Showing posts with label රහතන් වහන්සේලා. Show all posts
Showing posts with label රහතන් වහන්සේලා. Show all posts

Sunday, December 22, 2024

සැදැහැයෙන් පැවිදි වූ රට්ඨපාල මහරහතන් වහන්සේ

අසු මහා ශ්රාවක වහන්සේලා - 21
(විසි එක්වන ලිපිය )



අසූ මහා ශ්රාවක චරිත අතරින් සුවිශේෂි මහ රහතන් වහන්සේ නමක් ලෙස රට්ඨපාල මහරහතන් වහන්සේ පිළිබඳ තොරතුරු ශාසන ඉතිහාසයේ දැක්වෙනවා.

පදුමුත්තර බුදුරදුන්ගේ අවදියේ දි දානාදී අනෙක් පින්කම් කර සැදැහැ සිතින් යුක්තව පැවිදි වූ භික්ෂූන් අතර අග්රස්ථානය ලබන බවට විවරණ ලබා ගත්තා. අප ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වූ කල්හි දඹදිව කුරු රට ථුල්ලකොට්ඨික නම් වූ සශ්රීක ගමෙහි රට්ඨපාල නමින් උපත ලැබුවා. දිනක් සුදුවතින් සැරසී එක දිශාවකට එක පෙළට මහපිරිස් යනු දැක රට්ඨපාල තරුණයා ද ඒ සමඟ ගොස් ධර්මය ශ්රවණය කර මහත් සේ චිත්තප්රසාදයට පත් වුණා. පැවිදි වීමට තද ආශාවක් ඇති වුවත් මව්පියන්ගෙන් අවසර ගෙන එන ලෙස බුදුරජාණන් වහන්සේ රට්ඨපාල තරුණයාට ප්රකාශ කළා. එයට හේතුව නම් සුද්ධෝධන මහරජුගේ ඉල්ලීමට අනුව කිසිදු කුල කුමරෙකු දෙමාපියන්ගේ අවසර නොමැතිව පැවිදි නොකරනු ලබන බවට වූ ප්රඥප්තිය යි. මව්පියන් වෙත ගොස් වාර කිහිපයක් ම අවසර ඉල්ලූ නමුත් තම පුතණුවන් නැතිව එක් රැයක් වත් ගත කළ නොහැකි නිසා ගිහි ගෙයි සිට අවශ්ය පින්කම් කරන ලෙස මව්පියන් තදින් කියා සිටියා. යහළුවන් ද පැමිණ රට්ඨපාල තරුණයාගේ පැවිදි වීමට ඇති ආශාව වැළැක්වීමට උත්සාහ කළත් එකී අදහස වෙනස් කරගැනීමට අපහසු වුණා. අවසර නොදෙන්නේ නම් නොකා නොබී වැතිර මියයාමට රට්ඨපාල කුමරු සූදානම් වුණා.

තම පුතා ගැන තිබෙන ළයාන්විත ආදරයත්, දාරක සෙනෙහසත් හේතුවෙන් මව්පියන් අන්තිමේ දී පැවිද්ද සඳහා අවසර ලබා දුන්නා. බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ලැබූ රට්ඨපාල හිමියන් භාවනා කර සව්කෙලෙසුන් නසා උතුම් මහරහත් තත්ත්වයට පත්වුණා. දොළොස් වසරකට පසු තම දෙමාපියන්ගේ ඉල්ලීම ඉටු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලබා ථුල්ලකොට්ඨික ගමට වැඩම කළා. ස්වකීය නිවසට වැඩම කළ රට්ඨපාල මහරහතන් වහන්සේ පිණ්ඩපාතය බලාපොරොත්තුවෙන් නිවස ඉදිරිපිට වැඩ සිටියා. උදෑසන හිස පීරමින් සිටි පියා වෙනත් භික්ෂූන් වහන්සේ නමක් වැඩමවා ඇතැයි සිතා තම පුතා පැවිදි කිරීමට රැගෙන ගියේ යැයි පවසමින් ආක්රෝශ පරිභව කරන්නට පටන් ගත්තා.

ඒ අතර නිවසේ විසූ දාසිය ඉවත දැමීම සඳහා ආහාර ගෙන යනු දැක පාත්රයට බෙදවාගෙන මද දුරක් ගොස් වැඩහිඳ වළඳන්නට පටන් ගත්තා. පසුව එම දාසිය තම නිවසට පැමිණ ඇත්තේ රට්ඨපාල කුමරු බව දේහ ලක්ෂණවලින් හඳුනාගෙන තම ස්වාමි දියණියට ප්රකාශ කළා. ඇය වහා ගොස් තම ස්වාමිපුරුෂයාට ඒ බව කීවා. කලබලයට පත් වූ පියා පැමිණෙන විට රට්ඨපාල මහරහතන් වහන්සේ දන් වළදා සිටි බැවින් පසු දින දානය සඳහා තම නිවසට වැඩම කරන ලෙස උන්වහන්සේට ආරාධනා කළා.

