Friday, April 2, 2021

චුල්ල හත්ථිපදෝපම සූත්‍රය:

 චුල්ල හත්ථිපදෝපම සූත්‍රය:




ලෞකිකත්වය ඉක්ම වූ ලෝකෝත්තර තත්ත්වයකට...

මහනුවර අස්ගිරි මහා විහාරයේ

කාරක සංඝසභික හා වයඹ පළාතේ

ප්‍රධාන සංඝනායක

උපාධ්‍යාය ධුරන්ධර මහාචාර්ය

තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි


මෙම ලිපියේ මුල් කොටස පොසොන් පුර පසළොස්වක පෝදා (ජුනි 16) පත්‍රයේ පළවිය


මේ සිව් ආකාරයෙන් ම බුදුරජාණන් වහන්සේගේ සැබෑ තත්වය දැන ගත නොහී, වාදයෙන් විවාදයෙන් , දෝෂාරෝපණයෙන් හා නින්දා අපහාස කර උන්වහන්සේගේ කීර්ති නාමය විනාශ කොට, උන්වහන්සේ පරාජය කර තම මිථ්‍යාමතවාදවලට ජනතාව වශී කරවා ක්‍රියා කරන්නට පැමිණෙන හැම මිථ්‍යා දෘෂ්ටිකයෙක් ම අවසානයේ දී උන්වහන්සේ ගේ ශ්‍රාවක බවට පත් වීම යි, මේ ඤාණ පද හතරෙන්ම ප්‍රකාශ වී තිබෙන්නේ. ඉතින් ඒ ශ්‍රාවක බවට පත් වෙන සෑම අයෙක්ම එයින් ම සෑහීමකට පත් වන්නේ නැහැ. පළමුවෙන් ම මේ සසුනෙහි පැවිදි බව ලබනවා. උපසම්පන්න බවටත් පත් වෙනවා. ඒ පිරිස එයින් අනතුරුව හුදකලා බව පි‍්‍රය කරනවා. මනාව සිහිය පිහිටුවා ගැනීමට උත්සාහ කරනවා. කෙලෙස් ඉතිරි නො කර සම්පූර්ණයෙන් ම දුරු කිරීමේ උත්සාහයක ද නියැළෙනවා. රහත් බවටත් පැමිණෙනවා. පිලෝතික පිරිවැජියා තවදුරටත් කියනවා බැරිවෙලාවත් මම බුදුරජාණන් වහන්සේ හමුවට එදා නොගියේ නම් අදත් කෙලෙස් බරින් පීඩිතව සිටිනවා.


ඒ වගේම එතෙක් තමන් මහණ බවක් නො ලැබීම මහණ වූවන් බවට ප්‍රකාශ කළා. බමුණු බවක් නැතිව ම බමුණු කුලයේ උපන් බව ප්‍රකාශ කළා. බමුණා කියලා කියන්නේ කෙලෙස් නැති කළ උතුමා යි. දැන් අපි බුදු සව්වන් වුණාට පස්සේ තමා නියම මහණකම ඇති වෙලා තිබෙන්නේ. දැන් තමා අපි සැබෑ බ්‍රහ්මණ වෙලා තිබෙන්නේ.


මේ විස්තරය අසා සිටි ජානුස්සෝණිට දැන් බරපතල අවශ්‍යතාවක් දැනෙනවා. බුදුරජාණන් වහන්සේ දැක කතාබහ කරන්නට, ඉතින් ඊට පෙර ම මේ බමුණා බුදුරජාණන් වහන්සේ ගැන පිලෝතික කළ මේ විස්තරයෙන් මහත් පැහැදීමකට පැමිණ නැගී සිටි රථයෙන් බැස බුදුරජාණන් වහන්සේ ඒ වන විට වැඩ සිටි උතුරු දිශාව බලා “නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස” යනුවෙන් තෙවරක් කියා තම සිත තුළ හටගත් පී‍්‍රතිය ප්‍රකාශ කළා. පසුව බමුණාට සිත් වුණා. ඒ බුදුරජාණන් වහන්සේ දැකීමට යාමට.දෙව්රම වැඩ සිටි බුදුරජාණන් වහන්සේ හමුවට ගියා. බමුණා තමා හා පිලෝතික පිරිවැජියා අතර වු සංවාදය ප්‍රකාශ කළා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ ගැන පැහැදී හමුවීමට ආ බවත් ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ මෙහි දී පිලෝතික කී උපමා කථාවෙන් පමණක් ම ‘හස්තිපදෝම දේශනාව“ සම්පූර්ණ නොවන බවත් එය සම්පූර්ණ කරමින් මෙසේ එය විස්තර කළා.


