සත්වයා සසර රැගෙන යන ප්‍රපංච
‘පපංච’ සහ ‘නිෂ්පපංච’ යන වචන දෙක බුදු දහමෙන් ම පමණක් ප්‍රකාශිත, දහමෙහි සත්‍යාසත්‍යතාව ප්‍රකට කරන අතිශය වැදගත් දහම් පද දෙකක් බව කිව යුතුය. ඉතා ගැඹුරු ධර්ම කරුණු රැසක් මෙම ‘පපංච’ යන වචනය තුළ කැටි කොට දක්වා ඇත. එහි ගැබ්ව ඇත්තේ ධර්මයේ හරය යැයි කීවොත් එය නිවැරැදිය.
පුහුදුන්හු ප්‍රපංචයේ ගිලී සිටින අතර, රහතන් වහන්සේ ඒ තත්ත්වයෙන් මිදී සුවසේ වසන බව ධර්මයෙහි සඳහන් වෙයි.
“පපංචාභිරතා පජා
නිප්පපංචා තථාගතා”
යනුවෙන් සඳහන් වන්නේ එම අදහසයි.
මේ අනුව ‘පපංච’ තත්ත්වය පුහුදුන් සත්වයාටත්, ‘නිප්පපංච’ තත්ත්වය රහතන් වහන්සේටත් අයත් ධර්ම බව පැහැදිලි වෙයි.
එසේ නම් පුහුදුන් සත්වයා ඇලී ගැලී සිටීමට රුචි කරන ප්‍රපංච තත්ත්වය කුමක්ද? රහතන් වහන්සේ සතු ඒ නිප්පපංච තත්ත්වය කුමක්ද?
පුහුදුන් සත්වයා සිත තුළ ගොඩ නඟා ගන්නා අරමුණු යළි යළිත් සිහිපත් කරමින් සංකල්ප ගොඩනඟා ගනිමින් ඒ තුළ ගැලී සිටීමට ප්‍රිය කරයි.
ඔහු එසේ තැන්පත් කර ගන්නා ප්‍රිය අරමුණුවල ඇලෙයි; අප්‍රිය අරමුණුවල ගැටෙයි; ඒවා සුඛ දුක්ඛ, උපේක්ඛා වශයෙන් වින්දනය කරයි. අභිනන්දනය කරයි.
‘පපංච’ යනුවෙන් අප විසින් හඳුන්වනු ලබන්නේ මේ අයුරින් සිත තුළ ගොඩ නගා ගන්නා එම සංකල්පය.
මජ්ඣිම නිකායේ මධුපිණ්ඩික සූත්‍රයේ ‘පපංච’ යන වචනය පිළිබඳ මනා විග්‍රහයක් ඉදිරිපත් කොට ඇත.
ඇසත් - රූපයත් නිසා චක්ඛු විඤ්ඤාණයත්,
කණත් - ශබ්දයත් නිසා සෝත විඤ්ඤාණයත්,
නාසයත් - ගන්ධයත් නිසා ඝාණ විඤ්ඤාණයත්,
දිවත් - රසයත් නිසා ජිව්හා විඤ්ඤණයත්,
කයත් - ස්පර්ශයත් නිසා කාය විඤ්ඤණයත්,
මනසත් - ධර්මත් නිසා මනෝ විඤ්ඤාණයත්
ඇති වෙයි.
ඉන්ද්‍රිය, ආරම්මණ, විඤ්ඤාණ යන ත්‍රිත්වයේ ගැටීම හෙවත් ස්පර්ශයත්, ඒ නිසා වින්දනයත් ඇති වෙයි. වින්දනය කරන දේ හඳුනා ගනී. හඳුනා ගන්නා දේ හොඳ - නරක වශයෙන් විනිශ්චය කරයි. ඉන් පසු එසේ විනිශ්චය කළ දේ තණ්හා, දිට්ඨි, මාන වශයෙන් ග්‍රහණය කර ගනියි.
මේ අයුරින් සිතිවිලි ගොඩක පැටලී එහි ඇලී ගැලී සිටීම යහපත් දෙයක් නොවේ. එය නිවන් අවබෝධ කිරීමට ඉමහත් බාධාවකි. ‘පපංච’ යන වචනයේ තවත් අර්ථයක් නම් ‘බාධාව‘ යන්නයි. ප්‍රපංචයක් සිත තුළ ගොඩ නගා ගැනීම නිවනට බාධාවකි. සතිය නොවැඩූ පුහුදුන් සත්වයා සුභ - අසුභ ආරම්මණත් එකසේ පිළිගනිමින් ලෝභ, දෝෂ හා මෝහයෙන් යුතුව එම අරමුණු මම මගේ යන ආත්ම සංකල්පයෙන් උපාදානය කර ගනිමින් සසර ගමන සකස් කරයි.
