Wednesday, January 5, 2022

පිරිසිඳ අවබෝධ කළයුතු දුක්ඛ ආර්ය සත්‍යය

 

පිරිසිඳ අවබෝධ කළයුතු දුක්ඛ ආර්ය සත්‍යය 

අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ නො මැතිව, ස්වයංභු ඤාණයෙන් චතුරාර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කොට වදාළහ. එහිදී දුක නම් වූ ආර්ය සත්‍යය පිරිසිඳ අවබෝධ කළ ශාස්තෘන් වහන්සේ දුක්ඛ සමුදය වූ තණ්හාව ප්‍රහාණය කළ සේක. 

දුක්ඛ නිරෝධය හෙවත් අමා මහ නිවන පරිපූර්ණ වශයෙන් සාක්ෂාත් කළ භාග්‍යවතුන් වහන්සේ ඒ අමා නිවන් මඟ සීල, සමාධි, ප්‍රඥා වශයෙන් ප්‍රගුණ කළ සේක. වෙසක් පුන් පොහෝ දින චතුරාර්ය සත්‍යාවබෝධයෙන් ඒ උතුම් සම්බුද්ධත්වය සාක්ෂාත් කළ අපගේ ශාස්තෘන් වහන්සේ, අදවන් ඇසළ පුන් පොහෝ දිනක පස්වග භික්ෂූන් වහන්සේලා අරභයා ඒ විස්මිත අවබෝධය ප්‍රථම වතාවට දම්සක් පැවතුම් සූත්‍රය තුළින් දේශනා කොට වදාළ සේක. 

එහි දී භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළයුතු දුක්ඛාර්ය සත්‍යය පෙන්වා දුන්නේ මේ ආකාරයෙනි. “පින්වත් මහණෙනි” දුක නම් වූ ආර්ය සත්‍යය යනු මෙයයි. ඉපදීම ද දුකකි. ජරාවට පත්වීම ද දුකකි. රෝගපීඩා වැළඳීම ද දුකකි. මරණය ද දුකකි. අපි‍්‍රය පුද්ගලයින් හා අපි‍්‍රය වස්තූන් සමඟ එක්වීම ද දුකකි. පි‍්‍රය පුද්ගලයන්ගෙන් හා පි‍්‍රය වස්තූන්ගෙන් වෙන්වීමද දුකකි. කැමැති වන්නා වූ යමක් ඇද්ද, එය නොලැබීම ද දුකකි. සංක්ෂේපයෙන් කීවොත් පංචඋදානස්කන්ධයෝ ම දුකකි. 

“ඉදං ඛෝ පන භික්ඛවේ දුක්ඛං අරියසච්චං, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ජං නලභති තම්පි දුක්ඛං, සංඛිත්තේන පඤ්චුපාදනක්ඛන්ධා, පි දුක්ඛා) 

මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දී දුක්ඛාර්ය සත්‍යය තවදුරටත් විග්‍රහ කොට වදාළා. එහි දී භාග්‍යවතුන් වහන්සේ ඉපදීම පිළිබඳව පෙන්වා දී ඇත්තේ මෙලෙසයි. “පින්වත් මහණෙනි, ඉපදීම යනු කුමක් ද? ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව ලෝක තුªළ, යම් උපතක් වේ ද, යම් හටගැනීමක් වේ ද, මව්කුසක බැසගැනීමක් වේ ද, විශේෂ උපතක් වේ ද, උපාදානස්කන්ධයන්ගේ පහළවීමක් වේ ද, ඇස්, කන් ආදී ඉඳුරන්ගේ ලැබීමක් වේ ද, මෙය වනාහී ඉපදීම යැයි කියනු ලබන්නේ ය. 

ඉපදීමත් සමඟ දුකක් ඉපදෙන බව බුදුරජාණන් වහන්සේ උප්පාද නම් සූත්‍රයේ දී ඉතාම පැහැදිලි ලෙස මෙසේ වදාළ සේක. “පින්වත් මහණෙනි, රූපයේ, වේදනාවේ, සඤ්ඤාවේ, සංස්කාරයන්ගේ, විඤ්ඤාණයේ යම් ඉපදීමක්, යම් පැවැත්මක්, යම් විශේෂ උපතක්, යම් පහළවීමක් වේ ද, එය වනාහී දුකෙහි ඉපදීම වේ. එය වනාහී රෝගයන්ගේ පැවැත්ම වේ. එය වනාහී ජරා මරණයේ පහළවීම වේ. ජරා මරණයට පත්වන්නේ ඉපදුන දෙයක් ම ය. හටගත් දෙයක් ම ය. යමක හට ගැනීමක් නැතිනම් ජරා මරණයක් නැත. යමක හට ගැනීමක් ඉපදීමක් ඇත්නම් ජරා මරණයන් තිබේ ම ය. ජරා මරණයන්ට හේතුව ‘ඉපදීම’ බව බුදුරජාණන් වහන්සේ අවබෝධ කර ගත්තේ යෝනිසෝමනසිකාරය තුළින් ම ය.

