Tuesday, November 29, 2022
Wednesday, September 14, 2022
මෛත්‍රී භාවනාව
මෛත්‍රී භාවනාව
රේරුකානේ චන්දවිමල මහා නා හිමි
අන්‍යයන්ට දුක් නො වෙනවාට සැප ඇති වෙනවාට යහපතක් වෙනවාට අනුන්ගේ යහපත් අදහස් ඉටු වෙනවාට අනුන් දියුණු වෙනවාට උසස් වෙනවාට කැමති බව මෛත්‍රීය ය. අන්‍යයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා යනාදීන් ඒ මෛත්‍රීය අන්‍යයන් කෙරෙහි නැවත නැවත පැතිරවීම තවත් ක්‍රමයකින් කියත හොත් ස්වකීය චින්තනයෙන් අන්‍යයන්ට සෙත් කිරීම මෛත්‍රී භාවනාව නම් වේ. එය නොබෝ කලකින් ම ඵල දැකිය හැකි වන්නා වූ චතුර්ථ ධ්‍යානය තෙක් ගෙන යා හැක්කා වූ භාවනාවෙකි.
අන්‍යයන්ගේ සැපතට දියුණුවට විරුද්ධ ස්වභාවය වූ ඊර්ෂ්‍යාව උප්පත්තියෙන් ම පිහිටා තිබෙන්නා වූ මේ සත්ත්වයෝ ස්වභාවයෙන් ම අනුන්ගේ යහපතට නො කැමැත්තෝ ය. එබැවින් සත්‍ය වූ මෛත්‍රිය ඇති කර ගැනීම පහසු නො වේ. තමන්ගේ අඹුදරු ආදීන්ගේ සැපයට යහපතට කැමති බවක් මිනිසුන් කෙරෙහි ඇත්තේ ය. එය මෛත්‍රිය නොව මෛත්‍රියේ මුහුණුවර ඇති රාගය ය. එය මෛත්‍රියට සතුරු ධර්මයෙකි. වැඩිය යුත්තක් නො ව දුරු කළ යුත්තකි. “අපේ කෙනෙක අපට හොඳ කෙනෙක” යන ඇල්ම වූ හිතවත් බව රාගය ය. අල්පමාත්‍ර ඇල්මකුදු නැති ව අනුන්ගේ යහපත කැමති බව ම සැබෑ මෛත්‍රීය ය., මෛත්‍රිය යි වරදවා ගෙන තමාගේ අඹු දරු ආදීන් පිළිබඳ වූ රාගය දියුණු කරන්නට නො යනු. සත්‍ය වශයෙන් අනුන් සුවපත් කරවීමේ කැමැත්ත නැතිව “සත්ත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා’යි කොතෙක් කීවත් සිතුවත් එයින් ඵලයක් නො දැකිය හැකිය. මෛත්‍රිය වනාහි වඩන තැනැත්තා ය, මෙත් කරනු ලබන සත්ත්වයෝ ය, යන දෙපක්ෂයට ම ලැබෙන ඵල ඇති භාවනාවෙකි. දෙපක්ෂයට ම ඒ ඵල ලැබෙන්නේ සත්‍ය වූ මෛත්‍රියෙනි.
බෞද්ධයාගේ අත්පොත
Sunday, May 16, 2021
මෛත්‍රී භාවනාව – 13 කොටස – මෛත්‍රී ධ්‍යාන 528 ක්
මෛත්‍රී භාවනාව – 13 කොටස – මෛත්‍රී ධ්‍යාන 528 ක් …
Apr 18, 2021 | සිත නිවන භාවනා | 0
මෛත්‍රී භාවනාව – 13 කොටස – මෛත්‍රී ධ්‍යාන 528 ක් …
මෛත්‍රී භාවනාවෙන් සිත සමාධියට පත් කර ගත් යෝගාවචරයාට පටිසම්භිදාමග්ගපාළියෙහි දක්වන ලද ආකාරයට පස් ආකාරයකට සත්ත්වයන් පිළිබඳ විශේෂ පිරිසිඳීමක් නොමැතිව (අනොධිසො) ද, සප්තාකාරයකට විශේෂ පිරිසිඳීමක් සහිතව (ඔධිසො) ද, දශ ආකාරයකින් දිශා වශයෙන් ද මෙත් සිත පැතිරවිය හැකි වේ. මේ සියල්ල මෛත්‍රී ධ්‍යාන සමාපත්තිය උපදවන ලද යෝගියාට ම කළ හැකි බව විශුද්ධිමාර්ගයේ සඳහන් වේ.
‘සබ්බේ සත්තා, සබ්බේ පාණා, සබ්බේ භූතා, සබ්බේ පුග්ගලා, සබ්බේ අත්තභාවපරියාපන්නා’ යනුවෙන් පස් ආකාරයකට විශේෂ පිරිසිඳීමක් රහිතව මෙත් සිත පැතිරවීමේ දී ‘අවේරා හොන්තු, අබ්‍යාපජ්ඣා හොන්තු, අනීඝා හොන්තු, සුඛී අත්තානං පරිහරන්තු’ යනුවෙන් සතර පදයකින් මෛත්‍රිය පැවැත්විය හැකි වේ. ඒ අනුව මෛත්‍රී ධ්‍යාන විස්සක් (20) ඉපදවිය හැකි වේ.
සප්තාකාරයකට විශේෂ පිරිසිඳීමක් සහිතව මෙත් සිත පැතිරවිය හැකි වේ. එනම් ‘සියලු ස්ත්‍රීන් (සබ්බා ඉත්ථියො), සියලු පුරුෂයන් (සබ්බේ පුරිසා), සියලු ආර්යයන් (සබ්බේ අරියා), සියලු අනාර්යයන් (සබ්බේ අනරියා), සියලු දෙවියන් (සබ්බේ දේවා), සියලු මනුෂ්‍යයන් (සබ්බේ මනුස්සා), සියලු විනිපාතිකයන් (සබ්බේ විනිපාතිකා)’ යන සත්ත්ව කොට්ඨාස සත (7) අරමුණු කරමින් මෛත්‍රිය වැඩිය හැකි වේ. එහි දී ද ‘වෛර නැත්තෝ වෙත්වා, නිරෝගී වූවෝ වෙත්වා, නිදුක් වූවෝ වෙත්වා, සුවසේ ආත්මය පරිහරණය කරත්වා’ යන සතර පදයෙන් ම මෙත් සිත පැවැත්විය හැකි වේ. ඒ අනුව විශේෂ පිරිසිඳීමක් සහිතව මෛත්‍රී ධ්‍යාන අට විස්සක් (28) ඉපදවිය හැකි වේ.
මෙහි දී ද ඉහත පැහැදිලි කරන ලද ආකාරයට ම පළමුව මෛත්‍රී සමාපත්තිය උපදවා ගත යුතු වේ. එහි දී පළමුව තමන්ට මෙත් වඩා දෙවනුව හිත, මධ්‍යස්ථ, අහිත පුද්ගලයන්ට මෙත් සිත පවත්වා සීමා සම්භින්දනයෙන් සිත මෛත්‍රී ප්‍රථමධ්‍යානයට පත් කර ගත යුතු වේ. අනතුරුව ලෝකයේ වෙසෙන සියලු ස්ත්‍රී සත්ත්වයන් හෝ පුරුෂ සත්ත්වයන් අරමුණු කර මෛත්‍රී සමාපත්තිය පැවැත්විය යුතු වේ. ස්ත්‍රී-පුරුෂයන් යනු ලිංගභේද වශයෙන් මෙත් සිත පැවැත්වීමයි. ඒ අනුව ‘වෛර නැත්තෝ වෙත්වා’ යන පදය ගෙන මෛත්‍රී සමාපත්තිය උපදවා ‘සියලු ස්ත්‍රීන් වෛර නැත්තෝ වෙත්වා’ යැයි එක් අර්පණාවක් ඉපදවිය හැකි වේ. එසේ ම ‘සියලු ස්ත්‍රීන් නිරෝගී වූවෝ වෙත්වා’ ‘සියලු ස්ත්‍රීන් නිදුක් වූවෝ වෙත්වා’ ‘සියලු ස්ත්‍රීන් සුවසේ ආත්මය පරිහරණය කරන්නෝ වෙත්වා’ යනුවෙන් ද අර්පණා ඉපදවිය හැකි වේ. ඉන්පසු නැවත ‘සියලු පුරුෂයන්’ යැයි අරමුණු කරමින් මේ සතරාකාරයෙන් ම මෙත් සිත පැවැත්විය හැකි වේ.
ආර්ය-අනාර්ය යනු ආර්ය පෘථග්ජන වශයෙන් මෙත් සිත පැතිරවීමයි. ඒ එකිනෙක කොට්ඨාසයට ද ‘වෛර නැත්තෝ වෙත්වා’ යනාදි සතරාකාරයෙන් මෙත් වැඩිය හැකි වේ. දෙවා-මනුස්සා-විනිපාතිකා යනු උත්පත්ති වශයෙන්. නැතහොත් ජාති වශයෙනි. ඒ සියලු දෙනා පිළිබඳව ම විශේෂයෙන් පිරිසිඳ අරමුණු කර ‘වෛර නැත්තෝ වෙත්වා’ යනාදි සතරාකාරයෙන් මෛත්‍රිය පැතිරවිය හැකි වේ. ඒ අනුව එකිනෙක කොට්ඨාසයට ධ්‍යාන සතර බැගින් ධ්‍යාන අට විස්සක් (28) ඉපදවිය හැකි වේ.
අනතුරුව දිශා වශයෙන් මෙත් සිත පැතිරවිය හැකි වේ. දිශා වශයෙන් මෙත් සිත පැවැත්වීම පිළිබඳව ඉහත පැහැදිලි කරන ලදී. එහි දී එකිනෙක දිශාවේ සියලු සත්ත්වයන්, සියලු ප්‍රාණීන්, සියලු භූතයන්, සියලු පුද්ගලයන් සහ සියලු ආත්මභාව පර්යාපන්නයන් අරමුණු කළ යුතු වේ. තව ද ‘වෛර නැත්තෝ වෙත්වා’ යනාදි සතරාකාරයෙන් ම මෙත් සිත පැවැත්විය යුතු බැවින් ‘පෙරදිග වැසි සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා’ යනාදි ලෙස මෛත්‍රිය වැඩිය යුතු වේ.
එහි දී ද පළමුව ‘වෛර නැත්තෝ වෙත්වා’ යනාදි එක් පදයකින් තමන්ට මෙත් වඩා හිත, මධ්‍යස්ථ, අහිතවත් පුද්ගලයන්ට මෙත් වඩා සීමා සම්භින්දනය කොට මෛත්‍රී ප්‍රථම ධ්‍යානය උපදවා ගත යුතු වේ. අනතුරුව ‘පෙරදිග වැසි සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා’ යනාදි ලෙස මෛත්‍රිය පැතිරවිය යුතු වේ. ඒ අනුව එක් දිශාවක් පිළිබඳ සත්ත්ව කොට්ඨාස පස ම අරමුණු කර ‘වෛර නැත්තෝ වෙත්වා’ යනාදි සතරාකාරයෙන් විසි (20) අර්පණාවක් ඉපදවිය හැකි වේ. ඒ අනුව දශ දිශාවට මෛත්‍රිය වැඩීමේ දී සියල්ල මෛත්‍රී අර්පණා දෙසියයක් (200) ඉපදවිය හැකි වේ.
එසේ ම එකිනෙක දිශාවෙහි වසන සියලු ස්ත්‍රීන්, පුරුෂයන් යනාදි සප්ත පුද්ගලයන් ම අරමුණු කරගෙන ‘වෛර නැත්තෝ වෙත්වා’ යනාදි සතර පදයන්ගෙන් මෙත් සිත පැවැත්විය හැකි වේ. එහි දී ද පළමුව තමන්ට ‘වෛර නැත්තෙක් වෙම්වා’යි මෙත් වඩා හිත, මධ්‍යස්ථ, අහිත පුද්ගලයන් අරමුණු කරගෙන මෙත් වඩා සීමා සම්භින්දනය කිරීමෙන් මෛත්‍රී ප්‍රථම ධ්‍යානය උපදවා ගත යුතු වේ. අනතුරුව කිසියම් එක් දිශාවක් තෝරාගෙන ‘පෙරදිග වැසි සියලු ස්ත්‍රීන් වෛර නැත්තෝ වෙත්වා’ යනාදි ලෙස මෛත්‍රිය පැතිරවිය යුතු වේ. නැවත ‘නිරෝගී වූවෝ වෙත්වා’ යන පදය ගෙන මෙත් වඩා ‘පෙරදිග වැසි සියලු ස්ත්‍රීන් නිරෝගී වූවෝ වෙත්වා’ යනාදි ලෙස මෛත්‍රිය පැතිරවිය යුතු වේ. එසේ ම ‘නිදුක් වූවෝ වෙත්වා’, ‘සුවසේ ආත්මය පරිහරණය කරන්නෝ වෙත්වා’ යනුවෙන් ද මෙත් වඩා එක් දිශාවක් පිළිබඳ මෛත්‍රී අර්පණා අටවිස්සක් (28) ඉපදවිය හැකි වේ. එසේ එක් දිශාවක සත්ත්වයන් අරමුණු කරමින් ධ්‍යාන අටවිස්ස (28) බැගින් දශ දිශාවට ම සියල්ල මෛත්‍රී ධ්‍යාන දෙසිය අසූවක් (280) ඉපදවිය හැකි වේ. ඒ අනුව දිශා වශයෙන් මෛත්‍රී ධ්‍යාන හාරසිය අසූවක් (480) ක් ඉපදවිය හැකි වේ.
මේ අනුව පටිසම්භිදාමග්ගපාළියෙහි කියන ලද ආකාරයට මෛත්‍රී භාවනාවෙන් විශේෂ සත්ත්ව පිරිසිඳීමක් නොමැතිව අර්පණා විස්සක් (20) ද ස්ත්‍රී පුරුෂාදි ලෙස විශේෂ සත්ත්ව පිරිසිඳීමක් සහිතව අර්පණා අටවිස්සක් (28) ද දිශා වශයෙන් අර්පණා හාරසිය අසූවක් (480) ක් ද යැයි සියල්ල අර්පණා පන්සිය විසි අටක් (528) ක් ඉපදවිය හැකි වේ.
මෙසේ විග්‍රහ කර දක්වන ලද මෛත්‍රී සමාධීන් අතරින් යම් කිසි සමාධියකගේ වශයෙන් මෙත් වඩා ඉහත විස්තර කරන ලද ‘සුඛං සුපති’ ආදි ආනිසංස ලැබිය හැකි අතර ඒ මෛත්‍රී සමාපත්තිය පදනම් කරගෙන විදසුන් වඩා උතුම් නිර්වාණය සාක්‍ෂාත් කර ගත හැකි වේ. ඒ සඳහා නිවන් කැමති සත්පුරුෂයෝ උත්සාහ කරත්වා !
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
Thursday, May 13, 2021
මෛත්‍රී භාවනාව – 12 කොටස – මෛත්‍රිය පැතිරවීම
මෛත්‍රී භාවනාව – 12 කොටස – මෛත්‍රිය පැතිරවීම – පටිසම්භිදාමග්ගපාළිය අනුව
Apr 5, 2021 | සිත නිවන භාවනා | 0
මෛත්‍රී භාවනාව – 12 කොටස – මෛත්‍රිය පැතිරවීම – පටිසම්භිදාමග්ගපාළිය අනුව
මෛත්‍රී භාවනාවෙන් සීමා සම්භින්දනය කොට හිත අහිත මැදහත් සෑම පුද්ගලයෙකුට ම එක සේ මෙත් සිත පැවැත්විය හැකි වේ නම් සිත ප්‍රථම ධ්‍යානයෙන් අර්පණාවට පැමිණෙන බව ඉහත පැහැදිලි කරන ලදී. පළමුව තමන්ට මෙත් සිත පවත්වා අනතුරුව හිතවත් සම්භාවනීය පුද්ගලයාගේ පටන් අහිතවත් පුද්ගලයා දක්වා මෙත් සිත පවත්වා පුරුදු කරන ලද යෝගියා සියලු හිත අහිත මැදහත් පුද්ගලයන් අරමුණු කර මෛත්‍රිය වඩයි. එයින් සම සේ මෙත් සිත පැවැත්විය හැකි වන පරිදි සීමා සම්භින්දනය වේ නම් සිත ප්‍රථම ධ්‍යානයට පත් වේ. අනතුරුව ඒ මෙත් සිත නැවත නැවත පරිශීලනය කරමින් ශක්තිමත් කරගෙන දෙවන තෙවන ධ්‍යානයන්ට ද පැමිණිය හැකි වේ.
මෛත්‍රියෙන් ප්‍රථම ධ්‍යානය උපදවන ලද යෝගියා එම ධ්‍යානයෙන් නැගී සිට ධ්‍යානාංග ප්‍රත්‍යවේක්‍ෂා කළ යුතු වේ. ඒ අනුව විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා යන අංගවලින් සමන්වාගත බව හඳුනාගත හැකි වේ. මෙහි දී ද ඉහත ආනාපානසති භාවනාවේ දී පැහැදිලි කළ ආකාරයට ධ්‍යාන වශී භාවයට පත් කර ගන්නේ නම් වඩාත් සුදුසු වේ.
