දේවදූත සූත්‍රය:
විස්මිත නුවණින් දැක වදහළ නිරයේ සැබෑ තත්ත්වය
මහමෙව්නා භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කර ලාංකේය ජනතාවට කියා දුන් මූලිකම බුද්ධ දේශනාවලින් එකක් වන්නේ දේවදූත සූත්‍රය යි. මෙම දේශනාව ඇතුළත් වන්නේ මජ්ක්‍ධිම නිකායට යි.
මේ දේශනාවෙන් හෙළිදරව් වෙන දේ සාමාන්‍ය ලෝකයේ කිසිවෙකුත් නො දන්නා, භාග්‍යවතුන් වහන්සේගේ විස්මිත අවබෝධයේ එක් සුවිශේෂී පැතිකඩක්. කර්ම, කර්මඵල විශ්වාසය නො මැති යථාභූත ඤාණයක් නැති කෙනෙකුට සිතාගන්නවත් බැරි දෙයක්. ඒ තමයි නිරය ගැන සැබෑ තත්ත්වය. බුදුරජාණන් වහන්සේ නිරයේ ස්වභාවය පරිපූර්ණ ලෙසම අවබෝධ කළසේක. හතරවෙනි ධ්‍යානය දක්වා සිත දියුණු කර, උන්වහන්සේට හැකිවුණා සත්ත්වයින් චුත වන ආකාරයත්, උපදින ආකාරයත් දකින්න.
විස්මිත නුවණකි උපදවා ගත්තේ...
භාග්‍යවතුන් වහන්සේ සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවා ගිය පිරිසුදු දිවැස් නුවණින් මෙසේ දැක වදාළා. සමහර සත්ත්වයන් කයෙන් සුචරිතයේ යෙදෙනවා. වචනයෙන් සුචරිතයේ යෙදෙනවා. මනසින් සුචරිතයේ යෙදෙනවා. යහපත් ජීවිතයක් ගත කරනවා. බුදු,පසේබුදුු, මහරහත් ආදී ආර්යයන් වහන්සේලාට, ආර්ය ධර්මයට ගරහන්නේ නැහැ. සම්මා දිට්ඨියෙන් යුතුව දස කුසල් ධර්මයන් සිදු කොට මරණින් මතු සුගතියේ උපදිනවා. එසේ නැතිනම් මිනිස් ලොව යහපත් උපතක් කරා පැමිණෙනවා.
ඒ වගේම සමහර අය ආර්යයන් වහන්සේලාට, ආර්ය ධර්මයට නින්දා අපහාස කරමින් ආර්ය උපවාදයේ යෙදෙනවා. මිථ්‍යා දෘෂ්ඨියෙන් යුතුව සිතින්,කයින්, වචනයෙන් දස අකුසල කර්මයන් රැස් කර ගන්නවා. මේ ආකාරයට බොහෝ පව් රැස්කරගෙන මරණින් මතු අප්‍රමාණ දුක් ඇති නිරයේ උපදිනවා. ඕපපාතිකව නිරයේ ඉපදුන නිරි සතා, යමපල්ලන් හෙවත් නිරය පාලකයින් විසින් අත්දෙකෙන් ඇදගෙන ගොස් යම රජ්ජුරුවන් වෙත පමුණුවනවා. “දේවයන් වහන්ස, මේ පුරුෂයා මවට අයහපත කළ කෙනෙක්. පියාට අයහපත කරපු කෙනෙක්. ශ්‍රමණයන් වහන්සේලාට අයහපත කළු කෙනෙක්. උතුම් පුද්ගලයන්ට අයහපත කළු කෙනෙක්. කුල දෙටුවන් නො පිදූ කෙනෙක්. දේවයන් වහන්ස, මොහුට දඬුවම් පමුණුවනු මැනව“ කියා පවසනවා.
සැබෑ දේවදූතයෝ...
භාග්‍යවතුන් වහන්සේ වදාළා, යම රජ්ජුරුවන් ඒ නිරි සතාට දේවදූතයන් ගැන කරුණු මතුකරමින්, ඔහුගෙන් ප්‍රශ්න විමසන බව.
