Showing posts with label මිලින්ද ප්‍රශ්නය. Show all posts
Showing posts with label මිලින්ද ප්‍රශ්නය. Show all posts

Sunday, October 22, 2023

14. අනාපත්ති ප්‍රශ්නය

14. අනාපත්ති ප්‍රශ්නය





මිලිඳු රජු -

ස්වාමීනියමෙක් විපාක නොදැන පව්කම් කරන්නේ නම් ඔහුට බොහෝ අකුසල් සිදුවන බව කියවෙයි. එසේනම් විනය පිටකයෙහි “මේ සත්වයා මරමි” යයි නොදන්නා අයටද පව් නැතැයි සඳහන් වන්නේ කෙසේද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජවිශාලා මහනුවර භික්ෂු නමක් පිඬු සිඟා වඩිද්දී අනවසරයෙන් නිවසකට ඇතුළුවී රෙද්දක් එළා තිබූ පුටුවක වඩි විය. එහි රෙද්දකින් වසා කුඩා බිළිඳකු නිදි කරවා තිබු අතර භික්ෂුන් වහන්සේ වාඩිවීම නිසා ඒ දරුවා මිය ගියේය. එම භික්ෂුව විසින් මෙම සිද්ධිය බුදුපියාණන්ට සැළ කළ විටඒ බව දැනගෙන කළේදැයි විචාරානොදැන වූ බව පැවසූ කල පාපයක් නැතැයි වදාළහ. එහෙත් මින් පසු නිවැසියන් විචාරාම අසුන් ගන්නැයි අවවාද කළ සේක.

තවත් වරෙක භික්ෂු නමක් විෂ මිශ්‍ර භෝජනයක් ලැබ විහාරයට ගෙන ගොස් හිතවත් භික්ෂු නමක් වළඳවා විෂයෙන් මළ කල මහා ශෝකයෙන් බුදුපියාණන් කරා ගොස් සැළ කළේය. එවිට බුදුපියාණෝ ඒ බව දැනගෙන කළේදැයි විචාරා නොදැන වූ බව පැවසූ විට පව් නැතැයි වදාළහ. කර්මය යනු සිතා මතා කරන ක්‍රියාය. දරුවා මිය ගියදභික්ෂු නම මිය ගියද ඔවුන් මැරීමේ චේතනාවක් කිසිවෙකුට නොතිබුණි. මේ අනුව අකුසල් විපාක නොදැන පව් කරන්නාට බොහෝ අකුසල් රැස්වන බවත්, “මේ ක්‍රියාව නිසා මේ සත්වයා මිය යයි” කියා නොදන්නා අයට පව් නැති බවත් සත්‍යය.

Sunday, October 1, 2023

පිරිත් ප්‍රශ්නය.


පිරිත් ප්‍රශ්නය.
මිලිඳු රජු -

ස්වාමීනි, පිරිත් කීමෙන් මරණයෙන් මිදිය හැකිද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, බුදුපියාණන් රතන, ධජග්ග, ආටානාටිය, අංගුලිමාල ආදී ආරක්ෂක පිරිත් දේශනා කර ඇත්තේ නොගෙවුණාවූ ආයුෂ ඇති කුසල් සම්පන්න පුද්ගලයන්ටය. ලෙඩ රෝග විපත් ආදියෙහිදී ඔවුන්ට පිරිත බෙහෙතක් සහ ආරක්ෂාවක් වැනිය.

එහෙත් ආයුෂ ගෙවුණු තැනැත්තාට නොනැසී සිටීමට මෙය උපකාරී නොවෙයි. වියළි දිරා ගිය ගසකට පැන් වත් කළත් දළු නොදමන්නාක් මෙනි. ලෝකයෙහි කොපමණ බෙහෙත් වර්ග තිබුණත් ආයුෂ පිරිහුණු තැනැත්තාට ඒවායින් ප්‍රයෝජනයක් නොවන්නාක් මෙනි. එසේම පිරිතෙන් සියලු දෙනාම ආරක්ෂා නොවෙයි. සමහරුන්‍ට ආරක්ෂාව ලැබෙයි. සමහරුන්‍ට ආරක්ෂාව නොලැබෙයි. උපමාවකින් කිවහොත් ආහාරය කෙනෙකුගේ ජීවිතය ආරක්ෂා කරයි. යම් කෙනෙක් එය වැඩිපුර අනුභව කර අජීර්ණ වුවහොත් එයින් ඔහු මියයාමටද ඉඩ ඇත. මෙසේම අකුසල් කරන, කෙලෙස් භරිත, ධර්මය කෙරෙහි විශ්වාසයක් නැති පුද්ගලයන්ට පිරිතෙන් ආරක්ෂාවක් නොලැබෙයි.

Saturday, September 30, 2023

මරණභය ප්‍රශ්නය

 



මිලිඳු රජු -

ස්වාමීනිබුදුපියාණෝ “සියලු සත්වයෝ මරණයට බිය වෙති” යයි වදාළහ. එසේනම් නැවත රහතන් වහන්සේලා මරණයට බිය නැතැයි වදාළේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජචතුරාර්‍ය සත්‍යය නොදුටු කෙලෙස් සහිත සත්වයන්ට මරණය බිය ජනකය. සමහරු සර්පයාට බිය වෙති. සමහරු සිංහයාට බිය වෙති. සමහරු හස්තියාටවලසාට බිය වෙති. එසේ සිදුවන්නේ මරණයට ඇති බිය නිසාය. මමමාගේ යන වැරදි දැකීම ඔවුන් තුළ ඇති නිසාය. හාත්පසින් ගිනිගෙන ඇවිළෙන භයානක නරකයෙහි සිටිනඑයින් මිදීමට කැමති නිරිසත්තු පවා මරණයට තැති ගනිති. කෙනෙකුට සර්පයෙක් දෂ්ට කළ විට වෙදදුරෙක් මන්ත්‍ර බලයකින් සර්පයා අල්වා ගෙන අවුත් සර්පයා ලවා විෂ උරවාලයි. මෙසේ තමන්ගේ සුව පිණිස ළඟට ගෙනා සර්පයාටත් ඒ පුද්ගලයා බිය වන්නාක් මෙනි.

එහෙත් ධම්මපදයේ එන “සියලු සත්වයෝ මරණයට බිය වෙති” යන වචනය රහතන් වහන්සේලා උදෙසා අනුචිතය. නොගැළපෙයි. සියලු කෙලෙස් නැසූ උන්වහන්සේලා මරණයට බිය නොවෙති. එයට හේතුව කිසිවක් මමමාගේ වශයෙන් නොගැනීමයි.

Thursday, September 21, 2023

විවේක ගුණ ප්‍රශ්නය


විවේක ගුණ ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනිබුදුපියාණන් පාරිලෙය්‍ය වනයෙහි තුන් මාසයක් විවේකීව වැඩ සිටියේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජබුදුපියාණන් විසින් කළ යුතු යමක් වූයේ නම්වැඩිය යුතු යමක් වුයේ නම් ඒ සියල්ල බෝධි මූලයෙහිදී කර අවසන් විය. එහෙත් බුදුපියාණෝ තුන් මාසයක් විවේකීව ගත කළහ. සියලුම තථාගතයන් වහන්සේලා විවේකය කැමති වෙති. විවේකය ආයු වඩයි. ශරීර බලය දෙයි. කම්මැලිකම නැති කරයි. වීර්‍ය උපදවයි. සිත එකඟ කරයි. සිත සතුටු කරයි. විශේෂයෙන්ම තථාගතයන් වහන්සේලා විවේකයට කැමති වන්නේ එම කාලය තුළ නිවන් සැපය සහ සමාපත්ති සුවය විඳිය හැකි නිසාය. විවේකය සියලු බුදුවරයන් විසින් ප්‍රශංසා කරන ලද්දකි

Sunday, September 10, 2023

ශාසනායු ප්‍රශ්නය



ශාසනායු ප්‍රශ්නය
මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ ආනන්ද තෙරුන්ට පන්දහසක් අවුරුදු සද්ධර්මය පවතින්නේය යයි වදාළහ. එසේනම් සුභද්‍ර පරිබ්‍රාජකයාට පිරිනිවන් පාන සමයෙහි “මාගේ ශාසනයෙහි භික්ෂුහු මනා ලෙස ප්‍රතිපත්තියෙහි යෙදෙන්නේ නම් රහතුන්ගෙන් ලෝකය හිස් නොවෙයි.” යයි වදාළේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, බුදුපියාණෝ “ආනන්දයෙනි, කාන්තාවන් ශාසනයේ පැවිදි නොවුයේ නම් දස දහසක් අවුරුදු සද්ධර්මය පවතියි. දැන් සද්ධර්මය පවතින්නේ අවුරුදු පන් දහසක් පමණි” යයි වදාළහ. මෙහිදී බුදුපියාණෝ ශාසනයේ විනාශය ද, ඉතිරිවූ ශාසනායුෂය ද දෙවි මිනිසුන්ට වදාළහ. උපමාවකින් කිවහොත් යම්කිසි විපතකින් වස්තුව විනාශ වූ මිනිසෙක්” මාගේ මෙපමණ වස්තුව නැතිවී ගියේය. ඉතිරුවූ වස්තුව මෙපමණය” යයි පෙන්වා කියන්නාක් මෙනි. එසේම සුභද්‍ර පරිබ්‍රාජකයාට “මාගේ භික්ෂුහු මනා ලෙස වාසය කරන්නේ නම් (සීල සමාධි ප්‍රඥාවෙහි හැසිරෙන්නේ නම්) ලෝකය රහතුන්ගෙන් හිස් නොවෙයි” යයි නිර්මල වූ ශාසන ප්‍රතිපත්තිය දක්වා වදාළහ. සිහිල් ජලයෙන් පිරුණු විලක් ඇත්නම් නිරතුරු වසිනා වැස්සෙන් එය නිතර පිරේ නම් ඒ විලේ වතුර නොසිඳෙන්නාක් මෙනි. ඇවිළෙන ගිනි ගොඩකට නැවත නැවතත් වියළි තණකොළ, ගොම වැරටි දැමූ විට වඩ වඩාත් එය ඇවිළෙන්නාක් මෙනි. නොනිමෙන්නාක් මෙනි. මෙසේ සම්බුදු සසුන ප්‍රතිපත්තිය මුල් කර පවතියි. බබළයි.
බුදු පියාණන් පිරිනිවී කාලයක් යන තුරු භික්ෂුහු රහත් බව ලබති. කල්‍ යාමේදී එසේ නොහැකිව අනාගාමී වෙති. සකෘදාගාමී වෙති. සෝවාන් වෙති. අවසන් සෝවාන් ලාභියාගේ ජීවිතය ක්ෂය වීමෙන් ධර්මය අවබෝධ කර ගැනීම හෙවත් අධිගමනය අතුරුදහන් වෙයි. පසුව භික්ෂුහු භාවනා කර මාර්ගඵල උපදවා ගත නොහැකිව සීලය පමණක් රක්ෂා කරති. ඉන්පසුව ශික්ෂාපද පමණක් රකිති. කල්‍ යාමේදී කුඩා කුඩා ශික්ෂාපදද කඩ කරති. වරද දුටු කල එකිනෙකාට චෝදනා නොකරති. මෙසේ සමථ විදර්ශනා ආදී භාවනා නොකරන සිල් පිරිසිදු නොකරන භික්ෂුහු ඇති වෙති. ඔවුන්ගේ ශිෂ්‍ය හිමිවරුද සිල් රැකීමට භාවනා කිරීමට අසමත් වෙති. එහෙත් උපසම්පදාව ලබති. පාපයට බැස සිටින එම භික්ෂුහු ධර්මයට කන් නොදෙන අතර ධර්මය තේරුම් නොගනිති. නූගත යුතු දේ උගන්නා අතර ධර්මය උගත යුතු බව, භාවිතා කළ යුතු බව නොසලකති. ශාසනය ලිහිල් කොට ගෙන සිව්පසය වැඩි කර ගැනීම පිණිස පිළිපදිති. ඔවුන්ගෙන් අන්තිම භික්ෂුවගේ ජීවිතය ක්ෂය වීමෙන් ප්‍රතිපත්තිය හෙවත් ධර්මය පිළිපැදීම අතුරුදහන් වෙයි.

