Thursday, December 28, 2023

ධර්ම රත්නය











ස්වාක්ඛාත ගුණය

භාග්‍යවතුන් වහන්සේ, පන්සාළිස් වසක් මුළුල්ලේ දෙව් මිනිසුන්ට දේශනා කර වදාළ ධර්මයෙහි, කිසිදු අඩුපාඩුවක් නැත. නිවන් ලැබීමට සුදුසු මග එයින් ප්‍රත්‍යක්‍ෂ කර දී වදාළහ. එහි, මුල, මැද, අග අර්ථවත්ව සැකසී තිබිණ. මේ ධර්මයේ ඇති ස්වාක්ඛාත ගුණයයි.
 

සන්දිට්ඨික ගුණය

තමා තුළ උපදවා ගත් නුවණින්, ප්‍රඥාවන්තව තමා විසින්ම හොඳ දෘෂ්ටියකින් දැකිය හැකි ය. සාවද්‍ය දෘෂ්ටියකින් බලන තැනැත්තාට ධර්මයේ ඇති යථාර්ථය වටහා ගත නොහැකි ය. ධර්මය දකින්නා මා, දකින්නේ යැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කර වදාළහ. ඉන් ධර්මයේ ඇති වටිනාකම, අර්ථවත් බව මැනවින් අවබෝධ කර ගත හැකි ය.

අකාලික ගුණය

ධර්මය පිළිපැදීමෙන් සැමදා ලැබෙන හොඳ විපාක බොහෝ ය. ධර්මයේ යෙදෙමින් ධර්මචාරී ජීවිත ගත කරන පුද්ගලයාට එහි ප්‍රතිඵල මෙලොවදීම ලැබෙයි. ඔහුට, තමාගේ මනසේ පවත්නා මානසික සුවය නිරතුරුවම සැප ලබා දෙයි. දැහැමිව ජීවත්වන්නාට සමාජයෙන් ලැබෙන ගෞරව ප්‍රශංසාද බොහෝ ය. මේ අකාලික ගුණයේ ඇති ස්වභාවයයි.

ඒහිපස්සික ගුණය

ඕනෑම කෙනකුට, ධර්මය දෙස බලා තම නැණ පමණින් පරීක්‍ෂණ පැවැත්වීම, හා එහි ප්‍රතිඵල නිරීක්‍ෂණය මගින් සිත පහදවා ගත හැකි ය. තම තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගනිමින්, දෛනික කටයුතු ඉටු කළ හැකි ය. මේ අන්දමට එන්න ධර්මය දෙස බලන්න යැයි කෙනෙකුට පෙන්විය හැකි ය.

ඕපනයිකෝ ගුණය

සිතට ධර්මය අරමුණු කර ගත යුතු ය. එසේ, ධර්මය සිතට අරමුණු කර ගනිමින් සිත වැඩීම ආරම්භ කළ යුතු ය. ප්‍රගුණ කළ යුතු ය. එසේ ප්‍රගුණ කළ ධර්මය, මාර්ග ඵල ලබා ගැනීම සඳහා සෘජුවම හේතු කාරක වෙයි.

පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහි

ධර්මයේ ඒකායන අරමුණ නිවන් දැකීමයි. ඒ සඳහා එක් එක් පුද්ගලයා තම තමා විසින්ම, පෞද්ගලිකව ධර්මය අවබෝධ කර ගත යුතු ය. එසේ නොමැතිව අන්‍යයන්ගේ පිළිසරණ මත නිවන් අවබෝධ කර ගත නොහැකි ය. තමාට පිහිට තමාම ය.


ව්‍යග්ඝපජ්ජ සූත්‍රය


දීඝජාණුකෝලිය කුල පුත්‍රයාට ව්‍යග්ඝපජ්ජ සූත්‍රය දේශනා කර ඇත. මෙම සූත්‍ර දේශනාවෙන් මෙලොව දියුණුවට හේතුවන කරුණු සතරක් හා පරලොව දියුණුවට හේතුවන කරුණු සතරක් වශයෙන් දරුණු අටක් දේශනා කොට ඇත.

මොලොව දියුණුවට හේතුවන කරුණු සතර

01. වීර්ය හෙවත් උත්සාහ සම්පත්තිය
02. උපයාගත් වස්තුව ආරක්ෂාකර ගැනීම නම් වූ ආරක්ෂා සම්පත්තිය
03. යහපත් මිතුරු ඇසුර නම් වූ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය
04. අය හා වැය දෙක සමව පවත්වා ගැනීම නම් වූ සමජීවිකතාව

පරලොව දියුණුවට හේතු වන කරුණු සතර

01. තෙරුවන් කෙරෙහි පවත්නා විශ්වාසය නම් වූ ශ්‍රද්ධා සම්පත්තිය
02. කය වචන දෙකෙහි සංවරය නම් වූ සීල සම්පත්තිය
03. පරිත්‍යාගය හෙවත් දීම නම් වූ ත්‍යාග සම්පත්තිය
04. විදසුන් නුවණ නම් වූ ප්‍රඥා සම්පත්තිය

ශෝකය උපදින්නේ කා තුළ ද?

 


ශෝකය උපදින්නේ කා තුළ ද?

භාග්‍යවත් සම්මා සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේ සැවැත් නුවර මිගාර මාතා ප්‍රාසාදයෙහි හෙවත් පූර්වාරාමයේ ශාන්තව වැඩ සිටිති. හමන මඳ නළ මගින් ගත සිත දෙකටම ලැබෙන්නේ ද ඉමහත් ශාන්තියකි. ඒ මිගාර මාතාව බුදුරදුන් බැහැ දකින්නට පැමිණෙන වේලාවයි. දිනපතාම දහවල් කාලයේ නොවරදවාම ඇය බුදුරදුන් බැහැ දකින්නට පැමිණෙන්නීය.

එදා මිගාර මාතාවගේ හෙවත් විශාඛාවගේ මිණිබිරියක් කලුරිය කළ දවසයි. ඒ මිණිබිරිය විශාඛාවට ඉතාමත් පි‍්‍රය මනාප වූ සමීප වූ දැරියකි. ඇයගේ අභාවයෙන් විශාඛාව ඉමහත් ශෝකයට පත් වූවත්, කෙසේ හෝ නියමිත වේලාවට බුදුරදුන් බැහැදැකීමට යෑමට ඇය අමතක නොකළාය. ඒ නිසා පි‍්‍රය මනාප වූ ස්වකීය මිණිබිරියගේ අවසන් කටයුතු කල්වේලා ඇතිව නිම කළ විශාඛාව , වහ වහා ස්නානය කොට, පිරිසුදු වී තෙත් වූ කොණ්ඩය ඇතිව තෙත් වූ වස්ත්‍ර හැඳගෙන, සුපුරුදු පරිදි දහවල් කාලයේ දී භාග්‍යවතුන් වහන්සේ බැහැ දැකීමට පූර්වාරාමයට ගියාය.

එකල, මෙකල මෙන් කෙනකු මිය ගිය පසු මහා සංඝරත්නය වැඩමවා පාංශුකූල දීමක් සිදු වූ බව සඳහන් නොවේ.

