Showing posts with label Sutra deshana. Show all posts
Showing posts with label Sutra deshana. Show all posts

Sunday, December 22, 2024

විතක්කසණ්ඨාන සූත්‍රය




කන්දරක සූත්‍රය

 



තමන්ගේ ස්වභාවය පිළිබඳව මනා වූ අවබෝධයක් ලබා ගැනීමට කන්දරක සූත්‍රය පිටුවහලක් වන්නේය. ඒ තත්කාලීන සමාජය අධ්‍යනය කිරීමෙන් බුදුරජාණන් වහන්සේ එදා සමාජයේදැකීමට හැකි වූ පුද්ගලයන් වර්ග 4ක් ගැන දේශනා කර ඇති බැවිනි. එනම් :-

1. අත්තන්තප 2. පරන්තප 3.අත්තන්තප පරන්තප 4. නාත්තන්තප පරන්තප

අත්තන්තප පුද්ගලයා

මෙහිදී තප යන්නෙහි තේරුම තැවීම යන්නයි. එහිදී ගින්දර උපයෝගී කරගෙන හුමාලයට අල්ලා තැම්බීම අදහස් නොකෙරේ. මෙහිදී තැවීම යන්නෙන් අදහස් කරනු ලබන්නේ කයෙන්, වචනයෙන් හා මනසෙන් ඉවසීමට අපහසු දේ කර දුක් පමුණුවා ගැනීමයි. මෙහිදී “අත්ත” යනු තමාය. එනම් පළමු පුද්ගලයා වනා හි තමන් විසින් තමාටම දුක් පමුණුවාගනී. සමහරු එළුවෙක්, ගවයෙක් සේ ජීවත් වේ. අයෙක් නිරවස්ත්‍රව ජීවත් වේ. සමහරු ගිනි ගොඩක් මැදට වී පව්තැවීම සිදුකරයි. මේ ආදී අත්තකිලමථානුයෝගී ජීවිත ගතකරයි. ඒ අතරට ආහාර නොගැනීම, කෙස් රැවුල් නොකැපීම, ආදී බාහිර ක්‍රියා මගිනුත් දුක්ලබාදේ. එමෙන්ම ඕපදූප සෙවීම, කේලම් කීම, තරහ ගැනීම ඊර්ෂ්‍යාව ඇතිකරගැනීම ආදී දේ මගින් හිත දූෂණය කරගැනීමෙන්ද, හිතට අනවශ්‍ය දේ පැටවීමෙන්ද, ප්‍රධාන වශයෙන් රාග ගින්නෙන්, ද්වෙශගින්නෙන් මෝහගින්නෙන් ක්‍රියාකරන්නේ නම් බලවත් සේ පීඩාවෙන් කාලය ගත කරන්නෙකු වේ. ඉහත ආකාරට ක්‍රියා කරන්නා සෑම වේලාවේම තමන් තැවීමෙහි නියුක්ත වූවෙකු වේ.

පරන්තප පුද්ගලයා

දෙවන කණ්ඩායම නම් පරන්තප ලෙස හැඳින්වේ. එනම් අනුන් තවන පුද්ගලයාය. අයෙක් ආයුධ, දඬු මුඟුරුගෙන පහර දෙද්දී, අන් ජීවිත කොර නොකරද්දී, අන් අයගේ වස්තුව සොරාගෙන යයිද, අන් අය බොරුවෙන් රවටා තමන් සතුටට පත් වේද, නරක අයුරින් බැණ වැදී අන් අය දුකට පත්කරන ගමන් තමන් සතුටට පත් වේද ? එවැනි පුද්ගලයා අනුන්ට කරදර කරන්නා හෙවත් පරන්තප පුද්ගලයා ලෙස හැඳින්වේ. 

අත්තන්තප පරන්තප පුද්ගලයා

තෙවන පුද්ගලයා නම් අත්තන්පත පරන්පත ය. එනම් තමනුත් තැවෙන, දුක්වෙන ගමන්, අන් අයත් දුකට පත්කරමින් ක්‍රියාකරන පුද්ගලයාය. පෙර රජවරුන් යාගහෝම පැවැත්වීමේදී ව්‍රත සමාදන් වී එළු බැටළු, ගව මිනිස් ආදී ජීවිතද ගස්වැල්ද පුළුස්සා එයන් දෙවියන් සතුටු කිරීමට කටයුතු කළා සේ අදද අපට තමන්දුක් සහගත ක්‍රියාවල යෙදෙන ගමන් අන් අයද ඊට දායක කර ගැනීම දැකිය හැකිය. සත්ව ජීවිත විනාශ කරන ගමන් එහි හොඳ වර්ණනා කරමින්, සාධාරණය කරමින් සමහරුන් කටයුතු කරනු ලැබේ. මේවා සිදු කිරීමෙන් මෙලොව වශයෙන් නොයෙකුත් දඬුවම් වලට ලක්වන අතර පරලොව වශයෙන් අපායගාමී දුක් අනුභවයටද හේතුවේ. සුරාවට ගිජුවී, සොරකමට කණ්ඩායම් ගොඩනැගීම, සමාජ ශාලා පවත්වාගෙන යෑම ආදී ආධාර්මික ක්‍රියා කරන්නන් මෙම කොටසට අයත් වේ. 

නාත්තන්තප පරන්තප පුද්ගලයා

තමන් කායික , වාචසික, මානසික වශයෙන් සැපවිඳින ගමන් අන් අයටද කරදරයක් නොවන අයුරින් ජීවත් වීමයි. මෙහිදී පෙන්වා දෙන්නේ තමන් තමන්ම ආදර්ශයට ගෙන මෙම වැරැදි ක්‍රියාවලින් වෙන්වීමයි. තමන්ගේ ජීවිතයට හානියක් පමුණුවන විට අතපය කඩනවිට ඇතිවන වේදනාව, දුක, තමනුත් අන් අයට කරදර කිරීමේදී ඇතිවන බව නුවණින් සිතීම ආදී වශයෙන් සොරකම, කාමය වරදවා හැසිරීම, බොරුවෙන් මුළා කිරීම, සුරාපානයෙන් හිස් වචනයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ලෝබකමින් ආදී වැරැදි හා කෙලෙස් ධර්මයන්ගෙන් වෙන් වී තමන් මෙන්ම අනුන්ද යහපතෙහි පිහිටුවීම බුදුදහම අගය කරනු ලැබේ.

ප්‍රාණවාචයෙන් ඉවත්ව වැළැකී අකුසලයට ලජ්ජා වී සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රී සහගතව හිතානුකම්පීව ජීවත් විය යුතු බවයි. එනම් ප්‍රාණ වධයෙන් නොනැවතී මෛත්‍රියද කළ යුතු බවයි.