දුක්ඛ ආර්ය සත්‍යයට අයත් ජරා දුක හෙවත් වයසට යෑමේ දුක යනු කුමක් ද? භාග්‍යවතුන් වහන්සේ එය මෙලෙසින් පෙන්වා දුන් සේක. “පින්වත් මහණෙනි, ජරාවට පත්වීම යනු කුමක් ද? ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්ව ලෝක තුළ යම් දිරීමක් වේ ද දිරායන ස්වභාවයක් වේ ද, දත් ආදියෙහි කැඩීමක් වේ ද, කෙස් ආදියෙහි පැසීමක් වේ ද, සමෙහි රැළි වැටීමක් වේ ද, ආයුෂයාගේ ගෙවීමක් වේ ද, ඇස් ආදී ඉඳුරන්ගේ මෝරා යාමක් වේ ද, මෙය වනාහිී ජරාවට පත්වීම යැයි කියනු ලබන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම විග්‍රහයේ සඳහන් වන්නේ ජීවිතයක මුහුණ දිය යුතු ඒකාන්ත සත්‍යයකි. මෙය අපටනම් අදාළ නැතැයි කිසිවෙකුටවත් අවංකව පැවසිය නොහැක. මේ ජරා, මරණ දුක සමස්ත සත්ත්ව ලෝකය පුරාම වෙනසක් නොමැතිව දකින්නට ලැබෙන සත්‍යයකි. කාලයකට පමණක් වලංගු නො වන අකාලික සත්‍යයකි. ජරාව යනු සැපක් නොව දුකක් ම බව නුවණින් විමසා බලන කෙනෙකුට පැහැදිලිව දැකිය හැකි සත්‍යයකි. 

ජරාවට පත්වන ජීවිතය මරණයෙන් නිමා වේ. බුදුරජාණන් වහන්සේ වදාළේ මරණයත් අවබෝධ කළ යුතු ‘දුක’ නම් වූ ආර්ය සත්‍යයට අයිති බවයි. එමෙන්ම සියලු සත්ත්වයෝ මරණයට බියපත් වන බවයි. (සබ්බේ භායන්ති මච්චුණෝ) මරණය ඉදිරියේ සත්ත්වයා ජීවිතය ඉල්ලා හඬා වැටේ. අන්ත අසරණභාවයට පත්වේ. භාග්‍යවතුන් වහන්සේ මරණ දුක විස්තර කර වදාළේ මෙලෙසිනි. “පින්වත් මහණෙනි, මරණය යනු කුමක් ද? ඒ ඒ සත්ත්ව ලෝකවල ජීවත්වන්නා වූ, ඒ ඒ සත්ත්වයින්ගේ ජීවිතවලින් යම් චුතවීමක් වේ ද, චුත වී යන ස්වභාවයක් වේ ද, ජීවිතයේ බිඳී යන ස්වභාවයක් වේ ද, (ජීවිතය නොපෙනී ගොස්) අතුරුදහන් වීමක් වේ ද, මරණයට පත්වීමක් වේ ද, කලුරිය කිරීමක් වේ ද, පංච උපාදානස්ඛන්ධයන්ගේ බිඳී යාමක් වේ ද. ශරීරය අත්හැරදැමීමක් වේ ද, මෙයටයි මරණය කියා කියන්නේ.” 

