මහා මංගල සූත්රය-පදයෙන් පදය අර්ථය
දෙවියන් සහිත ලෝකයෙහි ඒ ඒ කාලවල ඇතිවන කෝලාහලයන් පිළිබඳව ධර්මයේ සඳහන් වේ.
ඒ අනුව
2. සක්විති රජකෙනෙකු පහළවේ යැයි ඇතිවන ආන්දෝලනය සක්විති කෝලාහලය යි.
3. ලෝක විනාශයේදී ඇතිවන කෝලාහලය කල්ප කෝලාහලය යි.
4. බුදුවරයකු පහළ වේ යැයි ඇතිවන කෝලාහලය බුද්ධ කෝලාහලය යි.
බුදුන් දවස දඹදිව මිනිසුන් අතර මංගල යනු කුමක්දැයි වාදයක් හට ගත්තේය. ඒ පිළිබඳව එකිනෙකා විවිධ අදහස් දැරූ අතර සමහරෙක් ඇසට පෙනෙන දේ මංගල යයි කීහ. ” දිට්ඨ මංගලික” යන නමින් හැඳින්වුණු මොවුහු ඇසට පෙනෙන හොඳ දෙය මංගල ලෙසත් නරක දෙය අවමංගල ලෙසත් පිළිගත්හ. තවත් සමහරෙක් කණට ඇසෙන දේ මංගල යයි කීහ. ඔවුන් හැඳින්වූයේ “සුත මංගලිකයන්’යනුවෙනි. ඔවුන්ගේ පිළිගැනීම වූයේ කණට ඇසෙන මිහිරි දේ මංගල බවත් අමිහිරි දේ අවමංගල බවත්ය. ඇතැමෙක් ශරීරයට දැනෙන ස්පර්ශය මංගලයයි කීහ. “මුත මංගලිකයන්” මින් හැඳින්වුනු ඔවූහූ ශරීරයට දැනෙන සැපදායක ස්පර්ශය මංගල බවත් කටුක ස්පර්ශය අවමංගල බවත් පිළිගත් හ. මෙසේ මිනිස්සු තුන් කොටසකට බෙදී තම තමන් ගත් මතය සත්යය යයි ඔප්පු කිරීමට දිගු කලක් මුළුල්ලේ විවාද කළහ. එහෙත් දිනූ පක්ෂයක් නැත. දොළොස් වසරක් පුරා පැවති මෙම වාදයෙන් පිරිස් පිල්වලට බෙදී ගිය අතර අවසන් කීරණයකට එළැඹීමට ද නොහැති විය. මිනිසුන් අතර ඇති වූ මෙම මංගල කෝලාහලය පසුව දෙවියන් අතර ද පැතිරිණි. ඔවුන්ගෙන් බඹලොව වැසි බ්රහ්මයන් අතරද එය පැතිරී ගියේ ය.
සියල්ලෝම කොටස්වලට බෙදී වාද කරති. එහෙත් දිනන්නෙක් නැත. මෙම පැනයට විසඳුම් සොයන්නට කල්පනා කළ ශක්ර දේවේන්ද්රයා එක්තරා දෙවියෙකු කැඳවා සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ වෙත ඔහු යැව්වේ පැනයට නියම විසඳුම ලබා ගැනීම සඳහාය. සැණෙකින් තව්තිසා දෙව්ලොවින් අතුරුදහන් වූ ඒ දිව්ය පුත්රයා සැවැත් නුවර දෙව්රම් වෙහෙරට සම්ප්රාප්ත වූයේය. මධ්යම රාත්රියෙහි ඉතා සිත්කළු ශරීර වර්ණයෙන් මුළු ජේතවනාරාමයම බබළවමින් පැමිණි හෙතෙම බුදුරදුන් වෙත ගොස් වැඳ එකත් පසෙක සිට ‘බහුදේවා මනුස්සාච මංගලානි අචින්තයුං’ආදී ගාථාවෙන් මංගල ප්රශ්නය විචාලේය. බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු වශයෙන් මංගල කරුණු තිස් අටක් අඩංගු මහාමංගල සූත්රය දේශනා කළ සේක. ලෞකික ජීවිතයට අදාල කරුණු 32 කුත්, ලෝකෝත්තර ජීවිතයට අදාල කරුණු 6 කුත් වශයෙන් උභයලෝක සංසිද්ධි කාරණා 38 ක් ඇතුලත් මහා මංගල සූත්රය දේශනා කරමින් බුදුන්වහන්සේ මංගල ප්රශ්නය විසඳූ සේක.