ප්‍රථම ධ්‍යානයෙන් නැගී සිට අංග ප්‍රත්‍යවේක්‍ෂා කර විතක්ක, විචාර නොමැති ද්විතීය ධ්‍යානයට සම වැදිය යුතු වේ. ප්‍රථම ධ්‍යානය ඉපදවීමට අරමුණු කරන ලද පුද්ගලයා ම අරමුණු කරගෙන විතක්ක, විචාර රහිත ද්විතීය ධ්‍යානයට සම වැදිය යුතු වේ. නැවත එයින් නැගී සිට ධ්‍යානාංග ප්‍රත්‍යවේක්‍ෂා කර එම පුද්ගලයා ම අරමුණු කරගෙන පීති රහිත සුඛ ඒකග්ගතා සහිත තෘතීය ධ්‍යානයට සම වැදිය හැකි වේ. මෙසේ මෛත්‍රී භාවනාවෙන් ප්‍රථම, ද්විතීය සහ තෘතීය ධ්‍යානයන්ට පැමිණිය හැකි අතර චතුර්ථ ධ්‍යානය ඉපදවිය නො හැකි වේ.
මෛත්‍රී භාවනාවෙන් අර්පණා සමාධිය උපදවන ලද යෝගාවචරයාට පටිසම්භිදාමග්ගපාළියෙහි දක්වන ලද ආකාරයට පස් ආකාරයකට අවධියක් නැතිව (අනොධිසො) හෙවත් විශේෂ පිරිසිඳීමක් නොමැතිව මෛත්‍රී ධ්‍යානය ඉපදවීම ද, සප්තාකාරයකට අවධියක් සහිතව (ඔධිසො) මෛත්‍රී ධ්‍යානය පැතිරවීම ද, දශ ආකාරයකින් දිශා වශයෙන් මෛත්‍රිය පැතිරවීම ද දත යුතු වේ. මේ සියල්ල මෛත්‍රී ධ්‍යානය උපදවන ලද යෝගියාට පමණක් ම සමෘද්ධමත් වේ.
සියලු සත්ත්වයෝ, සියලු ප්‍රාණීන්, සියලු භූතයන්, සියලු පුද්ගලයන්, සියලු ආත්මභාව පර්යාපන්නයන් යනුවෙන් ආකාර පසකට මෙත් වැඩීම කළ හැකි බව පටිසම්භිදාමග්ගපාළිය දක්වයි. ඒ අනුව සියලු සත්ත්වයන් අරමුණු කරමින් ‘වෛර නැත්තෝ වෙත්වා’ යනාදි ක්‍රමයෙන් මෙත් වැඩීම කළ හැකි වේ. නැවත් සියලු ප්‍රාණීන් අරමුණු කළ හැකි වේ.
ඒ අනුව ‘වෛර නැත්තෝ වෙත්වා’ (අවෙරා හොන්තු) යන එක් පදයකින් සියලු සත්ත්වයන්ට මෙත් වැඩීම කළ හැකි වේ. ‘සත්ත්ව’ ශබ්දයෙන් ඉතිරියක් නැතිව සියලු ම සත්ත්වයන් අරමුණු කරනු ලැබේ. එසේ ‘සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා’ යැයි මෙත් වඩා සිත ප්‍රථම ධ්‍යානයෙන් සමාධිමත් කර ගෙන එයින් ද්විතීය, තෘතීය ධ්‍යානයන් ද උපදවා ගත හැකි වේ.
අනතුරුව ‘නිරෝග වූවෝ වෙත්වා’ (අව්‍යාපජ්ඣා හොන්තු) යන දෙවන පදයෙන් ද මෛත්‍රිය උපදවාගත හැකි වේ. ඒ අනුව ‘සියලු සත්ත්වයෝ නිරෝග වූවෝ වෙත්වා’ යැයි මෙත් වඩා පෙර කී ආකාරයෙන් ම ප්‍රථම, ද්විතීය, තෘතීය ධ්‍යානයන් උපදවා ගත හැකි වේ.
අනතුරුව ‘නිදුක් වූවෝ වෙත්වා’ (අනීඝා හොන්තු) යන තෙවන පදයෙන් මෙත් සිත පැවැත්විය හැකි වේ. එසේ ‘සියලු සත්ත්වයෝ නිදුක් වූවෝ වෙත්වා’ යනුවෙන් ද මෙත් වඩා ඉහත කී ආකාරයෙන් ම ප්‍රථම, ද්විතීය, තෘතීය ධ්‍යානයන් උපදවා ගත හැකි වේ.
අනතුරුව ‘සුවසේ ආත්මය පරිහරණය කරත්වා’ (සුඛී අත්තානං පරිහරන්තු) යන සිව්වන පදයෙන් ද සියලු සත්ත්වයන්ට ‘සියලු සත්ත්වයෝ සුවසේ ආත්මය පරිහරණය කරන්නෝ වෙත්වා’ යැයි මෛත්‍රිය වඩා ප්‍රථම, ද්විතීය, තෘතීය ධ්‍යාන උපදවා ගත හැකි වේ.
මේ අනුව ‘සියලු සත්ත්වයෝ’ යැයි අරමුණු කර ‘වෛර නැත්තෝ, නිරෝගි වූවෝ, නිදුක් වූවෝ, සුවසේ ආත්මය පරිහරණය කරන්නෝ වෙත්වා’ යනුවෙන් මෙත් සිත පැතිරවීමෙන් ධ්‍යාන සතරක් ඉපදවිය හැකි වේ.
නැවත ‘සියලු ප්‍රාණීන්’ යැයි අරමුණු කිරීම කළ හැකි වේ. ප්‍රාණීන් යනු ජීවත් වන අර්ථයෙන් වේ. ආශ්වාස ප්‍රශ්වාස අයත් කොට පවත්නා සියලු ජීවයක් සහිත වූවන් ප්‍රාණීන් ලෙස ගැනේ. ඒ අනුව සියලු ප්‍රාණීන් යැයි අරමුණු කිරීමෙන් ද ඉහත ‘වෛර නැත්තෝ, නිරෝගි වූවෝ, නිදුක් වූවෝ, සුවසේ ආත්මය පරිහරණය කරන්නෝ වෙත්වා’ යනුවෙන් මෙත් සිත පැතිරවීමෙන් ධ්‍යාන සතරක් ඉපදවිය හැකි වේ.
නැවත ‘සියලු භූතයන්’ යැයි අරමුණු කළ හැකි වේ. කර්ම ක්ලේශ දෙකින් විශේෂයෙන් උපන් සත්ත්වයන් යන අර්ථයෙන් භූත නම් වේ. ඒ අනුව සියලු භූතයන් යන අරමුණු කිරීමෙන් ‘වෛර නැත්තෝ, නිරෝගි වූවෝ, නිදුක් වූවෝ, සුවසේ ආත්මය පරිහරණය කරන්නෝ වෙත්වා’ යනුවෙන් මෙත් සිත පතුරවා ධ්‍යාන සතරක් ඉපදවිය හැකි වේ.
නැවත ‘සියලු පුද්ගලයන්’ යැයි අරමුණු කළ හැකි වේ. ‘පූරණතො ගලනතො ච පුග්ගලා’ යන නිරුක්ති අනුව ඒ ඒ සත්ත්ව නිකාය එහි උපදින්නා වූ සත්ත්වයන්ගෙන් පිරේ. සත්ත්වයන් ඒ ඒ සත්ත්ව නිකයෙහි යත්. ඒ අර්ථයෙන් සියලු සත්ත්වයන් පුද්ගලයන් ලෙස සැලකේ. ඒ සියලු පුද්ගලයන් අරමුණු කිරීමෙන් ද ‘වෛර නැත්තෝ, නිරෝගි වූවෝ, නිදුක් වූවෝ, සුවසේ ආත්මය පරිහරණය කරන්නෝ වෙත්වා’ යනුවෙන් මෙත් සිත පතුරවා ධ්‍යාන සතරක් ඉපදවිය හැකි වේ.
නැවත ‘සියලු ආත්මභාව පර්යාපන්නයන්’ යැයි අරමුණු කළ හැකි වේ. ආත්මභාවය යනු ශරීරය හෙවත් ස්කන්‍ධ පඤ්චකය යි. ඒ ස්කන්‍ධ පඤ්චකයේ අන්තර්ගත සියලු සත්ත්වයෝ ආත්මභාව පර්යාපන්නයෝ ය. ඒ සියලු ආත්මභාව පර්යාපන්න සත්ත්වයන් අරමුණු කිරීමෙන් ද ‘වෛර නැත්තෝ, නිරෝගි වූවෝ, නිදුක් වූවෝ, සුවසේ ආත්මය පරිහරණය කරන්නෝ වෙත්වා’ යනුවෙන් මෙත් සිත පතුරවා ධ්‍යාන සතරක් ඉපදවිය හැකි වේ.
මෙසේ පටිසම්භිදාමග්ගපාළියෙහි සඳහන් වන ආකාරයට ‘සබ්බේ සත්තා, සබ්බේ පාණා, සබ්බේ භූතා, සබ්බේ පුග්ගලා, සබ්බේ අත්තභාවපරියාපන්නා’ යන පස් ආකාරයට අරමුණු කිරීමෙන් අවධිරහිතව හෙවත් විශේෂ පිරිසිඳීමක් නොමැතිව මෛත්‍රී අර්පණා සතර බැගින් සියල්ල අර්පණා විස්සක් ඉපදවිය හැකි වේ. ඒ සෑම අරමුණු කිරීමක් ම ප්‍රථම, ද්විතීය, තෘතීය ධ්‍යාන වශයෙන් මතු අර්පණාවන්ට පැමිණිය හැකි වේ.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
Tuesday, May 11, 2021
මෛත්‍රී භාවනාව – 11කොටස – ‘එකං දිසං ඵරිත්වා විහරති’ … මෙත් සිත දිශා වශයෙන් පතුරවමු
මෛත්‍රී භාවනාව – 11කොටස – ‘එකං දිසං ඵරිත්වා විහරති’ … මෙත් සිත දිශා වශයෙන් පතුරවමු.
Apr 5, 2021 | සිත නිවන භාවනා | 0
මෛත්‍රී භාවනාව – 11කොටස – ‘එකං දිසං ඵරිත්වා විහරති’ … මෙත් සිත දිශා වශයෙන් පතුරවමු.
තමන්ට මෙන් ම සෙසු අහිතවත් පුද්ගලයාට ද සම සේ මෙත් වැඩිය හැකි යෝගියාගේ සිත මෛත්‍රියෙන් අර්පණා සමාධියට පත් වේ. මෙය මෛත්‍රී භාවනාවේ සීමා සම්භින්දනය ලෙස විශුද්ධි මාර්ගයේ දැක්වේ. එසේ මෙත් වඩා පුහුණු කර ගත් මෙත් සිත විශ්වය දක්වා පතුරවා සමාධිය ශක්තිමත් කරගෙන අනතුරුව දස දිශාවන්ට මෙත් වැඩිය යුතු වේ. එසේ දිශා වශයෙන් ද මෙත් සිත පැතිරවිය යුතු වේ.
නැවතත් පළමුව තමන්ගෙන් ආරම්භ කර මෙත් වඩන්න. පිළිවෙළට ඉක්මනින් සෙසු අයට ද මෙත් වඩා සිතේ සමාධිය ශක්තිමත් කරගෙන අනතුරුව ඒ මෙත් සිතෙන් පෙර දිග දිශාවේ සියලු සත්ත්වයන් අරමුණු කරන්න. ‘පෙර දිග දිශාවේ සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා’ යැයි බොහෝ වේලාවක් මෙත් වැඩීම සිදු කරන්න. එවිට පෙර දිග දිශාවේ සිටින සියලු දෙනා තම සිතට අරමුණු වන බවක් වැටහේවි. ඒ සියලු දෙනාට මෙත් සිත පැතිරවීමේ දී ඒ ඔස්සේ සිත සමාධිමත් වී නැවතත් සීමා සම්භින්දනය වී සිත අර්පණාගත වේ. එනම් ප්‍රථම ධ්‍යානයට පත් වේ.
එසේ පෙරදිග දිශාවේ සියලු සත්ත්වයන්ට මෙත් වඩමින් භාවනා ආසනයක් හෝ කිහිපයක් සිදු කර ගැනීම යෝගියාට සුදුසු වේ. ඒ තුළින් මෛත්‍රී සමාධිය ශක්තිමත් වේ. නැවත උතුරු දිශාවේ සියලු සත්ත්වයන් අරමුණු කළ හැකි වේ. එසේ උතුරු දිශාවේ සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා යැයි මෙත් වැඩීම සිදු කරන්න. ඒ උතුරු දිශාවේ සියලු සත්ත්වයන් ද අරමුණු වී මෙත් සිත පවතීවි. ඒ ඔස්සේ ද සීමා සම්භින්දනය වී නැවතත් සිත ප්‍රථම ධ්‍යානයෙන් සමාධිමත් වේ.
එසේ උතුරු දිශා වැසි සියලු සත්ත්වයන් අරමුණු කර මෙත් වඩා අනතුරුව දකුණු දිශාවේ සියලු සත්ත්වයන් අරමුණු කළ හැකි වේ. දකුණු දිශා වැසි සියලු සත්ත්වයන්ට ද වෛර නැත්තෝ වෙත්වා යැයි මෙත් සිතින් අරමුණු කිරීමේ දී ඒ අරමුණේ සිත සමාධිමත් වේ. එසේ ප්‍රධාන දිශා සතරෙහි ම සත්ත්වයන්ට මෙත් සිත පතුරවා ඊළඟට අනු දිශා වැසි සත්ත්වයන් අරමුණු කළ හැකි වේ.
‘උතුරු අනුදිශාවේ (ඊසාන) සියලු සත්ත්යෝ වෛර නැත්තෝ වෙත්වා’ යැයි උතුරු අනු දිශාවේ සියලු සත්ත්වයන්ට මෙත් සිත පැතිරවිය හැකි වේ. එසේ ම නැගෙනහිර අනුදිශාවේ, දකුණු අනුදිශාවේ, බස්නාහිර අනුදිශාවේ යනුවෙන් සියලු සත්ත්වයන්ට මෙත් වැඩිය යුතු වේ. එසේ අනුදිශාවන් ද සමඟ අට දිශාවකට මෙත් සිත පතුරවන ලද්දේ වෙයි.
අට දිශාවට මෙත් සිත පතුරවන ලද යෝගියා අනතුරුව උඩ දිශාවට ද යට දිශාවට ද මෙත් සිත පැතිරවිය යුතු වේ. මිනිස් ලොවට ඉහළින් ඇති සත්ත්වයන් සියලු දෙනා අරමුණු කර ‘වෛර නැත්තෝ’ වෙත්වා යැයි මෙත් වැඩීමෙන් සිත සමාධිමත් කර ගත යුතු වේ. අනතුරුව යට දිශාවේ සියලු සත්ත්වයන්ට ද ‘වෛර නැත්තෝ වෙත්වා’ යැයි මෙත් සිත පැතිරවිය යුතු වේ.
මෙසේ එකිනෙක දිශාවන්ට වෙන වෙන ම මෛත්‍රිය පැතිරවීමෙන් වෙන වෙන ම සිත ප්‍රථම ධ්‍යානයට පත් කර ගත හැකි වේ. ඒ කිසියම් දිශාවකින් සිත වඩාත් හොඳින් සමාධිමත් වන තෙක් ඊළඟ දිශාවට මෙත් වැඩීම නො කිරීම වඩාත් සුදුසු වේ. එකිනෙක දිශාවෙන් සිත සමාධිමත් කර ගැනීමෙන් ඒ දිශා වැසි සත්ත්වයන් අරමුණු කරගෙන සීමා සම්භින්දනය වී සිත අර්පණා ප්‍රාප්ත වේ.
‘මෙත්තා සහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති’ යනාදි ක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේ මෛත්‍රී සමාපත්තිය පිළිබඳ දෙශනා කිරීමේ දී මෙම දිශා වශයෙන් මෙත් සිත පැතිරවීම වදාළ සේක. වරෙක බුදුරජාණන් වහන්සේ වාසෙට්ඨ භාරද්වාජ බ්‍රාහ්මණයාට සම්බුද්ධ ශාසනයේ භික්ෂුවක් මෙත් සිත පතුරවා, මෛත්‍රී විහරණයෙන් වාසය කරන ආකාරය මෙසේ වදාළහ. එසේ ම තවත් අවස්ථාවක භික්‍ෂුවක් බ්‍රහ්මත්වයට පත් වන ආකාරය දේශනා කරන බුදුරජාණන් වහන්සේ එම භික්ෂුව මේ අයුරින් සමස්ථ ලෝකයට මෙත් සිත පතුරවා වාසය කරන බව වදාළහ.
ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් අට්ඨකනාගර සූත්‍ර දේශනාවේ දී දසම ගෘහපතියා අරබයා අර්හත්වය දක්වා භාවනා ක්‍රම එකොළොසක් විවරණය කරන ලදී. එහි දී මෛත්‍රී භාවනාව පදනම් කරගෙන අර්හත්වය දක්වා භාවනාව බුදුරජාණන් වහන්සේ විසින් දක්වන ආකාරය පහදා දෙන ලදී. ‘මෙත්තා සහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති’ යනාදි ක්‍රමයෙන් දශ දිශාවන්ට ද අනතුරුව සියලු ලෝක සත්ත්වයාට ද මෙත් වැඩීම බුදුරජාණන් වහන්සේ විසින් වදාළ අතර ඒ ඒ දිශාවේ සත්ත්වයන් අරමුණු කරගෙන සිත සමාධිමත් කරගෙන එය පදනම් කරගෙන විදසුන් වැඩිය යුතු වේ.