එමෙන්ම සසර සැරිසරන සත්ත්වයා හට නිරන්තරයෙන් ම අපි‍්‍රය වස්තූන් සමඟ එක්වීමේ දුකට මුහුණපාන්නට සිදු වේ. සියලු දුකෙන් නිදහස්වී වදාළ අපගේ ශාස්තෘන් වහන්සේ ඒ පිළිබඳ වදාරා ඇත්තේ මේ අයුරින් ය. තමා අකැමැති වූ, අපි‍්‍රය, අමනාප වූ, රූප, ශබ්ද, ගන්ධ, රස, පහස හා අරමුණු සමග එක්වන්නට සිදුවෙයි, එමෙන්ම යම් කෙනෙකු වනාහී තමා විපතට හෙලනු කැමැති වූ, තමාගේ අයහපත කැමැති වූ, තමන්ට පීඩා කරනු කැමැති වූ යම්බදු පුද්ගලයෝ සිටිත්ද එබඳු පුද්ගලයන් සමග යම් මුණගැසීමක් වේ ද, එකට හමුවීමක් වේ ද, එකට වාසය කරන්නට සිදුවේ ද, පින්වත් මහණෙනි මෙය වනාහී අපි‍්‍රය පුද්ගලයින් හා අපි‍්‍රය වස්තූන් සමඟ එක්වීමේ දුක යැයි කියනු ලබන්නේ ය.” 

තව ද, සංසාරගත සත්ත්වයා මුහුණදෙන තවත් බැරෑරුම් දුක් පීඩාවක් වන්නේ පි‍්‍රය පුද්ගලයන්ගෙන් හා පි‍්‍රය වස්තූන්ගේ වෙන්වීමේ දුකයි. සියල්ල අවබෝධ කළ අනාවරණය ප්‍රඥා ඇති භාග්‍යවතුන් වහන්සේ එය ද අවබෝධ කළයුතු දුක්ඛ ආර්ය සත්‍යය යටතේ මෙසේ විවරණය කළ සේක. “යම් කෙනෙකු වනාහි ඉතා යහපත් වූ, සුන්දර වූ, පි‍්‍රයමනාප වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස හා අරමුණුවලින් වෙන්වන්නට සිදුවේ ද, එමෙන්ම යම් කෙනෙකු වනාහී තමාගේ යහපත කැමැති වූ, තමාට සෙත සලසනු කැමැති වූ තමාගේ පහසු විහරණය කැමති වූ, මව්පියන් හා සහෝදර සහෝදරියන් ද, යහළුවන් හා ඥාතීන්ද යන මෙබඳු පුද්ගලයෝ සිටිත්ද, මෙබඳු පුද්ගලයන්ගෙන් වෙන්වීමක් වේ ද, එක් නොවී ජීවත්වන්නට වේ ද, එක් නොවී සිටීමක් වේ ද, එකට වාසය කිරීමක් නොවේ ද මෙය වනාහී පි‍්‍රය පුද්ගලයින්ගෙන් හා පි‍්‍රය වස්තූන්ගෙන් වෙන්වීමේ දුක යැයි කියනු ලබන්නේ ය.” 

මේ අයුරින් අනේක ප්‍රකාර දුක් දොම්නස් විඳින එයින් පීඩිත වූ සත්ත්වයන්හට එම දුක්දොම්නස් තමා කරා නො පැමිණෙන්නේ නම්, කොතරම් හොඳද? කියා සිතෙහි කැමැත්තක් උපදින්නේ ය. එනම් ඉපදීම, ජරාවට පත්වීම, ලෙඩවීම, මරණය, සෝක පරිදේව, දුක්, දොම්නස්, උපායාංග උරුමකරගත් සත්ත්වයන් හට එම දුක් තමන් කරා නො පැමිණෙන්නේ නම් කො තරම් හොඳදැයි කියා කැමැත්ත උපදින්නේ ය. එනමුත් එය වනාහී කැමැත්ත තිබූ පමණින් උදාකරගන්නට නො හැක්කේම ය. මෙය කැමැති වන්නා වූ දෙය නො ලැබීමේ දුකයි. භාග්‍යවතුන් වහන්සේ වදාළේ කෙටියෙන් පැවසුවහොත් පංච උපාදානස්ඛන්ධය ම දුකක් බවයි. 

භාග්‍යවතුන් වහන්සේ මෙසේ හේතුඵල දහම තුළ හටගන්නා සමස්ත දුක්ඛස්කන්ධය ම පෙන්වා දුන්නේ දුක පිරිසිඳ අවබෝධ කොට, එයින් නිදහස්වීම පිණිස යි. දුක හටගන්නා ත්‍රිවිධ තණ්හාව ප්‍රහාණය කළ යුතු බව ද, දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළයුතු බව ද, ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල, සමාධි, ප්‍රඥා වශයෙන් වැඩිය යුතු බව ද ශාස්තෘන් වහන්සේ පෙන්වා දුන් සේක. එමනිසා ගිහි, පැවිදි ශ්‍රාවකයන් වූ අපත් ඒ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස තව තවත් උත්සාහවත් වෙමු.

No comments:

Post a Comment

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...