රැස්වන කර්ම ගැන නිබඳව ම සිතන්න
අතුරුගිරිය සදහම් පදනමේ අනුශාසක
ගලිගමුවේ ඤාණදීප හිමි
අප සෑම විටම සිතනවා, කතා කරනවා. ක්‍රියාත්මක කරනවා, සිත, කය, වචනය තුන් දොරම චේතනාවක් සමඟම යි ක්‍රියාත්ම වෙන්නේ. එසේනම්, කර්ම රැස් නොකර ජීවත් වෙන ක්‍රමයක් ලොවේ කොහේවත් නැහැ. බුදුවරු පහළව අපට පෙන්වා වදාළේ, කර්ම රැස් කරන්නේ නැතිව ජීවත් වන ක්‍රම නොවෙයි. එලෙස සිටින්නට කාටවත් බැහැ. බුදුවරු පහළව පෙන්වා වදාළේ, මේ රැස්වන කර්මයන්ගෙන් එක කොටසක් තිබෙනවා , සම්පූර්ණයෙන් වළකා ගත යුතු යි. ඒ ‘සබ්බ පාපස්ස අකරණං’ සියලු පාපී අකුසල කර්මයන්ගෙන් වළකින්නැ’යි වදාළා.
මේ රැස්වන කර්මයන්ගෙන් අකුසල කර්මයන් වළකා ගත යුතු යි. ‘කුසලස්ස උපසම්පදා’ යනුවෙන් කර්ම වෙයි. කුසල කර්ම, පුණ්‍ය කර්ම ඒවා රැස්කරගත යුතු යි. සිත , කය, වචනය මුල්කරගෙන බණ අසන විට , සිල් රකින විට, දන්දෙන විට, පින් කරන විට, හැම වේලාවෙම කර්ම රැස් වෙයි. ඒ රැස් වෙන්නේ සුළු කුසල කර්ම. මේවා රැස් කරන්නැ’යි වදාළා. ‘සචිත්ත පරියො දපනං’ තමන්ගේ සිත දමනය කර ගන්න.
භාවනා කරන විටත් කර්ම රැස් වෙනවා. එය ධර්මයේ ‘අන්‍යෙයාභි සංස්කාර’ වෙයි. ඒ කර්මයට අනුව සමාධිය වඩන්නා රූපී බ්‍රහ්ම ලොවක උපත ලබයි. අරූප ධ්‍යාන වඩන්නා අරූප සමාධියට අනුව අරූපී බ්‍රහ්ම තලවල උපත ලබයි. එවිට සමථ – විපස්සනා භාවනා වඩන කෙනාටත් ඒ තුළ යම් කර්ම රැස් වෙයි. ඒ සමාධි මට්ටමට අනුව උපදින බ්‍රහ්ම තල තිබෙනවා. ඒ නිසා පින් කරන පුද්ගලයා ‘පුණ්‍යාභි සංස්ඛාර’ පිනට අනුව කර්ම රැස්කර ගන්නවා. සුගතියේ උපත පිණිස. අකුසල් රැස් කරගන්නා අකුසලයට අනුව විපාක පිණිස දුගතියට නැඹුරු වූ කර්ම රැස් කරගන්නවා. සමාධිය වඩන කෙනා රූපී, අරූපී බ්‍රහ්ම තලවල විපාක පිණිස කර්ම රැස් කරගන්නවා. එවිට මේ යන ගමන තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය ‘කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව’ ලෙස පෙන්වා වදාළා.
ඒ මාර්ගය තුළ අකුසල් ප්‍රහාණය කර කුසල් වඩාගෙන, සමාධිය වඩාගෙන ම ඒ රැස්කර ගන්නා කර්මයන්ගේ විපාක ක්ෂය වීම පිණිස පවතින කර්ම රැස් වෙනවා. ඒවා රැස් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. කර්මය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙන්වූයේ ‘කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව’ ලෙස යි. මේ කර්මයන්ගේ විපාක ක්ෂය කරන ප්‍රතිපදාව යි. පුණ්‍ය කර්ම, පාප කර්ම එයයි රහතන් වහන්සේ ගැන කියන්නේ ‘පුණ්‍ය පාප පහී නස්ස නත්ථි ජාගරං කතො භයං’ රහතන් වහන්සේ යනු පිනේ විපාකත් අකුසල විපාකත් සියල්ල ප්‍රහාණය කරගත් උත්තමයන් පිරිසකි. ඒ නිසා සාමාන්‍ය ලෝකයා කෙලෙස් සහිතව, අවිද්‍යාව තුළ ඉන්න ලෝකයා සැම විට ම පෙර කර්ම ගෙවා අලුතෙන් සංසාරයට කර්ම රැස්කර, යන ගමනක්.
රහතන් වහන්සේ ගැන පමණයි, ධර්මයේ හඳුන්වන්නේ ‘ඛීනං පුරාණං’ උන් වහන්සේ පමණයි පෙර කර්ම ක්ෂය කර අවසන් කරන්නේ. ‘නවං නත්ථි සම්භවං’ අනාගතයේ භවයක් නිසා අලුතෙන් කර්ම රැස් කරන්නෙත් නැහැ. ‘විරත්ථ චිත්තා ආයතිකේ භවස්මිං’ පෙර කර්මත් ක්ෂය කළා. අලුත් කර්ම රැස් කරන්නෙත් නැහැ. උන් වහන්සේලාගේ සිත අලුතෙන් භවයක පිහිටා නැහැ. ‘තෙ ඛීන බීජා අවිරුළ්හිච්ඡන්දා’ බීජයක පැළවෙන ස්වභාවය නැතිවුණා වගෙ යි. ‘නිබ්බන්ති ධීරා යථා යං පදීපො’ පහනක් නිවී යනවා සේ එතනම නිවී යයි.
