දෙවහිත සූත්‍රය
199
මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ, කුසයෙහි වාතාබාධයකින් පීඩිතවූසේක. ආයුෂ්මත් උපවාණ තෙමද භාග්‍යවතුන් වහන්සේට උපස්ථායකවෙයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උපවාණ ඇමතූසේක. (අමතා) “බලව, උපවාණය, තෝ මට උණුදිය (ගෙනෙන සැටියක්) දනුව” යි (කී සේක.)
“එසේය, ස්වාමීනි” යි ආයුෂ්මත් උපවාණ තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තරදී දේවහිත බමුණාගේ නිවස යම්තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ නිශ්ශබ්දව එකත් පසෙක සිටියේය.
එකත්පසෙක සිටි නිශ්ශබ්දවූ ආයුෂ්මත් උපවාණයන් දෙවහිත බමුණා දිටීය. දැක ආයුෂ්මත් උපවාණයන්ට ගාථාවෙන් (මෙසේ) කීය:
“හිස මුඩුකළ, සඟළ සිවුරු පෙරවූ, පින්වත් තෙම කුමක් පතමින්, කුමක් සොයමින්, නිශ්ශබ්දව සිටින්නෙහිද? කුමක් ඉල්ලන්නට ආයෙහිද?”
“ලොව අර්හත්වූ සුගතවූ මුනිතුමා කුසයෙහි ආබාධයකින් පෙළෙනසේක. බමුණ, ඉදින් තා සතු උනුදිය ඇත්නම් ඒ මුනීන්‍දූයන් වහන්සේට දුන මැනවි.
“පිදිය යුත්තන් විසින් පුදන ලද, සත්කාර කළ යුත්තන් විසින් සත්කාර කරනලද, ගරුකළ යුත්තන් විසින් ගරු කරන ලද උන්වහන්සේට දෙනු පිණිස ගෙන යන්නට උණුදිය කැමැත්තෙමි” යි (ආයුෂ්මත් උපවාණතෙමු කීය.)
ඉක්බිති දේවහිත බමුණුතෙම උණුදිය කදක් පුරුෂයෙකු ලවා ගෙන්වාගෙන සකුරුපිඩක්ද ආයුෂ්මත් උපවාණ තෙරුන්ට දිනි.
ඉක්බිති ආයුෂ්මත් උපවාණ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ උණු දියෙන් නහවා, උණු දියෙන් සකුරු දියකොට, භාග්‍යවතුන් වහන්සේට දුන්නේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේගේ ඒ ආබාධය සංසිඳුනේය. ඉක්බිති දේවහිත බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීචි කථා කෙළේය. සතුටුවිය යුතුවූ, සිහිකටයුතුවූ, කථාකොට එකත්පසෙක යුන්නේය.
එක්පසෙක හුන් දේවහිත බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙකින් මෙසේ කීය:
“දානවස්තුව කවරෙකුහට දෙන්නේද (දියයුතුද)? කවරෙකුහට දුන්දෙය මහත්ඵල ඇතිවේද? කවර ආකාරයෙකින් කොතැනක දෙන්නහුගේ දානය සඵලවේද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “යමෙක් පෙර ජාති පිළිවෙළ දනීද, ස්වර්‍ගය හා අපායත් දකීද, අර්‍හත්වයට පැමිණියේද, මාර්‍ගඥානයෙන් (චතුරාර්‍ය්‍ය සත්‍යය) දැන නිමවූ සියලු කටයුතු ඇත්තේද, (කායාදී) මෞන ගුණයෙන් යුක්තද,
“මෙහි (මෙබඳු තැනැත්තාට) දෙන දෙය දෙන්නේය (දියයුතු). මෙහි දෙනලද්ද මහත්ඵල ඇතිවේ. මේ ආකාරයෙන් දෙන්නහුගේ දානය මහත්ඵලවේ.
මෙසේ වදාළකල දේවහිතබමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: “පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘතකරන්නේද, මංමුළාවූවකුට හෝ මාර්‍ගය කියන්නේද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය ප්‍රකාශ කරන ලද්දේය. අද පටන් මා දිවහිම්කොට සරණ ගිය උපාසකයකු සේ භාග්‍යවතුන් වහන්සේ සලකන සේක්වා.”
No comments:
Post a Comment