සම්මා සම්බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ
පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ශිෂ්‍ය
මණ්ඩාවිල ශ්‍රී අභය සුමනාරාම විහාරවාසී,
බොරැල්ලේ ශ්‍රී වංස හිමි
යො පබ්බජි ජාති සතානි පංච
පාහාය කාමානි මනෝ රමාණි
තණ්වීතරාගං සසමාහිති ඉන්ද්‍රියං
පරිනිබ්බුතං වන්දති සාරිපුත්තං
“මහණෙනි, මේ පිරිනිවන් පාන්නට යෙදුණු සාරිපුත්තයන්ට වන්දනා කරව මහා සාගරය, මහා පොළොව, මහා මේරු පර්වතය, මහා සුළඟ, ගින්න වගේ දේ අප භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ උතුම් විමුක්තියට (නිවනට) සමව උපමා කළ නො හැක. නමුත් මහා නුවණක් ඇති මනා සමාධිමත් සිතක් තිබෙන භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මස්කන්ධය ඒ ආකාරයෙන් ම දේශනා කරනු අපගේ සාරිපුත්ත මහරහත් ස්වාමීන් වහන්සේ මහා සාගරය වගේ, මහා පොළොව වගේ, මහා මේරු පර්වතය වගේ, මහා සුළඟ වගේ, මහා ගින්නක් වගේ. කිසිම දෙයකට අරමුණකට ඇලෙන්නේ නෑ, ගැටෙන්නේ නෑ, ශක්තිමත්.
එකා සංඛේය කල්ප ලක්ෂයක් දස පාරමී ධර්මයන් පුරමින් විවිධාකාර පින්කම්වල නියැළුණු සාරිපුත්ත මහ තෙරණුවෝ දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම කියන්නා වූ තුන් ලොවක් මෛත්‍රී නම් වූ ඒ අමා වැස්සෙන් තෙමා වදාළ වූ තෛ‍්‍රලෝක්‍ය තිලක ගෞතම සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමකි. උන්වහන්සේ අනෝමදස්සී නම් සම්මා සම්බුදුපියාණන් වහන්සේගෙන් නියත විවරණය ලැබ අප භාග්‍යවත් සම්මා සම්බුද්ධ සාසනයේ දකුණු අගසව් තනතුර ලබා ගත්තහ. එසේම උන්වහන්සේ ධර්ම සේනාධිපතීන් වහන්සේ වූ හ. තව ද, ප්‍රඥාවන්ත, භික්ෂූන් වහන්සේ අතර අග්‍රස්ථානය ද ලැබූහ. සාරිපුත්ත මහරහත් ස්වාමීන් වහන්සේ මහා පුදුමාකාර නිහතමානී ගති ඇති, විර්යයන් අතුරින් ඉවසීම පුරුදු කළ උත්තමයාණන් වහන්සේ නමක් වූ හ.
අප භාග්‍යවත් සම්මා සම්බුදු ගෞතමයාණන් වහන්සේ ලොව පහළ වීමට ප්‍රථම රජගහනුවර උපතිස්ස නම් ගමෙහි සාරිනම් බැමිණියට දාව උපන් පුත් කුමරා වූයේ මේ සාරිපුත්ත මහ තෙරුන් වහන්සේ ය. සාරිපුත්ත මහතෙරුන් වහන්සේගේ ගිහි කල නාමය වූයේ උපතිස්ස ය. උපතිස්සගේ මිත්‍රයා වූයේ කෝලිත ය. පසු කල මොග්ගල්ලාන මහතෙරුන් වහන්සේ ය. දිනක් මේ මිත්‍රයන් දෙදෙනා ගිරග්ගසමජ්ජ නම් සැණකෙළියක් නරඹන්නට ගියහ. එහි ඇති නිසරු බව වටහාගෙන ඔවුන් දෙදෙනා උතුම් විමුක්තිය සොයා ගියහ. මේ ගමන යන අතරතුර මොවුන් දෙදෙනාට සංජය නම් පරිබ්‍රාජකයා හමු විය. පසුව එම පරිබ්‍රාජකයා ළඟ තමන් සොයන විමුක්තිය නැති බව තේරුම් ගත් මොවුන් දෙදෙනා නැවත වෙනත් දිශාවකට වෙන වෙනම විමුක්තිය සොයා පිටත්ව ගියේ ය. මෙසේ උපතිස්ස තරුණයා එක දිශාවකටත්, කෝලිත තරුණයා තවත් දිශාවකටත් ගමන් ගත්හ. උපතිස්ස තරුණයාට මේ ගමන අතර තුර අස්සජි නම් මහරහත් ස්වාමීන් වහන්සේ මුණ ගැසුණි. අස්සජි මහරහත් ස්වාමීන් වහන්සේගේ රුවට, සංවර ඉඳුරන්ට පැහැදුණු උපතිස්ස තරුණයා ඔබ වහන්සේ කවුරුන් ළඟ පැවිදි වූ කෙනෙක් ද? ඔබ වහන්සේ පිළිපදින්නේ කාගේ ධර්මයක් ද’ යනුවෙන් විචාළහ. එවිට අස්සජි මහ තෙරණුවෝ ‘ඇවැත්නි මම ගෞතම සම්මා සම්බුදුපියාණන් වහන්සේගෙන් පැවිද්ද ලැබුවෙමි. උන්වහන්සේගේ ධර්මය පිළි පදිමි’ ස්වාමීනි එසේ නම් මට ද ඒ ධර්මය දේශනා කරනු මැනවි. එවිට අස්සජි මහ තෙරණුවෝ මේ ගාථාව දේශනා කළ සේක.