මහා මංගල සූත්රය සහ අර්ථ
“ඒවං මේ සුතං – මා විසින් මෙසේ අසන ලදී.
ඒකං සමයං භගවා – එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ
සාවත්ථියං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ – සැවැත් නුවර ජේතවන නම් හූ අනේපිඬු සිටුහුගේ ආරාමයේ වැඩ වසන සේක.
අථ ඛෝ අඤ්ඤතරා දේවතා – එකළ එක් දිව්ය පුත්රයෙක්
අභික්කන්තාය රත්තියා – සිත්කළු රාත්රියෙහි (පෙරමයම ඉක්ම ගිය විට)
අභික්කන්ත වණ්ණා – සිත්කළු ශරීර වර්ණයෙන්
කේවලකප්පං ජේතවනං – මුළු ජේතවනාරාමය ම
ඕහාසෙත්වා – බබුළුවා
යේන භගවා – භාග්යවතුන් වහන්සේ යම් තැනක වැඩ සිටි සෙක් ද,
තේනුපසංකමි – එතැනට පැමිණියේය.
උපසංකමිත්වා – එසේ පැමිණ
භගවන්තං අභිවාදෙත්වා – භාග්යවතුන් වහන්සේ වැඳ
ඒකමන්තං අට්ඨාසී – එකත්පස්ව සිටියේ ය.
ඒකමන්තං ඨීසා ඛෝ – එකත්පස්ව සිටියා වූ
සා දේවතා – ඒ දිව්ය පුත්රයා
භගවන්තං ගාථාය අජ්ඣහාසී – බුදුරදුන්ට ගාථාවකින් මෙසේ දැනුම් දුන්නේ ය.
බහූ දේවා මනුස්සා ච – බොහෝ දෙවියෝත්, මිනිස්සුත්
මංගලානි අචින්තයුං – මංගල කරුණු ගැන සිතූහ.
ආකඬ්ඛමානා සොත්ථානං – ඔවුන්ට යහපත පිණිස
බ්රෑහි මංගල මුත්තමං – ඒ උතුම් මංගල කරුණු ගැන දේශකා කරන සේක්වා.
(1) අසේවනා ච බාලානං – අසත්පුරුෂ බාලයන් ඇසුරු නොකීරිම ද
(2) පණ්ඩිතානං ච සේවනා – සත් පුරුෂ පඬිවරුන් ඇසුරු කිරීම ද
(3) පූජා ච පූජනීයානං – පිදිය යුත්තන් පිදීම ද
ඒතං මංගල මුත්තමං – ( යන මේ කරුණු තුන ) උතුම් මංගලයන්ය.
(4) පතිරූප දේස වාසෝ ච – සුදුසු දේශයක විසීම ද
(5) පුබ්බේ ච කත පුඤ්ඤතා – පෙර කරන ලද පින් ඇති බව ද
(6) අත්ත සම්මා පණීධි ච – සිත මනා කොට පිහිටුවා ගැනීම ද
ඒතං මංගල මුත්තමං – (යන මේ කරුණු තුන) උතුම් මංගලයන්ය.
(7) බාහුසච්චං ච – බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ද
(8) සිප්පං ච – ශිල්ප දැනීම ද
(9) විනයෝ ච – නීති ගරුක බව ද
(10) සුසික්ඛිතෝ – යහපත් කටයුතුවල මනා හික්මීම ද
(11) සුභාසිතා ච යා වාචා – යහපත් වචන කතා කිරීම ද
ඒතං මංගල මුත්තමං (යන මේ කරුණු පහ) උතුම් මංගලයන්ය.
