Monday, July 12, 2021

නිර්භය භූමියකට ළඟා වෙන්නට..

 


නිර්භය භූමියකට ළඟා වෙන්නට...

බයව අවුලේගම

කැලේගම පුරාණ විහාරයේ

හිඳව සෝභිත හිමි


" නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස


අච්ඡරාගණ සංවුට්ඨං - පිසාච ගණ සේවිතං

වනංතං මෝහනං නාම - කතං යාත්‍රා භවිස්සතී.

උජුකො නාමසෝ මග්ගෝ - අභයා නාම සාදිසා

රථෝ අකුජනෝ නාම - ධම්මචක්කේ හි සංයුතෝ තී "


සුපින්වතුනි,


බුදුරජාණන් වහන්සේ, සැවත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නා කාලයේ උන්වහන්සේ දිනපතාම ධර්ම දේශනා පවත්වනවා. ඒ ප්‍රදේශවාසී ජනතාව ධර්ම ශ්‍රවණය කරන්නට සන්ධ්‍යා කාලයේ ජේතවනාරාමයට ළඟාවෙනවා. ඇතැම් අය බණ අහලා යනවා. ඒත් අවබෝධයක් ලබා ගන්න උත්සාහ ගන්නේ නැහැ. සමහර පුද්ගලයන් හොඳට බණ අහලා ඒ ධර්ම මාර්ගය අනුගමනය කිරීමට උත්සාහවත් වෙනවා.


එක්තරා කෙළෙඹි පුත්‍රයෙක්. තරුණයෙක් මේ බණ අහලා කල්පනා කරනවා. මේ කියන දේශනාවන් මට ගිහි ගෙදර ඉඳගෙන හරියට පිළිපදින්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මම බුදුරජාණන් වහන්සේ සමීපයේ පැවිදි වෙන්න ඕනෑ. ඒ තරුණයා මවුපියන්ගෙන් අවසර ලබාගෙන බුදුරජාණන් වහන්සේ සමීපයෙහි පැවිදි වුණා. බොහොම උත්සාහයෙන් බණ භාවනා කළා. බුදුන් වහන්සේ ළඟ පැවිදිවෙලා. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා. කර්මස්ථාන ලබාගෙන අශුභ කර්මස්ථානය තමයි මේ හාමුදුරුවෝ නිතර වැඩුවේ. එහෙම වඩන කොට මේ රූපයේ තියෙන අනිත්‍යතාව මේ රූපය අනිත්‍යයි. දුක්ඛයි. අනාත්මයි. කියලා ඒ විදියට භාවනා කරනවා. හැම දෙයක් ගැනම අශුභ වශයෙන් බලමින් මේ සංසාර දුක නැති කිරීම සඳහා තමයි මේ ස්වාමීන් වහන්සේ ක්‍රියා කළේ. නමුත් ඒ තරම් උත්සාහයෙන්, වීර්යයෙන් භාවනා කරගෙන නිතර ම ක්‍රියා කළත් මේ ස්වාමින් වහන්සේට සෝවාන් ආදි මාර්ගඵලයක් ලබන්නට කලින් ආයුෂ පිරිහීම නිසා අපවත්වීමට සිද්ධ වුණා. මේ හාමුදුරුවෝ බොහොම හොඳට භාවනා කරගෙන කර්මස්ථාන වඩාගෙන හිටපු නිසා නිදා පිබිදියා වගේ චාතුර්මහා රාජික දිව්‍යලෝකයෙහි උප්පත්තිය ලැබුවා. භාවනාකරන ඉරියව්වෙන්මයි ගිහිල්ලා එහි උප්පත්තිය ලැබුවේ. ඉතින් කල්පනා කරනවා. මම මේ විදිහේ කෙනෙක් ‘භික්ෂුවක්’ නමුත් මේ දිව්‍ය ලෝකයේ පිරිස අපේ මනුෂ්‍ය ලෝකයටත් වඩා නැටුම්, ගැයුම්, වැයුම්, කම්සැප විඳීම් ප්‍රබල විදියට තියෙන ස්ථානයක්. මේ දිව්‍ය පුත්‍රයා ඉන්නේ පළක් බැඳගෙන භාවනා කරන ඉරියව්වෙන්මයි. නමුත් තත්ත්වය ගැනවත්, තමන් දේවතාවෙක්ද කියන එකවත් කල්පනා කරන්නේ නෑ. මේ භාවනා කරන ඉරියව්වෙන්ම එහි පහළ වෙලා ඉන්න නිසා. මොහුගේ රූපය පෙනෙන ආකාරයට සැලැස්සුවට පස්සේ තමයි තමන් දැන් ඉන්නේ මිනිස් ලොව නොවෙයි දිව්‍ය ලෝකයේ පහළ වෙලා ඉන්නේ කියලා කල්පනා වුණේ. මම මේ තරම් මහණ දම් පිරුවේ, භාවනා කළේ, අශුභ කර්මස්ථාන වැඩුවේ, මේ තරම් අප්සරාවන් පිරිවරාගෙන. මේ විදියට කටයුතු කරන්න නෙවෙයි. මම බුදුරජාණන් වහන්සේ හමුවෙලා තත්ත්වය පැහැදිලි කරලා දෙන්න ඕනෑ. මධ්‍යම රාත්‍රියේ මේ දේවතාවා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි පහළ වුණා. බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීන් වහන්ස, මම මේ දිව්‍යලෝකයෙහි උපන්නා. දිව්‍යාප්සරාවෝ මා පිරිවරාගෙන ඉන්නවා.


