Thursday, February 18, 2021

මෛත්‍රිය

 



උපුටා ගැනීම කී 

මෛත්‍රිය යනු මිතුරු බව යි. අප තිලෝගුරු බුදු හිමිපාණෝ බුද්ධත්වය අවබෝධ කරගැනීමෙහි ලා මෛත්‍රිය පාරමිතාවක් ලෙස පිරූ සේක. පෘථග්ජන පුද්ගලයකුට මෛත්‍රිය වැඩීම එතරම් පහසු නො වේ. එය උදාර සිතිවිල්ලක් මෙන් ම භාවනාවක් ද වේ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ව්‍යාපාදය, උපහාසය මෙයට විරුද්ධ දේ ය.


තමන්ගේ අඹු-දරුවන්ට සෙත් පැතීම, මෛත්‍රිය කිරීම ඉතා පහසුවෙන් ම කළ හැකි ය. එය ආශාව, රාගය, ඇලීම නිසා ම සිදු කරන්නකි. එහෙත් අපට සතුරකුට පහසුවෙන් මෛත්‍රී කළ හැකි ද? එය අපහසු වන්නේ ඔහු අපට කළ දෝෂාරෝපණ, විරුද්්ධවාදීකම් මෛත්‍රිය වැඩීමට ඇරඹූ වේලේ සිට සිහි වන නිසා ය.


මේ සියල්ල යටපත් කරගෙන තම මිතුරාට මෙන් ම සතුරාටත්, මැදහත් අයටත් මෙත් සිත පැතිරවීම මෙත්තා පාරමිතාව යි. මවක් තම එක ම දරුවා තම ජීවිතය මෙන් ආරක්ෂා කරයි ද, එමෙන් ම සියලු සතුන් කෙරෙහි ම අප්‍රමාණ ව මෛත්‍රිය වැඩිය යුතු බව කරණීය මෙත්ත සූත්‍රයේ “මාතා යථා නියං පුත්තං - ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ” යන ගාථාවෙන් දැක්වේ.


බුද්ධ දේ්ශනාව අනුව මෛත්‍රිය වැඩීමට නියම වේලාවක් නැත. නොනිඳා සිටින සෑම වේලෙහි ම තමාට, තමාගේ නෑ-හිතවතුන්ට, මැදහත් අයට, විරුද්ධවාදීන්ට ජාති-ආගම්-කුල භේදවලින් තොර ව සම සේ මෛත්‍රිය පැතිරවිය හැකි ය. සෑම දෙනා ම සියලු දුකින් මිදී සැප සේ ජීවත් වීම අවංක ව ම දැකීමට ඇති කැමැත්ත නියම මෛත්‍රියේ ස්වභාවය යි. ඔහුට මෙලොව දියුණුවට මග පෑදෙයි. ඉන් ඔහු ගෞරව කීර්ති ප්‍රශංසා මෙලොවදී ම ලබයි.


“සියලු සත්ත්වයෝ සුවපත් වෙත් වා!” යි මහ හඬින් කීවත් එයින් ඇති ඵලයක් නැත. හද පත්ලෙන් ම ඒ ගැන මෙනෙහි කරමින් “යහපතක් ම වේවා!” යන අරුතින් මෙත් වැඩිය යුතු ය. එයින් ලැබෙන ඵලය අතිමහත් ය. මෙත්තානිසංස සූත්‍රයේ මෛත්‍රිය වැඩීමෙන් ලැබෙන ආනිසංස එකොළහක් පිළිබඳ ව සඳහන් කර ඇත. එනම්,


1. සුව සේ නින්දයෑම, 2. සුව සේ අවදි වීම, 3. නරක සිහින නොදැකීම, 4. මිනිසුන්ට පි‍්‍රය වීම, 5. අමනුෂ්‍යයන්ට ද පි‍්‍රය වීම, 6. දෙවියන්ට පි‍්‍රය වීම (දේව ආරක්ෂාව ලැබීම), 7. අවි ආයුධවලින් ගින්නෙන් වස-විෂවලින් විපත් නොවීම, 8. සිත සමාධිගත වීම, 9. මුහුණ ප්‍රසන්න වීම, 10. සිහි මුළාවෙන් තොරව මිය යෑම, 11. මරණින් පසු බඹ ලොව ඉපදීම.


