බුද්ධ පරිනිර්වාණයෙන් වසර පන්සියයක් ගත වූ තැන හමු වූ මිළිඳු රජු ගී‍්‍රක ජාතිකයෙකු වන අතර, මොහුගේ වීමංසනශීලි කුසලතාව ඉතා අගනේ ය. කරුණු ඉස්මතු කිරීමෙහිලා, ප්‍රශ්න කිරීමෙහිලා, වාද නැංවීමෙහිලා මෙම රජු තුළ ඇති දක්ෂතාවය අති දක්ෂ ය. නාගසේන මහරහතන් වහන්සේගෙන් රජතුමා මෙසේ ඇසී ය.
“ස්වාමීනි, නාගසේනයන් වහන්ස, තථාගතයන් වහන්සේ සියලු අකුසල් දවා සර්වඥ බවට පැමිණි සේක් ද, නැතහොත් අකුසලයන් ඉතිරි ව තිබිය දී සර්වඥ බවට පැමිණි සේක් ද?”
“මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ සියලු අකුසල් දවා සර්වඥ බවට පත් වූ සේක. භාග්‍යවතුන් වහන්සේට ඉතිරි වූ අකුසල් නැත්තේ ය”.
“ස්වාමීනි, තථාගතයන් වහන්සේගේ කයෙහි දුක් වේදනා උපන්නේ ද?
“එසේ ය. මහරජාණෙනි, රජගහ නුවර දී භාග්‍යවතුන් වහන්සේගේ පාදයෙහි ගල් පතුරක් වැදුණේ ය. එමෙන් ම ලෝහිත පක්ඛන්දිකා නම් රෝගය ද උපන්නේ ය. උන්වහන්සේගේ කයෙහි දොස් කිපී ජීවක වෛද්‍යවරයා විසින් විරේක කරන ලද්දේ ය. වාතාබාධයක් හට ගත්තේ ය.“
නාගසේනයන් වහන්ස, තථාගතයන් වහන්සේ සියලු අකුසල් දවා සර්වඥ බවට පැමිණි සේක් නම්, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේගේ පාදය ගල් පතුරකින් තුªවාල වීම, ලෝහිත පක්ඛන්දිකා රෝගාබාධය වැළඳීම යන වචනයක් ඇද්ද, එය බොරුවකි. තථාගතයන් වහන්සේගේ පාදය ගල් පතුරකින් තුවාල වූයේ නම්, ලෝහිත පක්ඛන්දිකා රෝගයත් වැළඳුණේ නම්, එකරුණෙන් තථාගතයන් වහන්සේ සියලු අකුසල් දවා සර්වඥ බවට පැමිණි සේක් ය යන වචනය බොරුවක් වෙයි. එය ඔබ වහන්සේ විසින් එය සංසිදවිය යුත්තේ ය.”
“මහරජාණෙනි, ඒ විඳිය යුතු සියල්ල කර්මය මුල් වූයේ නොවෙයි. මහරජාණෙනි, යම් කරුණකින් බොහෝ සත්වයෝ වේදනා විඳිත් නම්, අට කරුණකින් වේදනාවෝ උපදිති. ඒ කවර කරුණු අටක් ද යත්, මහරජාණෙනි, ඇතැම් විඳීම් වාතය කිපීමෙන් හටගන්නේ වෙයි, ඇතැම් විඳීම් පිත කිපීමෙන් හටගන්නේ වෙයි, ඇතැම් විඳීම් සෙම කිපීමෙන් හටගන්නේ වෙයි, ඇතැම් විඳීම් වා, පිත්, සෙම් තුන කිපීමෙන් හටගන්නේ වෙයි, ඇතැම් විඳීම් උපක්‍රමයෙන් හටගන්නේ වෙයි, ඇතැම් විඳීම් කර්ම විපාකයෙන් හටගන්නේ වෙයි. මහරජාණෙනි, මේ කරුණු අටෙන් බොහෝ සත්වයෝ වේදනා විඳිති. එහිලා යම් මේ පුද්ගලයෝ සත්වයන් කර්මය ම විඳවන්නේ යැයි කියත් නම්, ඔවුහු මේ සත් කරුණෙන් විඳින පුද්ගලයන් බැහැර කරති. ඔවුන්ගේ ඒ වචනය බොරු වේ. “
“ස්වාමීනි, යමක් වාතයෙන් ද, යමක් පිතෙන් ද, යමක් සෙමෙන් ද, යමක් වා, පිත් සෙමෙන් ද, යමක් ඍතු විපර්යාසයෙන් ද, යමක් විෂම පරිහරණයෙන් ද, යමක් උපක්‍රමයෙන් ද, හටගන්නේ නම්, ඒ සියල්ල කර්මයෙන් ම හටගන්නේ ය. ඒ සියල්ල කර්මයෙන් ම උපදින්නේ ය.”
