රන් සෑයෙක්
පූජාරහෙ පූජයතො බුද්ධෙ යදි ව සාවකෙ
පපඤ්චසමතික්කන්තෙ තිණ්ණසොකපරිද්දවෙ.
(ආමිස ප්‍රතිපත්ති දෙකින්) පිදීමට සුදුසු වූ, (තෘෂ්ණා දෘෂ්ටි මාන යන තුන්) ප්‍රපංචයන් මොනොවට ඉක්මියා වූ, ඉක්ම ගිය ශෝක පරිද්‍රව ඇති (හෙවත් ශෝකපරිද්‍රව දුඃඛයෙන් එතෙර ට ගියා වූ) බුදු පසේබුදුන් ද නොහොත් බුදුසව්වන් ද වන්‍දනමානනාදියෙන් සිවු පසයෙනුත් යමෙක් පුදා ද,
තෙ තාදිසෙ පූජයතො නිබ්බුතෙ අකුතොභයෙ
න සක්කා පුඤ්ඤං සඞ්ඛාතුං ඉමෙත්තමපි කෙනචි.
රාගාදි කෙලෙස්ගිනි නිවීමෙන් නිවුනු සිත් ඇති, කිසි බියෙකින් වත් අරමුණෙකින් වත් උවදුරක් නැත්තා වූ, එ බඳු (හෙවත් මෙකී ගුණෙන් යුත්) ඒ බුදු පසේබුදු සව්වන් (දිවමන් කල්හි ද පිරිනිවි කල්හි ද) පුදන්නහුගේ පින්කම් මේ මෙතෙකැ යි ගණින්නට කිසි පුද්ගලයකු විසිනුදු නො පිළිවනි.
සම්මා සම්බුදුරජානන් වහන්සේ දවසෙක සැවැතින් නික්ම බරණැස බලා මහාභික්‍ෂුසඞ්ඝයා පිරිවර කොට ඇති ව වඩිනා සේක්, අතරමග තොදෙය්‍ය ගම සමීපයෙහි වූ එක්තරා දෙවොලකට ගොඩවැද අනඳ තෙරුන් යවා ඒ අසල ගොවිකම් කරමින් හුන් බමුණකු කැඳවා ලූ සේක. එ බමුණු පැමිණ බුදුරජුන් නො වැඳ එහි දෙවොල වැඳ සිටියේ ය. එකල්හි බුදුරජානන් වහන්සේ ද “බමුණ! මේ පෙදෙස කිමැ යි හඟනෙහි දැ?” යි අසා වදාළ සේක. ඔහු “මෙ තැන අපගේ පරපුරෙන් ආ සෑ තැනෙකි, භවත් ගෞතමයන් වහන්ස! ඒ නිසා වඳිමි” යි පිළිතුරු දින. බුදුරජානන් වහන්සේ “තා විසින් කළ සෑ වැඳීම ඉතා අගනේ ය, මෙ තැන වඳින තා විසින් කරන ලද්දේ ඉතා යහපත් ක්‍රියාවකැ”යි බමුණා සතුටු කළ සේක. ඒ වේලෙහි එහි හුන් භික්‍ෂූන් වහන්සේ බුදුරජානන් වහන්සේ බමුණාට කළ ස්තුතිය අසා “කුමක් නිසා භාග්‍යවතුන් වහන්සේ මොහුට මෙබඳු උසස් පැසසීමක් කළ සේක් දැ” යි සැකයක් ඉපද වූහ. ඉක්බිති බුදුරජානන් වහන්සේ ඒ භික්‍ෂූන් ගේ සැකය දුරු කරණු පිණිස මැදුම්සඟියෙහි ආ ඝටීකාර සූත්‍රය වදාළ සේක. නැවැත ස්වකීය ඍද්ධ්‍යනුභාවයෙන් කසුප් බුදුරජුන්ගේ යොත්නක් උස් වූ රන්සෑය අනෙක් රන්සෑයක් කොට අහසැ මවා මහාජනයාට දැක්වූ සේක. “බමුණ! මෙසේ කිරීම, පිදිය යුත්තන්ට පිදීම ඉතා සුදුසු ය” යි වදාරා මහාපරිනිර්‍වාණ සූත්‍රයෙහි වදාළ ලෙසින් ම බුද්ධාදී වූ චතුර්විධස්තුපාර්‍හයන් මේ මේ ය යි පැහැදිලි කොට දුන්හ. නැවත එහිදී ශාරීරික - උද්දෙසික - පාරිභෝගික යන ත්‍රිවිධ චෛත්‍යයන් වෙසෙසින් දක්වා මේ ධර්‍මදේශනාව ද කළ සේක.
