|
|
දුක ගැන කතා කිරීම දුකට ආරාධනාවක් ද?බත්තරමුල්ල සිරි සුදස්සනාරාම දුක කියන වචනයට පවා සමහරු අකැමැතියි. බයයි. ඒ නිසා මේ දුක ගැන දැනුම්වත්වීම අත්‍යවශ්‍ය යි. දුක ගැන කතා කිරීම දුකට ආරාධනාවක් ද? යන අදහස මතුකොට දක්වා, චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස පෘතග්ජන මනුෂ්‍යයා ට තේරුම්ගත හැකි ආකාරයෙන් කරුණු පෙන්වා දීමටයි මේ උත්සාහය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් සර්වඥතා ඥානයෙන් අවබෝධ කොට දේශනා කළ චතුරාර්ය සත්‍ය ධර්මය ඒ ආකාරයෙන් ම විස්තර කර පැහැදිලි කර දේශනා කළ හැකි වන්නේ එනම්, පුළුවන්කම ලැබෙන්නේ තවත් එබඳුම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණක් ම ය. මේ නිසා අප විසින් සිදු කරනු ලබන්නේ කල්‍යාණවන්තයන් සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගය, අනුශාසන ය මඟ පෙන්වීම අනුව පිළිපදිමින් දැනුම අවබෝධයක් බවට පත්කර ගනිමින්, ඒ දැනුම හා අවබෝධය අන් අය හා සමඟ සාකච්ඡා කිරීම යි. ඒ වගේ ම එය ලෝභා දී කෙලෙසුන් හි සංසිඳීම පිණිස උපකාර කර ගැනීම හා අන් අයත් කෙලෙසුන් හි සංසිදීමට සහභාගි කරවා ගැනීම යි. මේ ලිපි පෙළ ඒ වෙනුවෙනුයි. බෝධිසත්වයන් වහන්සේ නමක් තම ගමන ආරම්භ කරන්නේ සියලු සත්ත්වයන් දුකින් පෙළෙන බව නුවණින් දැක, අවබෝධ කර ගැනීමෙන් අනතුරුව යි. දුක පිළිබඳ ව ආර්ය පර්යේෂණය සිදුකොට ඒ දුකට හේතුව, දුකින් මිදීම, දුකින් මිදීමේ මාර්ගය ලෙස හඳුනා ගන්නවා. අවබෝධ කර ගන්නවා. එය චතුරාර්ය සත්‍ය ධර්මය ලෙස සම්බුදු දහමෙහි පෙන්වා දී තිබෙනවා. දුක ආර්ය සත්‍යයක් ලෙස දකින්නේ කෙසේදැයි නුවණින් ම විමසා බැලිය යුතු වෙනවා. එයට හේතුව දුක ගැන කියන හා දුක ගැන අහන බොහෝ පිරිසක් ස්වල්ප වූ කායික දුකක දී පවා එය කායික දුකකින් දැකීම පමණක් නොව මානසික දුක්ඛයන් බවටත් පත්කරගෙන “ආදිත්ථ පරියාය” සූත්‍ර දේශනාවේ සඳහන් කළ අයුරින් බොහෝ දුකට පත්වන ආකාරය පැහැදිලියි. “සල්ල සූත්‍ර” දේශනාවේ දැක් වූ අයුරින් කයේ ඇතිවන ගිලන්වීම ආදී දුක මනසට ත් හුලකින් ඇණ ගන්නා සේ , දුක් දෙකක් මුල් කර ගත් අප්‍රමාණ දුක්ඛයන්ට මුල් සාදා ගන්නා හා හේතු සාදා ගන්නා ආකාරය ත් පැහැදිලි යි. මේ නිසා දුක නම් වූ මේ වචනය ආර්යය සත්‍යයක් ලෙස අවබෝධ කර ගැනීම සියුම් ලෙස විග්‍රහ කර ගත යුතු වෙනවා. එහෙත් අප කල්‍යාණවන්තයන් සේ එය සාකච්ඡා කරමින් කරන්නේ, විග්‍රහ කරන්නේ ලෝභ, ද්වේෂ, මෝහ ආදී කෙලෙසුන් හි සංසිඳීම අරමුණු කර ගෙනම යි. මේ විග්‍රහයේ දී පවා කිසිවිටකවත් ඇලීමක් හෝ ගැටීමක් ඇති නොකරගෙන දුක සකස් වෙන්න හේතුව වන මෝහය හෙවත් මුලාව බැහැරවන තැනකට කියවන හා අසන ඔබත් සිත පිහිටුවා ගෙන සිටිය යුතුම යි. දුක පිළිබඳ අපට බොහෝ ධර්ම කරුණු සාරාංශ කර මෙසේ සාකච්ඡා කළ හැකියි. ඒ සංස්කාර දුක්ඛ, විපරිණාම දුක්ඛ, දුක්ඛ දුක්ඛ ආදී වශයෙනුයි. “සංස්කාර දුක්ඛ” වශයෙන් මනසේ ඇති කර ගන්නා වූ ක්ලේසයන් නිසා එනම් රාගාධී ක්ලේස ධර්ම, චෛතසික ධර්ම, නිසා ඇති කර ගන්නා වූ දුක පිළිබඳව කතා කිරීමට පුළුවනි. “විපරිණාම දුක්ඛ” ස්කන්ධ පංචකය විසිරී යන විට ඇතිවෙන්නා වූ දුක තේරුම් ගන්නට පුළුවනි. ඒ වගේ ම “දුක්ඛ දුක්ඛ” වශයෙනුත් අධි්‍යත්ත, බහිද්ද ආකාර දෙකෙන් ම තමා කෙරෙන් වගේ ම බහිද්ද බාහිර වස්තූන් සම්බන්ධයෙන් විශේෂයෙන් ම ප්‍රියයන්ගෙන් වෙන්වීම ඒවගේ ම යමක් කැමැති නම් ඒ දේ නොලැබීමේ පටන් ඇතිවන්නා වූ දුක්ඛයන් පිළිබඳවත් අපට නුවණින් විමසා බැලිය හැකියි. සංස්කාර දුක්ඛ, විපරිනාම දුක්ඛ, දුක්ඛ දුක්ඛ කියන මේ සියලු දුක්ඛයන් එකින් එකට සම්බන්ධ ව පවත්නා බවක් පෙනෙන්නට තියෙනවා. ඒ කරුණු එකින් එකට වෙන් කර ගත්තත් , සියුම් ලෙස එකට එකක් සම්බන්ධ ව පවතිනවා. අවසානයේ නතර වන්නේ මෝහය කියන තැන යි. මෝහය නිසා එනම් මුලාව නම් වූ චතුරාර්ය්‍ය සත්‍යය ධර්මය කෙරෙහි ඇති නිරවුල් අවබෝධයක් නැතිකම නිසා, මේ සියලු දුක්ඛයන් ට මූලයන් සාදාගන්නා බව ඉතාම පැහැදිලි යි. මේ කරුණු කිහිපය නැවතත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් ආරම්භයක් වශයෙන් සරලව කරුණු සාකච්ඡා කර ගත යුතුයි. දුක්ඛ ආර්ය සත්‍යයේ දී ත් ඉපදීම දුකක් ය. එනම් “ජාතිපි දුක්ඛා” කියන වචනය අපි තේරුම්ගත යුතුයි. මේ දුක කියන වචනයෙහි පැතිකඩ ලෙස වර්තමානය තුළ සිංහල භාෂාවෙන් විවිධ වචන යොදා ගන්නා බව පෙනෙනවා. එනම් ආතතිය, දොම්නස, ක්ලමතය, වික්ෂෝපය ආදී වශයෙනුයි. මේ දුක්ඛයන් සරල වූත් ඉතාම ළදරු මට්ටමේ දුක්ඛයන් හැටියට නිවන් මඟ කතාවේ දී අප තේරුම් ගත යුතුයි. දුක්ඛ ආර්ය සත්‍යයේ දී පෙන්වා දෙන ඉපදීම දුකක් ය කියන තැන සිට ලෙඩවීම දුකක් ය. මහලුවීම දුකක් ය. මරණය දුකක් ය. අප්‍රියයන් හා එක්වීම දුකක් ය. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් ය. යමක් කැමැති නම් ඒ දෑ නොලැබීම දුකක් ය. කෙටියෙන් සඳහන් කරන්නේ නම්, ස්කන්ධ පංචකය ම දුකක් ය. නැවත සඳහන් කරන්නේ නම් දුක මත ම ලෝකය පවතින බව දහමෙහි පෙන්වා දෙනවා. ලෙඩවීම, දිරා ගෙන යෑම, මරණය, දුක් බව සැබෑව කි. එහෙත් එය ආර්ය සත්‍යයක් ලෙස දැක ගන්නේ කෙසේ ද? කියන ප්‍රශ්නය පෘතග්ජන ස්වභාවයේ සිතින් බලන්නෙකුට දුෂ්කර විය හැකි ය. ඒ නිසා පළමු පියවරේ දී මෙලොව උපදින්නට මත්තෙන් මව්කුසේ දී ලබන දුකත්, බිහිවන විට ලබන දුකත්, ඉපදීමෙන් අනතුරුව ඉහත සඳහන් කළ දිරාගෙන යෑම ලෙඩ දුක්, මරණය වැනි දුක්ඛයන් ද සලකා බැලිය හැකි යි. එනමුත් අප විසින් යෝජනා කරන්නේ ඉපදීම දුකක් ය කියන තැන දැක ගන්නට භාග්‍යවතුන් වහන්සේ “අනවතග්ග සංයුක්තයේ” පටන් බොහෝ සූත්‍ර දේශනාවන් හි පෙන්වා දුන් ආකාරයෙන් මේ සංසාර ගමන පුරාම පවත්නා වූ දුක තේරුම්ගත යුතු යි. සසර හා භවය යනු ධාතු ස්කන්ධ ආයතනයන්ගේ නොසන්සිඳී පැවැත්ම නම් දුක යැයි අප තේරුම් ගත යුත්තේ මේ ජීවිතයේ පවත්නා වූ ලෙඩවීම, මහලුවීම, මරණය ආදී වශයෙන් පමණක් නොව භවය පුරා ම සකස් වෙන්නා වූ දුකක් පිළිබඳ ව යි. මෙය සංස්කාර දුක්ඛයන් පිළිබඳ ව සාකච්ඡා කරන විට මනා ලෙස තේරුම් ගත හැකිවනු ඇත. දීපා පෙරේරා |
තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බරණැස් නුවර ඉසිපතනාරාමයේ දී ප්‍රථමයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළ සේක. ඒ ධර්ම දේශනාව අවසන් වෙද්දී දහඅට කෝටියක් පිරිස් රහත් භාවයෙන් නිවන් සම්පත් ලැබූහ.