විශාඛාවද බුදුරදුන් හමුවට ගියේ, තම මිණිබිරියගේ අවසන් කටයුතු නිම කිරීමෙන් පසුවය. තව ද එවැනි කටයුත්තකින් පසුව ස්නානය කොට තෙත කොණ්ඩය හා තෙත ඇඳුම් පිටින්ම සිටීම එකල මව ගේ හෝ මිත්තණිය ගේ චාරිත්‍රයක්ව පැවතුණා විය හැකිය. නැතහොත් බුදුරදුන් බැහැ දැකීමට නියමිත හෝරාව පැමිණි නිසා ප්‍රමාද නොවී වහා එහි යෑමට අවශ්‍ය නිසා එසේ ගියා විය හැකිය.

මිගාර මාතාව තමන් වහන්සේ වැඩ සිටි අසපුවට පැමිණෙන බව දුටු භාග්‍යවතුන් වහන්සේ, ඇය පැමිණෙන තුරු මහා කරුණාවෙන් යුතුව නිහඬව බලා සිටි සේක.

අසළ වැඩ සිටි ආනන්ද හිමියන්ගෙන් බුදුරදුන් බැහැ දැකීමට අවසරය ලබාගත් විශාඛාව, බුදු හිමියන් වෙත පැමිණ වැඳ නමස්කාර කොට එකත්පස්ව වාඩි වූ වාය.

තෙත් වු කොණ්ඩය ඇතිව, තෙත ඇඳුම් පිටින් සිටි විශාඛාවගෙන් භාග්‍යවතුන් වහන්සේ උපාසිකාවනි, මේ මහ දවාලේ ඔබ කොහි සිට එන ගමන් ද? ඇයි ඔය තෙත කොණ්ඩයක් ඇතිව, තෙත් වූ වස්ත්‍ර හැඳගෙන ඉන්නේ ? “ යනුවෙන් විමසූ සේක.

වටිනා ධර්ම සමාගමයක ආරම්භය එසේ විය.

“ ස්වාමීනි ! භාග්‍යවතුන් වහන්ස, අද හරිම ශෝක ජනක සිදුවීමක් වුණානේ “ විශාඛාවනි! කුමක් ද ඒ ශෝකය ඉපද වූ සිද්ධිය ? “ “ ස්වාමීනි! මගේ මිණිබිරියක් සිටියා. එයා මට හරි පි‍්‍රය මනාපයි. මාත් එයාට හරි පි‍්‍රය මනාපයි. හරිම සුරතල් දැරියක් , බලාපොරොත්තු නැති විදියට අද ඒ මිණිබිරිය කලුරිය කළා. හරිම කනගාටුයි. එයාගෙ අවසන් කටයුතු නිම කරලයි, මේ එන්නෙ . ඒ නිසයි මේ දහවල් කාලෙ තෙත් වූ කොණ්ඩය ඇතිව, තෙත් වූ වස්ත්‍ර පිටින්ම ඔබ වහන්සේ බැහැ දකින්නට ආවෙ “.

තොල්ගට මඳ සිනහවක් නගා ගත් අමා මෑණි බුදු පියාණන් වහන්සේ, විශාඛාවගේ බුද්ධිය අවදි කිරීමට එය ඉතා උචිත අවස්ථාවක් බව දැන, මෙසේ වදාළ සේක.

“ උපාසිකාවනි, ඔබ මුණුබුරු මිණිබිරියන්ට බොහොම පි‍්‍රය මනාපයි වගේ නේ ද? “ “ එහෙමයි ස්වාමීනි, මං බොහොම කැමැතියි”

විශාඛාවනි! මේ සැවැත් නුවර බොහෝ මිනිසුන් ඉන්නවනෙ. ඔබ කැමැති ද ඒ තරමටම ඔබට ඔය වගේ දූ දරුවො, මුණුබුරු මිණිබිරියො ඉන්නව නම් ? “ “අනේ කොච්චර එකක්ද ස්වාමීනි ? මේ සැවැත් නුවර ඉන්න මිනිසුන් ගණනට දූ දරුවො, මුණුබුරු - මිණිබිරියො ඉන්නව නම් මං කොච්චර වාසනාවන්තද? මං හරිම කැමැතියි ස්වාමීනි” . “ හොඳයි විශාඛාවනි, මේකත් කියන්න .

මේ සැවැත් නුවර එක දවසකට මිනිස්සු කීයක් විතර මිය යනවද?”

“ අනේ ස්වාමීනි, කවුරු හරි නොමැරෙන දවසක් නම් ඇත්තේම නැහැ. අටක් දහයක් මැරෙන දවසුත් තියෙනවා. හතරක් පහක් මැරෙන දවසුත් තියෙනවා. අඩු ගානෙ එක් කෙනෙක්වත් දවසකට මැරෙනවමයි, ස්වාමීනි ,”

“ එහෙම නම් විශාඛාවනි, ඔබ කීවනෙ මේ සැවැත් නුවර ඉන්න මිනිසුන් ගණනට ඔබට දූ - දරුවො, මුණුබුරු - මිණිබිරියො ඉන්නවා නම් ගොඩක් පි‍්‍රයයි, කැමැතියි කියලානේද? “

“ එහෙමයි ස්වාමීනි”

“ ඉතින් විශාඛාවනි, දවසකට අඩුම ගානෙ එක්කෙනෙක් වත් මැරෙනව කියලත් කීවනෙ ? එහෙම නම් ඔබට කවදාවත් පුළුවන් වෙයි ද තෙත නැති කොණ්ඩයක් නැතිව, තෙත නැති වස්ත්‍ර හැඳගෙන ඉන්න ? හැමදාම ඉන්ඩ වෙන්නෙ දැන් ඔය ඉන්න විදිහටම නේද? කොහොමද ඔබ මේ ගැන සිතන්නෙ ?”

බුද්ධිය අවදි වූ විශාඛාවෝ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණහ.

“ ඇත්ත තමයි ස්වාමීනි, ඇත්ත තමයි . අපොයි එච්චර ගොඩක් මට දරු මුණුබුරු මිණිබිරියො හිටය නම් මට සැමදාම මෙහෙම තමයි ඉන්ඩ වෙන්නෙ, මට වැටහුනා ස්වාමීනි, එච්චර ගොඩක් දරු මුණුබුරු මිණිබිරියන්ගෙන් මට වැඩක් නෑ මයි”

“ පින්වත් විශාඛාවනි, හොඳින් සවන් දෙන්න. හොඳින් වටහා ගන්න. යම් කෙනකුට පි‍්‍රය මනාප දේ සියයක් තිබුණොත් එයාට දුක් සන්තාප සියයක් උපදිනවා. පි‍්‍රය දේ අනූවක් තිබුණොත් එයාට දුක් සන්තාප අනූවක් උපදිනව. පි‍්‍රය දේ අසූවකින් දුක් අසූවකින් දුක් අසූවක් , හැත්තෑවකින් දුක් හැත්තෑවක් , හැටකින් හැටක් ඔය විදිහට පි‍්‍රය මනාප දේ දහයකින් දුක් සන්තාප දහයක් උපදිනව. පි‍්‍රය දේ නවයක් තිබුණොත් දුක් නවයක්. අටක් තිබුණොත් අටක් . ඔය විදිහට පි‍්‍රය මනාප දේ එකක්වත් තිබුණොත් ඒ අයට දුක් සන්තාප එකක්වත් ඇතිවෙනවාමයි”

“ උපාසිකාවනි, අවබෝධ කරගන්න. මේ සසර දුක් ඇතිවන හැටි ඔහොමයි. යමක් පි‍්‍රය මනාප ලෙසින් අල්ල ගන්නව නම් එතැන තමා දුකේ උපත . ඉතින් යම් කෙනෙක් ඉන්නව නම් පි‍්‍රය මනාප දේ එකක්වත් නැතිව අන්න එයාට දුක් එකක්වත් නැහැ. එයාට ශෝක සන්තාප උපදින්නේ නැහැ. කෙළෙස් දූවිලි නැති එයා තමයි කරදර වලින් තොරව, දුක් ශෝක සන්තාප නැතිව, සැනසීමෙන් ඉන්නෙ. දුක ඇතිවන්නෙ පි‍්‍රය මනාප නිසා මයි. ඒ මොකද ඔය පි‍්‍රය මනාප දේ වලින් කොයි මොහොතෙ හරි අපට වෙන් වන්නට සිදුවන නිසා.’

