Wednesday, January 5, 2022

සිහි නුවණින් යා යුතු ඍජු මාවතක්

 

සිහි නුවණින් යා යුතු ඍජු මාවතක්

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බරණැස් නුවර ඉසිපතනාරාමයේ දී ප්‍රථමයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළ සේක. ඒ ධර්ම දේශනාව අවසන් වෙද්දී දහඅට කෝටියක් පිරිස් රහත් භාවයෙන් නිවන් සම්පත් ලැබූහ. 

අසංඛ්‍යෙයක් පිරිස සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් මාර්ගත්‍රයෙන් නිවන් සම්පත් දුටහ. ප්‍රථම මංගල ධර්ම දේශනාවෙන් අසංඛ්‍යෙයක් නිවන් සම්පත් ලැබීම, දහඅට කෝටියක් රහත් වීම විශේෂාංගයක්. සියලු බුදුවරයන් වහන්සේලා අත නොහැර කරන දේශනය දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව යි. එහි දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය පැහැදිලි කර තිබෙනවා. සූත්‍ර ගණනාවකින් චතුරාර්ය සත්‍ය දේශනා කර තිබෙනවා. 

මාර්ග සත්‍ය බුදු, පසේ බුදු, මහ රහත් උතුමෝ ගමන් ගත් මාර්ගයක්. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. එය අංග අටකින් සමන්වාගත වෙනවා. ශීල, සමාධි, ප්‍රඥා යනු ආර්ය මාර්ගය ම යි. නිවන් මග, විශුද්ධි මාර්ගය, ත්‍රිවිධ ශික්ෂා මාර්ගය, මැදුම් පිළිවෙත් මාර්ගය, ආර්ය මාර්ගය ආදී නොයෙක් නාමයන්ගෙන් උගන්වනවා. සියලුම පින්කම් කරනවිට ආර්ය මාර්ගය සිතෙහි පහළ විය යුතු යි. සිහි නුවණින් කරන පින්කම ප්‍රධානත්වයක් උසුලන්නේ ඒ නිස යි. සිහි නුවණින් කරන පින්කම්වල සම්මා දිට්ඨි ආදී මාර්ගාංග පහළ වෙනවා. මෙය නිතර පහළ නොවුණත්, හොඳින් නුවණ යොදා කරන පින්කම්වල දී පහළ වෙයි. ඒ නිසා කවුරුත් දාන, සීල, පින්කම් කරන විට , මල්, පහන් , ගිලන් පස , දාන මාන පූජා කරන විට සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග පහළ කරගත යුතු යි. එනම්, ප්‍රඥාව යි. සම්මා සංකප්ප යනු හොඳ අදහස්. සම්මා වාචා යනු හොඳ වචන යි. සම්මා කම්මන්ත යනු හොඳ වැඩ කටයුතු යි. සම්මා ආජීව යනු හොඳ ජීවිකාව යි. සම්මා වායාම යනු හොඳ උත්සාහය යි. සම්මා සති හොඳ සිහිය යි. සම්මා සමාධි යනු සිතෙහි තැන්පත්කම යි. මේ කරුණු ටිකට නිවැරැදි , යහපත්, ශ්‍රේෂ්ඨ, උතුම් ආදී වචන රාශියක් සම්මා වදනට යෙදෙනවා. 