පසු දින රට්ඨපාල මහරහතන් වහන්සේ තම නිවසට වැඩි කල්හි වටිනා රන් මුතු මැණික් ආදි වස්තුව ගොඩගසා පෙන්වා නතර කිරීමට මව්පියන් උත්සාහ කළත් දැඩිආශාව සහ දුක්ඛදෝමනස්සයන් නැති කිරීමට ඔය සියලු වස්තුව ගඟට දාන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියා. එයින් පසු පෙර සිටි භාර්යාවරුන් ද රට්ඨපාල මහරහතන් වහන්සේ නැවතත් ගිහි ගෙට පොළඹවා ගැනීම සඳහා සව්බරණින් සැරසී උත්සාහ කළත් ඉන්ද්රඛීලයක් බඳු වූ රට්ඨපාල මහරහතන් වහන්සේගේ සිත අවනත කරගැනීමට නොහැකි වුණා. අවසානයේ දන් වළඳා දම් දෙසා ඍද්ධී බලයෙන් අහසට පැනනැගී කෝරව්ය නම් රජතුමාගේ මනරම් උද්යානයට වැඩම කළා. තම මිත්ර රට්ඨපාල හිමියන් වැඩමවා ඇති බව දැනගත් කෝරව්ය රජතුමා වහා පැමිණ දුක් සැප විමසා අනතුරුව ගිහිගෙයින් නික්ම පැවිදි වීමට හේතු විමසුවා.

යමෙක් ගිහි ගෙයින් නික්ම පැවිදි වීමට නම් මා දන්නා හේතු 04ක් ඇති බව කෝරව්ය රජතුමා රට්ඨපාල මහරහතන් වහන්සෛ්ට ප්රකාශ කළා. වයසට ගිය පසු ,පිරිස නැති වූ පසු, සුව කරගැනීමට අපහසු ලෙඩ රෝග වැළදුණු පසු, දරිද්රතාවය නිසා යනුවෙනි. රට්ඨපාල මහරහතන් වහන්සේ කෝරව්ය රජතුමාට තමා ගිහිගෙයින් නික්ම පැවිදි වීමට බය 04ක් ඇති වූ බව පෙන්වා දුන්නා.

ඒ සතර නම් උපන් සෑම දෙනාම ජරාව මගින් මරණය කරා ගෙන යන බව, තමාගේ ශරීරයට විපතක් හෝ වේදනාවක් වූ කල්හි එයින් මිදීමට අන් කෙනෙකුට පිහිටක් නොවිය හැකි බව, මගේ යැයි අයත් කරගත් සියල්ල දමා යාමට සිදුවන බව, කොපමණ රැස් කළත් සෑහීමකට පත් නොකළ හැකි බව යන කරුණූ සතර ය. ඉහත දැක් වූ කරුණු තවදුරටත් රට්ඨපාල හිමියන් ධර්මානුකූලව රජතුමාට පැහැදිලි කර පෙන්නුවා. කෝරව්ය රජතුමා රට්ඨපාල හිමියන් මුණගැසෙන විට අසූවන වියේ පසුවූයේ අතපය දුබල බවත් අපහසුවෙන් ජීවත් වන බවත් සුහද සාකච්ඡාවේ මුල දී ප්රකාශ කළා. පසුව ගාථා 13කින් රජතුමාට ධර්මය දේශනා කළා.

එය ඇතුළත් රට්ඨපාල සූත්රය සෑම කෙනෙකුගේ ම ජීවිතයට බෙහෙවින් ප්රයෝජනවත් අගනා ධර්ම කරුණු රාශියක් සඳහන් වී තිබෙනවා. මහාවස්තුවක් හිමිවන්නට තිබූ රට්ඨපාල කුමාරයා පමණයි දරුවෙකු වශයෙන් දෙමාපියන්ට සිටියේ. එසේ තිබියදිී ත් තණුරුවන් කෙරෙහි මහත් ශ්රද්ධාවක් ඇති රට්ඨපාල තරුණයා පැවිදි බිමට පත්වීමත් රහත්භාවයට පත්වීමත් ඉතා අගනා සිදුවීමක්. මේ නිසා බුදුරදුන් භික්ෂු පිරිස් මධ්යයේ රට්ඨපාල හිමියන් සැදැහැයෙන් පැවිදි වූ භික්ෂූන් වහන්සේ ලා අතර අග්රස්ථානයට පත් කළා.

Sunday, December 8, 2024

ශික්ෂාකාමීන් අතරින් අග තැන්පත් වූ රාහුල මහ රහතන් වහන්සේ






ශික්ෂාකාමීන් අතරින් අග්ර වූ රාහුල තෙරුන් වහන්සේ අතීත සසර මඟ කරන ලද කුසලයන් බොහෝ ය. කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුන් වහන්සේගේ කාලයේ හංසවතී නුවර ගොවි මහසල් කුලයක උපත ලැබූ මොහු කළ කුසලය පින්බර ය.

