Sunday, September 19, 2021
හාලිද්දකානි සූත්‍රය
Saturday, September 18, 2021
සසර පැවැත්මටහේතුව කුමක්ද?
සසර දුකෙන් එතෙර වන මග
සසර දුකෙන් එතෙර වන මග
අස්ගිරි මහා විහාර සංඝසභාවේ මහෝපාධ්‍යාය
ශාස්ත්‍රවේදී
රාජකීය පණ්ඩිත
අමුණුපුර පියරතන නා හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සබ්බේ සංඛාරා අනිච්චාති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබිබින්දතී දුක්ඛෙ
එසමග්ගො විසුද්ධියා
සුපින්වත්නි,
සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි එක්දහස් පන්සියයක් භික්ෂූන්වහන්සේ නිමිති කරගෙන මෙම ධර්ම දේශනාව ගෙනහැර දක්වා වදාළ සේක.
සැවැත් නුවර එක්දහස් පන්සියයක් භික්ෂූන් වහන්සේ පන්සියය බැගින් වෙන් වෙන් වශයෙන් තුන් කොටසක් ව කමටහන්ගෙන භාවනා කිරීමට ප්‍රයත්න දැරූහ. එහෙත් කිසිවෙකුට මාර්ගඵල ලබා ගැනීමට නොහැකිවූයෙන් යළි කමටහන් ගැනීමට දෙව්රම් වෙහෙර බුදුරජාණන් වහන්සේ වෙත වැඩම වූ හ. තමන්ගේ පරමාර්ථයන් ඉෂ්ට සිද්ධ කරගැනීමට නොහැකිවූ බවත්, නැවත කමටහන් ඉගෙනයාම සඳහා පැමිණි බවත් භික්ෂුහු බුදුරදුන්ට සැලකර සිටියහ.
අප බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන්ගේ අතීත භවයන් බලා වදාරා පෙර කස්සප බුදුරදුන් සමයෙහි අනිච්ච, දුක්ඛ, අනත්ත යන තිලකුණු භාවනා වඩා පුරුදු ඇතියන් බව දැන එම අරමුණුවලට ම මනස යොමු කිරීම සඳහා එම පැවිදිපිරිස කොටස් තුනකට වෙන්කොට වෙන වෙන ම ගාථා ධර්ම දේශනා කළ සේක.
සබ්බේ සංඛාරා අනිච්චාති
සබ්බේ සංඛාර දුක්ඛාති
සබ්බේ සංඛාරා අනත්තාති
යනුවෙන් මේ ගාථා තුනේම කෙටි අදහස සියලු සකර දම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් බලන්නා දුකෙහි කළ කිරේ. එය නිවන් මාර්ගයයි.
‘යදනිච්චං තංදුක්ඛං’ යමක් විපරිනාම වේද එය අරමුණු වශයෙන් සමථ හා විදර්ශනා භාවනා වඩන්නේ නැති පුද්ගලයාට දුක්වේදනා ඉතා තදින් ඇති වන්නේ ය. දුක, සැප වේදනා දෙක ම අපේ පංචේන්ද්‍රියයන් මුල් කරගෙන ඇති වී මනසින් ප්‍රකාශයට පත්වෙන නමුත් දුක්වේදනාව මනසට රුචි නොවන තෙරපෙනනයක් වන බැවින් එය මහා දුකකි.
නාම රූප ලෝකයට අයත් පරමාණුවේ පටන් අති විශාල අහස, පොළොව, ඉර හඳ දක්වා රූප ලෝකය ද ඉතා සියුම් චිත්ත ක්ෂණයේ පටන් ගෝත්‍රභූ ඤාණය දක්වා නාම ලෝකය ද, උත්පාද, ඨිති, භංග වශයෙන් මොහොතකට කෝටිගණන් ඇතිව නැතිව යන බැවින් දුක්වේදනාවක් වන්නේ ය.
සංස්කාරවල ස්වභාවය, වෙනස් වෙමින් එක්වීමයි. මේ නිසා ප්‍රථමයෙන් ඇතිවෙන හේතුවේ ඵලය මොහොතකින් යළි හේතුවක් බවට පත්වෙන නිසා හේතුඵල නියාම ධර්මයෙන් සමස්ත විශ්වයම පවතින්නේ ය. රූපං අනිච්චං, වේදනා අනිච්චා, සඤ්ඤා අනිච්චා, සංඛාරා අනිච්චා, විඤ්ඤාණං අනිච්චං
සත්වයා තමාගේ රූපය, වේදනාව, සඤ්ඤාව සංඛාර, විඤ්ඤාණය යන පංච උපාදානස්ඛන්ධයන් නිත්‍ය වශයෙන් සිතමින් ක්‍රියා කරන බැවින් මනෝ භාවයන් එයට බැඳී පවතින්නේ ය. එය ආත්ම සඤ්ඤාවට හේතුවක් වන්නේ ය.
පංච උපාදානස්ඛන්ධයන්ගේ උදය ව්‍යය හෙවත් ඇතිව නැතිවීම පරිග්‍රහණය කොට සන්තතිය වශයෙන් පවත්නා හැඟීම අනර්ථකාරී සංකල්පයක් වශයෙන් බැහැර කළවිට අනිත්‍ය ස්වභාවය යථා පරිදි වැටහෙන්නේ ය.
ඇස, කන, නාසය, දිව ශරීරය, මනස යන ඉන්ද්‍රියයන් මෙන් ම, ගෝචරවන රූප, ශබ්ද ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන බාහිර ධර්මයන් එකකටවත් ආත්මයක් නැති බව අප බුදුරජාණන් වහන්සේ අනන්ත ලක්ඛණ සූත්‍රයෙන් වෙන් වෙන් වශයෙන් පෙන්වා දුන් සේක.
සත්වයාගේ ජීවිතයට අයත් කිසිවක් ආත්ම වශයෙන් ගතයුතු නැතිබව කරුණු හතරක් අනුව අප බුදුරජාණන් වහන්සේ දැන වදාළ සේක.
01. තමාට වසඟ නොවන බැවින්
02. ස්වාමික බවක් නැති බැවින්.
03. ශූන්‍යාර්ථයන් ගන්නා බැවින් හා
04. ආත්ම ප්‍රතිකේෂ්පාර්ථයෙන්
යන කරුණු අනුව ආත්ම සංකල්පයක් මිස ගතයුතු හරයක් නැති බවත් සර්වඥතාඤාණයෙන් දැන වදාළ සේක.
නෙතං මම නෙසො හමස්මි නමෙසො අත්තාති
සියලු රූප මගේ නොවේ ය, මෙතෙම මම නොවෙමි.
මෙය මාගේ ආත්මය නොවේය යන විදර්ශනා ඤාණයෙන් තත්වූ පරිදි දත යුත්තේ ම ය. එය සංසාර දුකින් මිඳීමේ ඒකායන මාර්ගය වන්නේ ය.
මෙම ධර්ම දේශනාව කියවීමෙන්, ධාරණය කිරීමෙන්, පිළිපැදීමෙන් දෙව් මිනිස් සැප සම්පත් කෙළවර නිවන් සම්පත් ලබා ගැනීමට උත්සාහවන්න.
දේවදහ සූත්‍රය
දේවදහ සූත්‍රය
2
මා විසින් මෙසේ අසලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි දෙව්දහ නම්වූ ශාක්‍යයන්ගේ නියම්ගමෙහි වැඩවාසය කරනසේක. එකල්හි පච්ඡාභූමි නම් ජනපදයට යනු කැමැතිවූ බොහෝ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක උන්නාහුය. එකත්පසෙක උන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකළහ.
