Showing posts with label අංගුත්තර නිකාය. Show all posts
Showing posts with label අංගුත්තර නිකාය. Show all posts

Sunday, September 8, 2024

පහාරාද සූත්‍රය




බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර ක්‍රම උපයෝගී කර ගනිමින් බුදු සසුනෙහි පවත්නා සුවිශේෂ ලක්ෂණ බිඳක්, පහාරාදයනට හුරු පුරුදු මහා සාගරය හා සසඳමින්, හෙළි කළ සේක.

බුදුන් වහන්සේ - පහාරාදයෙනි ඔබ මහ සාගරය ඇසුරුකොට වසන්නේ වෙහිද?
පහාරාද - එසේය ස්වාමිනි, මම මහා සාගරය ඇසුරුකොට ගෙනම වසන්නේ වෙමි
බුදුන් වහන්සේ - ඇයි, පහාරාදයෙනි, ඔබ එසේ මහා සාගරය ඇසුරු කොටගෙනම වසන්නේ?
පහාරාද - ස්වාමීනි, මහා සාගරයෙහි ස්ථිතික ගති ලක්ෂණ අටක් මම දකිමි.

1. මේ සාගරයෙහි වෙරළේ සිට පතුල දක්වා ඉතා ක්‍රමානුකූ®ලව ඉදිරියට ඇති බස්මක්, ගැඹුරක් ඇත. එහි පතුල දක්නා රිසි යමෙක් වේ ද ඔහු සයුරෙහි වෙරළ, රැල්ල, ගල්පර, ගැඹුර , දියවැල් හා නපුරු සතුන් යනාදී අනේකවිධ බාධක මැඬගෙන සිහිනුවණින් යුතුව පතුල කරා ළඟා විය යුතුය. මහා සාගරයෙහි මනා පිහිටීමට බෙහෙවින් ඇළුම්කරන හෙයින් මම සයුර ඇසුරුකොට ගෙන ම වසනු රිසි වෙමි.

2. එතෙකුදු නොවේය. පෙරළි පෙරළී පෙණකැටි නංවමින් වෙරළ සිප ගැනීමේ අටියෙන් වේගයෙන් වෙරළ කරා ඇදෙන මේ රැල්ල ස්වභාවික බලපෑමකින් මිස වෙන කිසි අයුරකින් වෙරළ ඉක්මවන්නේ ද නැත. මහ සයුරට පමණක් ආවේණික වූ ඒ ලක්ෂණය ද මා මහා සයුර ඇසුරුකොට විසීමට හේතුවකි.

3. සතර දිගින් මහා සාගරය වෙත ගලා එන්නා වූ ජලකඳ සයුර සිපගන්නේ තනිවම නොවේ. කරපින්නාගෙන එන කැතකුණු, ජරාව, මළකුණ ආදී කොතෙකුත් අපද්‍රව්‍ය ද සමඟ ය. එහෙත් මේ මහා සාගරය තමනට අවශ්‍ය ජලය පමණක් රඳවා ගනිමින් අන්සියලු අපවිත්‍ර දෑ රැල්ල උපයෝගි කොට ගනිමින් ගොඩට ඇඳ දමා තම පවිත්‍රතාව රැක ගනියි. මා හට මේ සයුර ඇසුරේ දිවි ගෙවීමට එකරුණ ද ඉමහත් සේ බලපා ඇත. බුදුපියාණනි!

4. මේ දඹදිව් තලය පුරා ගලා බස්නා ගංගා, යමුනා, අචරවතී, ගාම්භීරව ගලාවිත් මහ සයුරට සම්ප්‍රාප්ත වෙති. එවිට ඒ ජලය ‘සාගර ජලය’ නමින් හඳුන්වනවා මිස ඔවුනොවුන්ගේ පූර්ව නාමයන්ගෙන් හඳුන්වනු නොලැබේ. තම ප්‍රෞඩත්වය එසේ රැක ගන්නා ඒ මහා සාගරය මගේ නිවහනයි, බුදු සමිදුනි!

5. එපමණක්ද නොවේ. වැසි, ඇළ, දොළ, ගංගා වැව් පොකුණු වලින් කොතෙක් ජලය ගලා ආවද සාගරය පිරී ඉතිරෙන්නේ ද නැත. ඒවායින් ගලා එන ජලය අඩු වුවද කිසි දා එය සිඳලන්නේ ද නැත. ඒ නම් ආශ්චර්යයක්ම ය.

6. බලන්න. බුදු හාමුදුරුවනේ! මේ අනන්ත සයුරේ කොතනකින් දිය බිඳක් ගත්තද එයලුණු රසම ය. සයුරෙහි ඒ අනන්‍යතාවට මම මහත් සේ ගරු කරන්නෙමි.

