Showing posts with label Patichcha samuppada. Show all posts
Showing posts with label Patichcha samuppada. Show all posts

Monday, July 26, 2021

සසරෙන් එතෙරට

 


සසරෙන් එතෙරට

පොල්පිටිමූකලානේ

පඤ්ඤාසිරි හිමි


මෙම ලිපියේ තවත් කොටසක් ඉකුත් 02 දා පත්‍රයේ පළවිය


තණ්හාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. කාම තණ්හා - පංචකාමයට ඇති කැමැත්ත, භව තණ්හා - භවයේ නැවත ඉපදීමට තිබෙන ආසාව, විභව තණ්හා - නැවත උප්පත්තියක් නැහැ කියන අදහස ඇතිකරගෙන මෙලොව සැප විඳිමින් සිටීමට තියෙන කැමැත්ත. උච්ඡේද දෘෂ්ඨියත් ඒ සමඟ එන තණ්හාව. භව තණ්හාව නිසාත් කෙනෙක් සංසාරයෙන් නිදහස් වෙලා යන්න කැමැති නැහැ. මීට වඩා බලවත් ව උපදින්න කැමැතියි.


මේ ත්‍රිවිධ තණ්හාව හටගන්නවා විඳීම මුල්කරගෙන. විඳීම නිසා ඇලීම නැතිනම් තණ්හාව හටගන්නවා. තණ්හාව මුල් කරගෙන බැඳීමක් ඇතිවෙනවා. උපාදාන වෙනවා. ඒ උපාදානය මුල් කරගෙන භවය සකස් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ පටිච්ච සමුප්පාදයේ දී භවය සහ ජාතිය යනුවෙන් වචන දෙකක් පිළිබඳව අපට අසන්නට ලැබෙනවා.


භවය කියනනේ නැවත ඉපදීම. ජාතිය කියන්නෙත් නැවත ඉපදීම. එහෙම වෙන්න බැහැ. මේක කරුණු දෙකක්. භවය යන වචනය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. භවය යනු විපාක විඳීම පිණිස කර්ම සකස් වීම. කාම ලෝකයක උප්පත්තිය ලබන්නට කර්ම සකස් වීමම තමයි කාම භවය කියන්නේ. රූප ලෝකයක විපාක විඳීම පිණිස කර්ම සකස්වීමට කියනවා. රූප භවය කියලා. අරූප ලෝකයක විපාක විඳීම පිණිස කර්ම සකස් වීමට කියනවා අරූප භවය කියලා. උපාදාන වුණාම විපාක විඳීම පිණිස කර්ම සකස් වෙනවා. භවයට අනුව තමයි ජාතිය සිදුවන්නේ. ඒ කියන්නේ කාම ලෝකයක ඉපදීමට කර්ම සකස් වෙලා තියෙනකොට උපදින්නේ කාම ලෝකයක. කාම සුගති සහ කාම දුගති කියා දෙකක් තිබෙනවා. කාම සුගති අයිති වෙන්නේ මනුෂ්‍ය ලෝකය සහ දිව්‍ය ලෝක හය. කාම දුගති යනු නිරය, තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය අසුරකාය. අපි මේ ඉපදිලා තියෙන්නේ කාම සුගතියක. මිශ්‍රඵල දෙන මනුස්ස ලෝකයේ තමන් විසින් සිදුකරන ලද කර්ම රූපවලට අනුව තමයි සැප හෝ දුක ලැබෙන්නේ. භවය මුල් කරගෙන තමයි ජාතිය සිදු වන්නේ. නැතිනම් ඉපදීම. ඉපදුණොත් වයසට යනවා මරණයට පත් වෙනවා.


සෝක කරන්න වෙනවා. වැළපෙන්න සිදුවෙනවා. කායික දුක් ඇති වෙනවා.මානසික දුක් ඇති වෙනවා. සුසුම් හෙළීම්වලට පත්වෙන්න සිදුවෙනවා. ඔය විදිහට තමයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේකට තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ.


මේ වගේම තමයි පින්වතුනි, පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය අනික් පැත්තට යනකොට අවිද්‍යාව සහමුලින්ම නැතිවෙලා ගියාම සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙනවා. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා.


නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන නිරුද්ධ වෙනවා. ආයතනය හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙනවා. විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වීමෙන් බැඳීයාම නිරුද්ධ වෙනවා. බැඳීයාම නිරුද්ධ වීමෙන් විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙනවා. විපාක පිණිස කර්ම සකසවීම නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙලා ජරා, මරණ, සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් ආදී සියල්ල නිරුද්ධ වෙලා යනවා. මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ විග්‍රහය තුළ කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව පටිච්ච සමුප්පාදය ක්‍රියාවලිය පිළිබඳවයි. මෙය ඉතා ගැඹුරු දහමක්. වරක් ආනන්ද හාමුදුරුවෝ දේශනා කළා ‘පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න හරි පහසුයි කියලා’. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ‘ආනන්දය, එහෙම කියන්න එපා පටිච්ච සමුප්පාදය ඉතා ගැඹුරුයි.’ කියා. යම් කිසි කෙනෙක් පටිච්ච සමුප්පාදය


දකිනවා නම්, එයා ධර්මය දකිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔබටත් පටිච්ච සමුප්පාදය ධර්මය හොඳින් අවබෝධ කර ගෙන මේ සංසාරයෙන් නිදහස් වීමේ වාසනාව උදාවේවා.


Sunday, July 25, 2021

අවිද්‍යාව හඳුනා ගන්න

 


අවිද්‍යාව හඳුනා ගන්න

පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි


ස්පර්ශය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හම ගහපු ගව දෙනක් වගේ කියල. හම ගහපු ගව දෙන වතුරට බැස්සොත් වතුරෙ ඉන්න සත්තු ඇවිල්ලා හානි කරනවා. ගොඩබිමේ හිටියොත් ගොඩබිමේ ඉන්න සත්තු ඇවිල්ලා හානි කරනවා. ගඟක් යටට ගියොත් ගගේ ඉන්න සත්තු ඇවිත් හානි කරනවා. කිසිම තැනක බේරිලා ඉන්න බැහැ.


මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළවිය.


සත්ත්වයෙක් සංසාරයේ දිගින් දිගට යාමට හේතුවන මූලික කරුණ වන්නේ අවිද්‍යාවයි. අවිද්‍යාව කියල කියන්නේ කුමක්ද?චතුරාර්ය සත්‍ය නොදැනීමයි. කෙනෙකුට හිතන්න පුළුවන් චතුරාර්ය සත්‍ය නොදැනීම කියන එකෙන් සත්ත්වයෙකුගේ හටගැනීම සිදුවන්නේ කොහොමද? කියලා. චතුරාර්ය සත්‍ය නොදැනීම කියන එක දෙයක ්කියලා සමහරවිට කෙනෙකුට හිතෙන්න පුළුවන්.


එතකොට ඒ චතුරාර්ය සත්‍ය නොදැනීම කියන දෙය මුල්වෙලා සත්ත්වයෙක් සංසාරයේ නැවත නැවත යනවා කියන හැඟීමක් කෙනෙකුට එන්න පුළුවන්. ඒ නිසයි මම මුලින්ම පැහැදිලි කළේ සත්ත්වයා දැනටමත් ඉන්නවා. ඒ සත්ත්වයා දිගින් දිගටම යන්නේ අවිද්‍යාව කරණ කොටගෙනයි. අවිද්‍යාව කියල කියන්නේ කුමක්ද?චතුරාර්ය සත්‍ය නොදැනීමයි. දැනට ඉන්න සත්ත්වයාගේ සිතේ තියෙනවා අවිද්‍යාව කියන කාරණාව. එතකොට අවිද්‍යාව කියන්නේ දුක නම් වූ ආර්ය සත්‍ය දන්නේ නැහැ. දුක ඇතිවීමට හේතුව නම් වූ ආර්ය සත්‍ය දන්නේ නැහැ. දුක නැතිවීම ගැන දන්නේ නැහැ. දුක නැතිවීමේ මාර්ගය ගැන දන්නේ නැහැ. මේ නොදන්නාකමයි අවිද්‍යාව. එහෙමනම් මේ අවිද්‍යාව තියෙන්නේ කාළඟ ද? මේ සංසාරයේ ඉන්න සත්ත්වයන් තුළයි.


අන්න ඒ අවිද්‍යාව මුල් කරගෙන සංස්කාර ඇතිවෙනවා. මොනවගේ සංස්කාරද? අවිද්‍යාත්මක සංස්කාර තමයි හට ගන්නේ. රහතන් වහන්සේ නමකගේ සිතේ තියෙන සංස්කාරයන් ඒවා විද්‍යාත්මකයි. සාමාන්‍ය සත්ත්වයෙක් තුළ තියෙන්නේ අවිද්‍යාත්මක සංස්කාර. සංස්කාර කියන්නේ කුමක්දැයි අපි දැනගත්තාම පහසුයි. සංස්කාර ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. ඒ තමයි කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර, කාය සංස්කාර කයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන නිසා ආශ්වාස ප්‍රශ්වාස වලට තමයි කාය සංස්කාර කියලා කියන්නේ.