“ස්වාමීනි, අපි පච්ඡාභූමි නම් ජනපදයට යාමට කැමැත්තෙමු. පච්ඡාභූමි නම් ජනපදයෙහි වාසය කිරීමට කැමැත්තෙමු යනුයි.”
“මහණෙනි, තොප විසින් සාරිපුත්තට දන්වන ලද්දේද?” ස්වාමීනි, අප විසින් ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට නොදන්වන ලද්දේය.” “මහණෙනි, සාරිපුත්තට දන්වව්. සබ්‍රහ්මචාරී භික්ෂූන්ට අනුග්‍රහ කරන පණ්ඩිත භික්ෂුවකැයි වදාළේය.”
“එසේය. ස්වාමීනි” යයි ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ.
එකල්හි වනාහි ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේට නුදුරු තන්හි එක්තරා ගසකින් සෙවෙනවූ මණ්ඩපයෙක්හි හුන්නේ වෙයි.
ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුවී එය අනුමෝදන්වී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ, පැදකුණු කොට ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියාහුය. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා, එක් පසෙක උන්නාහුය. එක්පසෙක උන්නාවූ ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ සැලකළාහුය. “ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයාණෙනි, අපි පච්ඡාභූමි නම් ජනපදයට යෑමට හා පච්ඡාභූම ජනපදයෙහි වාසය කිරීමටද කැමැත්තෙමු” යනුයි. “අප විසින් භාග්‍යවතුන් වහන්සේ විචාරණ ලද්දේයයිද කීහ.”
“ඇවැත්නි, නොයෙක් රාජ්‍යයන්ගෙන් පැමිණියාවූ භික්ෂූන්ගෙන් ප්‍රශ්න විචාරන්නාවූ ක්ෂත්‍රිය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද, ශ්‍රමණ පණ්ඩිතයෝද ඇත්තාහ. ඇවැත්නි, මනුෂ්‍ය පණ්ඩිතයෝ ‘ආයුෂ්මත්වරුන්ගේ ශාස්තෲන් වහන්සේ කිනම් වාද ඇත්තෙක්ද කුමක්කියන්නෙක්දැයි’ විමසන්නෝය ‘ආයුෂ්මත්වූ ඔබවහන්සේලා විසින් කිනම් ධර්මය මනාව අසන ලද්දාහුද? මනාව ඉගෙනගන්නා ලද්දාහුද? මනාව මෙනෙහි කරන ලද්දාහුද? මනාව සිතින් දරා ගන්නා ලද්දාහුද? යම්සේ ප්‍රකාශ කරනු ලබන්නාවූ ආයුෂ්මත්හු භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නෝ වන්නහුද? භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් දොස් නොකියන්නෝ වන්නහුද? ලෝකෝත්තර ධර්මයට අනුකූල ධර්මයක් ප්‍රකාශ කරන්නහුද? කරුණු සහිතවූ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුකූලවූ කීමක් ගැරහිය යුතු තැනකට නොපැමිණේදැයි’ ඇසූහ.”
“ඇවැත්නි, අපි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ සමීපයෙහිදී මේ වචනයාගේ අර්ථය දැනගැනීමට දුර සිටම එන්නෙමු. මේ වචනයාගේ අර්ථය ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට වැටහෙනසේක් නම් ඉතා යෙහෙක.”
“ඇවැත්නි, එසේවී නම් අසව්, මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමි” “ඇවැත්නි, එසේය”යි ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළහ.
“ඇවැත්නි, නොයෙක් රාජ්‍යවලින් පැමිණියාවූ භික්ෂූන්ගෙන් ප්‍රශ්න විචාරන්නාවූ ක්ෂත්‍රිය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද ශ්‍රමණ පණ්ඩිතයෝද ඇත්තාහුය. ඇවැත්නි, මනුෂ්‍ය පණ්ඩිතයෝ ආයුෂ්මත්වරුන්ගේ ශාස්තෲන් වහන්සේ කිනම් වාද ඇත්තෝද, කුමක් ප්‍රකාශ කරන්නේදැයි විමසන්නෝය. ඇවැත්නි, මෙසේ විචාරණ ලද්දාවූ තෙපි මෙසේ ප්‍රකාශ කරව්.”
“ඇවැත්නි, අපගේ ශාස්තෲන් වහන්සේ ඡන්දරාගය දුරු කිරීම ප්‍රකාශ කරනසේකැ”යි ඇවැත්නි, මෙසේ ප්‍රකාශ කළ කල්හිද මත්තෙහි ප්‍රශ්න විචාරන්නාවූ අන්‍යවූ ක්ෂත්‍රිය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද, ශ්‍රමණ පණ්ඩිතයෝද ඇත්තාහුය. ඇවැත්නි, මනුෂ්‍ය පණ්ඩිතයෝ අර්ථ විමසන්නෝය. ‘ආයුෂ්මත්වරුන්ගේ ශාස්තෲන් වහන්සේ කවර දෙයක ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරනසේක්ද?’ ඇවැත්නි, මෙසේ විචාරන ලද්දාවූ තොපි මෙසේ ප්‍රකාශ කරව්.
“ඇවැත්නි, ශාස්තෲන්වහන්සේ රූපයෙහි ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරන සේක. ශාස්තෲන් වහන්සේ වේදනාවෙහි ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරනසේක. ශාස්තෲන් වහන්සේ සංඥාවෙහි ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරනසේක. ශාස්තෲන් වහන්සේ සංස්කාරයන්හි ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරන සේක. ශාස්තෲන් වහන්සේ විඥානයෙහි ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරන සේක” යනුවෙනි.
“ඇවැත්නි, මෙසේ ප්‍රකාශ කළ කල්හි මත්තෙහි ප්‍රශ්න විචාරන්නාවූ අන්‍ය ක්ෂත්‍රිය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද, ශ්‍රමණ පණ්ඩිතයෝද ඇත්තාහුය.
“ඇවැත්නි, මනුෂ්‍ය පණ්ඩිතයෝ අර්ථ විමසන්නෝය. ‘ආයුෂ්මත්වරුන්ගේ ශාස්තෲතෙමේ කිනම් ආදීනවයක් දැක, රූපයෙහි ඡන්දරාගය දුරු කිරීම ප්‍රකාශ කරන්නේද? ශාස්තෲතෙමේ වේදනාවෙහි ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරන්නේද? ශාස්තෲතෙමේ සංඥාවෙහි ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරන්නේද? ශාස්තෲතෙමේ සංස්කාරයන්හි ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරන්නේද? ශාස්තෲතෙමේ විඥානයෙහි ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරන්නේද?’ ඇවැත්නි, මෙසේ විචාරන ලද්දාවූ තෙපි මෙසේ ප්‍රකාශ කරව්.
“ඇවැත්නි, රූපයෙහි දුරු නොවූ රාගය ඇත්තහුට, දුරු නොවූ ඡන්දය ඇත්තහුට, දුරු නොවූ ප්‍රේමය ඇත්තහුට, දුරු නොවූ පිපාසය ඇත්තහුට, දුරු නොවූ දාහය ඇත්තහුට, දුරු නොවූ තණ්හාව ඇත්තහුට ඒ රූපයාගේ පෙරලීමකට වෙනස් බවකට පැමිණීම හේතුකොට ගෙන ශෝක, පරිදේව, දුක් දොම්නස් සහ උපායාසයෝ උපදිත්.