මෙහි දී ඇතැම් අය භාවිතා කරන වැරදි භාවනා ක්‍රම පිළිබඳව ද පැහැදිලි කිරීම අවශ්‍ය වේ. ඇතැම් කෙනෙක් මෙම මෛත්‍රී භාවනාව බුදුරජාණන් වහන්සේගේ සෙසු සූත්‍ර දේශනාවක් සමඟ මිශ්‍ර කර ගන්නා බව අසන්නට ලැබේ. ඇතමෙක් සිඟාලෝවාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ විසින් එකිනෙක දිශාව එකිනෙක පාර්ශවය අරබයා නම් කරන ලද ආකාරය මෛත්‍රී භාවනාවේ දිශා වශයෙන් මෙත් සිත පැතිරවීම සමඟ මිශ්‍ර කරගනිති. ඒ අනුව සිඟාලෝවාද සූත්‍රයේ දී පෙර දිග දිශාව මව්පියන් ලෙස නම් කළ බැවින් පෙර දිග දිශාවට මෙත් සිත පැතිරවීම යනු අතීතයේ මේ දක්වා අපට සිටි මව්පියන්ට මෙත් වැඩීම බව දක්වති. ඒ අනුව සංසාරයේ මේ දක්වා හමු වූ සියලු මව්පියන්ට මෙත් වඩන අදහසින් මෙත් වැඩිය යුතු බව දක්වති.
මෙය වැරදි මෛත්‍රී වැඩීමක් වේ. ඒ තුළින් සිතේ මෙත් සිතක් ඇති වී කුශලයක් රැස් වේවි. එහෙත් විදර්ශනාවට පාදක කර ගත හැකි මෛත්‍රී භාවනාවක් සමෘද්ධමත් නොවේ. අතීතයේ සිටි සියලු මව්පියන් අරමුණු කර මෙත් වැඩීමෙන් කිසිදු ලෙසකට බුදුරජාණන් වහන්සේ ‘මෙත්තා සහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති’ යනාදි ක්‍රමයෙන් වදාළ මෛත්‍රී ධ්‍යාන සමාපත්තිය ලබා ගත හැකි නො වේ.
එබැවින් මෛත්‍රී භාවනාව වැඩීමේ දී නොයෙක් දේශකයන් හුදු අත්තනොමති වශයෙන් කරන භාවනා ක්‍රමයන්ට අනුගත නො වී පෙළ, අර්ථකථා ඇසුරෙන් භාවනා ක්‍රමවේදය විවරණය කර ගත යුතු වේ.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
Sunday, May 9, 2021
මෛත්‍රී භාවනාව – 10 කොටස – මෛත්‍රියෙන් ධ්‍යානයට
මෛත්‍රී භාවනාව – 10 කොටස – මෛත්‍රියෙන් ධ්‍යානයට …
Apr 5, 2021 | සිත නිවන භාවනා | 0
මෛත්‍රී භාවනාව – 10 කොටස – මෛත්‍රියෙන් ධ්‍යානයට …
ප්‍රිය පුද්ගලයාගේ පටන් අප්‍රිය අමනාප පුද්ගලයා දක්වා වෙන වෙන ම පිළිවෙළින් මෙත් වැඩීම කළ යුතු බව පසුගිය ලිපියෙන් පැහැදිලි කරන ලදී. පළමුව තමන්ට මෙත් වඩා අනතුරුව ප්‍රිය නමුත් ගෞරවයෙන් ඇසුරු කරන සම්භාවනීය පුද්ගලයෙකුට මෙත් වඩන්න. අනතුරුව ප්‍රිය පුද්ගලයාගේ පටන් අප්‍රිය අමනාප පුද්ගලයා දක්වා මෙත් වඩන්න. ඒ සෑම පුද්ගලයෙකුට ම මෙත් වැඩීමේ දී එක සමාන මට්ටමකට මෛත්‍රී සිත පවතින තුරු මෙත් වැඩීම සිදු කළ යුතු වේ.
මෙසේ පුද්ගලයන් පස් දෙනෙකුට හය දෙනෙකුට පමණ වෙන වෙන ම මෙත් වඩා සිත පුරුදු කර ගත යුතු වේ. එවිට සිතේ මෛත්‍රිය නිරන්තරයෙන් ම පවතින්නට පටන් ගනු ඇත. පුද්ගලයන් වැඩි පිරිසක් වෙන වෙන ම තෝරා ගැනීම ද වරදක් නැත.
අප්‍රිය අමනාප පුද්ගලයා දක්වා මෙත් වඩා අවසන් වූ පසු දැන් තමන් මෙත් වැඩූ පුද්ගලයන් සියලු දෙනා එක වර අරමුණු කර සියලු දෙනාට ම මෙත් වැඩීම සිදු කළ හැකි වේ. ප්‍රිය පුද්ගලයාගේ පටන් අප්‍රිය පුද්ගලයා දක්වා සියලු දෙනා ම එක සිතට කැටි වී ගොනු වී අරමුණු වන බව ඔබට වැටහෙනු ඇත. ඒ පුද්ගලයන් කිසිවෙකු අතර වෙනසක් නොමැතිව සම මට්ටමෙන් මෙත් සිත පවතින ආකාරය වැටහෙනු ඇත. තමන් ද සමඟ සියලු දෙනා එකම මට්ටමකට වෛර නැති පුද්ගලයන් බව සිතට දැනෙනු ඇත.
මෙසේ ප්‍රිය අප්‍රිය පුද්ගලයන් සියලු දෙනාට එක හා සමාන මට්ටමකින් මෙත් සිත පැවැත්විය හැකි වීම මෛත්‍රී භාවනාවේ සීමා සම්භින්දනය ලෙස හැඳින්වේ. මෛත්‍රී භාවනාවේ අර්පණාවට හෙවත් ධ්‍යානයට පත් වන්නේ මෙම සීමා සම්භින්දනයෙනි. එබැවින් මෛත්‍රී භාවනාවෙන් ධ්‍යාන ඉපදවීම සෙසු භාවනාවලට වඩා පහසු බවක් ඇත.
සීමා සම්භින්දනය සිදු වුවහොත් ඒ යෝගියා මෛත්‍රී භාවනාවෙන් අර්පණා සිත උපදවා ඇත. එනම් ප්‍රථම ධ්‍යානයට සම වැදී ඇත. දැන් එය තව දුරටත් ප්‍රගුණ කර ගත යුතු වේ. මේ නිසා ප්‍රිය අප්‍රිය සියලු දෙනා එකට අරමුණු කරමින් සම මට්ටමින් මෙත් සිත පැවැත්විය හැකි මට්ටමට භාවනාව දියුණු වූ විට ඒ මෛත්‍රී සිත පවතින අවස්ථාවේ තවත් පුද්ගලයන් අරමුණු කර මෙත් සිත පැවැත්වීමට හැකි දැයි පරික්‍ෂා කර බැලිය හැකි වේ. කලින් අරමුණු නො කළ පුද්ගලයෙක් අරමුණු කළහොත් ඒ පුද්ගලයා ද ක්‍ෂණිකව ම අනෙක් පුද්ගලයන්ගේ සම මට්ටමට පත් වනු ඇත. ඒ පුද්ගලයා අරමුණු කරගෙන ද අනෙක් අය හා සමානව මෙත් සිත පවතිනු ඇත. මෙසේ පුද්ගලයන් කිහිප දෙනෙක් අරමුණු කර එහි ඇති ආශ්චර්යය තමන්ට ම වටහා ගත හැකි වේ.
දැන් යෝගියා තමන්ගේ මෙත් සිත තරමක් දුරට දියුණු කරගෙන ඇත. මීළඟට එය තවදුරටත් ප්‍රගුණ කිරීම පිණිස මෛත්‍රිය පැතිරවිය හැකි වේ. ප්‍රිය අප්‍රිය සියලු දෙනා අරමුණු කර ඇති වූ මෙත් සිත තමන් සිටින ප්‍රදේශයට පැතිරවිය හැකි බව තමන්ට වැටහෙනු ඇත. සමහර කෙනෙකුට මෙම අවස්ථාවේ ආලෝකයක් වැනි යමක් වැටහීමට ඉඩ ඇත. එසේ නැතිනම් සියලු පුද්ගලයන් එකතු වී අරමුණු වූ සිතක් දැනෙනු ඇත. ඒ සිත හෝ ආලෝකය තමන් සිටින ප්‍රදේශයට පැතිරවීමට උත්සාහ කළ යුතු වේ.
ඒ අනුව පළමුව තමන් සිටින කුටිය හෝ කාමරයට මෙත් සිත පැතිරවිය හැකි වේ. සමාධිමත් සිත තියුණු ඇතැම් යෝගාවචරයෙකුට මෙසේ අරමුණු කිරීමේ දී ඒ ප්‍රදේශය සිතට පෙනීමට ද හැකි ය. එහෙත් එසේ වීම අත්‍යවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ තමන්ට අරමුණු කරන මුළු ප්‍රදේශයට ම මෙත් සිත පැතිරෙන බව වැටහීමයි. එසේ වැටහෙන විට ඒ ප්‍රදේශය පුළුල් කළ යුතු වේ.
පළමුව කුටිය හෝ කාමරය අරමුණු කළේ නම් එතැනින් මුළු සේනාසන ඉඩම හෝ ගෙවත්ත අරමුණු කර ඒ දක්වා මෙත් සිත පැතිරවිය හැකි වේ. එවිට ඒ සමස්ථයට මෙත් සිත පැතිරෙන බව වැටහෙනු ඇත. එතැනින් ගමට, ගමෙන් රටට, රටෙන් ලෝකයට, ලෝකයෙන් විශ්වයට මෙත් සිත පතුරවන්න. මුළු ලෝකයම තම මෙත් සිතෙන් ආවරණය වී ඇති බව වැටහෙනු ඇත. එවිට සිතට ශක්තිමත් සමාධිමත් බවක් වැටහෙනු ඇත. මේ දක්වා නිවැරදිව මෙත් සිත වැඩිය හැකි වූයේ නම් දැන් සිත අර්පණා සමාධියකට සම වැදී පවතිනු ඇත. එබැවින් ඒ සිතෙන් නැගී සිට ධ්‍යානාංග ප්‍රත්‍යවේක්‍ෂා කළ හැකි වේ.
තම සිත මෛත්‍රී අරමුණ තුළට කිඳා බැස ඇති ආකාරයක් වැටහෙන යෝගාවචරයා දැන් එම සිත මුදවාගෙන උපචාරයට පැමිණිය යුතු වේ. කිසියම් ආලෝකයක් වැටහෙන යෝගියාට නම් එම ආලෝකය ඇතුළේ සිටින බවක් වැටහෙනු ඇත. එයින් මිදී ආලෝකය තමන් ඉදිරියේ තිබෙන ආකාරයට සිත මුදවා ගත යුතු වේ. මෙවන් අවස්ථාවක ප්‍රායෝගිකව නොයෙක් උපක්‍රම භාවිතා කිරීම භාවනාව ප්‍රගුණ කරවන ස්වාමීන් වහන්සේලා විසින් සිදු කෙරේ. එබැවින් මෙවන් අවස්ථාවක ප්‍රායෝගික උපදෙස් ලබා ගැනීමට සුදුසු කමටහන් දෙන ස්වාමීන් වහන්සේ නමක් වෙත යාම සුදුසු වේ. සමහර කෙනෙක් මෙවැනි භාවනාවක් ප්‍රායෝගිකව නිවැරදිව සිදු කර නොමැති බැවින් මෙවන් අවස්ථාවල නිවැරදිව උපදෙස් දිය නොහැකිව භාවනාවට ගර්හා කරනු ඇත. එවන් කමටහන් ඇදුරු හිමිවරුන් වෙතින් කිසි දිනක ධ්‍යාන සමාධියක් ඉපදවිය නොහැකි වනු ඇත.
එසේ ප්‍රායෝගිකව භාවනාව පුරුදු කර නැති බොහෝ දෙනෙක් පවසන්නේ ධ්‍යාන ඉපදවීම ශාසනයෙන් බැහැර යෝගීන් වෙත තිබූ දෙයක් බවත් බෞද්ධ භාවනාවේ ධ්‍යාන ඉපදවීම නොකළ යුතු බවත්ය. එහෙත් මහා සතිපට්ඨාන සූත්‍රය ඇතුළු සූත්‍ර පිටකයේ භාවනා මාර්ගය දේශනා කරන සෑම සූත්‍රයකම පාහේ ප්‍රථමධ්‍යානාදියට උපදෙස් දෙන බැවින් එම වැරදි ඔවදන්වලට නො රැවටී මෙහි පැහැදිලි කළ පිළිවෙළට මෛත්‍රී භාවනාව වඩා මෛත්‍රී ධ්‍යානය උපදවා ගැනීමට උත්සාහ කරත්වා. එයින් නො නැවතී ඒ මෛත්‍රී ධ්‍යානය පාදක කරගෙන විදසුන් වඩා උතුම් නිර්වාණය සාක්‍ෂාත් කර ගනිත්වා.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
Thursday, April 15, 2021
මෛත්‍රී භාවනාව – 09 කොටස – හැමෝම ප්‍රිය වන්න මෙත් වඩන්න
මෛත්‍රී භාවනාව – 09 කොටස – හැමෝම ප්‍රිය වන්න මෙත් වඩන්න
Apr 5, 2021 | සිත නිවන භාවනා | 0
මෛත්‍රී භාවනාව – 09 කොටස – හැමෝම ප්‍රිය වන්න මෙත් වඩන්න
තමන් සාක්‍ෂි භාවයට පත් කරගෙන තමන්ට පළමුව මෙත් වැඩූ යෝගියාට එයින් සැහැල්ලු බවක්, මෛත්‍රියේ සැපයක් දැනෙයි. එහෙත් තමන් අරමුණු කරගෙන කොපමණ මෙත් වැඩුව ද අර්පණා සමාධියක් ඉපදවිය හැකි නො වේ. එසේ අර්පණා ඉපදවිය නො හැකිව තිබිය දී ද තමන්ට මෙත් වැඩීමට මඟ පෙන්වන්නේ සෙසු අයට මෙත් වැඩීමට තමන් සාක්‍ෂියක් කර ගැනීමට බව ඉහත පැහැදිලි කර දෙන ලදී.
තමන්ට ‘වෛර නැත්තෙක් වෙම්වා’ යනාදි ලෙස මෙත් වැඩීමෙන් සිතේ සැහැල්ලුවක්, සැනසීමක් දැනෙන විට බාහිර පුද්ගලයන් අරමුණු කරගෙන මෙත් වැඩීම ආරම්භ කළ යුතු වේ. එහි දී තමන් සාක්‍ෂි කරගෙන, තමන්ට මෙත් වැඩීමෙන් ලැබුණු ආනිසංසය, සැනසීම අනෙක් අයට ද ලැබේවා යන අදහසින් මෙත් වැඩීම කළ යුතු වේ.
එක් පුද්ගලයෙක් අරමුණු කරගෙන මෙත් වැඩීමේ දී අරමුණු නො කළ යුතු පුද්ගලයන් පිළිබඳව ද ඉහත දක්වන ලදී. ඒ අනුව පළමුව මෙත් වැඩීමේ දී තමන්ට බොහෝ සෙයින් ප්‍රිය ශීලී, බොහෝ ලෙන්ගතු පුද්ගලයා අරමුණු නො කළ යුතු වේ. එසේ ම තමන්ට අප්‍රිය පුද්ගලයා ද අරමුණු නො කළ යුතු වේ. එසේ ම මැදහත් පුද්ගලයා ද අරමුණු නො කළ යුතු වේ. තමන්ට ප්‍රිය වන නමුත් ගෞරවයෙන් ඇසුරු කරන සම්භාවනීය පුද්ගලයෙක් පළමුව අරමුණු කිරීම වඩාත් සුදුසු වේ. තමන්ට ගුරුවරයෙක්, වැඩිහිටියෙක්, ස්වාමීන් වහන්සේ නමක් වැනි යමෙක් අරමුණු කර පළමුව මෙත් වැඩීම කළ යුතු වේ. මෙහි දී ද තමන්ගේ විරුද්ධ ලිංගිකයෙක් තෝරා නො ගත යුතු වේ.
ඒ අනුව තමන් ගෞරවයෙන් ඇසුරු කරන කිසියම් සම්භාවනීය පුද්ගලයෙක් තෝරා ගත යුතු වේ. අනතුරුව තමන්ට මෙත් වැඩීම සාක්‍ෂි කරගෙන, තමන්ට මෙත් වැඩීමෙන් දැණුනු සුවය, සැනසීම ඒ අරමුණු කළ පුද්ගලයාට ද ලැබේවා යන අදහසින් ඒ පුද්ගලයා මතකයට නඟාගෙන ‘මා මෙන් ම මේ තැනැත්තා ද වෛර නැත්තෙක් වේවා’ යනාදි ක්‍රමයෙන් මෙත් වැඩිය යුතු වේ. මෙහි දී තමන්ට මෙත් වැඩීමෙන් ලැබුණු සැනසීම සාක්‍ෂි කරගෙන මෙත් වැඩිය යුතු වේ. එනම් තමන්ට ලැබුණු සුවය ඒ පුද්ගලයාට ද ලැබේවා යන අදහස තිබිය යුතු වේ. ඒ අනුව ඒ පුද්ගලයා ද සැනසීමට පත් වන ආකාරය මනසින් දැකීමට උත්සාහවත් විය හැකිය. එසේ කිසියම් වේලාවක් මෙත් වැඩීමේ දී එසේ අරමුණු කළ පුද්ගලයා කෙරෙහි මෛත්‍රී ආරම්මණයේ සිත සමාධිමත් වේ. එවිට ද පළමුව තමන්ට මෙත් වැඩීමේ දී දැණුනු සුවය, සැනසීම දැනෙනු ඇත. මෙසේ පළමු පුද්ගලයා අරමුණු කරගෙන බොහෝ වේලාවක් මෙත් වඩන්න. ඒ පුද්ගලයා තමන්ගේ සිතෙන් ඉවත් නො වී, වෙනත් අරමුණකට සිත මාරු නො වී ඉතාමත් හොඳින් සමාධිමත් වනු ඇත.
