අවබෝධයෙන් ධර්මය දැකීම
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ ධම්මික නා හිමි
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අංගුත්තර නිකායේ සඳහන්වන මේ ලෝකයේ ජීවත් වන පුද්ගලයන් තිදෙනෙක් පිළිබඳව වන දේශනාවේ එන පළමු පුද්ගලයා ලෙස දක්වන්නේ ‘අවකුජ්ජ පඤ්ඤා’ නම් වූ පුද්ගලයා ය.
භික්ෂූන් වහන්සේ නමක් මුල, මැද, අග නම් වූ ස්ථාන තුනම රාග, ද්වේෂ, මෝහ සංසිඳවමින් පිරිසුදු ධර්මය දේශනා කරනවා. එහෙත් ධර්ම මාර්ගය පිළිබඳව නිසි අවබෝධයක් හෝ මූලික පුහුණුවක් නැති ශ්‍රාවකයෙක් ඒ ධර්මය අසාගෙන සිටිනවා. එහෙත් ඔහු තුළ රාග, ද්වේෂ, මෝහ සංසිඳෙන්නේ නැහැ. ඔහු ධර්ම ශ්‍රවණයෙන් අනතුරුව නැඟිට ගොස් එදිනෙදා ජීවිතය පැවැත්වීමේ දී රාග, ද්වේෂ, මෝහ සංසිඳෙන ආකාරයකින් කටයුතු කරන්නේ නෑ. පුරුදු පරිදිම ඇස, කන ආදී ඉන්ද්‍රියයන් රූප, ශබ්ද ආදී ආරම්මණයන් හි පවත්වන්නේ මෝහයෙන් යුතුව සකස්වන මනසකිනි. ඇලීමෙන් සහ ගැටීමෙන් යුක්තවයි. ප්‍රිය අරමුණු ඇස, කන ආදී ඉන්ද්‍රියයන්ගෙන් සොයමිනි. ඒවා තමා සතුකර ගන්නට ලුහුබැඳ යෑම හෙවත් වෙහෙසීම, මහන්සිවී කටයුතු කිරීම සිදුවෙයි. මේ ගමනේ දී අකැමැති අරමුණුවලට මුහුණ දෙන විට තරහව, වෛරය, අමනාපය, ඊර්ෂ්‍යාව, පළිගැනීම ආදී දුර්ගුණයන් ද තමාගේ සිතෙහි වඩාගෙන ඒවා වචනයෙන්, ක්‍රියාවෙන් බලගන්වා ක්‍රියාත්මක කරන්නට පෙළඹේ.
මේ පිළිබඳව ධර්ම කතාවේ පෙන්වා දෙන උපමාව නම් “කළයක් යටිකුරු කොට තබා උඩින් වතුර වත්කිරීම” හා සමාන බවයි. කළයක් යටිකුරුකොට තබා එයට උඩින් වතුර වත්කරන විට ඇතුළට වතුර පිරෙන්නේ නැති බව ඉතා ම පැහැදිලියි. මේ ‘අවකුජ්ජ පඤ්ඤා’ නම් වූ පුද්ගලයා යටිකුරු කොට පවත්නා කළයක් වගේ ම මනසක් ඇති පුද්ගලයෙක් ලෙස ධර්මයේ පෙන්වා දී තිබෙනවා. මුල, මැද, අග යන අවස්ථා ඉතා ම පිරිසුදුව එනම් රාගාධී කෙලෙසුන්ගෙන් බැහැරව දේශනා කළත් මෙය අසාගෙන සිටිනවා ය කියන ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව ට එය වැටහෙන්නේ නැහැ. එසේ නොමැති නම් වටහා ගන්නට වුවමනාවක් නැහැ.
මේ නිසා කාමඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ද, උද්ධච්චකුක්කුච්ඡ, විචිකිච්ඡා නම් වූ නීවරණ ධර්මයන්ට හසු වී, නීවරණ ධර්මයන් තුළ පැවැතෙමින් කෙලෙස් උපදවා ගන්නා ආකාරයත් දකින්නට තිබෙනවා. අසාගෙන සිටින විට රාගාදී කෙලෙස් නොසන්සිඳේ නම්, ඉන් අනතුරුව ඔහුගේ හෝ ඇයගේ ජීවිතයට රාගාධි කෙලෙස් සංසිඳවන ආකාරයෙන් ධර්ම මාර්ගය සකස්වීමක් කෙසේවත් සිදුවිය නො හැකියි. මෙවැනි පුද්ගලයන් බුදුරජාණන් වහන්සේගේ කාලයේ සේ ම, වර්තමාන පරිසරය තුළත් බොහෝමයක් සිටිය හැකියි. මෙයට හේතුව කුමක් ද? කාරුණික සිතින් යුතුව බලමු.