අනාගතයේ රජදරුවෝ, ඇමතිවරු සහ රටවැසියෝ අධර්මිෂ්ඨ වෙති. කලට වැසි නොලැබෙයි. ගොවිතැන් පාලු වෙයි. සිවුපසය දිය නොහැකි වෙයි. ක්ලාන්ත වන භික්ෂුහු බුද්ධ වචනය උගන්වන්නට අසමත් වෙති. තමාටත් මතක තබා ගැනීමට අසමත්ව අටුවා හැර පාලි ධර්මය දරති. පාලි ධර්මයද දැරිය නොහැකි වෙති. අභිධර්ම පිටකය පිරිහෙයි. විනයත් පිරිහෙයි. යම්කිසි දිනෙක ධර්මිෂ්ට රජෙක් දහසින් බැඳි පියල්ලක් ඇතෙකු පිට තබා “බුදු දහමින් සතර පදයක බණ කියා මේ සියලු වස්තුව ගන්න” යයි තුන්වරක් නුවර වටේ යවාත් ධර්මය දන්නා කෙනෙක් නොලදින් මහා ශෝකීව හඬයි. ඒ දවස පර්‍යාප්තිය හෙවත් ධර්මය ඉගෙනීම අතුරුදහන් වෙයි.
කල්‍ යාමේදී මහණහූ කුඩා කහ පාට රෙදි කැබැල්ලක් හිසේ, අතේ හෝ බෙල්ලේ බැඳගෙන “අපි උපසම්පන්නයම්හ” යයි කියමින් අඹුදරුවන් සමඟ කෘෂිකර්මයෙන්, වෙළෙඳාමෙන් ජීවත් වෙති. මිනිස්සු ඒ දුසිල් පවිටු මහණුන්ට කුසල් පතා සාංඝික කර දානය දෙති. එයද අනුසස් සහිතය. පසුව නොයෙක් වැඩවල යෙදෙන්නාවූ ඔවුහු මේ කහකඩින් වැඩක් නැතැයි එය කඩා දමති. ඒ දවස මහණ වේෂය අතුරුදහන් වෙයි.

බුදුපියාණන්ගේ ශාරීරික ධාතු පන්දහසක් අවුරුදු පවතියි. පූජා සත්කාර නොලබන්නා වූ ධාතුන් වහන්සේලා බුදුපියාණන්ගේ අධිෂ්ඨාන බලයෙන් පූජා සත්කාර ලැබෙන තැනට අහසින් වඩිති. කල් යාමේදී සෑම තැනම පූජා සත්කාර නොලැබෙයි. එකල ලෝ වැඩ පිණිස විසිර පවත්නට අධිෂ්ඨාන කළ සියලු ධාතුන් වහන්සේ මහ බෝමැඩට වැඩ, බුද්ධ රූපයක් මැවෙයි. ඒ දකින දෙව් බඹහු “අද බුදුපියාණන්ගේ ධාතු පරිනිර්වාණය සිදුවන්නේය” යයි මහත් සංවේගයට පැමිණ නොයෙකුත් පුද පූජා පවත්වති. එවිට බුදුපියාණන්ගේ අධිෂ්ඨාන බලයෙන් එයින් නැගෙන ගින්නෙන් හැම ධාතු ආදාහනය කරයි. ඒ දවස ශාසනායුෂය ගෙවෙයි.

Saturday, August 19, 2023

දේවදත්ත ප්‍රවුජ්‍යා ප්‍රශ්නය.


දේවදත්ත ප්‍රවුජ්‍යා ප්‍රශ්නය.

මිලිඳු රජු -

ස්වාමීනිදේවදත්ත පැවිදිව සංඝ භේදය කර කල්පයක් මුළුල්ලෙහි අවීචි මහා නරකයෙහි පැසෙන බව දැන දැනත් ඔහු පැවිදි කළේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජදේවදත්ත පැවිදි නොවී ගිහිව සිටියේ නම් බොහෝ අකුසල් කර කල්ප කෝටි ගණන් නරකයෙන් නරකයට වැටෙමින් අප්‍රමාණ දුක් විඳින බව දිවැසින් දැක තමාගේ සසුනෙහි පැවිදි වූ අයට දුක් කෙළවර වන නිසා කරුණාවෙන් ඔහු පැවිදි කළ සේක. බලවත් පුරුෂයෙක් තමාගේ නෑයෙකුට හෝ මිතුරෙකුට රජ කෙනෙකුගෙන් දැඩි දඬුවමක් ලැබුණු විට කරුණු කියා දඬුවම සැහැල්ලු කර දෙන්නාක් මෙන් ඔහුට උරුම වීමට තිබූ බලවත් දුක් සැහැල්ලු කළ සේක. දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් මහත්වූ රෝගයක් ඖෂධ බලයෙන් අඩුකර දෙන්නාක් මෙන් ඔහුට විඳීමට තිබූ බලවත් දුක් අඩුකර දුන් සේක.

ඒ දෙව්දත් තෙරද පෙර වෛරය නිසා බුදුපියාණන් මැරීමට නොයෙක් උත්සාහ ගෙන ඒ නොහැකිවූ තැන සංඝ භේදයද කර මියයන මොහොතෙහි බුදුගුණ සිහි කළේය. “ස්වාමීනිමාගේ ලොව්තුරා බුදුපියාණෙනිඔබවහන්සේට අපරාධ කර මා කෙරෙහිද අංගුලිමාල කෙරෙහි දැක්වූනාලාගිරි ඇත්‍ රජ කෙරෙහි දැක්වූරාහුල කුමරු කෙරෙහි දැක්වූ කරුණාව දක්වනු මැනවි. මම සුදොවුන් මහ රජුට බෑණනුවන් වීමි. යශෝධරාවන්ට සහෝදරයා විමි. රාහුල කුමරුවන්ට මාමා වීමි. මේ නිසා මස් නරක (නිරා) දුකින් ගලවා ගත මැනව” යයි කියා බුදුන් සරණ ගියේය. මේ නිසා ඔහු මතු දිනක අවීචියෙන් මිදී සට්ඨිස්සර නම් පසේ බුදු කෙනෙක් වෙයි.

මහරජමෙසේ බුදුපියාණෝ ජල පහරට අසුව පහළ බලා යන දෙව්දත් උඩු ගඟ බලා හැරවූ සේක. අමාර්ගයට පැමිණි දෙව්දතුන් මාර්ගයට පැමිණ වූ සේක. ප්‍රපාතයක වැටී සිටි දෙව්දතුන්ට පිහිට වූ සේක.

Thursday, August 17, 2023

ආවර්ජනා ප්‍රතිබද්ධ ප්‍රශ්නය


ආවර්ජනා ප්‍රතිබද්ධ ප්‍රශ්නය.
මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණන් සියල්ල දන්නේ නම් සමහර දේවල් ටික වේලාවක් මෙනෙහි කර පවසන්නේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, බුදුවරු දත යුතු සියල්ල දනිති. බුදුවරුන්ගේ සිත අතිපිරිසිදු නිසා, වේගවත් නිසා ඕනෑම දෙයක් වහා සිහි කළ හැකිය. යමා මහ පෙළහර පෑමේදී ශරීරයෙන් ගින්දර සහ ජලය එකවර නිකුත් වන්නා සේ පෙනෙන්නේ සිතේ ඇති වේගවත් බව නිසාය. එහෙත් සැබැවින්ම සිදු වන්නේ එක සිතකින් ගින්දරත් අනෙක් සිතකින් ජලයත් පිටකිරීමයි.

මහරජ, බුදුවරු සමහර දේවල් ටික වේලාවක් මෙනෙහි කර දැන ගන්නා බව සත්‍යය. සියල්ල වහා නොදකින බව සත්‍යය. පිහිට විය යුත්තන් සොයා යන්නේද දිනපතා අලුයම මහා කරුණා සමාපත්තියට සමවැදීමෙනි. මෙසේ මෙනෙහි කිරීම සඳහා බුදුපියාණන්ට ගත වන්නේ ඉතා සුළු කාලයකි. හකුළුවන ලද අතක් දික් කිරීමට ගතවනවාටත් වඩා සුළු කාලයකි. දික් කරන ලද අතක් හකුළුවන්නට ගතවනවාටත් වඩා අඩු කාලයකි. එක් අතක ඇති දෙයක් අනෙක් අතට ගැනීමට ගතවන කාලයටත් වඩා සුළු කාලයකි. ඇසි පිය හැරීමට ගතවනවාටත් වඩා සුළු කාලයකි. එසේ සුළු කාලයක් මෙනෙහි කර අතීතය, අනාගතය, වර්තමානය සම්බන්ධ ඕනෑම දෙයක් වදාරණ සේක.

බුදුවරුන්ට මෙසේ මෙනෙහි කළ හැක්කේ බුදුවරයකුගේ සිත රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කිලිටි වී නැති බැවිනි. පෘථග්ජන මිනිසුන්ට මෙසේ මෙනෙහි කළ නොහැක්කේ ඔවුන්ගේ සිත් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් වසා ගෙන ඇති බැවිනි

Monday, April 4, 2022

මිලින්ද ප්‍රශ්නය,



බුද්ධ පරිනිර්වාණයෙන් වසර පන්සියයක් ගත වූ තැන හමු වූ මිළිඳු රජු ගී‍්‍රක ජාතිකයෙකු වන අතර, මොහුගේ වීමංසනශීලි කුසලතාව ඉතා අගනේ ය. කරුණු ඉස්මතු කිරීමෙහිලා, ප්‍රශ්න කිරීමෙහිලා, වාද නැංවීමෙහිලා මෙම රජු තුළ ඇති දක්ෂතාවය අති දක්ෂ ය. නාගසේන මහරහතන් වහන්සේගෙන් රජතුමා මෙසේ ඇසී ය.

“ස්වාමීනි, නාගසේනයන් වහන්ස, තථාගතයන් වහන්සේ සියලු අකුසල් දවා සර්වඥ බවට පැමිණි සේක් ද, නැතහොත් අකුසලයන් ඉතිරි ව තිබිය දී සර්වඥ බවට පැමිණි සේක් ද?”

“මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ සියලු අකුසල් දවා සර්වඥ බවට පත් වූ සේක. භාග්‍යවතුන් වහන්සේට ඉතිරි වූ අකුසල් නැත්තේ ය”. 

“ස්වාමීනි, තථාගතයන් වහන්සේගේ කයෙහි දුක් වේදනා උපන්නේ ද? 

“එසේ ය. මහරජාණෙනි, රජගහ නුවර දී භාග්‍යවතුන් වහන්සේගේ පාදයෙහි ගල් පතුරක් වැදුණේ ය. එමෙන් ම ලෝහිත පක්ඛන්දිකා නම් රෝගය ද උපන්නේ ය. උන්වහන්සේගේ කයෙහි දොස් කිපී ජීවක වෛද්‍යවරයා විසින් විරේක කරන ලද්දේ ය. වාතාබාධයක් හට ගත්තේ ය.“ 

නාගසේනයන් වහන්ස, තථාගතයන් වහන්සේ සියලු අකුසල් දවා සර්වඥ බවට පැමිණි සේක් නම්, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේගේ පාදය ගල් පතුරකින් තුªවාල වීම, ලෝහිත පක්ඛන්දිකා රෝගාබාධය වැළඳීම යන වචනයක් ඇද්ද, එය බොරුවකි. තථාගතයන් වහන්සේගේ පාදය ගල් පතුරකින් තුවාල වූයේ නම්, ලෝහිත පක්ඛන්දිකා රෝගයත් වැළඳුණේ නම්, එකරුණෙන් තථාගතයන් වහන්සේ සියලු අකුසල් දවා සර්වඥ බවට පැමිණි සේක් ය යන වචනය බොරුවක් වෙයි. එය ඔබ වහන්සේ විසින් එය සංසිදවිය යුත්තේ ය.” 

“මහරජාණෙනි, ඒ විඳිය යුතු සියල්ල කර්මය මුල් වූයේ නොවෙයි. මහරජාණෙනි, යම් කරුණකින් බොහෝ සත්වයෝ වේදනා විඳිත් නම්, අට කරුණකින් වේදනාවෝ උපදිති. ඒ කවර කරුණු අටක් ද යත්, මහරජාණෙනි, ඇතැම් විඳීම් වාතය කිපීමෙන් හටගන්නේ වෙයි, ඇතැම් විඳීම් පිත කිපීමෙන් හටගන්නේ වෙයි, ඇතැම් විඳීම් සෙම කිපීමෙන් හටගන්නේ වෙයි, ඇතැම් විඳීම් වා, පිත්, සෙම් තුන කිපීමෙන් හටගන්නේ වෙයි, ඇතැම් විඳීම් උපක්‍රමයෙන් හටගන්නේ වෙයි, ඇතැම් විඳීම් කර්ම විපාකයෙන් හටගන්නේ වෙයි. මහරජාණෙනි, මේ කරුණු අටෙන් බොහෝ සත්වයෝ වේදනා විඳිති. එහිලා යම් මේ පුද්ගලයෝ සත්වයන් කර්මය ම විඳවන්නේ යැයි කියත් නම්, ඔවුහු මේ සත් කරුණෙන් විඳින පුද්ගලයන් බැහැර කරති. ඔවුන්ගේ ඒ වචනය බොරු වේ. “ 

“ස්වාමීනි, යමක් වාතයෙන් ද, යමක් පිතෙන් ද, යමක් සෙමෙන් ද, යමක් වා, පිත් සෙමෙන් ද, යමක් ඍතු විපර්යාසයෙන් ද, යමක් විෂම පරිහරණයෙන් ද, යමක් උපක්‍රමයෙන් ද, හටගන්නේ නම්, ඒ සියල්ල කර්මයෙන් ම හටගන්නේ ය. ඒ සියල්ල කර්මයෙන් ම උපදින්නේ ය.”

ඒ සියල්ලක් කර්මයෙන් ම හටගන්නා රෝගාබාධ නම් ඒවායෙහි කොටස් වශයෙන් ලකුණු පහළ නොවෙති. වාතය කිපෙන විට දස අයුරකින් කිපෙයි. සීතලෙන් ද, උෂ්ණයෙන් ද, බඩගින්නෙන් ද, පිපාසයෙන් ද, බොහෝ කොට කෑමෙන් ද, සිටින තැනින් ද, අධික වීර්යයෙන් ද, වේගවත් ගමනින් ද, උපක්‍රමයෙන් ද, කර්ම විපාකයෙන් ද වෙයි. එහිලා යම් ඒ කර්ම විපාකය හැර නව කරුණක් ඇද්ද? ඒවා අතීතයටත් අයත් නැත. අනාගතයටත් අයත් නැත. වර්තමාන භවයෙහි උපදියි. එහෙයින් සියලු විඳීම් කර්මයෙන් හටගන්නේ යැයි නො කිව යුත්තේ ය. මහරජාණනි, පිත කිපෙන විට තුන් අයුරින් කිපෙයි. සීතලෙන්, උෂ්ණයෙන් හා විෂම භෝජනයෙන් ය. සෙම කිපෙන විට තුන් අයුරින් කිපෙයි. සීතලෙන්. උෂ්ණයෙන් හා ආහාර පානයෙන් ය. 

මහරජාණෙනි, යම් වාතයක්, යම් පිතක්, යම් සෙමක් ඇද්ද, ඒ කිපෙන දෙයින් කිපී මිශ්‍ර වී එක එක විඳීම් හටගනියි. ඍතු විපර්යාසයෙන් හටගන්නා විඳීම් ඒ ඍතු විපර්යාසයෙන් ම උපදියි. විෂම පැවැත්මෙන් හටගන්නා විඳීම් විෂම පැවැත්මෙන් ම උපදියි. උපක්‍රමයෙන් කෙරෙන විඳීම් ඇත්තේ ය. ක්‍රියා ඇත්තේ ය. කර්ම විපාක ඇත්තේ ය. කර්ම විපාකයෙන් හටගත් විඳීම් පෙර කරන ලද කර්මයෙන් උපදියි. මෙසේ කර්ම විපාකයෙන් හටගත් විඳීම් ඇත්තේ ස්වල්පයකි. බහුතරයක් අවශේෂ විඳීම් ය. 

මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේගේ පාදය ගල් පතුරකින් තුවාල වුණේ ය යන යමක් ඇද්ද, එය වාතය කිපීමෙන්, පිත කිපීමෙන්, සෙම කිපීමෙන්, සන්නිපාතයෙන්, ඍතු පරිණාමයෙන්, විෂම පැවැත්මෙන්, කර්ම විපාකයෙන් හටගත් වේදනාවක් නොවෙයි. උපක්‍රමයෙන් හටගත් එකකි. 

මහරජාණෙනි, දේවදත්තයා බොහෝ ජාති ලක්ෂ ගණනක් තථාගතයන් වහන්සේ කෙරෙහි වෛර බැඳ පැමිණියේ ය. ඔහු ඒ බද්ධ වෛරයෙන් මහත් වූ ගලක් ගෙන මුදුනෙහි හෙළන්නෙමි යි මුදා හැරියේ ය. එකල්හි ගල්දෙකක් පැන නැගී තථාගතයන් වහන්සේ වෙත නො පැමිණ ම වැළැක්වූණේ් ය. ඒ ප්‍රහාරයෙන් බිඳී ගිය ගල් පතුරක් භාග්‍යවතුන් වහන්සේගේ පාදයෙහි වැදීි ලේ ඉපැද්දවූයේ ය. භාග්‍යවතුන් වහන්සේ ගේ කර්ම විපාකයකින්, ක්‍රියාවකින් මේ වේදනාව උපන්නේනම් අනෙක් වේදනාවක් නැත්තේ ය. මහරජාණෙනි, කුඹුරක් නිසරු නිසා හෝ, නිසරු බීජයක් නිසා හෝ යහපත් සේ බීජය හට නො ගන්නේ ය. එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේගේ කර්ම විපාකයකින්, ක්‍රියාවකින්, මේ වේදනාව උපන්නේ නම්, අනෙක් වේදනාවක් නැත්තේ ය. කුසෙහි නපුරු බවින් හෝ ආහාරයෙහි නපුරු බවින් හෝ වැළඳූ දෙය විෂම බවට යන්නේ ය. එසෙයින් ම මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේගේ කර්ම විපාකයකින් ක්‍රියාවකින්, මේ වේදනාව උපන්නේ නම්, අනෙක් වේදනාවක් නැත්තේ ය. 

මහරජාණෙනි ,භාග්‍යවතුන් වහන්සේ හට පෙර කර්මයෙන් හටගත් වේදනා නැත්තේ ය. විෂම පැවැත්මෙන් හටගත් වේදනා නැත්තේ ය. ඉතිරි කරුණෙන් භාග්‍යවතුන් වහන්සේට වේදනා උපදියි. ඒ වේදනාවන්ගෙනුත් භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය තොර කරන්නට හැකියාවක් නැත්තේ ය. 

මහරජාණනි, මේ සතර මහා භූතයන්ගෙන් හටගත් කයෙහි ඉෂ්ට,අනිෂ්ට , සුබ, අසුබ විඳීම් හටගනියි. මහරජාණෙනි, අහස දෙසට දැමූ ගල් කැටය මහපොළොවට වැටෙයි. ඒ ගල් කැටය මහපොළොවට වැටෙන්නේ පෙර කළ කර්මයක් නිසා ද?

“නැත ස්වාමීනි, යම් හේතුවකින් මහා පෘථිවිය කුසලාකුසල විපාක විඳියි නම් එබඳු හේතුවක් මහා පෘථිවියට නැත්තේ ය. ස්වාමීනි, වර්තමානයෙහි කර්මයක් නැති හේතුවෙන් ඒ ගල් කැටය මහා පෘථිවියට වැටෙයි”. “මහරජාණෙනි, මහා පෘථිවිය යම් සේ ද, තථාගතයන් වහන්සේ දත යුත්තේ එසේ ය. පෙර කර්මයෙන් නො කරන ලද ගල් කැටය මහා පෘථිවියට වැටෙන්නේ යම් සේ ද, එසේම තථාගතයන් වහන්සේ පෙර නො කරන ලද කර්ම ඇතත් ඒ ගල්පතුර පාදයෙහි වැදුණේ ය. 

මහරජාණෙනි, මිනිසුන් මේ මහා පෘථිවිය බිඳිති. සාරති. එනමුත් ඒ මිනිස්සු පෙර කරන ලද කර්මයකින් මහා පොළොව බිඳිත් ද, සාරත් ද? 

“නැත, ස්වාමීනි.” 

“එසෙයින් ම මහරජාණනි, තථාගතයන් වහන්සේ පෙර නො කරන ලද කර්ම ඇත්තේ ද ඒ ගල්පතුර පාදයෙහි වැදුණේ ය. භාග්‍යවතුන් වහන්සේට යම්, ලෝහිත පක්ඛන්දිකා රෝගාබාධයක් උපන්නේ ද, ඒ ආබාධයත් පෙර කරන ලද කරුමයකින් නූපන්නේ ය. වා, පිත්. සෙම් කිපීමෙන් ම උපන්නේ ය.

මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේට යම්කිසි කායික රෝගාබාධයෝ උපන්නාහු නම්, ඒවා කර්ම විපාකයෙන් උපන්නාහු නො වෙති. මේ අනිත් කරුණු සයෙන් උපන්නාහු වෙති. 

Thursday, March 31, 2022

මිලින්ද ප්‍රශ්නය



බුද්ධ පරිනිර්වාණයෙන් වසර පන්සියයක් ගත වූ තැන මිළිදු රජුගේත්, නාගසේන මහරහතන් වහන්සේගේත් ධර්ම සංවාදය සිදුවිය. මිළිඳු රජු මෙසේ ඇසුවේ ය.

ස්වාමිනි, නාගසේනයන් වහන්ස, තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරණ ලද්දේ ය.

ආනන්දයෙනි, ඔබ තථාගතයන් වහන්සේගේ ශරීර පූජාවෙන් යෙදී වාසය නො කරව් යනුවෙනි.

නැවතත් මෙසේත් වදාරන ලද්දේ ය. “පිදිය යුතු තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේ පුදව්! මෙසේ කරන්නා වූ නුවණැත්තෝ මිනිස් ලොවින් ස්වර්ගයට යන්නාහු ය” යනුවෙනි

”ස්වාමිනි, තථාගතයන් වහන්සේ විසින් ‘ආනන්දයෙනි, ඔබ තථාතයන් වහන්සේගේ ශරීර පූජාවෙන් යෙදී වාසය නො කරව්!’ යනුවෙන් වදාරන ලද්දේ නම්, ඒ කරුණෙන් පිදිය යුතු තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පුදව්! මෙසේ කරන්නා වූ නුවණැත්තෝ මිනිස් ලොවින් ස්වර්ගයට යන්නාහු ය’ යනුවෙන් වදාළ වචන බොරුවක් වෙයි.

ස්වාමිනි, පිදිය යුතු තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පුදව් මෙසේ කරන්නා වූ නුවණැත්තෝ මිනිස් ලොවින් ස්වර්ගයට යන්නාහු ය’ යනුවෙන් වදාරන ලද්දේ නම්, එකරුණෙන් ආනන්දයෙනි, ඔබ තථාගතයන් වහන්සේගේ ශරීර පූජාවෙහි යෙදී වාසය නො කරව්!’ යනුවෙන් වදාළ වචනය බොරුවක් වෙයි.

මෙය උභතෝකෝටික ප්‍රශ්නයකි. ඔබ වහන්සේ විසින් එය සංසිඳවිය යුත්තේ වේ.

මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලද්දේ ම ය. ‘ආනන්දයෙනි, ඔබ තථාගතයන් වහන්සේගේ ශරීර පූජාවෙහි යෙදී වාසය නො කරව්! යනුවෙනි. එමෙන් ම මෙයත් වදාරන ලද්දේ ය. ‘පිදිය යුතු තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේ පුදව්! මෙසේ කරන්නා වූ නුවණැත්තෝ මිනිස් ලොවින් ස්වර්ගයට යන්නාහු ය’. යනුවෙනි.

’ආනන්දයෙනි, ඔබ තථාගතයන් වහන්සේගේ ශරීර පූජාවෙන් යෙදී වාසය නො කරව්!’ යනුවෙන් සියලු ම ජින පුත්‍රයන් වහන්සේලා උදෙසා වදාරන ලද්දේ නොවෙයි. මහරජාණෙනි, යම් මේ ආමිස පූජාවක් ඇද්ද, මෙය ජින පුත්‍රයන් වහන්සේලාගේ කටයුත්තක් නොවෙයි. සංස්කාරයන්ගේ අනිත්‍ය බව නුවණින් මෙනෙහි කිරීමත්, බුද්ධ වචනයට අනුව නුවණ යොදා මෙනෙහි කිරීමත්, සතිපට්ඨානයම වැඩීමත්, සමථ විදර්ශනා අරමුණෙහි සාරය ගැනීමත්, ක්ලේශ යුද්ධයත්, මාර්ගඵලාවබෝධයෙහි යෙදීමත් යන මෙය ජින පුත්‍රයන් වහන්සේලා විසින් කළ යුතු දෙයයි. අවශේෂ පුද පූජා ආදිය දෙව් මිනිසුන් විසින් කළ යුත්තේ ය.

මහරජතුමනි, මහා පෘථිවියෙහි රජ දරුවන් විසින් හස්ති ශිල්ප, අශ්ව ශිල්ප, රථ ශිල්ප, දුනු ශිල්ප, ලේඛන, මුද්‍රා, කඩු ශිල්ප, සම්මුති ශිල්ප, ක්ෂත්‍රීය මන්ත්‍ර, යුද්ධ ප්‍රයෝග ක්‍රියා කළ යුත්තේ ය. අවශේෂ වෛශ්‍ය කුලයෙහි ශුද්‍ර කුලයෙහි අය විසින් කෘෂිකර්මයත්, වෙළෙදාමත් ගවයන් රැකීමත් කළ යුත්තේ ය.

මහරජාණෙනි, යම් මේ ආමිස පූජාවක් ඇද්ද, මෙය ජින පුත්‍රයන් වහන්සේලාගේ කටයුත්තක් නොවේ. සංස්කාරයන්ගේ අනිත්‍ය බව නුවණින් මෙනෙහි කිරීමත් , බුද්ධ වචනයට අනුව නුවණ යොදා මෙනෙහි කිරීමත්, සතිපට්ඨානය වැඩීමත් සමථ, විදර්ශනා අරමුණෙහි සාරය ගැනීමත්, ක්ලේශ යුද්ධයත්, මාර්ගඵලාවබෝධයෙහි යෙදීමත් යන මෙය ජින පුත්‍රයන් වහන්සේලා විසින් කළ යුතු දෙය යි. අවශේෂ පුද පූජා ආදිය දෙව් මිනිසුන් විසින් කළ යුත්තේ ය.

මහරජාණෙනි, බ්‍රාහ්මණ මානවකයන් විසින් සෘග් වේදය, යජුර් වේදය, සාම වේදය, අථර්වන් වේදය ලක්ෂණ ශාස්ත්‍රය, වෙය්‍යාකරණ, උල්පාත, ස්වප්න, නිමිති, චන්ද්‍ර ග්‍රහණ, සූර්ය ග්‍රහණ, අහස ගෙරවීම, පෘථිවි කම්පා, නැකත්, ඡ්‍යොතිෂ, ශාස්ත්‍ර, පලාපල කීම ආදියෙහි හික්මීම කළ යුත්තේ ය. අවශේෂ කෘෂිකර්මය, වෙළෙදාම, ගව පාලනය, ආදියට වෛශ්‍ය, ශුද්‍ර‍්‍රයන් විසින් කළ යුත්තේ ය.

එසෙයින් ම මහරජාණෙනි, යම් මේ ආමිස පූජාවක් ඇද්ද, මෙය ජින පුත්‍රයන් වහන්සේලාගේ කටයුත්තක් නොවෙයි. සංස්කාර අනිත්‍ය බව නුවණින් මෙනෙහි කිරීමත්, බුද්ධ වචනයට අනුව නුවණ යොදා මෙනෙහි කිරීමත්, සතිපට්ඨානය වැඩීමත්, සමථ විදර්ශනා අරමුණෙහි සාරය ගැනීමත්, ක්ලේශ යුද්ධයත්, මාර්ගඵලාවබෝධයෙහි යෙදීමත් යන මෙය ජින පුත්‍රයන් වහන්සේලා විසින් කළ යුතු දෙයයි. අවශේෂ පුද පූජා ආදිය දෙව් මිනිසුන් විසින් කළ යුත්තේ ය.

එහෙයින් මහරජාණෙනි, මේ පුද පූජා කර්මයන්හි නො යෙදෙත්වා!, මේ ප්‍රතිපත්ති පූජා කර්මයන්හි යෙදෙත්වා! යි සලකා ආනන්දයෙනි, ඔබ තථාගතයන් වහන්සේගේ ශරීර පූජාවෙහි යෙදී වාසය නො කරව් යනුවෙන් වදාළහ.

Wednesday, March 30, 2022

මිළින්ද ප්‍රශ්නය

 

මාර බලය පැරද වූ බුද්ධ බලය

මිළින්ද ප්‍රශ්නය වනාහී ඉතා පැරැණිවූත්, සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට ලක් වූත් ග්‍රන්ථ රත්නයකි. මිළිඳු මහරජුගේත්, නාගසේන මහරහතන් වහන්සේගේත් මෙම දුර්ලභ ධර්ම සංවාදය සිදුවී ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පන්සියය වසරක් ගත වූ කල්හි ය. නාගසේන තෙරුන්වහන්සේ මුණගැසුණ මිළිඳු රජු මෙසේ ඇසුවේ ය.

ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ඔබ වහන්සේලා තථාගතයන් වහන්සේ චීවර, පිණ්ඩපාත, සේනාසන , ගිලන්පස බෙහෙත් පිරිකර ආදිය ලබන සේකැ’යි පවසති. නැවතත් ‘තථාගතයන් වහන්සේ පංචසාල බ්‍රාහ්මණ ගමෙහි පිඬු පිණිස පිවිස කිසිවක් නො ලැබ සේදූ හිස් පාත්‍රයෙන් ම නික්ම වැඩි සේකැ’යි පවසති. 

නාගසේනයන් වහන්ස, තථාගතයන් වහන්සේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ආදිය ලබන සේක් නම්, එකරුණින් පංචසාල බ්‍රාහ්මණ ගමෙහි පිඬු පිණිස පිවිස කිසිවක් නො ලැබ හිස් පාත්‍රයෙන් ම නික්ම වැඩි සේක යනුවෙන් පවසන වචනය බොරුවක් වෙයි. 

නැත්නම් තථාගතයන් වහන්සේ පංචසාල බ්‍රාහ්මණ ගමෙහි පිඬු පිණිස පිවිස කිසිවක් නො ලැබ හිස් පාත්‍රයෙන් ම නික්ම වැඩි සේක් නම්, එකරුණෙන් තථාගතයන් වහන්සේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ආදිය ලබන සේක යන වචනය බොරුවක් වෙයි. 

මෙයත් උභතෝකෝටික ප්‍රශ්නයකි. ලෙහෙසියෙන් ලිහා ගත නොහැක්කකි. එය ඔබවහන්සේ වෙත ගෙන ආවෙමි.

“මහරජාණෙනි, තථාගතයන් වහන්සේ චීවර, පිණ්ඩපාත , සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ආදිය ලබන සේක. එමෙන් ම තථාගතයන් වහන්සේ පංචසාල බ්‍රාහ්මණ ගමෙහි පිඬු පිණිස පිවිස කිසිවක් නොලැබ හිස් පාත්‍රයෙන් ම නික්ම වැඩි සේක. එය එසේ වූයේ පාපී වූ මාරයා විසින් කරන ලද්දක් නිසා ය.” 

