ජීවිතය කෙසේ සමබර විය යුතු ද?
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
බුදුරජාණන් වහන්සේ විසින් බමුණාට දේශනා කරනු ලැබුවේ ආර්ථික දියුණුව ලැබූ පුද්ගලයකු විසින් අධ්‍යාත්මික දියුණුව ද ඇතිකර ගත යුතු බව ය. බුදු දහම එම මඟ පෙන්වීම නිතර කරයි. මෙලොව ජීවිතය නිවැරැදි ව ගත නොකළ පුද්ගලයෙකුට පරලොව ජීවිතය ගත කිරීමේ හැකියාවක් නැත. නිර්වාණගාමී මාවතට පිවිසි බෞද්ධයා විසින් මෙලොව ජීවිතය සාර්ථක කරගත යුතු ය. එබැවින් පුද්ගලයා නිතර ම තම ආත්ම දමනය පිළිබඳව කල්පනා කළ යුතු ය. එය තමා විසින් ම අවබෝධයෙන් කළ යුතු ය. වෙනත් පුද්ගලයකු යමක් පෙන්වා දෙනතුරු නොසිට තම වරද දැකීමේ හැකියාව තමාට තිබිය යුතු ය.
සමබර ජීවිතයක් ගතකිරීමට නම්, මනා සිහිකල්පනාව, ඉවසීම හා අරපරෙස්සම යන ගුණාංගයන් තිර වශයෙන් ම පැවතිය යුතු ය. එසේ නොවූ විට ජීවිතය සමබර ව පවත්වාගෙන යාමට හැකියාවක් නැත. ආර්ථිකය ද ධර්මය ද සමානව තිබිය යුතු ය. පුද්ගල චරිතය සැමවිට ම ධර්මයෙන් පෝෂණය විය යුතු ය. බොහෝ දුරට පෙර කළ පින හා පව ද මෙයට හේතු වේ. ඇතැම් අවස්ථාවල ආර්ථිකය ශක්තිමත් වන විට ධර්මය පුද්ගලයා තුළ දක්නට නොලැබෙන අවස්ථා ද තිබේ. ධර්මය සහ නීතිරීති බිඳ දමා ආර්ථික මාර්ග ඔස්සේ ගමන් කරන්නෝ ද සිටිති. කෙසේ වුව ද, මෙම අංශ දෙක ම සෑම පුද්ගල චරිතයක ම පැවතිය යුතු ය.
එක් කලෙක බුදුරජාණන් වහන්සේ මගධ රට දක්ෂිණගිරියෙහි ඒකනළ නම් බමුණු ගමෙහි වැඩ වාසය කළ සේක. එකල කසී භාරද්වාජ බමුණාගේ වප් මගුල වෙත බුදුරජාණන් වහන්සේ වැඩම කළ සේක. නඟුල් පන්සියයක් යොදා ගනිමින් ගොවිතැන් කරන ස්ථානය තුළ බමුණා ආහාර බෙදමින් සිටියේ ය. බුදුරජාණන් වහන්සේ ද එම ස්ථානයටම වැඩම කළ සේක.
බුදුරජාණන් වහන්සේ පාත්‍රය ද සහිතව වැඩ සිටිනු දුටු කසී භාරද්වාජ බමුණාට කේන්ති ගියේ ය. එම කේන්ති සහගත සිතිවිලි අතරින් බමුණා බුදුරජාණන් වහන්සේ ඇමතී ය. “ශ්‍රමණය, ඔබත් සී සාන්න, වපුරන්න එසේ කොට ආහාර අනුභව කරන්න” යනුවෙනි.
“බමුණ මම සී සෑමත් කරමි. වැපිරීමත් කරමි. සී සෑමත්, වැපිරීමත් කොට අනුභව කරමි. බුදුරජාණන් වහන්සේ වදාළහ.
සී සෑමට අවශ්‍ය උපකරණ කිසිවක් පෙනෙන්නට නැත. විය ගහ, නගුල, කෙවිට දක්නට නැත. නමුත් සී සා ආහාර අනුභව කරන බව ප්‍රකාශ කරයි. එය කුමන ආකාරයේ සී සෑමක් ද? බමුණා සිතී ය. එවිට බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් වදාළ සේක.