මේ ආදී වශයෙන් විස්තර කරමින් සොරකමින් වැළැකී දන්දීමත් බොරුවෙන් වැළැකී සත්‍ය කථා කිරීමත්, හිස් වචනයෙන් වෙන්ව අර්ථවත් වචන භාවිතයත්, රළු වචන වෙනුවට හදවත පිනායන වචනත්, තරහවෙන් වෙන් වී මෛත්‍රී සහගත සිතුවිලින් ඇතිව ජීවත් වීම මේ ආදී කරුණු අවධාරණය කරනු ලැබේ. එමෙන්ම අල්ලස්ගැනීම රැවටීම, තුලාකූට, මංපැහැරීම, ගම්පැහැරීම අත් පා සිඳීම, ආදී වධබන්ධනවලින් යුක්ත සාහසික ක්‍රියාවලින්ද වැළැකුණේ වෙයි.

මෙහිදී සෑම පුද්ගලයකුම අවසානයට සඳහන් කරන ලද තමන්ටත්, අනුන්ටත්, හිරිහැරයක් නොවන පුද්ගලයකු වන්නේනම් පැසසිය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

Sunday, November 24, 2024

මංගල සූත්‍රයෙහි නව වන ගාථාව


‘තපොච බ්‍රහ්ම චරියඤ්ච
අරියසච්චාන දස්සනං
නිබ්බාණ සච්ඡි කිරියාච
ඒතං මංගල මුත්තමං

මෙම ගාථාවෙහි ඇතුළත් මංගල කාරණා හතර නම් තපස, බ්‍රහ්මචර්යාව, චතුරාර්ය සත්‍යය දැකීම , නිර්වාණය ප්‍රත්‍යක්‍ෂ කිරීම යනුයි. 

මෙහිදී කෙලෙස් සිතට ඇතුළු වන්නේ ඉන්ද්‍රිය මාර්ගයෙනි. මිනිසාගේ ඇස කණ නාසය දිව ශරීරය යන පංච ඉන්ද්‍රිය මාර්ගයෙන් මිනිස් සිතට විවිධ කෙලෙස් ඇතුළු වෙයි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන පංචකාම සම්පත් ගොදුරු විමෙන් මෙම කෙලෙස් වැඩෙයි. මේ ඇතුළු වන කෙලෙස් ධර්ම වල ප්‍රධාන අංශ දෙකකි. පි‍්‍රයශීලි ශුභදායක ආරම්මණයක් ග්‍රහණය කරන විට අභිධ්‍යා නැමැති දැඩි ලෝභය හෙවත් අල්වා ගැනීම ඇලීම ඇති කරවයි. ඉන් මිනිසා සම්පූර්ණයෙන් විකෘති වී සසර ගමන දිගුකර ගනිමින් දුක් විදියි. එසේම අපි‍්‍රය අශුභ නරක ආරම්මණයන් සමග ව්‍යාපාද නැමැති දැඩි තරහ ගතියක් හට ගනියි. ව්‍යාපාදය ඇති තැන ගැටීම් අධික වෙයි. මේ නිසාම සිත දූෂ්‍ය කරන විවිධ කෙලෙස් කයට ඇති කරවයි. මෙහි සඳහන් කළ අභිධ්‍යා දැඩි ආශාව , ව්‍යාපාද දැඩි තරහා ගතිය මෙම ප්‍රබල ක්ලේශ ධර්ම දෙක තවා ගැනීමට හෙවත් මර්ධනය කර ගැනීමට ඉන්ද්‍රිය සංවරයක් අත්‍යවශ්‍ය වෙයි. මේ චක්‍ෂු ආදි පංච ඉන්ද්‍රිය තුළින් ගන්නා සෑම ආරම්මණයක් තුළින්ම මිනිසාගේ සිත විකෘති වෙයි. මේ නිසාම මිනිසා අයහපතට පරිහානියට පත්වෙයි. එම නිසා කළ යුතු එකම දේ එම ඉන්ද්‍රිය සංවරයක් ඇති කර ගැනීමයි.

ඉන්ද්‍රියානි මනුස්සානං
හිතාය අහිතාය ච
අරක්ඛිතානි අහිතාය
රක්ඛීතානි හිතාය ච

යන ධම්මපද ගාථාවෙන් ද කියැවෙන්නේ මිනිසුන්ගේ ඉන්ද්‍රියවලින් ඔවුන්ගේ දියුණුව හෝ පරිහානිය ඇති කර වන බවත් ආරක්ෂා කළ ඉන්ද්‍රිය ඇති අය දියුණට යහපතට පත්වෙන අතර අනාරක්‍ෂිත ඉන්ද්‍රිය ඇති අය පරිහානියට අයහපතට පත් වන බවත්ය. එසේ නම් මෙහිදී ඉන්ද්‍රිය පාලනයක් කර ගැනිම වැදගත් වෙයි. මේ ඉන්ද්‍රිය සංවරය තුළින් සිතට ඇතුළු වන ශුභ අශුභ ආරම්මණ පාලනය වෙයි. එසේම අභිධ්‍යා ව්‍යාපාද ආදි කෙලෙසුන් ගෙන් සිත ආරක්‍ෂා කර ගත හැකිය. එය තපස නම් වෙයි. මෙහිදී සම්මා සතියෙන් මනා සිහි කල්පනාවෙන් යුතුව ක්‍රියා කරතොත් මේ ඉන්ද්‍රිය සංවර්ය ඇති කරගත හැකිය. එමෙන්ම මේ මනා සිහි කල්පනාවෙන් යම් අරමුණක් ඉන්ද්‍රිය ගත වූ වහාම එම අරමුණෙහි නිසරු බව අනිත්‍ය බව දුක් බව මනාව වැටහෙයි. එම නිස්සාර සංකල්පනාවත් සමග ඉන්ද්‍රිය පාලනයක් මෙන්ම සිත කෙලෙසුන්ගෙන් ආරක්‍ෂා කිරීමක් මනාව සිදුවෙයි. මෙය තපස නැමැති මංගලමය අවස්ථාවයි.

ඊළඟට මංගල කාරණය වන්නේ බ්‍රහ්මචර්යාවයි. මෙහි බ්‍රහ්ම යනු උතුම් ශ්‍රේෂ්ඨ යන අදහසයි. චර්යාව යනු හැසිරීමයි. උදාර උතුම් හැසිරීම් රටාව බ්‍රහ්මචර්යාවයි. ඉහත සඳහන් කළ කාමභෝගී ජීවිතයෙන් ඈත්වීම අනගාරික ප්‍රතිපදාව අනුගමනය කිරීමයි.

