Thursday, April 29, 2021
Tuesday, April 20, 2021
උප්පථසුත්තං
උප්පථසුත්තං
58
‘‘කිංසු උප්පථො අක්ඛාතො, කිංසු රත්තින්දිවක්ඛයො;
කිං මලං බ්‍රහ්මචරියස්ස, කිං සිනානමනොදක’’න්ති.
‘‘රාගො උප්පථො අක්ඛාතො, වයො රත්තින්දිවක්ඛයො;
ඉත්ථී මලං බ්‍රහ්මචරියස්ස, එත්ථායං සජ්ජතෙ පජා;
තපො ච බ්‍රහ්මචරියඤ්ච, තං සිනානමනොදක’’න්ත්න්ත්ති.
8. උපපථ සූත්‍රය
58
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
“කිමෙක් නම් නොමඟයයි කියන ලදද? කිමෙක් නම් රෑ දාවල්හි ගෙවේද? බ්‍රහ්මචර්‍ය්‍යාවට කිලුට කිමෙක්ද? දිය නොමැති නෑම කිමෙක්ද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “රාගය නොමග යයි කියන ලදී. දිවා රෑ දෙක්හිම ගෙවෙන්නේ වයසය. බ්‍රහ්මචර්‍ය්‍යාවට කිලුට ස්ත්‍රියයි. (මේ සත්ත්‍ව සමූහයා මෙහි ඇලේ) තපසත් බඹසරත් යන යමෙක් ඇද්ද, එය දිය නැති නෑමයි.
Thursday, April 15, 2021
මෛත්‍රී භාවනාව – 09 කොටස – හැමෝම ප්‍රිය වන්න මෙත් වඩන්න
මෛත්‍රී භාවනාව – 09 කොටස – හැමෝම ප්‍රිය වන්න මෙත් වඩන්න
Apr 5, 2021 | සිත නිවන භාවනා | 0
මෛත්‍රී භාවනාව – 09 කොටස – හැමෝම ප්‍රිය වන්න මෙත් වඩන්න
තමන් සාක්‍ෂි භාවයට පත් කරගෙන තමන්ට පළමුව මෙත් වැඩූ යෝගියාට එයින් සැහැල්ලු බවක්, මෛත්‍රියේ සැපයක් දැනෙයි. එහෙත් තමන් අරමුණු කරගෙන කොපමණ මෙත් වැඩුව ද අර්පණා සමාධියක් ඉපදවිය හැකි නො වේ. එසේ අර්පණා ඉපදවිය නො හැකිව තිබිය දී ද තමන්ට මෙත් වැඩීමට මඟ පෙන්වන්නේ සෙසු අයට මෙත් වැඩීමට තමන් සාක්‍ෂියක් කර ගැනීමට බව ඉහත පැහැදිලි කර දෙන ලදී.
තමන්ට ‘වෛර නැත්තෙක් වෙම්වා’ යනාදි ලෙස මෙත් වැඩීමෙන් සිතේ සැහැල්ලුවක්, සැනසීමක් දැනෙන විට බාහිර පුද්ගලයන් අරමුණු කරගෙන මෙත් වැඩීම ආරම්භ කළ යුතු වේ. එහි දී තමන් සාක්‍ෂි කරගෙන, තමන්ට මෙත් වැඩීමෙන් ලැබුණු ආනිසංසය, සැනසීම අනෙක් අයට ද ලැබේවා යන අදහසින් මෙත් වැඩීම කළ යුතු වේ.
එක් පුද්ගලයෙක් අරමුණු කරගෙන මෙත් වැඩීමේ දී අරමුණු නො කළ යුතු පුද්ගලයන් පිළිබඳව ද ඉහත දක්වන ලදී. ඒ අනුව පළමුව මෙත් වැඩීමේ දී තමන්ට බොහෝ සෙයින් ප්‍රිය ශීලී, බොහෝ ලෙන්ගතු පුද්ගලයා අරමුණු නො කළ යුතු වේ. එසේ ම තමන්ට අප්‍රිය පුද්ගලයා ද අරමුණු නො කළ යුතු වේ. එසේ ම මැදහත් පුද්ගලයා ද අරමුණු නො කළ යුතු වේ. තමන්ට ප්‍රිය වන නමුත් ගෞරවයෙන් ඇසුරු කරන සම්භාවනීය පුද්ගලයෙක් පළමුව අරමුණු කිරීම වඩාත් සුදුසු වේ. තමන්ට ගුරුවරයෙක්, වැඩිහිටියෙක්, ස්වාමීන් වහන්සේ නමක් වැනි යමෙක් අරමුණු කර පළමුව මෙත් වැඩීම කළ යුතු වේ. මෙහි දී ද තමන්ගේ විරුද්ධ ලිංගිකයෙක් තෝරා නො ගත යුතු වේ.
ඒ අනුව තමන් ගෞරවයෙන් ඇසුරු කරන කිසියම් සම්භාවනීය පුද්ගලයෙක් තෝරා ගත යුතු වේ. අනතුරුව තමන්ට මෙත් වැඩීම සාක්‍ෂි කරගෙන, තමන්ට මෙත් වැඩීමෙන් දැණුනු සුවය, සැනසීම ඒ අරමුණු කළ පුද්ගලයාට ද ලැබේවා යන අදහසින් ඒ පුද්ගලයා මතකයට නඟාගෙන ‘මා මෙන් ම මේ තැනැත්තා ද වෛර නැත්තෙක් වේවා’ යනාදි ක්‍රමයෙන් මෙත් වැඩිය යුතු වේ. මෙහි දී තමන්ට මෙත් වැඩීමෙන් ලැබුණු සැනසීම සාක්‍ෂි කරගෙන මෙත් වැඩිය යුතු වේ. එනම් තමන්ට ලැබුණු සුවය ඒ පුද්ගලයාට ද ලැබේවා යන අදහස තිබිය යුතු වේ. ඒ අනුව ඒ පුද්ගලයා ද සැනසීමට පත් වන ආකාරය මනසින් දැකීමට උත්සාහවත් විය හැකිය. එසේ කිසියම් වේලාවක් මෙත් වැඩීමේ දී එසේ අරමුණු කළ පුද්ගලයා කෙරෙහි මෛත්‍රී ආරම්මණයේ සිත සමාධිමත් වේ. එවිට ද පළමුව තමන්ට මෙත් වැඩීමේ දී දැණුනු සුවය, සැනසීම දැනෙනු ඇත. මෙසේ පළමු පුද්ගලයා අරමුණු කරගෙන බොහෝ වේලාවක් මෙත් වඩන්න. ඒ පුද්ගලයා තමන්ගේ සිතෙන් ඉවත් නො වී, වෙනත් අරමුණකට සිත මාරු නො වී ඉතාමත් හොඳින් සමාධිමත් වනු ඇත.
එසේ පළමු ගරු සම්භාවනීය පුද්ගලයා අරමුණු කරගෙන සිත සමාධිමත් වූ පසු, මෛත්‍රිය හොඳින් පවතින විට දෙවනුව තමන්ගේ ප්‍රිය, ළඟින් ඇසුරු කරන පුද්ගලයෙක් තෝරා ගත යුතු වේ. ඒ පුද්ගලයා ද අරමුණු කරගෙන, පළමුව තමන්ට මෙත් වැඩීමෙන් ලැබුණු සැනසීම, සුවය ඒ පුද්ගලයාට ද ලැබේවා යන අදහසින් ‘මා මෙන් ම මේ තැනැත්තා ද වෛර නැත්තෙක් වේවා’ යනාදි ක්‍රමයෙන් මෙත් වඩන්න. මෙහි දී තමන්ට මෙන් ම දෙවන පුද්ගලයාට ද මෙත් වැඩීමෙන් ලද සැනසීම මේ ප්‍රිය පුද්ගලයාට ද ලැබේවා යන අදහස තබාගෙන, එය සාක්‍ෂ්‍ය ස්ථානයේ තබාගෙන මෙත් වැඩිය යුතු වේ. ඒ පුද්ගලයා ද සැනසීමට පත් වන ආකාරය මනසින් දැකීමට උත්සාහවත් විය හැකි වේ. එසේ කිසියම් වේලාවක් මෙත් වැඩීමේ දී ඒ පුද්ගලයා ද සුවපත් වන බවක් තම සිතට වැටහේ. ඒ තැනැත්තා අරමුණු කරගෙන මෛත්‍රි සිත පවතින බව වැටහේ. ඒ අනුව තමන්ට මෙත් වැඩීමේ දී ලැබුණු සැනසීම, සුවය නැවතත් දැනෙන්නට වෙයි. එසේ ම තමනුත්, දෙවන පුද්ගලයාත් මේ ප්‍රිය පුද්ගලයාත් යන තිදෙනා ම එක සමාන මට්ටමකට වෛර නැති පුද්ගලයන් ය යන හැඟීමක් සිතට දැනෙනු ඇත. එවිට ඒ පුද්ගලයාට ද මෙත් වැඩීම සාර්ථකව සිදු වී ඇති බව දැන ගත හැකි වේ.
