Monday, July 12, 2021

චිත්තානුපස්සනාව


චිත්තානුපස්සනාව:


සිතට ගලා එන අරමුණු මෙනෙහි කරන්න

අම්බලන්ගොඩ, කහව ගල්දූව

ආරණ්‍ය සේනාසනයේ

කම්මට්ඨානාචාර්ය

ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද

කහගොල්ලේ සෝමවංශ හිමි


බොහෝ දෙනාගේ සිත බොහොම කල බලයි. ඒ සිතින් වැඩක් ගන්නට බැහැ. කලබල නැති සිතෙන් වැඩක් ගත හැකි යි. අධ්‍යාපනයට වැදගත් වන්නේ කල බලකාරී නැති සිත යි. කලබලකාරී උද්දච්ඡ සිත ප්‍රයෝජනයක් නැහැ. එසේම මහග්ඝත සිත ධ්‍යාන අවස්ථාවට යන සිත තැන්පත් සිතක්. ඒ සිතෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. පාඩම් සිටිනවා. පොත පත කියවන්න පුළුවන්. සංවරකම තියෙනවා. භාවනා ආදී ගුණ සම්පත් හොඳින් දියුණු වෙනවා. ඒ ගැන හසල දැනුමක් ලැබෙන්නේ සිත අනුවම බලමින් වාසය කිරීමෙනි. ඒ සඳහා කවුරුත් චිත්තානුපස්සනාව භාවනාව සඳහා වාඩි වෙලා සිත දෙසම බලාගෙන සිතට දැනෙන අරමුණු මෙනෙහි කරන්න.


සතිපට්ඨාන භාවනාව කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව, යනුවෙන් ක්‍රම හතරකට පැහැදිලි කරනවා. භාවනා කර්මස්ථාන විසි එකක් දේශනා කර වදාළා. ප්‍රධාන අනුසස් හතක් දේශනා කර තිබෙනවා. සතිපට්ඨාන භාවනාව වඩන්නාගේ සිත පිරිසුදුවීම, ඇඬීම වැළපීම දුරුවීම, කායික දුක් මානසික දුක් සංසිඳුවා ගැනීම, නිවන් මඟට බැස ගැනීම ,නිර්වාණය සාක්ෂාත් කිරීම ආදී ආනිසංස සමුදාය ප්‍රථමයෙන් දේශනා කිරීමෙන් සතිපට්ඨාන සූත්‍රය ආරම්භ කළා. එහි මූලික කරුණු පෙර ලිපි මඟින් සඳහන් කළෙමු. අද සඳහන් කරන්නේ චිත්තානුපස්සනාවේ තවත් කොටසකි.


නමස්කාරය , ඉතිපි සෝ, ස්වාක්ඛාත, සුපටිපන්න ගාථා සජ්ඣායනා කර තුනුරුවන්ට මාගේ නමස්කාරය වේවා, යනුවෙන් සිතාගෙන, කය ඍජුව තබාගෙන භාවනාවට වාඩි වෙන්න. සිත අනුව බැලීම මේ මඟින් සිදු කරනු ලබයි. චිත්තානුපස්සනාවේ පළමු කොටස ලෝභ සිත, ලෝභ නැති අලෝභ සිත, පටිඝ සිත සහ මෛත්‍රී සිත ගැන සඳහන් කළා. අද චිත්තානුපස්සනාවේ සමෝහ සිත, වීත මෝහ සිත ගැන සඳහන් කරමු.


සමෝහ යනු මෝහ සහිත බවයි. එනම් අවිද්‍යාව යි. සමෝහ සිත් දෙකකි. උපේක්ෂා සහගත උද්දච්ච සිත සහ විචිකිච්ඡා සිත මෝහ නම් වෙයි. එනම් මුලා වීමයි. මෝහ සිත් දෙකෙන් සියලුම ලෝභ , ද්වේශයන්ට මූලිකව කටයුතු කරයි. ලෝභය සහ තරහව නිසා මෝහය සම්බන්ධ වෙයි. එවිට ලෝභය සහ ද්වේශය එකතු වන්නේ නැහැ. ඒ දෙකම විරුද්ධයි. ලෝභය සමඟ මෝහයද , ද්වේශය සමඟ මෝහය ද එකතු වෙයි.


එසේනම්, තම සිතේ මෝහ සිතක් ඇතිවුණ කල්හි මෝහ සිතක් යනුවෙන් දැනගත යුතු යි. එය නැති වූ ගමන් ඇති වන්නේ වීත මෝහ සිත යි. එනම් මෝහය නැහැ. වීත මෝහ සිත් දෙකයි. වීත මෝහ සිත් අසූ හතයි. සිත් අසූනවයක් තිබෙනවා. එයින් එකක් මෝහ සහගත යි. ඉතිරි අසූ හත මෝහයෙන් තොර නිසා වීත මෝහ නම් වෙයි. එවිට තම සිත මෝහ සිතක් බව දැනගෙන මෝහ සිතක් යනුවෙන් මෙනෙහි කරන්න.