එසේ පළමු ගරු සම්භාවනීය පුද්ගලයා අරමුණු කරගෙන සිත සමාධිමත් වූ පසු, මෛත්‍රිය හොඳින් පවතින විට දෙවනුව තමන්ගේ ප්‍රිය, ළඟින් ඇසුරු කරන පුද්ගලයෙක් තෝරා ගත යුතු වේ. ඒ පුද්ගලයා ද අරමුණු කරගෙන, පළමුව තමන්ට මෙත් වැඩීමෙන් ලැබුණු සැනසීම, සුවය ඒ පුද්ගලයාට ද ලැබේවා යන අදහසින් ‘මා මෙන් ම මේ තැනැත්තා ද වෛර නැත්තෙක් වේවා’ යනාදි ක්‍රමයෙන් මෙත් වඩන්න. මෙහි දී තමන්ට මෙන් ම දෙවන පුද්ගලයාට ද මෙත් වැඩීමෙන් ලද සැනසීම මේ ප්‍රිය පුද්ගලයාට ද ලැබේවා යන අදහස තබාගෙන, එය සාක්‍ෂ්‍ය ස්ථානයේ තබාගෙන මෙත් වැඩිය යුතු වේ. ඒ පුද්ගලයා ද සැනසීමට පත් වන ආකාරය මනසින් දැකීමට උත්සාහවත් විය හැකි වේ. එසේ කිසියම් වේලාවක් මෙත් වැඩීමේ දී ඒ පුද්ගලයා ද සුවපත් වන බවක් තම සිතට වැටහේ. ඒ තැනැත්තා අරමුණු කරගෙන මෛත්‍රි සිත පවතින බව වැටහේ. ඒ අනුව තමන්ට මෙත් වැඩීමේ දී ලැබුණු සැනසීම, සුවය නැවතත් දැනෙන්නට වෙයි. එසේ ම තමනුත්, දෙවන පුද්ගලයාත් මේ ප්‍රිය පුද්ගලයාත් යන තිදෙනා ම එක සමාන මට්ටමකට වෛර නැති පුද්ගලයන් ය යන හැඟීමක් සිතට දැනෙනු ඇත. එවිට ඒ පුද්ගලයාට ද මෙත් වැඩීම සාර්ථකව සිදු වී ඇති බව දැන ගත හැකි වේ.
තෙවනුව තවත් ප්‍රිය නමුදු දෙවනුව කී පුද්ගලයා තරම් ප්‍රිය නොවන පුද්ගලයෙක් තෝරාගන්න. ඒ තැනැත්තාට ද පෙර කී ක්‍රමයෙන් ම මෙත් වඩන්න. සතරවනුව මැදහත් පුද්ගලයෙක් තෝරාගන්න. ඒ තැනැත්තාට ද මේ ක්‍රමයෙන් ම මෙත් වඩන්න. ඊළඟට පිළිවෙළින් ප්‍රිය බව අඩු පුද්ගලයෙක් ද අප්‍රිය පුද්ගලයෙක් ද තෝරාගෙන මෙත් වැඩීම සිදු කරන්න.
මෙසේ පිළිවෙළට මෙත් වැඩීමේ දී එකිනෙක පුද්ගලයාට මෛත්‍රි සිත ඇති වන තුරු අනෙක් පුද්ගලයාට මාරු වීම නො කළ යුතු වේ. තමන්ට සහ තමන්ගේ ප්‍රිය පුද්ගලයාට මෙත් වැඩීමේ දී කිසියම් මට්ටමකට සිත සමාධිමත් වේ ද, සැනසීමක්, සුවයක් දැනේ ද ඒ මට්ටමට එකිනෙක පුද්ගලයා අරමුණු කරගෙන මෙත් වැඩීමේ දී ද සමාධිමත් බවක්, සැනසීමක්, සුවයක් දැනිය යුතු වේ. එසේ නො දැනෙන්නේ නම් ඊළඟ පුද්ගලයාට මාරු නො වී බොහෝ වේලාවක් ඒ පුද්ගලයාට ම මෙත් වැඩිය යුතු වේ.
ඇතැම් විට අප්‍රිය පුද්ගලයෙක් අරමුණු කරගෙන මෙත් වැඩීමේ දී අපහසුවක් දැනිය හැකි වේ. මෛත්‍රිය නිසි පරිදි පැවැත්විය නො හැකි වේ. එවිට මෛත්‍රී සිත දියුණු කරගැනීමට උපක්‍රම කිහිපයක් අනුගමනය කළ හැකි වේ.
කිසියම් පුද්ගලයෙක් අරමුණු කරගෙන මෙත් වැඩීමේ දී පළමු පුද්ගලයා මෙන් මෛත්‍රී සිත නො පැවැත්වේ නම් අපහසුවක් දැනේ නම් නැවත ඊට පෙර පුද්ගලයාට ටික වේලාවක් මෙත් වඩන්න. යළිත් සිත සමාධිමත් වනු ඇත. ඒ සමාධිමත් සිතින් අප්‍රිය පුද්ගලයා අරමුණු කරන්න. ටික වේලාවක් මෙත් වැඩීමේ දී තවමත් අපහසු නම් නැවතත් පළමු කෙනාට මෙත් වඩන්න. නැවත අප්‍රිය පුද්ගලයා අරමුණු කරන්න. මෙසේ මාරුවෙන් මාරුවට මෙත් වැඩීමේ දී කිසියම් අවස්ථාවක සිත සමාධිමත් වී ඒ අප්‍රිය පුද්ගලයාට ද අනෙක් අයට මෙන් මෛත්‍රී සිත පැවැත්වෙනු ඇත.
එසේත් කළ නො හැකි නම් බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට ද්වේශයේ ආදීනව හා මෛත්‍රියේ ආනිසංස මෙනෙහි කළ හැකි වේ. ඒ තුළින් සිත මධ්‍යස්ථ තත්ත්වයට පත් කරගෙන අප්‍රිය පුද්ගලයන් අරමුණු කර මෙත් වැඩීමෙන් සාර්ථක වනු ඇත.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
Wednesday, March 3, 2021
මෛත්‍රී භාවනාව – 08 කොටස – සිතේ ඇති ද්වේශ හුල ගලවා දමන්න…
මෛත්‍රී භාවනාව – 08 කොටස – සිතේ ඇති ද්වේශ හුල ගලවා දමන්න…
Feb 21, 2021 | සිත නිවන භාවනා | 0
මෛත්‍රී භාවනාව – 08 කොටස – සිතේ ඇති ද්වේශ හුල ගලවා දමන්න…
බාහිර පුද්ගලයන්ට මෙත් වැඩීමට ප්‍රථම යම් සේ මම සැප කැමති වෙම් ද එසේ ම සෙසු සත්ත්වයන් කෙරෙහි ද හිත සුව කැමති බවට තමන් ශාක්‍ෂි කරණු පිණිස පළමුව තමන්ට මෙත් වැඩිය යුතු බව පැහැදිලි කරන ලදී.
මෙසේ මෙත් වැඩීමේ දී භාවිතා කරන පද පිළිබඳව අර්ථ වශයෙන් වටහාගෙන මෙනෙහි කිරීමෙන් තමන්ගේ චිත්ත සන්තානය තුළ මෛත්‍රිය වැඩි වර්ධනය කර ගැනීමට පහසු වේ. මෛත්‍රී භාවනාවේ දී බොහෝ වශයෙන් භාවිතා කරන වාක්‍ය ඛණ්ඩ 4 ක් මෙසේ ය.
1. වෛර නැත්තෙක් වේවා.
2. තරහ නැත්තෙක් වේවා.
3. දුක් පීඩා නැත්තෙක් වේවා.
4. සුවසේ ආත්මය පරිහරණය කරන්නෙක් වේවා.
වෛරය යනු තරහවේ උච්චතම අවස්ථාවක් වේ. යම් පුද්ගලයෙක් තමන්ට වරදක් සිදු කළේ නම් ඒ පුද්ගලයාට ද තමන් වරදක්, අනතුරක්, හානියක් කරන බවට ඇති හැඟීම වෛරයයි. බද්ධ වෛරය ලෙසින් ද හැඳින්වේ. මේ නිසා වෛරය යනු තරහව බලවත් වීමේ තත්ත්වයකි. එබැවින් වෛර නැති තැනැත්තෙක් වීම තරහව නැති කර ගැනීමට ද උපකාරී වේ. පළමුව වෛර නැත්තෙක් වේවා යැයි මෙත් වැඩීම මේ නිසා වැදගත් වේ. ඒ අනුව තමන්ට හානියක් කරන අයෙකුට නමුදු තමන් මෛත්‍රී කරන අයෙක් විය යුතුය. ‘මම වෛර නැත්තෙක් වෙම්වා’ යැයි මෙනෙහි කරන්නේ තමන්ගේ චිත්ත සන්තානයේ ඇති මෙම බද්ධ වෛරය නමැති ද්වේශ හුල ගලවා ඉවත් කිරීම පිණිසය.
එබැවින් බොහෝ වේලාවක් තමන්ට ‘මම වෛර නැත්තෙක් වෙම්වා’ යැයි මෙනෙහි කරන්න. වෛරය නිසා ලෝකයා පත් වන ව්‍යසනයන් ගැන සිතමින් තමන් ඒ වෛරයෙන් අත මිදෙන ආකාරය මෙනෙහි කරගන්න. ලෝකයේ බොහෝ දෙනෙක් වෛරය නිසා අඩදබර ඇති කරගෙන ව්‍යසනයට පත් වෙති. රට රටවල් අතර යුද්ධ, කලකෝලහාල ඇති වන්නේ වෛරය නිසාවෙනි. ඒ වෛරය තමන්ගේ සිතෙන් තුරන් වන ආකාරය ගැන මෙනෙහි කරගන්න. මෙසේ බොහෝ වේලාවක් මෙත් වැඩීමේ දී කිසියම් පුද්ගලයෙක් පිළිබඳ ද්වේශයෙන් යුතුව ඔහුගෙන් පළිගැනීමට අදහසක් පහළ වන විට සිතට දැනෙන අපහසු ගතිය සිතෙන් තුරන් වන ආකාරය අත්දැකිය හැකි වේ. සිතේ බර ගතිය අඩු වී සැහැල්ලු බවට පත් වන ආකාරය අත් දැකිය හැකි වේ. එවිට කිසියම් තරහ ඇති පුද්ගලයෙක් සිතට මතකයට ආ නමුදු ඔහු කෙරෙහි බලවත් අකමැත්තක් ඇති නොවී සිත මැදහත් බවකට පත් වනු අත් දැකිය හැකි වේ. මෙසේ සිතට සැහැල්ලුව දැනෙන තෙක් ‘මම වෛර නැත්තෙක් වෙම්වා’ යැයි මෙත් වැඩිය යුතු වේ.
අනතුරුව ‘මම තරහ නැත්තෙක් වෙම්වා’ යැයි ද මෙත් වැඩිය හැකි වේ. තරහව යනු සිතේ ඇති වන ගැටීම් සහගත බවයි. තවත් පුද්ගලයෙක් සමඟ සිත ගැටීමට පත් වීමයි. ඒ ගැටීම නිසා සිත ලෙඩ වේ. එබැවින් සිතේ ගැටීම් අවම කරගැනීමට තරහ නැති තත්වයකට සිත පත් කර ගත යුතු වේ. තරහව දියුණු වීම නිසාවෙනි ලෝක සත්ත්වයා වෛරය ඇති කරගන්නේ. එබැවින් තරහව තමන්ගේ සිතෙන් දුරු වන ආකාරය ගැන මෙනෙහි කරන්න. මෙසේ බොහෝ කිසියම් කාලයක් මෙත් වැඩීමේ දී තමන් තරහ නො ගන්නා තැනැත්තෙක් යැයි තමන්ට ම හැඟීමක් ඇති වේ. තමන් අන් අයට වඩා හොඳ පුද්ගලයෙක් යැයි හැඟීමක් ඇති වේ. තමන් තරහව නමැති කරදරයෙන් මිදුණු අයෙක් යන හැඟීමක් ඇති වේ. තරහ ඇති වීමේ දී සිතේ ඇති වන අපහසුතාවය පහ වී ගිය බවක් තමන්ට හැඟී යනු ඇත. සිතේ බර ගතිය අඩු වී සිත සැහැල්ලු බවට පත් වනු අත්දැකිය හැකි වේ. මෙසේ සිතට සැහැල්ලුව දැනෙන තෙක් ‘මම තරහ නැත්තෙක් වෙම්වා’ යැයි මෙත් වැඩිය යුතු වේ.
‘මම දුක් පීඩා නැත්තෙක් වෙම්වා’ යැයි ද නැවත මෙත් වැඩිය හැකි වේ. සිත නොයෙක් කරදර නිසාවෙන් දුකට පීඩාවට පත් වේ. එයින් සිතේ සැහැල්ලුව නැති වී දුකින් ගත කිරීමට සිදු වේ. සිතේ දුක් පීඩා දුරු වේවා යැයි තමන්ට මෙත් වැඩීමෙන් බලාපොරොත්තු වන්නේ නොයෙක් සිත් පීඩාවලින් ඇති වන දුක් කරදර ගතිය දුරු වීමකි. එසේ සිත දුක් කරදරවලින් නිදහස් වන ආකාරය ගැන මෙනෙහි කරමින් තමන්ට ‘මම දුක් පීඩා නැත්තෙක් වෙම්වා’ යැයි මෙත් වඩන්න. එවිට නැවතත් තම සිත සැහැල්ලු වන බව තමන්ට වැටහෙනු ඇත. දුක් පීඩාවලින් සිත නිදහස් වන බවක් දැනෙනු ඇත. දුකක් සිතට දැනෙන විට ඇති අපහසුතාවය දුරු වී මැදහත් වන ආකාරය, සිතේ බර අඩු වී සැහැල්ලු වන ආකාරය වැටහෙනු ඇත. එසේ දැනෙන තෙක් ම තමන්ට මෙත් වැඩිය යුතු වේ.
අවසාන වශයෙන් ‘මම සුවසේ ආත්මය පරිහරණය කරන්නෙක් වෙම්වා’ යැයි මෙත් වැඩිය හැකි වේ. ‘ආත්මය පරිහරණය කිරීම’ යනු අපගේ ජීවිතය පැවැත්වීමයි. එදිනෙදා කරනු ලබන සියලුම කටයුතු ආත්මය පරිහරණය කිරීමකි. තමන්ගේ සිතේ වෛරය, තරහව ආදි කෙලෙස් දුරු වීමෙන් ඇති වන සැපවත් බව ආත්මය පරිහරණය කිරීමේ සුවපත් බවයි. එබැවින් ‘සුවසේ ආත්මය පරිහණය කරන්නෙක් වෙම්වා’ යනුවෙන් මෙනෙහි කිරීමෙන් අපේක්‍ෂා කරන්නේ සියලු ආකාරවලින් සුවපත් භාවයට පත් වීමයි. මෙසේ මෙනෙහි කිරීමේ දී ද තමන්ගේ සිතේ බර බව අඩු වී සිත සැහැල්ලු වන ආකාරය අත්දැකිය හැකි වේ. එසේ සිත සැහැල්ලු බවට පත් වන තෙක් ම මෙනෙහි කිරීම කළ යුතු වේ.
මෙම වාක්‍ය ඛණ්ඩ සතර ම මෙනෙහි කිරීම කළ හැකි වේ. කිසියම් කෙනෙක් එක් වාක්‍ය ඛණ්ඩයක් පමණක් මෙනෙහි කරයි නම් එයින් ද මෛත්‍රිය වැඩීම සිදු වේ. එබැවින් ‘වෛර නැත්තෙක් වේවා’ යන වාක්‍යය පමණක් තමන් ද අනෙක් අය ද අරමුණු කරගෙන මෙනෙහි කර අවසන් කර නැවත දෙවන වාක්‍යය ගෙන මෙත් වැඩීම ආරම්භ කිරීම ද කළ හැකි වේ.
