Thursday, March 25, 2021

පඨමපජ්ජුන්නධීතුසුත්තං

 

එවං මෙ සුතං - එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො කොකනදා පජ්ජුන්නස්ස ධීතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං මහාවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො සා දෙවතා කොකනදා පජ්ජුන්නස්ස ධීතා භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි -

‘‘වෙසාලියං වනෙ විහරන්තං, අග්ගං සත්තස්ස සම්බුද්ධං;

කොකනදාහමස්මි අභිවන්දෙ, කොකනදා පජ්ජුන්නස්ස ධීතා.

‘‘සුතමෙව පුරෙ ආසි, ධම්මො චක්ඛුමතානුබුද්ධො;

සාහං දානි සක්ඛි ජානාමි, මුනිනො දෙසයතො සුගතස්ස.

‘‘යෙ කෙචි අරියං ධම්මං, විගරහන්තා චරන්ති දුම්මෙධා;

උපෙන්ති රොරුවං ඝොරං, චිරරත්තං දුක්ඛං අනුභවන්ති.

‘‘යෙ ච ඛො අරියෙ ධම්මෙ, ඛන්තියා උපසමෙන උපෙතා;

පහාය මානුසං දෙහං, දෙවකාය පරිපූරෙස්සන්තී’’ති.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලාමහනුවර සමීපයෙහිවූ මහවනයෙහි කූටාගාරශාලා විහාරයෙහි වසන සේක. එකල්හි වනාහි පජ්ජුන්ත දෙවිහුගෙ දූ වූ කෝකනදා දෙවඟන රෑ පෙරයම ඉක්මුණු පසු බබළන ශරීර ප්‍රභා ඇත්තී සියලු මහාවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියාය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාය. එක් පසෙක සිටි පජ්ජුන්න දෙවියාගේ දූ වූ කෝකනදා දෙව්දූ තොම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීවාය.

“(වහන්ස,) විසාලාමහනුවර සමීපයෙහි මහවනයෙහි වසන සත්ත්‍ව සමූහයාට අග්‍රවූ සම්බුද්ධයන් වහන්සේ කෝකනදා නම්වූ මම හොඳින් වඳිමි. පජ්ජුන්නගේ දූවූ කෝකනදා මම වෙමි.

“පසැස් ඇති තථාගතයන් වහන්සේ විසින් ධර්‍මය අවබෝධ කරන ලදැයි පෙර මවිසින් අසනලද පමණක්ම විය. ඒ මම දැන් දහම් දෙසන සුගත් මුනිහුගේ ධර්‍මය ප්‍රත්‍යක්‍ෂයෙන් දනිමි. යම් අනුවණ කෙනෙක් ආර්‍ය්‍ය ධර්‍මයට නින්‍දා කෙරෙමින් හැසිරෙක්ද, ඔවුහු දරුණුවූ නපුරු නරකයට පැමිණෙත්. (එහි) බොහෝ කාලයක් දුක් විඳිත්.

“යම් කෙනෙක් වනාහි ආර්‍ය්‍ය ධර්‍මයෙහි ක්‍ෂාන්තියෙන්ද, කෙලෙස් සන්සිඳීමෙන්ද යුක්ත නම්, ඔවුහු මනුෂ්‍යාත්මය හැර දෙව් පිරිස පුරා ලන්නාහ. (දෙව් ලොව උපදනාහ.)”


Wednesday, March 24, 2021

හැමදාම සතුටින් ඉන්න

 

හැමදාම සතුටින් ඉන්න

මහනුවර හන්තාන සිරි ධම්මරතන

ත්‍රිපිටක ධර්මායතනාධිපති

රාජකීය පණ්ඩිත

පූලියද්දේ සුධම්ම හිමි


පින්වත් දරුවනේ, අද අපි කතා කරන්නේ සතුට ගැන. සතුටින් ඉන්න හැමෝම කැමැතියි. නැටුම්, ගැයුම්, විනෝද චාරිකා. තමන් කැමැති කැමැති ආහාරපාන ගැනීම ආදි දේ තමයි බොහෝ දෙනා සතුට කියලා හිතන්නේ. ඒවායින් සතුට ලැබෙනවා තමයි. ඒත් දරුවනේ ඒ සියලු සතුට තාවකාලික වන බව දන්නවා ද?


විනෝද චාරිකාව යන විට සතුටු යි. ගමන අවසන් වූ පසු සතුටත් අවසානයි.


ගීත ගයන විට, නැටුම් නටන විට, චිත්‍රපට ටෙලි නාට්‍ය බලන විට සතුටු යි. ඒත් ඒ සතුට බොහොම ටික වෙලාවයි. කාගෙන් හෝ තෑග්ගක් ලැබුණොත් සතුටු යි. ඒත් ටික දවසක් යන විට ඒ සතුටත් ඉවරයි. මේ සෑම දෙයකට ම කියන්නේ දරුවනේ තාවකාලික සතුට කියලයි. දරුවන් කැමැතිද හැමදාම සතුටින් ඉන්න. බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා. ආර්යයන් වහන්සේලා හැමදාම වැඩ ඉන්නේ පුදුම සතුටකින්. ඒ සතුට ගැන හොඳින් අවබෝධ කරගතහොත් පුංචි කාලේ සිටම නිවැරැදිව සතුටින් ඉන්න පුළුවන්.