7. ඔබ වහන්සේ වසන මේ ගොඩබිමට වඩා මා වාසය කරන්නා වූ මේ මහා සාගරය වටිනා ධන සම්පත්තියෙන් ආඪ්‍ය ය. ධනය උපතට සයුර ආකාරයකි. එහි සක්, ශිලා , වෛරෝඩි, පුෂ්පරාග, රන්, රිදී, මුතු, මැණික්, පබළු ආදි නේක රත්නයෝ පැතිර ඇත්තාහ. 8. එතෙක් ද නොවේ. ස්වාමිනී, මේ ගොඩබිමෙහි ජීවත් වන විශාලතම සතා ඇතා වුව ද මේ මහ සයුර පතුලෙහි ඊටත් වඩා අති විශාල ආනන්ද, තිමිල, තිමිල පිංගලාදී සත්වයෝ සයුර පතුල නිවහන ;කාට වෙසෙති.

මේ හේතුන් නිසාද මම මහ සයුර ඇසුර කොටගෙන වසමි. එහෙත් මට ද ගැටලුවක් ඇත. අවසර බුදු සමිඳුනි! ඔබ සසුනෙහි භික්ෂූ, භික්ෂුණි , උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස ඔබ වහන්සේ ඇසුරුකොට වාසය කරන්නේ ඇයිදැයි දැනගනු රිසිවෙමි.

බුදුන් වහන්සේ - පහාරාදයනි, ක්‍රමයෙන් ගැඹුරට යන එක්වරම ප්‍රපාතයක් දැකිය නොහැකි මහ සයුරේ පතුල සොයා යන අයකුට බාධක මැඩ ඉදිරියට යෑමට සිදුවන්නේ යම් සේ ද මාගේ ශාසනය නමැති මහා සාගරයේදී පතුල (නිවන) සොයා යන නුවණැති පුද්ගලයා අනුපුබ්බ ශික්ෂා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා යන මුල, මැද, අග මනාව ගැලපෙන්නා වූ අනුපූර්ව ප්‍රතිපදා මාර්ගයක් ගත යුතුව ඇත.

ඔබේ මහ සයුර සිසාරා පෙරළි පෙරළි වෙරළට එන රැල්ල වෙරළ නොඉක්මන්නේ යම් සේ ද මාගේ ශාසනයද මහා සාගරයේ රැල්ල මෙන් කිසිදා කිසිවිටක විනාශය නමැති සීමාව ඉක්මවන්නේ් නැත.

එමෙන්ම පහාරාදයෙනි මහ සයුර එහි කිසි අපවිත්‍ර දෙයක් රඳවා නොගන්නා සේ ශාසනය නම් වූ මහ සයුරද පරම පවිත්‍රත්වයෙන් යුත්තය. ශීල, සමාධි, ප්‍රඥා ත්‍රී ශික්ෂාව වඩමින් නිවන සොයා යන සිල්වතුන්ගෙන් අනූන එහි දුශ්ශීලයනට ඉඩක් නැත. මාගේ ශාසනය බුද්ධිමතුනට පමණකි. මෝඩයිනට එහි අවකාශ නැත.

ඔබේ සයුරට විවිධ නමින් යුත් ගංගා ගෙනෙන ජලය සයුරුගත වූ පසු ‘මුහුදු ජලය’ ම වන්නා සේ, මාගේ ශාසනය නමැති මහ සයුරට එක්වන ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛදශ්‍ය ශුද්‍ර යනාදී කවර කුලයක අය වුවද සසුන්ගත වූ පසු ඔව්හු සියල්ලෝම බුද්ධ ශ්‍රාවකයෝ ම වෙති.

ඔබ ඇසුරුකොට පවත්වා මහ සයුර කොතරම් ජල කඳක් ලැබුණ ද උතුරා නොයන්නාක් මෙන් ද, ජලය හිඟ වුව ද සිඳී නොයන්නාක් මෙන් ද, මාගේ ශාසන සාගරය ද අතීත , වර්තමාන, අනාගත යන තුන්් කල්හිම කොතරම් රහතුන් වැඩ සිටියද උතුරා නොයන්නා සේ ම, රහතුන් විරල වුවද සිඳීමක් සිදු නොවන්නේ ම ය.

ඔබේ සයුරු ජලය කොතනකින් ගත්තද ලුණු රසම දැනෙන්නක් මෙන් - මාගේ ශාසන සාගරයේ කොතනකින් වුවද ගන්නා දහම් දිය බිඳෙන් පෙරී එන්නේ පිරිපුන් නිවන් රසයම ය.

එමෙන්ම පහාරාදයෙනි. ඔබේ ඇසුරැති මහ සයුර අගනා වස්තූන්ගෙන් සපිරි ධන ආකරයක් වන්නේ යම්සේ ද ආර්ය ශ්‍රාවකයන්ගෙන් පිරුණු මාගේ ශාසන සාගරයෙහි සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධන් වීර්ය, සතර සෘද්ධිපාද, පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, සප්ත බෝධ්‍යාංග හා ආය්‍ය¡ අෂ්ටාංගික මාර්ගය යන සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නම් වූ මිණි රුවනින් යුක්තය.