වචී සංස්කාර කියල කියන්නේ වචනයත් සමඟ සම්බන්ධ වෙලා තියෙන සංස්කාර. ඒවා තමයි විතක්ක, විචාර, අපි යම්කිසි වචනයක් කියන්න හදනකොට විතක්ක නැතිනම් මනසින් කල්පනා කරල තමයි ඒක ඉදිරිපත් කරන්නේ. විතක්ක කරනවා ඒක විචාරය කරනවා.විතක්ක විචාර කියන්නේ එක දිගට පොඩි ළමයි කියවනව වගේ වචන වැලක් කියවීම නෙමෙයි. ඒක විතක්ක කරල විචාර කරල තමයි අපි ප්‍රකාශ කරන්නේ.


ඒක තමයි වචී සංස්කාර. ඊළඟට චිත්ත සංස්කාර කියල කියන්නේ මේ විඳීම හඳුනා ගැනීමයි. වේදනාව හඳුනා ගැනීම වේදනා සංඥා කියල කියනවා. සංස්කාරය කියල කියන්නේ සංස්කාර වන දේට තමයි. සංස්කාරය කියලා කියන්නේ හේතූන් නිසා හටගන්නා දෙයක් සබ්බේ සංඛාරා අනිච්චාති. මේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි. පටිච්ච සමුප්පාදයේ දී සංස්කාර කියල කියන්නේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර ඊළඟට වෙනත් සූත්‍රවල දී විග්‍රහ වෙන ආකාරයට පංච උපාදානස්කන්දයේදීත් සංස්කාර කියන කොටස අහුවෙනවා. ඒකෙදී සංස්කාර කියල කියන්නේ චේතනාවලට. රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ඨබ්බ සංචේතනා, ධම්ම සංචේතනා මේ චේතනාවලට තමයි එතැන දී සංස්කාර කියල කියන්නේ. මෙතැනදී සංස්කාර කියල කියන්නේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර, මෙන්න මේ සංස්කාර මුල්වෙලා විඤ්ඤාණය හටගන්නවා.


විඤ්ඤාණය කියල කියන්නේ දැනගැනීම විජානා තිතීකෝ විඤ්ඤාණං. මේ විඤ්ඤාණය මායා කාරයෙක් හැටියටත් පෙන්වා දෙනවා. විඤ්ඤාණයෙන් තමයි අපට විජ්ජාව පෙන්වනවා වගේ එක එක දේවල් පෙන්වන්නේ. විඤ්ඤාණ හයක් තියෙනවා. ඇසේ විඤ්ඤාණය කනේ විඤ්ඤාණය, නාසයේ විඤ්ඤාණය, දිවේ විඤ්ඤාණය, කයේ විඤ්ඤාණය, මනසේ විඤ්ඤාණය, වර්තමාන කාලයේ බොහෝ අය පටලවාගන්න තැනක් තමයි මේ. විද්‍යාත්මකව බලා, විඤ්ඤාණය තියෙන්නේ මොලයේ ද?


විඤ්ඤාණය තියෙන්නේ හදවතේද? විඤ්ඤාණය තියෙන්නේ කොහේද? ඔය වගේ ප්‍රශ්න ගොඩක් ඒ අයට තියෙනවා. මේ වගේ ප්‍රශ්න අශ්‍රැතවත් පෘථග්ජන පුද්ගලයන්ට තමයි එන්නේ. ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට ඒ වගේ ප්‍රශ්න එන්නේ නැහැ. ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට තමයි කල්පනා කරන්නේ.


බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණ හයක් ඇති බව දේශනා කර තියෙනවා .ඇස– රූපය මුල්වෙලා ඇසේ විඤ්ඤාණය, කන – ශබ්දය මුල්වෙලා කනෙහි විඤ්ඤාණය නාසය – ගඳ සුවඳ මුල්වෙලා නාසයේ විඤ්ඤාණය, දිව – රසය මුල් වෙලා දිවේ විඤ්ඤාණය , කය – පහස මුල්වෙලා, කයේ විඤ්ඤාණය , මනස – අරමුණු මුල්වෙලා මනසේ විඤ්ඤාණය හටගන්නවා. ඒ විඤ්ඤාණය හේතු කරගෙන නාම –රූප ඇතිවෙනවා.