අසංඛ්‍යෙයක් පිරිස සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් මාර්ගත්‍රයෙන් නිවන් සම්පත් දුටහ. ප්‍රථම මංගල ධර්ම දේශනාවෙන් අසංඛ්‍යෙයක් නිවන් සම්පත් ලැබීම, දහඅට කෝටියක් රහත් වීම විශේෂාංගයක්. සියලු බුදුවරයන් වහන්සේලා අත නොහැර කරන දේශනය දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව යි. එහි දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය පැහැදිලි කර තිබෙනවා. සූත්‍ර ගණනාවකින් චතුරාර්ය සත්‍ය දේශනා කර තිබෙනවා.
මාර්ග සත්‍ය බුදු, පසේ බුදු, මහ රහත් උතුමෝ ගමන් ගත් මාර්ගයක්. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. එය අංග අටකින් සමන්වාගත වෙනවා. ශීල, සමාධි, ප්‍රඥා යනු ආර්ය මාර්ගය ම යි. නිවන් මග, විශුද්ධි මාර්ගය, ත්‍රිවිධ ශික්ෂා මාර්ගය, මැදුම් පිළිවෙත් මාර්ගය, ආර්ය මාර්ගය ආදී නොයෙක් නාමයන්ගෙන් උගන්වනවා. සියලුම පින්කම් කරනවිට ආර්ය මාර්ගය සිතෙහි පහළ විය යුතු යි. සිහි නුවණින් කරන පින්කම ප්‍රධානත්වයක් උසුලන්නේ ඒ නිස යි. සිහි නුවණින් කරන පින්කම්වල සම්මා දිට්ඨි ආදී මාර්ගාංග පහළ වෙනවා. මෙය නිතර පහළ නොවුණත්, හොඳින් නුවණ යොදා කරන පින්කම්වල දී පහළ වෙයි. ඒ නිසා කවුරුත් දාන, සීල, පින්කම් කරන විට , මල්, පහන් , ගිලන් පස , දාන මාන පූජා කරන විට සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග පහළ කරගත යුතු යි. එනම්, ප්‍රඥාව යි. සම්මා සංකප්ප යනු හොඳ අදහස්. සම්මා වාචා යනු හොඳ වචන යි. සම්මා කම්මන්ත යනු හොඳ වැඩ කටයුතු යි. සම්මා ආජීව යනු හොඳ ජීවිකාව යි. සම්මා වායාම යනු හොඳ උත්සාහය යි. සම්මා සති හොඳ සිහිය යි. සම්මා සමාධි යනු සිතෙහි තැන්පත්කම යි. මේ කරුණු ටිකට නිවැරැදි , යහපත්, ශ්‍රේෂ්ඨ, උතුම් ආදී වචන රාශියක් සම්මා වදනට යෙදෙනවා.
එසේනම්, සම්මා දිට්ඨි යනු නිවැරැදි ප්‍රඥාව යි. කර්ම ඵල විශ්වාස කිරීම, ධ්‍යාන , මාර්ග, මාර්ග ඵල ලබා ගැනීම, නිර්වාණය අවබෝධ කර ගැනීම, චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම, පින් පව් පිළිගැනීම ආදිය සම්මා දිට්ඨිය නම් වෙයි. ‘කම්මස්සකත සම්මා දිට්ඨි, ධ්‍යාන සම්මා දිට්ඨි, මාර්ග සම්මා දිට්ඨි, ඵල සම්මා දිට්ඨි, චතුසච්ච සම්මා දිට්ඨි ආදිය හොඳින් ඉගෙන කවුරුත් හොඳින් දියුණු කරගත යුතු යි. සම්මා සංකප්ප යනු යහපත් වචන යි. යහපත් අදහස් ආදිය යි. අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්ම වෙයි. අව්‍යාපාද යනු මෛත්‍රී අදහස් ය. අවිහිංසා යනු හිංසා , පීඩා නො කිරීම යි. නෙක්ඛම්ම යනු නික්මීම යි. ඒ අදහස් වලින් පිරිපුන් නම්, සම්මා සංකප්ප මාර්ගාංගය හොඳින් වැඩෙන අතර, එය දියුණු කරගැනීමට පුළුවන් වෙයි. සම්මා වාචා යනු බොරුවෙන්, කේළමෙන් , හිස් වචනයෙන්, නපුරු වචනයෙන් වැළකීම යි. වචනය හොඳනම්, පිවිතුරු නම්, සම්මා වාචා නම් වෙයි. මුව පරිස්සම් කරගත යුතු යි. එයට නුවණ යෙදවූ විට වචනය හොඳ යි, පිවිතුරු යි, තමන්ගේ ගුණ ධර්මයන් හොඳින් දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. සම්මා කම්මන්ත යනු නිවැරැදි කර්මාන්ත යි. එනම්, සතුන් මැරීමෙන් , සොරකමෙන්, කාමමිථ්‍යාචාරයෙන් වැළකීම වෙයි. හොඳ වැඩ වෙයි. බුදු දහමේ කෘෂිකර්මාන්තය , ගව පාලනය, වෙළෙඳාම ආදියත් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළා. එලෙස තම වැඩ කටයුතු කරගත යුතු යි. මස් මාංශ වෙළෙඳාම, ආයුධ, මත්ද්‍රව්‍ය, වහල් වෙළෙඳාම ආදිය හොඳ දේ නො වෙයි. මේවා අත්හැර දමා නිවැරැදිව වැඩ කටයුතු කරනවා නම්, දැහැමිව වැඩ කටයුතුවල යෙදෙනවා නම්, එය සම්මා කම්මන්ත නම් වෙයි. සම්මා ආජීව යනු නිවැරැදි ජීවිකාව යි. වැරැදි ලෙස ජීවත් නොවී , ධාර්මිකව යමක් උපයාගෙන , දැහැමිව ජීවත් විය යුතු යි. බුද්ධාදී උතුමෝ ජීවත් වුණේ ධාර්මිකව යි. ඒ උතුමෝ දැහැමි පිළිවෙත් මගක් අනුගමනය කළා. එලෙස කවුරුත් ජීවමෝපාය ගෙන යා යුතු යි.
ඊළඟ කාරණය සම්මා වායාම යි. එය අවශ්‍යම දෙයක්. උතුම් වචන, උතුම් උත්සාහය, ආදිය යි. උතුම් උත්සාහය කාටත් අවශ්‍ය වෙයි. රැකියාවට, අධ්‍යාපනයට, ගමනට බිමනට, ආහාර පිළියෙළ කරගන්න, දාන- සීල- භාවනා පින්කම්වලට සැමටම අවශ්‍ය වන්නේ උත්සාහය යි. උත්සාහවන්තයා මනු ලොව, දෙව් ලොව, බඹ ලොවට නිවන් මගට යයි. කම්මැළි පුද්ගලයා පරාජයට පත්වන අතර, පිරිහීමට, සතර අපා දුකට වැටෙයි.
එසේනම්, බුදු දහමට අනුව තමන්ගේ නූපන් කුසල් වැඩි දියුණු කළ යුතු අතර, උපන් කුසල් වැඩි දියුණු කළ යුතු යි. නූපන් අකුසල් නොඉපදීමටත්, උපන් අකුසල් ප්‍රහාණය කළ යුතු යැ’යි ව්‍යායාම සතරක් වෙයි. මේවා අප හොඳින් දැන කියාගෙන නිවැරැදි උත්සාහයෙන් වැඩ කටයුතු කරනවා නම්, නිවන් සුව ලබා ගැනීමට අපහසු නැහැ. දැන් නිවැරැදි සිහිය ගෙන බලමු. කායානුපස්සනා සතිපට්ඨානය, වේදනානුපස්සනා සතිපට්ඨානය , චිත්තානුපස්සනා සතිපට්ඨානය, ධම්මානුපස්සනා සතිපට්ඨානය ආදිය සම්මා සති නම් වෙයි. සෑම දෙයක් ම කළ යුත්තේ සිහි කල්පනාවෙනි. එය සම්මා සති නම් වෙයි. ඒ නිසා කවුරුත් සම්මා සතිය හොඳින් දියුණු තියුණු කරගනිමින්, එවිට කුමක්වත් අඩුපාඩුවක් නැතිව තමන්ට පැහැදිලිව නිවන් මග ඉදිරියටම යන්නට පුළුවන්. එසේම සම්මා සමාධි යනු උතුම් චිත්ත සමාධියක්. ප්‍රථම ධ්‍යානය, ද්වීතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය, ආදී ධ්‍යාන සතරකට බෙදන අතර තවද පංචම ධ්‍යානය යනුවෙන් ද වෙයි. මෛත්‍රී භාවනා කරනවානම්, ධ්‍යාන තුනක් ද, ආනාපාන සති භාවනාවෙන් ධ්‍යාන සතරක් ද , සමථ භාවනාවලට ධ්‍යාන වෙන්කර තිබෙන අතර සමථ භාවනාවෙන් පමණක් ධ්‍යාන අවස්ථාවන්ට පත් වෙයි. විදර්ශනා භාවනාවට ධ්‍යාන නොලැබෙන අතර, එය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වටහාගෙන වෙනම මගක ගමන් කරයි.