තවද සංකිත්ත, වික්කිත්ත යනුවෙන් සිතක් තිබෙනවා. මේ සිත් දෙකත් හොඳින් දැනගෙන ඒ පිළිබඳ සිත පිහිටුවා ගැනීම මෙයින් සඳහන් කරනවා. සිත අනුව බැලීමට කවුරුත් හුරු පුරුදු විය යුතු යි. එයින්, තමන්ට ලොකු නුවණක් ඇති වෙනවා. එය විශේෂිත වෙයි. ඒ දියුණු සිත නුවණ සම්බන්ධ වූ විට ඥාන සම්ප්‍රයුක්ත වෙයි. ඒ තත්ත්වයට පත්වන්නේ තම සිත ශක්තිමත් නම් පමණ යි. එසේනම්, සිත සහ නුවණ දෙකක්. මේ දෙක එකට එකතු විය යුතු යි. ඥාන සම්ප්‍රයුක්ත සිතකින් චිත්තානුපස්සනාව ඉදිරියට ගෙන යන්න පුළුවන්.


යම් ක්ෂණයක යම් සිතක් උපදිනවා නම්, ඒ සිත පිළිබඳව සිහියෙන් යුතුව සිතීම චිත්තානුපස්සනාව යි. තම සිත සහ අන්‍ය සිත පිළිබඳව සිතනවා නම්, තමන්ගේ ද අනුන්ගේ ද සිත දෙස බලනවා නම් එය චිත්තානුපස්සනාව යි. සිත ඇතිවීම සහ නැතිවීම ද බැලිය යුතු යි. එවිට තමන්ට හොඳ දැනීමක් ඇති වෙයි. චිත්තානුපස්සනාවේ අනිත්‍ය , දුක්ඛ , අනාත්ම හොඳින් වටහාගන්නට පුළුවන් . ’සංකිත්ථ චිත්තේ යනු ථීන මිද්ධයෙන් යුක්ත සිත යි. එනම් කම්මැළි සිතයි. හැකිළුණූ සිත යි. තමන්ට කම්මැළි , අලස, සිතක් දැනුණු කල්හි එය ථීනමිද්ධ සිතක් යනුවෙන් දැන, මෙනෙහි කරන්න. වික්ඛිප්ත යනු වික්ෂේප වුණ සිතයි. එක අරමුණක තබා ගන්නට බැහැ. චපල සිත ක්. උද්දච්ඡය සමව යෙදුණා වූ එක අරමුණක පවත්වාගන්නට නොහැකි චපල වූ සිත වික්ඛිප්ත සිත යි. විසුරුණු සිත යි. එවිට තමන්ට විසුරුණු සිතක් ලැබුණු කල්හි එය විසිරුණු සිතක් යනුවෙන් දැන ගන්න. ථීනමිද්ධය තමන්ගේ සියලුම කුසල ධර්ම විනාශයට පත් කරන දෙයක්. සසංකාරික යනුවෙන් සිත් පහක් තිබෙනවා. අකුසල් සිත් දොළහක් තිබෙනවා. ඒ සිත්වල කම්මැළිකම හට ගනි යි.


උද්දච්ඡයට වෙනම සිතක් තිබෙනවා. මෝහ සිතක්. එයින් සිත වික්ෂේප කරයි. එක අරමුණක සිත තබා ගන්නට බැහැ. මේ නිසා ඒ සිත් දෙකම හොඳ නැහැ. එය අකුසල පාක්ෂික බැවින් ථීනමිද්ධ යනුවෙන් සඳහන් කරනවා. කම්මැළිකම ඇති සිතත්, උද්දච්ඡ සිතත් හොඳට දැනගෙන එයට අනුකූලව බැලීම චිත්තානුපස්සනාව යි. ථීනමිද්ධය හට ගැනීම නැතිවීම බැලීම විපස්සනාව යි. සිතේ විසිරීම, ඇතිවීම, නැතිවීම බැලීම විදර්ශනාවයි. මේ දෙක එකටම යන භාවනාව චිත්තානුපස්සනාව යි. හොඳම ක්‍රමය වන්නේ අසුන් ගෙන සිත අනුවම බැලීම යි. එවිට සිතට ගතට දැනෙන කම්මැළිකම, නිදිමත ඍජුව මෙනෙහි කරන්න. දීර්ඝ වශයෙන් නිදිමත එනවානම්, නැඟිට සක්මනෙහි යෙදෙන්න. ඔසවනවා, තබනවා යනුවෙන් පියවර ගනිමින් සක්මන් කළ යුත යි. එවිට කම්මැළිකම දුරුවූ විට නැවත වාඩි වෙලා චිත්තානුපස්සනාවෙහි සිත පිහිටු වන්න. අරමුණෙහි සිත තබාගන්න අපහසු නම් මගේ සිත විසිරී යනවා... යනුවෙන් කිහිප වාරයක් ම මෙනෙහි කර, විසිරී යන සිත ද අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කර නැවත අරමුණෙහි එනම් චිත්තානුපස්සනාවෙහි සිත පිහිටුවා ගත යුතු යි. එය බොහොම වැදගත් කාරණයක්. ඒ මඟින් සිත තැන්පත් කරගන්න පහසු යි. සිත දෙසම බැලීම මෙලෙස සඳහන් කරනවා. එක අරමුණක් දෙකක් නොවෙයි. බොහෝ අරමුණු සිතට ගලා එයි. ඒ සියලු අරමුණු නුවණින් බලමින් කටයුතු කිරීමෙන් තමන්ට චිත්තානුපස්සනාව සවි ශක්තිමත්ව ඉදිරියට ගෙන යා හැකි යි.


