සත්‍ය නිර්දේශය: දුක්ඛ සත්‍යය
උපන්නොත් දුක මිස සැපතක් නෑ
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ
ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ මහා ලේඛකාධිකාරී
කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටකාචාර්ය,
ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙන් කායානුපස්සනාවේ භාවනා ක්‍රම දාහතරක්, වේදනානුපස්සනාවේ එකක්, ප්‍රභේද වශයෙන් තුනක්, චිත්තානුපස්සනාවේ එක් භාවනාවක්, ප්‍රභේද වශයෙන් දාසයක් ,ධම්මානුපස්සනාවේ ප්‍රභේද වශයෙන් ප්‍රධාන කමටහන් පහක් අනු කමටහන් රාශියක් ගෙනහැර දැක්වූවා. අවසාන එක වන්නේ සත්‍ය පබ්භ යි. එනම්, චතුරාර්ය සත්‍යය යි. සත්‍ය නිර්දේශයේ පළමු කාණ්ඩය දුක්ඛ සත්‍යය යි. එනම් , දුක පිළිබඳ ව වටහා ගැනීම යි.
ලෝකයේ දුක තියෙනවා. එය සත්‍යයක්. පිළිකුල් සහගත, වේදනා සහගත, කායික මානසික වශයෙන් අපමණ දුක් තිබෙනවා. ඒ සියලුම දුක ‘දුක්ඛ සත්‍ය’ වශයෙන් පැහැදිලි කරනවා. එය මනුෂ්‍යයාට පමණක් නො වෙයි, උපන්නා වූ සියලු ම සත්ත්වයන්ට දුක, දුකක් වශයෙන් දැනෙනවා. සතර අපා සත්ත්වයන්ට පැය විසි හතරේ ම දුක ම යි. ගිනි ජාලාවක් මධ්‍යයේ වෙසෙන, දෙතිස් දඬුවම් ලබන, ස්ථානයක්. මේ අනුව දුක්ඛ සත්‍ය ගැන පැහැදිලි වෙනවා. මනු ලොවත් අප්‍රමාණ දුක් විඳින්න තිබෙනවා. දෙව් ලොවත්, බඹ ලොවත් දුක නැති වුණත්, උපත ලැබීම දුකක්.
දුක්ඛ සත්‍යයේ පළමු දුක ජාති දුක යි. එනම්, ඉපදීමේ දුක යි. එසේනම්, මව් කුස තුළ වාසය කරන සත්ත්වයාගේ මවත්, දරුවාත් දුක් විඳිනවා. එහි සීමාවක් නැහැ. සතර අපායේ උපන් සත්ත්වයෝ උපත ලැබීම නිසා දුක් විඳිනවා. එහෙමනම්, කෙනෙක් උපන්නොත්, දුක මිසක් සැප නැති බව යි බුදු දහමේ පෙන්වන්නේ. දුක නැති කළේ, රහතන් වහන්සේලා යි. උන්වහන්සේලා දිගු සංසාරයේ දුක විඳගෙන පැමිණ, අවසන් ආත්ම භාවයේ තණ්හාව නැති කරලා, දුක අවබෝධ කළා. ජාති දුක යනුවෙන් සඳහන් කළ විට එය හොඳට සිතට ගෙන, ජාති දුක හෙවත්, ඉපදීමේ දුක අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. ඉපදීමේ දුක අති භයානක යි. අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි. සතර අපායේ උපත ලැබුවත්, සීමාවක් නැතිව දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. මෙලෙස කල්පනා කර, කර ඉපදීමේ දොස්, ආදීනව දැකිය යුතු යි.
අඳ, ගොළු, බිහිරි ආත්ම භාව ලබා ඒ අය බොහොම දුක් විඳිනවා. ඒ දුකත් කල්පනා කරලා, එයත් අනිත්‍ය , දුක්ඛ , අනාත්ම වශයෙන් වටහා ගත යුතු යි. එහෙමනම්, ඉපදීම යනු මහා දුකක් බව, අමුතුවෙන් කිව යුතු නැහැ. අවීචියේ පටන් භවාග්‍රය දක්වා ම උපදින ස්ථාන තිස් එකක් තිබෙනවා. මෙලෙස හැම ලෝකයක ම උපදින ස්ථාන තිස් එකක් තිබෙන අතර එහි සත්ත්වයෝ උපදිනවා, ජීවත් වෙනවා, මිය යනවා. නැවත උපදිනවා, ජීවත් වෙනවා , නැවත මිය යනවා. එය යි, මහා දුකක් වශයෙන් පෙන්වන්නේ.
