මෙත් කරුණා ගුණ මහිමය හමුවේ වෛරය - කෝපය ද්වේෂය - පැරදේශි්ර ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත දර්ශනපති කන්දේගම දීපවංසාලංකාර හිමි ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ආදී සිතිවිලිවලින් යුතු පුද්ගලයෙක් සෑම මොහොතක ම ද්වේෂ සහගත සිතිවිලි ඇති කර ගන්නවා. එවැනි පුද්ගලයන් සමඟ කටයුතු කිරීමේ දී, ජීවත් වීමේ දී බොහෝ ගැටලු ඇතිවිය හැකියි. එහෙත් සමාජ ජීවිතයේ දී සෑම මොහොතකම අපට එවැනි අය මඟ හැර යා නොහැකියි. එසේ නම් කළ යුතු වන්නේ කුමක් ද? අංගුත්තර නිකායේ පංචික නිපාතයේ ආඝාතපටිවිනය සූත්‍රයේ දී යම් පුද්ගලයෙක් ආඝාතයෙන්, කේන්තියෙන්, වෛරයෙන්, තරහ සිතින් අප සමඟ කටයුතු කරනවා නම්, පළමුව ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රීය සිතිවිලි උපදවා ගත යුතු බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. අපිරිසුදු රෙදිකඩඑය නිදර්ශනයකින් මෙසේ දක්වා තිබෙනවා. “භික්ෂූන් වහන්සේ නමක් වීදියක වැඩම කරනවා. උන්වහන්සේ මිනිසුන්ගේ දෙපයට පෑගි අපිරිසුදු වූ රෙදි කඩක් දකිනවා. එය පාංශුකූලික රෙදි කඩක්. ඒ දුටු විගස උන්වහන්සේ එය අතට නොගෙන පාදයෙන් එහාට, මෙහාට කර බලනවා. රෙදි කඩෙහි වටේට ම අපිරිසුදුයි. ඒත් කුඩා කොටසක් පිරිසුදු බව දුටුවා. උන්වහන්සේ රෙදි කඩෙහි අපිරිසුදු කොටස ඉවත් කොට තමන්ගේ ප්‍රයෝජනයට පිරිසුදු කොටස ගන්නවා.” මේ ආකාරයෙන් යම් පුද්ගලයෙක් කායික හා වාචසික අකුසල් සිදු කරනවා. එම ක්‍රියාවන් අප තුළ කේන්තිය හටගැනීම සඳහා බලපානවා. එවිට කළ යුත්තේ කුමක් ද? ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රී සිතිවිලි උපදවා ගැනීම යි. ඒ පුද්ගලයා කායික ව හා වාචසික ව කෙතරම් අකුසල් සිදු කළත්, ඔහුගේ කුමක් හෝ යහපත් ගුණයක් තිබෙන්නට පුළුවන්. ඒ ගුණය අගය කළයුතුයි. කෙසේ ද? අර වනවාසී භික්ෂූන් වහන්සේ, අපිරිසුදු වූ රෙදිකඩෙන්, යම් පිරිසුදු කොටසක් ගන්නවා වගේ. අර පුද්ගලයා වාචසික ව, කායික ව සිදු කරන, අප තුළ කේන්ත් ඇති කරවන දේ නොගෙන, ඔහුගේ හොඳ ගතිගුණ අගය කළ යුතු බවයි, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. පිපාසයට දිය පොදක්ඒ වගේ ම යම් පුද්ගලයෙක් සෑම වෙලාවක ම ද්වේෂයෙන් කටයුතු කරනවා. අප කළ යුතු ඔහු සමඟ එකතු වී එකට එක කිරීම ද? නෑ. එය කෙළවරක් නොවන කරුණක්. ඒ නිසා ඔහු කෙරෙහි කරුණාවක් ඇති කර ගන්නට ඕනෑ. කෙසේ ද? “අනේ මේ මානවකයා පව් නේද? අසරණයෙක් නේද?” කියන හැඟීම ඇති කරගත යුතුයි. යම් කෙනෙක් අප සමඟ ගැටීමකට එනවා. අප ඒ පුද්ගලයා නොරිස්සනවා නම්, ගැටුමකට, වෛර කිරීමකට, සිත දූෂණය කර ගැනීමකට යොමු වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා එම පුද්ගලයා කෙරෙහි කරුණාව උපදවා ගැනීම අවශ්‍යයයි. කෙසේ ද? “යම් පුද්ගලයෙක් දීර්ඝ ගමනක් යනවා. ඔහුට දැඩි පිපාසයක් ඇතිවෙනවා. එසේ පිපාසයෙන් ගමන් කරන විට පොකුණක් හමුවෙනවා. එම පොකුණ ගස්වල කොළවලින්, පාසිවලින් හා දියසෙවලින් පිරිලා. ඒත් වතුර පිරිසුදුයි. පිපාසය සහිත පුද්ගලයා මේ පොකුණට බසිනවා. රොඩු, දිය