවීසාරය - වාතය - ආලෝකය - වර්‍ෂාධාරා ඈ හේතුන් නිසා අවකාශය බලා නැගී යනුයේ වැඩී යනුයේ රුක් ය. හේ ඔසධී - තිණ - වනස්පතීන්ගේ වශයෙන් තෙ පරිදි ය. අරලු - නෙල්ලි ඈ රුක් ඔසධීහු ය. තල් - පොල් රුක් තිණ ය. නුග - ඇසතු ඈ රුක් වනස්පතීහු ය.

මෙහි ආරාමරුක්ඛ ශබ්දය හා එක්ව සිටි චේතිය ශබ්දය ගාථායෙහි එන පබ්බත - වන ශබ්ද හා ද එක් කොට ගන්නේ ය. ලෝකයා විසින් බුහුමන් කරණු ලබන අරුතින් හා බුහුමන් කරන්නන් විසින් පුදනු ලබන අරුතින් ඒ හැම චේතිය නම් වේ.

පර්‍වත - වන - ආරාම - ගඞ්ගා - තීර්‍ත්‍ථ - වෘක්‍ෂ යනාදිය දෙවියන් අරක් ගන්නා ලදැයි ලෝකයාගේ ඇදහීම ය. පිළිගැනීම ය. එහෙයින් ඔවුහු තමන්ට පැමිණෙන උවදුරු වළකා ගැණීම සඳහා පර්‍වතාදී වූ ස්ථානයන්හි පුද සැලකිලි පවත්වත්. දූ පුතුන් ලැබීම පිණිස යදිත්. සමහර කෙනෙක් පරලොව සුගතිය සඳහා සමහර කෙනෙක් සංසාර විමුක්තිය සඳහා පර්‍වතවනාදිය ඇසුරු කරත්. ගඟදිය ගැලෙත්. වනගත වෙත්. අසපුවල වෙසෙත්. රුක්මුල් සේවනය කෙරෙත්. මෙසේ මොවුන් එලොවින් හා මෙලොවින් එන සියලු බිය උවදුරු වළකාලීමට මෙතැන් ඇසුරු කරණු ලබන්නේ පුදනු ලබන්නේ මෙතැන්හි දෙවියන් වසති යි සැල කීමෙනි. සමහර විටෙක දෙවියන්ගේ පිහිට පතා මෙ තන්හි සත්ත්‍වයන්ගේ ගලලෝහිතය ද පුදත්. එපමණට මේ තැන් සරණ කොට යෑම සාමාන්‍ය ලෝකයා අතර බල පවත්වන්නේ ය. එහෙයින් ඒ හැම තැන් චේතිය යි ගණිත්.

පර්‍වත ම පර්‍වතචෛත්‍ය නම්. වන ම වනචෛත්‍ය නම්. ආරාම ම ආරාම චෛත්‍ය නම්. වෘක්‍ෂ ම වෘක්‍ෂචෛත්‍ය නම්. පබ්බත - වන යනාදියෙන් ගනු ලබන්නෝ ඒ ඒ තැන්හි අරක් ගත් දෙවියෝ ය. පබ්බත දේවතා - වන දේවතා - ආරාම දේවතා - රුක්ඛ දේවතා යි පොතපතෙහි ආයේ එහෙයිනි.

මනුස්සා = මිනිස්සු.

භයතජ්ජිතා = බියෙන් තැති ගත්.

සිතේ සැලීම භය නම්. ආත්ම ස්නේහය නැසී යන කරුණු දැකීමෙන් උපදනා බැගෑබව ඇසුරු කළ සිතේ වෙනස්බව භය නමැ යි කියන ලදි.

ජාති - ජරා - ව්‍යධි - මරණ - සෝක යි භය පසෙකි. මේ පස අතීත - වර්‍තමාන - අනාගත

කාලවශයෙන් පසළොසෙක් වේ. චෝර - අරි - රාජ - උදක - අග්නි - දණ්ඩ - දුර්‍ගති - රොග - ආත්මානුවාද - පරානුවාදභය යන මේ දසය හා ද ගිණූ කල්හි භය පස්විස්සෙක් වේ. මේ මෙසේ වදාළ සේක බුදුරජානන් වහන්සේ:-

“ජාතිජරාව්‍යාධිචුතී ච සොකො

තෙකාලිකා පඤ්චදසී ච හොන්ති,

චොරාරිරාජූදකපාවකො ච,

දණ්ඩො භයො දුග්ගති ඝොරරොගො.

අත්තානුවාදො ච පරානුවාදො

බුද්ධො වදෙ ද්වීසතිපඤ්චිමෙ භයා” යි.

මෙහි කියු ජාති - ජරාදිය සැලකීමේ දී සිතේ ඇති වන කම්පනය භයැ යි ගන්නේ ය. මේ කරුණු වලින් සාමාන්‍ය ජනයෝ තැති ගන්නාහ. සැලෙන්නාහ. “භයතජ්ජිතා” යන්න “මනුස්සා” යන්නට විශේෂණ වේ.

නෙතං ඛො සරණං ඛෙමං = මේ සරණය නිර්‍භය නො වේ.

නෙතං යන මෙහි එතං යනු පද සිඳීම ය.  යනුත් ඛො යනුත් නිපාත යි.

දෙවියන්ගේ අනුකම්පාව බැල්ම ලද්දවුනට ඒ හේතුවෙන් යම් විටෙක මේ ලොවින් මද අස්වැසිල්ලෙක් ලැබුනේ ද එයින් එ ලොවින් හා මේ ලොවින් හා එන හැම උවදුරක් හැම නපුරක් වළකනු බැරිය. ඒ එසේ නම් සසර දුකින් නිදහස් වීමට සසරබිය වළකන්නට පර්‍වත - වන - ආරාම - වෘක්‍ෂශරණයෙන් නො හැකිය යනු කියයුතු නො වේ. එහෙයින් එතැන් මට පිහිටැයි ගැණීම ඇදහීම නිසරු ය. අර්‍ත්‍ථ රහිත ය. එසේ ගැණීමෙන් කිසිවකුටත් සසර දුකින් නිදහස්වීමට පිළිවන් කමක් නැත්තේ ය. එසේ ගන්නේ තව තවත් දිගට සසරෙහි ගැලෙන්නේ ය. දුකෙහි කිඳා බස්නේ ය. දෙවියන් පිහිට කොට ගැණීම නිර්‍භයට කරුණු නො වේය, යි වදාළෝ එහෙයිනි.

බිය රහිත වූයේ ඛෙම නම් වේ. මේ සරණය බිය රහිත නො වේ. එහෙයින් ඛෙම ද නො වේ.

න එතං සරණමුත්තමං = මේ සරණ උතුම් නො වේ.

පර්‍වතාදිය සරණ ගියේ ද පුන පුනා සසරැ ගැලෙන්නේ ය. හේ සසරෙහි වූ ජාති ජරා මරණාදී වූ කිසි දුකෙකින් නො මිදෙන්නේ ය. එහෙයින් “මේ පර්‍වතාදිශරණය උතුම් නො වේ ය” යි වදාළ සේක.

උත්තම නම් හැම අතකින් නැගී සිටියේ ය. තමාට වඩා උත්තරිතරයෙක් නැත්තේ නම්, තෙමේ ම හැම එකෙකින් වැඩී සිටියේ නම් හේ ම උත්තම ය. එබඳු උසස් බවෙක් පර්‍වතාදී ශරණයෙහි නැත්තේ ය. එහෙයින් ඒ සරණය නො උතුමැ යි වදාළ සේක.

න එතං සරණමාගම්ම = මේ සරණයට පැමිණ, සරණය ගෙණ, සරණැ යි දැන.

මෙහි ඇති එතං යන්න හා සන්‍ධිව සිටි  යනු ගාථාවෙහි යෙදී සිටි පමුච්චති යන ක්‍රියාපදය හා එක් වන්නේ ය. එහෙයින් ඒ හා එක් කොට අරුත් ගතයුතු යි. ආගම්ම යනු පූර්‍ව ක්‍රියාපදයි. පැමිණ, ගෙණ, දැන යන අරුත් එයට දිය හැකි ය.

සබ්බදුක්ඛා (න) පමුච්චති = සියලු දුකින් (නො) මිදෙයි.

සබ්බදුක්ඛා යන්නෙන් සසර ඇති තාක් දුක් ගැණේ. එක ද දුකක් නො හැර සිටියේ ය එය.

යො ච = යමෙක් වනාහි.

අනියාමිතවචනයි. අසුවලාය යි මෙහි නියමයෙක් නැත. “ගහට්ඨො වා පබ්බජිතො වා” යි අටුවායෙහි අනියමින් දක් වන ලද්දේ එහෙයිනි.

බුද්ධං ච = බුදුන් ද. [2]

ධම්මං ච = ධර්‍මය ද. [3]

සඞ්ඝං ච = සඞ්ඝයා ද.

සඞ්ඝ නම් ආර්‍ය්‍යදෘෂ්ටියෙන් හා ආර්‍ය්‍යශීලයෙන් හා එකට හැනී සිටි පුද්ගල සමූහ තෙමේ ය. “දිට්ඨිසීලසාමඤ්ඤෙන සංහතො තථාගතස්ස අට්ඨ අරියපුග්ගලසමුහසඞ්ඛාතො සාවක සඞ්ඝො” යනු අටුවා ය. එහිලා ම “සීලදිට්ඨිසාමඤ්ඤතාය සඞ්ඝා තභාවං ආපන්නො සාවකසමූහො” යනු දන්නේ ය. කාල වශයෙන් දේශ වශයෙන් ජාති වශයෙන් ගෝත්‍ර වශයෙන් වයස් පමණින් උගත් පමණින් වෙනසක් නො තබා ඒ විසින් කොතෙක් වෙනස් කම් ඇත්තේ ද, ශීලයෙන් දෘෂ්ටියෙන් සමාන බැවින් එක් වන බැවින් සමග්‍රකර්‍මයට එළඹෙන පිරිස මෙයින් දක්වන ලද ය. එසේ ම යම් පිරිසක් කෙලෙස්ගිනි මැනැවින් නිවා ද කෙලෙස්ගිනි නිවීමට පිළිවෙත් හෝ පුරා ද ඒ පිරිසය. “සංහන්ති සමග්ගං කම්මං සමුපගච්ඡති සම්මදෙව කිලෙසදරෙථ හන්තීති වා = සඞ්ඝො” යනු කීයේ එහෙයිනි.

දම් පැවැතුම් සූත්‍රදේශනාව ඇසූ කොණ්ඩඤ්ඤ බමුණු තෙමේ පළමු කොට ආර්‍ය්‍ය සත්‍යාවබෝධයෙන් ආර්‍ය්‍යශ්‍රාවක විය. අනතුරු ව වප්ප - භද්දිය - මහානාම - අස්සජී යන බමුණෝ පිළිවෙළින් ආර්‍ය්‍යශ්‍රාවකයෝ වූහ. මේ පස්දෙන ම එයට පසු අනත් ලකුණු සුත්දෙසුම් අසා සව් කෙලෙස් නසා රහත් වූහ. පළමු කොට ලෝකයෙහි පහළ වූ සඞ්ඝ තෙමේ ය මේ.

අවිශේෂයෙන් සඞ්ඝ ශබ්දයෙන් යම් තනි පුද්ගල සමූහයෙක් කියන ලද්දේ නමුත් ඒ පුද්ගලසමූහ තෙමේ දක්ඛිණෙය්‍යසඞ්ඝ - සම්මුතිසඞ්ඝ යි දෙ පරිද්දෙකින් ව්‍යවස්ථිත විය. එහි දක්ඛිණ්‍යෙසඞ්ඝ නම් අෂ්ටාර්‍ය්‍යපුද්ගල සමූහ තෙමේ ය. [4] සැදැහවතුන් විසින් කම්පල අදහා පුදන දාන වස්තූන් පිළිගැනීමට හැම අතකින් සුදුසු ව සිටි බැවින් මේ පිරිස දක්ඛිණෙය්‍ය සඞ්ඝ නම් වි ය.

සමුතිසඞ්ඝ නම් සෝවන් මගට ද නො පත් සාමාන්‍ය භික්‍ෂු සමුහ තෙමේ ය. මේ සම්මුතිසඞ්ඝ තෙමේ චතුවග්ග - පංචවග්ග - දසවග්ග - වීසතිවග්ග - අතිරේකවීසතිවග්ග යි කර්‍මවශයෙන් පස්වැදෑරුම් වේ. උපසම්පන්න වූ සාමාන්‍ය භික්‍ෂූන් සතර නමක් එක් වූ කල්හි එතැන චතුවග්ග යි ගණිනු ලැබේ. සෙසු තැන ද මෙසේ දන්නේ ය. එහි උපසම්පදා - පවාරණ - අබ්භානකර්‍ම හැර අන් හැම සඞ්ඝකර්‍මයක් චතුවර්ගික සඞ්ඝයාට කළ හැකි ය. මද්ධ්‍යමජනපදයන්හි උපසම්පදාවත් අබ්භානයත් හැර අන් හැම සඞ්ඝකර්‍මයන් පඤ්චවර්ගික සඞ්ඝයාට කළ හැකිය. දශවර්ගික සඞ්ඝයාට අබ්භාන කර්‍මය හැර අන්‍ය වූ සඞ්ඝකර්‍ම කළ හැකි ය. විංශද්වර්ගික - අතිරෙක විංශද්වර්ගික සඞ්ඝයාට නො කළැකි සඞ්ඝකර්‍මයෙක් විනයයෙහි නැත්තේ ය. “පඤ්ච සඞ්ඝා: චතුවග්ගො භික්ඛුසඞ්ඝො පඤ්චවග්ගො භික්ඛුසඞ්ඝො, දසවග්ගො භික්ඛුසඞ්ඝො, වීසතිවග්ගො භික්ඛුසඞ්ඝො, අතිරෙකවීසතිවග්ගො භික්ඛුසඞ්ඝො. තත්‍ර භික්ඛවෙ! ය්වායං චතුවග්ගො භික්ඛුසඞ්ඝො, ඨපෙත්‍වා තීණි කම්මානි උපසම්පදං පවාරණං අබ්භානං, ධම්මෙන සමග්ගො සබ්බකම්මෙසු කම්මප්පත්තො. තත්‍ර භික්ඛවෙ! ය්වායං පඤ්චවග්ගො භික්ඛුසඞ්ඝො, ඨපෙත්‍වා ද්වෙ කම්මානි මජ්ඣිමෙසු ජනපදෙසු උපසම්පදං, අබ්භානං, ධම්මෙන සමග්ගො සබ්බකම්මෙසු කම්මප්පත්තො. තත්‍ර භික්ඛවෙ, ය්වායං දසවග්ගො භික්ඛුසඞ්ඝො, ඨපෙත්‍වා එකං කම්මං අබ්භානං, ධම්මෙන සමග්ගො සබ්බකම්මෙසු කම්මප්පත්තො. තත්‍ර භික්ඛවෙ! ය්වායං වීසතිවග්ගො භික්ඛුසඞ්ඝො ධම්මෙන සමග්ගො සබ්බකම්මෙසු කම්මප්පත්තො. තත්‍ර භික්ඛවෙ! ය්වායං අතිරෙකවීසතිවග්ගො භික්ඛුසඞ්ඝො, ධම්මෙන සමග්ගො සබ්බකම්මෙසු කම්මප්පත්තො.” යනු විනය දේශනා ය.

විනයයෙහි ආ කර්‍ම විසින් පස් වගකට බෙදුනු මේ භික්‍ෂු සමූහය මෙහිලා අභිමත නො වේ. අභිමත වූයේ ප්‍රධාන විසින් ආර්‍ය්‍ය ශ්‍රාවකසඞ්ඝ තෙමේ ය. බුද්ධ - ධම්ම - සඞ්ඝ යන තෙරුවන් සරණ ගියේ නම් “ඉතිපි සො භගවා අරහං” යනාදීන් ආ බුද්ධානුස්සති කම්මට්ඨානයත් “ස්වාක්ඛාතො භගවතා ධම්මො” යනාදීන් ආ ධම්මානුස්සති කම්මට්ඨානයත් “සුපටිපන්නො භගවතො සාවක සඞ්ඝො” යනාදීන් ආ සඞ්ඝානුස්සති කම්මට්ඨානයත් ඇසුරු කොට ශ්‍රේෂ්ඨ විසින් සරණ ගියේ ය. මාර්‍ගාගත ශරණගමනයෙන් සරණ ගියේ ය. මොහුගේ සරණය අන්‍ය තීර්‍ත්‍ථකාදීන් වන්‍දනමානනාදී වූ කිසි හේතුවෙකින් නො ද සැලෙන්නේ ය. නො ද බිඳෙන්නේ ය. ඒ දක්වනු සඳහා ය “චත්තාරි අරියසච්චානි” යනුත් වදාළෝ.

චත්තාරි අරියසච්චානි = චතුරාර්‍ය්‍යය සත්‍යයන්.

මෙහි චත්තාරි යනු සඞ්ඛ්‍යා දක්වන්නේ ය. ආර්‍ය්‍යසත්‍යය සතරෙකැ යි එයින් දක්වන ලදි. අඩු ද නැත. වැඩි ද නැත ද ලැබෙනුයේ සතරෙක් ම ය. “පස්වන සත්‍යයෙක් ද ඇත, සතරෙක් නො වේ, පසෙකි, සතරෙක් නො වේ, තුනෙකි, එහෙයින් එකෙක් හළයුතු ය, මේ කියූ සතර ආර්‍ය්‍යසත්‍යය නො වේ, මෙයින් අන් සතරෙක් ආර්‍ය්‍ය සත්‍ය වේ” යන ඈ ලෙසින් ප්‍රතිවිරුද්ධ ව සිතන්නට කියන්නට දක්වන්නට සමතෙක් මේ මුළු තුන් ලොව එදාත් නො වී ය. දැනුත් නැත්තේ ය. මතු ද නො වන්නේ ය. එයට කරුණ, මෙයින් අන්‍ය වූ සත්‍යභාවයක් නො ලැබීම, මින් එකකුත් අසත්‍යය යි බැහැර ලන්නට නො හැකිවීම මේ සතර ඒකාන්ත සත්‍යවීම යන මේ ය. මේ සතරට ඇතුළත් නො වූ කිසිත් පදාර්‍ත්‍ථයෙක්, වැඩිය යි හළ යුතු එක ද පදාර්‍ත්‍ථයෙක්, මෙයින් අන්‍ය වූ එක ද පදාර්‍ත්‍ථයක් භවත්‍රයයෙහි එකාන්තයෙන් නැත්තේ ය.

සසරෙහි ඇත්තේ පැවැත්ම නැවැත්ම හා එහි හේතු ද පමණකි. හේතුන්ගෙන් තොර ව සසරෙහි පැවැත්මෙක් නැත. එහෙයින් සසරෙහි පැවැත්ම හේතුසහිත ය. සසරෙහි නැවැත්ම නිකමට නො වන්නේ ය. එයට උපායය ඇත්තේ ය. එහෙයින් නැවැත්ම උපායසහිත ය. සසරෙහි පැවැත්ම නම් දුඃඛසත්‍යය යි. පැවැත්මට හේතු වූයේ සමුදය සත්‍යය යි. සමුදය නම් තෘෂ්ණා ය. සමුදය නම් වූ තෘෂ්ණාව නිසා දුකෙහි දිගින් දිගටම පැවැත්ම වේ. එහෙයින් දුඃඛසත්‍යය වදාරණ තැන එයට හේතු වූ සමුදය සත්‍යය ද වදාළ සේක.

සසරෙහි නැවැත්ම නම් නිරෝධසත්‍යය යි. දුක් නැති කිරීමෙන් පැමිණිය යුතු වූ නිවනයි. දුකෙහි නැවැත්මට හෙවත් නිවනට උපායය වූයේ මාර්‍ග සත්‍යයයි. එහෙයින් නිරෝධසත්‍ය නම් වූ නිවන වදාරණ තැන එයට උපායය වූ මාර්‍ගසත්‍යයද වදාළ සේක.

මෙසේ පැවැත්ම හා නැවැත්ම හා එ දෙකෙහි හේතු ද හැර ඉන් වැඩියක් නො ලැබෙන බැවින් ඒ පරම කොට සත්‍ය සතරක් ම වදාරණ ලද්දේ ය.

බෙදා වෙන් කොට ලක්ෂණ-රසාදීන්ගේ වශයෙන් පිරිසිඳ දතයුතු ධර්‍ම, මාර්‍ගභාවනා බලයෙන් මුළුමනින් දුරු කළයුතු ධර්‍ම, මාර්‍ගඥානබලයෙන් ප්‍රත්‍යක්ෂ කළයුතු ධර්‍ම, තමන්ගේ සිත්හි පුන පුනා වැඩිය යුතු ධර්‍ම යන සතරක් ම ලැබෙන බැවිනුත් සත්‍ය සතරෙක් ම වන්නේය.

තෘෂ්ණාවට වස්තු, තෘෂ්ණා, තෘෂ්ණානිරෝධ, තෘෂ්ණානිරෝධයෙහි උපායය යන මේ වශයෙන් හා කාමවස්තු - කාමාලය - ආලය - නිරෝධ - එහි උපාය ය යන මේ වශයෙන් හා සත්‍ය සතරෙක් ම ලැබේ. චත්තාරි යනු යෙදුනේ, මෙසේ සත්‍ය සතරක් ම අඩුත් වැඩිත් නැති ව ලැබෙන බැවිනි.

අරිය-සච්ච ශබ්ද දෙක්හි සමස්තය අරියසච්ච යනු යි. අරිය ශබ්දය විශේෂ විසින් යෙදී සිටියේ බුදුරජානන් කෙරෙහි ය. සෝතාපත්තිභාවා දී වූ අටවැදෑරුම් ආර්‍ය්‍යභාවයෙහි ද එසේ වන්නා වූ තතුපරිදි දැන ගන්නා වූ අන්පරිදි නො වන්නා වූ දැයෙහි ද යෙදෙයි. අරිය නම් බුදු - පසේබූදු - මහරහත්හු ය. පුහුදුන් බැවින් තොරවූවෝ මෙහිලා ආර්‍ය්‍යයෝය යි ගණිත්. “අරියානාං ගොචරෙ රතා” යනු බලනු.

සච්ච ශබ්දය මෙහිලා ආර්‍ය්‍ය සත්‍යයෙහි එන්නේ ය. එහෙයින් විද්‍යමාන වූ ස්වභාවය ම ඇති සැටිය ම මෙයින් ගැණේ. බුදු - පසේ බුදු - මහරහතුන් විසින් අවබෝධ කරණ හෙයින්, බදුරජුන් විසින් සොයාගත් බැවින්, බුදුරජුන්ට ම අයත් බැවින්, එසේ ම වන බව, කිසිලෙසකින් අසත්‍ය නො වන බව, අන් අයුරකින් නො වන බව යන තථ - අවිතථ - අනඤ්ඤථ බැවින්, පුහුදුන්බව නසා ආර්‍ය්‍යභාවය සිදුකරන බැවින් යන වචනාර්‍ත්‍ථ වශයෙන් විද්‍යමාන ස්වභාවය ම ආර්‍ය්‍ය සත්‍යය යි දතයුතු ය. [5]

ආර්‍ය්‍යභාවය සිදු කරණ බැවිනැ යි මෙහි කීයේ සෝතාපන්නාදීව මාර්‍ගස්ථ-ඵලස්ථ පුද්ගලයන් අටදෙනාගේ ලැබීම ය. ආර්‍ය්‍යභාවය සිදු වන්නේ චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කිරීමෙනි. චතුස්සත්‍යය නැති කල්හි මාර්‍ගඵලාවබෝධයෙක් නැත. සත්‍යප්‍රතිවේධය ම එයට කරුණු ය.

මුල දී විදසුන් නුවණින් හා අධිගම කාලයෙහි මගනුවණින් හා විමසන්නහුට ඉන්‍ද්‍රජාලයක් සේ විපරිත ද නො ව මිරිඟුවක් සේ රැවටිල්ලක් ද නො ව වරදවා ගත් ආත්මය සේ නො ලැබිය හැකි ද නො ව පෙළෙනබව, හටගැණුමට හේතුවන බව, සන්සිඳුනු බව, සසරින් නික්මෙන බව යන සිවු අයුරින් සත්‍ය වූ විපරීත නො වූ මාර්‍ගඥානයට ම ගොදුරු වන්නා වූ මාර්‍ගඥානයෙන් ම දත යුත්තා වූ යමෙක් වේ ද, ඒ මේ යථාභූතාත්වය ඇති සැටිය සත්‍යාර්‍ත්‍ථය යි කියන ලද්දේ ය.

සම්මප්පඤ්ඤාය පස්සති = මනා කොට දකියි.

විදසුන් නුවණින් දැකීම, මනා කොට නුවණින් දැකීම ය. පිරිසිඳ දැනීම ය. [6]

ආර්‍ය්‍ය සත්‍යය විදසුන් නුවණින් දක්නහුන්ගේ සරණය ම අන්‍ය තීර්‍ත්‍ථක වන්‍දනාදී වූ කිසිත් හේතුවෙකින් නො ද දෙදරන්නේ ය. නො ද සැලෙන්නේ ය. මෙබන්දහුගේ සරණය ම බවදුක් නැසීමට ඉවහල් වන්නේ ය. සියලු සසර දුකින් මිදෙන්නේ ද මෙ තෙමේ මැයි කොටින් දතයුතු ය.

දුක්ඛං = දුක්ඛ සත්‍යය (ද).

දුඃඛසත්‍යය ආර්‍ය්‍ය සත්‍ය අතුරෙහි පළමුවැන්න ය. දුඃඛ නම් උපාදානස්කන්‍ධ පංචකය යි. “කතමං ච භික්ඛවෙ! දුක්ඛං අරිය සච්චං?” මහණෙනි! දුඃඛාර්‍ය්‍යසත්‍යය කවරේ ද? යත්: “පඤ්චුපාදානක්ඛන්‍ධො” පංච උපාදානස්කන්‍ධයෝ ය. මේ එහි සංක්‍ෂිප්ත, දේශනා ය. රූපෝපාදානස්කන්‍ධය - වේදනෝපාදානස්කන්‍ධය - සංඥෝපාදානස්කන්‍ධය - සංස්කාරෝපාදානස්කන්‍ධය - විඥානෝපාදානස්කන්‍ධය මේ පස උපාදානස්කන්‍ධයෝ ය. කාම - දිට්ඨි - සීලබ්බත - අත්තවාද යන මොවුනට විෂය වන කෙලෙස් සහිත වූ රූප - වේදනා - සංඥා - සංස්කාර - විඥාන යන ස්කන්‍ධයෝ ම ය උපාදානස්කන්‍ධ.

එකොළොස් වැදෑරුම් වූ කාමභවය, සොළොස් වැදෑරුම් වූ රූපභවය, සිවු වැදෑරුම් වූ අරූපභවය යන භවත්‍රයයට ඇතුළත් කර්‍ම විපාකයන්ගේ පැවැත්ම යි කියන උපාදානස්කන්‍ධයන්ගේ පිළිවෙළ නො සිඳ දිගින් දිගට යෑම දුඃඛ නැමැයි මෙසේත් කිය හැකි ය. “දුක්ඛං තෙභූමකං වත්‍ථං” යනු එහිලා දතයුතු ය.

දුඃඛ ශබ්දයෙහි පෙණෙන දු යනු නින්‍දා කළ යුතු යන අරුත්හි වැටේ. නින්‍දා කළ යුතු පිළිකුල් කළ යුතු පුත්‍රයාට දුපුත්ත යි ද පිළිකුල් කළ යුතු ගන්‍ධයට දුගන්‍ධ යි ද කියත්. හිස් වූ කිසි දැයක් නැති අහසට  යි කියත්.  ශබ්දය හිස් ය යන අරුත්හි වැටේ. එහෙයින් දු-ඛ ශබ්ද දෙක එක් වූ කල්හි “නින්‍දා කළ යුතු හිස් දෙය” යන අරුත නැගී එන්නේ ය. ප්‍රථමාර්‍ය්‍යසත්‍යය එනම් පංචෝපාදානසන්‍ධය, ත්‍රෛභූමක වෘත්තය රෝගපීඩාදී නොයෙක් උවදුරුවලට ආධාරස්ථාන බැවින් නින්‍දා කටයුතු ද, අඥයන් විසින් ගත් ධුව - සුභ - සුඛ - අත්තභාව යන මෙයින් හිස් බැවින් ශුන්‍යද වේ. මෙසේ කුත්සිත බැවින් තුච්ඡ බැවින් ඒ මේ පංචෝපාදානස්කන්‍ධය දුක්ඛ යි කියනු ලැබේ. මෙය ආර්‍ය්‍ය වූ බුදුරජානන් වහන්සේ විසින් ම දැන වදාළ බැවින්, මෙය දැන ගැණීම ආර්‍ය්‍යයභාවයට කරුණු බැවින් ආර්‍ය්‍ය සත්‍ය නම් වේ. දුඃඛ වූ ආර්‍ය්‍ය සත්‍යය දුඃඛාර්‍ය්‍ය සත්‍ය නම්.

දුඃඛාර්‍ය්‍යය සත්‍යයෙහි පීඩන - සඞ්කත - සන්තාප - විපරිණාම යි අර්‍ත්‍ථ සතරෙක් වේ. “දුක්ඛ පීළනට්ඨො, සඞ්ඛතට්ඨො, සන්තාපට්ඨො, විපරිණාමට්ඨො, ඉමෙ චත්තාරො දුක්ඛස්ස දුක්ඛට්ඨා. තථා අවිතථා අනඤ්ඤථා” යනු අටුවා යි. සිත කය දෙක පෙළන ගතිය පීඩන නමි. හේතුප්‍රත්‍යයයන්ගෙන් සකස් කැරෙණ බව සඞ්ඛත නමි. දුක කරණ කොට හාත්පසින් කැරෙණ තැවුලිය සන්තාප නමි. ගින්නකින් මෙන් රාගාදීක්ලේශදාහයෙන් දැවීම තැවිමය ඒ. මුල් පැවැත්මෙහි වෙනස්වීම පුන පුනා බිදී සෑම විපරිණාම නමි. මොවුහු වනාහි දුඃඛසත්‍යයාගේ තත්ස්වභාව වූ නො ද බොරු වූ අන්‍යකාර රහිත වූ දුඃඛස්වභාවයෝ ය.

මේ භවත්‍රයයෙහි කිසි ද තැනෙක මෙ කී දුඃඛභාවයන්ගෙන් තොර වූ දිව්‍ය - බ්‍රහ්ම - මනුෂ්‍ය - නරක තීර්‍ය්‍යක් ප්‍රේතාදී වූ කිසිත් පදාර්‍ත්‍ථයෙක් නැත්තේ ය. ලොව ඇති තාක් හෑම පදාර්‍ත්‍ථයෙක් මේ සතරට යටත් ව පවතින්නේ ය. එහෙයින් භවත්‍රයය පුරා සිටියේ දුක ය. දූඃඛසත්‍යය පිළිබඳ වූ මේ ස්වභාවධර්‍මයෝ මාර්‍ගඥානයට විෂය ව සිටියෝය යි දත යුතු ය.

ලක්‍ෂණ විසින් දුඃඛසත්‍යය පෙළම ලකුණු කොට සිටියේ ය. රස විසින් තැවීම රස කොට සිටියේ ය. පච්චුපට්ඨාන විසින් සසරෙහි පැවැත්ම ඵල හෝ වැටහීම කොට සිටියේ ය. නිරෝධ සත්‍යය හේතූන්ගෙන් සකස් වන්නක් නො වන බැවින් ආර්‍ය්‍ය සත්‍යවිෂයයෙහි පදට්ඨානයෙන් නො ලැබෙන්නේ ය.

“න බාධකං යතො දුක්ඛං දුක්ඛං අඤ්ඤං න බාධකං,

බාධකත්තනියාමෙන තතො සච්චමිදං මතං”

දුක පෙළීම ලකුණු කොට සිටි බැවින් භවත්‍රයය පුරා සිටි ජාත්‍යදී දුඃඛය කිසිවිටෙකත් සත්ත්‍වයන් නො පෙළන්නේ නො වේ ද, යම් හෙයකින් ජාත්‍යදිදුඃඛයෙන් අන්‍යයකු පෙළන්නේ නො වේ ද, එහෙයින් දුඃඛයාගේ බාධකභාවය අනෙකක්හුගේ අබාධක භාවය යන මේ දෙවැදෑරුම් නියමයෙන් ලැබෙන්නා වූ තථ - අවිතත්ථ - අනඤ්ඤථ වූ පෙළීම දුඃඛයාගේ සත්‍යාර්‍ත්‍ථ යි දතයුතු ය.

ඉතා සැකෙවින් කියූ මේ දුඃඛසත්‍යයෙහි තෘෂ්ණාව හා ආශ්‍රව ධර්‍මයන්ට අරමුණු නො වූ ලෝකෝත්තරධර්‍මත් හැර අන් සියලු ත්‍රෛභූමකධර්‍ම ඇතුළත් වේ. “දුක්ඛසච්චස්මිං හි ඨපෙත්වා තණ්හාචෙව අනාසවධම්මෙ ච සෙසා සබ්බධම්මා අන්තොගධා” යනු ආප්තයි.

දුඃඛසත්‍යය වදාරණ බුදුරජානන් වහන්සේ දුඃඛසත්‍යයෙහි ඇතුළත් කරුණු සමහර සූත්‍ර ප්‍රදේශයන්හිලා “ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං සොක පරිදෙව දුක්ඛ දොමනස්සුපායාසාපි දුක්ඛො අප්පියෙහි සම්පයොගො දුක්ඛො පියෙහි විප්පයොගො දුක්ඛො යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං සංඛිත්තෙන පංචුපාදානක්ඛන්‍ධා දුක්ඛා” යි දුක් දොළොසක් වදාළ සේක.

එහෙත් සමහර තැනෙක සොක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාස යන පස හැර එහිලා ව්‍යාධිය ඇතුළත් කොට ධර්‍ම අටක් දෙසූ සේක. එහෙයින් මෙය මෙසේ දතයුතු ය: ව්‍යාධිය කායික - මානසික වශයෙන් දෙ පරිදි ය. එහි පරිදේව - දුක්ඛ දෙක කායික වෙයි. සෝක - දෝමනස්ස - උපායාස තුන මානසික වෙයි. මෙසේ මේ පස කායික - මානසික විසින් වෙන් වූයේ ද, ව්‍යාධිය ම වේ. යම් තැනෙක ව්‍යාධිය වදාළෝ නම්, ඒ තැනකෙ සෝකපරිදේවදුක්ඛදෝමනස්ස උපායාසයෝ ද ගැණෙත්. යම් තැනක සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයන් වදාළෝ නම්, ඒ තැන කායික - මානසික ව්‍යාධිය ද ගැණේ. එක ම දේශනාව මෙසේ ක්‍රම දෙකෙකින් වදාළෝ ශ්‍රාවකයන්ගේ චරිතයනට අනුකූල කොට ය. මිනිසුන් අතර ව්‍යාධිය ප්‍රකට බැවින් දම්සක් පැවතුම් සූත්‍රාදීන්හි ව්‍යාධි පදය බැහීමෙන් ද, දෙවියන් අතර කායිකව්‍යාධිය අප්‍රකට බැවින් ඒ ප්‍රකට කරුණු සඳහා අභිධර්‍මයෙහි සච්චවිභඞ්ගයෙහි දී ව්‍යාධි පදය හැර සෝකාදි පද බැහීමෙන් ද ඒ ඒ විනෙයජනයන් බලා එක ම කරුණ දෙවිධියෙකින් දේශනා කළ බව හා කරුණු විසින් එහි කිසිත් වෙනසක් නො ලැබෙන බව හා සැලකිය යුතු ය.

ජාතිය ද දුක ය. ජරාව ද දුක ය. මරණය ද දුක ය. සෝකය ද දුක ය. පරිදේවය ද දුක ය. කායිකදුක්ඛය ද දුක ය. දෝමනස්සය ද දුක ය. උපායාසය ද දුක ය. සැකෙවින් උපා දනස්කන්‍ධ පස දුක ය යනු මුලින් දැක් වූ දේශනාවෙහි කෙටි තේරුම ය.

ජාතිපි දුක්ඛා යන මෙහි ජාතිය වදාළ සැටි මෙසේ දන්නේ ය. “යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්‍ධානං පාතුභාවො ආයතනානං පටිලාභො අයං වුච්චති ජාති” යි.

ජාති ශබ්දය “එකම්පිජාතිං දෙවපි ජාතියො” යනාදි තන්හි භවයෙහි ය. “අත්‍ථි විසාඛෙ නිගණ්ඨා නාම සමණජාති” යනාදී තන්හි නිකායයෙහි ය. “තිරි නාම තිණජාති නාභියො උග්ගනත්‍වා නහං ආහච්ච ඨිතා අහොසි” යනාදී තන්හි ප්‍රඥප්තියෙහි ය. “ජාති ද්වීහි ඛන්‍ධෙහි සඞ්ගහිතා.” යනාදී තන්හි ප්‍රත්‍යප්‍රතය්‍යොත්පන්නධර්‍මයන්ගේ උත්පාදලක්ෂණයෙහි ය. “යං මාතුකුච්ඡිම්හි පඨමං චිත්තං උප්පන්නං පඨමං විඤ්ඤාණං පාතුභූතං තදුපාදාය සාවස්ස ජාති” යනාදි තන්හි ප්‍රතිසන්ධියෙහි ය. “සම්පති ජාතො ආනන්ද! බොධිසත්තො” යනාදි තන්හි ප්‍රසූතියෙහි ය. “අනුපක්කුට්ඨො ජාතිවාදෙන” යනාදි තන්හි කුලයෙහි ය. “යතොහං භගිනි! අරියාය ජාතියා ජාතො” යනාදි තන්හි ආර්‍ය්‍යශීලයෙහි ය. හේ මෙහි වූයේ අණ්ඩජ - ජලාබුජ සත්ත්‍වයන්ගේ පිළිසිඳ ගැණීමෙහි පටන් මවුකුසින් බිහිවීම දක්වා පැවැති ස්කන්‍ධයන්හි හා සංසෙදජ - ඔපපාතික සත්ත්‍වයන්ගේ පිළිසිඳ ගන්නා කාලයෙහි පවත්නා වූ ස්කන්‍ධයන්හි ය. ඒ ද අප්‍රධාන විසිනි. ප්‍රධාන විසින් ඒ ඒ යෝනිගති ආදියෙහි වූ සත්ත්‍වයන් පිළිබඳ ආදියෙහිලා ම පහළ වන ස්කන්‍ධයන් කෙරෙහි වැටේ.

ඒ මේ ජාතිය ආදිඋප්පත්තිය ලකුණු කොට සිටියා, ආදි උත්පත්තිය දුකට පාවාදීම කෘත්‍යය කොට සිටියා, අතීතභවයෙන් මේ භවයෙහි මතුවීම වැටහීම කොට සිටියා, දුඃඛවිචිත්‍රතාවය ඵල කොට සිටියා ය.

“ඉදං හි දුක්ඛං නාම අනෙකං නානප්පකාරකං” යි ආ තැන දුක්ඛදුක්ඛ - විපරිණාමදුක්ඛ - සඞ්ඛාරදුක්ඛ - පටිච්ඡන්නදුක්ඛ - අපටිච්ඡන්නදුක්ඛ - පරියායදුක්ඛ - නිප්පරියායදුක්ඛ යි දුක සත් කොටසක් කොට දක්වන ලද්දේ ය.

එහි දුක්ඛවේදනා, ස්වභාව විසින් හා නාම විසින් හා තොමෝ ම දුක් බැවින් කායික - මානසික විසින් දෙ පරිදි වූ දුක්ඛ වේදනාව දුක්ඛදුක්ඛ නම් වා. කායවස්තුකාදී වූ සුඛවේදනාව ස්වභාව විසින් දුක් නො වතුදු අන්‍යථාත්‍වයට පැමිණෙන බැවින් හා දුක් ඉපදීමට හේතුවන බැවින් හා විපරිණාමදුක්ඛ නම් වේ. උපේක්‍ෂවේදනාව හා අන්‍ය වූ ත්‍රෛභූමකසංස්කාර හා උදය-ව්‍යය දෙකෙන් පෙළෙන බැවින් සඞ්ඛාරදුක්ඛ නම් වේ. මේ වනාහි මාර්‍ග ඵල පිළිබඳ ද වන්නේ ය. එහෙයින් මාර්‍ග-ඵල ධර්‍මයෝ දුඃඛසත්‍යයෙහි ඇතුළත් වෙත්, එහිලා “පීළනම්පන මග්ගඵලානම්පි අත්‍ථි තස්මා දුක්ඛ සච්චපරියාපන්නට්ඨෙන සඞ්ඛාර දුක්ඛං නාමාති වෙදිතබ්බා” යනු දතයුතු ය. කන් කැක්කුම් දත් කැක්කුම් හා රාග ද්වේෂයන් ගෙන් හටගත් තැවුලි යනාදි වූ කායික - චෛතසික ආබාධය විවාරා ම දත යුතු බැවින් හා අප්‍රකට බැවින් පටිච්ඡන්නදුක්ඛ නම් වේ. දෙතිස් කම් කටොලු ඈ නිසා හටගත් ආබාධය නො විචාරා ම දත හැකි බැවින් හා උපක්‍රමයාගේ ප්‍රකට බැවින් හා අපටිච්ඡනනදුක්ඛ නම් වේ. මෙහිලා කියැවුනු නො ද කියැවුනු දුක් අතුරෙහි දුක්ඛදුක්ඛය හැර දුක්ඛසච්චවිභඞ්ගයෙහි දැක් වූ අනෙක් ජාත්‍යාදී වූ සියලු දුක් ඒ ඒ දුකට වස්තු වන බැවින් පරියාය දුක්ඛ නම් වේ. දුක්ඛදුක්ඛය නිප්පරියායදුක්ඛය යි කියන ලදි. මෙසේ ඇති කල්හි හැම දුකෙක් ම දුක්ඛදුක්ඛ - පරියායදුක්ඛ දෙක්හි ම ඇතුළත් වේ. එහෙයින් ජාතිය ද තොමෝම දුක් නො ව දුකට වස්තු වන බැවින් ද පරියාය දුක්ඛයෙහි සඞ්ග්‍රහයට යන්නී ය.

දුඃඛසත්‍යය කිය යුත්තේ පරියායදුක්ඛ - නිප්පරියායදුක්ඛ යන දෙ පදයෙහි පිහිටා සිට ය. පෙළෙහි මෙය සැකෙවින් හා විස්තර විසින් හා ආයේ ය. විස්තර විසින් ආයේ ඉතා දිග ය. ඒ දීර්‍ඝ විස්තරයට මෙ තැන තැන් නො වේ. එහෙයින් මෙහි එය ඉතා සැකෙවින් එන්නේ ය.

ස්කන්‍ධයන්ගේ මුල් පහළවීම ජාති යි යට කියන ලදි. බුදුරජානන් වහන්සේ විසින් එය බාලපණ්ඩිත සූත්‍රාදියෙහි උපමා වශයෙන් දැක් වූ සිවු අපායයෙහි වූ හැම දුකටත් මනුෂ්‍ය ලෝකයෙහි ගබ්භෝක්කන්තිමූලක - ගබ්භපරිහරණමූලක - ගබ්භවිපත්තිමූලක - ගබ්භවිජායනමූලක - බහිනික්ඛමණමූලක - අත්තුපක්කමමූලක - පරූපක්කමමූලක දුක්ඛ යනාදී වූ ඇති තාක් හැම දුකටත් වස්තුවන බැවින් දුක් වේ. ජාතිය ඇති කල්හි ම හැම දුක් වන්නේ ය. එහෙයින් ජාතිය දුකැයි දතයුතු ය. .

“ජායෙථ නො චෙ නරකෙසු සත්තො

තත්‍ථග්ගිදාහාදිකමප්පසය්හං,

ලභෙථ දුක්ඛං නු කුහිං පතිට්ඨං

ඉච්චාහ දුක්ඛාති මුනීධ ජාති”

සත්ත්‍ව තෙමේ නරකයන්හි නො උපදී නම්, ඒ නරකයන්හි ගින්නෙන් දනු ලැබීම් ආදී වූ නො ද ඉවසිය හැකි දුක කොතැනක පිහිටක් ලබා ද. ජාතිය නො වේ නම් දුකෙක් නැත. බුදුරජානන් වහන්සේ ඉපැත්ම දුකැයි වදාළේ එහෙයිනි.

“දුක්ඛං තිරච්ඡෙසු කසාපතොද

දණ්ඩාභිඝාතාදිභවං අනෙකං,

යං තං කථං තත්‍ථ භවෙය්‍ය ජාතිං

විනා තහිං ජාති තතොපි දුක්ඛා”

තිරිසනුන් කෙරෙහි කසය කෙවිටය දඬුය යන මෙයින් පහරදීම් හේතුවෙන් හටගන්නා වූ දුක් නන්වැදෑරුම් වේ ද, ඒ සියල්ල තිරිසනුන් කෙරෙහි ඉපදීමක් නැති ව කෙසේ නම් වන්නේ ද. එහෙයින් ඉපැත්ම දුක් ය.

“තිබ්බන්‍ධකාරෙ ච අසය්හසීතෙ

ලොකන්තරෙ යං අසුරෙසු දුක්ඛං,

න තං භවෙ තත්ථ න චස්ස ජාති

යතො අයං ජාති තතොපි දුක්ඛං”

අඳුරෙන් ගහන වු නො ඉවසිය හැකි සීත ඇත්තා වූ ලෝකන්තරික නරකයෙහි ද විනිපාතික අසුරයන් කෙරෙහි ද යම් දුකෙක් වේ නම්, ඒ දුක එහි ඉපැත්මෙක් නො වේ නම් නො වන්නේ ය. එහෙයින් ඉපැත්ම දුක් ය.

“යං චාපි ගූථනරකෙ විය මාතුගබ්භෙ

සත්තා වසං චිරමතො බහි නික්ඛමං ච,

පප්පොති දුක්ඛමතිඝොරමිදම්පි නත්‍ථි

ජාති විනා ඉතිපි ජාතිරයං හි දුක්ඛා”

ගුථනරකය වැනි මවුකුසෙහි බොහෝ කල් වසන සත්ත්‍ව තෙමේ මවුකුසින් බැහැර නික්මෙන්නේ ගර්‍භාවක්‍රාන්තිමූලකාදී වූ යම් දුකකට පැමිණේ ද, ඉතා දරුණු වූ මේ දුක ද ඉපදීමෙක් නැත්තේ නම් නො වන්නේ ය. එහෙයින් ඉපැතම දුක් ය.

මේ ගාථාවෙහි දැක්වෙන පරිදි ජාතිය නිසා යට කියු ගබ්භෝක්කන්තිකමූලකාදි දුක්ඛයන්ගේ පැවැත්ම වනබව දත යුතු ය. ඒ පිට, එය පදනම් කොට මේ දුක් හැම රඳා සිටුනේ ය.

ගබ්භෝක්කන්කන්තිකමූලක දුක්ඛය නම්, මවුකුස උපදින්නා වූ සත්ත්‍වයා පියුම් උපුල් ගැබෙක හෝ රන් රිදී කරඬුවෙක හෝ නො ම උපදියි. ඉපැදෙනුයේ ආමාශය යට ජක්‍වාශය මතුයෙහි අතුණුවැටි පිටිකටු අතර අවකාශ රහිත වූ ලෝකාන්තරික නරකයක් සේ ඉතා අඳුරු වූ ගූථනරකය සේ පිළිකුල් වූ පරම දුර්‍ගන්‍ධ වාතයෙන් තද බද වූ මවුකුසෙහි වැසිකිළි වළෙක උපදනා පණුවකු සේ ය. ඔහු දස මසක් මුළුල්ලෙහි මවු කුසෙහි උෂ්ණයේ පැසෙමින් ශීතයෙන් ගැසෙමින් වාතයෙන් සැලෙමින් අත්පා හැකිළීම් දිගු කිරීම් රහිත ව දුක් විඳියි. මේ වනාහි එහිදී මේ සත්ත්‍වයා විසින් දසමස් කාලය තුළ විඳින්නා වූ දුක් ය.

ගබ්භපරිහරණමූලක දුක්ඛය නම්, මවුගැබ උපන් පසු එගැබ පරිහරණ කාලයෙහි ගැබ උපන්නහු විසින් විඳින දුක් ය. මවු කුස උපන් සත්ත්‍වයා බිහිවනතුරු ම මවගේ ඉඳීම් සිටීම් නැගී සිටීම් පෙරැළීම් ආදී වූ ක්‍රියාවන්හි, කෑම් බීම් වැමෑරීම් ආදී වූ ක්‍රියාවන්හි, රාසොඬෙකු අතට පත් එළුවකු සේ ද, ඇදීම බැහීම් යටිහුරු ව උඩුහුරු ව සැලීම් ආදී වූ ක්‍රියාවන්හි අහිතුණ්ඩිකයකු අතට පත් සර්‍පයකු සේ ද, ඉතා දැඩි දුක් විඳියි. එසේ ම මවු ඇල්දිය ගන්නා කල්හි ශීත නරකයෙහි උපන්නකු සේ ද, උණු කැඳ උණු බත් ඈ ගන්නා කල්හි උණු අඟුරු වැස්සෙන් වට කරණ ලද්දකු සේ ද, ලුණු ඇඹුල් ඈ ගන්නා කල්හි ලුනුදිය පිරී ගත් වෙතරණි නරකයෙහි උපන්නකු සේ ද දුක් විඳියි.

ගබ්භවිපත්තිමූලක දුක්ඛය නම්, ප්‍රසූතියෙහි ක්‍රම විරුද්ධවීමෙන් විඳිය යුතු දුක ය. මූඪගර්‍භය යි කියන සරස් වූ දරුගැබ් ඇති මවගේ නෑ හිතමිතුරන් විසින් බෙහෙවින් දුක් උපදවන්නා වූ ස්ථානයන්හි කරවනු ලබන කැපීම් කෙටීම් පැළීම් ආදියෙන් උපදනා දුක් ය.

ගබ්භාවිජායනමුලක දුක්ඛය නම්, දරු බිහිවන වේලෙහි විඳිනා දුක් ය. මවගේ කුසතුළ ම හට ගන්නා වූ කර්‍මජවාතයෙන් ලදරු සිරුරෙහි හිස යටිහුරු ව පා උඩුහුරු ව ලං වන්නේ ය. නැවැත පරමසම්බාධ වූ යෝනිමුඛයෙන් නික්මෙන වේලෙහි එන ලදරු කෙසේ සිදුරකින් නික්මෙන ඇතකු සේ සඞ්ඝාතනරකයෙහි පෙරළෙන පර්‍වත දෙකට හසු වී තැළෙන සුණු වන නිරිසතකු සේ බලවත් දුකට පත් වේ. මවු තොමෝ ද මාරණාන්තික වූ දුක් විඳියි.

බහිනික්ඛමණමූලක දුක්ඛය නම්, මෙසේ අතිමහත් දුකින් මැඩෙමින් ගැටෙමින් උපන්, අළුත් වණයක් වැනි සියුමැලි සිරුරු ඇති ඒ සත්ත්‍වයා විසින් අතින් ගන්නා වූ නාවන්නා වූ සෝදන්නා වූ රෙදිකඩින් පිරිමදින්නා වූ හැම වේලෙහි ඉදිකටුතුඩින් විදිනා වැනි ව කරමුවහතින් පළනා වැනි ව විඳිනු ලබන දුක් ය.

අත්තුපක්කමමූලක දුක්ඛය නම්, ඉපිද වැඩිවිය පැමිණ දිවි ගලවන කාලයෙහි තමා ම තමන් නසා ගන්නා කාලයෙහි අචේලකව්‍රතාදීන්ගේ වශයෙන් පස් වැදෑරුම් තැවීම් පෙළීම් ආදී වූ ක්‍රියාවන්හි යෙදෙන කාලයෙහි ලෝභ ද්වේෂ මෝහාදී අකුශලයන්ගේ බලවත් බැවින් නො කා නො බී කල් ගෙවන කාලයෙහි ගෙල වැල ලාගන්නා කාලයෙහි විඳිනා දුක් ය.

පරූපක්කමමූලක දුක්ඛය නම්, අන්හු අතින් වධ බන්‍ධනාදීන් විඳිනා කාලයෙහි උපදනා දුක් ය.

“කිං භාසිතෙන බහුනා නනු යං කුහිඤ්චි

අත්‍ථීධ කිංචිදපි දුක්ඛමිදං කදාචි,

නෙවත්‍ථි ජාතිවිරහෙ යදතො මහෙසී

දුක්ඛාති සබ්බපඨමං ඉමමාහ ජාතිං”

මේ සත්ත්‍වලෝකයෙහි කිසි තැනෙකත් යම් කිසි දුකෙක් වේ ද, ඒ මේ සියලු දුක ජාතිය නැති කල්හි නො වේ ම ය. එහෙයින් සියලු දුක්වලට මුල් වූ මේ ජාතිය දුකැයි දතයුතු ය.

ජරාපි දුක්ඛා, යන මෙහි ජරාව වදාළ සැටි මෙ සේ දන්නේ ය. “යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනො සංහානි ඉන්‍ද්‍රියානං පරිපාකො. අයං වුච්චති ජරා” යි.

දිරා යෑම ජරා නම් වේ. ඒ ඒ භවයන්හි ඇතුළත් වූ ස්කන්‍ධයන්ගේ මේරීම ය, මහලුබව ය ජරා. දත්වැටීම කෙස් ලොම් පැසීම ඇඟ රැලි නැගීම යන මේ ආදි ස්වභාවයන්ගෙන් ජරාව දක්වන ලද නමුත් එයින් එය ප්‍රකට නො වේ. ඉන් ප්‍රකට වනුයේ ජරාව ගිය මග ය. දියෙන් බිඳී ගිය තැන් දිය නො වන්නා සේ සුළඟින් කැඩී ගිය තැන් සුළඟ නො වනා සේ ගින්නෙන් දාගිය තැන් ගින්න නො වන්නා සේ දත් වැටීම කෙස්ලොම් පැසීම ඇඟ රැලි නැගීම කුදුවීම ඇස් නො පෙණිම ජරාව නො වේ. දියෙන් බිදී ගිය තැනින් දිය ගිය මග, සුළඟින් කැඩී ගිය තැනින් සුළඟ ගිය මග, ගින්නෙන් දාගිය තැනින් ගින්න ගිය මග ප්‍රකට වන්නා සේ දත් රැවුළු ආදියෙහි ඇති වන කැඩුම් බිඳුම් පැසුම් ආදියෙන් ජරාව ගිය මග ම දන්නේ ය. ඒ මේ කැඩුම් බිඳුම් පැසුම් ආදීය ජරාව නො වේ. ජරාව ඇසින් දැකිය නො හැකි ය. “යථෙව හි උදකස්ස වා වාතස්ස වා අග්ගිනො වා තිණරුක්ඛාදීනං සංභග්ගපලිභග්ගතාය වා ඣාමතාය වා ගතමග්ගො පාකටො හොති, න ච සො ගතමග්ගො තානි එව උදකාදීනි, එවමෙව ජරාය දන්තාදීසු ඛණ්ඩිච්චාදි වසෙන ගතමග්ගො පාකටො, චක්ඛුං න ච ඛණ්ඩිච්චාදී එව ජරා, න හි ජරා චක්ඛුවිඤ්ඤෙය්‍යා හොති” යනු අටුවා යි.

ඒ ඒ භවයන් පිළිබඳ ස්කන්‍ධයන්ගේ මේරීම හෙවත් දිරා යෑම නිසා කෙස් ලොම් පැසෙයි. දත් වැටෙයි. ඇඟ රැලි නගියි. සුදු කබර හටගණියි. ඇස් අඳුරු වෙයි. කන් බිහිරි වෙයි. සිහි නැති වෙයි. නුවණ දුබල වෙයි. ගොත ගැසෙයි. ඇඟ දුබල වෙයි. යන මේ ඈනට කරුණු වූයේ සත්ත්‍වයන් පිළිබඳ දිරා යෑම ය. සත්ත්‍වයන්ගේ මහලුබව ය. එහෙයින් සත්ත්‍වයන්ගේ මේරීම ජරා යි දත යුතු ය.

ප්‍රකට - ප්‍රතිච්ඡන්න - අවීචි - සවීචි විසින් ජරාව දෙපරිදි දෙපරිදි වේ. එහි රූපධර්‍මයන්හි පැනෙන පැරණි බව ප්‍රකට ජරා ය. දත් වැටීම් කෙස් ලොම් පැසීම් ඈ විකාරයෙන් එය පැහැදිලි ව පෙණේ. “දන්තාදීසු ඛණ්ඩාදිභාවදස්සනතො රූපධම්මෙසු ජරා පාකටජරා නාම” යනු එය සමර්‍ත්‍ථනය කරයි. නාමධර්‍මයන්ගේ පැරණිබව ප්‍රතිච්ඡින්න ජරා ය. මෙහි එබඳු විකාර ස්වභාවයක් වෙනස් වූ ලෙසක් දත නො හැකි ය. “අරූපධම්මෙසු පන ජරා තාදිසස්ස විකාරස්ස අදස්සනතො පටිච්ඡන්න ජරා නාම” යනු එය ව්‍යක්ත කරයි.

යම් වෙනස්වීමක් වර්‍ණවිශේෂාදීන්ගේ වශයෙන් අතරතුර පිරිසිඳ නො දත හැකි නම් ඒ අවීචි ජරා ය. එහිලා මෙය කීයේ ය. “අන්තරන්තරා වණ්ණවිසෙසාදීනං දුබ්බිඤ්ඤෙය්‍යත්තා ජරා අවීචිජරා නාම” යනු. එයින් අන්‍ය වූ කෙස්ලොම් නියදත් ආදීන්හි අතරතුර පෙණෙන ජරාව වර්‍ණවිශේෂාදීන්ගේ වශයෙන් පහසුවෙන් දතහැකි බැවින් සවීචි ජරා නම් වේ. “තතො අඤ්ඤෙසු පන යථාවුත්තෙසු අන්නරන්තරා වණ්ණවිසෙසාදීනං සුවිඤ්ඤෙය්‍යත්තා ජරා සවීචිජරා නාම” යනු එහිලා දත යුතු ය.

උපාදින්නක - අනුපාදින්නක වශයෙනුදු මෝ ජරා තොමෝ ද පරිදි ය. එහි තෘෂ්ණාදීන් විසින් ගන්නා ලද උපදවන ලද ස්කන්‍ධ පරම්පරාව උපාදින්නක නම් වේ. ළදරු කාලයෙහි හටගන්නා වූ කිරිදත් ලදරු කාලය මදක් වැඩෙත් ම ගිලිහී වැටෙයි. ඒ දත් වැටුනු කල්හි නැවැතත් දත් හටගණියි. ඒ දත් මූලාවස්ථාවෙහි සුදුපැහැ ඇත්තේ වෙයි. ජරාවෙන් පහළ කල්හි කලුපැහැය ගන්නේ ය. හිසකෙසේ ද ක්‍රමයෙන් තඹවන් ද කලුවන් ද සුදු වන් ද වේ. සිවිය ලෙහෙපැහැයෙන් යුක්ත ය. සුදු පැහැති සත්ත්‍වයන් වැඩෙත් වැඩෙත් ම ඔවුන්ගේ සුදු පැහැය වැඩී යයි. කළු පැහැති සත්ත්‍වයන් වැඩෙත් වැඩෙත් ම ඔවුන්ගේ කළු පැහැය වැඩී යයි. ජරාවෙන් දැදුරු වූ කල්හි සිවියෙහි රැළි නැගෙයි. මෝ උපාදින්නක සන්තානයෙහි පහළ වන සවීචිජරා ය. එසේ තෘෂ්ණාදීන් විසින් නො උපදවන ලද වස්තු සමූහය අනුපාදින්නක නම් වේ. තව ද ඒ ඒ වස්තූන්හි ඒ ඒ කාලයෙහි පහළ වන වෙනස් කම් ද සචීචිජරා යි ද ගැණේ. ගොයම වපුළ කාලයෙහි සුදු පැහැ ඇත්තේ, කල් ගිය කල්හි නිල්පැහැය ගනියි. තවත් කලක් ඉක්ම ගිය කල්හි පඬුවන් වේ.

ජරාව ස්කන්‍ධයන් මිහිකිරීම ලකුණු කොට සිටියා, මරණ යට ලං කරන කිස ඇත්තේ තරුණබව නැසීම වැටහිම කොට සිටියා ය. තරුණබව නසන්නක් ව වැටහේ. තරුණබව නැසීම ඵලය වේ.

ජරාව, තොමෝ දුක් නො වේ. දිරුම්කඩට ගියහුගේ අත්බව දිරා ගිය ගැලක් සේ බෙලහීන ය. ඉන්නට සිටින්නට වෑයම් කරණ කල්හි කායික දුඃඛය බලවත් ව උපදියි. අඹුදරුවන්, වස්තු ව සපයන කාලයෙහි මෙන් තමාට නො සලකන විට මානසික දුඃඛය ද බලවත් ව නැගි එයි. මෙසේ කායික - මානසික වශයෙන් දෙ වැදෑරුම් වූ දුකට කරුණු වන බැවින් ජරාව දුකැයි දත යුතු ය.

“අඞ්ගානං සිථිලීභාවා ඉන්‍ද්‍රියානං විකාරතො,

යොබ්බනස්ස විනාසෙන බලස්ස උපඝාතතො.

.

විප්පවාසා සතාදීනං පුත්තදාරෙහි අත්තනො,

අප්පසාදනීයතො ච භිය්‍යො බාලත්තපත්තියා.

.

පප්පොති දුක්ඛං යං මච්චො කායිකං මානසං තථා,

සබ්බමෙතං ජරාහෙතු යස්මා තමා ජරාදුක්ඛා”

අත්පා ඈ අවයවයන් ලිහිල් වන බැවින්, ඇස් කන් නාස් ඈ ඉඳුරන් වෙනස් වන බැවින්, තරුණබව නැසී යන බැවින්, ශක්තිය පිරිහී යන බැවින්,

සිහි නුවණ දුර ගසා යන බැවින්, අඹුදරුවන් අවමන් කරන බැවින් ලදරු බවට පැමිණෙන බැවින්,

සත්ත්‍ව තෙමේ කය පිළිබඳ වූත් සිත පිළිබඳ වුත් යම් දුකකට පැමිණේ ද, ඒ මේ හැම දුක් ම ජරාව හේතු කොට වන්නේ ය. එහෙයින් ජරාව දුක් වේ. මෙහි ඒකාදශතරඞ්ගයෙහි පස්වැනි ගාථාවෙහි ජරා ව යන්නෙහි පරිකථාව බලනු.

මරණම්පි දුක්ඛං, යන මෙහි මරණය වදාළ සැටි මෙසේ දන්නේ ය. “යා තෙසං තෙසං සත්තානං තම්හා තම්හා සන්තනිකායා චුති චවනතා භෙදො අත්තරධානං මච්චු මරණං කාලකිරියා බන්‍ධානං භෙදො කලෙබරස්ස නික්ඛෙපො ජීවිතින්‍ද්‍රියස්ස උපච්ඡෙදො ඉදං වුච්චති මරණං” යි.

සත්ත්‍ව ජීවිතය නැසී යෑම මරණැ යි සම්මත චුති - චවනතා - භෙදො - අන්තරධානං - මච්චු - මරණං - කාලකිරියා - ඛන්‍ධානං භෙදො - කලෙබරස්ස නික්ඛෙපො - ජීවිතින්‍ද්‍රියස්ස උපච්ඡෙදො යන මෙ කී පදයගෙන් ද කීයේ මරණය යි. එහි චුති යනෙහි සිට කාලකිරියා යන පදය තෙක් ඇති පදයන් ගෙන් ‘මරණය මේ ය’ යි ලෝක සම්මතය පරිදි කියන ලද්දේය. ඉතිරි පදයගෙන් කියන ලද්දේ පරමාර්‍ත්‍ථ විසිනි. පරමාර්‍ත්‍ථ විසින් ස්කන්‍ධයෝ තුමූම බිඳෙති. සත්ත්‍වයෙක් නම් නො ද මැරෙයි. ස්කන්‍ධයන් බිඳී ගිය විට ‘සත්ත්‍වයා මළේ ය’ යන ව්‍යවහාරයෙක් ලෝකයා අතර පැන නගින්නේ ය.

ඛන්‍ධානං භෙදො යන මෙ පදයෙන් චතුවෝකාරභව - පංචවෝකාරභවයන්හි ස්කන්‍ධයන්ගේ නැසී යෑමත්, කලෙබරස්ස නික්ඛෙපො යන මේ පදයෙන් එකවෝකාරභවයෙහි අත්බව බහා තැබීමත් කියන ලදී. අටුවාවන්හි අන් ලෙසකින් ද මෙහි අර්‍ත්‍ථ විවරණය කැරෙන්නේ ය. ඒ නම් චතුවෝකාර භවයෙහි ස්කන්‍ධයන්ගේ බිඳීම හා, අන්‍ය වූ එකවෝකාර - චතුවෝකාර භවයන්හි අත්බව බහා තැබීම හා වන බව ය. එකවෝකාර - පංචවොකාර භව දෙක්හි රූපකාය යි කියන කලේබරය ලැබෙන බැවින් එසේ කිය හැකි ය. යම්හෙයකින් සිවු මහරජයෙහි ස්කන්‍ධ බිඳී ගිය ද කිසි ස්කන්‍ධයක බහා තැබීමෙන් එහි නැත්තේ ද, එහෙයින් සිවු මහරජයෙහි වූවන්ගේ වශයෙන් ස්කන්‍ධයන්ගේ බිඳීම හා මිනිස් තිරිසන් ආදී වශයෙන් සිරුර බහාතැබීම හා වන බව දත යුතු ය. මිනිස්ලෝ ආදියෙහි සිරුර බහා තබන බැවින් මරණය “කලේබරස්ස නික්ඛෙපො” යන්නෙන් කියන ලදි. ඒ ද ඵලෝපචාර විසිනි. ජීවිතින්‍ද්‍රියස්ස උපච්ඡෙදො යන මෙයින් ඉන්‍ද්‍රියබද්ධ වූ සත්ත්‍වයාහට මරණය වනබව හා ඉන්‍ද්‍රිය බද්ධ නො වූවහුට මරණය නො වන බව හා කීහ. ශස්‍යය මළේ ය, වෘක්‍ෂය මළේ ය, යන මෙය ව්‍යවහාර මාත්‍රයෙක් වේ. අර්‍ත්‍ථ විසින් ඉන් දැක්වෙනුයේ ශස්‍යාදීන්ගේ විනාශය යි.

ඛණික - සම්මුති - සමුච්ඡේද විසින් මරණය තෙ පරිදි ය. එහි ඛණික මරණ නම්, “ඛණිකමරණං නාම පවත්තෙ රූපාරූප ධම්මානං භෙදො” යනු කී බැවින් ප්‍රවෘත්තික්‍ෂණයෙහි වූ රූපාරූප ධර්‍මයන්ගේ බිඳී යෑම ය. “තිස්ස මළේ ය, ඵුස්ස මළේ ය” යන මෙය සම්මුතිරණැ යි “තිස්සො මතො ඵුස්සො මතොති ඉදං සම්මුතිමරණං නාම” යන මෙයින් එය දැක්වූහ. සමුච්ඡේදමරණ නම්, රහතුන් වහන්සේගේ නැවත කො තැනෙකත් පිළිසිඳ ගැණුම් නැති කාලක්‍රියා ය. මේ එහි ආප්ත ය. “ඛීණාසවස්ස අප්පටිසන්‍ධිකා කාලකිරියා සමුච්ඡෙදමරණං නාම” යනු.

“මරණම්පි දුක්ඛං” යන මෙයින් කියන ලද්දේ සම්මුති මරණය යි. දුඃඛසත්‍යය, වෘත්තනිඃශ්‍රිත බැවිනි. “තිස්ස මළේ ය, ඵුස්ස මළේ ය” යන මෙහි ස්කන්‍ධ බිඳී යෑමෙක් පෙනේ ද, ඒ ස්කන්‍ධයන්ගේ බිඳී යෑමෙන් ස්කන්‍ධ පරම්පරාව මුලෝච්ඡන්න නො වූ බැවින් ව්‍යවහාර විසින් එය මරණැයි කියන ලද්දේ ය. “යස්ස ඛන්‍ධභේදස්ස පවත්තත්තා තිස්සො මතො ඵුස්සො මතොති වො හාරො හොති, සො ඛන්‍ධප්පඛන්‍ධස්ස අනුපච්ඡින්නතාය සම්මුති මරණන්ති වුත්තො” යනු ටීකා ය. ඒ ම ජාතික්ඛයමරණ - උපක්කමමරණ - සරසමරණ - ආයුක්ඛයමරණ - පුඤ්ඤක්ඛය මරණැ යි නොයෙක් ස්ථලයන්හි ආයේ ය.

නැවැත මරණය, ආයුක්ඛය - පුඤ්ඤක්ඛය - උභයක්ඛය - උපචේඡදකමරණැ යි සිවු වැදෑරුම් වේ. එහි ඉපැත්ම දුන් කර්‍ම ශක්තිය, ඉදිරියෙහි ජීවිතය පැවැත් වීමට තරම් ලෙසින් ඉතිරි ව තිබිය දී දිව්‍ය - මනුෂ්‍යාදී වූ ඒ ඒ භවයන්ට අයත් ආයු ගෙවී යෑමෙන් සිදුවන මරණය ආයුක්ඛයමරණ නම් වේ. ආයු ඉතිරිව තිබිය දී ඉපැත්ම දුන් කර්‍මයාගේ බල වේගය ගෙවී යෑමෙන් වන මරණය, කම්මක්ඛයමරණ නම් වේ. ආයු හා කර්‍ම හා එකවිට ගෙවී යෑමෙන් වන්නේ උභයක්ඛයමරණ නම් වේ. ආයු හා කර්‍ම හා ඉතිරි ව තිබිය දී පෙර අත්බවෙක හෝ මේ අත්බවෙහි ම හෝ කළ යම් කිසි කර්‍මශක්තියකින් පිළිසිඳ දුන් කර්‍මශක්තිය බිඳී යෑමෙන් වන්නේ උපච්ඡේදක මරණ නම් වේ.

මරණය වර්‍තමාන ආත්මභාවයෙන් ගිලිහීම ලකුණු කොට සිටියේ ය. ඒ භවයට අයත් ස්කන්‍ධයන් කෙරෙන් වෙන්වීම කෘත්‍යය කොට සිටියේ ය. පෙර අත්බවෙන් වෙන්වීම වැටහීම කොට සිටියේ ය.

මරණය තෙමේ ම දුක් නො වේ. මරණයට ලං වූ කල්හි සිරුරෙහි හටගන්නා වු දුක්ඛවේදනාවෝ ප්‍රතිවාතයෙහි ගත් ගිනිහුල් මෙන් සිරුර ඉතිරි නො කොට දවන්නෝ ය. නිරය නිමිති වැටහෙන කල්හි දොම්නස ඉතා දැඩි ව උපදනේ ය. මෙසේ කය සිත පිළිබඳ දුක්වලට කරුණු වන බැවින් ද මරණය දුකැයි කියන ලදි.