ඒ නිසා තමයි, දුක අවබෝධ කරගත් බුද්ධා දී උතුමෝ නිවන ගැන ම සිතා තණ්හාව නැති කළ ආකාරයත් බලා, නිබඳව ම සැපයි, සැපයි යනුවෙන් ප්‍රකාශ කරනවා. මේ ගැන කවුරුත් හොඳින් කල්පනාවෙන් දුක්ඛ සත්‍යයේ ජාති දුක ගැන හොඳට මෙනෙහි කරලා, ඉදිරියට භාවනා දැනුම වැඩි කරගත යුතු යි.
දෙවැන්න ජරා දුක යි. ඉපදිලා නතර වෙන්නේ නැහැ. ජරාවට පත් වෙනවා. කෙස් ටික පැහෙනවා, සම රැළි වැටෙනවා, දත් ටික හැලෙනවා. මෙලෙස අප්‍රමාණ ජරා ලක්ෂණ පහළ වෙනවා. ජරා ලක්ෂණයත් අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ජරාවත් අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් නිබඳව ම මෙනෙහි කරද්දී හොඳට දුක වටහා ගන්න පුළුවන්. ව්‍යාධි දුක එනම්, ලෙඩ වෙනවා, ලෙඩ වීමත් අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ලෙඩ රෝග සියල්ල ගැනම සිතා රෝග සියල්ල ම අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න. මරණ දුක, ඉන්පසුව මිය යනවා. එයත් සැමටම සිදුවන දෙයක්. මරණයත් අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න. ඉන් නතර වන්නේ නැහැ. සෝක දුක , අඬනවා, වැළපෙනවා. සෝකයත් අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, පරිදේව දුක, වැළපීමේ දුක එයත් අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. කායික දුක අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. මානසික දුක අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. දැඩි ආයාසය , උපායාසය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් පංච උපාදානස්ඛන්ධයට ම අයිති මේ සඳහන් දුක්ඛ ධර්මයෝ ටික හොඳට සිතමින් කල්පනා කරමින්, අනිත්‍ය , දුක්ඛ , අනාත්ම වටහා ගත යුතු යි. එකක් පාසා ම මෙනෙහි කළ යුතු යි. එවිට දුක අවබෝධ වෙනවා. එවිට මේ ගමන පහසුවෙන් ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. දුක අවබෝධ නොවුණොත් තණ්හාව නැති කරන්න බැහැ. සංසාර ගමන කෙටි කරගන්න පුළුවන්කමක් නැහැ.
බෝසතාණන් වහන්සේ බෝධි සම්භාර පුරාගෙන දීර්ඝ කාලයක් වැඩම කළේ, දුක්ඛ සත්‍ය අවබෝධ කර ගන්න යි. තණ්හාව නැති කරලා, සමුදය අවබෝධ කර ගන්න යි. නිර්වාණය සාක්ෂාත් කර ගන්න යි. නිරෝධ සත්‍ය අවබෝධ කර ගන්න යි. මාර්ග සත්‍ය අවබෝධ කරගන්න අනාදිමත් කාලයක් උන්වහන්සේ නිවන් මඟ වැඩම කරන්නට යෙදුණේ. කරදර, පීඩා , බාධක අප්‍රමාණ ලැබුණා. සියල්ල ම නුවණින් පිරික්සා කර බලා ඉවසීමෙන් යුක්තව කටයුතු දියුණු කරගන්නට යෙදුණා. ඒ ගැන සිතා, කල්පනා කර කවුුරුත් මේ කියනු ලබන දුක්ඛ සත්‍ය අවබෝධ කර ගන්න මහන්සි ගන්න.
දුකෙහි සීමාවක් නැති බව දැන් වැටහෙනවා. තමන්ට පේන තෙක් මානයක බැලුවත් දුක ම තමයි. ඇතැම් කෙනෙකුට ඉපදීම දුක’ යි පැවසුවාට වටහා ගන්න බැහැ. නමුත් නුවණ පාවිච්චි කළොත්, ඉපදීම දුකක් බව වටහා ගන්න පුළුවන්.
එසේනම්, බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්හි, එකවරම දුක්ඛ සත්‍ය පැහැදිලි කරන්නේ නැහැ. ඒ සත්ත්වයන්ගේ නුවණ බලා, ඒ සත්ත්වයන්ගේ කවර කොටසක් ද, අවබෝධ වෙන්නේ යනුවෙන් බලා, ධර්ම දේශනා පවත්වලා, අවසානයේ චතුරාර්ය සත්‍ය දේශනා කළේ. ඒ දේශනාව අවසන් වෙද්දී මාර්ග ඵල, නිවන් සම්පත් ලබන්න සුදුස්සෝ නිවනට පත් වෙනවා. චතුරාර්ය සත්‍ය දේශනාවට කියන්නේ සාමුක්ඛංසික දේශනාව කියල යි. මෙම පාඩමෙන් කියැවෙන දුක්ඛ සත්‍ය තුළ ජාති, ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස කියන කණ්ඩායම් සියල්ල සිතට ගෙන, එකක් පාසා ම අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරමින් දුක්ඛ සත්‍ය හොඳින් විදර්ශනා කළ යුතු යි. හොඳින් නුවණින් බැලිය යුතු යි.
