Wednesday, March 30, 2022

මිළින්ද ප්‍රශ්නය

 

මාර බලය පැරද වූ බුද්ධ බලය

මිළින්ද ප්‍රශ්නය වනාහී ඉතා පැරැණිවූත්, සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට ලක් වූත් ග්‍රන්ථ රත්නයකි. මිළිඳු මහරජුගේත්, නාගසේන මහරහතන් වහන්සේගේත් මෙම දුර්ලභ ධර්ම සංවාදය සිදුවී ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පන්සියය වසරක් ගත වූ කල්හි ය. නාගසේන තෙරුන්වහන්සේ මුණගැසුණ මිළිඳු රජු මෙසේ ඇසුවේ ය.

ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ඔබ වහන්සේලා තථාගතයන් වහන්සේ චීවර, පිණ්ඩපාත, සේනාසන , ගිලන්පස බෙහෙත් පිරිකර ආදිය ලබන සේකැ’යි පවසති. නැවතත් ‘තථාගතයන් වහන්සේ පංචසාල බ්‍රාහ්මණ ගමෙහි පිඬු පිණිස පිවිස කිසිවක් නො ලැබ සේදූ හිස් පාත්‍රයෙන් ම නික්ම වැඩි සේකැ’යි පවසති. 

නාගසේනයන් වහන්ස, තථාගතයන් වහන්සේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ආදිය ලබන සේක් නම්, එකරුණින් පංචසාල බ්‍රාහ්මණ ගමෙහි පිඬු පිණිස පිවිස කිසිවක් නො ලැබ හිස් පාත්‍රයෙන් ම නික්ම වැඩි සේක යනුවෙන් පවසන වචනය බොරුවක් වෙයි. 

නැත්නම් තථාගතයන් වහන්සේ පංචසාල බ්‍රාහ්මණ ගමෙහි පිඬු පිණිස පිවිස කිසිවක් නො ලැබ හිස් පාත්‍රයෙන් ම නික්ම වැඩි සේක් නම්, එකරුණෙන් තථාගතයන් වහන්සේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ආදිය ලබන සේක යන වචනය බොරුවක් වෙයි. 

මෙයත් උභතෝකෝටික ප්‍රශ්නයකි. ලෙහෙසියෙන් ලිහා ගත නොහැක්කකි. එය ඔබවහන්සේ වෙත ගෙන ආවෙමි.

“මහරජාණෙනි, තථාගතයන් වහන්සේ චීවර, පිණ්ඩපාත , සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ආදිය ලබන සේක. එමෙන් ම තථාගතයන් වහන්සේ පංචසාල බ්‍රාහ්මණ ගමෙහි පිඬු පිණිස පිවිස කිසිවක් නොලැබ හිස් පාත්‍රයෙන් ම නික්ම වැඩි සේක. එය එසේ වූයේ පාපී වූ මාරයා විසින් කරන ලද්දක් නිසා ය.” 

“එසේ වී නම් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ගණන් කළ නොහැකි තරම් අනන්ත කල්පයක් පුරා රැස්කරන ලද කුසල සම්භාරය කුමක් ද? මද කුසලයකින් උඩට පැමිණි පවිටු මාරයා විසින් ඒ මහා බලයකින් පැතිර තිබුණු කුසල් බලවේගය වසන ලද්දේ ද? නාගසේනයන් වහන්ස, එකරුණෙහිලා දෙතැනක් කෙරෙහි සැකයක් උපදියි. 

එනම් ,කුසලයට වඩා අකුසලය බොහෝ බලවත් ය, යන්න එක් තැනකි. බුද්ධ බලයට වඩා මාර බලය බොහෝ බලවත් ය යන්න අනෙක යි. 

”මහරජාණෙනි, යම් සේ සක්විති රජු හට පුරුෂයෙක් මී පැණි හෝ පිඬු හෝ අන්‍ය වූ රාජ පඬුරක් ගෙන එයි. එකල්හි රජුගේ දොරටුපාලයා ඔහු කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් ඔහුට මෙසේ කියයි. “භවත, මේ රජු දැකීමට කාලය නො වෙයි. එහෙයින් භවත, රජු තොපට දඬුවම් පමුණුවන්නට කලින් ඔබගේ රාජ පඬුර ගෙන වහා හැරී යව.

එවිට ඒ පුරුෂයා දොරටු පාලයාගේ බොරු බස අසා දණ්ඩන භයෙන් තැතිගෙන, උද්වේගයට පැමිණ රාජ පඬුර ද ගෙන වහා හැරී යයි.

මහරජාණෙනි, කිම සක්විති රජතුමා එපමණක් වූ රාජ පඬුරක් නො ලැබීම හේතුවෙන් දොරටු පාලයාට වඩා බලවත් ලෙස දුර්වල කෙනෙක් වෙයි ද?” වෙනත් කිසි රාජ පඬුරක් නො ලබන්නේ ද?”