බ්‍රහ්මචර්යාවේදී මේ අනාර්ය ප්‍රතිපදාව ප්‍රතික්‍ෂේප කොට එම කාම වස්තූන්හි නිසරු බව අස්ථිර බව වටහා ගෙන ඉන් මිදීමේ ආර්යපයෙ¸ෂණයෙහි නිරත වෙයි. එය උදාර ප්‍රතිපදාවකි.

මෙම ගාථාවෙහි ඇතුළත් තුන් වන මංගල කාරණය වන්නේ අරිය සච්චාන දස්සනං යන්නයි. ආර්ය සත්‍ය දැකීම එහි අදහසයි. මෙලොව ඇති උතුම් සත්‍ය (ඇත්ත) හතරකි. එය දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යනුයි. චතුරාර්ය සත්‍ය ධර්මලෙස හඳුන්වන මෙය මුල් බුදු සමයට අයත් ඉතා ගැඹුරු වැදගත් දර්ශනයකි.

මීට පෙර සඳහන් කළ කාම වස්තූන් ගෙන් මිදීම සඳහා මෙම ආර්ය සත්‍ය සතර උපයෝගී වන අතර එය ආර්ය පර්යේෂණයක ප්‍රතිඵලයකි. මෙහි දුක්ඛාර්ය සත්‍යය තුලින් ජාති, ජරා, ව්‍යාධී, මරණ අප්පියෙහි සම්පයොගො පියෙහි විප්පයොගො ආදී වශයෙන් සංක්ෂිප්තව මේ මුළු පඤ්චස්කන්ධයම දුක බව කියවෙයි.

ජාති උපත දුකයි. ඕනෑම කෙනෙක් උපදින විටම හඬා වැළපීමෙන් මේ බව කියාපායි. උපතින් පසු දිරීමට හෙවත් වයසට පත්වෙයි. මෙය ජරා නම් වෙයි. මොහොතින් මොහොත සෑම සත්වයෙක්ම දිරීමට පත්වෙයි. ව්‍යාධී රෝගීවෙයි. විවිධ රෝගා බාධ වලට මේ කය තෝතැන්නකි. අද කාලයෙහි මිනිසා කායික මානසික ආතතිවලින් වෙලී දුකට පත්වෙයි. මරණ දුක යනු මේ ලැබු ජීවිතය අවසන් වීමයි.

ජීවිතය උපතින් හිමි කරගත් දායාදයකි. සෑම සත්වයෙක්ම මරණින් මේ භවය කෙළවර කළ යුතුය. මෙය විශාලම දුකකි. මෙලොව හටගත් ජීවි අජීවි සියල්ලම මේ දුකට භාජනය විය යුතුය.

එය වැළැක්විය නොහැකිය.

අපි‍්‍රයයන් සමග එකතුවීම ද දුකකි. පි‍්‍රයශීලි පුද්ගලයින් සමග වෙන්වීමද විශාල දුකකි. එසේම තමන් කැමැති ආශාවන් සපුරා ගත නොහැකි විට ද දුක්ගෙන දෙයි. මේ සියල්ල අවසානයෙහි දුක් සියල්ලටම මූල බීජය ලෙස මේ පංචස්කන්ධයම දක්වා ඇත. මෙසේ දුක්ඛාර්ය සත්‍යය වටහා ගැනීම බෞද්ධ ඔබගේ සමබර දිවියට මගකි. සසර දුක නසන පිළිවෙතකි.

දෙවන ආර්ය සත්‍ය දුක හට ගැනීමේ හේතුව කියැවෙන සමුදයාර්ය සත්‍යයයි. දුක හට ගනු ලබන්නේ සත්වයා තුළ පවතින තෘෂ්ණාව නිසයි . එසේම මේ තෘෂ්ණාව ක්‍ෂය කිරීම නැති කිරීම තණ්හාකඛයො නිරොධො නිබ්බාණං යන්නෙන් පැහැදිලි කරනුයේ නිරෝධාර්ය සත්‍යයයි. දුක නැති කර වන එකම මඟ නිවනයි “ “ සෑම බෞද්ධයෙකුගේ ඒකායන ප්‍රාර්ථනාව විය යුත්තේ් මෙයයි. මේ නිවනට මග ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. එය චතුරාර්ය සත්‍ය ධර්මයේදි දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා යනුවෙන් දක්වා ඇත. මාර්ග ආර්ය සත්‍ය ලෙසද දක්වයි. මේ මාර්ගය නම් අරි අටගි මඟයි.

මෙහි ඉතා සංක්‍ෂිප්තව දක්වා ඇති චතුරාර්ය සත්‍යය ධර්මය දර්ශනය වීම මෙහි සඳහන් කළ තුන් වන මංගල කාරණයයි.

ඊළඟට අවසාන මංගල කරුණ වන්නේ නිබ්බාණ සච්ඡිකිරියාච යන්නයි. නිර්වාණය ප්‍රත්‍යක්‍ෂ කිරීමයි. ඉහතින් දක්වන ලද තපස බ්‍රහ්මචර්යාව ප්‍රගුණ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනියි. ඒ සමගම නිවන ලබයි.

නිර්වාණ යනු වාන සංඛ්‍යාත තෘෂ්ණාව නැති කිරීමයි. තෘෂ්ණාව නිසා සත්වයා නැවත නැවත සසර උපදියි. මෙය සන්තානගත ඇලීම් ස්වභාවයකි. මේ නිසාම හැම කුසලාකුසල කර්මයක්ම සිත වට කර ගෙන මේ තෘෂ්ණාව ඇලී පවතියි. කවදා හෝ මිනිස් සිරුරින් සිත ගිලිහුණොත් (මිනිසා මැරුණොත්) එම තෘෂ්ණාවෙන් විවිධ කර්ම අලවාගෙන තිබුණු විඤ්ඤාණය හෙවත් සිත වෙනත් භවයට ගොස් වැටෙහි. එතැන අර තෘෂ්ණාව නිසා ඇලෙයි. මේ ඇලීම අනර්භවයයි. පුතිසන්ධියයි. ඉන් පසු එතැන ‘විඤ්ඤාණ පච්චයා නාමරූපං’ යන හේතු ඵලවාදීව නාමරූප පුඤ්ජයක් (සත්වයෙක්) ගොඩ නැගෙයි .මෙයයි ජාති නමින් හදුන්වනු ලබන්නේ ඉන්පසු ජරා මරණාදි දුක් ගෙන දෙයි. මෙයට හේතුවූ තෘෂ්ණාව නැති කිරීම කළහොත් එතැන නැවත උපතක් නැත.