දරුවනේ, සමහර වෙලාවට අපි අධ්‍යාපනය ලබන විට දුකෙන් ඉන්නා අවස්ථා මොන තරම් තිබෙනවා ද? විභාගාදියට ලකුණු අඩුවෙන් ලැබුණොත් දුකයි. තමන්ට වඩා තමන්ගේ යහළුවා වැඩියෙන් ලකුණු ගත්තොත් දුකයි. ගුරුවරු බණින විට දුකයි. නෑදෑයින්, මව්පියන් දොස් නඟන විට, ඒත් දුකයි. සමහර වෙලාවට ඉගෙනීමත් එපා වෙනවා. පොත් ටිකයි, කෑම ටිකයි, අරගෙන පාසල් ගියත්, ඉන්නේ සතුටින් නොවෙයි. මේ කරුණු හොඳින් සිතට ගන්න. එවිට මේ පින්වත් දරුවන්ට හරිම සතුටින් ඉගෙන ගන්නට හැකිවේවි.


දරුවනේ, සතුට කියන්නේ සිතිවිල්ලක්. චෛතසික කියලත් කියනවා. දුක, සතුට. සැප , වේදනා අපේ මනසට බලපාන සිතිවිලි. සිතිවිලි හට ගන්නේ සිතෙන්. සිත නවතින තැන්වල තමයි ඔය කී දුක, සැප වේදනා ආදී බොහෝ සිතිවිලි ඇතිවෙන්නේ. කෙනෙක් බොහෝ දුකෙන් ඉන්නවා නම්, හඬමින් , වැළපෙමින් එපාවීමෙන් ඉන්නවා නම්, දරුවෝ දන්නවාද ඒ තැනැත්තාගේ සිත නැවතී තිබෙන්නේ කො තැනද කියලා. අතීතයේ , ඒ කියන්නේ සිදුවූ දෙයක් ගැන සිත සිතා ඉන්නවා. අනේ, මට මෙහෙම වුණා, ලකුණු අඩුවෙන් ලැබුණා. බැණුම් ඇසුවා. මේ වගේ සිදු වු දේ ගැන සිතමින් සෑම වෙලාවේ ම ඉන්නේ දුකෙන්. ඒ පළමු වැන්න. සමහරු දුකෙන් ඉන්නේ වෙන්න තිබෙන දෙයක් ගැන සිතන නිසයි. ඒ කියන්නේ, මට මෙලෙස වේවි, මෙහෙම ගියොත් මෙහෙම වෙයි. මට ඉදිරියටත් බැණුම් අහන්න වෙයි. මට විභාගයට ඉහළින් ලකුණු ගන්න බැරිවෙයි ආදි වශයෙන් සිදු වී නැති දෙයක් ගැන සිතමින් දුක්වෙනවා. කනගාටු වෙනවා. ඉතින් දරුවනේ එසේ දුක්වෙන කෙනාගේ සිත නැවතී තිබෙන්නේ කොතැන ද? අනාගතයේ. අතීතය ගැන සිතමින්, අනාගතය ගැන සිතමින් දුක්වීම කිසිම තේරුමක් නැති දෙයක්. අනවශ්‍ය දෙයකට කාලය කැපකිරීමක්. දරුවන්ගේ අධ්‍යාපනයටත් මෙය අදාළ කරගත හැකියි.


මට කළ නොහැකියි, මට ලකුණු අඩු වුණා යැයි සිතමින් දුක් වෙනවාට වඩා, මම දැන් කියලා දෙන්නේ සතුටින් ඉන්නට වැදගත් ම රහස් කිහිපයක්. දරුවනේ අපේ සිත අතීතයේ නවතා ගන්නට හොඳ නෑ. අනාගතයේ නවත්වා ගන්නටත් හොඳ නෑ. එහෙමනම් සිත පවත්වා ගන්නට ඕනෑ කොතැන ද? වර්තමානයේ. ඒ කියන්නේ මේ මොහොතේ. බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළා. “අතීතය ගැන සිතන්නට එපා. එය ගෙවී අවසාන යි.


අනාගතය ගැන අනවශ්‍ය විදියට පසුතැවෙන්න එපා. එය තවමත් උදාවී නැති අවස්ථාවක්. නුවණැති දරුවන්, නුවණැති මිනිසුන් කරන්නේ මේ මොහොතේ සිත පවත්වමින් විපස්සනා කිරීම යි. විදර්ශනා කිරීම යි. ඒ කියන්නේ මේ මොහොතේ දැනෙන සිතිවිලි ගැන විශේෂයෙන් දැකීම යි. එවිට සිදුවන්නේ කුමක් ද? කිසිම සිතිවිල්ලක් සමඟ ඇලෙන්නේ නෑ. ගැටෙන්නෙත් නෑ. සිතිවිලි සමඟ ඇලෙන විට, ගැටෙන විට තමයි සෑම දුකක් ම, වේදනාවක් ම දැනෙන්නේ.