“ ඒ නිසා යම් කෙනකුට දුක් - ශෝක - සන්තාප නැතිව, සතුටින් සැප සේ වාසය කරන්න අවශ්‍ය නම්, එයා දුක් උපදවන දේ වලට පි‍්‍රය නොකර - ඒවාට නොඇලී ඉන්න ඕනෑ. නොයෙකුත් දේ කොච්චර තිබුණත් කමක් නැහැ. දුක් සන්තාප පවතින්නේ ඒවායේ නොවෙයි. ඒවා පි‍්‍රය මනාප වශයෙන් භාරගත්තමයි දුක උපදින්නෙ, තමන්ගෙම දූ - දරු , මුණුබුරු - මිණිබිරියො කෙරෙහි වුණත් පවතින්න ඕනෑ , එහෙමයි. “ “ ආශ්චර්යයි, භාග්‍යවතුන් වහන්ස! ආශ්චර්යයි! යටිකුරු කළ බඳුනක් උඩුකුරු කළ සේ මට කාරණ වැටහුණා ස්වාමීනි! “

දැල් වූ පහනකින් එතෙක් පැවැති අඳුර පහ වී ගියා සේ, බුදුරදුන්ගේ ධර්ම සංග්‍රහයෙන් විශාඛාව තුළ එතෙක් පැවැති අනවබෝධයෝ අඳුර පහවී ගියේය . බුදුරදුන්ට වැඳ නමස්කාර කළ විශාඛාවෝ , පහන් වූ සිතින් යුතු ව අවදි වූ මනසින් යුතු ව පිරුණු අවබෝධයෙන් යුතු ව පූර්වාරාමයෙන් නික්ම ගියාය.


කංඛා රේවත මහ රහතන් වහන්සේ

අසු මහා ශ්රාවක වහන්සේලා - 15
(පහලොස්වන ලිපිය )

කංඛා රේවත මහ රහතන් වහන්සේ

අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ශ්රාවකයන් අතර ධ්යානයන්ට සම වදින භික්ෂූන් අතුරින් කංඛා රේවත රහතන් වහන්සේ අග්ර යයි වදාරා උන්වහන්සේට අග තනතුර දී වදාළා. බුදුරදුන් සම වදින සමාපත්තීන්ගෙන් කිහිපයක් හැර සෙසු සියලු සමාපත්තීන්ට සම වැදීමට උන්වහන්සේ සමත් වුණා.අප බුදුරදුන් ලෝ පහළ වූ විට සැවැත්නුවර මහත් සම්පත් ඇති කුලයක උපත ලැබීමෙන් අනතුරුව රේවත යනුවෙන් නම් කළා. සුදුසු නුසුදුසු කැප අකැප සෑම දෙයක් කෙරෙහිම සැක උපදවන හෙයින් පාලි භාෂාවෙන් සැක සහිත යන අර්ථය ඇති කංඛා යන වචනය සහිතව ව්යවහාර කිරීම නිසා ලැබුණු නම තමයි රේවත යන්න.

උපතින් ටික කලකට පසු ධර්ම ශ්රවණය සඳහා යන සැවැත්නුවර මහ පිරිස සමග ආරාමයට ගොස් එක් දිනක් පිරිස් කෙළවර සිට බණ ඇසුවා. පැහැදීමට පත් ඔහු ලබා ගත් පැවිද්දෙන් අනතුරුව උපසම්පදාවට පත්ව සිත දියුණු කොට ධ්යාන උපදවා නොකඩවා භාවනා කිරීමෙන් රහත් භාවයට ද පත් වූවා. යම් කෙනකුට ධ්යාන ලැබීමට හෝ රහත් භාවයට පත්වීමට කෙලෙස් නැති කරන්න ඕන. එහෙත් ධ්යාන ඉපදවීමෙන් නැති කරන කෙලෙස් කවර මොහොතක හෝ මතු වී අවුත් ලබා ගත් ධ්යානයන්ගෙන් පිරිහෙන්නට පුළුවනි. එහෙත් භාවනාවෙන් සිත දියණු කොට ගෙන රහත් භාවයට පත් වීමෙන් කෙලෙස් නැති කර ගත් කල්හි ඒ කෙලෙස් නැවත කිසි දිනක ඇති නොවන අන්දමට (සමුච්ඡේද) සම්පූර්ණයෙන් විනාශ වෙනවා. නිවනට පත් වූවා කියන්නේ මේ තත්වයයි.

කංඛා රේවත හිමියන් ධ්යානයට සම වදින භික්ෂූන් අතර අග්ර වුණා. ධ්යාන යන්නට දිය හැකි කෙටි එක් අර්ථයක් නම් “එක්කොට ගැනීම” යන්නයි. එක්කොට ගත්තේ මොනවාද? විතක්ක. විචාර පීති සුඛ එකග්ගතා යන මේවායි. මෙයින් ධ්යාන සිතෙහි යෙදුණූ විතක්ක තමන් හා පෙනී සිටි චිත්ත චෛතසික ධර්ම අරමුණට පත්වෙනවා. විචාරය මගින් තමයි ඔවුන් අරමුණෙහි හසුරුවන්නේ. පීරතිය මගින් ඔවුන් අරමුණෙහි ලා පිනවනවා. සුඛය මගින් ඔවුන් ඔද වඩවනවා. ඒකග්ගතාව මගින් එහි මෙහි යා නොදී ඔවුන් නවතා ගෙන රැක ගන්නවා. මේ අන්දමට එකසේ අරමුණෙහි ක්රියා කරනවා. ඒ නිසා මේ පහ එක් කොට ගැනීම ධ්යාන නමින් දැන්වෙනවා.

රථය යැයි කියන්නේ නිම් වළලු, රෝද, බොස්ගෙඩි, දැති ආදිය එක් වූ එකයි. මෙහි දැක්වූ බොස් ගෙඩිය රථය නොවෙයි. නිම් වළලු රථය නොවෙයි. රෝද රථය නොවෙයි. දැති රථය නොවෙයි. මේ සියල්ල එක් වූ කල්හි රථය යැයි අප කියනවා. එමෙන් කලින් දැක්වූ විතක්කය පමණක් ගත් කල්හි එය ධ්යාන නොවේ. විචාරාදී ඉතිරි සතර ද වෙන වෙනම ගත් විට ධ්යාන නොවේ. ඒවා ඒ ඒ නම් වලින්ම හැඳීන්වෙනවා. මේ පස් දෙන සමබරව එකකට එකක් අඩු වැඩි නැතිව එක විටම නැගි සිටීම ධ්යාන වශයෙන් දැක්වෙනවා. ප්රතිවිරුද්ධ ධර්මයක් දවාලන අර්ථයෙන් ද ධ්යාන නම යොදනවා. දවාලන ධර්ම මොනවාද? ඒවා නම් කාමච්ඡන්ද ,ව්යාපාද, ථීනමිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, හා විචිකිච්ඡා යන පහයි.