(12) මාතා පිතු උපට්ඨානං – මවුපියන්ට උපත්ථාන කිරීම ද
(13) පුත්ත දාරස්ස සංගහෝ – අඹුදරුවන්ට සැලකීම ද
(14) අනාකුලා ච කම්මන්තා – නිරවුල් රස්සාවල යෙදීම ද
ඒතං මංගල මුත්තමං – (යන මේ කරුණු තුන ) උතුම් මංගලයන්ය.
(15) දානං ච – දන් දීම ද
(16) ධම්ම චරියා ච – දැහැමි ජීවිතයක් ගත කිරීම ද
(17) ඤාතකානාංච සංගහෝ – නෑයන්ට සංග්රහ කිරීම ද
(18) අනවජ්ජානි කම්මානි – (ප්රාණගාතාදී අකුසලතාවයන්ගෙන් වැලකීම වැනි) නිවැරදි ක්රියා ද
ඒතං මංගල මුත්තමං – (යන මේ කරුණු හතර ) උතුම් මංගලයන්ය.
(19) ආරති විරති පාපා – පවෙහි නොඇළීම හා ඉන් වෙන්වීම ද
(20) මජ්ජපානා ච සඤ්ඤමෝ – මත් පැනින් වැළකීම ද
(21) අප්පමාදෝ ච ධම්මේසූ – පමා නොවී කුසල් කිරීම ද
ඒතං මංගල මුත්තමං – (යන මේ කරුණු තුන) උතුම් මංගලයන්ය.
(22) ගාරවෝ ච – ගරු කිරීම ද
(23) නිවාතෝ ච – යටහත් පැවැත්ම ද
(24) සන්තුට්ඨි ච – ලද පමණින් සතුටු වීම ද
(25) කතඤ්ඤුතා – කළගුණ දන්නා බව ද
(26) කාලේන ධම්ම සවණං – සුදුසු කාලයෙහි ධර්මය ඇසීම ද
ඒතං මංගල මුත්තමං – (යන මේ කරුණු පහ) උතුම් මංගලයන්ය
(27) ඛන්තී ච – ඉවසීම ද
(28) සෝවචස්සතා – සුවච–කීකරු බව ද
(29) සමණානං ච දස්සනං – ශ්රමණ–භික්ෂූන් වහන්සේ දැකීම ද
(30) කාලේන ධම්ම සාක්ච්ඡා – සුදුසු කාලයෙහි ධර්ම සාකච්ඡා කිරීම ද
ඒතං මංගල මුත්තමං – (යන මේ කරුණු හතර) උතුම් මංගලයන් ය.
(31) තපෝ ච – තපස ද
(32) බ්රහ්ම චරියං ච – උතුම් බඹසර හැසීරීම ද
(33) අරිය සච්චාන දස්සනං – ආර්ය සත්යයන් නුවණින් දැකීම ද
(34) නිබ්බාන සච්ඡිකිරියා ච – නිවන් අවබෝධ කිරීම ද
ඒතං මංගල මුත්තමං – (යන මේ කරුණු හතර) උතුම් මංගලයන් ය.
(35) ඵුට්ඨස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති – අටලෝ දහමෙහි යමෙකුගේ සිත කම්පා නොවීම ද
(36) අසෝකං – ශෝක නැති බව ද
(37) විරජං – කෙලෙස් දූවිලි නැති බව ද
(38) ඛේමං – බිය නැති බව ද
ඒතං මංගල මුත්තමං – (යන මේ කරුණු හතර) උතුම් මංගලයන් ය.
ඒතාදිසානි කත්වාන මෙබඳු මංගල කරුණු සම්පූර්ණ කොට
සබ්බත්ථ මපරාජිතා – සියළු කෙලෙසුන්ට නොපැර දී
සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති – සියළු තැන් හී දී සැපතට යෙති
තං තේසං මංගල මුත්තමං – මෙය ඔවුන්ගේ (ඒ සියල්ල තුළ) උතුම්ම මංගල්යයය යි.
ඔබට නිවන් මංගල්යයම වේවා!
සාධු! සාධු! සාධු!
පූජ්ය දෑරංගල කුසලඤාණ හිමි
බාහිර කථිකාචාර්ය - පේරාදෙණිය විශ්වවිද්යාලය
No comments:
Post a Comment