Saturday, December 16, 2023

සම්මුති සත්‍යය සහ පරමාර්ථ සත්‍යය

සම්මුති සත්‍යය සහ පරමාර්ථ සත්‍යය



ලෝකයේ අවිද්‍යා අන්ධකාරය නසමින් ප්‍රඥාලෝකය පතුරුවන බුදුරජාණන් වහන්සේ නමැති සූර්යයාගේ දේශනාව දෙපරිද්දෙකින් විග්‍රහ කැරේ. සංයුත්ත නිකායට්ඨ කථාවේ බුද්ධ දේශනාව දෙපරිද්දකින් සිදුවන බව දක්වා, එම කොටස් දෙක මෙසේ විස්තර කර ඇත.

“දුවෙ සච්චානි අක්ඛාසි
සම්බුද්ධො වදතං වරො
සම්මුතිං පරමත්ථංච
තතියං නූපලබ්භති”

“සංකෙත වචනං සච්චං
ලෝක සම්මුති කාරණා
පරමත්ථ වචනං සච්චං
ධම්මානං භූත ලක්‍ඛණා”

දහම් දෙසන්න වුන් අතරින් උතුම් වූ බුදුරජාණන් වහන්සේ සම්මුති හා පරමාර්ථ වශයෙන් සත්‍ය දෙකක්ම වදාරති. තෙවැනි සත්‍යයක් මෙහි කිසි ලෙසකින් වත් නොලැබෙයි. ලෝක සම්මුතිය නිසා සංකේතාත්මකව පැවසෙන සම්මුතිය සත්‍යය වේ. ධර්මයන්ගේ ඇති තතු පවසන හෙයින් පරමාර්ථ වචනයද සත්‍යය වේ.

මේ අනුව බුද්ධ දේශනාව

1. සම්මුති සත්‍ය දේශනාව

2. පරමාර්ථ සත්‍ය දේශනාව

යනුවෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකි ය.

එහි සත්ත්වයා, මිනිසා, පුරුෂයා, පුද්ගලයා, තිස්ස, නාගයා යනාදී වශයෙන් පවතිනුයේ සම්මුති සත්‍ය දේශනාවයි. ස්කන්ධ ධාතු, ආයතන වශයෙන් පවතිනුයේ පරමාර්ථ සත්‍ය දේශනාවයි. පරමාර්ථ දේශනාව සිදුකිරීමේ දී සම්මුතිය අත්නොහැර ම එම දේශනාව පැවැත්වීම බුදුවරුන්ගේ සිරිතයි. උන්වහන්සේ සම්මුති සත්‍ය දේශනාව සිදු කළත්, පරමාර්ථ සත්‍ය දේශනාව සිදු කළත් එකම සත්‍යයක් ම දේශනා කරති.

සාමාන්‍යයෙන් සූත්‍ර පිටකයේ එන බුද්ධ දේශනාත් විනය පිටකයේ එන විනය ප්‍රඥප්ති දේශනාත් සම්මුති සත්‍යයෙන් පැවැත් වූ බුද්ධ දේශනා ලෙස සලකනු ලැබේ. අභිධර්ම පිටකය පරමාර්ථ දේශනාවක් ලෙසින් සලකනු ලැබේ. එය නිෂ්පුද්ගල දේශනාවකි. මෙසේ සලකනු ලැබූවත් සූත්‍ර පිටකයේත් විනය පිටකයේත් සමහර තැනකදී පරමාර්ථ දේශනා අපට හමුවේ. සංයුක්ත නිකායේ මෙම දේශනා දෙකම ඇතුළත් සූත්‍ර ධර්ම ඇති බව පෙනී යන කරුණකි.