ඇතුන් වසන වනයකට හුරු පුරුදුව එහි ම වාසය කරන පුරවැසියෙක් මහවනයට ගියහම ඒ වනයෙහි දිගු පුළුල් ඇත් අඩියක් දකිනවා. ඒ වනවැසියා හස්ති ශිල්පය ගැන දක්ෂයෙක් නම් ඒ වනයේ සිටින විශාල ම ඇතා මේ යයි සිතන්නේ නැහැ. ඔහු සිතනවා වනයේ සිටින “වාමනිකා” නම් ඇතින්නියගේ ඇත් අඩියක් කියා. තවත් ඉදිරියට ගිය විට දකිනවා එවැනි ම විශාල ඇත් අඩි සටහන් වගේම රියන් හත අටක් උස ඇති නුග ගස් ආදියෙහි පිට උලන තැන් ඇති ඇත් සටහනක්. ඒ වෙලාවේ, මේ දක්ෂ වනවැසියා වනයේ ඉන්න විශාල ම ඇතාගේ සටහනක් ලෙස තීන්දු කරන්නේ නැහැ. මේ වනයෙහි උස්වූ රිටි වැනි පා ඇති එකක් මත එකක් ගැටී සිටින දළ ඇති “උච්චාකාලාරිකා” ඇතින්නියගේ සටහනක් ලෙස සිතනවා. තවත් ඉදිරියට යන මේ වනවැසියා දකිනවා තවත් සලකුණක්. එනම් අර විදියටම උස් වූ නුගරුක් ආදියෙහි පිට උලන ලද දළින් බිඳින ලද සිදුරු වු උස් කඳන් ඇති මහ ගස්. එයින් වනවැසියා වනයේ සිටින මහ ඇතා යයි තීන්දු නො කර “උච්චාකණෙරුකා” ඇතින්නියගේ සලකුණු යයි කල්පනා කරනවා. ඒ වනවැසියා තවත් ඉදිරියට යන විට හමුවෙනවා. දිගු පුලුල් ඇත් අඩි,උස් වු නුගරුක් ආදියෙහි පිට ඉලූ තැන් ඇති, දළින් ඇණ කඳ පසාරු කළ උස් ගස්, ඒ ගස්වල අතු ද කඩා බිඳ හෙළා ඇති ඇතෙකු ගැවසුණු තැනක සලකුණු වගේ ම ඒ ගහ මුලට එන්නා වු හෝ ගස මුල වැතිර සිටියා වු මහ ඇතෙකු දකිනවා. දැන් ඔහු තීන්දුවකට එනවා. “මේ තමා තමන් විසින් අපේක්ෂා කරපු මහ ම මහ ඇතා” යැයි කියලා.


