Showing posts with label බුදුසරණ. Show all posts
Showing posts with label බුදුසරණ. Show all posts

Thursday, October 26, 2023

පාපය-අකුසලය දුරලන උපාය මාර්ග

 



බුදුන් වහන්සේ මගපෙන්වන්නේ සිත පවින් ඉවත් කරවාගෙන කුසලයට ම යොමුකර තබාගැනීමට පුරුදු පුහුණූ කරවීමට ය. මෙය එතරම් පහසු දෙයක් නොවන බව, ඒ සඳහා උත්සාහ කරන ඕනෑම කෙනකුට පැහැදිළි කරගත හැකිය. අපේ සිත්වල තිබෙන්නේ සිතට පුරුදු කළ දේ ය. ඒ මේ ජීවිතයේදී මෙන් ම, සසර පුරුදු ලෙස ගෙන එන ඒවා ද විය හැකි ය. මේ ජීවිතයට අවශ්‍ය ගතිගුණ පුරුදු කරවීම අරඹන්නේ මවුපියන් ප‍්‍රධාන පවුලේ සමීපතමයන් විසිනි” යන්නවේ භාජනේ ලග්නඞ, සංස්කාරෝ නාන්‍යතා භවේත්” යන විෂ්ණු ශර්මන් පඬිවරයාගේ වදනට අනුව මේවා අමු මැටි බඳුනක අඳින රේඛා සටහන් සේ කල්පාන්තරයක් ගත වුව ද මැකීනොයයි. ගුරුවරුන්, අසල්වැසියන් සහ නෑ හිතමිතුරු සියල්ලන් එක් ව සමහර විට අලුත් පුරුදු ඇතිකරවන අතර, ඇති වී තිබුණු පුරුදු වැඩිදියුණු කරවීම ද කරනු ලබයි. මෙහි ලා අපේ මූලික ස්වභාව විසින් ඉටුකරලන වැඩ කොටසක් ද තිබේ. එනම් හැමවිටම ගැලපෙන අය සමග එකතු කරවීම ය. අප කෙසේ හෝ හොයාගෙන ගොස් එකතුවන්නේ ද අප වටා කෙසේ හෝ එක් රැස්වන්නේ ද අපට ගැලපෙන අය ය. නොගැලපෙන්නන් කෙසේවත් එකතුකර තැබිය නොහැකි ය. ගැලපීම සිදුවන්නේ මූලික ස්වභාවයන්ට අනුව යැයි බුදුරජාණන් වහන්සේ දක්වති.

මූලික ස්වභාවයන් මේ ජීවිතයේදී ලැබූ දේ නොවන අතර, සසර පුරා අපේ සිත්වල ට පුරුදු කරගෙන තිබෙන දේය. පිළින්දවච්ඡ මහරහතන් වහන්සේට සසර පුරුදු අතහැර ගැනීමට නොහැකිවීමෙන් කරදරයට පත්වූයේ, අසරණ ගොවියෙකි. මේ අයුරින් තම තමන් ගැන ම කල්පනා කර බලන ඔබට , ගැලපෙන මෙන් ම නොගැලපෙන ගති සිරිත් ද වශයෙන් කොතරම් ප‍්‍රමාණයක් නම් ඔබේ ජීවිතයට ඇබ්බැහි වී තිබේදැයි දැක ගත හැකි ය. ඔබට සැප හෝ දුක සකස් කර දෙන්නේ මෙම ගති සිරිත් මගින් වන නිසා ඒවා නොතකා හැරිය හැකි දේ නොවේ.

සතුටු වන හැම විටම කල්ලි ගැසී පිරිස පිරිවරා ගැනීමට අපි පුරුදුව සිටිමු. මහගම සේකරයන් කී පරිදි ඔබ හිනැහෙන විට මුළු ලොව ඔබ සමග සිනාසෙන බවත් නමුත්, ඔබ හඬන විට ඒ ලොව ඔබ අතහැර සිනාසෙන ඒ කිසිවිටෙකත් ඔබට නොවැටහෙයි. බුදුරජාණන් වහන්සේ දක්වන පරිදි මේ සතුට හෝ දුක කවරක් වුව ද, එය සැකසෙන්නේ ඔබේ සිත පුරුදු කර තිබෙන පිළිවෙළ අනුව ය.

ඔබේ සිතෙහි තිබෙන්නේ කුමක්දැයි යන්න හරියටම දන්නේ ඔබ ය.ශාරීරික කි‍්‍රයාකාරිත්වයට අවශ්‍ය රසායනික කොටස් සිරුර තුළ නිපදවෙන්නේ ඔබේ සිතිවිලිවලට අනුවය. ඒවායේ බලපෑම මත මුහුණේ සහ සිරුරෙහි ස්වභාවයත් ඇතැම් අසනීප ආදියත් සැකසෙන නිසා, ඔබ කවර අයුරකින් අන් අයට ඇගවීමට උත්සාහ කළ ද ඔබේ කල දවස ගතවන්නේ සැප සේ, සතුටෙන් නොවේ නම් ඒ බව ලෝකයාට හෙළිදරව්වීම කෙසේවත් වැළැක්විය නොහැකි ය. මෙනිසාම සකසා ගත් සිතින් ලැබෙන ආශිර්වාදය අන් කවර ආශිර්වාද පූජාවකිනුදු ලැබිය නොහැකිය. බුදුරජාණන් වහන්සේ පෙන්වන පරිදි කිසිවෙකුටත් උදුරාගත නොහැකි පර ම ධනය, එය ය.

සාමාන්‍ය මිනිස් සිත කිසිම වගාවකට යොදා නොගත්, සරුසාර බිම්කඩක් වැනි ය. එය ඉතාමත් ඵලදායි ලෙස දියුණු කළ හැකි ශක්ති බීජයන්ගෙන් පිරුණකි. එහෙත්, ඔබේ අවධානය නොයෙදෙන්නේ නම් එහි වැවෙන්නේ කිසිදු පලක් නොමැති වල් පැළෑටි ය.

මජ්ඣිම නිකාය ද්වේධාවිතක්ක සූත‍්‍රයෙන් පැහැදිලි කැරෙන පිළිවෙළ පුරුදු පුහුණු වීම ඉතා පහසුය. දිනක් බෝසතණාන් වහන්සේ, තැන්පත්ව තම සිතෙන් ඒ සිත ම , පරීක්‍ෂා කරමින් වැඩ සිටින විට , එහි නිමක් නොමැති ව මතුවන, අනේකවිධ සිතිවිලි දුටහ.

ඒ දෙස හොඳින් පරීක්‍ෂාකාරීව බැලීමෙන් හොඳ සිතිවිලි මෙන් ම නරක සිතිවිලි ද විටින් විට මතුවන බව දුටු උන්වහන්සේ, මේවා එකිනෙක නම් කරන්නට පුරුදු වූහ. ලෝභ සහගත සිතිවිල්ල ලෝභ සහගත සිතිවිල්ලක් ලෙස නම් කර, පසෙකට කළහ. ද්වේශ සහගත සිතිවිල්ල, ද්වේශ සහගත සිතිවිල්ලක් ලෙස නම් කර පසෙකට කළහ. කරුණාව ඇතිවී නම් එය කරුණාවන්ත සිතිවිලි ගොඩට දැමූහ. මේ අයුරින් සිතෙහි ඇතිවන විවිධ සිතිවිලි නම් කර, හොඳ සහ නරක වශයෙන් ගොඩවල් දෙකකට ඒවා වෙන්කර තැබීමට පුරුදු වූහ. නැවත ඇතිවන අවස්ථාවල දී එම සිතිවිලි ඉතා ඉක්මනින් හඳුනාගන්නට පහසුවක් වන මේ පළපුරුද්ද යහපත් සිතිවිලි ගොඩෙහි තිබෙන ඒවා නැවත නැවත ඇතිකර ගැනීමේදීත්, අයහපත් ගොඩෙහි තිබෙන ඒවා ඇති වන විට ඒවා කෙරෙහි නොසැළකිලිමත් වෙමින් ඇතිවූ තැන ම ලොප්කර දැමීමේදීත් ,ඉක්මනින් කි‍්‍රයාත්මකවීම සඳහා මහත් පිටුවහලකි. මේ ක‍්‍රම අනුගමනය කරමින් නොබෝ කලෙකින් යහපත් සිතිවිලි සිතෙහි තහවුරු කරගන්නටත් අයහපත් සිතිවිලි සිතෙන් බැහැර කරවන්නටත් සමත් වූ උන්වහන්සේ එය ම ආදර්ශයට ගන්නා ලෙස මජ්ම නිකායෙහි ම විතක්ක සණ්ඨාන සූත‍්‍රයෙහි දී පෙන්වා දෙති.

තැන්පත් සිතක් පවත්වාගැනීමට වෑයම් කරන විට, ආශාව, තරහ හෝ මුළාව මුල්කරගත් සිතිවිලි ඇතිවන්නේ නම්, ඒවා ඔබේ සිත, කය , වචනය අසංවර කරවා, ඔබව සීලයෙන් පිරිහීමට පත්කරවයි. සිත නොසන්සුන් වී, සමාධිය සිතින් දුරුකරවයි. මුළාව ඉස්මතු වී යමක් නිවැරැදිව තේරුම් ගැනීමට අවශ්‍ය ප‍්‍රඥාව යටපත් කරවයි. එම නිසා ම මෙබඳු සිතිවිලි පාප සහගත ය. නරක යනුවෙන් වටහගෙන ඒවා ඇතිවුවහොත් එවිගස ම තමාට ගැලපෙන, යහපත් සිතිවිල්ලක් ඇතිකර ගනිමින් එම පාප සහගත සිතිවිල්ල යටපත් කරගැනීමට තරම් තමන් ඤාණවන්ත විය යුතුය. බොහෝ විට දක්නට ලැබෙන්නේ තමාගේ සිතෙහි පව්කාර සිතිවිලි ඇතිකරගෙන , ඒවා දියුණුවන්නට හැර , එසේ වූයේ මවුපියන් නිසාය. ගුරුවරුන් හෝ වෙනත් පරිබාහිර කිසිවකු නිසා යැයි චෝදනා කරමින් අලසව සිටීමට මාන බලන අය ය. නමුත් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ, තමාට තමන් මිස අන් කිසිවකුත් නැති, නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතිමින්, මරණයෙන් කෙළවර වන, යළිත් කිසියම් තැනක නැවත උපදින ජීවිතයක් ගත කරන අන් අයට චෝදනා කරමින් තමා පිළිබඳ වගකීම නොතකා කටයුතු කර පිරිහීමට ගත කරන අප අන් අයට චෝදනා කරමින් තමා පිළිබඳ වගකීම නොතකා කටයුතු කර පිරිහීමට පත්වීමේ දී සිදුවන හානිය , වෙනත් ක‍්‍රමයකින් ආවරණය කළ නොහැකි බවය.

සිතක අයහපත් සිතිවිල්ලක් ඇතිවන්නේ නම්, වහා ම ආවරණය කළ නොහැකි බවය. යහපත් සිතිවිල්ලක් ඇතිකරගනිමින් ඒ අයහපත් සිතිවිල්ල යටපත් කරදැමීමට සැළකිළිමත් වීමය. මෙහිදී උපකාර කරගතහැකි වටිනා ලක්‍ෂණයක් ස්වභාව ධර්මය අපට පෙන්වාදෙයි. ඒ හැම දෙයකටම ප‍්‍රතිවිරුද්ධ දෙයක් ද තිබෙන බව දකින්නට සලස්වා තිබීමයි. අඳුරට අකමැති අය කළ යුත්තේ ආලෝකය ඇති කර ගැනීමය. එමෙන්ම ලෝභකම පරිත්‍යාගයෙන් ද, තරහ මෛති‍්‍රයෙන්ද, මුලාව නුවණින්ද යටපත් කරවන්නට උත්සුක විය හැකිය. ඕනෑම සිතිවිල්ලක් ඊට ප‍්‍රතිවිරුද්ධ සිතිවිල්ල ඇති කරගෙන යටපත් කරවිය හැකිය.

සාමාන්‍ය ලෝකය තුළ වුව ද පාපයට විශාල පිළිගැනීමක් තිබෙන බවක් පෙනේ. පාපය ලස්සන ය. බොහෝ දෙනෙක් එයට කැමතිය. පව්කිරීම ඉතා පහසුය. ඒවා කරන අයට පිරිස් ඕනෑතරම් සිටිති. එහෙත් ඒ බොහෝ කලකට නම් නොවේ. ඒ නිසා පාප සහගත සිතිවිල්ලක් ඇති වූවිට, එහි පාප සහගත බව සිහිපත් කරමින් එය සිතෙන් බැහැර කරවිය හැකිය. එය නරක බව සිතට ඒත්තු ගන්වා, එය අනුගමනය කිරීමෙන් ඇතැම්විට සතුටු විය හැකි නමුත් පාපය දුකට මුල් වන බව දැක, එය වැරැදි ය යන බව ම සිතට ඒත්තු ගැන්වීම ය. මෙහි දී කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ගෙලෙහි බැඳි බලු කුණක් හා සමානකොට සලකා පාපය බැහැර කළ යුතු බවයි.

තවත් සමහර විටක දී අනුගමනය කළ හැකි පිළිවෙළකි පාපය සිහිපත් නොකර සිටීම . එය හරියටම අකැමැති දෙයක් දකින්නට සැලසුණු විට , ඇස් පියාගෙන එය මඟහැර යෑම වැනිය. ඕනෑම සිතිවිල්ලක් නැවත නැවත මෙනෙහි කිරීම නිසා සිතෙහි වඩවඩාත් තහවුරුවන බව වඩ වඩාත් ශක්තිමත්ව මුල්බැස ගන්නා බව, අත්දැකීමෙන් ම දන්නා ඔබට, මේ පිළිබඳ අමුතුවෙන් විස්තර කළ යුතු නැත.

නැවත සිහිපත් නොකර සිටීමෙන් ද යටපත් නොවන තරම් බලසම්පන්න පාප සිතිවිල්ලක් නම් එය මතුවන්නේ කවර කාරණයක් මුල් කර ගෙන දැයි සිතා බලා, එහි නිශ්ඵල බව සිතට පෙන්වාදී, එය යටපත් කර දැමීමේ ක‍්‍රමයක් ද තිබේ. එය තමන්ට කරන්නට සිතෙන කිසියම් නිශ්ඵල දෙයක් එසේ කරන්නට සිතන්නේ ඇයි දැයි තමා විසින් ම දිගින් දිගටම ප‍්‍රශ්න කරමින් , විමසමින් අවලංගු කර දැමීම වැනිය.

අවසන් වශයෙන්, තවදුරටත් පාපය බලවත් ව තිබේ නම් දත් සපාගෙන, දිව උඩුතල්ලට තදකරගෙන අධිෂ්ඨානශීලිව උත්සාහකිරීමෙන් එය යටපත් කර දැමිය හැකි යැයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති.

පාපය කෙසේ හෝ යටපත් කළ යුතුම දෙයක් වන බැවින්, මේ කවර උපක‍්‍රමයක් හෝ යොදාගෙන කළ යුතුව ඇත්තේ තම සිතෙන් පාපය බැහැර කර ගැනීමය. කුසල් දහම්වලට දියුණුවීමට අවශ්‍ය පරිසරය නිරායාසයෙන්ම එවිට ගොඩනැගෙනු ඇත.

Sunday, August 13, 2023

නොපසන් මනසින් කළ-කී දෑ පසු පස එන සැටි


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨෙන
භාසතිවා කරෝතිවා
තතෝ නං දුක්ඛ මන්වේති
චක්කංච වහතෝ පදං

පින්වත්නි!

ජීවිතයේ කරන කියන හැම දෙයකටම මුල් වන්නේ මනසයි. ශ්‍රේෂ්ඨ වන්නේත් මනසයි. හට ගන්නේත් මනසින්මයි. ඉතින් අපිරිසුදු මනසකින් යුතුව යම් දෙයක් කරයිද, කියායි ද එයින් ලැබෙන අකුසල විපාකය ඔහු පසු පස්සේ දුක ලුහුබඳියි. කුමක් මෙන්ද යත් ගැල අදනා ගොනු පසුපස නොනැවතී යන ගැල්සක මෙනි.

පින්වතුනි! අපගේ භාග්‍යවතුන් වහන්සේ පහළ වූ යුගයේ, සැවැත් නුවර මහාසුවණ්ණ නමැති ධනවත් ව්‍යාපාරිකයෙක් හිටියා. එක්තරා දිනක දිය නා ආපසු පැමිණෙද්දී සුවිසල් නුග රුකක් ඔහු හට දක්නට ලැබිණි. ඒ දුටු මහා සුවණ්ණට මෙසේ සිතිණි. “මේ නුගරුකෙහි මහේශාක්‍ය දෙවිරු අරක්ගෙන සිටින හැඩයි.” සිතා ඔහු රුක් සෙවන ශුද්ධ පවිත්‍ර කළා. අවසානයේ ඔහු එම නුග රුකට වන්දනාමාන කරගෙන “අනේ දෙවියනි! මට දූ දරුවන් නොමැති හෙයින්, මට දුවෙක් හෝ පුතෙක් ලැබුණොත් මම ඔබ වහන්සේට මහත් පූජාවක් කරනවා යැයි ප්‍රාර්ථනා කරන්නට විය.