මේවා වඩන මාගේ ආර්ය ශ්‍රාවකයෝ සෝවාන්, සකෘදාගාමි, අනාගාමී, අර්හත් යන සතර මගද එකී සතරඵල ද නිවන ද නම් වූ නව ලෝකෝත්තර දහම් සපුරා මාගේ ශාසන සාගරයෙහි පතුල නම් වූ ‘නිවන’ ට පැමිණෙන්නාහුය.

එහෙයින්, පහාරාදයෙනි, මාගේ ශාසනයේ භික්ෂු , භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිස මවිසින් හෙළිකරන ලද නිවනේ දොරටු විවර කර දෙන ශ්‍රී සද්ධර්මය සරණ කොටගෙන, ඇසුරු කොටගෙන වෙසෙති යි දේශනා කොට වදාළ සේක.

Tuesday, December 28, 2021

තෙවළා බුදු වදන් අතරින් 31: මිනිසාගේ පරම සතුරා කවුද?

 

තෙවළා බුදු වදන් අතරින් 31: 

මිනිසාගේ පරම සතුරා කවුද?

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි භික්ෂූන් වහන්සේ අමතා ක්‍රෝධ කිරීමේ ආදීනව පැහැදිලි කරමින් අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ එන කෝධන සූත්‍රය දේශනා කළහ. 

එම සූත්‍රයෙහි ක්‍රෝධ කිරීමෙන් වන ආදීනව හතක් ඇතුළත් වේ. ක්‍රෝධය, වෛරය, තරහව ආදි වචන මගින් හැඳීන්වෙන අකුසල සහගත මනෝභාවයන්ගෙන් ප්‍රකට වන්නේ ද්වේෂය නමැති අකුසල මූලයේ වර්ධනීය අවස්ථාව යි. ද්වේෂය අකුසල ධර්මයක් හෙයින් එය මුළුමනින්ම බැහැර කළ යුතු වේ. බුදුරදුන් වදාළ කෝධන සූත්‍රයේ දැක්වෙන පරිදි කිපෙන තැනැත්තා තමා ම, තමාගේ ම සතුරෙක් බවට පත්වේ. ඒ අනුව ක්‍රෝධය, වෛර කරන්නන්ට ප්‍රිය වූ, වෛරය, ඉපදවීමට උපකාරීවන අකුසල සහගත චිත්තවේගයකි. කිපෙන සුළු ස්ත්‍රිය හෝ පුරුෂයා කෙරෙහි එහි බලපෑම සත්විධ ආකාර වේ. සතුරු තැනැත්තෙකු තමාගේ සතුරාගේ වර්ණවත් බවට වෛර කරයි. තම සතුරා දුර්වර්ණ විය යුතුය යන්න ඔහුගේ පැතුම යි. මෙසේ අන්‍යයන්ගේ වර්ණවත් බව නොඉවසමින් ඒ කෙරෙහි වෛරයෙන් හා ක්‍රෝධයෙන් කටයුතු කරන පුද්ගලයා බාහිර වශයෙන් ස්නානයකොට, පිරිසුදු වස්ත්‍ර ඇඳ, සුවඳ විලවුන් ගා කොතෙක් අලංකාර වුවද දුර්වර්ණ අයෙකු වේ. එයින් ක්‍රෝධයේ ශාරීරික බලපෑම විශද වේ. මෙය ක්‍රෝධ කරන ස්ත්‍රියට හෝ පුරුෂයාට මුහුණ දීමට සිදුවන පළමු ආදීනව ය යි.

සතුරු තැනැත්තා තම සතුරා සුවසේ සැතපෙනු දැකීමට අකැමැති වේ. තම සතුරා සුවසේ නිදන්නෙක් බවට පත් නොවිය යුතුය යන්න ඔහුගේ පිළිගැනීම යි. මෙසේ අන්‍යන්ගේ සුව නින්දට වෛර කරමින්, ක්‍රෝධකරමින් වෙසෙන තැනැත්තා කොතෙක් සුවපහසු යහනක සැතපුණත් කිසිදිනෙක සුව නින්දක් නොලබයි. මෙය ක්‍රෝධ කරන ස්ත්‍රිය හෝ පුරුෂයා මුහුණ දෙන දෙවන ආදීනවය යි. තම පසමිතුරාගේ ධනවත් බවට වෛර කරන තැනැත්තා ඔහු ධනයෙන් පිරිහෙන්නේ නම් සතුටට පත් වෙයි. ක්‍රෝධයෙන් මැඩුණු තැනැත්තා තම පසමිතුරාගේ ධනවත් බව නැති කිරීමට අවශ්‍ය සෑම දෙයක්ම සිදු කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රෝධයෙන් පිරි එම පුද්ගලයා අයහපත් දෙයක් ගෙන තමා විසින් යහපත් දෙයක් ගන්නා ලදැයි සිතා හොඳ නරක වරදවාගෙන විපිලිසර බවට පත්වේ. ක්‍රෝධයෙන් මැඩුණු ස්ත්‍රිය හෝ පුරුෂයා අර්ථය අනර්ථය වෙන්කොට හඳුනාගැනීමේ නොහැකියාව වන තෙවන ආදිනවය ද අත්පත්කර ගනී.