ඒ සියල්ලක් කර්මයෙන් ම හටගන්නා රෝගාබාධ නම් ඒවායෙහි කොටස් වශයෙන් ලකුණු පහළ නොවෙති. වාතය කිපෙන විට දස අයුරකින් කිපෙයි. සීතලෙන් ද, උෂ්ණයෙන් ද, බඩගින්නෙන් ද, පිපාසයෙන් ද, බොහෝ කොට කෑමෙන් ද, සිටින තැනින් ද, අධික වීර්යයෙන් ද, වේගවත් ගමනින් ද, උපක්‍රමයෙන් ද, කර්ම විපාකයෙන් ද වෙයි. එහිලා යම් ඒ කර්ම විපාකය හැර නව කරුණක් ඇද්ද? ඒවා අතීතයටත් අයත් නැත. අනාගතයටත් අයත් නැත. වර්තමාන භවයෙහි උපදියි. එහෙයින් සියලු විඳීම් කර්මයෙන් හටගන්නේ යැයි නො කිව යුත්තේ ය. මහරජාණනි, පිත කිපෙන විට තුන් අයුරින් කිපෙයි. සීතලෙන්, උෂ්ණයෙන් හා විෂම භෝජනයෙන් ය. සෙම කිපෙන විට තුන් අයුරින් කිපෙයි. සීතලෙන්. උෂ්ණයෙන් හා ආහාර පානයෙන් ය.
මහරජාණෙනි, යම් වාතයක්, යම් පිතක්, යම් සෙමක් ඇද්ද, ඒ කිපෙන දෙයින් කිපී මිශ්‍ර වී එක එක විඳීම් හටගනියි. ඍතු විපර්යාසයෙන් හටගන්නා විඳීම් ඒ ඍතු විපර්යාසයෙන් ම උපදියි. විෂම පැවැත්මෙන් හටගන්නා විඳීම් විෂම පැවැත්මෙන් ම උපදියි. උපක්‍රමයෙන් කෙරෙන විඳීම් ඇත්තේ ය. ක්‍රියා ඇත්තේ ය. කර්ම විපාක ඇත්තේ ය. කර්ම විපාකයෙන් හටගත් විඳීම් පෙර කරන ලද කර්මයෙන් උපදියි. මෙසේ කර්ම විපාකයෙන් හටගත් විඳීම් ඇත්තේ ස්වල්පයකි. බහුතරයක් අවශේෂ විඳීම් ය.
මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේගේ පාදය ගල් පතුරකින් තුවාල වුණේ ය යන යමක් ඇද්ද, එය වාතය කිපීමෙන්, පිත කිපීමෙන්, සෙම කිපීමෙන්, සන්නිපාතයෙන්, ඍතු පරිණාමයෙන්, විෂම පැවැත්මෙන්, කර්ම විපාකයෙන් හටගත් වේදනාවක් නොවෙයි. උපක්‍රමයෙන් හටගත් එකකි.