යේ ධම්මා හේතුප්පභවා
තෙසං හේතු තථාගතො ආහ
තෙසඤ්ච යො නිරෝධෝ
එවං වාදි මහා සමණෝ
“යම් ධර්මයක් හේතුවෙන් මුල්කොට ඇද්ද එහි හේතුව භාග්‍යවතුන් වහන්සේ වදාළහ. එහි නිරෝධය ද වදාළහ. අප භාග්‍යවතුන් වහන්සේ මෙබඳු වාද ඇති ශාස්තෘවරයාණන් වහන්සේ නමකි.” ගාථාවේ මුල් පද දෙක අසත්ම උපතිස්ස තරුණයා උතුම් තිසරණය සරණගොස් සෝවාන් ඵලයට පත් විය. දහම අසා සතුටට පත් උපතිස්ස තරුණයා ඔහුගේ මිත්‍රයාට ද ඒ පිළිබඳ පැවසී ය. ඉන් පසුව මොවුන් දෙදෙනාම භාග්‍යවතුන් වහන්සේ වැඩ වසන ස්ථානයට ගොස් පැවිදි වූහ. එතැන් සිට උපතිස්ස නම් තරුණයා සාරිපුත්ත නැතහොත් සැරියුත් මහතෙරුන් වහන්සේ නමින් ප්‍රකට විය. එකල භාග්‍යවතුන් වහන්සේ සූකරකත ලෙනෙහි වැඩ වසමින් දියනක නම් තරුණයාට පරිග්‍රහ සූත්‍රය දේශනා කරනු අසා සාරිපුත්තයන් සව් කෙලෙසුන් නසා උතුම් අරහත්භාවයට පත් වූ හ. දිනක් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ වදාළ සේක. එතදග්ග භික්ඛවේ, මම සාවකානං භික්ඛුනං පඤ්ඤා වන්තානං යදිදං, සාරිපුත්තෝ යනුවෙන් මහණෙනි මාගේ මේ නුවණැති භික්ෂූන් අතර මේ සාරිපුත්ත තෙරුන් අග්‍රවන්නේ යැයි සාරිපුත්ත මහරහත් ස්වාමීන් වහන්සේට අගතනතුර දෙවා වදාළ සේක. සාරිපුත්ත මහරහත් ස්වාමීන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සාරිපුත්ත සීහනාද සූත්‍රය හා සම්මා දිට්ඨි සූත්‍රය වැනි දේශනාවන් දේශනා කරමින් ලෝක ජනි ජනයාව ලොව්තුරු විමුක්තිය මාර්ගයට යවමින් ශ්‍රී සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහත් විශාල සේවාවක් ඉටුකළ සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේගේ මිථ්‍යා දෘෂ්ටික මෑණියන් වූ සාරි බැමිණිය ද, සම්මා දිට්ඨියට පත් කොට උතුම් සෝවාන් ඵලය දක්වා ගෙන ගිය සේක. අවසානයේ මේ භාග්‍යවත් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුළ මහා ආලෝකයක් නිවී ගියා සේ සාරිපුත්ත මහරහතන් ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ මෑණියන්ගේ නිවසේ දී ඉල් පුර පසළොස්වක පොහොය දිනක පිරිනිවන් පා වදාළ සේක. උන්වහන්සේගේ පිරිනිවන පිළිබඳ ව අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. ‘ආනන්දය, සාරිපුත්ත නොමැතිව මේ මගේ සාසනයේ ආලෝකයෙන් අඩක් අඳුරු වූවා සේ ය.”
No comments:
Post a Comment