Showing posts with label දහම් ලිපි. Show all posts
Showing posts with label දහම් ලිපි. Show all posts

Sunday, December 8, 2024

ලොව සනසන බුද්ධ කාරක ධර්ම

 


දුක, දුක ඉපදීමට හේතුව, දුකින් මිදීම හා දුකින් මිදීමේ මග අවබෝධ කර ගනිමින් බෝසතාණන් වහන්සේ සියලු කෙළෙසුන් නසා අති ශ්‍රේෂ්ඨ වූ ද, අති උතුම් වූ ද ලොවුතුරා බුද්ධත්වයට පත් වූහ. මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ ලොව අති ශ්‍රේෂ්ඨ තත්ත්වය වූ බුදු බව ලබා ගැනීම සඳහා උන්වහන්සේ අසංඛ්‍ය කල්ප ගණනාවක් සසර සැරිසරමින් දරන ලද වෙසෙන, පුරන ලද ගුණාංග, කළ කැපකිරීම්, විඳි දුක් කන්දරාව අප්‍රමාණ ය. අනන්තය. කිසිම ගුරුවරයෙකුගේ් මඟ පෙන්වීමක් නොමැතිව බුද්ධකාරක ධර්ම ප්‍රගුණ කොට ස්වකීය ඤාණයෙන් බුද්ධත්වය ලබා ගත්හ. කය - වචන දෙකේ හික්මී ම වූ සීලය, සමාධිය හා නුවණේ් දියුණුව (ප්‍රඥාව) යන ත්‍රිවිධ හික්මීම තුළින් ලැබිය හැකි උපරිම ඵලය වූ ලොවුතුරා බුද්ධත්වයට පත් වූහ.

බෝසතාණන් වහන්සේ ත්‍රිවිධ හික්මීම තුළින් මධ්‍යම ප්‍රතිපදාව පුරමින් ලොවුතුරා බුද්ධත්වයට පත් වූ ආකාරය පිළිබඳ සරල අදහසක් ලබා ගැනීමට හැම දෙනාටම හැකි ය. ඒ සඳහා බුද්ධකාරක ධර්ම (බුදු බව ලබා ගැනීමට සපුරාලිය යුතු ගුණධර්ම) පිරූ අන්දම ‘මම බුදු වෙමි’ යන උදාර අදහස් මුල්කරගෙන නිරතුරු කුසල කර්මවල යෙදුණු අන්දම ද ආදර්ශවත් ය. මෙසේ සිතින් බුදු බව ප්‍රාර්ථනා කිරීම මනඞ ප්‍රණිධාන නම් වෙයි. තුටු පහටු සිතිවිලි ධාරා සිත් තුළ තබා ගනිමින් ඉතා දිගු කාලයක් මුළුල්ලේ එය වචනයෙන් ද ප්‍රාර්ථනා කරමින් කුසල කර්මවල යෙදීම ‘වාක් ප්‍රණිධාන’ නම් වෙයි. වාක්ප්‍රණිධානය තුළින් සිදු කැරෙනුයේ, සිතින් සැලසුම් කළ දේ ප්‍රකාශයට පත් කිරීම හා ක්‍රියාවට නැංවීම යි. අසංඛ්‍ය කල්ප ගණනාවක් මූලික අවශ්‍යතා සපුරාලමින් බුදු වන බවට පළමු නිශ්චිත ප්‍රකාශය වූ ‘නියත විවරණය’ ලබා ගැනීමට හැකි වූයේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙනි. දිගු කලක් සසර සැරිසරමින්, අඛණ්ඩව ගුණදහම් පුරන ලදුව බුදුවරු විසි හතර නමකගෙන් විවිරණ ලබාගත් ආකාරය පැහැදිලි ය.