සෙවල, පාසි දෑතින් ඉවත් කර පිරිසුදු ජලය පානය කරන්නට උත්සාහ කරනවා.” පටිඝය නැති නම් කේන්තිය තියෙන පුද්ගලයාත් එසේ විය යුතුයි. ඇසුරු කරන පුද්ගලයා ඔහුගේ ඒ දුර්ගුණ ඉවත් කළ යුතුයි. ඔහු ප්‍රතික්ෂේප නොකළ යුතුයි. නරක ප්‍රතික්ෂේප කර ඔහු තුළ පවතින හොඳ ගතිගුණය ඉස්මතු කර ලබා ගත යුතුයි. දෝෂ නොදැකීමඊළඟ කරුණ ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් කිසි පුද්ගලයෙක් ආඝාතයෙන් නැතිනම් වෛරයෙන්, පළිගැනීමේ චේතනාවෙන් පසුවෙනවා. ඒ පුද්ගලයා කෙරෙහි උපේක්ඛා සහගත විය යුතුයි. කෙසේ ද? යම් පුද්ගලයෙක් ගමනක් යන විට ගවයන්ගේ කුර සටහන් පොළවේ සටහන් ව තිබෙනවා දකිනවා. ඒ කුර සටහන්වල ජලය රැඳී පවතිනවා. මේ පුද්ගලයාට බොහොම පිපාසයි. “මේ වතුර ටික කෝප්පයකට හෝ භාජනයකට ගැනීමට පුළුවන්කමක් නැහැ.” ඔහු මෙම අවස්ථාව පිළිබඳ ව උපේක්ෂා සහගත වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කොහොමද මහණෙනි, මේ පැන් පානය කරන්නේ? “දෙපා දණ ගසාගෙන, දෙඅත් බිම තබා ගවයෙක් ජලය පානය කරන්නේ යම් සේ ද? ඒ ආකාරයෙන් ගව කුර සටහන් හි එකතුව ඇති ජලය පානය කරන්නා සේ අනෙකාගේ අවැඩ ගැන කතා කරන්නේ නැතිව, අනෙකාගේ දෝෂ දකින්නේ නැතිව ඒ කෙරෙහි උපේක්ෂාවෙන් ලැබිය හැකි හොඳම දේ පමණක් ලැබිය යුතුයි. එසේ නොවුණොත් අපට සිදු වන්නේ පටිඝයත්, වෛරයත් ඇති කර ගැනීම පමණ යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. මානසික සුවය එසේ ම යම් පුද්ගලයෙක් කළ වැරැද්ද යළි යළි සිහි කිරීමේ දී ඔහු පිළිබඳ ව, ඔහු සමඟ අපට මානසික වශයෙන් ගැටීමක් ඇතිවෙනවා. ඒ මානසික ගැටීම නැති කර ගැනීමට නම් ඔහු පිළිබඳ ව කරන ආවර්ජනය එනම්, ඔහු කළ ක්‍රියාව පිළිබඳව යළි යළිත් මතකයට ගැනීම අනවශ්‍යයයි. එසේ සිදු කිරීමෙන් අපට මානසික සුවයකින් පසු විය හැකියි. යම් කිසි පුද්ගලයෙක් කයෙන්, වචනයෙන් යන දෙ අංශයෙන් ම නරක අකුසල් සිදු කරනවා නම් ඒ පුද්ගලයා ඈත් කළ යුතුයි. ඒ පුද්ගලයා කෙරෙහි උපේක්ෂා සහගත විය යුත්තේ කොහොම ද කියා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. භවය දිගුකර ගැනීමගිලන් වූ පුද්ගලයෙක් දීර්ඝ ගමනක් යනවා. ගමනෙහි දුරෙන් මධ්‍යයට පැමිණි විට ඔහුගේ රෝගී තත්ත්වය වැඩි වෙනවා. ඒ අවස්ථාවේ දී ඔහුට ගැළපෙන බෙහෙත්, උදව්කරන්න, උපස්ථාන කරන්න කෙනෙක්, ගැළපෙන ආහාර හා ලැඟුම් ගැනීමට ස්ථානයක් ඇත්තේ නෑ. ඔහු අසරණ වෙනවා. ආපසු හැරී යෑමටත් නොහැකියි. ගමනාන්තයට පැමිණි දුර සේ දුර ප්‍රමාණයක් තිබෙනවා. එසේ ගමනේ මැද අතරමං වූ පුද්ගලයෙක් දෙස යම් කිසි පුද්ගලයෙක් උපේක්ෂා සහගත ව, අනුකම්පාවෙන් බලනවා සේ, මේ කර්මය දායාද කොට ඇති සත්ත්වයෙක්. කර්මය මගේ කියා, කර්මය ස්වකීය කොට හැදෙන වැඩෙන සත්ත්වයෙක්, තව තවත් මේ ආකාරයෙන් අකුසල කර්ම සිදු කර ගැනීමෙන් ඔහුගේ භවය තවත් දිගු වෙනවා. අප ද ඔහු සමඟ එකට එකතු නොවිය යුතුයි. භව ගමනේ දී අප ද ඔහු පසුපස ගමන් කරන්නන් බවට පත් නොවිය යුතුයි, යනුවෙන් කල්පනා කරන ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. - දීපා පෙරේරා |
No comments:
Post a Comment