කාලය කෙමින් ගෙවී යද්දී මහාසුවණ්ණගේ බිරිඳගේ කුසින් පුත් රුවනක් බිහි විය. මහා සුවණ්ණට ඇති වූ පී‍්‍රතිය අසීමිත විය. නුගරුකෙහි වැඩ සිටිය දෙවියා දරුවෙක් දුන්නැයි කියා, ඔහු හට “පාල” කියා නම තැබුවේය. ටික දවසකින් තවත් පුතෙක් බිහි විය. එවිට වැඩිමහල් පුත්‍රයාට “මහාපාල” කියාත්, අලුත උපන් ප්‍රත්‍රයාට “චූලපාල” කියාත් නම් තැබීය.

කාලයාගේ ඇවෑමෙන් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන නිසි වයස එළඹි කල විවාහ දිවියටද ඇතුළත් විය. දිනක් උපාසක උපාසිකාවෝ පිරිසක් සුදුවතින් සැරසී, බුදු මුවින් පිට වන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට දෙව්රම් වෙහෙරට පිය නගන අන්දම මහාපාලට දැක ගන්ට ලැබිණි. මහාපාල හටද සද්ධර්මය ශ්‍රවණය කරන්නට ආශාව ඇති වූ හෙයින් උපාසක උපාසිකාවන් සමඟ දෙව්රම් වෙහෙරට ගොස් කෙලවරකට වී බුදු මුවින් ගලා එන ඒ උතුම් ධර්ම දේශනයකට සවන්දුන්හ. අර්ථ මෙනෙහි කිරීමෙන් ටිකෙන් ටික ඔහුට ශ්‍රී සද්ධර්මය තේරුම් ගැනීමට හැකියාව ලැබිණි. තෙරුවන්සරණ ගිය මහාපාල උපාසක තුමා, අවසානයේ පැවිදිවීමට තීරණය කළේ ය. “මහාපාල” උපාසක තුමා, ගෙදර ගොස් පවුලේ සියලු දෙනා කැඳවා තමන්ගේ අදහස ඔවුන් වෙත දන්වන ලදී. එවිට “චූලපාල” මෙසේ කියන්නට විය. මගේ ආදරණීය අයියේ, ඔබ පැවිදි වන්න එපා. මවුපියන් නැති වූ දවසේ පටන්, ඔබ තමයි මගේ මවුපියන් වශයෙන් හිටියේ. අයියාට ගිහිගෙයිම ඉඳගෙන පින් කරන්න පුළුවන්නේ. ඇයි? ඔබ පැවිදි වෙන්නේ? එවිට උතුම් ශ්‍රී සද්ධර්මයේ ගුණ මහාපාල උපාසක විසින් කියා දෙන්නට විය. පවුලේ සියලු දෙනාගේ අවසරයෙන් ඔවුන් හඬා වැලපෙද්දී ගෞතම බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් පැවිදි උපසම්පදාව ලබා ගත්තේ ය.

පස් අවුරුද්දක් මුළුල්ලේ තම ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාට අවනත වී ධර්ම විනය ඉගෙන ගත් “මහාපාල” ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ හමුවීමට ගියහ. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කර පැත්තකින් අසුන් ගත් මහාපාල තෙරණුවෝ මෙසේ ප්‍රකාශ කරන්නට විය. “ස්වාමීනී! භාග්‍යවතුන් වහන්ස මා දැන් ධර්ම විනය පස් අවුරුද්දක් මුළුල්ලේ ඉගෙන ගත්තා. මම කැමතියි ධ්‍යාන වඩලා කෙලෙස් දුරු කර ගන්න. මා කෙරෙහි අනුකම්පා කොට මට උපදෙස් දෙන සේක්වා” මහාකාරුණික බුදුරජාණන් වහන්සේ “මහාපාල” තෙරුන් හට උපදෙස් ලබා දුන්නේ ය. උපදෙස් ලබාගත් “මහාපාල” ස්වාමීන් වහන්සේ තවත් ස්වාමීන් වහන්සේ හැට නමක් සමඟ චාරිකාවේ වැඩම කළහ. සැවැත් නුවර සිට යොදුන් ගණනක් ඈතට වැඩියහ.

සන්සුන් ඉරියව් ඇති ස්වාමීන් වහන්සේ දුටු ජනයා වස් තුන්මාසය එම ජනපදයේ වැඩ සිටින ලෙස ආරාධනය කළහ. මහාපාල තෙරුන් ඇතුළු අනිකුත් ස්වාමීන් වහන්සේ එම ආරාධනාව පිළිගත් හෙයින් ඉමහත් පී‍්‍රතියට පත් ජනයා ඉක්මණින් කුටි, සක්මන් මළු, භාවනා ශාලා ඉදි කරන්නට විය. ගමේ සිටි දක්‍ෂ වෙද මහත්මයකු ස්වාමීන් වහන්සේ අමතා මෙසේ පවසන්නට විය. මේ වස් තුන්මාසයේ ඔබ වහන්සේලාට සෑදෙන ඕනෑම රෝගයකට මම බෙහෙත් කරන්නම් මාහට දන්වන්න.

වස් විසීමේ නියමිත දවස උදා විය. මහාපාල ස්වාමීන් වහන්සේ අනෙකුත් ස්වාමීන් වහන්සේ අමතා අහනවා “පින්වත් ස්වාමීන් වහන්ස මේ වස් තුන්මාසය ඉරියව් කීයකින් ගත කරන්නද බලාපොරොත්තු වන්නේ” “මහාපාල ස්වාමීන් වහන්ස! අප ඉරියව් හතරින්ම කල් ගෙවන්නයි හිතාගෙන ඉන්නේ යනුවෙන් අනික් ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්හ” එවිට මහාපාල ස්වාමීන් වහන්සේ අනෙකුත් ස්වාමීන් වහන්සේලා අමතා මෙසේ ප්‍රකාශ කරනවා.

දැන් අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේගෙන් උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබුණා. උතුම් පැවිදි උපසම්පදා බවට පත්වුණා. ප්‍රමාද වීම අනතුරුදායකයි. ඉතින් මම තීරණය කළා සැතපෙන ඉරියව්වෙන් තොරව ඉරියව් තුනකින් කල් ගෙවන්න අනෙකුත් ස්වාමීන් වහන්සේලා එම ක්‍රියාව බොහෝ අගය කොට සැලකූහ.

පින්වතුනි! මේ මහාපාල ස්වාමීන් වහන්සේ පළමු මාසයේ හොඳට භාවනා කළහ. දෙවැනි මාසයේ මුල් සතියේ රාත්‍රියක මහාපාල ස්වාමීන් වහන්සේට අක්‍ෂි රෝගයක් හැදුනා. පසුදා උදෑසන පිඬු සිඟා වඩින්ට සූදානම් වන විට අනෙක් ස්වාමීන් වහන්සේලා දුටුවා මහාපාල ස්වාමීන් වහන්සේගේ දෙනතින් කඳුලු ගලන ආකාරය. ස්වාමීන් වහන්සේලාට මතක් වෙනවා, වස් වසන අවස්ථාවේ වෙදකම් කරන්න පොරොන්දු වූ වෙද මහත්තයා පිළිබඳව. ඒ වෙදමහත්මයාට කරුණු දැක් වූ පසු ඔහු විසින් මහාපාල ස්වාමීන් වහන්සේට වටිනා තෛලයක් පූජා කළා. ස්වාමීන් වහන්ස! මේ තෙල් බින්දු ගෑමෙන් රෝදුක දුරුවී යාවි යැයි වෙද මහත්මයා උපදෙස් දුන්නා.

මහාපාල ස්වාමීන් වහන්සේ ඇස්වල තෙල් දැම්මේ වාඩි වෙලා. හාන්සි වෙලා නොවේ. හාන්සි වෙලා බෙහෙත් දැම්මෙ නොමැති නිසා එන්න එන්නම රෝගය උග්‍ර වනවා මිසක සුවවීමක් පෙන්නුම් කළේ නැහැ. නමුත් මහාපාල ස්වාමීන් වහන්සේ තම අධිෂ්ඨානය අතහැරියේ නැහැ. නිතර නිතරම කල්පනා කළේ මම කොහොමත් මැරෙන කෙනෙක්නේ. තවත් ප්‍රමාද නොවී චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට උත්සාහ ගන්න ඕනෑ. එසේ සිතා උන්වහන්සේ දිගටම භාවනා කළා.

වස් කාලය අවසන් වන දවසේ රාත්‍රියේම මහාපාල තෙරුන්ගේ ඇස් දෙක සදහටම නොපෙනී ගියේ ය. මේ ගෞතම බුද්ධ ශාසනයේදීම සියලු කෙලෙසුන් නසා උතුම් අරහත්වයට පත් වුණේ ද එම අවස්ථාවේදීමය. පසුදා උදෑසන මහාපාල තෙරුන් පිණ්ඩපාතයේ නොවැඩි නිසා, අනෙකුත් ස්වාමීන් වහන්සේලා උන්වහන්සේ බලන්ට ගිය අවස්ථාවේ ඇස් අන්ධ වූ කථාව ඇසූ උන්වහන්සේලා මහාපාල රහතන් වහන්සේට උපස්ථාන කළහ. දෑසම අහිමි වූ නිසා උන්වහන්සේ ප්‍රසිද්ධ වුණේ “චක්ඛුපාල රහතන් වහන්සේ ලෙසයි” වීර්ය වන්ත චක්ඛුපාල මහරහතන් වහන්සේගේ අවවාද අනුශාසනා නිසා, අනෙකුත් ස්වාමීන් වහන්සේලාටත් මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම සියලු කෙලෙසුන් නසා උතුම් අරහත්වයට පත් වීමට වාසනාව ලැබුණි.

චක්ඛුපාල මහරහතන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ සිටින විට මහා වැස්සක් ඇද හැලිනි. පසුදා හිමිදිරි පාන්දර, සක්මන් භාවනාව කරමින් සිටියදී, චක්ඛුපාල මහරහතන් වහන්සේගේ දෙපා වලට පෑගි මඩියෝ මිය ගියහ. මේ දුටු ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දැන්වූහ. “පින්වත් මහණෙනි, සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත් වූ ස්වාමීන් වහන්සේට මරණ චේතනාව ඇති නොවන්නේ ය. කියා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළහ. සංසාර චක්‍රය නවතාලීමට පෙර පින් තිබූ චක්ඛුපාල රහතන් වහන්සේගේ ඇස් අන්ධ වීමට හේතුව කුමක්දැයි ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් විමසූහ.

පින්වත් මහණෙනි! අතීතයේ බරණැස් නුවර කසී කියලා රජකෙනෙක් රජකම් කරන යුගයේ ප්‍රසිද්ධ ඇස් වෙද මහත්මයෙකු වාසය කළහ. දිනක් කාන්තාවක් ඇසක් දුර්වල නිසා, මෙම වෙද මහතා ළඟට පැමිණ, සුව කර දෙන ලෙස ඉල්ලා සිටි අතර, ඇස හොඳ වුවොත් දූ දරුවන් සමඟ පැමිණ වෙද මහතා ළඟ බැල මෙහෙවරකම් කරන බවට ප්‍රතිඥාවක් වූවාය. වෙද මහත්තයා ඒ ගැන සතුටු වී එක බෙහෙතකින් ඇස සුවපත් කළහ. ඇස හොඳ වූ පසු ඒ මහලු කාන්තාව ඇස හොඳ වුවහොත්, දූ දරුවන් සමඟ බැලමෙහෙකාරකම් කරන්න එන බවට වෙද මහත්මයාට පොරොන්දු වුණා. එය කිසිසේත් කළ හැකි 

Saturday, August 12, 2023

ඉට්ඨධම්ම සූත‍්‍රය



නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

පඤ්චිමෙ ගහපති ධම්මා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලෝකස්මිං. කතමෙ පඤ්ච ආයුඛෝ ගහපති ඉට්ඨො කනෙතා මනාපො දුල්ලභො ලොකස්මිං, වණෙණා ඉට්ඨො කනෙතා මනාපො දුල්ලභෝ ලොකස්මිං සුඛං ඉටඨං කනතං මනාපං දුල්ලභං ලොකස්මිං යසො ඉටෙඨාකනෙතා මනාපො දුල්ලභො ලොකස්මිං සග්ගා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලොකසමිං ඉමෙඛො ගහපති පඤ්චධම්මා ඉටඨා කනතා මනාපා දුල්ලභා ලොකස්මිං (අං.ගු.නි. පඤ්චක නිපාතය ඉට්ඨධම්මසුත්ත)

පින්වත්නි, අප ධර්මදේශනාවේ මාතෘකාව අංගුත්තර නිකායේ එන ඉට්ඨධම්ම සූත‍්‍රයයි. මෙම දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ අගය කළ වටිනා සම්පත් පහක් ගැන සඳහන් වෙනවා. මෙම කරුණු පිළිබඳව සිහි නුවණින් සිතා බැලීම අපකාගේත් හිතසුව සඳහාම හේතු වන අයුරු සලකා බලන්න. ආයුෂය, ශරීරවර්ණය, ශරීර සුවය, යසස, සමගිසම්පත, යන මේ කරුණු සෑම දෙනාගේම පැතුමයි. නිකම්ම ප‍්‍රාර්ථනා කළ පමණින්ම මේ එකක්වත් හිමි නොවන බව බුදුදහමේ ඉගැන්වීමයි. දාන, ශීල, භාවනා පින්කම්වල නිරතවන ආකාර අනුව හිතේ පහල වන පින් සිතිවිලි ඇසුරින් හිතේ ගොඩනැගෙන පුණ්‍ය බලවේග මේ සම්පත් හිමි කර දෙන ආකාරය හඳුනාගත හැකි වූයේ බුදුරජාණන් වහන්සේටයි. අදෘෂ්‍යමාන දෙවිකෙනෙකුගේ මාර්ගයෙන් ඉල්ලා ලබාගත නොහැකි මෙම සම්පත් ව්‍යායාම් වල නිරතවීමකින්ද හිමිකර ගත හැකි යයි සිතන්නේ නම් එයද නිසරු සිතිවිල්ලකි.

මිනිසත්බවම අතිවිශාල පින්රැසක ප‍්‍රතිඵලයකි. එම මිනිසත්බව බබලවන ආර්ථාන්විත බවට පත්වීමට ඉඩසලසන මෙම කරුණුවලට හිමිකරුවෙක් වීමට ප‍්‍රායෝගික වශයෙන් කි‍්‍රයාත්මක කළ යුතු පුණ්‍යකි‍්‍රයා වෙන වෙනම හඳුනාගෙනම කටයුතු කිරීම මිනිසත් බව බැබලීමට උපකාරවන බව වටහා ගන්න. ඒ බව බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටිය දී අනාථ පිණ්ඩික සිටුතුමාට මැනවින් පහදා දුන්සේක. එදා මහත් යස ඉසුරෙන් බැබළුන එතුමා මෙම සම්පත් සියල්ලටම හිමිකරුවෙක්ව මිනිස් සමාජයේම ධර්ම මාර්ගයට අවනත කිරීමට කි‍්‍රයාකළ උතුමෙකි. බුදුරදුන්ගේ ප‍්‍රධාන දාකයාවීමම එතුමා සසර පින්කරමින් කළ ප‍්‍රාර්ථනාවල අග‍්‍රඵලයයි. දෙවි දේවතාවන් අදහමින් දැඩි අන්‍ය ආගමික විශ්වාසයන්ගෙන් පිරී ඉතිරී සිටි එදා දඹදිව වැසියෝ තම සියලු සිතුම් පැතුම්, අදෘෂ්‍යමාන දෙවියන්ගෙන් ලබාගත හැකිය යනුවෙන් විවිධ තපස්ක‍්‍රම අනුගමනය කළහ. විශාල පර්වත වනාන්තර ගස්ගල් සරණගිය ආදිකාලීන මිනිස්සු බියෙන් සැකයෙන් දවස් ගෙවූ ආකාරය බුදුරජාණන් වහන්සේගේ දේශනාවේම දක්නට ලැබේ.