තම සතුරාගේ භෝග (පරිභෝග වස්තු) සම්පත් දකින තැනැත්තා ඔහු එම භෝග සම්පත්වලින් පිරිහීමට පත්වනු දැකීමට කැමැති වේ. මෙසේ අන්‍යයන්ගේ භෝග සම්පත් කෙරෙහි වෛරකරමින් ක්‍රෝධයෙන් වෙසෙන ස්ත්‍රියගේ හෝ පුරුෂයෙකුගේ යම් දැහැමි ධනයක් වෙතොත් එය ද රාජ සන්තක වේ. මෙය ක්‍රෝධයෙන් මැඩුණු පුද්ගලයාට විඳීමට සිදුවන සිව්වන ආදීනවය යි. එසේම අන්‍යයන්ගේ යසසට හා කීර්තියට හානි කරමින් වෛර කරන තැනැත්තාගේ හෝ තැනැත්තියගේ යම් කීර්තියක් හෝ යසසක් වෙතොත් එයද විනාශයට පත්වේ. මෙය වෛරී පුද්ගලයාට අත්විඳීමට සිදුවන පස්වන ආදීනවය යි. අන්‍යයන් සතු පිරිස් බලයට හා මිත්‍ර සම්පත්තියට වෛර කරන තැනැත්තා තම වෛරය හා ක්‍රෝධය නිසා තමා සමීපයේ වෙසෙන මිත්‍ර සම්පත්තියෙන් ද පරිහානියට පත් වේ. එය ක්‍රෝධකරන ස්ත්‍රියට හෝ පුරුෂයෙකුට මුහුණ දීමට සිදුවන සයවන ආදීනවය යි. තම පසමිතුරා මරණින් පසුව දුගතිගාමී වන්නේ නම් යෙහෙකැයි සිතා කටයුතු කරන වෛරී තැනැත්තා හෝ තැනැත්තිය තිදොරින් බොහෝ අකුසල් සිදුකොට නිරයගාමී වේ. ක්‍රෝධයෙන් පිරි ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට අත්වි¼දීමට සිදුවන සත්වන ආදීනවය එයයි.