“එසේ වී නම් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ගණන් කළ නොහැකි තරම් අනන්ත කල්පයක් පුරා රැස්කරන ලද කුසල සම්භාරය කුමක් ද? මද කුසලයකින් උඩට පැමිණි පවිටු මාරයා විසින් ඒ මහා බලයකින් පැතිර තිබුණු කුසල් බලවේගය වසන ලද්දේ ද? නාගසේනයන් වහන්ස, එකරුණෙහිලා දෙතැනක් කෙරෙහි සැකයක් උපදියි. 

එනම් ,කුසලයට වඩා අකුසලය බොහෝ බලවත් ය, යන්න එක් තැනකි. බුද්ධ බලයට වඩා මාර බලය බොහෝ බලවත් ය යන්න අනෙක යි. 

”මහරජාණෙනි, යම් සේ සක්විති රජු හට පුරුෂයෙක් මී පැණි හෝ පිඬු හෝ අන්‍ය වූ රාජ පඬුරක් ගෙන එයි. එකල්හි රජුගේ දොරටුපාලයා ඔහු කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් ඔහුට මෙසේ කියයි. “භවත, මේ රජු දැකීමට කාලය නො වෙයි. එහෙයින් භවත, රජු තොපට දඬුවම් පමුණුවන්නට කලින් ඔබගේ රාජ පඬුර ගෙන වහා හැරී යව.

එවිට ඒ පුරුෂයා දොරටු පාලයාගේ බොරු බස අසා දණ්ඩන භයෙන් තැතිගෙන, උද්වේගයට පැමිණ රාජ පඬුර ද ගෙන වහා හැරී යයි.

මහරජාණෙනි, කිම සක්විති රජතුමා එපමණක් වූ රාජ පඬුරක් නො ලැබීම හේතුවෙන් දොරටු පාලයාට වඩා බලවත් ලෙස දුර්වල කෙනෙක් වෙයි ද?” වෙනත් කිසි රාජ පඬුරක් නො ලබන්නේ ද?”

“නැත, ස්වාමීනි, ඒ දොරටු පාලයා ඊර්ෂ්‍යාවෙන් රාජ පඬුර වැළැක්වූයේ ය. නමුත් වෙනත් දොරටුවලින් රජු කරා සිය දහස් ගුණයෙන් රාජ පඬුරු පැමිණෙයි” 

එසෙයින් ම මහරාජාණෙනි, ඊර්ෂ්‍යාවෙන් පෙළී ගිය පවිටු මාරයා පංචසාල ගමෙහි දී බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවේශ වූයේ ය. එනමුත් අන්‍ය වූ අනේක ලක්ෂ ගණන් දෙවිවරු අමෘතය වූ දිව්‍ය ඕජස් ගෙන එතැනට පැමිණියාහු ය. භාග්‍යවතුන් වහන්සේගේ කයෙහි දිව්‍ය ඕජස් බහලන්නෙමු යි භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරමින් ඇඳිලි බැඳ සිටියාහු ය.” 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, එකරුණ එසේම වේවා! ලොවෙහි මහා පුරුෂ රත්නය වූ භාග්‍යවතුන් වහන්සේට සිව්පසය සුලභ වන්නේ ය. දෙව් මිනිසුන් විසින් ආයාචනා කරන ලද්දේ ම භාග්‍යවතුන් වහන්සේ සිව්පසය වළඳන සේක. එසේ නමුත් මාරයාගෙ යම් අදහසක් වූයේ ද එය එපමණකින් ඉෂ්ට වූයේ ය. ඔහු යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේගේ භෝජනයට අනතුරු කළේ ය. ස්වාමීනි, එහිලා මගේ සැකය නො සිඳෙයි. එහිලා විමතිය, සැකය හටගත්තේ ය. මගේ මනස නිෂ්ඨාවට පත් නො වූයේ ය. 

පවිටු මාරයා වනාහී යම් හෙයකින් පංචසාල බ්‍රාහ්මණ ගෘහපතියන්හට ආවේශ වූයේ ද, ඒ භාග්‍යවතුන් වහන්සේගේ පරිභෝගයට නොවෙයි. ළගට පමුණුවන ලද දෙයට නොවෙයි. උදෙසා කරන ලද දෙයට නොවෙයි. අනාගතයෙහි නොපැමිණි, නොදුටු දෙයින් අන්තරාය කරන ලද්දේ ය. ඒ අන්තරාය එක ම භාග්‍යවතුන් වහන්සේට නො වන්නේ ය. එ සමයෙහි යම්කිසි භික්ෂූහු පිඬුසිඟා වැඩියාහු ද, ඒ සියල්ලන්ටම ද ඒ දිනයෙහි දානය නො ලැබුණේ ය. මහරජාණෙනි, කිසිවෙකු විසින් හෝ නො වැසිය හැකි ගුණ සතරක් තථාගතයන් වහන්සේට ඇත්තේ ය. ඒ කවර ගුණ සතරක් ද යත් මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන ලද, ළඟට පමුණුවන ලද, ලාභයට කිසිවෙකු විසින් හෝ අනතුරු කරන්නට නො හැක්කේ ය. 

භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයට අනුගත වූ බුදුරැස් මාලාවට කිසිවෙකු විසින් හෝ අනතුරු කරන්නට නො හැක්කේ ය. 

භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥා ඥාන රත්නයට කිසිවෙකු විසින් හෝ අනතුරු කරන්නට නො හැක්කේ ය. 

භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට කිසිවෙකු විසින් හෝ අනතුරු කරන්නට නො හැක්කේ ය. 

මහරජාණෙනි, කිසිවෙකු විසින් හෝ නො වැසිය හැකි මේ ගුණ සතර තථාගතයන් වහන්සේට ඇත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ සතුව ඇති මේ සියලු ගුණ විනාශ කළ නොහැකි බැවින්, රසයෙන් යුක්ත වෙයි. අනතුරු නො කළ හැකි බැවින්, ආරෝග්‍යයෙන් යුක්ත ය. නො සෙල්විය හැකි බැවින් අකෝප්‍යය ය. පරෝපක්‍රමයෙන් නොමැඬලිය හැකි බැවින් අපරෝපක්‍රම ය. 

මහරජාණෙනි, පාපී වූ මාරයා නො පෙනී සැග වී සිට පංචසාල බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවේශ වූයේ ය. 

මහරජාණෙනි, රජුගේ ඈත ප්‍රත්‍යයන්ත දේශයන්හි, විෂම ප්‍රදේශයන්හි නො පෙනී සැඟ වී සිට සොරු මංපහරත් ද, රජු ඒ සොරු දකියි නම්. එකල්හී ඒ සොරුන්ට සෙතක් ලැබෙයි ද?” 

“නැත, ස්වාමීනි, පොරොවෙන් සත් කඩකට හෝ දහස් කඩකට හෝ පළා දමන්නේ ය්. “එසෙයින් ම මහරජාණෙනි, පවිටු මාරයා නො පෙනී සැග වී සිටීමෙනි. පංචසාල බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවේශ වූයේ. 

මහරජාණෙනි, යම් හෙයකින් පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන ලද, ළඟට පමුණුවන ලද, පරිභෝගයට අනතුරු කරයි නම්, ඔහුගේ හිස සත්කඩකට හෝ දහස් කඩකට හෝ පැළෙන්නේ ය. “

“ස්වාමීනි එය එසේ ම ය . පවිටු මාරයා විසින් සොරකම් කරන ලද්දේ ය. පවිටු මාරයා සැඟ වී සිට පංචසාල බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවේශ වූයේ ය. ස්වාමීනි, ඒ පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන ලද, ළඟට පමුණුවන ලද, පරිභෝගයට අනතුරු කරයි නම් ඔහුගේ හිස සත්කඩකට හෝ දහස් කඩකට හෝ පැළෙන්නේ ය. බොල් වී මිටක් සෙයින් ඔහුගේ සිරුර විසිරෙන්නේ ය. 

යහපති නාගසේනයන් වහන්ස, එය ඒ අයුරින් ම පිළිගනිමි.” 

Friday, February 11, 2022

ත්‍රිවිධ සම්පත්ළඟා කර ගනිමු

 

ත්‍රිවිධ සම්පත්ළඟා කර ගනිමු

මිළිඳු රජුගේ සහ නාගසේනයන් වහන්සේ ගේ ධර්ම සාකච්ඡාව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර පන්සියයක් ඉක්ම ගිය තැන සිදු වූ සිදුවීමකි. ඒ ධර්ම සංවාදයතුළින් අපගේ ජීවිතයට ගලපා ගත හැකි ධර්ම කරුණු බොහෝ ය.

මිළිඳු රජු නාගසේනයන් වහන්සේගේ පා කමල් ඉදිරියේ බිම වැටී සිරසින් වන්දනා කොට මෙසේ පැවසුවේ ය. 

“ස්වාමීනි, අන්‍ය තීර්ථකයෝ මෙසේ කියති. “බුදුරජාණන් වහන්සේ ශාක්‍යයන්ගේ පුද පූජා පිළිගනිත් නම්, උන්වහන්සේ පිරිනිවන් නො පෑවේ ය. ලෝකය හා එක් ව සිටියි. ලෝකයට ඇතුළත් ව සිටියි. එහෙයින් බුදුරදුන් උදෙසා කරන ලද පුද පූජාවන්ගේ ඵල නැත්තේ ය. නිෂ්ඵල වන්නේ ය. ඉදින් පිරිනිවන් පෑවේ නම් ලෝකයෙන් වෙන් වී සිටින්නෙකි. ලෝකයෙහි සියලු භවයන්ගෙන් බැහැරට ගිය කෙනෙකි. එබඳු උතුමෙකු උදෙසා පූජාවන් ප්‍රයෝජන නැත්තේ ය. පිරිනිවන් පෑ හෙයින් කිසිවක් නො පිළිගනියි. නො පිළිගන්නා කෙනෙකුන් උදෙසා කරන ලද පුද පූජාවන්ගේ ප්‍රතිඵල නැත්තේ ය. නිෂ්ඵල වන්නේ ය. 

මෙය උභතෝකෝටික ප්‍රශ්නයකි. රහත් ඵලය නො ලැබූ කෙනෙකුට මේ ප්‍රශ්නය විෂය නොවෙයි. මහා ප්‍රඥාවන්තයන්ට ම මෙය විෂය වූවකි. මේ දෘෂ්ටි ජාලය බිඳිනා සේක්වා. ඔබ වහන්සේ වෙත මේ ප්‍රශ්නය පැමිණියේ ය. අනාගත බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ප්‍රඥා ඇස උදෙසා දෙවා වදාරණ සේක්වා! 

නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක. 

“මහරජාණෙනි, අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ පුද පූජාවන් නො පිළිගන්නා සේක. භාග්‍යවතුන් වහන්සේ බෝධි මූලයෙහි දී ශ්‍රී සම්බුද්ධත්වය ලබා නික්ලේශී ව අරහත්වයට පැමිණි මොහොතේ දී පුද පූජා පිළි ගන්නා ආශාව ප්‍රහීණ වූයේ ය. කිම, එසේ ඇති කල්හි අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ භාග්‍යවතුන් වහන්සේ පුද පූජා නො පිළිගනිති යි යන්න අමුතු කරුණක් ද? 

