පොසොන් පුර අටවක 2019.06.10
කුසලයට අලස නොවන්න
අර්ථවත් බෞද්ධයා නම් කර්මය හා කර්ම ඵලය විශ්වාස කරන්නෙකි. ඒ විශ්වාසය අනුව තම ජීවිතය යහපත් ව පවත්වා ගන්නෙකි.
කර්ම නියමය අනුව අප විසින් සිදුකරනු ලබන කුසල් හා අකුසල් ක්‍රියාවන් හි ඵල මේ ජීවිතයට පමණක් සීමා වන්නේ නැත. සංසාරගතව ම ක්‍රියාත්මක වන්නේ ය. කුසල ක්‍රියා යහපත් ය. යහපත් ඵල ගෙන දෙන්නේ ය. ප්‍රසන්න පුනර්ජන්ම ලබාදේ. සතුට ගෙන දේ. අප අත නොහැර, පසු පස ම එන සෙවණැල්ල මෙනි. අලෝභ, අදෝස, අමෝහ සිතිවිලි කුසලයට මූලික වන්නේ ය.
අකුසල ක්‍රියා අයහපත් ය. අයහපත් ඵල ම ගෙන දේ. දුක්බර උපතකට හේතු ය. ජීවිතය වේදනාකාරී ය. දුකම දෙන්නේ ය. ගොනු පසු පස එන රිය සක මෙන් ය. ලෝභ, ද්වේශ , මෝහ සිතිවිලි අකුසල ක්‍රියාවන්ට මුල් වන්නේ ය. බුදුරජාණන් වහන්සේ දිනක් සුභ නම් මානවක අමතා දේශනා කොට වදාළේ සත්ත්වයා කර්මය අනුව උපත ලබන බව ය. කර්මය දායාද කොට, කර්මය පිළිසරණ කොට ඇති බව ය. සත්ත්වයා උස් පහත් වශයෙන් බෙදෙන්නේ කර්මය නිසා බව ය.
කර්මය හා එහි ඵල එසේ වුව ද බෞද්ධයන් ලෙස පෙනී සිටින ඇතැම් පුද්ගලයන් ඒ පිළිබඳව සැලකිල්ලක් නොදක්වන බව ඇතැම් පුද්ගල හැසිරීම් හා ඇතැම් සමාජ සංසිද්ධීන්වලින් ගම්‍ය වේ. පුද්ගලයකු විසින් කරන ක්‍රියාව තමන්ට පමණක් නොව බොහෝ විට සමස්ත සමාජ පද්ධතියට ම බලපාන අවස්ථා ඇත. එය සමාජ පැවැත්මට සුදුසු නැත.
කර්මය හා කර්මඵලය විශ්වාස කළ ද එය විශ්වාසයට පමණක් සීමා කොට ක්‍රියාවට නොනඟන්නේ නම්, ඒ ගැන සැලකිල්ලක් නොදක්වනවා නම් අප විසින් ම සිදු කරගනු ලබන්නේ අනර්ථයකි.
වැරැදි කරන බොහෝ අය තම වරද සාධාරණීකරණය කරන්නේ තමන්ට නිසිමඟ පෙන්වීමට කෙනෙක් සිටියා නම් මෙවැනි වරදක් නොවනු ඇති බවට ය. එහි එක්තරා සත්‍යයක් ඇත. කල්‍යාණ මිත්‍ර ඇසුර පුද්ගලයා යහපත් තැනක ඔසවා තබයි. බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළේ ඇසුරට සුදුසු යහපත් අය නොවන්නේ නම් අසත්පුරුෂ ඇසුරට වඩා තනිවම ජීවත්වීම යහපත් බව ය. කවරෙකුට ඇඟිල්ල දිගු කළ ද තමන් කරන කුසලා කුසල කර්මයන් හි ඵල විඳින්නට වන්නේ නම් තමන්ට ම ය. එහෙයින් අවබෝධයෙන් ජීවත්වීම අත්‍යවශ්‍ය ය. මිනිසා යනු සිතා බලා කටයුතු කරන්නට හැකි උසස් මනසකින් යුත් සත්ත්වයෙකි. දැක බලා ජීවිතය හැඩගස්වා ගන්නට අපට ජීවත්වන පරිසරය තුළ ම ඕනෑ තරම් අවකාශ තිබේ.
බුදු දහමේ දේව දූතයන් තිදෙනෙක් ගැන විස්තර කෙරේ. ජීවත්ව සිටින කාලයේ මව්පියන්ට ගරු නොකර, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට, වැඩිහිටියන්ට ගරු නොකර මරණින් පසු අවීචියට ගිය පුරුෂයෙකු යමපල්ලන් විසින් දඬුවම් නියම කරනු පිණිස යමරජු වෙත ගෙන ගිය අවස්ථාවේ යමරජු එම පුද්ගලයාගෙන් විමසුවේ මිනිස් වර්ගයා අතර පළමු දේවදූතයා පෙනී සිටිනු නොදුටුවේ ද යන්න ය. ඒ පුරුෂයා කීවේ නොදුටු බව ය. අසූ අනුවියැති, එසේත් නැතිනම් සියක් වයස් ඉක්ම වූ. දුබල වූ සැරයටියට වාරු වූ, වෙව්ලන දෑතින්, ශක්තිය පහව ගිය , රැළි ගැසුණු අත්පා ඇති තැනැත්තෙක් නොදුටුවේ ම දැයි යම රජු නැවත ඒ පුරුෂයාගෙන් විමසුවේ ය. එවිට පුරුෂයා දැක ඇතැයි පිළිතුරු දුන්නේ ය. බුද්ධිමත් මනසක් ඇති නුඹට ඒ දැක දැකත් ජීවිතය තේරුම්ගත නොහැකි වූයේ ද? තමනුත් කවදා හෝ මහලු වියට යන බව නොතේරුණේ දැයි යමරජු නැවත විමසී ය. ජීවිතයට පාඩමක් ඉගෙන ගත හැකි පළමු දේවදූතයා නම් ඒ මහලු පුද්ගලයා ය.
ජීවිතයේ හමුවන දෙවන දේව දූතයා නම් ගිලන්ව වැතිරී සිටින වේදනාවෙන් පෙළි පෙළී, තමන්ගේ ම කැත කුණු මත වැතිර දුක් විඳින පුද්ගලයා ය.
තෙවන දේව දූතයා නම් මිය ගිය පුද්ගලයා ය. මෘත කලේබරය ඉදිමී, දුර්වර්ණ වී කුණුවී තිබෙන මළ සිරුර ය.
දේවදූතයන් ලෙසින් එන මෙම සංඥා බුද්ධිමත් පුද්ගලයාට ජීවිත යථාර්ථය පිළිබඳව ලබා දෙන ඉඟි ප්‍රබල ය. ජීවිතය යහපත් ව ගෙවන්නට, අකුසලයෙන් මිදී කුසලයෙහි යෙදෙන්නට එය ම ප්‍රමාණවත් ය. මෙම ඉඟි දේවදූතයන් වන්නේ දෙව්ලොවට මඟ පෙන්වන නිසා ය. මේ යථාර්ථය දැන දැක අයහපතින් මිදී යහපත ම වැඩීම තමන්ට සේ ම අනුන්ට ද හිත පිණිස ම වන්නේ ය.
No comments:
Post a Comment