බහුං වෙ සරණං යන්ති
පබ්බතානි වනා නිච
ආරාම රුක්ඛ චෙත්‍යානි

මනුස්සා භය තජ්ජිතා. යනුවෙන් ධම්ම පද දේශනාවේ සඳහන්වන පරිදි එදා දඹදිව සමාජය පිළිබඳ සමාජ පසුබිම සිතාගත හැකියි. එම නිසරු පිළිවෙත් අතර තපස්රැකීම, ජටාධරවීම, දත්නොමැද සිටීම, ඇඟ පුරාමඩගාගෙන සිටීම, ආහාර නොගෙන දින ගණන් ගත කිරීම, අජවුත, ගෝවුත, උක්කුටිකව සිටීම, වැනි ලාමක කි‍්‍රයාවලින් සැනසීමක් බලාපොරොත්තු වූහ. මෙවැනි සිදුවීම් දුටු හැමවිටකදීම ඒවායේ නිසරු බව නොබියව පහදා දුන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි. දිගු කලක් ජීවත්වීම, සිත් ගන්නා සිරුරකට හිමිකරුවකු වීම වැනි අද සමාජයද උනන්දු වන කරුණු කිසියම් දෙවියකුට යාඥාකර ඉල්ලා ගත නොහැකි බව අනාථපිණ්ඩික සිටුවරයාට පහදා දීම මෙම දේශනාවේ අරමුණයි. සසර කළ පින් ඇතිව සිටි එතුමා, මෙම සියලු සම්පත්වල උරුමකරුවකුව සිටින බව දත් බුදුපියාණන් වහන්සේ දාන, ශීල, භාවනාදී පින්කම්වල නිරත වීමෙන්ම මෙම ප‍්‍රතිලාභ අත්වන ආකාරය පහදා දුන්හ. ආයුෂ වැඩීමට ආයුසංවත්තිනික පටිපදා, පටිපජ්ජිතබ්බා, ශරීරයේ වර්ණ සම්පන්න බව පිහිටීමට වර්ණ සංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා, සැපපහසුකම්වලට හිමිකරුවෙක් වීමට නම් සුඛසංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා, යසස් ලැබීමට යසසංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා, ස්වර්ග සම්පත් කැමැති වන්නේ නම් සග්ග සංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා යනුවෙන් ඒ ඒ සම්පත් ලැබීම සඳහා අවශ්‍ය පිළිවෙත් පහදා දුන් සේක. ආයුෂ වැඩිදියුණුවන පින්කම් අතර අභයදානය විශේෂයි. දාන ආනිසංස දේශනා කළ බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ භෝජන සූත‍්‍රයේ මෙසේ වදාළ සේක.

භොජනං භික්‍ඛවෙ දදමානොදායකො පටිගගාහකානං පඤ්චධානානි දෙති, කතාමානි පඤච, ආයුං දෙති, වණ්ණං දෙති, සුඛංදෙති, බලං දෙති, පටිභාහනං දෙති, දන්දීමේ දී ත්‍යාගශීලී හිත මෙන්ම එම දානය ලබන ප‍්‍රතිග‍්‍රාහකයන්ගේ නිදුක් නිරෝගී චිරජීවනය හදපත්ලෙන්ම පැතිය යුතුයි. මැනවින් සැකසූ ආහාරපාන ගැනීම ආයුෂය ප‍්‍රධාන සිරුරේ සංවර්ධනය සමඟම දායකයාට එම සම්පත් හිමිවන කුශලශක්තියක් තමාවටා ගොඩනැංවෙන බව පිළිගත යුතුයි. ප‍්‍රාණඝාතය, සතුන්ට වධදීම, වැනි පාපකි‍්‍රයා ආයුෂ නිරෝගීකම අහිමිකරන දරුණු අකුසල් බව හඳුනා ගන්න. අභයදාන ආමිස දානය සතුටු සිතින් කළ තරමට දීර්ඝායුෂයට හිමිකරුවෙක් වෙනවා ඇත. තුණුරුවන්ට අවනතව කටයුතු කිරීම හිත සැහැල්ලු ආකාරයට තබාගැනීම එදිනෙදා ජීවිතය සුවදායක කරගැනීමට උපකාර වන බව හොඳින් මතකයේ තබා ගන්න. මිනිසෙක් වශයෙන් ඉතා සාර්ථක ජීවිතයක් ගත කළ අනාථපිණ්ඩිත සිටුතුමාට එතුමාගේ පිණින් පිරීගිය ජීවිතය මිනිස් සමාජයටම හඳුනාගත හැකි ආකාරයට අගේ කරමින් මෙම දේශනාව දේශනා කළේ මිනිස් සමාජයටම ආදර්ශයක් වනු පිණිසයි. නුවණින් කටයුතු කිරීම තම තමාගේ වගකීමයි. පඤ්ඤා ජීවිං ජීවිත මාහු සෙට්ඨං. තෙරුවන් සරණයි.

Thursday, September 15, 2022

පසුපස ආ පාපය

 

පසුපස ආ පාපය



රජගහනුවර ගිජ්ඣකූට පර්වතය කියන්නේ බුදුරජාණන් වහන්සේ වගේම මහ රහතන් වහන්සේලා නිතර විවේකීව වැඩ සිටින තැනක්. මෙම පර්වතය පා මුල නිගන්ඨයන් ද වාසය කළා. 

දවසක් මුගලන් මහ රහතන් වහන්සේත් ලක්ඛණ තෙරණුවොත් පිණ්ඩපාතේ වඩිමින් සිටින කොට සෘද්ධිමතුන් අතර අග තැම්පත් මුගලන් හාමුදුරුවෝ සිනහ පහළ කළා. මොකද දන්නව ද බියජනක පිළිකුල් සහගත දර්ශනයක් දැකීම නිසා. හැබැයි මේක ලක්ඛණ හාමුදුරුවෝ දැක්කේ නැහැ. මුගලන් මහ රහතන් වහන්සේගේ සිනහ පහළ කිරීම ලක්ඛණ හාමුදුරුවෝ දුටුවා. ලක්ඛණ හාමුදුරුවෝ අහනවා මොකටද ස්වාමීනි සිනහ පහළ කළේ කියලා. මුගලන් මහ රහතන් වහන්සේ කියනවා ඒක කියන්න මේ වෙලාව නොවෙයි. අපි දැන් බුදුහාමුදුරුවෝ වෙත යනවානේ එතකොට අහන්න කියලා.

ගිජ්ඣකූට පර්වතයෙන් බැහැලා පිණ්ඩපාතේ වැඩම කරලා දන් වළදා බුදු හාමුදුරුවෝ බැහැදකින්න වැඩම කළා. දැන් ලක්ඛණ හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ඉදිරියේම මුගලන් මහරහතන් වහන්සේගේ සිනහ පහළ කිරීම ගැන විමසුවා. මුගලන් මහ රහතන් වහන්සේ කියනවා මම හිනාවුණේ බියජනක පිළිකුල් සහගත පෙරේතයෙක් දැක්ක නිසයි කියලා. ඒ පෙරේතයා මහ පුදුම කෙනෙක්. හිස මිනිස් හිසක්, ශරීරය සර්පයෙක් වගේ, ඒ නිසා එයාගෙ නම තමයි අහිපේ‍්‍රතයා. මෙයාගේ සිරුර යොදුන් කිහිපයක් දිගයි. හිසෙන් නගින ගින්න වලිගය දක්වා දිව යනවා වලිගයෙන් හට ගන්න ගින්න හිස දක්වා දිව යනවා. සිරුර මැදින් හට ගන්න ගින්න දෙපසටම විහිදිලා යනවා. මේ කථාව අසා සිටි බුදුහාමුදුරුවෝ හිස සලමින් එම කථාව අනුමත කරමින් මෙහෙම දේශනා කළා. ”මොග්ගල්ලාන කියන්නේ සැබෑවක් මමත් බුදු වුණු දිනයේ දී මෙම අහිපේ‍්‍රතයා දැක්කා. මම ඒ ගැන නොකිව්වේ මෙය පිළි නොගත්තොත් ඔවුන්ට අවැඩ පිණිස පවතින නිසා”. මුගලන් මහ රහතන් වහන්සේ දේශනා කළ තොරතුරු අහලා පූරුවේ මෙම පේ‍්‍රතයා කළ අකුසල කර්ම කුමක් ද කියලා බුදු හාමුදුරුවන්ගෙන් විමසා සිටියා.

මහණෙනි, අතීතයේ බරණැස් නුවර නදියක් අසල පසේ බුදුරජාණන් වහන්සේ නමකට පන්සලක් හදලා දුන්නා. ඒ පන්සලේ ඉදලා උන් වහන්සේ නිතර නගරයට පිඬු පිණිස වඩිනවා. නගරවාසීන් ද දිනපතා මල්පහන් රැගෙන උන් වහන්සේට උපස්ථාන කරන්ට යනවා. මේ අතර එක් පුද්ගලයෙක් පන්සලට යන පාර අසල කුඹුරක් තනා ගොවිතැන් කරන්නට වුණා. 

උදේ සවස පන්සලට යන මිනිසුන් නිසා කුඹුර පෑගිලා විනාශ වුණා. මිනිසුන්ට කොතෙකුත් දේ කීවත් පලක් වුණේ නෑ. මේක නවතන්ට කෙටි මාර්ගයක් කල්පනා කළා. හැබැයි ඒක හරිම භයානක එකක් වුණා. 

පන්සල තිබෙන නිසානේ මේ විනාශය කියා හිතලා පසේ බුදුහාමුදුරුවෝ පිඬු පිණිස වැඩියට පස්සේ පන්සලේ බඩු විනාශ කරලා පන්සලට ගිනි තිබ්බා. පිණ්ඩපාතේ වැඩම කරලා බලනකොට පන්සල පිලිස්සිලා තිබූ නිසා වෙනත් තැනකට වැඩම කළා. සුපුරුදු පරිදි මිනිසුන් තෙල් මල් පහන් රැගෙන පන්සලට යනකොට දැවී සුන්වී ගිය ආකාරය දැකලා මහත් කම්පාවට පත්වුණා. මිනිසුන් පසේ බුදු හාමුදුරුවෝ කොහේ වැඩියාද කියමින් සොයන අතර කුඹුරු හිමියා ද ඒ අතර වුණා. පන්සලට ගිනි තැබූවේ තමා බව පවසා සිටියා. කෝපවූ මිනිසුන් මේ දුෂ්ඨයා නිසා අපට පසේ බුදුහාමුදුරුවෝ නැතිවුණා කියලා ඔහු අල්ලාගෙන දඬු මුගුරුවලින් පහර දීලා මරා දැම්මා.

පන්සලට ගිනි තැබීමේ පාප කර්මය නිසා අවීචි මහා නරකයේ ඉපදිලා මහ පොළොව යොදුනක් වැඩෙන තුරු අනන්ත දුක් විඳලා ගිජ්ඣකූට පර්වතයේ මෙසේ ප්‍රෙතයෙක්ව ඉපදිලා දුක්විදින බවත් දේශනා කළා. මහණෙනි පාපකර්මය නම් කිරිවැනිය දොවාගත් පමණින් නොමිදෙයි, එසේම පාප කර්මද වෙනසක් නොවී විපාක දෙයි

Tuesday, September 13, 2022

ප්‍රති ප්‍රශ්න ඇතිවීම

 

ප්‍රති ප්‍රශ්න ඇතිවීම




බුදුන් වහන්සේගේ ආගමික චර්යාව එදා භාරතීය සමාජයට මහා ගැටලුවක් වී තිබුණු හෙයින් උන්වහන්සේ අපකීර්තියට පත්කිරීමට එම පිරිස් ක්‍රියා කළහ.

“නෙව සක්ඛිති උග්ගලිතුං නෙව සක්කිති ඔගිලිතුං”

යනුවෙන් ගිලින්නටත් බැරි, වමාරන්නටත් බැරි ප්‍රශ්නයක් අසමු යැයි දිනක් අභයරාජ කුමරු බුදුන් වහන්සේ වෙත පැමිණියහ. මේ සඳහා අභයරාජ කුමරු සිය කුඩා පුතු හා සහභාගි වූයේ ය. මෙම කථා පුවත අප නිතර දක්වා ඇතිමුත්, නවක පාඨකයන්ගේ දැනගැනීම සඳහා ද මාතෘකාවට අදාළ හෙයින් ද මෙහි ද සඳහන් කරමු. “ඔබ වහන්සේ මිනිසුන්ගේ සිත් රිදවනවාදැ’යි ඔවුන් ඇසූ පැනයට බුදුන් වහන්සේ ‘ඔව්’ කිව්වත්, ‘නැහැ’ කිව්වත් උන්වහන්සේ අපහසුවට පත්වීමට ඉඩ තිබුණි. මෙහි දී බුදුන් වහන්සේ ‘ඔව්’ යන පිළිතුර දුන්නේ නම්, කරුණාව ඇත්තෝ මිනිසුන්ගේ සිත් නො රිදවන හෙයින් ඔබ වහන්සේ තුළ කරුණාවක් නැතැයි චෝදනා කිරීමට ඉඩ තිබුණි. උන්වහන්සේගේ පිළිතුර ‘නැහැ’ යනුවෙන් වූයේ නම් ‘ඔබ වහන්සේ මහා බොරුකාරයෙක්, ඔබ වහන්සේ ‘නෙරයිකො දෙවදතේතා’ යනුවෙන් දෙව්දත් අපාගත වන බව පැවසුවේ යැයි චෝදනා කිරීමට ඉඩ තිබුණි. එම පැනය බුදුන් වහන්සේගේ සත්‍යවාදී බවට හා මහා කරුණා ගුණයට අභියෝගයක් වූ හෙයින් එය ගිලින්නටත් බැරි, වමාරන්නත් බැරි පැනයක් ලෙස හැඳින්වේ.

එක එල්ලේ මෙයට පිළිතුරක් දීමට නො හැකිය යනුවෙන් ප්‍රකාශ කළ බුදුන් වහන්සේ උන්වහන්සේගේ පැන විසඳන එක් ආකාරයක් වූ ‘පටිපුච්ඡා කරණීය’ (ප්‍රතිප්‍රශ්න ඇසීමේ) ක්‍රමයට අනුව එම ගැටලුව විසඳු සේක. 

අභයරාජ කුමරුගේ උකුලේ සිටි එතුමාගේ කුඩා පුත්‍රයා පෙන්වා, දරුවා කැට කැබිල්ලක් ගිල්ලහොත් ඔබ කුමක් කරන්නේදැයි බුදුන් වහන්සේ කුමරුගෙන් විචාළ සේක. “මම එය ඇදලා දමමි’ යනු කුමරුගේ පිළිතුර විය. ‘දරුවාට රිදුණොත්’, යනුවෙන් බුදුන් වහන්සේ ඇසූ පැනයට කුමරුගේ පිළිතුර වූයේ ‘දරුවාට රිදුණත්, දරුවාගේ මුවෙහි ලේ ගැලුවත්, මම දරුවාට ආදරය කරන හෙයින් මෙම කරදරයෙන් දරුවා බේරාගැනීම සඳහා මම මුවට ඇඟිල්ල දමා කැට කැබිලිත්ත අරන් දමමි’ යනුවෙනි. 

එකල්හි බුදුන් වහන්සේ ‘මම ද ශාසනයට ආදරය කරන හෙයින්, සසුන රැකගැනීම සඳහා සමහර විට සමහරුනට රළු ලෙස කථා කරන මුත්, එහි රළු බව විනා ද්වේශ සහගත චෛතසිකයක් නොමැති බව ප්‍රකාශ කළ සේක.” ඒ අනුව අප යමක හොඳ නරක තීරණය කළ යුත්තේ එහි බාහිරය නොව අභ්‍යන්තරය පිරික්සීමෙනි.

පුඤ්ඤාභිසන්ද

 

පුඤ්ඤාභිසන්ද



ඔබෙත් මගෙත් ශරීරය නිදහසේ පරිහරණය කිරීමට ලබාදුන් කාලය අවසන් වීමෙන් මලකුණක් බවට පත්වේ. අවසන් වන දිනය නො දැන, අවසන් වන බව දැන යන්නා වූ මේ ජීවන ගමන තරම් අනේකවිධ සෝචනාවන්ට තුඩු දෙන අන් යමක් මිහිපිට නොමැත ජීවත් වුව ද මළවුන් සදිසි මිනිසුන් පින් දහම්වල රස හඳුනන්නේ නැත. එහෙත් සද්ධර්මයේ රස දන්නා පුද්ගලයා මිය ගිය ද නොමළ අයෙකු ලෙස බුදුරජාණෝ පෙන්වා වදාළහ.

යුගයෙන් යුගයට ජීවිත සුවපත් කළ ශාන්ති නායකයන් වහන්සේ, නින්දා, ගැරහුම්, පැසසුම්, කිතුගොස් සම සිතින් දරා, පුරා සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී දම් පිරූහ. මහා බෝසතුන් කළ - කළ දේ පාරමී නමැති ලිය වැලේ පුෂ්පයන් බවට පත්විය. කෙලෙස් දියඹ තරණය කරන දහම් පහුර සාදා දෙනු වස් ඒ බුදුරදුන් අවිද්‍යා ඝනදුරින් වැසීගිය, කෙලෙස් සැඩ වතුර තරණය කළේ මහත්ම වීර්ය පරාක්‍රමයකිනි. නො සිතිය හැකි තරම් ධර්ම ජීවයක් හද මැදුරින් උසුලාගෙන වැඩ සිටි ධර්ම රාජයන් වහන්සේ සදා නොසිදී ගලන පුණ්‍ය ගංගාවන් හෙවත් පුඤ්ඤාභිසන්ධයන් සතරක් පහළ කළහ.

පළමු පින් ගඟ 

එහෙත් ඔබ ඒ පුණ්‍ය ගංගාවන්ගේ ගිලී නිවී සැනැහී ළය පහන් කර ගැනීමට සුදුස්සෙක් ද යන්න අවබෝධ කර ගත යුතු ය. බුදුරජාණන් වහන්සේ සරණ ගොස් නොසෙල්වෙන ලෙස චිත්ත ප්‍රසාදය ඇතිකර ගැනීම පළමු පුණ්‍ය ගංගාව ගැලීමට හේතු වෙයි. එහිදී ඔහු බුදුරජාණන් වහන්සේ පිළිබඳ අවබෝධයක් ඇතිකර ගත යුතු ය. බුදුරජුන්ගේ චරිතාපදානය රූප විලාශය, සිතුම් පැතුම්, ආකල්ප, ජීවන රටාව, කළ කී දෑ යන මේවා ගැන හොඳ වැටහීමක් ඇති අයෙකුට බුදුරදුන්ගේ අසිරිමත් ගුණ සයුරේ පමණ අනුමානයෙන් හෝ යම්තමින් සිතා ගත හැකි ය.