චිත්ත වෛතසිකයන් පිළිබඳව අලසකම (ථීනමිද්ධය) කලින් දැක්වූ විතක්කය මගින් දවනවා. බුදුන්, දහම් ආදී අටතැන්හි සැකය (විචිකිච්ඡාව) විචාරය විසින් දවනවා. සිතේ සැඩ බව (ව්යාපාදය) පීරතිය මගින් දවනවා. සිතේ නොසන්සුන් බව හා කුකුස (උද්දච්ච කුක්කුච්චය) සුඛය මගින් දවනවා. කාමයන්හි ඇති කැමැත්ත (කාමච්ඡන්දය) ඒකාග්රතාව මගින් දවනවා. මේ අන්දමට විතක්ක ආදී පස් දෙන එකට සිටිමින් කාමච්ඡන්ද ආදී ධර්මයන් දවාලන නිසා ධ්යාන යන නම ලබනවා.

මේ ධ්යාන ප්රධාන වශයෙන් ආලම්බනොපනිධ්යාන ලක්ෂණොපනිධ්යාන යනුවෙන් කොටස් දෙකක් තිබෙනවා. පඨවි කසින ආදි යම් අරමුණක් සිතට ගෙන පුරුදු කොට වැඩි දියුණු කිරීමෙන් අෂ්ට සමාපත්ති ලබා ගැනීම ආලම්බනෝපනිධ්යාන නමින් හැදින්වෙනවා. අනිත්ය , දුක්ඛ,අනාත්ම යන ත්රිලක්ෂණ මෙනෙහි කිරීමෙන් උපදවා ගන්නා විදර්ශනා මාර්ග ඵල අයත් වන්නේ ලක්ෂනොපනිධ්යාන වලට යි. මෙහි සඳහන් අෂ්ට සමාපත්ති රූපාවචර හා අරූපාවචර වශයෙන් කොටස් දෙකක් තිබෙනවා. සිත දියුණු කිරීමේ භාවනාවේ යෙදීමෙන් උපදවා ගන්නා පඨම, ද්විතීය, තෘතීය හා චතුර්ථ යන ධ්යාන සතර රූපාවචර ගණයට අයත් වෙනවා. අරූපාවචර වශයෙන් දැක්වූයේ ආකාසානඤචායතනය විඤ්ඤාතඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන හා නෙවසඤ්ඤානාසඤ්ඤායතන යන සතරයි.

ධ්යාන ලැබීමට බලාපොරොත්තුවන අය පළමුව සතර සංවර සීලයෙහි පිහිටන්න ඕන. අවාස කුල ආදී දස පළිබෝධයන්ගෙන් තුරන්ව ශ්රද්ධාසීලාදි ගුණයෙන් යුත් කල්යාණ මිත්රයෙකුගේ ආශ්රය ලබන්න අවශ්යයි. චරිතයට ගැළපෙන පඨවි, ආපෝ ආදි කමටහන් හතළිහෙන් එකක්ගෙන භාවනාවට සුදුසු ස්ථානයක් තෝරා ගෙන කුඩා පළිබෝධ පවා හැරදා භාවනාවේ යෙදෙන්න ඕන. කංඛා රේවත මහා ශ්රාවකයන් වහන්සේ මෙහි සඳහන් කළ ක්රමයන් අනුව භාවනා කිරීමෙන් නොපමාව ධ්යාන උපදවා ගැනීමෙන් අග්රස්ථානයට පත් වීම ශ්රේෂ්ඨ තත්වයට පත් වීමට හේතු වූවා.

Tuesday, December 26, 2023

ඛදිරවනීය රේවත මහරහතන් වහන්සේ


අසු මහා ශ්රාවක වහන්සේලා - 14
(දහතරවන ලිපිය )

ඛදිරවනීය රේවත මහරහතන් වහන්සේ

මගේ ලොකු පුත් උපතිස්සයන් සියලු යස ඉසුරු අතහැර පැවිදි විය. ඒ පමණක් නොව මගේ දියණියන් තිදෙනා ද පැවිදි වු හ. දැන් මට පිහිට පිණිස සිටිනුයේ රේවත පුතා පමණි.

රේවත මහ රහතන් වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සමයෙහි දී හංසවතී නුවර නාවික පවුලක ඉපදී මහා ගංගාවක මහතොටුපළක නාවික කටයුතු සිදුකළහ.

දිනක් ශ්රාවක සඟරුවන පිරිවරාගත් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ගඟෙන් එතෙර වීම පිණිස එතැනට වැඩම කළහ. අතිශයින් ම පැහැදුණු සිතින් යුක්ත නාවික තෙමේ අනෙකුත් නාවිකයන්ගේ ද සහාය ඇතිව නැව් සමූහයක් එක පෙළට තබා මහත් වූ පූජා සත්කාර කරමින් ශාස්තෘන් වහන්සේ ප්රමුඛ ශ්රාවක සඟරුවන ගංගාවෙන් එතෙර කළහ.

පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කුළුණු සිතින් නැවියාට අනුග්රහ කරනු පිණිස එක්තරා ශ්රාවකයන් වහන්සේ නමක් ආරණ්යවාසී භික්ෂූන් වහන්සේලා අතර අග තනතුරට පත්කළහ. එය දුටු නාවික තෙමේ වඩ වඩාත් පැහැදුණු සිතින් බුදුන් වහන්සේ ප්රධාන මහා සංඝරත්නයට දන් පැන් පූජා කළේ ය. ඔහු එතැන් පටන් සසර දුකින් මිදීම පිණිස කුසල් දහම් රැස් කරමින් දෙව් මිනිස් ලොව උපත ලබා, අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේ මගධ රට නාලක නම් ගමේ රූපසාරි බැමිණියගේ කුස පිළිසිඳ ගත්තේ ය. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ළා බාලතම සොහොයුරා ලෙස ඉපදී රේවත කුමරු නමන් ප්රසිද්ධ විය .

