චිත්තානුපස්සනාව:
සිතට දැනෙන කුසල් අකුසල්
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ
ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ
මහා ලේඛකාධිකාරී
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
කයට වඩා සිත සකසා ගැනීම වඩා වැදගත්. සිතට වහල් වුණොත් අපේ වැඩ කටයුතු කරගන්න අපහසු යි. සිත ශක්තිමත් වන්නේ නැහැ. බොහෝ පිරිස් ගෙල වැළලා ගැනීම, දුම්රියට පැන සිය දිවි නසා ගැනීම වැනි ජීවිත හානි පවා සිදු කර ගන්නේ සිත පාලනය කරගත නොහැකි නිස යි.
කායික, මානසික සැනසීම කෙරෙහි කොයි කවුරුත් සිත යොමු කර ගැනීම වැදගත් වෙයි. ඒ නිසා සිහි කල්පනාවෙන් වැඩ කටයුතු කිරීමට චිත්තානුපස්සනාව කුමන අයකුට වුවද බොහොම වැදගත්.
කය ඍජුව තබාගෙන, දෑස පියාගෙන, වමත මත දකුණත තබාගෙන සිත දෙස බැලිය යුතු යි. තම සිතට ලෝභකමක් දැනුණොත් එය ලෝභ සිතක් බව දැන ගැනීම පළමු කාරණය යි. චිත්තානුපස්සනාවේ ක්‍රම දාසය යි. පළමුව සරාග සිතක්, තණ්හා සිතක්, ලෝභ සිතක් නම් ඒ රාග සහිත, තණ්හා සහිත, ලෝභ සිතක් බව දැන ගත යුතු යි. ලෝභ සිත් අටක් බුදු පියාණන් වහන්සේ පහදා දුන් සේක. 1)සොම්නස් සහගත දිට්ඨි සම්ප්‍රයුක්ත අසංකාරික සිත, 2)සොම්නස් සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත සසංකාරික සිත, 3)සොම්නස් සහගත දිට්ඨිගත විප්‍රයුක්ත(වැරැදි අවබෝධය නොමැති බව) අසංකාරික සිත 4)සොම්නස් සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික සිත 5)උපේක්ෂා සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංකාරික සිත 6)උපේක්ෂා සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත සසන්කාරික සිත, 7)උපේක්ෂා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසන්කාරික සිත, 8)උපේක්ෂා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික සිත
චිත්තානුපස්සනාවේ දී ලෝභ සහගත සිත් අටක් මේ අනුසාරයෙන් පැහැදිලි කරනවා. එවිට මේ සිත් අටෙහි ලෝභ සිත් හටගන්නේ. තමන්ට තණ්හාවක් නොහොත් ලෝභයක්, රාග ආස්වාදයක් ඇති වුණොත් ඒ සිත් අටෙන් එකකින් හට ගන්නවා. මේ සිත් අට ලෝභය තමන්ගේ සිතේ පහළවන නිසා පංච කාම වස්තූන් පිළිබඳව තෘෂ්ණාව බල පවත්වන බැවින් එය අනාගාමී මාර්ග ඥානය දක්වා ම පවතිනවා. සෝවාන් වෙද්දී මෙහි අපාය ශක්තිය නැතිවී යයි. එයත් මෙනෙහි කළ යුතු වෙයි. ලෝභ සහගත සිතක්, ඇති වුණොත් එය ලෝභ සහගත සිතක් යනුවෙන් හොඳින් දැනගත යුතු යි. මගේ සිත තණ්හා සහගත යි. තණ්හාව යනුවෙන් හඳුනාගෙන හොඳින් මෙනෙහි කළ යුතු යි. තණ්හාව නොහොත් ලෝභය අනිත්‍යය යි. දුක්ඛ යි අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න. ලෝභ සිත් අට හොඳින් පාඩම් කරගෙන මගේ සිතේ ලෝභ සිත් අටක් තිබෙනවා මේ සිත් අටෙන් සියුම් ලෝභය තණ්හාව රාගාස්වාද චේතනා සියල්ල හට ගන්නා බව දැනගත යුතු යි.
තමන්ට යම්කිසි දෙයක් පිළිබඳව ආසාවක් උපන්නොත් මේ ලෝභ සිතක් බව දැනගත යුතු යි. එය දිගට මෙනෙහි කරද්දී නැති වී යනවා. ලෝභ සිත ඒ මොහොතේ හට ගෙන නිරුද්ධ වෙනවා. නැවත හට ගන්නේ අලුත් සිතක් . එයත් නිරුද්ධ වෙනවා. එකම ලෝභ සිත දිගටම තිබෙනවා නොවෙයි. උප්පාද, තිථි, භංග වශයෙන් චිත්තක්ෂණයක් පාසාම නිරුද්ධ වී යනවා.
