සසර පැවැත්මටහේතුව කුමක්ද?
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ආරණ්‍ය සේනාසනයේ
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
සතිපට්ඨාන භාවනාවෙහි චතුරාර්ය සත්‍ය ධර්මය බුදුන් වහන්සේ පැහැදිලි කර තිබෙනවා. චතුරාර්ය සත්‍යයට නමක් වන්නේ සාමුක්ඛංසික දේශනාව යි. පසුගිය ලිපියෙන් දුක්ඛ සත්‍ය පිළිබඳව සඳහන් කළ අතර කායික , මානසික වශයෙන් අප්‍රමාණ දුකක් විඳින්න සිදුවන අයුරු ද , ඒ එකක් පාසාම භාවනාවට ගන්නා ක්‍රමය ද පැහැදිලි කළා.
අද සඳහන් කරන්නේ සමුදය සත්‍ය යි. සමුදය යනු ‘සං - වූ - අය’ යන වචන තුන සංයෝගවීමෙන් සමුදය යන වදන සෑදී තිබෙනවා. හේතුව කියන තේරුම යි. දුක් හට ගැනීමට හේතුව යි. එනම්, සමුදය සත්‍යය යි. තණ්හාව සමඟ යෙදුණු විට දුක්ඛ සමුදය යනුවෙන් පංචස්ඛන්ධයේ උපතට හේතුවක් වන නිසා දුක්ඛ සමුදය යනුවෙන් පැහැදිලි කරනවා. එවිට දුක්ඛ සමුදය යනුවෙන් සඳහන් කළ විට, දුක් හටගන්නා වූ තැන හැටියට යි, පැහැදිලි කරන්නේ. ඒ තෘෂ්ණාව යි. තෘෂ්ණාව කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව යනුවෙන් ප්‍රධාන වශයෙන් තුනක් තිබෙනවා. ඒ තෘෂ්ණාව උන්වහන්සේ පැහැදිලි කරන්නට යෙදුණේ, ප්‍රධාන වශයෙන් සංසාරයේ නැවත, නැවත උප්පත්තියට සිදුවන දේ පිළිබඳව යි. එසේනම්, සමුදය සත්‍ය සංසාරයේ පැවැත්මට හේතුවක් වෙයි. සසරෙන් නිදහස් වීමක් නො වෙයි, සසර පැවැත්මට හේතුවක් වෙයි.
අප කවුරුත් උපන්නේ තණ්හාව නිස යි. එය දුරු කළේ මහ රහත් උතුමෝ පමණ යි. අනෙක් සෑම දෙනාට ම තණ්හාව තිබෙනවා. අනාගාමී උතුමන්ට කාම රාග, පංචකාම වස්තූන් පිළිබඳව තෘෂ්ණාව නැහැ. නමුත් රූප රාග , අරූප රාග, ආදී භව තණ්හාව තිබෙනවා. රහතන් වහන්සේ පමණක් සියලුම දේ දුරු කර තණ්හාව දුරු කළා. එසේනම් , උන්වහන්සේ පමණයි, බොහොම හොඳ නිදහස් ජීවිතයක් ගත කරන්නේ. තණ්හාවට බුදු දහමේ නම් සියයක් තිබෙනවා. එහෙමනම්, තෘෂ්ණාව කෙතරම් භයානක දෙයක් ද? වැඩිපුරම වචන සංඛ්‍යාවක් තිබෙන්නේ තණ්හාවට යි. අනෙක් පදවලට එතරම් අර්ථ නැහැ. තණ්හාවන්ගේ දුරු වීම නිරෝධය යි. එනම් නිර්වාණය යි. නිවන් සම්පත් ලැබේවා යනු තණ්හාව නැති කිරීම යි. තණ්හාව නැති කිරීම අපහසු ම වැඩක්. එය සංසාරයේ දිගු කලක් සිට එන දෙයක්. දුකට හේතුවන දෙයක්. එකවර අස්කරන එක අපහසු යි. ටික, ටික නැති කරන්නට අවශ්‍යය යි. එය හොඳට මෙනෙහි කර, සිතේ බැහැගෙන තිබෙන තෘෂ්ණාව නැතිකළ යුතු යි.
තෘෂ්ණාවේ ස්වභාවය සත්ත්වයා නැවත, නැවත සංසාරයට යොමු කිරීම යි. සතර අපායේ වැඩිපුරම වාසය කරනවා. මනු ලොව උපත ලැබුව ද සසර දික් කරනවා. දෙව් ලොව, බඹ ලොව උපන්නත් එහි භව තණ්හාව ප්‍රභල යි. තමා උපත ලැබූ භවයට ඇති ආශාව භව තණ්හාව යි. විභව තණ්හාව යනු මරණින් මතු උපතක් නැතැ ‘යි බලවත් ලෙස ගන්නවා, දුක් හට ගන්නා ගමන්. එයත් වැටෙන්නේ සමුදය සත්‍යයට යි.