“නැත, ස්වාමීනි, ඒ දොරටු පාලයා ඊර්ෂ්‍යාවෙන් රාජ පඬුර වැළැක්වූයේ ය. නමුත් වෙනත් දොරටුවලින් රජු කරා සිය දහස් ගුණයෙන් රාජ පඬුරු පැමිණෙයි” 

එසෙයින් ම මහරාජාණෙනි, ඊර්ෂ්‍යාවෙන් පෙළී ගිය පවිටු මාරයා පංචසාල ගමෙහි දී බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවේශ වූයේ ය. එනමුත් අන්‍ය වූ අනේක ලක්ෂ ගණන් දෙවිවරු අමෘතය වූ දිව්‍ය ඕජස් ගෙන එතැනට පැමිණියාහු ය. භාග්‍යවතුන් වහන්සේගේ කයෙහි දිව්‍ය ඕජස් බහලන්නෙමු යි භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරමින් ඇඳිලි බැඳ සිටියාහු ය.” 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, එකරුණ එසේම වේවා! ලොවෙහි මහා පුරුෂ රත්නය වූ භාග්‍යවතුන් වහන්සේට සිව්පසය සුලභ වන්නේ ය. දෙව් මිනිසුන් විසින් ආයාචනා කරන ලද්දේ ම භාග්‍යවතුන් වහන්සේ සිව්පසය වළඳන සේක. එසේ නමුත් මාරයාගෙ යම් අදහසක් වූයේ ද එය එපමණකින් ඉෂ්ට වූයේ ය. ඔහු යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේගේ භෝජනයට අනතුරු කළේ ය. ස්වාමීනි, එහිලා මගේ සැකය නො සිඳෙයි. එහිලා විමතිය, සැකය හටගත්තේ ය. මගේ මනස නිෂ්ඨාවට පත් නො වූයේ ය. 

පවිටු මාරයා වනාහී යම් හෙයකින් පංචසාල බ්‍රාහ්මණ ගෘහපතියන්හට ආවේශ වූයේ ද, ඒ භාග්‍යවතුන් වහන්සේගේ පරිභෝගයට නොවෙයි. ළගට පමුණුවන ලද දෙයට නොවෙයි. උදෙසා කරන ලද දෙයට නොවෙයි. අනාගතයෙහි නොපැමිණි, නොදුටු දෙයින් අන්තරාය කරන ලද්දේ ය. ඒ අන්තරාය එක ම භාග්‍යවතුන් වහන්සේට නො වන්නේ ය. එ සමයෙහි යම්කිසි භික්ෂූහු පිඬුසිඟා වැඩියාහු ද, ඒ සියල්ලන්ටම ද ඒ දිනයෙහි දානය නො ලැබුණේ ය. මහරජාණෙනි, කිසිවෙකු විසින් හෝ නො වැසිය හැකි ගුණ සතරක් තථාගතයන් වහන්සේට ඇත්තේ ය. ඒ කවර ගුණ සතරක් ද යත් මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන ලද, ළඟට පමුණුවන ලද, ලාභයට කිසිවෙකු විසින් හෝ අනතුරු කරන්නට නො හැක්කේ ය. 

භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයට අනුගත වූ බුදුරැස් මාලාවට කිසිවෙකු විසින් හෝ අනතුරු කරන්නට නො හැක්කේ ය. 

භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥා ඥාන රත්නයට කිසිවෙකු විසින් හෝ අනතුරු කරන්නට නො හැක්කේ ය. 

භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට කිසිවෙකු විසින් හෝ අනතුරු කරන්නට නො හැක්කේ ය. 

මහරජාණෙනි, කිසිවෙකු විසින් හෝ නො වැසිය හැකි මේ ගුණ සතර තථාගතයන් වහන්සේට ඇත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ සතුව ඇති මේ සියලු ගුණ විනාශ කළ නොහැකි බැවින්, රසයෙන් යුක්ත වෙයි. අනතුරු නො කළ හැකි බැවින්, ආරෝග්‍යයෙන් යුක්ත ය. නො සෙල්විය හැකි බැවින් අකෝප්‍යය ය. පරෝපක්‍රමයෙන් නොමැඬලිය හැකි බැවින් අපරෝපක්‍රම ය. 

මහරජාණෙනි, පාපී වූ මාරයා නො පෙනී සැග වී සිට පංචසාල බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවේශ වූයේ ය. 

මහරජාණෙනි, රජුගේ ඈත ප්‍රත්‍යයන්ත දේශයන්හි, විෂම ප්‍රදේශයන්හි නො පෙනී සැඟ වී සිට සොරු මංපහරත් ද, රජු ඒ සොරු දකියි නම්. එකල්හී ඒ සොරුන්ට සෙතක් ලැබෙයි ද?” 

“නැත, ස්වාමීනි, පොරොවෙන් සත් කඩකට හෝ දහස් කඩකට හෝ පළා දමන්නේ ය්. “එසෙයින් ම මහරජාණෙනි, පවිටු මාරයා නො පෙනී සැග වී සිටීමෙනි. පංචසාල බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවේශ වූයේ. 

මහරජාණෙනි, යම් හෙයකින් පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන ලද, ළඟට පමුණුවන ලද, පරිභෝගයට අනතුරු කරයි නම්, ඔහුගේ හිස සත්කඩකට හෝ දහස් කඩකට හෝ පැළෙන්නේ ය. “

“ස්වාමීනි එය එසේ ම ය . පවිටු මාරයා විසින් සොරකම් කරන ලද්දේ ය. පවිටු මාරයා සැඟ වී සිට පංචසාල බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවේශ වූයේ ය. ස්වාමීනි, ඒ පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන ලද, ළඟට පමුණුවන ලද, පරිභෝගයට අනතුරු කරයි නම් ඔහුගේ හිස සත්කඩකට හෝ දහස් කඩකට හෝ පැළෙන්නේ ය. බොල් වී මිටක් සෙයින් ඔහුගේ සිරුර විසිරෙන්නේ ය. 

යහපති නාගසේනයන් වහන්ස, එය ඒ අයුරින් ම පිළිගනිමි.” 

No comments:

Post a Comment

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...