අපේ ජන සමාජයේ ඇතැම් අය විග්‍රහ කරන්නේ නාම රූප විදිහට ගත්තේ රූප, වේදනා. සඤ්ඤා. සංස්කාර, විඤ්ඤාණ කියන පංච උපාදානස්කන්ධය. එය දෙකට බෙදනවා. ඒ කොහොමද? රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ හටගන්නා එකක්. නාම කියන්නේ වේදනා, සඤ්ඤා,සංස්කාර විඤ්ඤාණ කියලයි ලංකා ජන සමාජය තුළ ඇතැම් අය විග්‍රහ කරන්නේ,


බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව විභංග සූත්‍රයේ දි මොකක් ද, නාම රූප කියල විස්තර කරනවා. ඕනෑම කෙනෙකුට එය බලන්න පුළුවන්. ඊළඟට මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ සම්මා දිට්ඨි සූත්‍රයේ දී උන්වහන්සේ පෙන්වා දෙනවා, නාම රූප කියන්නේ කුමක්ද කියලා. උන්වහන්සේ දේශනා කරන්නේ නාම කියල කියන්නේ වේදනා, සඤ්ඤා, චේතනා පස්ස මනසිකාර, රූප කියන්නේ පඨවි. ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්. ඒ සතර මහා ධාතුන්ගෙන් හටගන්නා දේවල්. එහෙනම් ඒක තමයි නාම – රූප කියලා කියන්නේ. බුදුරදුන්ගේ බුද්ධ වචනය හරියටම පැහැදිලි කරල තියෙනවා,නාම යනු වේදනා ,සඤ්ඤා,චේතනා ඵස්ස, මනසිකාරය,රූප යනු පඨවි, ආපෝ, තේජෝ.වායෝ යන සතර මහා ධාතුන් සහ සතර මහා ධාතුන්ගෙන් හටගන්නා දේවල්. නාම රූප මුල්වෙලා ආයතන හයක් හටගන්නවා. ඒ තමයි ඇස, කන, නාසය ,දිව, කය. මනස. මේ ආයතන හය ඇතිවුණාම අපට සම්බන්ධ වෙනවා, ස්පර්ශය. ඇස තියෙනකොට, රූප තියෙනකොට, ඇසේ විඤ්ඤාණය තියෙන කොට මේ තුන එකට එකතු වෙනවා. ‘තින්නං සංඝති ඵස්සෝ’ කියනවා. එතකොට අපිට ඇසත් රූපත්, ඇසේ, විඤ්ඤාණයත් එකට එකතු වුණාම ඇස ස්පර්ශ වෙනවා. කන ශබ්ද විඤ්ඤාණය එකතු වුණාම කනේ ස්පර්ශය ඇතිවෙනවා. නාසය, ගඳ සුවඳ විඤ්ඤාණය එකතු වුණාම නාසයේ ස්පර්ශය, දිව රසයයි විඤ්ඤාණයයි එකතු වුණාම දිවේ ස්පර්ශය .කයයි පහසයි විඤ්ඤාණයයි එකතුවුණාම කයේ ස්පර්ශය ඇතිවෙනවා. මනස අරමුණයි විඤ්ඤාණයයි එකතු වුණාම මනසේ ස්පර්ශය. අප සාමාන්‍ය ජන ජීවිතයේ දී හිතාගෙන ඉන්නේ කය තමයි ස්පර්ශ වෙන්නේ කියල. නමුත් කය විතරක් නොවේ, ඇසත් ස්පර්ශ වෙනවා. කනත් ස්පර්ශ වෙනවා. නාසයත් ස්පර්ශ වෙනවා. දිවත් ස්පර්ශ වෙනවා. මනසත් ස්පර්ශ වෙනවා.