තෙවනුව තවත් ප්‍රිය නමුදු දෙවනුව කී පුද්ගලයා තරම් ප්‍රිය නොවන පුද්ගලයෙක් තෝරාගන්න. ඒ තැනැත්තාට ද පෙර කී ක්‍රමයෙන් ම මෙත් වඩන්න. සතරවනුව මැදහත් පුද්ගලයෙක් තෝරාගන්න. ඒ තැනැත්තාට ද මේ ක්‍රමයෙන් ම මෙත් වඩන්න. ඊළඟට පිළිවෙළින් ප්‍රිය බව අඩු පුද්ගලයෙක් ද අප්‍රිය පුද්ගලයෙක් ද තෝරාගෙන මෙත් වැඩීම සිදු කරන්න.
මෙසේ පිළිවෙළට මෙත් වැඩීමේ දී එකිනෙක පුද්ගලයාට මෛත්‍රි සිත ඇති වන තුරු අනෙක් පුද්ගලයාට මාරු වීම නො කළ යුතු වේ. තමන්ට සහ තමන්ගේ ප්‍රිය පුද්ගලයාට මෙත් වැඩීමේ දී කිසියම් මට්ටමකට සිත සමාධිමත් වේ ද, සැනසීමක්, සුවයක් දැනේ ද ඒ මට්ටමට එකිනෙක පුද්ගලයා අරමුණු කරගෙන මෙත් වැඩීමේ දී ද සමාධිමත් බවක්, සැනසීමක්, සුවයක් දැනිය යුතු වේ. එසේ නො දැනෙන්නේ නම් ඊළඟ පුද්ගලයාට මාරු නො වී බොහෝ වේලාවක් ඒ පුද්ගලයාට ම මෙත් වැඩිය යුතු වේ.
ඇතැම් විට අප්‍රිය පුද්ගලයෙක් අරමුණු කරගෙන මෙත් වැඩීමේ දී අපහසුවක් දැනිය හැකි වේ. මෛත්‍රිය නිසි පරිදි පැවැත්විය නො හැකි වේ. එවිට මෛත්‍රී සිත දියුණු කරගැනීමට උපක්‍රම කිහිපයක් අනුගමනය කළ හැකි වේ.
කිසියම් පුද්ගලයෙක් අරමුණු කරගෙන මෙත් වැඩීමේ දී පළමු පුද්ගලයා මෙන් මෛත්‍රී සිත නො පැවැත්වේ නම් අපහසුවක් දැනේ නම් නැවත ඊට පෙර පුද්ගලයාට ටික වේලාවක් මෙත් වඩන්න. යළිත් සිත සමාධිමත් වනු ඇත. ඒ සමාධිමත් සිතින් අප්‍රිය පුද්ගලයා අරමුණු කරන්න. ටික වේලාවක් මෙත් වැඩීමේ දී තවමත් අපහසු නම් නැවතත් පළමු කෙනාට මෙත් වඩන්න. නැවත අප්‍රිය පුද්ගලයා අරමුණු කරන්න. මෙසේ මාරුවෙන් මාරුවට මෙත් වැඩීමේ දී කිසියම් අවස්ථාවක සිත සමාධිමත් වී ඒ අප්‍රිය පුද්ගලයාට ද අනෙක් අයට මෙන් මෛත්‍රී සිත පැවැත්වෙනු ඇත.
එසේත් කළ නො හැකි නම් බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට ද්වේශයේ ආදීනව හා මෛත්‍රියේ ආනිසංස මෙනෙහි කළ හැකි වේ. ඒ තුළින් සිත මධ්‍යස්ථ තත්ත්වයට පත් කරගෙන අප්‍රිය පුද්ගලයන් අරමුණු කර මෙත් වැඩීමෙන් සාර්ථක වනු ඇත.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
පඨමජනසුත්තං
පඨමජනසුත්තං
55
‘‘කිංසු ජනෙති පුරිසං, කිංසු තස්ස විධාවති;
කිංසු සංසාරමාපාදි, කිංසු තස්ස මහබ්භය’’න්ති.
‘‘තණ්හා ජනෙති පුරිසං, චිත්තමස්ස විධාවති;
සත්තො සංසාරමාපාදි, දුක්ඛමස්ස මහබ්භය’’න්ති.
55
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
“කිමෙක් නම් සත්ත්‍වයා උපදවාද? ඔහුගේ කිමෙක් නම් ඒ මේ අත දිවේද? කිමෙක් නම් සසර වැදුනේද? කිමෙක් නම් ඔහුට(වූ) මහත්ම භය වේද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “තණ්හාව සත්ත්‍වයා උපදවයි. ඔහුගේ සිත ඒ මේ අත දිවෙයි. සත්ත්‍වයා සසර වැදුණේය. ජාති ජරාදී දුක ඔහුටවූ මහත් භයයි.”
Wednesday, April 14, 2021
වත්ථුසුත්තං
වත්ථුසුත්තං
54
‘‘කිංසු වත්ථු මනුස්සානං, කිංසූධ පරමො සඛා;
කිංසු භූතා උපජීවන්ති, යෙ පාණා පථවිස්සිතා’’ති (පථවිං සිතාති (සී. ස්‍යා. කං. පී.)).
‘‘පුත්තා වත්ථු මනුස්සානං, භරියා ච (භරියාව (සී.), භරියා (ස්‍යා. කං.)) පරමො සඛා;
වුට්ඨිං භූතා උපජීවන්ති, යෙ පාණා පථවිස්සිතා’’ති.
වත්‍ථු (හෙවත් කිංසුවත්‍ථු) සූත්‍රය
54
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිනූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
“මිනිසුන්ට පිහිට කිමෙක්ද? මේ ලෝකයෙහි උතුම් යහළුවා කවරේද? යම් ප්‍රාණි කෙනෙක් පොළොවෙහි වෙත්ද ඒ සත්ත්‍වයෝ කුමක් ඇසුරුකොට ජීවත් වෙද්ද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “දරුවෝ මිනිසුන්ට පිහිටයි. භාර්‍ය්‍යාවම උතුම් යහළුවායි. යම් ප්‍රාණීහු පොළොවෙහි වෙත්නම් ඒ සත්තු වැස්ස ඇසුරු කොට ජීවත් වෙත්.”
Sunday, April 11, 2021
මිත්ත සූත්‍රය
කිංසු පවසතො (පථවතො (පී. ක.)) මිත්තං, කිංසු මිත්තං සකෙ ඝරෙ;
කිං මිත්තං අත්ථජාතස්ස, කිං මිත්තං සම්පරායික’’න්ති.
‘‘සත්ථො පවසතො මිත්තං, මාතා මිත්තං සකෙ ඝරෙ;
සහායො අත්ථජාතස්ස, හොති මිත්තං පුනප්පුනං;
සයංකතානි පුඤ්ඤානි, තං මිත්තං සම්පරායික’’න්ති
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීරවර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
“පිටරට යන්නහුගේ මිත්‍රයා කවරේද? සිය ගෙයි වසන්නහුගේ මිතුරා කවරේද? උපන් කටයුත්තක් ඇත්තහුට මිත්‍රයා කවරේද? පරලොව යන්නහුට හිතවූ මිතුරා කවරේද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “පිටරට යන්නහුගේ මිත්‍රයා ගැල් රංචුව හෝ තවලමයි. සිය ගෙයිදී මිතුරා මවුයි. උපන් වැඩක් ඇත්තහුට යලි යලිත් මිතුරා යහළුවායි. තමා කළ යම් පින් ඇත්ද, ඒ පරලොවට හිතවූ මිතුරායි.”
සැබෑ මිතුරාගේ ලක්‍ෂණ
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
කථිකාචාර්ය ආචාර්ය
මැදගොඩ අභයතිස්ස හිමි
බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍ර දේශනාවෙන් පෙන්වා දී තිබෙන්නේ සැබෑ මිතුරාගේ ලක්‍ෂණය. අද සමාජයේ සමහර මිතුරෝ කළ හැකි දෑ නොකරති. ඉවසිය හැකි තැන නොඉවසති. දීමට හැකි තැන නොදෙති. කළ හැකි දේවත් නොකරන ඔවුන්ගෙන් කිරීමට නොහැකි දෑ ගැන බලාපොරොත්තු තැබිය හැක්කේ කෙසේද? මෙවැනි මිතුරන් ඇසුරු නොකළ යුතුය.
බුදුරජාණන් වහන්සේ ඇසුරු කළ යුතු මිතුරා පෙන්වා දුන් මෙම සූත්‍ර දේශනාව “ මිත්ත සූත්‍රයයි” මෙම සූත්‍රය අයත් වන්නේ අංගුත්තර නිකායේ තික නිපාතයට අයත් යෝධාජීව වග්ගය ටයි. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
“තීහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො මිත්තො සෙවිතබ්බො”
” මහණෙනි , අංග තුනකින් සමන්විත මිතුරා සේවනය කළ යුතුයි”
“ කතමෙහි තීහි? “ “ කවර අංග තුනකින්ද? “
”දුද්දදං දදාති “ දීමට බැරි දේ දෙන්නා
“දුක්කරං කරොති “ කිරීමට දුෂ්කර දේවල් කරන්නා
”දුක්ඛමං ඛමති “ ඉවසීමට නොහැකි දෑ ඉවසන තැනැත්තා
”ඉමෙහි ඛො භික්ඛවෙ, තීහි අඛ්ගෙහි සමන්නාගතො මිත්තො සෙවිතබ්බො “
“මහණෙනි, මේ අංග තුනෙන් සමන්විත මිත්‍රයා සේවනය කළ යුතුය” යනුවෙනි.
බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍ර දේශනාවෙන් පෙන්වා දී තිබෙන්නේ සැබෑ මිතුරාගේ ලක්‍ෂණය. අද සමාජයේ සමහර මිතුරෝ කළ හැකි දෑ නොකරති. ඉවසිය හැකි තැන නොඉවසති. දීමට හැකි තැන නොදෙති. කළ හැකි දේවත් නොකරන ඔවුන්ගෙන් කිරීමට නොහැකි දෑ ගැන බලාපොරොත්තු තැබිය හැක්කේ කෙසේද? මෙවැනි මිතුරන් ඇසුරු නොකළ යුතුය. සමාජයේ බොහෝ විට දකින්නට ලැබෙන්නේ හුදෙක් තමවාසියම තකා තමන් ආශ්‍රය කරන මිතුරන්ය. එක් සංස්කෘත ශ්ලෝකයක ඥාති මිත්‍රාදීන් ගැන මෙසේ සඳහන් වේ.
“ උත්සවෙ ව්‍යසනෙ චෛව - සංග්‍රාමෙ රාෂ්ට්‍ර විප්ලවෙ
රාජද්වාරෙ ස්මශානෙ – යඞ තිෂ්ඨති ස බාන්ධවඞ “
යමෙක් මිතුරෙක් නම් උත්සවයෙහි , ව්‍යසනයේදී, යුද්ධයේදී එකට සිටිය යුතුය. එසේම රටට යුද්ධයක් පැමිණි කල, රජ දොරට හෙවත් රාජකීය දඬුවමකට යටත් වන විට සොහොනට යන කල්හි එකට සිටින්නේ මිතුරාය. මේ ආකාරයට සෑම තැනකම නොවෙනස් වන තැනැත්තා මිතුරා වේ.
“ මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවැති
බිතු සිතුවම් රූමෙන් පිටු නො පාවිති “
මිතුරා බිත්තියක ඇඳි සිතුවමක් මෙනි. සිතුවම ඉදිරියම බලා සිටියි. පිටු නොපායි. එමෙන් පිටු නොදකින ස්වභාවය කල්‍යාණ මිත්‍රයෙකු සතු ලක්‍ෂණයකි.
“භරියාව පරමා සඛා “ යන්නෙන් පැවසෙන්නේ බිරිය ස්වාමි පුරුෂයාගේ පරම මිතුරිය බවයි. දෙදෙනා තුළ හට ගන්නා මිතුරු බව අවියෝජනීය බැඳීමක් බවට පත්වේ. නකුල මාතා නකුල පිතා අතර පැවතුණේ අඹුසැමි සම්බන්ධයට වැඩි මිත්‍රත්වය මත පදනම් වූ බැඳීමකි. සමාජය තුළ මෙම ස්වාමි භාර්යා මිත්‍රත්වය හදුනාගත් අය සතුටින් ජීවත් වෙති. ඇසුරු කිරීම තුළින් මිත්‍රත්වය හඳුනා ගත යුතුය. කන්දරක සූත්‍රය කදිම නිදසුනකි. එහිදී බුදුරජාණන් වහන්සේ සහ පෙස්ස හත්ථාරෝහපුත්රයා අතර මෙවැනි සංවාදයක් සිදුවී තිබේ.
“ගහනං හෙතං භන්තෙ යදිදං මනුස්සා “ මිනිසා සැඟවුණූ චරිත ඇත්තෙකි. තිරිසන් සතුන් එසේ නොවේ. මිතුරුකම යහළුකම පෙන්වයි. මිතුරු නොවන තැනදී ගොරවයි. හපන්නට පනියි. එහෙත් මිනිසා තුළ ඇත්තේ යටපත් වූ හැඟීම වේ. බොහෝ මිනිස්සු මතුපිටින් මිතුරුකමත් යටින් සතුරුකමත් තබා ගැනීමට පුරුදුව සිටිති.
මිත්ත, සක යනු දෙදෙනෙකි. එහිදී “ මිත්ත” යනු යම්කිසි ව්‍යසනයකදී, කරදරයකදී එකතුවන මිතුරා වේ. “ සක” යනු තමාගේ කුඩා කල සිට එකට එක්ව පැමිණෙන මිතුරා වේ. සමඟ වැඩුණු පුද්ගලයා සගයා වේ. එහිදී ස්වකීය බවක් තමන්ගේ බවක් ඇත. මිතුරන් රැසක් සිටින අතර ජීවිතයට යහපත ළගා කර ගැනීමට උපාකාරවන, නිවැරැදි මාර්ගය පෙන්වා දෙන ඒ කිසිත් නැතිව චාටුවෙන් රවටාගෙන ඇසුරු කරන වශයෙන් මිතුරන් විවිධාකාර වේ. බුදුන් වහන්සේ මිතුරා ගැන මෙසේ පෙන්වා දෙන සේක. “ විස්සාසපරමා ඤාති “ විශ්වාසය උතුම් නෑයා බවයි. මෙය මිත්‍රත්වයට ද අදාළ කර ගත හැකිවේ. අප විශ්වාසය ඇති කර ගන්නා අය අපගේ යහපතට කටයුතු කරන්නන්ද අයහපතට කටයුතු කරන්නන්ද යනුවෙන් විමසා බැලීමට අප බුද්ධිමත් විය යුතුය.
කුක්කුට ජාතකයේදී පෙන්වා දෙන්නේ මිත්‍ර භාවයෙන් සතුරන්ද සිටින බවයි. අප මහා බෝසතාණන් වහන්සේ කුකුළු යෝනියේ ඉපදී සිටියහ. උකුස්සෙක් කුකුළු රැළේ කුකුළන් ඩැහැගෙන කෑවේය. එහෙත් බෝසත් කුක්කුටරාජයා ඉතා ආරක්‍ෂා සහිතව යාම් ඊම් කළ අතර උණ පඳුරක් තුළ වාසය කළේය. මේනිසා උකුසු උවදුරට ලක් කරගැනීම අපහසු විය. එවිට උකුස්සා මෙසේ පැවැසුවේය.
“යහළුවේ , ඔබ කෙතරම් ලස්සනද? අප දෙදෙනාම එක්ව ආහාර සොයමු එවිට බෝසත් කුක්කුට රාජයා පැවසුවේ මෙසේය.
“මිතුරු වෙසින් එන සතුරෝද සිටිති. නුඹ සමඟ මාගේ මිතුරු බවක් නැත “ යනුවෙනි. පාප මිතුරන් හඳුනා ගැනීමට තරම් අප පරිස්සම් විය යුතුය. පාප මිතුරෙක් සිටිනවාට වඩා හොඳ සතුරෙක් සිටීම හොඳය. හොඳ සතුරාගේ හානිය සීමිත වන නමුත් පාප මිතුරාගේ හානිය අසීමිත වේ.
“ ගී කිය කියා ලේ බොන මදුරුවාට වඩා
කොටියා හොඳයි එකපාරට පනින කඩා “
ගී කියමින් ලේ උරා බොමින් මඳුරුවන් මෙන් අප ජීවිත විනාශ කිරීමට ක්‍රියා කරන මිතුරෝ වෙති. යමෙකුට හොඳ මිතුරෙකු නොලැබේ නම් කඟවේනෙක් මෙන් තනිව සිටින ලෙසද, අසත්පුරුෂ මිතුරන් නැති විට ජීවිතය යහපත් වන බවද බුදුදහමේ උගන්වයි.
ජාතක පාලියට අනුව අකෘතඥයෙකුට මහපොළොව දුන්නද ප්‍රයෝජනයක් නොමැත. ඒ කුමන ආකාරයකින් හෝ අකෘතඥයා හෙවත් කළගුණ නොදත් පුද්ගලයා සතුටු කළ නොහැකි නිසාය. ඒ නිසා මිතුරෙක් නම් කළ ගුණ සලකන්නෙක් විය යුතුම ය.
මිත්‍රද්‍රෝහී නොවීමේ ආනිසංස රැසක් බුදුදහමේ සඳහන් වේ. යමෙක් මිත්‍රද්‍රෝහී නොවුවහොත් ඒ තැනැත්තාට හොඳින් ආහාර ලැබේ. බොහෝ දෙනෙක් ඔහු යටතේ ජීවත්වෙති. ඔහු කන්දකින්, පර්වතයකින් ගසකින් වැටුණාද පිහිටක් ලබන්නේ වෙයි. ඔහු ඇති කරන එළදෙනුන්ට පැටවු ලැබේ. කුඹුරු හොඳින් වැඩීමට පත්වෙයි. දරු ඵල ලැබේ. තවද හෙතෙම ගින්දර මෙන් දෙවියෙක් මෙන් බබළන අතර ශි‍්‍රයාව ඔහු අත්නොහැර සිටියි.
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මුළු සසුන් බඹසරම මිත්‍රත්වය මත පවතින බවයි. මෙලෙස යහපත් මිත්‍රත්වය තුළින් ලොවුතුරා ඵල ලද හැකිය. ඒ සඳහා තමා පළමුව යහපත් මිතුරෙකු බවට පත් වී අන් යහපත් මිතුරන් හඳුනා ගත යුතුය. තමා වංචනික නොවන කල වංචනික නොවන සැබෑ මිතුරන් හඳුනා ගත හැකිය. ඒ තුළින් මිත්‍රත්වයෙන් ලද හැකි උතුම් ඵල ලද හැකිවේ.