මහරජාණෙනි, අපගේ සාරිපුත්ත ධර්ම සේනාධිපතීන් වහන්සේ මෙය වදාරන ලද්දේ ය”. 

අසමසම වූ සම්බුදුවරයන් වහන්සේලාට දෙව් මිනිසුන් විසින් පූජාවෝ පවත්වනු ලබති. ඒ පූජා සත්කාරයන් උන්වහන්සේලා නො ඉවසති. මෙය බුදුවරුන්ගේ ධර්මතාවකි. 

එවිට මිළිඳු රජු මෙසේ කීවේ ය. 

“ස්වාමීනි, නාගසේනයන් වහන්ස, පුත්‍රයා පියාගේ ගුණ කියයි. පියා පුත්‍රයාගේ ගුණ කියයි. මෙය නිග්‍රහයට කරුණක් නම් නොවෙයි. මෙය භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයෙන් කරන ලද ප්‍රකාශයකි. එසේනම් එහිලා ඔබ වහන්සේ මා හට ස්වකීය පිළිතුර මනා ව පිහිටීම පිණිසම දෘෂ්ටි ජාලය ලිහා දැමීම පිණිස අන්‍ය කාරණයක් වදාරන සේක්වා!

නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක.

“මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ පුද පූජාවන් නො ඉවසන සේක. එසේ පුද පූජා නො පිළිගන්නා වූ තථාගතයන් වහන්සේගේ ධාතු රත්නයන් වහන්සේ මුල්කොට තථාගතයන් වහන්සේගේ බුදු නුවණ නම් වූ මහානීය රත්නය අරමුණු කොට, යහපත් ව ප්‍රතිපත්තිය සේවනය කරමින් දෙව් මිනිස්හු ත්‍රිවිධ සම්පත්තිය ලබා ගනිති. මහරජාණෙනි, යම් සේ මහා ගිනි කඳක් ඇවිළී නිවි යයි ද එකල්හි මහරජාණෙනි, ඒ මහා ගිනි කඳ වියළි තණ දර ආදිය වැළඳ සතුටින් ඉවසන්නේ ද?” 

“ස්වාමීනි දැල්වෙන්නා වූ ඒ මහා ගිනි කඳක ත් , වියළි තණ දර ආදිය වැළඳ සතුටින් ඉවසීමක් නැත්තේ ය. කිම, එසේ ඇති කල්හී නිවී ගිය සංසිඳී ගිය අචේතනික වූ දෙය ඉවසන්නේ ද? 

“මහරජාණෙනි, නිවී ගිය, ශාන්ත බවට පත් වූ ඒ ගිනි කඳ නිවුණු කල්හී ලොව ගින්නෙන් හිස් වී ගියේ ද?” 

“නැත, ස්වාමීනි, වියළි තෘණ, දර ආදිය පමණක් ගින්නට මූලික අරමුණ වූයේ, හේතුව වූයේ නොවෙයි. යම්කිසි මනුෂ්‍යයෙක් ගින්න කැමති වෙත් ද? ඔවුහු තමන්ගේ සවිබල වීර්යයෙන් ද, තමා තුළ ඇති පුරුෂ කාර්යයෙන් ද ගිනිගානා දණ්ඩෙහි වියළි දරකඩ මඬිමින් ගිනි උපදවා ඒ ගින්න කරණ කොට ගෙන ගින්නෙන් කළ යුතු කර්මාන්ත කරති.” 

“එසේ වී නම් මහරජාණෙනි, නො ඉවසන්නහුට කරන ලද පුද පූජා වඳ බවට පත්වන්නේ ය. නිෂ්ඵල වන්නේ ය. අන්‍ය තීර්ථකයන්ගේ වචනය බොරුවක් වෙනවා නොවැ. 

මහරජාණෙනි, මහා ගිනි කඳ දැල්වෙන්නේ යම් සේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ දස සහශ්‍රී ලෝකධාතුව අසිරිමත් බුදු සිරියෙන් බැබළ වූ සේක. ඒ මහා ගිනි කඳ බැබළී නිවී ගියේ යම් සේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ දස සහශ්‍රී ලෝකාධාතුව බුද්ධශ්‍රීයෙන් බබුළුවා පිරිනිවන් පා වදාළ සේක. 

මහරජාණෙනි, නිවී ගිය ගිනි කඳ තෘණ, දර ආදිය වැළඳ ගැනීමක් නැත්තේ යම් සේ ද, එසෙයින් තථාගතයන් වහන්සේගේ පුද පූජා පිළිගැනීමේ ආශාව ප්‍රහාණය වී, සංසිඳී ඇත්තේ ය. 

මහරජාණෙනි, නිවී ගිය ගිනිකඳ කිසිවක් නො වැළඳ ගන්නා හෙයින් සවිබල වීරියෙන් යුතු මිනිස්සු ගිනිගානා දණ්ඩෙහි දරකඩ මඬිමින් ගිනි උපදවා ඒ ගින්නෙන් කළ යුතු කටයුතු කරත් ද, එසෙයින් ම මහරජාණෙනි, පිළිගැනීමේ ආශා නැති, පිරිනිවියා වූ තථාගතයන් වහන්සේගේ ධාතු රත්නයන් වහන්සේ පිදිය යුතු දේ වශයෙන් තබා තථාගතයන් වහන්සේගේ බුදු නුවණ රත්නය අරමුණු කොට මනා වු පිළිවෙත් සේවනය කරමින් දෙව් මිනිසුන් ත්‍රිවිධ සම්පත්තිය අත්පත් කරගනිති. 

මහරජාණෙනි, මෙකරුණෙනුත් පුද පූජා පිළිගැනීමේ ආශා නැති තථාගතයන් වහන්සේ උදෙසා කරන ලද පූජා සත්කාරයන් වඳ නැත්තේ ය. ඵල සහිත වන්නේ ය. 

තව ද මහරජාණෙනි, අන්‍ය වූ කාරණයකුත් ඇත්තේ ය. යම් කරුණකින් පුද පූජා පිළිගැනීමෙහි ආශා නැති, පිරිනිවියා වූ තථාගතයන් වහන්සේ උදෙසා කරන පුද පූජා වඳ නැත්තේ ද, ඵල සහිත වන්නේ ද, එය අසනු මැනැව. 

මහරජාණෙනි, මහා සැඩ සුළඟක් හමා ගොස් නවතින්නේ ය. එසේ නැවතී ගිය සුළඟ යළි උපදින ආශාවෙන් ගස් කොළන් වැළඳ ගන්නේ ද?” 

“ස්වාමීනි යළි උපදින ආශාවෙන් සිතා බැලීමක් හෝ මනසිකාරයක් හෝ ඒ නැවතුනු සුළඟට නැත්තේ ය. ඒ මක් නිසා ද යත්, වායෝ ධාතුවට සිතක් නැති නිසා ය”.

“එමෙන්ම මහරජාණෙනි, ඒ සුළඟ නැවතී ගිය පසු “සුළඟ” යන නාමය පැවසීම ලොවෙහි නැතිව යන්නේ ද?” 

“නැත, ස්වාමීනි තල් අතු, අවාන ආදියෙන් යළි සුළඟ හටගැනීමට හේතු ඇති වන්නේ ය. උණුසුමෙන් තැවී, පරිදාහයෙන් පීඩිත වු යම් මිනිස්සු වෙත් ද, ඔවුහු තල් අත්තෙන් හෝ අවානෙන් හෝ සවිබල වීර්යයෙන් ද තමා තුළ ඇති පුරුෂ කාර්යයෙන් ද, සුළං උපදවති. ඒ සුළඟින් උණුසුම නිවා ගනිති. පරිදාහය සංසිඳුවා ගනිති.” 

“මහරජාණෙනි, මේ කරුණෙනුත් පුද පූජා පිළිගැනීමේ ආශා නැති තථාගතයන් වහන්සේ උදෙසා කරන ලද පුද පූජා සත්කාරයන් වඳ නැත්තේ ය. ඵල සහිත වන්නේ ය. 

මහරජාණෙනි, මහා සැඩ සුළං හැමුවේ යම් සේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ දස සහශ්‍රී ලෝක ධාතුවෙහි සිහිල් වූ, මියුරු වූ ශාන්ත වූ, සියුම් වූ මෛත්‍රී සුළං හමා වදාළ සේක. මහරජාණෙනි, මහා සැඩ සුළං හමා නැවතී ගියේ යම් සේ ද. එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ සිහිල් වූ, මියුරු වූ, ශාන්ත වූ, සියුම් වූ මෛත්‍රී සුළං හමා අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. 

මහරජාණෙනි, නැවතී ගිය සුළඟ නැවත උපදවන ආශාවක් නැත්තේ ය. එසෙයින් ම ලෝකහිතයන් වහන්සේගේ පුද පූජා පිළිගැනීමේ ආශාව ප්‍රහාණය වී ඇත්තේ ය. සංසිඳී ඇත්තේ ය. 

මිනිස්සු උණුසුමෙන් තැවී, පරිදාහයෙන් පීඩිත ව සිටිත් ද. එසෙයින් දෙව් මිනිසුන් රාග, ද්වේෂ, මෝහ යන. ත්‍රිවිධ ගින්නෙන් තැවී, පරිදාහයෙන් පීඩිත ව සිටිති. තල් අත්තෙන්, පවන් අත්තෙන් සුළං ඉපදවීමට හේතු වන්නේ යම් සේ ද, එසෙයින් ම තථාගතයන් වහන්සේගේ ධාතු රත්නයන් වහන්සේලා ද, බුද්ධ ඥාන රත්නය ද, ත්‍රිවිධ සම්පත් ඉපදවීමට හේතුව වෙයි. උණුසුමින් තැවී ගිය, පරිදාහයෙන් පීඩිත වූ මිනිස්සු තල් අත්තෙන්, වටා අත්තෙන්, සුළං උපදවා උණුසුම නිවා ගනිත් ද, පරිදාහය සංසිඳුවා ගනිත් ද, එසෙයින් ම මහරජාණෙනි, පුද පූජා පිළිගැනීමෙහි ආශාව නැති පිරිනිවියා වූ තථාගතයන් වහන්සේගේ ධාතු රත්නයන් වහන්සේලාට ද, බුද්ධ ඥාන රත්නයට ද පූජා පවත්වා කුසල් උපදවා ඒ කුසල් බලයෙන් රාග, ද්වේෂ, මෝහ යන ත්‍රිවිධාග්නියෙන් හටගන්නා සන්තාප පරිදාහ නිවා ගනිති. සංසිඳුවා ගනිති. 

මහරජාණෙනි, මේ කාරණයෙනුත් නො ඉවසන්නහුට කරන ලද පුද සත්කාරයන් වඳ බවට පත් වන්නේ ය. නිෂ්ඵල වන්නේ ය. යන තීර්ථකයන් ගේ වචනය බොරුවක් බවට පත්වෙයි. 