සියලු පින්කම්වලදී මාර්ගාංග අටත් සමඟ නුවණ පහළ වුණොත්, නිවන් සුව පතා පින්කම කළොත්, අනිවාර්යෙන් ම මාර්ගාංග අට සිතෙහි පහළ වෙනවා. මේ ධර්මතා එකතු කළ විට සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප දෙක ප්‍රඥා ශික්ෂාව වන අතර , සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව තුන එකතු වූ විට ශීල ශික්ෂාව ද සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ආදී තුන ම සමාධි ශික්ෂාව නම් වෙයි. ත්‍රිවිධ ශික්ෂාව යනු ද ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි. මෙලෙස කටයුතු කළොත් කාටත් නිවන් සුව ලැබීම අපහසු කරුණක් නො වෙයි.
ඇසළ පුන් පොහෝ දවසේ ලොවට අමා බෙරය විවර කළා. ලොවටම අමා සුවය බෙදා දුන්නා, එදා සිටම මෙතරම් දිගු කලක් පුරාවටම දහම ලොවට ම ව්‍යාපත්ව ගියේ. දෙව් ලොව, බඹ ලොව ව්‍යාප්තව ගියා. අති විශාල පිරිසක් මාර්ග ඵල නිවනට පත් වුණා. සූවිසි අසංඛ්‍යෙයක් පමණ නිවනට පත් වුණේ මැදුම් පිළිවෙත, එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවැරැදිව අනුගමනය කළ නිස යි. මේවා හොඳින් තේරුම් බේරුම් කරගෙන කවුරුත් බුද්ධාදී උතුමෝ ගමන් ගත් මාර්ගය බව සිතමින් දියුණුවෙන් ගුණ ධර්ම තමන්ටත් ධර්මය අවබෝධ කරගැනීමට අපහසු කරුණක් නො වෙයි.
ඇසළ පුන් පොහෝ දින ඇරැඹුණු මාර්ග ප්‍රතිපදාව අද දක්වා ම විනාශ නොවී දිගින් දිගටම සිව් වණක් පිරිසම රැකගෙන පැමිණි නිසා බොහෝ පිරිසකට ආර්ය තත්ත්වයට පත් වන්න පුළුවන්කම ලැබුණා. එසේනම් කවුරුත් ආර්ය තත්ත්වයට පත්වීමේ බලාපොරොත්තුවෙන් මේ සඳහන් කරනු ලබන සීලය, සමාධිය, ප්‍රඥාව ගුණ ධර්මයන් දියුණු කරන්නේ. බුදු කෙනෙක් ලොව පහළ වන දුර්ලභ අවස්ථාව ඔබ, අප සෑම දෙනාටම ලැබුණා. මේවා ගැන සිතා, හොඳ වාසනාවන්ත ජීවිතයක් ම ගත කරමින් නිවන් සුව පතාගෙන ම යන්න. එවිට කාටත් ලැබෙන බලය, ශක්තිය, ගොඩනගාගන්න පුළුවන්. මෙවන් ප්‍රතිපදාවන් ගැන සිතා. මෙය එක්, එක්කෙනා පසුපසම යා යුතු මගක්. දෙතුන් දෙනාට කතා කරමින් යන්න පුළුවන් ගමන් මගකුත් නො වෙයි. සිහි නුවණින් මේ ගමන යා යුතු ම යි. ඒ නිසා ඍජු මාවතක් වූ මෙහි ගමන් ගන්නා ඕනෑම කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. කපටි, කෛරාටික පැවැතුම් නැහැ. අවංකකම, නිහතමානීකම, අවිහිංසාව ආදී හොඳ ගුණාංගයන්හි පිහිටාගෙන මේ ගමන යන බැවින් බොහොම හොඳින් නිවන දෙසට එනම්, චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වාම යා හැකි යි.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල
නිවන වූ දුක්ඛ නිරෝධ සත්යබුදුරජාණන් වහන්සේගේ පළමුවෙනි ධර්ම දේශනාව වූ ධම්මචක්කපවත්වන සූත්‍ර දේශනාවේ දී දුක්ඛ නිරෝධ සත්‍ය පිළිබඳව උන්වහන්සේ වදාළ සේක. මහණෙනි, උපාදානස්ඛන්ධ සංඛ්‍යාත භවය නැවත නැවත ඇතිකරන ඒ තෘෂ්ණාවෙහි නිරවශේෂය නිරෝධය වූ යම් නිවනක් වේද, යම් නිවනක් නිසා, ඒ තෘෂ්ණාව අතහැරීමත් නැතිකරගැනීමත් දුකින් මිදීමක් ය. පංචකාම ගුණ සංඛ්‍යාත ඇළෙන තැන් නැති, ඇළෙන ස්වභාවය නැති, ස්වභාවයක් වේ ද, එය දුක්ඛ නිරෝධ සත්‍යයි යනුවෙන් දුක්ඛ නිරෝධ සත්‍ය පිළිබඳව අර්ථ දැක්විය හැකි ය. ඒ අනුව නිවන නිරෝධ සත්‍ය ලෙස කෙටි අර්ථයකින් ද හඳුනාගත හැකියි. සත්ත්වයා භවය පුරා සැරිසරන ගමනේ කෙළවර නිවනයි . ලෝකයේ සසර සැරිසරන සත්ත්වයා ගේ එකම අරමුණ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ නිවනට සම්ප්‍රාප්තවීමයි. බෝධිය යනු අවබෝධයයි. සම්මා සම්බුද්ධත්වය, පච්චේකබුද්ධත්වය හා මහරහත් බව එම තුන්තරා බෝධියයි. තුන්තරා බෝධියෙන් එක් බෝධියක් ප්‍රාර්ථනා කරගෙන සිටින පුද්ගලයන් කෙතෙකුත් සිටිය හැකියි. ඔවුන් තම උතුම් අරමුණ සිතෙහි දරාගනිමින් සිත, කය, වචනයෙන් සුචරිතයම වඩයි. තුන් දොරින්ම සමාජයට අර්ථය හිත සුව පිණිස කටයුතු කිරීමට පෙළඹෙන්නේ ද, තමන් ප්‍රාර්ථනා කරගත් බෝධියකින් නිවන් දැකීමේ අරමුණ පෙරදැරිවයි. නිවන බලාපොරොත්තු වන සත්ත්වයා. සංසාරයේ සැරිසරමින් ගමන් කරනා විට තමන්ගේ මනස තුළ තිබෙන තෘෂ්ණාව නමැති බැඳීම අඩුකරගැනීමට කටයුතු කළ යුතුයි. තණ්හාව නමැති වඩුවා නිවස සාදන නිසා පුද්ගලයා සසර උපදියි. තණ්හාව නමැති වඩුවා සොයාගත් බුදුරජාණන් වහන්සේ, නැවත එම ගෙය නොසාදන බවට ද වදාළ සේක. එනිසාම සියලු සත්ත්වයෙක් ම පරතෙරක් නොපෙනෙන සංසාර ගමනේ සැරිසරනා විට තෘෂ්ණා ස්වභාවය, නිරවශේෂයෙන්ම ක්ෂය කළ යුතුයි. බුදු දහමෙහි ‘අතහැරීම්’ යන සංකල්පය උගන්වා ඇත්තේ ද, අතහැරීම තුළ නිවනට යන පාර ළගා වන නිසයි. අල්ලා ගැනීම නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා සංසාරයේ දුක ඇතිවන බව මහා නිදාන සූත්‍රයෙහි දී සඳහන් වේ. ‘ඉති ඛො පනෙතං ආනන්ද වෙදනං පටිච්ච තණ්හා, තණ්හං පටිච්ච පරියෙසනා. පරියෙසනං පටිච්ච ලාභො, ලාභං පටිච්ච විනිච්ඡයො , විනිචඡයං පටිච්ච ඡන්දරාගො ,ඡන්දරාගං පටිච්ච අජෙඣසානං, අජෙඣාසානං පටිච්ච පරිග්ගහො, පරිග්ගහං පටිච්ච මච්ජරියං, මච්ඡරියං පටිච්ච ආරකෙඛා, ආරක්ඛාධිකරණං පටිච්ච දණිඩදාන සත්ථාදානකලභවග්ගහ විවාදතුචං තුවං පෙසුඤ්ඤමුසාවාදා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සමහවෙන්ති” ආනන්දය,මෙසේ මේ වේදනාව නිසා තෘෂ්ණාව වේ. තෘෂ්ණාව නිසා පර්යේෂණ (අරමුණු සෙවීම) වේ. පර්යේෂණය නිසා ලාභය (අරමුණු ලැබීම) වේ. ලාභය නිසා විතර්ක විනිශ්චය (අරමුණෙහි ඉටු අනිටු බව විතර්කයෙන් නිශ්චය කොට ගැනීම) වේ. විනිශ්චය නිසා ඡන්දරාගය (විතර්කිත වස්තුව කෙරෙහි ඇල්ම) වේ. ඡන්දරාගය නිසා අධ්‍යවසානය (මම ය, මගේ යැයි බලවත් සනිටුහන) වේ. අධ්‍යවසානය නිසා පරිග්‍රහය (තෘෂ්ණා දෘෂ්ටි විසින් මගේ යැයි අයත් කර ගැන්ම) වේ. පරිග්‍රහය නිසා මසුරුබව වේ. මසුරුබව නිසා