“වේදනාවෙහි දුරු නොවූ රාගය ඇත්තහුට, දුරු නොවූ ඡන්දය ඇත්තහුට, දුරු නොවූ ප්‍රේමය ඇත්තහුට, දුරු නොවූ පිපාසය ඇත්තහුට, දුරු නොවූ දාහය ඇත්තහුට, දුරු නොවූ තණ්හාව ඇත්තහුට, ඒ වේදනාවගේ පෙරලීමකට, වෙනස් බවකට පැමිණීම හේතුකොටගෙන, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්.
“සංඥාවෙහි දුරුනොවූ රාගය ඇත්තහුට, දුරු නොවූ ඡන්දය ඇත්තහුට, දුරු නොවූ ප්‍රේමය ඇත්තහුට, දුරු නොවූ පිපාසය ඇත්තහුට, දුරු නොවූ දාහය ඇත්තහුට, දුරු නොවූ තණ්හාව ඇත්තහුට ඒ සංඥාවගේ පෙරලීමකට වෙනස් බවකට පැමිණීම හේතුකොටගෙන ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්.
“සංස්කාරයන්හි දුරු නොවූ රාගය ඇත්තහුට, දුරු නොවූ ඡන්දය ඇත්තහුට, දුරු නොවූ ප්‍රේමය ඇත්තහුට, දුරුනොවූ පිපාසය ඇත්තහුට, දුරු නොවූ දාහය ඇත්තහුට, දුරුනොවූ තෘෂ්ණාව ඇත්තහුට ඒ සංස්කාරයන්ගේ වෙනස් වීමක් පෙරලීමක් හේතුකොටගෙන ශෝක, පරිදෙව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්.
“විඥානයෙහි දුරුනොවූ රාගය ඇත්තහුට දුරුනොවූ ඡන්දය ඇත්තහුට, දුරුනොවූ ප්‍රේමය ඇත්තහුට, දුරුනොවූ පිපාසය ඇත්තහුට, දුරුනොවූ දාහය ඇත්තහුට, දුරුනොවූ තෘෂ්ණාව ඇත්තහුට, විඥානයාගේ වෙනස්වීම, පෙරලීම හේතුකොටගෙන ශෝක, පරිදේව, දුක්, දොම්නස්, සහ උපායාසයෝ උපදිත්.
“ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ මේ ආදීනවය දැක, රූපයෙහිද, වේදනාවෙහිද, සංඥාවෙහිද, සංස්කාරයන්හිද, ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරන සුළුසේක්ය යනුයි.
“ඇවැත්නි, මෙසේ කී කල්හිද මත්තෙහි ප්‍රශ්න විචාරන්නාවූ අන්‍යවූ ක්ෂත්‍රිය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද, ශ්‍රමණ පණ්ඩිතයෝද ඇත්තාහුය.
“ඇවැත්නි, මනුෂ්‍ය පණ්ඩිතයෝ අර්ථ විමසන්නෝය. ‘ආයුෂ්මතුන්ගේ ශාස්තෲතෙම රූපය කිනම් ආනිසංසයක් දැක, ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරන්නේද, ශාස්තෲ තෙම වේදනාවෙහි, සංඥාවෙහි, සංස්කාරයන්හි, විඥානයෙහි, ඡන්දරාගය, දුරුකිරීම, ප්‍රකාශ කරන්නේ දැයි’ අසන්නාහුය. ඇවැත්නි, මෙසේ අසන ලද්දාවූ තොපි මෙසේ ප්‍රකාශ කරව්, ‘ඇවැත්නි, රූපයෙහි වනාහි දුරුවූ රාගය ඇති, දුරුවූ ඡන්දය ඇති, දුරුවූ ප්‍රේමය ඇති’ දුරුවූ පිපාසය ඇති, දුරුවූ දාහය ඇති, දුරුවූ තණ්හාව ඇති, ඕහට රූපයාගේ වෙනස්වීමෙන් හා පෙරළීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස් හා උපායාසයෝ නූපදිත්.’
“වේදනාවෙහි දුරුවූ රාග ඇති, දුරුවූ ඡන්දය ඇති, දුරුවූ ප්‍රේමය ඇති දුරුවූ පිපාසය ඇති, දුරුවූ දාහය ඇති, දුරුවූ තණ්හාව ඇති ඕහට ඒ වේදනාවන්ගේ පෙරළීමෙන් වෙනස්වීමෙන් ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදිත්.
“සංඥාවෙහි දුරුවූ රාගය ඇති, දුරුවූ ඡන්දය ඇති, දුරුවූ ප්‍රේමය ඇති, දුරුවූ පිපාසය ඇති, දුරුවූ දාහය ඇති, දුරුවූ තණ්හාව ඇති, ඕහට ඒ සංඥාවේ පෙරලීමෙන්, වෙනස්වීමෙන් ශෝක, පරිදේව, දුක් දොම්නස් සහ උපායාසයෝ නූපදිත්.
“සංස්කාරයන්හි දුරුවූ රාගය ඇති, දුරුවූ ඡන්දය ඇති, දුරුවූ ප්‍රේමය ඇති, දුරුවූ පිපාසය ඇති, දුරුවූ දාහය ඇති, දුරුවූ තණ්හාව ඇති ඕහට ඒ සංස්කාරයන්ගේ පෙරලීමෙන් වෙනස් වීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදිත්.
“විඥානයෙහි දුරුවූ රාගය ඇති, දුරුවූ ඡන්දය ඇති, දුරුවූ ප්‍රේමය ඇති, දුරුවූ පිපාසය ඇති, දුරුවූ දාහය ඇති, දුරුවූ තෘෂ්ණාව ඇති ඕහට විඥානයාගේ පෙරළීමෙන් වෙනස් වීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදිත්.
“ඇවැත්නි, අපගේ ශාස්තෲන්වහන්සේ මේ ආනිසංස දැක, රූපයෙහි ඡන්දරාග දුරුකිරීම දේශනාකරන සේක. ශාස්තෲන්වහන්සේ වේදනාවෙහි ඡන්දරාගය දුරුකිරීම දේශනා කරන සේක. ශාස්තෲන්වහන්සේ සංඥාවෙහි ඡන්දරාගය දුරුකිරීම දේශනා කරන සේක. ශාස්තෲන්වහන්සේ සංස්කාරයන්හි ඡන්දරාගය දුරුකිරීම දේශනා කරන සේක. ශාස්තෲන් වහන්සේ විඥානයෙහි ඡන්දරාගය දුරුකිරීම දේශනා කරන සේක.’ යනුවෙනි.”
“ඇවැත්නි, අකුශල ධර්මයන්ට පැමිණ වාසය කරන්නහුට මේ ආත්මයෙහි දුක් නැත්තාවූ, තැවීම් නැත්තාවූ, සැප විහරණයක් වන්නේනම් ශරීර භෙදයෙන් මරණින් මත්තෙහි සුගතියක් කැමතිවිය යුත්තී නම් භාග්‍යවතුන් වහන්සේ මේ අකුශල ධර්මයන්ගේ දුරුකිරීම වර්ණනා නොකරන සේක.”