“එම්බා පුරුෂය, නුඹ දැක්කේ නැද්ද, මිනිසුන් අතරේ ළදරුවන් මළමුත්‍රා කරමින් උඩු අතට සයනය කරමින් සිටින හැටි? එම්බා පුරුෂය, බුද්ධිමත් වැඩිහිටියෙක්ව සිටි ඔබත් ඉපදීම ස්වභාව කොට ඇති කෙනෙක්. ඉපදීම ඉක්මවා ගොස් නැහැ. ඒ නිසා මම කයින්, වචනයෙන් , මනසින් පින් කරන්නට ඕනෑ කියා සිතුණේ නැද්ද?”
නුඹට සිතුනේ නැද්ද? මමත් රෝගී වෙන ස්වභාවයෙන් යුක්තයි. රෝගී වන ස්වභාවය ඉක්මවා ගොස් නැහැ කියා එහෙනම් මම කයින්, වචනයෙන් , මනසින් පින් කරන්නට ඕනෑ කියා”
නුඹ දැක්කේ නැද්ද, රජවරු දරුණු අපරාධ කළ සොරෙක් අල්ලාගෙන ඒ අපරාධකරුට කසපහර දෙමින්, දඬු මුගුරු ගසමින් දඬුවම් දෙන ආකාරය. ඒ වගේම දරුණු අපරාධකරුවන්ට මරණීය දණ්ඩනය දෙන ආකාරය. නුඹට එවිට සිතුණේ නැද්ද? පව්කම් කළ කෙනෙකුට මෙලොව විඳින්න වෙන දුක මෙබඳු නම්, පරලොව දී විඳින දුක් ගැන කවර කථාද කියා. ඒනිසා මම තිදොරින් ම පින් රැස් කරගන්නට ඕනෑ කියා.
එම්බා පුරුෂය, නුඹ දුටුවේ නැද්ද බොහෝ දුර්වල වූ, සම රැළි වැටුණ , දත් කැඩුන, කෙස් ඉදුන, අතපය වාරුනැති වයසට ගිය පුද්ගලයන්. නුඹට සිතුනේ නැද්ද මමත් වයසට යන කෙනෙක්, වයසට යාම බොහෝ දුකක් ඒ නිසා කයින්, වචනයෙන්, මනසින් පින් කරන්න ඕනෑ කියලා.
එම්බා පුරුෂයා, නුඹ දැක්කේ නැද්ද, ස්ත්‍රී පුරුෂයන් මරණයට පත්වෙලා ඉන්නවා. එවිට ඔබට සිතුනේ නැද්ද මමත්, මරණයට පත්වෙන ස්වභාවයෙන් යුක්තයි. මරණය ඉක්මවා ගොස් නැහැ. එම නිසා මම අප්‍රමාදීව පින් රැස් කරගන්න ඕනෑ කියා.
ප්‍රමාදය පසුතැවිල්ලට මුලයි
මේ විදිහට දේවදූතයන් පස්දෙනා සිහිකරමින් කරුණු විමසද්දී අකුසල් කොට නිරයේ ඉපදුනු නිරි සතා ඉතා කනගාටුවෙන් බැගෑපත්ව මෙසේ පවසන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ස්වාමීනි, මම ඒ දේවදූතයන් පස්දෙනා දුටුවත් පින්කර ගත්තේ නැහැ. ප්‍රමාද වුණා.
ඉන්පසු එම නිරි සතාට යමපල්ලන් පස් ආකාරයක බන්ධනය නම් වූ දඬුවම් ලබා දෙනවා. එනම් ගිනියම් යකඩ හුල් අත් දෙකේ ගහනවා. එවැනිම ගිනියම් යකඩ හුලකින් දෙකක් පා දෙකට ගහනවා. තවත් ගිනියම් යකඩ හුලස් පපුවට අනිනවා. ඒ හේතුවෙන් එම නිරි සතා ඉතා දරුණු වූ දැඩි දුකක් විඳිනවා. නමුත් යම්තාක්, ඔහුගේ ඒ පාප කර්මය ගෙවී නො තිබෙයිද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නැහැ.