එසේම රූප තණ්හාව - රූපයට ඇති ආශාව , ශබ්දයට ඇති ආශාව ශබ්ද තණ්හාව යි. රසයට ඇති ආශාව රස තණ්හාව යි. සුවඳට ඇති ආශාව ගන්ධ තණ්හාව යි. ස්පර්ශයට ඇති තණ්හාව පොට්ඨබ්භ තණ්හාව යි. අනෙක් සියලුම දේ ධම්ම තණ්හාව යි. ඒ කොටස් ටිකම අතීත කාලික බැවින් අතීත තණ්හාව, අනාගතයෙත් උපදින බැවින් අනාගත තණ්හාව, මේ මොහොතේ උපදින බැවින් වර්තමාන තණ්හාව යි. තමන්ගේ සන්ථානයේ මෙය හටගන්නා බැවින් අජ්ඣට්ඨික තණ්හාව, බාහිර වස්තූන් කෙරෙහි හට ගන්නා බැවින් බාහිර තණ්හාව යි. මේ ටික වැඩි කළ විට එකසිය අටවැදෑරුම් තෘෂ්ණාව වෙයි.
එය හොඳින් සිතින් දැන කියාගෙන , සිතෙන් මෙනෙහි කරගෙන ඉදිරියට යා යුතු යි. තමන්ගේ චිත්ත සන්ථානය දියුණු තියුණු කර ගැනීමට නම්, සිතේ පහළවන එකසිය අට වැදෑරුම් තෘෂ්ණාව ක්‍රම ක්‍රමයෙන් යට කරන්නට, ඉවත් කරන්නට අවශ්‍යය යි. එවිට දුක්ඛ සත්‍ය හට ගැනීමක් වෙන්නේ නැහැ. දුක හටගන්නේ නැති නිසා තණ්හාව ඉවත් වෙනවා. නිවනට සමීප වෙලා, බුදු , පසේ බුදු, මහ රහතන් වහන්සේලා ඉතා පැහැදිලිව එය මනාකොට අවබෝධ කරගෙන තියෙනවා. සමුදය සත්‍ය පිරිසිඳ දැනගත යුතු යි. සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතු යි. නිර්වාණය සාක්ෂාත් කළ යුතු යි. බුදු දහමේ සඳහන් කරන චතුරාර්ය සත්‍ය දේශනාවේ සමුදය සත්‍ය යනුවෙන් කියන්නේ සමුදය හෙවත් තණ්හාව යි. තණ්හාව නම් වශයෙන් සියයක් ද , වර්ග ලෙස එකසිය අටක් ද බුදු දහමේ සඳහන් කරනවා. මේවා හොඳින් ඉගෙන කියාගෙන තමන් යහපත් ධර්මතාවයෝ දියුණු කරගන්නට මහන්සි ගත යුතු යි.
භාවනාවට ගැනීමේ දී සමුදය සත්‍යය ම ප්‍රහාණය කර ගැනීම සඳහා තණ්හාව තණ්හාව වශයෙන් දැනගත යුතු යි. කාම තණ්හාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නොවේ. එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. භව තණ්හාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. විභව තණ්හාව මම නොවෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. රූප තණ්හාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා, අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ශබ්ද තණ්හාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ගන්ධ තණ්හාව මම නොවෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. රස තණ්හාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ස්පර්ශ තණ්හාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ධම්ම තණ්හාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. අතීත තණ්හාව මම නොවෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා අතීත තණ්හාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. අනාගත තණ්හාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. වර්තමාන තණ්හාව මම නො වෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. අධ්‍යාත්මික තණ්හාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. බාහිර තණ්හාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. අවසානයේ තණ්හාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කර, පරිත්‍යාග චේතනාව වැඩිකරමින් තෘෂ්ණාව නැති කිරීම එනම්, සමුදය සත්‍ය ප්‍රහාණය කිරීම සඳහා උත්සාහවන්ත වෙන්නට අවශ්‍යය යි. එයින් තම ජීවිතයට යහපතක් දැක ගන්නට පුළුවන්කම තියෙනවා.
තමන්ගේ ජීවිතයේ තෘෂ්ණාව තිබෙන තුරා සැපවත් භාවයට පත් වන්නේ නැහැ. තණ්හාව දුරු කළොත්, එය නැති කළොත් යහපතක් දැක ගන්න පුළුවන්කම තිබෙනවා. බුදු දහමේ පමණ යි, ඒ සියල්ලම පැහැදිලි කරන්නේ. බුදු දහමේ පමණයි, තණ්හාව , තණ්හාව ලෙසින් දුක් උපදවන දේ වශයෙන් පැහැදිලි කරන්නේ. ඒ පිළිබඳ මනා දැනීමක් ඇති කරගෙන , කවුරුත් සමුදය සත්‍ය ප්‍රහාණය කිරීම සඳහා මහන්සි ගත්තොත්, ඉතාමත් ම පැහැදිලි දෙයක් අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙනවා. තම, තමන්ගේ ජීවිතවල හට ගැනීම , පැවැත්ම සම්පූර්ණයෙන් තෘෂ්ණාව නැති කරන ක්‍රම ඉගෙන කියාගෙන , භාවනා කොටස සිතෙන් මෙනෙහි කළ යුතු යි. කොළයක සටහන් තබා හෝ තණ්හාව හට ගන්නා ක්‍රමය ඉගෙන කියාගෙන , තණ්හාව දුරු කරන ක්‍රමයත් වටහාගෙන කටයුතු කළොත් ඉතාමත්ම වැදගත්.