“ඇවැත්නි, යම්හෙයකින් වනාහි අකුසල ධර්මයන්ට පැමිණ වාසය කරන්නාහට දුක් සහිතවූ, තැවීම් සහිතවූ, දැවීම් සහිතවූ, දුක්ඛ විහරණයක් වන්නේද, කායයාගේ භේදයෙන් මරණින් මත්තෙහි දුර්ගතිය කැමතිවිය යුත්තීද? එහෙයින් භාග්‍යවතුන් වහන්සේ අකුශල ධර්මයන්ගේ දුරු කිරීම වර්ණනා කරන සේක.”
“ඇවැත්නි, කුශල ධර්මයන්ට පැමිණ වාසය කරන්නහුට මේ ආත්මයෙහිම දුක් සහිතවූ, තැවීම් සහිතවූ, දැවීම් සහිතවූ දුක්ඛ විහරණයක් වන්නේ නම් කායයාගේ භේදයෙන් මරණින් මත්තෙහි දුර්ගතියක් කැමැතිවිය යුත්තී නම් භාග්‍යවතුන් වහන්සේ කුසල ධර්මයන්ට පැමිණීම වර්ණනා නොකරන සේක.
“ඇවැත්නි, යම්හෙයකින් කුසලධර්මයන්ට පැමිණ වාසය කරන්නාහට මේ ආත්මයෙහිම දුක් රහිතවූ, තැවීම් රහිතවූ, දැවීම් රහිතවූ, සුඛවිහරණයක් වන්නේ ද, කායයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සුගතියක් කැමතිවිය යුත්තීද? එහෙයින් භාග්‍යවතුන් වහන්සේ කුසල ධර්මයන්ට පැමිණීම වර්ණනා කරන සේකැයි” ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් කාරණය වදාළසේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනයට සතුටු වූහ.
(දෙවෙනි දේවදහ සූත්‍රය නිමි.)
Thursday, September 16, 2021
සම්මා සම්බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ
සත්‍ය නිර්දේශය: දුක්ඛ සත්‍යය
සුව ගෙනදෙන ආත්ම දමනය
නකුල පිතු සූත්‍රය
නකුල පිතු සූත්‍රය
1
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ භග්ග නම් දනව්වෙහි සුංසුමාරගිරි නම් නුවර භෙසකලාවන නම්වූ මිගදායෙහි වැඩ වාසය කරන සේක.
එකල්හි වනාහි නකුලපිතු ගහපතිතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක උන්නේය. එකත්පසෙක උන්නාවූ නකුලපිතු ගෘහපතිතෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැල කෙළේය.
“ස්වාමීනි, මම ජරාවෙන් ජීර්ණ වූයේ වෙමි. වයසින් වෘද්ධවූයේ වෙමි. ජාතියෙන් මහළුවූයේ වෙමි. තුන්කල් ඉක්මගියේ වෙමි. පශ්චිම වයසට පැමිණියේ වෙමි. නිතර රෝගීවූ ගිලන්වූ සිරුරක් ඇත්තේ වෙමි. ස්වාමීනි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේ හා සිතේ දියුණුව ඇතිවන්නාවූ, භික්ෂූන්ද නිතර දක්නේ නොවෙමි. මට යමක් බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේද?’ ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට එයින් අවවාද කරන සේක්වා!’ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට එයින් අනුශාසනා කරන සේක්වා!”
“ගහපතිය, ඒ කාරණය එසේය, ගහපතිය, ඒ කාරණය එසේය. ගහපතිය, මේ කය ආතුරවූයේ වෙයි. බිජු වටක් මෙන් දුබල වූයේ වෙයි. සියුම්වූ සිවියකින් දැවටුනේ වෙයි. ගහපතිය, යමෙක් යම් කය පරිහරණය කරන්නේ මොහොතක් නමුත් ආරෝග්‍යය (නිරෝගී බව) ප්‍රතිඥා කරන්නේ නම් (එය ඔහුගේ) අඥාන බව හැර වෙන කුමක්ද? ගහපතිය, එහෙයින් තොප විසින් මෙහි මෙසේ හික්මිය යුතු ‘ආතුරවූ කයක් ඇත්තාවූ මාගේ සිත අනාතුර වන්නේය’ කියායි. ගහපතිය, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.”
ඉක්බිති, නකුලපිතු ගහපතිතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව එය අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ, පැදකුණු කොට ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි එළඹියේය. එළඹ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ නකුලපිතු ගහපතියාට ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළේය.
‘ගහපතිය, ඔබගේ ඉන්ද්‍රියයෝ විප්‍රසන්නයහ. (විශේෂයෙන් පැහැදුනහ) මුඛවර්ණය (මූණෙහි පාට) පිරිසිදුය. නිර්මලය. අද (ඔබ) භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙන් දැහැමි කථාවක් ඇසීමට ලැබුයේ වෙහිද?”
“ස්වාමීනි, කිමද නැත්තේ.” “ස්වාමීනි, මේ දැන් මම භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කථාවවූ අමෘතයෙන් අභිෂෙක කරන ලද්දේ වෙමියි” කීය. “ගහපතිය ඔබ කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්ම කථාවවූ අමෘතයෙන් “අභිෂේක කරන ලද්දේද?” “ස්වාමීනි, මෙහි මම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි එළඹුනෙමි. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක උන්නෙමි. ස්වාමීනි, එකත්පසෙක හුන්නාවූ මම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවෙමි.
“ස්වාමීනි, මම ජරාවෙන් ජීර්ණවූයේ වෙමි. වයසින් වෘද්ධවූයේ වෙමි. ජාතියෙන් මහළුවූයේ වෙමි. තුන්කල් ඉක්මගියේ වෙමි. අන්තිම වයසට පැමිණියේ වෙමි. නිතර රෝගීවූ ආතුර (ලෙඩ) වූ සිරුරක් ඇත්තේ වෙමි. ස්වාමීනි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේ හා සිතේ දියුණුව උපදින භික්ෂූන්ද නිතර දක්නේ නොවෙමි. යමක් මට බොහෝ කලක් හිත පිණිස, සැප පිණිස වන්නේද? “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට එයින් අවවාද කරන සේක්වා!” ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට එයින් අනුශාසනා කරන සේක්වා යනුයි.
“ස්වාමීනි, මෙසේ කීකල්හි මට භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළසේක. ‘ගහපතිය, ඒ කාරණය එසේය. ගහපතිය, ඒ කාරණය එසේය. ගහපතිය, මේ කය ආතුරවූයේ වෙයි. බිජුවටක් මෙන් දුබලවූයේ වෙයි. (සියුම් සිවියකින් පමණක්) දැවටුනේවෙයි. ගහපතිය, යමෙක් වනාහි මේ කය පරිහරණය කරන්නේද (හෙතෙම) මොහොතක් නමුත් ආරෝග්‍යය (නිරෝගි බව) ප්‍රතිඥා කරන්නේ නම් (එය ඔහුගේ) අඥාන භාවය හැර වෙන කුමක්ද? එහෙයින් තොප විසින් මෙහි මෙසේ හික්මිය යුතු ‘ආතුරවූ කයක් ඇත්තාවූ මාගේ සිත අනාතුර වන්නේය’ කියායි. ගහපතිය, තොප විසින් මෙසේ හික්මිය යුතුය කියායි. ස්වාමීනි, මම මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කථාවවූ අමෘතයෙන් අභිෂෙක කරන ලද්දේ වෙමි.