ඉහතින් දැක් වූයේ කෝධන සූත්‍රයේ එන වෛර කරන ක්‍රෝධ කරන අයෙකුට අත්විඳීමට සිදුවන ආදීනව සතයි. මේ එකිනෙකක් ගැඹුරින් විමසා බලන විට ක්‍රෝධය නමැති අකුසල සහගත චිත්තවේගය චිත්තසන්තානයේ ක්‍රියාත්මක වන ආකාරය මැනවින් වටහාගත හැකි ය. බුදුරදුන් කෝධන සූත්‍රය ආරම්භ කරන්නේ “මහණෙනි, වෛර කරන්නන්ට ප්‍රිය වූ වෛරය උපදවන මේ දහම් සතක් කිපෙන සුලු ස්ත්‍රිය හෝ පුරුෂයා කරා පෙරළා පැමිණේ” යනුවෙනි. බුදුරදුන්ගේ එම අනුශාසනයෙන් යට දක්වන ලද කරුණු හත වෛර කරන්නන්ට ප්‍රිය වූ වෛරය ඇතිවීමට හේතුවන දෑය. කවර අයෙකු වුව අන්‍යයන්ට වෛර කරන්නේ එම කරුණු හත හෝ එයින් එකක් හෝ කීපයක් හේතුසාධක වශයෙන් ගෙන ය. සූත්‍ර දේශනාව අනුව අවසන් කරුණ හැර අන්‍යයාගේ ශරීර වර්ණය, සුවපහසු දිවිය, ධනවත් බව, භවභෝග සම්පත්, කීර්තිය හා යසස, පිරිස් බලය හා මිත්‍ර සම්පත්තිය යන කරුණු සය විශේෂයෙන්ම වෛරයට හා ක්‍රෝධයට හේතුකාරණා වේ. හැම කෙනෙක් ම අන්‍යයන්ට වෛර කරන්නේ හෝ ඊර්ෂ්‍යා කරන්නේ මෙකී කරුණු පදනම් කර ගෙන ය. ඒ අනුව වෛරය හා ක්‍රෝධය යන චිත්තවේග හේතුඵල සන්තතියකට අනුව ඇති වේ. මිනිසුන් අතර ජාති ආගම් කුල වශයෙන් හෝ වෙනත් ආකාරයේ බේදකාරී ගැටුම් ඇතිවන්නේ ද යථොක්ත කාරණා අනුව ඇතිකරගත් වෛරය හෝ ක්‍රෝධය මූලික කරගෙන ය. ආගමික කණ්ඩායම් දෙකක් අතර හෝ ජාතීන් දෙකක් අතර ඇතිවෙන අර්බුද හා ගැටුම්වලට බලපාන මූල හේතුව කවරේදැයි ගැඹුරින් සොයා බැලුවිට මෙය මැනවින් වටහා ගැනීමට හැකිය. යම් ජනවර්ගයක් ධනයෙන් ද, භවභෝග සම්පත් අතින්ද, පිරිස් බලයෙන්ද ඉහළට යනවිට වෙනත් ජනවර්ගයක් තුළ වෛරය හා ක්‍රෝධය ඇති විය හැකිය. මේ අනුව වෛර කරන හේතු පුද්ගලික මට්ටමේ සිට විශ්වීය මට්ටම දක්වා ව්‍යාප්තව තිබේ. ඇතමෙකු පුද්ගලික මට්ටමෙන් කෙනෙකුගේ ධනවත් බවට වෛර කරන විට ජාත්‍යන්තර වශයෙන් ලොව ධනවත් රටවල් ද ධනය හා බලය පදනම් කර ගෙන එකිනෙකා කෙරෙහි වෛරය ඇතිකර ගනී. රටවල් අතර යුද්ධ, ආර්ථික සම්බාධක, සංස්කෘතික ආක්‍රමණ සිදුවන්නේ ද ඒ අනුව ය. මේ අනුව වෛරීකාරක හේතු පෞද්ගලික මට්ටමේ සිට ගෝලීය මට්ටම දක්වා ගමන් කළ ද එහි මූලය එකක්ම බව පැහැදිලි ය. වෙනත් අයුරකින් පවසන්නේ නම් පුද්ගලික මට්ටමේ වෛරය වර්තමානයේ ගෝලීය මට්ටම දක්වා ව්‍යාප්තව ඇති අයුරු පැහැදිලිව දක්නට පුළුවන.

අවසන් කරුණ ආගමික වූවකි. දුගතිය හෝ සුගතිය තීරණය වන්නේ කර්මය හා එහි විපාක අනුව ය. අන්‍යයන්ට දුගතිය ප්‍රාර්ථනා කරමින් වෛරී සිතින් ක්‍රියා කරන්නා තිදොරින් දුසිරිත් කොට මරණින් පසුව දුගතිගාමීවේ ය යන්න අවසන් කරුණෙන් අවධාරණය වේ. ඉහතින් දැක්වූ වෛරීකාරක ධර්ම ඇතිවන්නේ කිපෙන සුළු පුද්ගලයාටය. ඒ අනුව (1) ක්‍රෝධයෙන් භරිත පුද්ගලයා දුර්වර්ණ අවලස්සන අයෙකු වේ. (2) කෝපය නිසා සුව නින්දක් නොලබයි. (3) කෝපයෙන් සිත රත්ව තිබෙන හෙයින් යහපත අයහපත අර්ථය අනර්ථය නිවැරැදිව හඳුනා ගැනීමට අපොහොසත් වෙයි. (4) ක්‍රෝධය නිසා තිදොරින් අපරාධ කොට ධනයෙන් පරිහානියට පත්වේ. (5) ක්‍රෝධ මදය නිසා අන්‍යයන්ගේ ගැරහුමට ලක්වේ. (6) නෑදෑ හිතමිතුරෝ කිපෙන සුළු තැනැත්තා අතහැර යයි. (7) ක්‍රෝධය හේතුවෙන් සැහැසිකම් කොට මරණින් පසු දුගති ගාමී වෙයි. මෙම කරුණු හත නිතර අන්‍යයන්ට වෛර කරන ක්‍රෝධයෙන් පිරුණු ස්ත්‍රීය හෝ පුරුෂයාට අත්විදීමට සිදුවන ආදීනව ය. එයින් අවසන් කරුණ හැර අන් සියල්ල මෙලොව ජීවිතය හා සම්බන්ධ ය. ඇතැම් ඒවා කායික ය. ඇතැම් ආදීනව මානසික ය. කීපයක් සමාජීය වශයෙන් අහිතකරය. එම කරුණු හය ආගමක් පිළිගන්නා අයට මෙන්ම කිසිදු ආගමක් 