මෙසේ දීපංකර බුදුරජාණන් වහන්සේ ඇතුළු සූවිසි බුදුවරුන්ගෙන් සූවිසි විවරණ ලබමින් සසර සැරසරමින් බුද්ධකාරක ධර්ම පිරූ අන්දම විශිෂ්ටය. එසේ පිරූ පරමිතා දහයකි. ඒවා නම් දාන, සීල, නෙක්ඛම්ම, ප්‍රඤ්ඤා, වීර්ය, ඛන්ති, සච්ච, අධිට්ඨාන, මෙත්තා, උපේක්ෂා යනු යි. පාරමී, උපපාරමී, පරමත්ථ පාරමී යනුවෙන් සෑම පාරමිතාවක්ම කොටස් තුනකින් සමන්විත වෙයි. එවිට පාරමිතා තිහකි. දාන පාරමි නම් ස්වකීය සන්තකයේ ඇති ධන, ධාන්‍ය ආදී බාහිර වස්තු බුදු බව පතා නිරපේක්ෂකව දන් දීම ය. උපපාරමී යන්නෙන් හැඳින්වෙන්නේ, තම සිරුරේ ඇස්, හිස්, මස්, ලේ, වකුගඩු ආදී ශරීර අවයව ලාභ අපේක්ෂාවෙන් තොරව පරිත්‍යාග කිරීම යි. තම ජීවිතය පුදමින් කරන කැපකිරීම (පාරමිතා පිරීම) පරමත්ථ පාරමිතා ය. ලොවුතුරා බුද්ධත්වය පතා බෝසත්වරයකු පාරමිතා පුරන ආකාරය විස්මය දනවන්නකි. එතුමා ඊට අදාළව නොකරන පරිත්‍යාගයක් නැත. ජීවිතය ද පරිත්‍යාග කරයි. මේ පිළිබඳ බොහෝ තොරතුරු ජාතක කතා ඇසුරින් දත හැකි ය.

පුද්ගලයා වරදට පොළඹවන ප්‍රධාන කෙළෙස් තුනකි. ඒ අකුසල් මුල් නමින් හැඳින්වෙන, ලෝභය, දෝෂය හා මෝහයයි. මෙම අකුසල් මුල් හෙවත් ‘කෙලෙස්’ දමනය කර කුසල් මුල් උපදවා ගැනීමට දානය ඉවහල් වෙයි. බෝධිසත්වයන් බුදුබව පතා ස්වකීය ධනය මිල මුදල්, වතුපිටි, නිවාස ආදී භෞතික වස්තු ද, ඇස්, ඉස් මස් ලේ ආදිය ද මුළු ජීවිතය ද පරිග්‍යාග කළ අන්දම, ජාතික පොතෙන් පැහැදිලි වෙයි. බෝධිසත්ත්වයන් වහන්සේ ස්වකීය ධන ධාන්‍යාදියෙන් ආරම්භව, දීමට අතිශයින් දුෂ්කර අඹුදරුවන් පවා දන් දුන් අන්දම, වෙස්සන්තර ජාතකයෙන් පෙනෙයි.

කය, වචන යන දොරටු දෙක සංවර කර ගැනීම, සීලයයි. බෝධිසත්ව උතුමෝ මෙම ගුණ ධර්ම පාරමිතාවක් (බුද්ධ කාරක ධර්ම) වශයෙන් සම්පූර්ණ කරති. සීල පාරමිතාව පුරන බෝධිසත්වරු බාහිර වස්තු සියල්ල නැතිව ගියත් සීලය කඩ නොකර සීල පාරමිතාව සපුරති. ශරීරයේ අඟ පසඟ සිඳ බිඳ දමද්දී ද, සීල උපපාරමී අවස්ථාව ද ඒ උතුමෝ සපුරති. ජීවිතය ගිලිහී යද්දී සීලය රකිමින් සීල පරමත්ථ පාරමිතාවද සම්පූර්ණ කරති. තමන් මැරීමට ගෙන ගිය සොරුන් නසාලීමේ බලය හා ශක්තිය තිබියදී සංඛ්‍යාත නා රජ තමන් සමාදන් වූ සීලය නොබිඳ - සීල පාරමිතාව සම්පූර්ණ කළ ආකාරය සංඛපාල ජාතිකයෙන් පැහැදිලි වෙයි.