පූජාරහෙ පූජයතො බුද්ධෙ යදි ච සාවකෙ,
පපඤ්චසමතික්කන්තෙ තිණ්ණසොකපරිද්දවෙ,
.
තෙ තාදිසෙ පූජයතො නිබ්බුතෙ අකුතෝ භයෙ,
න සක්කා පුඤ්ඤං සඞ්ඛාතුං ඉමෙත්තමිති කෙනචීති.
පූජාවට සුදුසු වූ ප්‍රපඤ්චයන් ඉක්මවා ගිය ඉක්මවාලු ශෝක පරිදේවයන් ඇති බුදුවරුන් ද නොහොත් බුදු සව්වන් ද (යමෙක්) පුදා ද, නිවුනු සිත් ඇති කොතැනිනුත් බියරහිත වූ එබඳු පුද්ගලයන් පුදන්නහුගේ පිණ මේ මෙතෙකැ යි ගණින්නට කිසිවකුටත් නො හැකි ය.
පූජාරහෙ = පිදීමට සුදුසු වූ. පිදිය යුතු වූ.
ආමිෂපූජා-ප්‍රතිපත්තිපූජා යි ඉතා කොටින් පූජා දෙකෙකි. විස්තර මතු එන්නේ ය. ඒ දෙ පරිදි වූ ම පූජාවන්ට සුදුසු වූවෝ කවරහු ද, යනු ගාථායෙහි එන අනෙක් පදයන්ගෙන් මතු වන්නේ ය.
පූජයතො = පුදා ද.
ය ශබ්ද ප්‍රථමා විභක්ති එකවචනය වූ ‘යො’ යනු අපේක්‍ෂා කොට සිටියේ ය.
බුද්ධෙ = බුදුවරුන්ද. [1]
සාවකෙ = බුදුසව්වන් ද. [2]
පපඤ්චසමතික්කන්තෙ = ප්‍රපඤ්චයන් ඉක්මවා ගිය.
පපඤ්ච නම්, තෘෂ්ණාදෘෂ්ටිමානයෝ ය. තෘෂ්ණාදෘෂ්ටිමානයෝ සත්ත්‍වයන් සසර බොහෝ කල් තබත්නු යි පපඤ්ච නම් වෙත්. “පපඤ්චෙන්ති සත්තෙ සංසාරෙ චිරං ඨපෙන්තීති = පපඤ්චා” යනු විවෘති යි. සත්ත්‍වයන් සසර මත් වූවන් සේ පමාවූවන් සේ තබත්නු යි ද පපඤ්ච. මේ ඒ කියූ සැටි:- “පපඤ්චෙන්ති සත්තෙ මත්තපමත්තාකාරෙනාති = පපඤ්චා” යි. තෘෂ්ණා දෘෂ්ටි මානයන්ගේ විස්තර යට කියන ලදි. ප්‍රපඤ්චසඞ්ඛ්‍යාත තෘෂ්ණා දෘෂ්ටි මානයන් ඉක්මවා ගියෝ ආර්‍ය්‍යයන් වහන්සේ ය. උන්වහන්සේ ස්‍රෝතාපත්ත්‍යාදී ආර්‍ය්‍යමාර්‍ගඥානයෙන් ඔවුන් ඉක්මවා ගියහ. එහෙයින් ආර්‍ය්‍යයෝ පපඤ්චසමතික්කන්ත නම්.
තිණ්ණසොක පරිද්දවෙ = තරණය කළ ශොක පරිදෙවයන් ඇති. පරිදෙවයන් නැසූ.
ශෝක පරිදේව විස්තරය කියන ලද්දේ ය. ශෝක පරිදේව ද නැසිය යුත්තේ තරණය කළ යුත්තේ මාර්‍ගඥානයෙනි.
තෙ තාදිසෙ = එබඳු වූ ඔවුන්.