මෙහි දී වැදගත් වන්නේ කිසියම් වාක්‍ය ඛණ්ඩයකින් කරන මෙත් වැඩීමේ දී සිතේ වැඩීමක් සිදුවන තෙක් ම මෙනෙහි කිරීමයි. සිතේ සැහැල්ලු බව, මෛත්‍රිය ඇති බව තමන්ට හැඟෙන තෙක් ම අනෙක් බාහිර පුද්ගලයන් අරමුණු කරගෙන මෙත් වැඩීමට හදිසි නො විය යුතුය. එසේ වුවහොත් සිතේ වැඩීමකින් තොරව ඉදිරියට යාමෙන් භාවනාව දුර්වල වනු ඇත.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
Tuesday, March 2, 2021
මෛත්‍රී භාවනාව – 07 කොටස – තමන් වැඩිපුර ම කැමති තමන්ට යි.Feb 21, 2021 | සිත නිවන භාවනා | 0
Monday, March 1, 2021
මෛත්‍රී භාවනාව – 06 කොටස – පළමුව මෙත් වැඩිය යුත්තෝ
මෛත්‍රී භාවනාව – 06 කොටස – පළමුව මෙත් වැඩිය යුත්තෝ…
Feb 21, 2021 | සිත නිවන භාවනා | 0
මෛත්‍රී භාවනාව – 06 කොටස – පළමුව මෙත් වැඩිය යුත්තෝ…
මෛත්‍රී භාවනාව වඩනු කැමති පුද්ගලයන් පළමුව ද්වේෂයේ ආදීනව මෙනෙහි කර මෙත් වැඩීමේ ආනිසංස මෙනෙහි කොට තම චිත්ත සන්තානය තුළ ඉවසීමේ ගුණය වැඩි දියුණු කරගනිමින් මෛත්‍රී විහරණය ඇති කර ගැනීම පිණිස මෛත්‍රී භාවනාව ආරම්භ කළ යුතු වේ.
මෙත්ත සූත්‍රාදියේ දී බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාවට උපදෙස් දෙන ලද්දේ වුව ද ප්‍රායෝගිකව මෛත්‍රී විහරණය ඇති කරගැනීමේ දී ඒ සූත්‍ර දේශනාවන්ගේ අර්ථ විග්‍රහය මැනවින් සිදු කර ගත යුතු වේ. ප්‍රායෝගිකව මෛත්‍රී භාවනාව වඩන ආකාරය පිළිබඳ විශිෂ්ඨතම අර්ථ විග්‍රහය හමු වන්නේ විශුද්ධි මාර්ගයේ බ්‍රහ්මවිහාර නිර්දේශයේ ය. එහි දී පළමුව මෛත්‍රී භාවනාව වැඩීම පිළිබඳ දීර්ඝ විවරණයක් සැපයෙන අතර එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කොට අත්දැක ඇති ප්‍රත්‍යක්‍ෂ භාවනා මාර්ගයක් වේ. වර්තමානයේ භාවනාව පිළිබඳ නොයෙක් විවරණයන් හමු වුව ද ඒ බොහෝ භාවනා විවරණයන් බුදුරජාණන් වහන්සේගේ මූලික දේශනයට නො ගැළපෙනවා මෙන් ම ප්‍රායෝගිකව චිත්ත සමාධිය ඇති කරන භාවනා නොවේ. එබැවින් පෞරාණික මහාවිහාරීය භාවනා මාර්ගය තුළ විවරණය වන මෛත්‍රී භාවනාව මෙහි දී විස්තර කරනු ලැබේ.
විශුද්ධි මාර්ගයේ දැක්වෙන අන්දමට මෛත්‍රී භාවනාව ආරම්භ කරන යෝගාවචරයා විසින් පළමු කොට ම පුද්ගල දෝෂයෝ දැන ගත යුතුය. පුද්ගල දෝෂ යනු භාවනාවට හානිකර පුද්ගලයන් ය. ඇතැම් කෙනෙකුට පළමුව මෛත්‍රී කිරීම සුදුසු නොවේ. එවන් අයෙකුට මෛත්‍රී කිරීමෙන් භාවනාව ආරම්භ කරන තැනැත්තාට භාවනාව සමෘද්ධමත් කර ගැනීමට නො හැකි වේ. ඒ අනුව කවුරුන් කෙරෙහි පළමුව මෛත්‍රිය නො වැඩිය යුතුය දැයි පළමුව ම දැන ගත යුතුය.
මෙත් වැඩීමේ දී අප්‍රිය පුද්ගලයා ය, අතිශය ප්‍රිය සහායකයාය, මධ්‍යස්ථ පුද්ගලයාය, වෛරී පුද්ගලයාය යන සතර පුද්ගලයන් කෙරෙහි පළමුව නොම වැඩිය යුතුය. එසේ ම ස්ත්‍රී ලිංගාදි ලිංග විසදෘෂ පුද්ගලයන්ට ද පළමුව නො වැඩිය යුතුය. එනම් පුරුෂයෙක් විසින් පළමුව මෙත් වැඩීම ස්ත්‍රියක් කෙරෙහි නො කළ යුතුය. ස්ත්‍රියක් විසින් පළමුව පුරුෂයෙකුට මෙත් වැඩීම නො කළ යුතුය.
අප්‍රිය පුද්ගලයෙකුට පළමුව මෙත් වැඩීමේ දී ඒ අප්‍රිය තැනැත්තා ප්‍රිය ස්ථානයේ තබන්නට දරන උත්සාහයෙන් යෝගියා වෙහෙසට පත් වේ. එනම් අප්‍රිය බව ප්‍රිය බවට ඍජුවම ප්‍රතිපක්‍ෂ බැවින් අප්‍රියයා ප්‍රිත තැන තබන්නට උත්සාහ කිරීමේ දී වෙහෙසට පත් වේ. වැඩුණු මෛත්‍රී භාවනාවක් ඇති තැනැත්තාට එය අපහසුවක් නොවේ.
අතිශය ප්‍රිය සහායකයා කෙරෙහි ගේහසිත ප්‍රේමය ඇති වන බැවින් පළමුව මෙත් වැඩීම නො කළ යුතු වේ. වැඩුණු මෛත්‍රී භාවනාවක් නොමැති විට පළමුව මෙත් වැඩීමේ දී අතිශය ප්‍රිය සහායකයා මධ්‍යස්ථ බවට පත් කර ගත යුතු වේ. ඒ අතිශය ප්‍රිය සහායකයාට ඉතා කුඩා දුකක් ඇති වුව ද තමන්ට එය බලවත්ව දැනෙයි. එබැවින් අතිශය ප්‍රිය සහායකයාට ද පළමුව මෙත් වැඩීම නො කළ යුතු වේ.
උපේක්‍ෂාව ඇති කර ගත යුතු මධ්‍යස්ථ පුද්ගලයා සම්භාවනීය බවට ද ප්‍රිය කටයුතු බවට ද නො පැමිණේ. පළමුව මෙත් වැඩීමේ දී ඒ මධ්‍යස්ථ තැනැත්තා ගෞරවනීය තැනක ප්‍රිය තැනක තැබීමට දරන උත්සාහයේ දී යෝගියා වෙහෙසට පත් වේ. එබැවින් මධ්‍යස්ථ තැනැත්තාට ද පළමුව මෙත් වැඩීම නො කළ යුතු වේ.
වෛරී තැනැත්තා සිහි කිරීමෙන් ද සිතට ක්‍රෝධය උපදී. එබැවින් වැඩුණු මෛත්‍රී විහරණයක් නොමැති තැනැත්තාට වෛරී පුද්ගලයා කෙරෙහි පළමුව මෙත් වැඩීම කළ නොහැකි වේ. මෛත්‍රිය පුරුදු පුහුණු කරගෙන සෑම දෙනා කෙරෙහි ම සම සේ මෙත් වැඩීමට හැකි තත්ත්වයට පත් වූ යෝගියාට වෛරී පුද්ගලයාට ද මෙත් වැඩිය හැකි වේ. මේ නිසා වෛරී පුද්ගලයාට ද පළමුව මෙත් වැඩීම සිදු නො කළ යුතු වේ.
එසේ ම ලිංග විශභාග තැනැත්තාට ද විශේෂයෙන් අරමුණු කොට මෛත්‍රී වැඩීම නො කළ යුතු වේ. එනම් අසවල් කාන්තාව සුවපත් වේවා, අසවල් පුරුෂයා සුවපත් වේවා යනාදි වශයෙන් පුරුෂයෙක් ස්ත්‍රියකට මෙත් වැඩීම ද ස්ත්‍රියක් පුරුෂයෙකුට මෙත් වැඩීම ද නො කළ යුතු වේ. එසේ ලිංග විශභාග පුද්ගලයාට මෙත් වැඩීමේ දී රාගය උපදී. එබැවින් වැඩුණු භාවනාවක් නොමැති තැනැත්තා පළමුව ඒ ලිංග විශභාග තැනැත්තා විශේෂයෙන් අරමුණු කොට මෙත් වැඩීම නො කළ යුතු වේ.
මියගිය තැනැත්තන්ට මෙත් වැඩීමේ දී ධ්‍යානයක් හෙවත් අර්පණා සමාධියක් හෝ උපචාර සමාධියක් හෝ ඉපදවිය නො හැකි වේ. මෛත්‍රිය පැතිරවීමට අයෝග්‍ය ස්ථානයක් ලෙස මළවුන් කෙරෙහි ද මෛත්‍රී භාවනාව සිද්ධ නොවන බව සඳහන් වේ.
එක්තරා තරුණ භික්‍ෂුවක් තමන්ගේ ආචාර්යයන් වහන්සේ අරමුණු කරමින් මෙත් වැඩීම ආරම්භ කළේය. එහෙත් මෛත්‍රිය නො පවතින්නේය. උන්වහන්සේ මහාස්ථවිරයන් වහන්සේ සමීපයට ගොස් තමන්ට මෛත්‍රි ධ්‍යානය ප්‍රගුණ නොවන බව පැවසීය. සමවැදීමට නො හැකි වන බව පැවසීය. එහි දී මහාස්ථවිරයන් වහන්සේ අවවාද දුන්නේ තමන් මෙත් වඩන තැනැත්තා ජීවත් වේ ද නැද්ද යන්න සොයා බලන ලෙසයි. ඒ පිළිබඳ සොයා බැලීමෙන් තමන්ගේ ආචාර්යයන් වහන්සේ මරණයට පත් වී ඇති බව සොයා ගන්නා ලද බව විශුද්ධි මාර්ගයේ සඳහන් වේ. එබැවින් මෛත්‍රී භාවනාව මිය ගිය පුද්ගලයන් විෂයෙහි ද වැඩීම නො කළ යුතු වේ.
මෛත්‍රී භාවනාව වැඩීම ආරම්භ කරන තැනැත්තා සියල්ලට ම පළමුවෙන් තමන්ට මෛත්‍රිය වැඩීමට පුරුදු විය යුතුය. ‘මම වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවසේ ආත්මය පරිහරණය කරන්නෙක් වෙම්වා, සුවපත් වෙම්වා’ යනාදි වශයෙන් පළමුව තමන්ට මෙත් වැඩීම කළ යුතු වේ.
මෙහි දී බොහෝ දෙනෙකුට ඇති වන ගැටලුවක් වන්නේ බුදුරජාණන් වහන්සේ කිසිදු සූත්‍ර දේශනාවක තමන්ට මෛත්‍රී වැඩීමක් පිළිබඳව දේශනා කර නොමැති වීමත් සෑම තැන්හි ම අන් අයට මෙත් වැඩීම ගැන පමණක් ම දේශනා කර තිබීමත් නිසා තමන්ට මෙත් වැඩීම කළ යුතු ද යන්නයි. මෙත්ත සූත්‍රයේ ද හමු වන්නේ ‘සුඛිනො වා ඛෙමිනො හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා’ යනුවෙනි. කිසිදු ආකාරයකට තමන්ට මෙත් වැඩීමක් ‘අහං සුඛිතො හොමි’ යනාදි වශයෙන් හමු නොවේ. ඒ පිළිබඳව මීළඟ ලිපියෙන් විවරණය කරමු.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
Sunday, February 28, 2021
මෛත්‍රී භාවනාව – 05 කොටස – ‘මුහුණ පැහැපත් කරගන්න. මෙත් වඩන්න’
මෛත්‍රී භාවනාව – 05 කොටස – ‘මුහුණ පැහැපත් කරගන්න. මෙත් වඩන්න’
Feb 21, 2021 | සිත නිවන භාවනා | 0
මෛත්‍රී භාවනාව – 05 කොටස – ‘මුහුණ පැහැපත් කරගන්න. මෙත් වඩන්න’
මෙත් වඩන තැනැත්තාට මෙලොව දී ම දශ ආනිසංසයක් ද පරලොව දී එක් ආනිසංසයක් ද වශයෙන් එකොළොස් ආනිසංසයක් අත් වන බව බුදුරජාණන් වහන්සේ ‘මෙත්තාය භික්‍ඛවෙ චෙතොවිමුත්තියා ආසෙවිතාය, භාවිතාය, බහුලීකතාය, යානීකතාය, වත්‍ථුකතාය, අනුට්ඨිතාය, පරිචිතාය, සුසමාරද්ධාය ඒකාදසානිසංසා පාටිකඩ්ඛා’ යැයි වදාළ සේක. ඒ අනුව මෙලොව දී ම ලැබෙන ආනිසංස 7 ක් පැහැදිලි කරන ලදී.
8. තුවටං චිත්තං සමාධියති (වහා සිත සමාධියට යයි)
මෛත්‍රී විහරණයෙන් යුත් භික්‍ෂුවගේ සිත වහා සමාධියට පත් වේ. පුද්ගලයකුගේ සිත නිරන්තරයෙන් කිළිටි කරවන ධර්මයන් වන්නේ රාගය, ද්වේෂය, මෝහය ආදිය යි. මේ ධර්මයන්ගෙන් මැඩගත් සිත් ඇති තැනැත්තාට සමාධියක් ඉපදවීම පහසු නො වේ. නිරන්තරයෙන් මෛත්‍රී විහරණයෙන් සිටිනා පුද්ගලයා තමන්ගේ සිතට අරමුණු වන සෑම අරමුණක දී ම මෙත් සිත පැවැත්වීමට උත්සාහ දරයි. ඒ අනුව නිතර මෙත් සිත පෙරදැරිව කටයුතු කරන බැවින් සිත ඉක්මනින් සමාධිමත් කර ගත හැකි වේ.
වෙනත් කර්මස්ථානයකින් සමාධියක් නො උපදවන ලද තැනැත්තාට මෛත්‍රී භාවනාවෙන් ඉතා ඉක්මනින් සමාධියක් ඉපදවිය හැකි වේ. පිළිවෙළින් මෛත්‍රිය පුරුදු කිරීමෙන් ඉතා ඉක්මනින් මෛත්‍රී ධ්‍යානය ද උපදවාගෙන සුවයෙන් වාසය කළ හැකි වේ.
9. මුඛවණ්ණො විප්පසීදති (මුව පැහැය විශේෂයෙන් පැහැදෙයි)
මෛත්‍රී භාවනාව වඩන තැනැත්තාගේ මුහුණ බෙහෙවින් පැහැපත් වේ. නිතර මෛත්‍රී විහරණයෙන් කටයුතු කරන තැනැත්තාගේ නිරන්තරයෙන් කුශල සිත් ඇති වන බැවින් ශරීරයේ රුධියට පිරිසිදු වේ. ඒ පිරිසිදු රුධිරය සියලු සිරුර පුරා ම ගමන් කිරීමෙන් සිරුර පැහැපත් වේ. විශේෂයෙන් ම මුහුණ ප්‍රසන්න බවට පත් වේ.
10. අසම්මූළ්හො කාලං කරොති (සිහි නොමුළාව කළුරිය කරයි)
නිරන්තරයෙන් මෛත්‍රී භාවනාව පුරුදු පුහුණ කරගෙන භාවිතා කරන තැනැත්තා සෑම මොහොතක ම කුශලය අරමුණු කරගත් සිහියෙන් අප්‍රමාදීව කටයුතු කරයි. එසේ නිරන්තරයෙන් කුශලය අරමුණු කරගෙන සිහියෙන් වසන තැනැත්තා මරණාසන්න මොහොතේ දී ද මුළා භාවයට පත් නො වේ. තමන් ගේ ආචීර්ණ කර්මය වශයෙන් මෙත් සිත ම එළඹ සිටී. මෛත්‍රී ධ්‍යාන ලබා සිටි තැනැත්තාට මරණාසන්න මොහොතේ ඒ මෛත්‍රී දැහැන් සිත එළඹ සිටින බැවින් නො මුළා බවට පත් වේ. නොමුළාව නින්දට පිවිසියාක් මෙන් මරණයට පත් වේ.
11. උත්තරිං අප්පටිවිජ්ඣන්තො බ්‍රහ්මලෝකූපගො හෝති (මතුයෙහි මගඵලයකට පත් නො වූයේ බඹලොව උපදියි)
මෛත්‍රී සමාපත්ති ලාභී භික්‍ෂුවට ඒ මෛත්‍රී ධ්‍යානය පදනම් කරගෙන විදසුන් වඩා සෝවාන් ආදි මගඵල පිළිවෙළින් අර්හත්වය ද සාක්‍ෂාත් කර ගත හැකි වන්නේය. එසේ නො හැකි වන භික්‍ෂුවට මරණාසන්න මොහොතේ නොමුළාව තමන්ගේ මෛත්‍රී ධ්‍යානය අරමුණු වීමෙන් මරණින් මතු බ්‍රහ්ම ලෝකයේ උපත ලැබීමට හේතු වේ.
අංගුත්තර නිකාය සත්තක නිපාතයේ මෙත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ තමන් වහන්සේ බෝධිසත්ත්ව අවධියේ එක්තරා ආත්මභාවයක දී සත් වසක් මෛත්‍රිය වඩා සංවට්ට-විවට්ට කල්ප සතක් නැවතත් මෙලොවට නො පැමිණි බවයි. ලෝකය විනාශවන සංවට්ටකල්පයේ දී ආභස්සර බඹලොව උපත ලබා විසූහ. ලෝකය යළි නිර්මාණය වන විවට්ට කල්පයේ දී ශූන්‍ය බ්‍රහ්ම විමානයක උපත ලැබූහ.