ඒ තම මුතුන් මිත්තන්ගෙන් ලැබී ඇති මහා ධනය වාසල් දොරටුව සිටදී ම දුගී මගී යාචකාදීන්ට පිදුම් දී පරලොව යහපත උදාකර ගැනීම පිණිස ය.

මොහු දිනක් මුව දෝවනයට පිටතට යද්දී එක්තරා ඍද්ධිමත් තාපස දෙදෙනකු අහසින් පැමිණ සිටිනු දැක එයින් එක් තාපසයෙකුට ආරාධනා කර, දන් දුන්නේ නිබඳව ය. අනෙක් තාපසතුමාට දන් දුන්නේ මොහුගේ යහළුවෙකි.

පළමු තාපසතුමා දන් වළඳා අවසානයේ දහම් දෙසන්නේ පඨවින්ධර නාග භවනෙහි සිත ඇදී යන ලෙස ය. මේ නිසා දන්දෙන පුරුෂයා සිත අලවා උපත ලැබුවේ පඨවින්ධර නාග භවනෙහි නා රජු ලෙස ය. මෙහිදී තමා උපන් ආත්මභාවය ගැන කළකිරුණු හෙතෙම මානවක වේශයෙන් කල්ගත කරන අවස්ථාවක දී පදුමුත්තර බුදුරදුන් සමඟ උපරේවත තෙරුන් වහන්සේ නාග ලෝකයට වැඩම කළ අයුරු අපූර්ව ය.

මෙහි විශේෂත්වය වන්නේ උපරේවත තෙරුන් වහන්සේ පදුමුත්තර බුදුන් වහන්සේ ගේ ගිහි කළ පුතණුවන් වීම ය. පඨවින්ධර මානවකයා බොහෝ සෙයින් පැහැදී ගියේ බුදුන් වහන්සේ හා සමාන වූ තෙරුන් වහන්සේ කෙරෙහි ය. උන්වහන්සේ අඟ පසඟින් හා බොහෝ ලක්ෂණයන්ගෙන් පදුමුත්තර බුදුන් වහන්සේ හා සමාන ය. මේ නිසා පඨවින්ධර මානවකයාට සිතුණේ, ‘මේ භික්ෂූන් වහන්සේ ඒකාන්තයෙන් ම මහත් වූ ගති ලක්ෂණ ඇති ශ්රේෂ්ට උත්තමයෙක් බව යි.

‘රූපයෙන් හා යසසින් බුදුන් වහන්සේ හා සමාන ය. මම ද අනාගතයෙහි මෙබඳු ගති ලක්ෂණ වලින් පිරිපුන් බුදු කෙනෙකුගේ පුතකු වන්නෙමි’ යි සිතීය. හෙතෙම සත් දිනක් මුළුල්ලේ ම බුද්ධ ප්රමුඛ ලක්ෂයක් මහා සංඝයා වහන්සේට මහා දන් පවත්වා අවසානයේ දී තම පැතුම දන්වා සිටියේ පදුමුත්තර බුදුන් වහන්සේට ය.

මොහුගේ අභිප්රාය බුදු නුවණින් දත් බුදුන් වහන්සේ විවරණ ලබා දුන්නේ අනාගතයේ ගෞතම බුදුන් වහන්සේගේ ගිහි කළ පුතණුවන් වන බවට ය. එදා සිටම බොහෝ පින්දහම් කර දෙව් , මිනිස් සැප සම්පත් විඳීමින් සසර මඟ සැරි සැරූ මොහු නැවත භවයක් ලැබුවේ ඵුස්ස සර්වඥයන් වහන්සේගේ කාලයේ ය.

ඵුස්ස බුදුරදුන්ගේ පිය රජතුමා මහින්දය. රජතුමා විසින් ම බුදුරදුන්ට ඇප උපස්ථාන කළේ වෙනත් කිසිම කෙනෙකුට අවස්ථාවක් නොදෙමින් ය. මහින්ද රජුට වෙනත් බිසවකගේ පුතුන් තිදෙනෙක් සිටිය ද ඔවුන් ද කල් යල් බලා සිටියේ සර්වඥයන් වහන්සේට ඇප උපස්ථාන කිරීමට අවස්ථාවක් උදාවන තුරු ය. එකල එක්තරා දනව්වක කැරැල්ලක් හටගත් විට, එය හොඳීන් මර්දනය කළ පුතුන් තිදෙනා කෙරෙහි රජතුමා පැහැදී තම දරුවන්ට පැවසුවේ කැමැති වරයක් ඉල්ලන ලෙස ය.