බුදු-පසේබුදු-මහරහතුන් වහන්සේ ගැණෙත්.
පූජයතො = පුදන්නහුට, නැත, පුදන්නහුගේ.
නිබ්බුතෙ = නිවී ගිය සිත් ඇති.
රාග - දෝස - මෝහ - ජාති - ජරා - මරණ - සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාස යන මොවුන් සත්ත්‍වයන් දවාලන කෙලෙස් ගිනි ය. මේ ගිනිවලින් නො දැවෙන එක ද පෘථග්ජනයෙක්, ලෝකයෙහි කො තැනකත් නැත්තේ ය. මුළු සත්ත්‍වලෝකය දිවා රෑ දෙක්හි අතර නො තබා ම ඇවිළ දන්නේ ය. මේ ගිනි නිවීම වන්නේ ආර්‍ය්‍යමාර්‍ගඥානප්‍රතිලාභයෙනි. එහෙයින් මේ ගිනි නිවුවෝ ආර්‍ය්‍යමාර්‍ගඥානප්‍රතිලාභයෙන් කෘතකෘත්‍ය වූ ආර්‍ය්‍යයන් වහන්සේ ය. බුද්ධාදි උත්තමයෝ ය. උන්වහන්සේ ය නිබ්බුත. කෙලෙස්ගිනි මුළුමනින් නිවාලූ බැවිනි.
අකුතො භයෙ = කො තැනිනුදු බිය රහිත වූ.
දිව්‍ය - බ්‍රහ්ම - මනුෂ්‍ය - නරක - තිර්‍ය්‍යක් - ප්‍රේත - අසුර යන මේ කිසිතැනකින් අරමුණෙකින් ඉපැදුම් - පෙළුම් - දිරුම් - මැරුම් ඈ කිසි පෙරැළියෙකින් නො බිය වන්නෝ බිය නැත්තෝ ලෝකාතීත වූ බුද්ධාදි ආර්‍ය්‍යයන් වහන්සේ ය. එසේ ම ලෝකධර්‍මයන් ගෙන් නො තැවෙන්නෝ නො ද සැලෙන්නෝ මුන්වහන්සේ ය. එහෙයින් මුන්වහන්සේ අකුතො භය නම් වෙත්.
ප්‍රථම ගාථායෙහි එන පූජාරහෙ - පපඤ්චසමතික්කන්තෙ - තිණ්ණසොකපරිද්දවෙ යන තෙ පදය එක් ව බුද්ධ - සාවකෙ යන දෙ පදයට විශේෂණ විසින් සිටියේ ය. ද්වීතීය ගාථායෙහි එන තාදිසෙ - නිබ්බුතෙ - අකුතො භයෙ යන තෙ පදය තෙ යන්නට විශේෂණව සිටියේ ය.
න සක්කා පුඤ්ඤං සඞ්ඛාතුං ඉමෙත්තමිති කෙන චි = පිණ මේ මෙතෙකැ යි ගණන්නට කිසිවකු විසිනුදු නො හැකි ය. පිණ ගණින්නට කිසිවකුටත් නො හැකි ය. පිණෙහි අණ ගුණ යට කියන ලදි.
පිදිය යුතු වූ, ඉක්මවා සිටි ප්‍රපඤ්ච ඇති එතෙර කළ ශෝක පරිදේව ඇති බුදුවරුන් බුදුසව්වන් යමෙක් පුදා ද, නිවුනු රාගාදි ගිනි ඇති කො තැනිනුත් බිය නැති එබඳු පුද්ගලයන් වඳින්නහුට පුදන්නහුට ගැබෙන පිණ, පිණෙහි පමණ මේ මෙතෙකැයි කිය හැක්කෙක් ලෝකයෙහි නැත්තේ ය. දෙවියකු විසින් බ්‍රහ්මයකු විසින් මාරයකු විසින් මනුෂ්‍යයකු විසින් ඒ ලැබෙන පිහි පමණ නො කිය හැකි ය. මෙබඳු ගුණවත් මහා පුරුෂයන් ජීවත් ව ඉන්ද දී හෝ පිරිනිවී ගිය කල්හි හෝ, වඳින පුදන කල්හි, ඒ වඳින්නහුට පුදන්නහුට තම සිත සම සේ පිහිටුවා ගත හැකි නම් ඔවුනට ලැබෙන විපාක ඵලය සමාන වේ. බුද්ධාදී වූ උතුමන් කෙරෙහි වන චිත්තප්‍රසාද හේතුවෙන් පමණකුත් සත්ත්‍වයෝ සුගතියට යන්නාහ.