මහරජාණෙනි, දේවදත්තයා බොහෝ ජාති ලක්ෂ ගණනක් තථාගතයන් වහන්සේ කෙරෙහි වෛර බැඳ පැමිණියේ ය. ඔහු ඒ බද්ධ වෛරයෙන් මහත් වූ ගලක් ගෙන මුදුනෙහි හෙළන්නෙමි යි මුදා හැරියේ ය. එකල්හි ගල්දෙකක් පැන නැගී තථාගතයන් වහන්සේ වෙත නො පැමිණ ම වැළැක්වූණේ් ය. ඒ ප්‍රහාරයෙන් බිඳී ගිය ගල් පතුරක් භාග්‍යවතුන් වහන්සේගේ පාදයෙහි වැදීි ලේ ඉපැද්දවූයේ ය. භාග්‍යවතුන් වහන්සේ ගේ කර්ම විපාකයකින්, ක්‍රියාවකින් මේ වේදනාව උපන්නේනම් අනෙක් වේදනාවක් නැත්තේ ය. මහරජාණෙනි, කුඹුරක් නිසරු නිසා හෝ, නිසරු බීජයක් නිසා හෝ යහපත් සේ බීජය හට නො ගන්නේ ය. එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේගේ කර්ම විපාකයකින්, ක්‍රියාවකින්, මේ වේදනාව උපන්නේ නම්, අනෙක් වේදනාවක් නැත්තේ ය. කුසෙහි නපුරු බවින් හෝ ආහාරයෙහි නපුරු බවින් හෝ වැළඳූ දෙය විෂම බවට යන්නේ ය. එසෙයින් ම මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේගේ කර්ම විපාකයකින් ක්‍රියාවකින්, මේ වේදනාව උපන්නේ නම්, අනෙක් වේදනාවක් නැත්තේ ය.
මහරජාණෙනි ,භාග්‍යවතුන් වහන්සේ හට පෙර කර්මයෙන් හටගත් වේදනා නැත්තේ ය. විෂම පැවැත්මෙන් හටගත් වේදනා නැත්තේ ය. ඉතිරි කරුණෙන් භාග්‍යවතුන් වහන්සේට වේදනා උපදියි. ඒ වේදනාවන්ගෙනුත් භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය තොර කරන්නට හැකියාවක් නැත්තේ ය.
මහරජාණනි, මේ සතර මහා භූතයන්ගෙන් හටගත් කයෙහි ඉෂ්ට,අනිෂ්ට , සුබ, අසුබ විඳීම් හටගනියි. මහරජාණෙනි, අහස දෙසට දැමූ ගල් කැටය මහපොළොවට වැටෙයි. ඒ ගල් කැටය මහපොළොවට වැටෙන්නේ පෙර කළ කර්මයක් නිසා ද?
“නැත ස්වාමීනි, යම් හේතුවකින් මහා පෘථිවිය කුසලාකුසල විපාක විඳියි නම් එබඳු හේතුවක් මහා පෘථිවියට නැත්තේ ය. ස්වාමීනි, වර්තමානයෙහි කර්මයක් නැති හේතුවෙන් ඒ ගල් කැටය මහා පෘථිවියට වැටෙයි”. “මහරජාණෙනි, මහා පෘථිවිය යම් සේ ද, තථාගතයන් වහන්සේ දත යුත්තේ එසේ ය. පෙර කර්මයෙන් නො කරන ලද ගල් කැටය මහා පෘථිවියට වැටෙන්නේ යම් සේ ද, එසේම තථාගතයන් වහන්සේ පෙර නො කරන ලද කර්ම ඇතත් ඒ ගල්පතුර පාදයෙහි වැදුණේ ය.
මහරජාණෙනි, මිනිසුන් මේ මහා පෘථිවිය බිඳිති. සාරති. එනමුත් ඒ මිනිස්සු පෙර කරන ලද කර්මයකින් මහා පොළොව බිඳිත් ද, සාරත් ද?
“නැත, ස්වාමීනි.”
“එසෙයින් ම මහරජාණනි, තථාගතයන් වහන්සේ පෙර නො කරන ලද කර්ම ඇත්තේ ද ඒ ගල්පතුර පාදයෙහි වැදුණේ ය. භාග්‍යවතුන් වහන්සේට යම්, ලෝහිත පක්ඛන්දිකා රෝගාබාධයක් උපන්නේ ද, ඒ ආබාධයත් පෙර කරන ලද කරුමයකින් නූපන්නේ ය. වා, පිත්. සෙම් කිපීමෙන් ම උපන්නේ ය.
මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේට යම්කිසි කායික රෝගාබාධයෝ උපන්නාහු නම්, ඒවා කර්ම විපාකයෙන් උපන්නාහු නො වෙති. මේ අනිත් කරුණු සයෙන් උපන්නාහු වෙති.
No comments:
Post a Comment