හැමදාම සතුටින් ඉන්න
මහනුවර හන්තාන සිරි ධම්මරතන
ත්‍රිපිටක ධර්මායතනාධිපති
රාජකීය පණ්ඩිත
පූලියද්දේ සුධම්ම හිමි
පින්වත් දරුවනේ, අද අපි කතා කරන්නේ සතුට ගැන. සතුටින් ඉන්න හැමෝම කැමැතියි. නැටුම්, ගැයුම්, විනෝද චාරිකා. තමන් කැමැති කැමැති ආහාරපාන ගැනීම ආදි දේ තමයි බොහෝ දෙනා සතුට කියලා හිතන්නේ. ඒවායින් සතුට ලැබෙනවා තමයි. ඒත් දරුවනේ ඒ සියලු සතුට තාවකාලික වන බව දන්නවා ද?
විනෝද චාරිකාව යන විට සතුටු යි. ගමන අවසන් වූ පසු සතුටත් අවසානයි.
ගීත ගයන විට, නැටුම් නටන විට, චිත්‍රපට ටෙලි නාට්‍ය බලන විට සතුටු යි. ඒත් ඒ සතුට බොහොම ටික වෙලාවයි. කාගෙන් හෝ තෑග්ගක් ලැබුණොත් සතුටු යි. ඒත් ටික දවසක් යන විට ඒ සතුටත් ඉවරයි. මේ සෑම දෙයකට ම කියන්නේ දරුවනේ තාවකාලික සතුට කියලයි. දරුවන් කැමැතිද හැමදාම සතුටින් ඉන්න. බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා. ආර්යයන් වහන්සේලා හැමදාම වැඩ ඉන්නේ පුදුම සතුටකින්. ඒ සතුට ගැන හොඳින් අවබෝධ කරගතහොත් පුංචි කාලේ සිටම නිවැරැදිව සතුටින් ඉන්න පුළුවන්.
දරුවනේ, සමහර වෙලාවට අපි අධ්‍යාපනය ලබන විට දුකෙන් ඉන්නා අවස්ථා මොන තරම් තිබෙනවා ද? විභාගාදියට ලකුණු අඩුවෙන් ලැබුණොත් දුකයි. තමන්ට වඩා තමන්ගේ යහළුවා වැඩියෙන් ලකුණු ගත්තොත් දුකයි. ගුරුවරු බණින විට දුකයි. නෑදෑයින්, මව්පියන් දොස් නඟන විට, ඒත් දුකයි. සමහර වෙලාවට ඉගෙනීමත් එපා වෙනවා. පොත් ටිකයි, කෑම ටිකයි, අරගෙන පාසල් ගියත්, ඉන්නේ සතුටින් නොවෙයි. මේ කරුණු හොඳින් සිතට ගන්න. එවිට මේ පින්වත් දරුවන්ට හරිම සතුටින් ඉගෙන ගන්නට හැකිවේවි.
දරුවනේ, සතුට කියන්නේ සිතිවිල්ලක්. චෛතසික කියලත් කියනවා. දුක, සතුට. සැප , වේදනා අපේ මනසට බලපාන සිතිවිලි. සිතිවිලි හට ගන්නේ සිතෙන්. සිත නවතින තැන්වල තමයි ඔය කී දුක, සැප වේදනා ආදී බොහෝ සිතිවිලි ඇතිවෙන්නේ. කෙනෙක් බොහෝ දුකෙන් ඉන්නවා නම්, හඬමින් , වැළපෙමින් එපාවීමෙන් ඉන්නවා නම්, දරුවෝ දන්නවාද ඒ තැනැත්තාගේ සිත නැවතී තිබෙන්නේ කො තැනද කියලා. අතීතයේ , ඒ කියන්නේ සිදුවූ දෙයක් ගැන සිත සිතා ඉන්නවා. අනේ, මට මෙහෙම වුණා, ලකුණු අඩුවෙන් ලැබුණා. බැණුම් ඇසුවා. මේ වගේ සිදු වු දේ ගැන සිතමින් සෑම වෙලාවේ ම ඉන්නේ දුකෙන්. ඒ පළමු වැන්න. සමහරු දුකෙන් ඉන්නේ වෙන්න තිබෙන දෙයක් ගැන සිතන නිසයි. ඒ කියන්නේ, මට මෙලෙස වේවි, මෙහෙම ගියොත් මෙහෙම වෙයි. මට ඉදිරියටත් බැණුම් අහන්න වෙයි. මට විභාගයට ඉහළින් ලකුණු ගන්න බැරිවෙයි ආදි වශයෙන් සිදු වී නැති දෙයක් ගැන සිතමින් දුක්වෙනවා. කනගාටු වෙනවා. ඉතින් දරුවනේ එසේ දුක්වෙන කෙනාගේ සිත නැවතී තිබෙන්නේ කොතැන ද? අනාගතයේ. අතීතය ගැන සිතමින්, අනාගතය ගැන සිතමින් දුක්වීම කිසිම තේරුමක් නැති දෙයක්. අනවශ්‍ය දෙයකට කාලය කැපකිරීමක්. දරුවන්ගේ අධ්‍යාපනයටත් මෙය අදාළ කරගත හැකියි.
මට කළ නොහැකියි, මට ලකුණු අඩු වුණා යැයි සිතමින් දුක් වෙනවාට වඩා, මම දැන් කියලා දෙන්නේ සතුටින් ඉන්නට වැදගත් ම රහස් කිහිපයක්. දරුවනේ අපේ සිත අතීතයේ නවතා ගන්නට හොඳ නෑ. අනාගතයේ නවත්වා ගන්නටත් හොඳ නෑ. එහෙමනම් සිත පවත්වා ගන්නට ඕනෑ කොතැන ද? වර්තමානයේ. ඒ කියන්නේ මේ මොහොතේ. බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළා. “අතීතය ගැන සිතන්නට එපා. එය ගෙවී අවසාන යි.
අනාගතය ගැන අනවශ්‍ය විදියට පසුතැවෙන්න එපා. එය තවමත් උදාවී නැති අවස්ථාවක්. නුවණැති දරුවන්, නුවණැති මිනිසුන් කරන්නේ මේ මොහොතේ සිත පවත්වමින් විපස්සනා කිරීම යි. විදර්ශනා කිරීම යි. ඒ කියන්නේ මේ මොහොතේ දැනෙන සිතිවිලි ගැන විශේෂයෙන් දැකීම යි. එවිට සිදුවන්නේ කුමක් ද? කිසිම සිතිවිල්ලක් සමඟ ඇලෙන්නේ නෑ. ගැටෙන්නෙත් නෑ. සිතිවිලි සමඟ ඇලෙන විට, ගැටෙන විට තමයි සෑම දුකක් ම, වේදනාවක් ම දැනෙන්නේ.
දුක් සහිත සිතිවිලි පමණක් නොවෙයි. තරහ සිතිවිලි, වෛරී සිතිවිලි, ලෝභ සිතිවිලි දැනෙන හැම මොහොතකම, කෑදරකමක් , එපාවීමක් දැනෙන හැම මොහොතකම සිතන්නට ඕනෑ. “අනේ, මගේ සිත දැන් තියෙන්නේ අතීතයේ. එහෙමත් නැතිනම් අනාගතයේ” කියලා. එසේ සිතමින් සිත වර්තමානයට ගෙන එන්නට උත්සාහ කළ යුතුයි. එසේ වර්තමානයට ගෙන ආ සිත කෙසේ හෝ නතර කරගත යුතුයි.
No comments:
Post a Comment