දුක් සහිත සිතිවිලි පමණක් නොවෙයි. තරහ සිතිවිලි, වෛරී සිතිවිලි, ලෝභ සිතිවිලි දැනෙන හැම මොහොතකම, කෑදරකමක් , එපාවීමක් දැනෙන හැම මොහොතකම සිතන්නට ඕනෑ. “අනේ, මගේ සිත දැන් තියෙන්නේ අතීතයේ. එහෙමත් නැතිනම් අනාගතයේ” කියලා. එසේ සිතමින් සිත වර්තමානයට ගෙන එන්නට උත්සාහ කළ යුතුයි. එසේ වර්තමානයට ගෙන ආ සිත කෙසේ හෝ නතර කරගත යුතුයි.

සොයා බලා දෙන දානය


 සොයා බලා දෙන දානය

කරචරණමුදුජාලතා ලක්ඛණානි


මාතර මහින්ද හිමි


අප භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්ව අවධියේ මෙන් ම, පෙර භවයන් හි මනුෂ්‍ය ආත්මයන් හි වාසය කරන කාලයන්හි දී මෙවැනි පුණ්‍ය කර්මයක් සිදුකොට ඇත. “දානෙන පෙය්‍යවජ්ජෙන අත්ථචරියාය, සමානත්තතාය” එනම්, දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය නම් වූ සතර සංග්‍රහ වස්තුවෙන් සැමට සංග්‍රහ කිරීමේ පුණ්‍ය කර්මයයි.


බෝධිසත්වයන් වහන්සේ සාරා සංඛ්‍යෙ කල්ප ලක්ෂයක් පුරාවට ම දානය, ප්‍රියවචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය නම් වූ සතර සංග්‍රහ වස්තුවෙන් පිරිසට සංග්‍රහ කර ඇත. දානය පිළිබඳව විස්තර කරනවා නම්, අට්ඨ කතාවේ සඳහන් වන පරිදි ආහාර - පාන, වස්ත්‍ර, යානවාහන, ආදී වශයෙන් දස දාන වස්තුව ම ආවරණය වන ආකාරයෙන් දානය පූජා කළ යුතුයි. සමහර පුද්ගලයෙකු ට දානයෙන් ම උපස්ථාන කළ යුතුයි. එනම් පරිස්කාර ලබන්නයි කැමැති. පරිස්කාර නම් අවශ්‍ය දේ ය. පරිස්කාරය අර්ථ ගැන්වෙන්නේ උපභෝග හා පරිභෝග වශයෙනි. උපභෝග යනු අත්‍යවශ්‍ය වන දේ ය. පරිභෝග යනු අත්‍යවශ්‍ය ම නොවන, නමුත් අවශ්‍ය කරන දේ ය. සමහර අයෙකුට අවශ්‍යයයි තමන්ට යමක් ලබාගැනීමට. බෝධිසත්වයන් වහන්සේ එම පුද්ගලයාට තිබෙන අඩුපාඩු බලා ඒවා සම්පූර්ණ කර දන් දුන්නා. උදාහරණයක් ලෙස සඳහන් කරන්නේ නම් ආහාර නොමැති අයෙකුට ආහාර දෙනවා. පිපාසයෙන් සිටිනා පුද්ගලයෙකුට පාන වර්ග දෙනවා. වස්ත්‍ර නැති පුද්ගලයෙකුට වස්ත්‍ර දන් දෙනවා. මේ ආකාරයෙන් දිය යුතු දේ මොනවා ද කියා සොයා බලා දිය යුතු, පිරිනැමිය යුතු දේ පරිත්‍යාග කරනවා. උපස්්ථාන කරනවා.


මෙතන දී තවදුරටත් සඳහන් වන්නේ “පබ්බජිතානං පබ්බජිත පරික්ඛාරං ගිහීනං ගිහිපරික්ඛාරං අදාසි ” පැවිදි අයට පැවිදි පිරිකර පිදිය යුතුයි. මෙම අවස්ථාවේ දී නුවණින් විමසා බලා දිය යුතු දේ දිය යුතුයි. එනම් පැවිදි පිරිසට පැවිදි පරිස්කාර ද, ගිහි පිරිසට ගිහි පරිස්්කාර ද දිය යුතුයි. මේ ආකාරයට අපගේ බෝධිසත්වයන් වහන්සේ ඒ ඒ පුද්ගලයන්ට ඒ ඒ අවශ්‍යතාවයන් අනුව දානය කියන කාරණාව සම්පූර්ණ කර ඇත.


අප කතා කරන යහපත් වචනය නම් ප්‍රිය වචනයයි. එනම් තමන් කැමැති ආකාරයට ආමන්ත්‍රණය කිරීමයි. යමෙක් තමන් කැමැති ආකාරයට ආමන්ත්‍රණය කරනවානම්, එයට ඒ පුද්ගලයා ප්‍රිය වෙනවා. ඒ ප්‍රියවන ආකාරයට ආමන්ත්‍රණය කිරීමේ දී ධර්මය ගැන කතා කරන්න පුළුවන් නම්, ඒ කතා කරන දේ වචන අතර අග්‍ර යැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කර තිබෙනවා.