නිරෝගි මනසකින් දහම දකිමු
නිරෝගි මනසකින් දහම දකිමු
තලල්ලේ චන්දකිත්ති හිමි
සමාජයේ බොහෝ දෙනෙක බොහෝම සුළු කරුණක් සඳහාත් තරහ ගන්නවා. ඇයි ඔබට මෙතරම් කේන්ති යන්නේ කියලා ඇසුවොත් බොහෝ අය විවිධ හේතු කියන්න පුළුවන්. නමුත් ඒ හේතු සියල්ලම හොඳට විමසලා බැලුවොත් තරහ යන්නේ ප්‍රධාන හේතු දෙකක් නිසා. ඒ තමයි කැමැති දේ නොලැබීම. දෙවැනි එක තමයි අකමැති දේ ලැබීම. අපි කැමැතියි අපිව කවුරුහරි වර්ණනා කරනවා නම්. තමා ගැන මේ අය හොඳ දෙයක් කියයි කියලා අපි නිතරම හිතාගෙන ඉන්නවා. එහෙම ඉන්න අවස්ථාවක හොඳක් කිව්වේ නැත්නම් අපට තරහ යනවා. ඇයි? අපි බලාපොරොත්තුවෙන් සිටිය දේ නොලැබී ගිය නිසා
සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වන්නේ සියලු සත්වයන් දුකෙන් නිදහස් කිරීම උදෙසායි. උන්වහන්සේ අපට කියාදෙනවා දුකෙන් නිදහස් වන මාර්ගය පිළිබඳව. ඒ මාර්ගයේ ගමන් කරන ආර්ය ශ්‍රාවකයන් සංසාර දුකෙන් නිදහස් වී සැපත ළඟාකර ගනු ලබනවා. ඒ දුකෙන් නිදහස් වන මාර්ගයේ ගමන් කිරීමේදී අපේ ජීවිතවලට පුරුදුකළයුතු බොහෝ ගුණාංග තිබෙනවා. ඒ එක් ගුණාංගයක් සඳහන් සූත්‍ර දේශනාවක් අපි අද කථා කරනවා.
ඒ සූත්‍රයේ නම තමයි ආඝාතපටිවිනය සූත්‍රය. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ මෙය සඳහන්ව තිබෙනවා. ආඝාතපටිවිනය නමින් සූත්‍ර දේශනා දෙකක් තිබෙනවා. පඨම ආඝාතපටිවිනය සූත්‍රය වදාළේ භාග්‍යවතුන් වහන්සේ. දුතිය ආඝාතපටිවිනය සූත්‍රය වදාළේ සැරියුත් මහ රහතන් වහන්සේ. ආඝාත කියන්නේ තරහ කියන එක. පටි කියන්නේ නැවත නැවත කියන එක. විනය කියන්නේ හික්මවීමයි. හට ගත් තරහ නැවත නැවත නොකර හික්මවා ගැනීමයි මෙහි සරල තේරුම. ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදය තමයි මෙම සූත්‍රයේ සඳහන්ව තිබෙන්නේ.
අප සමාජයේ බොහෝ දෙනෙක් බොහෝම සුළු කරුණක් සඳහාත් තරහ ගන්නවා. ඇයි ඔබට මෙතරම් කේන්ති යන්නේ කියලා ඇසුවොත් බොහෝ අය විවිධ හේතු කියන්න පුළුවන්. නමුත් ඒ හේතු සියල්ලම හොඳට විමසලා බැලුවොත් තරහ යන්නේ ප්‍රධාන හේතු දෙකක් නිසා. ඒ තමයි කැමැති දේ නොලැබීම. දෙවැනි එක තමයි අකමැති දේ ලැබීම. අපි කැමැතියි අපිව කවුරුහරි වර්ණනා කරනවා නම්. තමා ගැන මේ අය හොඳ දෙයක් කියයි කියලා අපි නිතරම හිතාගෙන ඉන්නවා. එහෙම ඉන්න අවස්ථාවක හොඳක් කිව්වේ නැත්නම් අපට තරහ යනවා. ඇයි? අපි බලාපොරොත්තුවෙන් සිටිය දේ නොලැබී ගිය නිසා. අප සිතනවා මේ පුද්ගලයාට මෙතරම් උදව් උපකාර කර තිබියදීත් මා ගැන හොඳක් කිව්වේ නැහැනේ යැයි සිතා දොම්නසට පත්වෙනවා. ඒ තමයි කැමැති දේ නො ලැබීම.
ඊළඟ කාරණය තමයි අකැමැති දේ ලැබීම. අප කවුරුවත් කැමැති නැහැ බැනුම් අහන්න. ඒ වගේම අපේ නරකක් කියනවා නම් අපේ දෙයක් බලෙන් ගන්නවානම් අපිට තරහ යනවා. ඉතින් මේ හේතු දෙකම මුල් වෙලා තරහ යන ආකාර නමයක් මේ දේශනාවේ සඳහන්. එය නවාඝාත වශයෙන් සඳහන් වෙනවා. නවාඝාතය කොටස් තුන තුන වශයෙන් තේරුම් ගත යුතුයි.
පළමු කොටස් තුන තමයි යම් කෙනෙක් මට අතීතයේ දී අනර්ථය කළායැයි සිතමින් තරහ ගන්නවා. එය කයින්, වචනයෙන් සහ සිතින් කරන්න පුළුවන්. සමහර විට අවුරුදු ගණනකට පෙර කළ දේ සිතමින් ඒ තරහ පෝෂණය කරමින් ජීවත් වෙනවා. ඊළඟ එක තමයි වර්තමානයේ සිදුවීම් සිහි කරමින් තරහ පෝෂණය කරනවා. ඊළගට අනාගතයේදීත් මේ අය මට ඊර්ෂ්‍යා කරයි, මගේ දේ පැහැර ගනියි කියා අනාගතය උපකල්පනය කරමින් තරහ සිතක් ඇතිකර ගනු ලබනවා.
සමහර පුද්ගලයන් ඉන්නවා තමන්ට බනින එකත්, අම්මට තාත්තට බනින එකත්, රටට ජාතියට ආගමට බනින එකත් ඉවසන්න පුළුවන්. ඉවසන්න බැරිම දේ තමා තමා අමනාප තමාට අප්‍රසන්න පුද්ගලයකුගේ ගුණ අහන්න ලැබීම. සාමාන්‍ය පෘතග්ජන ගතියට අපි කවුරුත් අකැමැතියි අමනාප පුද්ගලයෙකුගේ ගුණ අහන්න. ඒ පුද්ගලයාගේ වැරැද්දක් කිවුවොත් ඇත්ත තමයි මාත් දැක්කා, එයා එහෙමම තමයි කියමින් අඩුපාඩු එකතු කරන්න කැමැතියි. ගුණයක් කිවුවොත් ඒක අනුමෝදන් වෙන්න කැමැති නැහැ. අප උත්සාහ කරන්නේ අප අමනාප පුද්ගලයාගේ වැරැදි සාධාරණීය කරලා ඒක හරියි කියලා ලෝකයාට හේත්තු ගන්වන්න. අපේ සිත කැමැති තරහ පුද්ගලයාගේ වරදම දකින්නයි. නරකම දකින්නයි. එහෙම අවස්ථාවක එයාගේ හොඳක් අසන්නට ලැබුණොත් අපට කේන්ති යනවා. සිතේ අමනාපයක් ඇතිවෙනවා. එතැනදී අපි කැමැති දේ ලැබුණේ නැහැ. අකැමැති දේ ලැබුණා. එයින් අපගේ සිතට තරහවක් ඇතිවෙනවා. වර්තමානයේදීත් අනාගතයේදීත් ඒ ඒ ආකාරයට ගලපමින් තරහ සිතක් ඇතිකර කර ගන්නවා. මේ විවිධාකාරයට තරහ යාම් නැත්නම් ද්වේෂය අපේ සිතේ හට ගන්නවා. මොන ආකාරයට තරහ ගියත් එය සාධාරණීය කරන්න පුළුවන් කාරණයක් නම් නොවේ. එය පාපතර අකුසල සිතිවිල්ලක්. සිත දුර්වල කරන, සිත කෙළෙසන, සිතේ වටිනාකම නැති කරන ප්‍රභාශ්වරය නැති කරන දුර්වර්ණ කරන අපවිත්‍ර කරන සිතිවිල්ලක්.