මේ ආයතන හය ම ස්පර්ශ වෙනවා. ආයතන තියෙන කොට ස්පර්ශය ඇතිවෙනවා. ස්පර්ශය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හම ගහපු ගව දෙනක් වගේ කියල. හම ගහපු ගව දෙන වතුරට බැස්සොත් වතුරෙ ඉන්න සත්තු ඇවිල්ලා හානි කරනවා. ගොඩබිමේ හිටියොත් ගොඩබිමේ ඉන්න සත්තු ඇවිල්ලා හානි කරනවා. ගඟක් යටට ගියොත් ගෙඟ් ඉන්න සත්තු ඇවිත් හානි කරනවා. කිසිම තැනක බේරිලා ඉන්න බැහැ. ඇස, කන, නාස, දිව , මනස තියෙනවා නම්, ස්පර්ශය සිද්ධ වෙනවා. සම ගැසූ ගව දෙන වගේ හැමතිස්සේ ම අපට පීඩා විඳගෙන තමයි ඉන්න සිද්ධවෙලා තියෙන්නේ. ස්පර්ශය තියෙනවා නම්, විඳීම ඇතිවෙනවා. ඇස, රූප, ඇසේ විඤ්ඤාණය තියෙනවා නම් ඒ තුනේ එකතුවෙන් ඇතිවෙනවා ස්පර්ශය. එය සැප වේදනාවක් වෙනවිට අපට ඇතිවෙනවා සැප විඳීමක්. ඒ සැප විඳීමක් නැතිනම් අපට හටගන්නේ දුක් විඳීමක්. සමහර වෙලාවට අපට හටගන්නේ උපේක්ෂා විඳීමක්. සැප විඳීමක් මුල් වෙනකොට අපි ඒකට ඇලෙනවා. විඳීම හටගන්නවා. ඒ විඳීම මුල්කරගෙන තණ්හාව හටගන්නවා. තණ්හාව කියන්නේ ඇලී යන ස්වභාවය.

Saturday, July 24, 2021

විභඩ්ග සූත්‍රය


විභඩ්ග සූත්‍රය

2

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬුසිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ මහණෙනියි කියා භික්ෂූන් ඇමතූහ. ස්වාමීනි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි පටිච්චසමුප්පාදය දේශනා කරන්නෙමි. බෙදා දක්වන්නෙමි. එය මනාකොට අසව්. මෙනෙහි කරව්. කියන්නෙමියි’. “එසේය ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනාකළ සේක.

“මහණෙනි, පටිච්චසමුප්පාදය නම් කවරේද? මහණෙනි, අවිද්‍යාව නිසා සංස්කාරයෝද, සංස්කාර නිසා විඤ්ඤාණයද, විඤ්ඤාණය නිසා නාමරූපද, නාමරූප නිසා සළායතනද, සළායතන නිසා ස්පර්ශයද, ස්පර්ශය නිසා වේදනාවද, වේදනාව නිසා තෘෂ්ණාවද, තෘෂ්ණාව නිසා උපාදානයද, උපාදානය නිසා භවයද, භවය නිසා ජාතිය (උප්පත්තිය) ද, ජාතිය නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයද ඇති වෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ ඇතිවීම වෙයි.

“මහණෙනි, ජරාව සහ මරණය නම් කවරේද? ඒ ඒ සත්ව නිකායයෙහිවූ ඒ ඒ සත්වයන්ගේ යම් ජරාවක්, දිරායාමක්, දත් වැටීමක්, කෙස් සුදුවීමක්, ඇඟ රැලිවැටීමක්, ආයුෂයාගේ ගෙවීයාමක්, ඉන්ද්‍රියයන්ගේ මේරීමක් වේද, මෙය ජරාවයයි කියනු ලැබේ මහණෙනි, මරණය නම් කවරක්ද? ඒ ඒ සත්වනිකායෙන් ඒ ඒ සත්වයන්ගේ යම් චුතවීමක්, පහවීයාමක්, බිඳීමක්, අතුරුදන් වීමක්, මෘත්‍යුසංඛ්‍යාත මරණයක්, කාලක්‍රියාවක්, ස්කන්ධයන්ගේ බිඳීමක්, මෘත ශරීර අත්හැරදැමීමක් වේද, මෙය මරණයයි කියනු ලැබේ.

“මහණෙනි; මෙසේ ඒ දිරීමද, මේ මැරීමද ජරා මරණයයි කියනු ලැබේ. මහණෙනි; ජාතිය (ඉපදීම) නම් කවරේද? ඒ ඒ සත්ව නිකායෙහි ඒ ඒ සත්වයන්ගේ යම් ඇතිවීමක්, හට ගැනීමක්, බැස ගැනීමක්, ඉපදීමක්, සත්වයන්ගේ ඇතිවීමක්, ස්කන්ධයන්ගේ පහළවීමක්, ආයතනයන්ගේ ලැබීමක් වේද මහණෙනි, මෙය ජාතියයි කියනු ලැබේ.

“මහණෙනි, භවය නම් කවරේද? මහණෙනි, කාමභවය, රූපභවය සහ අරූප භවයයි මේ භවයෝ තිදෙනෙකි. මහණෙනි, මෙය භවයයි කියනු ලැබේ.