‘ස්වාමීනි, කොපමණකින් වනාහි ලෙඩවූ කය ඇත්තෙක් සහ ලෙඩවූ සිත ඇත්තෙක් වන්නේද, කොපමණකින් වනාහි ලෙඩවූ කය ඇත්තෙක්ව ලෙඩ නොවූ සිත ඇත්තෙක් වන්නේ දැයි’ මත්තෙහි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීමට නොවැටහුණෙහිද?”
“ස්වාමීනි, අපි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ සමීපයෙහිදී මේ දේශනාවේ අර්ථය දැන ගැනීමට දුර සිට එන්නෙමු.” මේ දේශනාවේ අර්ථය ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේටම වැටහෙන්නේ නම් මැනවි.”
“එසේනම් ගහපතිය, අසව, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමි”යි වදාළේය. “ස්වාමීනි, එසේයයි.” නකුල පිතු ගහපතිතෙමේ ආයුෂ්මත්වූ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්නේය.
ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළේය. “ගහපතිය, කෙසේනම් ලෙඩවූ කය ඇත්තෙක්ව ලෙඩවූ සිත ඇත්තෙක් වන්නේද?”
“ගහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් නොදක්නාවූ ආර්‍ය්‍යධර්මයෙහි අදක්ෂවූ ආර්‍ය්‍යධර්මයෙහි නොහික්මුනාවූ සත් පුරුෂයන් නොදක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ, සත් පුරුෂ ධර්මයෙහි නොහික්මුණාවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙමේ රූපය ආත්මය (තමා) වශයෙන් දකියිද? රූපවත්හු (රූපය ඇත්තාහු) තමා කොට හෝ දකියිද? රූපය තමා කෙරෙහි ඇතැයි කියා හෝ දකියිද? රූපයෙහි ආත්මය (තමා) හෝ ඇත කියා හෝ දකියිද? රූපය මම වෙමි. මගේ රූපය වේයයි තණ්හා දිට්ඨි දෙකින් මඩනා ලද්දේ වෙයිද, රූපය මම වෙමි. මගේ රූපයයි තණ්හා දිට්ඨි දෙකින් මඩනා ලද, ඔහුගේ ඒ රූපය වෙනස් වෙයිද, අන් ආකාරයකට පෙරළෙයිද, රූපයාගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරලීම හේතුකොට ගෙන ඔහුට ශෝකය, පරිදේවය, දුක්ය, දොමනස්සය, උපායාසය යන මොවුහු උපදිත්.”
“වේදනාව ආත්මය වශයෙන් දකියිද, වේදනාව ඇත්තහු ආත්මයකොට හෝ දකියිද, ආත්මය (තමා) කෙරෙහි වේදනාව ඇතැයි කියා හෝ වේදනාව කෙරෙහි ආත්මය ඇතැයි කියා හෝ දකියිද, මම වේදනාව වෙමි. මගේ වේදනාවයයි තණ්හා දිට්ඨි දෙකින් මඩනා ලද්දේ වෙයිද, මම වේදනාව වෙමි, මගේ වේදනාවයයි මඩනා ලද්දාවූ ඔහුගේ ඒ වේදනාව වෙනසට පැමිණෙයිද, අන් ආකාරයකට පැමිණෙයිද වේදනාවගේ වෙනස්වීම අන් ආකාරයකට පැමිණීම යන මෙය හේතුකොටගෙන ඔහුට ශෝකය, පරිදෙවය, දුක්ය, දොම්නසය, උපායාසය යන මොවුහු උපදිත්.
“සංඥාව ආත්මය වශයෙන් දකියිද, සංඥාවත්හු ආත්මය කොට හෝ දකියිද, සංඥාව ආත්මය කෙරෙහි ඇතැයි කියා හෝ දකියිද, සංඥාවෙහි ආත්මය ඇතැයි කියා හෝ දකියිද, මම සංඥාව වෙමි. සංඥාව මගේයයි මඩනා ලද්දේ හෝ වෙයිද, මම සංඥාව වෙමි. මගේ සංඥාවයයි මඩනා ලද්දාවූ ඔහුගේ ඒ සංඥාව වෙනසට පැමිණෙයිද, අන් ආකාරයකට පැමිණෙයිද, සංඥාවගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම හේතුකොටගෙන ඕහට ශෝකය, පරිදෙවය, දුක්ඛය, දොම්නසය, උපායාසය යන මොවුහු උපදිත්.
“සංස්කාරයන් ආත්මය වශයෙන් හෝ දකියිද, සංස්කාරවත්හු ආත්මයකොට හෝ දකියිද, ආත්මය කෙරෙහි සංස්කාරයන් ඇත කියා හෝ දකියිද, සංස්කාරයන්හි ආත්මය ඇතැයි කියා හෝ දකියිද, සංස්කාරයෝ මම වෙමි මාගේ සංස්කාරයෝයයි මඩනාලද්දේ වෙයිද, සංස්කාර මම වෙමි. මගේ සංස්කාරයෝයයි මඩනා ලද්දාවූ ඔහුගේ ඒ සංස්කාරයෝ වෙනසට පැමිණෙත්ද, අන් ආකාරයකට පෙරළෙත්ද, සංස්කාරයන්ගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම හේතුකොටගෙන ඔහුට ශෝකය, පරිදෙවය, දුක්ය, දොම්නසය, උපායාසය යන මොවුහු උපදිත්.
“විඤ්ඤාණය ආත්මය වශයෙන් හෝ දකියිද, විඤ්ඤාණවත්හු ආත්මයකොට හෝ දකියිද, ආත්මය කෙරෙහි විඤ්ඤාණය ඇත කියා හෝ දකියිද, විඤ්ඤාණය කෙරෙහි ආත්මය ඇත කියා හෝ දකියිද, විඤ්ඤාණය මම වෙමි. මගේ විඤ්ඤාණයයි මඩනා ලද්දේ වෙයිද, මම විඤ්ඤාණය වෙමි. මගේ විඤ්ඤාණයයි මඩනා ලද්දාවූ ඔහුගේ ඒ විඤ්ඤාණය වෙනසට පැමිණෙයිද, අන් ආකාරයකට පෙරළෙයිද, විඤ්ඤාණයාගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම හේතු කොටගෙන, ඔහුට ශෝකය, පරිදෙවය, දුක්ඛය, දොම්නසය, උපායාසය යන මොවුහු උපදිත්.
“ගෘහපතිය, මෙසේ වනාහි ලෙඩවූ කය ඇත්තේද, ලෙඩවූ සිත ඇත්තේද වෙයි.”
“ගහපතිය, කෙසේ නම් ලෙඩවූ කය ඇත්තේ ලෙඩ නොවූ සිත් ඇත්තෙක් වන්නේද, ගහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් දක්නාවූ ආර්‍ය්‍යධර්මයෙහි දක්ෂවූ, ආර්‍ය්‍යධර්මයෙහි හික්මුනාවූ, සත්පුරුෂයන් දක්නාවූ. සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුනාවූ, ශ්‍රැතවත් (ඇසූ පිරූ තැන් ඇති) ආර්‍ය්‍යශ්‍රාවකතෙම රූපය ආත්මය වශයෙන් නොමදකියිද, රූපවත්හු ආත්මය කොට හෝ නොමදකියිද, ආත්මය කෙරෙහි රූපය ඇතැයි හෝ නොමදකියිද, රූපය කෙරෙහි ආත්මය ඇතැයි හෝ නොමදකියිද, “රූපය මම වෙමි. මගේ රූපය”යි මඩනා ලද්දේ නොවේද, රූපය මම වෙමි මාගේ රූපයයි නොමඩනා ලද්දාවූ ඔහුගේ ඒ රූපය වෙනසට පැමිණෙයිද, අන් ආකාරයකට පෙරළෙයිද, රූපයාගේ වෙනස්වීමෙන් අන් ආකාරයකට පෙරළීමෙන් ඔහුට ශෝකය, පරිදෙවය, දුක්ය, දොම්නසය, උපායාසය යන මොවුහු නූපදිත්.