සිතට එන නරක සිතිවිලි නවත්වා ගන්න නම් අප කරන්න ඕන ඒ සිතට එන අකුසලයට වටිනාකමක් නොදී සිටීමයි. ඕනෑම සිතිවිල්ලකට වටිනාකමක් දුන්විට ඒ සිතුවිල්ල සිතේ ස්ථාවර වෙනවා. සිතිවිලිවලට වටිනාකමක් ලැබෙන්නේ නැවත නැවත එයම සිතන්නට පටන්ගත් විටයි. ද්වේෂය හටගත් අවස්ථාවක එයම සිතුවොත් එය සිතේ තහවුරු වෙනවා. ස්ථාවර වෙනවා. ඒ ස්ථාවර සිතිවිල්ල ආවේගයක් බවට පත්වෙනවා. ආවේගය කියන්නේ වේගයෙන් අප කරා එන සිතිවිල්ලයි. වේගය වැඩිවුනාම අභ්‍යන්තර පාලනයෙන් තොරයි. සිතුවිලි වලට පානයක් නැතිවුණාම තමයි ඒවා පරුෂ වචන වශයෙන් එළියට එන්නේ. සිතුවිලිවල පාලනයක් නැතිවුණාම වැරැදි ක්‍රියා වශයෙන් එළියට එනවා. ඒ නිසා පාලනය කරන්න බැරි විදිහට සිතුවිලිවලට වටිනාකම් දෙන්න හොඳ නැහැ. නරක සිතිවිල්ල මෙනෙහි කරන්න හොඳ නැහැ. එහි ආදීනවය දැකිය යුතුයි. තමාට තමා වටා සිටින අයට, සමාජයට වන හානිය පිළිබඳව සිහිනුවණින් සිතා තමාගේ් සිතිවිල්ල පාලනය කර ගෙන වලක්වා ගත යුතුයි.
පළමු ආඝාතපටිවිනය සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ වදාළා සිත පාලනය කරන ක්‍රමවේද පහක්. දෙවැනි සූත්‍රයේදී සැරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළා තරහ ගන්නට හේතු රැස්කරන මිනිසුන් කොට්ඨාස පහක්එහි පළමු පුද්ගලයා තමයි ඔහුගේ කායික වැඩ අපිරිසුදුයි. නමුත් වචනය පිරිසුදුයි. දෙවැනි තැනැත්තා කායික ක්‍රියා පිරිසුදුයි, වචනය අපිරිසුදුයි. තුන්වැනි පුද්ගලයා කායික ක්‍රියාත්, වාචසික ක්‍රියාත් අපිරිසිදුයි. නමුත් ඉඳහිට යහපත් සිතිවිල්ලක් ඇතිකර ගනු ලබනවා. හතරවැනි පුද්ගලයාගේ කායික වාචසික ක්‍රියා මෙන්ම සිතිවිලිත් යහපත් නැහැ. පස්වැනි පුද්ගලයාගේ කායික, වාචසික මෙන්ම සිතිවිලිත් ඉතා හොඳයි.
මෙහි සඳහන් පළමු, දෙවැනි, තුන්වැනි පුද්ගලයන් ඇසුරු කරන්නට ලැබුණාම අපට තරහ යනවා. ඔවුන්ගේ ඇසුරේදී අපේ සිතේ නිතරම ද්වේෂයක් හට ගන්නවා. ඉතින් සැරියුත් මහරහතන් වහන්සේ වදාළා අර පුද්ගලයන්ගේ තිබෙන සියලු වැරැදි නොසිතා තිබෙන එක හොඳ පමණක් සිහි කරන්න කියා. අනුන්ගේ නරක සිතන්නට සිතන්නට නරක් වෙන්නේ අපේ සිත. අනුන්ගේ හොඳ සිතන්නට සිතන්නට හොඳ වෙන්නෙත් අපේ සිත. අනෙක් කෙනාගේ නරක දකිමින් අපේ සිතට කේන්තියක් ඇතිකර ගන්නවා නම් එහි හානියක් අපටමයි.
මේ ආකාරයට අපට තරහ යනවා නම් ඒ තරහ පාලනය කර ගන්න භාග්‍යවතුන් වහන්සේත් අපට දේශනා කළා ක්‍රම පහක්. පළමු ක්‍රමය තමයි මෛත්‍රීය උපදවා ගැනීම. මෛත්‍රීය කියන්නේ මිතුරුකමයි. යාලුකම. කෙනෙකුගේ නරක ගැන සිතන්නේ නැතිව හොඳ පමණක් සිතනවා නම්, තරහ සිතිවිලි නැතිවෙලා යනවා. යම් පුද්ගලයෙක් පිළිබඳව තරහක් එනවානම් ඔහුගේ් හොඳක්ම දකින්න පුරුදු වෙන්න ඕනෑ.
දෙවැනි කාරණය තමයි කරුණාව පුරුදු කිරීම. කරුණාව කියන්නේ කෙනෙක් අසරණ වුණාම පිහිටවීම. කෙනෙක් අපට දොස් කිව්වාම අපේ සිතේ කේන්තියක් ඇති වෙනවා. එය පාලනය කරගන්න ඔහුට කරුණාව දක්වන්න ඕන.
මම නිසා මොහුගේ සිතේ තරහක් ඇතිවෙනවා නම් ඒ තුළින් ඉවත්වෙලා ඉන්න ඕනෑ කියා කරුණාව ඇතිකර ගන්න ඕන.
ඒ වගේම තුන්වෙනි කාරණය තමයි කා සමඟ හරි තරහවක් ඇති වූ විට තමාගේ සිතේ උපේක්ෂාවක් ඇතිකර ගන්න උත්සාහ කරන්න ඕනෑ. උපේක්ෂාව කියන්නේ මධ්‍යස්ථව සිටීම. ඕනෑම දුකක් අපට වැඩිවෙන්නේ ඒ දුක පුද්ගලික කර ගැනීමෙන්. අනේ අපටමයි මේ කරදර. හැමදාම අපට දුක පමණයි කියා හිතන්නට හිතන්නට දුක වැඩියි. දුක කියන්නේ පොදු ධර්මතාවයක් කියා සිතූවිට දුක වෙනවා.
හතරවැනි කාරණය තරහ ඇතිවන විට අරමුණ මාරු කිරීම. කෙනෙක් දොස් කියපු අවස්ථාවක එයම නො සිතා වෙන දෙයක් සිතිය යුතුයි. එහෙම නැත්නම් පොතක් කියවන්න, ගීතයක් අහන්න වැනි දෙයක් කරන්නට පුළුවන්. අවධානය වෙනතකට යොමු කළවිට වේදනාව අඩු වෙනවා. එනිසා අප ද්වේෂය ඇවිස්සී එන අරමුණට වටිනාකමක් නොදී වෙනත් අරමුණක් සිතීමට පුරුදු කරන්නට මහන්සි වෙන්න ඕනෑ.
ඊළඟ කාරණය තමයි කා සමඟ හෝ තරහවක් ඇතිවූ විට භාග්‍යවතුන් වහන්සේ වදාළා කර්මයේ ස්වකීයත්වය ගැන සිතන්න කියලා. යම් කර්මයක් තමා විසින් කළ විට එය තමාට දායාද ලෙස ලැබෙනවා කියා විශ්වාසයක් ඇතිකර ගෙන මේ පුද්ගලයා මට දොස් කියලා බැනලා අකුසල් සිදුකර ගත්තා. එහි විපාක ඔහුට ලැබෙයි. මමත් එකටෙක කළොත් මටත් විපාක විඳීන්නට සිදුවෙයි කියා කර්මය පිහිට කරගෙන අකුසල් සිත බැහැර කරන්න ඕනෑ.
එනිසා ඉවසීම පුරුදු කළ යුත්තේ ද්වේෂය ඇවිස්සී එන විටයි. මෛත්‍රීය පුරුදු කරන්න ඕනෑ එතනැදීයි. එහෙම කරනවිට ද්වේෂය පාලනය කර ගන්න අපට පුළුවන්කම තිබෙනවා. එසේ කළවිට නිරෝගී මනසකින් එදිනෙදා ජීවිතයේ සුවසේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට ඔබටත් අවස්ථාව උදා වෙනවා.
Friday, April 9, 2021
ජරාසුත්තං
ජරාසුත්තං
51
‘‘කිංසු යාව ජරා සාධු, කිංසු සාධු පතිට්ඨිතං;
කිංසු නරානං රතනං, කිංසු චොරෙහි දූහර’’න්ති.
‘‘සීලං යාව ජරා සාධු, සද්ධා සාධු පතිට්ඨිතා;
පඤ්ඤා නරානං රතනං, පුඤ්ඤං චොරෙහි දූහර’’න්ති.
ජරා (හෙවත් කිංසුජරා) සූත්‍රය
51
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
“මහලු බව දක්වාම කිමෙක් නම් යහපත්ද? කිමෙක් (සිතෙහි) පිහිටීම යහපත්ද? කිමෙක් නම් මිනිසුන්ට රත්නයක් වේද? කිමෙක් නම් සොරුන් විසින් හැරගෙන යා නොහැකිද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “මහලුබව දක්වාම සිල් රැක්ම යහපති, ශ්‍රද්‍ධාව ස්ථිරව පිහිටීම මැනවි. ප්‍රඥාව මිනිසුන්ට රත්නය වේ. පින සොරුන් විසින් පැහැරගත හැකි නොවේ.”
ජරාසුත්තං |
51 ‘‘කිංසු කිංසු නරානං රතනං, කිංසු චොරෙහි දූහර’’න්ති. ‘‘සීලං යාව ජරා සාධු, සද්ධා සාධු පතිට්ඨිතා; පඤ්ඤා නරානං රතනං, පුඤ්ඤං චොරෙහි දූහර’’න්ති. |
Wednesday, April 7, 2021
වනරොප සූත්‍රය
Monday, April 5, 2021
අච්ඡරාසුත්තං
අච්ඡරාසුත්තං
‘‘අච්ඡරාගණසඞ්ඝුට්ඨං, පිසාචගණසෙවිතං;
වනන්තං මොහනං නාම, කථං යාත්‍රා භවිස්සතී’’ති.