සසරක් පුරා දුක උරුම කරදුන්, තැවුල් ඇති කළ නොයෙක් පව්කාර සිතිවිලි වේගයන් වේ නම් ඒ සියල්ල සන්සිඳ වූ හෙයින් බුදුරදුන් නික්ලේෂී වන සැටි මෙනෙහි කළ යුතු ය. ලෝ සතුන්ගේ පිදුම් - වැඳුම් ලැබීමට ඉඳුරාම සුදුසුකම් ලද අයුරු තථාගතයන් වහන්සේගේ අරහං ගුණය ලෙස වටහා ගත යුතු ය. සංසාර බන්ධන සිදලනු පිණිස චතුරාර්ය සත්‍යාවබෝධය ලැබූ අයුරු, ඒත් සමගම සතුරන් සදිසි කෙලෙසුන් ඉවත්වී පූජනීය සිතුවිලි හමුවක් ලද ආකාරය දක්නා ශ්‍රාවකයාට බුද්ධාලම්බන ප්‍රීතිය පහළ වේ. අවබෝධයේ පමණින් ම ගොඩනැගුණ ශාන්ත දිවි පෙවෙත හැඩකළ උසස් මානසික ශක්තීන් හා හැකියාවන්වලින් පිරිපුන් ආශ්චර්ය මනුෂ්‍ය රත්නය බුදුරජාණෝ ය. කාලවාදී, සච්චවාදී වදන් වැලකින් ලෝ සතුන්ට සත්‍ය රසය දැනවූ අයුරු මහා කරුණාවක අනුහස කියා පාන්නකි. බුදුරජුන් සතුව පැවැති ලෝකාවබෝධය කිසිවෙකුටත් පමණ කළ නොහැක. එය ඤාණයක් වන අතර, බොහෝ දෙනෙක් අඳුරින් එළියට කැඳවනු ලැබූ මාර්ග සංඥක විදුලි පන්දමක් වැනි ය. දෙවි මිනිස් ප්‍රජාවට දුන් දහම් වරපට කොපමණ ශක්තිමත් ද යන්න වැටහෙන්නේ සසර අගාධයෙන් ගොඩ ආ උදවිය පමණ කළ නොහැකි නිසා ය. මේ ආකාරයෙන් බුදුරදුන්ගේ ජීවන ගුණ සමූහය ඡායාමාත්‍ර වශයෙන් හෝ සලකන අයෙකුට ඉහත පළමු පින් ගඟ ගලන්නට පටන් ගනී. හද සීත දිය බුබුළක් සේ උතුරන බුද්ධාලම්බන ප්‍රීතිය නම් වූ ජල ධාර සුවිසල් ගඟුලක් වෙමින් දිනක නිර්වාණ අම සාගරයට ගලා බසියි. බුදුරජුන්ගේ ගුණ දැනගත් පමණින් ම ඇතිවන ඒ චිත්ත ප්‍රසාදය ශ්‍රද්ධාව නම් වූ චෛතසිකය යි.

ධර්මයට ගළපාගත් ජීවිතය

මේ වන් කල්පනාවක නිමග්න ව කල් ගෙවන්නාට මානසික වෙහෙසක් නොවේ. තම ජීවිතය ද උපශාන්ත හැසිරීම් වලින් යුතු වන අතර පහළවන පින් සිතිවිලි බොහෝ කලක් හිත සුව පිණිස පවතිනු ඇත. බුද්ධ චරිතයේ ආදර්ශය තම ජීවිතයට ලැබීම නිසා අත්වැඩ ද පරවැඩ ද සමව සිතන සත්පුරුෂයන් කොතෙක් සිටිය ද ඔවුන් මහපොළවට බරක් නොවේ; දස පුණ්‍ය ක්‍රියාවන්ට ආධාරය සත්පුරුෂයා ම ය. යහපත් චේතනා උපදින නිර්මල අරමුණ බුදුරජාණන් වහන්සේ ය. බුදුගුණය අනුව ගෙන යන සතිය බුද්ධානුස්සතිය යි. එයම පළමු පුණ්‍යාභිසන්දය යි.

දෙවන පුණ්‍යාභිසන්ධය නම් තථාගත ධර්මය පිළිබඳ ව නොසෙල්වෙන චිත්තප්‍රසාදය ඇතිකර ගැනීම යි. එහිදී ධර්මයේ මනාභාවය නුවණින් දත යුතු ය. ලොව ඇති තාක් රසයන් අතර අග්‍ර රසය වන ධර්ම රසය ලැබීමට ධර්මාචාරී විය යුතු ය. තමන් විසින්ම ප්‍රත්‍යක්ෂ කර ගත හැකි බව, දත හැකිවන්නේ එවිටයි. ධර්මයට ගළපාගත් ජීවිතය තුළින් සැනසීම ලැබීමට තත්පරයකුත් ප්‍රමාද නොවේ. ඒ ඒ නිමේෂයෙහි සිත සතුටින් පුරවාලන ජීව ගුණය ධර්මයේ අකාලික භාවයයි. 

ධර්මානුකූල දිවි පෙවෙතක් හිමි අයෙකුට තම චරිතය ආදර්ශයක් කොට අන්‍යයන්ට ද දහම් සුව විඳීමට මග පෙන්විය හැකි වේ. “එන්න, මේ ධර්මයේ හැසිරී සුවපත් වන්න” යන ආරාධනාව තරම් වටිනා නිමන්ත්‍රණයක් ලොව නැත. භව ගිමනින් තැවී, කෙලෙසුන්ගෙන් ආතුර වී ජරා මරණයන්ගෙන් පීඩිත පුද්ගලයා සුවපත් කළ හැක්කේ දහම් ඔසු පෙවීමෙන් පමණි. එක් අයෙකු ප්‍රතිපත්තිමය වශයෙන් අනුගමනය කරන ධර්මය අන් අයෙකුට ඵලදායක වේ නම් අල්ප වශයෙනි. තමාම වඩන ධර්මය තමාටම සුව ගෙන දේ. එබැවින් ස්ව සන්තානයට පමුණුවා ගැනීමට සුදුසු තථාගත ධර්ම ගුණය ඕපනයික නම් වේ. 

මෙවන් ගුණ සමුදායක් හිමි තථාගත ධර්මය ගැන සිත පහදවා ගැනීම නිසා මොහොතක් පාසා පින් වඩවා ගත හැකි ය. මෙලොවට ද, පරලොවට ද, නිවනට ද එකසේ වැඩදායක බුදු බණ අනුව පහදවා ගත් සිත පින් ගඟුලක් උපදවන උල්පතක් වැනි ය.

ජීවමාන මුනි ගණය

තෙවන පුණ්‍යාභිසන්දය නම් සංඝරත්නය පිළිබඳ චිත්තප්‍රසාදය උපදවා ගැනීමයි. සාර පිළිවෙතින්, නොවරදින ගමනින් සසරින් නිවනට පියමං කරන බුදු පුතුන් ගැන සිත පහදවා ගත් ශ්‍රාවකයා දාන ශීලාදී පින් කිරියවත් අප්‍රමාදී ව සම්පාදනය කරයි. ආර්ය මහා සංඝරත්නයේ ඇද නැති සෘජු ගමන නිවන හිම් කොට ඇත්තකි. කාය - වාග් - මනෝ වංක නම් වූ තෙවැදෑරුම් අකුසලයන්ට ඉඩ නොතබා, රකින ලද සිත් ඇති සංඝරත්නය සැමකල්හි ආදර්ශමත් ය. නිවනට පිලිපන්, අර්ථවත් කථා ඇති අෂ්ඨාර්ය පුද්ගල සංඝයා දැක බලා සිත පහදවා ගැනීම් මාත්‍රය ම වුව ද කල්ප ගණනකට ඵල උදා කරන්නකි. සමීපයේ හෝ දුර ඈතක සිට හෝ පැමිණ දන් පැන් පුදා, වැඳ නමස්කාර කරන්නට පින් කෙතක් වන්නේ ආර්ය මහා සඟ රුවනයි. බුදුරදුන්ගේ ඔවාදකර ජීවමාන මුනි ගණය සංඝරත්නය වන බැවින් සඝ ගුණ හඳුනා සිත පහදවා ගැනීම හද අරණින් උතුරා ගලන පින් උල්පතක් මතුකර ගැනීමක් බව තථාගතයෝ වදාළහ.

කසාවතක් පමණක් දැක සිත පහදවා දෑත එකතු කළ උදවිය ලද අපමණ සම්පත් ගැන බණ පොතේ උගන්වයි. ලොව ඇතිතාක් පව් නසන වස්ත්‍රය වන චීවරය සිල් ගුණ සමුදායෙන් සුවඳ කවා පොරවන දසුන තරම් අන් මිහිරක් ලොව නැත්ම ය. තෙවන පුණ්‍යාභිසන්දය ඔබේ ජීවිතය හරහා ගලන්නට සලස්වන්නේ නම් සඟරුවනෙහි ගුණ අවබෝධ කරගෙන සංඝානුස්සති භාවනාවේ යෙදීම මැනවි.

සීලමය චේතනා 

බුදු සිරි මුව මඬලින් වදාළ සතරවන පින් ගඟුල නම් ශ්‍රාවකයා ආර්යකාන්ත සීලයක සමාදන්වීමයි. එහි අවමය පඤ්ච ශීලයයි. කඩ නොකර, සිදුරු නැතිවන පරිදි, ගෞරවයෙන් රක්ෂා කරන ලද සීලය, රක්ෂා කළ නොහැකි කය දිරා යන විට අමිල වටිනාකමින් යුක්ත වේ. ජරාවෙන් වෙලා පවතින පස්කඳ සිඳෙද්දී තමා විසින් පුරන ලද සීලය නිසා ඔහුට දුගති බියක් ඇති නොවේ. ආර්ය මාර්ගය පහළ කරගන්නට හැක්කේ ද සිල්වතාට පමණි. නිවන් සුවය ද සිල්වතුන්ට විශේෂ වූවකි. කඩ නොකර සිල් රැකීම පහසු දෙයක් නොවේ. එහෙත් ක්‍රමය දන්නා අයට එතරම් අපහසු දෙයක්ද නොවේ. තමාටම යහපත සලසන දිනෙන් දින වටිනාකම් වැඩිවන ධන සංචිතයක් කිසිදා දුකට හේතු නොවන්නාක් මෙන් සිතා සීලය රක්ෂා කිරීමට සත්පුරුෂයා මැළි නොවේ. රාගාදී හැඟීම්වලට වසඟ නොවී සිටීමේ හැකියාව ඇතිකර ගෙන සීලාදී පිළිවෙත් බිඳී යාමට තුඩු දෙන හේතූන් ඉවත් කිරීමට මැළි නොවීමත් මගින් ශ්‍රාවකයා පිරිසිදු සිල් ඇත්තෙක් වේ. සීලමය චේතනා බහුල කොට විසීම යනු සුවිසල් පින් ගඟක් ගැලීමකි.

මෙත් කරුණා ගුණ මහිමය හමුවේ වෛරය - කෝපය ද්වේෂය - පැරදේ

 

මෙත් කරුණා ගුණ මහිමය හමුවේ වෛරය - කෝපය ද්වේෂය - පැරදේ

ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ආදී සිතිවිලිවලින් යුතු පුද්ගලයෙක් සෑම මොහොතක ම ද්වේෂ සහගත සිතිවිලි ඇති කර ගන්නවා. එවැනි පුද්ගලයන් සමඟ කටයුතු කිරීමේ දී, ජීවත් වීමේ දී බොහෝ ගැටලු ඇතිවිය හැකියි. එහෙත් සමාජ ජීවිතයේ දී සෑම මොහොතකම අපට එවැනි අය මඟ හැර යා නොහැකියි. එසේ නම් කළ යුතු වන්නේ කුමක් ද?

අංගුත්තර නිකායේ පංචික නිපාතයේ ආඝාතපටිවිනය සූත්‍රයේ දී යම් පුද්ගලයෙක් ආඝාතයෙන්, කේන්තියෙන්, වෛරයෙන්, තරහ සිතින් අප සමඟ කටයුතු කරනවා නම්, පළමුව ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රීය සිතිවිලි උපදවා ගත යුතු බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා.

අපිරිසුදු රෙදිකඩ

එය නිදර්ශනයකින් මෙසේ දක්වා තිබෙනවා. “භික්ෂූන් වහන්සේ නමක් වීදියක වැඩම කරනවා. උන්වහන්සේ මිනිසුන්ගේ දෙපයට පෑගි අපිරිසුදු වූ රෙදි කඩක් දකිනවා. එය පාංශුකූලික රෙදි කඩක්. ඒ දුටු විගස උන්වහන්සේ එය අතට නොගෙන පාදයෙන් එහාට, මෙහාට කර බලනවා. රෙදි කඩෙහි වටේට ම අපිරිසුදුයි. ඒත් කුඩා කොටසක් පිරිසුදු බව දුටුවා. උන්වහන්සේ රෙදි කඩෙහි අපිරිසුදු කොටස ඉවත් කොට තමන්ගේ ප්‍රයෝජනයට පිරිසුදු කොටස ගන්නවා.”

මේ ආකාරයෙන් යම් පුද්ගලයෙක් කායික හා වාචසික අකුසල් සිදු කරනවා. එම ක්‍රියාවන් අප තුළ කේන්තිය හටගැනීම සඳහා බලපානවා. එවිට කළ යුත්තේ කුමක් ද? ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රී සිතිවිලි උපදවා ගැනීම යි. ඒ පුද්ගලයා කායික ව හා වාචසික ව කෙතරම් අකුසල් සිදු කළත්, ඔහුගේ කුමක් හෝ යහපත් ගුණයක් තිබෙන්නට පුළුවන්. ඒ ගුණය අගය කළයුතුයි. කෙසේ ද? අර වනවාසී භික්ෂූන් වහන්සේ, අපිරිසුදු වූ රෙදිකඩෙන්, යම් පිරිසුදු කොටසක් ගන්නවා වගේ. අර පුද්ගලයා වාචසික ව, කායික ව සිදු කරන, අප තුළ කේන්ත් ඇති කරවන දේ නොගෙන, ඔහුගේ හොඳ ගතිගුණ අගය කළ යුතු බවයි, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ.

පිපාසයට දිය පොදක්

ඒ වගේ ම යම් පුද්ගලයෙක් සෑම වෙලාවක ම ද්වේෂයෙන් කටයුතු කරනවා. අප කළ යුතු ඔහු සමඟ එකතු වී එකට එක කිරීම ද? නෑ. එය කෙළවරක් නොවන කරුණක්. ඒ නිසා ඔහු කෙරෙහි කරුණාවක් ඇති කර ගන්නට ඕනෑ. කෙසේ ද? “අනේ මේ මානවකයා පව් නේද? අසරණයෙක් නේද?” කියන හැඟීම ඇති කරගත යුතුයි.

යම් කෙනෙක් අප සමඟ ගැටීමකට එනවා. අප ඒ පුද්ගලයා නොරිස්සනවා නම්, ගැටුමකට, වෛර කිරීමකට, සිත දූෂණය කර ගැනීමකට යොමු වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා එම පුද්ගලයා කෙරෙහි කරුණාව උපදවා ගැනීම අවශ්‍යයයි. කෙසේ ද? “යම් පුද්ගලයෙක් දීර්ඝ ගමනක් යනවා. ඔහුට දැඩි පිපාසයක් ඇතිවෙනවා. එසේ පිපාසයෙන් ගමන් කරන විට පොකුණක් හමුවෙනවා. එම පොකුණ ගස්වල කොළවලින්, පාසිවලින් හා දියසෙවලින් පිරිලා. ඒත් වතුර පිරිසුදුයි. පිපාසය සහිත පුද්ගලයා මේ පොකුණට බසිනවා. රොඩු, දිය සෙවල, පාසි දෑතින් ඉවත් කර පිරිසුදු ජලය පානය කරන්නට උත්සාහ කරනවා.”

පටිඝය නැති නම් කේන්තිය තියෙන පුද්ගලයාත් එසේ විය යුතුයි. ඇසුරු කරන පුද්ගලයා ඔහුගේ ඒ දුර්ගුණ ඉවත් කළ යුතුයි. ඔහු ප්‍රතික්ෂේප නොකළ යුතුයි. නරක ප්‍රතික්ෂේප කර ඔහු තුළ පවතින හොඳ ගතිගුණය ඉස්මතු කර ලබා ගත යුතුයි.