එසේනම්, සම්මා දිට්ඨි යනු නිවැරැදි ප්‍රඥාව යි. කර්ම ඵල විශ්වාස කිරීම, ධ්‍යාන , මාර්ග, මාර්ග ඵල ලබා ගැනීම, නිර්වාණය අවබෝධ කර ගැනීම, චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම, පින් පව් පිළිගැනීම ආදිය සම්මා දිට්ඨිය නම් වෙයි. ‘කම්මස්සකත සම්මා දිට්ඨි, ධ්‍යාන සම්මා දිට්ඨි, මාර්ග සම්මා දිට්ඨි, ඵල සම්මා දිට්ඨි, චතුසච්ච සම්මා දිට්ඨි ආදිය හොඳින් ඉගෙන කවුරුත් හොඳින් දියුණු කරගත යුතු යි. සම්මා සංකප්ප යනු යහපත් වචන යි. යහපත් අදහස් ආදිය යි. අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්ම වෙයි. අව්‍යාපාද යනු මෛත්‍රී අදහස් ය. අවිහිංසා යනු හිංසා , පීඩා නො කිරීම යි. නෙක්ඛම්ම යනු නික්මීම යි. ඒ අදහස් වලින් පිරිපුන් නම්, සම්මා සංකප්ප මාර්ගාංගය හොඳින් වැඩෙන අතර, එය දියුණු කරගැනීමට පුළුවන් වෙයි. සම්මා වාචා යනු බොරුවෙන්, කේළමෙන් , හිස් වචනයෙන්, නපුරු වචනයෙන් වැළකීම යි. වචනය හොඳනම්, පිවිතුරු නම්, සම්මා වාචා නම් වෙයි. මුව පරිස්සම් කරගත යුතු යි. එයට නුවණ යෙදවූ විට වචනය හොඳ යි, පිවිතුරු යි, තමන්ගේ ගුණ ධර්මයන් හොඳින් දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. සම්මා කම්මන්ත යනු නිවැරැදි කර්මාන්ත යි. එනම්, සතුන් මැරීමෙන් , සොරකමෙන්, කාමමිථ්‍යාචාරයෙන් වැළකීම වෙයි. හොඳ වැඩ වෙයි. බුදු දහමේ කෘෂිකර්මාන්තය , ගව පාලනය, වෙළෙඳාම ආදියත් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළා. එලෙස තම වැඩ කටයුතු කරගත යුතු යි. මස් මාංශ වෙළෙඳාම, ආයුධ, මත්ද්‍රව්‍ය, වහල් වෙළෙඳාම ආදිය හොඳ දේ නො වෙයි. මේවා අත්හැර දමා නිවැරැදිව වැඩ කටයුතු කරනවා නම්, දැහැමිව වැඩ කටයුතුවල යෙදෙනවා නම්, එය සම්මා කම්මන්ත නම් වෙයි. සම්මා ආජීව යනු නිවැරැදි ජීවිකාව යි. වැරැදි ලෙස ජීවත් නොවී , ධාර්මිකව යමක් උපයාගෙන , දැහැමිව ජීවත් විය යුතු යි. බුද්ධාදී උතුමෝ ජීවත් වුණේ ධාර්මිකව යි. ඒ උතුමෝ දැහැමි පිළිවෙත් මගක් අනුගමනය කළා. එලෙස කවුරුත් ජීවමෝපාය ගෙන යා යුතු යි. 

ඊළඟ කාරණය සම්මා වායාම යි. එය අවශ්‍යම දෙයක්. උතුම් වචන, උතුම් උත්සාහය, ආදිය යි. උතුම් උත්සාහය කාටත් අවශ්‍ය වෙයි. රැකියාවට, අධ්‍යාපනයට, ගමනට බිමනට, ආහාර පිළියෙළ කරගන්න, දාන- සීල- භාවනා පින්කම්වලට සැමටම අවශ්‍ය වන්නේ උත්සාහය යි. උත්සාහවන්තයා මනු ලොව, දෙව් ලොව, බඹ ලොවට නිවන් මගට යයි. කම්මැළි පුද්ගලයා පරාජයට පත්වන අතර, පිරිහීමට, සතර අපා දුකට වැටෙයි. 

එසේනම්, බුදු දහමට අනුව තමන්ගේ නූපන් කුසල් වැඩි දියුණු කළ යුතු අතර, උපන් කුසල් වැඩි දියුණු කළ යුතු යි. නූපන් අකුසල් නොඉපදීමටත්, උපන් අකුසල් ප්‍රහාණය කළ යුතු යැ’යි ව්‍යායාම සතරක් වෙයි. මේවා අප හොඳින් දැන කියාගෙන නිවැරැදි උත්සාහයෙන් වැඩ කටයුතු කරනවා නම්, නිවන් සුව ලබා ගැනීමට අපහසු නැහැ. දැන් නිවැරැදි සිහිය ගෙන බලමු. කායානුපස්සනා සතිපට්ඨානය, වේදනානුපස්සනා සතිපට්ඨානය , චිත්තානුපස්සනා සතිපට්ඨානය, ධම්මානුපස්සනා සතිපට්ඨානය ආදිය සම්මා සති නම් වෙයි. සෑම දෙයක් ම කළ යුත්තේ සිහි කල්පනාවෙනි. එය සම්මා සති නම් වෙයි. ඒ නිසා කවුරුත් සම්මා සතිය හොඳින් දියුණු තියුණු කරගනිමින්, එවිට කුමක්වත් අඩුපාඩුවක් නැතිව තමන්ට පැහැදිලිව නිවන් මග ඉදිරියටම යන්නට පුළුවන්. එසේම සම්මා සමාධි යනු උතුම් චිත්ත සමාධියක්. ප්‍රථම ධ්‍යානය, ද්වීතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය, ආදී ධ්‍යාන සතරකට බෙදන අතර තවද පංචම ධ්‍යානය යනුවෙන් ද වෙයි. මෛත්‍රී භාවනා කරනවානම්, ධ්‍යාන තුනක් ද, ආනාපාන සති භාවනාවෙන් ධ්‍යාන සතරක් ද , සමථ භාවනාවලට ධ්‍යාන වෙන්කර තිබෙන අතර සමථ භාවනාවෙන් පමණක් ධ්‍යාන අවස්ථාවන්ට පත් වෙයි. විදර්ශනා භාවනාවට ධ්‍යාන නොලැබෙන අතර, එය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වටහාගෙන වෙනම මගක ගමන් කරයි. 