“වේදනාව ආත්මය වශයෙන් හෝ නොමදකියිද, වේදනාවත්හු ආත්මය කොට හෝ නොමදකියිද, ආත්මය කෙරෙහි හෝ වේදනාව ඇතැයි හෝ නොමදකියිද, වේදනාව කෙරෙහි ආත්මය ඇතැයි හෝ නොමදකියිද, වේදනාව මම වෙමි. මගේ වේදනාවයයි නොමඩනා ලද්දේ වෙයිද, වේදනාව මම වෙමි, මගේ වේදනාවයයි නොමඩනා ලද්දාවූ ඔහුගේ ඒ වේදනාව වෙනසට පැමිණෙයිද, අන් ආකාරයට පෙරළෙයිද, වේදනාවගේ වෙනසට පැමිණීමෙන් හා අන් ආකාරයට පෙරළීමෙන් ඔහුට ශෝකය, පරිදෙවය, දුක්ය, දොම්නසය, උපායාසය යන මොවුහු නූපදිත්.
“සංඥාව ආත්මය වශයෙන් නොමදකියිද, සංඥාවත්හු ආත්මය කොට හෝ නොමදකියිද, ආත්මය කෙරෙහි සංඥාව ඇතැයි හෝ නොමදකියිද, සංඥාව කෙරෙහි ආත්මය ඇතැයි හෝ නොමදකියිද, “සංඥාව මම වෙමි මගේ සංඥාවය”යි නොමඩනා ලද්දේ වෙයිද, සංඥාව මම වෙමියි මගේ සංඥාවයයි නොමඩනා ලද්දාවූ ඔහුගේ ඒ සංඥාව වෙනසට පැමිණෙයිද, අන් ආකාරයට පෙරළෙයිද, සංඥාවගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම හේතුකොටගෙන ශෝකය, පරිදෙවය, දුක්ඛය, දොම්නසය, උපායාසය යන මොවුහු නූපදිත්.
“සංස්කාරයන් ආත්මය වශයෙන් නොමදකියිද, සංස්කාරවත්හු ආත්මය කොට හෝ නොමදකියිද, ආත්මය කෙරෙහි සංස්කාරයන් ඇතැයි හෝ දකියිද, සංස්කාරයන් කෙරෙහි ආත්මය ඇතැයි හෝ නොමදකියිද, “සංස්කාරයෝ මම වෙමි, මගේ සංස්කාරයෝයයි මඩනා ලද්දේ නොවෙයිද, සංස්කාරයෝ මම වෙමි, මගේ සංස්කාරයෝයයි නොමඩනා ලද්දාවූ ඔහුගේ ඒ සංස්කාරයෝ වෙනසට පැමිණෙත්ද, අන් ආකාරයට පෙරළෙත්ද, සංස්කාරයන්ගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම යන මෙයින් ඔහුට ශෝකය, පරිදෙවය, දුක්ඛය, දොම්නසය, උපායාසය යන මොවුහු නූපදිත්.
‘විඤ්ඤාණය ආත්මය වශයෙන් නොමදකියිද, විඤ්ඤාණවත්හු ආත්මය කොට හෝ නොමදකියිද, ආත්මය කෙරෙහි විඤ්ඤාණය ඇතැයි හෝ නොමදකියිද, විඤ්ඤාණය කෙරෙහි ආත්මය ඇතැයි හෝ නොමදකියිද, විඤ්ඤාණය මම වෙමි. මගේ විඤ්ඤාණයයි මඩනා ලද්දේ නොවේද, විඤ්ඤාණය මම වෙමි. මගේ විඤ්ඤාණයයි නොමඩනා ලද්දාවූ ඔහුගේ ඒ විඤ්ඤාණය වෙනසට පැමිණෙයිද, අන් ආකාරයට පෙරළෙයිද විඤ්ඤාණයාගේ වෙනස්වීම අන් ආකාරයට පෙරළීම හේතු කොටගෙන ඔහුට ශෝකය, පරිදෙවය, දුක්ය, දොම්නසය, උපායාසය යන මොවුහු නූපදිත්.
“ගහපතිය, මෙසේ වනාහි ලෙඩවූ කය ඇත්තේද, ලෙඩවූ සිත නැත්තේද වෙයි. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇත්තාවූ නකුල පිතු ගහපති තෙමේ ආයුෂ්මත්වූ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනයට සතුටු වූයේය.
(පළමුවෙනි නකුල පිතු සූත්‍රය නිමි.)
චෛතසික
සිත තනි ව උපදින දෙයක් නො වේ. තනි ව ඉපදිය හැකි ශක්තියක් ද එයට නැත. සිතක් උපදනා කල්හි එය හා සර්වාකාරයෙන් මිශ්‍ර බවට පැමිණ එය හා එක වර ම ඉපද එකට පැවතී එකට ම බිඳෙන සිතෙහි ගුණ වැනි වූ ක්‍රියා කොටසක් ඇත්තේ ය. චෛතසික යයි කියනුයේ ඒවාය. සිත හා එකට ඉපදීම ය, එකට බිඳීම ය, එක අරමුණක් ඇති බවය, එක් වස්තුවක් ඇසුරු කොට පවත්නා බව ය යන මේ කරුණු සතර චෛතසිකයේ ලක්ෂණය යි පූර්වාචාර්‍ය්‍යවරයෝ පැවසූහ. චිත්ත චෛතසිකයන්ගේ තත්ත්වය ප්‍රකාශ කිරීමේ දී කසායෝපමා, මල්පොකුරු උපමා ආදිය ආචාර්‍ය්‍යවරයෝ දක්වති. ද්‍රව්‍ය නොවූ ක්‍රියා මාත්‍රම වූ චිත්ත චෛතසිකයන්ගේ තත්ත්වය දැක්වීම ඒවායින් සිදුකළ හැකිය යි නො සිතමි. චිත්ත චෛතසික තත්ත්වය අප විසින් උපමාවෙන් දක්වන්නේ මෙසේ ය.
මිනිසකු ගෙයක සිට ගසක් වෙත යන කල්හි මිනිසා ගේ ගමන ක්‍රියාව හා එකවර පටන් ගෙන එකට පැවත එකවර අභාවප්‍රාප්ත වන්නාවූ කවර ආකාරයකින් වත් ඔවුනොවුන් වෙන් නො කළ හැකි සේ එකට බැඳී පවත්නා වූ සර්වාකාරයෙන් මිශ්‍රව පවත්නා වූ තවත් ක්‍රියා දෙකක් සිදු වේ. එනම් මිනිසා ගෙයින් ඈත් වීම හා ගසට ළං වීම ය. ගමන ක්‍රියාව සිදු කරන මිනිසාගේ පියවරක් පාසා ම ඔහුට ගෙය දුර වීමත් ගස ළං වීමත් සිදු වේ. යෑමේ පටන් ගැනීම දුර වීම්, ළං වීම් දෙකේ ද පටන් ගැනීම ය. යෑමේ පැවැත්ම දුර වීම, ලං වීම දෙකේ ද පැවැත්මය. යෑමේ නැවැත්ම දුර වීම් ළං වීම් දෙකේ නැවැත්ම ය. දුර වීම්, ළං වීම් දෙක සිදු නොවන්නට කවර ආකාරයකින් වත් යෑම නො කළ හැකිය. එබැවින් දුර වීම, ළං වීම, දෙකින් යෑම් හෝ යෑමෙන් දුර වීම්, ළං වීම් දෙක හෝ කවර ආකාරයකින් වත් වෙන් නො කළ හැකි ය.