බුදුරජානන් වහන්සේ රජගහ නුවර වෙළුවනාරාමයෙහි වැඩ වසනා දවසෙක ඉතා අලුයම් කාලයෙහි බුදුරජුන් විසින් පුරුදු පුහුණු කළ මහාකරුණා සමාපත්තියට සමවැදී එයින් නැගී සිට, ලොව බලා වදාළ සේක්, එනුවර සැඩොල් ගෙයක වසන එක් සැඩොල් මැහැල්ලියක දුටු සේක. දැක ඇය කෙරෙහි නැගුනු මහත් කරුණා ඇති බුදුරජානන් වහන්සේ තමන් වහන්සේගේ නුවණැස යොදා බලන සේක්, ඇය ආයු ගෙවී ඇති බැවින් හා නිරයෙහි උපදවන පෙර කළ අකුශල කර්‍මයක් විපාකදාන අවස්ථාවට එළඹ සිටුනා බැවින් අදම කලුරිය කොට අපායයෙහි උපදනා බව දැන, ඇය ලවා දෙව්ලොව ඉපදීමට කරුණු වන කුශලකර්‍මයක් කරවන්නට මහණගණයාත් පිරිවරා ගෙණ රජගහනුවර පිඩු සිඟා වැඩි සේක. සැඩොලිය ද සැරයටිකොණ එල්බ කොළපතක් අතට ගෙණ නුවරින් බැහැර යන්නී බුදුරජුන් දැක ඒ දෙසට මූණ දී සිටියා ය. බුදුරජානන් වහන්සේ ඇයගේ ගමන් වළකන්නා සේ ඇය ඉදිරියෙහි වැඩ සිටි සේක. එකල්හි ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන මහාස්ථවිරයන් වහන්සේ බුදුරජානන් වහන්සේගේ අදහස් දැන ආයු ගෙවී ගිය බැගෑපත් සැඩොල් මැහැල්ලිය ද දැක ඈ ලවා බුදුරජුන්ගේ පා වන්දවනු පිණිස මහත් කරුණායෙන් මෙසේ වදාළ සේක:-
“සැඩොලිය! මුන්වහන්සේ එසේ මෙසේ කෙනෙක් නො වෙත්, මුන්වහන්සේ සියලු මුනිවරයන්ට උතුම් වූ සියල්ල දත් මහාකාරුණික වූ ගෞතම බුදුරජානන් වහන්සේ ය, තී කෙරෙහි මහත් අනුකම්පායෙන් නුවරට නො වැඩ තිට පරලොවින් යහ පතක් කරනු සඳහා මහසඟුන් පිරිවරා ගෙණ මෙහි වැඩ සිටින සේක, දෙවිමිනිසුන් විසින් කරණු ලබන කුදුමහත් පූජා, මහත් විපාක ඇත්තක් කිරීමෙහි සමර්‍ත්‍ථ වූ මුන්වහන්සේ කෙරෙහි සිත පහදා ගණුව, තීගේ ජීවිතය පවත්නා කාලය ඉතා සුලු ය, වැඩි කල් නො පවත්නේ ය, එය දැන් බිඳ වැටෙනු ඇත, එහෙයින් දොහොත් මුදුන් දී බුදුරජානන් වහන්සේගේ සිරිපා වහා වදුව” යි.