“මහණෙනි; උපාදානය නම් කවරෙක්ද? මහණෙනි, කාමූපාදානය, දිට්ඨුපාදානය, සීලබ්බතූපාදානය සහ අත්තවාදූපාදානයයි මේ උපාදානයෝ සිව්දෙනෙකි. මහණෙනි, මෙය උපාදානයයි කියනු ලැබේ.

“මහණෙනි, තණ්හාව නම් කවරේද? මහණෙනි, රූප තණ්හාව, සද්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව ඵොට්ඨබ්බ (ස්පර්ශ) තණ්හාව සහ ධර්ම තණ්හාවයයි මේ තණ්හා සමූහයන් සය දෙනෙකි. මහණෙනි; මෙය තණ්හාව යයි කියනු ලැබේ.

“මහණෙනි; වේදනාව නම් කවරේද? මහණෙනි; චක්ඛුස්පර්ශයෙන් ඇතිවන වේදනාව, ශ්‍රොතස්පර්ශයෙන් ඇතිවන වේදනාව, ඝ්‍රාණස්පර්ශයෙන් ඇතිවන වේදනාව ජීව්හාස්පර්ශයෙන් ඇතිවන වේදනාව, කායස්පර්ශයෙන් ඇතිවන වේදනාව සහ මනස්පර්ශයෙන් ඇතිවන වේදනාව යයි මේ වේදනා සමූහයන් සයදෙනෙකි. මහණෙනි; මෙය වේදනාවයයි කියනු ලැබේ.

“මහණෙනි; ස්පර්ශය නම් කවරේද? මහණෙනි; චක්ඛුස්පර්ශය, ශ්‍රොතස්පර්ශය, ඝ්‍රාණස්පර්ශය, ජිව්හාස්පර්ශය, කායස්පර්ශය සහ මනස්පර්ශයයි මේ ස්පර්ශ සමූහයෝ සදෙනෙකි. මහණෙනි, මෙය ස්පර්ශයයි කියනු ලැබේ.

“මහණෙනි; සළායතන නම් කවරේද? චක්ඛායතනය, සොතායතනය, ඝානායතනය, ජිව්හායතනය, කායායතනය සහ මනායතනයයි. මහණෙනි; මෙය සළායතනයයි කියනු ලැබේ.

“මහණෙනි; නාමය සහ රූපය නම් කවරක්ද? වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශය සහ මනසිකාරය යන මෙය නාමයයි කියනු ලැබේ. සතර මහා භූතයින් සහ සතර මහාභූත සමූහය නිසා පවත්නා රූපය යන මෙය රූපයයි කියනු ලැබේ. මහණෙනි; මෙසේ ඒ නාමයද මේ රූපයද නාම රූපයයි කියනු ලැබේ.

“මහණෙනි; විඤ්ඤාණය නම් කවරක්ද? මහණෙනි; චක්ඛු විඤ්ඤාණය, සොතවිඤ්ඤාණය, ඝානවිඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය සහ මනො විඤ්ඤාණයයි මේ විඤ්ඤාණ සමූහයෝ සදෙනෙකි. මහණෙනි, මෙය විඤ්ඤාණ යයි කියනු ලැබේ.

“මහණෙනි, සංඛාර නම් කවරීද? මහණෙනි, කාය සංඛාරය, වචීසංඛාරය සහ චිත්තසංඛාර යයි මේ සංඛාර තිදෙනෙකි. මහණෙනි; මොවුහු සංඛාරයෝ යයි කියනු ලැබෙත්.

“මහණෙනි; අවිජ්ජාව නම් කවරීද? මහණෙනි, යම් දුක නොදැනීමක්, දුකට හේතුව නොදැනීමක්, දුක නැති කිරීම නොදැනීමක්, දුක් නැති කිරීමේ මාර්ගය නොදැනීමක් වේද, මහණෙනි; මෙය අවිජ්ජාව යයි කියනු ලැබේ.

“මහණෙනි; මෙසේ වනාහි අවිද්‍යාව නිසා සංස්කාරයෝද, සංස්කාරයන් නිසා විඤ්ඤාණයද, විඤ්ඤාණය නිසා නාම රූපද, නාම රූප නිසා සළායතනද, සළායතන නිසා ස්පර්ශයද, ස්පර්ශය නිසා වේදනාවද, වේදනාව නිසා තණ්හාවද, තණ්හාව නිසා උපාදානයද, උපාදනය නිසා භවයද, භවය නිසා ජාතිය (ඉපදීම) ද, ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද ඇති වෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ ඇතිවේ.