එපමණක් ද නොව සත්වසක් මෙත් වැඩීමේ ආනිසංස වශයෙන් මහා බ්‍රහ්මයා වශයෙන් ද උපත ලැබූහ. තිස් හය වරක් ශක්‍රයාව උපත ලැබූහ. නොයෙක් සියවර සක්විති රජ විය. මෙසේ ඒ සත්වසක් මෛත්‍රිය වැඩීමේ ආනිසංස වශයෙන් නොයෙක් සැප විපාක ලද බව වදාළ සේක.
මෙසේ මෙත් වඩා ධ්‍යාන උපදවන ලද භික්‍ෂුව නො සිස් ධ්‍යාන ඇතිව කළුරිය කර මරණින් මතු බඹලොව උපත ලබයි.
මෛත්‍රී භාවනාව ආරම්භ කිරීමට කැමති යෝගියා මෙසේ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ මෙත් වැඩීමේ ආනිසංස සිහිපත් කර ගත යුතු වේ. ආනිසංස සිහිපත් කරගෙන ආරම්භ කිරීමෙන් මෛත්‍රී සිත බලවත්ව පහළ කර ගත හැකි වේ.
එසේ ම මෛත්‍රී භාවනාව ආරම්භ කරනු කැමති යෝගියා මෙත් වැඩීමේ අනුසස් මෙන් ම ද්වේෂයේ ආදීනව ද සිහිපත් කර ගත යුතු වේ. ද්වේෂය නිසාවෙන් ලෝකයේ බොහෝ අනර්ථකාරී දේ සිදු වේ. ඉතා සුලුවෙන් පුද්ගලයන් දෙදෙනකු අතර ඇති වන ගැටීමක පටන් රට රටවල් යුද්ධ කිරීම්, ලෝක යුද්ධ දක්වා ම පැතිර පවත්නේ මෙම ද්වේෂයයි. ඒ තුළින් බොහෝ මිනිස් ඝාතන සිදුවේ. බොහෝ සත්ත්ව ඝාතන සිදු වේ. තවත් බොහෝ දෙනෙක් නොයෙක් දුක් පීඩාවලට පත් වේ. මේ සියල්ල ද්වේෂය නිසා ඇති වන අනර්ථයන් බව සිහිපත් කර ගත යුතු වේ.
ද්වේෂය විෂ කටුවක් මෙනි. විෂ කටුවක් ඇණුනු තැනැත්තා එයින් පීඩාවට පත් වේ. වේදනාවට පත් වේ. එසේ ම ඒ විෂ සකල ශරීරය පුරා පැතිර යයි. ඒ තුළින් බොහෝ කාලයක් දුකට පත් වේ. එසේ ම ද්වේෂය සිතේ ඇති වූ තැනැත්තා පීඩාවට පත් වේ. සිත නො සන්සුන් වීමෙන් වෙහෙසට පත් වේ. එසේ ම චිත්ත සන්තානය පුරාවට ද්වේෂය පැතිරීමෙන් බොහෝ කාලයක් අනර්ථකාරී දුක් වේදනාවන්ට පැමිණේ.
මෛත්‍රී භාවනාව මඟින් ද්වේෂය ප්‍රහාණය කළ යුතු වේ. එබැවින් ද්වේෂයේ ආදීනව මෙනෙහි කළ යුතු වේ. එසේ ම මෛත්‍රී භාවනාවෙන් අධිවාසනා ක්‍ෂාන්තිය හෙවත් ඉවසීමට පැමිණිය යුතු වේ. එබැවින් ද්වේෂයේ ආදීනවයන් සිහි කරගෙන අනතුරුව බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ඉවසීමේ ආනිසංසය ද සිහිපත් කර ගත යුතු වේ. ‘ඛන්තී පරමං තපෝ තිතික්ඛා, නිබ්බාණං පරමං වදන්ති බුද්ධා’ යැයි වදාළේ ඉවසීම හෙවත් ක්‍ෂාන්තිය උතුම් ම තපස බවයි. එසේ ම නිර්වාණය උතුම් ම බවයි. මේ බව සිහිපත් කරගෙන මෛත්‍රී භාවනාව ආරම්භ කළ යුතු වේ.
මෙසේ ආරම්භ කරන මෛත්‍රී භාවනාව පිළිවෙළින් වඩන ආකාරය මතු ලිපිවලින් අනාවරණය කිරීමට අදහස් කරමු.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
Saturday, February 27, 2021
මෛත්‍රී භාවනාව – 04 කොටස – අමනුෂ්‍යයන්ට පවා ප්‍රිය උපදවන මෛත්‍රි භාවනාව
මෛත්‍රී භාවනාව – 04 කොටස – අමනුෂ්‍යයන්ට පවා ප්‍රිය උපදවන මෛත්‍රි භාවනාව
Feb 21, 2021 | සිත නිවන භාවනා | 0
මෛත්‍රී භාවනාව – 04 කොටස – අමනුෂ්‍යයන්ට පවා ප්‍රිය උපදවන මෛත්‍රි භාවනාව
මෙත් වඩන තැනැත්තාට මෙලොව දී ම දශ ආනිසංසයක් ද පරලොව දී එක් ආනිසංසයක් ද වශයෙන් එකොළොස් ආනිසංසයක් අත් වන බව බුදුරජාණන් වහන්සේ ‘මෙත්තාය භික්‍ඛවෙ චෙතොවිමුත්තියා ආසෙවිතාය, භාවිතාය, බහුලීකතාය, යානීකතාය, වත්‍ථුකතාය, අනුට්ඨිතාය, පරිචිතාය, සුසමාරද්ධාය ඒකාදසානිසංසා පාටිකඩ්ඛා’ යැයි වදාළ සේක. ඒ අනුව ආනිසංස 4 ක් පසුගිය ලිපියෙන් පැහැදිලි කරන ලදී.
5. අමනුස්සානං පියෝ හෝති (අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි)
නිරන්තරයෙන් මෙත් වඩන තැනැත්තා අමනුෂ්‍යයන්ට ද ප්‍රිය වේ. අමනුෂ්‍යයන්ට ප්‍රිය වන බව ඇසීම ඇතැම් කෙනෙක් බියට පත් කරන කාරණයක් විය හැකි. සමාජයේ ඇති වැරදි මතයක් වන්නේ මෙත් වඩන තැනැත්තා පසුපස අමනුෂ්‍යයන් එන බවත් එයින් ඔහුට කරදර ඇති විය හැකි බවත් ය. එහෙත් මෙත් වඩන තැනැත්තා අමනුෂ්‍යයන්ට ප්‍රිය වන බැවින් අමනුෂ්‍යයන්ගෙන් ඔහුට කරදර සිදු නො වේ. අමනුෂ්‍යයන් විසින් මේ තැනැත්තාට නිරන්තරයෙන් සුඛ විහරණය සලසා දෙනු ලැබේ. ඒ බව පැහැදිලි කර ගැනීමට අර්ථකථාවල එන විශාඛ ස්ථවිරයන් වහන්සේගේ කථාව වැදගත් වේ.
පැලලුප් නුවර විසූ විශාඛ නම් කෙළෙඹි පුත්‍රයෙක් ලක්දිව කසාවතින් බැබළෙන බවත් සද්ධර්මය ජීවමාන බවත් ඍතු සත්ප්‍රාය බව, සේනාසන සත්ප්‍රාය බව, පුද්ගල සත්ප්‍රාය බව, ධර්මශ්‍රවණ සත්ප්‍රාය බව යනාදිය ඇති බවත් ඒ ඒ තැන කමටහනක් ගෙන භාවනා කිරීමෙන් විශේෂ අධිගමයන්ට පත් විය හැකි බවත් අසීය.
එසේ අසා තමන්ගේ සියලු භෝගස්කන්ධය පුත්‍ර දාරාදීන්ට පවරා දී හැඳ සිටි වස්ත්‍ර කෙළවර එක් කහවණුවක් ගැට ගසාගෙන නිවසින් නික්ම නැව් තොටට පැමිණ නැවක් පැමිණෙන තෙක් එක් මසක් බලාපොරොත්තු වීය. හෙතෙමේ දක්‍ෂ බැවින් නැවක් බලාපොරොත්තුවෙන් සිටි කාලය තුළ තමන් සතු කහවණුවෙන් භාණ්ඩ මිලට ගෙන විකිණීමෙන් දැහැමි වෙළඳාමෙන් කහවණු දහසක් උපයා ගත්තේය. අනතුරුව නැව් නැඟී අනුපිළිවෙළින් මහාවිහාරයට සපැමිණ පැවිද්ද ඉල්ලා සිටියේය.
පැවිදි කිරීම සඳහා සීමාවට කැඳවාගෙන වේලේ තම ඔඩොක්කුවේ තිබූ කහවණු පොදිය බිම දැමුවේය. තෙරුන් වහන්සේලා විසින් මේ කිමෙක් දැ යි ඇසූ කල ‘ස්වාමීනි කහවණු දහසකි’ යැයි පිළිතුරු දුන්නේය. ‘උපාසකය පැවිදි වූ කාලයේ පටන් කහවණු පිළිබඳ විචාරණයක් කළ නොහැකිය. එහෙයින් දැන් ම පිළිවෙළක් කරන්නැ’යි තෙරුන් වහන්සේලා විසින් දැන්වූ කල ‘විශාඛගේ පැවිදි වීම බලන්නට පැමිණි අය හිස් අතින් නොයාවා’යි කහවණු සීමා මළුවේ විසුරුවා පැවිදි වූයේය. පැවිදිව උපසම්පදා විය.
උපසම්පදාවෙන් පස් වසක් යන තෙක් ඇදුරුවරයන් සමීපයේ හැසිර භික්‍ෂු-භික්‍ෂුණී උභය ප්‍රාතිමෝක්‍ෂ ප්‍රගුණ කොට සුදුසු කමටහනක් ගෙන එක් එක් විහාරයක සාරමාසය බැගින් වසමින් හැසිරෙමින් භාවනාව ප්‍රගුණ කළහ.
සිතුල්පව් විහාරයට යාමට පිටත් වූ විශාඛ ස්ථවිරයන් වහන්සේ දෙමංසන්ධියකට පැමිණ කවර මාර්ගයකින් යන්නේ දැ යි සැක සිතී මඳක් නැවතී බලා සිටියහ. එවිට පර්වතයක අධිගෘහිත දේවතාවෙක් ‘මෙය යි මාර්ගය’ යැයි අත දිගු කොට පෙන්වීය. ඒ විශාඛ තෙරුන් වහන්සේ සිතුල්පව්වට ගොස් සාර මාසයක් එහි වාසය කොට පසු දින අලුයම පිටත් වන්නේ යැයි සිතූහ. සක්මන කෙළවර වෘක්‍ෂයේ අධිගෘහිත දේවතාවා උන්වහන්සේගේ කුටියේ පඩිපෙළ මුල හිඳ හඬන්නට වූයේය.
තෙරුන් වහන්සේ ‘මේ කවරෙක් දැ’ යි ඇසූහ. තමන් ඒ වෘක්‍ෂයට අධිගෘහිත දේවතාවා බව පැවසූ කල්හි ‘කුමකට හඬන්නේ දැ’යි ඇසූහ. ඒ දේවතාවා කියා සිටියේ තෙරුන් වහන්සේගේ ගමන නිසාවෙන් හඬන බවයි. එවිට තෙරුන් වහන්සේ අසා සිටියේ තමන් වහන්සේ එහි වාසය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනයක් ඇත් ද යන්නයි.
එවිට දේවතාවා පවසා සිටියේ ‘ස්වාමීනි, නුඹ වහන්සේ මෙහි වසන කල අමනුෂ්‍යයෝ එකිනෙකා මෛත්‍රිය ලබත්. නුඹ වහන්සේ ආපසු වැඩම කළ පසු ඔවුහු නැවත කළහ කරත්. නොමනා දේ ද කරත්’ යනුවෙනි. තෙරුන් වහන්සේ මෛත්‍රී විහරණයෙන් යුතු බැවින් එහි වාසය කිරීමෙන් දෙවියන්ට පහසුවක් වන බව ඒ දේවතාවා පවසා සිටියේය.
‘ඉදින් මා මෙහි විසීමෙන් නුඹලාට පහසුවක් වේ නම් එය සොඳුරු’ යැයි තෙරුන් වහන්සේ තවත් සාර මාසයක් එහි විසූහ. නැවතත් සාරමාසයකට ඇවෑමෙන් පිටත් වීමට සූදානම් වන විට දේවතාවා පෙර පරිදි ම හැඬීය. නැවතත් ගමන වැළැක්වූ තෙරුන් වහන්සේ මේ ක්‍රමයෙන් ඒ සිතුල්පව් විහාරයේ ම වාසය කර එහි ම පිරිනිවී ගියහ.
මෙසේ මෛත්‍රී විහරණයෙන් යුක්ත භික්‍ෂුව අමනුෂ්‍යයන්ට ප්‍රිය වේ. එයින් උන්වහන්සේට අමනුෂ්‍යයන්ගෙන් කරදර පීඩාවක් ඇති නොවන අතර පහසුවෙන් මහණදම් පුරා ගැනීමට අවකාශ සැලසේ. බුදුරජාණන් වහන්සේ කරණීයමෙත්ත සූත්‍රය උගන්වා වදාළේ ද මේ ආකාරයෙන් දෙවියන්ගෙන් වන පීඩාවන් වළක්වා ගැනීමට වේ. එහි දී ද භික්‍ෂූන් වහන්සේලා මෙත් වැඩීමෙන් දෙවියන්ට ප්‍රිය වී තමන් වහන්සේලාගේ පහසු විහරණය සලසා ගත්හ. එබැවින් මෙත් වඩන තැනැත්තා අමනුෂ්‍යයන්ට ද ප්‍රිය වේ.
6. දේවතා රක්‍ඛන්ති (දෙවියෝ රකිත්)
අමනුෂ්‍යයන්ට ප්‍රිය වන බැවින් ම දෙවියන්ට ද ප්‍රිය වන මෙත්වඩන භික්‍ෂුව මව් පියන් සිය දරුවෙකු රක්නා පරිද්දෙන් දෙවියන් විසින් රකිනු ලැබේ. කරණීයමෙත්ත සූත්‍ර නිදාන කථාවෙන් මේ බව හොඳින් ම හෙළි වේ.
7. නාස්ස අගිගි වා විසං වා සත්‍ථං වා කමති (ගිනි හෝ විෂ හෝ සැත් ඔහුට නොම වදියි)
මෛත්‍රී විහරණයෙන් ගත කරන තැනැත්තාට ගින්නෙන් අනතුරක් නො සිදුවේ. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ වෙසෙන සමයේ පුණ්ණ සිටු දියණිය වූ උත්තරා නම් උපාසිකාව තම සැමියාට කහවණු පසළොස් දහසකට සිරිමා නම් ගණිකාවක් පාවා දී අඩමසක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දීම් ආදි පින් කළාය. අවසන් දින දැළි කුණු වැකුණු උත්තරාව දැක සිටු පුත්‍රයා සිනහසෙනු දුටු සිරිමා ගණිකාව ඇය කෙරෙහි වෛර බැඳ මුළුතැන් ගෙයි උණු තෙල් කටාරමකින් කකියන උණු තෙල් හැන්දක් ගෙන උත්තරාවගේ හිසේ වත් කළාය. උණු තෙල් හැන්දක් ගෙන ඇය ඉදිරියට එනු දුටු උත්තරාව ‘මැය මට මිතුරියක් සේ බොහෝ උපකාර කළාය. මැය නිසාවෙන් මම අඩමසක් දානාදි පින්කම් කළෙමි. ධර්මශ්‍රවණය ලැබුවෙමි. ඉදින් මැය කෙරෙහි මාගේ කෝපයක් ඇත්නම් මේ කකියන ගිතෙල් මා දවාවා. නැත්තේ නම් නොම දවාවා’යි ඇය කෙරෙහි මෙත් සිත පැතිරවීය. එයින් ඇය මත්තෙහි වත් කළ ඒ උණු තෙල් සීසිල් දිය මෙන් විය. එබැවින් මෙත් සිත පතුරුවන තැනැත්තාට ගින්නෙන් හානියක් නොම සිදුවේ.
එසේ ම මෙත් විහරණයෙන් සිටින අයට වසවිෂ නිසාවෙන් හානි නො සිදුවේ. සංයුක්තභාණක චූළසිව ස්ථවිරයන් වහන්සේට මෛත්‍රී විහරණය නිසා වසවිෂවලින් සිදුවීමට තිබූ හානියක් වැළකුණු බව සඳහන් වේ.
එසේ ම මෛත්‍රී භාවනාව පුරුදු කර ඇති තැනැත්තාට සැතකින් කරදරයක් නො සිදුවේ. උදේනි රජු සාමාවතී ප්‍රමුඛ බිසවුන් පන්සියයක් දෙනා එක පෙළට සිටුවා එක් හීයකින් විද මරනු කැමතිව සූදානම් විය. සාමාවතිය සෙසු සියලු දෙනාට කියා සිටියේ මෛත්‍රී කරන ලෙසයි. මෛත්‍රී බලය නිසාවෙන් රජුට දුනු දිය ඇද හීය විදීමට නොහැකිව සිටියේය. එබැවින් මෙත් වඩන අයට සැත්වලින් හානි නොම සිදුවේ.