ගෘහ ජීවිතයේ පස්කම් සැප විඳීම අත්හැර ගිහි ගෙයින් නික්මීම ‘නෙක්ඛම්ම’ නම් වෙයි. මෙලොව පස්කම් සැප සම්පත් කෙරෙහි ඇති ආශාව සත්වයාගේ සසර ගමන දිගු කරයි. කාම සැපත පුද්ගලයා තුළ ආශාව වර්ධනය කර, බ්‍රහ්මචර්යාවට බාධා පමුණුවයි. බුදුබව පතන ක්‍රියා මාර්ගයේදී නෙක්ඛම්මය පිරීම බුද්ධකාරක ධර්මයක් වෙයි. ලෞකික සැප සම්පත් මැද, අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින්, රජකම් කිරීමේ හැකියාව තිබියදී ද, හිසෙහි නර කෙසක් දැක, තවුස් දම් පිරූ මඛාදේව රජතුමා පිළිබඳ පුවතින් එය කියැවෙයි.

බුදු බව පතා පෙරුම්දම් පුරන බෝධිසත්වරයකුගේ පරමාර්ථය, ප්‍රඥාව වර්ධනය කර ගැනීමයි. ඒ ප්‍රඥාවෙන් තොරව ලෝක සත්‍යය අවබෝධ කර ගත නොහැකි බැවිනි. ප්‍රඥා පාරමිතාව පිරීම තුළින් අපේක්ෂා කැරෙනුයේ ප්‍රඥාව ක්‍රම ක්‍රමයෙන් දියුණු කර ගැනීම ය. එසේ ප්‍රඥා පාරමිතාව පිරූ බෝසතාණන් වහන්සේ මහෞෂධ පණ්ඩිත නමින් එක් ජීවිතයකදී ලොව පතලව ප්‍රඥාව විිහිදුවා ලෝ වැස්සනට සේවය සැලසූ අන්දම, උම්මග්ග ජාතකයෙන් කියැවෙයි.

පුද්ගලයා කරන ඕනෑම කාර්යයක් සාර්ථක ලෙස ඉටුකර ගැනීමට නම් ඒ සඳහා වීර්යයක් තිබිය යුතුය.

එසේ පුද්ගලයා තුළ ඇති කර ගන්නා වීර්යය, පටන් ගැනීමේ වීර්යය, ඉදිරිපත් වීමේ වීර්යය, නිරතවීමේ වීර්යය යනුවෙන් ප්‍රධාන කොටස් තුනකින් යුත්ක ය. මහා බෝසතාණන් වහන්සේගේ වීර්ය පාරමිතාව ප්‍රදර්ශනය කැරෙන එක් අවස්ථාවකි වණ්නුපථ ජාතකය.

නුරුස්සන දෙයක් සිදු වූ විට සිත තුළ කෝපය මතුවීම පෘථග්ජන ස්වභාවයයි. එසේ ඇතිවන කෝපය මැඬපවත්වාගෙන ක්‍රියාකිරීම ඉවසීමයි. ඉවසීමෙන් ක්‍රියාකරන පුද්ගලයා, සමාජය සමඟ ගැටුම් ආරවුල් ඇතිකර නොගනියි. සැනසිල්ලේ ජීවත්වෙයි. බුදුබව පතන උතුමෝ ඉවසීමෙන් පරපූර්ණ වන අතර, ඉවසීම පාරමිතාවක් වශයෙන් ප්‍රගුණ කිරීම බුද්ධකාරක ධර්මයකි. එය ඛන්ති පාරමිතාව යනුවෙන් හැඳින්වෙයි. කලාබු රජතුමා ඛන්තිවාදී තවුසාගේ අත්, පා, කන්, සිඳ බිඳ දැමීමට ක්‍රියා කිරීමේ දී පවා කිසි අමනාපයක් නොමැතිව ඒ ඉවසා වදාළ අන්දම එහි දැක්වෙයි.