“මිලින්දවච්චිය” මහරහතන් වහන්සේ, උන් වහන්සේ පෙර ජීවිතයේ සක්විති රජ කෙනෙක් ව උප්පත්තිය ලබා සිටි අවධියක පිරිසකට ධර්ම දේශනා කරවා තියෙනවා. ඒ ධර්මය අසා, ධර්මය සමාදන් වූ රට වැසි බොහෝ පිරිසක් මිය පරලොව යෑමෙන් පසු දිව්‍ය ලෝකයන්හි උප්පත්තිය ලබා තිබෙනවා. ඒ දිව්‍ය ලෝකවල උප්පත්තිය ලද පුද්ගලයන්, දිව්‍ය ලෝකයක උප්පත්තිය ලබන්න තමන් කළ පුණ්‍ය කර්මය කුමක්දැයි ආවර්ජනය කර තිබෙනවා. එම අවස්ථාවේ දී දෙවිවරු දුටුවේ, රටේ රජතුමා නිසා තමන්ට මේ ආකාරයෙන් උතුම් දිව්‍ය සම්පත්තිය ලබන්න හැකි වූ බවයි. එවිට නැවතත් දෙවිවරු දිවැසින් බලනවා. ඒ රජතුමා දැන් කොහේ ද කියා. ඒ ජීවිතයෙන් මිදුණ රජතුමා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදිව මහරහතන් වහන්සේ නමක් බවට පත්ව සිටිනා බව දකිනවා. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ විශේෂ ස්ථානයක් ද ලබන බව දුටුවා. එනම් දෙවියන්ට ප්‍රිය භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය මිලින්දවච්චිය මහ රහතන් වහන්සේ ලබනවා. ඒ දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලැබූ සියලු දෙව් පිරිස විශේෂයෙන් ම පැමිණ මහරහතන් වහන්සේට උපස්ථාන සිදු කරනවා.


ඒ තමන්ට දිව්‍ය සම්පත් ලැබුණේ සක්විති රජව සිටිනා අවධියේ ධර්මය දේශනා කරවා, තමන් ධර්මයේ පිහිටවූ නිසයි. ප්‍රිය වචනය කතා කරන විට ධර්මය පිළිබඳව කතා කරන්න පුළුවන් නම් එය විශාල වටිනාකමක් ඇතිවන බව තේරුම් කර ගැනීම සඳහා මිලින්දවච්චිය මහ රහතන් වහන්සේ පිළිබඳව අමතර කරුණක් ලෙස කතා කළ බව සඳහන් කරමු.

තුනුරුවනට පහන් සිතින් භව ගමනින් නිවන් පුරට

 

තුනුරුවනට පහන් සිතින් භව ගමනින් නිවන් පුරට

ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ ලේකම්

( බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව බුද්ධශාසන අමාත්‍යාංශය)

කේ.කේ. සුගතපාල


අපගේ ශාස්තෘ භාග්‍යවත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදී සංගාරව නම් වූ එක්තරා බ්‍රාහ්මණයෙක් පැමිණ බුදුරජාණන් වහන්සේට වැඳ එකත් පසෙක හිඳ මෙසේ කී ය.


භවත් ගෞතමයන් වහන්ස, අපි බමුණෝ වෙමු. අපි (දෙවියන් වෙත) යාග කරන්නෝ වෙමු. අනුගාමිකයන් පැමිණි විට යාග කරවන්නේ ද වෙමු. මේ අනුව අපි ද, අනුගාමික බොහෝ දෙනා ද , ඒ පුද පූජාවන් කිරීම් හේතුකොට ගෙන පුණ්‍ය ප්‍රතිපත්තීන්ට පිළිපන්නෝ වෙමු. (එහෙයින් බොහෝ දෙනා ඒ පින් බලෙන් සුගති ආත්ම ලබති.) භවත් ගෞතමයන් වහන්ස, එහෙත් ඔබගේ ශාසනයේ යමෙක් ගිහිගෙයි නික්ම පැවිද්ද ලබා තමා ම දමනය කෙරේ. එක් කෙනෙක් වශයෙන් කෙලෙස් නිවීම් කෙරේ. මෙසේ තමාගේ පැවිද්දෙන් එක් කෙනෙක් ම පමණක් පුණ්‍ය ප්‍රතිපදාවන්හි යෙදී සුගති ප්‍රතිඵල ලබයි යනුවෙනි.


බමුණ, එසේ නම් මේ කාරණයෙහිලා ඔබගෙන් ම විමසීමක් කරමි. ඔබට හැඟෙන පරිදි එයට මම පිළිතුරු අපේක්ෂා කරමි. බමුණ, දැනගතයුතු සියල්ල දන්නා (සබ්බඤ්ඤුතා ඥානය) සියලු කෙලෙස් නැසූ (ආසවක්ඛය ඥානය) නිර්වාණ මග අනුමානයෙන් නොව ප්‍රත්‍යයෙන් දැන (නිබ්බාන මග්ගඥාන) නිවනට සැපත් (අරහත්ඵල ඥාන) භාග්‍යවත් තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකයේ ඉපිද මෙසේ කියයි. ඔබලා මෙහි එන්න. මේ දුකින් මිදෙන මාර්ගයයි. මේ එයට ප්‍රතිපදාවයි. මේ මාර්ග බ්‍රහ්මචරියාවේ හැසිර ඔබ ද චතුරාර්ය සත්‍ය අවබෝධ කොට සියලු දුකෙන් මිදෙන්න යයි අනුශාසනා වශයෙන් දෙසයි. අන්‍ය බොහෝ දෙනා සිය ගණනින් ද, දහස් ගණනින් ද, ලක්ෂ ගණනින් ද මෙය අසා ප්‍රතිපත්තියෙහි යෙදී ප්‍රතිඵල ලබති. බ්‍රාහ්මණය, මේ කරුණ ගැන ඔබට කුමක් හැඟේ ද? මේ සාසනයේ ඇති මේ පැවිද්දෙන් ප්‍රතිඵල ලබන්නේ එක් අයෙක් වේ ද? බොහෝ වේ ද?