මිනිසුන්ට පමණක් නො ව, සෑම ප්‍රාණියකු කෙරෙහි ම මෙත් සිත පැතිරවිය යුතු ය. වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන්නාගේ සිත නිතර ම දූෂිත ය; අපිරිසිදු ය; මුහුණ බැලීමට පවා අප්‍රසන්න ය. ඔහු කායික මෙන් ම මානසික රෝගවලට ද ගොදුරු වේ.


බාහිර පෙනුමින් ශාන්ත බව හුවා දැක්වුව ද ඇතුළතින් කිපෙනසුලු නපුරු ස්වභාවය ඇති බවට වේදේහිකාගේ කථාව නිදසුනක් ලෙස දැක්විය හැකි ය. වේදේහිකා සැවැත් නුවර විසූ කාන්තාවකි. ඇයට අනලස් ව ක්‍රියා කරන ඉතා දක්ෂ සේවිකාවක් සිටියා ය. ඕ නමින් ‘කාලී’ විය. වේදේහිකා ඉතා ගුණ සම්පන්න කාරුණික තැනැත්තියක ලෙස අසල්වැසියන් අතර ප්‍රසිද්ධ වූවා ය. විශේෂයෙන් ම පුරුෂයන් කීවේ “අපේ ගෙවල්වල කාන්තාවන්ට වඩා මැය කොපමණ හොඳ ද?” යන්න ය.


මෙසේ වේදේහිකා පිළිබඳ සෑම දෙනාගේ ම මුවින් හොඳ කියැවෙද්දී කාලී මෙසේ සිතන්නට වූවා ය: ‘මාගේ ස්වාමි දුව ඇත්තට ම ගුණවත් ද? ඈ මෙසේ ශාන්ත ව සිටින්නේ මා හොඳින් වැඩ කරන නිසා ද? මා මෙය පරීක්ෂා කළ යුතු යි,’ සිතා එක් දිනක් දවල් වන තුරු නිදාගත්තා ය. උදේ තේ පානයේ සිට සියලු කටයුතු ඇනහිටිණි. වෙනදා අකුරට ම කැරුණු වැඩකටයුතු අතපසු වීම නිසා වේදේහිකාගේ ශාන්ත බව ක්‍රමයෙන් යටපත් විය. ඈ කාලී දෙස රවා බලා කෝපයෙන් කථා කළා ය. කාලී දෙවැනි දිනයේ ද ස්වාමි දුව පරීක්ෂා කරන අටියෙන් පළමු දිනට වඩා දවල් වන තෙක් නිදාගත්තා ය. එදින වේදේහිකාගේ සැර-පරුෂ බව පළමු දිනට වඩා ප්‍රබල විය. ඈ නොසෑහෙන ලෙස කාලීට දොස් පැවරුවා ය.


වේදේහිකාගේ ගතිලක්ෂණ තවත් විමසීමට සිතා තෙවැනි දිනයේ ද දවල් වී නැගිට්ටා ය. එදින වේදේහිකාට ඉවසුම් නැති විය. “ඇයි මෙපමණ දවල් වන තෙක් නිදන්නේ?” යි ඈ ඇසුවේ පාලනය කරගත නොහැකි කෝපයකිනි. “කිසි කරුණක් නැති ව” යි කාලීගේ මුවින් පිට විණි. ඉවසාගත නොහැකි කෝපයෙන් ඈ අසල තිබූ දොරපොල්ල ගෙන කාලීට ගැසුවා ය. ඇගේ හිස පැළිණි. කාලී හිසෙන් ලේ ගලමින් තිබියදී ම තමාට සිදු වූ ඇබැද්දිය අසල්වාසීන්ට දැනගන්නට සැලැස්සුවා ය. ඒ මොහොතෙහි ම වේදේහිකාගේ කීර්ති රාවය අතුරුදන් විය; ඈ දුෂ්ට ගැහැනියක ලෙස හංවඩු ගැසිණි.