නොපිළිගන්නා අයට ද සාධාරණ ය. පාපය හා අකුසල ක්‍රියාවල ආදීනව විඳීමට සිදුවන්නේ ආගමික විශ්වාසය අනුවම නොවන බව මෙයින් ගම්‍ය වේ. පරලොව ඇතත්, නැතන් පව්කළ පුද්ගලයාට සිදුවන්නේ විපතක්ම ය. බලවත් අකුසල සහගත චිත්තවේගයක ප්‍රතිඵලය කොතරම් හානිකර ද යන්න සූත්‍රය අවසානයේ එන පාලි ගාථා පන්තියේ ඇතුළත් කරුණු මගින් තවදුරටත් සනාථ වේ. කෝපය පාලනය කරගැනීමට එම ගාථාවල අන්තර්ගත උපදෙස් මනෝචිකිත්සාවක් ලෙස භාවිතයට ගතහැකි ය. එබැවින් තමාම තමාගේ සතුරා බවට පත්කරන වෛර කිරීමෙන් හා ක්‍රෝධය ඇතිකර ගැනීමෙන් වැළකී ලොවට මෙත්සිත පැතිරවිය යුතු වේ.

Sunday, August 22, 2021

අවබෝධයෙන් ධර්මය දැකීම



අවබෝධයෙන් ධර්මය දැකීම

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම

සදහම් සෙනසුනෙහි

ප්‍රධාන අනුශාසක

ආචාර්ය

මිරිස්සේ ධම්මික නා හිමි


භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අංගුත්තර නිකායේ සඳහන්වන මේ ලෝකයේ ජීවත් වන පුද්ගලයන් තිදෙනෙක් පිළිබඳව වන දේශනාවේ එන පළමු පුද්ගලයා ලෙස දක්වන්නේ ‘අවකුජ්ජ පඤ්ඤා’ නම් වූ පුද්ගලයා ය.


භික්ෂූන් වහන්සේ නමක් මුල, මැද, අග නම් වූ ස්ථාන තුනම රාග, ද්වේෂ, මෝහ සංසිඳවමින් පිරිසුදු ධර්මය දේශනා කරනවා. එහෙත් ධර්ම මාර්ගය පිළිබඳව නිසි අවබෝධයක් හෝ මූලික පුහුණුවක් නැති ශ්‍රාවකයෙක් ඒ ධර්මය අසාගෙන සිටිනවා. එහෙත් ඔහු තුළ රාග, ද්වේෂ, මෝහ සංසිඳෙන්නේ නැහැ. ඔහු ධර්ම ශ්‍රවණයෙන් අනතුරුව නැඟිට ගොස් එදිනෙදා ජීවිතය පැවැත්වීමේ දී රාග, ද්වේෂ, මෝහ සංසිඳෙන ආකාරයකින් කටයුතු කරන්නේ නෑ. පුරුදු පරිදිම ඇස, කන ආදී ඉන්ද්‍රියයන් රූප, ශබ්ද ආදී ආරම්මණයන් හි පවත්වන්නේ මෝහයෙන් යුතුව සකස්වන මනසකිනි. ඇලීමෙන් සහ ගැටීමෙන් යුක්තවයි. ප්‍රිය අරමුණු ඇස, කන ආදී ඉන්ද්‍රියයන්ගෙන් සොයමිනි. ඒවා තමා සතුකර ගන්නට ලුහුබැඳ යෑම හෙවත් වෙහෙසීම, මහන්සිවී කටයුතු කිරීම සිදුවෙයි. මේ ගමනේ දී අකැමැති අරමුණුවලට මුහුණ දෙන විට තරහව, වෛරය, අමනාපය, ඊර්ෂ්‍යාව, පළිගැනීම ආදී දුර්ගුණයන් ද තමාගේ සිතෙහි වඩාගෙන ඒවා වචනයෙන්, ක්‍රියාවෙන් බලගන්වා ක්‍රියාත්මක කරන්නට පෙළඹේ.


මේ පිළිබඳව ධර්ම කතාවේ පෙන්වා දෙන උපමාව නම් “කළයක් යටිකුරු කොට තබා උඩින් වතුර වත්කිරීම” හා සමාන බවයි. කළයක් යටිකුරුකොට තබා එයට උඩින් වතුර වත්කරන විට ඇතුළට වතුර පිරෙන්නේ නැති බව ඉතා ම පැහැදිලියි. මේ ‘අවකුජ්ජ පඤ්ඤා’ නම් වූ පුද්ගලයා යටිකුරු කොට පවත්නා කළයක් වගේ ම මනසක් ඇති පුද්ගලයෙක් ලෙස ධර්මයේ පෙන්වා දී තිබෙනවා. මුල, මැද, අග යන අවස්ථා ඉතා ම පිරිසුදුව එනම් රාගාධී කෙලෙසුන්ගෙන් බැහැරව දේශනා කළත් මෙය අසාගෙන සිටිනවා ය කියන ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව ට එය වැටහෙන්නේ නැහැ. එසේ නොමැති නම් වටහා ගන්නට වුවමනාවක් නැහැ.