ස්වාමීනි, මේ පැවිද්දෙන් ද බොහෝ දෙනාට පුණ්‍ය ආනිශංස ලැබේයයි බමුණා කී ය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ මේ සමීපයේ සිට බමුණාගෙන් මෙසේ ඇසීය. බ්‍රාහ්මණය, මේ ප්‍රතිපදා දෙක අතුරෙන් කවර ප්‍රතිපදාවක් අඩු කටයුතු ඇත්තේ ද, අඩු පීඩා ඇත්තේ ද, වැඩිමහත්ඵල ආනිසංස ඇත්තේ යයි ඔබට හැඟෙන්නේ ද?


සංගාරව බමුණා ප්‍රශ්නයට පිළිතුරු මගහරිමින් දෙනම වහන්සේලා වර්ණනා කරන්නට විය. “භවත් ගෞතමයන් වහන්සේ ද, භවත් ආනන්දයන් වහන්සේ ද උත්තමයෝ ය. මවිසින් පිදීමට හා ප්‍රශංසාවට නිසි ය’යි වශයෙනි. මෙහි දී ආනන්ද ස්ථවිරයන් වහන්සේ දෙවන තෙවන වරද පළමු සේ ම ඇසූ නමුත් තෙවර ම ප්‍රශංසා පමණක් ම කළේය .


මෙහිදී බුදුරජාණන් වහන්සේ ආනන්දයන්ගේ කරුණු සහිත ප්‍රශ්නය බමුණා නො විසඳන බවත් දෙදෙනාම වෙහෙසට පත්වත බවත් දැන කථාව වෙනතකට යොමු කරවන අදහසින් බමුණ අද රජ ගෙදර කිනම් අතුරු කථාවක් වී දැයි ඇසී ය. (මේ බමුණා රජගහනුවර භාණ්ඩ අලුත්වැඩියා කරන ආයතනයක අයකැමියෙකි. රජ පිරිස් ද නිතර ඇසුරට ලැබේ. එහෙයින් මෙසේ ඇසූ සේක්හ.) බමුණා පිළිතුරු දෙන්නේ ස්වාමීනි, මෙවන් කතාවක් වුණි. ‘පෙරදා භික්ෂුහු සෘද්ධි ප්‍රාතිහාර්ය පෑහ. එහෙත් අද භික්ෂුහු බොහෝ වෙති. එහෙත් ස්වල්ප දෙනෙක් ම පමණක් සෘද්ධි ප්‍රාතිහාර්ය දක්වති යනුවෙනි.


මෙහිදී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ බ්‍රාහ්මණය ප්‍රාතිහාර්යය තුනෙකි. (ප්‍රාතිහාර්යය යනු පුදුම එළවන සුළු, අද්භූත, ආශ්චර්ය ක්‍රියාකාරකම් ය.)


සෘද්ධි ප්‍රාතිහාර්යය

මේ ලෝකයෙහි ඇතැමෙක් නන් වැදෑරුම් සෘද්ධි ප්‍රභේද දක්වති. වරෙක එක් අයෙක්ව සිට බොහෝ දෙනෙකු සේ ද, වරෙක බොහෝ දෙනෙකු සේ පෙනී නැවැත එක් අයෙක්ව ද පෙනේ. වරෙක නොපෙනී යයි. බිත්ති, ප්‍රාකාර, පර්වත තුළින් නො ගැටී අහසින් මෙන් යයි. පොළොවෙහි කිමිදෙයි. දියෙහි ගොඩමෙන් ඇවිද යයි. පක්ෂියෙකු සේ අහසෙහි හැසිරේ. මෙසේ සෘද්ධි ප්‍රාතිහාර්ය ඇත්තා බඹලොව තෙක් සියල්ල තම සිරුරින් වසඟයට ගනී.