සාරිපුත්ත මහ රහතන් වහන්සේට චුන්ද, උපසේන, රේවත නමින් සහෝදරයින් තිදෙනෙකුත් සිටියහ. එයින් චුන්ද උපසේන දෙදෙනාත් පැවිදි බව ලබා සම්බුදු සසුනෙහි නිකෙලෙස් රහතන් වහන්සේලා බවට පත්වුහ. නිවසේ ඉතිරිව සිටියේ රේවත කුමරු පමණි. එම නිසා සැරියුත් තෙරුන්ගේ මෑණියන් වූ සාරි බැමිණිය මෙසේ කල්පනා කරන්නට වුවා ය. මගේ ලොකු පුත් උපතිස්සයන් සියලු යස ඉසුරු අතහැර පැවිදි විය. ඒ පමණක් නොව මගේ දියණියන් තිදෙනාද පැවිදි වුහ. දැන් මට පිහිට පිණිස සිටිනුයේ රේවත පුතා පමණි. නිසි කලවයස පැමිණි විට රේවත පුතු සඳහා සුදුසු විවාහයක් කරදිය යුතුබව හැඟුණි. නන් දෙසින් සුදුසු කුලකුමරියක් සෙවීමට සාරී බැමිණිය ඉමහත් වෙහෙසක් ගත්තාය. එහෙත් භයානක සසරෙහි ඇති බියකරු බව සැරියුත් මහරහතන්වහන්සේ විසින් ස්වකීය මලණුවන්ට පැහැදිලි කර දී තිබුණි. ක්ෂණ සම්පත්තියේ දුර්ලභ බවත්, කල්යාණ මිත්ර ඇසුරෙහි වටිනාකමත් සහ සම්බුදු සසුනෙහි පැවිදිව නිවන් අවබෝධ කර ගැනීම අතිශය දුර්ලභ බවත්. දැන සිටි මෙම කුමාරයාගේ සිත පිහිටා තිබුණේ උතුම් පැවිදි බව ලබා ගැනීමට ය. රේවත කුමරු ස්ථිරව ම පැවිදි වන බව දත් සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දන්වා සිටියේ, මගේ බාල සොහෝදරයා වන රේවත කුමන හෝ මොහොතක ගිහි ගෙයින් නික්ම මා පැවිදි කරන ලෙස ඉල්ලා සිටිවිට දෙවරක් නො සිතා මගේ මලණුවන්ට උතුම් පැවිද්ද ලබා දෙන ලෙස ය. දින සති මාස ගෙවී ගිය පසු රේවත කුමරුගේ විවාහ මංගල දිනය ළඟා විය. අතිශය භයානක වූ සසරට තව තවත් ලං වීමට අකැමැති වූ කුමරු, මංගල රථයෙන් මනාලිය කැඳවාගෙන එන ගමනේ දී කැලෑබද ප්රදේශයක දී රේවත කුමාරයා උපක්රමශීලි ව රථයෙන් බැස ශරීර කෘත්ය කිරීමට අවශ්යය බව පවසා පිරිසෙන් වෙන් ව කැලය තුළට පිවිසුණේ ය. කැලයට ඇතුළු වූ කුමරු මිරිවැඩි සඟල සහ මංගල ආභරණ ගලවා දමා වනය මැද්දෙන් එක පිම්මට දුවගෙන ගොස් ආරණ්යවාසී භික්ෂුන් වැඩ සිටින සේනාසනයේ නතර විය. කුමරුගේ ඉල්ලීම පරිදි ඒ ස්වාමීන් වහන්සේලා රේවත කුමරු පැවිදි උපසම්පදා කළහ. ගෞතම බුදු සසුනේ උතුම් පැවිදි බව ලැබූ රේවත හිමියන් ධර්ම විනය ඉගෙනගෙන හුදකලාවේ බවුන් වැඩීම පිණිස තිස් යොදුනක් දුරින් පිහිටි පතොක් වනයකට වැඩම කළහ. එතැන් පටන් කටුක වනයක වාසය කරන නිසා ඛදිරවනීය රේවත තෙරුන් යැයි ප්රකට වු හ. එම වනයේ වාසය කළ පළමු වස් කාලය තුළ දී ම සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත් වන්නට තරම් උන්වහන්සේ භාග්ය සම්පන්න වූහ. වස් කාලය අවසන් වී බුද්ධ ප්රමුඛ සංඝරත්නය දෙවි මිනිසුන්ගේ යහපත පිණිස දහම් චාරිකාවේ යෙදෙන කාලය උදා වු කල, සාරිපුත්ත තෙරුන්ගේ ඉල්ලීම පරිදි බුදුරජාණන් වහන්සේ අසූමහා ශ්රාවකයන් වහන්සේලා ප්රමුඛ ශ්රාවකයන් පන්සියයක් සමඟ ඛදිරවනීය රේවත තෙරුන් වැඩ සිටින වනාන්තරය බලා වැඩම කළහ. මනුෂ්ය වාසයෙන් තොර, තිස් යොදුනක් පමණ වූ අමනුෂ්යයන් අරක්ගත් ඒ දුෂ්කර මාවතේ වැඩම කරන විට ප්රත්යලාභීන් අතර අග්ර වූ සීවලි මහරහතන් වහන්සේගේ පුණ්යානුභාවයෙන් ඉතා ප්රණීත ලෙස දානමානාදී සිව්පසය ලැබුණාහ. දෙවිවරුන් විසින් යොදුනක්, යොදුනක් පාසා ආවාස, සක්මන් මළු, දාන ශාලා මවා තිබීම විශේෂත්වයකි. දෙවියන් විසින් ම බුද්ධ ප්රමුඛ ශ්රාවක සඟරුවනට දිව්යමය වූ දන්පැන් පූජා කළහ. බුදුරජාණන් වහන්සේ ප්රධාන මහ සඟරුවන වඩින බව දැනගත් ඛදිරවනීය රේවත තෙරුන් විසින් සෘද්ධි බලයෙන් භාග්යවතුන් වහන්සේට විවේක ගැනීමට කුටියක්, ස්වාමින් වහන්සේලා පන්සිය නමකට කුටි, සෙනසුන්, පස් පියුමින් සුසැදි පොකුණු, මල්වතු, උයන් වතු සහ සිසිල් සෙවණ ඇති සුවිශාල රුක් පඳුරු මවන ලදී. එම වනයේ වැඩසිටි සමයෙහි සීවලී මහරහතන් වහන්සේගේ පින් බලයෙන් සියලු දෙනා වහන්සේටම දන්පැන් ලැබුණි. එම චාරිකාවෙන් පසු පෙරළා පූර්වාරාමයට වැඩි බුදුරජාණන් වහන්සේගෙන් විශාඛා උපාසිකාව භාග්යවතුන් වහන්ස, අප රේවතයන් වහන්සේ වැඩ සිටින තැන කෙබඳුදැයි ඇසී ය. එවිට බුදුරජාණන් වහන්සේ පින්වත් විශාඛාවෙනි, රහතන් වහන්සේ වැඩ සිටින තැන ගමක් වුවත්, වනාන්තරයක් වුවත්, බෑවුමක් වුවත් සමතලා භූමියක් වුවත් ඒ සැමතැන ම සුන්දර ය,ප්රියජනකය,මනස්කාන්තය,සිත්ගන්නා සුළුය. යනුවෙන් වදාළහ. ඉද්ධිවිධ ඥානය, දිබ්බසෝත ඥානය , පරචිත්තවිජානන ඥානය, පුබ්බේනිවාසානුස්සති ඥානය, චුතූපපාත ඥානය, ආසවක්ඛය ඥානය ආදි ෂඩ් අභිඥා සහිත ව අරහත්වය සාක්ෂාත් කළ රේවත තෙරණුවෝ වරක් ශාස්තෘන් වහන්සේටත්, ධර්මධර සේනාධිපති සැරියුත් තෙරුන්ටත් වන්දනා කිරීම පිණිස ජේතවනාරාමයට වැඩම කළහ. දම්සභා මණ්ඩපයේ භික්ෂු සංඝයා මැද වැඩසිටි ශාස්තෘන් වහන්සේ පින්වත් මහණෙනි, මාගේ ශාසනයේ ආරණ්යවාසී ශ්රාවකයින් අතර ඛදිරවනීය රේවත තෙරුන් අග්ර වන්නේ යැයි අග තනතුරු ප්රදානය කළ සේක. පසු කලෙක දී රේවත මරහතන් වහන්සේ තම උපන් ගමට වැඩම කොට සොහොයුරියන් තිදෙනාගේ පුතුන් වූ චාලා, උපචාලා හා සීසුපචාලා ගේ දරුවන් පැවිදි කොට බුදු සසුනෙහි පිළිවෙත් පිරීම පිණිස මඟ පෙන්වා දී අවවාද අනුශාසනා කළහ. එම සාමණේර හිමිවරුන් තිදෙනා ම කීකරු ව, නිහතමානී ව ශ්රමණ ජීවිතය දියුණු කළා පමණක් නොව, උතුම් අරහත් භාවයට ද පත් වු හ. සාරි බැමිණියගේ අවසාන කාලයේ දී සාරිපුත්තයන් වහන්සේගේ උතුම් කල්යාණ මිත්ර ඇසුර නිසා සෝතාපන්න ශ්රාවිකාවක් බවට පත්වීමට භාග්ය සම්පන්න වුවා ය. ඒ පුණ්යවන්ත මාතාවගේ පුතණුවන් තිදෙනාමත් දියණියන් තිදෙනාමත් උතුම් අරහත්වයට පත් ව ගෞතම බුදු සසුන ශෝභමාන කළහ.