මෙම හස්තිපදෝපමාව අනුව දැන් ධර්මානුකූල විස්තරයක් ඉදිරිපත් කළ යුතු වෙනවා. මෙහි දී පැහැදිලි කර දී තිබෙන්නේ බුදුදමේ උගන්වන අනුපූර්ව ප්‍රතිපදාව යි. සැබෑ බෞද්ධයා කියලා කියන්නේ මේ ලෝක තත්වය අවබෝධ කර ගැනුමට වෙර වඩන තැනැත්තා යි. ඔහු ලෝක තත්වය අවබෝධ කර ගැනුමට උත්සාහවත් වන්නේ මේ සසර දුක මහ ගිනිජාලාවක් සේ තමන්ට දැනෙන නිසාත්, එයින් තමන් පීඩාවට පත්ව සිටින නිසාත්. ඉතින් එයින් ඉවත් වීමට නම් අප්‍රමාදව ක්‍රියා කළ යුතු වෙනවා. විසුරුණ සිත එක්තැන් කර ගත යුතු වෙනවා. හැම විට ම පංචනීවරණ (කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්චකුක්කුච්ච, විචිකිච්චා) නිසා ඊට බාධා එල්ල වෙනවා. ඉතින් මේ උපමාවට අනුව ආරම්භයේ සිට මේ නීවරණ ප්‍රහාරණ කරන අවස්ථාව දක්වා වු කොටස ඇත්වනයට උපමා කර තිබෙනවා. දක්ෂ වනවැසියා නම් නිවන් අරමුණු කර සසර ගින්නෙන් මිඳීමට වෙර දරන යෝගාවචරයා ය . ඉතින් මහම ඇතා නම් බුදුරජාණන් වහන්සේ යි. ඉතින් ඊට පෙර වනවැසියා දකින මහ ඇතාගේ පා සටහන් දැක මේවා වාමනික, ඇතාගේ පා සටහන් මේවා කාලාරිකා ඇතින්නගේ, මේවා කණේරුකා ඇතින්නියගේ ආදී වශයෙන් හමු වෙන, හමු වෙන ඒ වගේම මහඇතාගේ යයි ද සිතෙන තරමට විශාල මේ ඇත් අඩි දැකීම නිසා යෝගාවචරයා විවිධ සැකසංඛා ඇති කරගන්නවා. මේ සැක සිතෙන පියවරෙන් උපමා කරන්නේ වෙනත් බාහිර ශාසනවල ද ඉගැන්වෙන ලෞකික අභිඥාව, ධ්‍යාන ආදියට යි. ඒ වායෙහි අවසාන විමුක්තියක් නැහැ. ඒ නිසා යෝගාවචරයා තවදුරටත් සැබෑ විමුක්තිය සොයනවා. ඒ නිසා තමා තවදුරටත් වනයේ සිටින විශාලම ඇතා සොයා ගෙන ඉදිරියට යන්නේ. පංච අභිඥා ලබුවත් ඒවායින් නිවන අරමුණු කරගත් යෝගාවචරයා සෑහීමකට පත් නොවන බව ප්‍රකාශ වෙනවා. ඒ යෝගාවචරයාගේ අධිෂ්ඨානශීලී ගමන එයින් නවතින්නේ නැතිව මහ ඇතා හෙවත් බුදුරජාණන් වහන්සේ කවුද යන්නට පිළිතුරක් සෙවීමට ම උත්සාහවත් වනවා. මෙහෙම තවත් ඉදිරියට යනකොට තමා කඩා හෙළා ඇති අතුපතර වගේම විශාල වශයෙන් උස් අතුපතර විහිදුණු නුග කඳන් පවා තම දළෙන් සිදුරු කරන ලද අතුපතර ඇති දිගු පුළුල් මහා ඇත් අඩි දකින්නේ. මෙහි දී සැබෑ නිවන අවබෝධය හෙවත් බුදුරජාණන් වහන්සේ සැබෑ වශයෙන්ම දකින තත්වයට පත් වෙනවා. ජීවිතය අවබෝධ කරගෙන සසර දුක් නිවාලනවා. මේ තමා උන්වහන්සේ විසින් දෙසූ සැබෑ ධර්මස්කන්ධය . එය අවබෝධ කරගෙන සසර නැවතීමක් දැකීම යි, යෝගාවචරයාගේ අරමුණ වුණේ. ඉතින් මිහිඳු මාහිමියන් ලක්වැසි ජනතාවට දෙන්නට අපේක්ෂා කරන පණිවුඩය කුමක් ද? යන්න පිළිබඳ පළමුවෙන් ම කරන හැඳින්වීම ලෙස යි මේ හස්තිපදෝපම දේශනාවෙන් උන්වහන්සේ විසින් පෙන්වා දී තිබෙන්නේ. දඹදිව ඉන්දියාවේ මෙන් ම ලංකාවෙත් වෙනත් ශාසනවල ඉගැන්වු ධ්‍යාන අභිඥාලාභීන් මේ වනවිටත් සිටින්නට ඇති. බුදුදහමේ අවසානය ඒ ලෞකික තත්වය ඉක්ම වූ ලෝකෝත්තර තත්ත්වය යි. එය මෙම චුල්ලහත්ථිපෝදපම සූත්‍ර දේශනාවෙන් පැහැදිලිව ඉදිරිපත් කර තිබෙනවා.

No comments:

Post a Comment

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...