“ යංකිඤ්චි සමුදය ධම්මං සබ්බ තං නිරෝධ ධම්මං යනුවෙන්ද පෙන්වා දී ඇත්තේ තෘෂ්ණාව නැමැති සසර ඇලෙන ස්වභාවය චතුරාර්ය සත්‍ය දර්ශනය තුළින් සෝදා හළහොත් එතැන නිරෝධයයි. නිර්වාණයයි. පරම අවේදයිත නිවන ලැබීම ද උත්තම මංගල කාරණයකි.





Tuesday, November 19, 2024

ජරා සූත්‍රය


 රකිංසු යාව ජරා සාධූ - කිංසු සාධු පතිට්ඨිතං

කිංසු නරානං රතනං - කිංසු චොරෙහි දූහරන්ති


සීලං යාව ජරා සාධූ - සද්ධා සාධූ පතිට්ඨිතා

පඤ්ඤා නරානං රතනං - පුඤ්ඤං චොරෙහිදූහරන්ති


සංයුක්ත නිකායට අයත් ජරා වර්ගයේ ජරා සූත්‍රයයි. මෙම සූත්‍රයට අනුව දෙවියෙකු විසින් අසන ලද ප්‍රශ්නාවලියකට පිළිතුරු වශයෙන් මේ දහම් කරුණු ඉදිරිපත් කොට ඇත. දිනක් බුදුරදුන් හමුවීමට පැමිණෙන දෙවියෙක් ප්‍රශ්න කීපයක් මෙහි පළමු ගාථාව අනුව අසයි. මෙහි දෙවන ගාථාවෙන් එම ප්‍රශ්නවලට පිළිතුරු සැපයූ අයුරු පෙන්වා දෙයි.

මිනිසා ජරාවට වයසට යෑම දක්වාම කළ යුත්තේ කුමක්ද? මෙයට පිළිතුරු ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ‘සීලං යාව ජරා සාධු’ යනුවෙන්. මිනිසා වයසට යෑම දක්වාම සිල් රැකීම යහපත් බව පැහැදිලි කරයි. 

මෙහි දෙවන ප්‍රශ්නය වන්නේ මිනිසා කවරක පිහිටිය හොත් යහපත් වේද? යන්නයි. එයට පිළිතුරු දෙන බුදුරදුන් ‘සද්ධා සාධු පතිට්ඨිතා’ යනුවෙන් ශ්‍රද්ධාවෙහි පිහිටීම ඉතා යහපත් බව දේශනා කළහ. 

තුන්වන ප්‍රශ්නය වන්නේ මිනිසාගේ වටිනාම රත්නය යන්නේ කුමක්ද? යන්නයි. මේ සඳහා බුදුරදුන් දෙනු ලබන පිළිතුර වන්නේ ‘පඤ්ඤා නරානං රතනං’ යන්නයි. මිනිසාට ඇති වටිනාම වස්තුව වන්නේ ප්‍රඥාවයි.

අවසාන ප්‍රශ්නය දෙවියා විසින් අසන්නේ සොර සතුරන්ට ගත නොහැකි දේ කුමක්ද? යන්නයි. මේ සඳහා බුදුරදුන්ගේ පිළිතුර වන්නේ ‘පුඤ්ඤං චොරේහි දූහරං’ යන්නයි. මින් අදහස් කරන්නේ මිනිසා කරනු ලබන පින කිසිදා සොර සතුරෙකුට ගත නොහැකි බවයි. 

Thursday, December 28, 2023

ව්‍යග්ඝපජ්ජ සූත්‍රය


දීඝජාණුකෝලිය කුල පුත්‍රයාට ව්‍යග්ඝපජ්ජ සූත්‍රය දේශනා කර ඇත. මෙම සූත්‍ර දේශනාවෙන් මෙලොව දියුණුවට හේතුවන කරුණු සතරක් හා පරලොව දියුණුවට හේතුවන කරුණු සතරක් වශයෙන් දරුණු අටක් දේශනා කොට ඇත.

මොලොව දියුණුවට හේතුවන කරුණු සතර

01. වීර්ය හෙවත් උත්සාහ සම්පත්තිය
02. උපයාගත් වස්තුව ආරක්ෂාකර ගැනීම නම් වූ ආරක්ෂා සම්පත්තිය
03. යහපත් මිතුරු ඇසුර නම් වූ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය
04. අය හා වැය දෙක සමව පවත්වා ගැනීම නම් වූ සමජීවිකතාව

පරලොව දියුණුවට හේතු වන කරුණු සතර

01. තෙරුවන් කෙරෙහි පවත්නා විශ්වාසය නම් වූ ශ්‍රද්ධා සම්පත්තිය
02. කය වචන දෙකෙහි සංවරය නම් වූ සීල සම්පත්තිය
03. පරිත්‍යාගය හෙවත් දීම නම් වූ ත්‍යාග සම්පත්තිය
04. විදසුන් නුවණ නම් වූ ප්‍රඥා සම්පත්තිය

Tuesday, December 5, 2023

කරණීයමෙත්ත සූත්‍රය

 


කරණීයමෙත්ත සූත්රය - නිධාන කතාව හා පදයෙන් පදය අර්ථය

කරණීය මෙත්ත සූත්රය (මෙත්ත සූත්රය) බෞද්ධයන් අතර ආරක්ෂක පිරිතක් ලෙස ද භාවනා ධර්මයක් ලෙස ද ඉතා ප්රකටය. තුන් සූත්රය ලෙස මහා මංගල සහ රතන සූත්ර සමගද භාවිත වන්නක් වීමෙන් පිරිත් දේශනාවන්හිද නැතිවම බැරි අංගයක් වන මෙත්ත සූත්රය එහි පදයෙන් පදය අර්ථයත් සමග දහම් පිපාසිත ඔට අතට පත් කිරීමට මෙසේ අදහස් කරමි. මේ සූත්ර දේශනාව කුඩා කල පටන් අසන අප එහි අරුතද දැන සිටීම වටින්නේය. මෙය පස්වැනි ඛුද්දක නිකායේ ඉතා පැරණිම ශ්රී මුඛ දේශනා ඇතුළත් සුත්ත නිපාතයේ ඇතුලත් දේශනාවකි.