Saturday, December 16, 2023

සම්මුති සත්‍යය සහ පරමාර්ථ සත්‍යය

සම්මුති සත්‍යය සහ පරමාර්ථ සත්‍යය



ලෝකයේ අවිද්‍යා අන්ධකාරය නසමින් ප්‍රඥාලෝකය පතුරුවන බුදුරජාණන් වහන්සේ නමැති සූර්යයාගේ දේශනාව දෙපරිද්දෙකින් විග්‍රහ කැරේ. සංයුත්ත නිකායට්ඨ කථාවේ බුද්ධ දේශනාව දෙපරිද්දකින් සිදුවන බව දක්වා, එම කොටස් දෙක මෙසේ විස්තර කර ඇත.

“දුවෙ සච්චානි අක්ඛාසි
සම්බුද්ධො වදතං වරො
සම්මුතිං පරමත්ථංච
තතියං නූපලබ්භති”

“සංකෙත වචනං සච්චං
ලෝක සම්මුති කාරණා
පරමත්ථ වචනං සච්චං
ධම්මානං භූත ලක්‍ඛණා”

දහම් දෙසන්න වුන් අතරින් උතුම් වූ බුදුරජාණන් වහන්සේ සම්මුති හා පරමාර්ථ වශයෙන් සත්‍ය දෙකක්ම වදාරති. තෙවැනි සත්‍යයක් මෙහි කිසි ලෙසකින් වත් නොලැබෙයි. ලෝක සම්මුතිය නිසා සංකේතාත්මකව පැවසෙන සම්මුතිය සත්‍යය වේ. ධර්මයන්ගේ ඇති තතු පවසන හෙයින් පරමාර්ථ වචනයද සත්‍යය වේ.

මේ අනුව බුද්ධ දේශනාව

1. සම්මුති සත්‍ය දේශනාව

2. පරමාර්ථ සත්‍ය දේශනාව

යනුවෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකි ය.

එහි සත්ත්වයා, මිනිසා, පුරුෂයා, පුද්ගලයා, තිස්ස, නාගයා යනාදී වශයෙන් පවතිනුයේ සම්මුති සත්‍ය දේශනාවයි. ස්කන්ධ ධාතු, ආයතන වශයෙන් පවතිනුයේ පරමාර්ථ සත්‍ය දේශනාවයි. පරමාර්ථ දේශනාව සිදුකිරීමේ දී සම්මුතිය අත්නොහැර ම එම දේශනාව පැවැත්වීම බුදුවරුන්ගේ සිරිතයි. උන්වහන්සේ සම්මුති සත්‍ය දේශනාව සිදු කළත්, පරමාර්ථ සත්‍ය දේශනාව සිදු කළත් එකම සත්‍යයක් ම දේශනා කරති.

සාමාන්‍යයෙන් සූත්‍ර පිටකයේ එන බුද්ධ දේශනාත් විනය පිටකයේ එන විනය ප්‍රඥප්ති දේශනාත් සම්මුති සත්‍යයෙන් පැවැත් වූ බුද්ධ දේශනා ලෙස සලකනු ලැබේ. අභිධර්ම පිටකය පරමාර්ථ දේශනාවක් ලෙසින් සලකනු ලැබේ. එය නිෂ්පුද්ගල දේශනාවකි. මෙසේ සලකනු ලැබූවත් සූත්‍ර පිටකයේත් විනය පිටකයේත් සමහර තැනකදී පරමාර්ථ දේශනා අපට හමුවේ. සංයුක්ත නිකායේ මෙම දේශනා දෙකම ඇතුළත් සූත්‍ර ධර්ම ඇති බව පෙනී යන කරුණකි.

එහි අභිසමය සංයුත්තයේ දුක්ඛ වර්ගයේ පළමු සූත්‍රය ආරම්භ වනුයේ සම්මුති සත්‍ය දේශනාවෙනි. “අවිජ්ජාගතො පුරිස පුග්ගලො” යනුවෙන් සම්මුති සත්‍යය දේශිත ය. පුද්ගලයකු පිළිබඳව කියැවේ. එම සූත්‍රය අවසන් වනුයේ පරමාර්ථ ධර්ම පිළිබඳ දේශනාවකිනි. සංස්කාරයන්ගේ නිරෝධයේ සිට ජරා මරණ නිරෝධය දක්වා කරන අනුපිළිවෙළ දෙසුමකින් දුක්ඛ වග්ගයේ පළමු පරිවිමංසන සූත්‍රය නිම වෙයි. මෙය සම්මුතිය අත්නොහැර ම පරමාර්ථ දේශනාව පැවැත්වීමට උදාහරණයකි.

බුදු සමයෙහි පුහුදුන් පුද්ගලයෝ දෙදෙනෙක් දැක්වූහ.

“ දුවෙ පුථුජ්ජනා වුත්තා
බුද්ධෙනාදිච්ච බන්ධුතා
අෙන්‍ධා පුථුජ්ජනො එකො
කල්‍යාණෙකො පුථුජ්ජනො”

සූර්යවංශික වූ බුදුරජාණන් වහන්සේ විසින් පුහුදුන් පුද්ගලයෝ දෙකොටසක් බව දැක්වූහ. එක් කොටසක් අන්ධ පෘථජ්ජනයෝ ය. දෙවන කොටස කල්‍යාණ පෘථජ්ජනයෝ ය.

මෙහි මුලින් දැක් වූ අන්ධ පුථුජ්ජන පුද්ගලයාට ම “අස්සුතවා පුථුජ්ජනො” යන පාඨය පෙළෙහි යෙදී ඇත. “අස්සුත්වා” යනු ස්කන්ධ, ධාතු, ආයතන, ප්‍රත්‍යාකාර, සතිපට්ඨානාදියෙහි ඉගෙනීම්, ප්‍රශ්න කිරීම්, විනිශ්චය කිරීම් ආදිය කළ නොහැකි වූ පුද්ගලයා යි. ඔහු අශ්‍රැතවත් අඳ පුහුදුන් පුද්ගලයෙකි.