පාපස්ස පාපකම්මාදි නිමිත්තමනුපස්සතො,

භද්දස්සාපසහන්තස්ස වියොගං පියවත්‍ථුකං.

.

මීයමානස්ස යං දුක්ඛං මානසං අවිසෙසතො,

සබ්බෙසං චාපි යං සන්‍ධිබන්‍ධනච්ඡෙදනාදීකං.

.

විතුජ්ජමානමම්මානං හොති දුක්ඛං සරීරජං,

අසය්හප්පටිකාරං දුක්ඛස්සෙතස්සිදං යතො,

මරණං වත්‍ථි තෙනෙතං දුක්ඛමිච්චෙව භාසිතං.

පාපකර්‍ම - පාපකර්‍මනිමිත්ත - පාපගතිනිමිත්ත යන අරමුණු දක්නා වූ පව්කම් ඇතිව මැරෙන්නා වූ සත්ත්‍වයාහට ද ප්‍රිය වස්තූන්ගේ වෙන් වීම නො ඉවසන්නා වූ, පින් ඇති ව මැරෙන්නා වූ සත්ත්‍වයාහට ද සිතෙහි හටගන්නා වූ දුකට හා පෙළනු ලබන මර්‍මස්ථාන ඇති සත්ත්‍වයාහට අත් පා බැඳීම් සිඳීම් ආදියෙන් උපන් නො ඉවසිය හැක්කා වූ පිළියම් රහිත වූ සිරුරෙහි හටගන්නා වූ දුකට ද මේ මරණය හේතු වූ යේ ද, එහෙයින් මරණැයි කියන ලදි.

මෙසේ මෙහි ඉතා සැකෙවින් කියූ ජාති - ජරා - මරණ යන මෙ තුණ සත්ත්‍වයන්ට සතුරන් වෙතියි කිය යුතු ය.

ජාතිදුක්ඛය උවදුරු සහිත මහා කතරකට වැදගැණුමක් සේ, ජරා දුක්ඛය කැම් පීම් නො ලැබුවහුගේ දුබල බවක් සේ, මරණ දුක්ඛය එසේ දුබල වූවහු යෑම් ඊම් ඉරියවු පැවැත්වීමෙහි අපොහොසත් ව සිටි කල්හි වග ඈ සතුන් විසින් විනාශයට පැමිණ වීමක් සේ දන්නේ ය. එකාදශතරඞ්ගයෙහි මච්චු ච යන්නට කළ පරිකථාව බලනු.

සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛා, යන මෙහි පළමු ව ශෝකය වදාළ සැටි මෙසේ දන්නේ ය. “ඤාතිව්‍යසනෙන වා ඵුට්ඨස්ස භොගව්‍යසනෙන වා ඵුට්ඨස්ස රෝගව්‍යසනෙන වා ඵුට්ඨස්ස සීලව්‍යසනෙන වා ඵුට්ඨස්ස දිට්ඨිව්‍යසනෙන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරෙන ව්‍යසනෙන වා සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙ න ඵුට්ඨස්ස සොකො සොචනා සොචිතත්තං අන්තො සොකො අන්තො පරිසොකො අන්තො දාහො චෙතසො පරිජඣායනා දොමනස්සං සොකසල්ලං අයං වුච්චති සොකො” යි.

ඥාතිව්‍යසනාදි විපත්තීන්ගෙන් මැඩුනහුගේ සිතෙහි හටගන්නා වූ තැවිල්ල ශෝක නම් වේ. “සොකො නාම ඤාතිබ්‍යසනාදීහි ඵුට්ඨස්ස චිත්තසන්තාපො” යනු එහිලා කීහ. ඥාති - භොග - රෝග - සීල - දිට්ඨි යන මේ ව්‍යසනයන්ගෙන් හෝ මින් එකකින් හෝ නැත, මෙයින් අන්‍ය වූ මිත්‍රාදිව්‍යසනයකින් හෝ සිත් තැවීමට කරුණු වූ යම් කිසිවකින් හෝ තැලී පෙලී මිරිකී ගියහුගේ සිත් තැවිල්ල සෝකය යි කියන ලද්දේ ය. නෑයන්ගේ හිතසුව නසන හොර සතුරු උවදුරු ආදිය ඥාතිව්‍යසනය යි දත යුතු ය. සෙස්ස ද මේ නයින් සලකන්නේ ය.

සොකො සොචනා, සොචිතත්තං අන්තොසොකා අන්තො පරිසොකො අන්තොදාහො චෙතසො පරිජ්ඣායනා දොමනස්සං සොකසලලං යන මේ පද පෙළෙහි යෙදුනේ ද සොක යන මෙහි යථාර්‍ත්‍ථය පැහැදිලි කරනු සඳහා ය.

ශෝකයෙහි ස්වභාවය ‘ සොක’ නම්. ශෝකයෙහි ආකාරය ‘ සොචනා’ නම්. ශෝකයට පැමිණියහුගේ ස්වභාවය ‘ සොචිතත්ත’ නම්. ඇතුළත නගිනා ශෝකය ‘අන්තසොක’ නම්. ඇතුළත හාත්පසින් නගිනා ශෝකය ‘අන්තොපරිසොක’ නම්. ඇතුළත දැවීම ‘අන්තොදාහ’ නම්. ඇතුළත හාත්පසින් දැවීම ‘අන්තොපරිදාහ’ නම්. සිත දැවීම ‘චෙතසොපරිජ්ඣායනා’ නම්. එහිදී ශෝකයට පැමිණියේ “මාගේ සිත දැවුනේ ය, මට කිසිවක් නො වැටහෙයි” යන ඈ විසින් කියන්නේ ය. සිතෙහි හටගන්නා නො සතුට ‘දොමනස්ස’ නම්. හුලක් සේ ඇතුළත වදනා ශෝකය ‘සොකසලල’ නම්, මේ මෙසේ කියූ යේ ද නියම අරුත් විසින් කිය යුත්තේ දොමනස්සය ම ශොකය වන්නේය යනු ය. “සොපි අත්‍ථතො දොමනස්සමෙව හොති” යනු ආප්ත යි. ඒ මේ දොමනස්සය ශෝකය නමුදු ඇතුළත වියලීම තැවීම ලකුණු කොට සිටියේ සිත දැවීම හෝ ශෝකයට හේතු වූ කරුණු සිතට ලං කොට සිතීම කෘත්‍යය කොට ගත්තේ ය. ඒ ඒ ගුණදොස්හි පසු පස ගොස් පසුතැවීම එහි වැටහීම වේ.

ශෝකය සබැවින් ම තෙමේ ද දුක් ය. දුකට හේතු බැවිනුත් දුක් ය. බලවත් ශෝකවේගය හේතු කොට සමහර කලෙක හෘදයෙහි මහාගණ්ඩයෙක් හට ගනියි. එය පැසවා බිඳී ගිය කල්හි කලු පැහැති ලේ වමනය වෙයි. ඒ වේලෙහි උපදනා කායික දුක්ඛය ඉතා බලවත් ය. “මාගේ මෙතෙක් නෑයෝ වැනසී ගියහ, මෙතෙක් භෝගයෝ වැනසී ගියහ” යි සිතන්නහුට උපදනා සිත් වේදනාවත් එසේ ම බලචත් ය. එහෙයින් කායික - මානසික දුක්ඛයන්ට කරුණු වන. බැවින් ශෝකය දුකැයි වදාළ සේක.

“සත්තානං හදයං සොකො සල්ලං විය විතුජ්ජති,

අග්ගිතත්තොව නාරාවො භූසංව ඩහතෙ පුන.

.

සමාවහති ච බ්‍යාධි ජරාමරණභෙදනං,

දුක්ඛම්පි විවිධං යසමා තස්මා දුක්ඛොති වුච්චති”

ශෝකය හුලක් මෙන් සත්ත්‍වයන්ගේ ලය විදියි. ගිනියම් කළ නාරස්සනයක් සේ නැවැත නැවැත ලය දවයි.

ශෝකය ව්‍යාධිජරාමරණාදී වූ දුක් හා අන් නොයෙක් දුක් එළවන බැවින් දුකැයි කියනු ලැබේ.

එහි දෙවැනි ව පරිදෙවය මෙසේ දන්නේ ය. “ඤාතිව්‍යසනෙන වා ඵුට්ඨස්ස භොගව්‍යසනෙන වා ඵුට්ඨස්ස රොගව්‍යසනෙනවා ඵුට්ඨස්ස සීලව්‍යසනෙන වා ඵුට්ඨස්ස දිටඨිව්‍යසනෙන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරෙන ව්‍යසනෙන සමන්තාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛම්මෙන ඵුට්ඨස්ස ආදෙවො පරිදෙවො ආදෙවනා පරිදෙවනා ආදෙවිතත්තං පරිදෙවිතත්තං වාචා පලාපො විපල්ලාපො ලාලප්පො ලාලප්පනා ලාලප්පිතත්තං අයං වුච්චති පරිදෙවො” යි.

ඥාතිව්‍යසනාදී විපත්තීන්ගෙන් මැඩුනහුගේ පුන පුනා විලාප කියා හැඬීම පරිදේවය යි. සෙස්ස ශෝකයට කීසේ දතයුතු ය.

ආදෙවො පරිදෙවො ආදෙවනා පරිදෙවනා ආදෙවිතත්තං පරිදෙවිතත්තං වාචා පලාපො විප්පලාපො ලාලප්පො ලාලප්පනා ලාලපපිත්තත්තං, යන මේ පද පෙළෙහි යෙදුනේ ද පරිදේව යන මෙහි නියම අරුත් පැහැදිලි කරනු පිණිස ය.

මාගේ පුත්, මගේ දූ, යි කියමින් හැඬීම වැලපීම ‘ආදෙව’ නම්. යමකු කළ උපකාරය සිහි කොට එය කිය කියා විලාප කීම ‘පරිදෙව’ නම්, ආදෙවනා - පරිදෙවනා - ආදෙවිතත්තං - පරිදෙවිතත්තං යන සිවු පදය පළමු කී දෙ පදයෙහි ආකාර දක්වන පදයෝ ය. කීම බිණීම ‘වාචා’ නම්. හිස් බස් බිණීම ‘පලාප’ නම්. වචනයෙන් අඩක් කීම අන් ම වචනයක් කීම එකිනෙකට වෙනස් වූ පලක් නැති බස් බිණීම ‘විප්පලාප’ නම්. නැවැත නැවැත බීණිම ‘ලාලප්ප’ නම්. එහි ආකාර දැක්වීමට ‘ලාලප්පනා’ යනු යෙදුනේ ය. කෙළතොලුබව ‘ලාලප්පිතත්ත’ නම්.

පරිදේවය නැවැත නැවැත බිණීම ලකුණු කොට ගුණ දොස් පවසන කිස ඇති ව එක අරමුණෙක නො පිහිටීම වැටහීම කොට සිටියේ ය.

මේ ද තෙමේ ම දුක් නො වේ. කායික - මානසික දුක්ඛයන්ට වස්තු වන බැවින් දුක් වේ. ඒ එසේ ම ය. විලාප කියනුයේ තමාගේ දසරුවට පහර දෙයි. දෙයත ලෙහි ගසයි. හිස බිත්තියෙහි ගටයි. එයින් ඔහුට මහාදුකෙක් වේ. “මාගේ මෙතෙක් නෑයෝ නැසී ගියහ” යි යන දෑ ලෙසින් සිතන්නහුට උපදනා දොම්නස ද ඉමහත් ය. මෙසේ කායික - මානසික දුක්ඛයන්ට හේතු බැවින් පරිදේවය දුකැයි දතයුතු ය.

“යං සොකසල්ලවිහතො පරිදෙවමානො

කණ්‍ඨොට්ඨතාලුතලසොසජමප්පසය්හං,

භීය්‍යොධිමත්තමධිගච්ඡතියෙව දුක්ඛං

දුක්ඛොති තෙන භගවා පරිදෙවමාහ”

ශෝකශල්‍යයෙන් මැඩී විලාප කියනුයේ උගුරු තොල් තලු වියලීමෙන් හටගත් නො ඉවසිය හැකි දුකට පැමිණ, කායික - මානසික වශයෙන් ඉමහත් දුකට පැමිණෙන බැවින් වැලපීම දුකැයි වදාළ සේක.

එහි තෙවැනි ව දුක්ඛය මෙසේ දන්නේය. “යං කායිකං අසාතං කායිකං දුක්ඛං කායසම්ඵස්සජං අසාතං දුක්ඛං වෙදයිතං කායසම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා ඉදං වුච්චති දුක්ඛං” යි.

කායප්‍රශාදරූපය වස්තු කොට උපදනා රිදුම් දැවුම් ඈ නන් වැදෑරුම් වූ ශාරීරිකවේදනාව දුකැයි ගන්නා ලදි. සිරුර තවන පෙළන ඉවසිය නො හෙන හැම වේදනාවක් මේ දුක් ය. මෙකී දුක අභ්‍යන්තරික - බාහිර උපද්‍රවයන්ගෙන් වන්නේ ය.

දුක්ඛවේදනාව තොමෝත් දුක් ය. එසේ ම අන්‍ය වූ කායික මානසික දුක්ඛයන්ටත් හේතු ය. කයෙහි හටගන්නා දුක්ඛවේදනාව සිත ද පෙළාලයි. මානසික දුක්ඛයන්ටත් හේතු යි කීයේ එ බැවිනි. අත්පා කන් නාස් ඈ කැපීම් කෙටීම් හේතුයෙන් හටගන්නා දුක කරණ කොට දුකට පැමිණ පොළොත්තක් කොළපතක් අතේ ඇති ව අම්බලමෙක හෝනා එකෙකුට ඒ වණමුව සිදුරුවලින් පණුවන් නිකුත්වත් ම උපදනී සුලු වේදනාවක් නො වේ. මහත් දුක් වේදනාවක් ම උපදනී ය.

දුක්ඛය තෙමේ කය පෙළීම ලකුණු කොට නුවණැත්තන්ට දොම්නස උපදවන කිස ඇති ව කායිකාබාධය වැටහීම කොට සිටියේය. මෙය සබැවින්ම දුක් බැවින් දුක්ඛදුක්ඛ නමින් ද කිය වේ. ඉමහත් දුක ය යන අරුත් ය.

“පීළෙති කායකමිදං දුක්ඛඤ්ච මානසං භීයො,

ජනයති යස්මා තස්මා දුක්ඛන්ති විසෙසවුත්තො”

සිතෙහි වූ මේ දුක කය පිළිබඳ දුක බෙහෙවින් පෙළා ද උපදවා ද එහෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් දුකැයි වෙසෙසින් වදාරණ ලදි.

එහි සිවුවැනි ව දෝමනස්සය මෙසේ දන්නේ ය. “යං චෙතසිකං අසාතං චෙතසිකං දුක්ඛං චෙතොසම්එස්සජං අසාතං දුකඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා ඉදං වුච්චති දොමනසං” යි.

සිතෙහි පෙළීම සිතෙහි උපදනා අමිහිරිය ‘දොමනස්ස’ නම්. අඹුදරුවන්ගෙන් ධනධාන්‍යාදියෙන් ශාරීරිකාවයවයන්ගේ විකලත්වයෙන් වන්නා වූ ගැහැට යනාදී වූ සිත තවන සිත පෙළන නොයෙක් කරුණු මෙහිලා ගැණේ. මේ ඈ ලෙසින් ගැටෙන්නෝ පෙළෙන්නෝ කෙහෙ උනා ලෙහි අත් ගසා බිම වැතිර හඬත්, දොඩත්, විෂ කත්. ගෙල වැල ලා ගණිත්. මේ දරුණු දුකට කරුණු වන්නේ දොම්නස ය. මැනැවින් හැඳ පැළඳ නොයෙක් කෙළි සෙල්ලම්වල යෙදෙන වටිනා ගෙවල වසන උසස් යාන වාහන නැගී යන මිනිසුන් දුටු කල්හි ද බණ දහම් දැනුමෙන් නො පොහොසත් වූ නුවණ නැත්තන්හට උපදනේ දොම්නස ය.

සිත පෙළීම ලකුණු කොට සිතට හිංසා කිරීම කෘත්‍යය කොට මානසික ව්‍යාධියකැයි වැටහීම ඇති ව සිටුනා දොම්නස තෙමේත් දුක් ය. කායික දුක්ඛයන්ට වස්තු බැවිනුත් දුක් ය.

“පීළෙති යතො දුක්ඛං කායස්ස ච පීළනං සමාවහති,

දුක්ඛන්ති දොමනස්සං විදොමනස්සා තතො ආහු”

දොම්නස සිත ද පෙළයි. සිරුර ද පෙළයි. එහෙයින් දොම්නස දුකැයි බුදුරජානන් වහන්සේ වදාළ සේක.

එහි පස්වැනිව උපායාසය මෙසේ දන්නේය. “ඤාතිව්‍යසනෙන වා පූට්ඨස්ස භොගව්‍යසනෙන වා ඵුට්ඨස්ස රොගව්‍යාසනෙන වා ඵුට්ඨස්ස සීලව්‍යසනෙන වා ඵුට්ඨස්ස දිට්ඨිව්‍යසනෙන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරෙන ව්‍යසනෙන සමනනාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස ආයාසො උපායාසො ආයාසිතත්තං උපායාසිතත්තං අයං වුච්චති උපායාසො” යි

ඥාතිව්‍යසනාදී වූ විපත්තීන්ගෙන් සිතෙහි උපදනා වෙහෙසීම ක්ලාන්තභාවය උපායාස නම් වේ. කිපියා වූ රජකු විසින් සම්පත් පැහැර ගැනීමෙන් දුප්පත් වූ, නට දූ පුත් සොහොවුරන් ඇති අණ කළ මරණය ඇති බියෙන් වල් වැද සැඟවී ගත් ඉමහත් දුකට පැමිණි සත්ත්‍වයන්ට දුක සේ සිටීමෙන් නිදීමෙන් හිඳීමෙන් මෙ දුක උපදනේ ය. තව ද “අපගේ මෙතෙක් නෑයෝ නටහ, මෙතෙක් යසිසුරු නටහ” යි සිතන්නහුට ද උපදනේ උපායාසයයි. දැඩි දොම්නස යි.

සිතෙහි ගිලන්බව ‘ආයාස’ නම්. සිතෙහි දැඩි වෙහෙස ‘උපා-යාස’ නම්. වෙහෙසට පැමිණියහුගේ ස්වභාවය ‘ ආයාසිතත්ත’ නම්. දැඩි සිත් වෙහෙස ඇත්තහුගේ ස්වභාවය ‘උපායාසිතත්ත’ නම්.

උපායාසය ඥාතිව්‍යසනාදී වු කරුණුවලදී වෙනස්බවට පැමිණි ආසත්තිය හෙවත් නැසෙන වස්තු රැක ගැණීමෙහි ආශාව ලකුණු කොට සිටියේ ය. මෙහි කෘත්‍යය වනුයේ තැතනීම් ය. විෂාදය හෙවත් කළකිරුණු ගතිය වැටහීම ය. මෙය තෙමේ ම දුක් නො වේ. කායික - චේතසික දුක්ඛයන්ගේ ඉපැත්මට හේතු බැවින් ද දුක් වන්නේ ය.

“චිත්තස්ස පරිදහනා කායස්ස විසාදනා ච අධිමත්තං,

යං දුක්ඛං උපායාසො ජනෙති දුක්ඛොත්‍යයං වුත්තා”

සිත දැඩි ව තවන බැවින්ද සිරුර කෘශභාවයට පමුණුවන බැවින් ද උපායාසය ඉතා අධික වූ කායික - චේතසික දුක්ඛයන් උපදවා ද එහෙයින් දුකැයි වදාරණ ලදි.

තව ද මෙහිලා ශාකය මද ගින්නෙන් බඳුන තුළ පැසෙන තෙලක් සේ ද, පරිදේවය තියුණු ගින්නෙන් තෙල පැසෙන කල්හි එය බඳුනෙන් නැගී උතුරා යෑම සේ ද, උපායාසය බඳුනෙන් උතුරා ගොස් ඉතිරි වු තෙල බඳුන තුළ ම වියලී යෑම සේ ද වෙනස දන්නේ ය. ‍

අප්පියසම්පයොගය මෙසේ දන්නේ ය. “ ඉධ යස්ස තෙ හොන්ති අනිට්ඨා අකන්තා අමනාපා රූපා සද්දා ගන්‍ධා රසා ඵොට්ඨබ්බා යෙ වා පනස්ස තෙ හොන්ති අනත්‍ථකාමා අහිතකාමා අඵාසුකාමා අයොගක්ඛෙමකාමා, යා තෙහි සඞ්ගති සමාගමො සමොධානං මිස්සීභාවො අයං වුච්චති අප්පියසම්පයොගො දුක්ඛො” යි.

තමන්ට ප්‍රිය නොවූ තම සිත් නො ගත් අරමුණු හා පුද්ගලයන් හා ගැටීමෙන් එක්වීමෙන් හටගන්නා දුක ‘අප්පියසම්පාපයොග දුක්ඛ’ නම්. නො සොයා ගත්, සිතෙහි නො වැදෙන, මන නො වඩන රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය යන මොවුහු සිත් නො ගත් අරමුණු ය. වස්තූහු ය. මේ අරමුණු, ස්වභාව වශයෙන් දුක් නො වතුදු මුන් දැකීමෙන් ඇසීමෙන් සිඹීමෙන් රස විඳ ගැණීමෙන් පැහැසීමෙන් සිතට හා කයට දුක් උපදනා බැවින් මුන් හා එක්වීම දුක් ය. එසේ ම තමාට අවැඩ කරණ හිතවත් නො වූ නො පහසුකම් ඇති කරණ හැම අතකින් බිය උපදවන පුද්ගලයෝ තම සිත් නො ගත් අප්‍රියජනයෝ ය. මුන් හා එක්වීම නැගීම උරෙනුර ගැටීම දුක් ය. මුන් හා එක්වීම් ආදිය වැදෑරුම් වූ කායික - චේතසික දුක්ඛයන්ට හේතු ය.

මෙහි මන නො වඩන්නා වූ රූපාදී අරමුණු ‘අනිට්ඨ’ නම්. සිහි නො වදනා නො පිවිසෙන අරමුණු ‘අකන්ත’ නම්, අනිට්ඨයෝ ම ‘අමනාප’ නම්. ව්‍යසනය හෝ දුක කැමැත්තෝ ‘අනත්‍ථකාම’ නම්. ව්‍යසනයට හේතු වූ අවැඩ හෝ දුකට හේතු වූ අවැඩ කැමැත්තෝ ‘අහිතකාම’ නම්. නො සැප වූ දුක් විහරණ කැමැත්තෝ ‘අඵාසුකාම’ නම්. චතුර්විධ යෝගයන්ගෙන් නිර්‍භය වූ නිවන නො කැමැත්තෝ ‘අයොගක්ඛෙම කාම’ නම්. අප්‍රිය වූ අරමුණු කරා ගොස් උන් හා එක්වීම ‘සඞ්ගති’ නම්. තමන් වෙත ආවා වූ උන් හා එක් වීම ‘සමාගම’ නම්. සිවු ඉරියවු පිරිවැටුම්හි හා කෑම් බීම් ඈ ක්‍රියාවන්හි උන් හා එක්වීම ‘සමොධාන’ නම්. සියලු කටයුතු උන් හා එක්ව කිරීම ‘මිස්සීභාව’ නම්. “පුග්ගලස්සි හි සඞ්ගති ගන්ත්‍වා සඞ්ඛාරෙහි සංයොගො හොති. සමාගමො ආගතෙහි ච පුග්ගලස්ස ච අත්තනො ඨානාදිසු සඞ්ඛාරෙහි සහගභාවො හොති. සබ්බක්‍රියාසු ච මිස්සීභාවොති” යනු මූල ටීකා ය.

අප්‍රියසම්ප්‍රයෝගය නො ඉෂ්ට වූ නො ද කැමැති වූ රූපාදීන් හා එක්වීම ලකුණු කොට සිටියේ ය. සිත ගිලන් බවට පමුණුවා ලීම කෘත්‍යය කොට ගත්තේ ය. උවදුරුබව මෙහි වැටහීම් වේ. ඵලය ද ඒ ම ය.

අප්‍රියවස්තුන් හා එක්වීම සත්ත්‍වයන්ගේ කායික - චේතසික දුක්ඛයන්ට හේතු බැවින් මෙය දුකැයි වදාරණ ලදී. ඒ එසේ ම නො කැමැති වස්තුන් හා එක්ව ගියාහු ගැළපීමට ගියාහු විඳීම සිදීම පැළීම යනාදීන් කරණ කොට කායිකදුක්ඛය උපදවත්, තැති ගන්වන බැවින් චේතසිකදුක්ඛය ද උපදවත්.

“දිස්වාච අප්පියෙ දුක්ඛං පඨමං හොති චෙතසි,

තදූපක්කමසම්භූතමථකායෙ යතො ඉධ.

.

තතො දුක්ඛද්වයස්සාපි වත්‍ථුනො සො මහෙසිනා,

දුක්ඛා වුත්තොති විඤ්ඤෙය්‍යා අප්පියෙහි සමාගමො”

මේ ලෝකයෙහි නො කැමැති වූ රුපාදීන් හා සත්ත්‍වයන් දැකීමෙන් පළමු කොට සිත්හි දුක් හට ගණියි. නැවැත ඒ අප්‍රියවස්තුන්ගේ හා සත්ත්‍වයන්ගේ උපක්‍රමයෙන් හටගත් දුක සිරුරෙහි හටගනියි. එහෙයින් මේ කායික - චේතසික දුක්ඛයන්ට කරුණු බැවින් ඒ අප්‍රිය වස්තුන් හා සත්ත්‍වයන් හා එක්වීම දුකැයි වදාරණ ලදි.

පියවිප්පයොගය මෙසේ දන්නේ ය: “ඉධ යස්ස තෙ හොන්ති ඉට්ඨා කතා මනාපා රූපා සද්දා ගන්‍ධා රසා ඵොට්ඨබ්බා යෙ වා පනස්ස තෙ හොන්ති අත්‍ථකාමා හිතකාමා ඵාසුකාමා යොගක්ඛෙමකාමා මාතා වා පිතා වා භාතා වා භගිනී වා මිත්තාමච්චා වා ඤාතිසාලොහිතා වා, යා තෙහි අස්ඞ්ගති අසමාගමො අසමොධානං අසම්මීභාවො අයං වුච්චති පියෙහි විප්පයොගො දුක්ඛො” යි.

තමන්ට ප්‍රිය වූ තම සිත් ගත් වස්තූන්ගෙන් හා පුත්‍රදාරාදීන් ගෙන් වෙන්වීමෙන් හටගන්නා දුක්, පියවිප්පයෝගදුක්ඛ නම්. මෙය මෙහි මුලින් සැකෙවින් කියු අප්පියසම්පයෝග දුක්ඛයට ප්‍රතිපක්‍ෂ ව සිටියේ ය. මෙහි යමක් හට ප්‍රිය වූ සිත් වදනා මන වඩනා රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය යන මොවුහු වෙත් ද, එසේ ම මොහුට වැඩි කැමැති හිත කැමැති පහසු බැව් කැමැති නිර්‍භය වූ නිවන කැමැති මවු පිය සොහොයුරු සොහොයුරි මිතුරු ඇමැති නෑ සහලේ නෑ යන මොවුහු වෙත් ද, මේ වස්තුන්ගේ හා පුද්ගලයන්ගේ වෙන් වීමෙන් හට ගන්නේ පියවිප්පයෝගදුක්ඛ ය යි. ධනධාන්‍යවස්තුන්ගෙන් වෙන් වීම ද මෙහි ම හෙන්නේ ය. රජුන්ගෙන් සොරුන්ගෙන් දියෙන් ගින්නෙන් ධනධාන්‍යය නැසීමෙන් මරණයට පැමිණීමෙන් වස්තු ස්වාමියා එයින් වෙන් වන්නේ ය. මේ හැම අවස්ථාවක ම දුක් උපදනේ ය. එසේ නො රට යෑමෙන්, මවු පිය සොහොයුරු සොහොයුරියගේ මරණයෙන් වෙන්වීම වන්නේ ය. එහි ද දුක් උපදනේ ය.

මෙහි දූ පුතුන් විසින් ගරුබුහුමන් කරණු ලබන්නී, නැත, දූ පුතුන් කෙරෙහි මමායනය කරන්නී ‘මාතා’ නම්. දූ පුතුන් විසින් ප්‍රිය කරනු ලබන්නේ, නැත, දූ පුතුන් කෙරෙහි ස්නේහය කරන්නේ ‘පිතා’ නම්. දෙටු කණිටු බෑයන් ඇසුරු කරන්නේ ‘භාතා’ නම්. දෙටු කණිටු බෑ යන් ඇසුරු කරන්නී ‘භගිනී’ නම්. ස්නේහ කරන්නේ, නැත, ප්‍රමාණ කරන්නේ ‘මිත්ත’ නම්. කුදු මහත් කටයුත්තෙහි සමගිවීම් වශයෙන් එක් වන්නේ ‘අමච්ච’ නම්. මෙතෙමේ අපගේ ඇතුළත් එකෙකි යි දන්නේ ‘ඤාති’ නම්. ලෙය හා සම්බන්‍ධ වූයේ ‘සුලොහිත’ නම්.

ප්‍රියවිප්‍රයෝගය, ප්‍රිය මනාප වස්තුන්ගෙන් වෙන් කිරීම ලකුණු කොට සිටියේ ය. ශෝකය ඉපදවීම කෘත්‍යය කොට ගත්තේ ය. ඤාතිව්‍යසනාදිය එහි වැටහීම වේ.

ප්‍රියමනාපවස්තුන් හා විප්‍රවාසයට පැමිණි සත්ත්‍වයන්ගේ කායික - චේතසික දුක්ඛයට හේතු බැවින් මෙය දුකැ, යි වදාළ සේක. ඒ එසේ ම ය. ප්‍රියමනාපවස්තූහු වෙන් වන්නෝ, සිරුර වියලීම මැලවීම යනාදි වශයෙන් කායිකදුක්ඛය ද “අප වෙත තුබූ ඉෂ්ටවස්තූහු අපට දැන් නැහැ” යි පුන පුනා ශෝක උපදවන බැවින් චේතසිකදුක්ඛය ද උපදවත්.

“ඤාතිඛ්‍යසනාදියොගා සොකසරසමප්පිතා විතුජ්ජන්ති,

බාලා යතො තතොයං දුක්ඛොති මතො පියෙහි විප්පයොගො”

ඤාතිධනාදීන් කෙරෙන් වෙන්වීම් හේතුවෙන් සොක නැමැති හුලින් පෙළෙනු ලබන අඥයෝ යම්හෙයකින් පෙළෙත් ද එහෙයින් මේ ප්‍රියවිප්‍රයෝගය දුකැ, යි දන්නා ලදී.

ඉච්ඡාවිඝාතය මෙසේ දන්නේ ය: “ජාතිධම්මානං සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති: අහො වත මයං න ජාතිධම්මා අස්සාම න ච වත නො ජාති ආගච්ඡෙය්‍යාති, න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං, ඉදම්පි යමපිච්ඡං න ලභති දුක්ඛං. ජරාධම්මානං සත්තානං - ව්‍යාධිධම්මානං සත්තානං - මරණධම්මාන සත්තානං - සොකපරිදේව දුක්ඛදොමනස්සු පායාසධම්මානං සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති: අහො වත මයං න සොක පරිදෙව දුක්ඛදොමනස්සුපායාසා ආගච්ඡෙය්‍යුන්ති න ඛො පනෙතං අය ඉච්ඡාය පත්තබ්බං, ඉදම්පි යම්පිච්ඡං න ලභති දුක්ඛං” යි.

ඒ ඒ සත්ත්‍වයන් විසින් ලැබීමට බලාපොරොත්තු වන වස්තූන් නො ලැබිම නිසා හට ගන්නා දුක්, ‘ඉච්ඡාවිඝාතදුක්ඛ’ නම්. ඉපැත්ම පියවි කොට ඇති, දිරීම පියවි කොට ඇති, රෝගයන්ගෙන් පෙළීම පියවි කොට ඇති, මරණය පියවි කොට ඇති, සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාසන් පියවි කොට ඇති සත්ත්‍වයන්ට “අපි ඉපැත්ම දිරීම් පෙළීම මරණය සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාස පියවි කොට ඇත්තමෝ නො වන්නෙමු නම්, ඉතා මැනැවැ, ජාති ජරා ව්‍යාධි මරණ සෝක පරිදේව දුක්ඛ දොමනස්ස උපායාසයෝ නො පැමිණෙන්නාහු නම් ඉතා මැනැවැ” යි මෙසේ කැමැත්ත උපදනේ ය. ආශාව වන්නී ය. එහෙත් ඒ එකෙකුත් නො සිදු වන්නේ ය. මේ බලාපොරොත්තුවීම් පැතීම් කිසිවක් සිද්ධ කළ නො හැකි ය. මෙසේ මේ බලාපොරොත්තුවීම් පැතීම කඩවීමෙන් නො සිදුවීමෙන් උපදනා දුක්, ඉච්ඡාවිඝාතදුක්ඛය යි දත යුතු ය.

ඉච්ඡාවිඝාතදුක්ඛය නො ලද හැකි වස්තුන් සෙවීම පැතීම ලකුණු කොට සිටියේ ය. නො ලද හැකි වස්තුන් සෙවීම කෘත්‍ය ය කොට සිටියේ ය. ඒ නො ලැබීම එහි වැටහීම වේ. ඉච්ඡාවිඝාතය මෙසේ කායික - චේතසික දුක්ඛයන්ට හේතු බැවින් දුකැ, යි වදාරණ ලදී.

“තෝ රජ වන්නෙහි ය” යි මහාජනයා විසින් කියන ලද යම් කිසි පුරුෂයෙක් විළිබිය නැති ධූර්‍තයන් විසින්, වරහැලි ඇඳ ගත් දුප්පත් මිනිසුන් විසින් පිරිවරණ ලදු ව ගිරිදුර්‍ගයකට හෝ වනදුර්‍ගයකට පිවිසෙන්නේ ය. රාෂ්ට්‍රික රජ තෙමේ එ පවත් දැන ඔහු ගණු පිණිස බල පිරිස් යවන්නේ ය. ඒ දුටු ඔහු පිරිවර දෙනා හැර, ලත් පහර ඇති ව ගස් අතරකට හෝ ගල් අතරකට හෝ වදනේ ය. එකල්හි මහමේ නැගී වස්නේ ය. සිවු දිග ම මේඝාන්‍ධකාරයෙන් වැසී යයි. ඒ පුරුෂ තෙමේ ද කළු කුහුඹු ආදී නොයෙක් සතුන් විසින් වසා ගස්නා ලදු ව බලවත් වූ කායික, දුක්ඛයෙන් පෙළෙන්නේ ය. “එකලා වූ මා නිසා මෙතෙක් නෑයෝ මෙතෙක් භෝගයෝ නටහ” යි සිතන්නා වූ ඔහුට බලවත් වූ චේතසික දුක්ඛයෙක් ද උපදියි. මෙසේ මේ ඉච්ඡාවිඝාතදුක්ඛය ද කායික - චේතසික දුක්ඛයන්ට වස්තු බැවින් දුකැ, යි දත යුතු ය.

“තං තං පත්‍ථයමානානං තස්ස තස්ස අලාභතො,

යං විඝතමයං දුක්ඛං සත්තානං ඉධ ජායති.

.

අලබ්භනෙය්‍යවත්‍ථුනං පත්‍ථනා තස්ස කාරණං,

යස්මා තස්මා ජිනො දුක්ඛං ඉච්ඡතාලාභ මබ්‍රවී”

මේ ලෝකයෙහි ඒ ඒ වස්තූන් පතන්නා වූ සත්ත්‍වයන්ට ඒ ඒ වස්තූන් නො ලැබීමෙන් චිත්තපීඩාව උපදවන්නා වූ යම් කායික දුක්ඛයෙක් උපදී ද, නො ලැබිය හැකි වස්තුන් පැතීම ඒ කායික චේතසික දුක්ඛයන්ට කරුණු වේ ද එහෙයින් බුදුරජානන් වහන්සේ කැමැති වස්තුන් නො ලැබීම දුකැ, යි වදාළ සේක.

පඤ්චුපාදානක්ඛන්‍ධදුක්ඛය මෙසේ දන්නේ ය: “රූපූපාදානක්ඛන්‍ධො වෙදනූපාදානක්ඛන්‍ධො සඤ්ඤූපාදානක්ඛන්‍ධො සඞ්ඛාරූපාදානක්ඛන්‍ධො විඤ්ඤාණූපාදානකනක්ඛන්‍ධො ඉමෙ වුච්චන්ති සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්‍ධා දුක්ඛා” යි.

තෘෂ්ණාදීන් විසින් දැඩි සේ ගත් ස්කන්‍ධපංචකය උපාදානස්කන්‍ධ නම්. මෙ කී උපාදානස්කන්‍ධ පංචකය සියලු දුක් උපදවන ස්ථාන බැවින් දුක් වේ.

දුක් සියයෙක, දහසෙක, සියදහසෙකැ යි සැකෙවින් දක්වන්නට නො හැකි ය. එහෙත් පඤ්චෝපාදානස්කන්‍ධය ලොව ඇති හැම දුකට ස්ථාන බැවින් ඒ හැම එක් කොට එය සැකෙවින් දුකැ, යි වදාළ සේක. සත්ත්‍ව පුද්ගල ස්ත්‍රී පුරුෂාදි නාමයෙනුදු දක්වන්නේද මේ උපාදානස්කන්‍ධ පඤ්චකයමය. මින් තොර සත්ත්‍වයෙක් පුද්ගලයෙක් ස්ත්‍රියක් පුරුෂයෙක් දෙවියෙක් බඹෙක් නැත්තේ ය. ඒ ඒ තත්ත්‍ව විසින් මෙහි දැක්වුනු මේ පදාර්‍ත්‍ථ උපාදානස්කන්‍ධ මැ යි. සසර මුල සිට සසර ගෙවා නිවන් ලබන තුරු ජාති - ජරා - මරණාදී වූ හැම දුකෙක් මුන් මුල් කොට සිටියේ ය. එහෙයින් මේ උපාදානස්කන්‍ධ පංචකය දුකැ, යි ගත් කල නො ද ගැණෙන්නා වූ දුකෙක් නම්, භවත්‍රයයෙහි කොතැනකත් නැත්තේ ය.

බුදුරජුන් විසින් ස්වරූපයෙන් වදාළා වූ ද, නම් වශයෙන් ස්වරූපයෙන් නො වදාළා වූ ද දුක් උපාදානස්කන්‍ධ නිසා ම ලැබෙන්නේය. ගින්න දර දවන්නා ‍සේ ආයුධ ඉලක්කයට පහර දෙන්නා සේ මැසි මදුරු ඈ සතුන් ගෙරින් පෙළන්නා සේ වොළෝ ගන්නන් ගම් පහරන්නා සේ ජාත්‍යාදි දුක්ඛයෝ උපාදානස්කන්‍ධයන් ම පෙළමින් උපාදානස්කන්‍ධයන්හි ම හට ගණිත්. උපාදානස්කන්‍ධයන්ගේ මුල් දුක ඉපදීම, මැද දුක දිරීම, කෙළවර දුක මැරීම, ඇතුළත තවන දුක ශෝකය, වැළපෙන දුක පරිදේවය, කය පෙළෙන දුක කායික දුක්ඛය, සිත පෙළන දුක දෝමනස්සය, තැතනීම් දුක උපායාසය, ප්‍රියයන්ගෙන් වෙන්වීම පියවිප්පයෝගය, අප්‍රියයන් හා එක්වීම අප්පියසම්පයෝගය, කැමැති දෙය නො ලැබීම ඉච්ඡාවිඝාතයැ යි මෙසේ සලකන කල්හි පඤ්චෝපාදානස්කන්‍ධය මුළුමනින් දුකැ යි ගත යුතු ය. මේ හැම දුක් මෙහි ම ඇතුළත් බව දක්වන්නට “සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්‍ධා දුක්ඛා” යි වදාළ සේක.

“ජාතිප්පභූතිකං දුක්ඛං යං වුත්තං ඉධ තාදිනා,

අවුත්තං යඤච තං සබ්බා විනා එතෙ න විජ්ජති.

.

යස්මා තස්මා උපාදානක්ඛන්‍ධා සඞ්ඛෙපතො ඉධ,

දුක්ඛාති වුත්තා දුක්ඛස්ස දෙසකෙන මහෙසිනා”

මේ දුඃඛසත්‍යයෙහි ලා බුදුරජානන් වහන්සේ විසින් වදාළ ජාති දුක්ඛය මුල් කොට ඇති යම් දුකෙක් වේද, මෙහිලා නොවදාළ යම් දුකෙක් වේ ද, ඒ සියලු දුක් මේ උපාදානස්කන්‍ධයන් හැරපියා නො වන්නේ ය. නො ද ඇත්තේ ය. එහෙයින් සැකෙවින් මේ උපාදානකන්‍ධ පඤ්චකය දුකැ, යි වදාළ සේක.

දුක්ඛසමුප්පාදං = දුඃඛසමුදය සත්‍යය (ද).

දුඃඛසමුදයසත්‍යය ආර්‍ය්‍යසත්‍ය අතුරෙහි දෙ වැන්න ය. බුදුරජානන් වහන්සේ එය මෙසේ වදාළ සේක: “යායං තණ්හා පොනොභවිකා නන්‍දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනන්‍දිනී, සෙය්‍යථීදං:- කාමතණ්හා භවතණ්හා විභවතණ්හා, ඉදං වුච්චති භික්ඛවෙ! දුක්ඛසමුදයං අරියසච්චං” යි.

සත්ත්‍වයාහට නැවැත නැවැත සසරෙහි ඉපැත්ම දෙන සත්ත්‍වයා පුන පුනා සසරෙහි උපදවන තමන් පිළිබඳ වූත් තමන් පිළිබඳ නො වූත් ස්කන්‍ධයන් කෙරෙහි ඒ ඒ තත්ත්‍ව විසින් පවත්නා සියලු පදාර්‍ත්‍ථයන් කෙරෙහි තුටු පහටු බවෙන් හා ඇලීමෙන් යුත් ලද නො ලද කුදු මහත් හැම දෙයක හැම තැනෙක සතුටු වන කාමතණ්හා - භවතණ්හා - විභවතණ්හා යි තෙ වැදෑරුම් වූ යම් මේ තෘෂ්ණාවක් වේ ද, මහණෙනි, මෙය දුඃඛසමුදය සත්‍යය යි කියනු ලැබේ, යනු එහි කෙටි අරුත ය.‍

දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය වදාරණ බුදුරජානන් වහන්සේ තෘෂ්ණාව දුඃඛසමුදයැ, යි මෙයින් වදාළ සේක. එය වඩාත් තතු විසින් පැහැදිලි කරණු පිණි “පොනොභවිකා - නන්‍දිරාග සහගතා - තත්‍ර තත්‍රාභිනන්‍දිනී” යන මෙ පද තුණ වෙසෙසින් දැක් වූහ.

එහි මරණින් මතු නැවැත ඉපැත්ම ‘පුනබ්භව’ නම්. නැවත ඉපැත්ම දීම තෘෂ්ණාව පිළිබඳ භාවයයි. ඒ ස්වභාවය යමට ඇත්තේ නම් ඕ “පොනොභවිකා” නමි. තව ද යම් තෘෂ්ණාවක් චේතනාව හා එක්ව නැවැත ඉපැත්ම දේ ද, කර්‍මය සහාය කොට නැවැත ඉපැත්ම පිණිස පවතී ද, එහෙයිනුදු පොනොභවිකා. මේ අටුවා:- “පොනොභවිකා ති පුනබ්භවකරණං = පුනොභවො, පුනොභවො සීලමස්සාති = පොනොභවිකා, අපි ච පුනබ්භවං දෙති, පුනබ්භවාය සංවත්තති, පුනප්පුනං භවෙ නිබ්බත්තෙතීති = පොනොභවිකා” යනු.

මේ එහි ටීකා:- “තත්‍ථ කම්මසහජාතා පුනබ්භවං දෙති, කම්මසහායභූතා සහජාතා පුනබ්භවාය. සංවත්තති, දුවිධාපි පුනප්පුනං භවෙ නිබ්බත්තෙති” යනු.

ඒ ඒ අරමුණුවල දැඩි බැඳුමැ, යි කියූ නන්‍දිරාගය හා යුක්ත වූවා, අරමුණුවල දැඩි බැඳුම හා අරුත් විසින් සමානභාවයට ගියා නන්‍දිරාගසහගතා. මේ අටුවා:- “අභිනන්‍දන සඞ්ඛාතෙන නන්‍දිරාගෙන සහගතාති නන්‍දිරාග සහගතා, නන්‍දිරාගෙන සද්ධිං අත්‍ථතො එකත්තං එව ගතානි වුත්තං හොති” යනු.

මේ ‘නන්‍දිරාගසහගතා’ යන පදය තේරුම් කරණ ටීකාව එය මෙසේ තේරුම් කරයි:- “නන්‍දනට්ඨෙන නන්‍දි, රඤ්ජ්නට්ඨෙන රාගො, යො ච නන්‍දිරාගො යො ච තණ්හා, උභයමෙතං එකත්‍ථං, ඛ්‍යඤ්ජනමෙවනානං” යි. සිතේ බැඳීම සිත අරමුණුවල ඉපිලීම හෝ පොපියන බව නන්‍දි නම්. යම්කිසි පැහැයෙකින් රෙදිකඩක් රඳනා සේ සිත අන් අතකට පමුණුවානුයි අලවා නුයි රාග නම්. යම් නන්‍දිරාගයෙක් වේ ද, යම් තෘෂ්ණාවක් වේ ද ඒ දෙක ම අරුත් විසින් සමාන ය, අකුරු විසින් අසමාන ය, යනු එහි අරුත ය.

යම් යම් භවයෙක් හි ආත්මභාවයෙක් වේ ද, ඒ ඒ ආත්මභාවයෙහි වෙසෙසින් සතුටු වූවා ඇලී සිටියා නොහොත් රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය - ධර්‍ම යන අරමුණුවල සතුටු වූවා තදින් ඇලී සිටියා තත්‍රතත්‍රාභිනන්‍දිනීති ය. මේ අටුවා:- “තත්‍රතත්‍රාභිනන්‍දිනීති යත්‍ර යත්‍ර අත්තභාවො, තත්‍ර තත්‍රාභිනන්‍දිනී, රූපාදීසු වා ආරම්මණෙසු තත්‍රතත්‍රාභිනන්‍දිනීති රූපාභිනන්‍දිනී, ගන්‍ධරස ඵොට්ඨබ්බධම්මාභිනන්‍දිනීති” යනු.

මෙහි පොනොභවිකා යන්නෙහි තතු අරුත්, නියම විසින් නො දන්නේ තෘෂ්ණාව ම සත්ත්‍වයන්ගේ පුන පුනා ඉපැත්මට එක ම හේතුය යි ගන්නේ ය. එසේ නො ගත යුතු ය. එසේ ගන්නට එයින් අවසරයෙක් නො ලැබෙන්නේ ය. එක් ම හේතුවෙකින් හට ගත්තා වූ ද හට ගන්නා වූ ද කිසිවෙක් ලෝකයෙහි නැත්තේ ය. විශේෂ විසින් සත්ත්‍වයාගේ පුන පුනා සසර ඉපැත්මට තෘෂ්ණාව හා එක් වූ කර්‍මාදී වූ තවත් හේතුහු ඇත්තාහ. එහෙත් තෘෂ්ණාව ම එහිලා ප්‍රධාන බැවින් “යායං තණ්හා පොනොභවිකා” යනු වදාළ සේක. තෘෂ්ණාව හැර තෘෂ්ණාව හා එක් වූ අනෙක් හේතූන්ට සත්ත්‍ව ජීවිතයක් ජාතියෙන් ජාතියට ගෙණ යෑමට නො හැකි ය. සත්ත්‍ව ජීවිත ඉදිරියෙහි ගෙණ යෑමට සමර්‍ත්‍ථ වූවා තෘෂ්ණාව ම ය. අනෙක් හේතුහු ඒ පිණිස තෘෂ්ණා වට රුකුල් දෙන්නෝ ය.

මෙසේ මේ කියූ අරුත් ගැබ් කොට සිටි තෘෂ්ණාව, මුල් බෙදුම් විසින් කාමතණ්හා - භවතණ්හා - විභවතණ්හා යි තෙ පරිදි ව බෙදී සිටියා සමුදය නම් වූ ය. ඒ කවරහෙයින? යත්:- අවිද්‍යා-උපාදානාදී වූ හේතුන් හා එක්වීමෙන් උපතට කරුණු වන බැවිනි. “සහ අවයවෙන උදයතීති සමුදයො” යනු අර්‍ත්‍ථ සමර්‍ත්‍ථනය යි.

සමුදය යන මෙහි ‘ සං-උ-අය’ යි තෙ සදෙක් එක් ව සිටියේ ය. එහි සං යනු ‘සමාගමො, සමෙතං’ යනාදී තන්හි සේ එක්වීම කියාලයි.  යනු ‘උපපන්නං, උදිතං’ යනාදී තන්හි සේ උපත කියාලයි. අය යනු කාරණයෙහි වැටුනේ ය. වෙන් වෙන් ව සිටි කල්හි මෙසේ අරුත් කියන මේ ශබ්දත්‍රයය, එක්ව නැගී සිටියේ “එක්වීම ඇති කල්හි උපතට හේතු ය” යන අරුත දෙන්නේ ය. තෘෂ්ණාව, සමුදය යන නාමාන්තරයට වැටුනී මේ අරුත බලා ය. මෝ, අවිද්‍යා උපාදානාදී වූ අනෙක් හේතූන් හා එක්වීමෙන් දුකැ, යි ගැණෙන පඤ්චෝපාදානස්කන්‍ධයාගේ උපතට කරුණු වන්නී ය. තෘෂ්ණාව, අවිද්‍යා උපාදානාදී වූ හේතුන් හා එක්වූ කල්හි ම පඤ්චෝපාදානස්කන්‍ධයාගේ පහළවීම වන්නේ ය. නැත, පහළ නො වේ. එහෙයින් තෘෂ්ණාව දුඛසමුදය, යි කියනු ලැබේ. මේ අටුවා:- “ඉදං අපි ච සච්චං අවසෙසපච්චය සමායොගෙ සති දුක්ඛස්සුප්පත්තිකාරණං, ඉති දුක්ඛස්ස සංයොගෙ උප්පත්තිකාරණත්තා දුක්ඛසමුදයන්ති වුච්චති” යනු.

මෙ ද මුලින් කියූ දුඃඛසත්‍යය සේ ආර්‍ය්‍ය වූ බුදුරජානන් වහන්සේ විසින් ම දැන වදාළ බැවින්, මෙය දැන ගැණීම ආර්‍ය්‍ය හාවයට කරුණු බැවින් ආර්‍ය්‍ය සත්‍ය නම් වේ. දුඃඛසමුදය වූ ආර්‍ය්‍යසත්‍යය, දුඃඛසමුදයාර්‍ය්‍ය සත්‍ය නම්.

දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යයෙහි ආයුහන - නිදාන - සංයොග - පළිබොධ, යි ගති සතරෙක් ඇත්තේ ය. “සමුදයස්ස ආයූහනට්ඨො - නිදානට්ඨො - සංයොගට්ඨො - පළිබොට්ඨො, ඉමෙ චත්තාරො සමුදයස්ස සමුදයට්ඨා තථා අවිතථා අනඤ්ඤථාති” යනු අටුවාය. එහි කුශලාකුශලකර්‍ම රැස්කිරීම, හැම දුක් එකතු කිරීම ආයූහන නම්. පංචස්කන්‍ධ භේදයෙන් නැවත ඉදිරියෙහි පංචස්කන්‍ධයකට පිහිටවීම, කරුණුවීම නිදාන නම්, නැවැත නැවැත පංචස්කන්‍ධය දුඃඛයෙහි සත්ත්‍වයන් යොදාලීම සංයොග නම්. මාර්‍ගඵලාවබෝධයට බාධාකිරීම පළිබොධ නම්. මොවුහු වනාහි සමුදය සත්‍යයාගේ තත්ස්වභාව වූ නො ද බොරු වූ අන්‍යාකාර රහිත වූ සමුදය ස්වභාවයෝ ය.

භවත්‍රයයෙහි කිසි ද තැනෙක මෙ කියූ සමුදයස්වහාවයන් ගෙන් තොර වූ දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය නරක තීර්‍ය්‍යක් ප්‍රේතාදී වූ කිසිත් පදාර්‍ත්‍ථයෙක් නැත්තේ ය. ලොව ඇති තාක් හැම පදාර්‍ත්‍ථයෙක් මේ සතරට යටත් ව පවතින්නේ ය. එහෙයින් භවත්‍රය පුරා සිටි සියලු ජීවපදාර්‍ත්‍ථයන්ගේ ඉපැත්මෙහි හේතු ව මූලකාරණය මේ ය. සමුදයසත්‍යය පිළිබඳ වූ මේ ස්වභාවධර්‍මයෝ මාර්‍ගඥානයට විෂය ව සිටියෝ ය.

ලක්ඛණ-රස-පච්චුපට්ඨාන යන මෙ තුණ සමුදයසත්‍යයෙහි තත්ත්‍ව තුණෙකි. සමුදය සත්‍යය ලක්ෂණ විසින් මුලෝත්පත්තිය ලකුණු කොට සිටියේ ය. රස විසින් පුන පුනා ඉපැත්ම නො සිඳ පවත්වාලීම කෘත්‍යය කොට සිටියේ ය. පච්චුපට්ඨාන විසින් සසරින් මිදීමට ඉඩ නො දීම එයට පළිබෝධ කිරීම වැටහීම කොට සිටියේ ය.

“තං විනා නාඤ්ඤතො දුක්ඛං න හොති න ච තං තතො,

දුක්ඛහෙතුනියාමනෙ ඉති සච්චං විසත්තිකා”

ඒ තෘෂ්ණාව හැරපියා අනෙකෙකින් පංචස්කන්‍ධ දුඃඛය නො වේ ද, ඒ දුඃඛය තෘෂ්ණාවෙන් නො වනුයේ නො වේ ද, මෙසේ පංචස්කන්‍ධ දුඃඛයට හේතුභාවනියමයෙන් විසත්තිකා නම් වූ තෘෂ්ණාව සමුදය සත්‍යය නම් වේ.

මෙසේ සමර්ත්‍ථිත වූ සමුදය ශබ්දය කාමතණ්හා - භවතණ්හා - විභවතණ්හා යි තෙ වැදෑරුම් වූ තෘෂ්ණාව දුක් උපදවන අරුතින් ඒකත්‍වයට පමුණුවා නැගී සිටියේ ය. “ඉධ පනායං තිවිධාපි දුක්ඛසච්චස්ස නිබ්බත්තකට්ඨෙන එකත්තං උපනෙත්‍වා දුක්ඛ සමුදයන්ති වුත්තාති වෙදිතබ්බා” යනු දන්නේ ය.

එහි කාමතණ්හා නම්, වස්තුකාම - ක්ලේශකාම දෙක ය. ක්ලේශයන්ගේ ඉපැත්මට කරුණු වූ වස්තු හැම එකෙක් අප්‍රධාන විසින් කාමැ, යි ගණු ලැබේ.

ප්‍රධාන විසින් ගැනෙන්නේ ඒ ඒ වස්තූන්හි ඇස නිසා කන් නිසා නැහැය නිසා දිව නිසා කය නිසා සිත නිසා උපදනා ඇලීම ය. බැඳීම ය. පිපාසා ය. ප්‍රීතිය. මූර්ඡාය. බැසගැණීම ය. යෙදීම ය. දැඩිව ගැණීම ය. ඇවිරීම ය. [7] ඒය ක්ලේශකාම නම්.

මෙසේ වස්තුකාම - ක්ලේශකාම විසින් දෙ පරිදි වූ කාම තෘෂ්ණාව කාමලෝක - රූපලෝක - අරූපලෝක යන තුන් ලොව ම ගෙන සිටියා ය. කාමභවික සත්ත්‍වයන් පිළිබඳ වූවා කාමතණ්හා නම්. රූපභවිකසත්ත්‍වයන් පිළිබඳ වූවා රූපතණ්හා නම්. අරූප භවිකසත්ත්‍වයන් පිළිබඳ වූවා අරූපතණ්හා නම්. මෙහි ‘රූප තණ්හා’ යි කීවා රූපභවිකසත්ත්‍වයන් පිළිබඳ වූවා මුත් කාමභවිකසත්ත්‍වයන් තුළ රූපාරම්මණය ඇසුරු කොට උපදනා තණ්හා, යි නො දතයුතු ය.

“කාමෙ තණ්හා = කාමතණ්හා, පංචකාමගුණිකරාගස්සෙතං අධිවචනං” යන මේ අටුවායෙන් තෘෂ්ණා නම්, එකොළොස් වැදෑරුම් වු කාමභූමීහි හැසිරෙණ උත්පත්ති වශයෙන් යන එන සත්ත්‍වයන් තුළ රූපාදීන් අරමුණු කොට සිතෙහි උපදනා ඇලුම් බැඳුම්, යි දැක්වුනේ ය.

කාමතණ්හා යන මෙහි වූ කාම යන්න ගැණ යට කියූ කරුණු දතයුතු ය. තණ්හා නම්, සත්ත්‍වයන් අරමුණු විෂයයෙහි පිපාසිතයන් කරණ ධර්‍ම ශක්තිය යි. යම් ධර්‍මශක්තියක් කරණ කොට සත්ත්‍වයා අරමුණු රස විඳිනු කැමැත්තේ වේ ද, ඒ ධර්‍ම ශක්තිය යි. මේ ධර්‍ම ශක්තිය ම සත්ත්‍වයන්ගේ සිත්තුළ පව් කරන්නට කැමැත්ත උපදවයි. සත්ත්‍වයා පවෙහි යොදාලයි. එකොළොස් වැදෑරුම් වූ කාමලෝකයෙහි කො තැනෙක හෝ සත්ත්‍වයන්ගේ උපතට හේතු වන්නී මෝ ය. සත්ත්‍වයන් ජාතියෙන් ජාතියට උත්පත්ති වශයෙන් ඇද ගෙණ යන්නී මෝ ය. “නරං පරිකස්සති” යනු වදාළෝ එහෙයිනි. මළපුඩුවෙක බැඳුනු ළිහිණියක සේ ලෝකයෙහි ඇති තාක් පෘථග්ජන සත්ත්‍වයෝ මේ තෘෂ්ණායෙන් බැඳී සිටුනෝ ය. “ඉච්ඡාබද්ධා පුථූසත්තා පාසෙන සකුණි යථා” යනු වදාළෝ එහෙයිනි.

මෙසේ හැම සසරදුකට මුල් වූවා තෘෂ්ණාව ය. තෘෂ්ණාව නිසා ම සත්ත්‍ව තෙමේ ජාතිජරාමරණාදී වූ හැම දුකක් විඳියි. සත්ත්‍වයන් සසර විඳුනා දුක් මෙතෙකැ, යි පමණ කළ නො හැකි ය. එහෙයින් සසර බිය දනවුන් විසින් තෘෂ්ණාව ගැන කරුණු දතයුත්තේ ය. දැන එය මුල සුන් කළ යුත්තී ය. ඒ පිණිස හිත වූ මග යායුත්තේ ය.

සසර දුකට මුල් වූ මේ තෘෂ්ණාව, රූපතණ්හා - සද්දතණ්හා - ගන්‍ධතණ්හා - රසතණ්හා - පොට්ඨබ්බතණ්හා - ධම්මතණ්හා යි ස වැදෑරුම් ය. මෙය මෙසේ වදාළ සේක:- “කතමා පනාවුසො! තණහා? ඡ ඉමෙ ආවුසො! තණ්හා කායා, රූපතණ්හා සද්දතණ්හා ගන්‍ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණහා හා ධම්මතණ්හා” යි.

“රූපෙ තණ්හා = රූපතණ්හා, රූපාරම්මණ පටිච්ච පවත්තා තණ්හා රූපතණ්හා” රූපය අරමුණු කොට රූපයෙහි එල්බ ගැණීමෙන් රූපය කෙරෙහි උපදනා ඇලීම බැඳීම ‘රූප තණහා’ යි මේ විවරණයන්ගෙන් පැහැදිලි ය. “යං රූපං චතුන්නං මහාභූතානං උපාදාය වණ්ණනිභා සනිදස්සනං සප්පටිඝං නීලං පීතං ලොහිතං ඔදාත කාලකං” යනාදින් වදාළ මහාභූත රූපයන් පිළිබඳ නීලාදී වූ යම් වර්‍ණසංස්ථානයෙක් වේ ද, හෙවත් විකෘතිමත් වර්‍ණසංස්ථාන සඞ්ඛ්‍යාත රූපාලම්බනයෙක් වේ ද ඒ විකාරරූපය රූප නම් වේ. එබඳු වර්‍ණසංස්ථාන රූපයක් චක්‍ෂුස්පසාද රූපයට (ඇසට) හමු වූ කල්හි ඒ හා ගැටුනු කල්හි කාමරස විඳ ගැණීම් වශයෙන් සිතෙහි නගිනා ධර්‍මශක්තිය රූප තෘෂ්ණා, යි දතයුතු ය. ඕ ම කාමතණ්හා නමුදු වේ. “රූපතණ්හා එව යදා චක්ඛුස්ස ආපාථගතං රූපාරම්මණං කාමස්සදවසෙන පවත්තති, තදා කාමතණ්හා නාම හොති” යනු එහිලා කීහ.

චිත්තචෛතසික ධර්‍ම මෙහි ඇලේ නුයි හෝ චිත්තචෛතසික ධර්‍මයන්ගේ ඇලීමට ආධාරස්ථාන නුයි හෝ මේ කියූ රූපාදීහු ම ආරම්මණ නම් වෙත්, “චිත්තචෙතසිකා ධම්මා ආගන්ත්‍වා එත්‍ථ රමන්ති, ආගන්ත්‍වා වා චිත්තචෙතසිකා ධම්මා රමන්ති එත්‍ථාති = ආරම්මණං” යනු විභාෂා යි.

චක්‍ෂුර්ද්වාරයත් රූපාලම්බනයත් එකට ගැටීමෙන් චක්‍ෂුර්විඥානය පහළ වේ. ඉන්පසු එම අරමුණ නිසා පහළ වන සිත් පරපුරෙහි කෙළවර නගිනා ජවන් සිත්හි අයෝනිසෝමනස්කාරය බලගතුව නැගී, ගියේ නම්, එකල්හි ඒ ජවන් සිත්හි වූ චේතනාව අරමුණෙහි නියම තතු නො දැන ඇති තතු නො ගෙණ අරමුණ ශුභ වශයෙන් ගෙන රස විඳියි. එහි බැඳෙයි. එහි ගැලෙයි. එහි බැස ගණියි. මෙසේ රූපාරම්මණයෙහි ඇලීම රස විඳීම බැඳීම් ගැලීම් බැස ගැණීම නම් වූ රූපතෘෂ්ණාව අපායදුකට කරුණු වන්නී ය. රූපතෘෂ්ණාවෙන් මැඩුනෝ පුන පුනා සසර ම සැරිසරත්. සසර දුකෙහි ම වැටෙත්. සසර දුකෙහි ම ගැලෙත්.

තෘෂ්ණාවගේ ඉපැත්මට කරුණු වන රූපාරම්මණ අතුරෙහි පුරුෂයාහට ස්ත්‍රීරූපයත් ස්ත්‍රියහට පුරුෂරූපයත් තරම් සැහැසි වූ අන් එක ද රූපයෙක් නැත්තේ ය. ස්ත්‍රී රූපය හා පුරුෂ රූපය හා දෙක අන් හැම රූපයක් යට කොට ගෙන සිටියේ ය. ඒ වග වදාළ සැටි මෙසේ දන්නේ ය:-

“නාහං භික්ඛවෙ! අඤ්ඤං එකරූපම්පි සමනුපස්සාමි යං එවං පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති, යථයිදං භික්ඛවෙ! ඉත්‍ථිරූපං, ඉත්‍ථිරූපං භික්ඛවෙ! පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති”

“නාහං භික්ඛවෙ! අඤ්ඤං එකරූපම්පි සමනුපස්සාමි යං එවං ඉත්‍ථියා චිත්තං පරියාදාය තිට්ඨති, යථයිදං භික්ඛවෙ! පුරිසරූපං, පුරිසරූපං භික්ඛවෙ! ඉත්‍ථියා චිත්තං පරියාදාය තිට්ඨති” යි.

ස්ත්‍රීරූපය නිසා හට ගන්නා තෘෂ්ණාවෙන් පුරුෂරූපය නිසා හට ගන්නා තෘෂ්ණාවෙන් ලෝකයෙහි විපතට පත් වූත් විපතට පත්වන්නා වූත් ස්ත්‍රීපුරුෂයන්ගේ ගණන පිරිසිඳිය නො හැකි ය. තිරිසන් ගත සත්ත්‍වයන් අතර ද මේ විපත දක්නට ලැබේ. මහද්ගත චිත්තසමාධි ඇති පුරුෂයෝ පවා මේ රූප තෘෂ්ණාවෙන් විපතට පත් වූහ.

“කත්‍වාන රාගමිසයොපි ඛගා දුපඤ්ඤා

ථිරූපිනාරිකුසුමේසුපි රූපගිදධා,

පත්තානයං ඛලු පුර පරිහීනඣානා

රූපෙ න රජ්ජථ තතො ඛලු සාධුපඤ්ඤා”

පෙර අහසෙහි ගිය නුවණ නැති රූපයෙහි ගිජු වූ සෘෂීහු ද ස්ත්‍රී රූපාකාර වූ නාරිලතා මල්හි ද ආලය කොට පිරිහුනු ධ්‍යාන ඇත්තාහු ඒකාන්තයෙන් විනාශයට පැමිණියහ. එහෙයින් නුවණැත්තෙනි. රූපයෙහි නො ඇලෙවු.

“සද්දෙ තණ්හා = සද්දතණ්හා, සංද්දරම්මණං පටිච්ච පවත්තා තණ්හා සද්දතණ්හා” ශබ්දය අරමුණු කොට ශබ්දයෙහි එල්බ ගැණීමෙන් ශබ්දය නිසා උපදනා ඇලීම බැදීම ශබ්දතණ්හා නම් වේ. “යො සද්දො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො භෙරිසද්දො මුතිඞ්ගසද්දො සඞ්ඛසද්දො පණවසද්දො ගීතසද්දො” යනාදීන් වදාළ මහාභූතයන් නිසා හට ගැනෙන ශ්‍රෝත්‍රවිඥානයෙන් දතයුතු වූ භේරිමුතිඞ්ගාදී වූ යම් ශබ්දයෙක් වේ ද, ඒය ශබ්ද නම්. එබඳු ශබ්දාලම්බනයක් ශ්‍රෝත්‍ර ප්‍රසාදයට (කණට) වැටුනු කල්හි ඒ හා ගැටුනු කල්හි කාමරස විඳ ගැනීම් වශයෙන් සිතෙහි නගිනා ධර්‍මශක්තිය ශබ්දතෘෂ්ණා නම් වේ. ඕ ම කාමතණ්හා නමුදු වේ. “සද්දතණ්හා එව සොතස්ස ආපාථගතං සද්දාරම්මණ කාමස්සාදවසෙන පවත්තති, තදා කාමතණ්හා නාම හොති” යනු එහිලා කී හ.

මේ කියූ ශබ්දාලම්බනය ශුභ වශයෙන් ගෙණ රස විඳිනුයේ එහි බැඳෙනුයේ ගැලෙනුයේ බැස ගනුයේ අපායයෙහි හෙන්නේ ය. පුන පුනා සසර දුකෙහි ම ගැලෙන්නේ ය.

තෘෂ්ණාවගේ ඉපැත්මට කරුණු වන සද්දාරම්මණ අතුරෙහි පුරුෂයාහට ස්ත්‍රීශබ්දයත් ස්ත්‍රියහට පුරුෂ ශබ්දයත් තරම් සැහැසි වූ අන් එක ද ශබ්දයෙක් නැත්තේ ය. ස්ත්‍රී ශබ්දය හා පුරුෂ ශබ්දය හා දෙක අන් හැම ශබ්දයක් යට කොට නැගී සිටියේ ය. ඒ වග වදාළ සැටි මෙසේ දන්නේ ය:-

“නාහං භික්ඛවෙ! අඤ්ඤං එකසද්දම්පි සමනුපස්සාමි යං එවං පුරිසස්ස විත්තං පරියාදාය තිට්ඨති, යථයිදං භික්ඛවෙ! ඉත්‍ථිසද්දො, ඉත්‍ථිසද්දො භික්ඛවෙ! පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති”

“නාහං භික්ඛවෙ! අඤ්ඤං එකසද්දම්පි සමනුපස්සාමි යං එවං ඉත්‍ථියා චිත්තං පරියාදාය තිට්ඨති, යථයිදං භික්ඛවෙ! පුරිසසද්දො, පුරිසසද්දො භික්ඛවෙ! ඉත්‍ථියා චිත්තං පරියාදාය තිට්ඨති” යි.

ස්ත්‍රී ශබ්දය නිසා හට ගන්නා තෘෂ්ණාවෙන් පුරුෂ ශබ්දය නිසා හට ගන්නා තෘෂ්ණාවෙන් ලෝකයෙහි විපතට පත් වූත් විපතට පත් වන්නාවූත් ස්ත්‍රී පුරුෂයන්ගේ ගණන පිරිසිඳිය නො හැකි ය තිරිසන් ගත සත්ත්‍වයන් අතර ද මේ විපත දක්නට ලැබේ. මහද්ගත චිත්තසමාධි ඇති පුරුෂයෝ පවා මේ ශබ්දතෘෂ්ණාවෙන් විපතට පත් වූහ.

“සද්දානුරාගමනුගොපි පුරෙ සිඛණ්ඩී

සුත්‍වාන මොරිමධුරං ගිරමිඤ්ජිතඞ්ගො,

ව්‍යධස්ස හත්‍ථමගමාසි භවෙසු තස්මා

නත්‍ථෙව සද්දසමදුක්ඛකරං ජනානං”

පෙර මොණරෙක් ශබ්දානුරාගයට අනුව ගියේ මොණරියගේ මිහිරිනාදය අසා වැද්දාට හසු විය. සත්ත්‍වයන්ට ශබ්දය සමාන දුඃඛකාරණයක් නැත් ම ය.

