දුක හටගන්නේ ඇයි?
පොල්පිටිමූකලානේ
පඤ්ඤාසිරි හිමි
" බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය තුළින් පෙන්වා දුන්නේ සත්ත්වයෙක් සසර නැවත නැවත ගමන් කරන ආකාරය පිළිබඳව යි"
සංයුක්ත නිකායේ දෙවන කොටස නිධාන වර්ගයේ තථාගතයන් වහන්සේගේ පටිච්ච සමුප්පාදය පිළිබඳ දේශනා පෙළගැසී තිබෙනවා.
වසර ගණනාවක් මුළුල්ලේ මෙහි සඳහන් සමහර කරුණු පිළිබඳ ව අප හිතාගෙන හිටිය විදිහ වැරැදි බව මේ සූත්‍ර දේශනාවලදී පැහැදිලි වෙනවා. ඒ නිසා ඒ කරුණුත් විග්‍රහ කරගෙන තමයි මේ පටිච්ච සමුප්පාදය පිළිබඳ අද මා කියාදෙන්නට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් ම බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය තුළින් පෙන්වා දුන්නේ සත්ත්වයෙක් සසර නැවත නැවත ගමන් කරන ආකාරය පිළිබඳව යි. සත්ත්වයෙක් සසර නැවත ගමන් කරන්නේ උප්පත්තිය ලබන්නේ මේ පටිච්ච සමුප්පාදය ක්‍රියාවලිය නිසා බව උන්වහන්සේ දේශනා කළා. යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් පටිච්ච සමුප්පාදය මුල්කරගෙන තමයි සත්ත්වයෙක් අලුතෙන්ම සංසාරයට එන්නේ. අලුතෙන්ම සංසාරයේ උප්පත්තියක් ලබන්නේ කියලා.
එහෙත් මෙහි කියවෙන්නේ දැනට සංසාරයේ ඉන්න සත්ත්වයා කොහොමද දිගින් දිගටම ගමන් කරන්නේ කියන කාරණාවයි. මේ වෙනකොටත් සත්ත්වයා සංසාරයේ ඉන්නවා. ඒ සත්ත්වයා කොහොමද සංසාරයේ දිගින් දිගටම ගමන් කරන්නේ? අවිද්‍යාව තමයි මෙහි පළමුවැනි කාරණාව හැටියට පෙන්වා දෙන්නේ. මෙහි පළවෙනි සූත්‍රය ගත්තත් එනම් අභිසමය සංයුක්තයේ බුද්ධ වර්ගයේ මුලින්ම අපට ඉගෙන ගන්නට ලැබෙනවා. පටිච්ච සමුප්පාද සූත්‍රය. ඊළඟට දෙවන සූත්‍රය තමයි විභංග සූත්‍රය. පළවෙනි සූත්‍රයේ දී සාමාන්‍ය වශයෙන් පටිච්ච සමුප්පාදය විග්‍රහ කරනවා. අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාරා පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සලායතනං, සලායතන පච්චයා ඵස්සො ඵස්සු පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපදානං උපාදන පච්චයා භවෝ භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති ඒව මේතස්ස කේවලස්ස දුක්ඛස්කන්දස්ස සමුදයෝ හෝති කියල දුකේ හටගැනීම සිදුවන්නේ මෙන්න මේ පටිච්ච සමුප්පාදය ක්‍රියාවලිය නිසා කියල උන්වහන්සේ පෙන්වල දෙනවා.
ඒ වගේම අනික් පැත්තට පටිච්ච සමුප්පාදයේ ප්‍රතිවිරුද්ධ පැත්තට ගියාම සම්පූර්ණයෙන්ම මේ දුක නිරුද්ධ වෙලා යන හැටිත් දේශනා කරනවා. ඒ කියන්නේ අවිද්‍යාව සම්පූර්ණයෙන්ම දුරු වුනාම සංස්කාර නිරුද්ධ වෙනවා සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙනවා විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාමරූප නිරුද්ධ වෙනවා නාමරූප නිරුද්ධ වීමෙන් ආයතනය නිරුද්ධ වෙනවා ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙනවා විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා තණ්හාව නිරුද්ධ වීමෙන් බැඳීයාම නිරුද්ධ වෙනවා බැඳීයාම නිරුද්ධ වීමෙන් විපාක පිණිස කර්ම සකස්වීම නිරුද්ධ වෙනවා විපාක පිණිස කර්ම සකස්වීම නිරුද්ධවීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා ඉපදීම නිරුද්ධ වීමෙන් ජරාවට පත්වීම මරණයට පත්වීම සෝක වැළපීම කායික දුක් මානසික දුක් සුසුම් හෙළීම් ආදි සියල්ල නිරුද්ධ වෙන ආකාරයයි දේශනා වෙන්නේ. ඔය විදියටම මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන ආකාරය උන්වහන්සේ පටිච්ච සමුප්පාදය සූත්‍රයේ දී අපට දේශනා කරනවා.
විභංග සූත්‍රයේ තව දුරටත් මේ එක එක අංග ප්‍රත්‍ය වන ආකාරය හේතුවන ආකාරය උන්වහන්සේ දේශනා කරනවා. පින්වත්නි සම්පූර්ණයෙන්ම මේ බුද්ධ වර්ගයේ පටිපදා සූත්‍රය, විපස්සි සූත්‍රය, සිඛී සූත්‍රය, වෙස්සභු සූත්‍රය, කකුසඳ සූත්‍රය, කෝණාගමන සූත්‍රය, කාශ්‍යප සූත්‍රය, ගෝතම සූත්‍රය යන මේ සූත්‍ර සියල්ලෙන්ම වගේ අපට පැහැදිලිව පෙන්වා දෙන්නේ මේ පටිච්ච සමුප්පාදය පිළිබඳ විග්‍රහය. පළවෙනි කරුණ තමයි මා විසින් කලින් පැහැදිලි කළ ආකාරයට බුදුරජාණන් වහන්සේ පෙන්වල දෙනවා අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නාබව.
ඉතිරි කොටස ඔක්තෝබර් 02 වනදා පත්‍රයේ පළවේ.
- අයන්ති විතාන
No comments:
Post a Comment