මෝහයෙන් වෙලුණු මෙබඳු පුද්ගලයෝ බුදුරදුන්ගේ පරමාර්ථ දේශනාව අවබෝධ කර ගැනීමට සමත් නොවෙති. එ නිසා මෙබඳු පුද්ගලයන්ට දහම් දෙසීමේ දී උන්වහන්සේ සම්මුති සත්‍යය උපයෝගී කරගත්හ.

දෙවන කල්‍යාණ පෘථජ්ජන පුද්ගලයා ස්කන්ධ, ධාතු, ආයතනාදී පරමාර්ථ ධර්ම පිළිබඳ ඉගෙනීම (ධාරණ) පිළිවිසීම (පටිපුච්ඡන) විමසීම (විමංසන) යනාදියෙහි දක්‍ෂ වෙයි. ඔහු ශ්‍රැතවත් ආර්යශ්‍රාවක (සුතවා අරිය සාවකො) යනුවෙන් හැඳින්වෙයි.

බුදුපියාණන් වහන්සේ පරමාර්ථ සත්‍ය දේශනා පවත්වනුයේ මෙබඳු නුවණැති පුහුදුන් පුද්ගලයන් අරමුණු කරගෙනයි.

සම්මුති වශයෙන් ලෝකයේ විවිධ සත්තු සිටිති. ගහ කොළ විවිධ නගර, ගම් නියම් ගම් පවතියි. සංඥා නාම පවතියි. එය සමාජය පිළිගත් සම්මුතීන් ය. නමුත් පරමාර්ථ සත්‍ය වශයෙන් ගත් විට, ලොව පවතිනුයේ ස්කන්ධ සමූහයකි. අභිධර්මයෙහි සත්වයෙක් පුද්ගලයෙක් පිළිබඳ නොපැවසෙයි. “සම්මුති” යන පාලි වචනයේ අර්ථ කිහිපයක් ම ඇති බව පොල්වත්තේ බුද්ධදත්ත හිමියෝ පෙන්වා දෙති.

පිළිගැන්ම, නියමය, සම්මතය, ප්‍රකාශය, ව්‍යවහාරය, යන එම අර්ථ ය. ලෝක පිළිගැනීම හා සම්මතය අනුව සත්වයෝ පුද්ගලයෝ සිටිති. නමුත් පරමාර්ථ වශයෙන් එබන්දෝ නොසිටිති පරමාර්ථ සත්‍යය යටතේ විග්‍රහ කරනුයේ ලෝකයේ යථා ස්වභාවයයි. සත්‍ය වශයෙන් ම ඇති තත්ත්වයයි. මෙලොව පවතිනුයේ ස්කන්ධ පංචකයක් බව පරමාර්ථ දේශනාවෙහි පැවසෙයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධයන්ගේ පැවැත්ම, සම්මුතිය යටතේ ‘සත්වයා’ පුද්ගලයා ලෙස වහරනු ලැබේ.

මිලින්ද ප්‍රශ්නයේ දී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. “රථය” යනු ප්‍රඥප්තියකි. පැනවීමකි. සත්‍ය වශයෙන්ම “රථය” යන්නක් විද්‍යාමාන නොවන බව, එහිදී නාගසේන හිමියෝ මිළිඳු රජුට පෙන්වා දෙති.

“ප්‍රාණඝාත” යන පදය විග්‍රහ කරන සංයුත්ත නිකායට්ඨකථාව මේ සත්‍ය දෙකම පෙන්වා දෙයි. “එහි ප්‍රාණයාගේ වේගවත් වැටීම ප්‍රාණඝාත යයි. ප්‍රාණයක් වදයක් වීම ප්‍රාණඝාත නම් වෙයි. “ප්‍රාණ” යනු සම්මුති වශයෙන් සත්වයායි. පරමාර්ථ වශයෙන් ජීවිතින්ද්‍රියයි.

ඒ ප්‍රාණය යන හැඟීම් ඇති සත්ත්වයා කෙරෙහි ජීවත්වීමේ ශක්තිය සිඳ දමන උපක්‍රමය, කායවාග් ද්වාරයන්ගේ එකකින් පවතින වධකමය චේතනාව ප්‍රාණඝාතයයි”

“සත්වයා” යන සම්මුතිය පරමාර්ථ දේශනාව යටතේ “ජීවිතින්ද්‍රිය” ලෙස විවරණය වන බව, මේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි. ජීවිතින්ද්‍රිය යනු චිත්ත චෛතසිකයන්ගේ ජීවත්වීමේ ශක්තිය ලෙස අභිධර්ම අටුවාවන්හි විස්තර කෙරේ. එවිට පරමාර්ථ සත්‍ය දේශනාව යටතේ ප්‍රකාශ වනුයේ මේ ලෝකයේ පැවැත්ම යනු, ශක්ති ප්‍රවාහයක් ඉපිද නැසෙමින් පැවතීමක්, අවිච්ඡින්න ක්‍රියාවලියක් බවයි.

මෙහි දී ගිනි පෙනෙල්ලේ උපමාවෙන් මෙම සත්‍ය දේශනා දෙක අවබෝධ කර ගැනීම පහසු යැයි සිතමි. ගිනි පෙනෙල්ලක් ගෙන කරකවන විට අපට ගිනි වළල්ලක් ඇති බවක් පෙනෙයි. අපි එයට ගිනි වළල්ල යැයි කියමු. එය සම්මුතිය යි. නමුත් සත්‍ය වශයෙන් එහි ඇත්තේ, ගිනි පෙනෙල්ලකි. එය පරමාර්ථය යි.

සත්වයා සසර රැගෙන යන ප්‍රපංච

 

සත්වයා සසර රැගෙන යන ප්‍රපංච



‘පපංච’ සහ ‘නිෂ්පපංච’ යන වචන දෙක බුදු දහමෙන් ම පමණක් ප්‍රකාශිත, දහමෙහි සත්‍යාසත්‍යතාව ප්‍රකට කරන අතිශය වැදගත් දහම් පද දෙකක් බව කිව යුතුය. ඉතා ගැඹුරු ධර්ම කරුණු රැසක් මෙම ‘පපංච’ යන වචනය තුළ කැටි කොට දක්වා ඇත. එහි ගැබ්ව ඇත්තේ ධර්මයේ හරය යැයි කීවොත් එය නිවැරැදිය.

පුහුදුන්හු ප්‍රපංචයේ ගිලී සිටින අතර, රහතන් වහන්සේ ඒ තත්ත්වයෙන් මිදී සුවසේ වසන බව ධර්මයෙහි සඳහන් වෙයි.

“පපංචාභිරතා පජා
නිප්පපංචා තථාගතා”

යනුවෙන් සඳහන් වන්නේ එම අදහසයි.

මේ අනුව ‘පපංච’ තත්ත්වය පුහුදුන් සත්වයාටත්, ‘නිප්පපංච’ තත්ත්වය රහතන් වහන්සේටත් අයත් ධර්ම බව පැහැදිලි වෙයි.

එසේ නම් පුහුදුන් සත්වයා ඇලී ගැලී සිටීමට රුචි කරන ප්‍රපංච තත්ත්වය කුමක්ද? රහතන් වහන්සේ සතු ඒ නිප්පපංච තත්ත්වය කුමක්ද?

පුහුදුන් සත්වයා සිත තුළ ගොඩ නඟා ගන්නා අරමුණු යළි යළිත් සිහිපත් කරමින් සංකල්ප ගොඩනඟා ගනිමින් ඒ තුළ ගැලී සිටීමට ප්‍රිය කරයි.