තව ද මහරජාණෙනි, පුරුෂයෙකු විසින් උපදවන ලද යම් බෙර හඬක් ඇද්ද, ඒ හඬ නැතිවී යන්නේ නම්, නැවත උපදවා ගැනීමේ ආශාවක් ඒ බෙර හඬට ඇත්තේ ද?” 

“නැත, ස්වාමීනි, ඒ බෙර හඬ නැතිවී ගියේ ය. එය යළි උපද්දවන ආශාවක් හෝ සිතා බැලීමක් හෝ මනසිකාරයක් හෝ ඒ බෙර හඬට නැත්තේ ය. ස්වාමීනි , ඒ හඬෙහි උපතට හේතු වූයේ බෙරය යි. එසේ පුරුෂයා කරුණක් ඇති කල්හි තමා තුළින් හටගත් උත්සාහයෙන් බෙරයට පහර දී හඬ උපදවන්නේ ය.” 

“එසෙයින් ම මහරජාණෙනි. භාග්‍යවතුන් වහන්සේ සීල, සමාධි ප්‍රඥා, විමුක්ති , විමුක්ති ඥාන දර්ශනයෙන් දියුණුවට පත් ව ධාතුන් වහන්සේලා ද, ධර්මය ද, විනය ද, අනුශාසනාව ද , ශාස්තෘ තනතුරෙහි තබා අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. පිරිනිවන් පා වදාළ භාග්‍යවතුන් වහන්සේගේ සම්පත්ති ලාභය සිඳී ගියේ නැත්තේ ය. භව දුකින් පීඩිත වූ සත්වයෝ ධාතුන් වහන්සේලා ද, ධර්මය ද, විනය ද, අනුශාසනාව ද, හේතු කොට සැප කැමති අය සැප ලබා ගනිති. 

මහරජාණෙනි, මේ කාරණයෙකුත් පුද පූජා නොඉවසන්නා වූ පිරිනිවන් පා වදාළ තථාගතයන් වහන්සේ උදෙසා සිදුකරන ලද පූජා සත්කාරයෝ වඳ නොවෙති. නිෂ්ඵල නොවෙති

Sunday, February 6, 2022

සිත පිනායාමෙන් කය සංසිඳෙනවා

 


සිත පිනායාමෙන් කය සංසිඳෙනවා

මිළිඳු රජු සහ නාගසේන මහ රහතන් වහන්සේ සසරේ ප්‍රාර්ථනා මත මුණ ගැසී ධර්ම කතිකාවක යෙදුණේ ය. රජු සහ මහ රහතන් වහන්සේ විසින් රමණීය උපමා ඇසුරු කරමින් ගැඹුරු ධර්මයන් විස්තර කරන විට ඔබ කළයුත්තේ එහි අර්ථ වටහාගෙන දහම් කරුණු තේරුම් ගැනීමට උත්සුකවීමයි. ධර්ම මාර්ගය දියුණු කිරීම පිණිස අපට ප්‍රයෝජනවත් වන්නේ එය යි.

එකවර දෙදෙනෙක් ලෝකයෙහි ඉපදීම 

මිළිඳු රජු මෙසේ ද ඇසුවේ ය. 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, යමෙක් මෙහි මැරෙනවා. බ්‍රහ්ම ලෝකයේ උපදිනවා.තව කෙනෙකුත් මෙහි මැරෙනවා. කාශ්මීරයේ උපදිනවා. එතකොට ඉක්මනින් උපදින්නේ කවුද? කල් අරගෙන උපදින්නේ කවුද?” 

“මහරජාණෙනි, සමාන වේලාවකින් තමයි උපදින්නේ?” 

“ස්වාමීනි උපමාවක් වදාළ මැනව“ 

“මහරජාණෙනි, මේ ගැන ඔබ කුමක් ද සිතන්නේ? කුරුල්ලන් දෙදෙනෙක් අහසේ පියාසරනවා. ඔවුන් අතුරින් එක් කුරුල්ලෙක් උස ගස් මුදුනක වහනවා. තව කුරුල්ලෙක් කුඩා ගසක වහනවා. ඔවුන් දෙදෙනා එක් වරම ගස්වල වහලා සිටිද්දී කවුරුන්ගේ ඡායාව ද පළමුවෙන් පොළොවට වැටෙන්නේ? කවුරුන්ගේ ඡායාව ද කල්ගත වෙලා පොළොවට වැටෙන්නේ? 

“ස්වාමීනි එක්වරම ඡායා දෙක පොළොවට වැටෙනවා” 

“මහරජාණෙනි, ඒ විදිහම තමයි. කෙනෙක් මෙහි මැරෙනවා. බඹලොව උපදිනවා. තව කෙනෙක් මෙහි මැරෙනවා. කාශ්මීරයේ උපදිනවා. සමාන කාලයකිනුයි උපදින්නේ?” 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස ඔබ වහන්සේ ඉතා දක්ෂ වන සේක” 

බොජ්ඣංගයන් පිළිබඳ ප්‍රශ්නය 

මිළිඳු රජු නැවත මෙසේ ඇසුවේ ය. 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, බොජ්ඣංගයන් කීයක් තියෙනවා ද?” 

“මහරජාණෙනි, බොජ්ඣංගයන් හතක් තියෙනවා.” “ස්වාමීනි අවබෝධය ඇතිකරන්නේ කවර බොජ්ඣංගයන්ගෙන් ද? 

“මහරජාණෙනි ධම්මවිචය සම්බොජ්ඣංගය නම් වූ එක බොජ්ඣංගයක් තුළිනුයි අවබෝධය ඇතිකරන්නේ?”

“එහෙම නම් ස්වාමීනි , බොජ්ඣංගයන් සතක් කියා කියන්නේ කුමකටද? 

“මහරජාණෙනි, මේ ගැන කුමක්ද සිතෙන්නේ?” කඩුව කොපුවෙහි දමලයි තියෙන්නේ. අතින් කඩුව ගෙන සිඳිය යුතු යමක් ඇද්ද කඩුව කොපුවෙහි තිබෙන කල්හි එය සිතිය හැකි ද? 

“ නොහැකිය ස්වාමීනි” 

මහරජාණෙනි, ඒ අයුරින් ම ධම්මවිචය සම්බොජ්ඣංගයෙන් තොරව අනෙක් බොජ්ඣංග හයෙන් පමණක් අවබෝධය ඇතිකරවන්නේ නෑ” 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක” 

පින් පව්වල අල්ප අනල්ප බව 

“මිළිඳු රජ තෙමේ මෙසේ ඇසුවේ ය. 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, බොහෝ වෙන්නේ පින ද, නැතිනම් පව ද?” 

“මහරජාණෙනි, පිනයි බොහෝ වෙන්නේ. පව නොවේ. කෙනෙක් පවක් කරද්දී මා විසින් පාප කර්මයක් කරන ලද්දේ ය කියලා විපිළිසර වෙනවා. ඒ හේතුවෙන් ඒ පව පිළිවෙළින් වර්ධනය වෙන්නේ නෑ. නමුත් මහරජාණෙනි, පිනක් කරද්දී විපිළිසර වෙන්නේ නෑ. විපිළිසර නො වන නිසා සිත පිනා යනවා. සිත පිනා යන නිසා පී‍්‍රතිය ඇතිවෙනවා. පී‍්‍රතිමත් සිත ඇති කෙනාගේ කය සංසිඳෙනවා. කය සංසිඳුනාම සැප විඳිනවා. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙනවා. සමාධිමත් සිත් ඇති කෙනා යථාභූත ඤාණය ඇති කරගන්නවා. ඔය කරුණු අනුව තේරුම් ගත යුත්තේ පින තවදුරටත් වර්ධනය වන බවයි. 

මහරජාණෙනි, අත් පා සිදුණු පුරුෂයෙක් භාග්‍යවතුන් වහන්සේට එක් මහනෙල් මල් මිටක් පූජා කොට අනූ එක් කල්පයක් අපායට නො යන්නේ ය. මහරජාණෙනි, මේ කාරණයෙනුත් පින බොහෝ බවත්, පව ටික බවත් කියමි” 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක” “මිළිඳු රජු නැවත මෙසේ ඇසුවේ ය. 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, යමෙක් දැන දැන පව්කමක් කරයි ද? යමෙක් නොදැන පව්කමක් කරයි ද? කාගේ පව ද බොහෝ වන්නේ?” 

තෙරණුවෝ මෙසේ වදාළ සේක.

“මහරජාණෙනි, යමෙක් නො දැන පව්කමක් කරයි ද? ඔහුගේ පව බොහෝ ය” 

“එහෙමනම් ස්වාමීනි නාගසේනයන් වහන්ස, අපගේ යම් රාජ පුත්‍රයෙක් හෝ රාජමහාමාත්‍යවරයෙක් හෝ නො දැන පව්කම් කරයි. අපි ඔහුට දෙ ගුණයක් දඬුවම් කරන්න ඕන ද?” 

“මහරජාණෙනි, මේ ගැන කුමක්ද සිතෙන්නේ? රත් වූ, ගිනි ගත්, ගිනි ඇවිළෙන බලවත් ගින්නෙන් යුතු යකඩ ගුළියක් තියෙනවා. කෙනෙක් දැන දැන ඒක ගන්නවා. කෙනෙක් නො දැන ඒක ගන්නවා. එතකොට දරුණු ලෙස පිච්චෙන්නේ කවුරු ද?” 

“ස්වාමීනි, යමෙක් නො දැන ඒක ගන්නවා ද, ඔහු තමයි දරුණු ලෙස පිළිස්සෙන්නේ?” 

“මහරජාණෙනි, ඔය විදිහම තමයි. යමෙක් නො දැන පව්කමක් කරනවා ද? ඔහුගේ පව බොහෝ ය.” 

“ස්වාමීනි, ඔබවහන්සේ ඉතා දක්ෂ වන සේක”යැයි මිළිඳු රජු පැවසූහ.

සරාගි හා වීතරාගි වෙනස

ස්වාමිනි නාගසේනයන් වහන්ස, සරාගී පුද්ගලයාගේත්, වීතරාගී පුද්ගලයාගේත් වෙනසක් තිබෙනවා ද?

මහරජාණෙනි, සරාගී පුද්ගලයා අරමුණෙහි බැසගත් සිත් ඇත්තෙකි. විරාගී පුද්ගලයා අරමුණෙහි නො බැස ගත් සිත් ඇත්තෙකි.

ස්වාමිනි, අරමුණෙහි බැසගැනීම සහ අරමුණෙහි නොබැස ගැනීම යනු කුමක් ද?

මහරජාණෙනි, සරාගි පුද්ගලයා පංච කාමයෙහි ප්‍රයෝජන ඇත්තෙකි. විරාගී පුද්ගලයා පංච කාමයෙහි ප්‍රයෝජන නැති කෙනෙකි.

ස්වාමිනි, යමෙක් සරාගී වෙයිද, යමෙක් වීතරාගී වෙයිද, ඒ සියල්ලෝ ම සොඳුරු වූ කෑම් බීම් ආදියට කැමැති බවත්, ළාමක වූ ආහාර පානාදියට අකැමැති බවත් මම දකිමි.