සත්‍යවාදියා කිසි විටෙක බොරු නොකියයි. පොරාන්දු කඩ නොකරයි. අනුන් නොරවටයි. නිරතුරුව සත්‍යයම භාවිතා කරයි. බුදු බව පතන උතුමෝ සත්‍යය පාරමිතාවක් වශයෙන් පුරති. පෝරිසාදයාගේ ග්‍රහණයට අසු වූ මහා සූතසෝම රජතුමා බමුණකුට කළින් දුන් පොරොන්දුවක් ඉටුකිරීමට අවශ්‍ය බව පවසා රජමැදුරට ගොස් ආපසු ඒමට පොරොන්දු වී නික්ම ගියේය. රජතුමා ප්‍රකාශ කළ පරිදිම පොරොන්දුව ඉටුකර පෝරිසාද වෙත පැමිණියේ ය. මේ දුටු පෝරිසාදයා රජතුමා සත්‍ය වචනය මත පිහිටා ක්‍රියා කිරීම ගැන පුදුමයට පත් විය. රජුගේ සත්‍ය ප්‍රතිපත්තියට ගරු කිරීමක් ලෙස රජු මුදවා හැරියා පමණක් නොව එදා සිට පෝරිසාදයා මිනීමස් කෑමෙන් ද වෙන් විය.

ඕනෑම අරමුණක් අභිමතාර්ථයක් මුදුන් පත් කර ගැනීම සඳහා ඇති කර ගත් සිත කිසිම වෙනසකින් තොරව ඒ අයුරින්ම පවත්වා ගැනීම, ‘අධිෂ්ඨානය’ වශයෙන් දැක්විය හැකි ය.පෙරුම්දම් පුරන බෝධිසත්වයෝ තේ්මිය කුමාරයාව ඉපිද කුඩා කළ සිටම රජකම ගැන කලකිරී ඒ ප්‍රතික්ෂේප කළහ. පිය රජ සිහසුන බාර ගන්නා ලෙසට කළ සෑම ඉල්ලීමක්ම බලපෑමක්ම ඉවත දමා සසර ජය ගත් අන්දම, තේමිය ජාතකයෙන් පැහැදිලි වෙයි.

මෙත්තා යනු තමා කෙරෙහි දක්වන හිතවත්කමට සමාන හි වත්කමක්, සියලු සත්තව සමූහයා කෙරෙහිම පතුරවමින් ක්‍රියා කිරීමයි. සිත, කය, වචනය යන තුන් දොරම ඒ අනුව ක්‍රියාත්මක කිරීම ය. මිතුරු සතුරු දෙපාර්ශ්වයටම සමාන ලෙස මෛත්‍රීය පතුරුවා හරිමින් තිරිසන් ආත්මයේදී පවා ක්‍රියාකළ ආකාරය, මහා කපි ජාතකයෙන් පෙනේ.

පි‍්‍රය මනාප වූද, අපි‍්‍රය අමනාප වූද පුද්ගලයන් හා වස්තු කෙරෙහි සම සිතින් ක්‍රියාකිරීම ‘උපේක්ෂාව‘ වෙයි. හිංසා පීඩා පැමිණ වූ නොහික්මුණු ගොපලු දරුවන් කෙරෙහි හෝ ආදර දයාවෙන් සංග්‍රහ කළ ගම්වැසියන් කෙරෙහි විශේෂයක් නොමැතිව උපේක්ෂා සහගත සිතින් ක්‍රියාකළ අන්දම, ලෝමහංස ජාතකයෙන් පැහැදිලි වෙයි. මේ අන්දමට සෑම ජාතක කථා වස්තුවකින්ම දෘශ්‍යමාන වන්නේ, ලොවුතුරා බුද්ධත්වය ලබා ගැනීම සඳහා බුද්ධකාරක ධර්ම ප්‍රගුණ කළ අන්දම සහ ඒ ප්‍රගුණ කිරීමෙන් ලද අති විශාල අධ්‍යාත්මිත හා ප්‍රඥා බලයයි.