සැඩොලිය එ බස් අසා හටගත් වෙවුලුම් ඇත්තේ පහන් සිතින් පසඟ පිහිටුවා වැඳ බුදුරජුන් කෙරෙහි වූ ප්‍රීතියෙන් එකඟ වූ සිත් ඇති ව සිටියා ය. බුදුරජානන් වහන්සේ ද සැඩොලිය තමන් වහන්සේ කෙරෙහි පහන් ව ගිය බව දැන මෙය මෑට දෙව්ලොව ඉපදීමට පමණැ යි මහණගණයාත් ගෙණ නුවර පිඬු සිඟා වැඩිසේක. ඒ වේලෙහි අලුත වැදු ගව දෙනක් වසුපැටියාත් සමග එ තැනින් දුවන්නී බුදුරජුන් වෙත ම බැල්ම හෙලා සිටි මැහැල්ලට අඟින් ඇණ ඇය ජීවිතක්‍ෂයට පත් කළා ය. එකෙණහි ඕ තොමෝ බුදුරජුන් කෙරෙහි කළ චිත්තප්‍රසාදමාත්‍ර හේතුවෙන් තව්තිසා දෙව් ලොව මහත් වූ රන් විමනෙක දෙවඟනන් සිය දහසක් පිරිවර කොටි උපන්නී ය. එසේ උපත ලැබූ ඒ දෙව්දු තොමෝ තමන්ගේ දිවඉසුරු බලා උදම්ව “මම කිනම් කුසලයක් කොට මෙබඳු මහත් දෙව් සැපතක් ලැබීම් දැ” යි බලන්නී මුගලන් මහා තෙරුන්ගේ නියමයෙන් බුදුරජුන්ගේ සිරිපා වැඳ උන්වහන්සේ කෙරෙහි කළ චිත්ත ප්‍රසාදමාත්‍රයෙන් ලදැ යි දැක බුදුරජුන්ගේ හා මහාතෙරුන්ගේ ගුණ සිහි කොට “මහා තෙරුන් දක්නට යෙමි” යි සිතා විමානය සමග මිනිස් ලොවට අවුත් මහතෙරුන් කරා එළැඹ විමන අහස්හි රඳවා විමනින් බැස, “මහාවීරයන් වහන්ස! දිව්‍යද්ධිර්යට පැමිණි මම මේ වනයෙහි එකලාව වැඩ හිඳනා ක්‍ෂය කළ ආශ්‍රව ඇති පහ වූ රාගාදිරජස් ඒ ඇති තෘෂ්ණාරහිත වූ මහත් අනුභාව ඇති ඔබ වහන්සේ වඳිමි” යි වැඳ සිටියා ය.
එකල්හි මුගලන් මහා තෙරණුවන් “මා වඳින තී කවරහ” යි අසා වදාළ විට “ස්වාමීනි! එදා ඔබ වහන්සේ විසින් බුදුරජුන්ගේ පා වඳුව යි නියෝග කරන ලද මම මහත් ප්‍රසාදයෙන් උන්වහන්සේගේ පා වැඳ සිටි සැඩොල් මැහැලිය වෙමි, එ කෙණෙහි ම කුළු දෙනක විසින් ඇණ මරණ ලද්දී දැන් තව්තිසා දෙව්ලොව රන් විමනෙක ඉපිද සිටිමි, සියදහසක් දෙවඟනෝ මට පිරිවරව සිටිත්, ඒ හැම එකියකට ම වඩා මම. සිරුරු පැහැයෙන් හා පිරිවර සැපතින් ප්‍රධාන වෙමි, මේ මහත් සැපත ලැබීමට මම ලොකු පින් කමක් නො කෙළෙමි, මේ සැපත ලැබීමට කරුණු වූයේ පින්වතුන් වහන්සේගේ නියෝගයෙන් මග වඩනා බුදු රජානන් වහන්සේගේ පා වැඳ උන්වහන්සේ කෙරෙහි කළ චිත්ත ප්‍රසාදමාත්‍රය” යි කියා ඒ දෙව්දු තොමෝ දෙව්ලොවට ගියා ය.
මේ ඒ දෙව්දුවගේ ප්‍රකාශය පොතෙහි ආ සැටි:-
“අහං භදන්තෙ චණ්ඩාලී තයා වීරෙන පෙසිතා,
වන්‍දිං අරහතො පාදෙ ගොතමස්ස යසස්සිනො.
.
සාහං වන්‍දිත්‍ව පාදානි චුතා චණ්ඩාලයොනියා,
විමානං සබ්බතො භද්දං උපපන්නම්භි නන්‍දනං.
.
අච්ඡරානං සතසහස්සං පුරක්ඛත්‍වාන තිට්ඨති,
තාසාහං පවරා සෙට්ඨා වණ්ණෙන යස්සා යුතා.
.
