Sunday, April 11, 2021

සැබෑ මිතුරාගේ ලක්‍ෂණ

 ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ

කථිකාචාර්ය ආචාර්ය

මැදගොඩ අභයතිස්ස හිමි



බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍ර දේශනාවෙන් පෙන්වා දී තිබෙන්නේ සැබෑ මිතුරාගේ ලක්‍ෂණය. අද සමාජයේ සමහර මිතුරෝ කළ හැකි දෑ නොකරති. ඉවසිය හැකි තැන නොඉවසති. දීමට හැකි තැන නොදෙති. කළ හැකි දේවත් නොකරන ඔවුන්ගෙන් කිරීමට නොහැකි දෑ ගැන බලාපොරොත්තු තැබිය හැක්කේ කෙසේද? මෙවැනි මිතුරන් ඇසුරු නොකළ යුතුය.


බුදුරජාණන් වහන්සේ ඇසුරු කළ යුතු මිතුරා පෙන්වා දුන් මෙම සූත්‍ර දේශනාව “ මිත්ත සූත්‍රයයි” මෙම සූත්‍රය අයත් වන්නේ අංගුත්තර නිකායේ තික නිපාතයට අයත් යෝධාජීව වග්ගය ටයි. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.


“තීහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො මිත්තො සෙවිතබ්බො”


” මහණෙනි , අංග තුනකින් සමන්විත මිතුරා සේවනය කළ යුතුයි”


“ කතමෙහි තීහි? “ “ කවර අංග තුනකින්ද? “


”දුද්දදං දදාති “ දීමට බැරි දේ දෙන්නා


“දුක්කරං කරොති “ කිරීමට දුෂ්කර දේවල් කරන්නා


”දුක්ඛමං ඛමති “ ඉවසීමට නොහැකි දෑ ඉවසන තැනැත්තා


”ඉමෙහි ඛො භික්ඛවෙ, තීහි අඛ්ගෙහි සමන්නාගතො මිත්තො සෙවිතබ්බො “


“මහණෙනි, මේ අංග තුනෙන් සමන්විත මිත්‍රයා සේවනය කළ යුතුය” යනුවෙනි.


බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍ර දේශනාවෙන් පෙන්වා දී තිබෙන්නේ සැබෑ මිතුරාගේ ලක්‍ෂණය. අද සමාජයේ සමහර මිතුරෝ කළ හැකි දෑ නොකරති. ඉවසිය හැකි තැන නොඉවසති. දීමට හැකි තැන නොදෙති. කළ හැකි දේවත් නොකරන ඔවුන්ගෙන් කිරීමට නොහැකි දෑ ගැන බලාපොරොත්තු තැබිය හැක්කේ කෙසේද? මෙවැනි මිතුරන් ඇසුරු නොකළ යුතුය. සමාජයේ බොහෝ විට දකින්නට ලැබෙන්නේ හුදෙක් තමවාසියම තකා තමන් ආශ්‍රය කරන මිතුරන්ය. එක් සංස්කෘත ශ්ලෝකයක ඥාති මිත්‍රාදීන් ගැන මෙසේ සඳහන් වේ.


“ උත්සවෙ ව්‍යසනෙ චෛව - සංග්‍රාමෙ රාෂ්ට්‍ර විප්ලවෙ


රාජද්වාරෙ ස්මශානෙ – යඞ තිෂ්ඨති ස බාන්ධවඞ “


යමෙක් මිතුරෙක් නම් උත්සවයෙහි , ව්‍යසනයේදී, යුද්ධයේදී එකට සිටිය යුතුය. එසේම රටට යුද්ධයක් පැමිණි කල, රජ දොරට හෙවත් රාජකීය දඬුවමකට යටත් වන විට සොහොනට යන කල්හි එකට සිටින්නේ මිතුරාය. මේ ආකාරයට සෑම තැනකම නොවෙනස් වන තැනැත්තා මිතුරා වේ.


“ මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවැති


බිතු සිතුවම් රූමෙන් පිටු නො පාවිති “


මිතුරා බිත්තියක ඇඳි සිතුවමක් මෙනි. සිතුවම ඉදිරියම බලා සිටියි. පිටු නොපායි. එමෙන් පිටු නොදකින ස්වභාවය කල්‍යාණ මිත්‍රයෙකු සතු ලක්‍ෂණයකි.


“භරියාව පරමා සඛා “ යන්නෙන් පැවසෙන්නේ බිරිය ස්වාමි පුරුෂයාගේ පරම මිතුරිය බවයි. දෙදෙනා තුළ හට ගන්නා මිතුරු බව අවියෝජනීය බැඳීමක් බවට පත්වේ. නකුල මාතා නකුල පිතා අතර පැවතුණේ අඹුසැමි සම්බන්ධයට වැඩි මිත්‍රත්වය මත පදනම් වූ බැඳීමකි. සමාජය තුළ මෙම ස්වාමි භාර්යා මිත්‍රත්වය හදුනාගත් අය සතුටින් ජීවත් වෙති. ඇසුරු කිරීම තුළින් මිත්‍රත්වය හඳුනා ගත යුතුය. කන්දරක සූත්‍රය කදිම නිදසුනකි. එහිදී බුදුරජාණන් වහන්සේ සහ පෙස්ස හත්ථාරෙ‍ා්හපුත්‍රයා අතර මෙවැනි සංවාදයක් සිදුවී තිබේ.