එහෙත් දුර වීම් ළං වීම් දෙක සිදු වනුයේ ගමන ක්‍රියාව නිසා ය. එබැවින් ගමන ක්‍රියාව එහි ප්‍රධාන ය. ඉතිරි දෙක අප්‍රධාන ය. මේ අප විසින් චිත්ත චෛතසික තත්ත්වය දැක්වීමට ගන්නා වූ උපමාව ය. මේ උපමාව ද මඳක් ගැඹුරු ය. පළමු කොට උපමාව හොඳින් තේරුම් ගෙන පසුව අර්ථය හා සසඳා බලනු.
මෙහි ප්‍රධාන වූ ගමන ක්‍රියාව මෙන් සිත දත යුතුය. අප්‍රධාන වූ දුර වීම්, ළං වීම් දෙක මෙන් චෛතසික දත යුතු ය. දුර වීම්, ළං වීම් දෙක නො වන්නට ගමන ක්‍රියාව නො කළ හැකිවාක් මෙන් චෛතසිකයන්ගෙන් තොර ව සිතට නූපදිය හැකි බව දත යුතු ය. දුර වීම්, ලං වීම් දෙකින් ගමන ක්‍රියාව හෝ ගමන ක්‍රියාවෙන් දුර වීම්, ලං වීම් දෙක හෝ වෙන් නො කළ හැකිවාක් මෙන් චෛතසිකයෙන් සිත හෝ සිතින් චෛතසිකය හෝ වෙන් නො කළ හැකි බව දත යුතුය. ගමනය, දුරවීමය, ළංවීමය යන මේවා එකට පටන් ගෙන එකට පැවතී එකට නවත්නාක් මෙන් සිතේ හා චෛතසිකයන්ගේ එකට ඉපදීම ය, එකට පැවැත්මය, එකට බිඳීමය යන මේ තුන දත යුතු ය. ගමනාදී ක්‍රියා තුන, යන පුද්ගලයා ඇසුරු කොට පවත්නාක් මෙන් චිත්ත චෛතසිකයන් එක වස්තුවක් ඇසුරු කොට පවත්නා බව දත යුතු ය.
මතු සම්බන්ධයි!
Wednesday, September 15, 2021
ධම්මානුපස්සනාව - බොජ්ඣංග විදර්ශනාවෙහි උපේක්ඛා සම්බොජ්ඣංගය
කප්පින සූත්‍රය
කප්පින සූත්‍රය
245
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
ඉක්බිති ආයුෂ්මත් මහා කප්පිණ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. භාග්‍යවතුන් වහන්සේ එන්නාවූ ආයුෂ්මත් මහාකප්පිණ තෙරුන් දුරදීම දුටුසේක. දැක, භික්ෂූන්හට කථාකළ සේක.
“මහණෙනි, තෙපි එන්නාවූ සුදුපැහැයෙන් යුක්තවූ සිහින්වූ, උස්වූ නැහැයකින් යුක්තවූ, ඒ මහණ දක්නහුද?” “එසේය, ස්වාමීනි.”
“මහණෙනි, ඒ මහණතෙම වනාහි මහත්වූ ඍද්ධි ඇත්තේය. මහත්වූ ආනුභාව ඇත්තේය. ඒ භික්ෂුව විසින් සමනොවදිනලද විරූ යම් සමාපත්තියක් වේද, එවැනි සමාපත්තියක් සුලබ නොවේ. යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව අවසානකොට ඇත්තාවූ ඒ උතුම් අර්ථය මේ ආත්මයෙහිදී තෙමේම දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය කෙරෙයි කියායි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක දේශනාකොට, ඊට අනතුරුව මේ ගාථාවන් දේශනා කළසේක.
(1) “ගෝත්‍ර සොයන්නාවූ යම් සත්වයෝ වෙත්ද, (ඔවුන් කෙරෙහි) ක්ෂත්‍රියතෙම ශ්‍රේෂ්ඨ වෙයි. දෙවි මිනිසුන් කෙරෙහි අෂ්ටවිද්‍යා පසළොස් චරණධර්මයන්ගෙන් යුක්ත තැනැත්තේ ශ්‍රේෂ්ඨ වෙයි.”
(2) “සූර්‍ය්‍යයා දවල් බබලයි. චන්ද්‍රයා රෑ බබලයි. ක්ෂත්‍රියතෙම සන්නාහසන්නද්ධ වූයේ බබලයි. ක්ෂීණාශ්‍රව තෙම ධ්‍යානයෙන් යුක්ත වූයේ බබලයි. එහෙත් බුදු රජාණන් වහන්සේ දිවා රෑ දෙක්හිම තේජසින් බබලන සේක.”
(එකොළොස්වෙනි කප්පින සූත්‍රය නිමි.)
Saturday, September 11, 2021
Wednesday, September 8, 2021
ජීවිතය කෙසේ සමබර විය යුතු ද?
ජීවිතය කෙසේ සමබර විය යුතු ද?
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
බුදුරජාණන් වහන්සේ විසින් බමුණාට දේශනා කරනු ලැබුවේ ආර්ථික දියුණුව ලැබූ පුද්ගලයකු විසින් අධ්‍යාත්මික දියුණුව ද ඇතිකර ගත යුතු බව ය. බුදු දහම එම මඟ පෙන්වීම නිතර කරයි. මෙලොව ජීවිතය නිවැරැදි ව ගත නොකළ පුද්ගලයෙකුට පරලොව ජීවිතය ගත කිරීමේ හැකියාවක් නැත. නිර්වාණගාමී මාවතට පිවිසි බෞද්ධයා විසින් මෙලොව ජීවිතය සාර්ථක කරගත යුතු ය. එබැවින් පුද්ගලයා නිතර ම තම ආත්ම දමනය පිළිබඳව කල්පනා කළ යුතු ය. එය තමා විසින් ම අවබෝධයෙන් කළ යුතු ය. වෙනත් පුද්ගලයකු යමක් පෙන්වා දෙනතුරු නොසිට තම වරද දැකීමේ හැකියාව තමාට තිබිය යුතු ය.
සමබර ජීවිතයක් ගතකිරීමට නම්, මනා සිහිකල්පනාව, ඉවසීම හා අරපරෙස්සම යන ගුණාංගයන් තිර වශයෙන් ම පැවතිය යුතු ය. එසේ නොවූ විට ජීවිතය සමබර ව පවත්වාගෙන යාමට හැකියාවක් නැත. ආර්ථිකය ද ධර්මය ද සමානව තිබිය යුතු ය. පුද්ගල චරිතය සැමවිට ම ධර්මයෙන් පෝෂණය විය යුතු ය. බොහෝ දුරට පෙර කළ පින හා පව ද මෙයට හේතු වේ. ඇතැම් අවස්ථාවල ආර්ථිකය ශක්තිමත් වන විට ධර්මය පුද්ගලයා තුළ දක්නට නොලැබෙන අවස්ථා ද තිබේ. ධර්මය සහ නීතිරීති බිඳ දමා ආර්ථික මාර්ග ඔස්සේ ගමන් කරන්නෝ ද සිටිති. කෙසේ වුව ද, මෙම අංශ දෙක ම සෑම පුද්ගල චරිතයක ම පැවතිය යුතු ය.
