බදුල්ල, බණ්ඩාරවෙල පාර ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දීරයේ දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළමු දම් දෙසුම ධම්මචක්ක පවත්වන සූත්‍ර දේශනාව යි. මෙම සූත්‍රය බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග මහණුන් උදෙසා දේශනා කළ සේක. ඇසළ පෝදා දෙසූ මෙම දහම සනාතන දහමයි. ඇසළ උදානය එයයි. දම්සක් දෙසුම පමණක් නොව බෝසතුන් මව්කුස පිළිසිඳ ගැනීම, රාහුල කුමරුන්ගේ උපත, බෝසතුන්ගේ අභිනික්මන ඇසළ පෝදා සිදුව ඇත. උපසම්පන්න භික්ෂූන් වහන්සේ පෙරවස් සමාදන් වන්නේ ද ඇසළ පෝදා ය. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙහි අන්තර්ගත ධර්ම කරුණු තුළ බුදුදහමේ මූලික හරය ගැබ්ව ඇත්තේ ය. දම්සක් පැවැතුම් සුත්‍ර දෙසුම ආරම්භ වන්නේ මෙසේ ය.
ඒවං මේ සුතං ඒකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනේ මිගදායේ, තත්‍ර ඛෝ භගවා පඤ්චවග්ගියේ භික්ඛූ ආමන්තේසි ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේන න සේවිතබ්බා. ඒ අනුව භික්ෂූන් අමතන බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ අන්තගාමි ප්‍රතිපත්ති දෙකක් තුළින් තමන් බැහැර විය යුතු බවයි. සේවනය නොකළ යුතු බවයි. එම අන්ත දෙක කුමක්ද? කාමසුඛල්ලිකානු යෝගෝ ශරීරයට අධික ලෙස සැපදීම. අත්ථකිලමථානු යෝගෝ ශරීරයට අධික ලෙස දුක්දීම ජීවිත යථාර්ථය දක්නට කැමැති පුද්ගලයා මේ අන්තගාමී ප්‍රතිපත්තිවලින් ඈත්ව, මැඳුම් පිළිවෙතේ ගමන් කළ යුතු ය. මැඳුම් පිළිවෙතේ ගමන් කළ යුත්තේ ඉහත කී අන්තගාමි පිළිවෙතින් බැහැර වීමෙනි. එහි දී ගමන් කළයුතු පිරිසුදු මාර්ගය බුදු දහම පෙන්වා දේ. එය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම්, සම්මා දිට්ඨි - මිථ්‍යාවෙන් තොර යහපත් දැකීම සම්මා සංකප්ප - යහපත් සංකල්පනා ඇතිකර ගැනීම සම්මා වාචා - යහපත් වචන කතා කිරීම සම්මා කම්මන්ත - යහපත් ක්‍රියාවල යෙදීම. සම්මා ආජීව - යහපත් දිවි පැවැත්ම සම්මා වායාම - යහපත් උත්සාහය සම්මා සති - යහපත් සිහිය සම්මා සමාධි - යහපත් සමාධිය සම්මා දිට්ඨි හෙවත් යහපත් දැකීම මෙහි පළමු අංගයයි. පුද්ගල ජීවිතයක තිබිය යුතු වැදගත් ම අංගය මෙයයි. එනම් පුද්ගල ජීවිත හෝ ලෝකය දෙස හෝ නිවැරැදි, දැක්මක් ඇතිකර ගැනීමයි. එය කළයුත්තේ මසැසින් නොව මනසින් ය. ප්‍රඥාවෙන් යුක්තව ය. එවිට අප මුහුණ දෙන සෑම ගැටලුවක් ම විසඳා ගත හැකි ය. ජීවිතය පිළිබඳ හොඳ අවබෝධයක් ලද හැකි ය.