දවස තිලෝගුරු සම්මා සම්බුදුරජානන් වහන්සේ අලුයම ලොව බලා වදාරණ සේක් යුදට සැරසී ගත් දෙපස නෑයන් දැක “මා මෙහි නො ගියහොත් මූ හැම දෙන යුදබිම නැසී යන්නාහ, එහෙයින් මා දැන් එහි යා යුතුය” යි සිතා එකලාව ම අහසින් වැඩ රොහිණී ගඟ මැඳ අහසෙහි පලක් බැඳ වැඩ හුන් සේක. යුද පිණිස ගඟබඩ දෙපස රැස් වූ නෑයෝ බුදුරජුන් දැක යුද අවි බිම දමා දොහොත් මුදුන් දී වැඳ සිටියහ. ඉක්බිති බුදුරජානන් වහන්සේ “මහරජුනි! මේ කලහය කුමක් නිසා?” යි විචාළවිට “නො දනිමු ස්වාමීනි!” යි ඔවුහු කීහ. “කවරෙක් දනී දැ?” යි විචාළවිට “සෙනෙවිරද්හු දනිති” යි කීහ. සෙනෙවිරදුන් විවාළ විට “යුවරජහු දනිති” යි කීහ. මෙලෙසින් දස් කම්කරුවන් තෙක් චිචාරා ඔවුන් දියදබරයෙකැ යි කීවිට “මහරජුනි! මෙය දියදබරයෙකැ යි කියත්, එසේ නම් දබරයට මුල් වූ දියත්ත වටිනා කමින් කොතෙක් වටී ද, දිය මිලට ගන්නේ ද නො වේ, වටිනාකම කිය හැක්කේ දිය මිලට ගණිතොත් පමණි, දිය සිඳී බොන්නට නාන්නට දිය නැති ව ගිය කල්හි වුව ද දියෙහි වටිනා කමෙක් නෑ නො වේ දැ” යි වදාළ විට “එසේ ය ස්වාමීනි! දියෙහි වටිනාකමෙක් නැත, දිය සිඳී ගිය කල්හි ද දියෙහි වටිනා කමෙක් නැතැ” යි ඔවුහු කීහ. “එසේ නම් අගයක් නැති දියත්තක් නිසා යුද වැද සිටුනා තොපගෙන් එකක්හුගේ වටිනාකම කොතරම් වේ දැ?” යි ඇසූ කල්හි “තිලෝගුරු හිමියනේ! අප එකක්හුගේ වටිනා කම නො කිය හැකිය, අගය මෙතෙකැ යි පමණ නො කිය හැකිය” යි කීහ. බුදුරජානන් වහන්සේ “එසේ නම් වැඩි වටිනාකමක් නැති වටිතත් තුට්ටුවක් තරමිනුත් නො වටිනා දියත්තක් නිසා පමණ නො කටහැකි අගය ඇති එක් රජදරු කෙනෙකුන් වුව ද මේ නිසා නැසී ගියහොත් එය තොපට තරම් දැ” යි අසා වදාළ සේක. එහිදී ඔවුහු සැම දෙන නිහඬ වූහ. බුදුරජානන් වහන්සේ ඔවුන් අමතා “මහරජුනි! කුමක් නිසා මෙබඳු නො සුදුසු ගැරහිය යුතු කරුණක් ඉදිරියට ගෙණ අවි ගැටුම් දිවිනැසුම් කරන්නහු ද, මම දැන් මෙහි නො ආයෙම් නම් අද මෙහි මේ ගඟ ලේගඟක් වනු එකාන්ත ය, තෙපි ඉදිරිපත් වූවහු අයුත්තක් අපරාධයක් කරන්නට ය, තෙපි උනුන් කෙරෙහි වෛරී ව වසන්නහු ය, මම වෛර නැත්තෙම් වෙමි, තෙපි කෙලෙස් ලෙඩින් පීඩිත ව වසන්නහු ය, මම කෙලෙස් ලෙඩින් නො ද පීඩිත වෙමි, තෙපි සසර දිග් ගසන පස්කම් බැඳුම් සෙවුමෙහි උත්සාහ ඇති ව වසන්නහු ය, මම එහි උත්සාහ රහිත ව වසමි” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
සුසුඛං වත ජීවාම වෙරිනෙසු අවෙරිනො,
වෙරිනෙසු මනුස්සෙසු විහරාම අවෙරිනො.
.
සුසුඛං වත ජීවාම ආතුරෙසු අනාතුරා,
ආතුරෙසු මනුස්සෙසු, විහරාම අනාතුරා.
.
සුසුඛං වත ජීවාම උස්සුකෙසු අනුස්සුකා
උස්සුකෙසු මනුස්සෙසු විහරාම අනුස්සුකා.
වෛර ඇති මිනිසුන් අතුරෙහි අවෛරි වූ අපි, මිනිසුන් වෛර ඇතිව වසන කල්හි අවෛරී ව වසමු ද, (ඒ අපි) එකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වන්නෙමු.
ආතුර වූවන් අතුරෙහි නො ද ආතුර වූ අපි, මිනිසුන් ආතුර ව වසන කල්හි අනාතුර ම වසමු ද, (ඒ අපි) එකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වන්නෙමු.
උත්සාහ ඇත්තවුන් අතුරෙහි උත්සාහ රහිත වූ අපි, මිනිසුන් උත්සාහ ඇති ව වසන කල්හි උත්සාහ රහිත ව වසමු ද, (ඒ අපි) එකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වන්නෙමු.
No comments:
Post a Comment