“ගන්‍ධෙ තණ්හා = ගන්‍ධතණ්හා, ගන්‍ධාරම්මණං නිස්සිතා ජාතා තණ්හා = ගන්‍ධතණ්හා” ගන්‍ධයෙහි පැවැති ගන්‍ධාරම්මණය ඇසුරු කොට ගන්‍ධයෙහි එල්බ උපදනා ඇල්ම බැඳීම ගන්‍ධතණ්හා නම් වේ “යො ගන්‍ධො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො මූලගන්‍ධො සාරගන්‍ධො තචගන්‍ධො පත්තගන්‍ධො ඵුප්පගන්‍ධො” යනාදීන් මහාභූතයන් නිසා උපදනා ඝ්‍රාණවිඥානයෙන් දතයුතු වූ මූලගන්‍ධාදී වූ යම් ගන්‍ධයෙක් වේ ද, ඒ ගන්‍ධ නම්. සුවඳ - දුගඳ වශයෙන් ද වෙන් කෙරෙණ එබඳු ගන්‍ධාලම්බනයක් ඝ්‍රාණප්‍රසාදයෙහි (නැහැයෙහි) වැදුනු කල්හි ඒ හා ගැටුනු කල්හි එහි රස විඳ ගැණීම් වශයෙන් සිතෙහි නගිනා ධර්‍මශක්තිය ගන්‍ධතණ්හා නම් වේ. ඕ ම කාමතණ්හා නමුදු වේ. “ගන්‍ධතණ්හා එව ඝාණස්ස ආපාථගතං ගන්‍ධාරම්මණං කාමස්සාදවසෙන පවත්තති, තදා කාමතණ්හා” යනු එහිලා කිහ.

මේ කියූ ගන්‍ධාරම්මණය ශුභ වශයෙන් රස විඳිනුයේ එහි ගැටෙනුයේ ගැලෙනුයේ බැස ගණුයේ අපායයෙහි හෙන්නේ ය. පුන පුනා සසරදුකෙහි ම ගැලෙන්නේ ය.

තෘෂ්ණාවගේ ඉපැත්මට කරුණු වන ගන්‍ධාරම්මණ අතුරෙහි පුරුෂයාහට ස්ත්‍රීගන්‍ධයත් ස්ත්‍රීයහට පුරුෂගන්‍ධයත් තරම් සැහැසි වූ අන් එක ද ගන්‍ධයෙක් නැත්තේ ය. ස්ත්‍රීගන්‍ධය හා පුරුෂගන්‍ධය හා දෙක අන් හැම ගන්‍ධයක් යට කොට නැගී සිටියේ ය. ඒ වග වදාළ සැටි මෙසේ දන්නේ ය:-

“නාහං භික්ඛවෙ! අඤ්ඤං එකගන්‍ධම්පි සමනුපස්සාමි යං එවං පුරිසස්ස චිත්ත පරියාදාය තිට්ඨති, යථයිදං භික්ඛවෙ! ඉත්‍ථිගන්‍ධො, ඉත්‍ථිගන්‍ධො භික්ඛවෙ! පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති”

“නාහං භික්ඛවෙ! අඤ්ඤං එකගන්‍ධම්පි සමනුපස්සාමි යං එවං ඉත්‍ථියා චිත්තං පරියාදාය තිට්ඨති, යථයිදං භික්ඛවෙ! පුරිසගන්‍ධො, පුරිසගන්‍ධො භික්ඛවෙ! ඉත්‍ථියා චිත්තං පරියාදාය තිට්ඨති” යි.

ප්‍රකෘති විසින් ස්ත්‍රියගේ ශරීර ගන්‍ධය දුගඳ වෙයි. එහෙත් මෙහි සිරුරෙහි අලෙව් දුන් ආගන්තුක වූ විලවුන් ආදීන්ගේ ගන්‍ධය මෙහි අදහස් කරණ ලද්දේ ය. ලෝකයෙහි ඇතැම් ස්ත්‍රීහු අසුන්ගේ ගන්‍ධය බඳු ගන්‍ධය ඇත්තෝ ය. එළුවන්ගේ ගන්‍ධය බඳු ගන්‍ධය ඇත්තෝ ය. ඇතැම්හු ඩහදිය ගඳ ඇත්තෝ ය. ඇතැම්හු ලේ ගඳ ඇත්තෝ ය. කාමයෙන් ආතුර වූ අන්‍ධබාල පෘථග්ජනයාහට ඒ කිසිත් ගඳෙක් දුගඳක් සේ නො වැටහෙන්නේ ය. එහෙයින් හේ එහි ඇලෙන්නේ ය. බැඳෙන්නේ ය.

සත්‍රීගන්‍ධය නිසා හට ගන්නා තෘෂ්ණාවෙන් පුරුෂගන්‍ධය නිසා හට ගන්නා තෘෂ්ණාවෙන් ලෝකයෙහි විපතට පත් වූ විපතට පත් වන්නා වූත් ස්ත්‍රී පුරුෂයන්ගේ ගණන පිරිසිඳිය නො හැකි ය.

“ඔහාය නෙකකුසුමෙසු පරාගරාගං

මත්තෙභකුම්භමගමා මදගන්‍ධලුද්ධො,

භිඞ්ගො පභග්ගතනුකො කරිකණ්ණතාලා

නත්‍ථෙව ගන්‍ධසදිසං තිභවෙසු පාසං”

භ්‍රමර තෙමේ නන් වැදෑරුම් පුෂ්පයන්හි මල් පැණියෙහි ඇලීම හැර දමා මදගන්‍ධයෙහි ගිජු ව මදැතුන් කුඹුතල කරා ගොස් උගේ කන් පහරින් තැළ මැරී යන්නේය. එහෙයින් තුන් ලොව ගන්‍ධය සමාන වූ මළපුඩුවෙක් නැත.

“රසෙ තණ්හා = රසතණ්හා, රසාරම්මණං පටිච්ච රසාරම්මණං නිස්සිතං කත්‍වා ජාතා තණ්හා = රසතණ්හා” රසයෙහි පැවැති රසය අරමුණු කොට රසය නිසා රසය ඇසුරු කොට උපදනා ඇලීම බැඳීම රසතණ්හා, යි කියන ලදි. “යො රසො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො මූලරසො ඛන්‍ධරසො තචරසො පත්තරසො ඵලරසො” යනාදීන් වදාළ මහාභූතයන් නිසා හට ගැණෙන ජීව්හාඥානයෙන් දතයුතු වූ මුලරසාදී වූ යම් රසයෙක් වේ ද, ඒ ය රස නම්. එබඳු රසාලම්බනයක් ජිව්හාප්‍රසාදයට (දිවට) ගත් කල්හි ඒ හා ගැටුනු කල්හි රසවිඳ ගැණීම් වශයෙන් සිතෙහි නගිනා ධර්‍මශක්තිය ගන්‍ධතෘෂ්ණා නම් වේ. ඕ ම කාමතණ්හා නමුදු වේ. “රසතණ්හා එව ජිව්හාය ආපාථගතං රසාරම්මණ කාමස්සාදවසෙන පවත්තති, තදා කාමතණ්හා නාම හොති” යනු එහිලා කීහ.

රසාරම්මණය ශුභ වශයෙන් ගෙන රස විඳිනුයේ එහි ගැටෙනුයේ ගැලෙනුයේ බැස ගණුයේ අපායයෙහි හෙන්නේ ය. පුන පුනා සසරදුකෙහි ම ගැලෙන්නේ ය.

තෘෂ්ණාවගේ ඉපැත්මට කරුණු වන රසාරම්මණ අතුරෙහි පුරුෂයාහට ස්ත්‍රීරසයත් ස්ත්‍රියහට පුරුෂරසයත් තරම් සැහැසි වු අන් එක ද රසයෙක් නැත්තේ ය. ස්ත්‍රීරසය හා පුරුෂ රසය හා දෙක අන් හැම රසයක් යට කොට නැගී සිටියේ ය. ඒ වග වදාළ සැටි මෙසේ දන්නේ ය:-

“නාහං භික්ඛවෙ! අඤ්ඤං ඒකරසම්පි සමනුපස්සාමි යං එවං පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති, යථයිදං භික්ඛවෙ! ඉත්‍ථිරසො, ඉත්‍ථිරසො භික්ඛවෙ! පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති”

“නාහං භික්ඛවෙ! අඤ්ඤං ඒකරසම්පි සමනුපස්සාමි යං එවං ඉත්‍ථියා චිත්තං පරියාදාය තිට්ඨති, යථයිදං භික්ඛවෙ! පුරිසරසො, පුරිසරසො භික්ඛවෙ! ඉත්‍ථියා චිත්තං පරියාදාය තිට්ඨති” යි.

මෙහි ත්‍රිපිටක චූලනාග - චූලාභය ස්ථවිරයන් වහන්සේලා ස්ත්‍රියගේ පිළිවිස කරණ සුලුබව, ඈ කෙරෙහි පැවැති කීකරු රසය හා පරිභෝගරසයෙකුත් වේ ද මෙය ස්ත්‍රීරසය, යි කියත්. එහෙත් ස්ත්‍රියගේ ඔෂ්ටමාංසයෙහි වැකුණු කෙළ ආදීන්ගේ රසයෙකුත් ස්වාමියාහට දුන් කැඳබත් ආදීන්ගේ රසයෙකුත් වේ ද ඒ සියල්ල ස්ත්‍රීරස ය, යි දත යුතු ය.

නො‍යෙක් දෙනා තමාගේ මාගම විසින් සියතින් දෙන ලද යම් කිසිවක් ම මිහිරිය යි ගෙන සිටින්නෝ ය.

ස්ත්‍රීරසය නිසා හට ගන්නා තෘෂ්ණාවෙන් පුරුෂරසය නිසා හට ගන්නා තෘෂ්ණාවෙන් ලෝකයෙහි විපතට පත් වූත් විපතට පත් වන්නා වූත් ස්ත්‍රී පුරුෂයන්ගේ ගණන ඉතා බොහෝ ය. ඒ පිරිසිඳ දත නො හැකි ය.

“ගම්භීරනීරධිභවො පචුරාසනොපි

මච්ඡො ගිලිත්‍ව බලිසං රසගෙධහෙතු,

පප්පොති දුක්ඛමතුලං න රසෙසු සාත

මත්‍ථීති මන්ත්‍ව පජහාථ රසෙසු ගෙධං”

ගැඹුරු වූ මහසමුදුර උපන් මත්ස්‍යයා බොහෝ ආහාර ඇත්තේ නමුත් රසතෘෂ්ණාව හේතු කොට බිලිය ගිල අසමාන දුකට පැමිණේ. රසයන්හි සැපයෙක් නැතැයි දැන රස විඳ ගැණීමෙහි ආශාව දුරු කරවු.

“ඵොට්ඨබ්බෙ තණ්හා = ඵොට්ඨබ්බතණ්හා, ඵොට්ඨබ්බාරම්මණං පටිච්ච ඵොට්ඨබ්බාරම්මණං නිස්සිතං කත්‍වා ජාතා තණ්හා ඵොට්ඨබ්බතණ්හා” ස්ප්‍රෂ්ටව්‍යයන් අරමුණු කොට ස්ප්‍රෂ්ටව්‍යයන් නිසා ස්ප්‍රෂ්ටව්‍යයන් ඇසුරු කොට උපදනා චිත්තවේගය ඵොට්ඨබ්බ තණ්හා යි කියන ලදී. “පඨවීධාතු තෙජොධාතු වායො ධාතු කක්ඛලං මුදුකං සණ්හං ඵරුසං සුඛසම්ඵස්සං දුක්ඛසම්ඵස්සං ගරුකං ලහුකං යං ඵොට්ඨබ්බං අනිදස්සනං සප්පටිඝං” යනාදීන් වදාළ කායවිඥානයෙන් දතයුතු වූ පඨවීධාතු තෙජොධාතු වායොධාතු තිදෙන උනුන් හා ගැටීමෙන් පහළ වන කැකුළු මොළොක් සියුම් රළු බර සැහැල්ලු ගති ඇති සුව දුක් පහස, ඵොට්ඨබ්බ නාමයෙන් හඳුන්වන ලදි. එබඳු පහසක් ඇසුරු කොට සිතෙහි නගිනා ධර්‍ම ශක්තිය සප්‍රෂ්ටව්‍යතෘෂ්ණා නම් වේ. ඕ ම කාමතණ්හා නමුදු වේ. “ඵොට්ඨබ්බතණ්හා එව කාමස්සාදවසෙන පවත්තති, තදා කාමතණ්හා නාම හොති” යනු එහිලා කීහ.

මේ කියූ ස්පෂ්ටව්‍යාලම්බනය ශුභ වශයෙන් ගෙණ රස විඳිනුයේ එහි බැඳෙනුයේ ගැලෙනුයේ බැස ගණු යේ අපායයෙහි හෙන්නේය. පුන පුනා සසරදුකෙහි ම ගැලෙන්නේ ය.

තෘෂ්ණාවගේ ඉපැත්මට කරුණු වන ඵොට්ඨබ්බාරම්මණය අතුරෙහි පුරුෂයාහට ස්ත්‍රී ස්ප්‍රෂ්ටව්‍යයත් ස්ත්‍රියකට පුරුෂ ස්ප්‍රෂ්ටව්‍යයත් තරම් සැහැසි වූ අන් එක ද ස්ප්‍රෂ්ටව්‍යයෙක් නැත්තේ ය. ස්ත්‍රී ස්ප්‍රෂ්ටව්‍යය හා පුරුෂ ස්ප්‍රෂ්ටව්‍යය හා දෙක අන් හැම ස්ප්‍රෂ්ටව්‍යයන් යට කොට නැගී සිටියේ ය. ඒ වග වදාළ සැටි මෙසේ දන්නේ ය:-

“නාහං භික්ඛවෙ! අඤ්ඤං එකඵොට්ඨබ්බම්පි සමනුපස්සාමි යං එවං පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති, යථයිදං භික්ඛවෙ! ඉත්‍ථිඵොට්ඨබ්බො, ඉත්‍ථිඵොට්ඨබ්බො භික්ඛවෙ! පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති”

“නාහං භික්ඛවෙ! අඤ්ඤං එකඵොට්ඨබ්බම්පි සමනුපස්සාමි යං එවං ඉත්‍ථියා චිත්තං පරියාදාය තිට්ඨති, යථයිදං භික්ඛවෙ! පුරිසඵොට්ඨබ්බො, පුරිසඵොට්ඨබ්බො භික්ඛවෙ! ඉත්‍ථියා චිත්තං පරියාදාය තිට්ඨති” යි.

ස්ත්‍රී ස්ප්‍රෂ්ටව්‍යය නිසා හට ගන්නා තෘෂ්ණාවෙන් පුරුෂ ස්ප්‍රෂ්ටව්‍යය නිසා හට ගන්නා තෘෂ්ණාවෙන් ලෝකයෙහි විපතට පත් වූත් විපතට පත් වන්නා වූත් ස්ත්‍රී පුරුෂයන්ගේ ගණන පිරිසිඳිය නො හැකි ය. තිරිසන් ගත සත්ත්‍වයන් අතර ද මේ විපත දක්නට ලැබේ. මහද්ගත චිත්ත සමාධි ඇති පුරුෂයෝ පවා මේ ස්ප්‍රෂ්ටව්‍ය තෘෂ්ණාවෙන් විපතට පත් වූහ.

“භො බ්‍රහ්මලොකාගතසුද්ධසත්තො

බුද්ධත්තමෙව නියතො අපි බොධිසත්තා,

ථීසඞ්ගමාය පරිහාසි සරජ්ජතොපි

තස්මා හි ඵස්සසදිසො අනයො න චත්‍ථි”

බඹ ලොවින් පැමිණියා වූ පිරිසිදු ජීවිතයක් දැරූ බෝසත් තෙමේ බුදුබවට නියත වූයේ ද ස්ත්‍රී සඞ්ගමය කරණ කොට සිය රජයෙනුදු පිරිහී ගියේ ය. එහෙයින් ස්පර්‍ශය සමාන වූ ව්‍යසනයෙන් නො ද ඇත්තේ ය.

“ ධම්මෙ තණ්හා = ධම්මතණහා, ධම්මාරම්මණං පටිච්ච ධම්මාරම්මණං නිස්සිතං කත්‍වා ජාතා තණ්හා = ධම්මතණ්හා” ධර්‍මයන් අරමුණු කොට ධර්‍මයන් නිසා ධර්‍මයන් ඇසුරු කොට උපදනා ආලය සඞ්ඛ්‍යාත චිත්තවේගය ධම්මතණ්හා යි කියන ලදි. පඤ්චද්වාරයට ගොදුරු නො වන සියලු අරමුණු ධම්මාරම්මණ නමින් ගැණේ. ප්‍රසාදරූප - සූක්ෂමරූප - චිත්ත - චෛතසික - නිර්‍වාණ - ප්‍රඥප්ති, යි එය සැකෙවින් ස වැදෑරුම් ය. විස්තර විසින් චක්ඛු සෝත ඝාණ ජීව්හා කාය යන ප්‍රසාදරූප පස ය, ආපෝධාතු ය, ඉත්‍ථි - පුරිසභාව දෙක ය, හදය වත්‍ථු ය, ජීවිතින්‍ද්‍රිය ය, ඔජා ය, පරිච්ඡේද ය, විඤ්ඤත්ති දෙක ය, ලහුතා මුදුතා කම්මඤ්ඤතා යන විකාර රූප තුණ ය උපචය සන්තති ජරතා අනිච්චතා යන ලක්ෂණ රූප සතර ය, යන සූක්ෂම රූප සොළොස ය, අසූ නවයෙකින් හෝ එක් විස්සෙකින් ගැණෙන සිත් ය, ඵස්සාදී වූ දෙපණස් චෛතසික ය, නිර්‍වාණ ය, භූමි පර්‍වත කසිණාදි ප්‍රඥප්ති ය, යි මෙසේ දත යුතු ය. මේ සියල්ල මනෝද්වාරයට ම අරමුණු වේ. ධම්මසඞ්ගණියෙහි “ඡ අජ්ඣත්තිකානි ආයතනානි තීණී ලක්ඛණානි තයො අරූපිනො ඛන්‍ධා පණ්ණරසසුබුමරූපානි නිබ්බාණ පඤ්ඤත්තීති ඉමෙ ධම්මායතනපරියාපන්නා ච අපරියාපන්නා ච ධම්මාරම්මණං” යි ආයේ ය. ආද්ධ්‍යාත්මික ෂඩායතන, ත්‍රිවිධ ලක්ෂණ, ත්‍රිවිධ අරූපස්කන්‍ධ, පණ්ණරස සූක්‍ෂමරූප, නිර්‍වාණ, ප්‍රඥප්ති යන ධර්‍මායතනයෙහි ඇතුළත් මේ ධර්‍මසමූහය ධම්මාරමණ යයි කියන ලදි. එහි අටුවාව කීයේ මෙ තැන මොවුන්ගේ වශයෙන් නො ගෙණ ඔජාදීන් පිළිබඳ ඇලිය යුතු තත්ත්‍වය ගත යුතු බව ය. “ඉමස්මිං පන ඨානෙ එතෙසං වසන යොජනං අකත්‍වා ඔජාදානපානදානජීවිතදානවසෙන කාතබ්බා, ඔඡාදීසු රජනීයං ධම්මාරම්මණං” යනු ඒ අටුවා ය.

මේ ධම්මාරමණය ද තෘෂ්ණාවට කරුණු ව සිටියේ ය. වරදවා ගැණීමෙන් මෙ ද ඇසුරු කොට තෘෂ්ණාව උපදී. ධම්මාරම්මණ තෘෂ්ණාව විස්තර කරන ඇතැම් තැන, ධම්මාරම්මණය නිවන හැර සිටියේ ය යි කියන ලදී. මේ ඒ කීම:- “ධම්මාති නිබ්බාණං මුඤ්චිත්‍වා අවසෙසා ධම්මාරම්මණා” යනු. ධම්මාරම්මණය, නාම රූප නිර්‍වාණ ප්‍රඥප්තීගෙන් මිශ්‍ර වූ අරමුණක් වේ. මෙහිලා කළයුතු විස්තරය ඉමහත් ය. එහෙයින් එය අනෙක් පොත් පත් බලා දත යුතු ය.

මේ ධම්මාරම්මණයෙහි ඇතුළත් වූ ධර්‍ම, ස්ථිර පදාර්‍ත්‍ථ වශයෙන් හා ශුභ සුඛාදී වශයෙන් ගැනීමෙන් ඇලීමෙන් බැඳී මෙන් විශේෂ විසින් පෘථග්ජන සත්ත්‍ව සන්තානයෙහි උපදනා තෘෂ්ණාව පෘථග්ජනයන්ට දිගු කලක් සසරෙහි ඉපැත්මට කරුණු වන්නී ය.

භවතණ්හා නම්, රූපතෘෂ්ණාදීන්ගේ ඉපැත්මට කරුණු වූ අරමුණ ම රූපාරම්මණාදිය ම ශුභ ය, සුඛ ය, ස්ථිරය, සදාකාලික ය, නො ද නැසේ ය, යි ගන්නා ශාස්වත දෘෂ්ටිය හා එක් වූ ශාස්වත දෘෂ්ටිය හා උපන් තෘෂ්ණාව යි “යදා පන තදෙවාරම්මණං ධුවං සස්සතන්ති පවත්තාය සස්සතදිට්ඨියා සද්ධිං පවත්තති තදා භවතණ්හා නාම හොති, සස්සතදිට්ඨියා සහගතො හි රාගො භවතණ්හාති වුච්චති” යි ඒ කීහ. භවය පැතීමෙන් උපන් ශාස්වතදෘෂ්ටිය හා එක් ව පැවැති රූපාරූපභවයන්හි ඇලීම ලෞකිකද්ධ්‍යානයන් ශුභ - සුඛ - ස්ථිර වශයෙන් ගැණීමෙන් උපන් ධ්‍යානනිකාන්තිය භවතෘෂ්ණා, යි කියන ලදි.

කේවලශාස්වතදෘෂ්ටි ය, ඒකත්‍යශාස්වතදෘෂ්ටිය, යි ශාස්වත දෘෂ්ටිය දෙ පරිදි ය. නැවැත කේවල ශාස්වත, ඒකත්‍ය ශාස්වත දෘෂ්ටි දෙක, එකක් සිවු වැදෑරුම් ව අට වැදෑරුම් වන්නේ ය. එහි විස්තරය මෙහි ප්‍රථම තරඞ්ගයෙහි දේවදත්ත වස්තුවෙහි දැක්ක හැකි ය. අට වැදෑරුම් ශාස්වත දෘෂ්ටියෙහි විස්තර එයින් දත් කල්හි ඒ දෘෂ්ටිය හෙවත් දැක්ම හා එක් වූ පැතීම භව තෘෂ්ණා, යි උගත හැකි ය. එහි තමනුත් ලෝකයත් නිත්‍ය ය, සදාකාලික ය, නො ද පෙරළෙනසුලු ය, යි ගන්නේ කේවල ශාස්වත දෘෂ්ටිකයා ය. කොටසෙක් නිත්‍ය ය, සදාකාලික ය, නො ද පෙරළෙනසුලු ය, කොටසෙක් අනිත්‍ය ය, සදාකාලික නො වේ, පෙරළෙන සුලු ය, යි ගන්නේ ඒකත්‍ය ශාස්වත දෘෂ්ටිකයා ය.

ධ්‍යානසමාපත්ති බලයෙන් උපදවා ගත් පෙර විසූ කඳ පිළිවෙළ දන්නා නුවණින් තමහට පෙණෙන පමණින් ජාතීන් සිහිකිරීමේ දී චිත්ත චෛතසිකයන්ගේ ක්ෂණභඞ්ගය නො දැක්මෙන් මේ කේවලශාස්වත දෘෂ්ටියට වැටෙන්නේ ය.

කප නැසී හට ගන්නා කාලයෙහි පහළ වන ශූන්‍ය වූ බඹ විමනෙක උපන්නහුට පසු කාලයෙහි එහි උපන් සත්ත්‍වයන් ගැන “මාගේ ප්‍රාර්‍ත්‍ථනාව නිසා මොවුහු මෙහි උපන්නෝ ය, එහෙයින් ලෝකයත් ලෝකසත්ත්‍වයාත් මම මැවීමි” යි සිතිවිලි පහළ වන්නේ ය. අනෙක් සත්ත්‍වයෝ ද “අප මැවූයේ මේ මහා බ්‍රහ්ම තෙමේ ය” යි අදහා ගණිත්. එහි යම් සත්ත්‍වයෙක් ආයු ගෙවී ඉන් ගිලිහී මිනිස්ලොව උපන්නේ පැවිදි ව චිත්ත සමාධි උපදවා පෙර විසීම පමණක් සිහි කරන්නේ “ඒ මහාබ්‍රහ්ම තෙමේ නිත්‍ය ය, සනාතන ය, ඔහු විසින් මැවූ අපි අනිත්‍යයම්හ, සනාතන නො වම්හ” යි ගන්නේ ය. මෙසේ ගැණීම නිසා මේ තෙමේ මේ කේවලශාස්වතදෘෂ්ටියට වැටෙන්නේ ය. විස්තර යට කියන ලදි.

විභවතණ්හා නම්, රූපතෘෂ්ණාදීන්ට කරුණු වූ රූපාරම්මණාදීහු මරණින් මතු නැසී යන්නෝ ය, නැවැත ඔවුන්ගේ හට ගැන්මෙක් නැත්තේ ය, යි සත්ත්‍වයන්ගේ පුනරුත්පත්තිය වළකා එය මුලසුන් කොට ගන්නා උච්ඡේදදෘෂ්ටිය හා එක් වූ තෘෂ්ණාව ය. “යදා පන තදෙවාරම්මණ උච්ඡිජ්ජති විනස්සතීති පවත්තාය උච්ඡෙදදිට්ඨීයා සද්ධිං පවත්තති තදා විභවතණ්හා නාම හොති, උච්ඡෙදිට්ඨියා සහගතො හි රාගො විභවතණ්හා” යි ඒ කීහ. උච්ඡෙදදෘෂ්ටිය සත් වැදෑරුම් ය. එහි විස්තරය ද දෙවදත්ත වස්තුවෙහි ආයේ ය. සත් වැදෑරුම් උච්ඡේදදෘෂ්ටිය උගත් කල්හි ඒ දෘෂ්ටිය හෙවත් දැකීම හා එක් වූ පැතීම විභවතෘෂ්ණා, යි දත හැකි ය. එහි මේ ආත්මය මරණීන් මතු සිඳී යන්නේ ය, යි සම්මුති විසින් විද්‍යමානසත්ත්‍වයාගේ මුළුමනින් නැවැත සසර ඉපැත්මෙක් නැතැ, යි ගන්නේ උච්ඡේදදෘෂ්ටියට වැටේ.

රූපතණ්හා, සද්දතණ්හා, ගන්‍ධතණහා, රසතණ්හා, ඵොට්ඨබ්බතණ්හා, ධම්මතණ්හා විසින් ස වැදෑරුම් වූ තෘෂ්ණාව, කාම තණ්හා විසින් සයෙක, භවතණ්හා විසින් සයක, විභවතණ්හා විසින් සයෙකැ, යි අටළොස් වැදෑරුම් වේ. රූපයෙහි බැඳීමෙන් ඇලීමෙන් උපදනා තෘෂ්ණාව රූපතණ්හා යි, ද, එය ම ශුභ ය, සුඛ ය, සදාකාලික ය, යනාදීන් ගෙණ රූපාරූපභවයන්හි බැඳීමෙන් ඇලීමෙන් උපදනා කල්හි භවතණ්හා යි, ද, එය ම මරණින් මතු උපතක් නැත, යනාදීන් උපදනා උච්ඡේදය හා එක් වූ කල්හි විභවතණ්හා ය යි, ද කියනු ලැබේ. මෙසේ අටළොස් වැදෑරුම් වූ තෘෂ්ණාව නැවැත ආධ්‍යාත්මික වස්තූන් පිළිබඳ අටළොසෙක, බාහ්‍යවස්තුන් පිළිබඳ අටළොසෙකැයි සතිස් වැදැරුම් වේ. නැවැත ඒ සතිස අතීතකාල විසින් සතිසෙක, වර්‍තමාන කාල විසින් සතිසෙක, අනාගත කාල විසින් සතිසෙකැ, යි ගත් කල්හි අටෝරාසියෙක් වේ. මෙහිලා මෙසේ දත යුතු ය:-

“රූපතණ්හාදිභෙදෙන ඡතණ්හා ඉධ දිපිතා,

එකෙකා තිවිධා තත්‍ථ පවත්තාකාරතො මතා”

යි. සැකෙවින් තෙ වැදෑරුම් වුත් විස්තර විසින් අටෝරාසියක් වූත් තෘෂ්ණාව, චක්ඛු සෝත ඝාණ ජිව්හා කාය මන යන මොවුන් ප්‍රියත්‍වයෙන් හා මධුරත්‍වයෙන් පිළිගන්නා කල්හි,

රූප සද්ද ගන්‍ධ රස ඵොට්ඨබ්බ ධම්ම යන මොවුන් ප්‍රියත්‍වයෙන් හා මධුරත්‍වයෙන් පිළිගන්නා කල්හි,

චක්ඛුවිඤ්ඤාණ සෝතවිඤ්ඤාණ ඝාණවිඤ්ඤාණ ජිව්හාවිඤ්ඤාණ කායවිඤ්ඤාණ මනෝවිඤ්ඤාණ යන මොවුන් ප්‍රියත්‍වයෙන් හා මධුරත්‍වයෙන් පිළිගන්නා කල්හි,

චක්ඛුසම්ඵස්ස සෝතසමඵස්ස ඝාණසම්ඵස්ස ජීව්හාසම්ඵස්ස කායසම්ඵස්ස මනෝසම්ඵස්ස යන මොවුන් ප්‍රියත්‍වයෙන් හා මධුරත්‍වයෙන් පිළිගන්නා කල්හි,

චක්ඛුසම්ඵස්සජා වේදනා සෝතසම්ඵස්සජා වේදනා ඝාණසම්ඵස්සජා වේදනා ජීව්හාසම්ඵස්සජා වේදනා කායසම්ඵස්සජා වේදනා මනෝසම්ඵස්සජා වේදනා යන මොවුන් ප්‍රියත්‍වයෙන් හා මධුරත්‍වයෙන් පිළිගන්නා කල්හි,

රූපසඤ්ඤා සද්දසඤ්ඤා ගන්‍ධසඤ්ඤා රසසඤ්ඤා ඵොට්ඨබ්බසඤ්ඤා ධම්මසඤ්ඤා යන මොවුන් ප්‍රියත්‍වයෙන් හා මධුරත්‍වයෙන් පිළිගන්නා කල්හි,

රූපසංචේතනා සද්දසංචේතනා ගන්‍ධසංචේතනා රසසංචේතනා ඵොට්ඨබ්බසංචේතනා ධම්මසංචේතනා යන මොවුන් ප්‍රියත්‍වයෙන් හා මධුරත්‍වයෙන් පිළිගන්නා කල්හි,

රූපතණ්හා සද්දතණ්හා ගන්‍ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා යන මොවුන් ප්‍රියත්‍වයෙන් හා මධුරත්‍වයෙන් පිළිගන්නා කල්හි,

රූපවිතක්ක සද්දවිතක්ක ගන්‍ධවිතක්ක රසවිතක්ක ඵොට්ඨබ්බවිතක්ක ධම්මවිතක්ක යන මොවුන් ප්‍රියත්‍වයෙන් හා මධුරත්‍වයෙන් පිළිගන්නා කල්හි,

රූපවිචාර සද්දවිචාර ගන්‍ධවිවාර රසවිචාර ඵොට්ඨබ්බවිචාර ධම්මවිචාර යන මොවුන් ප්‍රියත්‍වයෙන් හා මධුරත්‍වයෙන් පිළි ගන්නා කල්හි, එසේ පිළිගන්නා සත්ත්‍වයන්හට නූපන් තෘෂ්ණාව උපදී. උපන් තෘෂ්ණාව තදින් ඇතුළත කා වැදි සිටියි. මේ මෙහි පාළිය:-

“සා ඛො පනෙසා භික්ඛවෙ, තණ්හා කත්‍ථ උප්පජ්ජමානා උප්පජ්ජති: කත්‍ථ නිවිසමානා නිවිසති: යං ලොකෙ පියරූපං සාතරූපං එත්‍ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති. කිඤ්ච ලොකෙ පියරූපං සාතරූප: චක්ඛුං ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති. සොතං ලොකෙ -පෙ- ඝානං ලොකෙ -පෙ- ජිව්හා ලොකෙ -පෙ- කායො ලොකෙ -පෙ- මනො ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති.

රූපං ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති. සද්දා ලොකෙ -පෙ- ගන්‍ධා ලොකෙ -පෙ- රසා ලොකෙ -පෙ- ඵොට්ඨබ්බා ලොකෙ -පෙ- ධම්මා ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති.

චක්ඛුවිඤ්ඤාණං ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති. සොතවිඤ්ඤාණං ලොකෙ -පෙ- ඝානවිඤ්ඤාණං ලොකෙ -පෙ- ජිව්හාවිඤ්ඤාණං ලොකෙ -පෙ- කායවිඤ්ඤාණං ලොකෙ -පෙ- මනොවිඤ්ඤාණං ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති.

චක්ඛුසම්ඵස්සො ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති. සොතසම්ඵස්සො ලොකෙ -පෙ- ඝානසම්ඵස්සො ලොකෙ -පෙ- ජිව්හාසම්ඵස්සො ලොකෙ -පෙ- කායසම්ඵස්සො ලොකෙ -පෙ- මනොසම්ඵස්සො ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙ’සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති.

චක්ඛුසම්ඵස්සජා වෙදනා ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති. සොතසම්ඵස්සජා වෙදනා ලොකෙ -පෙ- ඝානසම්ඵස්සජා වෙදනා ලොකෙ -පෙ- ජිව්හාසම්ඵස්සජා වෙදනා ලොකෙ -පෙ- කායසම්ඵස්සජා වෙදනා ලොකෙ -පෙ- මනොසම්ඵස්සජා වෙදනා ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති.

රූපසඤ්ඤා ලොකෙ පියරූපං සාතරූපං. එත්‍ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති. සද්දසඤ්ඤා ලොකෙ -පෙ- ගන්‍ධසඤ්ඤා ලොකෙ -පෙ- රසසඤ්ඤා ලොකෙ -පෙ- ඵොට්ඨබ්බසඤ්ඤා ලොකෙ -පෙ- ධම්මසඤ්ඤා ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙ’සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති.

රූපසඤ්චෙතනා ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙ’සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති. සද්දසඤ්චෙතනා ලොකෙ -පෙ- ගන්‍ධසඤ්චෙතනා ලොකෙ -පෙ- රසසඤ්චෙතනා ලොකෙ -පෙ- ඵොට්ඨබ්බසඤ්චෙතනා ලොකෙ -පෙ- ධම්මසඤ්චෙතනා ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති.

රූපතණ්හා ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති. සද්දතණ්හා ලොකෙ -පෙ- ගන්‍ධතණ්හා ලොකෙ -පෙ- රසතණ්හා ලොකෙ -පෙ- ඵොට්ඨබ්බතණ්හා ලොකෙ -පෙ- ධම්මතණ්හා ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති.

රූපවිතක්කො ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති. සද්දවිතක්කො ලොකෙ -පෙ- ගන්‍ධවිතක්කො ලොකෙ -පෙ- රසවිතක්කො ලොකෙ -පෙ- ඵොට්ඨබ්බවිතක්කො ලොකෙ -පෙ- ධම්මවිතක්කො ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති.

රූපවිචාරො ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති. සද්දවිචාරො ලොකෙ -පෙ- ගන්‍ධවිචාරො ලොකෙ -පෙ- රසවිචාරො ලොකෙ -පෙ- ඵොට්ඨබ්බවිචාරො ලොකෙ -පෙ- ධම්මවිචාරො ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති”

මේ දේසනාපාළියෙන් දැක් වූ තැන්හි ඉපිද සිත්තුළ කා වැදී සිටුනා මේ තෘෂ්ණාව නිසා පරලොව තබා මෙ ලොව ම මිනිසුනට විඳින්නට සිදුවන දුක් මෙතෙකැයි මොන කෙනකුටත් පිරිසිඳ දැක්විය නො හැකි ය. බලනු මැනැවි.

තෘෂ්ණාව නිසා අව්වෙන් තැවෙමින් වැස්සෙන් තෙමෙමින් ශීතයෙන් සැලෙමින් උෂ්ණයෙන් පෙළෙමින් මැසිමදුරුවන්ගෙන් වෙහෙසෙමින් නයි පොළොඟුන්ගෙන් ගැටෙමින් වගවලසුන්ගෙන් පහර කර්‍මන් සාපිපාසයෙන් මිරිකෙමින් කණු කටු මඩිමින් වනගහන සෙවුමෙන් ගිරිගහන නගිමින් බැළමෙහෙකම් කරමින් ගැත්තන් වෙමින් හේවාකම් කරමින් කුණු කසළ අදිමින් කුණු කසළ සෝදමින් දැසිදස්සන් ව කම්කරුවන් ව උපයන ධනයෙන් දිවි වැටුමෙහි යෙදෙන මිනිස්සු මෙසේ නොයෙක් දුක් ගැහැට විදින්නෝ සිතැඟි සේ ඵල නො ලබන්නෝ තැවෙත්. වැළපෙත්. වෙහෙසෙත්. එහිලා “මාගේ උත්සාහය හිස් ය, ඵලරහිත ය” යි ලෙහි අත් ගසා හඬත්.

තෘෂ්ණාව නිසා මෙ ලොව මෙසේ දුක් විඳිමින් යමක් උපයා ගත්තෝ ද “මා උපයා ගත් ධනය රජුන් විසින් සොරුන් විසින් අප්‍රියදායාදයන් විසින් පැහැර ගත හැකි ය, ගින්නෙන් හෝ දියෙන් හෝ නැසී යා හැකි ය, මීයන් වේයන් විසින් කා දැමිය හැකි ය” යි එය රැකීමෙහි යෙදී ගන්නෝ දව රෑ දෙක්හි අව් පිනි නො තකා නිදි නො ලැබ දුක් විඳිත්. යම් ලෙසකින් තමන් උපයා ගත් රැක්මෙහි තැබු ඒ ධනය රජුන් සොරුන් අප්‍රියදායාදයන් පැහැර ගත් විට ගින්නෙන් දැවී ගිය විට දියෙන් නැසී ගිය විට මී වේ ඈ සතුන් කා දැමූ විට ඨඅහෝ මා ඉපැයූ ධනය විනාශ වී ගියේ ය” යි තැවෙත්. වැළපෙත්. වෙහෙසෙත්, “එහිලා මා ගත් උත්සාහය හිස් ය, ඵලරහිතය” යි ලෙහි අත් ගසා හඩත්.

තෘෂ්ණාව නිසා රජහු රජුන් හා, ක්ෂත්‍රියයෝ ක්ෂත්‍රියයන් හා, බමුණෝ බමුණන් හා, ගැහැවියෝ ගැහැවියන් හා, මවු පුතු හා, පුත් මව හා, පියා පුතු හා, පුත් පියා හා, බෑයා බෑයා හා, බෑයා බුහුන හා, බුහුන බෑයා හා, බුහුන බුහුන හා, සැමියා අඹු හා, අඹු සැමියා හා, යහළුවා යහළුවා හා, පැවිද්දා පැවිද්දා හා, නෑයා නෑයා හා, අසල්වැසියා අසල්වැසියා හා කලහ කරන්නෝ ඩබර කරන්නෝ විවාද කරන්නෝ අධිකරණ කරන්නෝ දොඩන්නෝ බණින්නෝ එකිනෙකා අතින් පයින් කැටින් කැබලිතියෙන් දඬුයෙන් මුගුරෙන් සැතින් හෙල්ලෙන් කඩුවෙන් පොරවෙන් කෙටේරියෙන් උදැල්ලෙන් යවුලෙන් තුවක්කුවෙන් විෂ ධූමයෙන් පහර දෙන්නෝ ය. පහර කන්නෝ ය. ඒ හේතුවෙන් මරණයට හෝ මරණය සමාන දුකට හෝ පැමිණෙන්නෝ ය.

තෘෂ්ණාව නිසා කඩු පලිහ ගෙණ දුනු හියවුරු දරා කවච හැඳ තෝමර ගෙණ යුදබිමට වැද ඊතල පහර කා අඩයටි පහර කා තෝමර පහර කා දඬු මුගුරු පහර කා කඩු පහර කා වෙඩි පහර කා මරණයට හෝ මරණයට සමාන දුකට හෝ පැමිණෙන්නෝ ය.

තෘෂ්ණාව නිසා ගම් පැහැර මං පැහැර ගෙවල් බිඳ අටුකොටු බිඳ සොරකම් කොට පරඹුවන් හා පරපුරුෂයන් හා එක් ව සිට රජුන් අතට පත්වීමෙන් කසපහර කා වේවැල් පහර කා අඩදඬු පහර කා අත් සිඳුම් පාසිඳුම් අත්පා සිඳුම් කන් සිඳුම් නැහැ සිඳුම් කන් නැහැ සිඳුම් ඇට බිඳුම් නහර සිඳුම් ලැබ බිලඞ්ගථාලික [8] සඞ්ඛමුණ්ඩික [9] රාහුමුඛ [10] ජොතිමාලික [11] හත්‍ථපජාතික [12] එරකවත්තික [13] චීරකවාසික [14] එණෙය්‍යක [15] බලිසමංසික [16] කහාපණක [17] ඛාරාපතච්ඡික [18] පළිඝපරිවත්තික [19] පලාල පිට්ඨික [20] යන කම් කටොලින් වධ විඳ කකාළතෙලින් දැවී දීන බල්ලන්ට හසු වී මරණයට හෝ මරණය සමාන දුකට හෝ පැමිණෙන්නෝ ය.

තෘෂ්ණාව නිසා වසවිස කන්නෝ ගෙල වැල ලාගන්නෝ මුහුදට පනින්නෝ ගඟදියට පනින්නෝ දුම්රියට ගෙල තබන්නෝ ගින්නට වදින්නෝ පරපණ නසන්නෝ බොරු කියන්නෝ පිසුණු බස් කියන්නෝ පරොස්බස් කියන්නෝ මත්පැන් බොන්නෝ දූ කෙළින්නෝ ඔට්ටු අල්ලන්නෝ සලෙලුකම් කරන්නෝ අණින්නෝ කොටන්නෝ හැපෙන්නෝ වැතිරෙන්නෝ මරණයට හෝ මරණය සමාන දුකට හෝ පැමිණෙන්නෝ ය.

තෘෂ්ණාහේතුවෙන් පියා නිසා මව නිසා දූපුතුන් නිසා බෑයා නිසා බුහුන නිසා බිරිය නිසා සැමියා නිසා නෑදෑයන් නිසා හිතවතුන් නිසා අසල්වැසියන් නිසා නයහිමියන් නිසා සතුරන් නිසා මිතුරන් නිසා තරුණයන් නිසා තරුණියන් නිසා වතුපිටි නිසා ගේදොර නිසා මිලමුදල් නිසා හඬන්නෝ වැළපෙන්නෝ හැපෙන්නෝ ගෙල වැල ලාගන්නෝ මරණයට හෝ මරණයට සමාන දුකට හෝ පැමිණෙන්නෝ ය.

තෘෂ්ණාහේතුවෙන් පියා මළ කල්හි මව මළ කල්හි සැමියා මළ කල්හි බිරිය මළ කල්හි දූපුතුන් මළ කල්හි නෑයන් මළ කල්හි හිතවතුන් මළ කල්හි මිතුරන් මළ කල්හි ගම්රට ඇති නැති කල්හි ගේදොර ඇති නැති කල්හි කෑම් බීම් ඇති නැති කල්හි ඇඳුම් පැළඳුම් ඇති නැති කල්හි ඉඳුම් හිටුම් ඇති නැති කල්හි මිල මුදල් ඇති නැති කල්හි වතුපිටි ඇති නැති කල්හි හඬන්නෝ වැළපෙන්නෝ හැපෙන්නෝ වැතිරෙන්නෝ ගෙල වැල ලා ගන්නෝ මරණයට හෝ මරණය සමාන දුකට හෝ පැමිණෙන්නෝ ය. ‍

තෘෂ්ණාහේතුවෙන් ඇඟ රැලි වැටුනු කල්හි නර නැගි කල්හි ඇස් නට කල්හි කන් නො ඇසෙන කල්හි නාස් බුන් කල්හි දිව ගොත ගැසෙන කල්හි දත් වැටුනු කල්හි අත් නො වසඟ කල්හි පා කොරවූ කල්හි තල කැලල් නැගි කල්හි කුදු ගැසුනු කල්හි කෙළ වෑහෙන කල්හි කබ ගලන කල්හි මලමූ ගලන කල්හි සිහි මඳ කල්හි හඬන්නෝ වැළපෙන්නෝ හැපෙන්නෝ ගෙල වැල ලා ගන්නෝ මරණයට හෝ මරණය සමාන දුකට හෝ පැමිණෙන්නෝ ය.

තෘෂ්ණාහේතුවෙන් කයින් පව්කම් කරන්නෝ වචනයෙන් පව්කම් කරන්නෝ සිතින් පව්කම් කරන්නෝ මෙලොව ද මෙසේ දුක් විඳ මරණින් මතු සතර අපායයෙහි හෙන්නෝ ය.

මෙහි මෙසේ ඉතා සැකෙවින් දැක් වූ මේ දුඃඛරාශිය තෘෂ්ණාවට යටත් වූ තෘෂ්ණාවෙන් මැඩ ගන්නාලද හැම මිනිසකු විසින් ම විඳිය යුතු ය. තෘෂ්ණාව දුකට මූලකාරණය බව යට කියන ලදී. තෘෂ්ණානුශයන් මුළුමනින් නො නැසූ දිව්‍යබ්‍රමාදී වූ හැම සත්ත්‍වයෙක් ම තමන් ලත් එසේ ම තමන් ලබන ඒ ඒ ස්කන්‍ධයන්ගේ ප්‍රමාණ විසින් නන් වැදෑරුම් වූ දුක්වලට යටත් ව සිටුනේ ය. තෘෂ්ණාව මුළුමනින් නො නැසූ හැම කෙනෙක් ම තෘෂ්ණාවේගයෙන් දිගින් දිගට සසර ඉපිද ඉපිද නැසි නැසී යන්නෝ ය. මෙසේ මේ තෘෂ්ණාව දිව්‍ය බ්‍රහ්මාදී වූ හැම දෙන යට කොට ගෙණ සිටියි.

“යථාපි මූලෙ අනුපද්දවෙ දළ්හෙ

ඡින්නොපි රුක්ඛො පුනරෙව රූහති,

එවම්පි තණහානුසයෙ අනූහතෙ

නිබ්බතත්ති දුක්ඛමිදං පුනප්පුනං”

යනු දේශනා ය. මෙහි පරිකථාව ඉදිරියෙහි එන්නී ය.

මුලින් දැක් වූ සේ සත්ත්‍වයාගේ උපතට හේතු වූ තෘෂ්ණාව නැසූ කල්හි ම සත්ත්‍වයාගේ සසර උපත ද නැසී යයි. තෘෂ්ණාව ඇති තාක් ම සත්ත්‍වයා සසර උපදියි. උපතට හේතු වූ ඒ අනෙක් කර්‍මාදිහේතු ද තෘෂ්ණාව හා ම හැනී පවතී. එහෙයින් මුළුමනින් දුක් නැති කිරීමට නම් මුළුමනින් තෘෂ්ණාව නැසිය යුතු ය සත්ත්‍වයා ඉදිරියෙහි අනෙක් අනෙක් ජාතීන්ට පමුණු වන්නී තෘෂ්ණායැ, යි යට කියන ලදී.

පළමු කොට ප්‍රතිසන්ධිචිත්තය අන් ජාතියකට ඇදී යන්නේ තෘෂ්ණාහේතුවෙනි. එසේ ඇදී නො ගියේ නම්, අන් එක ද හේතුවකුත් එහිලා සමර්‍ත්‍ථ නො වේ. අතීතසත්ත්‍වයා ද තෘෂ්ණාවෙන් ම වුයේ ය. අනාගතසත්ත්‍වයා ද තෘෂ්ණාවෙන් ම වන්නේ ය. සත්ත්‍වයා පිළිබඳ ජාතිජරාමරණාදී වූ දුඃඛරාශිය ද තෘෂ්ණාව නිසා ම උත්පත්තිය හා හැනී පවති. එහෙයින් සත්ත්‍වොත්පත්තියෙහිලා තෘෂ්ණාව ම ප්‍රධාන හේතුවැ, යි වදාළ සේක.

ලෝකය පුරා සිටි සත්ත්‍වගණයෙහි වූ වෙනස්කම් ද තෘෂ්ණාවත් ඒ හා හැනී සිටි කර්‍මාදිහේතූන් නිසාත් සිදු වන්නේ ය. කාය-භාව-වත්‍ථුදසක හා එක් වූ ප්‍රතිසන්ධිචිත්තය මවුකුස පහළවත් ම පහළ වූ සත්ත්‍වබීජය, ඍතු ආහාරාදීන්ගේ උපකාර ශක්තියෙන් ක්‍රමයෙන් වැඩී යන්නේ ය, මවුකුස පහළ වූ ඒ සත්ත්‍වබීජයෙන් හට ගැණෙන සත්ත්‍වයාගේ සන්තානගත තෘෂ්ණාවට, මවුපියන්ගේ ශුක්‍ර ශ්‍රෝණිතයනට, ඍතු ආහාරයනට, අනුරූපපරිදි ශරීර පිණ්ඩය සකස් වෙයි. තෘෂ්ණාව නිසා ම එහි චක්‍ෂුරාදී ඉන්‍ද්‍රියයෝ ද පහළ වෙත්. උත්පත්තිය දීමෙහි පොහොසත් වූ ඒ මේ තෘෂ්ණාව ස්ත්‍රී පුරුෂ වශයෙන් ද දෙපරිදි වෙයි. පුරුෂතෘෂ්ණාව පුරුෂයකු උපදවනාතර ස්ත්‍රීතෘෂ්ණාව ස්ත්‍රියක උපදවයි. මිනිසුන් පිළිබඳ මේ තත්ත්‍වය පින් පව් බලයෙන් හා පැතුම්බලයෙන් වෙනස් ව ද යන්නේ ය. මිනිස්ලොව උපදනා ස්ත්‍රී පුරුෂයන්ගේ ප්‍රතිසන්ධි චිත්තය හා එක් වූ කාය-භාව-වස්තුදශක තුණ, නපුංසක-පණ්ඩක-උභතොඛ්‍යඤ්ජනකාදීන් විෂයයෙහි සම්පූර්‍ණ වශයෙන් නො යෙදෙන බැවින් මනුෂ්‍යත්වයෙහි ද මොවුන්ගේ යෙදීම වෙනස් ව සිටුන්නේ ය. තෘෂ්ණාව හා කර්‍මාදීහේතුන් නිසා උත්පත්ති වශයෙන් භවයෙන් භවයට යන දිව්‍ය බ්‍රහ්මාදී වූ සියලු සත්ත්‍වයන්ගේ ඒ ඒ භවයෙහි ස්කන්‍ධ ප්‍රතිලාභය නම් තමන් විසින් කරණ ලද කුශලා - කුශලකර්‍මයන් අනුව සිදුවනු විනා අන් ලෙසකින් සිදු නො වන්නේ ය. කාමභවයෙහි හා රූපභවයෙහි ස්කන්‍ධ පස ම ලැබෙන්නේ ය. අරූපභවයෙහි ලැබෙනුයේ නාමස්කන්‍ධ සතර පමණෙකි. අසඤ්ඤසත්තයෙහි එක් ම රුපස්කන්‍ධය ලැබේ.

ඇතැම් කෙනෙක් අළුත් අළුත් සත්ත්‍වයන් දකිත්. ඒ දැන්ම ධාර්‍මික නො වේ. ධර්‍මවිරුද්ධ ය. “පුරිමකම්මභවස්මිං මොහො අවිජ්ජා, ආයූහනා සඞ්ඛාරා, නිකන්ති තණ්හා, උපගමනං උපාදානං, චෙතනා භවො ඉති ඉමෙ පඤ්ච ධම්මා පුරිමකම්මභවස්මිං ඉධ පටිසන්‍ධියා පච්චයා. ඉධ පටිසන්‍ධි විඤ්ඤාණං, ඔක්කන්ති නාමරූපං, පසාදො ආයතනං, ඵුට්ඨො ඵස්සො, වෙදයිතං වෙදනා ඉති ඉමෙ පඤ්ච ධම්මා ඉධූපපත්තිභවස්මිං පුරෙකතස්ස කම්මස්ස පච්චයා. ඉධ පරිපක්කත්තා ආයතනානං මොහො අවිජ්ජා, ආයූහනා සඞ්ඛාරා, නිකන්ති තණ්හා, උපගමනමුපාදානං, චෙතනා භවො ඉති ඉමෙ පඤ්ච ධම්මා ඉධ කම්මභවස්මිං ආයතිං පටිසන්‍ධියා පච්චයා” යන මේ දේශනාවන්ගෙන් අළුත් අළුත් සත්ත්‍වයන් නො ලැබෙන බවත් සියලු සත්ත්‍වයන් හේතුඵල වශයෙන් නිවන් පසක් කරණතුරු ම සසර දිගට උපදනාබවත් පැහැදිලි වේ. අතීතජාතියෙන් ලත් හේතුපංචකය නිසා මේ ජාතියෙහි සත්ත්‍වයැ, යි සම්මතයට ගිය ඵලපංචකයෙක් ද, මේ ඵලපංචකය නිසා අනාගත ජාතියෙහි උපතට කරුණු වූ හේතුපංචකයෙක් ද, ඒ හේතු පංචකය නිසා අනාගත ජාතියෙහි සත්ත්‍වයැ,යි සම්මත ඵලපංචයෙක් ද වන්නේ ය, යන මේ ඈලෙසින් සත්ත්‍ව තෙමේ පිළිවෙළින් කිසි තැනෙකත් අතරක් නො තබා සසර දිගට ගමන් කරන්නේ ය. බීජයෙන් අඞ්කුරයත් අඞ්කුරයෙන් බීජයත් යන බීජාඞ්කුර න්‍යායයෙන් අවිද්‍යාදී වූ හේතුපංචකය නිසා විඤ්ඤාණාදී වූ ඵලපංචාත්මක සත්ත්‍ව තෙමේ සසර වන්නේ ය. ‍

දිව්‍යබ්‍රහ්මාදී වූ සත්ත්‍වගණයෙහි ඒ ඒ සත්ත්‍වයන් පිළිබඳ ප්‍රතිසන්‍ධීන්ගේ විශේෂතාවෝ නානාභාවයෝ ඉතා ගැඹුරු ය. එහෙයින් ධර්‍මධරයන් විචාරා දහම් පොත පත කියවා ඒ හැම දත යුතු යි. මෙහි ද පස්වන තරඞ්ගයෙහි “දීඝො බාලානං සංසාරො” යට ලියූ පරිකථාවෙහි එන ප්‍රතිසන්‍ධිවිස්තරය ද කියවා බැලිය යුතු ය.

තව ද අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාර, සංකාරප්‍රත්‍යයයෙන් විඥානය, විඥානප්‍රත්‍යයයෙන් නාමරූප, නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතන, ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශ, ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනා, වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණා යනාදි ලෙසින් ආ ප්‍රතීත්‍යසමුත්පාදක්‍රමය ද, මෙහි ලා ධර්‍මධරයන් විචාරා දතයුතු ය.

ප්‍රතීත්‍යසමුත්පාදයෙහි ලා බුදුරජානන් වහන්සේ “වෙදනා පච්චයා තණ්හා” යි වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව උපදීය, යි වදාළ සේක. එහි වේදනා නම්:- චිත්තපරමාර්‍ත්‍ථයෙහි දැක් වූ සිත් අසු නවයෙහි යෙදෙන රූපාදී වූ අරමුණු රස විඳීමෙහි ශක්තිමාත්‍රය යි. එය, චක්ඛුසම්ඵස්සජා - සෝතසම්ඵස්සජා - ඝාණසම්ඵස්සජා - ජිව්හාසම්ඵස්සජා - කායසම්ඵස්සජා - මනොසම්ඵස්සජා වේදනා, යි සවැදෑරුම් වේ. චක්‍ෂුසස්පර්‍ශය නිසා හට ගන්නා වේදනාව චක්ඛුසම්ඵස්සජා වේදනා නමි. සෙස්ස ද මේ නයින් දන්නේ ය. සැකෙවින් මේ මෙසේ වතුදු විපාකසිත් දෙ තිසෙහි යෙදෙන අවිපාකවේදනාව ම මෙහිලා ගත යුතු ය. ඒ විසින් වේදනාව ද තිස් වැදෑරුම් ය. ලෝකෝත්තර විපාක සිත් සතර මෙහිලා නො ගත යුතු ය. මෙය සංසාරවෘත්තාශ්‍රිත කථාවක් බැවිනි ඒ නො ගත යුතු. වේදනාව සිත් අසූ නවය හා යෙදීම් වශයෙන් අසූනව වැදෑරුම් කොට ගත හැකි වුව ද, මෙ තැන්හි දෙතිස් විපාක සිත් සමග යෙදෙන වේදනාව ගත යුත්තී ය.

මේ හැම එක් කොට වේදනාව, විපාක-අවිපාක විසින් දෙ පරිදි කොට ද දක්වන ලදී. කර්‍මයන්ගේ ඵලවශයෙන් නො ආයේ විපාක සිත් නමි. එසේ කර්‍මයන්ගේ ඵලවශයෙන් නො ආයේ අවිපාක සිත් නමි. විපාක සිත් හට ගන්නේ කර්‍මයන්ගේ ඵල වශයෙනි. එසේ කර්‍මඵල වශයෙන් හට ගත් කල එය විපාක සිතැ, යි කියනු ලැබේ. විපාක සිතක් ඉපදීමට කරුණු වූ කුසල් අකුසල් සිත් අවිපාක සිත් නමි. එහෙයින් විපාක සිත්හි වූවා විපාකවේදනා ය. අවිපාක සිත්හි වූවා අවිපාකවේදනාය, යි දත යුතු ය.

මේ ද්විධවේදනා අතුරෙහි විපාකවේදනාව තෘෂ්ණාවගේ ඉපැත්මට ප්‍රධාන විසින් කරුණු වන්නී ය. එහි ද ප්‍රධාන, සුඛ වේදනා ය. ඒ එසේ වනු එය නිරතුරුව ම තෘෂ්ණාවට ප්‍රත්‍යය වන බැවිනි. වැඩි වශයෙන් තෘෂ්ණාව හට ගන්නී සුඛවේදනාව නිසා ය. සැප විඳීමෙහි කැමැත්ත නිසා ය. ඇස්-කන්-නාස් ආදියට හමු වූ රූප-ශබ්ද-ගන්‍ධාදීන් සුඛ වශයෙන් ගත් කල රූප තෘෂ්ණාදීහු හට ගණිත්. මේ විපාක සුඛවේදනාව තෘෂ්ණාවගේ හට ගැණීමට කරුණු වන්නී උපනිස්සය වශයෙනැ, යි කීහ.

“යසමා වෙත්‍ථ අධිප්පතො විපාකසුඛවෙදනා,

එකාව එකධාවෙසා තස්මා තණ්හාය පච්චයො”

යනු එහිලා දතයුතු ය.

විපාක සුඛවේදනාව පමණක් ම තෘෂ්ණාවට ප්‍රත්‍යය නො වේ. එසේ කීයේ සාමාන්‍ය විසිනි. යහපත් කර්‍මයෙන් යහපත් විපාකයක් ලැබීමට බලාපොරොත්තු වන කල්හි ම විපාක දුක්ඛවේදනා - විපාක සුඛවේදනා - විපාක උපෙක්ඛාවේදනා යන ත්‍රිවිධ වේදනාව ම තෘෂ්ණාවගේ ඉපැත්මට කරුණු වන බව දතයුතු ය. කෙනෙක් අකුශලකර්‍මයක ඵල විසින් දුකක් විඳිනා කල්හි මේ දුක්ඛවේදනාව අකුශලකර්‍මයක ඵල විසින් වූවා ය, යි සිතා මත්තෙහි සැප ලබනට පින්දහම් කරත්. මේ බලාපොරොත්තුව තෘෂ්ණා ය. මෙසේ මත්තෙහි සැප ලබන්නට බලාපොරොත්තු වීමෙක් සිතෙහි පහළ වූයේ තමන් ඒ විඳි විපාක දුක්ඛවේදනාව නිසා ය. මෙසේ විපාක දුක්ඛවේදනාව තෘෂ්ණාවට ප්‍රත්‍යය වන බව දතයුතු ය.

වේදනාව ම තෘෂ්ණාවගේ ඉපැත්මට කරුණු වන බව දතයුතු ය. කෙනෙක් අකුශලකර්‍මයක ඵල විසින් දුකක් විඳිනා කල්හි මේ දුක්ඛවේදනාව අකුශලකර්‍මයක ඵල විසින් වූවා ය, යි සිතා මත්තෙහි සැප ලබන්නට පින්දහම් කරත්. මේ බලාපොරොත්තුව තෘෂ්ණා ය. මෙසේ මත්තෙහි සැප ලබන්නට බලාපොරොත්තු වීමෙක් සිතෙහි පහළ වූයේ තමන් ඒ විඳි විපාකදුක්ඛවේදනාව නිසා ය. මෙසේ විපාකදුක්ඛවේදනාව තෘෂ්ණාවට ප්‍රත්‍යය වන බව දතයුතු ය.

කෙනෙක් සුඛවේදනාවක් උපන් කල්හි මේ සුඛවේදනාව උපන්නී පෙර කළ කුශලකර්‍මයන්ගේ ඵල විසිනැ, යි ගෙණ මත්තෙහි වඩාත් සැප ලබන්නට පින් දහම් කරත්, එසේ මත්තෙහි සැප ලැබීමෙහි වූ මේ කැමැත්ත තෘෂ්ණා ය. සැප ලැබීමෙහි මේ කැමැත්ත උපන්නේ තමන් ඒ අවස්ථායෙහි විඳිනා සුඛය නිසා ය. මෙසේ විපාකසුඛවේදනාව තෘෂ්ණාවට ප්‍රත්‍යය වේ.

ඇස්-කන්-නාස් ආදී ඉඳුරන්ට, සිත් ගන්නාසුලු අරමුණු හමු වූ කල්හි එහිලා සතුටෙක් හෝ නො සතුටෙක් නො වේ නම්, මැදහත් බවෙක් ම වේ නම් ඒ උපෙක්ඛාවේදනා නමි, ඒ ශාන්ත ය. සුඛදුක්ඛවේදනාවන්හි ඇතුළත් ය. එය ඒ ඒ අවස්ථානුරූප ව සැපයෙක් ද දුකෙක් ද වේ. විපාක උපෙක්ඛාවේදනාව සමහර කලෙක සුඛවේදනාව සේ ද, සමහර කලෙක දුක්ඛ වේදනාව සේ ද තෘෂ්ණාවට ප්‍රත්‍යය වේ. මේ සියල්ල එක් කොට මෙසේ දැක් වූහ.

“දුක්ඛි සුඛං පත්‍ථයති සුඛී භීය්‍යොපි ඉච්ඡති,

උපෙක්ඛා පද සන්තත්තා සුඛමිචෙචව භාසිතා.

.

තණ්හාය පච්චයා තස්මා හොන්ති තිස්සොපි වෙදනා,

වෙදනා පච්චයා තණ්හා ඉති වුත්තං මහෙසිනා”

යි. එහිලා මෙ ද දන්නේය:- “උපෙක්ඛා පන සන්තත්තා සුඛමිචෙචව භාසිතාති තස්මා සාපි භිය්‍යො ඉච්ඡනවසෙන තණ්හාය උපනිස්සයොති අධිප්පයො. උපෙක්ඛා පන අකුසලවිපාකභුතා අනිට්ඨත්තා දුක්ඛෙ අවරොධෙතබ්බා. ඉතරා ඉට්ඨත්තා සුඛෙති. සා දුක්ඛං විය සුඛං විය ච උපනිස්සයො හොතිති සක්කා වත්තුන්ති” යනු.

කර්‍ම විපාක විසින් නො ව සාමාන්‍ය විසින් ප්‍රිය වූ අරමුණු, ඇස්-කන්-නාස් ආදියට හමු වූ කල්හි අවිපාක සුඛවේදනාවත් අප්‍රිය වූ අරමුණු හමු වූ කල්හි අවිපාක දුක්ඛවේදනාවක් හටගනියි. අප්‍රිය වූ අරමුණුවල දුක්ඛවේදනාව උපන් කල්හි “ප්‍රිය වූ අරමුණු හමු වේ නම් යෙහෙකැ” යි සිත මෙහෙයෙයි. එකල්හි තෘෂ්ණාව උපදියි. අවිපාක උපෙක්ඛාවේදනාව, අවිපාක සුඛදුක්ඛවේදනා දෙක්හි ඇතුළත් වූවා තෘෂ්ණාව උපදවා ය, යි ගන්නේ ය.

විපාකවේදනාව වනාහි ඇස්-කන්-නාස් ආදී වූ දොරටුවලට හමුවූ රූප-ශබ්ද-ගන්‍ධාදී වූ අරමුණු එල්බ ගෙණ ඒ ඒ අරමුණෙහි තෘෂ්ණාව උපදවයි. මේ ඒ කී සැටි:- “අස්සාදනීයතො සුඛාය හි වෙදනාය අස්සාදෙන සත්තා තං වෙදනං මමායත්තා වෙදනාය තණ්හං උප්පාදෙත්‍වා වෙදනාරාගරත්තා හුත්‍වා චක්ඛුද්වාරෙ ඉට්ඨමෙව රූපං පත්‍ථෙන්ති. තථා සොතස්ද්වාරාදිසු” යනු.

පෘථග්ජනසත්ත්‍වයෝ රූපශබ්දාදිය කෙරෙහි තෘෂ්ණාව උපදවන්නෝද වේදනාව නිසාම ය. පුතුට කිරි පොවන කිරිමවට දෙමවුපියෝ ඒ පිණිස වැටුප් දෙති. සත්කාර කෙරෙති. එසේ කරන්නෝ පුත්‍රාස්වාදය නිසා ය. දරුසුරතල් බැලීමෙන් උපදනා ස්නේහය ආලය විඳගැණිම පුත්‍රස්වාදය යි. එමෙන් රූප ඇඳ බැඳ දක්වන්නාහට, ශබ්ද අස්වන්නාහට, සුවඳබඩු දෙන්නාහට, කැම් බීම් සපයා දෙන්නාහට, සුවපහස් ඇති වස්ත්‍රාභරණ යාන වාහන දෙන්නාහට, රසායන බෙහෙත් සපයා දෙන්නාහට, රූපාස්වාදය නිසා ශබ්දාස්වාදය නිසා ගන්‍ධාස්වාදය නිසා රසාස්වාදය නිසා ස්පර්‍ශාස්වාදය නිසා ධර්‍මාස්වාදය නිසා සත්ත්‍වයෝ මහත් සත්කාර කෙරෙත්, මේ ඒ කී සැටි:- “යස්මාපනිමෙ සත්තා පුත්තං අස්සාදෙත්‍වා පුත්තෙමමත්තෙන ධාතියා විය රූපාදිආරම්ණවසෙන උප්පජමානං වෙදනං අස්සාදෙත්‍වා වෙදනාය මමත්තෙන රූපාදි ආරම්මණදායකානං චිත්තකාරගන්‍ධබ්බගන්ධිකසුදතන්තවායරසායනවිධායකවෙජ්ජාදීනං මහාසක්කාරං කරොන්ති. තස්මා සබ්බාපෙසා වෙදනාපච්චයා තණ්හා හොතීති වෙදිතබ්බා” යනු.

සත්ත්‍වයන්ගේ සිත්තුළ යම් යම් දේ ගැණ පහළ වන බලාපොරොත්තුව එහිලා කරණ පැතීම තෘෂ්ණා ය. ඒ පතන දෙය ලැබීමෙන් සිතෙහි උපදනා සතුටත් නො ලැබීමෙන් උපදනා නො සතුටත් දෙක සුඛදුක්ඛවේදනා ය. ඒ පැතීම සිදු වූ කල්හි, සුඛවේදනාවත් නො සිදු වූ කල්හි දුක්ඛවේදනාවක් හට ගණියි. යමක් පැතූ ඇසිල්ලෙහි ම සිතෙහි සතුට නො උපදියි. පැතීම සිදු වූ කල්හි ම සතුට උපදියි. පැතීම නො සිදු වූ කල්හි නො සතුට උපදියි. පැතීම් පමණින්, බලාපොරොත්තු වූ පමණින් ම සතුට‌ හෝ‌ නො‌ සතුට‌ නො‌ උපදනේ‌ ය.‌ එහෙයින්‌ තෘෂ්ණාව‌ නිසා‌ වේදනාව‌ නො‌ හට‌ ගන්නා‌ බව‌ හා‌ වේදනාව‌ නිසා‌ තෘෂ්ණාව‌ හට‌ ගන්නා‌ බව‌ හා දතයුතු‌ ය.‌ “වෙදනා‌ පච්චයා‌ තණ්හා” යනු‌ වදාළෝ එහෙයිනි.

“තණ්හාය ජායති සොකො” තෘෂ්ණා හේතුවෙන් ශෝකය හට ගණී, යන මේ දේශනාව සාමාන්‍ය දේශනාවක් බැවින් මෙහිලා ඒ නො ගත යුතු ය. මෙය හේතුඵල දැක්වීම සඳහා දේශනා කරණ ලද්දේ නො වේ. සාමාන්‍ය විසින් ශෝකය හට ගන්නා සැටියක් මෙයින් වදාළ සේක.