රැක්ම වේ. රැක්ම කරණකොට ගෙන දඬුමුගුරු දැරුම්,අවි දැරුම්, කලහ, විග්‍රහ (විරෝධ භූමි) විවාද තවංතුවං ( ඇණුම් බැණුම්) කේලාම්, මුසාබිණුම් නොයෙක් ලාමක අකුසල් දහම්හු පහළ වෙත් නිවන අති රමණීය උතුම් ප්‍රාප්තියක් ලෙස දක්වන්නේ ද, තෘෂ්ණාව සම්පූර්ණ වශයෙන්ම විනාශකර දමන නිසයි. සංසාරයේ ජීවත්වන සත්ත්වයා විසින් නිවන බලාපොරොත්තු වන නිසාම මානසික, කායිකව. වාචසික සියල්ල අතහැර දමයි. සසර බලාපොරොත්තු වන පුද්ගලයා සියල්ල අල්ලා ගනී. එම අල්ලා ගැනීම තුළ සසර දිග්වේ. කායික, මානසික, වාචසික අල්ලාගැනීම තුළ තෘෂ්ණාව වැඩිවේ. එවිට නිර්වාණය ලබාගැනීම අපහසුවෙයි. බෞද්ධ සම්ප්‍රදාය තුළ, බෞද්ධ දර්ශනය විසින් මනුෂ්‍යයා හුරුපුරුදු කරන්නේ ද ලද දෙයින් සතුටු වීමටය. ලද දෙයින් සතුටුවීමට හුරුවූ පුද්ගලයා තමන් ලබන දෙයින් උපරිම තෘප්තියක් ලබයි. තෘෂ්ණාධික පුද්ගලයාට තමන් ලද දෙයින් සතුටු විය නොහැකියි. ලද දෙයින් සතුටු නොවී නො ලද දෙය ම ප්‍රාර්ථනා කරයි නො ලද දෙය ම සිතමින් එය ම ප්‍රාර්ථනා කිරීම සාමාන්‍ය සත්ත්වයාගේ ස්වභාවයයි. සසර සැරිසරන මගට වඩා වෙනස් වූ වෙනත් අර්ථකතනයක් නිවන් මඟ තුළ ගැබ්ව පවතියි. සත්ත්වයා පංච ඉන්ද්‍රියන් පිනවීමෙන් තෘප්තියක් ලැබුව ද, එය පිනවීමෙන් ලබන තෘප්තිය සදාකාලික වූ තෘප්තියක් නොවෙයි. කාලයාගේ ඇවෑමෙන් එම පිනවීම ම දුකක් බවට පත්වෙයි. පංචස්කන්ධය පිනවීම සඳහා ම පුද්ගලයකුට පංචස්ඛන්ධයක් අවශ්‍ය නොවෙයි. තමාගේ ජීවන අරමුණ සාර්ථක කරගැනීම සඳහා ම පංචස්කන්ධය අවශ්‍ය වෙයි. නිර්වාණගාමී මාර්ගයට පත්වුණ යෝගාවචරයා සිත, කය. වචනය යන තුන්දොරම සමාජයට ද, තමනට ද අර්ථය පිණිස යොදවයි. එම කාරණා දෙකම සසර ගමන අඩුකර ගැනීම සඳහා පුද්ගලයා විසින් භාවිත කරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ නිරෝධ සත්‍ය යන උතුම් ප්‍රාප්තිය බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය තුළ නිවන ලබාගැනීම සඳහා ගමන් කරන පුද්ගලයකුට ඒ සඳහා ළඟාවිය හැකි ය. සසර මම ය, මාගේ ය, මම නිසා පවතින්නේ ය, මට අයිතිවන්නේ ය යන ස්වභාවයට වඩා මම නොවේ ය. මගේ නොවේ ය මෙය ආත්ම වශයෙන් ගත නොහැකි ය යන ස්වභාවයන්ට පත්විය යුතුයි. බුදුදහමින් ශික්ෂණය වුණ, දහමෙහි හැසිරෙන, දහමට අවනත යෝගාවචරයා බොහෝ සෙයින් අවබෝධ පූර්වකව සමාජයෙහි ජීවත්වෙයි. සාමාන්‍ය පුද්ගලයා සමාජයෙහි ජීවත්වන විට රූප, ශබ්ද ගන්ධ, රස, ස්පර්ශ යන බැඳීම් ආත්මීය වශයෙන් අල්ලා ගනී. තමාට රුචි රූපයක් දුටු විට එය මනසින් අල්ලා ගනී. ඇද බැඳ තබාගනී. එම රූපය තුළ ජීවත්වීමට පටන් ගනී. මේ ආකාරයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් ඇළීමට පටන්ගැනීම සාමාන්‍ය සත්ත්ව ස්වභාවයයි. සාමාන්‍ය ලෝක ස්වභාවයයි. දහමින් අනූන පුද්ගලයා එම ස්වභාවයට වඩා උඩුගම්බලා යන ගමනක් ආරම්භ කරයි. සමාජය ගමන් කරන රැල්ලට අනුව, ආශාවන් පසුපස හඹා නොගොස්, තෘෂ්ණාධික බවින් තොරව, අවබෝධයෙන් නිවන කරායාම සාමාන්‍ය බෞද්ධයාගේ ලක්ෂණයයි. ප්‍රඥාව පුරුදු පුහුණු කළ පුද්ගලයකුට පමණක් එබඳු තත්ත්වයට පත්විය හැකියි. පුද්ගලයා තුළ ප්‍රඥාව වැඩිදියුණු කරගන්නා ආකාරය බුදුදහමෙහි උගන්වයි. පුද්ගලයා හැමදාමත් එකම තැනක රැඳෙනවා නම්, බුදුදහම ඇදහීමෙන් ඵලක් නොවෙයි. දවසින් දවස තමන්ගේ දැනුම, අවබෝධය, වර්ධනය කරගත යුතු බවට බුදුදහම අවධාරණය කරයි. බුදුදහමෙන් උගන්වන විශිෂ්ට ඉගැන්වීමක් වන නිරෝධ සත්‍ය අවබෝධයෙන් ම ජයගත හැකි ධර්මතාවක් ලෙස දැක්විය හැකියි. අවබෝධ පූර්වක පුද්ගලයා නිවන අරමුණ කරගනී. නිවන ආගමික බව ඉක්මවා ගිය දාර්ශනික බවට පත්වෙන තත්ත්වයක් .බෞද්ධ සාහිත්‍යයෙහි නිවන. ස්වර්ණමය පුරයක් ලෙස, අතිරමණීය භූමියක් ලෙස හඳුන්වා ඇත්තේද, සාමාන්‍ය පුද්ගලයාගේ අවබෝධය පිණිස තේරුම් ගැනීමේ පහසුව සඳහා ය. දාර්ශනික වශයෙන් නිවන විග්‍රහ වන විට සියල්ල නැති බව, හඳුනාගැනීමට හැකියාව ලැබෙයි. -හේමමාලා රන්දුනු |
සමුදය සත්‍ය: දුක හටගන්නේ කෙසේදබුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් කොටස් අතර ඉතාමත් ම පරම ගම්භීර දහම් කොට්ඨාසය චතුරාර්ය සත්‍යය යි. චතුරාර්ය සත්‍යය අවබෝධවන තෙක් සත්ත්වයා අවිද්‍යාවෙන් පිරී පවතිනවා. බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් මුළුල්ලේ බෝධිසත්ව අවධි පසුකරමින්, පැමිණ, එදා වෙසක් පුර පසළොස්වක පෝදා අවබෝධ කරගත්තේ මේ ලෝකයේ යථා ස්වභාවය යි. එය හඳුන්වන්නේ චතුරාර්ය සත්‍ය හැටියටයි. උතුම් ශ්‍රේෂ්ඨ ධර්මතා හතරක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙහි දී අපට පෙන්වා වදාළ සේක. එනම් දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය සහ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය වශයෙනුයි. දුක්ඛ ආර්ය සත්‍යය යනු, දුක පිළිබඳව තිබෙන යථා ස්වභාවය යි. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය යනු දුක හට ගැනීම පිළිබඳ යථා ස්වභාවයයි. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය යනු දුක නැති කිරීම පිළිබඳ යථා ස්වභාවය යි. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය නම් දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ යථා ස්වභාවය යි. සමුදය යන්නෙන් හඳුන්වන්නේ හට ගැනීම පිළිබඳව යි. එනම් ඉපදීම පිළිබඳව යි. උප්පත්තිය ලැබීම පිළිබඳව යි. කුමක් ඉපදීම පිළිබඳව ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳව යි. දුක්ඛ සමුදය පිළිබඳවයි. දුක හට ගන්නා හේතු. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා දුක හටගන්නවා නෙමෙයි. දුක හට ගන්නේ කොහොමද කියන කාරණය බුදුරජාණන් වහන්සේ යථාර්ථවාදීව සොයා, පරීක්ෂා කර නිගමනයකට පැමිණ අපට දේශනා කළා. උන්වහන්සේ විසින් සොයා ගත් දහම එනම්, ලෝකය ක්‍රියාත්මක වන ආකාරය උන්වහන්සේ දකිනවා. ඉතාමත් හොඳින් දකිනවා. සත්වයා දුකට පත්ව ඉන්නවා. දුකට පත්ව සිටිනවා නම් දුක හටගන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ ඊළඟ පර්යේෂණය ඒ සඳහායි. එනම්, දුක්ඛ සමුදය ආර්ය සත්‍යයි. ආර්ය සත්‍ය නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කළත්, වෙන කෙනෙක් දේශනා කළත් මේ ලෝකයේ යථා ස්වභාවය යි. අදටත් අප කොයිකවුරුත් මේ දුකෙහි වෙළී ඉන්නේ දුක හට ගන්නා දේ අප ළගින් ඉවත් කර ගැනීමට නොහැකි නිසයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දුක හට ගන්නේ කොහොමද කියන කාරණාව ධම්මචක්කපවත්වන සූත්‍රයේ දී දේශනා කොට වදාළ සේක. එනම් බුද්ධත්වයෙන් පසුව ලෝකයා ඉදිරියේ තමන් වහන්සේගේ පළමු ධර්මානුශාසනාව මංගල දේශනාව පවත්වන තැන දී දේශනා කළ සේක. මේ ලෝකයේ යම් කිසි සත්වයෙක් තණ්හාවෙන්, නන්දිරාගයෙන් ඒ ඒ දේ් පිළිබඳව ඇලීම් ඇතිකරගෙන කටයුතු කරනවා නම්, එනම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන මේවා කෙරෙහි ඇලීමෙන් කටයුතු කිරීමෙන් මේ දුක හට ගැනීම සිදුවන්නේ ය යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. මේ ලෝකයේ “සමුදය සත්‍යය” නැතිනම් “දුක්ඛ සමුදය සත්‍යයෙන්” ප්‍රධාන වශයෙන් අදහස් වන්නේ තෘෂ්ණාව යි, දුක්ඛ සමුදය නම් දුක හට ගැනීම සිදුවෙනවා. දුක හටගන්නේ කුමක් නිසා ද? තෘෂ්ණාව නිසා. අකුසල මූල ධර්මවල දී ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මුල් ගත් විට මුල් ම කරුණ හැටියට සලකන්නේ ලෝභය යි. එනම් ලෝකයේ දුක හට ගැනීමට තෘෂ්ණාව වගේ ම තවත් සමහර කරුණු අනුසංගික වශයෙන් බලපෑවත් ප්‍රධාන වශයෙන් ඉලක්ක වන්නේ තෘෂ්ණාවයි. ඒ නිසා “තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බාණං” තෘෂ්ණාව ඉවත් කිරීම, තෘෂ්ණාව ක්ෂය කිරීම. නිර්වාණය හැටියට භාග්‍යවතුන් වහන්සේ එක් අවස්ථාවක දී සඳහන් කරනවා. තෘෂ්ණාව වැඩිවෙන්න, වැඩිවෙන්න ගැටලු වැඩියි. තෘෂ්ණාව අඩුවෙන්න, අඩුවෙන්න ගැටලු අඩුයි. තෘෂ්ණාව සම්පූර්ණයෙන් ඉවත් කළාම අපට ගැටලුවලින් සම්පූර්ණයෙන් ම විනිර්මුක්ත විය හැකියි. යම් කිසි කෙනෙක් පවසනවා නම් අපට හරියට ගැටලු, ප්‍රශ්න කියා එහි යටි අදහස නම් ඔහුට බැඳීම් තිබෙනවා. තෘෂ්ණාව තිබෙනවා. අත්හැරීමේ දක්ෂතාවය පුරුදු කර නැහැ කියන එකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සියලු ම දේ පිළිබඳ ව ආශ්වාද වශයෙන් ගැනීම ඒ ගන්නා වූ විරාගය නිරෝධ යැයි පවසන්නේ. අපට පුළුව න් නම් තෘෂ්ණාව නිරෝධයක් බවට පත්කරගන්න, මේ ආශ්වාදය නිරෝධයක් බවට පත් කර ගන්න. එවිට දුක අඩුකර ගැනීම සඳහා, එනම් දුක්ඛ සමුදය සඳහා නොවෙයි දුක්ඛ නිරෝධය සඳහා කටයුතු කරන්න පුළුවන් වෙනවා. ගිහිවේවා, පැවිදි වේවා, දිව්‍ය වේවා මේ කාටත් අංශු මාත්‍රයකින් හෝ තෘෂ්ණා ශක්තියක් තිබෙනවා. මේ තෘෂ්ණාව ලියලන්න ලියලන්න ඒ ඒ අයගේ ඕනෑ එපාකම් වැඩිවෙනවා. පංචස්කන්ධය ගත් විට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “සංචිත්තේන පංචු උපාදානස්ඛන්ධා දුක්ඛා” මේ පංචස්කන්ධයම දුකක්. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්භ, ස්පර්ශ මේ සියල්ලම දුක මතම පිහිටා තිබෙන්නේ දුකින් ම ය. මේ දුක විනිවිදව දකින්න පුළුවන් තරමට අපගේ මනස දියුණු කර නොමැතිකම නිසා ඉන්ද්‍රියන් පිළිබඳව වර්ණනා කරනවා. නමුත් ඒ ඇතුලේ පවතින භයානක දුක පේන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් යම් කිසි රසවත් කැවිලි විශේෂයක් පවතිනවා. එයට කවුරු හෝ විෂ වර්ගයක් කවා තිබෙනවා. නමුත් මතුපිටින් පෙනෙන රසවත් පෙනුම නිසා අපට මේ පිළිබඳව තෘෂ්ණාවක් ඇතිවෙනවා. එය අනුභව කිරීමෙන් දීර්ඝකාලීනව අපට ලබන්න තිබෙන දුක වැසී අර ඉන්ද්‍රියන් පිනවීම සඳහා කටයුතු කරනවා. එනම් එය ආහාරයට ගන්නවා. අවසානයේ දී මාරාන්තික විය හැකියි. මරණාසන්න විය හැකියි. දින කිහිපයක අසනීප නැතිනම් දීර්ඝකාලීන අසනීප තත්ත්වයකට පත්විය හැකියි. ඒ වගේ ම ඉන්ද්‍රියයන් සතුටු කිරීම සඳහා, පංචකාමය දියුණු කිරීම සඳහා අප ගන්නා උත්සාහයත්, බලාපොරොත්තු සංසාරිකව දීර්ඝකාලීන දුකකට අප පත්කරන්න පුළුවනි. ඒ නිසා අප දක්ෂවෙන්න ඕනේ මේ ඉන්ද්‍රියයන් පිනවීමේ දී ඉන්ද්‍රිය අවශ්‍යතා සපිරීමේ දී මේවා මොනතරම් අපේ සංසාර ගමනට බලපානවාද? මේ තුළින් අපගේ දුක කෙතරම් අඩුවැඩි වෙනවාද? දැන ගැනීමට ඒ ගැන පැහිදිලි කිරීමට අවබෝධයක් තිබිය යුතුයි. ඒ නිසා මේ දුක්ඛ සමුදයය එසේ නැතිනම් දුක ඉපදීමට පළමුවන කරුණ ලෙස දකින්නේ තෘෂ්ණාව යි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට කාම තණ්හාව එනම්, මේ කාම ලෝකයේ කාම වස්තූන් පිනවීමට අප ගන්නා උත්සාහය යි. ඇස් දෙක පිනවන්න කොතරම් උත්සාහ ගන්නවා ද? කය පිනවන්න කොපමණ වෙහෙස ගන්නවා ද? සමහර විට වැස්සෙ තෙමී, අව්වෙ වේලී, අනුන්ගෙන් බැනුම් අසාගෙන, නොයෙකුත් දුක් විඳගෙන මේ සියල්ලම විඳින්නේ ඉන්ද්‍රිය සංතර්පනය සඳහායි. නමුත් මේ ඉන්ද්‍රිය සන්තර්පනයට ගන්නා සමහර දේ සමහර විට වංචනිකව, බොරු කියා, සොරකම් කර ලබා ගන්නවා. මේ සියල්ලම සිදු කරන්නේ තෘෂ්ණාව නිසා මයි. මේ නිසා දුක් ගොඩක් එකතු කර ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාම තණ්හාව, ඒවගේ ම භව තණ්හා, සමහරවිට බලාපොරොත්තු ගොඩාක් තබාගෙන කටයුතු කරනවා. ඊළඟ භවයන් සුවපත් කර ගැනීම සඳහා. ඊළඟ භවය මීට වඩා දියුණු කර ගැනීම සඳහා ආදී වශයෙන්. භවයන් පිළිබඳව ඇලීමෙන් කටයුතු කරනවා. එයත් එක අතකින් ගත් විට තෘෂ්ණාවක්. ඒ නිසා මේ කවර ආකාරයකින් වේවා කාම, භව, විභව ආදී ආකාර තුනකින් යුක්ත තෘෂ්ණාවන් අයින් කර