නිධාන කතාව: බුදුරජාණන්වහන්සේ සැවැත්නුවර වැඩවාසය කරන සමයක පන්සියයක් භික්ෂුන් වහන්සේලා සුදුසු කමටහන් ලබාගෙන බුදුන් වහන්සේගේ අනතුරු ඇඟවීම් මැද වුවත් වස් තුන් මස විවේකීව බවුන් වැඩීමේ අදහසින් සුදුසු තැනක් සොයා පිටත්ව ගියහ. උන්වහන්සේලා එක්තරා ගමකට වැඩම කළ අවස්ථාවේදී එහි වාසය කළ මිනිස්සු උන්වහන්සේලාගේ අදහස දැනගෙන ගම අසල ඇති වන ලැහැබක් ඊට සුදුසු බව දන්වා සිටියහ. ගමට ඉතා ආසන්න නොවී ඉතා දුරින්ද නොපිහිටි වන ලැහැබක් බැවින් භික්ෂූන්වහන්සේලාත් ඒ වන ලැහැබට වැඩම කර තම භාවනා කර්මය පටන් ගත්හ.

මේ වනලැහැබට අරක්ගත් රුක්ෂ දේවතාවුන් සමූහය මේ සිල්වත් භික්ෂූන්වහන්සේලා බිම හිඳිද්දී තමන් උඩ හිඳීම නුසුදුසු යැයි සිතා බිමට බැස්සහ. ඊළඟ දිනයෙත් පිඬුසිඟා වැඩීමෙන් පසු උන්වහන්සේලා පැමිණීමෙන් දේවතාවුන්ට බිමට බැසීමට සිදුවිය. මේ ආකාරයට දින කිහිපයක් ගතවීමෙන් පසු දේවතාවන්ට පෙනීගියේ මේ යෝගාවචර සඟ පිරිස දිගු කලක් නැවතී සිටිනු ඇති බවය.ඔවුහු කතිකා කර භික්ෂූන්වහන්සේලා බියගන්වා එලවාදැමීමට උපක්රම යෙදූහ. දේවතාවුන් විසින් අමනුෂ්ය රූප මළකඳවල් ආදී බියජනක දෑ මවා පෙන්වීමෙන් ඒ ස්වාමීන්වහන්සේලාගේ බවුන් වැඩීමට බාධා කළහ. උන්වහන්සේලාගේ ශරීර සුදුමැලිව බියෙන් තැති ගැණුනහ. සිත් එකඟ කළ නොහැකිව භාවනා අසාර්ථක විය. දිනක් පැන් ගෙන ඒමට දිය කඩිත්තට ගිය අවස්ථාවේ සංඝ ස්ථවිරයන් වහන්සේ තමන් වහන්සේ සේම අන්ය භික්ෂූන් ද ශරීරයෙන් කෘෂව වැහැරී සිටිනු දැක මෞන වෘතය රැකීම හෙවත් මුවින් ඩචනයක් පිට නොකර සීටීම යන භාවනා වෘතය එතෙකින් නවතා අනෙකුත් ස්වාමීන් වහන්සේලාගෙන් මේ ගැන විමසා බැලූහ. “කිමෙක්ද ඇවැත්නි, ඔබ වහන්සේලා ශරීරයෙන් කෘෂව සුදුමැලි බවට පත් වූයේ කිනම් කරැණකින්දැ”යි විමසූහ. එවිට තමන්වහන්සේට සේම සද්ධිවිහාරික අනෙකුත් භික්ෂූන් වහන්සේලාට ද ඇත්තේ අමුනුෂ්ය කරදර බව දැන එතැන තමන්ට සුදුසු තැනක් නොවන්නේ යැයි සිතූ උන්වහන්සේලා පෙරළා බුදුහිමියන් වෙත පැමිණ තම අත්දැකීම සැල කළහ.

“ස්වාමීනි, මේ විදියෙ උපද්රව වලට මුහුණදෙන්න වුණ එම සෙනසුන බවුන් වැඩීමට සුදුසු නැති බවයි පේන්නෙ.”
“නැහැ මහණෙනි, එතැනමයි සුදුසු. මේ වතාවේ නුඹලා ආයුධයක් අරගෙනයි යා යුත්තේ.”
“ස්වාමීනි, කුමක්ද ඒ ආයුධය?”

ඒ අයුධය තමයි කරණීයමෙත්ත සූත්රය. මෙම පිරිත ඉගෙන ගොස් මසකට අට වරක් බණ අසන දිනයන්හිදී සජ්ඣායනා කරන්න........මෙය පදනම් කර ධර්ම සභාව රැස් වන්න..... මෙය කර්මස්ථානයක් වශයෙන් වඩන්නැයි" අවවාද දී කරණීය මෙත්ත සූත්රය දේශනා කළ සේක. මේ උපදෙස් අනුගමනය කළ එම භික්ෂූන්වහන්සේලාට දේවතාවුන්ගේ හිරිහැර නැති වී ගොස් නිතිපතා දෙවිදේවතාවුන්ගේ ද උපකාර ලැබ භාවනා කිරීමෙන් වස්තුන් මස අවසානයේ දී උන්වහන්සේලා පන්සිය නමම අර්හත් ඵල සමාපත්තියට පත්ව උත්තරීතර නිවන් අවබෝධයෙන් සැනසිල්ල උදාකරගත්හ. සාධු! සාධු! සාධු!
මෙම අනර්ඝ සූත්ර දේශනාවේ මෛත්රීය වැඩීමේ උපදෙස්මාලාවක් ඇතුලත් වන අතර එම බුද්ධ වචන භාවනා කර්මයක් දක්වා පහසුවෙන් වැඩීමට ඔබටත් හැකිය. නිවසේදී පිරිත් කියන විට ඔබ අර්ථය බලමින් කියවා මෙම අර්ථ ඔබට හුරු කරවාගෙන නිතර මෙනෙහි කරන විට අර්ථ සහිතවම මෙනෙහි කිරීමෙන් තම තමන්ට ආලෝකයක් තමාවිසින්ම සපයා ගත හැකිය. සූත්රයේ අවසානයට සඳහන්වන පරිදි ඔබත් නැවත මව් කුසක පිළිසිඳ නොගැනීමට භාවනා වීර්යය උපදවන්නේ නම් මේ ඔබට සුදුසුම සූත්ර දේශනාවයි. එයින් ඔබට නිරන්තර ආරක්ෂාව ලැබෙනු ඇත. එසේ වන්නේ ඔබේ මෛත්රී චිත්තයේ මහිමයෙන් සලිත වී යන අමනුෂ්යයෝ ඔබට කරදර නොකොට පිං බලාපොරොත්තුවෙන් ඔබව ආරක්ෂා කිරීමට පෙළඹෙන නිසාය. දෙවියෝ ද ඔබ උපද්රව වලින් වලක්වනු ඇත. ඔබේ සිත ද සැමට සුව සළසන මෛත්රී පිණ්ඬයක් වේවා! මේ දිනූ මනුෂ්ය ජීවිතයේ දීම ධර්ම ප්රාර්ථනා සමෘද කොට ගෙන ශාන්ත ලක්ඛණ අමා නිවනින් සැනසීම උදා කරගැනීමට මේ මහඟු බුද්ධ වචන ඔබට නිතිපතා උපකාරී වේවා!