සත්ත්‍ව තෙමේ‌ අළුත්‌ අළුත්‌ පිණීදෑය‌ පතන්නේ‌ ය.‌ පැතූ‌ පිණීදෑය ලද‌ කල්හි‌ එහි‌ රස‌ විද‌ ගත්තේ‌ ද‌ එයින්‌ සෑහීමට‌ නො‌ පත්‌ ව‌ ඉදිරියෙහි‌ තව‌ තවත්‌ පතන්නේ‌ ය.‌ පෘථග්ජන‌ සත්ත්‍වයාගේ‌ ස්වභාවය‌ ඒ‌ ය.‌ පැතු‌ පිණීදෑය‌ ලැබීමෙන්‌ ඒ‌ අව‌ස්ථායෙහි‌ සුඛා‌ස්වාදයෙක්‌ ලද්දේ‌ ඒ‌ නිසා‌ ම‌ හේ‌ තව‌ තවත්‌ එයට‌ වැඩි‌ තරම්‌ වූ‌ පිණීදෑය‌ පතයි.‌ ඒ‌ පැතීම‌ තෘෂ්ණාව‌ ය.‌ මෙසේ‌ සැපවේදනාව‌ නිසා‌ නැවැත ද‌ තෘෂ්ණාව‌ උපදනා‌ බව‌ දතයුතු‌ යි.‌ පෘථග්ජන‌ සත්ත්‍වයා‌ සැපවේදනා‌ නිසා‌ හට‌ ගන්නා‌ තෘෂ්ණාවෙන්‌ නැවැත‌ නැවැතත්‌ සැප‌ වේදනා‌ පතයි.‌

තසිනා - එජා - ජාලිනි‌ -‌ විසිත්තිකා -‌ ඡන්‍ද - ජටා -‌ නිකන්ති‌ - ආසා - සිබ්බනී -භවනෙත්ති -‌ අභිජ්ඣා - වනථ‌ - වාන - ලෝභ - රාග‌ - ආලය - පිහා - මනොරථ - ඉච්ඡා - අභිලාස - කාම - දෝහළ - ආකංඛා - රුචි‌ යනාදීහු‌ තෘෂ්ණාවට‌ පර්‍ය්‍යාය විසින්‌ කොෂාගත‌ නාමයෝ‌ ය.‌

තෘෂ්ණා‌ යන‌ මෙහි‌ කැවී‌ සිටි‌ අරුත්‌ මේ‌ පර්‍ය්‍යාය‌නාමයන්හි‌ ද‌ කැවී‌ සිටියේ‌ ය.‌ එහි‌ අරුත්‌ මේ‌ එක‌ එක‌ නාමයෙන්‌ පැහැදිලි වේ. තෘෂ්ණාවෙහි‌ ශක්තිය‌ සත්ත්‍වයන්‌ කෙරෙහි‌ බලපවත්‌වන‌ සැටි‌ මොවුහු‌ කියත්.‌

‌දුක්ඛස්ස‌ ච‌ අතික්කමං =‌ දුක්‌ ඉක්මීමට‌ කරුණු‌ වූ‌ නිරෝධ‌ සත්‍යය‌ ද.‌

දුඃඛනිරෝධ‌ සත්‍යය‌ ආර්‍ය්‍යසත්‍ය‌ අතුරෙහි‌ තෙවැන්න‌ ය.‌ “ඉදං‌ ඛො පන භික්ඛවෙ! දුක්ඛනිරොධං අරිසච්චං යො තස්සායෙව තණ්හාය අසෙසවිරාගවිරානිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො” යි වදාල සේක. “මහණෙනි! පුන පුනා සසර උපත දෙන තෘෂ්ණාවගේ ආර්‍ය්‍යමාර්‍ගයෙන් නිරවශේෂයෙන් මුළුමනින් යම් නිරුද්ධ කිරීමෙක් වේ ද, තෘෂ්ණාව නැසීම් විසින් යම් බැහැරලීමෙක් වේ ද. නැවැත නූපදනා ලෙසින් දුරලීමෙක් වේ ද, තෘෂ්ණා බන්‍ධනයෙන් යම් මිදීමෙක් වේ ද, යම් නො ඇලීමෙක් වේ ද මෙය දුඃඛනිරෝධසත්‍යය වේ ය” යනු එහි කෙටි අරුත් ය.

දුක් උපදවන සසර උපත දෙන ප්‍රධාන හේතුව වූ සමුදය සංඛ්‍යාත තෘෂ්ණාව නැසී ගිය පසු සසර දුක් මුළුමනින් සංසිඳෙන බැවින් සමුදයනිරෝධයෙන්ම දුඃඛනිරෝධය වනබව මෙයින් වදාළ සේක. එහෙත් අන්‍යයෝ දුක්ඛනිරෝධය කියන්නාහු අත්තකිලමථානුයෝගාදී වූ දුක් විඳීමෙන් ම දුක් නැති කළ යුතු ය, යි කියත්. ඔවුහු ක්ලේශස්කන්‍ධයන්ගේ නිරෝධය නො කියත්.

දුක් නිරුද්ධ කිරීම දක්වනු සඳහා මෙහි යෙදුනු අසෙසවිරාගනිරොධො - චාගො - පටිනිස්සග්ගො - මුත්ති - අනාලයො යන මෙ පදයෝ නිරෝධසත්‍යසඞ්ඛ්‍යාත නිර්‍වාණය කියා පාන්නෝ ය. එහෙයින් එහිලා මොවුහු පර්‍ය්‍යානාමපදයෝ වෙත්.

නිවන අරමුණු කොට නිවනට පැමිණ ආර්‍ය්‍ය මාර්‍ගයෙන් තෘෂ්ණාව කිසිත් ඉතිරි නො වී ක්ෂය වේ ද, නො පැවැතීම් විසින් නිරුද්ධ වේ ද එහෙයින් නිවන අසේසවිරාගනිරෝධ නම් වේ. නිර්‍වාණය අවබෝධ කිරීම් හේතුවෙන් තෘෂ්ණාවගේ නිරවශේෂයෙන් ක්ෂයවීම් වශයෙන් පහවීම වේ ද, නැවැත නූපදනා ලෙසින් නිරුද්ධ වීම වේ ද, ඒ නිවන අසේසවිරාගනිරෝධය යි කියන ලද්දේ ය.

මෙහි විරාග නම්, මාර්‍ගය යි. විරාග නම් වූ ඒ මාර්‍ගයෙන් තෘෂ්ණාව මුළුමනින් නිරුද්ධ කිරීම අසේසවිරාගනිරෝධය යි. මාර්‍ගයෙන් අරමුණු කිරීම් විසින් නිවනට පැමිණිමෙන් තෘෂ්ණාව කිසිත් ඉතිරි නො වී ප්‍රහාණය වන බැවින් නිවන තණ්හාවිරාගනිරෝධ නම් වී ය. තවද කාමරාගාදී වශයෙන් පවත්නා තෘෂ්ණාව කාමරාගානුසය භවරාගානුසය සහිතව නැසී යන බැවිනුදු අසේසවිරාගනිරෝධය යි කියනු ලැබේ.

තවද විරාග නම්, ප්‍රහාණය යි. එහෙයින් නිරවසේසවිරාගය නිරවසේසනිරෝධය යි මෙසේත් මෙහිලා යෙදිය යුතු ය. පරමාර්‍ත්‍ථ විසින් නිර්‍වාණය දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය යි දන්නේ ය. මෙසේ මෙය කීහ ආචාර්‍ය්‍යපාදයෝ:- “විරාගො වුච්චති මග්ගො, විරාගා විමුච්චතීති හි වුත්තං, විරාගෙන නිරොධො = විරාගනිරොධො, අනුසයසමුග්ඝාතතො අසෙසො විරාගනිරොධො - අසේසවිරාගනිරොධො, අථවා විරාගොති පහාණං වුච්චති, තස්මා අසෙසවිරාගො අසෙසනිරොධාති එවමෙපත්‍ථ අත්‍ථයොජනා වෙදිතබබා, පරමත්‍ථතො හි දුක්ඛනිරොධං අරියසච්චන්ති නිබ්බානං වුච්චති” යි. අරමුණු කිරීම් වශයෙන් නිවනට පැමිණ තෘෂ්ණාව අත්‍යන්ත විරාගයෙන් පහව යේද, කවදාත් කිසිලෙසකින් නැවැත නූපදනා පරිදි නිරුද්ධ වේ ද එහෙයින් නිවන විරාගය යි ද නිරෝධය යි ද සම්මත ය. “යස්මා පන තං ආගම්ම තණ්හා විරජ්ජති චෙව නිරුජ්ඣති ච, තස්මා විරාගොති ච නිරොධො ති ච වුච්චති” යනු ආප්ත වචනයි.

අවබෝධ කිරීම් වශයෙන් නිවනට පැමිණ, නිවන් අවබෝධ කිරීමෙන් තෘෂ්ණාවන්ගේ අත්හැරීම වන බැවින් නැවැත නූපදනා පරිදි බැහැරලීම වන බැවින් මුළුමනින් තෘෂ්ණාවගේ මිදීම වන බැවින් පඤ්චකාමගුණිකාලයයන් එකකුත් නැති බැවින් නිවන චාග - පටිනිස්සග්ග - මුත්ති - අනාලය නම් වේ. “තදෙව ආගම්ම තස්සා චාගාදයො ‍හොන්ති, කාමගුණාලයෙසු චෙත්‍ථ එකොපි ආලයො නත්‍ථි, තමා චාගො පටිනිස්සගො මුත්ති අනාලයොති වුච්චති” යනු තදර්‍ත්‍ථසමර්‍ත්‍ථනයයි.

තෘෂ්ණාවගේ විරජ්ජනය තෘෂ්ණාවන්ගේ නිරෝධය තෘෂ්ණාවගේ චජනය තෘෂ්ණාවගේ ප්‍රතිනිස්සර්‍ජනය තෘෂ්ණාවන්ගේ මුක්තිය තෘෂ්ණාවගේ නො ඇල්ම මෙයින් කියන ලදී. මේ එහි ටීකාචාර්‍ය්‍යය විවරණය:- “ඛයගමනවසෙන විරජ්ජති. අප්පවත්තිගමනවසෙන නිරුජඣති. අනෙපෙක්ඛතාය චජනවසෙන චජියති. පුන යථා නප්පවත්තති. තථා දූරඛිපනවසෙන පටිනිස්සජ්ජීයති. බන්‍ධන භූතාය තණ්හාය මොචනවසෙන මුච්චති. අසංකිලෙසවසෙන න අල්ලීයති” යනු.

නිරොධො - චාගො - මුත්ති - අනාලයො යන මේ පද අතුරෙහි දුඃඛයාගේ අනුත්පාදනිරෝධය මැනැවින් කියාලනුයේ නිරොධො යන මෙ පදයෙනි. එබැවින් අපේ පොතපතෙහි අනුත්පාදනිරෝධය කියනු සඳහා වඩාලා ම යෙදී සිටියේ මේ විභක්ත්‍යන්ත පදය යි. ‘දුක්ඛ නිරොධ’ යනු පද දෙකක් එක්වීමෙන් නිපැයුනු සමස්තනාමයෙකි. එහි දුක්ඛශබ්දයෙන් කෙලෙස් සහිත වූ පඤ්චස්කන්‍ධය ගැණේ. එනම් පඤ්චෝපාදානස්කන්‍ධය යි. උපාදානස්කන්‍ධ පස මුළුමනින් දුක්බව “සංඛිත්තෙන පඤ්චූපාදානක්ඛන්‍ධා දුක්ඛා” යන්නෙන් දක්වා වදාළ සේක. උපාදානස්කන්‍ධයන් පිළිබඳ කෙටි කථාවක් දුඃඛසත්‍ය කථාවෙහි දක්වා ඇත. ඒ එයින් දත යුතු ය.

දුක්ඛශබ්දය හා ඝටිත වූ නිරෝධ ශබ්දය නිපැදුනේ නි+රොධ යන ශබ්ද දෙක එක්වීමෙනි. නි ශබ්දය තමා නිස්සෙස - අභාව - සන්නිවෙස - භූසත්ථ - මොක්ඛ - රාසි - ගෙහ - නියොග - උපමා - හීන - පසාද - නිග්ගහ - අච්චය - දස්සන - අවසාන - නික්ඛන්ත - අධොභාග - අවධාරණ - සාමීප්‍ය - බන්‍ධන - ඡෙක - අන්තොභාග - උපරමණ යන අරුත්හි හෙන්නේ ය යි කෝෂකාරයෝ කීහ.

නි උපසර්‍ගය මෙසේ නානාර්‍ත්‍ථවත් වූයේ ද මෙහිලා ප්‍රධාන විසින් නිෂ්ක්‍රමණාර්‍ත්‍ථයෙහිලා ගත යුතු ය. එහෙත් සමහරු මෙය විශේෂයක් නො තබා ම අභාවමාත්‍රයෙහි වැටේ ය යි කියත්. ඒ නො මැනැවි. අතීතයෙහි උපන් ස්කන්‍ධයන් ඒ අතීතයෙහි ම නිරුද්ධ වීම එක් අභාවයෙකි. වර්‍තමානයෙහි උපදනා මේ දැන් ඉපැදෙමින් සිටුනා ක්ලේශස්කන්‍ධයන් තම තමන් අයත් ආයු පමණින් සිට නිරුද්ධ වීම එක් අභාවයෙකි. අනාගත ක්ලේශ ස්කන්‍ධයන්ගේ අභාවය ගැන යමෙක් කියයුතු නො වේ. මෙතෙක් ඔවුන් නො ද උපන් බැවිනි. එහෙයින් දුක්ඛ ශබ්දය හා ඝටිත වූ නිරෝධශබ්දය ස්කන්‍ධයන්ගේ ඒ මේ සාමාන්‍ය අභාවය නො ව නැවැත නූපදනා පරිද්දෙන් වන ක්ලේශස්කන්‍ධයන්ගේ අනුත්පාදනිරෝධය ම කියාලන්නේ ය.

අභාවයෝ නන්පරිදි වූවාහු කොතෙකුත් ඇත්තාහ. ඒ අභාවයන් ගැණ නො ද විචාරා මෙහිලා අභාවය නිරෝධය යි නොවෙනස්ව ගැණීම මිත්‍ථ්‍යාග්‍රාහයෙක් වේ. හට ගත් බඩගින්න සන්සිඳවන්නට ආහාර ගත් කල්හි එය සන්සිදී යයි. එහෙත් නැවැනත් බඩගින්න හට ගනීයි. නැවතත් ආහාර ගත් කල්හි එ ද සන්සිඳෙයි. මෙසේ නැවැත නැවැත ආහාර ගැණීමෙන් බඩගිනි වළකා ගැණිම දුඃඛනිරෝධයෙක් නො වේ. ඒ වනාහි සාමාන්‍ය අභාවමාත්‍රයෙකි. දුඃඛනිරෝධය නම්, පෙරකී සේ දුඃඛ සත්‍යයෙහි ඉතා කොටින් දැක්වූ සකල ක්ලේශස්කන්‍ධයන් මුල් නො තබා ම නැවැත කවදාත් නූපදනා පරිදි සන්සිඳුවාලීම ය. මේ කියන පරිදි නිරුද්ධියට ගිය කිසි දුකෙක් මොන ලෙසකිනුත් නො උපදනේ ය. එයින් සත්ත්‍වයාගේ සසරදුකෙහි පුන පුනා ගැනීම අවසන් වන්නේ ය. එහෙයින් දුඃඛයාගේ ක්ලේශ ස්කන්‍ධයන්ගේ අනුත්පාදනිරෝධය ම කැමැතිවන ලද්දේ ය.

නි උපසර්‍ගය හා එක් නො වූ එකපදභාවයට නො ගිය රොධ ශබ්දය බන්‍ධන - ගමන - කාරාගාර - චාරක යනාදී අරුත්හි එන්නේ ය. මෙහිලා ඒ ‘රොධ’ යනු, මේ අරුත් සතරෙහිලා ගතු ද වරද නැත. සසරෙහි බැඳීම, පුන පුනා සසරෙහි උත්පත්ති විසින් ඉදිරියෙහි යෑම, සසරදුකෙහි සිර කොට තැබීම යන අරුත් මෙයින් ගත හැකි බැවිනි. මෙසේ මේ අරුත්හි පවත්නා රොධ ශබ්දය නි යනු හා එක් ව නිරොධ යි නැගී ආයේ සසර සැරිසැරීම සසර ගමන මුළුමනින් වළකාලීම, නැත, ක්ලේශස්කන්‍ධයන්ගෙන් මුළුමනින් නික්ම යෑම, ක්ලේශස්කන්‍ධයන්ගේ නිරවශේෂනිරෝධය කියා සිටියේ ය. දුකැයි ගන්නා ක්ලේශස්කන්‍ධ සඞ්ඛ්‍යාත චාරකයාගේ චුතිපටිසන්ධි වශයෙන් ඉදිරියෙහි නො යෑමෙන් නො බැඳීමෙන් සිර නො වීමෙන් වන සන්සිඳීම මෙයින් ගතයුතු ය.

“නිරොධොති නිබ්බානං” යනු ආගමයුක්ති හෙයින් නිරොධ නම්, නිවනැයි දතයුතු ය. නිවන, නිරොධ ය යි වදාළ නිවන කෙලෙස් සහිත පස්කඳෙහි චුතිපටිසන්ධි වශයෙන් පුන පුනා ඉපිද ඉපිද මැරි මැරී ඉදිරියෙහි යැම මුළුමනින් සන්සිඳීමට කරුණු වන බැවිනි. නිවනෙහි දුඃඛරෝධයෙක් නැත්තේ ය. චුතිපටිසන්ධි වශයෙන් පැවැත්මක් නැත්තේ ය. නිවන් අවබෝධ කළාට පසු කෙලෙස් සහිත ස්කන්‍ධයන්ගේ පැවැත්මෙක් එහි නො වන්නේ ය. නිවන, නැවත නූපදනා පරිදි දුක් සන්සිඳීමට පමුණු වන්නට මගපල සිත්වලට ප්‍රත්‍යය වන්නේ ය. එහෙයින් නිවන දුඃඛනිරෝධ නමි. තතු අරුත් විසින් දුඃඛනිරෝධ නම් දුක් ඉපදීමට කරුණු වන තෘෂ්ණාවගේ සමුච්ඡේදනයෙහි ලා මගපල සිත්වලට ම අරමුණු වන නිර්‍වාණ යැ යි දතයුතු ය. දුඃඛ හේතුව වූ තෘෂ්ණාව නැසූ කල්හි එයින් උපන් ඵලය වූ දුකත් නැසී යන බැවින් තෘෂ්ණානිරෝධය දුඃඛනිරෝධ ය යි ද වදාළ සේක. මෙසේ දුඃඛයාගේ අනුත්පාදනිරෝධයට ප්‍රත්‍යය හෙයිනුදු තෘෂ්ණානිරෝධය දුඃඛනිරෝධ නම් වේ. තෘෂ්ණා හේතුවෙන් හට ගත් සියලු දුඃඛයන්ගේ අතික්‍රමණය නිරෝධය, තෘෂ්ණානිරෝධය සමග එකවිට ම වන්නේ ය. සියලු දුක් තෘෂ්ණාව හා බැඳී සිටියේ ය. එහෙයිත් දුඃඛනිරෝධය තෘෂ්ණානිරෝධ ය යි ද, තෘෂ්ණානිරෝධය දුඃඛනිරෝධය යි ද කියන ලදි.

මේ දුඃඛනිරෝධසඞ්ඛ්‍යාත ශාන්තිධර්‍මය කෙරෙහි ගුණ නාම විසින් නැගී සිටි අර්‍ත්‍ථප්‍රඥප්තීහු බොහෝ වෙත්. ඔවුනතුරෙහි “ නිබ්බාන” යනු ම වඩාලා ප්‍රසිද්ධියට ගියේ ය.

නිබ්බාන නම්, වාන ය යි කියූ තෘෂ්ණාවෙන් වෙන් වූ තෘෂ්ණාව මුලිනුපුටා සිටියා වූ තෘෂ්ණාව ප්‍රධාන කොට ඇති සියලු කෙලෙසුන් කෙරෙන් මිදුනු ශාන්ත ස්වභාවය හෙවත් ශාන්ත සුඛය යි, ඒ කීහ මෙසේ:- “වානසඞ්ඛාතාය තණ්හාය නික්කන්තත්තා නිබ්බානන්ති වුච්චති, අමතං අසඞ්ඛතං පරමං සුඛන්ති” යනු.

මේ අර්‍ත්‍ථය මෙසේත් කියන ලද්දේ ය:- “යො සො සබ්බ සඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං” යි, යම් ධර්‍මයක් හේතු කොට සියලු සංස්කාර ධර්‍මයන්ගේ යම් ඒ සන්සිඳීමෙක් වේ ද, කාමූපධි ආදීන්ගේ යම් ඒ දුරලීමෙක් වේ ද, තෘෂ්ණාවගේ යම් ඒ ක්ෂයවීමෙක් වේ ද, සංස්කාරයන් කෙරෙහි යම් ඒ නො ඇලීමෙක් වේ ද, කෙලෙස් හැකිල්ලෙන් යම් ඒ මිදීමෙක් වේ ද, යම් ඒ කෙලෙස් නිවීමෙක් වේ ද, ඒ ය නිවනැයි යනු අරුත් ය. “නිරොධො” යනු මෙසේ ටීකා කළහ:- “යුජ්ජන්ති එත්‍ථ සත්තා කිලෙසනිගළබන්‍ධනෙනාති රොධො. සංසාරස්සෙතං අධිවවනං තතො නික්ඛන්තො ති නිරොධො” යි.

“යස්ස චාධිගමා සබ්බකිලෙසානං ඛයො භවෙ,

නිබ්බානමිති නිද්දිට්ඨං නිබ්බානකුසලෙන තං”

යම් නිවනක් අවබෝධ කිරීමෙන් රාගාදී වූ සකලක්ලේශයන්ගේ ක්‍ෂයවීමෙක් වේ ද, ඒ නිවනැ යි නිවන් දැනීමෙහි සමර්‍ත්‍ථ වූ බුදුරජානන් වහන්සේ විසින් වදාරණ ලද්දෝ ය.

නිබ්බාන ශබ්දය ද ශාන්තසුඛය පදනම් කොට නි+වාන යන ශබ්ද දෙක එක්වීමෙන් භාෂාවට ආයේ ය. මෙහි සිටි නි යනු ද සිටියේ ‘නිරෝධ’ යන්නෙහි සිටි නි උපසර්‍ගය ගත් අරුත ගෙණ ය. වාන නම් තෘෂ්ණා ය. “ඛන්‍ධායතනාදිභෙදෙ තෙභූමකධම්මෙ හෙට්ඨුපරියවසෙන වින්නතො සංසිබ්බනතො වානං වුච්චති තණ්හා” යි විවෘත්ති හෙයින් ආද්ධ්‍යාත්මික වූත් බාහිර වූත් ස්කන්‍ධායතනාදි භේද ඇති ත්‍රෛභූමක ධර්‍මයන් හෙවත් මනුෂ්‍යත්‍වයෙන් මනුෂ්‍යත්‍වය දේවත්‍වය බ්‍රහ්මත්‍වය, නැවැත බ්‍රහ්මත්‍වයෙන් බ්‍රහ්මත්‍වය දෙවත්‍වය මනුෂ්‍යත්‍වය, නැවැත දෙවත්‍වයෙන් දෙවත්‍වය බ්‍රහ්මත්‍වය මනුෂ්‍යත්‍වය, නැවත මනුෂ්‍යත්‍වයෙන් ආපායිකත්‍වය යන ඈ ලෙසින් කුඩාභවයෙන් කුඩාභවය ද, කුඩාභවයෙන් මහත්භවය ද, මහත්භවයෙන් මහත්භවය ද, මහත්භවයෙන් කුඩාභවය ද උඩු යටි කොට ගැටලමින් විවිධාවස්ථාවන්ට පමුණුවමින් ඒ ඒ තැන්හි මසාලන බැවින් ගොතාලන බැවින් තෘෂ්ණාව ඒ නම් වූ ය.

ලෝකෝත්තර වූ චතුර්විධ මාර්‍ගඥානයෙන් ප්‍රතිවේධ කටයුතු වූ මාර්‍ගඵලයන්ට අරමුණු වූ වානය යි නම් ලද තෘෂ්ණාවෙන් විෂයාතික්‍රමණ විසින් නික්ම ගිය ක්ලේශස්කන්‍ධයන් හා නො හැනුනු ධර්‍මත්ත්‍වය නිර්‍වාණය යි කියන ලද්දේ ය. “නිබ්බානං පන ලොකුත්තරසඞ්ඛාතචතුමග්ගඤාණෙන සච්ඡිකාතබ්බං මග්ගඵලානමාලම්බනභූතං වානසඞ්ඛාතාය තණ්හාය නික්ඛන්තත්තා නිබ්බානන්ති පවුච්චති” යනු අර්‍ත්‍ථසමර්‍ත්‍ථන ය යි.

මේ පාලිවාක්‍යප්‍රදේශයෙහි එන “ලොකුත්තරසඞ්ඛාත චතුමග්ගඤාණෙන සච්ඡිකාතබ්බං” යන මෙයින් කීයේ නිවන සෝවන් ඈ මගපලපත් ඒ ඒ ආර්‍ය්‍ය පුද්ගලයන් විසින් ආර්‍ය්‍යය - ඥානචක්‍ෂුසින් දැක්ක යුතුබව ය. සෝතාපත්ති මාර්‍ගඥානයෙන් නැසෙනසුලු කෙලෙස් නැසුනු පසු ස්‍රෝතාපත්තිමාර්‍ගස්ථ ආර්ර්‍ය්‍යයාහට, සකෘදාගාමීමාර්‍ගඥානයෙන් නැසෙන සුලු කෙලෙස් නැසුනු පසු සකෘදාගාමීමාර්‍ගස්ථ ආර්‍ය්‍යයාහට, අනාගාමී මාර්‍ගඥානයෙන් නැසෙන සුලු කෙලෙස් නැසුනු පසු අනාගාමී ආර්‍ය්‍යයාහට, අර්‍හත්මාගඥානයෙන් නැසෙනසුලු කෙලෙස් නැසුනු පසු අර්‍හත්මාර්‍ගස්ථ ආර්‍ය්‍යයාහට නිර්‍වාණය ප්‍රත්‍යක්‍ෂසිද්ධය. “චතුමග්ගඤාණෙන සචඡිකාතබ්බන්ති ඉමිනා නිබ්බානස්ස තං තං අරියපුග්ගලානං පච්චක්ඛසිද්ධතං දස්සෙති” යනු ආප්තවචන යි. ආගම අධිගම නැති අන්‍ධබාලපෘථග්ජනයන් හැර සෝතාපත්ති මාර්‍ගය ලැබීමට ඉතා ලංව සිටි නුවණ මෝරාගිය කල්‍යාණ පෘථග්ජනයන්ට නිර්‍වාණය අනුමානසිද්ධ ය. “මග්ගඵලානමාලම්බනභූතන්ති ඉමිනා කල්‍යාණපුථුජ්ජනානං අනුමානසිද්ධතඤ්ච දස්සෙති” යනු එය කීහ.

නිවනැ යි කියන ලද්දේ එකවට සකල ක්ලේශස්කන්‍ධගේ ම නිරෝධය යි බුද්ධර්‍මය අනුව නො කිය හැකි ය. සෝවන් ඈ යම් කිසි මගකින් ක්ලේශස්කන්‍ධයන්ගේ යම්කිසි කොටසක් නැවත නූපදනා පරිදි අනුත්පාදනිරෝධයට පැමිණියේ නම්, ඒ ද නිවනැයි ගත හැකි ය. ක්ලේශනිරෝධය බුදුරජානන් වහන්සේ විසින් මෙසේ කොටස් විසින් බෙදා දැක්වුනේ ද එහෙයිනි. ක්ලේශයන්ගේ නිරෝධයත් ස්කන්‍ධයන්ගේ නිරෝධයත් ක්ලේශස්කන්‍ධයන්ගේ නිරෝධයත් එක්වර ම සිදු වන්නේ නො වේ. එහෙත් නිවන යථාර්‍ත්‍ථවිසින් එකෙක් ම ය.

ස්‍රෝතාපත්තිමාර්‍ගස්ථ පුද්ගලයාහට නිරෝධය ලැබෙනුයේ ඒ මාර්‍ගචිත්තක්‍ෂණයෙහි දී සත්කායදෘෂ්ටි විචිකිත්සා ශීලව්‍රතපරාමර්‍ශ යන මේ ක්ලේශත්‍රිකයාගේ නිරුද්ධියෙනි. සකෘදාගාමීමාර්‍ගස්ථ පුද්ගලයාහට ලැබෙනුයේ බලවත් ලෙසින් සන්තානගත ව සිටි කාමරාග ව්‍යාපාද දෙදෙනාගේ බලවත් බව නසාලීමෙනි. අනාගාමීමාර්‍ගස්ථ පුද්ගලයාහට ලැබෙනුයේ සකෘදාගාමී මාර්‍ගයෙන් බලගතුකම් නසා තුබූ කාමරාග ව්‍යාපාදයන්ගේ නිරුද්ධියෙනි.

එහෙත් මේ අවස්ථා තුණෙහි ලැබෙන ක්ලේශනිරුද්ධියෙන් මුළුමනින් සන්සිඳීම වේ ය යි නො ගත යුතු ය. අර්‍හනමාර්‍ගස්ථ පුද්ගලයාහට ලැබෙනුයේ රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යනාදී වූ සකල ක්ලේශයන්ගේ නිරුද්ධියෙනි. මෙයින් මුළුමනින් සන්සිඳීම වේ. මෙසේ ඒ ඒ මාර්‍ගඥානයන්ගෙන් නැසෙන කෙලෙස් නැවැත කවදාත් නූපදනේ ය. එහෙයින් මාර්‍ගඥානයන්ගේ ශක්ති ප්‍රමාණයෙන් වෙන් වෙන් ව කෙරෙණ කෙලෙස් සන්සිඳීම එකක් ම බැවින් ඒ එක් ම සන්සිඳීම එක් ම නිවනැ යි දතයුතු ය.

දැන්, මේ හේතුවෙන් සෝවන්මගට පැමිණියහු පිළිබඳ ව තුබූ සියලු ආපායිකස්කන්‍ධයෝත් සත් භවයෙකින් එපිට දෙව්ලොව උපත දීමට සමර්‍ත්‍ථ ව සිටි ස්වර්ගීය ස්කන්‍ධයෝත් නිරෝධයට යන්නාහ. කාමභවයෙහි එක්වරක් ඉපදීමට සමර්‍ත්‍ථ වූ සෙදගැමිමගට පැමිණියහු පිළිබඳ ඒ එක්භවයෙහි උපතට හේතු වූ ස්කන්‍ධයන් හැර අන්‍ය වූ ස්වර්ගීය ස්කන්‍ධයෝ නිරෝධයට යන්නාහ. අනගැමිමගට පැමිණියහු පිළිබඳ කාමභවික වූ සියලු ස්කන්‍ධයෝ නිරෝධයට යන්නාහ. රහත්මගට පැමිණියහු පිළිබඳ වර්‍තමාන ස්කන්‍ධපඤ්චකය ඉතිරි කොට අන්‍ය වූ සියලු ක්ලේශ ස්කන්‍ධයෝ නිරෝධයට යන්නාහ. ඉතිරි වූ ස්කන්‍ධයෝ ද පිරිණිවීමෙන් පසු විනාශයට යන්නාහ. නිරුද්ධියට යන්නාහ. දැන් ක්ලේශස්කන්‍ධයන්ගෙන් කිසිත් නැත්තේ ය.

සසරෙහි උපත දෙන සත්ත්‍වයා උත්පත්ති විසින් දිගින් දිගට ඇද ගෙණ යන සෝවන්මගින් නසා ඉතිරි වූ කෙලෙස් භවයෙහි ඉදිරියෙහි උපත දෙන්නේ සත්ත්‍වරක් ම ය. එ බැවින් නසාලු ම කෙලෙස් ඉතා බොහෝ ය. පමණ නො කළ හැකි ය. ඉතිරිව ඇති කෙලෙස් ඉතා ටික ය. එය මහපොළොවෙන් නියසිළට නගාගත් පස් බිඳක් සේ ය. බුදුරජානන් වහන්සේ මෙය මෙසේ වදාළ සේක. “අථ ඛො භගවා පරිත්තං නඛසිඛායං පංසුං ආරොපෙත්‍වා භික්ඛූ ආමන්තෙසි: තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං යො චා යං මයා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතො, අයං වා මහාපඨවීති? එතදෙව භන්තෙ, බහුතරං. යදිදං මහාපඨවී, අප්පමත්තකොයං භගවතා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතො. නෙව සතිමං කලං උපෙති, න සහස්සිමං කලං උපෙති, න සතසහස්සිමං කලං උපෙති, මහාපඨවිං උපනිධාය භගවතා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතොති” සෙදගැමිමගින් අනගැමිමගින් නැසුනු කෙලෙස් ගැන ද යට කී සේ දන්නේය. නැසෙන කෙලෙස් ගණනින්, කෙලෙස් නැසීමෙහි වූ පිළිවෙත් ගණනින් නිවන් බොහෝ ය යි ගිණීමට බුදු බණින් පිළිවන් කමෙක් නැත්තේ ය. කොයි මගකින් හෝ කොයි පිළිවෙතකින් හෝ යමක් හේතු කොට ක්ලේශයන්ගේ අනුත්පාදනිරෝධය වී නම්, ඒ අනුත්පාදනිරෝධය නිවනැයි ඒ එකෙක් ම ය.

“නිබ්බානං නිබ්බානන්ති ආවුසො සාරිපුත්ත! වුච්චති. කතමං නුඛො ආවුසො නිබ්බානං?” = ඇවැත! ශාරිපුත්‍රය! නිවන නිවනැයි කියනු ලැබේ. නිවන නම් කිමැයි ජම්බුඛාදක පරිව්‍රජකයා නැගූ ප්‍රශ්නයට “යො ඛො ආවුසො රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො ඉදං වුච්චති නිබ්බානං” = ඇවැත! යම් රාගක්ෂයෙක් වේ ද, යම් ද්වේෂක්ෂයෙක් වේ ද, යම් මෝහක්‍ෂයෙක් වේ ද එය නිවනැයි කියනු ලැබේ, යනු ශාරීපුත්‍ර මහාස්ථවිරයන් වහන්සේ දුන් පිළිතුර ය.

එහි, රාගක්ඛයො = රාගයන්ගේ ක්ෂයවීම, දොසක්ඛයො = ද්වේෂයන්ගේ ක්‍ෂයවීම, මොහක්ඛයො = මෝහයන්ගේ ක්‍ෂයවීමැයි වදාරණ ලද්දේ ද, රාගාදීන්ගේ ක්‍ෂයමාත්‍රය නිවනැයි ගන්නට මෙහි යුක්තියෙන් අවසරයෙක් නැත්තේ ය. මෙහිලා මෙසේ වදාළ සේක් හේතුව ඵලයෙහි ආරෝපණය කිරීමෙනි. නිවන හේතු කොට රාගාදීන්ගේ ක්‍ෂයවීම වන්නේ ය. රාගාදීන්ගේ ක්‍ෂයවීම ඵලය වේ. එහි හේතුව නිවන ය. නිවන සනාතන වූ පරමාර්‍ත්‍ථ ස්වභාවධර්‍මයෙකි. නිවන රාගාදීගේ ක්‍ෂයවීමෙහි බලවත් උපකාරය යි. බලවත් හේතුව යි. කෙලෙස් ක්‍ෂය කොට හැරීමෙහි සමීපව හැසිරෙන බැවිනුත් රාගාදී ක්‍ෂයවිම නිවනැයි කියන ලදි. කෙලෙස් නසන්නා වූ චතුර්විධ මාර්‍ගඥානයට අරමුණු වූ නිර්‍වාණය තෙමේ අර්‍ත්‍ථවශයෙන් කෙලෙස් නැසීමැ යි කියන ඵලයට කරුණු වේ. කෙලෙස් නැසීම වූ ඵලය උපදවන්නට නිර්‍වාණ සංඛ්‍යාත හේතුව කාරණයක් ම වන බැවින් ඒ ඵලය නිවන් හේතුවෙහි නගා ඵල විසින් රාගක්ඛයො යනාදිය වදාරණ ලද්දේය. උක්සකුරු සෙම් උපදවයි. සෙම් හටගැනීමට උක්සකුරු හේතු වන්නේ ය. එහෙයින් ශ්ලේෂමසඞ්ඛ්‍යාත ඵලනාමය හේතුසඞ්ඛ්‍යාත ශර්‍කරායෙහි නගා සකුරු ද ශ්ලේෂ්මැ යි ඵලෝපචාර විසින් ව්‍යවහාරයෙහි ආ සේ, අර්‍හන්මාර්‍ගඥානහේතුව කෙලෙස් නැසීමැ යි කියන ඵලය උපදවාලීමට කාරණ බැවින් ඒ ඵල නාමය හේතුව වූ අර්‍හන්මාර්‍ගඥානයෙහි නගා අර්‍හන්මාර්‍ගඥාන රාගක්ඛය - දෝසක්ඛය - මෝහක්ඛය යි කියන ලද්දේ ය. එසේ ම මාර්‍ගඥානයට අරමුණු වූ නිර්‍වාණය ද කෙලෙස් නැසීමට කාරණ වූ බැවින් හේතුහුගේ නාමය ඵලයෙහි නගා රාගක්ඛයාදි නාමයෙන් ව්‍යවහාර කරණ ලදැ යි දතයුතු ය. ඵලෝපචාර නම්, ඵලය හේතුවෙහි නගා කීම ය. ක්‍ෂයාන්තක්‍ෂණයෙහි හෙවත් මාර්‍ගක්‍ෂණයාගේ කෙළවර අර්‍හතඵලය උපදනා බැවින් මාර්‍ගඵල දෙක ම ඛය යි කියන ලදී. එහෙත් ඵලයෙන් සන්සිදීම මුත් කෙලෙස් බිදවැටීමෙක් නො වන්නේ ය. තවද සමීපෝචාර විසිනුදු නිර්‍වාණය අක්‍ෂය වුව ද ක්‍ෂයනාමයෙන් හදුන්වත්.

“රාගො ඛීයති අනෙනාති = රාගක්ඛයො, දොසො ඛීයති අනෙනාති = දොසක්ඛයො, මොහො ඛීයති අනෙනාති මොහක්ඛයො” යන මෙහි “අනෙන” යන්නෙන් දැක්වුනේ නිවනයි. එහෙයින් නිවන කරණ කොට නිවන ඇසුරු කොට රාග-ද්වේෂ-මෝහයන්ගේ ක්‍ෂයභාවය පැහැදිලි ය. නිවන ද ක්‍ෂය යි කියන ලද්දේ එහෙයිනි. මෙසේ නො ගෙණ රාගාදි ක්ලේශයන්ගේ ක්‍ෂයමාත්‍රය නිවනැයි ගැණිම ධර්‍ම විරුද්ධ ය. “යං ආගම්ම රාගාදයො ඛීයන්ති තං නිබ්බානං” = යමකට පැමිණ රාගාදි ක්ලේශයෝ ක්‍ෂය වෙත් ද, ඒ නිවනැ යි දන්නේ ය. “තං පනෙතං රූපිනො ධම්මා අරූපිනො ධම්මාති ආදිසු දුකෙසු අරූපිනො ධම්මාති සඞ්ගහීතත්තා න කිලෙසමන්තං එව” ඒ මේ නිවන අභිධර්‍මමාතෘකා චූල්ලන්තර ගොච්ඡක දුක මාතෘකාවෙහි නාම ධර්‍මයක් වශයෙන් සංග්‍රහ කොට වදාළ බැවින් ක්ලේශක්‍ෂයමාත්‍රය ම නො වේ ය යි දතයුතු ය. “එත්‍ථ පන චෙතසික සුඛුමරූපනිබ්බානවසෙන එකුනසත්තති ආයතනෙසු ධම්මායතනං, ධාතුසු ධම්මධාතූති සඞ්ඛං ගච්ඡන්ති” = මෙහි චෙතසික දෙපණස ය, සූක්‍ෂමරූප සොළොස ය, නිර්‍වාණය යන එකුන් සැත්තෑ ධර්‍මයන් ධර්‍මායතන, ධර්‍මධාතුය යි ගිණීමට යන බැවින් නිර්‍වාණය ද ධර්‍මායතන ධර්‍මධාතූන්ට ඇතුළත්බව මෙයින් කියන ලදේ ය. එසේ කියන ලද්දේ නිර්‍වාණය. පරමාර්‍ත්‍ථධර්‍ම ස්වභාවයක් බව දැක්වීමට හා අතීතාදිකාලභේදය ද වළකාලනු පිණිස ය “ නනු ච ආයතනධාතුසු නිබ්බානං සඞ්ගහිතං? ඛන්‍ධසු කස්මා න සඞ්ගහිතං? ආහ භෙදාහාවෙනාති, අතිතාදිභෙදභින්නානං හි රාසට්ඨෙන ඛන්‍ධවොහාරොති, නිබ්බානං භෙදාභාවතො ඛන්‍ධසඞ්ගහතො නිස්සටං විප්පමුත්තන්ති අත්‍ථො” යනු ටීකා ය.

මෙසේ මොන ම හේතුවකිනුදු ක්ෂයභාවයක් නො නැගිය හැකි නිවනට ක්ෂයභාවදෝෂය නැගීම බුද්ධවචනයට විරුද්ධ වේ. දිනක් වස්වත්මරු ආලවක තෙරුන් වෙත පැමිණ “ශ්‍රමණය! ලෝකයෙහි නිස්සරණයෙක් නම් නැත, එහෙයින් ඔබගේ විවේකයෙන් වැඩෙක් නැත, කම් සැප විඳින්නැ” යි කී ය. එවිට උන්වහන්සේ “මා විසින් මගනැණින් ප්‍රත්‍යක්‍ෂ විසින් ඒ නිස්සරණය දන්නා ලදි, එහෙයින් තාගේ උත්සාහයෙන් ප්‍රයෝජනයෙක් නො වන්නේ ය, ය” යි වදාළාහු ය.

“අත්‍ථි භික්ඛවෙ! අජාතං අභූතං අකතං අසඞ්ඛතං, නො චෙතං භික්ඛවෙ! අභවිස්ස අජාතං, අභූතං අකතං අසඞ්ඛතං නයිධ ජාතස්ස භූතස්ස කතස්ස සඞ්කතස්ස නිස්සරණං පඤ්ඤා යෙථ, යස්මා ච ඛො භික්ඛවෙ! අත්‍ථි අජාතං අභූතං අකතං අසඞ්ඛතං, තස්මා ජාතස්ස භූතස්ස කතස්ස සඞ්කතස්ස නිස්සරණං පඤ්ඤායති” = “මහණෙනි! නිවන නො හටගතු ය. නො‍ පහළ ය. කිසිවකු විසින් සකස් නොකරණ ලද ය. කිසි හේතුවකින් සකස් නොකරණ ලද ය. මහණෙනි! මෙසේ වූ නිවනෙක් නො වන්නේ නම් හට ගත් පහළ වූ හේතුවෙන් උපන් සංස්කාර ධර්‍මයන්ගේ නිස්සරණයෙක් නො පෙණෙන්නේ ය. මහණෙනි! යම් හෙයකින් නිවන ඇත්තේ ද එහෙයින් සංස්කාරධර්‍මයන්ගේ නිස්සරණය පෙණේ” යි වදාළෝ ද, නිවනෙහි නගන ක්ෂය දෝෂය වළකාලනු පිණිස ය. ක්ෂයපක්‍ෂයෙහි ගැණෙන පදාර්‍ත්‍ථ විද්‍යමානත්‍වයෙහිලා ගැනීමට කිසිත් යුක්තියක් නැත්තේ ය. නිවන නො පෙරළෙන පරමාර්‍ත්‍ථ ධර්‍මයෙකි.

අජාත - අභූත - අකෘත - අසංස්කෘත නිර්‍වාණය ඇත්තේම ය යි මෙයින් වදාළ සේක. එහි හේතුප්‍රත්‍යයන්ගේ සමවායයෙන් එක්වීමෙන් නො නිපන්නේ අජාත නම්. හේතුප්‍රත්‍යය රහිත ව නො නිපන්නේ අභූත නම්. කිසිවකු විසින් නො කරණ ලද්දේ අකෘත නම්. හේතුප්‍රත්‍යයයන් විසින් සකස් නො කරන ලද්දේ අසංකෘත නම්.

“තිස්සො ඉමා භික්ඛවෙ! නිස්සරණා ධම්මා, කතමා තිස්සො? කාමානමෙතං නිස්සරණං යදිදං නෙක්ඛමමං, රූපානමෙතං නිස්සරණං, යදිදං ආරුප්පං, යං ඛො පන කිඤ්චිභූතං සඞ්කතපටිච්චසමුපන්නං නිරොධො” = මහණෙනි! නිස්සරණධාතු තුණෙකි, කම්සැප හැරදමා ගෙයින් නික්ම යෑම, අරූපද්ධ්‍යාන ලැබීම, හේතුප්‍රත්‍යය බලයෙන් හට ගත් ස්කන්‍ධයන්ගේ අනුත්පාද නිරෝධය යන මේ තුණ ඒ නිස්සරණධාතුය, යනු එහි කෙටි තේරුම ය. මේ තුණ කාමනිස්සරණ - රූපනිස්සරණ - සඞ්ඛතනිස්සරණ විසින් දතයුතු ය. මේ ද වදාළේ මෙහිලා ම කරුණු ගැන්වීම සඳහා ය. තව ද ප්‍රථමද්ධ්‍යානය කාමනිස්සරණය යි. ආකාසානඤ්චායතනය රූපනිස්සරණය යි. නිර්‍වාණය සඞ්ඛතනිස්සරණය යි. යමෙක් ප්‍රථමධ්‍යානය උපදවා ගෙණ එයින් නො පිරිහුනේ ප්‍රථමද්ධ්‍යාන තලයෙහි උපන්නේ නම්, හෙතෙමේ කාම ලෝකයෙන් නික්ම ගියේ වේ. යමෙක් ආකාසානඤ්චායතනය උපදවා ගෙණ එයින් නො පිරිහුනේ ප්‍රථමාරූප්‍යතලයෙහි උපන්නේ නම්, හෙතෙමේ රූපලෝකයෙන් නික්ම ගියේ වේ. යමෙක් මගපල නුවණින් නිවන් අවබෝධ කෙළේ නම්, හෙතෙමේ සඞ්ඛත පටිච්චසමුප්පන්න ලෝකයෙන් නික්ම ගියේ වේ.

“අසඞ්ඛතං ච වො භික්ඛවෙ! දෙසිස්සාමි, කතමං ච භික්ඛවෙ! අසඞ්කතං? යො භික්ඛවෙ! රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ! අසඞ්ඛතං,

අන්තං ච වො භික්ඛවෙ! දෙසිස්සාමි, කතමං ච භික්ඛවෙ! අන්තං? යො භික්ඛවෙ! රාගක්ඛයො - මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ! අන්තං,

සච්චං ච වො භික්ඛවෙ! දෙසිස්සාමි, කතමං ච භික්ඛවෙ! සච්චං? යො භික්ඛවෙ! රාගක්ඛයො - මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ! සච්චං,

පාරං ච වො භික්ඛවෙ! දෙසිස්සාමි, කතමං ච භික්ඛවෙ! පාරං? යො භික්ඛවෙ! රාගක්ඛයො - මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ! පාරං,

නිපුණං ච වො භික්ඛවෙ! දෙසිස්සාමි, කතමං ච භික්ඛවෙ! නිපුණං? යො භික්ඛවෙ! රාගක්ඛයො - මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ! නිපුණං,

සුදුද්දසං ච වො භික්ඛවෙ! දෙසිස්සාමි, කතමං ච භික්ඛවෙ! සුදුද්දසං? යො භික්ඛවෙ! රාගක්ඛයො - මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ සුදුද්දසං,

අජරං ච වො භික්ඛවෙ! දෙසිස්සාමි, කතමං ච භික්ඛවෙ! අජරං? යො භික්ඛවෙ! රාගක්ඛයො - මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ! අජරං,

ධුවං ච වො භික්ඛවෙ! දෙසිස්සාමි, කතමං ච භික්ඛවෙ! ධුවං? යො භික්ඛවෙ! රාගක්ඛයො - මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ! ධුවං,

අපලොකිතං ච වො භික්ඛවෙ! දෙසිස්සාමි, කතමං ච භික්ඛවෙ! අපලොකිතං? යො භික්ඛවෙ! රාගක්ඛයො - මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ! අපලොකිතං,

අනිදස්සනං ච වො භික්ඛවෙ! දෙසිස්සාමි, කතමං ච භික්ඛවෙ! අනිදස්සනං? යො භික්ඛවෙ! රාගක්ඛයො - මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ! අනිදස්සනං,

නිප්පපඤ්චඤ්ච ච වො භික්ඛවෙ! දෙසිස්සාමි, කතමං ච භික්ඛවෙ! නිප්පපඤ්චං? යො භික්ඛවෙ! රාගක්ඛයො - මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ! නිප්පපඤ්චං,

සන්තං ච වො භික්ඛවෙ! දෙසිස්සාමි, කතමං ච භික්ඛවෙ! සන්තං? යො භික්ඛවෙ! රාගක්ඛයො - මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ! සන්තං,

අමතං ච වො භික්ඛවෙ! දෙසිස්සාමි, කතමං ච භික්ඛවෙ! අමතං? යො භික්ඛවෙ! රාගක්ඛයො - මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ! අමතං,

පණිතං ච වො භික්ඛවෙ! දෙසිස්සාමි, කතමං ච භික්ඛවෙ! පණිතං? යො භික්ඛවෙ! රාගක්ඛයො - මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ! පණිතං,

සිවං ච වො භික්ඛවෙ! දෙසිස්සාමි, කතමං ච භික්ඛවෙ! සිවං? යො භික්ඛවෙ! රාගක්ඛයො - මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ! සිවං,

ඛෙමං ච වො භික්ඛවෙ! දෙසිස්සාමි, කතමං ච භික්ඛවෙ! ඛෙමං? යො භික්ඛවෙ! රාගක්ඛයො - මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ! ඛෙමං,

තණ්හක්ඛයං ච වො භික්ඛවෙ! දෙසිස්සාමි, කතමං ච භික්ඛවෙ! තණ්හක්ඛයො? යො භික්ඛවෙ! රාගක්ඛයො - මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ! තණ්හක්ඛයො,

අච්ඡරියං ච වො භික්ඛවෙ! දෙසිස්සාමි, කතමං ච භික්ඛවෙ! අච්ඡරියං? යො භික්ඛවෙ! රාගක්ඛයො - මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ! අච්ඡරියං,

අබ්භුතං ච වො භික්ඛවෙ! දෙසිස්සාමි, කතමං ච භික්ඛවෙ! අබ්භුතං? යො භික්ඛවෙ! රාගක්ඛයො - මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ! අබ්භුතං,

අනීතිකං ච වො භික්ඛවෙ! දෙසිස්සාමි, කතමං ච භික්ඛවෙ! අනීතිකං? යො භික්ඛවෙ! රාගක්ඛයො - මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ! අනීතිකං,

අනීතිකධම්මං ච වො භික්ඛවෙ! දෙසිස්සාමි, කතමං ච භික්ඛවෙ! අනීතිකධම්මං? යො භික්ඛවෙ! රාගක්ඛයො - මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ! අනීතිකධම්මං,

නිබ්බානං ච වො භික්ඛවෙ! දෙසිස්සාමි, කතමං ච භික්ඛවෙ! නිබ්බානං? යො භික්ඛවෙ! රාගක්ඛයො - මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ! නිබ්බානං,

අබ්‍යාපජ්ඣං ච වො භික්ඛවෙ! දෙසිස්සාමි, කතමං ච භික්ඛවෙ! අබ්‍යාපජ්ඣං? යො භික්ඛවෙ! රාගක්ඛයො - මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ! අබ්‍යාපජ්ඣං,

විරාගං ච වො භික්ඛවෙ! දෙසිස්සාමි, කතමං ච භික්ඛවෙ! විරාගං? යො භික්ඛවෙ! රාගක්ඛයො - මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ! විරාගං,

සුද්ධිං ච වො භික්ඛවෙ! දෙසිස්සාමි, කතමං ච භික්ඛවෙ! සුද්ධි? යො භික්ඛවෙ! රාගක්ඛයො - මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ! සුද්ධි,

මුත්තිං ච වො භික්ඛවෙ! දෙසිස්සාමි, කතමං ච භික්ඛවෙ! මුත්ති? යො භික්ඛවෙ! රාගක්ඛයො - මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ! මුත්ති,

අනාලයං ච වො භික්ඛවෙ! දෙසිස්සාමි, කතමං ච භික්ඛවෙ! අනාලයං? යො භික්ඛවෙ! රාගක්ඛයො - මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ! අනාලයං,

දීපං ච වො භික්ඛවෙ! දෙසිස්සාමි, කතමං ච භික්ඛවෙ! දීපො? යො භික්ඛවෙ! රාගක්ඛයො - මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ! දීපො,

ලෙණං ච වො භික්ඛවෙ! දෙසිස්සාමි, කතමං ච භික්ඛවෙ! ලෙණං? යො භික්ඛවෙ! රාගක්ඛයො - මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ! ලෙණං,

තාණං ච වො භික්ඛවෙ! දෙසිස්සාමි, කතමං ච භික්ඛවෙ! තාණං? යො භික්ඛවෙ! රාගක්ඛයො - මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ! තාණං,

සරණං ච වො භික්ඛවෙ! දෙසිස්සාමි, කතමං ච භික්ඛවෙ! සරණං? යො භික්ඛවෙ! රාගක්ඛයො - මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ! සරණං,

පාරායණං ච වො භික්ඛවෙ! දෙසිස්සාමි, කතමං ච භික්ඛවෙ! පාරායණං? යො භික්ඛවෙ! රාගක්ඛයො - මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ! පාරායණං”

ප්‍රත්‍යයහේතුවෙන් නො නිපන් බැවින්, දෑ මරණ කෙළවර කරන බැවින්, පරමාර්‍ත්‍ථසත්‍ය බැචින්, කවදාත් නො පෙරළෙන බැවින්, සසර සයුරෙන් එතෙර කරණ බැවින්, පිළිවෙත් මගින් බැහැර ව අවබෝධ නො කටහැකි බැවින්, ඉතා දුකසේ දැක යුතු බැවින්, මෝහය මුලිනුපුටාලූ බැවින්, ජරායෙන් නො දැදුරු බැවින්, නො පෙරළෙන සැහැවි ඇති බැවින්, නො නැසෙන සැහැවි ඇති බැවින්, මසැසට හා සාමාන්‍ය දිවැසට නො පෙණෙන බැවින්, රාග දෝස මෝහ දිට්ඨි මාන ප්‍රපඤ්චයන් නිරවශේෂයෙන් ප්‍රහීණ බැවින්, හැමතින් සන්සිඳුන බැවින්, ඉපදුම් දිරුම් නැසුම් නැති බැවින්, සෑහීමක් නැති බැවින්, සසර බිය දක්නවුන් විසින් සෙවිය යුතු බැවින්, රා ඈ ගිනි නිවෙන බැවින්, තෘෂ්ණාවන්ගේ ක්‍ෂය හේතු බැවින්, කළ පිණැත්තන් විසින් දැක්ක යුතු බැවින්, විසමයජනක බැවින්, කෙලෙස් උවදුරු නැති බැවින්, නිදුක් සැහැවි ඇති බැවින්, තෘෂ්ණාවානයෙන් නික්මුණු බැවින්, මුළුමනින් නිදුක් බැවින්, ඇලීම් රහිත බැවින්, කෙලෙස්මල පිරිසිදු කරන බැවින්, සසර බැඳුම් මුදාලන බැවින්, කෙලෙසුන්ගේ නැවැත්මට ආලය නො වන බැවින්, පරමප්‍රතිෂ්ඨා බැවින්, කෙලෙස් සතුරන් විසින් ලුහුබදින්නවුන්ගේ නිලීයන යන ස්ථාන බැවින්, සියලු කෙලෙස් උවදුරු වළකාලන බැවින්, සියලු දුක් නසන බැවින් හා සියලු සැපතට පිහිටි බැවින්, උත්තම වූ ආර්‍ය්‍ය පුද්ගලයන් විසින් යා යුතු බැවින් යන මේ අරුත් විසින් රාගක්‍ෂයට කරුණු වූ ද්වේෂක්‍ෂයට කරුණු වූ මෝහක්‍ෂයට කරුණු වූ එක් ම නිර්‍වාණධාතුව අසඞ්ඛත - අන්ත - සච්ච - පාර - නිපුණ - සුදුද්දස - මොහක්ඛය - අජර - ධ්‍රව - අපලොකිත - අනිදස්සන - නිප්පපඤ්ච - සන්ත - අමත - පණීත - සිව - ඛෙම - තණ්හක්ඛය - අච්ඡරිය - අබ්භූත - අනීතික - අනීතිකධම - නිබ්බාන - අබ්‍යාපජ්ඣ - විරාග -සුද්ධි - මුත්ති - අනාලය - දීප - ලෙණ - තාණ - සරණ - පරායණ යන නාම ප්‍රඥප්තීන් විසින් හඳුන්වනු ලැබේ. මෙයින් ඇතැම් ප්‍රඥප්ති කෙනෙක් නිර්‍වාණ ධාතුව කෙරෙහි පැණවුනෝ විනෙයජනාද්ධ්‍යාසය විසිනි. මොවුහු හැම කෙනෙක් රාගක්ෂයාදියට හේතු වූ නිර්‍වාණධාතුව කෙරෙහි ම යටකියූ අරුත් විසින් නැගී සිටියෝ ය.

නිවන ඇසුරු කොට මිලිඳු නාගසේන දෙදෙන අතර නැගුනු සංවාදයක් ඇත්තේ ය. ඒ ද මෙහිලා මෙසේ දතයුතු ය.

මිලිඳු

:-

ස්වාමීනි! නාගසේන ස්ථවිරයන් වහන්ස! නිවන නිවනැ යි යමක් ගැණ කියහු ද, ඒ නිවනෙහි රූපයක් සටහනක් ප්‍රමාණයක් මොනලෙසකින් හෝ දක්වන්නට හැක්කේ ද?

නාගසේන

:-

මහරජ! නිවනට සමාන කළ හැක්කෙක් නැත. ඒ අසදිස ය. එහෙයින් එහි රූපයක් සටහනක් වයසක් ප්‍රමාණයක් දක්වන්නට නො හැකි ය. එබන්දෙක් නැත්තේ ය.

මිලිඳු

:-

මම ඔබවහන්සේගේ වචනය නො පිළිගණිමි. නිවනෙහි රූපය සටහන වයස ප්‍රමාණය පිළිබඳ යම්කිසි ක්‍රමයකින් පැණවීමක් ඇත්තේ ද? මට එය කියනු මැනැවි.

නාගසේන

:-

මහරජ! වේවා, ඔබට එය කාරණයෙකින් හඟවන්නෙමි. මහරජ! මහමුහුදෙක් ඇත්තේ ද?

මිලිඳු

:-

එසේය, ස්වාමීනි! මහමුහුදෙක් ඇත්තේ ය.

නාගසේන

:-

මහරජ! කිසිවකු මහමුහුදෙහි ජලය කොපමණ ද? එහි වසන මස් කැසුබු ආදි සත්ත්‍වයෝ කොතෙක් දැ යි ඔබගෙන් ඇසූ විට ඔහුට කුමක් කියහු ද?

මිලිඳු

:-

ස්වාමීනි! යමෙක් මාගෙන් මෙසේ ඇසූයේ නම් ඔහුට තෝ මාගෙන් නො ඇසිය යුත්තක් අසන්නෙහි ය. මේ ප්‍රශ්නය ඇසිය යුත්තෙක් නො වේ. මෙය ඨපනීය ප්‍රශ්නයෙකි. ලෝකතත්ත්‍වය විභාග කළවුන් විසින් මහමුහුද, ජල-සත්ත්‍ව විසින් නො බෙදන ලද්දේ ය. මහමුහුදෙහි ජලය හෝ එහි වසන සත්ත්‍වයන් මෙතෙකැ යි මනින්න හෝ ගණින්නට හෝ නො හැකියැ යි මම කියන්නෙමි.

නාගසේන

:-

මහරජ! කුමක් හෙයින් ඇසට පෙනෙන මහමුහුදෙහිලා මෙසේ කියහු ද? එහි ජලය මැන, එහි වසන සතුන් ගැණ බලා මෙපමණ දිය කඳ වෙයි, මෙපමණ සත්ත්‍වයෝ වෙසෙත් යි ඔහුට කියයුතු නො වේ ද?

මිලිඳු

:-

ස්වාමීනි! එය එසේ නො කළ හැකි ය. මේ ප්‍රශ්නය, මට විෂය නො වේ.

නාගසේන

:-

මහරජ! මහමුහුදෙහි ජලය මනින්නට එහි වසන සතුන් ගණින්ට නො හැක්කා සේ සත්පදාර්‍ත්‍ථ වූ නිවනෙහි රූපයක් සටහනක් වයසක් ප්‍රමාණයක් උපමාවක් දක්වා මොනම හේතුවකිනුදු දක්වා ලන්නට නො හැකි ම ය. චේතෝවශී‍ප්‍රාප්ත වූ ඍද්ධි ඇතියෙක් මහමුහුදෙහි ජලයත් එහි වසන සතුනුත් මනිනට ගණිනට සමර්‍ත්‍ථ වන්නේ ද? හේ නිවනෙහි රූපයක් සටහනක් වයසක් ප්‍රමාණයක් කොයිලෙසකිනුදු කියන්නට නම් අසමර්‍ත්‍ථ ය. එහිලා තව කරුණක් කියන්නෙමි. අරූතලයෙහි අරූප කායිකා නම් දෙවිකෙනෙක් ඇත. මහරජ! ඔවුන් ගැන දන්නහු ද?

මිලිඳු

:-

ස්වාමීනි! දන්නෙමි. අසනු ලැබේ. අරූපකායිකා නම් දෙවි කෙනෙක් ඇත.

නාගසේන

:-

මහරජ! ඒ දෙවියන්ගේ රූපයක් සටහනක් වයසක් ප්‍රමාණයක් දැක් විය හැකි ද?

මිලිඳු

:-

නො හැකිය ස්වාමිනි!

නාගසේන

:-

හොඳයි, එසේ නම් ඒ දෙවියෝ නො වෙත් ද?

මිලිඳු

:-

දෙවියෝ වෙත්. එහෙත් ඔවුන්ගේ රූපයක් සටහනක් වයසක් ප්‍රමාණයක් දක්වන්නට නො හැකි ය.

නාගසේන

:-

ඇත්තා වූ දෙවියන් ගැණ එසේ නො කිය හැකි නම් ස්වභාවයෙන් ම විද්‍යමාන වූ නිවනෙහි ද ඒ කිසිවක් දැක්විය නො හැකි ය.

මිලිඳු

:-

ස්වාමීනි! නිවන එකාන්ත සැප ඇත්තෙක් වේවා. එසේම එහි රූපාදිය ගැණත් කිසිවක් නොකිය හැකි ය. ස්වාමීනි! අනෙකෙකු විසින් නො දක්නා ලද උපමා දර්‍ශනමාත්‍රය වූ යම්කිසි ගුණයෙක් එහි. තිබේ ද?

නාගසේන

:-

මහරජ! ස්වරූප වශයෙන් නිවනෙහි රූපයෙක් නැත. ගුණවශයෙන් නම් එහිලා යමක් කිය හැකි ය.

මිලිඳු

:-

හොඳයි, ස්වාමීනි! ඒ වදාරණු මැනැවි.

නාගසේන

:-

පියුම පිපී ගියේ දිය හා නො ඇලේ ද, එසේ නිවන ද රාගාදී ක්ලේශයන් හි නො ඇලුනේ ය.

.

ජලය සිහිල් ගුණ ඇත්තේ ශරීර දාහය නිවා ලන්නා සේ නිවන ද සිහිල් ගුණ ඇත්තේ කෙලෙස් දාහය නිවාලන්නේ ය.

.

ජලය විඩාපත් වූ ග්‍රීෂ්මයෙන් තැවුනු සියලු සත්ත්‍වයන්ගේ පිපාසය දුරු කරන්නා සේ නිවන ද කාමතණ්හා - භවතණ්හා - විභවතණ්හා යන තෙ වැදෑරුම් වූ තෘෂ්ණාපිපාසය දුරලන්නේ ය.

.

බෙහෙත යම් සේ රෝගෝපද්‍රවයන්ගෙන් පීඩිත වූ සත්ත්‍වයන්ට පිහිට වේ ද, එසේ නිවන රාගාදී ක්ලේශෝපද්‍රවයන්ගෙන් පීඩිත වූ සත්ත්‍වයන්ට පිහිට වන්නේ ය.

.

බෙහෙත යම් සේ සියලු රෝග සසිඳුවා කෙළවර කරන්නේ ද, එසේ නිවන සියලු සසර දුක් කෙළවර කරන්නේ ය.

.

බෙහෙත අමාගුණ ඇත්තා සේ නිවන අජරාමෘතගුණ ඇතේය.

.

මහාමුහුද යම් සේ සියලු සත්ත්‍ව කුණපයන් ගොඩ ලා බැහැර කොට සිටින්නේ ද, එසේ නිවන සියලු කෙලෙස් කුණප හැර සිටියේ ය.

.

මහාමුහුද එතෙර මෙතෙර නැත්තේ මොන ම ගඟදියෙකිනුත් නො පිරවිය හැක්කේ නො ද පිරෙන්නේ ය. එසේ නිවන ද එතෙර මෙතෙර නැත්තේ සත්ත්‍වයන්ගෙන් නො පිරවිය හැක්කේ නො ද පිරෙන්නේ ය.

.

මහාමුහුද තිමිඞ්ගලාදි මහාසත්ත්‍වයන්ට ආවාස වූයේ ද, එසේ නිවන ද ශාරීපුත්‍රාදී ක්ෂීණාශ්‍රවයන් වහන්සේට ආවාස වූයේ ය.

.

මහාමුහුද පමණ නො කටහැකි නන්වැදෑරුම් රළ කුසුමින් ගැවසී ගත්තේ ද එසේ නිවන අපරිමිත විවිධවිපුල පරිශුද්ධ විමුක්තිපුෂ්පයෙන් ගැවසී ගත්තේය.

.

භෝජනය යම්සේ සියලු සත්ත්‍වයන්ගේ ආයුෂය දරන්නේ ද, එසේ නිවන තමා සාක්‍ෂාත් කළවුන්ගේ ජරාමරණ නැසීම් වශයෙන් ආයුෂය දරන්නේ ය.

.

භෝජනය යම්සේ සියලු සත්ත්‍වයන්ගේ බල වඩන්නේ ද, එසේ නිවන තමා සාක්‍ෂාත් කළවුන්ගේ අනෙකවිධ ඍද්ධිබල වඩන්නේ ය.

.

භෝජනය යම්සේ සියලු සත්ත්‍වයන්ගේ ශරීර වර්‍ණය උපදවන්නේ ද, එසේ නිවන තමා සාක්‍ෂාත් කෙළවුන්ගේ ගුණවැණුම් උපද වන්නේ ය.

.

භෝජනය යම්සේ සියලු සත්ත්‍වයන්ගේ දරථය ව්‍යපශමනය කරන්නේ ද, එසේ නිවන තමා සාක්‍ෂාත් කළවුන්ගේ සකලක්ලේශදරථය ව්‍යපශමනය කරන්නේ ය.

.

භෝජනය යම්සේ සියලු සත්ත්‍වයන්ගේ ක්‍ෂුධා දුර්‍වලත්‍වය නසාලන්නේ ද, එසේ නිවන තමා සාක්‍ෂාත් කළවුන්ගේ සර්‍වදුඃඛෂුධාදුර්‍වලත්වය නිසා ලන්නේ ය.

.

අහස නො හට ගණියි. නො දිරයි. නො මැරෙයි. නො චුත වෙයි. මතු නො උපදියි. මැඩලිය නො හැකි ය. සොරුන්ට ගත නො හැකි ය. කිසිවකු ඇසුරෙක් නැත. පක්ෂීන්ගේ හැසිරීම් ඇත්තේ ය. ආවරණ රහිත ය. කෙළවරක් නැත්තේ ය. එමෙන් නිවන නො හට ගනියි. නො දිරයි. නො මැරෙයි. නො චුත වෙයි. මතු නො උපදියි. මැඩලිය නො හැකි ය. සොරුන්ට ගත නො හැකි ය. කිසිවක ඇසුරෙක් නැත්තේ ය. ආර්‍ය්‍යයන්ගේ හැසිරීම් ඇත්තේ ය. ආවරණ රහිත ය. කෙළවරක් නැත.

.

මිණිරුවන කැමැති දෑ දෙන්නා සේ නිවන කැමැති දැ දෙන්නේ ය.

.

මිණිරුවන ප්‍රීතිජනනය කරන්නා සේ නිවන ප්‍රීතිජනනය කරන්නේ ය.

.

මිණිරුවන බැබලීමෙන් අර්‍ත්‍ථසිද්ධිය කරන්නා සේ නිවන බැබලීමෙන් අර්‍ත්‍ථසිද්ධිය කරන්නේ ය.

.

රත්සඳුන ලැබිය නො හැක්කේ යම්සේ ද, එසේ නිවන ද ලැබිය නො හැකි ය.

.

රත්සඳුන අන්‍ය වූ සුගන්‍ධ ද්‍රව්‍යයන් හා සම නො කට හැක්කේ යම්සේ ද, එසේ නිවන ද අන්‍ය වූ ගුණසුගන්‍ධයන් හා සම නො කට හැක්කේ ය.

.

රත්සඳුන සජ්ජනයන් විසින් ප්‍රශස්ත වූයේ යම්සේ ද, එසේ නිවන ද සජ්ජනයන් විසින් ප්‍රශස්ත වූයේ ය.

.

ගිතෙල්මණ්ඩය වර්‍ණසම්පන්න ය. සුගන්‍ධවත් ය. රසවත් ය. එ පරිද්දෙන් නිවන ද ගුණවර්‍ණයෙන් වර්‍ණවත්ය ශීලසුගන්‍ධයෙන් සුගන්‍ධවත් ය. විමුක්ති රසයෙන් රසවත් ය.

.

මහමෙර ඉතා උස් ය. අචල ය. නැගීම දුෂ්කර ය. බීජජාතීන්ගේ හටගැණීම් රහිත ය. අනුනය ප්‍රතිඝයෙන් මිදුණේ ය. එ මෙන් නිවන ද තුන්ලෝ ඉක්මවා ඉතා උස් ව සිටියේ ය. අචල ව සිටියේ ය. කෙලෙසුන්ට නැගීම දුෂ්කර ය. ක්ලේශයන්ගේ හට ගැණිමෙක් නැත්තේ ය. අනුනයප්‍රතිඝයෙන් මිදුනේ ය.

මිලිඳු

:-

ස්වාමීනි! ඔබවහන්සේ නිවන අතීත වූයේත් අනාගත වූයේත් වර්‍තමාන වූයේත් උපන්නේත් නූපන්නේත් ඉපදිය යුත්තේත් නො වේ ය යි වදාරණ සේක. ස්වාමීනි! මෙහි යම්කිසිවෙක් මැනැවින් පිළිපදිමින් නිවන ප්‍රත්‍යක්ෂ කරණුයේ ඉපද තුබූ නිවනක් ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද? නැත, උපදවා ගෙණ ප්‍රත්‍යක්‍ෂ කෙරේදැ යි වදාරණු මැනැවි.

නාගසේන

:-

මහරජ! මැනැවින් පිළිපදින්නෙක් උපන් නිවනක් ප්‍රත්‍යක්ෂ නො කෙරෙයි. උපදවා ගෙණත් ප්‍රත්‍යක්ෂ නො කෙරෙයි. එහෙත් මැනැවින් පිළිපදින්නෙක් යම් නිවනක් ප්‍රත්‍යක්ෂ කෙරේ ද, ඒ මේ නිර්‍වාණ ධාතුව ඇත්තේ ම ය.

මිලිඳු

:-

ස්වාමීනි! ඔබවහන්සේ විසින් ආලය ඇති ව උත්සාහ ඇති ව යම් ධර්‍මයෙක් උගන්නා ලද ද, ඒ සියල්ල මේ ප්‍රශ්නයෙහි බහාලුව මැනැවි. මෙහිලා ලෝකීය ජන තෙමේ සම්මූඪ ව සිටුනේ ය. හටගත් විමති ඇත්තේ ය. සැකයට වැටුනේ ය. මෙහිලා මම ද සම්මුඪ යෙමි. එහෙයින් මාතුළ උපන් සැකය බිඳ හරිණු මැනැවි.