‘‘උජුකො නාම සො මග්ගො, අභයා නාම සා දිසා;
රථො අකූජනො නාම, ධම්මචක්කෙහි සංයුතො.
‘‘හිරී තස්ස අපාලම්බො, සත්‍යස්ස පරිවාරණං;
ධම්මාහං සාරථිං බ්‍රූමි, සම්මාදිට්ඨිපුරෙජවං.
‘‘යස්ස එතාදිසං යානං, ඉත්ථියා පුරිසස්ස වා;
ස වෙ එතෙන යානෙන, නිබ්බානස්සෙව සන්තිකෙ’’ති.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණ්න් විසින් කරවනලද ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
“දිව්‍ය ස්ත්‍රී සමූහයාගේ ඝෝෂා සහිතවූ, දිව්‍ය ස්ත්‍රූී නමැති පිශාච සමූහයා විසින් සේවනය කරනලද, ඒ උයන මෝහන නම්. මෙයින් නික්මීම කෙසේනම් වන්නේද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “ඒ මාර්‍ගය, ඎජු මාර්‍ගයකි. එයින් යන ඒ දිශාව (භය නැති) දිශාවකි. ධර්‍ම චක්‍ර දෙකින් යුත් ඒ රථය (බර වැඩි වීමෙන් හෝ තෙල් නොදැමීමෙන් හෝ) හඬ නොනගන්නේ වෙයි.
“හිරි ඔතප් දෙක (හේත්තුවන) පුවරුවය. සිහිය එහි පිරිවර උපකරණය. ධර්‍මය රියැදුරායයි මම කියමි. විදර්‍ශනා සම්‍යග්දෘෂ්ඨිය (රජු යන රථයට පෙරටුව යන පුරුෂයා මෙන් මාර්‍ග ෂම්‍යක්දෘෂ්ඨියට) පෙරටුව යන්නාහ.
“ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ යමකුහට මෙබඳු රථයක් වේ නම්, ඒකාන්තයෙන් හෙතෙම ඒ රථයෙන් නිවන් වෙතම යෙයි.”
Friday, April 2, 2021
සැපවත් ජීවිතයකට හිමිකම් කියන්මෝ
සැපවත් ජීවිතයකට හිමිකම් කියන්මෝ
කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩ සිටි සමයෙහි භාග්‍යවතුන් වහන්සේ එක් දිනෙක පිඬු පිණිස නගරය බලා වැඩම කළ සේක. කුඩා දරුවන් පිරිසක් එක්ව දණ්ඩක් රැගෙන නාගයෙකුට හිංසා පීඩා කරනු තථාගතයන් වහන්සේ දුටු සේක.
දරුවන්ගේ එම ක්‍රියාව අනුමත නොකළ භාග්‍යවතුන් වහන්සේ ඔවුන් අමතා “සැප කැමැතිවන යමෙක්, සුවයට කැමැති සෙසු සත්වයන් හිංසනයට ලක් කරන්නේ නම්, එම තැනැත්තා පරලොව දී සැප නොලබයි. එහෙත් සැප කැමැති යම් කෙනෙක් සැපයට කැමැති සෙසු සත්වයන්ට හිංසා නොකරයි නම් හෙතෙම පරලොව දී සැප ලබයි” යනුවෙන් දේශනා කළහ.
උදාන පාලියේ එන දණ්ඩ සූත්‍රයේ ඇතුළත් මෙම අදහස කාල, දීප, දේශ භේදයකින් තොරව සැම තැනකටම, සැම කෙනෙකුටම අදාළවන විශ්වීය සදාචාරාත්මක ඉගැන්වීමකි. මිනිසා මෙන්ම සතුන්ද හිංසනයට හා පීඩාවට පත්කිරීම වර්තමාන ලෝකයේ පොදුවේ දක්නට ලැබෙන ප්‍රවණතාව යි. මේ අනුව අන්‍යයන් හිංසනයට හා පීඩනයට පත්කිරීම විවිධ නයින් සිදුවේ. හිංසනය හේතුවෙන් දුකට වේදනාවට පත්වන මිනිසුන්ගේ මෙන්ම සතුන්ගේ ද ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් ඉදිරිපත් වීමට විවිධ සංවිධාන බිහිවී තිබෙන අතර ඉදිරියටත් එවැනි සංවිධාන නිර්මාණය වෙමින් පවතී. මෙම පසුබිම යටතේ බුදුරදුන් වදාළ ඉහත උපදේශය බෙහෙවින් වැදගත් වේ.
බුදුරදුන්ගේ ධර්මය හිංසනය මුළුමනින්ම පිටු දකින, සදාචාරාත්මක ඉගැන්වීම් පද්ධතියකි. පංච ශිලයේ පළමුවන ශික්‍ෂා පදයෙන් ආරම්භ කෙරෙන අවිහිංසාවාදී පිළිවෙත නිර්වාණගාමී ප්‍රතිපදාව යටතේ ශීලයේ පදනම වශයෙන් පිළිගෙන තිබේ. අවිහිංසාව මෙතරම් වැදගත් කොට සලකන්නේ එය සියලුම ජීවීන්ගේ සහජ අවශ්‍යතාව වන නිසයි. ලොව සෑම ජීවියෙක්ම හිංසනයට හා දඬුවමට අකැමැති ය (සබ්බේ තසන්ති දණ්ඩස්ස). එය පොදු ධර්මතාව යි. එය එසේ නොවේ යැයි කිසිවෙකුටත් පැවසිය නොහැකි ය. මෙම සනාතන ධර්මය අනුවය බුදුරදුන් හිංසනය හා දඬුවම අනුමත කර නොමැත්තේ. බුදුරදුන් හිංසනයෙන් වැළකීමට අනුශාසනා කරන්නේ එයින් දිට්ඨධම්මික වශයෙන් මෙන්ම සම්පරායික වශයෙන් ද හානිකර ප්‍රතිඵල ඇතිකරන නිසයි. චුල්ලකම්මවිභංග සූත්‍රයේ දැක්වෙන පරිදි සියලු ජීවීන් ඝාතනය කරමින් දයාවෙන් තොරව කටයුතු කිරීමේ ප්‍රතිඵල වශයෙන් මරණින් පසු නිරයගාමීවන අතර, යම් හෙයකින් මනුෂ්‍යයෙකු ව උපදින්නේ නම් අල්පායුෂ්ක අයෙකු බවට පත් වේ. යමෙක් සියලු ජීවීන්ට අතින් (පාණිනා) පහරදීමෙන්, ගල් කැටවලින් (ලෙඩ්ඩුනා)පහර දීමෙන්, දඩුමුගුරුවලින් (දණ්ඩෙන) පහර දීමෙන් හෝ ආයුධවලින් (සත්‍ථනෙ) පහර දීමෙන් වෙහෙසට, දුකට, වේදනාවට, හිංසනයට පත්කරන්නේ නම් එහි ප්‍රතිඵලයක් වශයෙන් මරණින් පසුව නිරයේ උපදින අතර යම් හෙයකින් මිනිස් ලොව උපදින්නේ නම් ලෙඩ රෝග බහුල, ශරීරික පීඩා බහුල තැනැත්තෙක් බවට පත් වේ. යම් කෙනෙක් සියලු සත්වයන් කෙරෙහි දයාවෙන් යුක්තව මෙත්සිත පතුරුවමින් හිතානුකම්පීව වාසය කරන්නේ නම්, ඔහු හෝ ඇය මෙම අඳුරු සහගත, දුක්ඛදායක අත්දැකීම්වලට භාජනය නොවේ. මෙම බුද්ධ වචනය අනුව කවර ආකාරයේ හිංසනයක් වුවද බුදුදහමින් අනුමතකර නොමැත.
බොහෝ ආගම්වල විවිධ අරමුණු ඇතිව මනුෂ්‍ය ඝාතනය අනුමත කළ අවස්ථා තිබෙන මුත් බුදුරදුන්ගේ නෛර්යාණික දහමෙහි ඝාතනය මෙන්ම හිංසනයත් මුළුමනින්ම බැහැරකොට තිබේ. ඒ අනුව නූතන ලෝකයට ගැලපෙන උසස්ම ආගමික හා සදාචාරාත්මක ප්‍රතිපදාව බුදුසමය බව අවිවාදයෙන්ම පිළිගැනීමට සිදු වේ.