දෝෂ නොදැකීම

ඊළඟ කරුණ ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් කිසි පුද්ගලයෙක් ආඝාතයෙන් නැතිනම් වෛරයෙන්, පළිගැනීමේ චේතනාවෙන් පසුවෙනවා. ඒ පුද්ගලයා කෙරෙහි උපේක්ඛා සහගත විය යුතුයි. කෙසේ ද? යම් පුද්ගලයෙක් ගමනක් යන විට ගවයන්ගේ කුර සටහන් පොළවේ සටහන් ව තිබෙනවා දකිනවා. ඒ කුර සටහන්වල ජලය රැඳී පවතිනවා. මේ පුද්ගලයාට බොහොම පිපාසයි. “මේ වතුර ටික කෝප්පයකට හෝ භාජනයකට ගැනීමට පුළුවන්කමක් නැහැ.” ඔහු මෙම අවස්ථාව පිළිබඳ ව උපේක්ෂා සහගත වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කොහොමද මහණෙනි, මේ පැන් පානය කරන්නේ? “දෙපා දණ ගසාගෙන, දෙඅත් බිම තබා ගවයෙක් ජලය පානය කරන්නේ යම් සේ ද? ඒ ආකාරයෙන් ගව කුර සටහන් හි එකතුව ඇති ජලය පානය කරන්නා සේ අනෙකාගේ අවැඩ ගැන කතා කරන්නේ නැතිව, අනෙකාගේ දෝෂ දකින්නේ නැතිව ඒ කෙරෙහි උපේක්ෂාවෙන් ලැබිය හැකි හොඳම දේ පමණක් ලැබිය යුතුයි. එසේ නොවුණොත් අපට සිදු වන්නේ පටිඝයත්, වෛරයත් ඇති කර ගැනීම පමණ යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.

මානසික සුවය 

එසේ ම යම් පුද්ගලයෙක් කළ වැරැද්ද යළි යළි සිහි කිරීමේ දී ඔහු පිළිබඳ ව, ඔහු සමඟ අපට මානසික වශයෙන් ගැටීමක් ඇතිවෙනවා. ඒ මානසික ගැටීම නැති කර ගැනීමට නම් ඔහු පිළිබඳ ව කරන ආවර්ජනය එනම්, ඔහු කළ ක්‍රියාව පිළිබඳව යළි යළිත් මතකයට ගැනීම අනවශ්‍යයයි. එසේ සිදු කිරීමෙන් අපට මානසික සුවයකින් පසු විය හැකියි.

යම් කිසි පුද්ගලයෙක් කයෙන්, වචනයෙන් යන දෙ අංශයෙන් ම නරක අකුසල් සිදු කරනවා නම් ඒ පුද්ගලයා ඈත් කළ යුතුයි. ඒ පුද්ගලයා කෙරෙහි උපේක්ෂා සහගත විය යුත්තේ කොහොම ද කියා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.

භවය දිගුකර ගැනීම

ගිලන් වූ පුද්ගලයෙක් දීර්ඝ ගමනක් යනවා. ගමනෙහි දුරෙන් මධ්‍යයට පැමිණි විට ඔහුගේ රෝගී තත්ත්වය වැඩි වෙනවා. ඒ අවස්ථාවේ දී ඔහුට ගැළපෙන බෙහෙත්, උදව්කරන්න, උපස්ථාන කරන්න කෙනෙක්, ගැළපෙන ආහාර හා ලැඟුම් ගැනීමට ස්ථානයක් ඇත්තේ නෑ. ඔහු අසරණ වෙනවා. ආපසු හැරී යෑමටත් නොහැකියි. ගමනාන්තයට පැමිණි දුර සේ දුර ප්‍රමාණයක් තිබෙනවා. එසේ ගමනේ මැද අතරමං වූ පුද්ගලයෙක් දෙස යම් කිසි පුද්ගලයෙක් උපේක්ෂා සහගත ව, අනුකම්පාවෙන් බලනවා සේ, මේ කර්මය දායාද කොට ඇති සත්ත්වයෙක්. කර්මය මගේ කියා, කර්මය ස්වකීය කොට හැදෙන වැඩෙන සත්ත්වයෙක්, තව තවත් මේ ආකාරයෙන් අකුසල කර්ම සිදු කර ගැනීමෙන් ඔහුගේ භවය තවත් දිගු වෙනවා. අප ද ඔහු සමඟ එකට එකතු නොවිය යුතුයි. භව ගමනේ දී අප ද ඔහු පසුපස ගමන් කරන්නන් බවට පත් නොවිය යුතුයි, යනුවෙන් කල්පනා කරන ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.



Saturday, May 14, 2022

දේවදූත සූත්‍රය:

 දේවදූත සූත්‍රය:



විස්මිත නුවණින් දැක වදහළ නිරයේ සැබෑ තත්ත්වය

මහමෙව්නා භාවනා අසපු සංචිතයේ

නිර්මාතෘ සහ අනුශාසක

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි


මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කර ලාංකේය ජනතාවට කියා දුන් මූලිකම බුද්ධ දේශනාවලින් එකක් වන්නේ දේවදූත සූත්‍රය යි. මෙම දේශනාව ඇතුළත් වන්නේ මජ්ක්‍ධිම නිකායට යි.


මේ දේශනාවෙන් හෙළිදරව් වෙන දේ සාමාන්‍ය ලෝකයේ කිසිවෙකුත් නො දන්නා, භාග්‍යවතුන් වහන්සේගේ විස්මිත අවබෝධයේ එක් සුවිශේෂී පැතිකඩක්. කර්ම, කර්මඵල විශ්වාසය නො මැති යථාභූත ඤාණයක් නැති කෙනෙකුට සිතාගන්නවත් බැරි දෙයක්. ඒ තමයි නිරය ගැන සැබෑ තත්ත්වය. බුදුරජාණන් වහන්සේ නිරයේ ස්වභාවය පරිපූර්ණ ලෙසම අවබෝධ කළසේක. හතරවෙනි ධ්‍යානය දක්වා සිත දියුණු කර, උන්වහන්සේට හැකිවුණා සත්ත්වයින් චුත වන ආකාරයත්, උපදින ආකාරයත් දකින්න.

විස්මිත නුවණකි උපදවා ගත්තේ...

භාග්‍යවතුන් වහන්සේ සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවා ගිය පිරිසුදු දිවැස් නුවණින් මෙසේ දැක වදාළා. සමහර සත්ත්වයන් කයෙන් සුචරිතයේ යෙදෙනවා. වචනයෙන් සුචරිතයේ යෙදෙනවා. මනසින් සුචරිතයේ යෙදෙනවා. යහපත් ජීවිතයක් ගත කරනවා. බුදු,පසේබුදුු, මහරහත් ආදී ආර්යයන් වහන්සේලාට, ආර්ය ධර්මයට ගරහන්නේ නැහැ. සම්මා දිට්ඨියෙන් යුතුව දස කුසල් ධර්මයන් සිදු කොට මරණින් මතු සුගතියේ උපදිනවා. එසේ නැතිනම් මිනිස් ලොව යහපත් උපතක් කරා පැමිණෙනවා.


ඒ වගේම සමහර අය ආර්යයන් වහන්සේලාට, ආර්ය ධර්මයට නින්දා අපහාස කරමින් ආර්ය උපවාදයේ යෙදෙනවා. මිථ්‍යා දෘෂ්ඨියෙන් යුතුව සිතින්,කයින්, වචනයෙන් දස අකුසල කර්මයන් රැස් කර ගන්නවා. මේ ආකාරයට බොහෝ පව් රැස්කරගෙන මරණින් මතු අප්‍රමාණ දුක් ඇති නිරයේ උපදිනවා. ඕපපාතිකව නිරයේ ඉපදුන නිරි සතා, යමපල්ලන් හෙවත් නිරය පාලකයින් විසින් අත්දෙකෙන් ඇදගෙන ගොස් යම රජ්ජුරුවන් වෙත පමුණුවනවා. “දේවයන් වහන්ස, මේ පුරුෂයා මවට අයහපත කළ කෙනෙක්. පියාට අයහපත කරපු කෙනෙක්. ශ්‍රමණයන් වහන්සේලාට අයහපත කළු කෙනෙක්. උතුම් පුද්ගලයන්ට අයහපත කළු කෙනෙක්. කුල දෙටුවන් නො පිදූ කෙනෙක්. දේවයන් වහන්ස, මොහුට දඬුවම් පමුණුවනු මැනව“ කියා පවසනවා.

සැබෑ දේවදූතයෝ...

භාග්‍යවතුන් වහන්සේ වදාළා, යම රජ්ජුරුවන් ඒ නිරි සතාට දේවදූතයන් ගැන කරුණු මතුකරමින්, ඔහුගෙන් ප්‍රශ්න විමසන බව.


“එම්බා පුරුෂය, නුඹ දැක්කේ නැද්ද, මිනිසුන් අතරේ ළදරුවන් මළමුත්‍රා කරමින් උඩු අතට සයනය කරමින් සිටින හැටි? එම්බා පුරුෂය, බුද්ධිමත් වැඩිහිටියෙක්ව සිටි ඔබත් ඉපදීම ස්වභාව කොට ඇති කෙනෙක්. ඉපදීම ඉක්මවා ගොස් නැහැ. ඒ නිසා මම කයින්, වචනයෙන් , මනසින් පින් කරන්නට ඕනෑ කියා සිතුණේ නැද්ද?”


නුඹට සිතුනේ නැද්ද? මමත් රෝගී වෙන ස්වභාවයෙන් යුක්තයි. රෝගී වන ස්වභාවය ඉක්මවා ගොස් නැහැ කියා එහෙනම් මම කයින්, වචනයෙන් , මනසින් පින් කරන්නට ඕනෑ කියා”


නුඹ දැක්කේ නැද්ද, රජවරු දරුණු අපරාධ කළ සොරෙක් අල්ලාගෙන ඒ අපරාධකරුට කසපහර දෙමින්, දඬු මුගුරු ගසමින් දඬුවම් දෙන ආකාරය. ඒ වගේම දරුණු අපරාධකරුවන්ට මරණීය දණ්ඩනය දෙන ආකාරය. නුඹට එවිට සිතුණේ නැද්ද? පව්කම් කළ කෙනෙකුට මෙලොව විඳින්න වෙන දුක මෙබඳු නම්, පරලොව දී විඳින දුක් ගැන කවර කථාද කියා. ඒනිසා මම තිදොරින් ම පින් රැස් කරගන්නට ඕනෑ කියා.


එම්බා පුරුෂය, නුඹ දුටුවේ නැද්ද බොහෝ දුර්වල වූ, සම රැළි වැටුණ , දත් කැඩුන, කෙස් ඉදුන, අතපය වාරුනැති වයසට ගිය පුද්ගලයන්. නුඹට සිතුනේ නැද්ද මමත් වයසට යන කෙනෙක්, වයසට යාම බොහෝ දුකක් ඒ නිසා කයින්, වචනයෙන්, මනසින් පින් කරන්න ඕනෑ කියලා.


එම්බා පුරුෂයා, නුඹ දැක්කේ නැද්ද, ස්ත්‍රී පුරුෂයන් මරණයට පත්වෙලා ඉන්නවා. එවිට ඔබට සිතුනේ නැද්ද මමත්, මරණයට පත්වෙන ස්වභාවයෙන් යුක්තයි. මරණය ඉක්මවා ගොස් නැහැ. එම නිසා මම අප්‍රමාදීව පින් රැස් කරගන්න ඕනෑ කියා.


ප්‍රමාදය පසුතැවිල්ලට මුලයි

මේ විදිහට දේවදූතයන් පස්දෙනා සිහිකරමින් කරුණු විමසද්දී අකුසල් කොට නිරයේ ඉපදුනු නිරි සතා ඉතා කනගාටුවෙන් බැගෑපත්ව මෙසේ පවසන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ස්වාමීනි, මම ඒ දේවදූතයන් පස්දෙනා දුටුවත් පින්කර ගත්තේ නැහැ. ප්‍රමාද වුණා.


ඉන්පසු එම නිරි සතාට යමපල්ලන් පස් ආකාරයක බන්ධනය නම් වූ දඬුවම් ලබා දෙනවා. එනම් ගිනියම් යකඩ හුල් අත් දෙකේ ගහනවා. එවැනිම ගිනියම් යකඩ හුලකින් දෙකක් පා දෙකට ගහනවා. තවත් ගිනියම් යකඩ හුලස් පපුවට අනිනවා. ඒ හේතුවෙන් එම නිරි සතා ඉතා දරුණු වූ දැඩි දුකක් විඳිනවා. නමුත් යම්තාක්, ඔහුගේ ඒ පාප කර්මය ගෙවී නො තිබෙයිද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නැහැ.

කවදානම් මේ දුකින් නිදහස් වෙමුද?

ඉන්පසු යමපල්ලන් ඔහු යකඩ පොළොවක බාවලා කෙටේරිවලින් සහිනවා. ඒ නිරිසතා කකුල් උඩු අතට හරවා ඔලුවෙන් සිටුවා වෑයෙන් සහිනවා. ඉන්පසු ගිනිගෙන දිලිසෙන රථයක ගැටගසා, හාත්පසින් ගිනිඇවිලී තිබෙන ගිනියම් වූ යකඩ පොළොවේ එහා මෙහා ඇදගෙන යනවා. හාත්පසින ගිනි ඇවිළගත් ගිනියම් වූ පර්වතයනට නග්ගනවා. ඊටත් පසු කකුල් උඩු අතට හරවා හිස පහතට හරවා ගිනි ඇවිලගත් ගිනියම් වූ ලෝකුඹූ නිරයේ ඔබනවා. එතැන දී ඔහුගේ ශරීරය ඒ ලෝදිය හැලියේ පෙණ ගුලියක් බඳුවන උඩට යටට යමින් පැහෙනවා. අවුරුදු දහස් ගණනක් ඒ නිරි සතා ඉතා දරුණු වූ දැඩි දුක් විඳිනවා. ඉන්පසු ඔහු වැටෙන්නේ ගූථ නිරයට යි. එහි ගිලුන ඔහුගේ මස් නහර ඇට ,ඇට මිඳුළු තියුණු තුඩ ඇති පණුවන් විසින් කා දමනවා. ඉන්පසු ඔහු හුණු අළු නිරයට වැටී බොහෝ කල් කටුක දුක් විඳිනවා. ඊළඟට ඇතුල්වන්නේ අසිපත් වැනි තියුණු කොළ ඇති ගස් තිබෙන අසිපත් වනයට යි. එහිදී සුළඟට සෙලවි සෙලවී වැටෙන අසිපත් බඳු කොළවලින් ඔහුගේ කන, නාසා අතපය කැපී යනවා. බැගෑපත්ව හඬ නගමින් ඒ වනය මැදින් ශරීරය අවයව කැපී දිවයන නිිරි සතා ඉන්පසු වැටෙන්නේ වේතරණී නම් ලුනු දිය ගංගාවට යි.


එහිදී ද දරුණු, තියුණු, කටුක දුක් විඳින නිරිසතා යමපල්ලන් විසින් බිලී කොකු දමා ගොඩ ගන්නවා. එතැනදී බඩගින්නට , පිපාසයට ලැබෙන්නේ ගිනිගෙන දැවෙන යකඩ ගුලිත්, ලෝදියත් පමණ යි. ශරීර අවයව පුළුස්සා දමමින් ඒවා ගුද මාර්ගයෙන් පිටවෙනවා. නමුත් කර්මය ගෙවී අවසන් වනතුරුම එම නිරිසතා මරණයට පත්වන්නේ නැහැ. ආයෙමත් යමපල්ලන් ඔහු මහා නිරයට ඇද දමනවා.


මෙම අද්භූත හෙළිදරව්ව සිදුකළ භාග්‍යවතුන් වහන්සේ අවසානයේ මෙසේ වදාළා. "පින්වත් මහණෙනි, මම නිරය පිළිබඳව දේශනා කරන්නේ කාගෙන්වත් අසා දැනගෙන නොවේ. මම දැනගෙන, මම ම දැකගෙන තථාගතයන් වහන්සේ ම අවබෝධ, කොටගෙනයි මෙය පෙන්වා දෙන්නේ." එම නිසා පින්වත්නි, මේ දුක්ඛිත සංසාර ගමනින් එතෙර වන්නට ගෞතම බුද්ධ ශාසනය තුළ පිළිවෙත් පිරීමට අපි වඩාත් අප්‍රමාදි වෙමු.


- නයනා නිල්මිණී


Monday, April 18, 2022

බුදු දහමෙන් ප්‍රකට වන සැබෑ නායකයා

 


බුදු දහමෙන් ප්‍රකට වන සැබෑ නායකයා

නායකත්වය කියන වචනයේ සැබෑ අර්ථයක් තිබෙනවා. හැම කෙනෙක් ම නායකයෙක් වීම තමයි අවශ්‍ය වන්නේ. එහෙම වුණත් හැම කෙනෙක් ම නායකයෙක් වෙන්නට කැමත්තක් නැහැ. නායක නො වන අය බොහෝවිට පිටිපස්සට තල්ලුවෙන්නට කැමති වෙනවා. 

