මිලිඳු රජු -
ස්වාමීනි, බුදුපියාණෝ “සියලු සත්වයෝ මරණයට බිය වෙති” යයි වදාළහ. එසේනම් නැවත රහතන් වහන්සේලා මරණයට බිය නැතැයි වදාළේ ඇයි?
නාගසේන තෙරණුවෝ -
මහරජ, චතුරාර්ය සත්‍යය නොදුටු කෙලෙස් සහිත සත්වයන්ට මරණය බිය ජනකය. සමහරු සර්පයාට බිය වෙති. සමහරු සිංහයාට බිය වෙති. සමහරු හස්තියාට, වලසාට බිය වෙති. එසේ සිදුවන්නේ මරණයට ඇති බිය නිසාය. මම, මාගේ යන වැරදි දැකීම ඔවුන් තුළ ඇති නිසාය. හාත්පසින් ගිනිගෙන ඇවිළෙන භයානක නරකයෙහි සිටින, එයින් මිදීමට කැමති නිරිසත්තු පවා මරණයට තැති ගනිති. කෙනෙකුට සර්පයෙක් දෂ්ට කළ විට වෙදදුරෙක් මන්ත්‍ර බලයකින් සර්පයා අල්වා ගෙන අවුත් සර්පයා ලවා විෂ උරවාලයි. මෙසේ තමන්ගේ සුව පිණිස ළඟට ගෙනා සර්පයාටත් ඒ පුද්ගලයා බිය වන්නාක් මෙනි.
එහෙත් ධම්මපදයේ එන “සියලු සත්වයෝ මරණයට බිය වෙති” යන වචනය රහතන් වහන්සේලා උදෙසා අනුචිතය. නොගැළපෙයි. සියලු කෙලෙස් නැසූ උන්වහන්සේලා මරණයට බිය නොවෙති. එයට හේතුව කිසිවක් මම, මාගේ වශයෙන් නොගැනීමයි.
No comments:
Post a Comment