ආදේශනා ප්‍රාතිහාර්යය

බමුණ, මේ ලෝකයේ ඇතැමෙක්, කෙනෙකුගේ දක්නට ලැබෙන ලකුණු (නිමිති) අනුව ඔබේ සිත මෙසේ වෙයි. ඔබේ සිත මේ ආකාරයෙන් ද වෙයි. ඔබගේ සිත මෙසේ මෙසේ ද වේ යයි ප්‍රකාශ කරයි. මෙසේ බොහෝ කොට කියන හෙයින් (එයින් කීපයක් හෝ) එය එසේම වෙමි. අන් පරිද්දෙකින් නොවේ. තවත් සමහරු මෙසේ නිමිතිවලින් නො කියයි. මිනිසුන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දේවතාවන්ගේ හෝ ශබ්ද අසා ඔබේ සිත මෙසේ මෙසේයි පළමු දැක්වූවාසේ කියයි. එයද බොහෝ කොට කියන හෙයින් එසේම වෙයි. බ්‍රාහ්මණය, ලෝකයේ ඇතැමෙක් ඉහත කී දෙ ආකාරයෙන් ම ප්‍රකාශ නොකොට කල්පනා කරන්නවුන්ගේ (විතර්ක) සලකා බලන්නවුන්ගේ (විචාර) මැත දොඩවන ශබ්ද අසා ඔබගේ සිත මෙසේ මෙසේත් යයි පළමු කී දෙ ආකාරයෙන් ම සිතේ ස්වභාවය කියයි. මෙය ද බොහෝ කොට කියන හෙයින් (තරමක් හෝ) එසේම වෙයි. අන් පරිදි නොවේ. ඇතැමෙක් ඉහත කී තුන් ආකාරයෙන්ම නොව විතක්ක විචාර රහිත සමාදියට සමවැදී (රූපාවචර තෘතීය ධ්‍යානය වැනි ලෞකික සමාධියකට පත්ව පරචිත්ත විජානන වැනි ඤාණයකට පත්ව) තම සිතින් අනුන්ගේ සිත පිරිසිඳ ඔබගේ දැන් සිත මෙසේ ය. අනතුරුව ඇතිවන සිත මෙසේ යයි කියත්. මෙයද එය එසේම වන්නේ ය. බ්‍රාහ්මණය මේ ආදේශනා ප්‍රාතිහාර්ය යි. (අප ශාස්තෘ බුදුරජාණන් වහන්සේ ලොව පහළවන විට බ්‍රාහ්මණ දහම හෙවත් චතුර්වේදය ප්‍රබලව තිබූ අතර එහි අතුරු අංගයෝ ලෙසින් නක්ෂත්‍ර, යන්ත්‍ර, මන්ත්‍ර, ආයුර්වේදාදි කොටස් තුළින් හා රූපාවචර, අරූපාවචර ධ්‍යාන තුළින් හා රූපාවචර, අරූපාවචර ධ්‍යාන තුළින් හා රූපාවචර, අරූපාවචර ධ්‍යාන තුළින් ඉහත සඳහන් ආදේශනා ප්‍රාතිහාර්යයෝ කරමින් තිබී ඇත. (මේ සියලු ධ්‍යාන ලෞකික වෙති. දිනක් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා පිරිසක් ගඟෙන් එගොඩවීමට තොටියා එනතුරු ගංතෙර සිටියදී පසුව පැමිණි බමුණෙක් සෘද්ධියෙන් ගඟ තරණය කිරීම ආදී උදාහරණ රාශියක් ත්‍රිපිටකයෙන් ලබාගත හැක.)


අනුශාසනා ප්‍රාතිහාර්යය

බ්‍රාහ්මණය, මේ ලෝකයේ ඇතැමෙක් මෙසේ මෙසේ මෙනෙහි නො කරන්න. මෙය දුරු කරන්න. මෙයට පැමිණ වාසය කරන්න වශයෙනි. මේ අනුශාසනා ප්‍රාතිහාර්ය යි. බ්‍රාහ්මණය, මේ ප්‍රාතිහාර්යය තුනෙන් වඩා යහපත් වඩා උතුම් කුමක් යයි ඔබට වැටහේ ද? බමුණා එයට පිළිතුරු දෙමින් සෘද්ධි හා ආදේශනා යන යම් ප්‍රාතිහාර්යයක් වේ ද එය ඔහුටම (කරන්නාට පමණක්) වේ. ඔහුම වින්දනය කරයි. භවත් ගෞතමයන් වහන්ස, මේ දෙපරිදි වූ ප්‍රාතිහාර්යයෝ මායාවක් සේ මට වැටහේ. මට පෙනේ. ස්වාමීනි, එහෙත් අනුශාසනා ප්‍රාතිහාර්යය ම ඉතා යහපත් ය. ඉතා ප්‍රණීත යයි ද මට වැටහේ. ගෞතමයන් වහන්ස, ඔබගේ සුභාෂිතය ආශ්චර්ය ය, අද්භූත ය. ඔබ වහන්සේ විසින් ඉතා මනාකොට වදාරණ ලද්දේ ය. ඔබ වහන්සේ මේ ත්‍රිවිධ ප්‍රාතිහාර්යයෙන් ම සමන්විතයයි අපි ධාරණය කරන්නෙමු. ඔබ වහන්සේ බඹලොව තෙක් සියල්ල තමා වසඟයෙහි පවත්වමින් නානවිධ සෘද්ධි දක්වන සේක. විතක්ක, විචාර රහිත සමාධියට සමවැදී සිය සිතින් අනුන්ගේ සිත් පිරිසිඳ දන්නා සේක. මෙසේ සිතන්න, මෙසේ නො සිතන්න. මෙය දුරු කරන්න. මෙයට පැමිණ වාසය කරන්න යයි අනුශාසනා කරන සේක්යයි බමුණා කී ය.


මෙවිට බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණය, ඒකාන්තයෙන් මගේ ගුණ සිහිකොට මගේ ගුණ වෙතට යොමු කරන ලද වචන ඔබ ප්‍රකාශ කළේ ය. එහෙයින් මම තවදුරටත් ඔබට මෙසේ ද දේශනා කරමි. මේ ත්‍රිවිධ ප්‍රාතිහාර්යයන්ගෙන් ම මම පොහොසත් වන්නෙමි කියා යි.


ස්වාමීනි, ඔබ වහන්සේ හැර මේ තුන් ප්‍රාතිහාර්යන්ගෙන් ම මම පොහොසත් වන්නෙමි කියා යි.