පහූතකතකල්‍යාණා සම්පජානා පතිස්සතා,
මුනිං කාරුණිකං ලොකෙ තං භන්තෙ වන්‍දිතුමාගතාති”
තමන් වෙත අලුත උපන් දෙව්දුවක දැක සක්දෙව්රජ තෙමේ “සොඳුර! තී පෙර මිනිසත් බවේදී කිනම් කුසලයක් කෙළෙහි ද? මේ මහත් දිව්‍ය විපාකය කිනම් කුශලකර්‍මයක් කොට ලද දැ?” යි. ඇසී ය. “සක්දෙව්රජතුමනි! මම එදා රජගහනුවර එක්තරා ගැහැණියක් වීමි, ඒ මම ඉතා උදෑසන නින්දෙන් නැගිට මුණකට සෝදා ගෙයි කටයුතු කොට පිරිසිදුව ඇඳ පැලඳ ගෙණ වැටකොලු මල් සතරක් කඩා ගෙන අජාසත් රජු විසින් බුදුරජුන් පිරිනිවි කල්හි බුදුරජුන්ගේ සිරුරුද නිදන් කොට ගොඩ නැගු දාගැබට පුදනට මග බැස ගියෙමි, වටපිට නො බලා බුදුගුණ සිහි කරමින් මග බැස ගිය මා වෙතට දුව ආ දෙනකු විසින් දුන් අං පහරින් මම එතැන ම මැරී වැටුනෙමි, දාගැබට මල් පුදන්නට නො හැකි වීමි, ඒ මල් දා පුදන්නට සිතා ගත් පමණින් මේ මහත් සැපත ලැබීමි, ඉදින් මල් පුදන්නට ඉඩ ලැබුනේ නම්, මෙයට වඩා මහත් සැපතක් ලබනු එකාන්තය” යි ඒ දෙව්දූ තොමෝ කීවා ය.
මේ දෙව් දුව කී සැටි:-
“කොසාතකී නාම ලතත්‍ථි භන්තෙ, තිත්තිකා අනභිච්ඡිතා,
තස්සා චත්තාරි පුප්ඵානි, ථූපං අභිහරිං අහං.
.
සත්‍ථු සරීරමුද්දිස්ස, විප්පසන්නෙන චෙතසා,
නාස්ස මග්ගං අවෙක්ඛිස්සං, න තග්ගමනසා සතී.
.
තතො මං අවධී ගාවී, ථූපං අපත්තමානසං,
තඤ්චාහං අභිසඤ්චෙය්‍යං, භිය්‍යො නූන ඉතො සියා.
.
තෙන කම්මෙන දෙවින්‍ද, මඝවා දෙවකුඤ්ජර,
පහාය මානුසං දෙහං, තව සහබ්‍යමාගතා”
එකල්හි සක්දෙව්රජ තෙමේ මාතලී දෙව්පුත් අමතා “මාතලි! පුදුමයෙක්, මේ විසිතුරු වූ කර්‍මවිපාකය බලව, ටික විසිනුදු කළ කුශලකර්‍මය මහත් ඵල ඇත්තේ ය, තථාගත වූ සම්බුදු රජුන් කෙරෙහි හෝ උන්වහන්සේගේ සව්වකු කෙරෙහි හෝ සිත පහන් කල්හි දක්‍ෂිණාව ස්වල්ප නො වන්නී ය, මාතලි! එව, අපි වඩ වඩාත් තථාගතයන් වහන්සේගේ ධාතූන් පුදමු, එහිලා මඳකුදු පසුබට විය යුතු නොවේ, පින් රැස් කිරීම සැප යි, බුදුරජුන් දිවමන් කල්හි හෝ පිරිනිවී කල්හි උන්වහන්සේ කෙරෙහි සිත පහන් කල්හි සම වූ විපාක වන්නේ ය, යම් තැනක පුද සැලකිලි කොට සත්ත්‍වයෝ සග සැපටත් නිවන් සැපටත් යත් ද, තථාගතයන් වහන්සේ ඒ හේතුයෙන් බොහෝ දෙනාට හිත සැප පිණිස ලොව පහළ වන්නාහ” යි කී ය.
එදා සැඩොල් මැහැල්ලියක් ව සිටි මැයට මේ මහත් උදාර වූ දෙව්සැපත ලැබීමට කරුණු වූයේ අතර මග දී දිවමන් බුදුරජුන් සියැසින් දැක උන්වහන්සේගේ මහත් ගුණයෙහි ඉපද වූ චිත්ත ප්‍රසාදමාත්‍රය යි.