නාගසේන

:-

මහරජ! ශාන්තසුඛප්‍රණීත වූ නිර්‍වාණ ධාතුව ඇත්තේ ම ය. මොනවට පිළිපන්නෙක් බුදුරජුන්ගේ අනුශාසනා පරිදි සකලසංස්කාර ධර්‍මයන් මෙනෙහි කරණුයේ ඒ නිර්‍වාණධාතුව ප්‍රත්‍යක්ෂ කෙරෙයි. මහරජ! අතැවැසි තෙමේ ගුරුන්ගේ අනුශාසනා පරිදි විද්‍යා විශේෂයන් උගන්නා සේ මොනවට පිළිවෙත් පුරණුයේ බුද්ධානුශාසනා පරිදි නිර්‍වාණය නුවණින් ප්‍රත්‍යක්ෂ කරන්නේ ය.

මිලිඳු

:-

ස්වාමීනි! නිවන කෙසේ දැක්ක යුතු ද?

නාගසේන

:-

මහරජ! අනීතික විසින්, නිරුපද්දව විසින්, අභය විසින්, ඛෙම විසින්, සන්ත විසින්, සුඛ විසින්, සාත විසින්, පණීත විසින්, සුචි විසින්, සීතල විසින්, දැක්ක යුතු ය. මහරජ! බොහෝ දරකෝටු රැසක් නිසා ඇවිළ ගත්තා වූ ගින්නෙන් දැවෙන පුරුෂයෙක් මහත් වූ උත්සාහයෙන් එයින් මිදී ගිනි නැති එලි මහනකට ගොස් මහත් අස්වැසුමක් ලබන්නේ යම් සේ ද, එසේ මොනවට පිළිපන්නේ යොනිසෝමනස්කාරයෙන් පහ කළ රාගාදී වූ කෙලෙස් ගිනි තැවිලි ඇති පරම සැපය වූ නිවන ප්‍රත්‍යක්ෂ කරන්නේ ය.

.

මහරජ! රාගාදී වූ ත්‍රිවිධාග්නිය ඒ පුරුෂයා වැළඳ ගත් ගින්න සේ ද, මොනවට පිළිපන් පුරුෂයා ගින්නට හසු වූ පුරුෂයා සේ ද, නිවන ගිනි නැති එලිමහන සේ ද දතයුතු ය.

.

මහරජ! යම්සේ නයි බලු මිනිස් ඈ කුණපයෙන් හා මලමූරැසින් දැවටුනු පුරුෂයෙක්, එසේ ම නොයෙක් කුණපයෙන් අවුල් වූ තැනකට පැමිණියේ මහත් වූ උත්සාහයෙන් ඒ තැන හැර කුණප ඇත්තේ පරමසුඛ ප්‍රණීත වූ නිවන ප්‍රත්‍යක්ෂ කරන්නේ ය.

.

මහරජ! නන්වැදෑරුම් වූ කුණපකොට්ඨාසයෝ යම්සේ ද, රූප ශබ්ද ගන්‍ධාදි පඤ්චකාමයෝ ද එසේ ය. කුණපයට හසු වූ පුරුෂයා යම්සේ ද, මනා කොට පිළිපන් යෝගාවචරයා එසේය. අමාමහානිවන කුණප නැති සිත්කලු වූ එලිමහන සේ දත යුතු යි.

.

මහරජ! බියට පත් තැති ගත් වෙව්ලන පෙරළෙන භ්‍රාන්ත සිත් ඇති පුරුෂයෙක් මහත් ව්‍යායාමයෙන් එයින් මිදී අභයස්ථානයකට පිවිස, සැනසුම් ලබන්නේ යම් සේ ද, එසේ යමෙක් මොනවට පිළිපදිමින් යෝනිසෝ මනස්කාරයෙන් පහ වූ බිය නැති ගැණුම් ඇති නිවන් සැප සිද්ධ කර ගන්නේ ය.

.

මහරජ! ජාති ජරා ව්‍යාධි මරණ නිසා පුන පුනා උපදනා බිය, සතුරන් විසින් වටකර ගත් භයස්ථානය වැනි ය. බියෙන් තැති ගත් පුරුෂයා මොනවට පිළිපන් යෝගාවචරයා වැනි ය. නිර්‍භය ස්ථානය අමාමහානිවන වැනි කොට දතයුතු ය.

.

මහරජ! කිලිටි මඩවගුරෙක වැටුනු පුරුෂයෙක් මහත් උත්සාහයෙන් ඒ කිලිටිමඩින් නැගී එය සෝදාහැර පිරිසිදු තැනකට ගොස් සැනසුම් ලබන්නේ යම් සේ ද, එසේ පිළිවෙත්හි ඇලුනු යෝගාවචර තෙමේ පහවගිය කෙලෙස්මඩ ඇති නිවන ප්‍රත්‍යක්‍ෂ කරන්නේ ය.

.

මහරජ! ලාභසත්කාර ස්තුති ප්‍රශංසා, කිලිටිමඩ වැනිය. යෝගාවචර තෙමේ මඩමතුයෙහි වැටුනු පුරුෂයා වැනිය. අමාමහානිවන මඩ රහිත වූ පිරිසිදු ස්ථානය වැනි ය.

මිලිඳු

:-

ස්වාමීනි! මොනවට පිළිපන් යෝගාවචර තෙමේ නිවන කුමක් කොට ප්‍රත්‍යක්ෂ කරන්නේ ද?

නාගසේන

:-

මහරජ! මනා කොට පිලිවෙත් රකින යෝගාවචරයා සියලු සංස්කාර ධර්‍මයන්ගේ පැවැත්ම සම්මර්‍ශනය කරන්නේ ඔවුන්ගේ හට ගැනීම - දිරීම - පෙළීම - මැරීම දකියි. භව යෝනි ගති ස්ථිති සත්ත්‍වවාසාදි භේද ගත වූ සකල ස්කන්‍ධයන්ගේ. කිසිම මිහිරක් නො දකියි. එහි මුල මැද අග යන කිසි තැනකත් නිත්‍ය ය, සැපය, යි ගත යුතු කිසිවක් නො දකියි.

.

මහරජ! දවස මුළුල්ලෙහි ගිනියම් කළ ගිනිදැල් සහිත වූ යගුළෙහි මුල මැද අග කිසි තැනක අතින් ගත යුතු තැනක් යම්සේ නො දකියි ද, මහරජ! එසේ සංස්කාර ධර්‍මයන්ගේ පැවැත්ම සම්මර්‍ශනය කරන්නේ එහි හට ගැණිම - දිරීම - පෙළීම - මැරීම දකියි. කිසි මිහිරක් නො දකියි. මුල - මැද - අග කිසි තැනක නිත්‍ය ය, සැප ය, යි ගත යුතු කිසිවක් නො දකියි. එසේ නො දක්නාවූ ඔහුගේ සිත්හි සසර කළකිරීම පහළ වන්නේය. සිරුරෙහි ඩහ නැගෙන්නේ ය. රැකුම් නැති පිහිට නැති අනාථ වූ හෙතෙමේ භවත්‍රයයෙහි කළකිරෙන්නේ ය. මහරජ! පුරුෂයෙක් තෙමේ දැවෙන ගිනිදැල් ඇති මහත් ගිනි රැසක් කරා පැමිණියේ එහි රැකුම් බැලුම් නැත්තේ අනාථ වූයේ කළකිරෙන්නේ යම්සේ නම්, මේ යෝගාවචර තෙමේ ද එ පරිද්දෙන් සසර කළ කිරෙන්නේ ය. තව ද ඔහු දැලෙහි බැඳුණු මසකු සේ සප්මුවපත් මැඬියකු සේ මැදිරියක ලු වනපක්‍ෂියකු සේ ගරුඬමුවපත් නයකු සේ රාහුමුවපත් සඳු සේ සංස්කාරයන් කෙරෙන් තැති ගත්තේ වේ. සංස්කාරයන්ගේ පැවැත්මෙහි මෙසේ බිය දන්නා සුලු ඔහුට මෙබඳු සිතෙක් උපදියි. “මේ ජාතියෙහි පැවැත්ම රාගාදිගිනිවලින් රත් ව ගියේ ය, රාගාදි ගිනිවලින් ඇවිළ ගත්තේ ය, එලොව මෙලොව දෙක්හි විඳිය යුතු වූ බොහෝ දුක් ඇත්තේ ය, දැඩි සිත් තැවුල් ඇත්තේ ය, ඉදින් කිසිවෙක් ජාතියෙහි නො පැවැත්ම ලැබූයේ නම්, හේ ම නිවුනේ ය, හේ ම දුකින් මිදුනේ ය, හේ ම සිත් තැවුලි නැත්තේ ය, හේම සසර බැඳුම් බින්දේ ය, ජාතියේ නො පැවැත්ම නම්: සියලු සංස්කාර ධර්‍මයන්ගේ සන්සිඳීම ය, සියලු උපධීන්ගේ දුරුකිරීම ය, තෘෂ්ණාව නැසීම ය, සංස්කාරයන් කෙරෙහි නො ඇලීම ය, මාර්‍ගයෙන් අනුත්පාදනිරෝධයට පැමිණීම ය, තෘෂ්ණාවෙන් වෙන්වීම ය, නිවීම ය” යි. මෙසේ සිතත් සිතත් ඔහුගේ සිත “මා විසින් භවනිස්සරණය ලදැ” යි ජාතිය පිළිබඳ නො පැවැත්මෙහි වැටෙයි. එහි තුටු වෙයි. පහදියි. මෙසේ සංස්කාර ප්‍රවෘත්තියෙහි බිය දන්නා වූ ඔහුගේ සිත සංස්කාරයන්ගේ ඒ අප්‍රවෘත්තියෙහි ම නැවැත නැවැත තුටු වෙයි. පහදියි. තව තවත් ඉදිරියට යෙයි. නිස්සරණය පිණිස වීර්‍ය්‍යය කරයි. සිහිය පිහිටුවයි. මෙසේ නැවැත නැවැතත් සිහි කරන්නා වූ සංස්කාරයන්ගේ අප්‍රවෘත්තිය පිණිස වැර වඩන්නා වූ හෙතෙමේ ආර්‍ය්‍යමාර්‍ගඥානය ලබා සංසාර ප්‍රවෘත්තිය ඉක්මවා ගොස් සංස්කාරයන්ගේ අප්‍රවෘත්ති නම් ලද රහත් පලයට පැමිණෙන්නේ ය.

මිලිඳු

:-

මැනැවි. මැනැවි. පින්වතුන් වහන්ස! ඉතා මැනැවි. මම ඔබවහන්සේගේ වචනය අදහමි. නිවන නිවනැ යි ඔබ කියූ නිවන ඇත්තේ ම ය, යි පිළිගත යුතු ද? ස්වාමීනි! පෙරදිග - දකුණුදිග - පැසුළු දිග - උතුරුදිග - උඩ - යට - සරස යන කොතැනක නිවන පිහිටියේ ද? නිවන පිහිටි ප්‍රදේශයක් තිබේ ද?

නාගසේන

:-

මහරජ! පෙරදිග හෝ දකුණු දිග හෝ පැසුළුදිග හෝ උතුරුදිග හෝ උඩ හෝ අහසෙහි හෝ පොළොව යට හෝ සරස හෝ අනත් ලෝදාභි කො තැනක හෝ නිවන පිහිටි තැනෙක් නැත්තේ ය.

මිලිඳු

:-

ස්වාමීනි! නිවන පිහිටි තැනෙක් නැත්තේ නම්, එයින් ම නිවනෙක් නැත්තේ ය, යන නිශ්චයට බැස ගන්නට සිදු වන්නේ ය. දෙවි මිනිස් කෙනකුන් විසින් නිවන ප්‍රත්‍යක්‍ෂ කරණ ලදැ යි කියන ලද්දේ නම්, එය කෙසේ පිළිගත හැකි ද? ඔබවහන්සේට කාරණයක් කියන්නට කැමැත්තෙමි. ස්වාමීනි! ධාන්‍ය හටගන්නේ කෙත්හි ය. සුවඳ හට ගන්නේ මල්හි ය. මල් පල හට ගන්නේ රුක්හි ය. රුවන් හට ගන්නේ ආකරයන්හි ය. මේ කියූ දය ලබන්නට කැමැත්තහු ඒ ඒ තැන්හි යා යුතු ය. ස්වාමීනි! එපරිද්දෙන් නිවනෙක් ඇත්තේ නම්, ඒ නිවන නැගෙන්නා වූ තැනකුත් තිබිය යුතු ය. යම් හෙය කින් නිවන හට ගන්නා වූ තැනෙක් නො වේ නම්, එහෙයින්ම නිවනෙක් නැතැ, යි කියයුතු ය. දෙවි මිනිස් කෙනකුන් විසින් නිවන ප්‍රත්‍යක්ෂ කරන ලදැ යි කියන්නේ නම්, ඒ ද බොරු ය.

නාගසේන

:-

මහරජ! නිවන පිහිටි තැනෙක් නැත. එහෙත් නිවන ඇත්තේ ය. මනා කොට පිළිවෙත් පිරූ යෝගවචරයා යෝනිසෝ මනසිකාරයෙන් නිවන ප්‍රත්‍යක්‍ෂ කරන්නේ ය. මහරජ! ලෝකයෙහි ගින්න තිබේ. එහෙත් තිබෙන තැනක් නැත. දර කඩ දෙකක් එකට ගැටූ කල්හි ගින්න උපදනේ ය. එ පරිද්දෙන් මහරජ! නිවන තිබේ. එහෙත් පිහිටි තැනෙක් නැත්තේ ය. මහරජ! සක්විති රජහට සප්තවිධරත්නයෙක් ඇත්තේ ය. එහෙත් එය පිහිටි තැනෙක් නැත. දසවැදෑරුම් සක්විතිවත් පිරීමෙන් මනා කොට පිළිපන්නහු වෙතට ප්‍රතිපත්ති බලයෙන් ඒ ලඟා වන්නේ ය. එ පරිද්දෙන් නිවන ඇත්තේ ය. එහෙන් නිවන පිහිටි තැනෙක් නැත. මනා කොට පිළිපන් යෝගාවචරයාහට ප්‍රතිපත්ති බලයෙන් ඒ ලැබෙන්නේ ය.

මිලිඳු

:-

ස්වාමීනි! නිවන පිහිටි තැනෙක් නො වේවා! ඒ සැබැව, යෝගාවචරයා යම් තැනක සිට නිවන ප්‍රත්‍යක්ෂ කරන්නේ නම්, එබඳු තැනක් තිබේ ද?

නාගසේන

:-

එසේ ය, මහරජ! යෝගාවචරයා යම් තැනක සිට නිවන ප්‍රත්‍යක්‍ෂ කෙරේ නම්, එබඳු තැනෙක් ඇත.

මිලිඳු

:-

ස්වාමීනි! එ තැන කවරේ ද?

නාගසේන

:-

මහරජ! ශීලය ඒ ස්ථානය යි. ශීලයෙහි පිහිටි යෝගාචවරයා නුවණින් සිත්හි කරණුයේ කො තැනක හෝ සිටියේ මනා කොට පිළිපදිනුයේ නිවන ප්‍රත්‍යක්ෂ කරන්නේ ය. මහරජ! ඇස් ඇති පුරුෂයා කො තැනක සිටියේ ද අහස දකියි. මහරජ! එ පරිද්දෙන් ශීලයෙහි පිහිටියේ නුවණින් සලකනුයේ මනා කොට පිළිපදිනුයේ නිවන දකින්නේ ය. මහරජ! යම් තැනෙක සිටි ඒ පුරුෂයාහට පෙරදිග ඇද්ද, එ පරිද්දෙන් ශීලයෙහි පිහිටි නුවන සිත්හි කරන්නා වූ යම් තැනක සිට පිළිවෙත් පුරන්නා වූ යෝගාවචරයාහට නිවන ප්‍රත්‍යක්ෂ වන්නේ ය.

මිලිඳු

:-

සාධු! සාධු! ආචාර්‍ය්‍යපාදයන් වහන්ස! නොයෙක් මිහිරි විසිතුරු උපමා ගෙනහැර දැක්වීමෙන් ඔබ වහන්සේ විසින් නිවන දෙසන ලද්දේ ය. සාක්‍ෂාත් කරණයත් දෙසන ලද්දේ ය. ශිලානිශංසයත් දෙසන ලද්දේ ය. සම්‍යක් ප්‍රතිපත්තියක් දක්වන ලද්දේ ය. සර්‍වදෘෂ්ටිමථනයෙන් විජයධ්වජසඞ්ඛ්‍යාත සද්ධර්‍මධ්වජයත් නගන ලද්දේ ය. දෘෂ්ටිගතයකු විසින් පන්දහස් වස් සොලවාලනට නො හැකි සේ ධර්‍මවිනය ස්ථිර කොට තබන ලද්දේ ය. නිවන් සොයන්නවුන්ගේ සම්‍යක් ප්‍රයෝගය සිස් නො වන්නේ ය. සඵල වන්නේ ය. නිවන ක්‍ෂය ධර්‍මයෙක් නො වේ. මාගේ පින්වත් ආචාර්‍ය්‍යපාදයන් වහන්සේ මේ ප්‍රශ්න ව්‍යකරණය මම එසේ ම පිළිගන්නෙමි.

මෙතෙකින් මේ සංවාදය නිමාවට ගියේ ය. නාගසේන මහාක්ෂීණාශ්‍රවයන් වහන්සේගේ මේ ව්‍යාකරණයෙන් පිනා ගියා වූ මිලිඳු මහරජ තෙමේ දොහොත් මුදුන් දී සාධූ කාර දුන්නේ ය.

මෙහි කියූ ආගමයුක්තීන්හි පිහිටා බලන කල්හි මාර්‍ගඵලයන්ට අරමුණු වූ උත්පාද - ස්ථිති - භඞ්ග හෙවත් ජරා මරණාදී වූ හැම දුකින් වෙන්ව සිටි බැවින් මුළුමනින් නිදුක් වූ විකාරස්වභාවයකට නො පැමිණෙන බැවින් අරූප වූ ආර්‍ය්‍යයනට ප්‍රත්‍යක්‍ෂ සිද්ධ වූ කල්‍යාණ පෘථග්ජනයනට අනුමාන සිද්ධ වූ අන්‍ධබාලයනට කෙසේත් නො දත හැකි වූ අසවල් දිශායෙහි අසවල් පෙදෙසෙහි පිහිටියේ ය යි නො කිය හැකි බැවින් නිෂ්ප්‍රපඤ්ච වූ අශූන්‍ය වූ ස්ථිරවූ ආලෝකයක් බඳු වූ සියලු දුක් මුලිනුපුටා ලැබිය යුතු වූ ක්ලේශ විමුක්ත වූ ධුව ශුභ සුඛ යුක්ත වූ ඒ මේ සත්පදාර්‍ත්‍ථය නිවනැ, යි දතයුතු ය.

සීල විසුද්ධියෙන්, දිට්ඨි විසුද්ධියෙන්, කඛාවිතරණ විසුද්ධියෙන්, මගාමග්ගඤාණදස්සන විසුද්ධියෙන්, බාහ්‍යාද්ධ්‍යත්මික වස්තූන් පිරිසිදු කළ යෝගීහු විසින් නැවත අනුලෝමඥානය ලබනු කැමැතිව උදයව්‍යයඥානය ආදී කොට ඇති අෂ්ටවිධඥානයෙහි භාවනා කිරීම් වශයෙන් යෝග කටයුතු ය. උදයව්‍යයානුදර්‍ශනඥානය - භඞ්ගානුදර්‍ශනඥානය - භයතුඋපස්ථානඥානය - ආදීනවානුදර්‍ශනඥානය - නිර්විදානුදර්‍ශනඥානය - මුඤ්චිතුකම්‍යතාඥානය - ප්‍රතිසඞ්ඛ්‍යානුදර්‍ශනඥානය - සංස්කාරෝපේක්‍ෂාඥානය යන මේ අෂ්ටවිධඥාන ය. විස්තරාර්‍ත්‍ථඥානය පිණිස මෙහි දශමතරඞ්ගයෙහි දසවන වස්තුවෙහි “සම්පන්නවිජ්ජාචරණා” යන්නට කළ පරිකථාව බලනු.

සංස්කාරෝපේක්ෂා ඥානය ඇසුරු කිරීම වැඩීම ඇති යෝගාවචරයා පිළිබඳ අධිමෝක්ෂසඞ්ඛ්‍යාත ශ්‍රද්ධාව අතිශයින් බලවත් වේ, විර්‍ය්‍යය ඉතා දැඩි වේ. සිහිය එළඹ සිටියි. සිත සමාහිත වේ. අනුලෝමඥානයාගේ පැවැත්මට හේතු වන්නට සමත්‍ථි බැවින් අතිශයින් තීක්ෂණ ව සංස්කරෝපේක්‍ෂාව උපදනේ ය. මේ යෝගී හට දැන් දැන් මාර්‍ගය උපදී ය යි කියයුතු කාලයෙහි ත්‍රෛභූමකසංස්කාරයන්හි එල්බ ගෙණ අනිත්‍ය ය, යි හෝ දුඃඛ ය, යි හෝ අනාත්ම ය, යි හෝ සම්මර්‍ශනය කොට සිත භවාඞ්ගයට බස්නේ ය. අනතුරු ව සංස්කාරෝපේක්‍ෂාව අනිත්‍යාදී විසින් අරමුණු කළ සේ ම සංස්කාරයන් අනිත්‍ය ය, යි හෝ දුඃඛ ය, යි හෝ අනාත්ම ය, යි හෝ අරමුණු කරමින් මනෝද්වාරාවර්‍ජනය උපදනේ ය. භවාඞ්ගය පෙරළා උපන් ඒ ක්‍රියා සිතට අනතුරු ව අතර නැති ව චිත්ත සන්තතිය නිරන්තර කොට පවත්වමින් පෙර සේ ම අනිත්‍යාදී විසින් සංස්කාරයන් අරමුණු කොට ප්‍රථම ජවනචිත්තය උපදී. එය පරිකර්‍මය, යි කියනු ලැබේ. නැවැත එසේ ම සංස්කාරයන් අරමුණු කොට උපචාර ය, යි කියනු ලබන දෙවන ජවන් සිත උපදී යි. එයට අනතුරු ව එසේ ම සංස්කාරයන් අරමුණු කොට අනුලෝම ය, යි කියන තෙවන ජවන් සිත උපදි.

මේ අනුලෝමඥානය වනාහි සංස්කාරයන් අරමුණු කොට සිටි ව්‍යුත්‍ථානගාමිනී විදර්‍ශනාවෙහි අවසානය වේ. මුළුමනින් ගෝත්‍රභූඥානය ව්‍යුත්‍ථානගාමිනී විදර්‍ශනාවගේ පරියෝසානය යි.

මෙසේ උපන් අනුලෝමඥානය ඇති යෝගීහුගේ ඒ පරිකර්‍ම - උපචාර - අනුලෝමසඞ්ඛ්‍යාත අනුලෝමඥාන තුනින් තමාගේ බලයට සුදුසු පරිදි ඉතා මහත් වූ සත්‍යය වසා සිටි මෝහාන්‍ධකාරය නසාලු කල්හි කිසි ද සංස්කාරයක සිත නො පිහිටන්නේ ය. නො ඇලෙන්නේ ය. පියුම් පතෙක හුනු දියබිඳක් සේ හැකිළෙන්නේ ය. පෙරළෙන්නේ ය. සියලු නිමිත්තාලම්බනයෝ සියලු විපාකප්‍රවෘත්ති ආලම්බනයෝ පළිබෝධ විසින් වැටහෙත්. එසේ වැටහුනු කල්හි අනුලෝමඥානයාගේ ආසේවනයෙහි කෙළවර සංස්කාරනිමිත්ත රහිත වූ සංස්කාරප්‍රවෘත්ති රහිත වූ සංස්කාරයන්ගෙන් වෙන් ව සිටි සංස්කාරයන්ගේ නිරෝධය වූ නිර්‍වාණය අරමුණු කරමින් පෘථග්ජනගෝත්‍රය ඉක්මවමින් ආර්‍ය්‍ය ගෝත්‍රයට බසිමින් නිවන් අරමුණෙහි ප්‍රථමාවර්‍තනය වූ මාර්‍ග චිත්තයට අනන්තර සමනන්තරාදී වශයෙන් සයුරෙකින් අත දෙමින් විදර්‍ශනාවගේ මස්තකය වූ ගෝත්‍රභූචිත්තය උපදනේ ය. එහෙයින් කීහ අර්‍ත්‍ථකථාචාර්‍ය්‍යපාදයෝ: “ගොත්‍රභූචිත්තං පන නිබ්බානං ආලම්බිත්‍වා පුථුජ්ජනගොත්තං අභිභවන්තං අරියගොත්තං අභිසම්භොන්තං ච පවත්ති” යි.

මෙසේ ගෝත්‍රභූ ඥානයෙන් ඥානවත් වූ යෝගාවචර තෙමේ භව - යොනි - ගති - ස්ථිති - සත්ත්‍වවාසයන්ගේ පරතෙර වූ නිවනෙහි පිහිටනු කැමැත්තේ උදයව්‍යයානුදර්‍ශනාදී වූ වේගයෙන් දුවැවිත් ආත්මභාව නැමැති වෘක්ෂශාඛායෙහි එල්වා තුබූ රූප නැමැති රැහන හෝ වේදනාදීන් අතුරෙහි අන්‍යතරවේදනා නැමැති යටක් හෝ අනිත්‍ය ය, යි හෝ දුඃඛ ය, යි හෝ අනාත්ම ය, යි හෝ අනුලෝමාවර්‍ජනයෙන් අරමුණු කරමින් එය නො හැර ම ප්‍රථම අනුලෝමචිත්තයෙන් උඩට නැග දෙවන අනුලෝමචිත්තයෙන් පරතෙරට නැමුනු සිත් ඇති ව තෙවන අනුලෝමචිත්තයෙන් පරතීරයෙහි මතුපිටට පැමිණියා සේ පැමිණිය යුතු නිවනට ලංව තෙවන අනුලෝමචිත්ත නිරෝධයෙන් සංස්කාරාලම්බනය හැර ගෝත්‍රභූචිත්තයෙන් විසංඛාර වූ පරතීර වූ නිවනෙහි පිහිටා ගන්නේ ය. එහෙත් එක්වරක් ම ලද අරමුණහි ආසේවන නො ලද බැවින් හේ මැනැවින් පිහිටා ගත්තේ නො වේ.

අනුලෝමඥානය සත්‍යය වසාලන කෙලෙස් අඳුරු දුරු කරන්නට පොහොසත් වුව ද, නිවන අරමුණු කරන්නට පොහොසත් නො වේ. ගෝත්‍රභූඥානය නිවන අරමුණු කිරීමට පොහොසත් වුව ද, කෙලෙස් අඳුරු දුරු කරන්නට පොහොසත් නො වේ. එහෙයින් මේ ගෝත්‍රභූඥානය මාර්‍ගයට ආවර්‍ජන ය, යි කියනු ලැබේ. ගෝත්‍රභූඥානය ආවර්‍ජන නො වූයේ ද ආවර්‍ජනස්ථානයෙහි සිට “මෙසේ ඉපදෙන්නැ” යි මාර්‍ගයට සංඥා දානය කොට නිරුද්ධ වන්නේ ය. මාර්‍ගය ද ඒ ගෝත්‍රභූචිත්තය දුන් සංඥාව නො හැර ම අතරක් නො තබා ප්‍රබන්‍ධ විසින් ඒ ගෝත්‍රභූඥානය ලුහුබඳිනු ලබන්නේ නො නැසූවිරූ ලෝභහස්කන්‍ධය ද ද්වේෂස්කන්‍ධය ද මෝහකන්‍ධය ද පළමින් නසමින් දුඃඛසත්‍යය අසම්මෝහ ප්‍රතිවේධ වශයෙන් දනිමින්, සමුදයසත්‍යය දුරුකරමින්, නිරෝධසත්‍යය ප්‍රත්‍යක්ෂ කරමින්, මාර්‍ගසත්‍යය වඩමින් මෙසේ දුඃඛසත්‍යය දැනීම, සමුදයසත්‍යය ප්‍රහාණය කිරීම, නිරෝධසත්‍යය ප්‍රත්‍යක්ෂ කිරීම, මාර්‍ග සත්‍යය වැඩීම යන කෘත්‍ය සතර සිද්ධ කරමින් උපදනේ ය. මෙසේ උපන් ප්‍රථම මාර්‍ගඥානයට අනුරූප පරිද්දෙන් ඵලචිත්තයෝ දෙ තුන් දෙනෙක් සිඳහළ කෙලෙස් ඇති සන්තානයෙහි කෙලෙස් දැවිලි සන්සිඳවා හරිණු පිණිස ඉපිද නිරුද්ධ වෙත්. මේ මාර්‍ගඥානය ප්‍රත්‍යක්ෂ කෙළේ ‘සොතාපන්න’ යි කියනු ලැබේ. මේ තෙමේ කෙලෙස් නසාලීම පමණක් නො කෙරේ. මුල් නැති සසරහට දුක් මුහුද වියළන්නේ ය. සියලු අපාය දොර වසන්නේ ය. සප්තාර්‍ය්‍යයධනය අභිමුඛ කරන්නේ ය. සියලු කෙලෙස් සතුරු බිය සන්සිඳුවන්නේ ය. නියතසම්බෝධිපරායණ වේ.

අනතුරු ව සෝතාපන්න පුද්ගල තෙමේ “මම මේ මගින් ආයෙමි” යි මාර්‍ගය ද, “මා විසින් මේ අනුසස් ලදැ” යි ඵලය ද, “මාගේ මේ කෙලෙස් පහවී ය” යි පහ වූ කෙලෙස් ද, “මා විසින් මේ ධර්‍මය අරමුණු කිරීමෙන් මෙය ප්‍රතිවේධ කරණ ලදැ” යි නිවන ද ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ය. මෙසේ ප්‍රත්‍යවේක්ෂ කොට ඒ ආසනයේ ම හිඳ හෝ පසුව හෝ හෙතෙමේ සකෘදාගාමීමාර්‍ග ඥානය පිණිස විදර්‍ශනා භාවනාවෙහි යෝග කරන්නේ ය. එහිදී ශ්‍රද්ධාදී පංචේන්‍ද්‍රියයන් ද ශ්‍රද්ධාදී බලයන් ද සමෘත්‍යාදී බොධ්‍යඞ්ගයන් ද එක් කොට ගෙණ රූප - වේදනා - සංඥා - සංස්කාර - විඥානැයි භේද වත් වූ සංස්කාර සමූහය අනිත්‍ය ය - දුඃඛ ය - අනාත්ම ය, යි නැවැත නැවැත නුවණින් පිරිමදින්නේ ය. උදයව්‍යයානුදර්‍ශනයෙහි පටන් විදර්‍ශනාවට බට ඔහුට පෙර කී සේ සංස්කාරෝපේක්‍ෂාවගේ කෙළවර එක් ආවර්‍ජනයෙන් අනුලෝම - ගෝත්‍රභූ ඥානයන් උපන් කල්හි ගෝත්‍රභූඥානයට අනතුරුව සකෘදාගාමී මාර්‍ගඥානය උපදනේ ය. එයින් පසු එහි ඵලසිත් උපදී.

හෙතෙමේ ද සෝතාපන්න පුද්ගලයා සේ ම මග - ඵල - පැහූ කෙලෙස් - ඉතිරි කෙලෙස් - නිවන යන මෙ තැන් ප්‍රත්‍යාවේක්‍ෂා කොට අවසන්හි ඒ ආසනයේ ම හිඳ හෝ පසුව හෝ අනාගාමි මාර්‍ගඥානය පිණිස විදර්‍ශනාවෙහි යෙදී ගන්නේ ය. එසේ යෙදීමෙන් ඉන්‍ද්‍රිය - බල - බොධ්‍යඞ්ගයන් එක් තැන් කොට ගත් ඒ ආර්‍ය්‍යපුද්ගල තෙමේ සියලු ම සංස්කාරයන් විදර්‍ශනාඥානයෙන් අනිත්‍ය - දුඃඛ - අනාත්ම විසින් පිරිමදින්නේ ය. එසේ පිරිමදිනා ඔහුට සංස්කාරෝපේක්‍ෂාවගේ කෙළවර එක් ආවර්‍ජනයෙන් අනුලෝම-ගෝත්‍රභූ සිත් උපන් කල්හි අනතුරු ව අනාගාමී මාර්‍ගඥානය උපදි. ඉනික්බිති පල සිත් උපදනේ ය. නැවැත ඔහු මග - ඵල - පැහූ කෙලෙස් - ඉතිරි කෙලෙස් - නිවන යන මෙ තැන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ය. හේ මෙසේ ප්‍රත්‍යවේක්ෂ කොට ඒ ආසනයේ ම හිඳ, නැත, පසු කලෙක අර්‍හන්මාර්‍ගඥානය පිණිස විදර්‍ශනාවෙහි යෝග කොට ඉන්‍ද්‍රිය - බල - බොධ්‍යගයන් එක් රැස් කොට සියලු සංස්කාරයන් අනිත්‍ය - දුඃඛ - අනාත්ම විසින් පිරිමැද විදර්‍ශනාවීථියට බස්නේ ය. එහිදි ඔහුට සංස්කාරෝපේක්ෂාවගේ කෙළවර එක් ආවර්‍ජනයෙන් අනුලෝම - ගෝත්‍රභූඥානයන් උපන් කල්හි මතු අර්‍හන්මාර්‍ගඥානය උපදී. නැවැත ඵලසිත් උපදනේ ය. තත්ත්‍වපුර්‍ණ විසින් ක්ලේශස්කන්‍ධයන්ගේ අනුත්පාද නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණ ධාතුව අවබෝධ කෙළේ මෙ තෙමේ ය. එහෙයින් අන්තිමදේහධාරී වූයේ සකලෙක්ලේශස්කන්‍ධ භාරය බහා තැබුයේ ස්වාර්‍ත්‍ථසිද්ධියට පැමිණියේ ක්ෂය කළ හවසංයෝජන ඇත්තේ මොනවට දැන විමුක්ත වූයේ සදෙවක ලෝකයාගේ අග්‍රදක්‍ෂිණාර්‍භ වුයේ ද මෙ තෙමේ ය.

මෙ ද මෙහිලා දතයුතු ය:- “සෙය්‍යථාපි භික්ඛවෙ! චක්ඛුමා පුරිසො රත්තන්‍ධකාරතිමිසායං විජ්ජත්තරිකාය සමන්තා ‍රූපානි පස්සෙය්‍ය, එවමෙව ඛො භික්ඛවෙ! භික්ඛු ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරෝධගාමිනී පටිපදාති යථාභූතං පජානාති -පෙ-” යනු. මහණෙනි! ඉතා තද රෑ අඳුරෙහි ඇස් ඇති පුරුෂයෙක් විදුලි ගසත් ගසත් විදුලිඑලියෙන් හාත්පස්හි වූ රූපයන් දන්නේ යම් සේ ද, එපරිද්දෙන් මහණෙනි! භාවනානුයෝගී මහණ තෙමේ මේ දුක ය, මේ දුක් හට ගැණීම ය, මේ දුක් වැළකීම ය, මේ දුක් වැළකීමේ මග ය, යි තතු සේ දනියි, යනු එහි සිංහල තේරුම ය.

අටුවාව මෙය මෙසේ පැහැදිලි කළා ය:-

“චක්ඛුමා විය යොගාවචරො දට්ඨබබා” යෝගාවචර තෙමේ ඇස් ඇති පුරුෂයා සේ දතයුතු ය.

“අන්‍ධකාරා විය සොතාපත්තිමග්ගවජ්ඣා කිලෙසා” සෝවන් මග අවුරා සිටි කෙලෙස් ගනඳුර සේ ය.

“විජ්ජුසඤ්චරණං විය සොතාපත්තිමග්ගඤාණස්ස උප්පත්ති කාලො” සෝතාපත්ති මාර්‍ගඥානයාගේ උත්පත්ති කාලය විදුලි ගැසීම සේ ය.

“විජ්ජන්තරිකාය චක්ඛුමතො පුරිසස්ස සමන්තා රූපදස්සනං විය සොතාපත්තිමග්ගක්ඛණෙ නිබ්බානදස්සනෙ” ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි නිවන් දැකීම, විදුලි එලියෙන් ඇස් ඇති පුරුෂයාගේ හාස්පස්හි වූ රූප දැකීම සේ ය.

“පුන අන්‍ධකාරාවත්‍ථරණං විය සකදාගාමිමග්ගවජ්ඣාව කිලෙසා” සෙදගැමිමග අවුරා සිටි කෙලෙස් නැවැත අන්‍ධකාරය පැතිරී යන සේ ය.

“පුන විජ්ජුසංචරණං විය සකදාගාමිමග්ගඤාණස්ස උප්පාදො” සකෘදාගාමීමාර්‍ගඥානයාගේ උපත්තිය නැවැත විදුලි ගැසීම සේ ය.

“විජ්ජන්තරිකාය චක්ඛුමතො පුරිසස්ස සමන්තා රූපදස්සනං විය සකදාගාමීමග්ගක්ඛණෙ නිබ්බානදස්සනං” සකෘදාගාමී මාර්‍ගක්‍ෂණයෙහි නිවන් දැකීම, විදුලි එලියෙන් ඇස් ඇති පුරුෂයා ගේ හාත්පස්හි වූ රූප දැකීම සේ ය.

“පුන අන්‍ධකාරාවත්‍ථරණං විය අනාගාමීමග්ගවජ්ඣා කිලෙසා” අනගැමිමග අවුරා සිටි කෙලෙස් නැවැත අන්‍ධකාරය පැතිරී යෑම සේ ය.

“පුන විජ්ජුසංචරණං විය අනාගාමීමග්ගඤාණස්ස උප්පාදො” අනාගාමීමාර්‍ගඥානයාගේ උත්පත්තිය නැවැත විදුලි ගැසිම සේ ය.

“විජ්ජන්තරිකාය චක්ඛුමතො සමන්තා රූපදස්සනං විය අනාගාමිමග්ගක්ඛනෙ නිබ්බානදස්සනං” අනාගාමිමාර්‍ගක්‍ෂණයෙහි නිවන් දැකීම විදුලි එලියෙන් ඇස් ඇති පුරුෂයාගේ හාත්පස්හි වූ රූප දැකීම සේ ය, යනු.

“සෙය්‍යථාපි භික්ඛවෙ! වජිරස්ස නත්‍ථි කිඤ්චි අභෙජ්ජං මණි වා පාසාණොවා, එවමෙව ඛො භික්ඛවෙ! ඉධෙකච්චො පුගගලො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙ ව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්‍වා උපසම්පජ්ජ විහරති, අයං වුච්චති භික්ඛවෙ! වජිරූපමචිත්තො පුග්ගලො” යනු ආයේ මහාරහතුන් වහන්සේට ම නිවන සියලු කල්හි ම නො ඇවිරී පෙණෙන බව දැක්වීමටය. “මහණෙනි! විදුරවියෙන් නො බිඳිය හැකි නො විනිවිදිය හැකි කිසිත් මැණිකෙක් හෝ ගලෙක් හෝ නැත්තේ යම්සේ ද, එ පරිද්දෙන් මහණෙනි! මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් ආශ්‍රවධර්‍මයන්ගේ ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව රහිත වූ අර්‍හතඵල සමාධිය හා අර්‍හත්ඵල ප්‍රඥාව ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන්නේ වජ්‍රයට බඳු සිත් ඇති පුද්ගලයා යි කියනු ලැබේ, යනු එහි සිංහලයි. අටුවාව මෙහිලා කළ විවරණය මෙසේය:- “වජිරං විය හි අරහත්තමග්ගඤාණං” අර්‍හන්මාර්‍ගඥානය විදුරවිය සේ ය.

“මණිගණ්ඨි පාසාණගණ්ඨි විය අරහත්තමග්ගවජ්ඣා කිලෙසා” රහත්මග අවුරා සිටි කෙලෙස් මිණිගැට පහන්ගැට සේ ය.

“වජිරෙන මණිගණ්ඨිම්පි වා පාසාණගණ්ඨිම්පි වා විනිවිජ්ඣිත්‍වා, අගමනභාවස්ස නත්‍ථිතා විය අරහත්තමග්ගඤාණෙන අච්ඡෙජ්ජානං කිලෙසානං නත්‍ථිභාවො” අර්‍හන්මාර්‍ගඥානයෙන් නො සිඳිය හැකි කෙලෙස් නැතිබව, විදුරවියෙන් මිණිගැටක් හෝ පහන්ගැටක් හෝ විනිවිද ගෙණ නො යෑමක් නැතිබව සේ ය.

“වජිරෙන නිබ්බිද්ධවෙධස්ස පුන අප්පතිපූරණං විය අරහත්තමග්ගෙන ජින්නානං කිලෙසානං පුන අනුප්පාදො දට්ඨබ්බො” අර්‍හන්මාර්‍ග ඥානයෙන් සිඳහළ කෙලෙසුන්ගේ නැවැත කිසි කලෙකත් නො උපදනා බව, විදුරවියෙන් විනිවිද යන සේ සිඳහරිණ ලද්දහුගේ නැවැත නො පෑස්සීම ය, යි දතයුතු ය යනු.

මෙසේ කෙලෙසුන්ගේ එක් කොටසක් සෝවන් මගින් ද එක් කොටසක් සෙදගැමිමගින් ද එක් කොටසක් අනගැමිමගින් ද එක් කොටසක් රහත්මගින් දැ,යි සිවු මගින් සිවුවරකට නැසී සීදී යන අතර වර්‍තමානස්කන්‍ධයාගේ සිඳී යෑම ස්කන්‍ධපරිනිර්‍වාණයෙන් වන්නේ ය. මෙසේ පස්වරකින් වන ක්ලේශස්කන්‍ධයන්ගේ අනුත්පාදනිරෝධය එක් ම නිවනැ, යි ගණු මිස නිවන් පසෙකැ, යි ගන්නට ධර්‍මයුක්තියෙක් කැල ම නැත්තේ ය.

දවසෙක සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩහුන් බුදුරජානන් වහන්සේ වෙත පැමිණි එක්තරා දෙවියකු විසින් උන්වහන්සේ ඉදිරියෙහි නැගූ;

“කුතො සරා නිවත්තන්ති කත්‍ථ වට්ටං න වට්ටති,

කත්‍ථ නාමං ච රූපං ච අසෙසං උපරුජ්ඣති”

යන මෙම ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් බුදුරජානන් වහන්සේ පහත දැක්වෙන ගාථාව වදාළ සේක.

“යත්‍ථ ආපො ච පඨවී තෙජො වායො න ගාධති,

අතො සරා නිවත්තන්ති එත්‍ථ වට්ටං න වට්ටති,

එත්‍ථ නාරං ච රූපං ච අසෙසං උපරුජ්ඣති”

යි. පඨවී - ආපෝ - තේජෝ - වායෝ - යන මහාභූත රූපයන් බැස නො ගත්තා වූ රූපතෘෂ්ණාදී සංසාරප්‍රවාහයන් නො ද ගලන්නා වූ ස්කන්‍ධ ධාතු ආයතනාදීන්ගේ පැවැත්මක් නැති නාම - රූප දෙක මුළුමනින් ඉතිරි නැතු ව නිරුද්ධව ගිය තත්ත්‍වය නිවනැ, යි යනු එහි ඉතා කෙටි තේරුම ය.

“අත්‍ථි භික්ඛවෙ! තදායතනං, යත්‍ථ නෙව පඨවි, න ආපො, න තෙජො, න වායො, න ආකාසානඤ්චායතනං, න විඤ්ඤාණඤ්චායතනං, න ආකිඤ්චඤ්ඤායතනං, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනං, නායං ලොකො, න පරොලොකා, න උභො චන්දිමසුරියා, තත්‍රාපහං භික්ඛවෙ! න ආගතං වදාමි, න ගතිං නඨිතිං, න උප්පත්තිං, අප්පතිට්ඨං අප්පවත්තං අනාරම්මණමෙවෙතං එසෙවන්තො දුක්ඛස්ස” යන උදාන දේශනාවෙනුදු මෙය ම ව්‍යක්ත කරණ ලද්දේ ය.

මහණෙනි! යමෙක්හි පෘථිවීධාතුව නැද්ද, ආපෝධාතුව නැද්ද තේජොධාතුව නැද්ද, වායෝධාතුව නැද්ද, ආකාසානඤ්චායතනය නැද්ද, විඤ්ඤානඤ්චායතනය නැද්ද, ආකිඤ්චඤ්ඤායතනය නැද්ද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය නැද්ද, මේ ස්කන්‍ධලෝකය නැද්ද, මෙයින් උපදනා අන්‍ය වූ ස්කන්‍ධලෝකයෙක් නැද්ද, සඳහිරු දෙදෙනෙක් නැද්ද, එසේ වූ ආයතනය මගපල සිතට අරමුණු වන නිවන ඇත, එහි කිසිවකුගේ ඊමක් යෑමක් සිටීමක් මැරීමක් මැරී ඉපැත්මක් නො කියමි, මෙය කිසිවෙක් නො පිහිටි ප්‍රත්‍යයයන්ගෙන් නො පවත්නා කිසි ම අරමුණක නො එල්බෙන ධර්‍මයෙකි, මෙය ම දුකෙහි කෙළවර ය, යනු කෙටි අරුත ය.

“ඛීණං පුරාණං නවං නත්‍ථි සම්භවං

විරත්තචිත්තා ආයතිකෙ භවස්මිං,

තෙ ඛීණබීජා අවිරූළ්හිච්ඡන්දා

නිබ්බන්ති ධීරා යථායං පදීපො”

යනු ද එහිලා දතයුතු ය.

“යම් කෙනකුගේ පුරාතනකර්‍ම හා කෙලෙස්, මෙයින් මත්තෙහි පිළිසඳ ගැණුමක් දිය නො හැක්කේ ක්‍ෂීණ වූයේ ද, කර්‍මක්‍ෂය කළ බැවින් මත්තෙහි විපාක දිය හැකි අළුත් කර්‍ම ක්ලේශයන්ගේ හට ගැනීමෙන් පහළ වීමෙක් නැත්තේ ද, මතු භවයක් කෙරෙහි නො ඇලුනු නැවත ඉපැත්මෙහි ආශා නැති ක්‍ෂීණ වූ ප්‍රතිසන්ධිවිඥානසඞ්ඛ්‍යාත බීජ ඇති පුනර්‍භව සඞ්ඛ්‍යාත සංස්කාරයන්ගේ වැඩීමෙහි ආශා රහිත වූ ධෛර්‍ය්‍යය සම්පන්න වූ ඒ රහත්හු මේ පහන නිවෙන්නාක් මෙන් අවසන් සිත නිරුද්ධ වීමෙන් නිවී යෙත්” යනු එහි අරුත් ය.

නිවන සුඛමරූපගතිකය යි වරදවා තේරුම් කිරීමෙන් නිවන රූපලක්ෂණ සහිත ය, යි කියා පෑමෙන් සඞ්ඛතධර්‍මපක්ෂයෙහිලා ගත් උගතුන්ගේ ද, නිවන භාවාත්මකැ, යි නිවනෙහි සූක්‍ෂමවිඥානයෙක් ඇත්තේ ය, නිවනෙහි ආත්මයෙක් ඇත්තේ ය, යි කියන උගතුන්ගේ ද ඒ සියලු මිථ්‍යා මත මෙයින් බිඳවැටී යායුතු ය. යම් කෙනෙකු නිවනෙහි රූපලක්ෂණ ඇතැයි කියතොත්, ඒ ද, නිවන භවාත්මක ය, නිවනෙහි සූක්‍ෂමවිඥානයෙක් ඇත, නිවනෙහි ආත්මයෙක් ඇතැයි කියතොත්, ඒ ද, එසේ කියන්නවුන්ගේ පරමාර්‍ත්‍ථ ධර්‍ම විෂයයෙහි ලා නො දැනුම ම කියා පාන්නේ ය.

නිවන වනාහි ස්වභාවලක්‍ෂණ විසින් ශාන්තිසුඛ ස්වරූප විසින් එකෙක් ම වූයේ ද , සඋපාදිසෙස නිබ්බාන - අනුපාදිසෙසනිබ්බාන යි කාරණපර්‍ය්‍යයයෙන් දෙ වැදෑරුම් වේ. “තදෙතං සභාවතො එකවිධම්පි ‍සඋපාදිසෙස නිබ්බානධාතු අනුපාදිසෙස නිබ්බානධාතු චෙති දුවිධං හොති කාරණපරියායෙන” යනු එහිලා කීහ.

පංචස්කන්‍ධසංඛ්‍යාත වූ යම් ධර්‍මසමුහයෙක් කාමූපාදානාදීන් විසින් ලං කොට ගණු ලැබේ ද, ඒ ධර්‍මසමූහය උපාදි නම්. උපාදි යන මෙය පංචස්කන්‍ධයට නමෙකි. උපාදානයන් විසින් ලං කොට ගත් ඒ පංචස්කන්‍ධය කෙලෙසුන් නැසීමෙන් පසු කෙලෙසුන් හැර ඉතිරි වේ ද, එහෙයින් කෙලෙසුන් නැති ඒ පංචස්කන්‍ධය උපාදිසෙස නමි. යම් නිවනෙක් කෙලෙස් රහිත වූ පංචස්කන්‍ධය හා පවතින්නේ ද, ඒ නිවන සඋපාදිසසනිබ්බානධාතු නම්. කෙලෙසුන් නැති පංචස්කන්‍ධය කෙලෙස් ප්‍රහීණ වීමෙන් පසු ඉතිරි වූ දිවිකෙළ වර තෙක් පවත්නා ශුද්ධ වූ පංචස්කන්‍ධය සමග පවත්නා නිවන සඋපාදිසෙස ය, යි ද රහතන් වහන්සේගේ කෙලෙසුන් හා යම්තමකිනුත් නො ගැවුනු ශුද්ධ වූ (කෙලෙස් රහිත ස්කන්‍ධ පංචකයාගේ) පිරිනිවීමෙන් වන ශාන්ත නිර්‍වාණය අනුපාදිසෙස ය යි ද දතයුතු ය.

මේ ද මෙහිලා දත යුත්තේ ය:- “ද්වෙමාභික්ඛවෙ! නිබ්බාන ධාතුයො, කතමා ද්වෙ? සඋපාදිසෙසා ච නිබ්බානධාතු, අනුපාදිසෙසා ච නිබ්බානධාතු, කතමා ච භික්ඛවෙ! සඋපාදිසෙසා නිබ්බානධාතු? ඉධ භික්ඛවෙ භික්ඛු අරහං හොති ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්‍ථො පරික්ඛිණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තො, තස්ස තිට්ඨන්තෙව පඤ්චින්‍ද්‍රියානි යෙසං අවිඝාතත්තො මනාපාමනාපං පචවනුහොති, සුඛදුක්ඛං පටිසංවෙදෙති, තස්ස යො රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො, අයං වුච්චති භික්ඛවෙ! සඋපාදිසෙසානිබ්බානධාතු,

කතමා ච භික්ඛවෙ! අනුපාදිසෙසා නිබ්බානධාතු? ඉධ භික්ඛවෙ! භික්ඛු අරහං හොති ඛිණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්‍ථො පරික්ඛීණභවසඤ්ඤොජනා සම්මදඤ්ඤා විමුත්තො, තස්ස ඉධෙව භික්ඛවෙ! සබ්බවෙදයිතානි අනභිනන්‍දිතානි සීති භවිස්සන්ති අයං වුච්චති භික්ඛවෙ! අනුපාදිසෙසා නිබ්බානධාතු” යනු. මහණෙනි! නිර්‍වාණ ධාතුහු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක් ද? යත්: සෝපාදිශේෂනිර්‍වාණධාතු - අනුපාදිශේෂනිර්‍වාණධාතු යන දෙදෙන ය. මහණෙනි! සෝපාදිශේෂනිර්‍වාණධාතු කවරේ ද? මහණෙනි! මේ ශාසනයෙහි මහණ තෙමේ රහත් වූයේ පහ කළ ආශ්‍රව ඇත්තේ වැස නිම වූ බඹසර ඇත්තේ කරණ ලද සිවු මග කිස ඇත්තේ බහා තැබූ කෙලෙස් බර ඇත්තේ පිළිවෙළින් පැමිණී, රහත් බැව් ඇත්තේ ක්ෂය කළ බව බැඳුම් ඇත්තේ මනා කොට නුවණින් දැන කෙලෙසුන් කෙරෙන් මිදුනේ වේ ද, ඒ රහත්හු පිළිබඳ යම් ඉන්‍ද්‍රිය කෙනකුන් නිරුද්ධ නො කළ බැවින් ඉටු අනිටු අරමුණු ලබා ද, සැපදුක් විඳී ද, ඒ පඤ්චේන්‍ද්‍රියයෝ පවත්නාහු ම වෙත්. ඒ රහත්හුගේ රාගක්‍ෂය ද්වේෂක්‍ෂය මෝහක්ෂය වේ ද, මහණෙනි! මේ ක්ලේශපරිනිර්‍වාණය සෝපාදිශේෂ නිර්‍වාණ ධාතු යයි කියනු ලැබේ.

මහණෙනි! අනුපාදිශේෂනිර්‍වාණධාතු කවරේ ද? යත්: මහණෙනි! මේ ශාසනයෙහි මහණ තෙමේ මනා කොට නුවණින් දැන මිදුනේ වේ ද, මහණෙනි! ඒ රහත්හු පිළිබඳ සියලු වේදනාවෝ මේ අත්බැව්හි ම තෘෂ්ණාදීන් නො රුස්නා ලද්දාහු සිහිල් වන්නාහු ය. මහණෙනි! මේ ස්කන්‍ධ පරිනිර්‍වාණය අනුපාදිශේෂ නිර්‍වාණධාතු ය යි කියනු ලැබේ, යනු එහි අරුත්.

මේ ද දත යුතුය:

“දුවෙ ඉමා චක්ඛුමතා පකාසිතා

නිබ්බානධාතු අනිස්සිතෙන තාදිනා,

එකා හි ධාතු ඉධ දිට්ඨධම්මිකා

සඋපාදිසෙසා භවනෙත්තිසඞ්ඛයා.

අනුපාදිසෙසා පන සම්පරායිකා

යම්හි නිරුජ්ඣන්ති භවානි සබ්බසො,

යෙ එතදඤ්ඤාය පදං අසඞ්ඛතං

විමුත්තචිත්තා භවනෙත්තිසඞ්ඛයා,

තෙ ධම්මසාරාධිගමා ඛයෙ රතා

පහංසු තෙ සබ්බභවානි තාදිනො”

යනු. එහි කෙටි අරුත් මෙසේ ය:- “පසැස් ඇත්තා වූ තෘෂ්ණාදෘෂ්ටීන් අසුරු නො කළා වූ තාදී ගුණයුක්ත වූ බුදුරජුන් විසින් මේ නිර්‍වාණධාතුහු දෙදෙනෙක් වදාරණ ලදහ. එකෙක් ඉහාත්මයෙහි වූ තෘෂ්ණාක්‍ෂය කිරීමෙන් සඋපාදිශේෂ වේ. යම් නිර්‍වාණධාතුයෙක්හි මුළුමනින් භවයෝ නිරුද්ධ වෙත් ද, ඒ අනුපාදිශේෂ නිර්‍වාණධාතු තොමෝ මරණින් මතුයෙහි වේ,

යම් කෙනෙක් මේ අසඞ්ඛතධාතුසඞ්ඛ්‍යාත නිර්‍වාණපදය දැන තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් මිදුනු සිත් ඇත්තාහු වෙත් ද, ඔවුහු, ධර්‍මසාර නම් වූ රහත් බව ලැබීමෙන් නිවනෙහි ඇලුනාහු වෙත්. තාදී වූ ඔවුහු සියලු භවයන් පහකළාහු වෙත්” යනුයි.

මේ සූත්‍ර දේශනාවෙන් සෝපාදිශේෂනිර්‍වාණය කෙලෙස් නැති රහතුන් වහන්සේට නිෂ්පර්‍ය්‍යාය විසින් හා, පිරිනිවීමෙන් පසු අනුපාදිශේෂනිර්‍වාණය ලැබෙන බව හා දක්වා වදාළ සේක. මේ වනාහි ස්කන්‍ධයන්ගේ ඇති නැති බව ය. එක් ම නිර්‍වාණය යි. සෝවන් - සෙදගැමි - අනගැමි තුන් දෙනා වහන්සේට පර්‍ය්‍යාය විසින් සෝපාදිශේෂ නිර්‍වාණය ලැබෙන්නේ ය. එසේ වනුයේ සියලු සසර දුකින් නැගී ගත් හෙයින් හා නිවන් අරමුණු කොට තම තමන් පිළිබඳ සමවතුන්ට සමවැද නිවන් සුව වළඳනා බැවිනි.

නිවන වනාහි, සුඤ්ඤත - අනිමිත්ත - අප්පණිහිත හිතැ යි ආකාර භේදයෙන් තෙ පරිදි වේ. එහි අරමුණු කිරීම් විසින් හා සම්ප්‍රයුක්ත ධර්‍මයන්ගේ වශයෙන් රාග ද්වේෂ මෝහයන් කෙරෙන් හිස් වු බැවින්, සියලු සංස්කාරධර්‍මයගෙන් අස් වූ බැවින් සුඤ්ඤත නම් වේ. රාගාදිවෘත්තදුඃඛයෙන් සසර උපතට කරුණු වූ රාගාදී හේතූන් කෙරෙන් තොර බැවින්, සඞ්ඛතැ යි කියන ලද සියලු අරමුණු කෙරෙන් වෙන් වූ බැවින් අනිමිත්ත නම් වේ. තෘෂ්ණා යි කියූ ප්‍රාර්‍ත්‍ථනාවගේ අවිද්‍යමානත්වයෙන් අප්පණිහිත නම් වේ. කීහ මෙය මෙසේ:- “ආරම්මණතො සම්පයොගතො ච රාගදොසමොහෙහි, සබ්බසඞ්කාරෙහි වා සුඤ්ඤත්තා සුඤ්ඤතං, තථා රාගාදිනිමිත්ත රහිත්තා, සබ්බසඞ්ඛාරනිමිත්තාභාවතො වා අනිමිත්තං, තණ්හාය පණිධියා අභාවතො අප්පණිහිතං” යි.

අනත්තානුපස්සනාව ධූර කොට ගෙණ මාර්‍ගඵලාවබෝධය සුඤ්ඤත නම්. අනිච්චානුපස්සනාව ධුර කොට ගෙණ මාර්‍ගඵලාවබෝධය අනිමිත්ත නම්, දුක්ඛානුපස්සනාව ධූර කොට ගෙණ මාර්‍ගඵලාවබෝධය අප්පණිහිත නම්. තව ද මාර්‍ගය, අනත්තානුපස්සනාවෙන් ආත්මය – සත්ත්‍වය - පුද්ගල ය යන සංඥා හැර පියා සංස්කාර ධර්‍මයන් ශූන්‍යත්වයෙන් දන්නා ලද බැවින් සුඤ්ඤත නම් අනිච්චානුපස්සනාවෙන් සංස්කාර ධර්‍මයන්ගේ ඝනවිනී‍ර්‍භොග කොට නිත්‍යනිමිත්ත - ධුවනිමිත්ත - ශාස්වතනිමිතත්ත යන මොවුන් දුරු කරමින් ආ බැවින් අනිමිත්ත නම. දුක්ඛානුපස්සනාවෙන් සුඛසංඥා හැරපියා ප්‍රාර්‍ත්‍ථනාව වියළවමින් ආ බැවින් අප්පණිහිත නම. මාර්‍ගය රාගාදීන්ගෙන් වෙන් ව සිටි බැවින් සුඤ්ඤත නම, රූපනිමිති ආදීන්ගේ හා රාගනිමිති ආදීන්ගේ ද අභාවයෙන් අනිමිත්ත නම්. රාගප්‍රාර්‍ත්‍ථනා ආදීන්ගේ අභාවයෙන් අප්පණිහිත නම, මාර්‍ගය ශූන්‍ය වූ අනිමිත්ත වූ අප්‍රණිහිත වූ නිවන අරමුණු කරණ බැවින් සුඤ්ඤත ය, අනිමිත්ත ය, අප්පණිහිත ය, යි කියනු ලැබේ. අනත්තානුපස්සනාවෙන් ආත්මසංඥාව, අනිච්චානු පස්සනාවෙන් නිත්‍යසංඥාව, දුක්ඛානුපස්සනාවෙන් සුඛසංඥාව ප්‍රහීණ වේ.

නිරෝධසත්‍යසඞ්ඛ්‍යාත නිර්‍වාණධාතුයෙහි මේ නිස්සරණට්ඨ - විවෙකට්ඨ - අසඞ්ඛතට්ඨ - අමතට්ඨ යි අර්‍ත්‍ථසතරෙක් ඇත්තේ ය. එහි නිස්සරණට්ඨ නම්: සියලු කෙලෙසුන් කෙරෙන් හා සියලු දුකින් හා නික්මුනුබව ය. මිදුනුබව ය. බැහැරිබව ය. ලෝකීය සත්ත්‍වයෝ කෙලෙසුන්ගෙන් හා සසර දුකින් නො නික්මුනෝ ය. නො මිදුනෝ ය. නො ද බැහැරියෝ ය. නිවන වනාහි කෙලෙසුන් හා සසරදුක් හා නො හැනී සිටියේ ය. නිවනින් සන්සිඳුනේ කෙලෙසුන්ගෙන් හා සසර දුකින් නො හැනුනෝ ය. මෙසේ මේ නික්මීම මිදීම නො හැනීම නිශ්ශරණාර්‍ත්‍ථ නම් වේ.

විවෙකට්ඨ නම්:- කෙලෙසුන්ගෙන් හා සසර දුකින් වෙන්වීම ය කෙලෙසුන් හා සසරදුක් හා නො ගැටුනුබව ය. නිවනෙහි කෙලෙස් දුක් නැත්තේ ය. නිවන මුළුමනින් එයින් නිදහස්ව සිටියේ ය. මෙසේ කෙලෙසුන්ගෙන් හා දුක්වලින් වෙන් ව සිටීම විවේකාර්‍ත්‍ථ නම් වේ.

අසඞ්ඛතට්ඨ නම්:- කර්‍මාදී වූ කිසිත් හේතුවකින් නො හටගත්බව ය. පිළියෙල නොකළබව ය. නිවන වනාහි ලෝකීයවස්තුන් සේ හේතුන් නිසා හට ගත්තේ නො වේ. එය විද්‍යමාන වූ ධර්‍මස්වභාවයෙක් වේ. විද්‍යමාන වූයේ ද ප්‍රත්‍යයහේතූන් නිසා නො හට ගත් බැවින් ඉපදීමෙක් දිරීමෙක් නැසීමෙක් නැත්තේ වේ. සඞ්ඛත යන්නෙන් ගණු ලබන්නේ හේතූන් නිසා උපදවා ගත් පිළියෙල කර ගත් සකස් කර ගත් දේ ය. එසේ කිසිවෙකින් නො ද ඉපද වූ නො ද පිළියෙල කළ නො ද සකස් කළ ධර්‍මතත්ත්‍වය අස‍ඞ්ඛත ය යි. ගැණේ. ඒ වනාහි නිවන පිළිබඳ අසංකෘතාර්‍ත්‍ථ නම් වේ.

අමතට්ඨ නම්:- කවදාත් කිසිත් කරුණකින් නො නස්නා බව ය. නාම - රූපධර්‍ම පිළිබඳ හැම එකෙක් හැම මොහොත ඉපිද ඉපිද නැසි නැසී යන්නේ ය. නාම - රූපධර්‍මයෝ ඉපද ඇසිපිය හෙලන තරම් කාලයකුදු නො පැවත නැසී යන්නෝ ය. එහෙයින් ඔවුහු අමත නො වෙත්. අමත නම් නො ද ඉපදෙන්නේ ය. නො ද නැසෙන්නේ ය. නො උපදනා බැවින් ම නො නස්නා මේ ධර්‍මතත්ත්‍වය ලැබූයේ ද නො ඉපදෙන්නේ ය. නො වන්නේ ය. මෙසේ නො නස්නාබව අමෘතාර්‍ත්‍ථ නම් වේ.

දුකින් නික්මුනුබව දුක් හා නො ගැටුනුබව හේතූන් විසින් පිළියෙල නො කළබව නො නස්නාබව යන නිශ්ශරණාර්‍ත්‍ථ විවේකාර්‍ත්‍ථ අසංස්කෘතාර්‍ත්‍ථ අමෘතාර්‍ත්‍ථ යන අර්‍ත්‍ථ සතර යම් ධර්‍මතත්‍වයෙක වේ නම් ඒ නිවනැ යි දතයුතු ය.

මිලින්ද ප්‍රශ්නයෙහි එන නිර්‍වාණභව්‍ය - නිර්‍වාණයාන - නිර්‍වාණ - අරූප නිර්‍වාණසිද්ධි ප්‍රශ්න ද කියවා බැලිය යුතු ය.

සම්බෝධිඥානයෙන් නිවන් ලබනු පිණිස මෙයට, කල්ප ලක්‍ෂයක් අධික කොට ඇති චතුරසඞ්ඛ්‍යකල්ප ලක්ෂයකින් ඔබ්බෙහි තැබූ ප්‍රාර්‍ත්‍ථනා ඇති ව මේ අතර උපනුපන් ජාතියෙහි ජීවිත පරිත්‍යගාදී වූ හැම පරිත්‍යාගයක් කොට ඒ පිණිස පිරිය යුතු ගුණදහම් පුරා සම්‍යක් සම්බෝධියට පැමිණි බුදුරජානන් වහන්සේ තමන් වහන්සේ විසින් අතිදීර්‍ඝ කාලයක් මුළුල්ලෙහි එහි ම පිළියෙල වීමෙන් අවබෝධ කර ගත් නිර්‍වාණධර්‍මය එයට සුදුසු සේ පිළියෙල නො වූ සාමාන්‍යයකුට අවබෝධ නො කොට හැකිබව බුදු වු ඇසිල්ලෙහි ම:

“කිච්ඡෙන මෙ අධිගතං හලන්‍දානි පකාසිතුං,

රාගදොසපරතෙහි නායං ධම්මො සුසම්බුද්ධො.

පටිසොතගාමිං නිපුණං ගම්භීරං දුද්දසං අණුං,

රාගරත්තා න දිස්සන්ති තමොක්ඛන්‍ධෙන ආවටා”

යනු වදාළෝ ද, නිවන් තතු සාමාන්‍ය ඥානයෙකින් මොන කෙනකුට වත් අවබෝධ නො කොට හැකි බැවින් ම ය.

“මා විසින් දුකසේ අවබෝධ කර ගත් චතුරාර්‍ය්‍යසත්‍යධර්‍මය දැන් ප්‍රකාශ කිරීමෙන් වැඩෙක් නැත්තේ ය, රාගද්වේෂයගෙන් පෙළුනවුන් විසින් මේ චතුරාර්‍ය්‍යසත්‍ය ධර්‍මය අවබෝධ කල හැක්කේ නො වේ,

උඩු හෝ (නිවන්) කරා යන්නා වූ නිපුණ වූ ගැඹුරු වූ දුක සේ දැක්කයුතු වූ සියුම් වූ චතුරාර්‍ය්‍යය සත්‍යධර්‍මය රාගයෙන් රත් වූ අවිද්‍යාස්කන්‍ධයෙන් වැසුනා වූ සත්ත්‍වයෝ නො දන්නාහු ය” යනු එහි අරුත් ය.

තව ද අජපාල න්‍යග්‍රෝධමූලයෙහි වැඩ හිඳිනා වේලෙහි උන්වහන්සේට “සංස්කාරයන්ගේ සංසිඳීමට සකල උපධීන්ගේ බැහැර ලීමට තෘෂ්ණාවගේ ක්‍ෂයවීමට නො ද ඇලීමට සකල දුඃඛස්කන්‍ධයන්ගේ නිරෝධයට කරුණු වූ නිවන දැකීම අතිදුෂ්කරය තර්‍කබුද්ධියෙන් නො කට හැකිය, ඉතා සියුම් ය, නිවියේ ය, ප්‍රණීතය” යනු වැටහුනේ ද සාමාන්‍යයන්ට මෙය අවබෝධ නො කට හැකි බැවින් ම ය.

එහෙත්, නිවන් තතු දැනීම මෙබන්දන් විසින් නො කට හැකි වුව ද එදා නානාවිධ ධර්‍මශාස්ත්‍ර විද්‍යාවන්හි පරිණතියට ගිය විවිධදාර්‍ශනිකයන් විසින් නිවනෙහි ලා කරණ ලද විවිධ විචාරයෝ ඔවුන්ගේ පොතපතෙහි දක්නට ලැබෙත්. එයින් කිහිපයක් මෙසේ දතයුතු ය:- පළමු කොට දිශාවෝ හට ගත්හ. එයින් පසු අහස පොළව ආදී සජීවාජීවනිකායයෝ පහළ වූහ. නැසෙන කල්හි මොවුහු හැම කෙනෙක් දිශාවන්හි ම ලීන වෙත්. දිශා නිත්‍ය ය. නිවන සිටියේ දිශා කරුණු කොට ගෙණ ය.

චිදචිල්ලෝකය බඹහුගෙන් උපන, බඹහු විසින් මැවූ පශුන් නසා ඔහුට දෙන්නේ බඹලොව උපදි ඒ නිවන ය. නිවන බ්‍රහ්ම හේතු කොට පවති.

විවිධ හේතුන්ගේ නිර්විකල්පය නො දැක්ම නිවන යි.

ඊශාන, සකල වස්තූන්හි පැතිර සිටියේ ය. ප්‍රභු ය. දැක නො හැකි ය. මූර්තිමත් නො වේ. චේතනාචේතනාත්මකභාවයන් ඉපදවීමෙහි පොහොසත් ය. මේ දැනීම නිවන යි.

සුළඟ ඇසුරු කොට සජීවාජීව සකලපදාර්‍ත්‍ථයන්ගේ ඉපැත්ම - පැවැත්ම - නැසීම සිදු වෙත්. ඒ මේ සුළඟ මොවුන්ගේ ශක්තිය යි. ඥානය නිවන් පිණිස ය. සුළඟ නිත්‍ය ය. නිවන මූලක ය.

සිරුරෙහි සිඳීමෙන් හා සැප පින් ගෙවී යෑමෙන් නිවන ලැබේ. සිරුරෙහි සිඳීම හා සැප පින් ගෙවී යෑම නිවන යි.

ස්වභාවධර්‍ම මෝරා යෑමෙන් මිනිසත් බව ලැබීම නිවන යි. කාරණය ස්ත්‍රීහු ය.

පින් පව් ගෙවීම්මාත්‍රය නිවන යි.

ප්‍රකෘතිය නිත්‍ය යි. සියලු භූතයන්ගේ මුල කාරණ ය යි. සත්‍යමාර්‍ගවබෝධයෙන් නිවන ලැබේ.

සියලු භූතයන්ගේ උත්පත්තිස්ථානය අන්තරීක්ෂය යි. සියලු ජීවපදාර්‍ත්‍ථයෝ අන්තරීක්ෂයෙහි ම ලයට පැමිණෙත්.