මේ නිසා කාමඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ද, උද්ධච්චකුක්කුච්ඡ, විචිකිච්ඡා නම් වූ නීවරණ ධර්මයන්ට හසු වී, නීවරණ ධර්මයන් තුළ පැවැතෙමින් කෙලෙස් උපදවා ගන්නා ආකාරයත් දකින්නට තිබෙනවා. අසාගෙන සිටින විට රාගාදී කෙලෙස් නොසන්සිඳේ නම්, ඉන් අනතුරුව ඔහුගේ හෝ ඇයගේ ජීවිතයට රාගාධි කෙලෙස් සංසිඳවන ආකාරයෙන් ධර්ම මාර්ගය සකස්වීමක් කෙසේවත් සිදුවිය නො හැකියි. මෙවැනි පුද්ගලයන් බුදුරජාණන් වහන්සේගේ කාලයේ සේ ම, වර්තමාන පරිසරය තුළත් බොහෝමයක් සිටිය හැකියි. මෙයට හේතුව කුමක් ද? කාරුණික සිතින් යුතුව බලමු.


පළමු පියවර ලෙස දකින්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවබෝධයකින් සරණ නො යෑමයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති කර නොගැනීමයි. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අනුපිළිවෙලින් සිහි නොකිරීමයි. සිතා නොබැලීමයි. එනම් ධර්මය ඉගෙන නො ගැනීමයි.


එවිට සිදු වන්නේ එදිනෙදා ජීවිත පැවැත් ම පිණිස චාරිත්‍රයක් වශයෙන් ධර්ම ශ්‍රවණය ආදී පින්කම්වල නියුතුවීමයි. ඔබේ සිතෙහි ගැටීමක් ඇති නොකොට මේ නිදසුන් පිළිබඳව සිහිපත් කොට බලන්න. බොහෝ දෙනෙක් ධර්ම දේශනා සූදානම් කිරීමේ දී අරමුණ හැටියට නිරතුරුව ම පෙන්වා දෙන්නේ මළගිය ඥාතීන්ට පින් දීම පිළිබඳවයි. එසේ නොමැති නම් විවාහ සංවත්සර, උපන් දින ආදී වශයෙනුයි. මේවා එපා යැයි හෝ වැරැදි යැයි කිසිවිටෙකවත් සඳහන් කරන්නේ නැහැ. ඒවා කළ යුතු ම යි.


එනමුත් බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සරණ යන ශ්‍රාවක, ශ්‍රාවිකාවන්ගේ මූලික ම පරමාර්ථය විය යුත්තේ තමා ධර්මය දැක ගැනීම හෙවත් අවබෝධ කර ගැනීමයි. තමා ධර්මය දැක ගෙන අවබෝධ කරගෙන, මිය ගිය ඥාතීන්ට පින් දීම හෝ උපන්දින, විවාහ සංවත්සර, ගිලන් වූ අයට සෙත් පැතීම ආදී වශයෙන් කටයුතු කළ හැකියි.


ධර්මය දැකගෙන, ධර්මාවබෝධයෙන් යුතුව ධර්ම දේශනා, දන්පහන් පූජා කිරීම ආදී පින්කම් හෙවත් කුසල ධර්ම සිදු කරන්නේ නම්, තමන් බලාපොරොත්තුවන පින්දීම් හෝ සෙත් පැතීම් ආදී කටයුතු අර්ථාන්විත ව, නියම ආකාරයෙන් ඵල ලැබෙන සේ ඉටු කරගත හැකියි. එනමුත් වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ කුමක් ද? චාරිත්‍ර වශයෙන් පින්කම් සිදු කරන්නට යෑමේ දී පින් දීමක් හෝ සෙත් පැතීමක් යැයි අරමුණු ගත්තත් එසේ සිදුකර ගැනීමට පින්කම සිදුකරන අයගේ සිතට අවබෝධයක් නොමැතිවීම නිසා එම පින්කම් කටයුතු යම් වූ ක්‍රියාවක් පමණක් බවට පත්විය හැකියි.


එම ක්‍රියාවන් හි පවා පිනක් නැතැයි මින් පැවසෙන්නේ නැහැ. අදහස් කරන්නේ අංග සම්පූර්ණ පිනක් සිදු නොකර ගන්නා බවයි. අවබෝධයෙන් යුතුව කුසල් මාර්ගය තුළ සකස් නොවෙන බවයි. පින්කමක් සිදු කිරීමට සිතූ මොහොතේ පටන්, සාකච්ඡා කරන මොහොතේ පටන් යහපත් වූ සිතිවිලි, පින් සිතිවිලි ලෙස සකස් විය හැකියි. එහෙත් අවබෝධයෙන් යුතුව, කුසල් මාර්ගයට පැමිණෙන්නට නම් නියම අවබෝධයෙන් යුතුව ම ලෝභා දී ආශ්‍රව ධර්ම හැකිතාක් දුරට සංසිඳවාගෙන ම සිදු කරගත යුතු ම යි.