එදා එක්තරා කුලගෙයක ඉපද සිටි මැයට මේ මහත් උදාර වූ දෙව්සැපත ලැබීමට කරුණු වූයේ සිරුරුදා නිදන් කොට කළ දාගැබක් මලින් පුදන්නට කළ චිත්තොත්පාදය යි. මේ දෙ දෙනාගේ චිත්තප්‍රසාදයත් චිත්තොත්පාදයත් දෙක ම බුදුරජුන් අරමුණු කොට වී ය. පිරිනිවි බුදුරජුන් කෙරෙහි හෝ පිරිනිවි බුදුසව්වෙකු කෙරෙහි හෝ සියැසින් නො දැක ද චිත්තප්‍රසාද මාත්‍රයෙන් දිව සැපත් ලැබීම සසුන් පිළිවෙතෙහි නො වඳ බව කියාලන්නේ ය.
බුදු සව්වන් කෙරෙහි සැදෑ සිතින් කරණ සත්කාරයෙහි ඉෂ්ට විපාකය බලනු මැනැවි.
රජගහනුවර වැසි එක්තරා සැදැහැති උපාසකයෙක් සඞ්ඝයා උදෙසා නිතිබත් සතරක් දෙන්නට නියම කොට එය සකස් කොට දෙන්නේ ය. ඔහුගේ ගෙය පිහිටි පෙදෙස නිතර සොරුන් හැසිරෙන පෙදෙසක් වූ බැවින් සොරුන්ගෙන් උවදුරු වේ ය යන බියෙන් ඒ වළකාලනු පිණිස නිතර ගෙයි දොර වසා තබන්නේ ය. මේ නිසා සිඟා වඩනා භික්‍ෂූන් වහන්සේ ඇතැම් දවසක එහි පිඬු සිඟා වැඩියාහු ද පිඬු නො ලැබ හැරී එන්නාහ. දවසක් උපාසක තෙමේ “සොඳුර! කිම අපගේ ස්වාමීන් වහන්සේ පිඬු සිඟා මෙහි වඩනා සේක් ද? උන්වහන්සේට භික්‍ෂාව පිරි නමන්නී දැ” යි සිය බිරිය අතින් විචාළේ ය. එවිට ඕ තොමෝ “හිමියෙනි! ඇතැම් දවස්හි උන්වහන්සේ මෙහි නො වඩිනා සේක, ඒ නො වඩිනා දවස්වල දන් පිරිනමන්නට නො ලැබේ ය” යි කිවු ය. “මා නිතිබත් සතරක් පිළියෙල කොට තිබිය දී උන්වහන්සේ දිනපතා මෙහි නො වඩින්නේ කුමක් නිසා දැ” යි උපාසකයා ඇසූ විට “දිනපතා වාගේ මේ ගෙයි දොර වසා තිබෙන බැවින් උන්වහන්සේ එසේ නො වඩිනු ඇතැ” යි උපාසිකා තොමෝ කිවා ය. උපාසක මේ අසා මහත් සංවේගයට පැමිණ එක් මිනිසකු දොරටුපල්ලකු කොට එහි සිටුවා “තමුසේ අද පටන් මේ ගෙය රැක බලා ගෙණ මෙහි නැවතී සිටිය යුතු ය, පිඬු සිඟා වඩිනා ස්වාමීන් වහන්සේ මේ ගෙට වැඩියා ම දොර හැර උන්වහන්සේ ගෙය තුළට වැඩම කරවා පාත්‍රය පිළිගෙන අසුන් පැණවීම් පා දෙවීම් ඈ සියලු වතාවත් දැන මැනැවින් කළ යුතු ය” යි නියම කෙළේ ය. දොරටුපල් තෙමේ “මැනැවැ” යි එය පිළිගෙණ එතැන් පටන් එසේ කරණුයේ ගෙට වඩිනා භික්‍ෂූන් වහන්සේට වතාවත් කොට දන් පිළිගන්වා අවසානයෙහි උන්වහන්සේ වෙතින් බණ අසා උපන් සැදෑ ඇතියේ කම්පල අදහා සරණසිල් පන්සිල්හි පිහිටා ගත්තේ ය. කලක් ගෙවී ගිය තැන මිය ගොස් යාම දේවලෝකයෙහි උපන්නේ ය. දොරටුපල්ලා අනුන්ගේ දානයෙහි වතාවත් කිරීමෙන් හා එහි පින් අනුමෝදන් වීමෙන් මිය ගොස් තව්තිසා දෙව්ලොව උපන්නේ ය. ඔහුට එහි සොළොස් යොදුන් පමණ වූ රන් විමනෙක් පහළ වී ය.