කරණීයමත්ථ කුසලෙන (=කරණීය+ අත්ථ) – තමාට අර්ථයක් හෙවත් යහපතක් කරගන්නෙක් විසින්
යං තං සන්තං පදං අභිසමෙච්ච – ඒ ශාන්ත පදය(නිවන) අවබෝධයෙන්
සක්කො – දක්ෂයෙක්
උජු ච – ඍජු/අවංක (වූවෙක්)
සූජු ච – වඩාත් / සිතින් පවා අවංක (වූවෙක්)
සුවචො චස්ස – කීකරු වූවෙක්
මුදු අනතිමානී – මුදු නිහතමානී (වූවෙක් විය යුතුය)
සන්තුස්සකො ච – ලද දෙයින් සතුටු වන
සුභරො ච – පහසුවෙන් රැකිය හැකි
අප්ප කිච්චො ච – අල්ප වූ වැඩ කටයුතු ඇති
සල්ලහුක වුත්ති – ලහුක (සැහැල්ලු) පැවතුම් ඇති
සන්තින්ද්රියො ච – සන්සුන් (පස්) ඉඳුරන් ඇති
නිපකො ච - ඥානවන්ත වූ
අප්පගබ්භො - (ප්රගල්භ නොවන හෙවත්) සැහැසි /රළු නොවූ
කුලෙසු අනනුගිද්ධෝ - කුලයන්හි නොඇලුණු (හෙවත් දායක පවුල් වලට නොඇලුණු අයෙක් වියයුතුය)
න ච ඛුද්දං සමාචරෙ – සුළු වූත් හැසිරීමක් නැත
කිඤ්චි යෙන විඤ්ඤූ පරෙ – යම් ඒ අනෙක් නුවණැත්තන්
උපවදෙය්යුං - විසින් ගැරහීමට ලක්විය හැකි
සුඛිනො වා - (කයිනුත්) සුවපත්
ඛෙමිනො හොන්තු – නොබිය වූ
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා - සියලු සත්වයෝ (සිතිනුත්) සුවපත් වේවා!
යෙ කෙචි පාණ භූතත්ථි - යම්තාක් පණඇතියවුන් සිටින්නේ නම්
තසා වා - තැතිගත් හෝ
ථාවරා වා - ස්ථාවර හෙවත් තැති නොගත් (අර්හත්ඵල සමාපත්තියට පැමිණී උතුමන් තැති නොගත් යන්නෙන් අදහස් වේ)
අනවසෙසා - ඉතුරු නැතිවම
දීඝා වා – දිග් වූ හෝ
යෙ මහන්තා වා – මහත් වූ
මජ්ඣිමා- මධ්යම ප්රමාණ කය ඇති
රස්සක –කෙටි ප්රමාණ කය ඇති
(අ)ණුක - ඉතා සියුම්
ථූලා – ස්ථූල වූ
දිට්ඨා වා - දුටු සත්ත්වයන් (මෙන්ම)
යෙව අද්දිට්ඨා - යම් නුදුටු සත්ත්වයන් ද
යෙ ච දූරෙ - යම් දුර සිටින සත්ත්වයන් හෝ
වසන්ති අවිදූරෙ – නොදුරේ හෙවත් ළඟ වසන සත්ත්වයන්
භූතා වා - හටගත් හෙවත් ඉපදුණු හෝ
සම්භවෙසී වා- නොඉපදුනු, (මවුකුස සිටින හෝ බිත්තර අවස්ථාවේ සිටින)
සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා – සියලු සත්ත්වයෝ සුවපත් (සිතැති) වේවා!
න පරො පරං නිකුබ්බෙථ – එකෙක් තවකෙකුට වංචා නොකෙරේවා
නාතිමඤ්ඤෙත (න+අතිමඤ්ඤෙත) - හෙලා නොදකිත්වා
කත්ථචි නං කඤ්චි – කොතැන කිසිවෙකුත්
බ්යාරොසනා – කෝපවී
පඨිඝසඤ්ඤා – ගැටෙන අදහසින්
න+(අ)ඤ්ඤමඤ්ඤස්ස – එකෙක් අනෙකෙකුගේ
දුක්ඛම්+ඉච්ඡෙය්ය – දුක කැමතිවන්නේ නැත
මාතා යථා – යම් මවක් මෙන්
නියං පුත්තං – පුතෙකු සිටින
ආයුසා – පණ වැනිව
එක පුත්තං+අනුරක්ඛෙ - එක ම පුතු රකියි ද
එවම්පි– එලෙසම
සබ්බ භූතෙසු - සියලු සත්ත්වයනට
මානසං භාවයෙ අපරිමාණං – අපරිමිතවූ මනසක් වැඩිය යුතුය
මෙත්තං ච සබ්බ ලොකස්මිං - සකල ලෝකය වෙත මෙත පතුරවා
මානසං භාවයෙ අපරිමාණං – අපරිමිත වූ මනසක් වැඩිය යුතුය
උද්ධං - උඩ ද
අධො ච –යට ද
තිරියං ච – හරහට /තිරස / ආදී දිසානු දිසාවන්ද
අසම්බාධං – බාධා නැතිව
අවෙරං – අවෛරීව
අසපත්තං - සතුරු නැතිව
තිට්ඨං - හිටගෙන සිටිද්දී හෝ
චරං –ඇවිදින විට හෝ
නිසින්නො වා – ආසනයක හිඳගෙන විටින විට හෝ
සයානො වා – සයනය කරමින් හෝ
යාවතස්ස විගතමිද්ධො – නින්දෙන් වෙන්ව සිටිනතාක් හෙවෙත් අවදියෙන් සිටින සෑම විට ම
එතං සතිං අධිට්ඨෙය්ය – මෙසේ සිහිය අදිටන් කොටගත යුත්තේය
බ්රහ්මං+එතං විහාරං ඉධං+ආහු – මෙසේ විසීම බ්රහ්ම විහරණයකැයි ලොව (නුවණැත්තෝ) කියත්
දිට්ඨිංච අනුපගම්ම - (සත්වයෙක් පුද්ගලයෙක් ඇත යන) දෘෂ්ඨියට නොගොස්
සීලවා - (සිදුරු නැතිව) සිල්වත් වන්නේ
දස්සනෙන සම්පන්නො – නිවැරදි දැක්මෙන් යුතුව
කාමෙසු විනෙය්ය ගෙධං – පංචකාමයන් කෙරෙහි ගිජුබව හෙවත් ඇලෙන ස්වභාවය දුරු කොටගෙන (අනාගාමී වී)
න හි ජාතු ගබ්භසෙය්යං පුනරෙතී ‘ ති. – මවු ගැබක සැතපීමට නැවත නොපැමිණෙන්නේ මය.