ස්වාමීනි, ඔබ වහන්සේ හැර මේ තුන් ප්‍රාතිහාර්යයෙන් යුක්ත වූ තවත් එක භික්ෂුවක් හෝ වේ ද? බ්‍රාහ්මණය, එකෙක් සියයක්, දෙසීයක්, පන්සියයක් නොව බොහෝ භික්ෂූහු වෙති. ස්වාමීනි දැන් ඒ භික්ෂුහු කොහි වාසය කරත් ද? බ්‍රාහ්මණය, ඒ භික්ෂු සංඝයා මේ අතරෙහි ම යයි වදාළ සේක.


භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි, ඉතා මැනැවි අද පටන් මා දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු සේ දරන සේක්වායි කී ය.


බුදු දහම මුල, මැද, අග හෙවත් සත්ත්වයා කොහි සිට කෙසේ මෙහි ආයේද? (මුල) උපන් සත්ත්වයා කෙසේ මෙලොව යහපත අයහපත සලසා ගන්නේ ද? (මැද) මරණයෙන් පසු සත්ත්වයාට කුමක් වන්නේ ද? කවරක් කරගත හැකි වන්නේ ද? (අග) යනාදි වශයෙන් අර්ථ සහතික කොට පුද්ගලයා (සාත්ථං) ඒ ඒ පදයන්ට ඒ ඒ අක්ෂර නිවැරැදිව යොදා (සඛ්‍යඤ්ජ්ජි) කිසිම පදයක් සංඛ්‍යාවක් අක්ෂරයක් නො අඩු හෝ නො වැඩි කොට සියල්ල සම්පූර්ණව (කෙවලපරිපුණ්ණං) මෙත් කරුණා සිත්ම පෙරදැරිව ලෝකාමිෂ අපේක්ෂාවන්ගෙන් තොරව, ලාභ සත්කාර නො තකා (පරිසුද්ධං) සතර බ්‍රහ්ම විහරණයෙන් ම යුතුව (බ්‍රහ්මචරියං) දේශනා කරන ලද්දක් බව කීයෙන් කී දෙනෙක් දනී ද? අන්‍ය බොහෝ දහම්හි මැද ඇත. මුල, අග නැත, තවකෙකු දෙවියන්ගේ කැමැත්තෙන් එති. දෙවියන්ගේ කැමැත්තෙන් යති. (ඊශ්වර - බ්‍රහ්ම නිර්මාණවාද) අන්‍ය දහමක ඉබේ සිද්ධවන බව තවත් දහමක සියල්ල කර්මයෙන් සිදුවන බව (පුබෙබකතකර්මවාදි) ආදී කොට ගත් ශාස්තෘ දහම් වෙත්. බුදුගෙහි දැල්වෙන පහන උප්පාද ඨිති, භංග උගන්වයි. අනිච්ච, දුක්ඛ, අනාත්ම උගන්වයි. ජීවිතං අනියතං මරණං නියතං කියාදේ. අනෙක් තැන්හි කියන්නේ කුමක් ද? පිළිතුරක් සොයා යමු.


කරුණු කාරණා මෙසේ හෙයින් යමෙක් තුනුරුවන් කෙරෙහි අටතැන් සැක දුරු කරයි ද, ඔහුට සසර විඳින්නට වන දුකෙන් වැඩි කොටසක් නිවී යයි. සැක ඉතිරිව තිබේනම් මහ පින්කම් කළත් ලොකු පිනක් අත් නොවේ. ශ්‍රද්ධාවෙන් කෙරෙන සුළු පින්කමකින් වුව ද මහත්ඵල මහානිසංස ලැබේ.

ඛුද්දක නිකායෙහි උදාන පාලිය

 

ඛුද්දක නිකායෙහි උදාන පාලිය:


අසිරිමත් බුදුරජාණන් වහන්සේ

මහමෙව්නා භාවනා අසපු සංචිතයේ

නිර්මාතෘ සහ අනුශාසක

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි


මෙම ලිපියේ මුල් කොටස පසුගිය 02 වැනිදා අමාවක පෝදා බුදුසරණ පුවත්පතේ පළවිය.


සම්මා සම්බුදු පදවිය ලැබ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ සෙවනේ සත් දිනක් එක දිගට එක පළඟින් ම විමුක්ති සුවයෙන් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ සමාධි සුවයෙන් නැඟී සිට පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම වශයෙන් මෙනෙහි කොට දේශනා කිරීමෙන් පසු යථාර්ථය නුවණින් ප්‍රත්‍යක්ෂ කරගෙන, එම අවස්ථාවේ මේ උදාන ගාථාව වදාළ සේක.


දා හවේ පාතුභවන්ති ධම්මා

ආතාපිනො ඣායතො බ්‍රාහ්මණස්ස

අථස්ස කංඛා වපයන්ති සබ්බා

යතො පජානාති සහේතු ධම්මන්ති


“ ඒ අරහත් උතුමන්ට සියලු කෙලෙස් තවන වීරිය තිබෙනවා. උන්වහන්සේ ධ්‍යාන වඩනවා. ඉතින් ඒ අරහත් උත්තමයාට යම් වෙලාවක බෝධිපාක්ශික ධර්ම තමන් තුළ ඇතිවෙනවානම්, ඒ මොහොතේ තමන් තුළ තිබුණු හැම සැකයක් ම දුරුවී යනවා. ඒ තුළින්මයි මේ හේතුඵල ධර්මයේ යථාර්ථය අවබෝධ කරගන්නේ.”