සිත් සහ චෛතසික ගැන හොඳින් දැනගත යුතු යි. දැන් මහග්ඝත සිත යනු කුමක්දැ’යි දැන ගනිමු. එනම් රූපාවචර , අරූපාවචර සිත් තිබෙනවා. ඒ මාර්ග සිත හොඳින් දැන ගත යුතු යි.රූපාවචර බ්‍රහ්ම ලෝක දාසයක් තිබෙනවා. අරූපාවචර සිත් වලට අයිති අරූපාවචර බඹතල හතරක් තිබෙනවා. සියල්ල විස්සයි. රූපාවචර බ්‍රහ්මයන්ට සිත් පහළොව යි. කුසල් පහයි. විපාක පහයි, ක්‍රියා පහයි. අරූපාවචර බ්‍රහ්මයන්ට කුසල් සතරයි. විපාක සතරයි, ක්‍රියා සතරයි. එවිට රූප , අරූප සිත විසි හත යි. චෛතසික තිස් පහයි. එවිට ධ්‍යාන සිතක් ලැබුණහම එය ධ්‍යාන සිතක් යනුවෙන් මෙනෙහි කළ යුතු යි. ඒ ධ්‍යාන සිත ඇතිවී නැතිවී යන බව කල්පනා කර අනිත්‍ය , දුක්ඛ , අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. එක අරමුණක් දිගටම මෙනෙහි කරද්දි ධ්‍යාන අවස්ථාවට සමීප වෙනවා. එය සොයා ගන්න අපහසු බැවින් ගුරු උපදෙස් ඇතිව ම යා යුතු යි. ගුරු උපදෙසින් චිත්තානුපස්සනාවේ ධ්‍යාන අවස්ථාවට එද්දී සිතට ගතට අපමණ සුන්දරත්වයක්, සැනසීමක් ලැබෙනවා. ඒ බව දැනගෙන මෙනෙහි කරමින් ඉදිරියට යා යුතු යි. මාර්ග ඵල අවස්ථාව යනු රූපාවචර අරූපාවචර සිත් ද ඉක්මවා යාමයි. ලෝකෝත්තර තත්ත්වයට යාම යි. ලෝකෝත්තර යනු මාර්ග ඵල අවස්ථාව යි. මාර්ග ඵල අවස්ථාවට පත් වන්න හැම සිතක් ගැන ම දැනීමකින් හොඳට මෙනෙහි කරගෙන සිත අනුවම බලා ඒ සිතත් අනිත්‍ය , දුක්ඛ , අනාත්ම වශයෙන් දකින්න. එවිට සිත දියුණු තත්ත්වයකට ගෙන එන්නට පුළුවනි.


පෙර සඳහන් කළා සේ ලෝභ සිතක් නම් එය මෙනෙහි කළ යුතු යි. තරහ සිතක් නම් එයද මෙනෙහි කළ යුතු යි. මෝහ සිතක් නම්, වීත මෝහ සිතක් නම් එය ද මෙනෙහි කරන්න. කම්මැළි සිතක් නම් එයද මෙනෙහි කරන්න. උද්දච්ඡ එනම් විසුරුණු සිතක් නම් එයද මෙනෙහි කරන්න.තරහ හෝ මෛත්‍රී සිතක් පැමිණියත් මෙනෙහි කරන්න.


ධ්‍යාන සිතක් නම් එයද ධ්‍යාන සිතක් බව මෙනෙහි කර එය ද අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිතන්න. ශබ්දයක් ඇසුණොත් ඒ ඇසුණු සිත මෙනෙහි කරන්න. සිරුරේ වායුවක් හැපුණොත් එය ද මෙනෙහි කරන්න. ඈත ශබ්දයක් ඇසුණත් මෙනෙහි කරන්න. ගඳ, සුවඳක් නාසයට දැනුණත් මෙනෙහි කරන්න. ගන්ධයක් ... ඒ පහළ වූ සිත ද අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් පැමිණෙන සිත මෙනෙහි කරන්න. මෙලෙස සිතට ගලා එන අරමුණු මෙනෙහි කිරීම චිත්තානුපස්සනාව යි.



No comments:

Post a Comment

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...