සිතක ආයු කාලය චිත්තක්ෂණ දාහත යි. ඉන්පසුව නැවත හටගන්නේ වෙනම සිතක්. ඒ ගැන හොඳ දැනීමක් කවුරුත් ඇතිකරගෙන චිත්තානුපස්සනාව කෙරෙහි බලවත් ඕනෑකමකින් කටයුතු කරන්න. තම සිතේ තණ්හාව රාගය තිබෙන බව දැනගත යුතු යි. එසේ නැත්නම් දිගට මෙනෙහි කළත් කමක් නැහැ. එවිට නැතිවෙලා යනවා. තණ්හාව අනිත්‍යය යි, දුක්ඛ යි අනාත්මයි යනුවෙන් මෙනෙහි කරන්න. එය විදර්ශනා භාවනාව යි. සිත ගැන බැලීම සමථ භාවනාව යි. මේ ක්‍රම දෙකම මෙලෙස ගෙන යා හැකි යි. කවුරුත් තම තමන්ගේ ගුණ ධර්මයන් හොඳින් දියුණු කරගෙන ඉදිරියට යන්න. එවිට ලෝභ සහගත බව ඉවත් වුණහම පහළවන්නේ වීතරාග සිතක්. සිත් අසූනවයෙන් අටක් අඩු කළාම අසූ එකක් වීතරාග සිත් වෙයි. එනම් ලෝභය, තණ්හාව, රාගය, නැති සිත් අසූ එකක් තිබෙනවා. සියලුම සිත් අසූ නවය යි. එයින් අපේ චිත්තානුපස්සනාවට තණ්හාවට අටක් අයින් කළා. ඉතිරි සියුම් සිත් වීතරාග සිත්. එවිට දැන් තණ්හාව ඉවත් වුණහම ලෝභය, ඉවත්වුණහම මගේ සිතේ ලෝභය තණ්හාව රාගය නැත . මගේ සිත වීතරාගි යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි. නැත්නම් ඒ බව දැනගත යුතු යි. එයත් හොඳින් මෙනෙහි කර වීතරාගී සිත අනිත්‍යයයි, දුක්ඛ යි අනාත්මයි යනුවෙන් මෙනෙහි කළ යුතුයි. එවිට තමන්ට ලොකු දැනුමක්, ලැබෙයි. තමාගේ සිත බොහෝ වැදගත් තත්ත්වයට පත් වෙනවා. සිත පිළිබඳව මනා වැටහීමක් ඇති කරගන්න පුළුවන්. කවුරුත් සිත පිළිබඳ දැනීම වැඩිකළ යුතු යි. සිත පිළිබඳ අවබෝධය වැඩිකළොත් බොහොම වැදගත්. එවිට සිත අනුව බලමින් තමන්ගේ භාවනාව හොඳට දියුණු තියුණු කරගන්න මහන්සි ගත යුතු යි.
දැන් පටිඝ සිත ගැන කතා කරමු. තරහව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව පළිගැනීම පටිඝ චේතනාව සිතේ දොම්නස් බව සිතේ දුසීත බව ආදී අර්ථ කිහිපයකින් ම පටිඝ සිතට අර්ථය දෙන්න පුළුවන්. තමන්ට තරහ, වෛර , ක්‍රෝධ, ඊර්ෂ්‍යා සිතක් මතු වුණොත්, එය කුමන සිතක් දැයි හඳුනාගෙන දිගටම මෙනෙහි කළ යුතු යි. තමන්ගේ සිත තරහවෙන් අත්මිදුණා නම් , එයත් හොඳින් දැනගත යුතු යි. එය අනිත්‍යය යි, දුක්ඛයි, අනාත්මයි වශයෙන් මෙනෙහි කළ යුතු යි. උදාහරණයක් ලෙස සිතේ තරහව මතු වුණොත්, එය තරහව බව දැනගත යුතු යි. ඒ දැනීම ඥාන සම්ප්‍රයුක්ත යි. තරහව අකුසල පාක්ෂික වෙයි. එවිට අකුසල පාක්ෂික සිත අකුසලයෙන් මුදා ගන්නට චිත්තානුපස්සනාව ප්‍රයෝජනවත් වෙයි. මාන්නයක් හට ගත්තොත් මගේ සිතේ මාන්නයක් මතු වුණ බව වටහා ගත යුතු යි. එයද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු යි.
පටිඝ සිත දෙයාකාර වෙයි. දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත අසංකාරික සිත, දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත සසංකාරික සිත යනුවෙන් සිත දෙආකාර වෙයි. චිත්තානුපස්සනාවේ දී මතක තබාගත යුත්තේ පටිඝ සිත්, තරහ සිත් දෙකයි ඇති වන්නේ. සියලුම සිතේ පහළවන තරහ, වෛර, ක්‍රෝධ හටගන්නේ සිත් දෙකෙන්ම යි. ඒ නිසා මගේ සිත දැන් තරහවට යොමුවුණු බව දැනගත්විට එය චිත්තානුපස්සනාව යි. තරහව අනිත්‍යය යි, දුක්ඛ යි අනාත්ම යි යනුවෙන් මෙනෙහි කිරීම විපස්සනාව යි. එසේම තරහ සිත මෙනෙහි කර ඉන් ඉවත්වූවාට පසුව තරහව නැහැ. ඒ සිත වීත දෝස නම් වෙයි. සිත් අසූනවයෙන් දෙකක් පටිඝ සිත් වෙයි. ඉතිරි අසූ හත වීත දෝස නම් වෙයි. එසේනම් මගේ සිත දැන් වීත දෝස යි. එහි තරහව නැහැ. ඒ නිසා වීතදෝස සිත අනිත්‍යයයි, දුක්ඛ යි, අනාත්මයි යනුවෙන් මෙනෙහි කරන්න.
එසේනම්, මේ පාඩමේ ලෝභ සහගත සිත් අටයි. වීතරාග සිත් (ලෝභය නැති වූ විට) අසූ එකයි. සදෝස සිත් (පටිඝ සිත්) දෙක යි. වීතදෝස අසූනවයෙන් දෙකක් අඩුවී අසූ හත යි.
වෙහෙර විහාරයක් දුටුවොත් හෝ බුදුන් වඳින දසුනක දී හෝ ශ්‍රද්ධා සිතක දී හෝ එය ශ්‍රද්ධා සිතක් බව දැන මෙනෙහි කළ යුතු යි. එලෙස සිතට දැනෙන අකුසල් සහ කුසල් සිතිවිලි මෙනෙහි කරමින් චිත්තානුපස්සනාව හොඳින් දියුණු කරගත හැකි යි.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල
No comments:
Post a Comment