දුතිය බෝධි සූත්‍රය හෙවත් සම්බුද්ධත්වය පිළිබඳ වදාළ දෙවන උදාන ගැන සඳහන් වන්නේ මෙලෙස යි. එදා රාත්‍රියේ මධ්‍යම යාමයේ දී භාග්‍යවතුන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මය ප්‍රතිලෝම වශයෙන් ඉතා හොඳින් මෙනෙහි කොට වදාළ සේක. එනම් “ මේ අයුරින් මේ හේතුව නැතිවෙන විටම මේ ඵලය නැතිවෙනවා. මේ හේතුව නිරුද්ධ වෙන විට ම මේ ඵලය නිරුද්ධ වෙනවා “ යනුවෙනි.


’ඉමස්මිං අසති ඉදං න හෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති’ අවිද්‍යාව නිරුද්ධවීමෙන්, සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වීමෙන්, විඤ්ඤාණය නිරුද්ධ වෙනවා. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන්, නාමරූප නිරුද්ධ වෙනවා. නාමරූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වෙනවා. ආයතන හය නිරුද්ධ වීමෙන්, ස්පර්ශ නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙනවා. විඳීම නිරුද්ධ වීමෙන්, තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වීමෙන්, බැඳීම නිරුද්ධ වෙනවා. බැඳීම නිරුද්ධ වීමෙන් විපාක පිණිස කර්ම සකස්වීම නම් වූ භවය නිරුද්ධ වෙනවා. විපාක පිණිස කර්ම සකස්වීම නිරුද්ධ වීමෙන්, ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන්, ජරාවට පත්වීම, මරණයට පත්වීම, ශෝක කිරීම, වැළපීම, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම නිරුද්ධ වෙනවා. මේ අයුරිනුයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වන්නේ” යනුවෙනි.එවිට භාග්‍යවතුන් වහන්සේ, මේ යථාර්ථය නුවණින් ප්‍රත්‍යක්ෂ කරගෙන ,ඒ වෙලාවේ නිරාමිස සතුටින් මේ උදාන ගාථාව වදාළ සේක.


යදා හවේ පාතුභවන්ති ධම්මා – ආතාපිනො ඣායතො බ්‍රාහ්මණස්ස

අථස්ස කංඛා වපයන්ති සබ්බා – යතො ඛයං පච්චයානං අවේදිතී


ඔහුට සියලු කෙලෙස් තවන වීරිය තිබෙනවා. ඔහු ධ්‍යාන වඩනවා. ඉතින් ඒ අරහත් බ්‍රාහ්මණයාට යම් වෙලාවක බෝධි පාක්ෂික ධර්ම තමන් තුළ ඇතිවෙනවා නම්, ඒ මොහොතේ තමන් තුළ තිබූ හැම සැකයක් ම දුරුවෙලා යනවා. ඒ තුළින්ම යි මේ හේතුඵල ධර්මයේ යථාර්ථය අවබෝධ කරගන්නේ”


අනතුරුව සඳහන් වන තතිය බෝධි සූත්‍රයේ දැක්වෙන්නේ සම්බුද්ධත්වය ගැන වදාළ තෙවන උදානය යි. එදා රාත්‍රී පශ්චිම යාමයේ භාග්‍යවතුන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම – ප්‍රතිලෝම වශයෙන් ඉතා හොඳින් මෙනෙහි කොට වදාළා. එනම් “ මේ අයුරින් මේ හේතුව ඇතිවන විට, මේ ඵලය ඇතිවෙනවා. මේ හේතුව උපදින විට මේ ඵලය උපදිනවා. මේ හේතුව නැති වෙන විට මේ ඵලය නැතිවෙනවා. මේ හේතුව නිරුද්ධ වෙන විට මේ ඵලය නිරුද්ධ වෙනවා” කියායි. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ යථාර්ථය නුවණින් ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ අවස්ථාවේ දී ශාන්තව, සතුටින් යුතුව මේ උදාන ගාථාව වදාළ සේක.


යදා හවෙ පාතුභවන්ති ධම්මා

ආතාපිනෝ ඣායතො බ්‍රාහ්මණස්ස

විධූපයං තිට්ඨාති මාරසේනං

සූරියොව ඕභාසයමන්තළික්ඛන්ති


“ සියලු කෙලෙස් තවන වීරිය තිබෙනවා. ධ්‍යාන වඩනවා. ඉතින් ඒ අරහත් බ්‍රාහ්මණයාට යම් වෙලාවක බෝධි පාක්ෂික ධර්ම තමන් තුළ ඇතිවෙනවා නම්, ඒ මොහොතේ අහස් කුස බබළන හිරු මඬලක් සෙයින් මාර සේනාව කම්පා කර වැඩ සිටිනවා. අපටද ඒ උතුම් සම්බුද්ධත්වය පිළිබඳව වඩ වඩාත් චිත්ත ප්‍රසාදය ඇති කරගන්නට මෙම උතුම් දේශනා උපකාර වේවා.!

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...