ස්වාක්ඛාත ගුණය
භාග්‍යවතුන් වහන්සේ, පන්සාළිස් වසක් මුළුල්ලේ දෙව් මිනිසුන්ට දේශනා කර වදාළ ධර්මයෙහි, කිසිදු අඩුපාඩුවක් නැත. නිවන් ලැබීමට සුදුසු මග එයින් ප්‍රත්‍යක්‍ෂ කර දී වදාළහ. එහි, මුල, මැද, අග අර්ථවත්ව සැකසී තිබිණ. මේ ධර්මයේ ඇති ස්වාක්ඛාත ගුණයයි.
සන්දිට්ඨික ගුණය
තමා තුළ උපදවා ගත් නුවණින්, ප්‍රඥාවන්තව තමා විසින්ම හොඳ දෘෂ්ටියකින් දැකිය හැකි ය. සාවද්‍ය දෘෂ්ටියකින් බලන තැනැත්තාට ධර්මයේ ඇති යථාර්ථය වටහා ගත නොහැකි ය. ධර්මය දකින්නා මා, දකින්නේ යැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කර වදාළහ. ඉන් ධර්මයේ ඇති වටිනාකම, අර්ථවත් බව මැනවින් අවබෝධ කර ගත හැකි ය.
අකාලික ගුණය
ධර්මය පිළිපැදීමෙන් සැමදා ලැබෙන හොඳ විපාක බොහෝ ය. ධර්මයේ යෙදෙමින් ධර්මචාරී ජීවිත ගත කරන පුද්ගලයාට එහි ප්‍රතිඵල මෙලොවදීම ලැබෙයි. ඔහුට, තමාගේ මනසේ පවත්නා මානසික සුවය නිරතුරුවම සැප ලබා දෙයි. දැහැමිව ජීවත්වන්නාට සමාජයෙන් ලැබෙන ගෞරව ප්‍රශංසාද බොහෝ ය. මේ අකාලික ගුණයේ ඇති ස්වභාවයයි.
ඒහිපස්සික ගුණය
ඕනෑම කෙනකුට, ධර්මය දෙස බලා තම නැණ පමණින් පරීක්‍ෂණ පැවැත්වීම, හා එහි ප්‍රතිඵල නිරීක්‍ෂණය මගින් සිත පහදවා ගත හැකි ය. තම තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගනිමින්, දෛනික කටයුතු ඉටු කළ හැකි ය. මේ අන්දමට එන්න ධර්මය දෙස බලන්න යැයි කෙනෙකුට පෙන්විය හැකි ය.
ඕපනයිකෝ ගුණය
සිතට ධර්මය අරමුණු කර ගත යුතු ය. එසේ, ධර්මය සිතට අරමුණු කර ගනිමින් සිත වැඩීම ආරම්භ කළ යුතු ය. ප්‍රගුණ කළ යුතු ය. එසේ ප්‍රගුණ කළ ධර්මය, මාර්ග ඵල ලබා ගැනීම සඳහා සෘජුවම හේතු කාරක වෙයි.
පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහි
ධර්මයේ ඒකායන අරමුණ නිවන් දැකීමයි. ඒ සඳහා එක් එක් පුද්ගලයා තම තමා විසින්ම, පෞද්ගලිකව ධර්මය අවබෝධ කර ගත යුතු ය. එසේ නොමැතිව අන්‍යයන්ගේ පිළිසරණ මත නිවන් අවබෝධ කර ගත නොහැකි ය. තමාට පිහිට තමාම ය.
No comments:
Post a Comment