“අවිද්‍යාව මුළුමනින් නැතිවීමෙන් සංස්කාරයන්ගේ නැතිවීම වෙයි. සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැති වෙයි. විඤ්ඤාණය නැතිවීමෙන් නාම රූප නැති වෙයි. නාම රූප නැතිවීමෙන් සළායතන නැති වෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැති වෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැති වෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ නැති වීම වේ.


Friday, July 23, 2021

පටිච්ච සමුප්පාද සූත්‍රය


පටිච්ච සමුප්පාද සූත්‍රය 

1

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි, කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. “මහණෙනි, පටිච්ච සමුප්පාදය දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව් කියන්නෙමියි” “එසේය ස්වාමීනියි, කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක.

“මහණෙනි, පටිච්චසමුප්පාදය නම් කවරේද? මහණෙනි, අවිද්‍යාව නිසා සංස්කාරයෝද, සංස්කාර නිසා විඤ්ඤාණයෝද, විඤ්ඤාණය නිසා නාමරූපද නාමරූප නිසා සළායතනද, සළායතන නිසා ස්පර්ශයද, ස්පර්ශය නිසා වේදනාවද, වේදනාව නිසා තණ්හාවද, තණ්හාව නිසා උපාදානයද, (තදින් අල්ලා ගැනීම) උපාදානය නිසා භවයද, භවය නිසා උප්පත්තියද, උප්පත්තිය නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද ඇතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ ඇතිවීම වෙයි. මහණෙනි, මෙය පටිච්චසමුප්පාදයයි.

අවිද්‍යාව මුළුමනින් නැතිවීමෙන්ම සංස්කාරයන්ගේ නැතිවීමද, සංස්කාරයන්ගේ නැතිවීමෙන් විඤ්ඤාණයේ නැතිවීමද, විඤ්ඤාණයාගේ නැතිවීමෙන් නාමරූපයන්ගේ නැතිවීමද, නාමරූපයන්ගේ නැතිවීමෙන් සළායතනයන්ගේ නැතිවීමද, සළායතනයන්ගේ නැතිවීමෙන් ස්පර්ශය නැතිවීමද, ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවීමද, වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවීමද, තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවීමද, උපාදානය නැතිවීමෙන් භවය නැතිවීමද, භවය නැතිවීමෙන් ජාතිය (උප්පත්තිය) නැතිවීමද ජාතිය (උප්පත්තිය) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවීමද වෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ නැතිවීම වෙයි. මෙය භාග්‍යවතුන්වහන්සේ වදාළසේක. සතුටු සිතැති ඒ භික්ෂූහු බුදුන්ගේ දේශනාවට සතුටුවූහ.



Wednesday, July 21, 2021

දුක හටගන්නේ ඇයි?

 



දුක හටගන්නේ ඇයි?
පොල්පිටිමූකලානේ
පඤ්ඤාසිරි හිමි

" බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය තුළින් පෙන්වා දුන්නේ සත්ත්වයෙක් සසර නැවත නැවත ගමන් කරන ආකාරය පිළිබඳව යි"

සංයුක්ත නිකායේ දෙවන කොටස නිධාන වර්ගයේ තථාගතයන් වහන්සේගේ පටිච්ච සමුප්පාදය පිළිබඳ දේශනා පෙළගැසී තිබෙනවා.

වසර ගණනාවක් මුළුල්ලේ මෙහි සඳහන් සමහර කරුණු පිළිබඳ ව අප හිතාගෙන හිටිය විදිහ වැරැදි බව මේ සූත්‍ර දේශනාවලදී පැහැදිලි වෙනවා. ඒ නිසා ඒ කරුණුත් විග්‍රහ කරගෙන තමයි මේ පටිච්ච සමුප්පාදය පිළිබඳ අද මා කියාදෙන්නට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් ම බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය තුළින් පෙන්වා දුන්නේ සත්ත්වයෙක් සසර නැවත නැවත ගමන් කරන ආකාරය පිළිබඳව යි. සත්ත්වයෙක් සසර නැවත ගමන් කරන්නේ උප්පත්තිය ලබන්නේ මේ පටිච්ච සමුප්පාදය ක්‍රියාවලිය නිසා බව උන්වහන්සේ දේශනා කළා. යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් පටිච්ච සමුප්පාදය මුල්කරගෙන තමයි සත්ත්වයෙක් අලුතෙන්ම සංසාරයට එන්නේ. අලුතෙන්ම සංසාරයේ උප්පත්තියක් ලබන්නේ කියලා.