පළමු පියවර ලෙස දකින්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවබෝධයකින් සරණ නො යෑමයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති කර නොගැනීමයි. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අනුපිළිවෙලින් සිහි නොකිරීමයි. සිතා නොබැලීමයි. එනම් ධර්මය ඉගෙන නො ගැනීමයි.
එවිට සිදු වන්නේ එදිනෙදා ජීවිත පැවැත් ම පිණිස චාරිත්‍රයක් වශයෙන් ධර්ම ශ්‍රවණය ආදී පින්කම්වල නියුතුවීමයි. ඔබේ සිතෙහි ගැටීමක් ඇති නොකොට මේ නිදසුන් පිළිබඳව සිහිපත් කොට බලන්න. බොහෝ දෙනෙක් ධර්ම දේශනා සූදානම් කිරීමේ දී අරමුණ හැටියට නිරතුරුව ම පෙන්වා දෙන්නේ මළගිය ඥාතීන්ට පින් දීම පිළිබඳවයි. එසේ නොමැති නම් විවාහ සංවත්සර, උපන් දින ආදී වශයෙනුයි. මේවා එපා යැයි හෝ වැරැදි යැයි කිසිවිටෙකවත් සඳහන් කරන්නේ නැහැ. ඒවා කළ යුතු ම යි.
එනමුත් බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සරණ යන ශ්‍රාවක, ශ්‍රාවිකාවන්ගේ මූලික ම පරමාර්ථය විය යුත්තේ තමා ධර්මය දැක ගැනීම හෙවත් අවබෝධ කර ගැනීමයි. තමා ධර්මය දැක ගෙන අවබෝධ කරගෙන, මිය ගිය ඥාතීන්ට පින් දීම හෝ උපන්දින, විවාහ සංවත්සර, ගිලන් වූ අයට සෙත් පැතීම ආදී වශයෙන් කටයුතු කළ හැකියි.
ධර්මය දැකගෙන, ධර්මාවබෝධයෙන් යුතුව ධර්ම දේශනා, දන්පහන් පූජා කිරීම ආදී පින්කම් හෙවත් කුසල ධර්ම සිදු කරන්නේ නම්, තමන් බලාපොරොත්තුවන පින්දීම් හෝ සෙත් පැතීම් ආදී කටයුතු අර්ථාන්විත ව, නියම ආකාරයෙන් ඵල ලැබෙන සේ ඉටු කරගත හැකියි. එනමුත් වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ කුමක් ද? චාරිත්‍ර වශයෙන් පින්කම් සිදු කරන්නට යෑමේ දී පින් දීමක් හෝ සෙත් පැතීමක් යැයි අරමුණු ගත්තත් එසේ සිදුකර ගැනීමට පින්කම සිදුකරන අයගේ සිතට අවබෝධයක් නොමැතිවීම නිසා එම පින්කම් කටයුතු යම් වූ ක්‍රියාවක් පමණක් බවට පත්විය හැකියි.
එම ක්‍රියාවන් හි පවා පිනක් නැතැයි මින් පැවසෙන්නේ නැහැ. අදහස් කරන්නේ අංග සම්පූර්ණ පිනක් සිදු නොකර ගන්නා බවයි. අවබෝධයෙන් යුතුව කුසල් මාර්ගය තුළ සකස් නොවෙන බවයි. පින්කමක් සිදු කිරීමට සිතූ මොහොතේ පටන්, සාකච්ඡා කරන මොහොතේ පටන් යහපත් වූ සිතිවිලි, පින් සිතිවිලි ලෙස සකස් විය හැකියි. එහෙත් අවබෝධයෙන් යුතුව, කුසල් මාර්ගයට පැමිණෙන්නට නම් නියම අවබෝධයෙන් යුතුව ම ලෝභා දී ආශ්‍රව ධර්ම හැකිතාක් දුරට සංසිඳවාගෙන ම සිදු කරගත යුතු ම යි.