මෙසේ බොහෝ ආනිසංස ඇති බව සලකා මෛත්‍රී භාවනාව වැඩිය යුතු වේ.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
Friday, February 26, 2021
මෛත්‍රී භාවනාව – 03 කොටස – “සුවසේ නිදන්න – මෙත් වඩන්න”
මෛත්‍රී භාවනාව – 03 කොටස – “සුවසේ නිදන්න – මෙත් වඩන්න”
Feb 21, 2021 | සිත නිවන භාවනා |
මෛත්‍රී භාවනාව – 03 කොටස – “සුවසේ නිදන්න – මෙත් වඩන්න”
‘මෙත්තාය භික්‍ඛවෙ චෙතොවිමුත්තියා ආසෙවිතාය, භාවිතාය, බහුලීකතාය, යානීකතාය, වත්‍ථුකතාය, අනුට්ඨිතාය, පරිචිතාය, සුසමාරද්ධාය ඒකාදසානිසංසා පාටිකඩ්ඛා’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ මෙත්තානිසංස සූත්‍රයේ දී දේශනා කරන ලද්දේ ‘ආසේවනය කරන ලද, වඩන ලද, බහුල කරන ලද, යානයක් මෙන් වසඟයේ පවත්වන ලද, පිහිටීමට වස්තුවක් මෙන් කරන ලද, අත නොහරින ලද, භාවනානුරූපීව රැස් කරන ලද, මැනවින් අරඹන ලද මෛත්‍රී චෙතොවිමුක්තිය පිළිබඳ එකොළොස් ආනිසංසයක් කැමති විය යුතු බව’යි. මෙලොවදී ම ලබන දස ආනිසංසයක් සහ පරලොව දී ලබන එක් ආනිසංසයක් වශයෙන් එකොළොස් ආනිසංසයක් මෙත් වැඩීමෙන් අත් වන බව මෙහි වදාළ සේක.
මෛත්‍රී භාවනාව වඩන යෝගාවචරයා මෙම ආනිසංස පිළිබඳ මෙනෙහි කළ යුතු වේ. භාවනාව ආරම්භ වීමට මත්තෙන් එහි ආනිසංස මෙනෙහි කිරීමෙන් එකී භාවනාවේ නියැළීමට ඡන්දය ඇති වී උනන්දුවෙන් භාවනාවේ නියැළීම සිදු වේ. එවිට ඉතාමත් ඉක්මනින් කමටහන සමෘද්ධමත් භාවයට පත් කර ගත හැකි වේ.
මෙත්තානිසංස සූත්‍රයේ දී පළමුව බුදුරජාණන් වහන්සේ මෙත් වඩන පුද්ගලයාට මෙලොව දී ම ලැබෙන ආනිසංස දහයක් (10) වදාළ සේක.
1. සුඛං සුපති (සුවසේ නින්ද යාම)
මෛත්‍රී භාවනාව වඩන පුද්ගලයා සුවසේ නින්දට එළඹෙන බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. සිතේ මෙත් සිතිවිලි පැවතීම නිසා දුක් fදාම්නස්වලින් තොරව නින්දට යා හැකි පුද්ගලයා එයින් සැහැල්ලු සිතින් නින්දට එළඹේ. ඒ නිසා ම ඔහුගේ නින්ද ඉක්මනින් ඔහු වෙත ළඟා කර ගත හැකි වේ.
වර්තමානයේ ඇතැම් අය නින්ද නොලැබීම නිසාවෙන් බොහෝ පීඩාවලට පත් වෙති. නින්ද ලබා ගැනීම පිණිස ඖෂධ පවා සොයති. එහෙත් බුදුරජාණන් වහන්සේ නින්ද ළඟා කර ගැනීමට පහසු ම මඟක් ලෙස පෙන්වා දෙන්නේ මෙත් වැඩීමයි. මෙත් වඩන පුද්ගලයාගේ සිතේ කිළිටි පහව යාම නිසා ඒ පුද්ගලයා සැහැල්ලු භාවයට සන්සිඳීමට පත් වීම ඉක්මනින් නින්ද ළඟා වීමට හේතුව වේ. බොහෝ දෙනෙක් නිදාගැනීමට ගොස් නොයෙක් දේ කල්පනා කරමින් කාලය ගත කිරීම නිසා බොහෝ වේලාවක් නිදා ගත නොහැකිව ගත කරති. එහෙත් නින්දට ගොස් සිත මෙත් වැඩීමට යොමු කරගන්නා පුද්ගලයාට ඉක්මනින් නින්ද ළඟා කර ගත හැකි වේ.
2. සුඛං පටිබුඤ්ජති (සුවසේ අවදි වේ)
නිදා ගන්නා තැනැත්තාගේ අවදි වීම ද සුවපත් විය යුතුය. ඇතැම් අය අවදි වන්නේ ඉතාමත් අපහසුවෙනි. සමහර කෙනෙක් බිය වී අවදි වෙති. මෙත් වඩන පුද්ගලයාගේ නින්දෙන් අවදි වීම සුවපත් වන බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
3. න පාපකං සුපිනං පස්සති (ලාමක සිහින නො දකී)
ඇතැම් කෙනෙක් නින්දට ගිය විට නොයෙක් ආකාරයේ නපුරු සිහින දකී. නපුරු සිහින දැකීමෙන් බියට පත් වී අවදි වේ. එතැන් පටන් සමහර විට හොඳ නින්දක් ලැබිය නො හැකි වේ. නපුරු සිහින දැකීමේ කරදරයෙන් මිදීම පිණිස මෙත් වැඩිය යුතු වේ.
සිහින දැකීම ආකාර 4 කට සිදු වන බව ධර්මයේ සඳහන් වේ. එනම් පෙර ගත් අරමුණක් අනුව සිහින පෙනීම, සෙම් පිත් ආදි ධාතු කිපීම නිසා සිහින පෙනීම, පූර්ව නිමිති වශයෙන් සිහින පෙනීම සහ දෙවියන් විසින් පෙන්වීම වශයෙනි. සිහින දකින්නේ කපි (වඳුරු) නින්දේ දී බව ධර්මයේ සඳහන් වේ. කපි නින්ද යනු අඩ නින්දයි. නින්දත් නොනින්දත් අතර සිටීමයි. එවිට නොයෙක් සිත් පහළ වන අතර ඒ සිත්වලට එම දින තමන් ඇසූ, කියූ, දුටු දේ අනුව ගත් නිමිති අරමුණු විය හැකි වේ. ඒ අනුව සිහින පෙනීම සිදු විය හැකිය. නිරන්තරයෙන් මෙත් වඩන පුද්ගලයාගේ ආසන්න අරමුණු ගැනීම මෛත්‍රී සහගත බැවින් නපුරු නිමිති අරමුණු නොවීම නිසා නපුරු සිහින පෙනීම සිදු නොවේ. ධාතු කිපීම නිසා හෝ පූර්ව නිමිති වශයෙන් හෝ සිහින පෙනීම සිදු විය හැකි වුව ද මෙත් සිතින් වාසය කරන තැනැත්තා සුව නින්දකට බැසගනී. සුව නින්දක දී සිහින පෙනීම සිදු නොවන බැවින් නපුරු සිහින පෙනීම ද සිදු නොවේ. ඇතැම් විට දෙවියන් විසින් ද සිහින පෙන්වීම සිදු කරයි. මෙත් වඩන තැනැත්තාට දෙවියන් ප්‍රිය වන නිසාවෙන් දෙවියන් විසින් නපුරු සිහින පෙන්වීමක් සිදු නොවේ. මෙසේ මෛත්‍රී භාවනාව හොඳින් ප්‍රගුණ කර ජීවිතයට එකතු කරගත් තැනැත්තාට නපුරු සිහින නොදැක සුව නින්දක් ලැබිය හැකි වේ.
4. මනුස්සානං පියො හොති (මිනිසුන්ට ප්‍රිය වේ)
මෛත්‍රිය යනු මිතුරු බවයි. මෛත්‍රිය වැඩීමෙන් සිදු වන්නේ සියලු දෙනාට මිතුරු බව පැතිරවීමයි. එබැවින් මෙත් වඩන තැනැත්තා මිනිසුන්ට ප්‍රිය පුද්ගලයෙක් වේ. මෙය ප්‍රායෝගිකව මෙත් වඩන පුද්ගලයාට ලැබෙන විශේෂ ප්‍රතිලාභයක් වේ. මෙත් වඩන තැනැත්තාට ඒ මෛත්‍රී භාවනාවේ බලයෙන් බොහෝ ප්‍රයෝජන අත් කර ගත හැකි වේ.
උදාහරණයක් ලෙස කිසියම් ආයතනයක නිළධාරියෙකු ලවා වැඩ කටයුත්තක් කර ගත යුතුව ඇති තැනැත්තාට මෛත්‍රී භාවනාවේ බලයෙන් පහසුවෙන් තම කටයුත්ත සිදු කර ගත හැකි වේ. නිතර මෙත් වඩා පුරුදු තැනැත්තා අදාළ පුද්ගලයා මුණ ගැසීමට පෙර ඔහු සිහියට නඟාගෙන ඔහුට ටික වේලාවක් මෙත් වැඩිය යුතු වේ. ඉන්පසු එම පුද්ගලයා වෙත ගොස් තමන්ගේ වුවමනාව පැහැදිලි කිරීමේ දී ඉක්මනින් මිතුරු භාවය ගොඩ නඟාගෙන තමන්ගේ කටයුත්ත කළ හැකි වේ.
සමහර පුද්ගලයෙක් ප්‍රකෘතියෙන් ම සැර පරුෂ බව නිසා අන් අය සමඟ මිතුරු නොවේ. එවැනි අයෙක් ලවා වැඩක් කරවා ගැනීමට මෛත්‍රී භාවනාව උපකාරී කරගත හැකි වේ. බුදුරජාණන් වහන්සේ බොහෝ දුර්දාන්ත පුද්ගලයන් හා සත්ත්වයන් දමනය කිරීමට උන්වහන්සේගේ අසමසම මෛත්‍රී බලය භාවිතා කළ සේක. අංගුලිමාල වැනි දාමරිකයෙක් තමන් වහන්සේ වෙත කඩුව අමෝරාගෙන දිව එන විට ඔහුව දමනය කිරීමට උන්වහන්සේගේ අසමසම මෙත් සිත උපකාරී විය. නාලාගිරි ඇතු කිසිදු හොඳ නරකක් නොදැන බුදුරජාණන් වහන්සේ අභිමුවට දිව එන විට ඉදිරිපත් වූයේ බුදුරජාණන් වහන්සේගේ ඒ අසමසම මෙත් සිතයි. එබඳු අසමසම මෙත් සිතක් නොමැති වුව ද අප සෑම දෙනෙකුට ම පුරුදු කළ මෙත් සිත නොයෙක් ලෙස උපකාරී කරගත හැකි වේ.
මෙසේ නොයෙක් ආකාරයෙන් මෙලොව ආනිසංස ලැබිය හැකි බැව් බුදුරජාණන් වහන්සේ මෙත්තානිසංස සූත්‍රයේ දේශනා කරන ලදී.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
Thursday, February 25, 2021
මෛත්‍රී භාවනාව – 02 කොටස – මැනවින් අරඹන ලද චේතෝවිමුක්තිය
මෛත්‍රී භාවනාව – 02 කොටස – මැනවින් අරඹන ලද චේතෝවිමුක්තිය
Feb 21, 2021 | සිත නිවන භාවනා | 0
මෛත්‍රී භාවනාව – 02 කොටස – මැනවින් අරඹන ලද චේතෝවිමුක්තිය
මෛත්‍රී භාවනාව විස්තර කෙරෙන සූත්‍ර දේශනාවල දී ඒ පිළිබඳ භාවිතා කරන විශේෂ පද කිහිපයක් හමු වේ. මෙත්තානිසංස සූත්‍රයේ ‘මෙත්තාය භික්‍ඛවෙ චෙතොවිමුත්තියා ආසෙවිතාය, භාවිතාය, බහුලීකතාය, යානීකතාය, වත්‍ථුකතාය, අනුට්ඨිතාය, පරිචිතාය, සුසමාරද්ධාය ඒකාදසානිසංසා පාටිකඩ්ඛා’ යනුවෙන් ‘ආසේවනය කරන ලද, වඩන ලද, බහුල කරන ලද, යානයක් මෙන් වසඟයේ පවත්වන ලද, පිහිටීමට වස්තුවක් මෙන් කරන ලද, අත නොහරින ලද, භාවනානුරූපීව රැස් කරන ලද, මැනවින් අරඹන ලද මෛත්‍රී චෙතොවිමුක්තිය පිළිබඳ එකොළොස් ආනිසංසයක් කැමති විය යුතු බව’ දේශනා කරන ලදී. එබැවින් මෛත්‍රී භාවනාව පිළිබඳ ඉගෙන ගන්නා තැනැත්තා මෙම පද පිළිබඳව ද අර්ථ වශයෙන් දැන ගත යුතු වේ.
මෛත්‍රී භාවනා බලයෙන් සිත කෙලෙසුන් කෙරෙන් මුදවා ගැනීම ‘මෛත්‍රී චෙතොවිමුක්තිය’ ලෙස හැඳින්වේ. මෙත් වැඩීම් වශයෙන් කුශල සිතක් ඇති කර ගැනීමෙන් තදංග වශයෙන් කෙලෙස් ප්‍රහීණ වන අතර පුරුදු කරන ලද මෛත්‍රී භාවනාව ඇති පුද්ගලයාගේ සිත මෛත්‍රී දැහැන්ගත වීමෙන් විශ්කම්භන වශයෙන් ද කෙලෙස් ප්‍රහීණ කරයි. ඒ මතු ද නොව මෛත්‍රී භාවනාව පදනම් කරගෙන විදසුන් වඩා සහමුලින් ම කෙලෙස් ප්‍රහීණ කිරීම ද කළ හැකි වේ. එබැවින් මෙම මෛත්‍රී භාවනාවේ දී ‘මෛත්‍රී චෙතොවිමුක්තිය’ ලෙස හැඳින්වෙන්නේ පුරුදු කරගත් මෛත්‍රීය ඇති පුද්ගලයෙක් සිය සිත කෙලෙස්වලින් මුදවාගෙන මෛත්‍රී වසයෙහි පවත්වා ගැනීමයි.
මෙසේ මෛත්‍රී චෙතොවිමුත්තිය පැවැත්වීම පිළිබඳ ආසේවිතාය, භාවිතාය යනාදි වශයෙන් ආකාර කිහිපයක් දැක්වේ. ‘ආසේවනය කිරීම’ යන්නෙන් අදහස් වන්නේ ආදරයෙන් සේවනය කිරීමයි. මෙත් වැඩීම පුරුදු කරන තැනැත්තා එය ආදරයෙන් සේවනය කළ යුතු වේ. තවත් කෙනෙකුගේ බල කිරීමකට කරන මෙත් වැඩීම දියුණුවට පත් නොවේ. ඒ පිළිබඳ තමන් තුළින් ම ඇති වූ ඡන්දයක් පැවතිය යුතු වේ. මෙලොව ආනිසංස සලකමින්, පරලොව ආනිසංස සලකමින්, ලොකෝත්තර වශයෙන් නිර්වාණ ප්‍රතිලාභය සලකමින් ඒ සඳහා අවශ්‍යයෙන් ම අත නොහැර කළ යුතු කටයුත්තක් වශයෙන් මෙත් වැඩීම කරන්නේ නම් ‘ආසේවනය’ කරන ලද්දේ වෙයි.
එසේ ආදරයෙන් සේවනය කරන මෛත්‍රිය භාවනාවක් වශයෙන් පුරුදු කිරීම ‘භාවිත කිරීම’ නම් වේ. මෙලොව ආනිසංස අපේක්‍ෂාවෙන් ද පරලොව ආනිසංස අපේක්‍ෂාවෙන් ද නිර්වාණ ප්‍රතිලාභය අපේක්‍ෂාවෙන් ද මෙත් වැඩීම කළ යුතු යැයි සලකන තැනැත්තා එය භාවනා වශයෙන් වැඩීමෙන් පුරුදු කර ගත යුතු වේ.
භාවනා වශයෙන් වැඩීමෙන් පුරුදු පුහුණු වූ මෛත්‍රිය නැවත නැවත වැඩීම ‘බහුල කිරීම’ නම් වේ. නිරන්තරයෙන් භාවනා මනසිකාරයක් වශයෙන් මෛත්‍රිය වැඩීම කළ හැකි වේ. මෙත් වැඩීමට සුදුසු වචනයක් තමන්ට හුරු කර ගැනීමෙන් නිතර එය මෙනෙහි කළ හැකි වේ. ඒ තුළින් සිතේ මෙත් සිතුවිලි නිරන්තරයෙන් පවතී. නැවත නැවත මෛත්‍රි භාවනාව වැඩීමක් සිදු වේ. බහුල වේ.