මේ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවාගෙන ධර්ම මාර්ගය පිළිබඳව යම් වූ ද අවබෝධයක් ඇතිකර ගැනීම අවශ්‍යයයි. මිය ගිය ඥාතීන්ට පින් දීමක දී, සෙත් පතා ගැනීමක දී වුවත් තමා තුළ පළමුව පින, කුසලය සකස් විය යුතුයි. ඒ නිසා ඇසට රූප, කනට ශබ්ද වශයෙන් මේ සෑම ආරම්මණයක් ම සම්මත ලෝකය තුළ පිළිවෙලකට, ධර්මානුකූලව පවත්වාගත්තත්, පරමාර්ථ වශයෙන් මේ හැම වස්තූන් තුළත් චිත්ත චෛතසිකයන් හි පවතින්නා වූ උදය්‍ය ස්වභාවය අවබෝධ කරගත යුතුයි.


එනම් පඨවි ආදී හේතූන් නිසා සකස් වුණා වූ යම් ඵල විපාක වස්තූන් වේ ද ඒ පඨවි ආදී හේතුප්‍රත්‍යයන්ගෙන් විසිර යෑමෙන් මේ ඵල විපාකත්, සංඥා නාමත් විසිර යන බවයි. නැතිව යන බවයි. මේ පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන තථාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන් යුතුව ඇති කරගත්තා වූ ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්ම මාර්ගයට එක්විය හැකියි. මෙහි දී ධර්ම ශ්‍රවණය යන වචනයට ධර්ම සාකච්ඡාව, දහම් පොත පත කියවීම ආදියත් එකතු කර ගත හැකියි.


භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දහම් පෙළක් මෙහි දී සිහිපත් කළ හැකියි. “යම් කෙනෙක් අනවබෝධය හෝ ශ්‍රද්ධාව දියුණු නොවීම නිසා “උපාරම්භ චිත්තේන ධම්මං සුණාති රන්ධගවේසි” දේශනාව සිදු කරන දේශකයාණන් වහන්සේගේ හෝ, පවසන ලද දහම් කෙරෙහි අඩුපාඩු, සිදුරු සොයන අදහසින් ධර්ම ශ්‍රවණය කරන පුද්ගලයන් ද සිටිය හැකි බවයි. සිටින බවයි. නිවන් අරමුණු කරන විට අප විසින් දියුණු කරගත යුතු අංග හතක් පවතිනවා. එනම් බොජ්ඣංග හෙවත් බෝධි අංග හතයි. සප්ත බොජ්ඣංග ධර්ම යනුවෙන් විස්තර කරන්නේ මෙයයි. මෙහි දී ධම්මවිචය නම් වූ බෝධි අංගයේ දී නිවන අරමුණු කරගෙන සක්ඛායදිට්ඨියේ එනම් ‘මමය මාගේ ය” යන දෘෂ්ඨියේ පටන් ආශ්‍රව ධර්ම බැහැර කර ගැනීම පිණිස ධර්මය විමසා බැලිය යුතුයි. සාකච්ඡා කරගත යුතුයි.


එනම් ධාතු ස්කන්ධ ආයතනයන් ත්‍රිලක්ඛනයට යටත් කොට දැක ගැනීමයි. ඒ වෙනුවෙන් ප්‍රශ්න කිරීමයි. පොත පත කියවීමයි. එහෙත් එසේ නොවී යම් කෙනෙක් තමා මුලින් හිතේ හදාගත් පිළිතුරු සමගින් තමා මුල්කරගත් දැඩි ආත්ම දෘෂ්ඨියකින් යුක්තව සිදුරු සොයන, වරද දකින අදහසින් ධර්මය ශ්‍රවණය කරන්නේ නම්, එය ද ඉතාමත් වැරැදි බවයි. එහි දී පවතින්නේ ද්වේෂයක් බව සඳහන් කළ යුතු ම යි. ද්වේෂයෙන් යුතුව ධර්ම ශ්‍රවණය කිරීම නිවන් අරමුණු වීමක් නොව නිවන දුරස්වීමක් හැටියට ම සිහිපත් කර ගත යුතුයි. යම් විටෙක ධර්ම ශ්‍රවණයක දී ධර්මය පවසන අය රාග, ද්වේෂ ආදී කෙලෙස් මතුවෙන ආකාරයෙන් ධර්මය යැයි පවසමින්, ධර්මයේ නාමයෙන් යමක් පැවසුව ද ශ්‍රාවකයා විසින් ඒවා රාග, ද්වේෂ, මෝහ වශයෙන් හඳුනාගෙන තමා තුළ රාග, ද්වේෂ, මෝහ සකස් නොවන ආකාරයට සිත පවත්වා ගැනීමට තරම් පුරුද්දක් හා දැනුමක් තිබිය යුතුමයි.


- දීපා පෙරේරා


පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...