ගන්නට උත්සාහ කරන්නට පුළුවන් නම්, එය ඉතාමත් වැදගත් වෙනවා. ඒවගේ ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයෙහි ජීවත්වන සත්වයාට හොඳින් ධර්ම ඥානය, නැතිනම් ධර්ම ඥාන චක්සුතය, එනම් ධර්ම ඇස දියුණු කර ගන්න පුළුවන්නම් ඔහු මේ ගන්නා වූ අරමුණුවල දුර්විපාක මොනවාද කියා විනිවිදව දකිනවා. මුලින් සඳහන් කළ රස කැවිල්ල කන්නට කලින් ඒ පිළිබඳව විශේෂඥයෙකුට, නිගමනයක් කරන්න පුළුවන් මේ රස කැවිල්ල කෑමට ගැනීම තුළින් මේ වගේ ආදීනවයන්ට අනාගතයේ දී මුහුණ දෙන්නට සිදුවෙනවා කියා, එය බැලූ බැල්මෙන් ඒ පිළිබඳව අවබෝධයක් නැති, ඒ පිළිබඳ දැනීමක් නැති අයෙකුට හිතළුවක් හැටියට පෙනුණත් එය විහිළුවක් හැටියට පෙනුණත් ඒ පිළිබඳව නියමාකාරයෙන් සිත දියුණු කළ අයෙකුට, ඒ තාක්ෂණය, ඒ විද්‍යාව දියුණු කළ අයෙකුට ඒ පිළිබඳ බියක් ඇතිවෙනවා. අන්න ඒ වගේ ධර්ම ඤාණය, ධර්ම චක්සුතය දියුණු කළ කෙනෙක් මේ පංච ඉන්ද්‍රියයන් පිනවීමට යෑමේ දී ඔහු අනෙකෙකුට වඩා එහි ප්‍රතිවිපාක දකින්න පටන් ගන්නවා. ඒ නිසා ඔහුට පුළුවන්කමක් ලැබෙනවා, අනෙකා පත්වුණ දුකෙන් මිදෙන්නට. ඒ නිසා හැම වෙලාවක දී ම දුක්ඛ සමුදයට හේතු මොනවාද? දුක් ගොඩකර ගන්නා හේතු මොනවාද? දුක් උපදවන හේතු මොනවා ද? යැයි බලා ඈත්වෙන්න පුළුවන්නම්, දුක්ඛ නිරෝධය සඳහා මාවතක් සකස් කර ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒ මුලින් සඳහන් කළ ආකාරයට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් ආකාර තුනකින් ගොඩනගා ගන්නවා. එයට හේතුව ධර්මය පිළිබඳව කිඳා බැසගත් නුවණක් නොමැතිකම යි. කිඳා බැසගත් නුවණින් අපට බලන්නට පුළුවන්නම්, මේ දුක්ඛ සමුදය කුමක් ද කියන කාරණය හොඳින් තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. - දීපා පෙරේරා |
පිරිසිඳ අවබෝධ කළයුතු දුක්ඛ ආර්ය සත්යයඅපගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ නො මැතිව, ස්වයංභු ඤාණයෙන් චතුරාර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කොට වදාළහ. එහිදී දුක නම් වූ ආර්ය සත්‍යය පිරිසිඳ අවබෝධ කළ ශාස්තෘන් වහන්සේ දුක්ඛ සමුදය වූ තණ්හාව ප්‍රහාණය කළ සේක. දුක්ඛ නිරෝධය හෙවත් අමා මහ නිවන පරිපූර්ණ වශයෙන් සාක්ෂාත් කළ භාග්‍යවතුන් වහන්සේ ඒ අමා නිවන් මඟ සීල, සමාධි, ප්‍රඥා වශයෙන් ප්‍රගුණ කළ සේක. වෙසක් පුන් පොහෝ දින චතුරාර්ය සත්‍යාවබෝධයෙන් ඒ උතුම් සම්බුද්ධත්වය සාක්ෂාත් කළ අපගේ ශාස්තෘන් වහන්සේ, අදවන් ඇසළ පුන් පොහෝ දිනක පස්වග භික්ෂූන් වහන්සේලා අරභයා ඒ විස්මිත අවබෝධය ප්‍රථම වතාවට දම්සක් පැවතුම් සූත්‍රය තුළින් දේශනා කොට වදාළ සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළයුතු දුක්ඛාර්ය සත්‍යය පෙන්වා දුන්නේ මේ ආකාරයෙනි. “පින්වත් මහණෙනි” දුක නම් වූ ආර්ය සත්‍යය යනු මෙයයි. ඉපදීම ද දුකකි. ජරාවට පත්වීම ද දුකකි. රෝගපීඩා වැළඳීම ද දුකකි. මරණය ද දුකකි. අපි‍්‍රය පුද්ගලයින් හා අපි‍්‍රය වස්තූන් සමඟ එක්වීම ද දුකකි. පි‍්‍රය පුද්ගලයන්ගෙන් හා පි‍්‍රය වස්තූන්ගෙන් වෙන්වීමද දුකකි. කැමැති වන්නා වූ යමක් ඇද්ද, එය නොලැබීම ද දුකකි. සංක්ෂේපයෙන් කීවොත් පංචඋදානස්කන්ධයෝ ම දුකකි. “ඉදං ඛෝ පන භික්ඛවේ දුක්ඛං අරියසච්චං, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ජං නලභති තම්පි දුක්ඛං, සංඛිත්තේන පඤ්චුපාදනක්ඛන්ධා, පි දුක්ඛා) මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දී දුක්ඛාර්ය සත්‍යය තවදුරටත් විග්‍රහ කොට වදාළා. එහි දී භාග්‍යවතුන් වහන්සේ ඉපදීම පිළිබඳව පෙන්වා දී ඇත්තේ මෙලෙසයි. “පින්වත් මහණෙනි, ඉපදීම යනු කුමක් ද? ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව ලෝක තුªළ, යම් උපතක් වේ ද, යම් හටගැනීමක් වේ ද, මව්කුසක බැසගැනීමක් වේ ද, විශේෂ උපතක් වේ ද, උපාදානස්කන්ධයන්ගේ පහළවීමක් වේ ද, ඇස්, කන් ආදී ඉඳුරන්ගේ ලැබීමක් වේ ද, මෙය වනාහී ඉපදීම යැයි කියනු ලබන්නේ ය. ඉපදීමත් සමඟ දුකක් ඉපදෙන බව බුදුරජාණන් වහන්සේ උප්පාද නම් සූත්‍රයේ දී ඉතාම පැහැදිලි ලෙස මෙසේ වදාළ සේක. “පින්වත් මහණෙනි, රූපයේ, වේදනාවේ, සඤ්ඤාවේ, සංස්කාරයන්ගේ, විඤ්ඤාණයේ යම් ඉපදීමක්, යම් පැවැත්මක්, යම් විශේෂ උපතක්, යම් පහළවීමක් වේ ද, එය වනාහී දුකෙහි ඉපදීම වේ. එය වනාහී රෝගයන්ගේ පැවැත්ම වේ. එය වනාහී ජරා මරණයේ පහළවීම වේ. ජරා මරණයට පත්වන්නේ ඉපදුන දෙයක් ම ය. හටගත් දෙයක් ම ය. යමක හට ගැනීමක් නැතිනම් ජරා මරණයක් නැත. යමක හට ගැනීමක් ඉපදීමක් ඇත්නම් ජරා මරණයන් තිබේ ම ය. ජරා මරණයන්ට හේතුව ‘ඉපදීම’ බව බුදුරජාණන් වහන්සේ අවබෝධ කර ගත්තේ යෝනිසෝමනසිකාරය තුළින් ම ය. දුක්ඛ ආර්ය සත්‍යයට අයත් ජරා දුක හෙවත් වයසට යෑමේ දුක යනු කුමක් ද? භාග්‍යවතුන් වහන්සේ එය මෙලෙසින් පෙන්වා දුන් සේක. “පින්වත් මහණෙනි, ජරාවට පත්වීම යනු කුමක් ද? ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්ව ලෝක තුළ යම් දිරීමක් වේ ද දිරායන ස්වභාවයක් වේ ද, දත් ආදියෙහි කැඩීමක් වේ ද, කෙස් ආදියෙහි පැසීමක් වේ ද, සමෙහි රැළි වැටීමක් වේ ද, ආයුෂයාගේ ගෙවීමක් වේ ද, ඇස් ආදී ඉඳුරන්ගේ මෝරා යාමක් වේ ද, මෙය වනාහිී ජරාවට පත්වීම යැයි කියනු ලබන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම විග්‍රහයේ සඳහන් වන්නේ ජීවිතයක මුහුණ දිය යුතු ඒකාන්ත සත්‍යයකි. මෙය අපටනම් අදාළ නැතැයි කිසිවෙකුටවත් අවංකව පැවසිය නොහැක. මේ ජරා, මරණ දුක සමස්ත සත්ත්ව ලෝකය පුරාම වෙනසක් නොමැතිව දකින්නට ලැබෙන සත්‍යයකි. කාලයකට පමණක් වලංගු නො වන අකාලික සත්‍යයකි. ජරාව යනු සැපක් නොව දුකක් ම බව නුවණින් විමසා බලන කෙනෙකුට පැහැදිලිව දැකිය හැකි සත්‍යයකි. ජරාවට පත්වන ජීවිතය මරණයෙන් නිමා වේ. බුදුරජාණන් වහන්සේ වදාළේ මරණයත් අවබෝධ කළ යුතු ‘දුක’ නම් වූ ආර්ය සත්‍යයට අයිති බවයි. එමෙන්ම සියලු සත්ත්වයෝ මරණයට බියපත් වන බවයි. (සබ්බේ භායන්ති මච්චුණෝ) මරණය ඉදිරියේ සත්ත්වයා ජීවිතය ඉල්ලා හඬා වැටේ. අන්ත අසරණභාවයට පත්වේ. භාග්‍යවතුන් වහන්සේ මරණ දුක විස්තර කර වදාළේ මෙලෙසිනි. “පින්වත් මහණෙනි, මරණය යනු කුමක් ද? ඒ ඒ සත්ත්ව ලෝකවල ජීවත්වන්නා වූ, ඒ ඒ සත්ත්වයින්ගේ ජීවිතවලින් යම් චුතවීමක් වේ ද, චුත වී යන ස්වභාවයක් වේ ද, ජීවිතයේ බිඳී යන ස්වභාවයක් වේ ද, (ජීවිතය නොපෙනී ගොස්) අතුරුදහන් වීමක් වේ ද, මරණයට පත්වීමක් වේ ද, කලුරිය කිරීමක් වේ ද, පංච උපාදානස්ඛන්ධයන්ගේ බිඳී යාමක් වේ ද. ශරීරය අත්හැරදැමීමක් වේ ද, මෙයටයි මරණය කියා කියන්නේ.” එමෙන්ම සසර සැරිසරන සත්ත්වයා හට නිරන්තරයෙන් ම අපි‍්‍රය වස්තූන් සමඟ එක්වීමේ දුකට මුහුණපාන්නට සිදු වේ. සියලු දුකෙන් නිදහස්වී වදාළ අපගේ ශාස්තෘන් වහන්සේ ඒ පිළිබඳ වදාරා ඇත්තේ මේ අයුරින් ය. තමා අකැමැති වූ, අපි‍්‍රය, අමනාප වූ, රූප, ශබ්ද, ගන්ධ, රස, පහස හා අරමුණු සමග එක්වන්නට සිදුවෙයි, එමෙන්ම යම් කෙනෙකු වනාහී තමා විපතට හෙලනු කැමැති වූ, තමාගේ අයහපත කැමැති වූ, තමන්ට පීඩා කරනු කැමැති වූ යම්බදු පුද්ගලයෝ සිටිත්ද එබඳු පුද්ගලයන් සමග යම් මුණගැසීමක් වේ ද, එකට හමුවීමක් වේ ද, එකට වාසය කරන්නට සිදුවේ ද, පින්වත් මහණෙනි මෙය වනාහී අපි‍්‍රය පුද්ගලයින් හා අපි‍්‍රය වස්තූන් සමඟ එක්වීමේ දුක යැයි කියනු ලබන්නේ ය.” තව ද, සංසාරගත සත්ත්වයා මුහුණදෙන තවත් බැරෑරුම් දුක් පීඩාවක් වන්නේ පි‍්‍රය පුද්ගලයන්ගෙන් හා පි‍්‍රය වස්තූන්ගේ වෙන්වීමේ දුකයි. සියල්ල අවබෝධ කළ අනාවරණය ප්‍රඥා ඇති භාග්‍යවතුන් වහන්සේ එය ද අවබෝධ කළයුතු දුක්ඛ ආර්ය සත්‍යය යටතේ මෙසේ විවරණය කළ සේක. “යම් කෙනෙකු වනාහි ඉතා යහපත් වූ, සුන්දර වූ, පි‍්‍රයමනාප වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස හා අරමුණුවලින් වෙන්වන්නට සිදුවේ ද, එමෙන්ම යම් කෙනෙකු වනාහී තමාගේ යහපත කැමැති වූ, තමාට සෙත සලසනු කැමැති වූ තමාගේ පහසු විහරණය කැමති වූ, මව්පියන් හා සහෝදර සහෝදරියන් ද, යහළුවන් හා ඥාතීන්ද යන මෙබඳු පුද්ගලයෝ සිටිත්ද, මෙබඳු පුද්ගලයන්ගෙන් වෙන්වීමක් වේ ද, එක් නොවී ජීවත්වන්නට වේ ද, එක් නොවී සිටීමක් වේ ද, එකට වාසය කිරීමක් නොවේ ද මෙය වනාහී පි‍්‍රය පුද්ගලයින්ගෙන් හා පි‍්‍රය වස්තූන්ගෙන් වෙන්වීමේ දුක යැයි කියනු ලබන්නේ ය.” මේ අයුරින් අනේක ප්‍රකාර දුක් දොම්නස් විඳින එයින් පීඩිත වූ සත්ත්වයන්හට එම දුක්දොම්නස් තමා කරා නො පැමිණෙන්නේ නම්, කොතරම් හොඳද? කියා සිතෙහි කැමැත්තක් උපදින්නේ ය. එනම් ඉපදීම, ජරාවට පත්වීම, ලෙඩවීම, මරණය, සෝක පරිදේව, දුක්, දොම්නස්, උපායාංග උරුමකරගත් සත්ත්වයන් හට එම දුක් තමන් කරා නො පැමිණෙන්නේ නම් කො තරම් හොඳදැයි කියා කැමැත්ත උපදින්නේ ය. එනමුත් එය වනාහී කැමැත්ත තිබූ පමණින් උදාකරගන්නට නො හැක්කේම ය. මෙය කැමැති වන්නා වූ දෙය නො ලැබීමේ දුකයි. භාග්‍යවතුන් වහන්සේ වදාළේ කෙටියෙන් පැවසුවහොත් පංච උපාදානස්ඛන්ධය ම දුකක් බවයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ හේතුඵල දහම තුළ හටගන්නා සමස්ත දුක්ඛස්කන්ධය ම පෙන්වා දුන්නේ දුක පිරිසිඳ අවබෝධ කොට, එයින් නිදහස්වීම පිණිස යි. දුක හටගන්නා ත්‍රිවිධ තණ්හාව ප්‍රහාණය කළ යුතු බව ද, දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළයුතු බව ද, ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල, සමාධි, ප්‍රඥා වශයෙන් වැඩිය යුතු බව ද ශාස්තෘන් වහන්සේ පෙන්වා දුන් සේක. එමනිසා ගිහි, පැවිදි ශ්‍රාවකයන් වූ අපත් ඒ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස තව තවත් උත්සාහවත් වෙමු. - නයනා නිල්මිණී |
පොල්පිටිමූකලානේ
පඤ්ඤාසිරි හිමි
තථාගත බුදු පියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව දේශනා කර වදාළ ප්‍රථම සූත්‍රය වන දසදහසක් සක්වල කම්පා කරවමින් දේශනා කළ ධම්මචක්කපවත්වන සූත්‍රයෙහි පළමුවරට අපට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ගැන ඉගෙන ගන්නට ලැබෙනවා. එහිදී තමයි මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැන අපට ප්‍රථම වතාවට ඉගෙන ගන්නට ලැබෙන්නේ. එහිදී උන්වහන්සේ දේශනා කරනවා පැවිද්දන් විසින් අත්හල යුතු අන්ත දෙකක් පිළිබඳව. (ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවි තබ්බා)
ඉන් පළමුවැනි අන්තය තමයි කාමයන්හි අලී ගැලී වාසය කරන කාමසුඛල්ලිකානු යෝගය. බුදුරජාණන් වහන්සේ එය හැඳින්වූයේ හීන වු (හීනෝ) ග්‍රාම්‍ය වූ (ගම්මෝ) පෘථග්ජනයන්ට අයත්වු (පෝතුජ්ජනිකෝ) උතුම් නෙවු (අනරියෝ) අනර්ථය පිණිස පවතින (අනත්ථ සංහිතෝ) දෙයක් කියලා. දෙවැන්න තමයි අත්ථකිලමතානුයෝගය. එය දුක පිණිස පවතින ( දුක්ඛෝ) උතුම් නොවු (අනරියෝ) අනර්ථය පිණිස පවතින (අනත්ත සංහිතෝ) දෙයක් බවයි. මෙහිදී බුදුරජාණන් වහන්සේ එම අන්ත දෙකෙන් විශේෂණ පද රාශියකින් කාමයන්හි ඇලී ගැලී වාසය කිරීම නුසුදුසු බව පෙන්වා දී තිබෙනවා. එය අවධාරණය කිරීමට හීන, ග්‍රාම්‍ය, පෘථග්ජනයන්ට අයිති, උතුම් නොවන, අනර්ථය පිණිස පවතින යන විශේෂණ පද උන්වහන්සේ භාවිත කර තිබෙනවා.
අත්ථකිලමතානු යෝගයට භාවිත කරන්නේ දුක පිණිස පවතින, උතුම් නොවන, අනර්ථය පිණිස යන විශේෂණ පදයි. එනිසා උන්වහන්සේ දේශනා කරන්නේ මෙම අන්ත දෙකම අතහැර මධ්‍යම ප්‍රතිපදාවට පැමිණ සම්බුද්ධත්වයට පත් වූ බවයි.
ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනු කුමක්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යි.
