කර්මයට අනුව විපාකය නියතයි
අතුරුගිරිය සදහම් පදනමේ
අනුශාසක
ගලිගමුවේ ඤාණදීප හිමි
" ‘මහණෙනි, චේතනාවක් පහළ කරලා යම් කර්මයක් රැස් කරාද, එහි විපාක නොවිඳා ප්‍රහාණය කරන ක්‍රමයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ’ යි සඳහන් වෙනවා.'
බුදුන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පරිපූර්ණ කළ ද, අවසාන මොහොතේ කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයේ ගෞතම බෝසතාණන් වහන්සේගේ වදනින් සිදු වූ යම් අකුසලයක විපාකයක් බලවත් වූ බව සඳහන් වෙනවා. ඒ වන විට බුදුරජාණන් වහන්සේලා විසි තුන් නමකගෙන් විවරණ ලබා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් දස පාරමී , පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී වශයෙන් සම්පූර්ණ වෙලා අවසානයට විවරණ ගන්න තිබෙන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන්.
ඒ කාලයේ බෝසතාණන් වහන්සේ ජෝතිපාල මානවක නමින් බොහොම ධනවත්, කුලවත් උසස් පවුලක උපත ලබා සිටියා. ඒ කාලයේ තමන්ගේ යාළුවෙක් සිටියා, ඔහු වළං සාදා ජීවත්වන කුඹල් කරුවෙක්. ඔහුගේ නම ඝටීකාර. ඒ තැනැත්තා බොහොම සාධාරණව වළං සාදා ඒ මුදලින් මව් පියන් පෝෂණය කරමින් අහිංසක දිවි පෙවෙතක් ගත කළා. දවසක් මේ ඝටීකාර, බුදුන් වහන්සේගෙන් ධර්මය අසා පැහැදී ධර්මය අවබෝධයක්, වැටහීමක් ඇති වුණා. ඔහු කල්පනා කළේ, තම මිත්‍ර ජෝතිපාල ද කෙසේ හෝ බණ අසන්නට රැගෙන යා යුතු බව යි. ඒ නිසා ඔහු මෙසේ පැවසුවා. ‘යහළුව, ලොවුතුරා බුදු කෙනෙක් පහළවී සිටිනවා. අපි බණ අසන්න යමුදැ’යි විමසුවා. එසේ පවසද්දී බෝසතාණන් වහන්සේ වූ ජෝතිපාලගේ මුවින් පැවසුවේ ‘මුඩු මහණන්ගෙන් බණ අසා වැඩක් නැති’ බව යි. දෙවන වතාවටත් ඝටීකාර පැවසුවේ, නෑ මිත්‍රය, බුදු කෙනෙක් පහළ වෙලා. අපි බණ අසන්න යමු’යි යනුවෙනි. දෙවන වතාවටත් ජෝතිපාල පැවසුවේ ‘මුඩු මහණන්ගෙන් බණ අසා වැඩක් නැති බව යි.’ මේ මොහොතේ ඝටිකාර උපක්‍රමයක් යෙදුවා. අපි දිය නාන්න ගඟට යමු යැ’යි පැවසුවා. ඒ කාලයේ කුල භේදය දඹදිව බලවත් ව තිබුණා. උසස් කුලයේ පුද්ගලයෙක් ගඟට බැස දිය නාද්දී , පහත් කුලයක කෙනෙක් එදාට ගඟට බසින්නේ නැහැ. ඒ නිසා ජෝතිපාල මානවකයා දිය නා අවසන් වෙද්දී, ඝටීකාර ගං ඉවුරට වී කල්පනා කළා. ඔහුගේ වෑයම වුණේ, තම මිතුරා කෙසේ හෝ බණ අසන්න රැගෙන යා යුතු බව යි. දිය නා අවසන්ව ගොඩට පැමිණෙන, ජෝතිපාල මානවකයාගේ කෙස් වැටියෙන් ඝටීකාර අල්ලා ගත්තා. බණ අසන්න එනවද, නැද්දැ’යි ඔහු විමසුවා. එලෙස අසද්දී ජෝතිපාල මානවකයා මෙලෙස කල්පනා කළා. ඝටීකාර කුඹල් කරුවෙක්. ඔහු පහත් කුලයේ කෙනෙක්. මා වගේ උසස් කුලයක කෙනෙක්ගේ කෙස් වැටිය කවදාවත් මෙලෙස අල්ලන්නේ නැහැ. කවදාවත් නැතිව ඔහු, මට සැර කළා, කෙස් වැටියෙන් අල්ලා, බණ අසන්න යනවද? නැද්ද යනුවෙන් මට සැර කළා. එසේනම්, බණ කියන්නේ ඒකාන්තයෙන් ම බුදු කෙනෙක් වෙන්න ඇති. ඒ නිසා බණ අසන්න යමු යැ’යි එදා දෙදෙනාම කාශ්‍යප බුදුරදුන් හමුවට ගියා. බණ ඇසූ ජෝතිපාල මානවකයා එදා කාශ්‍යප බුදුන් වහන්සේ ළඟ පැවිදි වුණා. පැවිදි වී විසි හතර වන වරටත් විවරණ ලබා ගත්තා. ‘මහණෙනි, මේ මහා භද්‍ර කල්පයේ ඊළඟට ගෞතම නමින් සම්මා සම්බුදු පදවිය ලබන්නේ මේ උත්තමයන් වහන්සේ බව වදාළා.