නායකයා වෙන්නට කැමැති අය එහෙම නොවේ. ඒ පුද්ගලයා ඉදිරියටම යන්නට යි කැමති. රැස්වීමකට ගියත්, සාකච්ඡාවකට ගියත් ඉදිරිපෙළටම ඇවිත් ඊට ඕනකමින් සහභාගිත්වය දක්වනවා. දුරස්තවීමක්, පසුබට වීමක් නැහැ. සමාජයේ අපිට මේ තත්ත්වයන් සුලබ ව දකින්නට පුළුවන්. අපි දකිනවා සමහර අවස්ථාවල දී ගුරුවරයා කිසියම් පන්තියකට ගිහින් පාඩමක් කියලා දෙන්නට සූදානම් වෙනකොට සමහර සිසුන් ඉදිරියට ම ඇවිත් ඊට සවන් දීලා ඕනකමින් ම ඊට අවධානය ලක් කරනවා. සමහර සිසුන් ගුරුවරයා පන්තියට පැමිණි පසු ව පිටිපස්සට ගිහින් ඊට වැඩි ම අවධානයක් නැතිව ක්‍රියා කරනවා. අවසානයේ දී එවැනි සිසුන් අසාර්ථක ප්‍රතිඵලයි ලබා ගන්නේ. එහෙම වුණත් ගුරුවරු හැටියට අපේක්ෂා කරන්නේ ඒ පිටිපස්සට තල්ලුවෙන ශිෂ්‍යයා ඉදිරියට අරගෙන ඇවිත් සක්‍රිය ව ඔවුන් පාඩමට සහභාගි කරවා විභාගයෙන් සාර්ථක ප්‍රතිඵල ලබා දෙන්නට යි. 

පෙරමුණ ගැනීම

මේ පෙරමුණට ඒම, ඉදිරියට ඒම හොඳ නායක ලක්ෂණයක්. ඒක කෙනෙක් හිතන්න පුළුවන් ඔහු කෑපී පෙනෙන්නට ගත් උත්සාහයක් කියලා. නැහැ. හැම විටම ආචාර්යවරයා කල්පනා කරන්නේ තමන් භාරයේ සිටින හැම ශිෂ්‍ය දරුවෙක් ම පෙරමුණට පමුණුවා නායකයෙකු බවට පත් කිරීමට යි. ඉතින් මේ නායකත්වය කියන එක අහම්බෙන් හෝ ඉබේ ම ලබන්නට හැකි දෙයකුත් නො වේ. ඊට අවශ්‍ය ශක්තීන් ක්‍රමයෙන් ගොඩනගා ගන්නට ඕන. ඒවාට කියන ධර්මානුකූල වචනයක් ලෙස පාරමිතා යන්න අපට පෙන්වා දිය හැකියි. 

අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කර ගැනීම පිණිස අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරක් පුරා දානාදි පාරමී ධර්ම සම්පූර්ණ කළ බව අපේ බෞද්ධ ඉතිහාසයෙහි සඳහන් වේ. එතකොට උන්වහන්සේ මෙම උත්තරීතර බුද්ධත්වය ලබා ගැනිම සිදු කළේ එවැනි උත්තරීතර නායකත්වයකට අවශ්‍ය කරන ශක්තීන් අසංඛ්‍ය කාලයක් පුරා සම්පුර්ණ කර ගත් නිස යි. බුදුවරයෙක්, මේ කාම, රූප, අරූප කියන ලෝක තුනටම නායකත්වය දෙන්නා කියන අර්ථයෙනුත් සම්මාන කෙරෙනවා. ඒ නිසා ම උන්වහන්සේ අපේ බෞද්ධ පොත්පත්වල තෛ‍්‍රලෝක නායක හෙවත් තිලෝනා ආදි වචනවලින් හඳුන්වා දෙනවා. එහෙත් බුදුවරු සුලභ වන්නේ නැහැ. 

තනතුරු ප්‍රදානය

බුද්ධුප්පාදො ච දුල්ලභො කියලයි අපේ ධර්මයෙහි පෙන්වා දෙන්නේ. ඉතින් ඒ බුද්ධත්වය කියන මේ පදවියට පහළ මට්ටමේ තවත් පදවි දෙකක් පෙන්වා දී තිබෙනවා. ඒ තමයි බුදුවරයෙකුට පමණක් දෙවෙනි වන අග්‍රශ්‍රාවක තනතුර. 

ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අග්‍රශ්‍රාවක තනතුරු වමත් සව් හා දකුණත් සව් වශයෙන් වර්ග කර ලබා දෙන්නේ නවම් පුර පසළොස්වක පොහෝ දිනක යි. එදා තමන්වහන්සේ බුද්ධත්වයට පත් වීමෙන් පසු පැවැත්වුණු පළමු වන මහ සංඝසභා රැස්වීමේදී මේ තනතුරු පත් කරන්නට යෙදුණේ. එදා රජගහනුවර වෙළුවන මහා විහාරය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මේ මහාසංඝ සන්නිපාතයක් පැවැත්වූයේ නායකයන් දෙපළක් පත් කිරීම අරමුණු කර ගෙන යි. ඒ මහාසඟ සමුළුවට පැමිණ සහභාගිත්වය දැක්වූවන් අතර උරුවෙල, නදී, හා ගයා යන ඒ වනවිට රහත් භාවයට පත්ව සිටි කාශ්‍යප සහෝදර නායක රහතන් වහන්සේලා හා උන්වහන්සේලාගේ පිරිවර දහසක් දෙනාත්, සැරියුත් හා මුගලන් යන මහතෙරුන් වහන්සේලා දෙනම හා තවත් දෙසිය පනහක රහතන් වහන්සේලා ඇතුළුව මේ පිරිස 1250 ක් තරම් වූ පිරිසක් සහභාගි වූ මහාසංඝ සම්මේලනයක්.

විරුද්ධ මත

ධර්මසේනාධිපති සැරියුත් මහතෙරුන් වහන්සේ හා මහාසෘද්ධිලාභි මුගලන් මහරහතන් වහන්සේ පිළිවෙළින් අපේ බුදුරජාණන් වහන්සේගේ දකුණත් සව් හා වමත්සව් වශයෙන් නම් කර එම මහා පදවි දෙක පත් කෙරුණා. මේ අවස්ථාවේ දී විවිධ මතිමතාන්තර එදා එම සංඝ සමාජයෙන් ඉස්මතු වුණා. මුලින් ම අපේ බුදුරජාණන් වහන්සේ වෙත පැවිදි ව ප්‍රථමයෙන් ම ධර්මාවබෝධය ලැබ ගත් කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ හැම අතින් ම නායකත්වයට පත් ව සිටි සංඝ පිතෘන් වහන්සේ නම යි. මේ අවස්ථාවේ දී සෙසු වප්ප, භද්දිය, මහානාම, අස්සජී යන පස්වග භික්ෂූන් වහන්සේලා ත් වැඩ සිටිද්දී ඇයි මේ පත්කිරීම සැරියුත් හා මුගලන් යන ඒ වනවිට කණිෂ්ඨත්වයෙන් සිටි දෙනමකට පත් කළේ යනුවෙන්. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ මේ දෙනම ගැන පැහැදිලි සඳහනක් කළා.” 

මහණෙනි, ඔය කියන පස්වග භික්ෂූන් වහන්සේලා, යස නම් වූ භික්ෂුව, භද්‍ර වර්ගික භික්ෂූන් තිස්දෙනා, තුන් බෑ ජටිල භික්ෂූන් හා පිරිවර දහසක් දෙනා වහන්සේ අගසව් තනතුරු අපේක්ෂාවෙන් ඊට අවශ්‍ය සුදුසුකම් සපුරාගනු පිණිස පාරමී දහම් පිරූ පිරිසක් නො වේ. ඒ අය වෙනත් ප්‍රාර්ථනා මුදුන්පත් කර ගනු පිණිස ඊට අවශ්‍ය පිළිවෙත් සපුරා ගත් පිරිසක්. එහෙම නොවේ මේ සැරියුත් හා මුගලන් යන දෙනම, මේ දෙනමගෙන් සැරියුත් තෙරුන් වහන්සේ මෙයට කල්ප ලක්ෂයකට පෙර සිට බමුණු කුලයක සරද මානවක නමින් හා මුගලන් තෙරුන් වහන්සේ මහසල් කුලයක සිරිවඩ්ඪ නමින් ඉපිදි එදා සිට පඤ්ච අභිඥා අෂ්ටසමාපත්ති යන ලෞකික ධ්‍යාන පවා උපදවා සිටි අතර තවුස් පැවිද්දෙන් පැවිදි බවද ලබා සිටියා. ඉතින් එදා ලොව බුදුව වැඩ විසූ අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ දවස සිට සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේහි මෙම අග්‍රශ්‍රාවක තනතුරු අපේක්ෂාවෙන් පෙරුම්දම් පුරා මේ බුද්ධාන්තරයෙහි ප්‍රථම සංඝසන්නිපාත අවස්ථාවෙහි මෙසේ අග්‍රශ්‍රාවක තනතුරු ලැබුවා.” දැන් අපට වැටහෙනවා අපේ බුදුරජාණන් වහන්සේ අතීත භවයන් ආවර්ජනා කොට බලා මේ දෙදෙනා වහන්සේට මෙසේ අගතනතුරු ලබා දුන්නේ කුමන පදනමකින් ද? කියන මේ කාරණ ය. මෙහි දී අපට වැදගත් වන්නේ අන්කිසිවක් නොව කිසියම් තනතුරක් බුද්ධ නියමය අනුව ලබා දිමට නම් එවැනි තනතුරකට යෝග්‍ය අයෝග්‍ය භාවය විමසීම පිණිස මේ සුදුසුකම් පිළිබඳ විනිශ්චයක් කර තිබීම තුළින් එහි විනිවිද භාවය ප්‍රකාශ වීම. පස්වග භික්ෂූන් වහන්සේලා වැනි ජ්‍යෙෂ්ඨත්වයට පත් රහතන් වහන්සේලා එදා දහස ද ඉක්මවා වැඩ සිටියත් මෙම අග්‍රශ්‍රාවක නමැති නායක තානාන්තරය ප්‍රදානයට අවශ්‍ය වන්නේ ඒ සඳහා කෙ තරම් දුරට යෝග්‍ය ද සපුරා ඇත් ද? යන්න විවිධ පැතිකඩ ඔස්සේ බුදුරජාණන් වහන්සේ විමසා බලා එම නිවැරදි තිරණයට පැමිණ ඇති බව අපට පැහැදිලිය.

එපමණක් නොවේ. එදා අපේ බුදුරජාණන් වහන්සේ තෛ‍්‍රලෝක නායක නම් උත්තරීතර තත්ත්වයට පත් ව වැඩ වසන කල මෙම තනතුරු ප්‍රදානයෙන් පසු උන්වහන්සේ ළඟට එම වගකීම් ඉටු කිරීමට වැඩ සිටියේ සැරියුත් හා මුගලන් යන මේ මහරහතන් වහන්සේ දෙනම යි. දැන් අප විමසා බැලිය යුත්තේ එම දෙනම එම වගකීම සපුරාලීමේ දී මෙම නායකත්වය කෙ තරම් දුරට තහවුරු වෙනවා ද? යන්න යි. එමෙන් ම බුදුරජාණන් වහන්සේ මේ ප්‍රධාන නායක තනතුරු දෙක පත් කිරීමෙන් පසු සැරියුත් හා මුගලන් මහරහතන් වහන්සේලා එම විශ්වාසය කෙතෙක් දුරට තහවුරු කළා ද? යන්න විමසා බැලීම වැදගත් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ අතිශ්‍රේෂ්ඨ දේශනාව ලෙස ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව යි. බුදුරජාණන් වහන්සේ සැකෙවින් කළ මෙම ගැඹුරු දේශනාව භික්ෂූන් වහන්සේලා සඳහා විස්තර වශයෙන් දම්සෙනෙවි සැරියුත් මහ රහතන් වහන්සේ ලවා දේශනා කෙරෙව්වා. එම අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට කතා කරලා අග්‍රශ්‍රාවක දෙනමගේ ගුණ වර්ණනා කර උන්වහන්සේලා දෙනම ඇසුරු කිරීමේ වටිනාකම ප්‍රකාශ කර තිබෙනවා. එය සැබෑ නායක ලක්ෂණ විදහා දක්වන අවස්ථාවක්. 

ප්‍රතිපත්තියෙන් සංග්‍රහ කිරීම

මෙහි එන චතුරාර්ය සත්‍ය දේශනාව විසිතුරු කර පැහැදලි කර දේශනා කරන්නට සැරියුත් මහතෙරුන් වහන්සේ දක්වන සමත් බව ඇගයීමට ලක් කළ බුදුරජාණන් වහන්සේ මොහොතකින් තමන් වහන්සේගේ ගන්ධ කුටියට වැඩම කළා. එහි දී අග්‍රශ්‍රාවක දෙනම සම්බන්ධයෙන් සැලකිය යුතු වර්ණනාවක් ගෙන හැර පෙන්වා දුන්නා. ” මහණෙනි, සැරියුත් හා මුගලන් යන දෙනම ඇසුරු කරන්න. උන්වහන්සේලා දෙනම ඥානවන්ත යි. සෙසු භික්ෂූන් වහන්සේලා පිළිබඳ සංග්‍රහශීලි යි. සැරියුත් තෙරුන් වහන්සේ සෙසු භික්ෂූන් වහන්සේට වැදූ මව හා සමානව පුත්‍ර ස්නේහයෙන් යුක්තව කරුණාව දක්වනවා. මොග්ගල්ලායන තෙරුන් වහන්සේ එම වැදූ දරුවන් හා සමාන භික්ෂු මහාශ්‍රාවකයන් වහන්සේලාට කිරි මව් මෙන් කිරි වෙඬරු ආදිය දෙවමින් පෝෂණය කරනවා.” මේ ආකාරයෙන් සැරියුත් මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ ශිෂ්‍ය භාවයට පත් වූ භික්ෂන් වහන්සේලාට මෙන් ම වෙනත් මහතෙරුන් වහන්සේ වෙතින් පැවිදි බව ලද භික්ෂූන් වහන්සේලාට ද වෙනසක් නැතිව එක හා සමාන ව ආමිසයෙන් මෙන් ම ධර්මයෙන් හෙවත් ප්‍රතිපත්තියෙන් ද සංග්‍රහ කෙරමින් ගිලන් ගති ඇති භික්ෂූන් වහන්සේට ද ඇප උපස්ථාන කරමින්, ගිලන් නො වූ නිරෝගි භික්ෂූන් වහන්සේලාට ද ධර්මානුකූල ව අවවාද අනුශාසනා කරමින් උන්වහන්සේලාගේ චරිතානුකූලව කමටහන් ලබා දෙමින් එම භික්ෂූන් සෝවාන් ඵලයෙහි පිහිටුවනවා. 

මෙම සෝවාන් ඵලයෙහි පිහිටුවාලීමෙන් පසුව උන්වහන්සේලා නැවත සතර අපායට වැටෙන්නේ නැහැ. ඒ වගේ ම පෙරට ම ගමන් කර සසර කෙටි කර ගැනීමේ ශක්තිය උන්වහන්සේලා හිමිකර ගන්නවා. ඉතිරි මාර්ග ඵල තුනට පැමිණීමේ ශක්තිය ඇතිව උන්වහන්සේලා ක්‍රියා කරනවා. මේ නිසා සැරියුත් මහරහතන් වහන්සේ ඉන්පසු තවත් එවැනි පුහුදුන් භික්ෂූන් වහන්සේ සොයා ගොස් ඒ නවක භික්ෂූන් සෝවාන්ඵලයටවත් පැමිණිම පිණිස අවවාද අනුශාසනා කරනවා. 

මේ අවස්ථාවේ දී මුගලන් මහරහතන් වහන්සේ වෙතින් තවත් කාර්යභාරයක් ඉටු කෙරෙනවා. එනම් සැරියුත් මහරහතන් වහන්සේ සෝවාන් ඵලය දක්වා හික්මවනු ලැබු අවවාද අනුශාසනා දෙනු ලැබූ භික්ෂූන් වහන්සේට ඉතිරි මාර්ග ඵල තුන සපුරා ගැනිම පිණිස රහත් බව පිණිස අවවාද අනුශාසනා කිරිම යි. බුදුරජාණන්වහන්සේ තුන්ලොවට ම නායකත්වය දරමින් සසර සැරි සරන පුහුදුන් සත්ත්වයා කරෙහි මහාකරුණාවෙන් ක්‍රියා කරමින් ඒ හැම දෙනාට ම සසර විමුක්තිය ලබාදීමේ කාර්යය ඉටු කිරීමේ දී ඒ ඉලක්කය සපුරා ගනු පිණිස තමන් වහන්සේ විසින් නායකත්වයට පත් කෙරනු ලැබූ මෙම අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමසහයෝගයෙන් බුදුරජාණන් වහන්සේගේ අරමුණ සඵලකර ගැනිම සඳහා දෙවැනි මට්ටමේ නායකත්වයක් දෙමින් එම දෙදෙනා වහන්සේ සහයෝගයෙන් ක්‍රියා කරනවා ද කියන මේ කාරණය යි.

අග තනතුරේ වගකීම

එපමණක් නොව සමහර අවස්ථාවල දී බුදුරජාණන් වහන්සේ මේ දෙදෙනා වහන්සේ ළඟට කැඳවා උන්වහන්සේලා දෙනමට අවවාද අනුශාසනා කරනවා. එවැනි අවස්ථාවල මේ දෙදෙනා වහන්සේ බුදුරජාණන් වහන්සේ සමඟ කිසිදු වාද විවාද තත්වයකට නො ගොස් ඉතාමත් නිහතමානී ව තම නායකායාණන් වහන්සේගේ අනුශාසනාවට ගරු කරමින් ඉදිරියට ඒ අනුව ක්‍රියා කරනවා.