ශ්‍රද්ධාව බීජයකි. තපස වැස්සයි. ප්‍රඥාව නගුල සහ වියගහයි. ලජ්ජාව, නගුලිසයි. මනස සොතයි, සිහිය හී වැල හා කෙවිටයි. කයින්, වචනයෙන්, සුරක්ෂිතව ,ආහාරයෙහි සංවරව සත්‍යයෙන් නෙළීම කරමි. රහත් බව මාගේ මිදීම යි. එවිට, බමුණා කරුණු කාරණා තේරුම්ගෙන බුදුරජාණන් වහන්සේට දානය වළඳන ලෙස ඉල්ලා සිටියේ ය.
බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. ගාථා කියා ලත් ආහාර මවිසින් නො ගත යුතු ය. මහා පාරිශුද්ධිය දකින අයගේ පිළිවෙළ එය නොවේ. බුදුවරු ගාථාහි ගීතය බැහැර කරති.
බුදුරජාණන් වහන්සේ එසේ වදාළ විට බමුණාට සත්‍ය අවබෝධ විය. තමන් එල්බ සිටියේ සාවද්‍ය මතයක බවත්, බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් තමන්ගේ මනසට යමක් ඇතුලු වූ බවත්, වචන කිහිපයක් පමණක් කතා කළ ද, එය වැටහී යාම නිසා මහත් අස්වැසිල්ලක් උදාවූ බවත් ඔහුට අවබෝධ විය.
බමුණා විසින් කරනු ලැබුවේ කුඹුර වැපිරීම ය. එය ධන ධාන්‍ය ලැබීමට මඟකි. පුද්ගලයකුට භෞතික දියුණුව අත්‍යවශ්‍යය යි . දියුණුවක් නොමැතිවීම පුද්ගල පිරිහීමේ ආරම්භය යි. එනිසා ම පුද්ගලයා අලසකම ඉවත ලා වීර්යයෙත්.ධනය හම්බ කළ යුතු ය. පුද්ගලයකු කෙතරම් ධනය ඉපයුව ද එහි වැඩි වීමක් නැත. නමුත් පුද්ගල ජීවිතයට ආර්ථික දියුණුව පමණක් ළගා කර ගැනීම ප්‍රමාණවත් ද? බුදුරජාණන් වහන්සේ විසින් බමුණාට දේශනා කරනු ලැබුවේ ආර්ථික දියුණුව ලැබූ පුද්ගලයකු විසින් අධ්‍යාත්මික දියුණුව ද ඇතිකර ගත යුතු බව ය. බුදු දහම එම මඟ පෙන්වීම නිතර කරයි. මෙලොව ජීවිතය නිවැරැදි ව ගත නොකළ පුද්ගලයෙකුට පරලොව ජීවිතය ගත කිරීමේ හැකියාවක් නැත. නිර්වාණගාමී මාවතට පිවිසි බෞද්ධයා විසින් මෙලොව ජීවිතය සාර්ථක කරගත යුතු ය. එබැවින් පුද්ගලයා නිතර ම තම ආත්ම දමනය පිළිබඳව කල්පනා කළ යුතු ය. එය තමා විසින් ම අවබෝධයෙන් කළ යුතු ය. වෙනත් පුද්ගලයකු යමක් පෙන්වා දෙනතුරු නොසිට තම වරද දැකීමේ හැකියාව තමාට තිබිය යුතු ය. අවංක ගති සිරිත් තිබෙනවා නම්, පමණක් එසේ කළ හැකි වුව ද, සාමාන්‍ය ක්‍රමය තමාගේ වරද, නොපෙනීම ය. අන්‍යයාගේ වරද බහුල ලෙස දර්ශනය වනු ඇත. එබඳු තත්වයනට පත් නොවී තම වරද, අඩුපාඩු වටහා ගත හැකි අයකු බවට පත්විය හැක්කේ ආත්ම දමනයේ ක්‍රමවේදය ට අනුව ය. එය පුද්ගලයාගේ අභිවෘද්ධියට හේතු වන්නා සේ ම, සමාජයේ හිත සුව පිණිස ද බලපායි.
පුද්ගලයා තම ජීවිතය සකස් කර ගන්නේ තම නැණ නුවණ අනුව ය. තමනට සිතෙන සියලු දෙය ම නිවැරැදිව එක ලෙස නොසිතිය යුතු ය. තමන්ට වඩා දැනුමෙන් හා අවබෝධයෙන් පිරි කෙනෙකුට වඩාත් වැඩි නිවැරැදි ක්‍රමවේදයක් කල්පනා විය හැකි ය. බමුණාගේ සිතිවිලිවලට වඩා වැඩි යමක් බුදුහිමියන්ගේ දේශනාව අනුව ඔහුට ම කල්පනා විය.
හේමමාලා රන්දුනු
No comments:
Post a Comment