බෝධි සත්වයන් වහන්සේ බාහිර වස්තු, ශරීර අවයව පරිත්‍යාග කිරීම, ජීවිතය පරිත්‍යාග කිරීම ආදිය ඉටු කරමින් පාරමිතා පිරූහ. එසේ මහා දුක් කන්දරාවක් විඳ දරා ගනිමින්, අතිමහත් වෙහෙසක් දරා ගුණයක් පුරා භාග්‍යවතුන් වහන්සේ ලොවුතුරා බුද්ධත්වයට පත්වූයේ සසර දුක විඳින ලෝ වැස්සන්ද ඉන් මුදවා ගැනීමේ අභිලාෂයෙනි.

ඉන් තමන් ගැන මෙන්ම අනුන් ගැනද කරුණා දයා ගුණයෙන් බැලීමට තම අනුගාමිකයන්ට ඉගැන්වූහ. මෙම කරුණු ගැන, අවධානය යොමු කරමින්, ලෞකික ජීවිත හැඩගස්වා ගැනීම සඳහා ද බුද්ධකාරක ධර්ම ප්‍රගුණ කිරීම, බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.

Sunday, November 24, 2024

කල්‍යාණ මිත්‍ර සේවනයේ ඇති වැදගත් කම


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

නගරඤ්ච පලාසේන - යෝ නරෝ උපනය්හති
පත්තාපි සුරභි වායන්ති - ඒවං ධීරූප සේවනා

අපගේ ජීවිතයේ පියවරෙන් පියවර, මොහොතින් මොහොත සුමඟට යොමුවීමට දියුණුවට පත්වීමට අවශ්‍ය මූලික අංගයකි. කලණ මිතුරු ඇසුර, මෙහි ඇති වැදගත්කම පිළිබඳ බුදුරජාණන් වහන්සේ විවිධාකාරයෙන් පෙන්වා වදාළහ. අපගේ මාතෘකා ගාථා රත්නයත් එබඳු එක් අවස්ථාවකි. අපි එහි සරල අදහස විමසා බලමු.

කල්‍යාණ මිත්‍ර සේවනය පිළිබඳව සහ එහි වටිනාකම පිළිබඳ අපගේ බුදුරජාණන් වහන්සේ විවිධාකාරයෙන් පෙන්වා වදාරා තිබෙනවා. ඒ උතුම් වූ කල්‍යාණ මිත්‍ර පණ්ඩිත , සත්පුරුෂ ඇසුර අතිශය දුර්ලභ කරුණකි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වූ මෙකල අපට එම දුලභ අවස්ථාව විවිධාකාරයෙන් හිමිව පවතිනවා. එහෙත් සැම කල්හිම අපට එම වාසනාව ලැබෙන්නේ නැහැ.

කල්‍යාණ මිතුරා යනු කවරෙක්ද? යම් පුද්ගලයෙක් සැදැහැවත් වේද? සිල්වත් වේද? බොහෝ දහම් දැන උගත්තේ වේද? පැනවත් වේද? ත්‍යාගවන්ත වේද? ඔහුම කල්‍යාණ මිත්‍රයා වෙයි. ඔහුගේ ඇසුරු කිරීම භජනය කිරීම සමගිව සිටීම, විශ්වාසයෙන් සිටීම යහපත් වේ. “ මේ ආකාරයට අපට ඇසුරට යෝග්‍ය පුද්ගලයන් ධර්මානුකූලව සොයාගන්නට හැකිවෙනවා.