දැඩි බැඳීමෙන් මිදෙන දනහට හැකිය දුක් ගින්නෙන් මිදෙන්නට

 

දැඩි බැඳීමෙන් මිදෙන දනහට හැකිය දුක් ගින්නෙන් මිදෙන්නට




උපාදාන යනු බුදුසමයෙහි හමුවන පුළුල් අර්ථ ඇති ව්‍යවහාරයෙකි. ගැනීම, දැඩිව ගැනීම (අභි) (අරමුණු) දැඩි කොට ගැනීම එහි මූලික අර්ථය වේ. දැඩි සේ ගැන්ම, දර, කිසිවක පැවැත්මට උපකාරවන දෙය, තෘෂ්ණා - දෘෂ්ටි ආදිය යන අරුත් ද එයට දිය හැකි ය. තදින් අල්ලා ගැනීම, අත් නොහැරීම, එල්බ ගැනීමාදී අරුත් ද උපාදාන යන්නෙහි ඇතුළත් වෙයි. 

‘ආදාන යන වචනයේ තේරුම ගැනීම යනුයි. සර්පයෙකු විසින් මැඩියෙකු ගන්නාක් මෙන් ද, කබරයෙකු විසින් සර්පයෙකු ගන්නා මෙන් ද ලෙහෙසියෙන් නොහරින පරිද්දෙන් තදින් ගැනීමට උපාදාන යැයි කියනු ලැබේ. සිත්හි හටගන්නා යම් ධර්මයක් තෙමේ අරමුණු එසේ තදින් ගැනීම කෙරේද, ඒ ධර්මයට උපාදාන යැයි කියනු ලැබේ. මෙහි උපාදාන යැයි කියනුයේ එසේ අරමුණු තදින් ගැනීම කරන චෛතසික ධර්මයන්ට ය. (චන්දවිමල නාහිමි, රේරුකානේ, පටිච්ච සමුප්පාද විවරණය පිට 72) 

බුදු දහම අනුව එක් අතෙකින් උපාදාන යන්නෙන් විග්‍රහ කෙරෙන දැඩිව ගැනීම මානසික ය. එය මනසින් අල්ලා ගැනීමකි. එබැවින් දාර්ශනික වශයෙන් උපාදානය මනෝ විද්‍යාත්මක සංකල්පයෙකි. අනෙක් අතින් එය මානව චර්යාව හා බැඳී සිටියි. එනම් මිනිසාගේ හැසිරීමට සම්බන්ධ වූවකි. එබැවින් ආචාර විද්‍යාත්මක ස්වරූපයක් ද ගනී. බුදු දහම අනුව උපාදානය යථාභූත ඤාණදස්සන නම් වූ ඇත්ත ඇති සැටියෙන් දැන දැක ගැන්මට බාධකයකි. ඒ අනුව ඥානය වීමංසාත්මක ස්වරූපයක් ද ප්‍රකට කරන්නේ ය. බුදු සමයෙහි පදනම පටිච්ච සමුප්පාදය යි. එනම් බුද්ධ දේශිත හේතුඵල ධර්මයයි. පටිච්ච සමුප්පාදය දකින්නා දහම දකින බව ද, දහම දකින්නා පටිච්ච සමුප්පාදය දකින බව ද නිකායගත ඉගැන්වීම ය. 

උපාදාන යන්න පටිච්ච සමුප්පාද දේශනාවේ හමුවන ප්‍රත්‍යයෙකි. එහි ‘මෙය ඇති කල මෙය ඇත’ (ඉමස්මිං සති ඉදං හොති) යනාදී අනුලෝම නය අනුව තණ්හාව ඇති කළ උපාදානය වේ. (තණ්හා පච්චයා උපාදානං) උපාදානය ඇති කළ භවය වේ (උපාදාන පච්චයා භවො) භවය ඇති කළ ජාති ජරා මරණා දී සංසාරගත දුක්ඛයෙහි සමුදය (හටගැන්ම) වන්නේ ය. එසේම එහි මෙය නැති කල මෙය නැත (ඉමස්මිං අසති ඉදං න හොති). යනාදී ප්‍රතිලෝම නය අනුව තණ්හාව නැති කල උපාදානය නැත (තණ්හා නිරෝධා උපාදාන නිරොධො). උපාදානය නැති කල භවය නැත (උපාදාන නිරෝධා භව නිරොධො) භවය නැති කල ජාති ජරා මරණාදී සසර දුක් නැත. එය ම දුක්ඛ නිරෝධය යි. මෙසේ පටිච්ච සමුප්පන්න ප්‍රත්‍යාකාරය තුළ උපාදානය ඉතාවැදගත් ස්ථානයක් ගනී. එහි සමුදය දුක්ඛ සමුදය කෙරෙහි ද, එහි නිරෝධය දුක්ඛ නිරෝධය කෙරෙහි ද බලපායි. එසේම උපාදානයට ස්වතන්ත්‍ර ස්වාධීන පැවැත්මක් නැත. තණ්හාව එයට උපකාරී ය. එය භවයට උපකාරී ය. උපාදානය සාපේක්ෂක ස්වභාවයෙන් යුක්ත වන්නේ ය. 

පෙළ දහම නොයෙක් තැන දක්වා ඇති පරිදි උපාදානය චතුර්විධ ප්‍රභේදයකින් යුක්ත වෙයි. එනම් කාමුපාදානය, දිට්ඨුපාදානය, සීලබ්බතුපාදානය හා අත්තවාදුපාදානය යනුවෙනි. එහි කාමුපාදානය නම් වස්තු කාම, ක්ලේශ කාමයන්හි දැඩිව, තදින් එල්බ ගැන්ම ය. අල්ලා ගැන්ම ය. රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම, පොට්ඨබ්බ කාම යැයි දක්වා ඇති පඤ්ච කාමයෙහි ඇති දැඩි ඇල්ම, තෘෂ්ණාව කාම තණ්හාවයි. එකී පස්කම් සුවයෙහි එල්බ ගැනීම, එය දැඩිව ගැනීම, තදින් අල්ලා ගැනීම කාමූපාදානයයි. දිටිඨි යන්න සම්මා - මිච්ඡා යන විශේෂණයෙන් තොරව ව්‍යවහාරයට ගන්නා විට ඉන් අර්ථවත්වන්නේ අන්තගාමී මතවාදයකි. සාමයික දාර්ශනික වශයෙන් අත් නොහරින්නා වූ, එල්බ ගත්තා වූ ස්ථාවරයකි. සස්සත දිට්ඨිය, භවගාමී නිත්‍ය සදාකාලික ආත්මයක් ඇත යන්න එබඳු එක් මතවාදයෙකි. අසස්ත හෙවත් උච්ඡේද දිට්ඨිය එහි ප්‍රතිවිරුද්ධ මතවාදය යි. නිත්‍යාත්මයක් නැත. සියල්ල මරණයෙන් කෙළවර වේ’ යන ස්ථාවරය යි. මෙම උභය දෘෂ්ටීන්ගෙන් එකක හෝ ඒවාට අනුගත වූ වෙනත් දෘෂ්ටියක හෝ එල්බ ගැනීම එවැන්නක් තදින් අල්ලා ගැනීම දිට්ඨි උපාදානයයි. මෙයම සත්‍යය. අන් සියල්ල අසත්‍යයැ’යි අන්තවාදී මතයක එල්බ ගැනීම ඉන් අදහස් වෙයි. බුදු දහම අරබයා වුව ද එබඳු දැඩි එල්බ ගැනීම් බුදුරජාණන්වහන්සේ අනුමත නොකරති. ධර්මය පහුරකට උපමා කරන ලද්දේ ය. සීලබ්බත යනු ශීල ව්‍රතාදිය යි. කිසියම් සීලයෙක, පිළිවෙතක එල්බ ගැනීමයි. එහි ලා අන්තවාදී වීමයි. එය තදින් දැඩිව ගැනීමයි. අජව්‍රත, ගොව්‍රතාදී අබෞද්ධ ශීලව්‍රතයක එල්බ ගැනීම මින් අදහස් වෙයි. බෞද්ධ ශීල ප්‍රතිපදාවක් වුව ද එසේ තදින් දැඩිව ගැනීම මෙයට ඇතුළත් නොවේ යැයි කිව නො හැකි ය. නුඹය, මමය, තමා ය, සත්ත්වයා ය, පුද්ගලයා ය, ආත්මයයි යනුවෙන් සලකා ගත හැකි පදාර්ථයක් ඇතැයි ද එය නිත්‍යය, සදාකාලික යැයි ද පිළිගැනීම එහි මූලිකාර්ථයයි. එබඳු ආත්ම දෘෂ්ටියක් කර ගසා ගැනීම, ආත්මයක් ඇත එය ම සත්‍ය ය, අන් සියල්ල අසත්‍යය යැයි දැඩිව ගැනීම, මම, තමා යන මතයෙහි ම එල්බ ගැනීම, අත්තවාද උපාදාන නම් වේ. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ ධර්මයන් අරබයා තණ්හාව හේතුවෙන් මෙය මගේය (එතං මම) යැයි ද, මානය නිසා මේ මම වෙමි (එසො හමිස්මිං) යැයි ද, දෘෂ්ටිය නිසා මේ මගේ ආත්මය (ඵසො මෙ අත්තා) යැයි ද සලකා ගැන්ම අත්තවාදූපාදානයයි. එය අයොනිසොමනසිකාරය පාදක කොට ගෙන ඇති බව බුදු දහම පෙන්වා දෙයි. 

දුක්ඛාර්ය සත්‍යය පැහැදිලි කළ දම්සක් දේශනාවට අනුව සැකෙවින් කිවහොත් පඤ්ච උපාදානය ම දුක ය. එනම් අනිත්‍ය වූ දුක් සහිත වූ අනාත්ම වූ රූපය, වේදනාව, සඤ්ඤාව, සංඛාරය, විඤ්ඤාණය යන පඤ්චස්කන්ධය ඉහත කී පරිදි මගේ ය, මම වෙමි, මගේ ආත්මය වේ යැයි උපාදාන කර ගැනීම ම, තදින් අල්ලා ගැනීම ම, දැඩි මානසික ග්‍රහණය ම දුක ය. අර්ථ ශූන්‍ය ය . අතෘප්තිය පිණිස ම වේ. ඉහත කී ස්කන්ධ පඤ්චකයෙහි ඡන්දරාගය උපාදානීය ධර්ම ලෙස පෙළ දහමෙහි දක්වා තිබේ. 

පූර්වෝක්ත පරිදි ස්කන්ධ විභාගය කේන්ද්‍ර කොට ගෙන මෙන් ම ආයතන විභාගය කේන්ද්‍ර කොට ගෙන ද උපාදානය බුදුරදුන් විසින් විවරණය කොට තිබේ. “මහණෙනි, උපාදානයට හිත දහම් ද, උපාදානය ද දේශනා කරන්නෙමි. ඇස උපාදානයන්ට හිත දහමෙකි. කන ද, නැහැය ද, දිව ද, සිරුර ද, සිත ද උපාදානයන්ට හිත ය. එකී චක්ෂුරාදියෙහි යම් ඡන්දරාගයෙක් වේද එය එහි උපාදානයයි. මොවුහු උපාදානයන්ට හිත දහම් ය. මෙය උපාදාන යැයි කියනු ලැබේ. මෙලෙසින් ම චක්ෂුරාදී ඉන්ද්‍රියයන්ට විෂයවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මයන් ද උපාදානයන්ට හිත දහම් ලෙස දක්වා තිබේ. මහණෙනි, ඉෂ්ට වූ, කාන්තා වූ, මනවඩන්නා වූ, පි‍්‍රය වූ, කාමයෙන් යුත්, ඇලුම් කටයුතු, ඇසින් දත යුතු රූප ඇත. මොවුහු උපාදානයන්ට හිත දහම් යැයි කියනු ලැබෙත්. එහි යම් ඡන්ද රාගයක් වේ නම් එය එහි උපාදානයයි. කනින් දත යුතු ශබ්ද ඇත. නැහැයෙන් දත යුතු ගන්ධ ඇත. දිවෙන් දත යුතු රස ඇත. කයින් දත යුතු ස්පර්ශ ඇත. සිතින් දත යුතු ධර්ම ඇත. එහි යම් ඡන්ද රාගයෙක් වේ නම් එය එහි උපාදානය යි. සංසාරගත සත්ත්වයෝ තෘෂ්ණාව විසින් පොළඹවන ලද්දෝ ය. ඔවුහු උපාදාන නම් වූ මානසික එල්බ ගැනීම්, අල්ලා ගැනීම් නිසා සසරින් මිදීමට අසමත් වන්නෝ ජාති ජරා මරණා දී දුකට ම ගොදුරු වන්නෝ ය.” 

අනුපදාන යනු උපාදාන කර නොගැනීම ය. උපාදානයෙන් තොර වීම ය. අනිත්‍ය වූ, දුක් සහිත වූ, අනාත්ම වූ, පටිච්ච සමුප්පන්න වූ ස්කන්ධාදි ධර්මයන් දැඩිව අල්ලා නො ගැනීම ය. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය ද, උපාදාන නිරෝධයෙන් භව නිරෝධය ද, භව නිරෝධයෙන් ජාති නිරෝධය ද, ජාති නිරෝධයෙන් ජරා මරණ, සෝක පරිදේවාදී සියලු දුක්ඛ දොමනස්සයන්ගේ නිරෝධය දනවන බව පටිච්ච සමුප්පාද දේශනාව උගන්වයි. (එවමෙතස්ස කෙවලස්ස දුක්ඛන්ධස්ස නිරොධො හොති) “මහණෙනි, දර ගැල් දහයක හෝ විස්සක හෝ තිහක හතළිහක හෝ මහා ගිනි කඳෙක් යම් සේ දිලෙන්නේ ද, පුරුෂයෙක් කලින් කල වියළි තණත්, වියළි ගොමත්, වියළි දරත් එහි නො ලන්නේ ද, මහණෙනි, මෙසේ ඒ මහා ගිනිකඳ පළමු දර ගැනීමෙනුත්, අනෙක දර නො ගැනීමෙනුත් ප්‍රත්‍යය රහිත වූයේ නිවෙන්නේ ය. එසේම උපාදානීය ධර්මයන්හි දෝෂය නැවත නැවතත් දක්නා සුළුව වෙසෙන්නාගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් සියලු දුක් රැසෙහි නිරෝධය වේ. ආදී බෞද්ධ චින්තනයෙහි මූලික අරමුණ වන්නේ මෙසේ අනේකවිධ හේතු ප්‍රත්‍යකාරයෙන් සසර දුක හටගන්නා ආකාරයත්, එකී හේතු ප්‍රත්‍යයන්ගේ නිරෝධයෙන් එකී දුක නිරුද්ධවන ආකාරයත් හෙළිදරව් කිරීම ය. “පෙර මෙන් ම දැනුත් මම දුකත් දුකින් අත්මිදීමත් පමණක් පනවමි’යි බුදුරජාණන්වහන්සේ වදාළහ. එබැවින් උපාදානයෙහි අවැඩ දකින බුදුදහම අනුපාදානයට ම මග පෙන්වයි. එයින් ම සසර දුකින් අත්මිදීම වේ. 

සතරාකාර පරිවර්තයෙකින් යුතුව රූපය, වේදනාව, සඤ්ඤාව, සංඛාරය, විඤ්ඤාණය යන පඤ්ච උපාදානස්කන්ධයන් ඇති සැටියෙන් (යථාභූතං) දැන දැක ගන්නා තුරු විමුක්ති ප්‍රතිලාභයෙක් නොවන බව පෙළ දහම උගන්වයි. එකී සතරාකාරය (චතු පරිවත්තය) නම් රූප ස්කන්ධයන් ද, එම ස්කන්ධයන්ගේ හට ගැනීම (සමුදය) ද, නිරුද්ධ වීම (නිරෝධ) ද, නිරෝධ වීමට අදාළ ප්‍රතිපදාව (පටිපදා) ද වේ. යමෙකු වෙත එසේ උපාදාන වශයෙන් අල්ලා ගත් ස්කන්ධ ධර්මයන් පිළිබඳ චතු පරිවත්තය ඇත්තේ නම් හෙතෙම එම ධර්මයන් අරබයා නිර්වේදය විරාගය, නිරෝධය ඇත්තේ ය. උපාදාන වශයෙන් ස්කන්ධයන් අල්ලා නො ගන්නේ ය. මැනවින් මිදුණේ ය. අනුපාදානය හෙවත් උපාදානයෙන් තොර වීම වෙත ළඟාවන මාර්ගය, එනම් උපාදාන නිරෝධගාමිණී පටිපදාව නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. නිවන් මගයි. උපාදාන නිරෝධයෙන් තොර වූ දුක්ඛ නිස්සරණයක් නැත.

අප්‍රමාදය පැසසුමට

 

අප්‍රමාදය පැසසුමට 

 

අප්පමාදෙත මඝවා දේවානං සෙට්ඨතං ගතො 
අප්පමාදං පසංසන්ති පමාදො ගරහිතො සදා 
ධම්මපදය – අප්පමාද වග්ගය 

(මඝ මානවක තෙමේ අප්‍රමාද හේතුවෙන් දෙවියන්ගේ ශ්‍රේෂ්ඨ භාවයට ගියේ ය. එහෙයින් අප්‍රමාදය පසසත් . පමා බව හැම කල්හි ම ගරහන ලද්දේය) 

" වර්තමානයේ ද ගම්වල තරුණ පිරිස් අද මහත් වූ උනන්දුවෙන් ගමේ පොදුවැඩවලට ඉදිරිපත් වී සිටිති. පුරන් වී ගිය කුඹුරු අස්වැද්දීම වැනි කිසිවෙකුත් ප්‍රයෝජන නොගෙන තිබෙන මේ භූමි වෙල් යායවල් සාමූහික ව ශ්‍රමය, කාලය කැප කර නැවත වගා කිරීමේ ක්‍රියාදාමය බෝසත් චර්යාවන් ලෙස දෙවියන් අතර උසස් බවට පත්වීමට හේතුවන කටයුතු බව අගය කළ යුතු ය."