ඔහු එසේ තැන්පත් කර ගන්නා ප්‍රිය අරමුණුවල ඇලෙයි; අප්‍රිය අරමුණුවල ගැටෙයි; ඒවා සුඛ දුක්ඛ, උපේක්ඛා වශයෙන් වින්දනය කරයි. අභිනන්දනය කරයි.

‘පපංච’ යනුවෙන් අප විසින් හඳුන්වනු ලබන්නේ මේ අයුරින් සිත තුළ ගොඩ නගා ගන්නා එම සංකල්පය.

මජ්ඣිම නිකායේ මධුපිණ්ඩික සූත්‍රයේ ‘පපංච’ යන වචනය පිළිබඳ මනා විග්‍රහයක් ඉදිරිපත් කොට ඇත.

ඇසත් - රූපයත් නිසා චක්ඛු විඤ්ඤාණයත්,
කණත් - ශබ්දයත් නිසා සෝත විඤ්ඤාණයත්,
නාසයත් - ගන්ධයත් නිසා ඝාණ විඤ්ඤාණයත්,
දිවත් - රසයත් නිසා ජිව්හා විඤ්ඤණයත්,
කයත් - ස්පර්ශයත් නිසා කාය විඤ්ඤණයත්,
මනසත් - ධර්මත් නිසා මනෝ විඤ්ඤාණයත්
ඇති වෙයි.

ඉන්ද්‍රිය, ආරම්මණ, විඤ්ඤාණ යන ත්‍රිත්වයේ ගැටීම හෙවත් ස්පර්ශයත්, ඒ නිසා වින්දනයත් ඇති වෙයි. වින්දනය කරන දේ හඳුනා ගනී. හඳුනා ගන්නා දේ හොඳ - නරක වශයෙන් විනිශ්චය කරයි. ඉන් පසු එසේ විනිශ්චය කළ දේ තණ්හා, දිට්ඨි, මාන වශයෙන් ග්‍රහණය කර ගනියි.

මේ අයුරින් සිතිවිලි ගොඩක පැටලී එහි ඇලී ගැලී සිටීම යහපත් දෙයක් නොවේ. එය නිවන් අවබෝධ කිරීමට ඉමහත් බාධාවකි. ‘පපංච’ යන වචනයේ තවත් අර්ථයක් නම් ‘බාධාව‘ යන්නයි. ප්‍රපංචයක් සිත තුළ ගොඩ නගා ගැනීම නිවනට බාධාවකි. සතිය නොවැඩූ පුහුදුන් සත්වයා සුභ - අසුභ ආරම්මණත් එකසේ පිළිගනිමින් ලෝභ, දෝෂ හා මෝහයෙන් යුතුව එම අරමුණු මම මගේ යන ආත්ම සංකල්පයෙන් උපාදානය කර ගනිමින් සසර ගමන සකස් කරයි.

ප්‍රපංචයේ බිහිසුණු බව එයයි.

‘නිප්පපංච’ නම් ඒ තත්ත්වයෙන් මිදීම යි. රහතන් වහන්සේ මේ සියලු ප්‍රපංච තත්ත්ව වලින් මිදුණු සේක.

‘පපංච නිරෝධ’ ‘පපංච වූ පසම’ යන නම් වලින් පපංච තත්ත්වයෙන් මිදීම හඳුන්වා ඇත.

මෙයින් අපට පැහැදිලි වන එක් කරුණක් ඇත. මෙම පපංච තත්ත්වය භවයෝ පැවැත්ම සකස්වීමට ප්‍රත්‍ය වන බවයි.

‘සංඛාර’, මෙන්ම ‘පපංච’ තත්ත්වයෙන්ද සිදුවන්නේ සත්ත්වයාගේ විඤ්ඤාණය සකස්වීමයි.

එසේ සකස් වූ ප්‍රසන්න හෝ අප්‍රසන්න විඤ්ඤාණය අනුව මරණාසන්න සිතට කම්ම, කම්ම නිමිති හෝ ගති නිමිති පහළ වී ඒ අනුව සත්ත්වයාට සුගතිය හෝ දුගතිය ලබා දෙයි.

මෙසේ බලන විට මෙම පපංචය ධර්ම සසර ගමන පෝෂණයට කොතරම් ඉවහල් වේද යන්න සිතා ගත හැකි ය.

එසේම පපංච තත්ත්වයෙන් මිදීමේ මාර්ගය ද බුදුරදුන් පෙන්වා දී ඇත.

මෝඝරාජට උන්වහන්සේ දේශනා කරන ලද්දේ ආත්ම දෘෂ්ටියෙන් මිදී සිහියෙන් යුතුව සියලු කල්හි ශුන්‍ය වශයෙන් බලන ලෙස යි.

ලෝකය යනු චෛතසික නිර්මාණයක් මිස, සත්‍ය වශයෙන් විද්‍යමාන ධර්මයක් නොවන බව බුදුරදුන් මෝඝරාජට පැහැදිලි කර ඇත. පපංචයෙන් කැරෙන්නේ නැති ලෝකයක් සිත තුළ මවාපෑමයි. එම නිසා ප්‍රපංච මමත්වයෙන් උපාදානයෙන් කරමින් ලෝකයෙහි ඇලී සිටීමට පුහුදුන්හු ප්‍රිය කරති.

බාහිය දාරුචීරියට කළ දේශනාවකින් බුදුන් වහන්සේ මෙම පපංච තත්ත්වයෙන් මිදෙන අයුරු පෙන්වා දුන්හ.

මෙම දේශනාවේ දී බුදුන් වහවන්සේ බාහියට උපදෙස් දෙන්නේ මේ අයුරිනි.

‘ගතෝත්වං බාහිය
දිට්ටේ දිට්ඨ මත්තං
සුතේ සුත මත්තං
විඤ්ඤතේ විඤ්ඤාමත්තං”
ආදී වශයෙනි.

ඉන්ද්‍රිය සයට අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම යන ආලම්බන ඒ අයුරින්ම සිත තුළට වැද්ද නො දී ඉවත දැමීම දුක් කෙළවර කිරීමට හේතු වන බව බුදුන් වහන්සේ එම දෙසුමෙන් බාහියට පෙන්වා දුන්හ.

මෙම දේශනාවෙන් පසු බාහිය රහත් භාවයට පත් විය. ඉඳුරන්ගෙන් අරමුණු ගෙන ගොඩනගා ගෙන සිටි ලෝකයෙන් ; ‘පපංච’ තත්ත්වයෙන් මිදී ‘නිප්පංච’ තත්ත්වයට; රහත් භාවයට බාහිය පත් විය.

විදර්ශනා භාවනාවේදී පටිනිස්සග්ගානු පස්සනාවෙන් කැරෙන්නේ සිතේ් මවාගත් මෙම ප්‍රපංච තත්ත්ව එකින් එක බැහැර කිරීමයි. අතහැර දැමීමයි.

දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ දී, “චාගෝ පටිනිස්සග්ගෝ, මුත්ති, අනාලයෝ” යන වචන තුළින් ද දක්වා ඇත්තේ අනාදිමත් කාලයක් තිස්සේ සිත තුළ ගබඩා කර ගත් එම ‘මනෝ ලෝකය’ බැහැර කිරීමයි.

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...