ප්‍රපංචයේ බිහිසුණු බව එයයි.
‘නිප්පපංච’ නම් ඒ තත්ත්වයෙන් මිදීම යි. රහතන් වහන්සේ මේ සියලු ප්‍රපංච තත්ත්ව වලින් මිදුණු සේක.
‘පපංච නිරෝධ’ ‘පපංච වූ පසම’ යන නම් වලින් පපංච තත්ත්වයෙන් මිදීම හඳුන්වා ඇත.
මෙයින් අපට පැහැදිලි වන එක් කරුණක් ඇත. මෙම පපංච තත්ත්වය භවයෝ පැවැත්ම සකස්වීමට ප්‍රත්‍ය වන බවයි.
‘සංඛාර’, මෙන්ම ‘පපංච’ තත්ත්වයෙන්ද සිදුවන්නේ සත්ත්වයාගේ විඤ්ඤාණය සකස්වීමයි.
එසේ සකස් වූ ප්‍රසන්න හෝ අප්‍රසන්න විඤ්ඤාණය අනුව මරණාසන්න සිතට කම්ම, කම්ම නිමිති හෝ ගති නිමිති පහළ වී ඒ අනුව සත්ත්වයාට සුගතිය හෝ දුගතිය ලබා දෙයි.
මෙසේ බලන විට මෙම පපංචය ධර්ම සසර ගමන පෝෂණයට කොතරම් ඉවහල් වේද යන්න සිතා ගත හැකි ය.
එසේම පපංච තත්ත්වයෙන් මිදීමේ මාර්ගය ද බුදුරදුන් පෙන්වා දී ඇත.
මෝඝරාජට උන්වහන්සේ දේශනා කරන ලද්දේ ආත්ම දෘෂ්ටියෙන් මිදී සිහියෙන් යුතුව සියලු කල්හි ශුන්‍ය වශයෙන් බලන ලෙස යි.
ලෝකය යනු චෛතසික නිර්මාණයක් මිස, සත්‍ය වශයෙන් විද්‍යමාන ධර්මයක් නොවන බව බුදුරදුන් මෝඝරාජට පැහැදිලි කර ඇත. පපංචයෙන් කැරෙන්නේ නැති ලෝකයක් සිත තුළ මවාපෑමයි. එම නිසා ප්‍රපංච මමත්වයෙන් උපාදානයෙන් කරමින් ලෝකයෙහි ඇලී සිටීමට පුහුදුන්හු ප්‍රිය කරති.
බාහිය දාරුචීරියට කළ දේශනාවකින් බුදුන් වහන්සේ මෙම පපංච තත්ත්වයෙන් මිදෙන අයුරු පෙන්වා දුන්හ.
මෙම දේශනාවේ දී බුදුන් වහවන්සේ බාහියට උපදෙස් දෙන්නේ මේ අයුරිනි.
‘ගතෝත්වං බාහිය
දිට්ටේ දිට්ඨ මත්තං
සුතේ සුත මත්තං
විඤ්ඤතේ විඤ්ඤාමත්තං”
ආදී වශයෙනි.
ඉන්ද්‍රිය සයට අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම යන ආලම්බන ඒ අයුරින්ම සිත තුළට වැද්ද නො දී ඉවත දැමීම දුක් කෙළවර කිරීමට හේතු වන බව බුදුන් වහන්සේ එම දෙසුමෙන් බාහියට පෙන්වා දුන්හ.
මෙම දේශනාවෙන් පසු බාහිය රහත් භාවයට පත් විය. ඉඳුරන්ගෙන් අරමුණු ගෙන ගොඩනගා ගෙන සිටි ලෝකයෙන් ; ‘පපංච’ තත්ත්වයෙන් මිදී ‘නිප්පංච’ තත්ත්වයට; රහත් භාවයට බාහිය පත් විය.
විදර්ශනා භාවනාවේදී පටිනිස්සග්ගානු පස්සනාවෙන් කැරෙන්නේ සිතේ් මවාගත් මෙම ප්‍රපංච තත්ත්ව එකින් එක බැහැර කිරීමයි. අතහැර දැමීමයි.
දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ දී, “චාගෝ පටිනිස්සග්ගෝ, මුත්ති, අනාලයෝ” යන වචන තුළින් ද දක්වා ඇත්තේ අනාදිමත් කාලයක් තිස්සේ සිත තුළ ගබඩා කර ගත් එම ‘මනෝ ලෝකය’ බැහැර කිරීමයි.
No comments:
Post a Comment