Friday, April 2, 2021

ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය


ඛුද්දක නිකායෙහි උදාන පාලිය:
මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය
මහමෙව්නා භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

" ගිම්හාන සෘතුවෙහි අවසාන මාසයෙහි වර්ෂා කාලයට පෙරාතුව හටගත් එම මහා වර්ෂාව ජලය හා මිශ්‍ර වූ සීතල සුළඟින් යුක්ත වුණා. එවිට එම මිදෙල්ල ගස සමීපයේ පොකුණ යට නාග භවනයේ වාසය කරන මහානුභාව සම්පන්න මුචලින්ද නාග රාජයා තමන්ගේ භවනෙන් නික්මි පිටතට ආවා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ ශරීරය, නාග දරණවලින් හත්වටක් වෙළා ගත්තා. "

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ අවදියේ දී උරුවෙල් ජනපදයේ නේරංජනා නදීතෙර මුචලින්ද හෙවත් මිදෙල්ල රුක් සෙවනේ වැඩ සිටි සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ඒ අමා නිවන් සුව විඳිමින් සතියක් ම එක පළඟිත් වැඩ සිටියහ.

නා රජුගේ උපස්ථානය
එවිට හත් දවසක් එක දිගටම සීතල සුළං හමන විශාල මහා අකල් වැස්සක් වසින්නට පටන් ගත්තා. ගිම්හාන සෘතුවෙහි අවසාන මාසයෙහි වර්ෂා කාලයට පෙරාතුව හටගත් එම මහා වර්ෂාව ජලය හා මිශ්‍ර වූ ශීතල සුළඟින් යුක්ත වුණා. එවිට එම මිදෙල්ල ගස සමීපයේ පොකුණ යට නාග භවනයේ වාසය කරන මහානුභාව සම්පන්න මුචලින්ද නාග රාජයා තමන්ගේ භවනෙන් නික්මි පිටතට ආවා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ ශරීරය, නාග දරණවලින් හත්වටක් වෙළා ගත්තා. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සිරස් තලයට ඉහළින් මහත් වූ නාග පෙනය විහිදාගෙන සිටියේ, භාග්‍යවතුන් වහන්සේට සීතලක් ඇතිවන්න එපා, භාග්‍යවතුන් වහන්සේට උණුසුමක් ඇතිවෙන්න එපා, භාග්‍යවතුන් වහන්සේට මැසි මදුරු ආදීන්ගෙන් අව් සුළං, සර්ප ආදීන්ගෙන් නපුරු පහසක් නම් වෙන්න එපා කියායි. මහානුභාව සම්පන්න එම නාග රාජයාට සිය සෘද්ධියෙන් භාග්‍යවතුන් වහන්සේ උදෙසා ප්‍රාසාදයක් වුවත් මැවිය හැකිව තිබුණා. නමුත් දසබලයන් වහන්සේ උදෙසා තම කයින් ම වතාවත් කරන්නෙමි යි සිතා එලෙස දරණවැලින් හත්වටක් වෙලා සම්බුද්ධ සිරස මස්ථකයෙහි මහත් වූ පෙනය විහිදාගෙන සතියක් පුරාවට බුද්ධෝපස්ථානයේ යෙදුණා.

භාග්‍යවතුන් වහන්සේ ඒ දින සත ගෙවුන පසු සමාධියෙන් නැගිට වදාළා. ඒ ආශ්චර්යවත් සමාපත්තිය හඳුන්වන්නේ නිරෝධ සමාපත්තිය කියායි. එහිදී මුලින්ම සිතින්, වචන සකස් කරන ස්වභාවය හෙවත් විතර්ක විචාර නිරුද්ධ වෙනවා. ඉන්පසු ආශ්වාස -ප්‍රශ්වාස හෙවත් කාය සංස්කාර නිරුද්ධ වෙනවා. ඒ වගේම හඳුනා ගැනීම්, විඳීම් යන චිත්ත සංස්කාරයන් නිරුද්ධ වී යනවා. ඒ අසිරිමත් නිරෝධ සමාපත්තියෙන් යුක්තවයි භාග්‍යවතුන් වහන්සේ මිදෙල්ල රුක් සෙවණේ මුචලින්ද නාග දරණයෙහි වැඩ සිටියේ.