ධම්මපදයේ දැක්වෙන පරිදි සෑම ජීවියෙකුගේ ම සහජ ස්වභාවය නම්, මරණයට මෙන්ම දණ්ඩනයට අකැමැති වීම ය. තමා මෙන් ම අන්‍යයන් ද මරණය හා හිංසනය පිළිකුල් කරයි. මෙම පොදු ධර්මතාව මැනවින් වටහාගෙන තමා උපමා කරගනිමින් අනුන් නැසීමෙන් හා ඝාතනය කිරීමෙන් වැළකිය යුතුබව එහි දැක්වේ. මේ වනාහි මෙලොව පරලොව වශයෙන් ලැබෙන ලාභ අලාභ ගැන සැලකිලිමත් වීමෙන් ඇතිකරගන්නා විරතියක් හෝ වැළකීමක් නොවේ. ආත්මාවබෝධය පදනම්කරගත් උසස් සදාචාර ඤාණයක ප්‍රතිඵලය නිසා ඇතිකරගත් ප්‍රතිපත්තියකි. පරලොව තිබුණත්, නැතත් අපාය හෝ දෙව්ලොව තිබුණත්, නැතත් ප්‍රාණඝාතය මෙන්ම හිංසනය කිසිසේත් ම අනුමත කළ හැකි දෙයක් නොවේ. ධම්මපදයේ එන යථෝක්ත ඉගැන්වීමෙන් අවධාරණය කෙරෙන්නේ අතිශයින් ම දියුණු සංස්කෘතියකට හිමිකම් කියන උසස් මිනිසෙකුගේ ආකල්පය හා චින්තනය යි. වර්තමානයේ එය වෙනත් ආකාරයෙන් නීති රෙගුලාසි හඳුන්වා දෙමින් ක්‍රියාත්මක කිරීමට උත්සුක වුව ද, බුදුරදුන්ගේ ඉගැන්වීම වන්නේ ආත්ම අවබෝධය පදනම්කරගත් උසස් සදාචාර ඤාණයක් ඇතිකර ගැනීමෙන් පමණක් එයින් වැළකීම වඩාත් නිවැරැදි පිළිවෙත බව යි.
දණ්ඩ සූත්‍රයේ දැක්වෙන පරිදි සර්පයෙකු (නයෙකූ) හිංසනයට පත්කළ කුඩා දරු පිරිස අමතා බුදුරදුන් දේශනා කළේ සැප කැමැති, සැප සොයන යම් කෙනෙක් වෙතොත් එම තැනැත්තා හෝ තැනැත්තිය සැපයට කැමැති සෙසු ජීවීන් හිංසාවට හා පීඩනයට ලක් නොකළයුතු බවයි. අනුන් හිංසනයට හා පීඩනයට භාජනය කරන්නා පරලොව දී සැප නොලබන බවද, කුඩා දරුවන්ට පැහැදිලි කළ සේක. දණ්ඩ සූත්‍රයෙන් පෙන්වා දෙන්නේ අන්‍යයන්ට හිංසා කරන්නා පරලොව දී අයහපත් දුක්ඛදායක ඉරණමකට භාජනය වන බව යි. ඒ අනුව සැප කැමැති කෙනෙක් වෙතොත් ඔහු හෝ ඇය අන්‍යයන්ට හිංසා පීඩා කිරීමෙන් වැළකිය යුතු ය. සැප යනු අතිශය පුළුල් අර්ථයකින් යුක්ත වූවකි. එය කායික හා මානසික වශයෙන් අංශ දෙකකින් යුක්ත ය. ඒ අනුව කෙනෙකු කයින් ද, සිතින් ද දුකට වේදනාවට පත්කිරීම බුදුදහමට අනුව වරදකි. ඇතැම් විට කායික හිංසනය නොකළත් මානසිකව හිරිහැර කරනු දක්නට ලැබේ. එසේම අනුන්ට හිංසා කිරීමේ දී පළමුව කිලිටි වන්නේ තම සිතයි. ද්වේෂයෙන් හා මෝහයෙන් කිලිටි වූ සිතින් කියන කරන සැම දෙයකටම ලැබෙන අනුරූපි විපාක දුක්ඛදායක ය. ඒ අනුව අන්‍යයන් පීඩාවට පත්කිරීමේ දී වැඩි හානිය ඇත්තේ එම ක්‍රියාවෙහි නිරතවන්නාට බව වටහා ගැනීම අවශ්‍ය වේ.
අවිහංසාව (අවිහිංසා සංකප්ප) උසස් චින්තනයකට උරුමකම් කියන්නකි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සංකප්ප යටතේ මෙය අවධාරණය කර තිබේ. ඒ අනුව බුදු සමය පිළිපදින ආර්ය ප්‍රතිපදාව අනුගමනය කරන්නෙකුගේ චින්තනය පරපීඩා මානසික ධර්මයන්ගෙන් තොර වූවකි. සියලු සත්වයන් කෙරෙහි යොමු වූ හිතානුකම්පී බවකින් යුක්ත, සියලු සත්වයන්ගේ සුවය කැමැතිවන (සබ්බේසත්තා භවන්තු සුඛිතත්තා) උසස් චින්තනයකින් බෞද්ධයාගේ මනස සැකසී තිබේ. බෞද්ධ සංස්කෘතිය සැකසී තිබෙන්නේ ද මෙම උසස් පුරුෂාර්ථවලින් පෝෂණය ලැබීමෙනි. වෛර කරන්නන් අතර වෛර නොකර සිටීම (වෙරිනෙසු අවෙරිනො) බෞද්ධ පිළිවෙත වේ.
එහෙත් මෙම ඉගැන්වීම මගින් පෝෂණය වූ චින්තනයක් ඇත්තේ අතිශය සුළුතර පිරිසකට පමණි. බොහෝ දෙනෙකු හිංසනයට ලැදියාවක් දක්වන බව විවිධ සිදුවීම් ඇසුරෙන් වටහාගත හැකි ය. බෞද්ධ පිළිවෙත වන්නේ හිංසනය වෙනුවට සාමයෙන් ගැටලු විසඳා ගැනීම යි. කුඩා කල සිටම හිංසනය පිටු දකින, අන්‍යයන්ට අනුකම්පා කරන, දයාවෙන් යුක්ත අයෙකු බවට පත්වීමට දරුවන්ට මගපෙන්වීමට දණ්ඩ සූත්‍රය බෙහෙවින් වැදගත් වේ. එබැවින් දෙලොවින්ම කායික හා මානසික සුවය ලැබීමට නම් හිංසාවෙන් වැළකිය යුතු ය. ලොවට හිතානුකම්පීව දයාවෙන් යුක්ත පුද්ගලයා දීර්ඝ කාලීන සැපයට හිමිකම් කියයි.
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය
චුල්ල හත්ථිපදෝපම සූත්‍රය:
චුල්ල හත්ථිපදෝපම සූත්‍රය:
ලෞකිකත්වය ඉක්ම වූ ලෝකෝත්තර තත්ත්වයකට...
මහනුවර අස්ගිරි මහා විහාරයේ
කාරක සංඝසභික හා වයඹ පළාතේ
ප්‍රධාන සංඝනායක
උපාධ්‍යාය ධුරන්ධර මහාචාර්ය
තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි
මෙම ලිපියේ මුල් කොටස පොසොන් පුර පසළොස්වක පෝදා (ජුනි 16) පත්‍රයේ පළවිය
මේ සිව් ආකාරයෙන් ම බුදුරජාණන් වහන්සේගේ සැබෑ තත්වය දැන ගත නොහී, වාදයෙන් විවාදයෙන් , දෝෂාරෝපණයෙන් හා නින්දා අපහාස කර උන්වහන්සේගේ කීර්ති නාමය විනාශ කොට, උන්වහන්සේ පරාජය කර තම මිථ්‍යාමතවාදවලට ජනතාව වශී කරවා ක්‍රියා කරන්නට පැමිණෙන හැම මිථ්‍යා දෘෂ්ටිකයෙක් ම අවසානයේ දී උන්වහන්සේ ගේ ශ්‍රාවක බවට පත් වීම යි, මේ ඤාණ පද හතරෙන්ම ප්‍රකාශ වී තිබෙන්නේ. ඉතින් ඒ ශ්‍රාවක බවට පත් වෙන සෑම අයෙක්ම එයින් ම සෑහීමකට පත් වන්නේ නැහැ. පළමුවෙන් ම මේ සසුනෙහි පැවිදි බව ලබනවා. උපසම්පන්න බවටත් පත් වෙනවා. ඒ පිරිස එයින් අනතුරුව හුදකලා බව පි‍්‍රය කරනවා. මනාව සිහිය පිහිටුවා ගැනීමට උත්සාහ කරනවා. කෙලෙස් ඉතිරි නො කර සම්පූර්ණයෙන් ම දුරු කිරීමේ උත්සාහයක ද නියැළෙනවා. රහත් බවටත් පැමිණෙනවා. පිලෝතික පිරිවැජියා තවදුරටත් කියනවා බැරිවෙලාවත් මම බුදුරජාණන් වහන්සේ හමුවට එදා නොගියේ නම් අදත් කෙලෙස් බරින් පීඩිතව සිටිනවා.
ඒ වගේම එතෙක් තමන් මහණ බවක් නො ලැබීම මහණ වූවන් බවට ප්‍රකාශ කළා. බමුණු බවක් නැතිව ම බමුණු කුලයේ උපන් බව ප්‍රකාශ කළා. බමුණා කියලා කියන්නේ කෙලෙස් නැති කළ උතුමා යි. දැන් අපි බුදු සව්වන් වුණාට පස්සේ තමා නියම මහණකම ඇති වෙලා තිබෙන්නේ. දැන් තමා අපි සැබෑ බ්‍රහ්මණ වෙලා තිබෙන්නේ.