එහිදී ඔවුන්, බුදුන් වහන්සේට ඇප උපස්ථාන කිරීමට තෙමසක කාලයක් ඉල්ලා සිටියේ බලවත් ඕනෑකමෙනි. එයට අකැමැත්තෙන් වුව ද රජතුමාගේ අවසරය ලද කුමාරවරුන්ට ඇති වූ සතුට බලවත් ය.

ඒ නිසා මහත් උනන්දුවකින් ඇප උපස්ථාන කිරීමට ඇප කැප වූ මේ තිදෙනා පුරුෂයන් තිදෙනෙක් පත් කර, එක් අයෙක් ධන ධාන්ය රැස් කිරීමට ද, තවත් අයෙක් ගණන් ප්රමාණ සොයා බැලීමට ද, තවත් අයෙක් දාන සංවිධානය කිරීමට ද යෙදවූයේ කිසිදු අඩුපාඩුවක් නොවන ලෙස ය.

මේ තිදෙනා අතර ධන ධාන්ය රැස් කළ පුරුෂයා ගෞතම බුදු සසුනේ දී බිම්බිසාර රජු ය. ගණන් බැලූ පුරුෂයා විශාඛ උපාසක ය. දාන සංවිධානය කළේ රට්ඨපාල තෙරුන් වහන්සේ ය. මෙසේ පින්කම් කළ රාජ කුමාරවරු තිදෙනා අතරින් රාහුල තෙරණුවන් වහන්සේ තවත් පෙර භවයක උපත ලැබුවේ කසුබ් බුදුන් වහන්සේගේ කාලයේ ‘කිකී’ රජුගේ දෙටු පුතු‘පඨවින්ධ කුමරු’ ලෙස ය. මොහු දිනක් බුදුන් වහන්සේට හා භික්ෂූන් වහන්සේලාට වාසය පිණිස විහාර පන්සියයකින් යුතුව කළ පූජාවේ පින්කම ඉමහත් ය. සසරේ අවසන් ආත්ම භාවයේ දී මොහු උපත ලැබුවේ යසෝදරා දේවීන් තම මෑණියන් ලෙසත්,ගෞතම බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්රමණය කළ දිනට පෙර දිනයේදී ය.මෙලෙස උපත ලද පින්බර කුමරු ‘රාහුල’ ය.

සසර දුකෙහි නිවීම සෙවීමේ නික්ම යාමට බාධකයක් ලෙස එදිනම උපන් කුමරුට , ‘රාහුලොජාතො බන්ධනං ජාතං...’ යනුවෙන් රාහුලයෙක් උපන්නේ ය. බැඳීමක්, බැම්මක් හට ගත්තේ ය යනුවෙන් සිදුහත් කුමරු පැවසූ නිසා, මොහුට ‘රාහුල’ නාමය තැබුවේ සුද්ධෝදන රජතුමා ය. බෝසතුන් වහන්සේ අභිනිෂ්ක්රමණය කිරීමෙන් විරහ වේදනාවෙන් සිටි යශෝධරාවන්ට එකම සැනසීම වූයේ කුඩා රහල්කුමරු ය. බුදුරදුන් කිඹුල්වත් නුවරට වැඩි තෙවන දිනයේ මහ මඟ වැඩම කළ බුදුරදුන් මාලිගයේ සිට පෙන්වූ යශෝධරාවෝ රාහුල පුතුන් පිටත් කර යැව්වේ පියාණන්ගෙන් දායාද ඉල්ලා ගන්නා ලෙස ය.

වහා දිවගිය සුරතල් කුමරු බුදුරදුන්ගේ සුළඟිල්ලෙහි එල්ලී දායාද ඉල්ලමින් සුරතල් බස් තෙපලමින් විහාරයට පිවිසියේ සත් වසරක් නොලද පිය සෙවණෙහි විසීමට ය. එහිදී බුදුන් වහන්සේ ‘මොහු මගෙන් දායාද ඉල්ලමින් සිටින’ නිසා පැවිදි කරන ලෙස බාර දුන්නේ සැරියුත් තෙරුන් වහන්සේට ය.

එදා ගෞතම බෝසතාණන් වහන්සේගේ අභිනිෂ්ක්රමණය දරාගත නොහැකි වූ රජතුමාට එකම සැනසීම වූයේ කුඩා රාහුල පුතණුවන් ය. සත් හැවිරිදි කුඩා සුරතල් රාහුල කුමරු ද බුදුරදුන් කිඹුල්වත් පුරට වැඩම කළ තෙවන දිනයේ දී ම විහාරයට ගෙන පැවිදි කිරීමෙන් සුදොවුන් රජුට ඇති වූයේ මහත් කම්පාවකි.