එහි අභිසමය සංයුත්තයේ දුක්ඛ වර්ගයේ පළමු සූත්‍රය ආරම්භ වනුයේ සම්මුති සත්‍ය දේශනාවෙනි. “අවිජ්ජාගතො පුරිස පුග්ගලො” යනුවෙන් සම්මුති සත්‍යය දේශිත ය. පුද්ගලයකු පිළිබඳව කියැවේ. එම සූත්‍රය අවසන් වනුයේ පරමාර්ථ ධර්ම පිළිබඳ දේශනාවකිනි. සංස්කාරයන්ගේ නිරෝධයේ සිට ජරා මරණ නිරෝධය දක්වා කරන අනුපිළිවෙළ දෙසුමකින් දුක්ඛ වග්ගයේ පළමු පරිවිමංසන සූත්‍රය නිම වෙයි. මෙය සම්මුතිය අත්නොහැර ම පරමාර්ථ දේශනාව පැවැත්වීමට උදාහරණයකි.

බුදු සමයෙහි පුහුදුන් පුද්ගලයෝ දෙදෙනෙක් දැක්වූහ.

“ දුවෙ පුථුජ්ජනා වුත්තා
බුද්ධෙනාදිච්ච බන්ධුතා
අෙන්‍ධා පුථුජ්ජනො එකො
කල්‍යාණෙකො පුථුජ්ජනො”

සූර්යවංශික වූ බුදුරජාණන් වහන්සේ විසින් පුහුදුන් පුද්ගලයෝ දෙකොටසක් බව දැක්වූහ. එක් කොටසක් අන්ධ පෘථජ්ජනයෝ ය. දෙවන කොටස කල්‍යාණ පෘථජ්ජනයෝ ය.

මෙහි මුලින් දැක් වූ අන්ධ පුථුජ්ජන පුද්ගලයාට ම “අස්සුතවා පුථුජ්ජනො” යන පාඨය පෙළෙහි යෙදී ඇත. “අස්සුත්වා” යනු ස්කන්ධ, ධාතු, ආයතන, ප්‍රත්‍යාකාර, සතිපට්ඨානාදියෙහි ඉගෙනීම්, ප්‍රශ්න කිරීම්, විනිශ්චය කිරීම් ආදිය කළ නොහැකි වූ පුද්ගලයා යි. ඔහු අශ්‍රැතවත් අඳ පුහුදුන් පුද්ගලයෙකි.

මෝහයෙන් වෙලුණු මෙබඳු පුද්ගලයෝ බුදුරදුන්ගේ පරමාර්ථ දේශනාව අවබෝධ කර ගැනීමට සමත් නොවෙති. එ නිසා මෙබඳු පුද්ගලයන්ට දහම් දෙසීමේ දී උන්වහන්සේ සම්මුති සත්‍යය උපයෝගී කරගත්හ.

දෙවන කල්‍යාණ පෘථජ්ජන පුද්ගලයා ස්කන්ධ, ධාතු, ආයතනාදී පරමාර්ථ ධර්ම පිළිබඳ ඉගෙනීම (ධාරණ) පිළිවිසීම (පටිපුච්ඡන) විමසීම (විමංසන) යනාදියෙහි දක්‍ෂ වෙයි. ඔහු ශ්‍රැතවත් ආර්යශ්‍රාවක (සුතවා අරිය සාවකො) යනුවෙන් හැඳින්වෙයි.

බුදුපියාණන් වහන්සේ පරමාර්ථ සත්‍ය දේශනා පවත්වනුයේ මෙබඳු නුවණැති පුහුදුන් පුද්ගලයන් අරමුණු කරගෙනයි.

සම්මුති වශයෙන් ලෝකයේ විවිධ සත්තු සිටිති. ගහ කොළ විවිධ නගර, ගම් නියම් ගම් පවතියි. සංඥා නාම පවතියි. එය සමාජය පිළිගත් සම්මුතීන් ය. නමුත් පරමාර්ථ සත්‍ය වශයෙන් ගත් විට, ලොව පවතිනුයේ ස්කන්ධ සමූහයකි. අභිධර්මයෙහි සත්වයෙක් පුද්ගලයෙක් පිළිබඳ නොපැවසෙයි. “සම්මුති” යන පාලි වචනයේ අර්ථ කිහිපයක් ම ඇති බව පොල්වත්තේ බුද්ධදත්ත හිමියෝ පෙන්වා දෙති.