ඊශ්වර, ජගතකර්‍තෘ, යි දැනීම නිවන යි.

සියල්ලට හේතුභාවයෙන් ස්ත්‍රී පුරුෂයන්ගේ සංයෝගය නිවන යි.

මහෙශ්වර, සියල්ල උපදවන්නේ ය. හේ නිත්‍ය ය. ඔහු ගැණ දැනීම නිවන මුල් කොට සිටියේ ය. මහේශ්වර ජගත්කර්‍තෘ ය. ඔහුගේ හා ඔහු විසින් මවන ලදහුගේ එකීභාවය ලැබීම නිවන යි.

චරාචර ලෝකය ප්‍රකෘතියෙන් උපනැ යි දැනීමෙන් නිවන ලැබේ.

මේ ආදී විසින් ගත් නිර්‍මාණයන්ට බුදු දහමින් පිහිටෙක් නො ලැබේ. මෙයින් අන්‍ය වූ නිවන් ද ඔවුන්ගේ පොත පතෙහි ඇත්තේ ය. එයින් අර්‍ත්‍ථයෙක් වේ නම් ඒ හා මේ හා බලා විමසා ගත යුතු ය. එහෙත් ඒ විමසීම් විඝාතයට කරුණු විය හැක්කේ ය. මේ මෙහි දක්වන ලද්දේ මෙහිලා උන්ගේ හා අපගේ විවිධත්වය දක්වනු පිණිස ය.

මෙකල ඇතැම් බෞද්ධ ධර්‍මධරයෝ ද ‘නිබ්බාන’ යනු භාව සාධනයෙහි සිද්ධපදයක් කොට ගන්නට කියත්. නො ගතයුතු ය. බුද්ධ ධර්‍මයට විරුද්ධ ය. එසේ ගත් කල්හි රාගාදීන්ගේ ක්ෂයභාවයට අරමුණක් නො ලැබෙන්නේ ය. ධර්‍මයට අනුව රාගාදීන්ගේ ක්‍ෂයභාවයට අරමුණ වන්නේ නිවන ය. එහෙයින් ‘නිබ්බාන’ යනු කරණසාධනයෙහි සිද්ධපදයක් සේ ගතයුතු ය. ධර්‍මයට අවිරුද්ධ වනුයේ ඒ ය. එහිලා කරුණු යට කියන ලද්දේ ය.

නිර්‍වාණ වෙවචන අතුරෙහි එන මෝක්‍ෂ ශබ්දය ද විවිධදාර්‍ශනිකයන් අතින් තැළී පෙළී ගියේ ය. මෝක්ෂ-මුක්ති ශබ්ද දෙක බුදුරජානන් වහන්සේ ලෝ පහළ වන්නට පෙර සිටම දාර්‍ශනික සමාජය ඉදිරියෙහි ගමන් ගෙණ සිටියේ ය. එහි දී ඒ ඒ දාර්‍ශනිකයෝ මෝක්ෂ ශබ්දය අල්වා ගෙණ “මෝක්‍ෂ නම් මේ ය” යි තමන් දන්නා ලෙසින් විවරණය කළහ.

ඔවුනතුරෙහි චාර්‍වාකයෝ ‘ දෙහමුක්තිය’ මෝක්‍ෂ ය යි කීහ. බුදුරජානන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු නැගුනු මහායානිකැ යි සම්මත බෞද්ධයෝ ශුන්‍යවාදී - විඥානමාත්‍රාසතිත්‍වවාදී - බාහ්‍යාසත්තානුමෙයපදාර්‍ත්‍ථවාදී - බාහ්‍යසත්තාප්‍රත්‍යක්‍ෂවාදී යි කොටස් සතරකට බෙදී සිටියහ.

එහි ශුන්‍යවාදිහු ‘ සර්‍වශුන්‍යතාවය’ මෝක්‍ෂය යි ද, සෙසු තිදෙන ‘ආලයවිඥානස්වරූප වූ විඥානය’ මෝක්ෂය යි ද කියත්.

ජෛනයෝ ‘බොහෝ කල් සිට රැස් කළ පාපයෙහි ගැලී ගිය ජීවය සියල්ලන් මතුයෙහි සම ව සිටීම’ මෝක්ෂය යි ද,

නෛය්‍යායිකයෝ ‘ශරීරාතිරික්තආත්මඥානය ම තත්ත්‍වඥානය වේ. එය ලැබීමෙහි භ්‍රමරූප වූ දේහාත්මඥානයාගේ නැසීම වේ. මේ නැසීමෙහි දී වන සියලු සසර දුක් නැසී යෑම’ මෝක්‍ෂය යි ද,

සාඞ්ඛ්‍යයෝ ‘ප්‍රකෘතියෙන් පුරුෂයාගේ වියෝගය’ මෝක්‍ෂ ය යි ද,

අද්වෛතවාදීහු ‘ප්‍රත්‍යක්‍ෂාසිද්ධ වූ ලෝකය බ්‍රහ්මන් කෙරෙහි නැගී සිටියේ ය. බ්‍රහ්මරූප වූ ඥානයෙන් ලෝකය වස්තුවක් සේ වැටහෙන්නේ ය. ප්‍රකෘතිජීව යන මොවුන් කෙළවර බ්‍රහ්ම කෙරෙහි නැගී සිටීම’ මෝක්‍ෂ ය යි ද කියත්.

මෝක්‍ෂ ය මේ ය, යි කළ මේ විවෘති එකෙකුත් ප්‍රත්‍යක්‍ෂ සිද්ධීන්හි පිහිටා කරණ ලද්දේ නො වේ. අනුමිත ම වේ. අනුමානඥානයෙන් ගන්නා ලද මේ එක ද විවෘතියෙකුත් රාගද්වේෂමෝහක්ෂය සඞ්ඛ්‍යාතනිර්‍වාණය කෙරෙහි යථාර්‍ත්‍ථ විසින් තත්වාර්‍ත්‍ථ විසින් නැගී නො සිටියි. එහෙයින් හළයුතු ය. නිර්‍වාණයෙහි ලා නො ද ගත යුතුය.

මෝක්‍ෂ ශබ්දය ථෙරවාදීන් ගන්නා නිවනෙහි ද වැටෙන බැවින් බෞද්ධාචාර්‍ය්‍යයෝ බුද්ධවචන පදනම් කොට මෝක්‍ෂ ශබ්දයෙහි නිරුක්ත්‍යර්‍ත්‍ථය “මුච්චන්ති එත්‍ථ එතෙන වා රාගාදීහිති = මොක්ඛො” යි සමර්‍ත්‍ථනය කළහ. යම් සන්සිඳීමෙක්හි හෝ යම් සන්සිඳීමක් අරමුණු කිරීමෙන් හෝ රාගද්වේෂාදී ක්ලේශයන්ගෙන් මිදෙත් ද, ඒ මිදීමට කරුණු වූ ශාන්තධර්‍මය මෝක්‍ෂය යනු එහි අරුත් ය. මෙයට අනුගත වූ පරකීය අර්‍ත්‍ථසමර්‍ත්‍ථනයෙක් ද මෙහි ලා එන්නේ ය. ඒ නම් “මොක්ෂ්‍යතෙ දුඃඛමනෙනෙති = මොක්‍ෂඃ” යනු ය.

“න මොක්‍ෂා නභසඃ පෘෂ්ටේ න පාතාලෙ න භූතලෙ,

සර්‍වාශාසංක්‍ෂයෙ චෙතඃ ක්‍ෂයො මොක්‍ෂ ඉති සමෘතඃ”

යනු ද එහි කීහ මෝක්‍ෂය අහසෙහි හෝ පාතාලයෙහි හෝ පෘථිවීතලයෙහි හෝ නැත. සියලු ආශාවන් ක්‍ෂය කිරීමෙහිලා මෝක්ෂය දන්නා ලද්දේ ය, යනු අරුත් ය.

අරියං චට්ඨඞ්ගිකං මග්ගං දුක්ඛූපසමගාමිනං = දුක්ඛ නිරෝධයට පමුණුවන ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය ද.

දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය ආර්‍ය්‍යසත්‍ය අතුරෙහි සිවු වැන්න ය. එය මෙසේ වදාළ සේක:- “කතමං ච භික්ඛවෙ! දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසචචං? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්‍යථිදං; සම්මාදිටඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා, සම්මාකම්මන්තො සම්මාආජීවො සමාවායාමො සම්මාසති සම්මාසමාධි, ඉදං වුච්චති භික්ඛවෙ! දුක්ඛනිරොධ ගාමිනීපටිපදා අරියසචචං” යි.

මහණෙනි! දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යයසත්‍යය කවරේ ද? යත්: සම්‍යග්දෘෂ්ටි - සම්‍යක්සඞ්කල්ප - සම්‍යග්වචන - සම්‍යක්කර්‍මාන්ත - සම්‍යගාජීව - ‍සම්‍යග්ව්‍යායාම - සම්‍යක්සමෘති - සම්‍යක්සමාධි යන මේ ආර්‍ය්‍ය අෂ්ටාංගිකමාර්‍ගය දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය්‍ය කියනු ලැබේ, යනු ඒ දේශනායෙහි කෙටි අරුත් ය.

සියලු සසර දුක් නැවැත කිසිදාක නො උපදනා බවට පමුණුවන දුකැයි බුදුරජුන් වදාළ පංචවිධ උපාදානස්කන්‍ධ ලෝකයෙන් එතර කරණ කිසිත් ආශ්‍රවධර්‍මයක් හා නො හැනුනු ලෝකොත්තර වූ සම්මාදිට්ඨි ආදී වූ ධර්‍මචක්‍රය, ස්‍රෝතාපත්ති ආදී චතුර්විධ ලෝකෝත්තරමාර්‍ගචිත්තයන්හි යෙදෙන ප්‍රඥා - විතර්‍ක - විරති - විර්‍ය්‍ය - ස්මෘති - එකාග්‍රතා යන චෛතසික අතුරෙහි විරති චෛතසිකය සම්‍යග්වචන - සම්‍යකර්‍මාන්ත - සම්‍යගාජීවය යි තුණකට බෙදෙන විරති තුණත් සමග වූ ප්‍රඥාදී චෛතසික සය ආර්‍ය්‍ය අෂ්ඨාඞ්ගික මාර්‍ග ය යි දත යුත්තේ ය. සියලු දුක් අනුත්පාදනිරෝධයට පමුණුවන හෙවත් දුඃඛනිරෝධ නම් වූ නිවනට පමුණු වන පිළිවෙත බැවින් මෙය දුක්ඛනිරෝධගාමිනීපටිපදා නම් වී ය.

දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යසඞ්ඛ්‍යාත අෂ්ටාංගිකමාර්‍ගය බුදුසසුනෙහි ම මුත් අන් කිසිදු සසුනෙක නො ලැබෙන බව “ඉමස්මිං ඛො සුභද්ද! ධම්මවිනයෙ අරියො අට්ඨංගිකො මග්ගො උපලතිබ්භති” යි මෙසේ වදාළ සේක. එහෙයින් මේ මිනිස් ලොව බුදුරජුන් පරම පිහිට කොට ගත් බෞද්ධයා ම ප්‍රතිෂ්ඨා සහිත ය. විමුක්තිරස විඳිය යුත්තේ ය.

ලෝකෝත්තර මාර්‍ග ය යි කියා මෙහි ඇතුළත් අඞ්ග අටෙහි සම්මාදිට්ඨි නම් යහපත් දැකීම ය, සම්මාසඞ්කප්ප නම් යහපත් කල්පනා ය, යන ඈ ලෙසින් මතු පිටින් අක්‍ෂරමාත්‍රවිසින් එල්බ ගෙණ අරුත් ගැණීම මේ හා විරුද්ධ ය. එසේ ගන්නා ඒ යහපත් දැකීම් කල්පනා කිරීම් ආදිය පූර්‍වභාග ප්‍රතිපදා වශයෙනුදු නො ගැණේ. ඒ අරුත් ඇත්තන් ආර්‍ය්‍යමාර්‍ගයට අංග නො වන බැවිනි. ඒ අරුත්හිලා ගන්නා සම්මාදිට්ඨි ආදීහු කොතැනත් ලැබෙන සාමාන්‍යයෝ ය. පරසමයෙහි ද එව්හු වෙති.

දුඃඛනිරොධගාමිනී ප්‍රතිපදායෙහිලා ගැනෙන මේ අඞ්ග අට අතුරෙහි ප්‍රධාන වනුයේ සම්මාදිට්ඨි නම් වූ ප්‍රඥාචෛතසිකය යි. සම්මාසඞ්කප්පාදී වූ අනෙක් අඞ්ග සත දුක් නසාලීමෙහි එයට උපකාරක ව සිටියේ ය. මේ අඞ්ග අට සම්පූර්‍ණ විසින් ලැබෙනුයේ ස්‍රෝතාපත්ති ආදී වූ මගසිත් සතරෙහි ය. ඒ සිත් සතර ලෝකෝත්තරය. මගසිත් යි ගැණුනේ ද මෙවුන් එහි යෙදී ගන්නා බැවිනි. යෙදෙන විට ද නිවන් අරමුණු කොට එකක්‍ෂණයෙහි ම යෙදෙන්නේ ය. පෘථග්ජනචිත්තයෙහි එසේ එක්වට ම මොවුන්ගේ යෙදිමෙක් නැත්තේ ය. එහි අඩුවැඩිවෙමින් මෙතෙකැයි නියමයක් නැති ව නානාක්ෂණික ව යෙදෙත්. එසේ එහි විටින් විට පහළ වන මොවුනට කෙලෙස් නැසීමෙහි ශක්තියෙක් නැත. එහෙයින් විටින් විට පළවන මෙ කියු අඞ්ගයෝ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදායෙහි ඇතුළත් නො වෙත්. මේ අඞ්ග අට කෙලෙස් නැසීමෙහි ශක්තිමත් ව එක්වට ම එක් ම සිතෙහි යෙදේ නම්, එකල්හි දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යයෙහි ඇතුළත් වේ. කෙලෙස් නැසීමෙහි ශක්තිමත් ව එක්වට ම එක් ම සිතෙහි යෙදෙන්නෝ ය ලෝකෝත්තරභාවයට ගියෝ. මෙසේ මොවුන් එක්වට එක් ම සිතෙහි ලෝකෝත්තර විසින් යොදා ගැණීමෙහි සමර්‍ත්‍ථ වනුවෝ මොවුන් පුහුදුන් කාලයෙහි වෙන් වෙන් වශයෙන් සිත්හිලා වැඩු නුවණැත්තෝ ම ය.

සම්මාදිට්ඨි ආදී වූ මේ ධර්‍මචක්‍රය සෝතාපත්ති ආදී වූ සිවු වැදෑරුම් අවධීන්ගේ වශයෙන් කෙලෙසුන්ගෙන් දුරුව සිටි බැවින් හා ආර්‍ය්‍යභාවය සාදා දෙන උපාය බැවින් හා චතුර්විධ ආර්‍ය්‍යඵලය සිදු කරණ බැවින් හා ආර්‍ය්‍ය නම් වන අතර නිවන් කැමැත්තෙන් විසින් සෙවිය යුතු බැවින් හා නිවන් අරමුණු කොට එය සොයා යන බැවින් හා කෙලෙසුන් නසා ලමින් නිවන් අරමුණු කොට පවත්නා බැවින් හා මාර්‍ග ද නම් වේ.

ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ග යන මෙයින් ස්‍රෝතාපත්ති ආදිචතුර්විධ ආර්‍ය්‍යමාර්‍ගය ම ගන්නා ලද්දේ ය. “ස්වායං චත්තාරොපි ලොකුත්තරෙ මග්ගෙ එකතො කත්‍වා කථිතො අට්ඨඞ්ඟිකොමග්ගොති” යන ආචාර්‍ය්‍ය වචනයෙන් එවග පැහැදිලි ය. එහි ප්‍රථම ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ග ය සෝතාපත්තිමග්ග ය යි. එයින් කෙරෙනුයේ සක්කායදිට්ඨි - විචිකිච්ඡා - සීලබ්බතපරාමාස සංයෝජනයන් නැසීම හා ඉතිරි සංයෝජනයන්ගේ අපායෝත්පත්තිදායක බලවේගය නසාලීම ය.

ද්විතීය ආර්‍ය්‍යඅඞ්ෂ්ටාඞ්ගික මාර්‍ගය සකදාගාමිමග්ග ය යි. එය කාමරාග - ව්‍යාපාදයන්ගේ බලවත් බව නසා ඔවුන් දුබල බවට තුනීබවට පමුණුවාලන්නේය. තෘතීය ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය අනාගාමීග්ගය යි. එය එසේ බලවත්බව නැසී යෑමෙන් දුබලබවට ගිය කාමරාග - ව්‍යපාදයන් මුළුමනින් නසාලන්නේය. තුරීය අෂ්ටාඞ්ගිකමාර්‍ගය අරහත්තමග්ග ය යි. එය රූපරාග - අරූප - රාග - මාන - උද්ධච්ච - අවිජ්ජා සංයෝජනයන් මුල් නො තබා ම අනුශයන් සහිත ව සිඳලන්නේ ය. අවස්ථා විසින් අෂ්ටාඞ්ගික මාර්‍ගය මෙසේ සතරක් ව බෙදී ගියේ ද, මේ වනාහි එක් ම අෂ්ටාඞ්ගික මාර්‍ග ය යි දත යුතු ය. සෝතාපත්ති ආදී අවස්ථා සතරෙහි ද වෙන් වෙන් වූ පරිකර්‍මභාවනා වශයෙන් ලැබෙන අෂ්ටාංගික මාර්‍ගය සතරවරෙක සතර විථියෙක ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන්ගේ අව්‍යක්තතා - ව්‍යක්තතා - ව්‍යක්තතරතා - ව්‍යක්තතමතා යන එකිනෙකට වැඩියෙන් වැඩී ගිය විශේෂ ගුණ ඇසුරු කොට උපදනේ ය. ඒ මුත් අෂ්ටාඞ්ගිකමාර්‍ග සතරෙකැ යි නො ගත යුතු ය. අෂ්ටාඞ්ගික මාර්‍ගය සකෘදාගාමීත්‍රිකයෙහිලා ගණිත් ම ස්‍රෝතාපත්ති අවස්ථායෙහි අව්‍යක්ත ය. සකෘදාගාමී අවස්ථායෙහි ව්‍යක්ත ය. අනාගාමී අවස්ථායෙහි ව්‍යක්තතර ය. අර්‍හත්ව අවස්ථායෙහි ව්‍යක්තතම ය. සම්මාදිට්ඨි ආදී වූ ධර්‍මචක්‍රය පෙරපසුත් අඩුවැඩිත් නො ව එක්වට ම ප්‍රථම ලෝකෝත්තර චිත්තයෙහි උපදනා විට සෝතාපත්තිමග්ගය යි ද දෙවන වූ ලෝකෝත්තරචිත්තයෙහි උපදනා විට සකදාගාමීමග්ගය යි ද තෙවන වූ ලෝකෝත්තර චිත්තයෙහි උපදනා විට අනාගාමීමග්ගය යි ද සිවුවන වූ ලෝකෝත්තර චිත්තයෙහි උපදනා විට අරහත්තමග්ගය යි ද කියනු ලැබේ. මෙය මෙසේ ලෝකෝත්තර සිත්හි යෙදුනේ ද ක්‍රමයෙන් අව්‍යක්තතාදිගුණ විසින් වැඩුනු පැහැනු අෂ්ටාඞ්ගිකමාර්‍ග ය යි දතයුතු ය.

ඒ මේ අෂ්ටාඞ්ගිකමාර්‍ග ය “චත්තාරො පන මග්ගුප්පාදා එකචිත්තක්ඛණිකා” යනු ආගම බැවින් එකෙකුගේ සිත්හි යට කියූ අවස්ථා විසින් සතරවරක් ම මුත් ඉන් වැඩි එක්වරකුදු කිසිලෙසකිනුත් නො උපදනේ ය. එසේ වන්නේ ඉන් වැඩියක් ඉපදීමෙන් කළයුතු කාර්‍ය්‍යයක් නැති බැවිනි. සෝවන් ඈ ඒ ඒ මගින් නැසිය යුතු වූ කෙලෙස් නැවැත නො උපදනා ලෙසින් අවධි විසින් මුළුමනින් නැසී යන බැන් සත්ත්‍වයාගේ සසරෙහි ඉපැත්ම ද එයින් අවසන් වන්නේ ය. මෙසේ අවස්ථා සතරෙක උපදනා ආර්‍ය්‍යමාර්‍ගයෙන් අවධි විසින් භවයන්ගේ ඉදිරියෙහි නො පැවැත්මත් කෙලෙසුන්ගේ අනුත්පාදනිරෝධයත් වන්නේ ය. එසේ නැසුන භවයෙහි පැවැත්ම හා, නැවැත කෙලෙස් නො උපදනා බැවින් හා පුන පුනා අෂ්ටාඞ්ගිකමාර්‍ගයාගේ ඉපදීමෙන් වැඩෙක් නැත්තේ ය. එබැවින් මුලින් උපන් සිතෙහි නැවැත නැවැතත් ඒ නො උපදියි. සෝවන් ඈ සිත් සතරෙහි අෂ්ටාඞ්ගිකමාර්‍ග ය සතරවරක් ම මුත් එක් සිතෙක දෙවරක් නම් නො උපදියි.

පුර්‍වභාගප්‍රතිපත්ති විසින් ලැබෙනුයේ ලෞකික වූ අටඟින් ම පිරිපුන් නො වූ මාර්‍ගය යි. එ ද නානාක්‍ෂණික ය. හෙවත් නන් ඇසිල්ලෙහි ලැබෙන්නේ ය. ලෝකෝත්තර මාර්‍ගයට සම්භාර ව සිටියේ ය. පූර්‍වභාගමාර්‍ග නාමයෙන් ගැණෙන්නේ ය. ලෞකික - ලෝකෝත්තර මිශ්‍රකනය විසින් ආයේ මාර්‍ග සත්‍යයෙහි ඇතුළත් වේ. එහෙයින් මාර්‍ගය ප්‍රධාන විසින් ලෝකෝත්තර වේ. අප්‍රධාන විසින් ලෞකික වේ. ලෞකිකය අඞ්ග විසින් සම්පූර්‍ණ නො වේ. නානාක්‍ෂණයෙහි උපදන්නේ ය. පූර්‍වභාගප්‍රතිපත්ති විසින් ගැණෙන මෙහි විරති තුණ එක් ව නො යෙදේ. ලෝකෝත්තරයෙහි අඞ්ග අට ම එක් ම සිත්හි නිවන අරමුණු කොට යෙදෙයි. මේ යෙදීම උත්කෘෂ්ට විසිනි. ප්‍රථමද්ධ්‍යාන ස්‍රෝතාපත්තිමාර්‍ග චිත්තය ප්‍රථමද්ධ්‍යාන සකෘදාගගමාර්‍ග චිත්තය ප්‍රථමද්ධ්‍යාන අනාගාමීමාර්‍ග චිත්තය ප්‍රථමද්ධ්‍යාන අර්‍හන්මාර්‍ග චිත්තය යන ලෝකෝත්තර කුශලචිත්තයන්හි උපදනා මාර්‍ගය බලා ලෝකෝත්තරමාර්‍ගය අටඟින් යුක්තය යි වදාළ සේක.

ද්විතීයද්ධ්‍යාන ස්‍රෝතාපත්තිමාර්‍ග චිත්තය යනාදී වූ සෙසු ධ්‍යානයන්ගේ වශයෙන් උපදනා මාර්‍ගචිත්තය විතර්‍කය නො යෙදෙන බැවින් සම්මාසඞ්කප්ප නම් වූ මාර්‍ගාඞ්ගය ඒ සිත්හි නො ලැබෙන්නේ ය. එහෙයින් ඒ ලෝකෝත්තර මාර්‍ග සිත්, සතඟින් යුක්ත ව ලැබේ. මේ වනාහි ඕමක වශයෙනි. සෙස්ස මේ නයින් සලකා ගත යුතු ය. පඤ්චඞ්ගියාදීන්ගේ වශයෙන් ලැබෙනුයේ ලෞකික වූ පුර්‍වභාගප්‍රතිපත්ති මාර්‍ගය යි. මෙය විදර්‍ශනා වීථින්ගේ වශයෙන් නොයෙක් වර නානාවිධ සංස්කාරයන් අරමුණු කොට එක චිත්තක්ෂණික ව උපදියි. අනෙක් බෝධිපාක්‍ෂිකධර්‍මයන් හා යෙදී මිශ්‍රව ලැබෙන බැවින් මිශ්‍රකමාර්‍ග ය යි ද කියනු ලැබේ.

සම්මාදිට්ඨි නම් :- චතුස්සත්‍යධර්‍මයන් ප්‍රතිවේධ කරණු පිණිස විවට්ටපාදක ෂට්විශුද්ධිසඞ්ඛ්‍යාත පූර්‍වභාගප්‍රතිපදා පිරීම් වශයෙන් පිළිපන්නා වූ යෝගාවචරයාගේ නිවන් අරමුණු කොට සිටි, අවිද්‍යානුශය මුළුමනින් සිඳලන බැවින් විද්‍යා නම් වූ ප්‍රඥාචෛතසිකය යි. එය අවිපරිත දැ‍කීම ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය සිවුසස් දහම් පැවසී ම ය. වැටහෙන අයුර අවිදඳුරු නැසීම ය. “චතුසච්චපටිවෙධාය පටිපන්නස්ස යොගිනො නිබ්බානාරම්මණං අවිජ්ජානුසයසමුග්ඝාතකං පඤ්ඤාචක්ඛු, තං සම්මාදස්සනලක්ඛණං, අත්ථප්පකාසනරසං, අවිජ්ජන්‍ධකාරවිද්ධංසනපච්චු පට්ඨානං” යනු එහිලා කීහ.

සිවුසස්දහම් ඇති සැටියෙන් අවිපරීත කොට දක්නා චතුර්විධ මාර්‍ගචිත්තයෙහි යෙදුනු ප්‍රඥාචෛතසිකය සම්‍යග්දෘෂ්ටිය යි මෙයින් කියන ලද්දේ ය. කියන ලද්දේ ද උත්කෘෂ්ට විසින්ම ය.

“සම්මා අවිපරීතතො පස්සතීති = සම්මාදිට්ඨි, සම්මා වා තාය පස්සන්තීති = සම්මා දිට්ඨි, සම්මා දස්සනං = සම්මා දිට්ඨි, පසත්‍ථා සුන්දරාවාදිට්ඨි = සම්මාදිට්ඨි, යථාව දිට්ඨි = සම්මා දිට්ඨි, නීය්‍යානිකා කුසලදිට්ඨි = සම්මා දිට්ඨි” යනු එහි ශබ්දාර්‍ත්‍ථ දැක්වීම ය.

සම්මාදිට්ඨිය, ලෞකික ලෝකෝත්තර විසින් දෙ පරිදි ය. “දුවිධා හොති සම්මා දිට්ඨි ලොකියලොකුත්තරා චෙති” මෙසේ දළ විසින් දෙ පරිද්දෙකින් බෙදුනු සම්‍යග්දෘෂ්ටිය නැවැත කම්මස්සකතා සම්මාදිට්ඨි - ඣාන සම්මා දිට්ඨි - විපස්සනා සම්මාදිට්ඨි - මග්ග සම්මාදිට්ඨි - ඵලසමාදිට්ඨි යි පස් අයුරකින් ද, නැවැත කම්මස්සකතා සම්මාදිට්ඨි - නාමරූපපරිග්ගහ සම්මාදිට්ඨි - හෙතුපච්චයපරිග්ගහ සම්මාදිට්ඨි - විපස්සනාඤාණදස්සන සම්මාදිට්ඨි - ලොකුත්තරමග්ගඵල සම්මාදිට්ඨි යි පස් අයුරකින් දැ යි පස් පස් අයුරකින් බෙදා දක්වන ලදී ය. මේ පංචක දෙක්හි ම කම්මස්සකතාසම්මාදිට්ඨි යි ආවා එක් ම සම්මාදිට්ඨිය යි. එහිලා කියයුතු වෙනස් බවෙක් නැත්තේ ය. එහි ප්‍රථමපංචකයෙහි ආ මග්ගසම්මාදිට්ඨි - ඵලසම්මාදිට්ඨි දෙක හා ද්විතීයපංචකයෙහි ආ ලොකුත්තරමග්ගඵල සම්මාදිට්ඨිය යන තුණ එක් ම ලෝකෝත්තරසම්‍යදෘෂ්ටිය යි දත යුතු ය. මෙහිලා දතයුතු කරුණු අතින් මේ ත්‍රිකයෙහි ද නානාත්වයෙක් නැත්තේ ය. ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගයෙහි ද අඞ්ගත්වයෙන් ආවා මෝ තොමෝ ය. ආර්‍ය්‍ය යනු එක් වූයේ ද මෙ බැවිනි. මේ ධර්‍ම කථායෙහි ද කිය යුත්තී මෝ ය. එහෙත් ප්‍රාස්තාවික විසින් හා මෙයට ප්‍රත්‍යය භාවයෙන් සිටුනා බැවින් හා කම්මස්සකතාදී ලෝකීය සම්මාදිට්ඨින් පිළිබඳ අතිසංක්‍ෂිප්ත ධර්‍මකථාමාත්‍රයෙක් ආ යුත්තේ ම ය. මෙයට ප්‍රත්‍යයභාවයෙන් සිටුනා බැවිනැ යි කීයේ ලොකීය වූ කර්‍මස්වකතාදී සම්‍යග්දෘෂ්ටීන්ගෙන් සම්‍යග්දෘෂ්ටික නො වූයේ ලෝකෝත්තර සම්‍යදෘෂ්ටියෙන් සම්‍යදෘෂ්ටික වන්නේ ය යනු නො වන බැවිනි. ලෞකිකසම්‍යග්දෘෂ්ටීන් ගැන කරුණු කෙටියෙන් වුව ද දැක්විය යුත්තේ දත යුත්තේත් එහෙයිනි. සසර දුක් ගෙවා නිවන් ලබන්නට කැමැත්තන් විසින් පළමු කොට කර්‍මස්වකතාදී සම්‍යදෘෂ්ටීන්හි පිහිටා ගත යුතු ය. බෞද්ධ උපාසක වනුයේ ද එහි පිහිටා ගත් පසු ය. තිසරණයෙහි පිහිටා ගැණීමෙන් කරණුයේ ද ඒ ය. එය. නිවන් පිණිස තබනා පළමු පියවර වන්නේ ය. ලෞකිකසම්‍යග්දෘෂ්ටිඥානය ලෝකෝත්තර සම්‍යග්දෘෂ්ටිඥානයට අත දී සිටියේ ය. ලෞකිකසම්‍යග්දෘෂ්ටිය පූර්‍වභාගසඞ්ඛ්‍යාත ෂට්විශුද්ධි කාලයෙහි හා ලෝකෝත්තර සම්‍යග්දෘෂ්ටිය ඥානදර්‍ශන විශුද්ධි කාලයෙහි ලැබෙන්නී ය.

එහි, කම්මස්සකතාසම්මාදිට්ඨි නම්:- සත්ත්‍වජීවිතය හා සත්ත්‍වජීවිතයෙහි ලැබෙන නොයෙක් උස් පහත් කම් සැප දුක් ඈ පෙරැළි, ඒ ඒ සත්ත්‍වයන් විසින් කරණ ලද අතීතකර්‍මයන්ගේ හා වර්‍තමානකර්‍මයන්ගේ අනුභාවයෙන් සිදුවන බව දැකීම ය. “කම්මස්සකා මාණව! සත්තා කම්මදායාදා කම්මයොනි කම්මබන්‍ධු කම්මපටිසරණා, කම්මං සත්තෙ විභජති යදිදං ‍හීනප්පණීතතායාති” යනු දේශනා ය.

එකවොකාර - චතුවොකාර - පංචවොකාර භව වශයෙන් බෙදී ගිය සත්ත්‍වලෝකයෙහි හැම සත්ත්‍ව කෙනෙක් තමන් තමන් කළ කුශලාකුශලකර්‍ම ස්වසන්තකධනය කොට සිටියෝ කප් සිය දහස් ගණන් ජාතීන්හි එයට අනුව තෘෂ්ණාසාහාය්‍යයෙන් උපත ලබා උස්පහත්කම් සැපදුක් ලබමින් විඳිමින් ගමන් ගෙන සිටිත්. කුශලාකුශලකර්‍ම, සෙවනැල්ල මෙන් කර්‍ම කළවුන් ලුහු බැඳ යන්නේ ය. මෙසේ කර්‍මය ස්වධනය කොට සිටියෝ කම්මස්සකයෝ ය. කර්‍මයෙන් උපදනා විපාක ඵලයට හිමිවුවෝ කර්‍ම කළෝම ය. යම් කෙනෙක් කුශලාකුශලකර්‍ම කළේ නම් ඔවුහු ජාතියක් ජාතියක් පාසා කර්‍ම ඵල නැමැති දායාදයට හිමි ව සිටියෝ ය. ඔවුහු කර්‍මදායාදයෝ ය. උස් පහත් කම්වලට සැප දුක්වලට හේතු ව යෝනි යි කියනු ලැබේ. ඒ මේ කුශලාකුශලකර්‍ම යෝනි කොට උපාය කොට සිටියෝ කම්මයොනීහු ය. කුශලාකුශලකර්‍ම නෑ හිතවතුන් කොට සිටියෝ කම්මබන්‍ධූහු ය. කුශලාකුශලකර්‍ම පිළිසරණ කොට සිටියෝ කම්මපටිසරණයෝ ය. තව ද මෙකල මිනිසුන් විසින් කරණු ලබන සීසෑම් වෙළඳාම් ගෙරිරැකීම් ආදී සත්කර්‍ම හා හොරකම් මිස හැසුරුම් බේබදුකම් ආදී අසත්කර්‍ම දිවි පැවැතුම් පිණිස ධනය කොට සිටියවුන් ද, ඒ සත් අසත්කර්‍ම දායාද කොට සිටියවුන් ද, ඒ ම උපාය කොට සිටියවුන් ද, ඒ ම නෑ හිතවතුන් කොට සිටියවුන් ද, ඒම පිළිසරණ කොට සිටියවුන් ද මේ කම්මස්සකාදී පදයගෙන් හැඳින් විය හැකි ය. ඒ ඒ සත්ත්‍වයන් විසින් වරක් කළ කුශලාකුශලකර්‍ම කප් සියදහසක්හුගේ ගෙවී යෑමෙනුදු විපාක දිය හැකි බැවින් කර්‍ම රැස් කිරීමෙහිලා පරීක්‍ෂාකාරී විය යුතු ය. මේ කම්මස්සකතාසම්මාදිට්ඨය, සම්පත්ති භවය දෙන්නී ය.

දශවස්තුකසම්‍යක්දෘෂ්ටිය විසින් ගැණෙන සම්‍යග්දෘෂ්ඨිය ද මෙහි ම ඇතුළත් ය. “දසවත්‍ථුකා සම්මාදිට්ඨි කම්මස්සකතාසම්මාදිට්ඨියායෙව සඞ්ගහං ගච්ඡති” යනු ආචාර්‍ය්‍යවචන යි.

අත්‍ථි දින්නං = දෙන ලද්ද විපාක ඇත.

අත්‍ථි යිට්ඨං = පුදන ලද්ද විපාක ඇත.

අත්‍ථි හුතං = පඬුරු විසින් දෙන ලද්ද විපාක ඇත.

අත්‍ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො = කුශලාකුශල කර්‍මයන්ගේ ඵලවිපාක ඇත.

අත්‍ථි අයං ලොකො = මෙලොව ඇත.

අත්‍ථි පරො ලොකො = පරලොව ඇත.

අත්‍ථි මාතා = මව ඇත.

අත්‍ථි පිතා = පියා ඇත.

අත්‍ථි සත්තා ඔපපාතිකා = ඔපපාතික සත්ත්‍වයෝ ඇත.

අත්‍ථි ලොකෙ සමණබ්‍රාහමණ සම්මග්ගතා සම්මාපටිපන්නා, යෙ ඉමඤ්චලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ජීකත්‍ථවා පවෙදෙන්ති = මෙලොව පරලොව තුමූ විශිෂ්ටඥානයෙන් දැන පවසන නො ඇදව ගමන් ගත් මොනවට පිළිපන් මහණ බමුණෝ ඇතැ,

යි මෙසේ නුවණින් දැන පිළිගැණීම දශවස්තුකසම්‍යග්දෘෂ්ටිය යි කියනු ලැබේ. මෙහි පදරුත් පමණින් කියූ මෙහි විස්තරධර්‍මකථාව අන් බණපොත් බලා ධර්‍මධරයන් විචාරා දතයුතු ය.

ඣානසම්මාදිට්ඨි නම් :- ප්‍රථමධ්‍යනාදී රූපාවචර ධ්‍යාන චිත්තයෙහි හා ආකාසානඤ්චායතනාදී අරූපධ්‍යාන චිත්තයන්හි, යෙදුනු ප්‍රඥාචෛතසිකය යි. ධ්‍යානචිත්තවිභාගය යට කියන ලද්දේ ය. මෝ සම්‍යග්දෘෂ්ටිය රූපාරූපභවයන්හි පිළිසඳ දෙන්නී ය.

විපස්සනා සම්මාදිට්ඨි නම්:- බණදහම් උගෙන බණදහම් අනුව සිල්වත් ව ගිහි කම්කටුලෙන් මිදී කම් සැප හැර දමා සමාජයෙන් බැහැර ව විවේකස්ථානයකට වැද පඤ්චස්කන්‍ධය හා එහි නැගී සිටි අනිත්‍ය - දුඃඛ - අනාත්ම ලක්‍ෂණයන් පොතපතෙහි කියු ලෙසින් භාවනා කරන්නහුගේ විදර්‍ශනා චිත්තයෙහි යෙදී ගන්නා වූ ප්‍රඥා චෛතසිකය යි. මෝ සම්‍යග්දෘෂ්ටිය කවර භවයක හෝ පිළිසඳ නො දෙන්නී ය. මෝ වඩනා ලදී දිටුදැමියෙහි රහත්බව දෙන්නී ය. යම් ලෙසකින් එසේ රහත්බව නො දුන්නී නම්, ඉදිරි සත්ත්‍වභවයෙහි පිළිසඳ දෙන්නීය යනු ආචාර්‍ය්‍යවාද යි.

මෙහි ද්වීතීය පඤ්චකයෙහි දැක්වුනු නාමරූපපරිග්ගහ - හේතුපච්චයපරිග්ගහ - විපස්සනාඤාණදස්සන සමාදිට්ඨීහු, ප්‍රථමපඤ්චකයෙහි දැක් වූ එක් ම විපස්සනා සම්මාදිට්ඨියෙහි ඇතුළත් වෙත්. නාමරූපධර්‍ම, නාමරූපධර්‍මයන්ට අයත් සාමාන්‍ය විශේෂ ලක්‍ෂණත් සමග මැනැවින් බෙදා වෙන් කොට බලන්නහුගේ විදර්‍ශනා චිත්තයෙහි යෙදෙන ප්‍රඥාචෛතසිකය නාමරූපපරිග්‍රහ සම්‍යග්දෘෂ්ටි ය යි ද, නාමරූපධර්‍මයන්ගේ උපතට කරුණු වූ ප්‍රතීත්‍යසමුත්පාද ලක්ෂණ දැන වඩන්නහුගේ විදර්‍ශනාචිත්තයෙහි යෙදෙන ප්‍රඥාචෛතසිකය හේතුප්‍රත්‍යයපරිග්‍රහ සම්‍යග්දෘෂ්ටිය යි ද, නාමරූප ධර්‍මයන් පිළිබඳ අනිත්‍ය ලක්ෂණ නැවැත නැවැත වඩන්නහුගේ විදර්‍ශනාචිත්තයෙහි යෙදෙන ප්‍රඥා චෛතසිකය විදර්‍ශනාඥානදර්‍ශන සම්‍යග්දෘෂ්ටිය යි ද ඉතා සැකෙවින් දතයුතු ය. මග්ගසම්මාදිට්ඨි - ඵලසම්මාදිට්ඨි යි මුල්වාරයෙහි දෙකක් කොට ගත් ලෝකුත්තර සම්මාදිට්ඨිය දෙවන වාරයෙහි ලෝකුත්තරමග්ගඵලසම්මාදිට්ඨිය යි එකක් කොට ගත්හ. එහි ලෝකෝත්තර මාර්‍ගඥානය මග්ගසම්මාදිට්ඨිය යි. ලෝකෝත්තරඵලඥානය ඵලසම්මාදිට්ඨිය යි. ඒ දෙක, එකක් කොට ගත් කල්හි ලෝකුත්තරමග්ගඵලසම්මාදිට්ඨිය යි.

මෙහි ඉතා සැකෙවින් කියූ කර්‍මස්වකතා සම්‍යග්දෘෂ්ටිය හැර අන් එක ද සම්‍යග්දෘෂ්ටියෙක් බුද්ධෝත්පාදයක ම මුත් අන් කිසිදාකත් නො ලැඛෙන්නේ ය. මෙහි ධ්‍යාන සම්‍යග්දෘෂ්ටිය චිත්ත විශුද්ධියෙහි, නාමරූපරිග්ගසම්‍යග්දෘෂ්ටිය දෘෂ්ටිවිශුද්ධියෙහි, හේතුප්‍රත්‍යය පරිග්ගහ සම්‍යග්දෘෂ්ටිය කඞ්කාවිතරණ ශුද්ධියෙහි, විදර්‍ශනාඥානදර්‍ශනයසම්‍යග්දෘෂ්ටිය මාර්‍ගමාර්‍ගඥාන-ප්‍රතිපදාඥානදර්‍ශන විශුද්ධීන්හි ඇතුළත් ව සිටුනා බැවින් ඒ විශුද්ධින්හි යෝග කටයුත්තේ ය.

ලෝකෝත්තර වූ ආර්‍ය්‍යාෂ්ටාඞ්කගිමාර්‍ගයෙහි ප්‍රථමාඞ්ගය සම්‍යග්දෘෂ්ටිය යි. එය මෙසේ වදාළ සේක:

“කතමා ච භික්ඛවෙ! සම්මාදිට්ඨි? යං භික්ඛවෙ! දුක්ඛෙ ඤාණං, දුක්ඛසමුදයෙ ඤාණං, දුක්ඛනිරොධෙ ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං, අයං වුච්චති භික්ඛවෙ! සමාදිට්ඨි” යි.

මහණෙනි, සම්‍යග්දෘෂ්ටිය කවරේද? යත්: දුකෙහි යම් දැනීමෙක් වේ ද, දුක් හට ගැණීම් හේතුයෙහි යම් දැනීමක් වේ ද, දුක් සන්සිඳීමෙහි යම් දැනීමක් වේ ද, දුක් සන්සිඳීමට පමුණු වන පිළිවෙතෙහි යම් දැනීමෙක් වේ ද, මහණෙනි! මෙය සම්‍යග්දෂ්ටිය යි. කියනු ලැබේ, යනු එහි අරුත් ය. මෙයින් වදාළෝ දුඃඛසත්‍ය ඥානය - දුඃඛසමුදයසත්‍ය ඥානය - දුඃඛනිරෝධසත්‍ය ඥානය - දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාසත්‍ය ඥානය යන චතුර්විධ සත්‍යඥානය සම්‍යග්දෘෂ්ටිබව ය. ධර්‍මයන් පිළිබඳ ලෝකය පිළිබඳ ඇති සැටිය ඇති සැටියෙන් විපරීත නො කොට අවිපරීත ව දකින චතුර්විධ මාර්‍ගයෙහි යෙදුනු ප්‍රඥාචෛතසිකය සම්‍යග්දෘෂ්ටිය යි ඉතා කොටින් දත යුත්තේ ය.

එහි දුක්ඛෙ ඤාණ නම්,

“දුක්ඛං ආරබ්භ යා උප්පජ්ජති පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුප්පලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්‍ය චින්තා උපපරික්ඛා භූරි මෙධා පරිණායිකා විපස්සනා සම්පජඤ්ඤං අමොහො පඤ්ඤා පඤ්ඤින්‍ද්‍රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්‍ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකා පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහා ධම්මවිචයො සම්මා දිට්ඨි” යනු ආගම බැවින් දුඃඛසත්‍යය පිළිබඳ දතයුතු තාක් කරුණු ඇතිතාක් තොරතුරු දුක පිළිබඳ පෙළීම - පිළියෙලවීම - තැවීම - පෙරැළීම යන පීඩන - සඞ්ඛත - සන්තාප - විපරිණාම ස්වභාවයන් එකකුත් නො හැර විපරීත නො කොට නො වෙනස් කොට දැනීම හා පංචස්කන්‍ධය අනිත්‍යානුදර්‍ශනාදින්ගේ වශයෙන් පුන පුනා පෙරළ පෙරළා නග නගා එම වගවිභාග මැනැවින් දැනීම ය.

දුක ඇරැබ දුක අරමුණු කොට දුකෙහි තතු හැමතින් ප්‍රකට කිරීම් විසින් පහළ වන ප්‍රඥාචෛතසිකය දුඃඛඥානය යි කියන ලද්දේ ය. දුඃඛඥානය වඩාත් පැහැදිලි කරනු පිණිස එයට පර්‍ය්‍යාය විසින් යෙදු පදසමූහයෙන් දුඃඛඥානය වඩාත් පැහැදිලි වන්නේය.

එහි, දුක ප්‍රකර්‍ෂයෙන් අතිශයින් දැනීම පජානනා නම්. දුක පිළිබඳ අනිච්ඡාදිලක්ෂණ සොයා දැනීම විචය නම්. ඒම වඩ වඩාත් සොයා දැනීම පවිචය නම්. සිවුසස් දහම් සොයා බලා නුවණට හසුකර ගැණීම ධම්මවිචය නම්. දුකෙහි නැගී සිටි අනිත්‍යාදී ලක්ෂණ මැනැවින් ලක්ෂණ විසින් සැලකීම සල්ලක්ඛණා නම්. අනිත්‍යාදිලක්‍ෂණය ඇසුරු කොට දුකෙහි තතු දැඩිලෙස සලකා බැලීම උපලක්ඛණා නම්. අනිත්‍යාදිලක්ෂණ පුන පුනා සැලකීම පච්චුපලක්ඛණ නම්. ජවන - නිර්‍වෙධිකා ප්‍රඥාදීන්ගේ වශයෙන් දැනීම පණ්ඩිච්ච නම්. අනිත්‍යාදිලක්ෂණ විෂයයෙහි නුවණින් බැලීම කොසල්ල නම්. අනිත්‍යාදිලක්ෂණ නො අඩු ව දැනීම නෙපුඤ්ඤ නම්, අනිත්‍යාදිලක්ෂණ පංචස්කන්‍ධයෙහි නගා විභාවනය කිරීම වෙභව්‍යා නම්. අනිත්‍යාදිලක්ෂණ සිතට නගා ගැණීම, නැත, චින්තා ව යමක්හට උපදී නම් උන් ලවා තිලකුණු ගැන්වීම චින්තා නම්. විද්‍යාමාන වූ අනිත්‍යාදිලක්ෂණ කෙරෙහි ඇලීම, නැත, පොළොව සම ව පතළ නුවණින් අනිත්‍යාදීලක්ෂණ බැලීම භූරි නම් පංචස්කන්‍ධය නිසා උපදනා කෙලෙස් හිංසා කරන්නී මෙධා නම් අනිත්‍යාදිලක්ෂණ ප්‍රතිවේධයට නැඹුරු කරන්නී පරිණායිකා නම් අනිත්‍යාදිලක්ෂණ විවිධාකාරයෙන් දක්නී විපස්සනා නම්. අනිත්‍යාදිලක්ෂණ මැනැවින් දැනීම සම්පජඤ්ඤ නම්. අනිත්‍යාදිලක්ෂණ මැනැවින් දැන එහි මුළානොවීම අමොහ නම්. අනිත්‍යාදිලක්ෂණ නියම තතු විසින් දැනීම පඤ්ඤා නම්, එහිලා ආධිපත්‍යය දරන්නේ පඤ්ඤින්‍ද්‍රිය නම්. අවිද්‍යාව නිසා අනිත්‍යාදීන් කෙරෙහි නො සැලෙන්නේ පඤ්ඤාබල නම්. කෙලෙස් සිඳලීමෙහිලා ප්‍රඥාව ම ශස්ත්‍රයක් වැනි ව සිටියා පඤ්ඤාසත්‍ථ නම්. හැම කෙලෙස් බල ඔබා අතිශයින් නැගී සිටි බැවින් ප්‍රඥාව ම පහයක් වැනිව සිටියා පඤ්ඤාපාසාද නම්. අනිත්‍යාදීන් මැනැවින් මෙහි ආලෝකයක් වැනි ව සිටියා පඤ්ඤාආලොක නම්. එහි ම අවභාසයක් මෙන් සිටියා පඤ්ඤාඕභාස නම්. අනිත්‍යාදීන් විෂයයෙහි පහනක් මෙන් සිටියා පඤ්ඤාපජ්ජොත නම්. රතිජනනාර්‍ත්‍ථාදියෙන් රුවනක් මෙන් සිටියා පඤ්ඤාරතන නම්. මේ ඒ පදයන්ගේ ඉතා කෙටි අරුත් ය.

මේ හැම පදයෙකින් කියන ලද්දී දුඃඛසත්‍යවිෂයයෙහි පැවැති ප්‍රඥා ය. මෙසේ දුඃඛසත්‍යඥානය පදසමූහයකින් විවෘත කරණ ලද්දේ අනෙකකු අන්ලෙසකින් අනෙකෙකුන් අන්ලෙසකින් යන ඈලෙසින් පංචස්කන්‍ධය පිළිබඳ අනිත්‍යාදිලක්‍ෂණ අවබෝධ කරණ බැවින් විවිධාකාරයෙන් භින්න වූ ලෝකය බලා ය. මේ පාලිසූත්‍රයෙහි ධම්මවිචය - අමෝහ ශබ්ද දෙක දෙ තැනක යෙදී සිටියේ ය. අමෝහය මෝහයට ප්‍රතිපක්ෂභාවයෙන් ආයේ ය. එහෙයින් යම් මේ මෝහයෙක් වේ ද, එය හුදෙක් මෝහයෙන් අන්‍ය වූ ධර්‍මයෙක් නො වේ. මෝහයට ප්‍රතිපක්ෂ වූ ධර්‍මවිචය යි කියන අමෝහය ම මෙහි අදහස් කරණ ලද්දේ ය.

දුක්ඛසමුදයෙ ඤාණ නම්:-

“දුක්ඛසමුදයං ආරබ්භ යා උපපජ්ජති පඤ්ඤා -පෙ- සම්මා දිට්ඨි” යනු ආගම බැවින් දුක්ඛ සමුදය පිළිබඳ දතයුතු තාක් කරුණු ඇති තාක් වගවිභාග දුක්ඛසමුදය පිළිබඳ රැස්කිරීම - හේතු - යෙදීම - බාධා කිරීම යන ආයුහන - නිදාන - සංයෝග - පලිබෝධ ස්වභාවයන් එකකුත් නො හැර විපරීත නො කොට නො වෙනස් කොට දැනීම ය.

දුක් හට ගැණීම ඇරැබ දුක් හට ගැණීම අරමුණු කොට දුක් හට ගැණීමෙහි තතු හැමතින් ප්‍රකට කිරීම් විසින් පහළ වන ප්‍රඥාචෛතසිකය දුක්ඛසමුදයඤාණය යි කියන ලද්දේ ය. දුඃඛ සමුදයඥානය වඩාලාත් ගන්වනු පිණිස යෙදුනු පදයන්ගේ අරුත් යට කී ලෙසින් දතයුතු ය.

දුක්ඛනිරොධෙ ඤාණ නම්:

“දුක්ඛනිරොධං ආරබ්භ යා උප්පජ්ජති පඤ්ඤා -පෙ- සම්මා දිට්ඨි” යනු ආගම බැවින් දුක්ඛනිරෝධය පිළිබඳ දතයුතු තාක් කරුණු ඇති තාක් ධර්‍මයන්, දුක්ඛනිරෝධය පිළිබඳ මිදීම - පිළියෙල නො කිරීම - නො මැරීම - වෙන් ව සිටීම යන නිස්සරණ - අසඞ්ඛත - අමත - විවේක ස්වභාවයන් දැනීම ය.

දුක් සන්සිඳීම ඇරැබ දුක්සන්සිඳීම අරමුණු කොට දුක් සන්සිඳීමෙහි තතු හැමතින් ප්‍රකට කිරීම් විසින් පහළ වන ප්‍රඥා චෛතසිකය දුඃඛනිරෝධඥානය යි කියන ලද්දේ ය. දුඃඛනිරෝධ ඥානය වඩාලාත් දන්වන්නට යෙදුනු පදයන්ගේ අරුත් යට කී සේ දතයුතු ය.

දුක්බනිරොධගාමිනීපටිපදාය ඤාණ නම්:

“දුක්ඛනිරොධගාමිනිං පටිපදං ආරබ්භ යා උප්පජ්ජති පඤ්ඤා -පෙ- සම්මාදිට්ඨි” යනු ආගම බැවින් දුක්ඛනිරෝධගාමිනීපටිපදාව පිළිබඳ දතයුතු තාක් කරුණු ඇති තාක් විස්තර, දුඃඛනිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳ එතෙරකිරීම - හේතු - දැකීම - අධිපතිභාව යන නීය්‍යාන - හේතු - දස්සන - ආධිපතෙය්‍ය ස්වභාවයන් එකෙකුත් නො හැර විපරීත නො කොට නො වෙනස් කොට දැනීම ය.

දුක් සන්සිඳීමට පමුණු වන පිළිවෙත ඇරැබ දුක් සන්සිඳීමට පමුණු වන පිළිවෙත අරමුණු කොට දුක් සන්සිඳීමට පමුණු වන පිළිවෙතෙහි තතු හැමතින් ප්‍රකට කිරීම් විසින් පහළ වන ප්‍රඥා චෛතසිකය දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාඥානය යි කියන ලද්දේ ය. දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාඥානය වඩාත් පහදාලන්නට යෙදුනු පදයන්ගේ අරුත් යට කියූ සේ ය. මෙහිලා කියන ලද්දේ අතිසංක්‍ෂිප්තත මාත්‍රයෙකැයි ද දතයුතු ය.

ස්‍රෝතාපත්තිමාර්‍ග චිත්තයෙහි අව්‍යක්තව, සකෘදාගාමීමාර්‍ග චිත්තයෙහි ව්‍යක්තව, අනාගාමීමාර්‍ග චිත්තයෙහි ව්‍යක්තතරව, අර්‍හන්මාර්‍ගචිත්තයෙහි ව්‍යක්තතමව පහළ වන සම්‍යග්දෘෂ්ටිය, එසේ ම වූ අනෙක් සම්‍යක් සඞ්කල්පනාදී වූ මාර්‍ගයන් හා එක් ව සිඳහළ යුතු වූ කෙලෙස් සිඳලමින් එක්වට ම දුඃඛසත්‍යය පිරිසිඳ දැන ගන්නී ය. සමුදය සත්‍යය ප්‍රහීණ කරන්නී ය. නිරෝධසත්‍යය ප්‍රත්‍යක්ෂ කරන්නී ය. මාර්‍ග සත්‍යය වඩන්නී ය. මෙසේ දුඃඛසත්‍යය පිරිසිඳින්නා වූ සමුදයසත්‍යය ප්‍රහීණ කරන්නා වූ නිරෝධසත්‍යය ප්‍රත්‍යක්ෂ කරන්නා වූ මාර්‍ගසත්‍යය වඩනා වූ මේ චතුර්විධ සම්‍යග්දෘෂ්ටිය ප්‍රතිවේධඥාන ය යි ද හඳුන්වනු ලබන්නී ය. මේ තොමෝ ලෝකෝත්තර වූ ය.

මෙසේ දුඃඛ සත්‍යය දක්නේ, දුඃඛසමුදය සත්‍යය ප්‍රහීණ කිරීම් වශයෙන් දකියි. දුඃඛනිරෝධසත්‍යය සාක්‍ෂාත් කිරීම් වශයෙන් දකියි. දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාසත්‍යය වැඩීම් වශයෙන් දකියි. මේ ඒ වදාළ සැටි:- “යො ඛො භික්ඛවෙ! දුක්ඛං පස්සති, දුක්ඛසමුදයම්පි සො පස්සති, දුක්ඛනිරොධම්පි පස්සති, දුක්ඛනිරොධගාමිණිපටිපදම්පි පස්සති” යනු.

මේ කියූ චතුර්විධ සම්‍යග්දෘෂ්ටීන්ගෙන් මේ දැකීම පෙර පසු නො ව අඩු වැඩි නො ව සම පමණින් සිවුමග නැණ ලෙසින් එක්වට ම සිදුවන්නේ ය. ප්‍රදීපය අඳුරුකිරීම - තෙල්සිඳවීම - ආලෝකය පැතිරවීම - වැටිය දැවීම යන කෘත්‍ය සතර එක්වට ම සිදු කරන්නා සේ ය.

දුඃඛසත්‍ය සම්‍යග්දෘෂ්ටියෙන් සත්කායදෘෂ්ටිය නවතාලන අතර සමුදයසත්‍ය සම්‍යග්දෘෂ්ටියෙන් උච්ඡේදදෘෂ්ටියත් නිරෝධසත්‍ය සම්‍යග්දෘෂ්ටියෙන් ශාස්වතදෘෂ්ටියත් නැසී යනු ඒකාන්ත සිද්ධ ය.

මේ එහිලා සාධකසූත්‍ර:-

“ලොකසමුදයං ඛො කච්චාන! යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො යා ලොකෙ නත්‍ථිතා සා න හොති” යනු.

කාත්‍යායන! සංස්කාර ලෝකයෙහි හට ගැණීම තතු සේ විදර්‍ශනා සහිත මාර්‍ගප්‍රඥාවෙන් දක්නහුගේ සංස්කාර ලෝකය පිළිබඳ වූ යම් නාස්තිකදෘෂ්ටියෙක් වේ නම් ඒ නො වන්නී ය, යන අරුත්.

“ලොකනිරොධං ඛො කච්චාන! යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො යා ලොකෙ අත්‍ථිතා සා න හොති” යනු.

කාත්‍යායන! සංස්කාර ලෝකයෙහි සන්සිඳීම තතු සේ විදර්‍ශනා, සහිත මාර්‍ග ප්‍රඥාවෙන් දක්නහුගේ සංස්කාර ලෝකය පිළිබඳ වූ යම් ආස්තිකදෘෂ්ටියෙක් වේ නම් ඒ නො වන්නී ය, යනු අරුත්.

මෙසේ ආර්‍ය්‍යයජනයා හැර සෙසු සාමාන්‍ය ලෝකීය ජනයා මේ ද්විධදෘෂ්ටිය ඇසුරු කොට නො හැර සිටුනාබව “ද්වයං නිස්සිතො ඛො යං කච්චාන! ලොකො යෙභූය්‍යෙන අත්‍ථිතඤ්චෙච නත්‍ථිතඤ්ච” යන දේශනාප්‍රදේශයෙන් පැහැදිලි ය.

දුඃඛසත්‍යසම්‍යග්දෘෂ්ටියෙන් සමුදයසත්‍යයාගේ ඵලභාවයෙන් ලැබෙන පඤචස්කන්‍ධය කෙරෙහි නගිනා නිත්‍ය - ශුභ - සුඛ - ආත්ම භාවයෝ නැසී යන්නාහ.

සමුදයසත්‍යසම්‍යග්දෘෂ්ටියෙන් හේතු ඵල පරම්පරාවගේ අවිච්ඡින්නත්වය දැකීමෙන් “ඊශ්වර ලෝකය හා ලෝකසත්ත්‍වයා මවා පවත්වා පිළියෙල කොට අවසානයෙහි නසාලන්නේ ය” යන ඊශ්වර නිර්‍මාණවාදය ද,

“සත්ත්‍ව - රජස් - තමස්සංඛ්‍යාතගුණත්‍රයාත්මක වූ ප්‍රකෘතියි ගන්නා අව්‍යක්ත හේතුවක් ඇත්තේ ය, ඒ අව්‍යක්ත හේතුවෙන් හට ගත් ලෝකය හා ලෝකසත්ත්‍වයාත් ලොව ඇති අනෙක් සියලු දැයත් නැසී ගිය පසු ඒ හැම ඒ අව්‍යක්ත ප්‍රකෘතියෙහි ම ලීනව සැඟවී යන්නාහ, ඒ හැර ලොව මවා පාලනය කරණ අන්‍ය වූ ඊශ්වරයෙක් නො ද වේ ය” යි ගත් ප්‍රකෘතිවාදය ද,

“කාලය භූතයන් මවයි, කාලය සත්ත්‍වයන් නසයි, කාලය නිදන්නන් පුබුදුවයි, එහෙයින් කාලය ඉක්මවිය නො හැකි ය, ලොව මවන්නේ ද රකින්නේ ද නසන්නේ ද කාලය යි, එහිලා ඊශ්වරාදී වූ කිසිවකුගේ බලයෙක් නැත්තේ ය” යන කාලවාදය ද,

“ලෝකයෙහි ඇති තාක් කටු තියුණු ය, දික්ව හට ගන්නේ ය, බෙලි - ගිවුළු ඈ පල වටකුරු ය, නයි - පොළොන් - ගැරඬි - පිඹුරු ඈ දිග් සත්තු පා නැත්තෝ ය, මුව - ගෝන - ඇත් - අස් - සී - වලස් ඈ සත්තු සිවුපා ඇත්තෝ ය, මොනර - කොබෙයි - ගිරා - ලිහිණි ඈ සත්තු දෙපා ඇති පියාපත් ඇත්තෝ ය, නන් අයුරෙන් පැහැයෙන් සටහනින් විසිතුරු වන්නාහ, මේ ඈ ලෙසින් ලෝකයෙහි වූ සවිඥාන - අවිඥානක වූ හැම වස්තූහු ස්වභාව සිද්ධ යහ, කිසිවකු විසින් නො ද උපදවන ලදහ, ස්වභාවශක්තිමාත්‍රය ම මෙහි හේතුය, ස්වභාවයෙන් හට ගෙණ ස්වභාවයෙන් නැසී යෙති” යි යන ස්වභාවවාදය ද,

“පුර්‍වෙකෘතහේතුවෙන් පරපණ නසන්නෝ සොරකම් කරන්නෝ බොරු කියන්නෝ කේලාම් කියන්නෝ රළුබස් කියන්නෝ නිසරු බස් කියන්නෝ වෙති” යන ඈ ලෙසින් ලෝකයෙහි සියල්ල සියලු සැපදුක් විඳීම්, පුර්‍වෙකෘතහේතුවෙන් වේ ය යන පුර්‍වෙකෘත හේතුවාදය ද,

“නො සිඳෙන හුයෙක ඇවුණු නො බිඳෙන මැණිකක් සේ ලෝකය නියත ය, කිසිවකුගේ පුරුෂ කාර්‍ය්‍යයයෙක් මෙහි නැතැ” යි ගන්නා නියතවාදය ද,

“ප්‍රජාව කැමැති සේ පවතී, කැමැති සේ නවතී, කැමැති සේ සැපදුක් විඳී, එහෙයින් ලෝකය තම තමන් පිළිබඳ ඉච්ඡාවට යටත්ව පවතී” යන යදිච්ඡාවාදය ද යනාදී වූ වාදයෝ නැසී යන්නාහ.

නිරොධසත්‍යසම්‍යග්දෘෂ්ටියෙන් “අරූපලෝක විමුක්තිස්ථානැ” යි ගත් රාමඋද්දකාදීන්ගේ මතය ද,

“අසංඥසත්ත්‍වය විමුක්තිස්ථානැ” යි ගත් ඥාතපුත්‍රනිර්ග්‍රන්‍ථාදීන්ගේ මතය ද,

“ප්‍රකෘති සඞ්ඛ්‍යාත අව්‍යක්තයාගේ මහත්ත්‍වාදි භාවයෙන් අපරිණාමය - අප්‍රකාශය හෝ “අහමඤ්ඤො, පකති අඤ්ඤා” මම අනෙකෙක්මි, ප්‍රකෘතිය අනෙකකැ යි පැවැති ප්‍රකෘති-පුරුෂයන්ගේ අන්තරය දැනීමෙන් ආත්මසුඛ-දුඃඛ-මෝහයන් විභාග කොට නො ගැණීම වැළකූ කල්හි කියූ පරිදි ප්‍රකෘතිය (ප්‍රධානය) නො පවතී නම් ඒ විමෝක්ෂය” යි ගත් කපිලයන්ගේ මතය ද,

“ගුණවියුක්ත වූ එනම් බුද්ධි - සුඛ - දුඃඛ - ඊෂ්‍යයා - ද්වේෂ - ප්‍රයත්න - ධර්‍මාධර්‍ම - සංස්කාර යන නවවිධ ආත්මගුණයෙන් වෙන්වූයේ මුක්තය” යි ගත් කරචරණයන්ගේ මතය ද,

“බඹහු හා සහවාසය - බඹහුට සමීපව පැවැත්ම - බඹහු හා එකීභාවයට පැමිණීම විමෝක්‍ෂ ය” යි ගත් මිථ්‍යා විමෝක්‍ෂය ද යන මෙතෙක් වාදයෝ නැසී යෙත්.

මාර්‍ගසත්‍යසම්‍යග්දෘෂ්ටියෙන් අරී අටඟිමග වැඩීමෙන් ම දුක්සන්සිඳීමට පැමිණෙන බව ප්‍රකටව පැණෙන බැවින් “තමන්ගේ යහපත පිණිස කළ කර්‍මයන්ගේ විපාකයෙක් නැත, මෙරමා යහපත පිණිස කළ කර්‍මයන්ට විපාකයෙක් නැත, බලයෙක් නැත, වීර්‍ය්‍යයෙක් නැත, පුරුෂ ශක්තියෙන් නැත, පුරුෂ පරාක්‍රමයෙන් නැත, හැම සත්ත්‍වයෝ හැම ප්‍රාණීහු හැම භූතයෝ හැම ජීවියෝ තමන් පිළිබඳ වශයක් බලයක් වීර්‍ය්‍යයක් නැත්තෝ ය, නියමය - එළැඹීමය - ස්වභාවය යන මෙ තුණෙන් නන් වැදෑරුම් බවට පැමිණියාහු සැවැදෑරුම් අභිජාතියෙහි සිට සැපදුක් විඳිත්” යි ගන්නා අක්‍රියදෘෂ්ටිය ද,

මාර්‍ග සත්‍යසම්‍යග්දෘෂ්ටියෙන් පිළිවෙත් පිරීමෙන්ම වැඩීමෙන් ම දුක් සසිඳීමට පැමිණෙන බව ප්‍රකට බැවින් “සත්ත්‍වයන්ගේ කෙලසීමට හේතුයෙක් නැත, ප්‍රත්‍යයයෙක් නැත, හේතු රහිත ව ප්‍රත්‍යය රහිත ව සත්ත්‍වයෝ ඉබේ ම පිරිසිදුබවට යන්නාහ” යි ගන්නා අහේතුකදෘෂ්ටිය ද,

“ඉඳුරන් පිනවීම - භාර්‍ය්‍යා පුරුෂ සේවනය - පුත්‍රමුඛදර්‍ශනාදී වූ කාමසේවනය හැර නිවණක් නැතැ” යි ගත් කාමසුඛල්ලිකානු යෝගය හා “නො කා හැරීම - හිසරැවුළු ඉගිලීමා දී වූ තපස් කිරීම - නග්නශීල - ගොශීල - අජශීල - කුක්කුරශීලාදිය රැකීම යනා දී වූ ආත්මපරිතාපනයෙන් මෝක්‍ෂය ලැබේය” යි ගත් ආත්මක්ලමථුව ද, යන සියලු මිථ්‍යග්‍රාහ ද බීඳී යන්නාහ.

සත්ත්‍වයා මෙසේ සිදුවූ සස්දහම් අවබෝධ නො කරණ තුරු සංස්කාරලෝකයෙහි, සංස්කාර ලෝකය පිළිබඳ හේතුයෙහි, සංස්කාරලෝකනිරෝධය වූ නිවනෙහි, එයට උපාය වූ මාර්‍ගයෙහි මූඪවේ. මේ ඒ දේශනාව:-

“ලොකෙ ලොකප්පභවෙ - ලොකත්‍ථගමෙ සිවෙ ව තදුපායෙ,

සම්මුය්හති තා ච නරො - න විජානාති යාව සච්චානි” යනු.

චතුර්විධ මාර්‍ගඥානසඞ්ඛ්‍යාත වූ සම්‍යග්දෘෂ්ටියෙහි වීමංසිද්ධිපාද - පඤ්ඤින්‍ද්‍රිය - පඤ්ඤාබල - ධම්මවිචය යන බෝධිපාක්‍ෂිකධර්‍මයෝ වැද සිටිත්. මේ කියු බෝධිපාක්‍ෂික ධර්‍මයන්ගෙන් හා සම්‍යක්සඞ්කල්පාදී වූ අනෙක් මාර්‍ගඞ්ගයගෙන් පෝෂිත ව හැදී වැඩී ගිය සම්‍යග්දෘෂ්ටිය ඒ ඒ අවස්ථානුරූප ව වැඩුනු වැඩුනු ලෙසින් සිවුවරක දී සකලකලේශස්කන්‍ධයන් නසා අනුත්පාදනිරෝධසඞ්ඛ්‍යාත නිර්‍වාණය සිද්ධ කර දෙන්නී ය.

මේ ද මෙහිලා දන්නේය:-

“පංචහි ඛො ආවුසො අඞ්ගෙහි අනුග්ගහිතසම්මාදිට්ඨි චෙතොවිමුත්තිඵලා ච හොති චෙතොවිමුත්තිඵලානිසංසා ච, පඤ්ඤාවිමුත්තිඵලා ච හොති පඤ්චාවිමුත්තිඵලානිසංසා ච, ඉධාවුසො සම්මාදිට්ඨි සීලානුග්ගහිතා ච හොති, සුතානුග්ගහිතා ච හොති, සාකච්ඡානුග්ගහිතා ච හොති, සමථානුග්ගහිතා ච හොති, විපස්සනානුග්ගහිතා ච හොති, ඉමෙහි ඛො ආවුසො පංචහි අඞ්ගෙහි අනුග්ගහිතා සම්මාදිට්ඨි චෙතොවිමුත්ති විමුත්තිඵලා ච හොති. චෙතොවිමුත්තිඵලානිසංසා ච, පඤ්ඤාවිමුත්තිඵලා ච හොති පඤ්ඤා විමුත්තිඵලානිසංසා ච”

ඇවැත්නි! අඞ්ග පසෙකින් අනුග්‍රහ කරණ ලද සවිදර්‍ශනා සම්‍යග්දෘෂ්ටිය මාර්‍ග ඵලසමාධිය ඵලකොට ඇත්තී මාර්‍ගඵලසමාධිය අනුසස් කොට ඇත්තී ද වේ. ඵලඥානය ඵල කොට ඇත්තී ඵලඥානය අනුසස් කොට ඇත්තී ද වේ. ඇවැත්නි! මෙහි සම්‍යග්දෘෂ්ටිය, ශීලයෙන් අනුග්‍රහ කරණ ලද්දී වේ ද, සත්ප්‍රාය ධර්‍මශ්‍රැතියෙන් අනුග්‍රහ කරණ ලද්දී වේ ද, ධර්‍මසාකච්ඡායෙන් අනුග්‍රහ කරණ ලද්දී වේ ද, විදර්‍ශනාපාදකඅෂ්ට සමාපත්තියෙන් අනුග්‍රහ කරණ ලද්දී වේද, විදර්‍ශනාසඞ්ඛ්‍යාතසප්තවිධ අනුදර්‍ශනයෙන් අනුග්‍රහ කරණ ලද්දී වේ ද, මෙසේ මේ අඞ්ගපසෙන් අනුග්‍රහ කරණ ලද සම්‍යග්දෘෂ්ටිය, මාර්‍ගඵල සමාධිය ඵල කොට ඇත්තී මාර්‍ග ඵලසමාධිය අනුසස් කොට ඇත්තී ද වේ. ඵලඥානය ඵලකොට ඇත්තී ඵලඥානය අනුසස් කොට ඇත්තී ද වේ, යනු එහි අරුත් ය.