මේ නිසා ශෝකයෙන් හඬමින් පැමිණි සුදොවුන් රජතුමා බුදුරදුන් අමතා පැවසුවේ,පුත්ර ස්නේහය මව්පියන්ගේ සිරුරෙහි ඇට මිදුලු සිසාරා පැතිර පවතින බව යි. ඒ නිසා මව්පියන්ගෙන් අවසර නොගෙන දරුවන් පැවිදි නොකරන්නැ’යි පැවසුවේ හැඬූ කදුළෙනි. බුදුන් වහන්සේ රජතුමා සනසා, භික්ෂූන් වහන්සේ අමතා ‘මව්පියන් අනුනොදත් දරුවන් පැවිදි නොකරන’ ලෙස විනය නීතියක් ද පැනවී ය.

මෙලෙස රාහුල කුමරුට පැවිදි බව ලබා දී ඔවදන් ලෙස දේශනා කළ සූත්රය ‘රාහුලෝවාද සුත්රය යි.’ රාහුල සාමණේරයන් වහන්සේගේ දින චර්යාවේ ප්රථම කාර්යයන් වූයේ හිරු නැඟෙන්නට පෙර විහාර මලු පෙත් ඇමදීම, බුදු පියාණන්ට සහ තම ගුරුවරයා වූ සැරියුත් තෙරුන් වහන්සේට මුව දෝවනයට පැන් තැබීම ය. මලුවට පැමිණෙන රාහුල තෙරණුවන් වහන්සේ වැලි දෝතක් ගෙන ‘මේ වැලි කැට පමණට අවවාද ලැබේවා ‘යි ප්රානර්ථනා කරන්නේ ආදර්ශවත් ලෙස ය. දිනක් විහාරයේ හාමුදුරු නමක් මලුව ඇමදූ ඉදල එහි ම දමා ‘රාහුල හාමුදුරුවන් මලුව ඇමදූ ඉදල නිසි තැන තබා නැතැ’යි බොරුවට දොස් නැඟුව ද රාහුල තෙරණුවන් වහන්සේ එය නිසි තැනම තැබුවේ කෝප නොගෙන ය. තවත් දිනක හාමුදුරුනමක් ඇමදූ මලුවට කුණු රොඩු ගෙනත් දමා මලුව හරිහැටි ඇමද නැතැයි චෝදනා කළ ද රාහුල තෙරණුවන් කිසිවිටකත් කෝප වූයේ නැත. මෙලෙස අතිශයින් ම නිහතාමානී ගුණාංගයන්ගෙන් යුතු උන්වහන්සේ, පියාණන් වහන්සේටම සුදුසු පුතණුවන් බව දිනක් භික්ෂූන් වහන්සේ අතර ඇති වූ කතා බහකි. රාහුල තෙරුන් වහන්සේගේ ගුණ සඳහන් වන්නේ මෘග ජාතකයේ ය. සත් හැවිරිදි තෙරුන් වහන්සේ ළදරු වියෙහි සිටි බැවින් කෙළියකටවත් දැන, දැන බොරු නොකියන්නැ’යි බුදුන් වහන්සේ දේශනා කළේ ‘අම්බලට්ඨික සූත්රය ඇසුරෙනි.

දිනක් අටළොස් හැවිරිදි රාහුල තෙරුන් වහන්සේ පිඬු සිඟා වඩිද්දී තමන්ගේ ද, බුදුන් වහන්සේගේ ද සමාන රූප සම්පත්තිය බලා ‘මේ මාගේ පියාණෝ ය’ යනුවෙන් ඇතිවූයේ ‘ගේහසික ප්රේමයකි’. ඒ කෙලෙස් බර සිත දුරු කර ගැනීම පිණිස බුදුන් වහන්සේ දේශනා කළේ ‘රාහුලෝවාද සූත්රය යි.’ නුවණ මුහුකුරා ගිය විසි හැවිරිදි රාහුල තෙරුන් වහන්සේ ‘චුල්ල රාහුලෝවාද සූත්රය’ දේශනාව අසා රහත් ව, පසු කලෙක ගෞතම බුදු සසුනේ ශික්ෂාකාමීන් අතරින් අග්ර බවට ලැබූ තනතුර විශිෂ්ට ය.

බුදුන් වහන්සේට පෙර පිරිනිවන් පෑ රාහුල මහ රහතන් වහන්සේගෙන් ලොකු කුඩා සැමට ගත හැකි ආදර්ශයන් බොහෝ ය. ඒ නිහතමානීකම, ඔවදන් පිළිපැදීම, කීකරුකම, ඉවසීම ආදී බෝසත් ගුණාංග යි.

