සොයා බලා දෙන දානය
කරචරණමුදුජාලතා ලක්ඛණානි
මාතර මහින්ද හිමි
අප භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්ව අවධියේ මෙන් ම, පෙර භවයන් හි මනුෂ්‍ය ආත්මයන් හි වාසය කරන කාලයන්හි දී මෙවැනි පුණ්‍ය කර්මයක් සිදුකොට ඇත. “දානෙන පෙය්‍යවජ්ජෙන අත්ථචරියාය, සමානත්තතාය” එනම්, දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය නම් වූ සතර සංග්‍රහ වස්තුවෙන් සැමට සංග්‍රහ කිරීමේ පුණ්‍ය කර්මයයි.
බෝධිසත්වයන් වහන්සේ සාරා සංඛ්‍යෙ කල්ප ලක්ෂයක් පුරාවට ම දානය, ප්‍රියවචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය නම් වූ සතර සංග්‍රහ වස්තුවෙන් පිරිසට සංග්‍රහ කර ඇත. දානය පිළිබඳව විස්තර කරනවා නම්, අට්ඨ කතාවේ සඳහන් වන පරිදි ආහාර - පාන, වස්ත්‍ර, යානවාහන, ආදී වශයෙන් දස දාන වස්තුව ම ආවරණය වන ආකාරයෙන් දානය පූජා කළ යුතුයි. සමහර පුද්ගලයෙකු ට දානයෙන් ම උපස්ථාන කළ යුතුයි. එනම් පරිස්කාර ලබන්නයි කැමැති. පරිස්කාර නම් අවශ්‍ය දේ ය. පරිස්කාරය අර්ථ ගැන්වෙන්නේ උපභෝග හා පරිභෝග වශයෙනි. උපභෝග යනු අත්‍යවශ්‍ය වන දේ ය. පරිභෝග යනු අත්‍යවශ්‍ය ම නොවන, නමුත් අවශ්‍ය කරන දේ ය. සමහර අයෙකුට අවශ්‍යයයි තමන්ට යමක් ලබාගැනීමට. බෝධිසත්වයන් වහන්සේ එම පුද්ගලයාට තිබෙන අඩුපාඩු බලා ඒවා සම්පූර්ණ කර දන් දුන්නා. උදාහරණයක් ලෙස සඳහන් කරන්නේ නම් ආහාර නොමැති අයෙකුට ආහාර දෙනවා. පිපාසයෙන් සිටිනා පුද්ගලයෙකුට පාන වර්ග දෙනවා. වස්ත්‍ර නැති පුද්ගලයෙකුට වස්ත්‍ර දන් දෙනවා. මේ ආකාරයෙන් දිය යුතු දේ මොනවා ද කියා සොයා බලා දිය යුතු, පිරිනැමිය යුතු දේ පරිත්‍යාග කරනවා. උපස්්ථාන කරනවා.
මෙතන දී තවදුරටත් සඳහන් වන්නේ “පබ්බජිතානං පබ්බජිත පරික්ඛාරං ගිහීනං ගිහිපරික්ඛාරං අදාසි ” පැවිදි අයට පැවිදි පිරිකර පිදිය යුතුයි. මෙම අවස්ථාවේ දී නුවණින් විමසා බලා දිය යුතු දේ දිය යුතුයි. එනම් පැවිදි පිරිසට පැවිදි පරිස්කාර ද, ගිහි පිරිසට ගිහි පරිස්්කාර ද දිය යුතුයි. මේ ආකාරයට අපගේ බෝධිසත්වයන් වහන්සේ ඒ ඒ පුද්ගලයන්ට ඒ ඒ අවශ්‍යතාවයන් අනුව දානය කියන කාරණාව සම්පූර්ණ කර ඇත.
අප කතා කරන යහපත් වචනය නම් ප්‍රිය වචනයයි. එනම් තමන් කැමැති ආකාරයට ආමන්ත්‍රණය කිරීමයි. යමෙක් තමන් කැමැති ආකාරයට ආමන්ත්‍රණය කරනවානම්, එයට ඒ පුද්ගලයා ප්‍රිය වෙනවා. ඒ ප්‍රියවන ආකාරයට ආමන්ත්‍රණය කිරීමේ දී ධර්මය ගැන කතා කරන්න පුළුවන් නම්, ඒ කතා කරන දේ වචන අතර අග්‍ර යැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කර තිබෙනවා.
“මිලින්දවච්චිය” මහරහතන් වහන්සේ, උන් වහන්සේ පෙර ජීවිතයේ සක්විති රජ කෙනෙක් ව උප්පත්තිය ලබා සිටි අවධියක පිරිසකට ධර්ම දේශනා කරවා තියෙනවා. ඒ ධර්මය අසා, ධර්මය සමාදන් වූ රට වැසි බොහෝ පිරිසක් මිය පරලොව යෑමෙන් පසු දිව්‍ය ලෝකයන්හි උප්පත්තිය ලබා තිබෙනවා. ඒ දිව්‍ය ලෝකවල උප්පත්තිය ලද පුද්ගලයන්, දිව්‍ය ලෝකයක උප්පත්තිය ලබන්න තමන් කළ පුණ්‍ය කර්මය කුමක්දැයි ආවර්ජනය කර තිබෙනවා. එම අවස්ථාවේ දී දෙවිවරු දුටුවේ, රටේ රජතුමා නිසා තමන්ට මේ ආකාරයෙන් උතුම් දිව්‍ය සම්පත්තිය ලබන්න හැකි වූ බවයි. එවිට නැවතත් දෙවිවරු දිවැසින් බලනවා. ඒ රජතුමා දැන් කොහේ ද කියා. ඒ ජීවිතයෙන් මිදුණ රජතුමා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදිව මහරහතන් වහන්සේ නමක් බවට පත්ව සිටිනා බව දකිනවා. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ විශේෂ ස්ථානයක් ද ලබන බව දුටුවා. එනම් දෙවියන්ට ප්‍රිය භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය මිලින්දවච්චිය මහ රහතන් වහන්සේ ලබනවා. ඒ දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලැබූ සියලු දෙව් පිරිස විශේෂයෙන් ම පැමිණ මහරහතන් වහන්සේට උපස්ථාන සිදු කරනවා.
ඒ තමන්ට දිව්‍ය සම්පත් ලැබුණේ සක්විති රජව සිටිනා අවධියේ ධර්මය දේශනා කරවා, තමන් ධර්මයේ පිහිටවූ නිසයි. ප්‍රිය වචනය කතා කරන විට ධර්මය පිළිබඳව කතා කරන්න පුළුවන් නම් එය විශාල වටිනාකමක් ඇතිවන බව තේරුම් කර ගැනීම සඳහා මිලින්දවච්චිය මහ රහතන් වහන්සේ පිළිබඳව අමතර කරුණක් ලෙස කතා කළ බව සඳහන් කරමු.
No comments:
Post a Comment