එමෙන්ම නිසරු දෙය නිසරු වශයෙන්ද සරු දෙය සරු වශයෙන්ද අයහපත අයහපත ලෙසද යහපත යහපත ලෙසද පාපය පාපය ලෙසද පින පින ලෙසද අකුසලය අකුසලය ලෙසද කුසලය කුසලය ලෙසද නිවැරැදිව හදුනාගත් වටහාගත් නිවැරැදිව අවබෝධ කරගත් යම් කෙනෙක් සිටිනවා නම් ඔවුන් පණ්ඩිතයන් වෙනවා. ඔව්හුම කල්‍යාණ ගුණ ඇත්තෝ වෙනවා.

සැමගේ සිත් සනසන තම ගෞරවය රැකෙන සැමට සැමතින් සැනසීම උදාකරන උදාර ක්‍රියාවන්ම කිරීමට උනන්දු වනවා. මෙලෙස කායික ඍජු භාවයට පැමිණෙනවා. නුවණැති සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයාගේ කායික,, වාචසික , මානසික සියලු ක්‍රියාවන්ම පිරිසුදු වනවා.

සත්පුරුෂයා තුළ හදුනාගත හැකි තවත් බොහෝ ගුණ තිබෙනවා. නීතියට විනයට සීලයට යුක්තියට ඔහු ගරු කරනවා. අයුක්තිය අසාධාරණය හමුවෙහි ඔහු හිස නමන්නේ නැහැ. එහිදී ඔහු ඍජුව ක්‍රියා කරනවා. එමෙන්ම වරද වරද වශයෙන් ඔහු දකිනවා. ආයත සංවරයේ පිහිටා වැඩ කටයුතු කරනවා. ධනය බලය, නිලය , කුලය හේතුවෙන් දුසිරිතයට දුරාචාරයට යොමුවීමක් නැහැ. අන්‍යයා වරද පෙන්වා දෙන කල්හි කිපෙන්නේද නැත. එහිදී ඔහු වඩාත් සතුටුට පී‍්‍රතියට , ප්‍රමෝදයට පැමිණෙනවා. තමනට ධන නිධානයක් පෙන්වා දුන්නාක් මෙන් සිතා, වඩාත් පී‍්‍රතිවෙනවා. මෘදු , මොලොක් ගුණයෙන් යුතු වනවා. ඔහු හැම විටම මනා සිහිනුවණින් සියලු කටයුතු කරනවා.

සත් පුරුෂයා ලොවටම ක්‍ෂාන්තියකි. ක්‍ෂේම භූමියකි. අඳුර පරදවා , තාරකා ආලෝකය අභිභවනය කර උදාවන පිරිපුන් චන්ද්‍රයා බඳුය. අඳුර දුරු කොට ලොවට ආලෝකය සපයන හිරුවැනිය. යම් කෙනෙක් ඔහුගේ ඇසුරට , සේවනයට පැමිණෙනවා නම් ඒකාන්තයෙන්ම ඔහුට යහපතක්ම යි සිදු වනවා. පුර පස සඳ මෙන් ඔහුගේ අභිවෘද්ධිය වැඩෙනවා. ගුණ නුවණින් දියුණු වෙනවා.

ඇසුරට යෝග්‍ය කළ්‍යාණ ගුණ ඇති මිතුරන් සිව් දෙනෙකු පිළිබඳ අපට සිගාලෝවාද සූත්‍රයෙන් හඳුනා ගන්නට හැකිවෙනවා. උපකාරක මිත්‍රයා සමාන සුඛ, දුක්ඛ, අත්ථක්ඛායි සහ අනුකම්පක යනු එම සිව් දෙනයි.

ඔවුන් තුළ පවත්නා විශේෂ ගති ලක්‍ෂණ අනුවයි මෙම වර්ග කිරීම සිදුවන්නේ. ඒ පිළිබඳවත් විමසා දැන ගැනීම අපට බොහොම වැදගත් වෙනවා.