Thursday, November 21, 2024

කුටීකණ්ණ සෝණ මහා ශ්‍රාවකයන් වහන්සේ




සෝණ හිමියන් මහා කච්චාන තෙරුන් වෙතින් ධර්මය මනා කොට උගත්තා. එක් වප් කාලයක් අවසානයේ දී බුදුරදුන් දැකීමට තදබල කැමැත්තක් තමා තුළ ඇති හෙයින් එයට අවසර දෙන මෙන් මහා කච්චාන හිමියන්ගෙන් ගෞරවයෙන් යුක්තව ඉල්ලා සිටියා. එයට අවසර දුන් උන් වහන්සේ තමා වෙනුවෙන් ද බුදුරදුන්ගේ පා නැමැඳ වර පහක් ඉල්ලාගෙන එන මෙන් සෝණ හිමියන්ට නියම කළා.

සාමණේර නමක් උපසම්පදා කිරීමට උපසපන් දස නමක් හෝ ඊට වැඩි ගණනක් අවශ්ය බව බුද්ධ නියමය යි. බුදුරදුන් වැඩ සිටි මධ්ය දේශයට එය එතරම් අපහසු වූවක් නොවේ. එහෙත් අවන්ති දේශය වැනි දුර බැහැර ප්රත්යන්ත දේශයන්හි භික්ෂූන් දස නමක් සොයා ගැනීම පහසු වූවක් නොවෙයි. මේ නිසා දස නමකට අඩු භික්ෂුණ් ගෙන් උපසම්පදා විනය කර්මය සිදු කිරීමට අවසර දීම පළමු වන වරය යි. දෙවැන්න වූයේ අධික වැසි කාලයෙහි ඇතිවන ගවයන්ගේ කුර සටහන් අධික ඌෂ්ණ කාලයෙහි වියළී තිබූම නිසා යාම් ඊම් අපහසු වූ නිසා අඩි සවිකළ පාවහන් දැමීමට අනුමැතිය දීමයි. භික්ෂූන්ට අවශ්ය පරිදි නිතර නෑමට අනුමැතිය දීම තුන්වැන්න වූ අතර සමින් කළ ඇතිරිලි පරිහරණය කිරීමට භික්ෂූන්ට අනුමැතිය ලබා දීම සිවුවැන්න යි. පස්වන වරය වූයේ දායකයන් විසින් නම නියම කොට භික්ෂූන්ට පරිත්යාග කොට එවන සිවුරු පිළිගැනීමට අනුමැතිය දීමයි.

කූටකණ්ණ සෝණ හිමියන් ආචාර්යන් වහන්සේ ගෙන් අවසර ගෙන සැවැත්නුවර ජේතවනාරාමයට වැඩමවා බුදුරදුන් හමුව වැඳ අවසර ගත්තා. ඒ සෝණ තෙරුන්ට බුදුරදුන් වැඩ සිටි විහාරයෙහිම රාත්රිය ගත කිරීම සඳහා ආනන්ද හිමියන් ලවා සෙනසුනක් පිළියෙල කොට භාර කළා. ඉතා අලුයම පිබිදුණු බුදුරදුන් කූටිකණ්ණ සෝණ හිමියන් අමතා ධර්මයක් දේශනා කරන මෙන් නියම කළා. කිසිදු පැකිලීමක් නැතිව සෝණ හිමියන් ඉතා මිහිරි හඬින් ධර්මය දේශනා කරන කොට අවසන් වීමත් සමග බුදුරදුන් සාධු නාද පැවැත්වූවා. එයින් නොනැවතුන උන් වහන්සේ ඔබේ ධර්ම දේශනාව හරි මිහිරියි. වදන් වැල මනාව ඉදිරිපත් කළා. අර්ථය ඉතා පැහැදිලි වන අන්දමට ධර්මය දේශනා කළ බව පෙන්වා දී දැන් උපසම්පදාවට පත්ව කොපමණ කලක් ගතවූයේ දැයි ප්රශ්න කළා. ස්වාමීනි එක අවුරුද්දයි යනුවෙන් සෝණ හිමියන් පිළිතුරු දුන්නා. මෙපමණ අඩු කාලයකින් උසස් පුහුණුවක් ලැබූයේ කෙසේදැයි බුදුරදුන් ඇසූ ප්රශ්නයට පිළිතුරු දුන් සෝණ හිමියන් කම් සැපයේ ආදීනව තමා අවබෝධ කර ගත් නිසා බව සඳහන් කළා. නැවතත් තම බලවත් ප්රීතිය ප්රකාශ කළ බුදුරදුන් උන් වහන්සේට ප්රශංසා කළා.