Thursday, October 26, 2023

මහා මංගල සූත්‍රය


මහා මංගල සූත්රය-පදයෙන් පදය අර්ථය
දෙවියන් සහිත ලෝකයෙහි ඒ ඒ කාලවල ඇතිවන කෝලාහලයන් පිළිබඳව ධර්මයේ සඳහන් වේ.
ඒ අනුව
1. මංගල යනු කුමක්දැයි තේරුම් ගැනීම සඳහා ඇතිවන කෝලාහලය මංගල කෝලාහලය යි.
2. සක්විති රජකෙනෙකු පහළවේ යැයි ඇතිවන ආන්දෝලනය සක්විති කෝලාහලය යි.
3. ලෝක විනාශයේදී ඇතිවන කෝලාහලය කල්ප කෝලාහලය යි.
4. බුදුවරයකු පහළ වේ යැයි ඇතිවන කෝලාහලය බුද්ධ කෝලාහලය යි.
බුදුන් දවස දඹදිව මිනිසුන් අතර මංගල යනු කුමක්දැයි වාදයක් හට ගත්තේය. ඒ පිළිබඳව එකිනෙකා විවිධ අදහස් දැරූ අතර සමහරෙක් ඇසට පෙනෙන දේ මංගල යයි කීහ. ” දිට්ඨ මංගලික” යන නමින් හැඳින්වුණු මොවුහු ඇසට පෙනෙන හොඳ දෙය මංගල ලෙසත් නරක දෙය අවමංගල ලෙසත් පිළිගත්හ. තවත් සමහරෙක් කණට ඇසෙන දේ මංගල යයි කීහ. ඔවුන් හැඳින්වූයේ “සුත මංගලිකයන්’යනුවෙනි. ඔවුන්ගේ පිළිගැනීම වූයේ කණට ඇසෙන මිහිරි දේ මංගල බවත් අමිහිරි දේ අවමංගල බවත්ය. ඇතැමෙක් ශරීරයට දැනෙන ස්පර්ශය මංගලයයි කීහ. “මුත මංගලිකයන්” මින් හැඳින්වුනු ඔවූහූ ශරීරයට දැනෙන සැපදායක ස්පර්ශය මංගල බවත් කටුක ස්පර්ශය අවමංගල බවත් පිළිගත් හ. මෙසේ මිනිස්සු තුන් කොටසකට බෙදී තම තමන් ගත් මතය සත්යය යයි ඔප්පු කිරීමට දිගු කලක් මුළුල්ලේ විවාද කළහ. එහෙත් දිනූ පක්ෂයක් නැත. දොළොස් වසරක් පුරා පැවති මෙම වාදයෙන් පිරිස් පිල්වලට බෙදී ගිය අතර අවසන් කීරණයකට එළැඹීමට ද නොහැති විය. මිනිසුන් අතර ඇති වූ මෙම මංගල කෝලාහලය පසුව දෙවියන් අතර ද පැතිරිණි. ඔවුන්ගෙන් බඹලොව වැසි බ්රහ්මයන් අතරද එය පැතිරී ගියේ ය.
සියල්ලෝම කොටස්වලට බෙදී වාද කරති. එහෙත් දිනන්නෙක් නැත. මෙම පැනයට විසඳුම් සොයන්නට කල්පනා කළ ශක්ර දේවේන්ද්රයා එක්තරා දෙවියෙකු කැඳවා සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ වෙත ඔහු යැව්වේ පැනයට නියම විසඳුම ලබා ගැනීම සඳහාය. සැණෙකින් තව්තිසා දෙව්ලොවින් අතුරුදහන් වූ ඒ දිව්ය පුත්රයා සැවැත් නුවර දෙව්රම් වෙහෙරට සම්ප්රාප්ත වූයේය. මධ්යම රාත්රියෙහි ඉතා සිත්කළු ශරීර වර්ණයෙන් මුළු ජේතවනාරාමයම බබළවමින් පැමිණි හෙතෙම බුදුරදුන් වෙත ගොස් වැඳ එකත් පසෙක සිට ‘බහුදේවා මනුස්සාච මංගලානි අචින්තයුං’ආදී ගාථාවෙන් මංගල ප්රශ්නය විචාලේය. බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු වශයෙන් මංගල කරුණු තිස් අටක් අඩංගු මහාමංගල සූත්රය දේශනා කළ සේක. ලෞකික ජීවිතයට අදාල කරුණු 32 කුත්, ලෝකෝත්තර ජීවිතයට අදාල කරුණු 6 කුත් වශයෙන් උභයලෝක සංසිද්ධි කාරණා 38 ක් ඇතුලත් මහා මංගල සූත්රය දේශනා කරමින් බුදුන්වහන්සේ මංගල ප්රශ්නය විසඳූ සේක.
මහා මංගල සූත්රය සහ අර්ථ
“ඒවං මේ සුතං – මා විසින් මෙසේ අසන ලදී.
ඒකං සමයං භගවා – එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ
සාවත්ථියං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ – සැවැත් නුවර ජේතවන නම් හූ අනේපිඬු සිටුහුගේ ආරාමයේ වැඩ වසන සේක.
අථ ඛෝ අඤ්ඤතරා දේවතා – එකළ එක් දිව්ය පුත්රයෙක්
අභික්කන්තාය රත්තියා – සිත්කළු රාත්රියෙහි (පෙරමයම ඉක්ම ගිය විට)
අභික්කන්ත වණ්ණා – සිත්කළු ශරීර වර්ණයෙන්
කේවලකප්පං ජේතවනං – මුළු ජේතවනාරාමය ම
ඕහාසෙත්වා – බබුළුවා
යේන භගවා – භාග්යවතුන් වහන්සේ යම් තැනක වැඩ සිටි සෙක් ද,
තේනුපසංකමි – එතැනට පැමිණියේය.
උපසංකමිත්වා – එසේ පැමිණ
භගවන්තං අභිවාදෙත්වා – භාග්යවතුන් වහන්සේ වැඳ
ඒකමන්තං අට්ඨාසී – එකත්පස්ව සිටියේ ය.
ඒකමන්තං ඨීසා ඛෝ – එකත්පස්ව සිටියා වූ
සා දේවතා – ඒ දිව්ය පුත්රයා