එසේනම්, සංසාරයේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා මේ කෙලෙස් සහිතව යන ගමනේ භයානකකම වදනින් වූ පුංචි වැරැද්ද, එනම්, ‘ඔය මුඩු මහණන්ගෙන් බණ අසා වැඩක් නැහැ’ කියන වදන පිට වුණා. මේ වදනින් සිදු වූ පාපී අකුසලය විපාකයක් ලෙස බුද්ධත්වයට පත්වෙන්න අවුරුදු හයක් අනේකවිධ දුක් පීඩා විඳිමින් දුෂ්කර ක්‍රියා කළා.
එසේනම්, මේ සියල්ල බුදුන් වහන්සේ ම බුද්ධත්වයට පත්ව වදාළා. ‘මහණෙනි, මේ පෙර කර්මයක්. සංසාරයේ රැස්කරගත් කර්ම විපාක, බුද්ධත්වය ලැබුවත්, පසු පස විපාක වශයෙන් පැමිණියා. එසේනම්, මේ සමාජයේ ජීවත්වන සාමාන්‍ය මිනිසුන් කරන, කියන , සිතන දේ, අපමණ අපරාධ කෙතරම් ද? මේවා සසරේ විඳිමින් යන බලවත් කර්මයන් ලෙස මිනිසුන් කෙතරම් රැස් කර ගන්නවාද? එහි විපාක ඔවුන්ට කෙතරම් කලක් විපාක වශයෙන් විඳින්නට ලැබෙයි’ ද?
බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් අහෝසි කර්ම පෙන්වා වදාළා. එය ඇතැම් මිනිසුන්ට එසේනම්, අප කරගත් කර්ම අහෝසි කරගන්නා ක්‍රමයක් ඇතැ’යි සිතෙන්නට පුළුවනි. ඇතැම් ආගම්වල පව් සමාකර ගන්නවා වගේ අහෝසි කරගන්න පුළුවන් කර්ම ස්වභාවයක් බුදුරජාණන් වහන්සේ දකින්නේ නැහැ. බුදුන් වහන්සේ පෙන්වනවා, ‘මහණෙනි, චේතනාවක් පහළ කරලා යම් කර්මයක් රැස් කරාද, එහි විපාක නොවිඳා ප්‍රහාණය කරන ක්‍රමයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ’ යි සඳහන් වෙනවා.
යම් චේතනාවක් පහළ කර කර්මය රැස් කළොත් එහි විපාක තමන්ට කුමන ක්‍රමයකින් හෝ කැරකී, කැරැකී එනවාම යි. ඒ නිසා පින්වතුනි, අහෝසි කර්ම යනුවෙන් පෙන්වන්නේ ධර්මාවබෝධයත් සමඟ විපාක දෙන පරිසරයක් නැති වීම තුළ අහෝසිවන කොටසක්. ඒ යම්කිසි කෙනෙක් කෙසේ හෝ වීර්යයෙන් භාවනා කර සෝවාන් ඵලයට පත් වුණොත්, ඒ සමඟ ම අපායගාමී අකුසල් සියල්ල ම අහෝසි වෙනවා. ඒ නිසා ඒ උත්තමයා සතර අපායෙන් මිදෙනවා. එපමණක් නොවේ, සෝතාපන්න ඵලයට පත්වූ කෙනාට ආත්ම හතකින් විපාක දෙන යම්තාක් සසරේ කර්ම තිබුණා ද, ඒ සියල්ල අහෝසි වෙයි. එවිට සෝතාපන්න පුද්ගලයාගේ උපත උපරිම ආත්ම හතකට සීමා වෙද්දී ධර්මාවබෝධයත් සමඟ විපාක දෙන පරිසරය නොමැති වීම නිසා එතනින් එහාට විපාක දෙන්න තිබුණු සියලු කර්ම අහෝසි වෙයි.
ඊළඟට බුදුන් වහන්සේ පෙන්වා වදාළේ, කෙනෙක් මේ ජීවිතයේ වේගයෙන් වීර්යය වඩා සකදාගාමී ඵලයට පත් වුණොත්, කාම ලෝකයේ එක වතාවයි උපත ලබන්නේ. කාම ලෝකයේ එතනින් එහා විපාක දෙන කර්ම තිබුණ ද, ඒ සියල්ල අහෝසි වෙයි. ඊළඟට වීර්යය වඩා, භාවනා කළ කෙනෙක් අනාගාමී වුණොත්, එනම්, න – ආගාමී නොහොත් නැවත කාම ලෝකයට එන්නේ නැහැ’යි අර්ථය යි. අනාගාමී තත්ත්වයට පත්වන විට ම කාම ලෝකයේ විපාක දෙන කර්ම සියල්ල ම ඔහුට අහෝසි වෙලා යනවා. ඒ උත්තමයා ශුද්ධාවාස බඹලොව ඉපදී එහි පිරිනිවන් පානවා.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල
No comments:
Post a Comment