කවදානම් මේ දුකින් නිදහස් වෙමුද?
ඉන්පසු යමපල්ලන් ඔහු යකඩ පොළොවක බාවලා කෙටේරිවලින් සහිනවා. ඒ නිරිසතා කකුල් උඩු අතට හරවා ඔලුවෙන් සිටුවා වෑයෙන් සහිනවා. ඉන්පසු ගිනිගෙන දිලිසෙන රථයක ගැටගසා, හාත්පසින් ගිනිඇවිලී තිබෙන ගිනියම් වූ යකඩ පොළොවේ එහා මෙහා ඇදගෙන යනවා. හාත්පසින ගිනි ඇවිළගත් ගිනියම් වූ පර්වතයනට නග්ගනවා. ඊටත් පසු කකුල් උඩු අතට හරවා හිස පහතට හරවා ගිනි ඇවිලගත් ගිනියම් වූ ලෝකුඹූ නිරයේ ඔබනවා. එතැන දී ඔහුගේ ශරීරය ඒ ලෝදිය හැලියේ පෙණ ගුලියක් බඳුවන උඩට යටට යමින් පැහෙනවා. අවුරුදු දහස් ගණනක් ඒ නිරි සතා ඉතා දරුණු වූ දැඩි දුක් විඳිනවා. ඉන්පසු ඔහු වැටෙන්නේ ගූථ නිරයට යි. එහි ගිලුන ඔහුගේ මස් නහර ඇට ,ඇට මිඳුළු තියුණු තුඩ ඇති පණුවන් විසින් කා දමනවා. ඉන්පසු ඔහු හුණු අළු නිරයට වැටී බොහෝ කල් කටුක දුක් විඳිනවා. ඊළඟට ඇතුල්වන්නේ අසිපත් වැනි තියුණු කොළ ඇති ගස් තිබෙන අසිපත් වනයට යි. එහිදී සුළඟට සෙලවි සෙලවී වැටෙන අසිපත් බඳු කොළවලින් ඔහුගේ කන, නාසා අතපය කැපී යනවා. බැගෑපත්ව හඬ නගමින් ඒ වනය මැදින් ශරීරය අවයව කැපී දිවයන නිිරි සතා ඉන්පසු වැටෙන්නේ වේතරණී නම් ලුනු දිය ගංගාවට යි.
එහිදී ද දරුණු, තියුණු, කටුක දුක් විඳින නිරිසතා යමපල්ලන් විසින් බිලී කොකු දමා ගොඩ ගන්නවා. එතැනදී බඩගින්නට , පිපාසයට ලැබෙන්නේ ගිනිගෙන දැවෙන යකඩ ගුලිත්, ලෝදියත් පමණ යි. ශරීර අවයව පුළුස්සා දමමින් ඒවා ගුද මාර්ගයෙන් පිටවෙනවා. නමුත් කර්මය ගෙවී අවසන් වනතුරුම එම නිරිසතා මරණයට පත්වන්නේ නැහැ. ආයෙමත් යමපල්ලන් ඔහු මහා නිරයට ඇද දමනවා.
මෙම අද්භූත හෙළිදරව්ව සිදුකළ භාග්‍යවතුන් වහන්සේ අවසානයේ මෙසේ වදාළා. "පින්වත් මහණෙනි, මම නිරය පිළිබඳව දේශනා කරන්නේ කාගෙන්වත් අසා දැනගෙන නොවේ. මම දැනගෙන, මම ම දැකගෙන තථාගතයන් වහන්සේ ම අවබෝධ, කොටගෙනයි මෙය පෙන්වා දෙන්නේ." එම නිසා පින්වත්නි, මේ දුක්ඛිත සංසාර ගමනින් එතෙර වන්නට ගෞතම බුද්ධ ශාසනය තුළ පිළිවෙත් පිරීමට අපි වඩාත් අප්‍රමාදි වෙමු.
- නයනා නිල්මිණී
No comments:
Post a Comment