එහෙත් මෙහි කියවෙන්නේ දැනට සංසාරයේ ඉන්න සත්ත්වයා කොහොමද දිගින් දිගටම ගමන් කරන්නේ කියන කාරණාවයි. මේ වෙනකොටත් සත්ත්වයා සංසාරයේ ඉන්නවා. ඒ සත්ත්වයා කොහොමද සංසාරයේ දිගින් දිගටම ගමන් කරන්නේ? අවිද්‍යාව තමයි මෙහි පළමුවැනි කාරණාව හැටියට පෙන්වා දෙන්නේ. මෙහි පළවෙනි සූත්‍රය ගත්තත් එනම් අභිසමය සංයුක්තයේ බුද්ධ වර්ගයේ මුලින්ම අපට ඉගෙන ගන්නට ලැබෙනවා. පටිච්ච සමුප්පාද සූත්‍රය. ඊළඟට දෙවන සූත්‍රය තමයි විභංග සූත්‍රය. පළවෙනි සූත්‍රයේ දී සාමාන්‍ය වශයෙන් පටිච්ච සමුප්පාදය විග්‍රහ කරනවා. අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාරා පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සලායතනං, සලායතන පච්චයා ඵස්සො ඵස්සු පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපදානං උපාදන පච්චයා භවෝ භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති ඒව මේතස්ස කේවලස්ස දුක්ඛස්කන්දස්ස සමුදයෝ හෝති කියල දුකේ හටගැනීම සිදුවන්නේ මෙන්න මේ පටිච්ච සමුප්පාදය ක්‍රියාවලිය නිසා කියල උන්වහන්සේ පෙන්වල දෙනවා.

ඒ වගේම අනික් පැත්තට පටිච්ච සමුප්පාදයේ ප්‍රතිවිරුද්ධ පැත්තට ගියාම සම්පූර්ණයෙන්ම මේ දුක නිරුද්ධ වෙලා යන හැටිත් දේශනා කරනවා. ඒ කියන්නේ අවිද්‍යාව සම්පූර්ණයෙන්ම දුරු වුනාම සංස්කාර නිරුද්ධ වෙනවා සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙනවා විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාමරූප නිරුද්ධ වෙනවා නාමරූප නිරුද්ධ වීමෙන් ආයතනය නිරුද්ධ වෙනවා ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙනවා විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා තණ්හාව නිරුද්ධ වීමෙන් බැඳීයාම නිරුද්ධ වෙනවා බැඳීයාම නිරුද්ධ වීමෙන් විපාක පිණිස කර්ම සකස්වීම නිරුද්ධ වෙනවා විපාක පිණිස කර්ම සකස්වීම නිරුද්ධවීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා ඉපදීම නිරුද්ධ වීමෙන් ජරාවට පත්වීම මරණයට පත්වීම සෝක වැළපීම කායික දුක් මානසික දුක් සුසුම් හෙළීම් ආදි සියල්ල නිරුද්ධ වෙන ආකාරයයි දේශනා වෙන්නේ. ඔය විදියටම මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන ආකාරය උන්වහන්සේ පටිච්ච සමුප්පාදය සූත්‍රයේ දී අපට දේශනා කරනවා.

විභංග සූත්‍රයේ තව දුරටත් මේ එක එක අංග ප්‍රත්‍ය වන ආකාරය හේතුවන ආකාරය උන්වහන්සේ දේශනා කරනවා. පින්වත්නි සම්පූර්ණයෙන්ම මේ බුද්ධ වර්ගයේ පටිපදා සූත්‍රය, විපස්සි සූත්‍රය, සිඛී සූත්‍රය, වෙස්සභු සූත්‍රය, කකුසඳ සූත්‍රය, කෝණාගමන සූත්‍රය, කාශ්‍යප සූත්‍රය, ගෝතම සූත්‍රය යන මේ සූත්‍ර සියල්ලෙන්ම වගේ අපට පැහැදිලිව පෙන්වා දෙන්නේ මේ පටිච්ච සමුප්පාදය පිළිබඳ විග්‍රහය. පළවෙනි කරුණ තමයි මා විසින් කලින් පැහැදිලි කළ ආකාරයට බුදුරජාණන් වහන්සේ පෙන්වල දෙනවා අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නාබව.

ඉතිරි කොටස ඔක්තෝබර් 02 වනදා පත්‍රයේ පළවේ.

- අයන්ති විතාන

 

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...