භගවන්තං ගාථාය අජ්ඣහාසී – බුදුරදුන්ට ගාථාවකින් මෙසේ දැනුම් දුන්නේ ය.
බහූ දේවා මනුස්සා ච – බොහෝ දෙවියෝත්, මිනිස්සුත්
මංගලානි අචින්තයුං – මංගල කරුණු ගැන සිතූහ.
ආකඬ්ඛමානා සොත්ථානං – ඔවුන්ට යහපත පිණිස
බ්රෑහි මංගල මුත්තමං – ඒ උතුම් මංගල කරුණු ගැන දේශකා කරන සේක්වා.
(1) අසේවනා ච බාලානං – අසත්පුරුෂ බාලයන් ඇසුරු නොකීරිම ද
(2) පණ්ඩිතානං ච සේවනා – සත් පුරුෂ පඬිවරුන් ඇසුරු කිරීම ද
(3) පූජා ච පූජනීයානං – පිදිය යුත්තන් පිදීම ද
ඒතං මංගල මුත්තමං – ( යන මේ කරුණු තුන ) උතුම් මංගලයන්ය.
(4) පතිරූප දේස වාසෝ ච – සුදුසු දේශයක විසීම ද
(5) පුබ්බේ ච කත පුඤ්ඤතා – පෙර කරන ලද පින් ඇති බව ද
(6) අත්ත සම්මා පණීධි ච – සිත මනා කොට පිහිටුවා ගැනීම ද
ඒතං මංගල මුත්තමං – (යන මේ කරුණු තුන) උතුම් මංගලයන්ය.
(7) බාහුසච්චං ච – බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ද
(8) සිප්පං ච – ශිල්ප දැනීම ද
(9) විනයෝ ච – නීති ගරුක බව ද
(10) සුසික්ඛිතෝ – යහපත් කටයුතුවල මනා හික්මීම ද
(11) සුභාසිතා ච යා වාචා – යහපත් වචන කතා කිරීම ද
ඒතං මංගල මුත්තමං (යන මේ කරුණු පහ) උතුම් මංගලයන්ය.
(12) මාතා පිතු උපට්ඨානං – මවුපියන්ට උපත්ථාන කිරීම ද
(13) පුත්ත දාරස්ස සංගහෝ – අඹුදරුවන්ට සැලකීම ද
(14) අනාකුලා ච කම්මන්තා – නිරවුල් රස්සාවල යෙදීම ද
ඒතං මංගල මුත්තමං – (යන මේ කරුණු තුන ) උතුම් මංගලයන්ය.
(15) දානං ච – දන් දීම ද
(16) ධම්ම චරියා ච – දැහැමි ජීවිතයක් ගත කිරීම ද
(17) ඤාතකානාංච සංගහෝ – නෑයන්ට සංග්රහ කිරීම ද
(18) අනවජ්ජානි කම්මානි – (ප්රාණගාතාදී අකුසලතාවයන්ගෙන් වැලකීම වැනි) නිවැරදි ක්රියා ද
ඒතං මංගල මුත්තමං – (යන මේ කරුණු හතර ) උතුම් මංගලයන්ය.
(19) ආරති විරති පාපා – පවෙහි නොඇළීම හා ඉන් වෙන්වීම ද
(20) මජ්ජපානා ච සඤ්ඤමෝ – මත් පැනින් වැළකීම ද
(21) අප්පමාදෝ ච ධම්මේසූ – පමා නොවී කුසල් කිරීම ද
ඒතං මංගල මුත්තමං – (යන මේ කරුණු තුන) උතුම් මංගලයන්ය.
(22) ගාරවෝ ච – ගරු කිරීම ද
(23) නිවාතෝ ච – යටහත් පැවැත්ම ද
(24) සන්තුට්ඨි ච – ලද පමණින් සතුටු වීම ද
(25) කතඤ්ඤුතා – කළගුණ දන්නා බව ද
(26) කා‍‍ලේන ධම්ම සවණං – සුදුසු කාල‍‍යෙහි ධර්මය ඇසීම ද
ඒතං මංගල මුත්තමං – (යන මේ කරුණු පහ) උතුම් මංගලයන්ය
(27) ඛන්තී ච – ඉවසීම ද
(28) ‍‍‍‍සෝවචස්සතා – සුවච–කීකරු බව ද
(29) සමණානං ච දස්සනං – ශ්රමණ–භික්ෂූන් වහන්සේ දැකීම ද
(30) කාලේන ධම්ම සාක්ච්ඡා – සුදුසු කාලයෙහි ධර්ම සාකච්ඡා කිරීම ද
ඒතං මංගල මුත්තමං – (යන මේ කරුණු හතර) උතුම් මංගලයන් ය.
(31) තපෝ ච – තපස ද
(32) බ්රහ්ම චරියං ච – උතුම් බඹසර හැසීරීම ද
(33) අරිය සච්චාන දස්සනං – ආර්ය සත්යයන් නුවණින් දැකීම ද
(34) නිබ්බාන සච්ඡිකිරියා ච – නිවන් අවබෝධ කිරීම ද
ඒතං මංගල මුත්තමං – (යන මේ කරුණු හතර) උතුම් මංගලයන් ය.
(35) ඵුට්ඨස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති – අටලෝ දහමෙහි යමෙකුගේ සිත කම්පා නොවීම ද
(36) අසෝකං – ශෝක නැති බව ද
(37) විරජං – කෙලෙස් දූවිලි නැති බව ද
(38) ඛේමං – බිය නැති බව ද
ඒතං මංගල මුත්තමං – (යන මේ කරුණු හතර) උතුම් මංගලයන් ය.
ඒතාදිසානි කත්වාන මෙබඳු මංගල කරුණු සම්පූර්ණ කොට
සබ්බත්ථ මපරාජිතා – සියළු කෙලෙසුන්ට නොපැර දී
සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති – සියළු තැන් හී දී සැපතට යෙති
තං තේසං මංගල මුත්තමං – මෙය ඔවුන්ගේ (ඒ සියල්ල තුළ) උතුම්ම මංගල්යයය යි.
ඔබට නිවන් මංගල්යයම වේවා!
සාධු! සාධු! සාධු!
පූජ්ය දෑරංගල කුසලඤාණ හිමි
බාහිර කථිකාචාර්ය - පේරාදෙණිය විශ්වවිද්යාලය