මෙම ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳ ප්‍රථම ධර්ම දේශනාවේ දී ද සච්ච විභංග සූත්‍රයේ දී ද වෙනත් සූත්‍ර ගණනාවකදී ද විශේෂයෙන් ම මජ්ක්‍ධිම නිකායේ තුන්වන කොටසේ මහා චත්තාරීසික සූත්‍රයෙන් ද විස්තර වෙනවා. මහා චත්තාරීසික සූත්‍රයට අනුව සම්මා දිට්ඨිය දෙයාකාරයි. එහි දී මිථ්‍යා දෘෂ්ඨිය මිථ්‍යා දෘෂ්ඨිය වශයෙන් හඳුනා ගන්නා අතර සමමා දිට්ඨිය සම්මා දිට්ඨිය වශයෙන් හඳුනා ගන්නවා. මිථ්‍යා දෘෂ්ඨිය යනු දන්දීමේ විපාක නැත. පූජා පැවැත්වීමේ විපාක නැත, ඇප උපස්ථාන කිරීමේ විපාක නැත, හොඳ නරක කර්මවල ඵල විපාක නැත, මෙලොවක් නැත, පරලොවක් නැත, මව කියා විශේෂ කෙනෙක් නැත. පියා කියා විශේෂ කෙනෙක් නැත, ඕපපාතික සත්ත්වයෙක් නැත. (ඉබේ පහළ වන සත්ත්වයන් වන අපායේ නිරි සතුන් , පේ‍්‍රතයන්, අසුරයන්, දෙවියන් බ්‍රහ්මයන් වැනි අය නැතැයි සිතීම ) මෙලොවත් , පරලොවත් විශිෂ්ට නුවණින් දැනගෙන කියාදෙන ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් නැත යන දෘෂ්ඨියයි.
සම්මා දිට්ඨිය යනු එහි විරුද්ධ පැත්තයි. එය දෙයාකාරයි. ඒ කියන්නේ ආස්‍රව සහිත වු , පින් කරන්නට අනුබල ලැබෙන, මතුවට සැප විපාක ලබා දෙන සම්මා දිට්ඨිය ඒ වගේම ආර්ය වු ආස්‍රව නැති ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා දිට්ඨියකුත් තියෙනවා .
ඒ කියන්නේ පින්වතුනි උතුම් වූ ආස්‍රව නැති ලෝකෝත්තර මාර්ග අංගයක් වන ආර්ය මාර්ගය ප්‍රගුණ කරන යම් කෙනෙකුගේ යම්කිසි ප්‍රඥාවක් තිබෙනවාද? ප්‍රඥා ඉන්ද්‍රියක් තිබෙනවාද? ප්‍රඥා බලයක් තිබෙනවාද? ධම්ම විචය සම්බෝක්‍ධජංගයක් සම්මා දිට්ඨි මාර්ගාංගයක් තිබෙනවද?
අන්න ඒ නිසා පින්වතුනි, ඒ ශ්‍රාවකයා මිථ්‍යා දෘෂ්ඨිය ප්‍රහාණය කිරීමට, ඒ වගේම, සම්මා දිට්ඨිය උපදවා ගැනීමට උත්සාහ කරනවා. එය තමයි ඒ පුද්ගලයාගේ සම්මා වායාමය. ඔහු සිහියෙන් මිථ්‍යා දෘෂ්ඨිය අත්හරිනවා. සිහියෙන් සම්මා දිට්ඨිය උපදවාගෙන වාසය කරනවා. ඒ තමයි ඔහුගේ සම්මා සතිය, ඔය විදියට ඒ ශ්‍රාවකයා තුළ ධර්ම තුනක් සම්මා දිට්ඨියට අනුව වේගයෙන් සකස් වෙනවා. ඒඅනුව පවතිනවා. ඒ තමයි සම්මා දිට්ඨිය, සම්මා වායාමය, සම්මා සතිය.
ඇත්තෙන්ම සම්මා දිට්ඨිය, සරලව කියනව නම් දුක පිළිබඳ දැනීම, දුකේ හටගැනීම පිළිබඳ දැනීම, දුකේ නැතිවීම පිළිබඳ දැනීම, දුක නැතිවීම පිළිබඳ ප්‍රතිපදාව දැනීම ලෙස හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් මජ්ක්‍ධිම නිකායේ පළමු කොටසේ සම්මා දිට්ඨි සූත්‍රයෙන් සම්මා දිට්ඨිය ගැන දීර්ඝ වශයෙන් විස්තර කෙරෙනවා.
සම්මා සංකප්පයත් මහා චත්තාරීසික සූත්‍රයට අනුව ඉහත ආකාරයට විස්තර කරන්න පුළුවන් වුවත් එහිදී පාඨකයා විසින් ඉතිරි අංග පිළිබඳව ඒ ආකාරයෙන් අවබෝධ කර ගැනීම වටිනවා. මෙම ලිපිය මඟින් අවස්ථානුකූලව අනිකුත් මාර්ග අංග විස්තර කෙරෙනවා. සම්මා සංකප්පය ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් දක්වන්න පුළුවන්. නෙක්ඛම්ම සංකප්පය, අව්‍යපාද සංකප්පය, අවිහිංසා සංකප්පය ආදි වශයෙන්. කාමයන්ගෙන් නික්මීම නෙක්ඛම්ම සංකල්පනාවයි. සියලු සතුන් කෙරෙහි මෙත් සිතින් වාසය කිරීම අව්‍යාපාද සංකල්පනාවයි. සියලු සතුන්ට හිංසා නොකිරීම අවිහිංසා සංකල්පනාවයි.බොහෝ දුරට අපි පුංචිකාලෙ ඉඳල ඉගෙන ගෙන තියෙන්නේ යහපත් සංකල්පනාව කියන කොට අව්‍යාපාද,අවිහිංසා, නෙක්ඛම්ම කියලා.
ඒ කියන්නේ කාමයන්ගේ නික්මීම අගට දාල තියෙන්නේ. එය කෙසේ සිදු වූවාද යන්න ප්‍රශ්නයක්. නමුත් බුද්ධ වචනවයට අනුව යහපත් සංකල්පනාවල පළමු වැන්න වන්නේ කාමයන්ගෙන් නික්මීමයි. කාමයන්ගෙන් වෙන්වීමයි. නැත්නම් කාමයන් අත්හැරීමයි.
යහපත් වචනය කියන්නේ බොරු කීමෙන්, කේලාම් කීමෙන් , පරුෂ වචන කීමෙන්, හිස් වචන කීමෙන් වෙන්වීම. යහපත් කර්මාන්ත කියන එකත් බොහෝ අය වරදවා වටහාගෙන තිබෙනවා. ඔවුන් හිතන්නේ වැරැදි වෙළෙඳාම් නොකිරීම ලෙසයි. නමුත් සම්මා කම්මන්ත කියන්නේ සතුන් මැරීමෙන් වෙන්වීම, සොරකමින් වෙන්වීම, වැරැදි කාම සේවනයෙන් වෙනවීම.
සම්මා ආජීවය කියන්නේ මිථ්‍යා ජීවය බැහැර කරලා යහපත් දිවි පැවැත්මෙන් කටයුතු කිරීමයි. මහා චත්තාරීසික සූත්‍රයේ මිථ්‍යා ආජීවය ඉතාම පැහැදිලිව විස්තර කරනවා. ඒ කියන්නේ වංචාවෙන් ජීවත්වීම ලාභ සත්කාර ලබා ගැනීමේ කැමැත්තෙන් වර්ණනා කර කතා කිරීම ලාභ ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් විශේෂ ලකුණූ ඉස්මතු කර කතා කිරීම සත්‍ය වහල කටයුතු කිරීම ලාභයෙන් ලාභය උපයනවා. බොහෝ දෙනෙක් වැරැදි වෙළදාමේ ආදියත් මිථ්‍යා ආජීවය ලෙස විග්‍රහ කර ගන්නවා.
සම්මා වායාම කියන්නේ නුපන් අකුසල් නොඉපදීමට කැමැත්ත ඇතිකර ගැනීම, වෑයම් කිරීම, වීරිය ආරම්භ කිරීම, හිත දැඩි කර ගැනීම, ඒ අනුව කටයුතු කිරීම,උපන් අකුසල් ප්‍රහාණය කිරීමට කැමැත්ත ඇතිකර ගැනීම, වෑයම් කිරීම, වීරිය ආරම්භ කිරීම, හිත දැඩිකර ගැනීම, ඒ අනුව කටයුතු කිරීම ඒ වගේම නූපන් කුසල් ඉපදවීමට කැමැත්ත ඇතිකර ගැනීම, වෑයම් කිරීම, වීරිය ආරම්භ කිරීම, සිත දැඩිකර ගැනීම, ඒ අනුව කටයුතු කිරීම.
උපන් කුසල් පවත්වාගෙන යාම සඳහා ඒ කුසල ධර්මයන් විනාශ නොවීම පිණිස වඩ වඩා වර්ධනය වීම පිණිස වැඩීම පිණිස , පරිපූර්ණත්වය පිණිස කැමැත්ත ඇතිකර ගැනීම , වෑයම් කිරීම, වීර්ය ආරම්භ කිරීම හිත දැඩි කර ගැනීම ඒ අනුව කටයුතු කිරීමයි. සම්මා සතිය කියන්නේ සතර සතිපට්ඨානයයි. කය අනුව බලමින් වාසය කිරීම (කායානුපස්සනාව) විඳීම අනුව බලමින් වාසය කිරීම (වේදනානුපස්සනාව) සිත අනුව බලමින් වාසය කිරීම (චිත්තානුපස්සනාව) සිතේ ස්වභාවය අනුව බලමින් වාසය කිරීම (ධම්මානුපස්සනාව) යන සතර සතිපට්ඨානය මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ සතිපට්ඨාන සූත්‍රයේ හා දීඝ නිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයෙන් මෙය ඉතා මැනවින් විස්තර කෙරෙනවා.
සම්මා සමාධි කියන්නේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවැනි ධ්‍යාන හතරයි. ඒ නිසා මේ උතුම් ආර්ය මාර්ගය ඉගෙනගෙන ඒ පිළිබඳව විශ්වාසය ඇතිකරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිමු.
බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...