සෝණ හිමියන් නැවතත් තම ගුරු හිමියන් වෙනුවෙන් බුදුරදුන්ගේ පා වැඳ මහා කච්චාන හිමියන් ඉල්ලූ වර පහ බුදුරදුන්ට ගෞරවයෙන් ඉදිරිපත් කොට ඒ සඳහා අවසරය ලබා ගැනීම ශාසන ඉතිහාසයෙහි ඉතා වැදගත් සිදු වීමක්. තම මෑණියන් විසින් ගඳ කිලියේ ඇතිරීමට දෙන ලද කම්බිලිය බුදුරදුන්ට පුදා අවසර ගෙන ආපසු වැඩමවා තම ගුරු හිමියන්ට හා මවට සියලු තොරතුරු දැනුම් දුන්නා. මහත් සතුටට පත් මව තම පුත් සෝණ හිමියන් ලවා ධර්මය දේශනා කරවා ගෙන අවසානයෙහි සතුටින් සාදුකාර දුන්නා. පසු අවස්ථාවක සිවුවණක් පිරිස හමුවේ දී මගේ ශ්රාවකයන් අතර මිහිරි වදන් ඇති භික්ෂූන්ගෙන් කූටිකණ්ණ සෝණ හිමියන් අග්ර වන්නේ යැයි උන්වහන්සේට අග තනතුරු දී වදාළා

අසු මහා ශ්‍රාවක වහන්සේලා - 19 (දහනවය ලිපිය ) වක්කලි මහ රහතන් වහන්සේ


අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයන් අතර ශ්රද්ධා විමුක්තීන් අතර අග තනතුර ලබන ලද්දේ වක්කලි මහ රහතන් වහන්සේ ය. අනෙකුත් බොහෝ ශ්රාවකයන් මෙන් උන්වහන්සේ ද පදුමුත්තර බුදුරදුන්ගේ අවධියේ දී විවරණය ලබා දාන ආදි මහා පින්කම් අසීමිත ලෙස සිදු කරමින් මේ අග තනතුර ලැබීම සඳහා මහත් උත්සාහයෙන් ක්රියා කර විවරණ ලැබූ සේක.

ගෞතම බුදුරදුන් ලොව පහළ වීමත් සමඟ බ්රාහ්මණ කුලයේ උප්පත්තිය ලැබූ මේ වක්කලි හිමියන් එක් දිනක් පිඬුසිඟා වඩින බුදුරදුන් දුටුසේක. ඒ බුදුරදුන්ගේ රූපශ්රීය පිළිබඳ දැඩි ඇල්මක් දැක් වූ ඒ බ්රාහ්මණ කුමරු බුදුරදුන්ගේ රූපය දැකීමේ බලවත් ආශාවෙන් උන්වහන්සේ පසු පස විහාරයට ගමන් කළේ ය.

බුදුරදුන් විවේක සුවයෙන් කල්ගත කරන සමයෙහි, දම් දෙසන සමයෙහි, වෙනත් ඉරියව්වක් ගත කරන විටත් බුදුරදුන් දෙස බලමින් සිටීමටම දැඩි උත්සාහයක් ගත්තේ ය. බුදු සිරුර දැකීමට අපමණ සිත් ඇතිව ආහාර ගැනීම, නිදාගැනිම හෝ වෙනත් පෞද්ගලික අවශ්යතාවක යෙදීමට වඩා බුදු සිරුර දකිමින් සිටීම සඳහා තදබල ආශාවකින් ක්රියා කිරීම මෙම තරුණයාගේ දෛනික චර්යාව විය.

උතුම් වූ බුදුකෙනෙකුන් කෙරෙහි සිත් ඇද ගන්නා වර්ණනීය කරුණු තුනකි. අතීත චරිත කතාව, ශරීර ලක්ෂණ සහ බුදුරදුන් සතු වූ ගුණය යනුවෙන් දැක්වෙන්නේ ඒ කරුණු ය. ඒ අතුරින් බුදුවරයෙකුගේ අතීත ආත්ම ගත කළ ආකාරය පැහැදිලි කෙරෙන චරිත කතාව ඉතාමත් වැදගත් ය . මනුෂ්ය ආත්මයක් හෝ දේවාත්මයක් නොවේ නම්, වෙනත් තිරිසන් ආත්මයක් ලබා සිටියත් ඒ තත්ත්වයේ ජීවත් වන අන් අයට වඩා ගුණ නුවණ හා වෙනත් ආකල්පයන්ගෙන් උසස් වූ තත්ත්වයක් බෝසතුන් තුළ පැවතුණහ . පන්සිය පනස් ජාතක පොත් වහන්සේ ඒ බව මනා ලෙස පැහැදිලි කර දී තිබේ.