සාරිපුත්ත මහ රහතන් වහන්සේ, තමන් වහන්සේත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා අනාදිමත් කාලයක් තාපස ජීවිතය ගත කළා. එසේම සිල්වත්, ගුණවත් ජීවිත ගත කළා. එවිටයි පාරමිතා දහය හොඳින් සම්පූර්ණ කරගන්න පුළුවන්කම තියෙන්නේ. පාරමිතා දහය සම්පූර්ණ කර ගත්තොත්, අපේ නිවන් මඟ පැහැදිලි ලෙස ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා කවුරුත් බුදු දහමට අනුව කටයුතු කර, බුදු දහමෙන් ලබාගත යුතු විශේෂ දේ හොඳින් සිතට ගත යුතු යි. අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය , අනාත්ම ලක්ෂණය, නිවන හැර හැම පදයකට ම යොදාගෙන මෙනෙහි කරගෙන යාමෙන් තමන්ගේ නුවණ හොඳින් දියුණු කරගන්න පුළුවන්.
දුක අවබෝධ කරගන්නේ නැතිව කුමන දෙයක්වත් කරගන්න පුළුවන්කමක් නැහැ. තණ්හාව අති භයානක යි. ඒ තණ්හාව නිසා තමයි, සංසාරය දිග් වෙන්නේ. නැවත උපත ලබන්නේ. එබඳු දෙයක් කඩා බිඳ දමන එක ලෙහෙසි පහසු දෙයක් නො වෙයි.
එසේනම්, ‘සුඛා පටිපදා, කිප්පා විඤ්ඤා’ කියන ප්‍රතිපදාවෙන් නිවන් මඟ යා යුතු යි. එවිට වහා ධර්මය අවබෝධ වෙනවා. එවිට දුක් කරදර, පීඩා නැතිව මේ ගමන ඉතා හොඳින් ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. එසේ ගියොත් පමණක්, හැම දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. සැප ප්‍රතිපදාවේ ම ගිහින් නිවන් සුව නොපතා ගියොත්, කවදාකවත් මේ දුක අවබෝධ කරගන්න බැහැ.
නිවන් මඟ ගමන් කිරීම අපහසු’ යි කියන්නේ නුවණ මදි අය යි. එසේ ම තද මසුරු වූ, තරහ , වෛර , ක්‍රෝධ ඇත්තෝ නිවන් මඟට විරුද්ධ වෙන්නේ. බුදු දහමට අනුකූලව කටයුතු කළොත්, කාටවත් වරදින්නේ නැහැ. මහා දරුණු සොර සතුරෝ ද , මිනී මරුවෝ ද බුදු දහම ශ්‍රවණය කර, තුනුරුවන් කෙරෙහි දණ නමා, මහණ උපසම්පදාවත් ලබාගෙන අර්හත්වයට පත් වූ පාඩම් කොතෙකුත් තිබෙනවා. මේ ගැන කල්පනාවෙන් හැකිතාක් තමන්ගේ ගුණ නුවණ ටික හොඳින් දියුණුවෙන්, සම්බුද්ධ ශාසනයෙන් ලබාගත යුතු උතුම් දෙයක් වේ නම්, ඒ දේ ලබා ගැනීම සඳහා කවුරුත් වෙහෙස මහන්සි නොබලා කටයුතු කළ යුතු යි. එයට කරුණාව , මෛත්‍රිය, දයාව, අනුකම්පා ගුණ හොඳට අවශ්‍යය යි.
එසේනම්, අද සඳහන් කළ කරුණු එකක් පාසා ම අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කර, දුක්ඛ සත්‍ය විදර්ශනා හොඳට දියුණු කර ගන්න. සති, සමාධි,ඥාන ද හොඳින් දියුණුවෙන් පාරමිතා ගුණ සම්පූර්ණ කර, අපටත් මේ භාවනාවෙන් ලැබෙන පින හේතු කොට ගෙන , චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අමා මහා නිවන් සම්පත් අවබෝධ කර ගැනීම පිණිස හේතු වාසනා වේවා!
- ජම්මික ප්‍රබෝධනී වැලිකල
No comments:
Post a Comment