පිළිගැන්ම, නියමය, සම්මතය, ප්‍රකාශය, ව්‍යවහාරය, යන එම අර්ථ ය. ලෝක පිළිගැනීම හා සම්මතය අනුව සත්වයෝ පුද්ගලයෝ සිටිති. නමුත් පරමාර්ථ වශයෙන් එබන්දෝ නොසිටිති පරමාර්ථ සත්‍යය යටතේ විග්‍රහ කරනුයේ ලෝකයේ යථා ස්වභාවයයි. සත්‍ය වශයෙන් ම ඇති තත්ත්වයයි. මෙලොව පවතිනුයේ ස්කන්ධ පංචකයක් බව පරමාර්ථ දේශනාවෙහි පැවසෙයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධයන්ගේ පැවැත්ම, සම්මුතිය යටතේ ‘සත්වයා’ පුද්ගලයා ලෙස වහරනු ලැබේ.

මිලින්ද ප්‍රශ්නයේ දී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. “රථය” යනු ප්‍රඥප්තියකි. පැනවීමකි. සත්‍ය වශයෙන්ම “රථය” යන්නක් විද්‍යාමාන නොවන බව, එහිදී නාගසේන හිමියෝ මිළිඳු රජුට පෙන්වා දෙති.

“ප්‍රාණඝාත” යන පදය විග්‍රහ කරන සංයුත්ත නිකායට්ඨකථාව මේ සත්‍ය දෙකම පෙන්වා දෙයි. “එහි ප්‍රාණයාගේ වේගවත් වැටීම ප්‍රාණඝාත යයි. ප්‍රාණයක් වදයක් වීම ප්‍රාණඝාත නම් වෙයි. “ප්‍රාණ” යනු සම්මුති වශයෙන් සත්වයායි. පරමාර්ථ වශයෙන් ජීවිතින්ද්‍රියයි.

ඒ ප්‍රාණය යන හැඟීම් ඇති සත්ත්වයා කෙරෙහි ජීවත්වීමේ ශක්තිය සිඳ දමන උපක්‍රමය, කායවාග් ද්වාරයන්ගේ එකකින් පවතින වධකමය චේතනාව ප්‍රාණඝාතයයි”

“සත්වයා” යන සම්මුතිය පරමාර්ථ දේශනාව යටතේ “ජීවිතින්ද්‍රිය” ලෙස විවරණය වන බව, මේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි. ජීවිතින්ද්‍රිය යනු චිත්ත චෛතසිකයන්ගේ ජීවත්වීමේ ශක්තිය ලෙස අභිධර්ම අටුවාවන්හි විස්තර කෙරේ. එවිට පරමාර්ථ සත්‍ය දේශනාව යටතේ ප්‍රකාශ වනුයේ මේ ලෝකයේ පැවැත්ම යනු, ශක්ති ප්‍රවාහයක් ඉපිද නැසෙමින් පැවතීමක්, අවිච්ඡින්න ක්‍රියාවලියක් බවයි.

මෙහි දී ගිනි පෙනෙල්ලේ උපමාවෙන් මෙම සත්‍ය දේශනා දෙක අවබෝධ කර ගැනීම පහසු යැයි සිතමි. ගිනි පෙනෙල්ලක් ගෙන කරකවන විට අපට ගිනි වළල්ලක් ඇති බවක් පෙනෙයි. අපි එයට ගිනි වළල්ල යැයි කියමු. එය සම්මුතිය යි. නමුත් සත්‍ය වශයෙන් එහි ඇත්තේ, ගිනි පෙනෙල්ලකි. එය පරමාර්ථය යි.

No comments:

Post a Comment

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...