සියලු කෙලෙස් නසා බුද්ධ රාජ්යයට පත් වීමත් සමඟ උන්වහන්සේ තුළ ඇති ගුණ මෙපමණ යැයි සඳහන් කිරීම අපහසු ය. අරහං ආදි නවගුණ පාඨයෙන් විද්යමාන ඒ උතුම් ප්රධාන ගුණ නවයක් පමණ ය. තවත් වර්ණනා කළයුතු ශරීරයේ පිහිටා ඇති ලක්ෂණ ය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හා අසූවක් පමණ වූ අනූ ව්යඤ්ජන ලක්ෂණයන්ගෙන් බුදුරජාණන් වහන්සේගේ ශරීරය උපලක්ශිත ය. මෙයට බොහෝ දුරට සමාන වූ ශරීරයක් ඇත්තේ සක්විති රජකෙනෙකුට පමණ ය. ශාසන ඉතිහාසය විමසන කළ බොහෝ අන්යාගමිකයන් පළමුව බුදුරදුන් කෙරෙහි පැහැදීම ඇතිව තිබෙනුයේ ධර්ම දේශනාවකට සවන් දීමෙන් නොව ශරීර ලක්ෂණ දක්නට ලැබීමෙන් බව සුපැහැදිලි ය . උගත් ද්රෝණ බමුණා පළමුව ශරීර ලක්ෂණයන්ට පැහැදී, පසුව බුදුරදුන් වෙත පැමිණ සාකච්ඡා කළ බව ද්රෝණ සූත්රය පැහැදිලිව පෙන්වා දී තිබේ. පසුව විරුද්ධ කම් කළ මාගන්ධිය බමුණා වුවත් පළමුව බුදුරදුන්ගේ සිරුරට බෙහෙවින් පැහැදුණේ ය.

බුදු සිරුර දැකීමට දැඩි කැමැත්තක් දැක් වූ වක්කලී තරුණයා පැවිද්ද ලබා ගනු ලැබුවේ ද පිළිවෙත් පුරා සසර සයුරෙන් එතෙර වීමේ පරමාර්ථයෙන් නොව වඩාත් සමීපව සම්බුදු සිරුර බැලීමට පහසුය යන හැඟීම නිසාවෙනි . පසුව සැවැත්නුවර සිට වස් එළැඹීම සඳහා බුදුරදුන් රජගහනුවරට වඩින විට මෙම වක්කලී හිමියන් උන්වහන්සේ පසුපස ම වැඩම කරමින් කලින් මෙන්ම බුදු සිරුර දෙස බලමින් කල් ගත කරන්න පටන් ගත්තේ ය.

බුදුරදුන් එක් අවස්ථාවක වක්කලි හිමියන් අමතා කිං තෙ වක්කලි ඉමිනා පූතිකායේන දිඨෙටථ යනුවෙන් වක්කලී ඔබට මගේ මේ කුණු ශරීරය බලා සිටීමෙන් ඇති ප්රයෝජනය කුමක් ද? යනුවෙන් පවසා ඔබට මා හරිහැටි දකින්නට ඕනෑනම්, මා දේශනා කළ ධර්මය හරි හැටි දකින්න යැයි ඉතා ගැඹුරු වූත්, අර්ථවත් වූත් අවවාදයක් දුන්හ. මෙයින් ද වක්කලි හිමියන්ගේ ඉරියව්වෙහි වෙනසක් නොවූ හෙයින් වහා මෙතනින් පිටව යන ලෙස නියම කළහ.

බුදුරදුන් දැකීමට නොලැබී යාමනිසා වේදනාවට පත් වක්කලි හිමියන් අනතුරුව ගිජ්ඣකූට පර්වතයට නඟින ලද්දේ එයින් පැන සිය දිවි තොර කර ගැනීමේ බලවත් අධිෂ්ඨානයෙනි. මේ බව දිවැසින් දුටු බුදුරදුන් බුද්ධ රශ්මි මාලාවක් විහිදුවා තමා එහි වැඩ සිටින ආකාරය දකින්නට සලස්වා වක්කලි මෙහි එන්න, යැයි ශ්රී හස්තය දිගු කළහ. එයින් වක්කලි හිමියන්ගේ සිත වහා වෙනසකට පත්ව බුදුරදුන් කෙරෙහි මහත් ප්රසාදයක් ඇති වීමත් සමඟ පෙර පින් ඇති වක්කලි හිමියන් රහත් භාවයට පත් වුහ. පෙර සිදු කරන ලද කුසල බලයෙන් සියලු කෙලෙස් නසා රහත් භාවයට පත් වූ වක්කලි හිමියන් බුදුරදුන් දුටු අවස්ථාවේ පටන් සිතෙහි වර්ධනය වී ආ සැදැහැවත් බව අන් කිසිම ශ්රාවකයෙකුට සමාන කළ නොහැකි ය.එම නිසා සැදැහැවත් භික්ෂූන් අතර ද අග තනතුරට පත් වූයේ වක්කලී මහරහතන් වහන්සේ ය. උන්වහන්සේට පමණක් නොව සාමාන්ය ලෞකික ජීවිතයක් ගත කරන කවර කෙනෙකු වුවත් බුදුරදුන් කෙරෙහි ප්රසාදය ඇතිව සරණ ගත වන්නේනම්, න තෙ ගමිස්සන්ති අපායං යනුවෙන් පෙළ දහමෙහි විවරණය වන ආකාරයට අපායෙන් මිදීමට එය හේතු වන බව සිතට ගත යුතු ය .