දවසෙක දෙව්ලොව චාරිකායෙහි වැඩම කළ මුගලන් මහා තෙරුන්ට හමු වූ මේ දෙව්පුත් තෙමේ “ස්වාමීනි! මෙහි ඉපැත්මට මා කළ පින්කම උපාසකයාගේ ගෙට වඩනා බුදුසව්වනට අසුන් පණවා දී, මෙහි වැඩ හිඳිනු මැනැව, ආර්‍ය්‍යයන්ගේ ආරෝග්‍යය කෙසේ ද? වසන තැන් සුවපහසු කම් ඇත්තේ දැ? යි පැවැත් වූ පටිසන්‍ථාර කථාමාත්‍රය හා, මොවුහු බ්‍රහ්මචාරීහු ය, ධර්‍මචාරීහු ය, සිල්වත්හ යි යන ඈ විසින් සිතෙහි පැවැති ප්‍රසාදමාත්‍රය” යි දන්වා සිටියේ ය.
මේ දෙව්පුත්හුගේ ප්‍රකාශය:-
“දිබ්බං මමං වස්සසහස්සමායු
වාචාභිගීතං මනසා පවත්තිතං,
එත්තාවතා ඨස්සති පුඤ්ඤකම්මො
දිබ්බෙහි කාමෙහි සමඞ්ගිභූතො” යි.
බණපොතෙහි ආ මේ ද දන්නේ ය.
“තිට්ඨන්තෙ නිබ්බුතෙ චාපි සමෙ චිත්තෙ සමං ඵලං,
චෙතො පණිධිහෙතූහි සත්තා ගච්ඡන්ති සුග්ගතිං
බහුන්නං වත අත්‍ථාය උප්පජ්ජන්ති තථාගතා,
යත්‍ථ කාරං කරිත්‍වාන සග්ගං ගච්ඡන්ති දායකා”
එහෙයින් තෙරුවන් ගුණ සලකා පහන් සිතින් කරණ කුදු මහත් හැම පිදිවිල්ලක් ම විපාකදානයෙන් මහත් වන බැවින් කරණ කුසලය කුඩා ය යි කිසිවකු විසිනුත් පින් කිරීමට පසු බට නො විය යුතු ය. පිණට අවමන් නො කළ යුතු ය. දෙවියන්ගේ හෝ මිනිසුන්ගේ ජීවිතය වැඩී යනුයේ පින් කළ තරමටැ යි දැන පින් කළ යුතු ය. යහතින් දිවි ගෙවන්නට නම් තෙරුවන් කෙරෙහි පහන් සිත් ඇතිව පින් කළ යුතු ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ බමුණු තෙමේ සෝවන් වූයේ ය. යොත්නක් පමණ වූ රන්සෑය සත් දවසක් අහස ම රැඳී සිටියේ ය. එහි රැස් වූ මහාජනකාය ද ඉතා මහත් වී ය. ඔවුහු සතිය මුළුල්ලෙහි නොයෙක් අයුරින් සෑය පිදූහ. එහි රැස්ව හුන් මිසදිටු ගත්තවුන්ගේ මිසදිටු ද බිඳී ගියේ ය. සතිය කෙළවර සෑය බුදුරජුන්ගේ ආනුභාවයෙන් තුබූ තැන ම පිහිටා ගත්තේ ය. රන්සෑය පිහිටා තිබූ තැන එ කෙණෙහි ම ගල්සෑයෙක් පහළ ව සිට ගතු. ඒ මහාජනසමාගමයෙහි අසූසාර දහසක් දෙනාහට ධර්‍මාවබෝධය වූයේ ය.
ස්වර්‍ණචෛත්‍ය වස්තුව නිමි.
No comments:
Post a Comment