මේ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවාගෙන ධර්ම මාර්ගය පිළිබඳව යම් වූ ද අවබෝධයක් ඇතිකර ගැනීම අවශ්‍යයයි. මිය ගිය ඥාතීන්ට පින් දීමක දී, සෙත් පතා ගැනීමක දී වුවත් තමා තුළ පළමුව පින, කුසලය සකස් විය යුතුයි. ඒ නිසා ඇසට රූප, කනට ශබ්ද වශයෙන් මේ සෑම ආරම්මණයක් ම සම්මත ලෝකය තුළ පිළිවෙලකට, ධර්මානුකූලව පවත්වාගත්තත්, පරමාර්ථ වශයෙන් මේ හැම වස්තූන් තුළත් චිත්ත චෛතසිකයන් හි පවතින්නා වූ උදය්‍ය ස්වභාවය අවබෝධ කරගත යුතුයි.
එනම් පඨවි ආදී හේතූන් නිසා සකස් වුණා වූ යම් ඵල විපාක වස්තූන් වේ ද ඒ පඨවි ආදී හේතුප්‍රත්‍යයන්ගෙන් විසිර යෑමෙන් මේ ඵල විපාකත්, සංඥා නාමත් විසිර යන බවයි. නැතිව යන බවයි. මේ පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන තථාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන් යුතුව ඇති කරගත්තා වූ ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්ම මාර්ගයට එක්විය හැකියි. මෙහි දී ධර්ම ශ්‍රවණය යන වචනයට ධර්ම සාකච්ඡාව, දහම් පොත පත කියවීම ආදියත් එකතු කර ගත හැකියි.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දහම් පෙළක් මෙහි දී සිහිපත් කළ හැකියි. “යම් කෙනෙක් අනවබෝධය හෝ ශ්‍රද්ධාව දියුණු නොවීම නිසා “උපාරම්භ චිත්තේන ධම්මං සුණාති රන්ධගවේසි” දේශනාව සිදු කරන දේශකයාණන් වහන්සේගේ හෝ, පවසන ලද දහම් කෙරෙහි අඩුපාඩු, සිදුරු සොයන අදහසින් ධර්ම ශ්‍රවණය කරන පුද්ගලයන් ද සිටිය හැකි බවයි. සිටින බවයි. නිවන් අරමුණු කරන විට අප විසින් දියුණු කරගත යුතු අංග හතක් පවතිනවා. එනම් බොජ්ඣංග හෙවත් බෝධි අංග හතයි. සප්ත බොජ්ඣංග ධර්ම යනුවෙන් විස්තර කරන්නේ මෙයයි. මෙහි දී ධම්මවිචය නම් වූ බෝධි අංගයේ දී නිවන අරමුණු කරගෙන සක්ඛායදිට්ඨියේ එනම් ‘මමය මාගේ ය” යන දෘෂ්ඨියේ පටන් ආශ්‍රව ධර්ම බැහැර කර ගැනීම පිණිස ධර්මය විමසා බැලිය යුතුයි. සාකච්ඡා කරගත යුතුයි.
එනම් ධාතු ස්කන්ධ ආයතනයන් ත්‍රිලක්ඛනයට යටත් කොට දැක ගැනීමයි. ඒ වෙනුවෙන් ප්‍රශ්න කිරීමයි. පොත පත කියවීමයි. එහෙත් එසේ නොවී යම් කෙනෙක් තමා මුලින් හිතේ හදාගත් පිළිතුරු සමගින් තමා මුල්කරගත් දැඩි ආත්ම දෘෂ්ඨියකින් යුක්තව සිදුරු සොයන, වරද දකින අදහසින් ධර්මය ශ්‍රවණය කරන්නේ නම්, එය ද ඉතාමත් වැරැදි බවයි. එහි දී පවතින්නේ ද්වේෂයක් බව සඳහන් කළ යුතු ම යි. ද්වේෂයෙන් යුතුව ධර්ම ශ්‍රවණය කිරීම නිවන් අරමුණු වීමක් නොව නිවන දුරස්වීමක් හැටියට ම සිහිපත් කර ගත යුතුයි. යම් විටෙක ධර්ම ශ්‍රවණයක දී ධර්මය පවසන අය රාග, ද්වේෂ ආදී කෙලෙස් මතුවෙන ආකාරයෙන් ධර්මය යැයි පවසමින්, ධර්මයේ නාමයෙන් යමක් පැවසුව ද ශ්‍රාවකයා විසින් ඒවා රාග, ද්වේෂ, මෝහ වශයෙන් හඳුනාගෙන තමා තුළ රාග, ද්වේෂ, මෝහ සකස් නොවන ආකාරයට සිත පවත්වා ගැනීමට තරම් පුරුද්දක් හා දැනුමක් තිබිය යුතුමයි.
- දීපා පෙරේරා
No comments:
Post a Comment