Friday, January 7, 2022

චුලකාල උපාසක තැන

 

 චුලකාල උපාසක තැන 

අත්තනා’ව කතං පාපං අත්තනා සංකිලිස්සති

අත්තනා අකතං පාපං අත්තනාව විසුජ්ඣති

සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤො විසොධයෙ.

තමා විසින් ම පව් කරණ ලද නම් (සිවුඅපාහි ඉපිද දුක් විඳින්නේ) තෙමේ ම කෙලෙසෙන්නේ ය (තැවෙන්නේ ය). තමා විසින් ම පව් නො කරණ ලද නම්, එයින් තෙමේ ම විශුද්ධ වන්නේ ය. ශුද්ධිය ද අශුද්ධිය ද තමා පිළිබඳ ය. අනෙකෙක් අනෙකකු ශුද්ධ නො කරන්නේ ය.

මහාකාල උපාසකයා සේ චූලකාල උපාසක ද බණ අසන්නට රාත්‍රියෙහි විහාරයට යන්නේ ය. එසේ රෑ වෙහෙරට ගොස් බණ අසන මේ උපාසක තෙමේ බණ අවසානයෙහි ඉතා උදෑසනින් වෙහෙරෙන් නික්ම පෙරළා ගෙය බලා යයි. මේ මොහුගේ සිරිති. මොහු දිනක් බණ අසා උදෑසනින් සැවැත් නුවර බලා වෙහෙරින් පිටත් ව ගියේ ය. එ දවස එහි ගෙවල් කිහිපයක් බිඳ බඩු පැහැර ගත් සොරු ගෙහිමියන් විසින් පසුපස ලුහුබඳනා ලද්දේ පැහැර ගත් බඩු සැවැත් නුවර, බලා යන උපාසකයා ඉදිරියෙහි හෙළා පැන ගියහ. 

හොරුන් පස්සේ එළ වූ මිනිස්සු චූලකාල උපාසකයා දැක “මේ හොරා, පෙණේ ද මූ, රෑ හැකි තරම් ගෙවල් බිඳ හොරකම් කොට මේ එළි වන ජාමෙහි උපාසකකම් කරන්නකු සේ හැසිරෙයි. මූට තළමු” යි අල්ලා ගෙණ තැළූහ. එ තැනින් දිය ගෙණෙන්නට යන ගෑණු, උපාසකයාට තළනු දැක ඔවුනට කරුණු කියා, යන්තමකින් බේරා හැර ගොස් ඒ බව භික්‍ෂූන් වහන්සේලාට දැන්වූහ. උන්වහන්සේලා බුදුරජානන් වහන්සේට එය සැළකළහ. බුදුරජානන් වහන්සේ එය අසා “මහණෙනි! චූලකාල උපාසක තමන් එ බඳු වැරදි වැඩක් නො කළ නිසා ඒ ගෑණුන්ගේ වහළින් යන්තමකින් නො මැරී ගැලවුනේ ය. ලෝකවාසී බොහෝ සත්ත්‍වයෝ පව්කම් කොට සතර අපායෙහි ඉපිද දුක් විඳිති. මෙලොව දී කිලිටි වෙති. අපවාදයට මූණ දෙති. ගුටිබැට කන්නෝ වෙති. පින් කළෝ මරණින් පසු සුගතියෙහි උපදිති. නිවන් ලබති. එයින් ම නිවී යති” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක. 

අත්තනාව කතං පාපං අත්තනා සඞ්කිලිස්සති, 

අත්තනා අකතං පාපං අත්තනාව විසුජ්ඣති, 

සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤො අඤ්ඤං විසොධයෙති. 

තමන් විසින් ම පව් කරණ ලද නම්, (එයින්) තෙමේම කෙලෙසෙන්නේ ය. තමන් විසින් පව් නො කරණ ලද නම්, තෙමේ ම පිරිසිදු වන්නේ ය. පිරිසිදු බව හා අපිරිසිදු බව තම තමා පිළිබඳ වේ. අනෙකෙක් අනෙකකු පිරිසිදු නො කරන්නේ ය. 