 

අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නවම් පුරපසළොස්වක පොහොය දිනෙක ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වූහ. සසර පෙරුම් දම් මනාව සපුරා තිබූ සාරිපුත්ත, මොග්ගල්ලාන දෙදෙනා වහන්සේ රහත් බව ලබා මෙම ගෞතම බුදු සසුනේ අගසව් තනතුරු ලැබීම ද බුදුරජාණන් වහන්සේ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම ද මෙම උතුම් පොහෝ දිනයේ ම සිදුවිය. 

නවම් පොහොය දිනයෙන් තෙමසක් ඉකුත් වූ විට වෙසක් පොහෝ දින පිරිනිවන් පානා බවට ආයුසංස්කාරය අත් හැරීම ද සිදු වු විශේෂ පොහෝ දිනයක් ලෙස තුණුරුවන් වෙත පූජෝපහාර පැවැත්වීමට ම සංවිධානය වන කොළඹ ගංගාරාම මහා විහාරස්ථානයේ නවම් මහා පෙරහර මංගල්‍යය ද මෙම නවම් පොහෝ දා ම සිදු කරනු ලැබේ. 

අප සම්බුදු රජුන් දවස හැම සැපතකින් පිරී තිබූ විශාලා මහා නගරය ලිච්ඡවී රජ දරුවන්ට වාසස්ථාන විය. එක් ලිච්ඡවී රජෙක් මහාලි නමින් ප්‍රසිද්ධ විය. බුදුරජුන් දෙසූ සක්ක පඤ්හ සූත්‍ර දේශනාව අසා එම රජතුමා බුදුරජුන් සක්දෙව් රජු විඳින සැපත ඉතා උසස් ලෙස දේශනා කරති. මේ ප්‍රකාශ දැක වදාරන්නේ ද නොදැක වදාරන්නේ දැයි සිතා අපත් දෙව් රජු ගැන දැන ගනු පිණිස බුදුරජාණන් වහන්සේ වැඳපසෙකට වී හිඳ විමසුවේ ය.

මහාලි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සක් දෙව් රජතුමා දක්නා ලද්දේදැයි විමසූහ. 

එහිදී බුදුරජාණන් වහන්සේ මහාලි, අහන්න මම සක්දෙව් රජුන් හඳුනමි. සක්දෙව් රජ වන හැටිත් දනිමියි වදාළහ. 

මඝ නමින් මානවකයකු ලෙස ඉපිද බොහෝ පින් කොට දෙව්ලොව උපන් බැවින් මඝවා නම් විය.ඔහු නගරයක් පාසා, ගමක් පාසා දානශාලා කරවා දුන් බැවින් පුරින්දද නම් වේ. දුන්නේ ද යම්තරමට නොවේ. එහෙයින් සක්ක නම් වේ. මිනිසත් බව ලබා සිටියදී ආවාසයක් කරවා පිදූ බැවින් වාසව නම් වේ. සක්දෙව්රජ මොහොතක් තුළදී කරුණු දහසක් වටහා ගැනීමේ පොහොසත් බැවින් සහස්ස සක්ක නම් වේ. තව්තිසා වැසි දෙවියන්ගේ අධිපතියා බැවින් දෙවින්ද නම් වේ.

පෙර සසර සක්දෙව් ලැබීමට හේතුවන පින තිබෙනතුරු මවුපියන් රැක බලා ගැනීම ,කුලදෙටුවන් පිදීම, මොලොක් බස් බිණීම , කේලාම් නොකීම, පහවූ මසුරු මල ඇතිව දීමෙහි ඇලී සිටීම , හැම විටම ඇත්ත කීම, කිසිම කරුණක නොකිපීම යන සප්ත ව්‍රතපද සම්පූර්ණ කළෙන් දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දේව ආත්මය ලබා ගනිමු. 

පෙර දවස මගධ රට මචල නම් ගමෙක මඝ නම් තරුණ පුරුෂයෙක් විසුවේ ය. ඔහු සිරිතක් ලෙස විවේක ලත් හැම විටෙක කුණුරොඩු ඉවත් කර බිම පොළව සමතලාකොට තැබීම සිරිතක් ලෙස සිදු කළේ ය. එසේ පිරිසුදු කළ සැණින් බොහෝ දෙනා එහි විවේක ගනු දැක කිපී බැණ වැදී කලබල කරනු වෙනුවට මෙය ඉතා හොඳ ක්‍රියාවක් ලෙස අනේ සාධු සාධු කියමින් සියල්ලෝ ම සුවසේ වෙසෙත්වා මට පින් ලැබේවා යි සතුටු වූහ. 

කැති පොරෝ ගෙන මංමාවත් එළි පෙහෙලි කොට පිරිසුදු කිරීමේ සත්කාර්යය නොකඩවා ම සිදු කළහ. මග දෙපස යන්නෝ ද කුමක් කරන්නේ දැයි ප්‍රශ්න කොට මෙම පින්කම්වලට උපකාර කළහ. දෙව්ලොව යාමට මගක් පිළියෙල කරන බව කී විට සියල්ලෝම උපකාර කළහ. මෙසේ එක්වූ යහළු පිරිස තිස් දෙනෙක් වූ හ. ගම්මුලාදෑණි තෙමේ රජතුමාට කේළාම් කියා ඔවුන් මං පහරන්නන් , මිනිසුන් දුසිරිතෙහි පොළඹවන අය බව පවසා කේළාම් බිණූූහ. රජයට විරුද්ධ ව එන මේ සොරුන් අල්වාගෙන ඇතුලවා පාගවා මරන්නට අණ කළෝ ය. 

මඝ මානවක තෙමේ තම පිරිසට “ධම්මො හවෙ රක්ඛති ධම්මචාරි” ධර්මය විසින් අපව රකිනු ඇත යැයි පවසා සියලුම දෙනා කෙරෙහි මෛත්‍රීය ම පතුරුවන්නට තම පිරිසට කී හ. මෛත්‍රී අනුහසින් ඒ එක් අයකුටවත් හිංසාවක්, පීඩාවක් කිරීමට අපොහොසත් විය. මඝ මානවක තෙමේ අනතුරුව රජුට සත්‍ය ප්‍රකාශ කොට කීවේ ය. රජතුමා ඔවුන්ට නින්දගම් ලබාදී ගම්මුලාදෑනියා ද ඔවුන්ගේ දාස මෙහෙවර පිණිස පාවා දුන්හ. 

මෙසේ රජුගෙන් ප්‍රසාද ලැබු මේ මඝමානවක සහ තිස් දෙනා අප කළ යහපත් වැඩවල ඵලය මෙහිදී ම අපි ලැබීමු යි සතුටුව අපි වඩාත් පින්කම් කළ යුතු යැයි හන්දියක් හන්දියක් පාසා අම්බලම් ඉදි කරවූහ. දන්සැල් කරවූහ. මංමාවත් , ළිං පොකුණුූ ඉදිකළහ. කම්මැලිනොවී ගොවිතැන් බත් කරමින් සමගියෙන් , සමාදානයෙන් ජීවත් වූහ. එහි ප්‍රතිඵල ලෙස දෙවියන් අතර ශ්‍රේෂ්ඨයා වන ශක්‍ර දේව තනතුරට මඝ මානවකයා පත් වූහ. අනෙක් තිස් දෙනා පිරිවර වූහ

Monday, April 4, 2022

ශ්‍රද්ධාවෙන් හා බුද්ධියෙන් ධර්මය පිළිපදිමු

 

ශ්‍රද්ධාවෙන් හා බුද්ධියෙන් ධර්මය පිළිපදිමු

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස 

කිච්ඡෝ මනුස්ස පටිලාභො 
කිච්ඡං මච්චාන ජීවිතං 
කිච්ඡං සද්ධම්ම සවණං 
කිච්ඡො බුද්ධානං උප්පාදො 

" මේ විශ්වය තුළ ඇති අනන්ත චක්‍රවාටවල ජීවින් අපමණ වුව ද අප ජීවත්වන ලෝකයේ මිනිසුන් සංඛ්‍යාත්මක ව ගණනය කළ හැකි අතර, එයින් මනුෂ්‍යත්වයේ ඇති වටිනාකම හා දුෂ්කර බව ප්‍රත්‍යක්ෂ වන්නේ ය."

සුපින්වත්නි, 

සිරි සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ බරණැස්නුවරට නුදුරුව මහරිරුකක් මුල වැඩ සිටින අවස්ථාවේ ඒරකපත්ත නම් නාගරාජයාගේ ඇඬීම නිමිතිකර මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක. 

මෙම නාගරාජයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි පැවිදි ව දිවි ඇතිතෙක් මහණදම් පිරූ භික්ෂුවකි. එකල එම භික්ෂුව කිසියම් කරුණකට ගමනක් යන්නේ ගඟකින් එතෙරවීම සඳහා අඟුලකට නැගීමට තැත්කරද්දී ඒරු අත්තක් අල්ලාගෙන ගඟේ යද්දී ඒරු අත්ත කැඩී ගියේ ය. උපසම්පදා භික්ෂුවකට එය සුළු ඇවැතකි. එම ඇවතින් මිඳෙණු සඳහා ඇවැත් දෙසීම නොකළ බැවින් මිය යන වේලේ එම ඇවතින් නොමිඳී බැව් සිහි වී පසුතැවිලි ව මිය ගොස් ඔරුවක් පමණ වූ නාරජෙක් ව ඉපදී ඒරකපත්ත නාගරාජ නමින් ප්‍රකට විය. එම නාගරාජයා මහරිරුකමුල වැඩ සිටින බුදුරදුන් වෙත පැමිණ අඬන්නට විය. 

මෙම කාරණය නිමිති කරගෙන අප බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන්ට හිත සුව පිණිස ඉතා දුෂ්කර කාරණා හතරක් දේශනා කළ සේක. 

මිනිසත් බව ලැබීම ඉතා දුෂ්කර ය

මිනිසෙකු වශයෙන් දිවි පැවැත්ම ඉතා දුෂ්කර ය 

සද්ධර්මය ඇසීම ද දුෂ්කර ය 

බුදුවරුන්ගේ උපත ඉතා දුෂ්කර ය 

මෙම කරුණු හතරම සංයුක්ත ව පවතින කාලය ඉතා වාසනාවන්ත වන නමුත් එසේ වන්නේ කල්ප ගණනකට පසු ය. ඒ පිළිබඳ ව අප බුද්ධියෙන් අවබෝධ කරගත යුතු වන්නේ ය. 

මේ විශ්වය තුළ ඇති අනන්ත චක්‍රවාටවල ජීවින් අපමණ වුව ද අප ජීවත්වන ලෝකයේ මිනිසුන් සංඛ්‍යාත්මක ව ගණනය කළ හැකි අතර, එයින් මනුෂ්‍යත්වයේ ඇති වටිනාකම හා දුෂ්කර බව ප්‍රත්‍යක්ෂ වන්නේ ය. සෙසු ලෝකවල ඉපිද සැප සම්පත් විඳීමට මනුලොව උපරිම තලයේ තනතුරු ලැබීමට මනුෂ්‍යත්වය ම කේන්ද්‍රගත වන්නේ ය. යළි අපායගාමී අකුසල කළහොත් කල්ප ගණන් සතර අපායේ දුක්වේදනාවලට භාජනයවී කුමන හෝ කුසලයකින් මිනිස්ලොව ඉපිද සෙසු පුණ්‍යවන්තයන්ගේ අපහාසයට, උපහාසයට ලක්වන්නේ ය. 

කල්ප ගණනකට පසුව ලොව පහළ වන්නා වූ ලොව්තුරා බුදුකෙනෙකුන් දැකීම තබා, බුද්ධ යන වචනය පවා අසන්නට නම් උදාර මනුෂ්‍යත්වය අවශ්‍යම වන්නේ ය. මෙම විශ්වය අනන්ත අප්‍රමාණ චක්‍රවාට වලින් සංයුක්ත වන අතර ඒවායේ සත්ව සංඛ්‍යාව ද අනන්ත ය. දහසක්, දසදහසක්, ලක්ෂයක්, දස ලක්ෂයක්, කෙළ ලක්ෂයක් හා අනන්ත අප්‍රමාණ වශයෙන් පවත්නා චක්‍රවාට බුදුරජාණන් වහන්සේගේ ඤාණ බලයට හා සෘද්ධි බලමහිමයට යටත්වන බවත් බුදුරදුන්ගේ රූපකාය දර්ශනය කරවන්ටත් ශ්‍රී මුඛයෙන් පිටවන මිහිරි ස්වරය ශ්‍රවණය කරවන්නටත් හැකි බව ආනන්ද හිමියන්ගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. 

බුදු, පසේබුදු, රහත් යන උත්තමයන් පහළ වන්නේ දඹදිව මධ්‍ය දේශයේ බව ‘ත්‍රිපිටක’ සාහිත්‍යයේ විස්තර වන්නේ ය. අග්‍රශ්‍රාවක , ශ්‍රාවිකා හා අසූමහා ශ්‍රාවකයන් පහළවීමේ දී අසිරිමත් සිද්ධීන්ට නිවාස වූ, කේන්ද්‍රවූ මෙම මධ්‍යදේශය මනුලොව ඇති උත්තම තම ප්‍රදේශය වන අතර, පෙර බුදුරජාණන් වහන්සේලා සම්මුඛයෙ ් දී දානාදී පින්දහම් කළ ශ්‍රද්ධාවන්තයන්, ප්‍රඥාවන්තයන්, සසර සැරිසරා අප ගෞතම බුදුරදුන් පහළවන කාලයේ ම එම මධ්‍ය දේශයේ ගම් නියම්ගම් ආශි‍්‍රත ව ඉපිද බුදුරදුන් කරා එළඹ සිව්සත්දම් අවබෝධ කොට නිවනින් සැනසෙන්නේ බුද්ධෝත්පාද කාලයේ උතුම් මානුෂික සම්පත නිසා ම ය . 

අප ගෞතම බුදුරදුන් පිරිනිවන් පෑ නමුත් එම උතුම් සද්්ධර්මය ඇති බැවින් වර්තමාන බෞද්ධ ජනතාව මෙයට වඩා ශ්‍රද්ධාවෙන් හා බුද්ධියෙන් සද්ධර්මය පිළිපදින්නේ නම් සිය ගුණයෙන් ප්‍රයෝජන ලබන්නේ ය. 

ආගම දහම අපේ ජීවිතයට සම්බන්ධ කිරීමේ දී දැනගත යුතු ප්‍රධාන කාරණා දෙකක් පිළිබඳ ව අවබෝධ කරගත යුතු වන්නේ ය. 

භක්තියෙන් ඇදහීම, බුද්ධියෙන් පිළිපැදීම 

ලෝක ජනගහණයෙන් වැඩිදෙනෙක් පාරම්පරික ව ලබාගත් දායාදයක් වශයෙන් තම තමන් විසින් නිර්මාණය කරගත් විශ්වාසය පදනම් කරගෙන, භක්තියෙන් ආගමික සිරිත් විරිත් අනුගමනය කරන අතර එය ආගමික පරිකල්පනයට සීමා වන්නේ ය. එයින් පෞද්ගලික ඤාණ වර්ධනයට හෝ ආධ්‍යාත්මික සහනයට හෝ උපකාරයක් නොවන්නේ ය. එවන් ආගම් ප්‍රධාන කරගෙන පිහිටුවන සමාජ සංස්ථාපනයන් නිසා සියලු අපේක්ෂා බිඳ වැටෙන්නේ ය. 

වත්මන් ලෝකය තුළ මෙතරම් සාපරාධී ක්‍රියාවන්ට මූලික වන්නේ අන්ධ විශ්වාසයෙන්, ආගමික අන්තවාදය තරයේ ම අනුගමනය කරන බැවිනි. 

බුද්ධියෙන් පරිකල්පනය බැහැරකොට දර්ශනයෙන් පිළිපදින ප්‍රතිපත්තිය ඉතා දුෂ්කර වුව ද එයින් විශ්ව ශක්තියෙන් නිර්මාණය වන අතර, සමාජ ම ය වශයෙන් උතුම් සේවාවක් ද වන්නේය.

බුද්ධාදී උතුමන් මිනිස් සිතකින් නිර්මාණය කළ විශ්ව ශක්තිය, ශ්‍රද්ධාවෙන් , බුද්ධියෙන් පිළිපැදිය යුතු ප්‍රතිපත්ති මාලාව අවසානයේ අපට ද ලබාගත හැකි වන්නේ ය. තමා විසින් ම ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කළ යුතු සද්ධර්මයකි. 

පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති 

ඔබ සැමට මෙම ධර්මදේශනාව කියවීමෙන් හා අවබෝධයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂ වේවා.

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...