තණ්හාවේ ස්වභාවය දුක් රැස් කිරීම නම්, සංසාර ගමන දික් කිරීමක් වෙනවා. කවර තැනකවත් උපන්නොත් දුක , දුකම යි. සැප නැහැ. එසේනම්, දුකේ ස්වභාවය මනාකොට වටහාගන්න අවශ්‍ය යි, උවදුරු සහිත බැවින් , පිළිකුල් බැවින් , නින්දිත බැවින් , පෘතග්ජනයන්ගේ සැප සුබ කල්පනාවෙන් ගත්තා වූ දෙයක් ලෙසින් දුක සඳහන් කළ හැකි යි. ඇත්ත ඇති සැටියෙන් බලනවානම්, යෙදී තිබෙන්නේ පිළිකුල් අර්ථයක්, හිස් දෙයක්, නින්දිත දෙයක් තිබෙන්නේ. ඒ නිසා ‘දුක්ඛ’ යනුවෙන් පැහැදිලි කළා. එසේනම්, දුක් සම්පූර්ණයෙන් රැස්කර දුන්නේ සමුදය සත්‍යය යි. එලෙස රැස් කරන්නේ තණ්හාව යි. ඒ තෘෂ්ණාව තමයි, එකසිය අට වැදෑරුම් ක්‍රමයකට උගන්වන්නේ. එලෙස තණ්හාවට නම් වශයෙන් සියයක් පැහැදිලි කරන්නේ. ඒවා කවුරුත් දැනකියාගෙන , සමුදය සත්‍ය ප්‍රහාණය සඳහා ම උත්සාහවන්ත වෙන්නට අවශ්‍යය යි. එවිට සමුදය සත්‍ය ප්‍රහාණය කිරීම සඳහා තමයි, බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට දේශනාවන් පැවැත්වූයේ.
පංචවර්ගීය භික්ෂූන් වහන්සේලාට ප්‍රථමයෙන් ම තණ්හාව නැති කිරීම සඳහා උපදෙස් මාලාවක් දී කළ ධර්ම දේශනාවෙන් තණ්හාව සම්පූර්ණයෙන් දුරු කරගන්නට පුළුවන්කම ලැබුණේ. එසේනම්, තණ්හාව දුරු කර ගැනීම සඳහා මනා වැටහීමකින් යුතුව කටයුතු කරගත යුතු යි. එවිට තම සිතෙහි පහළවන තණ්හාව මුළුමනින් දුරු කරගන්න පුළුවන්. තණ්හාව නැති වුණොත් පමණක් සසර දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. නිර්වාණය අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. නිවන් දකිනා ජාති දක්වා කරදර, කම්කටොළු, බාධක තුරන් ව යන්නට නම්, හොඳ නුවණින් වැඩ කටයුතු කළ යුතු යි. නුවණ පාවිච්චි කළ යුතු යි. එලෙස කටයුතු කළොත් පමණක් අපට මේ සංසාර දුකෙන් නිදහස් ව, ආර්ය සත්‍ය අවබෝධය පිණිස බැසගෙන කටයුතු කරන්න පුළුවන්. ශීල, සමාධි, ප්‍රඥා යන උතුම් ගුණ තුන හොඳට දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ පිළිබඳ මනා වැටහීමකින්, කටයුතු කළොත්, ඔබ , අප සැමදෙනාට ම සැනසුමක් ලබන්න පුළුවන්. දියුණුවක්, යහපතක්, සලසාගන්න පුළුවන්. එලෙස වැටහීමෙන් කවුරුත් සමුදය සත්‍ය කියන තණ්හාව නැති කිරීම සඳහා හැකිතාක් දාන, ශීල, භාවනා ප්‍රතිපදාව දියුණුවෙන් මෙලොව ජීවිතය හොඳින් ගත කර, ඇලීම ගැටීම ආදී සියල්ලක් ම දුරුකර දමන, දුක්ඛ සත්‍ය අවබෝධයෙන්, සමුදය සත්‍ය ප්‍රහාණය කරගෙන බුද්ධාදී උතුමන් නිවී සැනසුණු අමා මහා නිවන් සම්පත් අවබෝධ කරගන්නට සමුදය සත්‍ය භාවනා පාඩම හේතු වාසනා වේවා!
- ජම්මික ප්‍රබෝධනී වැලිකල
No comments:
Post a Comment