එම නිවැරැදි අවබෝධය නිසා පුද්ගලයා මිථ්‍යාවෙන් මිදෙන්නේ ය. වැරැදි දැකීමෙන්, සම්‍යග්දෘෂ්ටියකට යොමු වන්නේ ය. සමාජගත වැරැදි අවබෝධය, විවිධ පුද්ගලයන්ගේ විෂමාචාර ක්‍රියා, වැරැදි ඇදැහිලි ක්‍රම, වැරැදි ක්‍රියා, වැරැදි සිතිවිලි යනාදි ය. යහපත් දැකීම තුළින් දුරුවන්නේ ය. ලෝ දනා මුහුණ දෙන සංසාරගත ගැටලු නිරාකරණයට ඇති හොඳම මඟ මැඳුම් පිළිවෙතයි. යහපත් දැක්මක් තුළින් ඇතිකර ගන්නා යහපත් සංකල්පනා නිසා ලොව තව තවත් ලස්සන කරයි. තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරගත් මෙම පිළිවෙතේ ගමන් කරන්නා හරි මඟට යොමුව, නියත වශයෙන් ම නිවන පසක් කර ගන්නේ ය. මිථ්‍යාවෙන් මිදෙන්නේ ය. වැරැදි මඟට නොයන්නේ ය. අරි අට මගෙහි සෑම අංගයක් තුළින් ම පෙන්වා දෙන්නේ, මිථ්‍යාවෙන් මිදුණු උත්තරීතර දහමක් ය. නිවන පසක් වන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධය තුළිනි. චතුරාර්ය සත්‍යය යනු? දුක්ඛ සත්‍යය - දුක සමුදය සත්‍යය - දුක හට ගැනීම නිරෝධ සත්‍යය - දුක නැති කිරීම මාර්ග සත්‍යය - දුක නැති කිරීමේ මාර්ගය ලෝකය දුක මත පිහිටා ඇත. (දුක්ඛේහි ලෝකෝ පතිට්ඨිතෝ) ලොව සැප මත පිහිටා නැත. එබැවින් දුක නැති කිරීම අපගේ මූලික පරමාර්ථයයි. චතුරාර්ය සත්‍යය තුළ උගන්වන මූලික දහම එයයි. ඒ අනුව ඉහත දැක් වූ අයුරු අප ලෝක යථාර්ථය තුළ දුක් සමුදායකට මුහුණ දෙයි. ප්‍රධාන වශයෙන් සූත්‍රයේ දුක් අටක් සඳහන් වේ. එනම්, ජාතිපි දුක්ඛා - ඉපදීම දුකකි ජරාපි දුක්ඛා - මහලුවීම දුකකි ව්‍යාධිපි දුක්ඛෝ - ලෙඩවීම දුකකි මරණම්පි දුක්ඛං - මරණය දුකකි අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ - අපි‍්‍රය අය සමඟ එක්වීම දුකකි. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ - පි‍්‍රය අයගෙන් වෙන්වීම දුකකි. යම්පිච්ඡං න ලබති දුක්ඛං - කැමැති දේ නොලැබීම දුකකි. පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා - යටත් පිරිසෙන් පංචස්ඛන්ධය ම දුකකි. මෙකී දුක නැතිකර ගැනීම සඳහා පිළියම් යෙදිය යුතු ය. ඒ අනුව දුක නැති කිරීමේ මාර්ගය ලෙස බුදුදහම පෙන්වා දෙනු ලබන්නේ ආර්ය මාර්ගයේ ගමන් කිරිමයි. මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරන විට ක්‍රම ක්‍රමයෙන් ප්‍රඥා, සීල, සමාධි (ත්‍රිසික්ෂා) වැඩෙන්නේ ය. අවසන යථාභූත ඤාණ දර්ශනය (යථාභූත ඤාණ දස්සනං) හෙවත් ඇත්ත ඇති සැටියෙන් දකින පරම සත්‍යය පහළ වේ. ආර්ය සත්‍යය අවබෝධ වේ. ජීවිතයේ පරම සත්‍යය දකින නුවණ නමැති ඇස පහළ වේ. ඇත්ත ඇති සැටියෙන් දකින ප්‍රඥාව පහළ වේ. කෙලෙස් නසන විද්‍යාව (විජ්ජා උදපාදි) පහළ වේ. මෝහාන්ධකාරය දුරු වී ප්‍රඥා ලෝකය පහළ වේ. ආලෝකෝ උදපාදි යනු එයයි. පුද්ගලයා දුකට පත්වන්නේ නිමක් නැති තෘෂ්ණාව නිසා ය. තෘෂ්ණාව ආකාර තුනකින් පුද්ගල සන්තානයේ පෙනී සිටින්නේ ය. එනම්, කාම තණ්හා - වස්තු කාම ආශාව (සම්මුතිවාදී දැක්ම) භව තණ්හා - සසරට ඇති ආශාව (ශාස්වතවාදී දැක්ම) විභව තණ්හා - සසර නැති කිරීම පිණිස ඇතිවන ආශාව (උච්ඡේදවාදී දැක්ම) තෘෂ්ණාව යනු වස්තුකාම සම්පත් කෙරෙහි තිබෙන අසීමිත ආශාවයි. තෘෂ්ණාව නැති කිරීම තුළින් නිවන පසක්කර ගත හැකියි. පුද්ගලයා දුකට පත්වන්නේ නිමක් නැති ආශාවන් නිසාම ය. දැඩිව අල්ලා ගැනීම නිසා දුක් ගලා එන්නේ ය. අත්හරින විට දුක ද පහව යන්නේ ය. මෙකී න්‍යාය දර්ශනය බුදු දහම මැනවින් පෙන්වා දෙන්නේ ය. එලෙසම පුද්ගලයා දුකට පත්වන්නේ ආශාව නිසානම්, ඔහු ඒ තුළින් බලාපොරොත්තු වන්නේ සැප විඳීමයි. එබැවින් සෑම සත්ත්වයෙක් ම සැප කැමැත්තෝ වෙති. තමා සැප සොයන්නේ, අන් අය ඝාතනය කර හෝ එම සැප ලබා ගන්නට වෙර දරයි. බුදුදහම එය අනුමත නොකරයි. එනම් අනුන්ට හිංසා පීඩා කොට සැප ලබාගත නොහැකි ය. එසේනම්, සැප ලැබිය හැක්කේ යහපත් දැක්මක් ඇතිව යහපත් ක්‍රියාවල නිරත වීමෙනි. පුද්ගලයෙක් දුක් අටක් විඳින්නා සේ ම, ඔහු ලබන සැප හතරක් ගැන ද වදාරති. එනම්, අත්ථි සුඛ - තමාට ඇතැයි කියා ලබන සැප භෝග සුඛ - වස්තුව දෙස බලා ලබන සැප අණන සුඛ - ණය නොවී ජීවත්වීමේ සැප අනවජ්ජ සුඛ - වැරැදි නොකර ජීවත්වීමේ සැප මෙම සැප සතර ලෞකික සැප හතරකි. තාවකාලික වූ සැප හතරකි. කෙනෙක් පස ඉඳුරන් පිනවීමෙන් මේ සැප සියල්ල ම භුක්ති විඳිති. නමුත් බුදු දහමේ උගන්වන පරම සුවය නිවනයි. ‘නිබ්බානං පරමං සුඛං’ යනු එයයි. එබැවින් අප සැවොම උතුම් නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා උත්සාහ කළ යුතු ය. ඒ අනුව නිවැරැදි දැක්මක් තුළින් සැදෙන යහපත් සමාජය මැඳුම් පිළිවෙත තුළින් නිර්මාණය වන අතර සසර දුක නැති කිරීමෙන් ලබන නිර්වාණය ද ඒ තුළින් ම පසක් වන්නේ ය. සැමට තෙරුවන් සරණයි. |
No comments:
Post a Comment