මෙසේ ශීලයෙන් ඥානයෙන් ධර්‍මසාකච්ඡායෙන් අෂ්ටසමාපත්තියෙන් සත්‍යානුදර්‍ශනයෙන් එක්වන් රක්නා ලද අනුග්‍රහ කරණ ලද මුලසම්‍යග්දෘෂ්ටිය, වහා මාර්‍ගවශයෙන් වැඩී මාර්‍ගඵලසමාධි ඵලඥානසම්පත ඵලප්‍රදානය කරන්නී ය, යි දත යුතු ය.

අඹ කනු කැමැත්තෙක් අඹබිජුවටක් රෝපණය කරන්නේ ය. එය හාත්පස වැටකටු බඳින්නේ ය. දිය ඉසින්නේ ය. මුල් ශුද්ධ කරන්නේ ය. පණු කැදලි ඉවත් කරන්නේ ය. මකුළුදැල් කඩා හරින්නේ ය. මෙසේ අනුග්‍රහ ලැබූ අඹ පැලය වහා වැඩි පල දෙන්නේ ය.

මෙහි මූලසම්‍යග්දෘෂ්ටිය අඹබිජුවට රෝපණය වැනි ය. එයට ශිලයෙන් කෙරෙන අනුග්‍රහය අඹපැලයට වැටකටුබැඳීම වැනි ය. ඥානයෙන් කෙරෙණ අනුග්‍රහය දිය ඉසිම වැනිය. ධර්‍මසාකච්ඡායෙන් කෙරෙණ අනුග්‍රහය මුල් ශුද්ධ කිරීම වැනි ය. අෂ්ට සමාපත්තියෙන් කෙරෙණ අනුග්‍රහය පණු කැදලි ඉවත්කිරීම වැනි ය. සත්‍යානුදර්‍ශනයෙන් කෙරෙන අනුග්‍රහය මකුළුදැල් කඩා හැරීම වැනි ය. මාර්‍ගවශයෙන් වහා වැඩී මාර්‍ගඵලසමාධි ඵලඥාන ප්‍රදානය අඹපල දීම වැනි ය.

මෙ ද මෙහිලා දන්නේ ය:-

“නාහං භික්ඛවෙ! අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්තා වා කුසලා ධම්මා හීය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තන්ති, යථයිදං භික්ඛවෙ! සම්මාදිට්ඨි” යනු.

“මහණෙනි! යම් ධර්‍මයක් හේතුකොට ගෙණ නුපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත් ද උපන්නා වූ ද කුශලධර්‍මයෝ බොහෝ බව පිණිස මහත්බව පිණිස පවතිත් ද, එහිලා සම්‍යග්දෘෂ්ටිය බඳු අන් එක ද ධර්‍මයකුත් මම නුවණැසින් නො දකිමි” යනු එහි අරුත්.

මෙසේ ලෞකික - ලෝකොත්තර සුඛදායක වූ සම්‍යග්දෘෂ්ටිය උපදවනු කැමැති නුවණැත්තන් විසින් ප්‍රාතිමෝක්‍ෂසංවරශීලයෙහි පිහිටා දුඃඛ - සමුදය - නිරොධ - මාර්‍ග යන චතුස්සත්‍ය ධර්‍මය මැනැවින් උගෙණ විදර්‍ශනා භාවනාවෙහි යෙදී ගතයුතු ය. නැවැත නැවැත විදර්‍ශනා වැඩිය යුතු ය. එසේ විදර්‍ශනා වඩනා කල්හි සාමාන්‍ය විසින් ලෞකික වශයෙන් ඔවුන්තුළ සම්‍යග්දෘෂ්ටිය ය පහළ වන්නී ය. එකල්හි එහිලා උත්සාහවත් ව තව තවත් වඩනා කල්හි පින්ගුණ ඇතිසැටියෙන් කවර හෝ කලෙක එක්වට ම චතුස්සත්‍යාවබෝධයෙන් කෙලෙස් නසා මාර්‍ගචිත්තය නිසා ලෝකෝත්තර සම්‍යග්දෘෂ්ටිය පහළ වන්නී ය.

ප්‍රධාන විසින් සම්‍යග්දෘෂ්ටිකයෝ පෘථග්ජන - ශෛක්ෂ - අශෛක්‍ෂ යි තිදෙනෙකි. එහි පෘථග්ජන තෙමේ බාහිරක - ශාසනික යි දෙදෙනෙක් වේ. කර්‍මවාදී බාහිරක තෙමේ කර්‍මස්වකතා සම්‍යග්දෘෂ්ටියෙන් සම්‍යග්දෘෂ්ටික වේ. ශාසනික තෙමේ කර්‍මස්වකතා - සත්‍යානුලෝමිකදෘෂ්ටි දෙකින් සම්‍යග්දෘෂ්ටික වේ. නියත සම්‍යග්දෘෂ්ටියෙන් යුක්ත වූයේ ශෛක්ෂ තෙමේ ය. අශෛක්ෂ තෙමේ අශෛක්ෂසම්‍යග්දෘෂ්ටියෙන් සම්‍යදෘෂ්ටික ය.

සම්මාසඞ්කප්ප නම්:- අවිද්‍යානුශය මුළුමනින් නසනසුලු මාර්‍ග සම්‍යග්දෘෂ්ටියෙන් සම්පූර්‍ණදෘෂ්ටි ඇත්තහුගේ ඒ සම්‍යග්දෘෂ්ටිය හා යෙදී ගන්නා වූ කාමසඞ්කල්පාදි මිථ්‍යාසංකල්පයන් මුල් සුන් කොට සිඳලමින් සිත නිවන් අරමුණහි නංවමින් මාර්‍ගයෙහි උපදනා විතර්‍ක චෛතසික ය යි. මෙය කීයේ උත්කෘෂ්ට විසිනි. එය සිත මනා කොට නිවන් අරමුණෙහි නැංවිම ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය සිත නිවනෙහි ඔප්පු කරවීම ය. ඇලවීම ය. වැටහෙන අයුර මිථ්‍යාසංකල්පයන් පහ කොට හැරීම ය “සම්පන්නදිට්ඨිනො තං සම්පයුත්තං මිච්ඡාසඞ්කප්පසමුග්ඝාතකං චෙතසො නිබ්බානපදාභිරොපණං සම්මාසඞ්කප්පො, සො සම්මා චිත්තාභිරොපණලක්ඛණො, අප්පණරසො, මිච්චාසඞ්ප්පප්පකහාණපච්චුපට්ඨානො” යනු එහිලා කීහ.

“සම්මා සඞ්කප්පෙතීති = සම්මාසඞ්කප්පො, සම්මා වා තෙන සඞ්කපපෙන්තීති = සම්මාසඞ්කප්පො, යථා හා සඞ්කප්පො = සම්මාසඞ්කප්පො, පසත්ථො සුන්දරො වා සඞ්කප්පොති = සම්මා සඞ්කප්පො” යනු ශබ්දාර්‍ත්‍ථ දැක්වීමය,

සම්මාසඞ්කප්ප ය ලෞකික - ලෝකෝත්තර විසින් දෙ පරිදි ය. “දුවිධො හොති සම්මාසංකප්පො ලොකිය ලොකුන්තර වසෙන චාති”

පූර්‍වභාග ප්‍රතිපදා වශයෙන් ගැනෙනුයේ ලෞකික ය. මාර්‍ගඵල සම්ප්‍රයුක්ත වූයේ ලෝකෝත්තරය. නැවැත ලෞකික ය, කාමාවචර - රූපාවචර - අරූපාවචර විසින් තෙ පරිදි වේ. එහි කාමාවචර කුශල චිත්තයහි යෙදුනේ කාමාවචර ය. රූපාවචර කුශල චිත්තයන්හි යෙදුනේ රූපාවචර ය. අරූපාවචර කුශල චිත්තයන්හි යෙදුනේ අරූපාවචර ය. මෙ තුන් තන්හි යෙදුනේ විතර්‍කනාමයෙන් හදුන්වනු ලැබේ. කාමාවචර - රූපාවචර - අරූපාවචර කුශලචිත්තයන්ගේ එකින් එක වැඩී සිටි පරිද්දෙන් මෙය ද වැඩී සිටියේ ය. කාමාවචර කුශලචිත්තයෙහි යෙදුනු සඞ්කලපය, කාම විතර්‍කාදි ප්‍රතිපක්‍ෂ ධර්‍මයන් තදඞ්ගප්‍රහාණයෙන් ද, රූපාවචර - අරූපාවචර කුශලචිත්තයන්හි යෙදුනු සඞ්කල්පය, විෂ්කම්භණප්‍රහාණ වශයෙන් ද, ලෝකෝත්තර කුශලචිත්තයෙහි යෙදුනු සම්‍යක්සඞ්කල්පය, සමුච්ඡේදප්‍රහාණ වශයෙන් ද පහ කරන්නේ ය. තෙවැනි ව කියූ මේ සම්‍යක් සඞ්කල්පය ම මාර්‍ගඞ්ගයනට පැමිණි බැවින් සම්මා සඞ්කප්ප යි කියනු ලැබේ. එය ආර්‍ය්‍යය අෂ්ටාඞ්ගික මාර්‍ගයෙහි දවිතීයාඞ්ගය වේ.

මෙය මෙසේ වදාළ සේක: “කතමොච භික්ඛවෙ! සම්මාසංකප්පො? යො ඛො භික්ඛවෙ! නෙක්ඛම්මසඞ්කප්පො අව්‍යාපාදසඞ්කප්පො අවිහිංසාසඞ්කප්පො අයං වුච්චති භික්ඛවෙ! සම්මා සංකප්පො” යි.

“මහණෙනි! සම්‍යක්සඞ්කල්පය කවරේ ද? යත්: මහණෙනි! යම් නෛෂ්ක්‍රම්‍ය සඞ්කල්පයෙක් යම් අව්‍යපාද සඞ්කල්පයෙක් යම් අවිහිංසා සඞ්කල්පයෙක් වේ ද, මහණෙනි! මෙය සම්‍යක්සඞ්කල්ප යි කියනු ලැබේ” යනු අරුත් ය. ලෞකික - ලෝකෝත්තරාදි වශයෙන් භේදයට ගිය ඒ මේ සම්මා සඞ්කප්පය තෙපරිදිබව මෙයින් වදාළ සේක.

එහි, නෛෂ්ක්‍රම්‍යසඞ්කල්ප නම්:- “කාමතො නිස්සටොති නෙක්ඛම්මසඞ්කප්පො” යනු ආගම බැවින් පෘථග්ජනසත්ත්‍වයන්ගේ සිත නොයෙක් ලෙසින් තම පමණින් රූප - ශබ්ද - ගන්‍ධ - රස - සප්‍රෂ්ටව්‍ය යන කාමවස්තුන්හි වස්තුකාම ක්ලේශකාමයහි දිවා රෑ දෙක්හි බැඳී සිටුනේ ය. එහෙයින් කාමවස්තූන් ම පතමින් සිතමින් සොයමින් ඔවුහු දව රෑ ගෙවත්. මේ බැඳීම මේ සෙවීම කවදා කො තැනින් පටන් ගතු දැයි කීමට කිසිවෙක් සමර්‍ත්‍ථ නො වේ. දීර්‍ඝකාලයක සිට එන මේ කාමවස්තූන්හි බැඳීමෙන් සෙවීමෙන් බැහැරවීම ගිහි කම්කටොලු වලින් වෙන් වීම පිළිබඳ සිතිවිල්ල නෛෂ්ක්‍රම්‍යසඞ්කල්ප නම්. එය මාර්‍ගඵල ප්‍රතිලාභයෙන් නිවන් අරමුණු කොට සිටියේ නම්, සම්‍යක්සඞ්කල්ප යි කියනු ලැබේ. කාමවස්තූන් පිළිබඳ තෘෂ්ණා සහගත වූ විතර්‍කය, සත්ත්‍වයා පුන පුනා සසරදුකෙහි ම ගල්වන බැවින් සසරෙහි ම බැඳ තබන බැවින් කාමසඞ්කල්ප යි බුද්ධාදී වූ උතුමන් විසින් පිළිගන්නා ලද්දේ ය. එයට පටහැනිව සිටියේ නෛෂ්ක්‍රම්‍යසඞ්කල්පය යි. “නෙක්ඛම්මවිතක්කො ච කාමවිතක්කස්ස පච්චනීකො හුත්වා, උප්පජ්ජති” යනු ආප්තයි. නෛෂ්ක්‍රම්‍යසඞ්කල්පය, කාමසඞ්කල්පය පිළිබඳ උත්පත්තිහේතු විනාශය උත්පත්තිහේතු සිඳීම කරමින් උපදනේ ය. “නෙක්ඛම්මවිතක්කො කාමවිතක්කස්ස පදඝාතං පදච්ඡෙදං කරොන්තො උප්පජ්ජති” යනු එහිලා කීහ.

පෙහෙවස් විසීම පැවිදිවීම බඹසර හැසිරීම විවේකස්ථාන ඇසුරු කිරීම දුහඟපිරීම අශුභභාවනා වැඩීම යනාදී වූ මෙ තැන්හි යෙදීමෙන් පළමු කොට නෛෂ්ක්‍රම්‍යසඞ්කල්පය ලෞකික චිත්තයෙහි උපදවා ගතයුතු ය. නෛෂ්ක්‍රම්‍යසඞ්කල්පය උපදවා ගැණිමෙහි පූර්‍වභාග ප්‍රතිපදාව වනුයේ ද මේ පෙහෙවස් විසීමාදියෙහි යෙදිම් ය. එසේ ම කාමයෙහි වරද මැනැවින් දැන නිතර කාමයෙහි දොස් ද මෙනෙහි කළ යුතු ය. මෙසේ කරන්නහුගේ සිත්තුළ කාමසඞ්කල්පයන් තදඞ්ග වශයෙන් පහ කරමින් ලෞකික නෛෂ්ක්‍රම්‍යසඞ්කල්පය උපදනේ ය. නැවැත එම කාමසඞ්කල්පය ම හෝ අන්කිසි සංස්කාරධර්‍මයක් හෝ සම්මර්‍ශනය කරණ කල්හි විදසුන් විසින් වඩනා කල්හි විදර්‍ශනා ජවනචිත්තයන් හා යෙදුනු නෛෂ්ක්‍රම්‍යසඞ්කල්පය, කාමසඞ්කල්පයාගේ උත්පත්තිහේතු විනාශය කරමින් උත්පත්තිහේතු සිදිමින් උපදී. නැවැතත් මතු මතුයෙහි විදසුන් වඩනා කල්හි මෙය තියුණු වීමෙන් ස්‍රෝතාපත්තිමාර්‍ගචිත්තය පහළ වන්නේ ය. ඒ උපන් කෙණහි මාර්‍ගචිත්තය හා යෙදුනු සඞ්කල්පය තෙමේ සමුච්ඡේදප්‍රහාණවශයෙන් කාමසඞ්කල්පයාගේ උත්පත්ති හේතූන් නසමින් පහළ වේ. විස්තර අනෙක් පොත පතින් දන්නේය.

අව්‍යාපාදසඞ්කප්ප නම් :- “ව්‍යාපාදතො නිස්සටොති අව්‍යාපාද සඞ්කප්පො” යනු ආගම බැවින් පෘථග්ජන සන්තානයෙහි අනිටු අරමුණු නිසා පහළවන සැඬබවැ යි ගණින ද්වේෂයෙන් බැහැර වූ කල්පනාව, මෙරමාහට වැඩෙක් යහපතෙක් නො වේවා යි වැඩක් යහපතක් සිදු නො වනු දැක්මෙහි කැමැත්තෙන් මුළුමනින් වෙන් වූ මෙත්ගුණ හා එක් වූ සිතීම හැඟීම අව්‍යාපාදසඞ්කල්පය යි. ව්‍යාපාදය කිමැ යි යට කියන ලද්දේ ය.

මේ ද අව්‍යාපාදය මාර්‍ගඵලප්‍රතිලාභයෙන් නිවන් අරමුණු කොට සිටියේ සම්‍යක්සඞ්කල්ප යි දතයුතු ය. අනිටු අරමුණු පිළිබඳ ද්වේෂ සහගත වූ සඞ්කල්පය, සත්ත්‍වයා සසරදුකෙහි ගල්වන බැවින් සසරෙහි බැඳ තැබීමට අනෙක් පාප ධර්‍මයන්ට රුකුල් දෙන බැවින් ව්‍යාපාදසඞ්කල්ප යි නම් ලැබී ය. එයට පටහැනි ව නැගී සිටියේ අව්‍යාපාදසඞ්කල්පය යි. “අව්‍යාපාදවිතක්කො ව්‍යාපාදවිතක්කස්ස පච්චනීකො හුත්‍වා උප්පජ්ජති” යනු ආප්තයි. අව්‍යාපාදසඞ්කල්පය, ව්‍යාපාදසඞ්කල්පය පිළිබඳ උප්පත්තිහේතු විනාශය උත්පත්තිහේතු සන්සිඳීම කරමින් උපදනේ ය. “අව්‍යාපාදවිතක්කා ව්‍යාපාදවිතක්කස්ස පදඝාත පදච්ඡේදං කරොන්තො උප්පජ්ජති” යි එය කීහ.

අනිටු අරමුණු දැකීමෙන් හටගත් ව්‍යාපාදයෙහි “දුට්ඨො ඛො ආවුසො දොසෙන අභිභූතො පරියාදින්නචිත්තො පාණම්පි හන්ති” ඇවැත්නි! ද්වේෂයෙන් දුෂ්ට වූයේ ද්වේෂයෙන් මැඩුනේ ද්වේෂයෙන් මැඩ ගන්නා ලද්දේ සතුන් ද මරයි, යනාදීන් දොස් දැක “ඛන්තී පරමං තපො තිතික්ඛා නිබ්බානං පරමං වදන්ති බුදධා” ඉවසීම උතුම් තපසෙකි, බුදුවරු නිවන උතුම් ය යි කියත්, යනාදීන් ඉවසීමෙහි අනුසස් සිහි කොට මෙසේ දක්නා ලද ව්‍යපාද දෝෂයෙන් සිත ගලවා ගණු පිණිස මෙත්‍රී භාවනාව වැඩිය යුතු ය. ඒ ද වඩන්නහු, තමා පටන් “සියලු සත්ත්‍වයෝ වෛර නැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වා” යනාදී ලෙසින් මෙත් වඩා අව්‍යාපාදසඞ්කල්පය පළමු කොට ලෞකික වශයෙන් උපදවා ගතයුතු ය. ලෞකික වශයෙන් අව්‍යාපාදසඞ්කල්පය උපදවා ගැණිමට කරුණු වූ මෙත් වැඩුම් ආදිය මෙහිලා පූර්‍වභාගප්‍රතිපදා වශයෙන් සිටුනේ ය. මෙසේ වූ පූර්‍වභාගප්‍රතිපදා ශක්තියෙන් ඔහුන්ගේ සිතෙහි වූ ව්‍යාපාදසඞ්කල්පය තදඞ්ග විසින් පහවී යයි. නැවැත එම ව්‍යාපාදසඞ්කල්පය හෝ අන්කිසි සංස්කාරධර්‍මයක් සම්මර්‍ශනය කරත්, විදසුන් විසින් වඩත්, විදර්‍ශනා ජවනචිත්තයන් හා යෙදුනු අව්‍යාපාදසඞ්කල්පය, ව්‍යාපාදසඞ්කල්පයාගේ උත්පත්ති හේතු විනාශ කරමින් උත්පත්තිහේතු සිඳිමින් උපදී. නැවැතත් මත්තෙහි විදසුන් වඩනා කල්හි මෙය තව තවත් තියුණු වීමෙන් ස්‍රෝතාපත්තිමාර්‍ගය පහළ වන්නේ ය. ඒ පහළ වූ ඇසිල්ලෙහි මාර්‍ග චිත්තය හා යෙදුනු සම්‍යක්සඞ්කල්පය තෙමේ සමුච්ඡේද ප්‍රහාණ විසින් නැවැත නො උපදනා ලෙසින් ව්‍යාපාදසඞ්කල්පය ගේ උත්පත්ති හේතු නසමින් ඔදවැඩි වන්නේ ය.

අවිහිංසාසඞ්කප්ප නම් :- “විහිංසාය නිස්සටොති අවිහිංසඞ්කප්පො” යනු ආගම බැවින් “ඉමෙ සත්තා විහිංසීයන්තු” මේ සත්ත්‍වයෝ වෙහෙසනු ලැබෙත්වා යි මිනිස් තිරිසන් ඈ සතුන් අතින් පයින් කැටින් ගලින් දඬුයෙන් මුගුරෙන් හා පරොස් බසින් වෙහෙසීමැ යි කියන හිංසාවෙන් වෙන් වූ බැහැර වූ කුළුණු ගුණය හා එක් වූ කල්පනාව අවිහිංසාසඞ්කල්පය යි.

මේ ද අවිහිංසාව, මාර්‍ග ඵලප්‍රතිලාභයෙන් නිවන් අරමුණු කොට සිටියා සම්‍යක්සඞ්කල්පය යි දත යුතු ය. මෙරමා හට හිංසා කිරීම සත්ත්‍වයා සසර දුකෙහි ගල්වන බැවින් සසරෙහි නොයෙක් වදබැදුම් වලට පමුණුවන බැවින් විහිංසාසඞ්කල්පය යි කියන ලද්දේ ය. එයට පටහැනි ව නැගී සිටියේ අවිහිංසාසඞ්කල්පය යි. “අවිහිංසාවිතක්කො විහිංසාවිතක්කස්ස පච්චනීකො හුත්‍වා උප්පජ්ජති” යනු ආප්තයි. අවිහිංසාසඞ්කල්පය, විහිංසාසඞ්කල්පය පිළිබඳ උත්පත්තිහේතු විනාශය උත්පත්තිහේතු සන්සිඳීම කරන්නේ උපදනේය. “ අවිහිංසාවිතක්කො විහිංසාවිතක්කස්ස පදඝාතං පදච්ඡේදං කරොන්තො උප්පජ්ජති” යි එය කී හ.

හැමට පළමු කරුණා කළයුතු තද දුකට පැමිණි දිළිඳු වූ සිඳහළ අත් පා ඇති කබලක් පොළොත්තක් කොළපතක් ඉදිරියෙහි තබා ගෙණ අම්බලමක වැද හෝනා අතින් පයින් පණු වැදලි කඩා හැලෙන බැගෑහඩින් හඬන පව් කළ මිනිසකු දැක “කිච්ඡං වතායං සත්තො ආපන්තො අප්පෙවනාම ඉමම්හා දුක්ඛම්හා මුච්චෙය්‍ය” අනේ! මේ සත්ත්‍වයා දුකට පැමිණියේ ය, මෙතෙමේ මේ දුකින් මිදෙන්නේ නම් ඉතා යෙහෙකැ, යි යනාදීන් සිත්හි නගා, පෙර මෙතෙමේ මෙරමාහට හිංසා කළ බැවින් මෙසේ දුකට පත්වී ය යි හිංසා කිරීමෙහි දොස් දැක කරුණා භාවනාව වැඩිය යුතු ය. මෙසේ කරුණා භාවනාව වඩා අවිහිංසාසඞ්කල්පය පළමු කොට ලෞකික වශයෙන් උපදවා ගත යුතු ය. ලෞකික වශයෙන් අවිහිංසාසඞ්කල්පය උපදවා ගැණීමට කරුණු වූ මේ කරුණා භාවනාමාත්‍රය මෙහිලා පූර්‍වභාග ප්‍රතිපදා වශයෙන් සිටුනේ ය. මේ පුර්‍වභාග ප්‍රතිපදා ශක්තියෙන් ඔහුගේ සිතෙහි උපන් විහිංසාසඞ්කල්පය තදඞ්ග විසින් පහවී යයි. නැවැත එම විහිංසාසඞ්කල්පය හෝ අන් කිසි සංස්කාර ධර්‍මයක් සිත්හි නගා සලකත්, එසේම විදසුන් විසින් වඩත්, විදර්‍ශනා ජවනචිත්තයන් හා යෙදුනු අවිහිංසාසඞ්කල්පය, විහිංසාසඞ්කල්පයාගේ උත්පත්තිහේතු විනාශ කරන්නේ උත්පත්තිහේතු සිඳින්නේ උපදී. නැවැතත් මත්තෙහි විදසුන් වඩනා කල්හි මෙය තව තවත් දියුණු තියුණු වෙමින් ස්‍රෝතාපත්ති මාර්‍ගය පහළ වන්නේ ය. ඒ පහළ වූ ඇසිල්ලෙහි මාර්‍ගචිත්තය හා යෙදුනු සම්‍යක්සඞ්කල්පය තෙමේ සමුච්ඡේද ප්‍රහාණ විසින් නැවැත නො උපදනා ලෙසින් විහිංසාසඞ්කල්පයාගේ උත්පත්ති හේතු නසමින් ඉදිරියෙහි වූ මාර්‍ගඵල බලා, බලගතු වන්නේ ය. කිසිත් හේතුවකින් නැවැත නො ද ගිලිහෙන්නේ ය.

කාමවිතර්‍කාදි ත්‍රිවිධ විතර්‍කයන්ට අවිරුද්ධ නො වූ එක ද කමටහනෙක් සූත්‍රාභිධර්‍ම දෙක්හි බෙදා දැක් වූ අටතිස් අරමුණු අතුරෙහි නැත්තේ ය. එහිදු අශුභ කර්‍මස්ථානයන්හි උපදනා ප්‍රථමධ්‍යානය කාම විතර්‍කයට පටහැනි ය. මෛත්‍රීකර්‍මස්ථානයෙහි උපදනා තෘතීය චතුර්‍ත්‍ථධ්‍යානයෝ ව්‍යපාදවිතර්‍කයට පටහැනි වෙත්. කරුණාකර්‍මස්ථානයෙහි උපදනා තෘතීය චතුර්‍ත්‍ථධ්‍යානයෝ විහිංසාවිතර්‍කයට පටහැනි වෙත්. එහෙයින් අශුභකර්‍මස්ථානයන්හි පරිකර්‍ම කොට ධ්‍යානයට පැමිණි පුද්ගලයා ධ්‍යානයට පැමිණි ඇසිල්ලෙහි, ධ්‍යානචිත්තය හා යෙදුනු විතර්‍කය, විෂ්කම්භණ වශයෙන් කාම විතර්‍කයට විරුද්ධ ව උපදනේ ය. ධ්‍යානය පාදක කොට විදසුන් වඩන්නාහට විදසුන් වඩනා කාලයෙහි විදර්‍ශනා ජවනචිත්තයන් සමග යෙදුනු විතර්‍කය තෙමේ තදඞ්ගප්‍රහාණ වශයෙන් කාමවිතර්‍කයට සතුරු ව උපදනේ ය. විදර්‍ශනාව මතු මත්තෙහි වැඩියක් තෙද ගන්වා වඩවා ස්‍රෝතාපත්ති ආදි මාර්‍ගයනට පැමිණෙන පුද්ගලයාගේ මාර්‍ගක්‍ෂණයෙහි මාර්‍ගචිත්තය හා යෙදුනු විතර්‍කය, සමුච්ඡේද ප්‍රහාණ වශයෙන් කාමවිතර්‍කයට විරුද්ධව සිටුනේ ය. මෙසේ උපන් විතර්‍කය නෛෂ්ක්‍රම්‍යසඞ්කල්පය යි කියනු ලැබේ. මෛත්‍රීකර්‍මස්ථානයෙහි පරිකර්‍ම කොට වඩා කරුණාකර්‍මස්ථානයෙහි පරිකර්‍ම කොට වඩා ධ්‍යාන මාර්‍ග ඵලයන්ට පැමිණීමට අශුභකර්‍මස්ථාන වඩා ක්‍රමයෙන් ධ්‍යාන මාර්‍ගඵලයනට පැමිණිම සේ දතයුතු ය. මේ මෛත්‍රී කරුණා කර්‍මස්ථාන වඩා ලැබෙන්නා වූ මාර්‍ගචිත්තයන් හා එක්වන් යෙදුනු විතර්‍ක දෙක, අව්‍යාපාදසඞ්කල්ප - අවිහිංසාසඞ්කල්ප යි කියනු ලැබේ.

මෙසේ මේ නෛෂ්ක්‍රම්‍ය - අව්‍යාපාද - අවිහිංසා සඞ්කල්පයෝ තිදෙන කාමාවචර - ධ්‍යාන - විදර්‍ශනා වශයෙනුදු උපදනා බැවින් ආර්‍ය්‍යමාර්‍ගයාගේ පුර්‍වභාගයෙහි වෙන් වෙන් වූ සඞ්කල්පයෝ වෙත්. මාර්‍ගක්‍ෂණයෙහි කාම - ව්‍යාපාද - විහිංසා යන මේ තුන් තන්හි උපදින්නා වූ අකුශල විතර්‍කයාගේ පැවැත්මට කරුණු වූ උත්පත්ති හේතු නසමින් අනුත්පත්තිසාධන විසින් මාර්‍ගාඞ්ගය පුරමින් එක් ම කුශලචිත්ත සම්ප්‍රයුක්ත විතර්‍කය උපදනේ ය. මේ කුශලචිත්තය සම්ප්‍රයුක්ත විතර්‍කය තෙමේ තත්ත්‍වපුර්‍ණ සම්‍යක්සඞ්කල්පය වේ.

සම්මාවාචා නම් :- මාර්‍ගසම්‍යග්දෘෂ්ටියෙන් චතුස්සත්‍ය ධර්‍මයන් ඉතිරි නො කොට දන්නා වූ මාර්‍ගසම්‍යක්සඞ්කල්පයෙන් නිවන් අරමුණෙහි සිත නංවන්නහුගේ ඒ සම්‍යග්දෘෂ්ටීන් හා යෙදී ගන්නා වූ බොරු කීම - කේලාම් කීම - පරොස්බස්කීම - නිසරුබස්කීම යන චතුර්විධ වාක්දුශ්චරිතය සමුච්ඡේද ප්‍රහාණයෙන් මුළුමනින් ඉතිරි නො වන ලෙසින් නසාලන මිත්‍ථ්‍යාවචනයෙන් වැළකීමැ යි කියන විරති චෛතසිකය යි. එය, සිත නිවන් අරමුණ මැනැවින් නැංවීම ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය මිත්‍ථ්‍යාවචනයෙන් වෙන්වීම ය. වැටහෙන අයුර මිත්‍ථ්‍යාවචනයන් පහ කොට හැරීම ය. “තථා පස්සතො විතක්කයතො ච තං සම්පයුත්තාච වචීදුච්චරිත සමුග්ඝාතික මිච්ඡාවාචාය විරති සම්මාවාචා නාම, සාපරිග්ගහලක්ඛණ, විරමණරසා, මිච්ඡාවාචාපහාන පච්චුපට්ඨානා” යි එය කීහ.

සම්‍යග්වචනය ලෞකික - ලෝකෝත්තර විසින් දෙ පරිදි ය. “දුවිධා හොති සම්මාවාචා ලොකිය ලොකුත්තරභෙදෙනාති” යනු දතයුතු ය. පුර්‍වභාග ප්‍රතිපදා වශයෙන් ගැණුනී ලෞකික ය. මාර්‍ගඵලසම්ප්‍රයුක්ත වූවා ලෝකෝත්තර ය. යම් හෙයකින් අන් සිතෙකින් බොරුබසින් වළකී ද, අන් සිතෙකින් පිසුණුබසින් වළකී ද, අන් සිතෙකින් පරොස්බසින් වළකී ද, අන් සිතෙකින් නිසරුබසින් වළකි ද, එබැවින් ඒ මුසාවාදා දී වූ විරති සතර ම පුර්‍වභාග මාර්‍ගයෙහි දී නානාක්‍ෂණික ව නානාලම්බනික ව සතරක් ව ම උපදී. එය ලෞකික ය. මේ මෙහි ආප්ත ය:- “යස්මා පන අඤ්ඤෙනෙව චිත්තෙන මුසාවාදා විරමති, අඤ්ඤෙනෙව චිත්තෙන පිසුණය වාචාය විරමති, අඤ්ඤෙනෙව චිත්තෙන ඵරුසාය වාචාය විරමති, අඤ්ඤෙනෙව චිත්තෙන සම්ඵප්පලාපා විරමති, තස්මා චතස්සොපෙතා වෙරමණියො පුබ්බභාගෙ නානා” යනු.

ආර්‍ය්‍යමාර්‍ගක්‍ෂණයෙහි මිත්‍ථ්‍යාවක් යි කියු අකුශලදුශ්ශීල්‍ය චේතනාවගේ උත්පත්තිහේතු සිදීමෙන් මතු නො ඉපැත්ම සිදු කිරීම් වශයෙන් මාර්‍ගාඞ්ගය පුරමින් එක් ම කුශල විරතියෙක් උපදී. එය ලෝකෝත්තර ය. මේ එහි ආප්ත ය:- “මග්ගක්ඛණෙ, පන මිච්ඡාවාචාසඞ්ඛාතාය අකුසලදුසසීල්‍ය චෙතනාය පදච්ඡෙදතො අනුප්පත්තිසාධනවසෙන මග්ගඞ්ගං පූරයමානා එකාව සම්මාවාචාසඞ්ඛාතා කුසලවෙරමණී උප්පජ්ජති” යනු. මෙය ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගයෙහි තෘතීය අඞ්ගය යි. එය මෙසේ වදාළ සේක.

“කතමා ච භික්ඛවෙ සම්මාවාචා? යා ඛො භික්ඛවෙ! මුසාවාදා වෙරමණි, පිසුණාය වාචාය වෙරමණි, ඵරුසාය වාචාය වෙරමණි, සම්ඵප්පලාපා වෙරමණි, අයං වුච්චති භික්ඛවෙ! සම්මාවාචා” යි.

මේ මෙහි අරුත්:- “මහණෙනි! සම්‍යග්වාක් තොමෝ කවරීද? යත්: මහණෙනි! බොරුබසින් යම් වෙන්වීමෙක්, කේලාම්බසින් යම් වෙන්වීමෙක්, පරොස්බසින් යම් වෙන්වීමෙක්, නිසරුබසින් යම් වෙන්වීමෙක් වේ ද, මහණෙනි! මෝ වාක් තොමෝ සම්‍යග්වාක් යි කියනු ලැබේ” යනු.

එහි නො සිදුවූවක් සිදුවූවක් කොටත් සිදුවූවක් නො සිදු වූවක් කොටත් මෙරමාහට හඟවනු කැමැත්තහුගේ සිතෙහි පහළ වන චේතනාමාත්‍රය මුසාවාදය යි. මෙරමා බිඳවනු කැමැති වූ මෙරමාහට අවැඩ කැමැති වූ උනුන් අතර වූ පියමනාප බව සිඳලනු කැමැත්තහුගේ සිතෙහි පහළවන චේතනාමාත්‍රය පිසුනාවාචා ය. අන්‍යයා පිළිබඳ මර්‍මච්ඡේද කරන්නා වූ පරොස්බස් කියන්නහුගේ සිතෙහි පහළ වන චේතනාමාත්‍රය ඵරුසාවාචා ය. තමාට හෝ මෙරමාහට වැඩක් නො වන සීතාහරණාදීන්ගේ වශයෙන් පවත්නා නිසරු වූ වැඩක් නැති බස් බිණීමෙහිලා සිතෙහි පහළ වන චේතනාමාත්‍රය සම්ඵප්පලාපය යි. විස්තර යට කියන ලද්දේ ය.

ඉතා කොටින් කියූ මේ චතුර්විධ වාග්දුශ්චරිතයෙන් වෙන්වීම, මුසාවාදවිරති - පිසුණවාචාවිරති - ඵරුසවාචා විරති - සම්ඵප්පලාප විරති යි පිළිවෙළින් ලෞකික චිත්තවීථීන්ගේගේ වශයෙන් සතරක් ව බෙදී ආයේ ද, මාර්‍ගචිත්තවීථින්හි එක් ම විරතියෙකැ යි යට කියන ලදි.

ලෞකික සම්‍යග්වචනය බොරුබස් බිණීමට කරුණු වන පුද්ගලයන් හා වස්තුන් එල්බ පවත්නේ ය. බොරු කීමෙන් වැළකීම පිණිස ඇත්ත කියන කල්හි, එය මුසාවාදය ප්‍රහාණ කිරීම් වශයෙන් පවතී. කේලාම් කීමෙන් වළකිනු පිණිස අන්‍යයාගේ එක් වීමට කරුණු වන ප්‍රියමනාප වචන කියන කල්හි, එය පිසුණවචනයාගේ ප්‍රහාණය කිරීම් වශයෙන් පවතී. පරොබස් කීමෙන් වළකිනු පිණිස මුදු මොළොක් බස් කියන කල්හි, එය ඵරුස වචනයාගේ ප්‍රහාණ කිරීම් වශයෙන් පවතී. නිසරුබස් කීමෙන් වළකිනු පිණිස අර්‍ත්‍ථවත් වවන කියන කල්හි, එය සම්ඵප්පලාපයාගේ ප්‍රහාණ කිරීම් වශයෙන් පවතී. මේ හැම වැළකීමෙක් වන්නේ වාග්දුශ්චරිතයන් යම්තමකින් යටපත් කිරීමෙනි. සම්‍යග්වචනය, මෙසේ පූර්‍වභාග ප්‍රතිපදා වශයෙන් වඩා දියුණු තියුණු කොට වාග්දුශ්චරිතයෙන් වැළකී සිටියේ ම, යම් කලෙක මෙහිලා විදසුන් වැඩුයේ නම් ඔහුට නිවන් අරමුණු කොට මාර්‍ගචිත්තය පහළ වන්නේ ය. එය පහළ වූයේ නිවන අරමුණු කොට ය. ලෞකික අවස්ථායෙහි වස්තු පුද්ගලයන් එල්බ ගෙණ සතරක් ව සිටි සම්‍යග්වචනය ලෝකෝත්තර අවස්ථායෙහි නිවන එල්බ ගෙණ එක්වට ම වාග්දුශ්චරිතය සමුච්ඡේද ප්‍රහාණයෙන් පහ කරන්නේ ය.

මෝ විරති තොමෝ සම්පත්තවිරති - සමාදානවිරති - සමුච්ඡේදවිරති යි තෙවැදෑරුම් ද වන්නී ය. එහි “මුසාවාදා වෙරමණි සික්ඛාපදං සමාදියාමි” යනාදීන් සමාදන් වීමක් නැති ව දෑ කුලගොත් ඇසූ පිරූ තැන් ඈ ගැන සලකා වාග්දුශ්චරිතයෙන් වැළකීම සම්පත්තවිරති නමු. එසේ සික පද දැඩි ව ගැණිමෙන් එය සිත්හි කොට වාග්දුශ්චරිතයෙන් වැළකීම සමාදානවිරති නමු. ආර්‍ය්‍ය මාර්‍ගයෙන් මේ කියු දුශ්චරිතයන්ගේ නැවැත නො උපදනා පරිදි මුල්සිඳ වැළකීම සමුච්ඡේදවිරති නමු. ඕ ම මෙහි කැමැතිවන ලද්දී ය. මුසාවාද විරති ඈ විරති සතර මෙතුණෙන් බෙදූ කල්හි ඒ වශයෙන් විරති දොළොසෙක් වේ. ඒ සතරෙහි ලැබෙන සමුච්ඡේදවිරති සතර මේ බෙදීමෙහි දී සතරක් සේ බෙදුනේ ද ලෝකෝත්තර මාර්‍ගයෙහි වූයේ එකෙක් ම වේ. එක් ම සමුච්ඡේදවිරතිය ලෝකෝත්තර මාර්‍ගයෙහි වූ වා ය. අන්‍යයෝ පුර්‍වභාගප්‍රතිපදා සඞ්ඛ්‍යාත ලෞකික පක්ෂයෙහි සිටියෝ ය.

සම්මාකම්මන්ත නම් :- මිනිසාගේ එලොව මෙලොව දියුණුව නසාලන මිනිසා අපා දුකට ඇදලන තමාට මොනලෙසකිනුත් වැඩක් නො වන නුවණ නැත්තහුට විපාක දෙනතුරු මිහිරක් සේ වැටහෙන සතුන් මැරීම - හොරකම් කිරීම - මිස හැසිරීම යන පව් කම් තුණ මුග්ධලෝකයා විසින් දිවි ගැලවීමේහි උපායය කොට ගන්නා ලද මිත්‍ථ්‍යාකර්‍මාන්තයෝ ය. වැරදි ක්‍රියා ය. යට දැක් වූ චතුර්විධ මිත්‍ථ්‍යාවචනයෙන් වෙන්වූවහුගේ ඒ සම්‍යග්වචනය හා එක් වු සතුන් මැරීම් ආදී වූ ත්‍රිවිධ මිත්‍ථ්‍යාකර්‍මාන්තයන් මුළුමනින් සිඳහරිමින් කායදුශ්චරිතයෙන් සදහට වෙන්වීමැ යි කියන විරති චෛතසිකය යි. එය තමන් හා එක් වූ හැම පිරිසිදු සිතිවිල්ලක් ම නිවන් අරමුණෙහි නැංවීම ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය ඒ මිත්‍ථ්‍යාකර්‍මාන්තයෙන් වැළකීම ය. වැටහෙන අයුර මිත්‍ථ්‍යාකර්‍මාන්තයන් බැහැර කොට සිටීම ය. “තථා විරමතො තං සම්පයුත්තාච මිච්ඡාකම්මන්තසමුච්ඡෙදිකා පාණාතිපාතාදිවිරති, සො සමුට්ඨානලක්ඛණො, විරමණරසො, මිච්ඡාකම්මන්තප්පහාණ පච්චුපට්ඨානො” යි එය කීහ.

සම්‍යක්කර්‍මාන්තය ලෞකික - ලෝකෝත්තර විසින් ද පරිදි ය. “සො දුවිධො හොති සම්මාකම්මන්තො ලොකිය ලොකුත්තර භෙදෙනාති” යනු දන්නේ ය. පූර්‍වභාග ප්‍රතිපදා වශයෙන් ගැණුනේ ලෞකික ය. මාර්‍ගඵලසම්ප්‍රයුක්ත වූයේ ලෝකෝත්තර ය. යම් හෙයකින් අන් සිතෙකින් සතුන් මැරීමෙන් වළකී ද, අන් සිතෙකින් හොරකම් කිරීමෙන් වළකී ද, අන් සිතෙකින් මිස හැසිරීමෙන් වළකී ද, එබැවින් ඒ පණාතිපාතාදී වූ විරති තුණ ම පුර්‍වභාග මාර්‍ගයෙහි දී නානාක්‍ෂණික ව නානාලම්බනික ව තුණක් ව ම උපදී. ඒ ය ලෞකික ය. මේ මෙහි ආප්ත ය. “යස්මා පන අඤ්ඤෙනෙව චිත්තෙන පාණාතිපාතා විරමති, අඤ්ඤෙනෙව චිත්තෙන අදින්නාදානා විරමති, අඤ්ඤෙනෙව චිත්තෙන මිච්ඡාචාරා විරමති, තස්මා තිස්සොපෙතා වෙරමණියො පුබ්බභාගෙ නානා” යනු.

ආර්‍ය්‍යමාර්‍ගක්‍ෂණයෙහි මිත්‍ථ්‍යාකර්‍මාන්තය යි කියූ අකුශලදුශ්ශීල්‍ය චේතනාවගේ උත්පත්තිහේතු සිඳීමෙන් මතු නො ඉපැත්ම සිදුකිරීම් විසින් මාර්‍ගය පුරන්නී එක් ම කුශල විරතියෙක් උපදි ඒ ය ලෝකෝත්තර ය. මේ එහි ආප්ත ය. “මග්ගක්ඛණෙ පන මිච්ඡාකම්මන්තසඞ්ඛාතාය අකුසලදුස්සීල්‍යචෙතනාය පදච්ඡේදතො අනුප්පත්තිසාධනවසෙන මග්ගඞ්ගං පූරයමානා එකාව සම්මාකම්මන්ත සඞ්ඛාතා කුසලවෙරමණි උප්පජ්ජති” යනු.

සම්‍යක් කර්‍මාන්තය ලෞකික විසින් නොයෙක් ක්‍ෂණ ඇත්තේ නොයෙක් අරමුණු ඇත්තේ ය. ලෝකෝත්තර විසින් එක් ම ක්‍ෂණයක් ඇත්තේ එක් ම අරමුණක් ඇත්තේ ය යි “සම්මා, කම්මන්තො පුබ්බභාගෙ නානාක්ඛණො නානාරම්මණො, මග්ගක්ඛණෙ එකක්ඛණො එකාරම්මණො” යි මෙයින් වඩාත් ව්‍යක්ත කළහ පූර්‍වභාග ප්‍රතිපදා අවස්ථායෙහි විරති ද චේතනා ද වේ. මාර්‍ගක්‍ෂණයෙහි එක් ම විරතිමාත්‍රයෙක් වේ. මෙය ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගයෙහි තුරීය අඞ්ගය යි. එය මෙසේ වදාළ සේක:-

“කතමො ච භික්ඛවෙ! සම්මා කම්මන්තො? යා ඛො භික්ඛවෙ! පාණාතිපාතා වෙරමණී, අදිනන්නාදානා වෙරමණී, මිච්ඡාචාරා වෙරමණී, අයං වුච්චති භික්ඛවෙ! සමාකම්මන්තො” යි.

මේ මෙහි අරුත්:- “මහණෙනි! සම්‍යක් කර්‍මාන්තය කවරේ ද? යත්: මහණෙනි! සතුන් මැරීමෙන් යම් වෙන්වීමෙක් හොරකම් කිරීමෙන් යම් වෙන්වීමෙක් මිස හැසිරීමෙන් යම් වෙන්වීමෙක් වේ ද, මහණෙනි! මෙය සම්‍යක්කර්‍මාන්ත ය යි කියනු ලැබේ” යනු.

එහි ඉදිරියෙහි දිවි ගලවන්නට පොහොසත් වූ යම්කිසි සත්ත්‍වයකු එසේ ඉදිරියෙහි දිවි ගෙවන්නට ඉඩ නො තබා යම්කිසි උපක්‍රමයෙකින් අතරක දී දිවියෙන් තොර කිරීමෙහි ලා සිතෙහි පහළ වන වධක චේතනාමාත්‍රය පාණාතිපාතය යි. මෙරමා අයත් දැයක් මෙරමා අයත් බව දැන දැන හිමියා නො දන්වා යම්කිසි උපක්‍රමයෙකින් පැහැර ගැණීමෙහිලා සිතෙහි පහළවන චේතනා මාත්‍රය අදින්නාදානය යි. ලෝකසදාචාරයට පටහැනි වූ නින්දිත වූ ලාමක හැසිරීමෙහිලා ස්ත්‍රී පුරුෂ දෙදෙනෙක්හුගේ සිත්හි නගිනා සේවන චේතනා මාත්‍රය මිත්‍ථ්‍යාචාරය යි. විස්තර යට කියන ලද්දේ ය.

ඉතා කොටින් කියූ මේ ත්‍රිවිධ කාය දුශ්චරිතයෙන් වෙන්වීම පාණාතිපාතවිරති - අදින්නාදානවිරති - මිච්ඡාචාරවිරති යි පිළිවෙළින් ලෞකිකවීථින්ගේ වශයෙන් තුණක් ව බෙදී ආයේ ද මාර්‍ගචිත්ත වීථින්හි එක් ම විරතියෙකැ යි දතයුතු ය. මෙසේ පුර්‍වභාග ප්‍රතිපදා වශයෙන් වඩා දියුණු තියුණු කොට කාය දුශ්චරිතයෙන් වැළකී සිටියේ ම යම් කලෙක මෙහිලා විදසුන් වැඩුයේ නම් ඔහුට නිවන් අරමුණු කොට මාර්‍ග චිත්තය පහළ වන්නේ ය. එය පහළ වනුයේ නිවන අරමුණු කොට ය. ලෞකික අවස්ථායෙහි වස්තු සංස්කාරයන්හි එල්බ ගෙණ තුණක් ව සිටි සම්‍යක්කර්‍මාන්තය ලෝකෝත්තර අවස්ථායෙහි නිවන එල්බ ගෙණ එක්වටම කාය දුශ්චරිතය සමුච්ඡේද ප්‍රහාණයෙන් පහ කරන්නේ ය.

මෝ විරති තොමෝ ද සම්‍යග්වචනයෙහි කියූ සේ සම්පත්ත සමාදාන සමුච්ඡේද විසින් බෙදී යන්නී ය. සමාදානයක් නැති ව කායදුශ්චරිතයෙන් වෙන්වීම සම්පත්තවිරතිය යි. සිකපද සමාදන් ව ගැණීමෙන් කාය දුශ්වරිතයෙන් වෙන්වීම සමාදාන විරති යයි. ආර්‍ය්‍ය මාර්‍ගයෙන් නැවැත නො උපදනා පරිදි කායදුශ්වරිතයාගේ මුල් සිඳ දමා වැළකීම සමුච්ඡේදවිරතිය යි. මේ විරති ගුණ සම්පත්තාදී විරති තුණෙන් බෙදූ කල්හි ඒ වශයෙන් විරති නවයෙක් ලැබේ. ඒ තුණහි ලැබෙන සමුච්ඡෙදවිරති තුණ මෙහිදී පූර්‍වභාග ප්‍රතිපදා විසින් තුණක් කොට බෙදුනේ ද ලෝකෝත්තර මාර්‍ගයෙහි වූයේ එකෙක් ම ය. එක් ම සමුච්ඡෙදවිරතිය ලෝකෝත්තර මාර්‍ගයෙහි වූ ය. අන්‍ය විරතීහු ලෞකිකත්වයෙහි වූහ.

සම්මාආජීව නම් :- සිවු වැදෑරුම් වූ වාග්දුශ්චරිතයෙන් හා තෙ වැදෑරුම් වූ කායදුශ්චරිතයෙන් වෙන් වූ සම්‍යග්වචනයෙන් හා සම්‍යක්කර්‍මාන්තයෙන් උපදනා එයින් පිරිසිදු බවට ගියා වූ, ඒ හා එක් ව යෙදී ගත්තා වූ කුහනා - ලපනා - නෙමිත්තිකතා - නිප්පෙසිකතා - ලාභෙන ලාභං නිජිගිංසනතා යනාදී වූ කොහොන් වත් මුළුමනින් නසා ලන්නා වූ මිත්‍ථ්‍යාජීවයෙන් වෙන්වීම යි කියන විරතිචෛතසිකය යි. එය තමන් හා එක් වූ ධර්‍මයන් වඩවඩාත් පිරිසිදු කිරීම ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය මේ සම්‍යගාජීවයාගේ පැවැත්මෙහි පටන් මිත්‍ථ්‍යාජීවය නො පවත්නා බැවින් බුදුරජුන් විසින් නින්දා නො කරණ ලද සම්‍යගාජීවයාගේ පැවැත්ම ය. වැටහෙන අයුර මිත්‍ථ්‍යාජීවිකාප්‍රහාණය යි. “යා පනස්ස තෙසං සම්මා වාචා සම්මා කම්මන්තානං විසූතිභූතා කුහනාදි උපච්ඡේදිකා මිච්ඡාජීවවිරති, සො සම්මාආජීවො නාම, සො වොදානලක්ඛණො, ඤායාපීවප්පවත්තිරසො, මිච්ඡාජීවප්පහාන පච්චුපට්ඨානො” යි එය කීහ.

“සම්මා ආජීවතීති = සම්මා ආජීවා, සම්මා වා තෙන ආජීවන්තීති = සම්මා ආජීවො, පසත්‍ථො සුන්දරො වා ආජීවොති සම්මා ආජීවො” යනු ශබ්දාර්‍ත්‍ථ දැක්වීම ය.

ලෞකික - ලෝකෝත්තර විසින් සම්‍යගාජීවය දෙ පරිදිය. එය කීහ මෙසේ:- දුවිධො හොති සම්මා ආජීවො ලොකිය ලොකුත්තර භෙදෙනාති” යි. පූර්‍වභාග ප්‍රතිපදා වශයෙන් ගැණුනේ ලෞකික ය. එය කාමාදි ආශ්‍රව සහිත ය. කාම රූපාරූප කුශල විපාක භජනය කරන්නේ ය. මාර්‍ගඵල සම්ප්‍රයුක්ත වූයේ ලෝකෝත්තර ය. එය ආර්‍ය්‍ය මාර්‍ගය වඩන්නහුගේ ආර්‍ය්‍යමාර්‍ගකුශල චිත්තයෙහි පහළ වන මිත්‍ථ්‍යාජීවයෙන් තොර වූ ආර්‍ය්‍ය වූ කාමාදි ආශ්‍රව රහිත වූ සමුච්ඡේදවිරති ය යි. යම් හෙයකින් අන් සිතෙකින් දිවි පැවැත්ම කරුණු කොට ඇති පාණාතිපාතාදී වූ ත්‍රිවිධ කායදුශ්චරිතයෙන් වළකී ද, අන් සිතෙකින් දිවිපැවැත්ම කරුණු කොට ඇති මුසාවාදාදී වූ චතුර්විධ වාග්දුශ්චරිතයෙන් වළකී ද, එහෙයින් ආර්‍ය්‍ය මාර්‍ගය ලැබීමට පූර්‍වයෙහි නානාක්‍ෂණයෙහි නානාලම්බනික ව පහළ වන මෝ විරතිය ලෞකික ය. මේ එහි ආචාර්‍ය්‍ය වචනය:- “යස්මා පන අඤ්ඤෙනෙව චිත්තෙන කායද්වාරවීතික්කමා විරමති, අඤ්ඤෙනෙව චිත්තෙන වචීද්වාරවීතික්කමා විරමති, තස්මා පුබ්බභාගෙ නානාක්ඛණෙසු උප්පජ්ජති” යනු.

මාර්‍ගක්‍ෂණයෙහි සත් වැදෑරුම් වූ, කර්‍මපථයන්ගේ වශයෙන් දෙ වැදෑරුම් වූ කායවාග්ද්වාරයෙහි උපදනා වූ මිත්‍ථ්‍යාජීවැ යි කියූ දුශ්ශීල්‍යචේතනාවගේ උත්පත්ති හේතු නසමින් නැවැත නො ඉපැත්ම සිදු කිරීම් විසින් මාර්‍ගාඞ්ගය පුරමින් උපදනා සම්‍යගාජීවය යි කියන ලද එක් ම කුශලචිත්ත සම්ප්‍රයුක්ත වූ මෝ විරතිය ලෝකෝත්තර ය. මේ එහි ආචාර්‍ය්‍යවචනය:- “මග්ගක්ඛණෙ පන ද්වීසු ද්වාරෙසු සත්තන්නං කම්මපථානං වසෙන උප්පන්නාය මිච්ඡාආජීව දුස්සීල්‍යචෙතනාය පදච්ඡේදතො අනුප්පත්තිසාධනවසෙන මග්ගඞ්ගං පූරයමානා එකාව සම්මාආජීව සඞ්ඛාතා කුසලවෙරමණි උප්පජ්ජති” යනු. මෙය ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගයෙහි පඤ්චම අඞ්ගය යි. එය මෙසේ වදාළ සේක:-

“කතමො ච භික්ඛවෙ! සම්මාආජීවො? ඉධ භික්ඛවෙ! අරියසාවකො මිච්ඡාආජීවම්පහාය සම්මාආජීවෙන ජීවිකං කරොති, අයං වුච්චති භික්ඛවෙ! සම්මාආජීවො” යි.

මේ මෙහි අරුත්:- “මහණෙනි! සම්‍යගාජීවය කවරේ ද? යත්: මහණෙනි! මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ලාමක වූ දිවි පැවැතුම් හැරපියා නිවරද වූ දිවිවැටුමෙන් දිවි පැවැතුම් කෙරේ ද මහණෙනි! මෙය සම්‍යගාජීවය යි කියනු ලැබේ” යනු.

මෙහි එන මිච්ඡාජීවං යන පදයෙන් බුදුරජුන් විසින් නො කටයුතු ය යි වදාළ නො දැහැමි වෙණඳාමෙන් හා මෙරමා තළා පෙළා වධ දී පැහැර ගන්නා දැයින් හා ගිහියා කරණ දිවිවැටුමත්, ශික්‍ෂා ඉක්මවා යෑමෙන් හා කුහනා ලපනා දී වූ කොහොන් වතින් හා එක්විසි අනෙසනයෙන් ගිහියා සිත් ගැණිමෙන් හා ලත් සිදු පසයෙන් ද තවත් නොයෙක් නො කැප දැයින් පැවිද්දා කරණ දිවිවැටුමත් දක්වන ලද්දේ ය. විස්තර යට කියන ලදී. මේ සම්‍යගාජීවවිරතිය ද යට කියූ සේ සම්පත්තාදී විරති තුණෙන් බෙදී යන බැවින් එහිලා කීයේ මෙහිලා ද දතයුතු ය. එහි ද ලැබෙන සමුච්ඡේද විරතීහු ආර්‍ය්‍ය මාර්‍ගයෙහි දී එක් ම විරතියකට වැටී එක් ම විරතියක් ව සිට කෙලෙස් සිඳ හරින්නෝ ය. පූර්‍වභාග ප්‍රතිපදායෙහි සම්පත්ත-සමාදාන නමින් නැගෙන විරතීහු තදඞ්ගාදී විසින් කෙලෙස් ඔබාලන්නෝ ය.

නිවන් පසක් කරණු පිණිස නම්, ගිහියන් විසින් කායවාග්දුශ්චරිතයෙන් හා නො දැහැමි වෙණඳාමෙන් කරණු ලබන නො දැහැමි දිවිවැටුම, මුළුමනින් හැරපියා ගොවිකම් ගෙරිරැකීම් දැහැමි වෙණඳාම් ආදියෙහි යෙදී වීර්‍ය්‍ය ධූර කොට සම්‍යගාජීවයෙන් පිරිසිදු ව ජීවත් විය යුතු ය.

පැවිදහු විසින් වනාහි ආජීවපාරිශුද්ධිය පිණිස විශේෂ කොට බුදුරජුන් විසින් දක්වා වදාළ ශික්‍ෂාවන් නො ඉක්මවා මේ ශාසනයෙහි මහත් ගුණයෙන් අගතැන්පත් වූ මහසුප් ඈ මහ රහතුන් වහන්සේ ගිය මග සිහි කරන්නහු, සිවුපසය ලබනු රිසියෙන් කොහොන් කම් නො කරන්නහු, අනෙසනයන්හි නො ද යෙදෙන්නහු, වීර්‍ය්‍යය ධූර කොට ආජීවය පිරිසිදු කළ යුතු ය. මෙසේ පිළිපදින්නා වූ ගිහි පැවිද්දනට ඒ ඒ අවස්ථායෙහි මේ සම්‍යගාජීවය ලෞකික විසින් සිදු වන්නේය. දැඩි ව ගත් සම්‍යගාජීවයෙහි සිට විදසුන් වඩන්නා වූ ඔවුනට මාර්‍ගචිත්තය ලැබෙනුයේ ලෝකෝත්තර මාර්‍ගයාගේ අඞ්ග විසිනි.

සම්ම්වාචා - සම්මාකම්මන්ත චෛතසික දෙදෙන අවාබිය කරුණු කොට වාග්දුශ්චරිතයෙන් හා කායදුශ්චරිතයෙන් වළකිත්. සම්මාආජීවචෛතසිකය, විසපල කෑයෙම් නම්, මාගේ දිවි නැසේ ය, යන බියෙන් විසපල නො කන්නා වූ පුරුෂයකු සේ තමන්ගේ දිවිවැටුම බලාපොරොත්තු වෙමින් මේ කියූ සත් වැදෑරුම් දුශ්චරිතයෙන් වැළකී සිටුනේ ය. සම්මාවාචාවිරති චෛතසිකය, වාග්දුශ්චරිතයෙන් වළක්නා කල්හි දිවිවැටුම බලාපොරොත්තු රහිත ව අවාබිය ගැණ ම අපේක්‍ෂා කරන්නී ය. සම්මාආජීවය, වචීදුශ්චරිතයෙන් වළක්නා කල්හි දිවිවැටුම බලාපොරොත්තු වෙමින් පව් කමින් වැළකී ගණියි. සම්මාකම්මන්ත චෛතසිකය, කායදුශ්චරිතයෙන් වළක්නා කල්හි දිවිවැටුම බලාපොරොත්තු නැතිව අවාබිය බලාපොරොත්තු වීම් වශයෙන් කායදුශ්චරිතයෙන් වැළකී සිටියි. සම්මා ආජීව චෛතසිකය ඇසුරු කොට දුශ්චරිතයෙන් වළක්නා කල්හි පළමු කොට අවාබිය බලාපොරොත්තු වූයේ නමුදු පසු කාලයෙහි දිවිවැටුම බලාපොරොත්තුවෙන් පවතින්නේ ය.

මේ සම්‍යග්වාගාදී විරතිත්‍රය, පාණාතිපාත - අදින්නාදාන - මිච්ඡාචාර - මුසාවාද - පිසුණවාචා - ඵරුසාවාචා - සම්ඵප්පලාප - මිච්ඡාජීව යන අටවැදෑරුම් වූ පාපධර්‍මයන්ගෙන් වැළකීම් වශයෙන් ආජිවාෂ්ටමක ශීලය සමාදන්වන කල්හි එක එක ශික්‍ෂාපදය පිළිබඳව උපදනා කාමාවචර කුශලචිත්තවීථි අටෙහි, අට අට බැගින් ක්‍රමයෙන් උපදි. පන්සිල් අටසිල් සමාදන් වීමෙහි දී එයට සුදුසු පරිදි උපදින්නේ ය. සාමණේර - උපසම්පදා සීලයක්හි කොහොන් වතින් වෙන්වීම් වශයෙන් සම්මාආජීව චෛතසිකය උපදි. දශපුණ්‍යක්‍රියා වස්තු වශයෙන් පවත්නා වූ කාමාවචර කුශලචිත්තයන් අතුරෙහි ශීලමය පුණ්‍යක්‍රියාවස්තු වශයෙන් ගැණෙන කාමාවචර කුශල චිත්තයෙහි මුත් අන්‍ය වූ නවවිධ පුණ්‍යක්‍රියාවස්තුන් ඇසුරු කොට මෙය නො උපදනේ ය. කාමාවචර විපාකචිත්තය, කායවාග්විඥප්තිජනක නො වන බැවින් එහි විරතීහු නො ලැබෙත්. කාමාවචර මහාක්‍රියා සිත් රහතුන්ට ම උපදනා බැවින් ඒ සිත්හි ද ඔවුහු නො ලැබෙත්. රූපාරූපමහද්ගත චිත්තයෙහි ශීල විශුද්ධිය අමුතුවලා නො ලැබෙන බැවින් එහි එක ද විරතියෙකුත් නො ලැබේ. කාමාවචර කුශල චිත්තයෙහි ලැබෙන්නා වූ විරතීහු අවිද්‍යා ප්‍රත්‍යයයෙන් ලැබෙන්නා වූ කුශල සංස්කාරයන්ට උපකාරව සිටිති. එහෙයින් ඒ ධර්‍මයෝ ප්‍රතීත්‍යසමුත්පාදයෙහි අඞ්ගත්වයෙන් සිටින්නාහ. මතු සසරැ ඉපැදීමට හේතුහු වෙත්. මාර්‍ග චිත්තයෙහි මාර්‍ගාඞ්ග වශයෙන් ලැබෙන්නෝ සසරින් බැහැර යෑමට හේතු වූ නෛර්‍ය්‍යාණිකාඞ්ගයෝ වෙත්. කාමාවචර විරතීහු ලෝකෝත්තර විරතීන්ට ප්‍රතිපක්ෂ වූවාහු නමුදු පිදුරු විකිණීමෙන් රන් කහවණු ලබන්නා සේ ලෝකෝත්තර විරතීන්ගේ පිළිලැබීමට එකාන්තයෙන් උපකාර වෙත්. මෙහිලා දතයුතු කරුණු ඉතා බොහෝ ය. ඒ හැම අනෙක් පොත පතින් දතයුතු ය.

සම්මාවායාම නම් :- සම්මා වාචා - සම්මාකම්මන්ත - සම්මාආජීව ය යි ගැණෙන ශීල භූමියෙහි පිහිටියහුගේ සියලු අකුසල් සිඳලන අලස බව නසාලන වීර්‍ය්‍යචෛතසිකය යි. ඥානදර්‍ශන විශුද්ධියෙහි පැවැති වීර්‍ය්‍යය සම්‍යග්ව්‍යායාමැ යි ගනු ලැබේ. එය තමන් හා එක් වූ අනෙක් ධර්‍මයන් උත්සාහවත් කිරීම ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය නූපන් අකුසල් නො ඉපදවීම, උපන් අකුසල් පහකිරීම, නුපන් කුසල් ඉපදවීම, උපන් කුසල් රැකගැනීම ය. වැටහෙන අයුර, මිත්‍ථ්‍යාව්‍යායාමයාගේ ප්‍රහාණ ය යි. “අථස්ස යො තස්සා සම්මාවාචාකම්මන්තාජීව සඞ්කාතාය සීලභූමියං පතිට්ඨිතස්ස තදනුරූපො තං සම්පයුත්තාච කොසජ්ජසමුච්ඡෙදකො විරියාරම්භො, සො පග්ගහලක්ඛණො, අනුප්පන්නඅකුසලානුප්පාදන්දිරයො, මිච්ඡාවායාම පහාන පච්චුපට්ඨානො” යි එය කීහ.

“සම්මා වායමතීති = සම්මාවායාමො, සම්මා වා තෙන වායමන්තීති = සම්මාවායාමො, පසත්‍ථො සුන්දරො වා වායාමොති = සම්මාවායාමො” යනු ශබ්දාර්‍ත්‍ථ දැක්වීම ය.

සම්‍යග් ව්‍යායාමය, ලෞකික - ලෝකෝත්තර විසින් දෙ පරිදි ය. එය කීහ මෙසේ:- “දුවිධො හොති සම්මාවායාමො ලොකිය ලොකුත්තර භෙදෙනාති” යි. පුර්‍වභාග ප්‍රතිපදා වශයෙන් ගැණුනේ ලෞකික ය. මාර්‍ගඵල සම්ප්‍රයුක්ත වූයේ ලෝකෝත්තර ය. ආර්‍ය්‍ය මාර්‍ගය වඩන්නහුගේ ආර්‍ය්‍යමාර්‍ග කුශලචිත්තයෙහි පහළ වන මිත්‍ථ්‍යාව්‍යායාමයෙන් නො හැනුනු ආර්‍ය්‍ය වූ වීර්‍ය්‍යය යි. මෙය ආර්‍ය්‍යමාර්‍ගයාගේ පුර්‍ව කාලයෙහි නොයෙක් සිත්හි ලැබෙන්නේ ය. ඒ එකාන්ත ය. “අන් සිතකින් නො උපන්නා වූ ලාමක වූ අකුශලධර්‍මයන්ගේ නො ඉපදීම පිණිස ව්‍යයාම කෙරෙයි, අන් සිතෙකින් උපන්නා වු ලාමක අකුශලධර්‍මයන්ගේ පැහීම පිණිස ව්‍යායාම කෙරෙයි, අන් සිතකින් නො උපන්නා වූ කුශලධර්‍මයන්ගේ ඉපදීම පිණිස ව්‍යයාම කෙරෙයි, අන් සිතෙකින් උපන්නා වූ කුශලධර්‍මයන්ගේ කල් පැවැත්ම පිණිස ව්‍යායාම කෙරෙයි” යි කීයේ ආර්‍ය්‍ය මාර්‍ගයෙන් පුර්‍ව අවස්ථාව සලකා ගෙණ ය. ආර්‍ය්‍යය මාර්‍ගක්‍ෂණයෙහි වනාහි එක් ම සිතෙක්හි මේ ලැබේ. ඒ එකාත්ත ය. එකලා වූ ම මාර්‍ගචිත්තය සමඟ යෙදී සිටියා වූ වීර්‍ය්‍යය, සිවු කිසක් සපයන අරුතින් නම් සතරක් ලබා සිටියේ ය. සම්‍යග් ව්‍යායාමය, පූර්‍වාවස්ථායෙහි නානාක්‍ෂණික නානාලම්බනික බවත් මාර්‍ගවස්ථායෙහි එකක්‍ෂණික එකාලම්බනික බවත් පැහැදිලි වන්නේ ය. මේ එහි සාධක වචනය:- “අයං පන පුබ්බභාගෙ නානා චිත්තෙසු ලබ්භති, අඤ්ඤෙනෙව හි චිත්තෙන අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය වායාමං කරොති, අඤ්ඤෙන උප්පන්නානං පහානාය, අඤ්ඤෙනෙව අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය, අඤ්ඤෙන උප්පන්නානං ඨිතියා, මග්ගක්ඛණෙ පන එකචිත්තෙයෙව ලබ්භති, එක මෙව හි මග්ගසම්පයුත්තං විරියං චතුකිච්චසාධනට්ඨෙන චත්තාරි නාමානී ලභති” යනු.

වීර්‍ය්‍යචෛතසිකය, ක්‍රමවත් ව වැඩුයේ ම ලෞකික - ලෝකෝත්තරාර්‍ත්‍ථයෙන් සම්පූර්‍ණ වන්නේ ය. “න සක්කා කුසීතෙන නව ලොකුත්තරෙ ධම්මෙ ලද්ධුං ආරද්ධවීරියෙනෙව සක්කා, අයමා නිසං සො” කුසීතයා විසින් නව ලොවුතුරාදහම් ලබන්නට නො හැකි ය, ඇරඹු වැරඇතියහු විසින් ලබන්නට හැකි ය, මෙය වීර්‍ය්‍යයාගේ අනුසස් ය, යනු ද සිත්හිලා දැරිය යුතු ය. මෙය තමන් හා එක් වන අන්‍යචෛතසිකයන් ද තම තමන් අයත් කාර්‍යයෙහි තෙද ගන්වනුයේ ය. සිත යම්කිසි අරමුණෙක නැගී සිටීමෙහි දුර්‍වල වූ කල්හි සිතෙහි ඒ දුබලබව නසා සිත ඒ ඒ අරමුණුවල ස්ථිරව නගා සිටුවනුයේ ද මේ ය. පූර්‍වභාග ප්‍රතිපදා විසින් වැඩුනු මෙය ලෞකික විසින් පවත්නා හැම සැපතක් ලං කොට දෙන්නේ ය. ලෝකෝත්තර විසින් වැඩුනේ ආර්‍ය්‍යයමාර්‍ගයාගේ අඞ්ගත්වයෙන් සිට සියලු සසර දුක් නසා ලන්නේ ය. මෙය ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගයෙහි ෂෂ්ඨාඞ්ගය වන්නේ ය. එය මෙසේ වදාළ සේක:-

“කතමො ච භික්ඛවෙ! සම්මාවායාමො? ඉධ භික්ඛවෙ! භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති, චිත්තං පග්ගණ්හාති, පදහති. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්‍යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්‍දං ජනෙති, වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අයං වුච්චති භික්ඛවෙ! සම්මාවායාමො” යි.