නාග වේශය අත්හැරීම...
එකල්හී මුචලින්ද නාග රාජයා, වැහි වළාකුළු පහවෙලා ගිය පිරිසුදු අහස ඇති බව දැක ගත්තා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ ශරීරය වෙලාගෙන සිටි දරණවැල ඉවත් කර ගත්තා. තමන්ගේ නාග වේශය වෙනස් කරගෙන, තරුණයෙකුගේ වේශයක් මවා ගත්තා. භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියේ වන්දනා කරගෙන සිටගත්තා. එවිට භාග්‍යවතුන් වහන්සේ පහත උදාන ගාථාවන් වදාළ සේක.

සුඛෝ විවෙකෝ තුට්ඨස්ස
සුතධම්මස්ස පස්සතෝ
අඛ්‍යාපජ්ජං සුඛං ලෝකෙ
පාණභූතේසු සංයමෝ
සුඛා විරාගතා ලෝකේ
කාමානං සමතික්කමෝ
අස්මිමානස්ස යෝ විනයෝ
ඒතං වේ පරම සුඛං

එම උදාන ගාථාවන්හි අර්ථය මෙයයි.

සද්ධර්මය අවබෝධ වීම නිසා, ඒ අමා නිවන දකින සතුටු සිත් ඇති රහතන් වහන්සේට ඒ චිත්ත විවේකය හරි සැපයි. කෝප රහිත බව හරි සැපයි. ලෝකයේ සතුන් ගැන අහිංසාව ඇතිවීමත් සැපයි.

“මේ ලෝකයේ නාමයත් ඉක්මවා ගිය, විරාගී ධර්මය හරි සැපයි. මම වෙමි යන මානයේ යම් දුරුවීමක් වේ නම්, ඒ අරහත්වය තමයි උතුම් ම සැපත කියායි.

එමෙන්ම උදාන පාලියේ සඳහන් නිග්‍රෝධ සූත්‍රයේ දී, නුගරුක සෙවෙනේ වැඩ සිටිය දී එක්තරා බ්‍රාහ්මණයෙකු අරභයා භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් උදාන ගාථාවෙන් මෙසේ සඳහන් වෙනවා. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පත් වූ මුල් දිනවල වැඩසිටියේ උරුවෙල් ජනපදයේ නේරංජරා ගංතෙර අජපාල නුගරුක් සෙවණේ යි. එහිදීත් භාග්‍යවතුන් වහන්සේ එක දිගට සත් දිනක්ම එක පළඟින් ම විමුක්ති සුව විඳිමින් වැඩ සිටි සේක.

භාග්‍යවතුන් වහන්සේ ඒ හත් දවස ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගිට වදාළා. එදා හුහුංක ජාතික එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියා.

පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු සාමිචියේ යෙදී පිළිසඳර කථාබස් කොට පැත්තකින් සිටගත් ඒ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසා සිටියා.

බ්‍රාහ්මණයෙක් වීමට නම්...
පින්වත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෙක් වන්නේ කවර කරුණුවලින් යුතු කෙනෙක් ද? බ්‍රාහ්මණයෙක් බවට පත් කරවන ගුණධර්ම මොනවාදැයි පහදා දෙනු මැන. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ නුවණින් ප්‍රත්‍යක්ෂ කරගෙන, ශාන්ත සතුටකින් යුතුව ඒ වෙලාවේ මේ උදාන ගාථාව වදාළ සේක.

යෝ බ්‍රාහ්මණෝ බාහිතපාපධම්මෝ
නිහුහුංකංකෝ නික්කසාවෝ යතතේතා
වේදන්තගූ වුසිතබ්‍රහ්මචරියෝ
ධම්මේන සෝ බ්‍රහ්මවාදං වදෙය්්‍ය
යස්සුස්සදා නත්ථි කුහිඤ්චි ලෝකෙති

“යම් අරහත් බ්‍රාහ්මණයෙක් හැම පවක්ම බැහැර කළා නම්, හුහුංකාර මාන්නය නැත්නම්, කෙලෙස් කහට නැත්නම්, සංවර කරගත් සිතක් තිබෙනවා නම්, අවබෝධයේ කෙළවරට පැමිණියා නම්, නිවන්මග සම්පූර්ණ කරගත්තා නම් එබඳු වූ කෙනෙක් ලෝකයේ කිසි අරමුණක් ගැන ඇවිස්සෙන බවක් නැත්නම් අප ඔහුටයි ධර්මානුකූල ලෙස බ්‍රාහ්මණයා යැයි කිව යුත්තේ.”

එනිසා අපත් මේ උතුම් උදානයන් ඔස්සේ අපගේ ශාස්තෘන් වහන්සේගේ නික්ලේශී බව ගැනත් උතුම් අවබෝධය ගැනත් වඩ වඩාත් සිත පහදවා ගනිමු.

No comments:

Post a Comment

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...