පළමුවෙන් උපකාරක මිත්‍රයා හඳුනාගනිමු. යම් ප්‍රමාදයක් හේතුවෙන් සිය මිතුරාට හානියක් සිදුවන්නේ නම් හෝ ඔහු වැරැදි ක්‍රියාවනට යොමුවන්නේ නම් එයින් මුදවා ගැනීමට කටයුතු කරනවා. ආරක්‍ෂාව නැති තැන ආරක්‍ෂාව සපයනවා. ඔහු සතු ජීව, අජීව, සම්පත් ආරක්‍ෂා කර දෙනවා. මිතුරාට පැමිණෙන බිය කරදර ආදිය දුරලීමට හැකි සැම වෙහෙසක්ම ගන්නවා. ඔහුගේ අවශ්‍යතා හමුවෙහි අත නොහැර හැකි පමණින් උපකාර වනවා.

සමාන සුඛ දුක්ඛ නමින් දෙවන මිත්‍රයා නම් කරනවා. ඔහු මිතුරාගේ සැපතෙහිදි සතුටුව සමීපයේ සිටිනවා. එමෙන්ම දුකෙහිදීද අත නොහැර ඉන් මිදීමට පහසුකම් සලසනවා. මිතුරාට සඟවන රහසක් ඔහු තුල නැති අතරම මිතුරාගේ සැඟ විය යුතු රහස් කිසිදා කුමන හේතුවක් නිසාවත් හෙලි කරන්නේ නැහැ. විපතේදී අතනොහැර කටයුතු කරනවා මෙන්ම යහපත වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් වුවද, ක්‍රියා කරනවා. මෙම ලක්‍ෂණ ඔහුට ආවේණිකව පිහිටා තිබෙනවා.

මිතුරාගේ දියුණුව, යහපත වෙනුවෙන් අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසනා කරනුයේ අත්‍ථකායි මිත්‍රයා, එමෙන්ම වරදෙහි ආදීනවය මැනවින් ;පන්වාදී වරදින් මුදවා ගැනීමටත් යහපතෙහි ආනිසංස පෙන්වාදී යහපතෙහි යෙදවීමටත් ඔහු වෙහෙසෙනවා. මෙලෙස මිතුරා කෙරෙහි අනුකම්පා පෙරටුව ක්‍රියා කරන හෙයින් හේ අනුකම්පක මිත්‍රයා ලෙස නම් කරනවා. ඔහු සතු තවත් ආවේණික ලක්‍ෂණ කිහිපයක් වනවා. සිදුවන විපතින් බේරා ගැනීමට මහත්සේ වෙහෙසෙනවා. දියුණු වේදි සතුටු ව ඒ සඳහාද උපකාර කරනවා. මිතුරාගේ අගුණ දුර්වලතා කියන්නන් දුටු කළ ඔවුනට ඇති තතු පහදා දී එසේ නොකිරීමට උපදෙස් දෙනවා. එමෙන්ම මිතුරාගේ කීර්තිය ප්‍රශංසාව අගයමින් කටයුතු කරන්නන් හමු වූ කළ ඔවුනට ප්‍රශංසා කර එය තහවුරු කරනවා. මෙපරිදි ඇසුරට සුදුසු මිත්‍රයන් පිළිබඳ බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කර වදාරා තිබෙනවා.

අපි සෑම පින්කමක් අවසානයේ පතන්නේ නිවන් දකින තුරු සත්පුරුෂ ඇසුරම ලැබේවා කියලයි. එපමණට එය උතුම් වනවා. උතුමන්ගේ ඇසුරට යොමුවන විට තම ගුණ දහම් වැඩෙනවා.

අගුණ දුර්වලතා දුරු වනවා. සරු දහම් මොහොතින් මොහොත වැඩෙත්වා . දියුණුවම සැපතම සැනසීමම උදාවෙනවා.