අත්තනා එව කතං පාපං = තමන් විසින් ම පව් කරණ ලද නම්. 

අත්තනා සඞ්කිලිස්සති = තෙමේ ම කෙලෙසෙනේ ය. 

යම් කෙනෙක් සතුන් මැරීම්, සොරකම් කිරීම්, පරදාර පරපුරුෂ සෙවුම්, බොරු ඈ බිණුම්, රහමෙරපීම් ඈ පව්කම් කළේ නම්, කරත් නම්, ඔවුහු, හැම, සිවු අපායයෙහි ඉපිද ඉමක් කොණක් නැති දුක් විඳිමින් කෙලෙසෙන්නෝ ය. මේ ඈ පව්කම් කරන කල්හි ද මේ අත්බව්හි ද කෙලෙසෙති. 

අත්තනා අකතං පාපං = තමන් විසින් පව් නො කරණ ලද නම්. 

අත්තනා එව විසුජ්ඣති = තෙමේ ම පිරිසිදු වන්නේ ය. 

යම් කෙනෙක් පවින් දුරු ව, පින් කළේ නම්, කරත් නම් ඔවුහු ස්වර්‍ග සම්පත්තියටත් නිර්‍වාණ සම්පත්තියටත් පැමිණ තුමූ ම පිරිසිදු වෙති. පින් කරණ කල්හි ද පිරිසිදු වෙති. 

සුද්ධි අසුද්ධි පච්චත්තං = පිරිසිදුබව, අපිරිසිදුබව තම තමා අයත් ය. 

සුද්ධි නම්, කුසල් ය. අසුද්ධි නම්, අකුසල් ය. ඒ ඒ සත්ත්‍වයන් විසින් කරණ ලද, කරණු ලබන කුසල් අකුසල් හැම එකෙක් ම කළවුන්ටත් කරන්නවුන්ටත් අයත් ය, යි මෙයින් වදාළ සේක. 

‘අත්තානං පති = පච්චත්තං’ යනු විවෘති යි. තමන් කරණ කුසල් අකුසල් දෙක්හි හිමියා තමන් ම බව ‘පති’ යන්න පැහැදිලි කරයි. ‘සුද්ධි අසුද්ධි අත්තානං පති (සියා)’ කුසල් අකුසල් තමන් පිළිබඳ වන්නේ ය යනු අරුත් ය. ‘කාරකසත්තානං අත්තනියෙව විපච්චති’ යනු අටුවා ය. 

න අඤ්ඤො අඤ්ඤං විසොධයෙ = අනෙකෙක් අනෙකකු පිරිසිදු නො කරන්නේ ය. 

එකකු කළ පවින් අනෙකෙක් අපායට නො යයි. එකකු කළ පිණින් අනෙකෙක් දෙව්ලොව ද නො යයි. සසර දුක් විඳිතත්, සසර දුකින් මිදෙතත්, එයට උපකාර ව සිටින්නේ තම තමන් කළ පව්පින් දෙක ය. තම තමන් කළ පින් පව් දෙකට විපාක තම තමන් ම විඳිය යුතු ය. අනෙකෙක් අනෙකකු පිරිසිදු කිරීමෙහි වත් අපිරිසිදු කිරීමෙහි වත් සමත් නො වේ. ඒ නො වන්නේ ය. තමන් කළ කම්හි විපාක තමන් කරා ම එන්නේ ය. තමන් කළ කම් අන්හු කරාත්, අත්හු කළ කම් තමන් කරාත්, පල විසින් කවදාවත් නො එන්නේ මය. “අනෙකෙක් අනෙකකු පිරිසිදු නො කරන්නේ ය” යි වදාළෝ එහෙයිනි. 

ධර්‍මදේශනාවගේ අවසානයෙහි චූලකාල සෝවාන් වී ය. දේශනාව පැමිණ සිටි පිරිසට ද වැඩ සහිත වූ ය. 

චූලකාලඋපාසක

No comments:

Post a Comment

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...