මේ කථාවෙන් දැක්වෙන්නේ බාහිර පෙනුමින් ශාන්ත ව සිටියත් අභ්‍යන්තර ස්වභාවය ඊට හාත්පසින් ම වෙනස් බව ය. මෛත්‍රිය වැඩීමෙන් කළ යුත්තේ එවැනි යටපත් වූ අධර්මයන් සිතෙන් තුරන් කරගැනීම යි.


අප මහා බෝසතාණන් වහන්සේ මෛත්‍රිය පාරමී ධර්මයක් ලෙස පිරූ බව නිග්‍රෝධ මිග ජාතකයෙන් පැහැදිලි වේ. මහා කපි ජාතකයේදී බෝසතාණන් වහන්සේ වඳුරකු ව ඉපිද වනයේ විශාල වළකට වැටී ගොඩ ඒමට නොහැකි ව කෑගසන මිනිසකු දැක මහත් පරිශ්‍රමයක් යොදා ගොඩගත් අයුරු පැහැදිලි කරරෙයි. පසු ව බොහෝ විඩාවට පත් ව සිටින මේ බෝසත් වඳුරා නින්දට වැටුණු විට ගලකින් ගසා තුවාල කර මැරීමට තැත් කළ මිනිසාට ද මෛත්‍රි සහගත ව වනයෙන් එළියට යෑමට පාර පෙන්වූයේ තම තුවාලයෙන් ලේ වගුරවමිනි.


වර්තමාන ලෝකයේ ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වයන්ට මුල් ම හේතුව වී ඇත්තේ ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, වෛරය ආදිය යි. බෝසත් අවධියේ සිට මෛත්‍රිය පාරමිතාවක් ලෙස පිරූ බුදුන් වහන්සේට තම පුත් රාහුල හිමියන්ටත්, තමා මරන්නට ආ දෙව්දත් තෙරුන්ටත්, සුද්ධෝදන රජුටත්, මහා ප්‍රජාපතී ගෝතමියටත්, තමන් වහන්සේ අපකීර්තියට පත් කිරීමට තැත් කළ චිංචිමාණවිකාව, සුප්‍රබුද්ධ වැන්නන්ටත් සම සිත් ඇති ව සිටීමට හැකි විය. උන් වහන්සේ මහා කරුණා සමාපත්ති ඥානයෙන් යුතු ව දිනපතා ම අසරණයන් සුඛිත-මුදිත කිරීමේ හැකියාව ලැබුවේ මෛත්‍රිය පාරමිතාවක් ලෙස ප්‍රගුණ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ය.


උදේනි රජු, සාමාවතී දේවිය ඇතුළු පන්සියයක් ස්ත්‍රීන් පෙළට සිටුවා එක ඊ පහරින් මරන්නට තැත් කළ ද එය ව්‍යර්ථ වූයේ ඔවුන්ගේ මෙත් වැඩීමේ බලයෙනි. එමෙන් ම සිරිමා ගණිකාව විසින් උත්තරා දේවියගේ හිසෙහි බහා ලූ උණු තෙල් භාජනය සිසිල් දිය දහරක් මෙන් නොදැවී හිස මත පතිත වූයේ ද එම දේවිය මෙත් සිතින් විසූ නිසා ය.


මිනිස්, නොමිනිස්, තිරිසන් ආදි සෑම කෙනෙක් ම මිතුරු බවට කැමති ය. එනිසා අල්පමාත්‍ර ඇල්මකුදු නොමැති ව අනුන්ගේ යහපත සඳහා අපේ ශක්ති පමණින් මෛත්‍රිය පතුරුවා, ඊර්ෂ්‍යා ක්‍රෝධවලින් තොර සුන්දර පරිසරයක් ගොඩනඟාගැනීමට සෑම කෙනෙක් ම අදිටන් කරගත යුතු ය.


අසුරු සණක් ගසන මොහොතක් වත් නියමාකාරයෙන් මෛත්‍රිය පතුරුවන්නට හැකි නම් එයින් මහත් ඵල ලැබෙන බව බුද්ධ දේශනාව යි.

No comments:

Post a Comment

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...