එක් කලෙක බුදුරජාණන් වහන්සේ මගධ රට දක්ෂිණගිරියෙහි ඒකනළ නම් බමුණු ගමෙහි වැඩ වාසය කළ සේක. එකල කසී භාරද්වාජ බමුණාගේ වප් මගුල වෙත බුදුරජාණන් වහන්සේ වැඩම කළ සේක. නඟුල් පන්සියයක් යොදා ගනිමින් ගොවිතැන් කරන ස්ථානය තුළ බමුණා ආහාර බෙදමින් සිටියේ ය. බුදුරජාණන් වහන්සේ ද එම ස්ථානයටම වැඩම කළ සේක.
බුදුරජාණන් වහන්සේ පාත්‍රය ද සහිතව වැඩ සිටිනු දුටු කසී භාරද්වාජ බමුණාට කේන්ති ගියේ ය. එම කේන්ති සහගත සිතිවිලි අතරින් බමුණා බුදුරජාණන් වහන්සේ ඇමතී ය. “ශ්‍රමණය, ඔබත් සී සාන්න, වපුරන්න එසේ කොට ආහාර අනුභව කරන්න” යනුවෙනි.
“බමුණ මම සී සෑමත් කරමි. වැපිරීමත් කරමි. සී සෑමත්, වැපිරීමත් කොට අනුභව කරමි. බුදුරජාණන් වහන්සේ වදාළහ.
සී සෑමට අවශ්‍ය උපකරණ කිසිවක් පෙනෙන්නට නැත. විය ගහ, නගුල, කෙවිට දක්නට නැත. නමුත් සී සා ආහාර අනුභව කරන බව ප්‍රකාශ කරයි. එය කුමන ආකාරයේ සී සෑමක් ද? බමුණා සිතී ය. එවිට බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් වදාළ සේක.
ශ්‍රද්ධාව බීජයකි. තපස වැස්සයි. ප්‍රඥාව නගුල සහ වියගහයි. ලජ්ජාව, නගුලිසයි. මනස සොතයි, සිහිය හී වැල හා කෙවිටයි. කයින්, වචනයෙන්, සුරක්ෂිතව ,ආහාරයෙහි සංවරව සත්‍යයෙන් නෙළීම කරමි. රහත් බව මාගේ මිදීම යි. එවිට, බමුණා කරුණු කාරණා තේරුම්ගෙන බුදුරජාණන් වහන්සේට දානය වළඳන ලෙස ඉල්ලා සිටියේ ය.
බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. ගාථා කියා ලත් ආහාර මවිසින් නො ගත යුතු ය. මහා පාරිශුද්ධිය දකින අයගේ පිළිවෙළ එය නොවේ. බුදුවරු ගාථාහි ගීතය බැහැර කරති.
බුදුරජාණන් වහන්සේ එසේ වදාළ විට බමුණාට සත්‍ය අවබෝධ විය. තමන් එල්බ සිටියේ සාවද්‍ය මතයක බවත්, බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් තමන්ගේ මනසට යමක් ඇතුලු වූ බවත්, වචන කිහිපයක් පමණක් කතා කළ ද, එය වැටහී යාම නිසා මහත් අස්වැසිල්ලක් උදාවූ බවත් ඔහුට අවබෝධ විය.
බමුණා විසින් කරනු ලැබුවේ කුඹුර වැපිරීම ය. එය ධන ධාන්‍ය ලැබීමට මඟකි. පුද්ගලයකුට භෞතික දියුණුව අත්‍යවශ්‍යය යි . දියුණුවක් නොමැතිවීම පුද්ගල පිරිහීමේ ආරම්භය යි. එනිසා ම පුද්ගලයා අලසකම ඉවත ලා වීර්යයෙත්.ධනය හම්බ කළ යුතු ය. පුද්ගලයකු කෙතරම් ධනය ඉපයුව ද එහි වැඩි වීමක් නැත. නමුත් පුද්ගල ජීවිතයට ආර්ථික දියුණුව පමණක් ළගා කර ගැනීම ප්‍රමාණවත් ද? බුදුරජාණන් වහන්සේ විසින් බමුණාට දේශනා කරනු ලැබුවේ ආර්ථික දියුණුව ලැබූ පුද්ගලයකු විසින් අධ්‍යාත්මික දියුණුව ද ඇතිකර ගත යුතු බව ය. බුදු දහම එම මඟ පෙන්වීම නිතර කරයි. මෙලොව ජීවිතය නිවැරැදි ව ගත නොකළ පුද්ගලයෙකුට පරලොව ජීවිතය ගත කිරීමේ හැකියාවක් නැත. නිර්වාණගාමී මාවතට පිවිසි බෞද්ධයා විසින් මෙලොව ජීවිතය සාර්ථක කරගත යුතු ය. එබැවින් පුද්ගලයා නිතර ම තම ආත්ම දමනය පිළිබඳව කල්පනා කළ යුතු ය. එය තමා විසින් ම අවබෝධයෙන් කළ යුතු ය. වෙනත් පුද්ගලයකු යමක් පෙන්වා දෙනතුරු නොසිට තම වරද දැකීමේ හැකියාව තමාට තිබිය යුතු ය. අවංක ගති සිරිත් තිබෙනවා නම්, පමණක් එසේ කළ හැකි වුව ද, සාමාන්‍ය ක්‍රමය තමාගේ වරද, නොපෙනීම ය. අන්‍යයාගේ වරද බහුල ලෙස දර්ශනය වනු ඇත. එබඳු තත්වයනට පත් නොවී තම වරද, අඩුපාඩු වටහා ගත හැකි අයකු බවට පත්විය හැක්කේ ආත්ම දමනයේ ක්‍රමවේදය ට අනුව ය. එය පුද්ගලයාගේ අභිවෘද්ධියට හේතු වන්නා සේ ම, සමාජයේ හිත සුව පිණිස ද බලපායි.
පුද්ගලයා තම ජීවිතය සකස් කර ගන්නේ තම නැණ නුවණ අනුව ය. තමනට සිතෙන සියලු දෙය ම නිවැරැදිව එක ලෙස නොසිතිය යුතු ය. තමන්ට වඩා දැනුමෙන් හා අවබෝධයෙන් පිරි කෙනෙකුට වඩාත් වැඩි නිවැරැදි ක්‍රමවේදයක් කල්පනා විය හැකි ය. බමුණාගේ සිතිවිලිවලට වඩා වැඩි යමක් බුදුහිමියන්ගේ දේශනාව අනුව ඔහුට ම කල්පනා විය.
හේමමාලා රන්දුනු
පහාරාද සූත්‍රය
බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...
-
බදුල්ල, බණ්ඩාරවෙල පාර ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දීරයේ දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළම...
-
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පරම...
-
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ සහ අනුශාසක කිරිබත්ගොඩ ඤාණානන්ද...