මහරජාණෙනි, සරාගී පුද්ගලයා ආහාර අනුභව කරන්නේ රසයට සංවේදී වෙමිනි. ඒ වගේ ම රස රාගයටත් සංවේදී වෙමිනි. නමුත් වීතරාගි පුද්ගලයා ආහාර අනුභව කරන්නේ රසයට සංවේදී වෙමින් පමණ යි. රස රාගයට සංවේදී බවක් නැත.

ස්වාමිනි, ඔබ වහන්සේ ඉතා දක්ෂ වන සේකයැයි මිළිඳු රජු පැවසූහ.




Friday, February 4, 2022

නාගසේන තෙරුන්ගේ විශ්මිත ප්‍රඥාව

 

නාගසේන තෙරුන්ගේ විශ්මිත ප්‍රඥාව

අගනා, වීමංසනශීීලි කුසලතාවයකින් යුත් මිළිඳු රජතුමා අසන සදහම් පදයන්ට විශ්මිත ප්‍රඥාවකින් හෙබි නාගසේන මහරහතන් වහන්සේ අසිරිමත් ලෙස පිළිතුරු දෙන අයුරුයි මිළිඳු රාජ ප්‍රශ්නයේ සඳහන් වන්නේ. 

බුදුගුණ සිහිකිරීම

නාගසේන මහරහතන් වහන්සේ බැහැදුටු මිළිඳු රජු මෙසේ ඇසුවේ ය. 

‘ස්වාමීනි නාගසේනයන් වහන්ස, යමෙක් වසර සියයක් අකුසල් කරනවා ද? එහෙත් මරණාසන්න කාලයේ දී එක බුදු ගුණයක් සිහි කරයි නම්, ඔහු දෙවියන් අතර උපදින්නේ ය කියා ප්‍රකාශයක් ඔබ වහන්සේ විසින් කර තිබෙනවා නේද? මෙම කාරණය මම විශ්වාස නො කරමි. ඒ වගේ ම එක් වරක් කළ ප්‍රාණඝාතය හේතුවෙන් නිරයේ උපදින බවටත් ප්‍රකාශ කරනවා නේ ද? ඔය කාරණයත් මම විශ්වාස නො කරමි.” 

“මහරජාණෙනි, මේ ගැන කුමක්ද සිතන්නේ? “කුඩා ගලක් පවා නැවක තබන්නේ නැතිව ජලයෙහි පා කළ හැකි ද?” 

“නො හැකියි ස්වාමීනි” 

“මහරජාණෙනි, කරත්තයක ප්‍රමාණයේ ගල් සියයක් වුණත් නැවක තැබූ විට එය ජලයෙහි පා වෙනවා නේද? 

“එසේය ස්වාමීනි” 

“මහරජාණෙනි, නෞකාව යම් සේ ද , කුසල කර්මයන් දත යුත්තේ ඒ අයුරිනි.” 

“නාගසේනයන් වහන්ස ඉතා දක්ෂ වන සේක” 

දුක් ප්‍රහාණයට වෑයම් කිරීම 

මිළිඳු රජු නැවත මෙසේ ඇසුවේ ය. 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඔබ වහන්සේ වීරිය වඩන්නේ අතීතයට ගිය දුක් ප්‍රහාණය කිරීමට ද?” 

“නැත මහරජාණෙනි” 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස. එසේනම් වීරිය වඩන්නේ අනාගතයේ හටගන්නා දුක් ප්‍රහාණය කිරීමට ද? 

“නැත මහරජාණෙනි” 

“ ස්වාමීනි නාගසේනයන් වහන්ස, එසේනම් වීරිය වඩන්නේ අනාගතයේ හටගන්නා දුක් ප්‍රහාණය කිරීමට ද? 

“නැත මහරජාණෙනි” 

“කිම? ස්වාමීනි නාගසේනයන් වහන්ස, එසේනම් වීරිය වඩන්නේ වර්තමානයේ හටගන්නා දුක් ප්‍රහාණය කිරීමට ද? 

“නැත මහරජාණෙනි” 

“ඉදින් ඔබවහන්සේ අතීත දුක ප්‍රහාණයට වෑයම් නො කරත් නම්, අනාගත දුක ප්‍රහාණයට වෑයම් නො කරත් නම්, වර්තමානයේ දුක ප්‍රහාණයට වෑයම් නොකරත් නම්, කවර කරුණක් පිණිස ද වෑයම් කරන්නේ?” 

“මහරජාණෙනි, මේ දුක නිරුද්ධ වන්නේ ද, වෙනත් දුකක් නූපදින්නේ ද යන මෙ කරුණ පිණිස වෑයම් නො කරන්නෙමු” 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඔබ වහන්සේට අනාගත දුකක් තියෙනවා ද?” 

“නැත මහරජාණෙනි” 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඔබවහන්සේ අතිපණ්ඩිත වන සේක. අනාගතයෙහි නො තිබෙන්නා වූ දුකක් පිණිස නේද මේ වෑයම් කරන්නේ? 

“මහරජාණෙනි, ඔබට සතුරු වූ , ප්‍රතිපක්ෂ වූ, පසමිතුරු වූ රජවරු ඉන්නවා නේද? ඔවුන් ඔබ හා යුද්ධයට පැමිණෙනවා නේද? 

“එසේය ස්වාමීනි, එබඳු සතුරු රජවරුන් ඉන්නවා” 

“කිම? මහරජාණෙනි, ඔවුන් සටනට පැමිණි කල්හි ද දිය අගල කණින්නේ? ප්‍රාකාරය බඳින්නේ? ගෝපුර සකසන්නේ? අට්ටාල කරවන්නේ? ධන ධාන්‍ය රැස් කරවන්නේ?” 

“නෑ ස්වාමීනි, වේලාසනින් ම ඒ කටයුතු සූදානම් කරනවා” 

“කිම? මහරජාණෙනි, එවිටද හස්තීන් හික්මවන්නේ? අසුන් හික්මවන්නේ? රථ හික්මවන්නේ? දුනු ශිල්පීන් හික්මවන්නේ? පාබල සේනා හික්මවන්නේ?” 

“නෑ. ස්වාමීනි, වේලාසනින් ම ඒවා හික්මවලයි තිබෙන්නේ,” 

“කුමන කරුණක් පිණිස ද?” 

“අනාගතයේ හටගන්නා භය නැති කිරීම පිණිසයි” 

”කිම? මහරජාණෙනි, අනාගත භය තිබෙනවා ද?” 

“නැත ස්වාමීනි”

“මහරජාණෙනි, ඔබ අතිපණ්ඩිතයි. නො තිබෙන්නා වූ අනාගත භය නැතිකිරීම පිණිස නොව මෙ පමණ සූදානම් ව තියෙන්නේ”

“ස්වාමීනි තවත් උපමාවක් වදාළ මැනව“ 

“මහරජාණෙනි, යම් කලෙක ඔබට පිපාසය ඇතිවෙනවා. එවිට ජලය පානය කරන්නට ඕනෑයි කියලා. ඒ වෙලාවෙ ද ඔබ ළිඳක් සාරවන්නේ? පොකුණක් සාරවන්නේ? විලක් සාරවන්නේ?” 

“නැත ස්වාමීනි. කලින්ම එය පිළියෙල කරවනවා”

“ඒ කුමක් පිණිස ද?” 

“ස්වාමීනි, අනාගතයේ පිපාසය නැතිවීම පිණිසයි පිළියෙළ කරන්නේ?” 

”මහරජාණෙනි අනාගතයේ පිපාසය කියා දෙයක් තිබෙනවා ද?” 

“නෑ ස්වාමීනි.” 

“මහරජාණෙනි, ඔබ අතිපණ්ඩිතයි. නො තිබෙන්නා වූ අනාගත පිපාසය නැතිකිරීම පිණිස නෙව, මෙ පමණ සූදානම් ව තිබෙන්නේ?” 

“ස්වාමීනි, තවත් උපමාවක් වදාළ මැනැව “

“මහරජාණෙනි, යම් කලක ඔබට බඩගින්නක් ඇතිවෙනවා එතකොට ද ඔබ කුඹුර සී සාන්නේ? වපුරන්නේ?” 

“නැත ස්වාමීනි, එය කලින්ම පිළියෙළ කරනවා.” 

“ඒ කුමක් පිණිස ද?” 

“ස්වාමීනි අනාගත කුසගින්න නැති කිරීම පිණිසයි” 

“මහරජාණෙනි. අනාගත කුසගින්න කියා දෙයක් තියෙනවා ද?” 

“නැත ස්වාමීනි” 

“මහරජාණෙනි, ඔබ අතිපණ්ඩිතයි. නො තිබෙන්නා වූ අනාගත කුසගින්න නැතිකිරීම පිණිස නෙව මෙපමණ සූදානමක් තියෙන්නේ?” 

බ්‍රහ්ම ලෝකයට දුර

මිළිඳු රජු මෙසේ ඇසුවේ ය. 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, මේ මිනිස් ලෝකයේ සිට බ්‍රහ්ම ලෝකයට කො පමණ දුර ද?” 

“කූටාගාරයක් වැනි සුවිශාල ගලක් බ්‍රහ්ම ලෝකයෙන් වැටුණොත් දිවා රාත්‍රි දෙකේ යොදුන් හතළිස් අට දහසක් පහළට වැටෙද්දී පොළොවට ළං වෙන්නට හාර මාසයක් යාවි” 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඒ වුණාට ඔබවහන්සේලා මෙහෙම කියනවානේ. බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිගහරින්නේ යම් සේ ද? දිග් කළ අතක් හකුලන්නේ යම් සේ ද, ඒ අයුරින් ඍද්ධිමත් චේතෝවශීප්‍රාප්ත භික්ෂුව දඹදිවින් අතුරුදන් ව සැණෙකින් බඹ ලොව පහළ වෙනවා ය කියා. ඔය වචනය මම විශ්වාස නො කරමි. එපමණ අති ශීඝ්‍රව බොහෝ යොදුන් සිය ගණන් එහෙම යන්නට පුළුවන්ද?” 

“මහරජාණෙනි, ඔබ උපන් භූමිය තියෙන්නේ කොහේද? 

“ස්වාමීනි, ඇලෙක්සැන්ඩ්‍රියාව කියා රටක් තියෙනවා. එහෙ තමයි මං උපන්නේ”. 

“මහරජාණෙනි, මෙහෙ සිට ඇලෙක්සැන්ඩ්‍රියාවට කො පමණ දුර ඇද්ද?” 

“ස්වාමීනි, යොදුන් දෙසීයක් පමණ ඇති.” 

“මහරජාණෙනි, ඔබ ඒ රටේදී කරන ලද යම්කිසි දෙයක් මෙහිදී යළි සිහිකරද්දී එය මැනැවින් දන්නවා නේද?” 

“එසේය ස්වාමීනි දනිමි” 

“එතකොට මහරජාණෙනි, මෙතරම් ඉක්මනට ඒ දෙසිය යොදුනක් දුර ඇලෙක්සැන්ඩ්‍රියාවට ඔබ ගියා නේද?” 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක.” 

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...