මේ ස්වභාවය පවතින්නේ රහතන් වහන්සේ තුළ පමණ යි. අනෙක් සෑම කෙනෙක් ම පෘතග්ජන මට්ටමෙන් කෙලෙස් සහිතව ජීවත් වන සෑම පුද්ගලයෙක් ම පෙර කර්ම ගෙවා අලුතෙන් සංසාරයට කර්ම රැස් කර යන පිරිසක්. ඒ නිසා බුදුවරු පහළව අපට පෙන්වා වදාළේ, සැම විට ම කර්මය ගැන සිතන්න. ඔබ නිබඳව ම සිහි කරන්න මා කුමන කුසලයක් කළත් එහි විපාක මම ම සංසාරයේ අරගෙන යනවා.
ඒ වගේම මා යම් අකුසලයක් කළොත් , ඒ අකුසල විපාකත් සසරේ දුක විඳ විඳ ම මට ම අරගෙන යන්නට වෙනවා. ‘යං කම්මං කරිස්සාමි කල්‍යාණං වා පාපකංවා තස්ස දායාදෝ’ මම කරන දේ යහපත් ද? යහපත් විපාක මට ලැබෙනවා. මා කරන දේ අයහපත් ද? අයහපත් විපාක මට ලැබෙනවා. මේ කාරණාව උදේ , සවස ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා කාටත් පොදු ධර්මතාවක්. බුදුරජාණන් වහන්සේටත්, උන් වහන්සේගේ ඥතීන්ටත් සියලු ම දෙනාට එය සාධාරණ යි.
ඔබ සිතන්න, යශෝධරාව පිරිනිවන් පාන විට මහ පොළොව කම්පිත වුණා. ඒ මහපොළොව ම පලාගෙන ගිනිදැල් පහළ වෙලා, යශෝධරාවගේ පියාණන් අපාගත වුණා. ඒ ඔහු රැස්කරගත් කර්ම විපාක යි. ඒ යශෝධරාවගෙ ම එකම සහෝදරයා දේවදත්ත, පණ පිටින් ම පොළොව පලාගෙන අපායට ඇදිලා ගියා. එවිට අපට පෙනෙන්නේ ඒ ඔහු රැස් කරගත් කර්ම යි. බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් අතර ගත්ත ද, කිහිප දෙනෙක් නිවන් දකින විට, කිහිප දෙනෙක් ම පොළොව පළාගෙන අපාගත වුණා. ඒ නිසා තම තමන් රැස් කරගත් කර්ම විපාක තමන්ම අරගෙන යන සංසාර ගමනක්. ඒ නිසා හැම වේලේම ඔබ කර්මය ගැන සිතනවා නම්, අකුසල කර්ම වලින් වළකින්න පුළුවන්. උදේ , සවස ඔබ සිතන්න ‘කම්මස්ස ඛො කොම්හි’ මම කර්මය ස්වකීය කර ගත් කෙනෙක්මි. ‘කම්ම දායාදො’ මම කර්මය දෑවැද්ද කරගත් කෙනෙක් මි. ‘කම්ම පටිසරණො’ මම කර්මය පිළිසරණ කරගත් කෙනෙක් මි. ‘කම්ම බන්ධු’ මට ඉන්න එකම ඥාතියා , මගේ එකම නෑයා මා රැස්කරගත් කර්මය යි. මා යම් හොඳක් හෝ නරකක් කළොත්, එහි විපාක මට සසරේ ගෙනියන්න වෙන බව සිතන්න. ඔබ කර්මය ගැන එලෙස සිහි කරනවා නම්, ඔබට අකුසලයෙන් වළකින්න පුළුවන්. ඔබේ සිතට තරහක්, ද්වේෂයක්, වෛරයක්, පාපී අකුසල සිතිවිලි ඇති වුණොත්, ඒ සැනින් මතක් වෙනවා කර්මය ගැන සිතන්නාට මේ දේ කළොත්, මෙහි විපාක මට ම ගෙවන්නට වෙනවා. මට ම මේ අකුසල විපාක සසරේ අරගෙන යන්න වෙනවා. මෙලෙස මතක් වෙනවා එය සිහි කරන පුද්ගලයාට. එවිට අකුසලයෙන් වළකින්න පහසු යි. සිහිය පිහිටුවන්න පුළුවන්. ඒ නිසා සැම විට ම කර්මය ගැන සිහි කරන්න. බුදුරජාණන් වහන්සේ, හැම බුදුකෙනෙක්ම පහළව පෙන්වා දුන්නේ, ‘සබ්බ පාපස්ස අකරණං’ සියලු පාපී අකුසලයෙන් වළකින්න. ‘කුසලස්ස උපසම්පදා’ පුළුවන් තරම් කුසල් වඩන්න. ‘සචිත්ත පරියො දපනං’ තමන්ගේ සිත දමනය කර ගන්න. ‘ඒතං බුද්ධාන සාසනං’ එය බුදුවරු පහළ ව පෙන්වා දුන් බුද්ධානු ශාසනාව යි.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල
No comments:
Post a Comment