මේ විස්තරය අසා සිටි ජානුස්සෝණිට දැන් බරපතල අවශ්‍යතාවක් දැනෙනවා. බුදුරජාණන් වහන්සේ දැක කතාබහ කරන්නට, ඉතින් ඊට පෙර ම මේ බමුණා බුදුරජාණන් වහන්සේ ගැන පිලෝතික කළ මේ විස්තරයෙන් මහත් පැහැදීමකට පැමිණ නැගී සිටි රථයෙන් බැස බුදුරජාණන් වහන්සේ ඒ වන විට වැඩ සිටි උතුරු දිශාව බලා “නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස” යනුවෙන් තෙවරක් කියා තම සිත තුළ හටගත් පී‍්‍රතිය ප්‍රකාශ කළා. පසුව බමුණාට සිත් වුණා. ඒ බුදුරජාණන් වහන්සේ දැකීමට යාමට.දෙව්රම වැඩ සිටි බුදුරජාණන් වහන්සේ හමුවට ගියා. බමුණා තමා හා පිලෝතික පිරිවැජියා අතර වු සංවාදය ප්‍රකාශ කළා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ ගැන පැහැදී හමුවීමට ආ බවත් ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ මෙහි දී පිලෝතික කී උපමා කථාවෙන් පමණක් ම ‘හස්තිපදෝම දේශනාව“ සම්පූර්ණ නොවන බවත් එය සම්පූර්ණ කරමින් මෙසේ එය විස්තර කළා.
ඇතුන් වසන වනයකට හුරු පුරුදුව එහි ම වාසය කරන පුරවැසියෙක් මහවනයට ගියහම ඒ වනයෙහි දිගු පුළුල් ඇත් අඩියක් දකිනවා. ඒ වනවැසියා හස්ති ශිල්පය ගැන දක්ෂයෙක් නම් ඒ වනයේ සිටින විශාල ම ඇතා මේ යයි සිතන්නේ නැහැ. ඔහු සිතනවා වනයේ සිටින “වාමනිකා” නම් ඇතින්නියගේ ඇත් අඩියක් කියා. තවත් ඉදිරියට ගිය විට දකිනවා එවැනි ම විශාල ඇත් අඩි සටහන් වගේම රියන් හත අටක් උස ඇති නුග ගස් ආදියෙහි පිට උලන තැන් ඇති ඇත් සටහනක්. ඒ වෙලාවේ, මේ දක්ෂ වනවැසියා වනයේ ඉන්න විශාල ම ඇතාගේ සටහනක් ලෙස තීන්දු කරන්නේ නැහැ. මේ වනයෙහි උස්වූ රිටි වැනි පා ඇති එකක් මත එකක් ගැටී සිටින දළ ඇති “උච්චාකාලාරිකා” ඇතින්නියගේ සටහනක් ලෙස සිතනවා. තවත් ඉදිරියට යන මේ වනවැසියා දකිනවා තවත් සලකුණක්. එනම් අර විදියටම උස් වූ නුගරුක් ආදියෙහි පිට උලන ලද දළින් බිඳින ලද සිදුරු වු උස් කඳන් ඇති මහ ගස්. එයින් වනවැසියා වනයේ සිටින මහ ඇතා යයි තීන්දු නො කර “උච්චාකණෙරුකා” ඇතින්නියගේ සලකුණු යයි කල්පනා කරනවා. ඒ වනවැසියා තවත් ඉදිරියට යන විට හමුවෙනවා. දිගු පුලුල් ඇත් අඩි,උස් වු නුගරුක් ආදියෙහි පිට ඉලූ තැන් ඇති, දළින් ඇණ කඳ පසාරු කළ උස් ගස්, ඒ ගස්වල අතු ද කඩා බිඳ හෙළා ඇති ඇතෙකු ගැවසුණු තැනක සලකුණු වගේ ම ඒ ගහ මුලට එන්නා වු හෝ ගස මුල වැතිර සිටියා වු මහ ඇතෙකු දකිනවා. දැන් ඔහු තීන්දුවකට එනවා. “මේ තමා තමන් විසින් අපේක්ෂා කරපු මහ ම මහ ඇතා” යැයි කියලා.
මෙම හස්තිපදෝපමාව අනුව දැන් ධර්මානුකූල විස්තරයක් ඉදිරිපත් කළ යුතු වෙනවා. මෙහි දී පැහැදිලි කර දී තිබෙන්නේ බුදුදමේ උගන්වන අනුපූර්ව ප්‍රතිපදාව යි. සැබෑ බෞද්ධයා කියලා කියන්නේ මේ ලෝක තත්වය අවබෝධ කර ගැනුමට වෙර වඩන තැනැත්තා යි. ඔහු ලෝක තත්වය අවබෝධ කර ගැනුමට උත්සාහවත් වන්නේ මේ සසර දුක මහ ගිනිජාලාවක් සේ තමන්ට දැනෙන නිසාත්, එයින් තමන් පීඩාවට පත්ව සිටින නිසාත්. ඉතින් එයින් ඉවත් වීමට නම් අප්‍රමාදව ක්‍රියා කළ යුතු වෙනවා. විසුරුණ සිත එක්තැන් කර ගත යුතු වෙනවා. හැම විට ම පංචනීවරණ (කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්චකුක්කුච්ච, විචිකිච්චා) නිසා ඊට බාධා එල්ල වෙනවා. ඉතින් මේ උපමාවට අනුව ආරම්භයේ සිට මේ නීවරණ ප්‍රහාරණ කරන අවස්ථාව දක්වා වු කොටස ඇත්වනයට උපමා කර තිබෙනවා. දක්ෂ වනවැසියා නම් නිවන් අරමුණු කර සසර ගින්නෙන් මිඳීමට වෙර දරන යෝගාවචරයා ය . ඉතින් මහම ඇතා නම් බුදුරජාණන් වහන්සේ යි. ඉතින් ඊට පෙර වනවැසියා දකින මහ ඇතාගේ පා සටහන් දැක මේවා වාමනික, ඇතාගේ පා සටහන් මේවා කාලාරිකා ඇතින්නගේ, මේවා කණේරුකා ඇතින්නියගේ ආදී වශයෙන් හමු වෙන, හමු වෙන ඒ වගේම මහඇතාගේ යයි ද සිතෙන තරමට විශාල මේ ඇත් අඩි දැකීම නිසා යෝගාවචරයා විවිධ සැකසංඛා ඇති කරගන්නවා. මේ සැක සිතෙන පියවරෙන් උපමා කරන්නේ වෙනත් බාහිර ශාසනවල ද ඉගැන්වෙන ලෞකික අභිඥාව, ධ්‍යාන ආදියට යි. ඒ වායෙහි අවසාන විමුක්තියක් නැහැ. ඒ නිසා යෝගාවචරයා තවදුරටත් සැබෑ විමුක්තිය සොයනවා. ඒ නිසා තමා තවදුරටත් වනයේ සිටින විශාලම ඇතා සොයා ගෙන ඉදිරියට යන්නේ. පංච අභිඥා ලබුවත් ඒවායින් නිවන අරමුණු කරගත් යෝගාවචරයා සෑහීමකට පත් නොවන බව ප්‍රකාශ වෙනවා. ඒ යෝගාවචරයාගේ අධිෂ්ඨානශීලී ගමන එයින් නවතින්නේ නැතිව මහ ඇතා හෙවත් බුදුරජාණන් වහන්සේ කවුද යන්නට පිළිතුරක් සෙවීමට ම උත්සාහවත් වනවා. මෙහෙම තවත් ඉදිරියට යනකොට තමා කඩා හෙළා ඇති අතුපතර වගේම විශාල වශයෙන් උස් අතුපතර විහිදුණු නුග කඳන් පවා තම දළෙන් සිදුරු කරන ලද අතුපතර ඇති දිගු පුළුල් මහා ඇත් අඩි දකින්නේ. මෙහි දී සැබෑ නිවන අවබෝධය හෙවත් බුදුරජාණන් වහන්සේ සැබෑ වශයෙන්ම දකින තත්වයට පත් වෙනවා. ජීවිතය අවබෝධ කරගෙන සසර දුක් නිවාලනවා. මේ තමා උන්වහන්සේ විසින් දෙසූ සැබෑ ධර්මස්කන්ධය . එය අවබෝධ කරගෙන සසර නැවතීමක් දැකීම යි, යෝගාවචරයාගේ අරමුණ වුණේ. ඉතින් මිහිඳු මාහිමියන් ලක්වැසි ජනතාවට දෙන්නට අපේක්ෂා කරන පණිවුඩය කුමක් ද? යන්න පිළිබඳ පළමුවෙන් ම කරන හැඳින්වීම ලෙස යි මේ හස්තිපදෝපම දේශනාවෙන් උන්වහන්සේ විසින් පෙන්වා දී තිබෙන්නේ. දඹදිව ඉන්දියාවේ මෙන් ම ලංකාවෙත් වෙනත් ශාසනවල ඉගැන්වු ධ්‍යාන අභිඥාලාභීන් මේ වනවිටත් සිටින්නට ඇති. බුදුදහමේ අවසානය ඒ ලෞකික තත්වය ඉක්ම වූ ලෝකෝත්තර තත්ත්වය යි. එය මෙම චුල්ලහත්ථිපෝදපම සූත්‍ර දේශනාවෙන් පැහැදිලිව ඉදිරිපත් කර තිබෙනවා.
Thursday, April 1, 2021
පහාරාද සූත්‍රය
බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...
-
බදුල්ල, බණ්ඩාරවෙල පාර ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දීරයේ දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළම...
-
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පරම...
-
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ සහ අනුශාසක කිරිබත්ගොඩ ඤාණානන්ද...