නමුත් මට පේන්නේ කොහොමද? හරියට ප්‍රේතියො ගොඩක් මා වටකරගෙන ඉන්නවා වගෙයි. මට කිසිම බැඳීමක්, ආශාවක් ඇති වෙන්නේ නැහැ. ප්‍රේත සමූහයක් මා වටකර ගෙන ඉන්නවා වගෙයි පෙනෙන්නේ. අශුභ කර්මස්ථාන වඩලා තිබුණේ. මම මේ පහළ වෙලා ඉන්නා වනය මා මුළා කරන තැනක්. මම මෝහයට පත් කරන තැනක්. මගේ මේ තත්ත්වය පිරිහෙන තැනැක්. මම කොහොමද මේකෙන් ගැලවිලා යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට ප්‍රශ්නයක් මතු කළා. අන්න ඒ වෙලාවෙයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරමින්, මේ සසරින් ගැළවෙන ආකාරය පැහැදිලි කළේ. එහි සඳහන් වෙනවා. භය වෙන්න එපා. ඔබ කිසි දේකට කම්පා වෙන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ පාර පැහැදිලි කරනවා. ‘උජුකො නාම සෝ මග්ගෝ’ ඔබට යාමට තිබෙන පාර බොහොම සෘජුයි මේ පාරේ හොඳට ගමන් කරන්න. එහෙම ගමන් කරන කොට කිසිම භයක් නෑ. බොහොම නිර්භය ස්ථානයකට යන්න පුළුවන්. ඒ පාරේ ගමන් කරන්න. එම මාර්ගය ඇති මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න. ඒ මාර්ගය ඉතාම හොඳ, කෙළින් තිබෙන මාර්ගයක්. දෙපැත්තේ තියෙනවා අගල් දෙකක්. කාමසුඛල්ලිකානු යෝගය. අත්තකිලමථානු යෝගය කියලා ඒවාට වැටෙන්නේ නැතිව මේ කෙළින් පාරේ ගමන් කරන කොට ‘අභයා නාම සාදිසා’ නියම නිර්භය භූමියකට ස්ථානයකට ඔබට ළඟා වෙන්න පුළුවන්. අන්න තියෙනවා’ තතෝ අකුජනෝ නාම – ධම්මචක්කේහි සංයුතෝ’ කිසිම ජරබර ශබ්ද මොකවත් නැති හොඳ රථයක් තියෙනවා. ඒ රථයෙන් ගමන් කරන කොට මෙන්න මේ නිර්භය ස්ථානයට ගමන් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති මේ මාර්ගෙන් ගමන් කරන්න. ඒ මාර්ගයේ ගමන් කරන කොට මැඳුම් පිළිවෙතේ යන කොට කිසි භයකින් තොරව ඒ නිර්භය ස්ථානයට පැමිණෙන්න පුළුවන්. ධර්ම චක්‍රයෙන් යුතු නිර්මල රථයක් තියෙනවා. ඒ රථයේ නැගිලා ගමන් කරන කොට නියම ස්ථානයට පැමිණෙන්න පුළුවන්. රථය විස්තර කරනවා. ‘හිරීතස්ස අපාලම්බෝ - සතස්ස පරිවාරණං ධම්මානං සාරථිං බ්‍රෑමි සම්මා දිට්ඨි පුරේජවං’ ගොඩ වෙලා යන කොට මේ කරත්තේ තියෙනවා ඇඳි දෙකක් හොඳට හේත්තු වෙලා යන්න පුළුවන්. ඒ ඇඳි දෙක හැටියට උපමා කර තිබෙන්නේ මොනවාද? හිරි, ලජ්ජාව, ඔත්තප්ප බය, ලජ්ජාව භය දෙක නමැති මෙන්න මේ දේව ධර්ම ලෝකපාලන ධර්ම, දෙක තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. ලෝක පාලක ධර්ම දෙක අනුගමනය කරමින් යන කොට බයක් ඇතිවෙන්නේ නැහැ. එහි තියෙනවා සෙවිල්ල නමැති වහලය. කරත්තයක සෙවිල්ලක්, වහලයක් තිබුණොත් පමණයි නොතෙමි යන්න පුළුවන් වෙන්නේ.


මේ රථයේත් එහෙම තියෙනවා. මේ ධම්ම රථයේ තියෙන සෙවිල්ල මයි සතිය, සිහිය නිර්වාණ ගාමිණි ප්‍රතිපදාවේ දී ලජ්ජා භය, දෙකත් සිහියත් හොඳින් තියෙන්න ඕනෑ. මේ රථයේ තියෙන අංගෝපාංග ධර්ම නමැති රථයට ගොඩ වුණාම මේ රථයේ යන්න පුළුවන් ලජ්ජා භය නමැති ඇඳි දෙක තිබෙනවා නම් ඒ වගේ ම නොතෙමි යන්න පුළුවන් වහලය නමැති සිහිය තිබෙනවා නම් සම්මා දිට්ඨිය නමැති රියදුරා පෙරටු කරගෙනයි මේ රථය ඉදිරියට ගමන් කරන්නේ. යම්කිසි ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා කෙනෙක් මෙන්න මේ කියන රථයට ගොඩවෙලා යනවා නම්, ‘ඒතේන යානේත නිබ්බාණස්සේව සන්තිකෝ. නිවන ළඟට යන්න පුළුවන්කම ලැබෙනවා.


ඔබ සැමට තෙරුවන් සරණයි.

No comments:

Post a Comment

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...