යම් දක්‍ෂ රියදුරෙක් ආජඤ්ඤ අශ්වයින් යෙදූ රථය තමන් කැමති ආකාරයට හසුරුවයි. කැමති කැමති තැනට යයි. කැමති තැනින් නතර වෙයි. මෙසේ දක්‍ෂ රියදුරෙක් රථයක් තමන් වසඟයේ පවත්වන්නාක් මෙන් මෛත්‍රිය වඩන යෝගියාට ද මෛත්‍රී භාවනාව තමන් වසඟයේ පැවැත්විය හැකි විය යුතුය. එසේ යානයක් තමන් වසඟයේ පවත්වන්නාක් මෙන් කැමති ඕනෑම වේලාවක, ඕනෑම අවස්ථාවක මෛත්‍රී ධ්‍යානයට සම වැදිය හැකි ලෙස වසඟයේ පැවැත්විය හැකි විය යුතු. එය ‘යානිකතා’ නම් වේ.
යම් දෙයක් පිහිටීමට සුදුසු බිමක් වස්තුවක් නම් වේ. පිහිටීමට මනා භූමියක් ඇති විට පමණක් එහි මැනවින් පිහිටයි. සුදුසු බිමක් නොමැති තැන මනා පිහිටීමක් සිදු නොවේ. මෙත් සිත වඩන තැනැත්තාගේ සිත මෛත්‍රී සිතුවිලිවලට පිහිටීමට සුදුසු බිමක් විය යුතුය. එසේ සුදුසු බිමක් කරගත් සිතේ වඩන ලද මෛත්‍රිය මැනවින් රෝපණය වේ. මැනවින් ඵල දරයි. මෙලොව පරලොව ආනිසංස ඵලය ද කෙළවර ලොකෝත්තර නිර්වාණ ඵලය ද අත්පත් කර දෙයි. එබැවින් මෛත්‍රිය පිහිටීමට උපකාර වන භූමියක් මෙන් සිත පවත්වා ගැනීම ‘වත්‍ථුකතා’ නම් වේ.
භාවනා වශයෙන් බහුල කර වැඩීමෙන් මෛත්‍රිය නැවත නැවත එළඹ සිටියේ නම්, අත නොහැර සිටියේ නම් එය ‘අනුට්ඨිතා’ නම් වේ. මෛත්‍රී භාවනාව පුරුදු කරන යෝගියා එය එක් දිනක් සිදු කර අතහැර දැමිය යුතු නොවේ. දිනක්, දෙකක් වඩා යළි බොහෝ කාලයකට පසුව වැඩීමෙන් කියන ලද ආනිසංස ලැබිය හැකි නොවේ. මෛත්‍රී කර්මස්ථානය තමන් අත නොහැර පැවතිය යුතු වේ. එවිට පමණක් ම මෙලොව පරලොව ආනිසංස අත් විඳිය හැකි වේ.
සිතේ මෛත්‍රිය හාත්පසින් රැස් කරන ලද්දේ නම් එය ‘පරිචිත’ නම් වේ. සියලු ආකාරයෙන් සිතේ භාවනාවට සුදුසු සේ රැස් කළ මෛත්‍රියක් පවත්වා ගත යුතු බවයි. සාමාන්‍යයෙන් අපගේ සිත තුළ නිරන්තරයෙන් කෙලෙස් සිතිවිලි ඇති වීමට සුදුසු ඉඩකඩක් පවතී. මැනවින් පුරුදු නොකළ සිතක් ඇති යෝගියාගේ සිතේ රාගාදි කෙලෙස් නිතර ඇති වේ. ඇතැම් විට ඒ බව තමන් දන්නේ හෝ නො වේ. යෝගියා ප්‍රඥාව සේ දකින්නේ කෙලෙස් සිතිවිල්ලක් විය හැකි වේ. එබැවින් මෛත්‍රිය නමැති සත් චේතනාව නිරන්තරයෙන් සිතේ එක් රැස් කළ යුතු වේ. එවිට කෙලෙස් සිතිවිලිවලට පිවිසීමට සිතේ ඉඩක් නො ලැබේ.
සිතේ මෛත්‍රී සිතිවිලි අතිශයින් උපදවා ගැනීම, මැනවින් උපදවා ගැනීම කළ යුතු වේ. මෛත්‍රිය පුරුදු පුහුණු කරන යෝගියා පළමුව තමන්ට මෙත් සිත ඇති කර ගත යුතු වේ. තමන්ට තමන් මෙන් මිතුරු අන් කිසිවකුත් නැති බැවිනි. එසේ ම තමන්ගේ හිතවත්, මැදහත්, අහිතවත් යන සියලු දෙනාට මැනවින් මෙත් සිත පැවැත්විය යුතු වේ. මෙත් සිත මැනවින් ඇරඹිය යුතු වේ. එසේ මැනවින් මෙත් සිත ඇරඹීම ‘සුසමාරද්ධ’ නම් වේ.
මෙසේ ආදරයෙන් සේවනය කරන ලද, භාවනා වශයෙන් වඩන ලද, බහුලකොට වඩන ලද, තමන් වසඟයේ පැවැත්විය හැකි යානයක් මෙන් කරන ලද, පිහිටීමට බිමක් මෙන් කරන ලද, අත නොහැර පුරුදු කරන ලද, හාත්පසින් භාවනානුරූපීව රැස් කරන ලද, මැනවින් අරඹන ලද මෛත්‍රී චෙතොවිමුක්තිය ඇති යෝගියාට මෙලොව දී ම ආනිසංස දහයක් අත් විඳිය හැකි බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. එසේ ම පරලොව වශයෙන් ද එක් ආනිසංසයක් වදාළ සේක.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
Wednesday, February 24, 2021
මෛත්‍රී භාවනාව – 01 කොටස
Thursday, February 18, 2021
මෛත්‍රිය
උපුටා ගැනීම කී
මෛත්‍රිය යනු මිතුරු බව යි. අප තිලෝගුරු බුදු හිමිපාණෝ බුද්ධත්වය අවබෝධ කරගැනීමෙහි ලා මෛත්‍රිය පාරමිතාවක් ලෙස පිරූ සේක. පෘථග්ජන පුද්ගලයකුට මෛත්‍රිය වැඩීම එතරම් පහසු නො වේ. එය උදාර සිතිවිල්ලක් මෙන් ම භාවනාවක් ද වේ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ව්‍යාපාදය, උපහාසය මෙයට විරුද්ධ දේ ය.
තමන්ගේ අඹු-දරුවන්ට සෙත් පැතීම, මෛත්‍රිය කිරීම ඉතා පහසුවෙන් ම කළ හැකි ය. එය ආශාව, රාගය, ඇලීම නිසා ම සිදු කරන්නකි. එහෙත් අපට සතුරකුට පහසුවෙන් මෛත්‍රී කළ හැකි ද? එය අපහසු වන්නේ ඔහු අපට කළ දෝෂාරෝපණ, විරුද්්ධවාදීකම් මෛත්‍රිය වැඩීමට ඇරඹූ වේලේ සිට සිහි වන නිසා ය.
මේ සියල්ල යටපත් කරගෙන තම මිතුරාට මෙන් ම සතුරාටත්, මැදහත් අයටත් මෙත් සිත පැතිරවීම මෙත්තා පාරමිතාව යි. මවක් තම එක ම දරුවා තම ජීවිතය මෙන් ආරක්ෂා කරයි ද, එමෙන් ම සියලු සතුන් කෙරෙහි ම අප්‍රමාණ ව මෛත්‍රිය වැඩිය යුතු බව කරණීය මෙත්ත සූත්‍රයේ “මාතා යථා නියං පුත්තං - ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ” යන ගාථාවෙන් දැක්වේ.
බුද්ධ දේ්ශනාව අනුව මෛත්‍රිය වැඩීමට නියම වේලාවක් නැත. නොනිඳා සිටින සෑම වේලෙහි ම තමාට, තමාගේ නෑ-හිතවතුන්ට, මැදහත් අයට, විරුද්ධවාදීන්ට ජාති-ආගම්-කුල භේදවලින් තොර ව සම සේ මෛත්‍රිය පැතිරවිය හැකි ය. සෑම දෙනා ම සියලු දුකින් මිදී සැප සේ ජීවත් වීම අවංක ව ම දැකීමට ඇති කැමැත්ත නියම මෛත්‍රියේ ස්වභාවය යි. ඔහුට මෙලොව දියුණුවට මග පෑදෙයි. ඉන් ඔහු ගෞරව කීර්ති ප්‍රශංසා මෙලොවදී ම ලබයි.
“සියලු සත්ත්වයෝ සුවපත් වෙත් වා!” යි මහ හඬින් කීවත් එයින් ඇති ඵලයක් නැත. හද පත්ලෙන් ම ඒ ගැන මෙනෙහි කරමින් “යහපතක් ම වේවා!” යන අරුතින් මෙත් වැඩිය යුතු ය. එයින් ලැබෙන ඵලය අතිමහත් ය. මෙත්තානිසංස සූත්‍රයේ මෛත්‍රිය වැඩීමෙන් ලැබෙන ආනිසංස එකොළහක් පිළිබඳ ව සඳහන් කර ඇත. එනම්,
1. සුව සේ නින්දයෑම, 2. සුව සේ අවදි වීම, 3. නරක සිහින නොදැකීම, 4. මිනිසුන්ට පි‍්‍රය වීම, 5. අමනුෂ්‍යයන්ට ද පි‍්‍රය වීම, 6. දෙවියන්ට පි‍්‍රය වීම (දේව ආරක්ෂාව ලැබීම), 7. අවි ආයුධවලින් ගින්නෙන් වස-විෂවලින් විපත් නොවීම, 8. සිත සමාධිගත වීම, 9. මුහුණ ප්‍රසන්න වීම, 10. සිහි මුළාවෙන් තොරව මිය යෑම, 11. මරණින් පසු බඹ ලොව ඉපදීම.
මිනිසුන්ට පමණක් නො ව, සෑම ප්‍රාණියකු කෙරෙහි ම මෙත් සිත පැතිරවිය යුතු ය. වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන්නාගේ සිත නිතර ම දූෂිත ය; අපිරිසිදු ය; මුහුණ බැලීමට පවා අප්‍රසන්න ය. ඔහු කායික මෙන් ම මානසික රෝගවලට ද ගොදුරු වේ.
බාහිර පෙනුමින් ශාන්ත බව හුවා දැක්වුව ද ඇතුළතින් කිපෙනසුලු නපුරු ස්වභාවය ඇති බවට වේදේහිකාගේ කථාව නිදසුනක් ලෙස දැක්විය හැකි ය. වේදේහිකා සැවැත් නුවර විසූ කාන්තාවකි. ඇයට අනලස් ව ක්‍රියා කරන ඉතා දක්ෂ සේවිකාවක් සිටියා ය. ඕ නමින් ‘කාලී’ විය. වේදේහිකා ඉතා ගුණ සම්පන්න කාරුණික තැනැත්තියක ලෙස අසල්වැසියන් අතර ප්‍රසිද්ධ වූවා ය. විශේෂයෙන් ම පුරුෂයන් කීවේ “අපේ ගෙවල්වල කාන්තාවන්ට වඩා මැය කොපමණ හොඳ ද?” යන්න ය.
මෙසේ වේදේහිකා පිළිබඳ සෑම දෙනාගේ ම මුවින් හොඳ කියැවෙද්දී කාලී මෙසේ සිතන්නට වූවා ය: ‘මාගේ ස්වාමි දුව ඇත්තට ම ගුණවත් ද? ඈ මෙසේ ශාන්ත ව සිටින්නේ මා හොඳින් වැඩ කරන නිසා ද? මා මෙය පරීක්ෂා කළ යුතු යි,’ සිතා එක් දිනක් දවල් වන තුරු නිදාගත්තා ය. උදේ තේ පානයේ සිට සියලු කටයුතු ඇනහිටිණි. වෙනදා අකුරට ම කැරුණු වැඩකටයුතු අතපසු වීම නිසා වේදේහිකාගේ ශාන්ත බව ක්‍රමයෙන් යටපත් විය. ඈ කාලී දෙස රවා බලා කෝපයෙන් කථා කළා ය. කාලී දෙවැනි දිනයේ ද ස්වාමි දුව පරීක්ෂා කරන අටියෙන් පළමු දිනට වඩා දවල් වන තෙක් නිදාගත්තා ය. එදින වේදේහිකාගේ සැර-පරුෂ බව පළමු දිනට වඩා ප්‍රබල විය. ඈ නොසෑහෙන ලෙස කාලීට දොස් පැවරුවා ය.
වේදේහිකාගේ ගතිලක්ෂණ තවත් විමසීමට සිතා තෙවැනි දිනයේ ද දවල් වී නැගිට්ටා ය. එදින වේදේහිකාට ඉවසුම් නැති විය. “ඇයි මෙපමණ දවල් වන තෙක් නිදන්නේ?” යි ඈ ඇසුවේ පාලනය කරගත නොහැකි කෝපයකිනි. “කිසි කරුණක් නැති ව” යි කාලීගේ මුවින් පිට විණි. ඉවසාගත නොහැකි කෝපයෙන් ඈ අසල තිබූ දොරපොල්ල ගෙන කාලීට ගැසුවා ය. ඇගේ හිස පැළිණි. කාලී හිසෙන් ලේ ගලමින් තිබියදී ම තමාට සිදු වූ ඇබැද්දිය අසල්වාසීන්ට දැනගන්නට සැලැස්සුවා ය. ඒ මොහොතෙහි ම වේදේහිකාගේ කීර්ති රාවය අතුරුදන් විය; ඈ දුෂ්ට ගැහැනියක ලෙස හංවඩු ගැසිණි.
මේ කථාවෙන් දැක්වෙන්නේ බාහිර පෙනුමින් ශාන්ත ව සිටියත් අභ්‍යන්තර ස්වභාවය ඊට හාත්පසින් ම වෙනස් බව ය. මෛත්‍රිය වැඩීමෙන් කළ යුත්තේ එවැනි යටපත් වූ අධර්මයන් සිතෙන් තුරන් කරගැනීම යි.
අප මහා බෝසතාණන් වහන්සේ මෛත්‍රිය පාරමී ධර්මයක් ලෙස පිරූ බව නිග්‍රෝධ මිග ජාතකයෙන් පැහැදිලි වේ. මහා කපි ජාතකයේදී බෝසතාණන් වහන්සේ වඳුරකු ව ඉපිද වනයේ විශාල වළකට වැටී ගොඩ ඒමට නොහැකි ව කෑගසන මිනිසකු දැක මහත් පරිශ්‍රමයක් යොදා ගොඩගත් අයුරු පැහැදිලි කරරෙයි. පසු ව බොහෝ විඩාවට පත් ව සිටින මේ බෝසත් වඳුරා නින්දට වැටුණු විට ගලකින් ගසා තුවාල කර මැරීමට තැත් කළ මිනිසාට ද මෛත්‍රි සහගත ව වනයෙන් එළියට යෑමට පාර පෙන්වූයේ තම තුවාලයෙන් ලේ වගුරවමිනි.
වර්තමාන ලෝකයේ ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වයන්ට මුල් ම හේතුව වී ඇත්තේ ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, වෛරය ආදිය යි. බෝසත් අවධියේ සිට මෛත්‍රිය පාරමිතාවක් ලෙස පිරූ බුදුන් වහන්සේට තම පුත් රාහුල හිමියන්ටත්, තමා මරන්නට ආ දෙව්දත් තෙරුන්ටත්, සුද්ධෝදන රජුටත්, මහා ප්‍රජාපතී ගෝතමියටත්, තමන් වහන්සේ අපකීර්තියට පත් කිරීමට තැත් කළ චිංචිමාණවිකාව, සුප්‍රබුද්ධ වැන්නන්ටත් සම සිත් ඇති ව සිටීමට හැකි විය. උන් වහන්සේ මහා කරුණා සමාපත්ති ඥානයෙන් යුතු ව දිනපතා ම අසරණයන් සුඛිත-මුදිත කිරීමේ හැකියාව ලැබුවේ මෛත්‍රිය පාරමිතාවක් ලෙස ප්‍රගුණ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ය.
උදේනි රජු, සාමාවතී දේවිය ඇතුළු පන්සියයක් ස්ත්‍රීන් පෙළට සිටුවා එක ඊ පහරින් මරන්නට තැත් කළ ද එය ව්‍යර්ථ වූයේ ඔවුන්ගේ මෙත් වැඩීමේ බලයෙනි. එමෙන් ම සිරිමා ගණිකාව විසින් උත්තරා දේවියගේ හිසෙහි බහා ලූ උණු තෙල් භාජනය සිසිල් දිය දහරක් මෙන් නොදැවී හිස මත පතිත වූයේ ද එම දේවිය මෙත් සිතින් විසූ නිසා ය.
මිනිස්, නොමිනිස්, තිරිසන් ආදි සෑම කෙනෙක් ම මිතුරු බවට කැමති ය. එනිසා අල්පමාත්‍ර ඇල්මකුදු නොමැති ව අනුන්ගේ යහපත සඳහා අපේ ශක්ති පමණින් මෛත්‍රිය පතුරුවා, ඊර්ෂ්‍යා ක්‍රෝධවලින් තොර සුන්දර පරිසරයක් ගොඩනඟාගැනීමට සෑම කෙනෙක් ම අදිටන් කරගත යුතු ය.
අසුරු සණක් ගසන මොහොතක් වත් නියමාකාරයෙන් මෛත්‍රිය පතුරුවන්නට හැකි නම් එයින් මහත් ඵල ලැබෙන බව බුද්ධ දේශනාව යි.
පහාරාද සූත්‍රය
බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...
-
බදුල්ල, බණ්ඩාරවෙල පාර ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දීරයේ දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළම...
-
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පරම...
-
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ සහ අනුශාසක කිරිබත්ගොඩ ඤාණානන්ද...