මේ මෙහි අරුත්:- “මහණෙනි! සම්‍යග්ව්‍යායාමය කවරේද? යත්: මහණෙනි! මේ ශාසනයෙහි මහණ තෙමේ නුපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ නො ඉපදීම පිණිස කුසලච්ඡන්‍දය උපදවා ද පරාක්‍රමය කෙරේ ද කායික චෛතසික වීර්‍ය්‍යය කෙරේ ද සිත ඔසොවා තබා ද ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ ද, උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ පැහීම පිණිස කුසලච්ඡන්‍දය උපදවා ද පරාක්‍රමය කෙරේ ද කායික චෛතසික වීර්‍ය්‍ය කෙරේ ද සිත ඔසොවා තබා ද ප්‍රධන් වීර්‍ය්‍යය කෙරේ ද නූපන් කුශලධර්‍මයන්ගේ ඉපදීම පිණිස කුසලච්ඡන්‍දය උපදවා ද පරාක්‍රමය කෙරේද කායිකචෛතසික වීර්‍ය්‍යය කෙරේද සිත ඔසොවා තබා ද ප්‍රධන් වීර්‍ය්‍යය කෙරේ ද, උපන් කුශලධර්‍මයන්ගේ බොහෝ කල් පැවැත්ම පිණිස නො නැසීම පිණිස නැවැත නැවැත වැඩිම පිණිස මහත්බව පිණිස වැඩීම පිණිස පිරිපුන්බව පිණිස කුසලච්ඡන්‍දය උපදවා ද පරාක්‍රමය කෙරේ ද කායිකචෛතසික විර්‍ය්‍යය කෙරේ ද සිත ඔසොවා තබා ද ප්‍රධන් වීර්‍ය්‍යය කෙරේ ද, මහණෙනි! මෙය සම්‍යග්ව්‍යයාමය යි කියනු ලැබේ” යනු.

මෙහි එන “ඡන්දං ජනෙති වායමති” යනාදී පදපෙළින් මේ සිවු තන්හි ආසෙවනා භාවනා බහුලීකරණ සතත ක්‍රියා වශයෙන් යෙදී සිටිය යුතු බව වදාරණ ලද්දේ ය. සම්‍යග්ව්‍යායාමය කෘත්‍යය සතරක් සිදු කරණ බව මෙයින් පැහැදිලි ය.

එහි පළමු වැන්න = ශමථ විදර්‍ශනාදියෙහි යෙදීම නිසා මෙතෙක් සිත්හි නූපන්නා වූ ලෝභ ද්වේෂ මෝහාදී වූ අකුශලධර්‍මයන්ට මත්තෙහි ඉපදීමට ඉඩ නො තබනු පිණිස ධ්‍යාන මාර්‍ගයන්ට පැමිණ නැවැත නැවැතත් ශමථ විදර්‍ශනාවන්හි යෙදීමෙහි වැර ඇරැඹීම ය.

දෙවැන්න = සිත්හි හැසිරීම් විසින් පවත්නා වූ මෙ කී අකුශල ධර්‍මයන් පහ කොට හැරීමට විදසුන් වැඩීමෙහි වැර ඇරැඹීම ය.

තෙවැන්න = ප්‍රථමධ්‍යානාදි අෂ්ටසමාපත්තීන් හා සෝතාපත්ත්‍යාදි මාර්‍ගයන් ඉපදවීමෙහි වැර ඇරැඹීම ය.

සිවුවැන්න = තමන් ලත් මාර්‍ගයාගේ පැවැත්ම පිණිස එය වැඩීම පිණිස වැර ඇරැඹීම ය.

නූපන් කුසලයන්ගේ ඉපදීමත් උපන් කුසලයන්ගේ පැවැත්මත් දෙක මාර්‍ගයාගේ පැවැත්මෙන් ම වන්නේ ය. මාර්‍ගය පවත්නේ ද පෙර නූපන් බැවින් අනුප්පන්න නම් ද, නැවැත උපන් බැවින් උත්පන්න නම් ද වේ.

“මාගේ සිත තුළ නූපන්නා වු ලාමක අකුශලධර්‍මයෝ උපදින්නෝ අනර්‍ත්‍ථය පිණිස පවත්නාහු ය, උපන්නා වූ අකුශල ධර්‍මයෝ. ප්‍රහීණ නො කරණ ලද්දාහු අනර්‍ත්‍ථය පිණිස පවත්නාහු ය, මා සිතතුළ නූපන්නා වූ කුශලධර්‍මයෝ නො ඉපදෙන්නෝ අනර්‍ත්‍ථය පිණිස පවත්නාහු ය, උපන්නා වූ කුශලධර්‍මයෝ නො පැවැත නිරුද්ධ වන්නෝ අනර්‍ත්‍ථය පිණිස පවත්නාහු ය” යි සිතන්නහුගේ සිතෙහි නැගි ව්‍යායාමය, නූපන් අකුසල් නො ඉපදවීම, උපන් අකුසල් පහකිරීම, නූපන් කුසල් ඉපදවීම, උපන් කුසල් ස්ථිරත්වයට පැමිණවීම යන මේ කෘත්‍යය සතර ගැබ් කොට සිටියේ ය.

අනවරාග්‍ර සංසාරයෙහි නූපන්නා වූ ලාමක අකුශලධර්‍ම කෙනෙක් නැත. නො ද ඉපිද නැවැත උපදින්නෝ ද මොවුහු ම උපදිත්. ප්‍රහීණ වන්නෝ ද මොවුහු ම ප්‍රහීණ වෙත්.

වත් සපයන, දහම් පොතපත හදාරණ, දුහඟ රකින, සමාධි විදර්‍ශනා වඩන, නවකම් කරණ, කරවන, බඹලොවින් විත් මෙලොව උපන් මොවුන්ගේ සිත්හි ඒ මේ අකුශල ධර්‍මයෝ ඔවුන් වත් සැපයීම් ඈ කරණ වේලෙහි ඉපදීමට ඉඩ නොලබත්. යම් ලෙසකින් මොවුහු අයෝනිසෝමනසිකාරයට සිහියෙන් තොර බවට පැමිණ වත් සැපයීම් ඈ හැර සිටියෝ නම් මොවුන්ගේ සිත්හි අසමුදාචාර විසින් අකුශලධර්‍මයෝ උපදිත්.

පෙර කාමාස්වාද වශයෙන් නො වළඳනා ලද මන වඩන රූපාදී වූ අරමුණක් දැක එහි එල්බ කම්රස විඳින්නහුගේ සිතෙහි අයෝනිසෝමනසිකාරය හා සිහියෙන් තොරබව හේතු කොට අනුත්පන්න වූ රාගාදික්ලේශයෝ අනනුභූතාරම්මණ විසින් උපදනාහු ය. මෙසේ නො වළඳනා ලද රූපාදී වූ අරමුණු ඉෂ්ටත්වයෙන් ගැණීම නිසා ඒ අනුත්පන්න අකුශලධර්‍මයන්ගේ ඉපැත්ම ඇති කල්හි තමාට වන අනර්‍ත්‍ථය දැක ඔවුන් නො උපදවාලීමට සතිපට්ඨාන භාවනායෙහි යෙදී සම්‍යග්ව්‍යායාමයාගේ ප්‍රථමය වූ සම්‍යක්ප්‍රදහනවීර්‍ය්‍යය වඩන්නේ ය. උපන් අකුසලයන් පහ කොට නො යැවීමෙන් වන අනර්‍ත්‍ථය දැක ඔවුන් පහ කොට හරිණු පිණිස දවිතීය සම්‍යක්ප්‍රදහනවීර්‍ය්‍යය වඩන්නේ ය. නූපන්නා වූ ශමථ විදර්‍ශනාවන්ගේ හා මාර්‍ගයාගේ නො ඉපැත්මෙහි වන අනර්‍ත්‍ථය දැක නූපන්නා වූ ඒ ශමථ විදර්‍ශනාමාර්‍ගයන් ඉපදවීම පිණිස තෘතීය සම්‍යක්ප්‍රදහනවිර්‍ය්‍යය වඩන්නේ ය. නො උපන්නා වූ කුශලධර්‍ම නම් ශමථ විදර්‍ශනාවෝ ය. මාර්‍ගය වනාහි වරක් ඉපිද නිරුද්ධ වූයේ ද අනර්‍ත්‍ථ පිණිස නම් නො වන්නේය. මාර්‍ගය, ඵලලාභයට රුකුල් දී නිරුද්ධ වන්නේ ය. ඒ ශමථ විදර්‍ශනාවන්ගේ නිරෝධයෙන් වන අනර්‍ත්‍ථය දැක ඔවුන්ගේ සථිරත්වය පිණිස තුරීය සම්‍යක්ප්‍රදහනවිර්‍ය්‍යය වඩන්නේ ය. මෙසේ කෘත්‍ය විසින් සතරකට බෙදුන සම්‍යග්ව්‍යායාමය මාර්‍ගක්‍ෂණයෙහි එක් ම විර්‍ය්‍යයෙක් වේ. ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගයෙහි අඞ්ගත්වයෙන් සිටියේ ලෝකෝත්තර වූයේ මේ ය. මෙහි මෙසේ සතර සම්මප්පධාන - විරියින්‍ද්‍රිය - විරියබල - විරිය සම්බොජ්ඣඞ්ගයෝ සංග්‍රහ වෙත්. විස්තර කථාව අනෙක් පොතපතින් දතයුත්තේ ය.

සම්මාසති නම් :- මේ කියූ සම්‍යග්ව්‍යායාමයෙන් තෙද ගැණුනු එයින් පුෂ්ටිමත් වූ වීර්‍ය්‍යවත්හුගේ ඒ සම්‍යග්ව්‍යායාමය හා එක්වූ කාය - වේදනා - චිත්ත - ධම්ම යන මෙතැන්හි අනුපස්සනාදීන්ගේ බලයෙන්, අශුහයන් ශුභවිසින් ගන්නා මිත්‍ථ්‍යාස්මෘතිය කම්පිත කොට නසාලන සිත පිළිබඳ නො මුළා බවය යි කියන ස්මෘතිචෛතසික ය යි. එය අරමුණෙහි ඇති තතු ඇති සැටියෙන් වටහා ගැණීම ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය, අශුභයෙහි ශුභ ය යි නො මුළාබව ය. වැටහෙන අයුර, මිත්‍ථ්‍යාස්මෘතිය පහ කොට හැරීම ය. “තස්සෙවං වායමතො තං සම්පයුත්තො ව මිච්ඡාසති විනිද්ධුනනො චෙතසො අසම්මොසො සම්මාසති නාම, සා උපට්ඨානලක්ඛණා, අසම්මුස්සනරසා, මිච්ඡාසතිප්පහානපච්චුපට්ඨානා” යි එය කීහ.

“සම්මා සරතීති = සම්මාසති, සම්මා වා තාය සරන්තීති = සම්මාසති, පසත්‍ථා සුන්දරා වා සතීති = සම්මාසති” යනු ශබ්දාර්‍ත්‍ථ දැක්වීම ය.

සම්‍යක්ස්මෘතිය ලෞකික - ලෝකෝත්තර යි දෙ පරිදි ය. එය කීහ මෙසේ:- “දුවිධා හොති සම්මාසති ලොකිය ලොකුත්තර භෙදෙනාති” යි. මෙහි මාර්‍ගප්‍රතිලාභයට පූර්‍වයෙහි කය අරමුණු කොට, වේදනාව අරමුණු කොට, සිත අරමුණු කොට, පඤචස්කන්‍ධාදි ධර්‍මයන් අරමුණු කොට, වෙන් වෙන් ව වැඩූ ස්මෘතිය පූර්‍වභාග ප්‍රතිපදා යි ගැණුනි ලෞකික ය. ස්‍රෝතාපත්‍යාදී වතුර්විධ මාර්‍ග චිත්තයන් හා හැනී සිටියා ලෝකෝත්තර ය. ආර්‍ය්‍ය මාර්‍ගය වඩන්නහුගේ ආර්‍ය්‍යමාර්‍ග කුශලචිත්තයෙහි පහළ වන මේ ස්මෘතිය ආර්‍ය්‍ය වූවා මිත්‍ථ්‍යාස්මෘතිය හා නො හැනුනී ය. පූර්‍වභාග ප්‍රතිපදායෙහිලා නම් නොයෙක් සිත්හි පහළ වන්නී ය. “අන් සිතෙකින් රූපකය පිරිසිඳ දන්නී ය, අන් සිතෙකින් වේදනාව පිරිසිඳ දී දන්නී ය, අන් සිතෙකින් සිත පිරිසිඳ දන්නී ය, අන් සිතෙකින් ධර්‍මයන් පිරිසිඳ දන්නී ය” යි කීයේ ආර්‍ය්‍යමාර්‍ගයෙන් වෙන් වූ ස්මෘතිය පිළිබඳ පූර්‍වාවස්ථාව බැලීමෙනි. ආර්‍ය්‍යමාර්‍ගක්‍ෂණයෙහි වනාහි එක් ම සිතෙහි ලැබේ. ඒ එකාන්ත ය. මෙසේ නො වෙන් වූ ම මාර්‍ගචිත්තය හා යෙදුනු ස්මෘතිය සිවු කිසක් සපයන බැවින් නම් සතරක් ලබන්නී ය. මෙයින් කියූ සම්‍යක් සමෘතිය මාර්‍ගයෙන් පුර්‍වකාලයෙහි මාර්‍ගභාවයට පැමිණීමට පෙරාතුව නානාක්‍ෂණික නානාලම්බනික බව හා මාර්‍ගක්‍ෂණයෙහි එක්‍ෂණික එකාලම්බනික බවත් ය. මේ එහි සමර්‍ත්‍ථනය:- “අයම්පි පුබ්බභාගෙ නානාචිත්තෙසු ලබ්භති, අඤ්ඤෙනෙව චිත්තෙන කායං පරිගග්ගණ්හාති අඤ්ඤෙනෙව වෙදනාදීනි, මග්ගක්ඛණෙ එක චිත්තයෙව ලබ්භති, එකායෙව හි මග්ගසම්පයුත්ත සති චතුකිච්චසාධනට්ඨෙන චත්තාරි නාමානි ලබ්භති” යනු.

මාර්‍ගඵල විසින් නො වැඩුනු පූර්‍වභාග ප්‍රතිපදා විසින් වැඩුනු සාමාන්‍යස්මෘතිය පවා මිනිසාට එ ලොව මෙ ලොව දෙක්හි සියලු අර්‍ත්‍ථසිද්ධිය සිද්ධ කර දෙන බව බුදුරජානන් වහන්සේ වදාළ සේක. එකාන්ත කුශල චෛතසිකයක් වූ මෙය අරමුණෙහි දැඩි ව පිහිටා ගණියි. ඇස් කන් නාස් ආදී වූ දොරටු රක්නා මෝ දොරටු පල්ලකු වැනි ය. සිතට නැගුනු අරමුණු අමතක වන්නට නො දෙන්නී මෝ ය. කුසල් සිත්හි තමන් හා අත්වැල් බැඳ සිටුනා අනෙක් නාමධර්‍මයන්ට අරමුණු සිහි කර ගන්නට රුකුල් දෙන්නී මෝ ය. ලෝකෝත්තර විසින් වැඩුනු කල්හි සියලු සසර දුක් නසාලන්නී ය. මෙහි විස්තරයට කියන ලද්දේ ය. ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගයෙහි සප්තමාඞ්ගය වන්නී මාර්‍ග විසින් වැඩුනු මෝ තොමෝ ය. එය මෙසේ වදාළ සේක:- “කතමා ච භික්ඛවෙ, සම්මාසති? ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, චිත්තෙ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අයං වුච්චති භික්ඛවෙ, සම්මාසති”

මේ මෙහි අරුත්:- “මහණෙනි සම්‍යක්සමෘතිය කවරී ද? යත්: මහණෙනි! මේ ශාසනයෙහි මහණ තෙමේ කෙලෙස් තවන වැර ඇතියේ සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වූයේ සිහි ඇතියේ මේ කයෙහි කය අනුව අනිත්‍යාදී විසින් බලන සුලු වූයේ උපාදානස්කන්‍ධ ලෝකයෙහි ඇලීම හා දොම්නස දුරු කොට වෙසෙයි, කෙලෙස් තුවන වැර ඇතියේ සම්‍යක් ප්‍රඥා ඇතියේ සිහි ඇතියේ වේදනායෙහි වේදනා අනුව අනිත්‍යාදී විසින් බලන සුලු වූයේ උපාදානස්කන්‍ධ ලෝකයෙහි ඇලීම හා දොම්නස දුරු කොට වෙසෙයි, කෙලෙස් තවන වැර ඇතියේ සම්‍යක් ප්‍රඥා ඇතියේ සිහි ඇතියේ සරාගාදී වූ සිත්හි සිත අනුව අනිත්‍යාදී විසින් බලන සුලු වුයේ උපාදානස්කන්‍ධ ලෝකයෙහි ඇලීම හා දොම්නස දුරු කොට වෙසෙයි. කෙලෙස් තවන වැර ඇතියේ සම්‍යක් ප්‍රඥා ඇතියේ සිහි ඇතියේ නීවරණාදි ධර්‍ම විෂයයෙහි ඒ ධර්‍ම අනුව අනිත්‍යාදී විසින් බලන සුලු වූයේ උපාදානස්කන්‍ධ ලෝකයෙහි ඇලීම හා දොම්නස දුරු කොට වෙසෙයි, මහණෙනි! මෙය සම්‍යක්සමෘති යි කියනු ලැබේ” යනු.

සම්‍යක්සමෘතිය, අනුපස්සනා විසින් කාය - වේදනා - චිත්ත - ධර්‍ම යන මේ සිවු තන්හි විද්‍යාමාන වූ අනිත්‍ය දුඃඛ අනාත්ම ලක්‍ෂණ නුවණින් එක්වන් සිහි කිරීම් වශයෙන් කායපරිග්‍රාහිකා ස්මෘති - වේදනාපරිග්‍රාහිකා ස්මෘති - චිත්තපරිග්‍රාහිකා ස්මෘති - ධර්‍මපරිග්‍රාහිකා ස්මෘති යි කෘත්‍ය සාධන විසින් වෙන වෙන නම් ලැබූ ය. මෙය යට ද කියන ලද්දේ ය.

අටවිසි රූප අතුරෙහි එක් එක් රූපයෙහි අනිත්‍ය - දුඃඛ - අනාත්ම විසින් පුන පුනා සිහි එළවා බැලීමෙන් මග නැණින් මුදුන් පැමිණියා කායපරිග්‍රහිකා ස්මෘතිය යි.

එක් අසූවක් ලෞකික චිත්තයෙහි යෙදී සිටි එක් අසූවක් වේදනාවන් අනිත්‍ය - දුඃඛ - අනාත්ම විසින් නැවැත නැවත සිහි එළවා බැලීමෙන් මගනැණින් මුදුන් පැමිණියා වේදනාපරිග්‍රාහිකා ස්මෘතිය යි.

එක් අසුවක් ලෞකික චිත්තයන් අනිත්‍ය - දුඃඛ - අනාත්ම විසින් සිහි එළවා බැලීමෙන් මග නැණින් මුදුන් පැමිණියා චිත්තපරිග්‍රාහිකා ස්මෘතිය යි.

එක් අසූවක් ලෞකික චිත්තයන්හි යෙදුනු එක් අසුවක් සංඥා, එක් පණසක් ස්පර්‍ශාදී චෛතසික යනාදී ධර්‍මයන් අනිත්‍ය - දුඃඛ - අනාත්ම විසින් සිහි එළවා බැලීමෙන් මග නැණින් මුදුන් පැමිණියා ධර්‍මපරිග්‍රාහිකා ස්මෘතිය යි.

මෙසේ මග නැණින් සමෘද්ධිමත් වූ ස්මෘතිය ම සම්‍යක්ස්මෘති යි කියනු ලැබේ. “ඉති එකාව මග්ගසම්පයුත්තා සති ලොකුත්තර සම්මාසතීති වුච්චති” යනු එහිලා කියන ලදි. මෙයින් ලොවූතුරු මගපල සිත් හා නිවන හැර අන්‍ය වූ සියලු ත්‍රෙභූමක ධර්‍මයන් අනිත්‍යාදී වශයෙන් ත්‍රෙභූමක ධර්‍මයන්ගේ ඇති තතු ඇති ලෙසින් සිහියට නගා ගැණිම ගැණේ. එහෙයින් ත්‍රෙභූමකධර්‍ම ආලම්බන වශයෙන් හා ස්මෘති චෛතසිකය ආලම්බනික වශයෙනුත් ගතයුතු ය. ස්මෘති චෛතසිකය, මේ ආලම්බනයන් කෙරෙහි ලා වැඩීම හේතු කොට ගෙණ ධුව - ශුභ - සුඛ - ආත්ම සංඥා පහ ව යන්නී ය. සතර සතිපට්ඨාන - සතින්ද්‍රිය - සතිබල - සතිසම්බොජ්ඣඞ්ග යන ධර්‍මයෝ මෙහි සංග්‍රහයට ද යන්නො ය. ධර්‍මවිස්තරය විස්තීර්‍ණව සිටියේ ය. අන් පොතපතින් එය දත යුත්තේ ය.

සම්මා සමාධි නම් :- මෙසේ නිරුත්තර වූ සම්‍යක්සමෘතියෙන් මොනවට රකිනු ලබන සිත් ඇත්තහුගේ ඒ සම්‍යක්ස්මෘතියෙන් ඔද වැඩුනු තෙද ගැණුනු මිත්‍ථ්‍යාසමාධිය නසාලීමෙන් සිත හා සිතුවිලි නන් අරමුණෙහි විසිර යා නොදී දැහැමි එක් අරමුණෙක මනා කොට පිහිටුවීමැ යි කියන එකාග්‍රතා චෛතසිකය යි. චෛතසිකයාගේ ශක්තිමාත්‍රයෙන් ම නන් අරමුණු කරා නිතර දුවන සිත එක් ම අරමුණෙහි සම ව නො විසිර පිහිටා ගන්නේ ය. එය නොයෙක් අරමුණෙහි නො විසිර පවත්නා බව ලකුණු කොට සිටියේ ය. කෘත්‍යය, සිත හා සිතුවිලි උඩඟු බවෙන් නන් අරමුණු කරා පැමිණවීම නසාලීම ය. වැටහෙන අයුර, උඩඟු බවෙන් සිත හා සිතුවිලි නො සැලෙන බව ය. “සුවපත් වූයේ සිත එකඟ කරන්නේ ය” යි වදාළ බැවින් පස්කම් සැපයෙන් වෙන් වූ නිරාමිෂසුඛය යි. “එවං අනුත්තරාය සතියා සංරක්ඛිය මානචිත්තස්ස තං සම්පයුත්තා ච මිච්ඡාසමාධි විද්ධංසිකා චිත්තෙක්කගතා සම්මාසමාධි නාම, සො අවික්ඛෙපලක්ඛණො, සමධානරසො, මිච්ඡාසමාධිප්පහාන පච්චුපට්ඨානො, සුඛිනොචිත්තං සමාධියතීති වචනතො පන සුඛමස්ස පදට්ඨානං” යි එය කීහ.

“ එකාලම්බනෙ සුට්ඨු ආධානං = සමාධි, සම්මා සමාධීයතීති = සම්මා සමාධි, සම්මා වා තෙන සමාධියන්තීති = සම්මා සමාධි පසත්‍ථො සුන්දරො වා සමාධීති = සම්මා සමාධි” යනු ශබ්දාර්‍ත්‍ථ දැක්විම ය.

සම්‍යක් සමාධිය, ලෞකික - ලෝකෝත්තර යි දෙ පරිදි ය. එය කීහ මෙසේ: “දුවිධො හොති සම්මා සමාධි ලොකිය ලොකුත්තර භෙදෙනාති” යි. ප්‍රථම - ද්විතීය - තෘතීය - තුරීයද්ධ්‍යානයන්හි යම් එකාග්‍රතායෙක් වේ ද, එය පූර්‍වභාග ප්‍රතිපදා විසින් වැඩුනේ ලෞකික වේ. මෙය භවය ඇසුරු කොට සිටියේ ය. කාම සුගති භූමියෙහි හා රූපභූමියෙහි හා අරූප භූමියෙහි හා උපන් මිනිස් දෙව් බඹුන් විසින් උපදවන ලද ධ්‍යාන කුශලචිත්තවීථියෙහි යෙදී සිටි එකාග්‍රතාව ලෞකික ය. මේ ලෞකිකයෙහි උපචාර - අප්පණා - සවිතක්ක - සවිචාර - අවිතක්ක - අවිචාර - සප්පීතික - නිප්පීතිකා දී වූ භේද රාශියෙක් වේ. ඒ හැම දැක්වීමට මෙහි අවකාශ නැත්තේ ය. දහම් පොතපත බලා ඒ හැම දතයුතු ය.

මෙසේ ඔවුන් ලැබූ ඒ ධ්‍යාන දොස් සහිත බව දැක ඒ ම පාදක කොට විදසුන් වඩනා කල්හි ශ්‍රෝතාපත්‍යාදී මාර්‍ගචිත්තයන්හි සුදුසු සේ පහළ වන එකාග්‍රතා චෛතසිකය, ලෝකෝත්තර සම්‍යක් සමාධි නම් වේ. “යා ඉමෙසු චතුසු ඣානෙසු එකග්ගතා, අයං පුබ්බභාගෙ ලොකියා, අපරභාගෙ මග්ගක්ඛණෙ ලොකුත්තරා සම්මා සමාධීති වුච්චති” මෙයින් මොවුන්ගේ සසර දුක ද කෙළවර වන්නේ ය. විස්තර යට කියන ලද්දේ ය. ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගයෙහි අෂ්ටමස්ථානය පුරා සිටියේ ය. එය මෙසේ වදාළ සේක:-

“ කතමො ච භික්ඛවෙ, සම්මාසමාධි? ඉධ භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදීභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති, සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යන්තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති, තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති, සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්‍ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්‍ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ, සම්මාසමාධි” යි

මේ මෙහි අරුත් :- “මහණෙනි, සම්‍යක් සමාධිය කවරේද? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කාමය කෙරෙන් වෙන් ව අකුශලධර්‍මයන් කෙරෙන් වෙන් ව විතර්‍කසහිත වු විචාර සහිත වූ කය සිත පිළිබඳ විවේකයෙන් හට ගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමද්ධ්‍යස්ථානයට පැමිණ වෙසෙයි, විතර්‍ක විචාරයන් සන්සිඳවා ලීමෙන් තමන් තුළ හට ගත් දැඩි පැහැදීමෙන් යුක්ත වූ සිතෙහි එකඟ බව වූ විතර්‍කරහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හට ගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීයද්ධ්‍යානයට පැමිණ වෙසෙයි. ප්‍රීතිය කෙරෙහි පිළිකුළින් ප්‍රීතිය ඉදිමෙන් උපේක්ෂා ඇතියේ සිහි ඇතියේ මනානුවණැති ව වෙසෙයි, කයින් සැප ද විඳියි, ආර්‍ය්‍යයෝ යම් ධ්‍යනයක් ගැණ ඒ ධ්‍යානයෙන් යුක්ත වූයේ උපේක්‍ෂ ඇත්තෙක, සිහි ඇත්තෙක, සුවසේ වෙසෙන්නෙකැ යි කියත් ද, ඒ තෘතීයද්ධ්‍යනයට පැමිණ වෙසෙයි, සුඛප්‍රහාණයෙන් ද දුඃඛප්‍රහාණයෙන්ද පළමු කොට සොම්නස් දොම්නස් දෙක නැසීමෙන් නිදුක් වූ නො සැප වූ උපේක්‍ෂවෙන් හට ගත් සිහිය පිළිබඳ පිරිසිදුබව ඇති චතුර්‍ත්‍ථද්ධ්‍යනයට පැමිණ වෙසෙයි, මහණෙනි! මෙය සම්‍යක්සමාධි යි කියනු ලැබේ” යනු.

මේ දේශනායෙන් ප්‍රධාන විසින් ධ්‍යාන සතරෙක් ප්‍රථමද්ධ්‍යනාදීන්ගේ වශයෙන් දක්වන ලද්දේ ය. ලෞකික - ලෝකෝත්තරාදී භේද විසිනුදු බෙදී යනුයේ මේ සතරම ය. ලෞකික සම්‍යක්සමාධිය, බ්‍රහ්මත්වාදී සම්පත් සාදා දෙන අතර ලෝකෝත්තරය, මාර්‍ගඵල සම්පත් සිදු කරන්නේ ය. එසේ සිදු කරනුයේ ද අනෙක් මාර්‍ගාඞ්ග හා එක්වීමෙනි. ලෞකිකය, කසිණාදී වූ නොයෙක් අරමුණු එල්බ ගන්නා අතර ලෝකෝත්තරය නිවන එල්බ ගණියි. ලෞකිකය, වෘත්තනිශ්ශ්‍රිතය. එහෙයින් එය බෝධිපාක්‍ෂික නො වේ. ලෝකෝත්තරය ම බෝධිපාක්ෂික වේ. එහෙත් ලෞකිකය, ලෝකෝත්තර සමාධියගේ උත්පත්තියට රුකුල් දී සිටියි. ලෝකෝත්තර මාර්‍ගය පිණිස යාන දෙකක් ඇත්තේ ය. එකෙක් ශමථ යාන ය. එකෙක් විදර්‍ශනා යානය. එයින් ශමථයානිකයන්ගේ සමාධිය ලෞකික ය. එහෙත් එය ආර්‍ය්‍ය මාර්‍ගයෙහිලා ගැනෙන සම්‍යක් සමාධියට අයත් ය. ශමථවිදර්‍ශනායානිකයන්ගේ පරිකර්‍ම - උපචාර සමාධි දෙක ද සම්‍යක්සමාධි මාර්‍ගත්වයෙන් ගන්නා ලැබේ.

මේ සූත්‍රයෙන් දැක් වූ සම්‍යක්සමාධිය පුග්ගලාධිට්ඨාන වශයෙන් දේශනා කරණ ලද්දේ ය. ගුණවිශේෂ පුද්ගලයා මතු පිට නගා කරණ ද්ශනා පුග්ගලාධිට්ඨාන නමු. මෙහි සමාධින්ද්‍රිය - සමාධි බල - පීති - පස්සද්ධි - උපෙක්ඛා සම්බොජ්ඣංගයෝ එක්වීමට යෙත්.

සම්‍යග්ව්‍යායාම - සම්‍යක්ස්මෘති - සම්‍යක්සමාධි යන මෙතුණ එක් ම සිහි එක්ව ම උපන්නේ නම් අර්‍ත්‍ථසිද්ධිය වන්නී ය. නැත, නො වන්නී ය. සම්‍යග්ව්‍යායාමය, ප්‍රග්‍රහකෘත්‍යයත් සම්‍යක්ස්මෘතිය, අපිලාපන කෘත්‍යයත් සිදුකරමින් එක් වූ කල්හි එයින් ලැබුනු රුකුල් ඇති ව සම්‍යක්සමාධිය ඔවුන් හා ම නිවනෙහි එල්බ ගන්නේ ය.

තුණ මෙහිලා උයන් කෙළි කෙළිම්හ, යි මල්උයනකට ගිය යහළුවන් තිදෙනෙකු වැනි ය. එයින් එකකු පිපී ගිය මල් ඇති සපුරුකක් දැක මල් නෙලා ගන්නට අත දිගු කළ ද, මල් නෙලා ගත නො හී සිටුනා කල්හි දෙවැන්නා ඔහුට ආධාර පිණිස පිට දී සිටියේ ය. මල් නෙලන්නහු ඔහු පිට නැගී ගතු ද පිට මතුයෙහි සැලෙන බැවින් මල් නෙලා ගත නො හී සිටිනු දැක තෙවැන්නා ඔහුට එල්බ ගැණීමට උරහිස ලන් කොට සිටගතු. එකල්හි ඔහු එකකුගේ පිට නැග එකකුගේ උරහිස එල්බ රිසි සේ මල් නෙලා ගෙණ තිදෙනා ම එක් ව නැකැත් කෙළි කෙළ ගියහ. මෙහි මේ තිදෙනාගේ එක්වීම නිසා මල් නෙලා ගන්නට හැකි වූ සේ “සම්‍යග්ව්‍යායාමා - ස්මෘති - සමාධි තිදෙනාගේ එක් වීමෙන් ම නිවන් සැප සිදුකර ගත හැක්කේ ය.

මෙසේ ඉතා සැකෙවින් මෙහි දැක් වූ ආර්‍ය්‍යමාර්‍ගය තෙමේ විද්‍යා විසින්, ශමථ විසින්, විදර්‍ශනා විසින්, ශීලාදිස්කන්‍ධ විසින්, අධිශීලාදී ශික්‍ෂා විසින් බෙදුනේ ය. ඒ ද සැකෙවින් මෙසේ දත යුත්.

“සො ඛො පනෙස මග්ගො සම්මාදිට්ඨිසඞ්කප්පානං විජ්ජාය, සෙසධම්මානං චරණෙන සඞ්ගහිතත්තා විජ්ජා චෙව චරණඤ්ච. තථා තෙසං ද්වින්නං විපස්සනායානෙන, ඉතරෙසං සමථයානෙන සඞ්ගහිතත්තා සමථො චෙව විපස්සනා ච. තෙසං වා ද්වින්නං පඤ්ඤාක්ඛන්ධෙන, තදනන්තරානං තිණ්ණං සීලක්ඛන්ධෙන, අවසෙසානං සමාධික්ඛන්ධෙන අධිපඤ්ඤා අධිසීල අධිචිත්තසික්ඛාහි ච සඞ්ගහිතත්තා ඛන්ධත්තයඤ්චෙව සික්ඛාත්තයඤ්ච හොති; යෙන සමන්නාගතො අරියසාවකො දස්සනසමත්ථෙහි චක්ඛූහි ගමනසමත්ථෙහි ච පාදෙහි සමන්නාගතො අද්ධිකො විය විජ්ජාචරණසම්පන්නො හුත්වා විපස්සනායානෙන කාමසුඛල්ලිකානුයොගං, සමථයානෙන අත්තකිලමථානුයොගන්ති අන්තද්වයං පරිවජ්ජෙත්වා මජ්ඣිමපටිපදං පටිපන්නො පඤ්ඤාක්ඛන්ධෙන මොහක්ඛන්ධං, සීලක්ඛන්ධෙන දොසක්ඛන්ධං, සමාධික්ඛන්ධෙන ච ලොභක්ඛන්ධං පදාලෙන්තො අධිපඤ්ඤාසික්ඛාය පඤ්ඤාසම්පදං, අධිසීලසික්ඛාය සීලසම්පදං, අධිචිත්තසික්ඛාය සමාධිසම්පදන්ති තිස්සො සම්පත්තියො පත්වා අමතං නිබ්බානං සච්ඡිකරොති, ආදිමජ්ඣපරියොසානකල්‍යාණං සත්තතිංසබොධිපක්ඛියධම්මරතනවිචිත්තං සම්මත්තනියාමසඞ්ඛාතං අරියභූමිඤ්ච ඔක්කන්තො හොතීති” යනු ආගම බැවින්.

මෙහි ඉතා කෙටි අදහස මෙසේ දතයුතු ය. සම්මාදිට්ඨි - සම්මාසඞ්කප්පයෝ විද්‍යාවෙන්, විදර්‍ශනායෙන්, ප්‍රඥාස්කන්‍ධයෙන්, අධිප්‍රඥා ශික්ෂායෙන් සඞ්ග්‍රහ කරණ ලදහ. සෙසු ෂඩඞ්ගයෝ මුළුමනින් චරණයෙන් හා සමථයෙන් ද, නැවැත එහි සම්මාවාචා - සම්මාකම්මන්ත - සම්මාආජීවයෝ ශීලස්කන්‍ධයෙන් ද, සම්මාවායාම - සම්මාසති - සම්මාසමාධිහු සමාධිස්කන්‍ධයෙන්ද එක්වීමට ගියහ. එහෙයින් මෙහි කියූ ලෙසින් ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් දැකීමෙහි පොහොසත් ඇස් ඇති පා ගමනෙහි පොහොසත් පා ඇති මිනිසකු මෙන් විදර්‍ශනායානයෙන් ගොස් කාමසුඛල්ලිකානුයෝගය ද, ශමථයානයෙන් ගොස් අත්තකිලමථානුයෝගය ද දුරු කොට ප්‍රඥාසකන්‍ධාදි ගුණස්කන්‍ධයෙන් මෝහාදි ක්ලේශස්කන්‍ධයන් පළවා හැර අධිප්‍රඥාදි ශික්‍ෂත්‍රයයෙන් ප්‍රඥා - ශීල - සමාධි සම්පත්තීන් ද අත්පත් කොට එයින් පුෂ්ටිමත් ව සියලු සසර දුක් නසා නිවන් සැප සිද්ධ කර ගණු ලැබේ. මෙසේ මේ හැම ගුණයෙකින් පිරී ගත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ ම මුල-මැද-අග යහපත් වූ බෝධිපාක්ෂිකධර්‍ම රතනයෙන් විසිතුරු වූ ආර්‍ය්‍යභූමියට පැමිණ අමාමහ නිවන අවබෝධ කරන්නේ ය.

අට වැදෑරුම් වූ ආර්‍ය්‍ය මාර්‍ගාඞ්ග අතුරෙහි සම්‍යග්දෘෂ්ටිය මුල් කොට දෙසන ලද්දී පූර්‍වභාග ප්‍රතිපදායෙහි ලා ගැනෙන විදර්‍ශනා ඥානසංඛ්‍යාත සම්‍යදෘෂ්ටිය, යෝගීහට අවිඳදුරු නසා කෙලෙස් සිඳ හැර නිවනට පැමිණිමට අන් හැම අඞ්ගයකට වඩා උපකාර බැවිනි. පූර්‍වභාගයෙහි වූ විතර්‍කයෙන් විතර්‍කණය කරමින් විදර්‍ශනා ප්‍රඥායෙන් අනිත්‍යාදී වශයෙන් බලමින් මේ ධර්‍ම කාමාවචරය, මේ ධර්‍ම රූපාවචරාදීය යි පිරිසිඳීමට රුකුල් දෙන බැවින් සම්‍යක් සඞ්කල්පය දෙවැනි ව ද, පළමු ව විතර්‍කණය කොට පසුව වාග් භේදය කරණ බැවින් සම්‍යග්වචනය තෙවැනිව ද, සම්‍යග්වචනය සම්‍යක්කර්‍මාන්තයට බොහෝ උපකාර බැවින් සම්‍යක්කර්‍මාන්තය සිවුවැනිව ද, කායවාක් දුශ්චරිතයන් හැර කායවක් සුවරිතයන් පිරීමෙන් ම ආජීවාෂ්ටමක ශීලය පිරෙණ බැවින් සම්‍යගාජීවය පස්වැනි ව ද, ආජීවය පිරිසිදු බැවින් ප්‍රමත්ත ව විසීම නො සුදුසු ය යි ගෙණ සියලු ඉරියව්වල වීර්‍ය්‍යය කළ යුතු බැවින් සම්‍යග්වීර්‍ය්‍යය සවැනිව ද, වැර ඇරඹුවහු විසින් කායාදිසතිපට්ඨානයන්හි සිහිය එළවා විසිය යුතු බැවින් සම්‍යක් ස්මෘතිය සත්වැනිව ද, එළඹ සිටි සිහියෙන් සිතේ එකඟබවට උපකාරධර්‍ම, සිහියට ගෙණ එහි සිත පිහිටුවිය යුතු බැවින් සම්‍යක්සමාධිය අටවැනිව ද දෙසන ලදහ යි දත යුතුය.

ධර්‍මනියමය මෙසේ බැවින් මාර්‍ගභාවනාවට පෙරාතුව පඤචස්කන්‍ධ දශායතන අෂ්ටාරශධාත්වාදී වූ ධර්‍ම කොට්ඨාසයන් ගැන උසස් දැනීමෙක් මේ පිණිස භාවනා කරන්නහු විසින් ලැබිය යුතු ය. මේ දැනීම මාර්‍ග භාවනාවට ස්ථාන වන්නේ ය. එසේ ම භාවනා වඩන සැටිත් දැන ගත යුතු ය. සිල්වත් ව විවේකී ව හිඳ නාමරූප ධර්‍මයන් අනිත්‍යාදී තිලක්‍ෂණයන්ට නගා භාවනා කළ යුතු ය. එසේ භාවනා කරන කල්හි සම්මාදිට්ඨි ආදි මාර්‍ගාඞ්ගයෝ ක්‍රම ක්‍රමයෙන් වැඩි මෝරා යන්නාහ. මේ වැඩි මෝරා යෑම නිසා කෙලෙස් ද ක්‍රමයෙන් තුනී වී යන්නේ ය. සිත නිවනට නැමී ගන්නේ ය. සිත නිවන් අරමුණෙහි වැටෙන්නේ ය. සිත මෙසේ පළමු කොට අරී අටඟිමගට වැටී නිවනට නතු වීමෙන් කෙලෙස් කොටස් කිහිපයක් බිඳ වැටීම නිසා විදර්‍ශකයා ඒ ලැබූ තත්ත්‍වය ස්‍රෝතාපත්ති යි කියනු ලැබේ. මේ ස්‍රෝතාපත්ති මාර්‍ගය ලබත් ම දිට්ඨි - විචිකිච්ඡා - සීලබ්බතපරාමාස සංයෝජන ධර්‍ම නැසෙන්නේ ය. දැන් ඒ විදර්‍ශක ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඉදිරියෙහි නැසිය යුතු කෙලෙස් නැසීමෙහි ස්ථිරව බැඳී සිටුනේ ය. සම්බෝධියට නියත විය. ඉදිරියෙහි තව තවත් විදර්‍ශනා වඩා සකෘදාගාමී - අනාගාමී - අර්‍හන් මාර්‍ගයන්ට ද පැමිණ සසර දුක් කෙළවර කරන්නේ ය. ඒ එකාන්ත ය. මෙහි මෙසේ ඉතා කොටින් කියූ අෂ්ටාඞ්ගිකමාර්‍ගය, නිවන් ලැබීමෙහි නො වරදින සත්‍ය වූ නො ද පෙරළෙන එකායන මාර්‍ගය ය වේ. නිවන් පිණිස මෙය හැර අන් මගක් නැත්තේ ය. එහෙයින් මේ ආර්‍ය්‍ය මාර්‍ගය, දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය සත්‍යය යි සම්මත ය. ධර්‍මවිස්තරය කෙටි නො වේ. එහෙයින් එය අන් බණ පොතින් දත යුත්තේ ය.

එතං ඛො සරණං ඛේමං = මේ සරණය වනාහි බියරහිත ය.

ශරණය පිළිබඳ කරුණු මෙසේ දතයුතු ය යි පොතෙහි කීයේ මෙසේ ය:- “සරණගමනකොසල්ලත්‍ථං සරණං සරණගමනං යො ච සරණං ගච්ඡති, සරණගමනප්පභෙදො, ඵලං, සඞ්කිලෙසා, භෙදො, වොදානන්ති අයං විධො වෙදිතබ්බං?” යි.

එහි බුද්ධ - ධම්ම - සංඝ යන ශ්‍රේෂ්ඨවස්තුත්‍රය තමාට එක් ම පිහිටැ යි අදහා ගත්තවුන් පිළිබඳ ව එලොව - මෙලොව දෙක්හි වන්නා වූ බිය - තැතිගැණුම් - අවැඩ - රෝදුක් හා අපාදුක් වධබැඳුම් නසාලන්නේ නු යි සරණ නම්. බුද්ධාදි රත්නත්‍රය යි. බුද්ධාරත්නත්‍රය ම සත්ත්‍වයන් හිතවැඩෙහි යොදන්නේ ය. අහිතයෙන් රැක ගන්නේ ය. සියලු බිය නසන්නේ ය. සසර දුකින් මුදාලන්නේ ය. අස්වැසිලි දෙන්නේ ය. ස්වල්ප වූ ද සත්කාරය, මහත් පල කරන්නේ ය. පොතෙහි මෙය කී සැටි බලනු මැනැවි:- “හිංසතීති සරණං, සරණගතානං තෙනෙව සරණගමනෙන භයං සන්තාසං දුක්ඛං දුග්ගතිං පරිකිලෙසං හනති විනාසෙතීති අත්‍ථො, රතනත්තයස්සෙවෙතං අධිවචනං. අථ වා හිතෙ පවත්තනෙන අහිතා ච නිවත්තනෙන සත්තානං භයං හිංසතීති බුද්ධො, භවකන්තාරා උත්තාරණෙන ලොකස්ස අස්සාසදානෙන ච ධම්මො, අප්පකානම්පි කාරානං විපුලඵලපටිලාභකරණෙන සඞ්ඝො. තස්මා ඉමිනාපි පරියායෙන රතනත්තයං සරණං” යනු.

තුනුරුවන් කෙරෙහි සිත පැහැදීමෙන් තුණුරුවන් ගරු කොට ගැණිමෙන් නසාලු කෙලෙස් ඇති පිරිසිදු වූ තුණුරුවන් මට පිහිටැ යි මෙලෙසින් සිතෙහි නැගුනු ශ්‍රද්ධාපූර්‍වක සම්‍යග්දෘෂ්ටිය, චේතනාමාත්‍රය සරණගමන නම්.

පොතෙහි මෙසේ ආයේ ය:- “තප්පසාදතග්ගරුතාහි විහතකිලෙසො තප්පරායණතාකාරප්පවත්තො චිත්තුප්පාදො සරණගමනං” යි.

මේ කියූ ශ්‍රද්ධාපූර්‍වක චිත්තොත්පාදයෙන් යුක්තව “මේ තුණුරුවන් ම මට පිහිටැ” යි සිතා අදහා ගෙණ තුණුරුවන් සේවනය කරන්නේ සිතින් අදහා ගන්නේ සරණගත නම්. මෙතෙමේ ම බුදුරජානන් වහන්සේ විසින් උපාසකැ යි හඳුන්වන ලද්දේ ය.

මේ බලනු මැනැවි:- “තං සමඞ්ගීසත්තො සරණං ගච්ඡති, වුත්තප්පකාරෙන චිත්තුප්පාදෙන එතානි මෙ තීණි රතනානි සරණං, එතානි පරායණන්ති එවං සරණං උපෙතී” යනුත්.

“යතො ඛො මහානාම! බුද්ධං සරණං ගතො හොති, ධම්මං සරණං ගතො හොති, සඞ්ඝං සරණං ගතො හොති, එත්තාවතා ඛො මහානාම, උපාසකොති” යනුත්.

සරණගමනය දෙ පරිදි ය ලෞකික - ලෝකෝන්තර විසින්. එහි ලෝකෝත්තර සරණගමනය දක්නා ලද චතුස්සත්‍යය ඇති ආර්‍ය්‍යය පුද්ගලයන්ගේ සෝවන් ඈ මග සිත් උපදනා ඇසිලෙහි සරණගමනය කෙලසන ධර්‍මයන් මුළුමනින් සුන් කොට අරමුණු විසින් නිවන් අරමුණු කොට කෘත්‍ය විසින් තුණුරුටන් විෂය කොට සමෘද්ධ වන්නේ ය.

එය මෙසේ කීහ:

“ලොකුත්තරං දිට්ඨසච්චානං මග්ගක්ඛණෙ සරණගමනූපක්කිලෙසසමුච්ඡෙදෙන ආරම්මණතො නිබ්බානාරම්මණං හුත්‍වා කිච්චතො සකලෙපි රතනත්තයෙ ඉජ්ඣති” යි.

ලෞකික සරණගමනය, පෘථග්ජන සත්ත්‍වයන්ගේ සරණ ය. කිලිටි කරණ ධර්‍මයන් යටපත් ව යෑමෙන් තෙරුවන් ගුණ අරමුණු කොට සමෘද්ධ වන්නේ ය. ඒ නම් බුද්ධාදි රත්නත්‍රය විෂයයෙහි තෙරුවන් ගුණ ඇදහීම ය. ශ්‍රද්ධාපූර්‍වක සම්‍යග්දෘෂ්ටිය දශවිධ පුණ්‍යක්‍රියාවස්තුන් අතුරෙහි දෘෂ්ටිය සෘජු කිරීමැ යි දත යුතු ය. පොතෙහි එය කී සැටි මෙසේ ය:-

“ලොකියං පුථුජ්ජනානං සරණගමනුපක්කිලෙසවික්ඛම්භනෙන ආරම්මණතො බුද්ධාදිගුණාරම්මණං හුත්‍වා ඉජ්ඣති. තං අත්‍ථතො බුද්ධාදීසු වත්‍ථූසු සද්ධාපටිලාභො සද්ධාමූලිකා ච සම්මාදිට්ඨි දසසු පුඤ්ඤකිරියවත්‍ථූසු දිට්ඨිජුකම්මන්ති වුච්චති” යනු.

ලෞකික සරණගමනය සිවු වැදෑරුම් ය, ආත්මසන්නිර්‍ය්‍යාතන - තත්පරායණතා - ශිෂ්‍යභාවොපගමන - ප්‍රණිපාත විසින්. එහි “මම අද පටන් මාගේ ආත්මභාවය තුණුරුවනට පුදමි” යි සවකීය ආත්මභාවය තුණුරුවනට පුදදීම, පාවාදීම, ආත්මසන්නිර්‍ය්‍යාතනය යි. “අත්තසන්නිය්‍යාතනං නාම අජ්ජ ආදිං කත්‍වා අහං අත්තානං බුද්ධස්ස නිය්‍යාතෙමි, ධම්මස්ස, සඞ්ඝස්සාති එවං බුද්ධාදීනං අත්තපරිච්චජනං” යනු කීයේ ඒ දවනු සඳහා ය.

“මාගේ ආත්මය භාග්‍යවත්හට පරිත්‍යාග කරමි, ධර්‍මයට සංඝයා හට මාගේ ආත්මය පරිත්‍යාග කරමි, මාගේ ජීවිතය ද පරිත්‍යාග කරමි, මාගේ ආත්මය පරිත්‍යාග කරණ ලද්දේ ම ය, මාගේ ජීවිතය. පරිත්‍යාග කරන ලද්දේ ම ය, දිවි කෙළවර කොට බුදුන් පිහිටයැ යි දනිමි, බුදුරජ තෙමේ මාගේ ප්‍රතිෂ්ඨාසස්ථානැ යි මාගේ නිලීයන ස්ථානැ යි මාගේ ගති ස්ථානැ” යි මෙසේ සමාදන් විය යුතු ය. මේ එහි පාලිය:- “භගවතො අත්තානං පරිච්චජාමි, ධම්මස්ස, සඞ්ඝස්ස, අත්තානං පරිච්චජාමි, ජීවිතං ච පරිච්චජාමි, පරිච්චත්තොයෙව මෙ අත්තා, පරිච්චත්තං යෙව මෙ ජීවිතං, ජීවිතපරියන්තිකං බුද්ධං සරණං ගච්ඡාමි, බුද්ධො මෙ සරණං තාණං, ලෙණං පරායණන්ති” යනු.

“මම අද පටන් තුණුරුවන් පිහිට කොට ඇ තෙම් වෙමි” යි. තුණුරුවන් පිහිට කොට සිටිබව තත්පරායණතා ය.

“අජ්ජ ආදිං කත්‍වා අහං අත්තානං බුද්ධස්ස නිය්‍යාතෙමි, ධම්මස්ස, සඞ්ඝස්සාති එවං බුද්ධාදීනං අත්තපරිච්චජනං. තප්පරායණතා නාම” යනු දතයුතුය. මෙය ආලවකයා ගත් සරණය වැනි ය. එය මෙසේ ය:-

“සො අහං විචරිස්සාමි ගාමා ගාමං පුරා පුරං

නමස්සමානො සම්බුද්ධං ධම්මස්ස ච සුධම්මතං”

ඒ මම බුදුරජුන්ටත් මනා කොට දෙසූ ධර්‍මයටත් නමස්කාර කරමින්, ගමින් ගම පුරයෙන් පුරය හැසිරෙන්නෙමි යි ආලවක සරණ ගියේ ය.

“මම අද පටන් තුණුරුවනට අතවැසි වෙමි, මෙසේ මා දරවු” යි ශිෂ්‍යභාවයට පැමිණිම ශිෂ්‍යභාවෝපගමනය යි. “අජ්ජ ආදිං කත්‍වා අහං බුද්ධස්ස අන්තෙවාසිකො, ධම්මස්ස, සඞ්ඝස්ස ඉති මං ධාරෙථාති එවං සිස්සභාවස්ස උපගමනං” යනු පාලි යි. ශිෂ්‍යභාවෝපගමනය මහාකාශ්‍යප මහරහතුන් වහන්සේගේ සරණ යැම වැනි ය. උන්වහන්සේ “සත්‍ථාරඤ්ච වතාහං පස්සාමි භගවන්තමෙව පස්සාමි, සුගතඤ්ච වතාහං පස්සාමි භගවන්තමෙව පස්සාමි, සම්මා සම්බුද්ධඤ්ච වතාහං පස්සාමි භගවන්තමෙව පස්සාමි” සරණ ගියහ. “ඒකාන්තයෙන් මම ශාස්තෲන් වහන්සේ ම දකිමි, භාග්‍යවතුන් වහන්සේම දකිමි, ඒකාන්තයෙන් මම සුගතයන් වහන්සේ දකිමි, භාග්‍යවතුන් වහන්සේ දකිමි, ඒකාන්තයෙන් මම සම්‍යක් සම්බුද්ධයන්වහන්සේ දකිමි, භාග්‍යවතුන් වහන්සේම දකිමි” යි එහි අරුත්.

ප්‍රණිපාත නම්, මම අද පටන් කොට තුණුරුවනට ම වැඳුම් පිදුම් සත්කාර සම්මානාදිය කරන්නෙමි, මෙසේ මා දරා ගනු මැනැවැ යි තුණුරුවනට ඉතා යටත් පහත්බව ය. මේ එය කියු සැටි:- “අජ්ජ ආදිං කත්‍වා අහං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං බුද්ධාදීනං එව තිණ්ණං වත්‍ථූනං කරොමි ඉති මං ධාරෙථා ති එවං බුද්ධාදීසු පරමනිපච්චකාරො පණිපාතො නාම” යි.

මෙය බ්‍රහ්මායු බ්‍රාහ්මණයාගේ සරණයෑම වැනි ය. බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ හුනස්නෙන් නැගිට උතුරුසළුව එකස් කොට පොරවා බුදුරජුන්ගේ පාමුල හිසින් වැටී බුදුරජුන්ගේ පාදයන් මුවෙන් ද සිඹියි. අතින් ද පිරිමදියි. “භවත් ගෞතමයන් වහන්ස! මම බ්‍රහ්මායු බ්‍රාහමණ වෙමි, භවත් ගෞතමයන් වහන්ස! මම බ්‍රහ්මායු බ්‍රාහ්මණ වෙමි” යි නම ද අස්වයි. මේ පාලිය:- “අථ ඛො බ්‍රහ්මායු බ්‍රාහ්මණො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්‍වා භගවතො පාදෙසු සිරසා නිපතිත්‍වා භගවතො පාදානි මුඛෙන ච පරිචුම්බති, පාණීහි ච පරිසම්බාහති, නාමඤ්ච සාවෙති බ්‍රහ්මායු අහං භො! ගොතම! බ්‍රාහ්මණො, බ්‍රහ්මායු අහං භො! ගොතම! බ්‍රාහ්මණොති” යි.

ඒ මේ ප්‍රණීපාත ශරණගමනය ඥාති - භය - ආචාර්‍ය්‍යය - දක්‍ෂිණාර්‍හ විසින් සිවු වැදෑරුම් ය. එහි දක්‍ෂිණාර්‍හ භාවය සලකා වැඳීමෙන් පමණක් සරණාගමනය සිදු වන්නේ ය. “බුදුහු අප නෑයහ” යි නෑකම් සලකා හෝ “බුදුහු රාජ පූජිතයහ, මහානුභාව ඇතියහ, නො වඳිනා ලද්දේ නම් අනර්‍ත්‍ථ කරනාහ” යි බියහේතු සලකා හෝ “බුදුහු මාගේ ඇදුරුය” යි ඇඳුරුබව සලකා හෝ වඳීනම් සරණ නො පිහිටන්නේ ය. සරණය ශ්‍රේෂඨවශයෙන් ගැණේ. ශ්‍රේෂඨවශයෙන් ම බිඳේ. එහෙයින් යමෙක් “මෙතෙමේ ම ආර්‍ය්‍ය ය, ලෙව්හි සියලු සතුන්ට උතුම් ය, අග්‍රදක්‍ෂිණාර්‍හ වේ ය” යි වඳී නම් ඔහු විසින් ම ය සරණය ගන්නා ලද්දේ. ඥාති - භය - ආචාර්‍යභාවයන් සලකා වඳින්නහු විසින් සරණය නො ගන්නා ලද්දේ ය. මෙසේ ගත් සරණ ඇත්තකු අන්තොටුවන් වෙත පැවිදි වූ තම නෑයකු වෙත ගොස් “මෙතෙමේ මාගේ නෑයෙකැ” යි වඳිනු ලබන්නේ ද ඔහුගේ සරණය නො බිඳෙන්නේ ය. ගිහිනෑයකු වඳින්නහුගේ සරණය නො බිඳී ය යනු ගැණ කිනම් කතා ද. “රජ තෙමේ රටවැස්සන් විසින් පුදන ලද්දේ ය, නො වැන්ද හොත් නපුරක් කරන්නට බැරි නැතැ” යි භයහේතු සැලකීමෙන් වඳින්නහුගේ ද, ශිල්පශාසත්‍ර ඉගැන්නූ තීර්‍ත්‍ථයකු “මේ මාගේ ඇඳුරුය” යි ඇඳුරුබව සලකා වඳින්නහුගේ ද සරණභේදයෙක් නො වේ.

සරණගමනඵලය, ලෞකික - ලෝකෝත්තර විසින් දෙ වැදෑරුම් ය. එහිදු ලෝකෝත්තරඵලය, විපාකඵලය - ආනෘශංසඵල ය යි නැවැත දෙ පරිදි වේ. සෝතාපති ආදී චතුර්විධ ශ්‍රාමණ්‍යඵලය විපාකඵලය යි. මගපලසිත්වලට අරමුණු වන නිර්‍වාණය ආනෘශංසඵලය යි. “යො ච බුද්ධං ච ධම්මඤ්ච සඞ්ඝඤ්ච සරණං ගතො -පෙ- සබ්බදුක්ඛා පමුච්චති” යනු එහිලා දතයුතුය. සංස්කාර ධර්‍මයන් ආස්වාදනීයස්ථාන වශයෙන් නො ගැණුම හා නිත්‍ය සුඛ ශුභාදී වශයෙන් නො ද පිළිගැණුම ද ලෝකෝත්තර සරණගමනය පිළිබද ආනෘශංසඵලයෙහිලා ගත යුතු ය.

“යෙ කෙචි බුද්ධං සරණං ගතාසෙ න තෙ ගමිස්සන්ති අපායං,

පහාය මානුසං දෙහං දෙවකායං පරිපූරෙස්සන්ති”

යම් කෙනෙක් බුදුරජුන් සරණ ගියෝ ද, ඔවුහු අපායයට නො යන්නාහ. මිනිස් සිරුර හැරදමා දිව්‍යකායය, දෙව්ලොව පුරවන්නාහු ය යි වදාළ බැවින් භව සම්පත්ති ය හා භෝග සම්පත්ති ය ලෞකික සරණගමනය පිළිබඳ ඵලය වන්නේ ය.

මහා මෞගල්‍යායන මහාක්‍ෂිණාශ්‍රවයන් වහන්සේ සක් දෙවිඳුට මෙසේ වදාළ සේක:- “දේවේන්ද්‍රය! බුද්ධ - ධම්ම - සංඝ යන වස්තුත්‍රය පිහිටැයි ගැණීමෙන් එසේ ගත් ඇතැම් සත්වයෝ. මරණින් මතුයෙහි දෙව්ලොව උපදින්නෝ ය, මේ පුණ්‍ය ශක්තියෙන් දෙව්ලොව උපදින ඔවුන් අන් පින්කමකින් දෙව්ලොව උපන්නවුන්ට වඩා දෙවියන් පිළිබඳ ආයුෂයෙන් වර්‍ණයෙන් සුඛයෙන් යසසින් ආධිපත්‍යයෙන් රූපයෙන් ශබ්දයෙන් ගන්ධයෙන් රසයෙන් සප්‍ර්ෂටව්‍යයෙන් උසස් ව වැඩී සිටින්නෝ ය, මේ දසකරුණෙන් අන් දෙවියන් අභිභවනය කෙරෙති” යි. මේ ද වනාහි ලෞකික සරණගමනයෙහි ඵල දැක්වීමක් වෙයි. “හෙට්ඨිමකොටියා තිසරණගත උපාසකො සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො හොති” යි වදාළ බැවින් බුද්ධාදිරත්නත්‍රය සරණ ගියේ ම ගුණ නුවණින් වැඩුනු ලෙසින් ශ්‍රාවකබෝධිය ප්‍රත්‍යකබෝධිය සම්‍යක්සම්බෝධිය යන ත්‍රිවිධ බෝධියෙන් එක්තරා බෝධියකට පිළිපන්නෙක් වන්නේ ය. එහෙයින් ලෞකික ලෝකෝත්තර සරණගමන ඵලය ඉතා සැකෙවින් මෙසේ දත යුත්තේ ය.

ලෞකිකසරණගමනය බුද්ධ - ධම්ම - සඞ්ඝ යන රත්නත්‍රයයෙහි ඇත්තා වූ ගුණ නො දැනීමෙන් ද, බුද්ධාවස්තුත්‍රයයෙහි වූ මහත් ගුණ පිළිබඳ උපදනා සැකයෙන් ද, වරද සහිත වූ දැකීමෙන් ද යන මේ ආදියෙන් කිලිටි වන්නේ ය. එසේ කිලිටි වූ සරණගමනය, ඵලදානයෙහිලා තෙද ඇත්තේ ද බැබලීම් ඇත්තේ ද පැතිරීම් ඇත්තේ ද නො වේ. ලෝකොත්තරසරණාගමනයෙහි කෙලෙසීමෙක් මොනලෙසකිනුත් නො වන්නේ ය. එහෙයින් එය නිර්‍මල ය. පිරිසිදු ය. ප්‍රභාස්වරය.

ලෞකිකසරණගමනයාගේ භේදය දෙ පරිදිය සාවද්‍ය - අනවද්‍ය විසින්. එහි සාවද්‍යභේදය, අන්‍යශාස්තෘන් කෙරෙහි ආත්ම සන්නිර්‍ය්‍යාතනාදියෙන් වන අතර අනවද්‍යභේදය කලුරිය කිරීමෙන් වන්නේ ය. එහි සාවද්‍යභේදය අනිටුපල දෙන්නේ ය. අනවද්‍යභේදයෙහි විපාකයක් නැත්තේ ය. මේ සරණ භේදයෙන් අන්‍ය ශාස්තෘන් සරණ යෑමක් නො වන බැවින්, ඒ, අනවද්‍යභේද නම් වී ය. අන්‍යභවයක උපන්නා වූ ද ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අන්‍ය ශාස්තෘවක්හු නම් මොනලෙසකිනුත් නො ද අදහන්නේ ම ය.

මෙහිලා දේශක - දේශනාස්ථාන - දේශනාකාල - දේශනාහේතු ද දතයුතු ය. එහි දේශක = සම්මාසම්බුදුරජානන් වහන්සේ ය. දේශනා ස්ථානය = බරණැස මෘගදාය නම් වූ ඍෂිපතනාරම ය. දේශනාකාලය = පූර්‍වජාතීන්හි රැස් කරණ ලද කුශලධර්‍මයන්ගේ බලයෙන් මෙහෙයුනු සිත් ඇති ව සසුන් වන් යස ස්ථවිරයන් වහන්සේ ප්‍රධාන කොට ඇති එක්සැටක් මහරහතුන් දම් දෙසමින් ගම්නියම්ගම්හි හැසුරුණු කාල ය. දේශනාහේතු = පැවිදි උපසපන් කම් ය. බුදුරජානන් වහන්සේගේ බුදුබව ලැබීමෙන් වැඩි දවස් නො යාදී ම දම්දෙසුම් පිණිස ඒ ඒ තැන ගිය භික්‍ෂූන් වහන්සේ ඒ ඒ තැනින් පැවිදි උපසපන්වනු කැමැති කුලපුත්‍රයන් බුදුරජුන් වෙතට කැඳවාගෙන ආහ. එසේ ඉතා දුරබැහරින් පැමිණි භික්‍ෂූන් වහන්සේටත් පැවිදි උපසපන් කැමැත්තන්ටත් විඳින්නට වූ වෙහෙස දුටු බුදුරජානන් වහන්සේ ඔවුන්ගේ ඵාසුවිහරණය සඳහා ඒ ඒ තැන්හිදී ම පැවිදි උපසපන්කම් කරණු පිණිස සරණගමනය දේශනා කොට වදාළ සේක. මේ ඒ දේශනාව:- “අනුජානාමි භික්ඛවෙ! ඉමෙහි තීහිසරණගමනෙහි පබ්බප්ජං උපසම්පදන්ති” යනු.

සරණගමනය පිළිබද දතයුතු කරුණු බණපොතපතෙහි නොයෙක් තැන දක්නට ලැබේ. ඒ හැම එකෙක් මෙහි නො ආයේ ය. එහෙයින් ඒ බණපොත් බලා විස්තර දත යුත්තේ ය.

ඛො යනු නිපාත යි. එය පදපූරණ - අවධාරණ යන අරුත්හි ආයේ ය. “නනු ඛො භගවා භික්ඛු ආමන්තෙසි” යන මෙහි හුනුයේ පදපූරණය බලා ය. “අස්සොසි ඛො වෙරඤ්ජා බ්‍රාහ්මණො” යන මෙහි අවධාරණාර්‍ත්‍ථය බලා සිටියේ ය.

සරණගමනය, බියරහිතය යන අරුත් විසින් ඛෙම නම් වී ය. “නිබ්භට්ඨෙන = ඛෙමං, ඛයන්ති එතෙන රාගග්ගි ආදයොති = ඛෙමං, ඛීයන්ති එත්‍ථ උපද්දවුපසග්ගාදයොති = ඛෙමං, ඛීය තෙත්‍ථ අසුභන්ති = ඛේමං” යනු ඛෙම ශබ්දය නිරුක්තියට නැගු සැටියි.

එතං සරණං උත්තමං = මේ සරණය උතුම් ය.

ලෝකෝත්තර සරණය අනෙක් හැම සරණයක් ම අභිභවනය කොට උස්ව නැගී සිටියේ ය, යනු උත්තම ශබ්දය කියන්නේ ය. “උද්ධං තමති ගච්ඡතීති = උත්තමො ඉදමෙතෙසං අතිසයෙන උක්කට්ඨන්ති = උත්තමං” යනු නිරුක්ති යි.

එතං සරණං ආගම්ම = මේ සරණයට පැමිණ.

සබ්බදුක්ඛා පමුච්චති = සියලු සසර දුකින් මිදෙන්නේ ය.

මුච්චති යන ක්‍රියාව  යන උපසර්‍ගයෙන් වැඩී සිටියා දුඃඛ - සමුදය - නිරෝධ - මාර්‍ග යන චතුරාර්‍ය්‍ය සත්‍යය විදසුන් නුවණින් දැන් එය පිහිට කොට සිටියහු, එය බිය රහිත තැන් කොට ගත්තහු, එය උතුම් කොට ගත්තහු හා එසේ ම බුද්ධ - ධම්ම - සංඝ යන රත්නත්‍රය පිහිට කොට ගත්තහු, සියලු සසර දුකින් හා එ ලොව මෙ ලොව වන හැම විපතින් හා මුදාලන්නීය යි අරුත් ගත යුත්තේ ය.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ සියලු ඍෂීහු පිළිසිඹියාවන් සමග රහත් බවට පැමිණියාහු ය. අනතුරු ව ඔවුහු බුදුරජුන් වෙත එළඹ. වැඳ පැවිද්ද ඉල්ලා සිටියහ. බුදුරජානන් වහන්සේ සිවුරුගැබින් අත දිගු කොට “මහණෙනි! එවු, බඹසර හැසිරෙවු” යි වදාළ සේක. ඔවුහු ඒ ඇසිල්ලෙහි අටපිරිකර ධරා සිය වස් පිරී සිටි තෙරුන් මෙන් ආකල්ප සම්පන්න වූහ. එ දවස වනාහි අඟුමගද කුරුරට වැසියන් පුදපඬුරු ගෙණ එන දවස වී ය. මෙසේ පුද පඬුරු ගෙණ එහි පැමිණි ඔවුහු පැවිදි ව සිටි ඒ සියලු ඍෂි වරුන් දැක “කිම අපගේ අග්ගිදත්ත බ්‍රාහ්මණ තෙමේ ශ්‍රේෂ්ඨ වේ ද, නැත, ශ්‍රමණ ගෞතම තෙමේ ශ්‍රේෂඨ වේ දැ” යි සිතන්නාහු “ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ම අග්ගිදත්ත බ්‍රාහ්මණයන් සොයා ඔහු වෙත පැමිණි බැවින් අපගේ අග්ගිදත්ත බ්‍රාහ්මණ තෙමේ ම ශ්‍රේෂ්ඨ වේ ය” යි අදහා ගත්හ. ඉක්බිති බුදුරජානන් වහන්සේ ඔවුන්ගේ අදහස් දැන “අග්ගිදත්ත! මෙහි පැමිණ සිටිනා මේ පිරිසෙහි සැක සිඳ හරුව” යි වදාළ සේක. ඔහු ද “මම මෙතෙක් මෙහිලා බුදුරජානන් වහන්සේගේ අවසරය ම බලාපොරොත්තු වීමි” යි ඍද්ධි බලයෙන් ඔවුන් ඉදිරිපිට සත් වරක් අහසට නැගී සත් වරක් බිමට බැස ඒ බිමට බට හැමවර ම “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘ වන සේක, මම ඔබ වහන්සේගේ ශ්‍රාවක වෙමි” යි ශ්‍රාවකභාවය ප්‍රකාශ කෙළේ ය.