සියලු පින්කම්වලදී මාර්ගාංග අටත් සමඟ නුවණ පහළ වුණොත්, නිවන් සුව පතා පින්කම කළොත්, අනිවාර්යෙන් ම මාර්ගාංග අට සිතෙහි පහළ වෙනවා. මේ ධර්මතා එකතු කළ විට සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප දෙක ප්‍රඥා ශික්ෂාව වන අතර , සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව තුන එකතු වූ විට ශීල ශික්ෂාව ද සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ආදී තුන ම සමාධි ශික්ෂාව නම් වෙයි. ත්‍රිවිධ ශික්ෂාව යනු ද ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි. මෙලෙස කටයුතු කළොත් කාටත් නිවන් සුව ලැබීම අපහසු කරුණක් නො වෙයි. 

ඇසළ පුන් පොහෝ දවසේ ලොවට අමා බෙරය විවර කළා. ලොවටම අමා සුවය බෙදා දුන්නා, එදා සිටම මෙතරම් දිගු කලක් පුරාවටම දහම ලොවට ම ව්‍යාපත්ව ගියේ. දෙව් ලොව, බඹ ලොව ව්‍යාප්තව ගියා. අති විශාල පිරිසක් මාර්ග ඵල නිවනට පත් වුණා. සූවිසි අසංඛ්‍යෙයක් පමණ නිවනට පත් වුණේ මැදුම් පිළිවෙත, එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවැරැදිව අනුගමනය කළ නිස යි. මේවා හොඳින් තේරුම් බේරුම් කරගෙන කවුරුත් බුද්ධාදී උතුමෝ ගමන් ගත් මාර්ගය බව සිතමින් දියුණුවෙන් ගුණ ධර්ම තමන්ටත් ධර්මය අවබෝධ කරගැනීමට අපහසු කරුණක් නො වෙයි.

ඇසළ පුන් පොහෝ දින ඇරැඹුණු මාර්ග ප්‍රතිපදාව අද දක්වා ම විනාශ නොවී දිගින් දිගටම සිව් වණක් පිරිසම රැකගෙන පැමිණි නිසා බොහෝ පිරිසකට ආර්ය තත්ත්වයට පත් වන්න පුළුවන්කම ලැබුණා. එසේනම් කවුරුත් ආර්ය තත්ත්වයට පත්වීමේ බලාපොරොත්තුවෙන් මේ සඳහන් කරනු ලබන සීලය, සමාධිය, ප්‍රඥාව ගුණ ධර්මයන් දියුණු කරන්නේ. බුදු කෙනෙක් ලොව පහළ වන දුර්ලභ අවස්ථාව ඔබ, අප සෑම දෙනාටම ලැබුණා. මේවා ගැන සිතා, හොඳ වාසනාවන්ත ජීවිතයක් ම ගත කරමින් නිවන් සුව පතාගෙන ම යන්න. එවිට කාටත් ලැබෙන බලය, ශක්තිය, ගොඩනගාගන්න පුළුවන්. මෙවන් ප්‍රතිපදාවන් ගැන සිතා. මෙය එක්, එක්කෙනා පසුපසම යා යුතු මගක්. දෙතුන් දෙනාට කතා කරමින් යන්න පුළුවන් ගමන් මගකුත් නො වෙයි. සිහි නුවණින් මේ ගමන යා යුතු ම යි. ඒ නිසා ඍජු මාවතක් වූ මෙහි ගමන් ගන්නා ඕනෑම කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. කපටි, කෛරාටික පැවැතුම් නැහැ. අවංකකම, නිහතමානීකම, අවිහිංසාව ආදී හොඳ ගුණාංගයන්හි පිහිටාගෙන මේ ගමන යන බැවින් බොහොම හොඳින් නිවන දෙසට එනම්, චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වාම යා හැකි යි.

No comments:

Post a Comment

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...