“ගහනං හෙතං භන්තෙ යදිදං මනුස්සා “ මිනිසා සැඟවුණූ චරිත ඇත්තෙකි. තිරිසන් සතුන් එසේ නොවේ. මිතුරුකම යහළුකම පෙන්වයි. මිතුරු නොවන තැනදී ගොරවයි. හපන්නට පනියි. එහෙත් මිනිසා තුළ ඇත්තේ යටපත් වූ හැඟීම වේ. බොහෝ මිනිස්සු මතුපිටින් මිතුරුකමත් යටින් සතුරුකමත් තබා ගැනීමට පුරුදුව සිටිති.


මිත්ත, සක යනු දෙදෙනෙකි. එහිදී “ මිත්ත” යනු යම්කිසි ව්‍යසනයකදී, කරදරයකදී එකතුවන මිතුරා වේ. “ සක” යනු තමාගේ කුඩා කල සිට එකට එක්ව පැමිණෙන මිතුරා වේ. සමඟ වැඩුණු පුද්ගලයා සගයා වේ. එහිදී ස්වකීය බවක් තමන්ගේ බවක් ඇත. මිතුරන් රැසක් සිටින අතර ජීවිතයට යහපත ළගා කර ගැනීමට උපාකාරවන, නිවැරැදි මාර්ගය පෙන්වා දෙන ඒ කිසිත් නැතිව චාටුවෙන් රවටාගෙන ඇසුරු කරන වශයෙන් මිතුරන් විවිධාකාර වේ. බුදුන් වහන්සේ මිතුරා ගැන මෙසේ පෙන්වා දෙන සේක. “ විස්සාසපරමා ඤාති “ විශ්වාසය උතුම් නෑයා බවයි. මෙය මිත්‍රත්වයට ද අදාළ කර ගත හැකිවේ. අප විශ්වාසය ඇති කර ගන්නා අය අපගේ යහපතට කටයුතු කරන්නන්ද අයහපතට කටයුතු කරන්නන්ද යනුවෙන් විමසා බැලීමට අප බුද්ධිමත් විය යුතුය.


කුක්කුට ජාතකයේදී පෙන්වා දෙන්නේ මිත්‍ර භාවයෙන් සතුරන්ද සිටින බවයි. අප මහා බෝසතාණන් වහන්සේ කුකුළු යෝනියේ ඉපදී සිටියහ. උකුස්සෙක් කුකුළු රැළේ කුකුළන් ඩැහැගෙන කෑවේය. එහෙත් බෝසත් කුක්කුටරාජයා ඉතා ආරක්‍ෂා සහිතව යාම් ඊම් කළ අතර උණ පඳුරක් තුළ වාසය කළේය. මේනිසා උකුසු උවදුරට ලක් කරගැනීම අපහසු විය. එවිට උකුස්සා මෙසේ පැවැසුවේය.


“යහළුවේ , ඔබ කෙතරම් ලස්සනද? අප දෙදෙනාම එක්ව ආහාර සොයමු එවිට බෝසත් කුක්කුට රාජයා පැවසුවේ මෙසේය.


“මිතුරු වෙසින් එන සතුරෝද සිටිති. නුඹ සමඟ මාගේ මිතුරු බවක් නැත “ යනුවෙනි. පාප මිතුරන් හඳුනා ගැනීමට තරම් අප පරිස්සම් විය යුතුය. පාප මිතුරෙක් සිටිනවාට වඩා හොඳ සතුරෙක් සිටීම හොඳය. හොඳ සතුරාගේ හානිය සීමිත වන නමුත් පාප මිතුරාගේ හානිය අසීමිත වේ.


“ ගී කිය කියා ලේ බොන මදුරුවාට වඩා


කොටියා හොඳයි එකපාරට පනින කඩා “


ගී කියමින් ලේ උරා බොමින් මඳුරුවන් මෙන් අප ජීවිත විනාශ කිරීමට ක්‍රියා කරන මිතුරෝ වෙති. යමෙකුට හොඳ මිතුරෙකු නොලැබේ නම් කඟවේනෙක් මෙන් තනිව සිටින ලෙසද, අසත්පුරුෂ මිතුරන් නැති විට ජීවිතය යහපත් වන බවද බුදුදහමේ උගන්වයි.


ජාතක පාලියට අනුව අකෘතඥයෙකුට මහපොළොව දුන්නද ප්‍රයෝජනයක් නොමැත. ඒ කුමන ආකාරයකින් හෝ අකෘතඥයා හෙවත් කළගුණ නොදත් පුද්ගලයා සතුටු කළ නොහැකි නිසාය. ඒ නිසා මිතුරෙක් නම් කළ ගුණ සලකන්නෙක් විය යුතුම ය.


මිත්‍රද්‍රෝහී නොවීමේ ආනිසංස රැසක් බුදුදහමේ සඳහන් වේ. යමෙක් මිත්‍රද්‍රෝහී නොවුවහොත් ඒ තැනැත්තාට හොඳින් ආහාර ලැබේ. බොහෝ දෙනෙක් ඔහු යටතේ ජීවත්වෙති. ඔහු කන්දකින්, පර්වතයකින් ගසකින් වැටුණාද පිහිටක් ලබන්නේ වෙයි. ඔහු ඇති කරන එළදෙනුන්ට පැටවු ලැබේ. කුඹුරු හොඳින් වැඩීමට පත්වෙයි. දරු ඵල ලැබේ. තවද හෙතෙම ගින්දර මෙන් දෙවියෙක් මෙන් බබළන අතර ශි‍්‍රයාව ඔහු අත්නොහැර සිටියි.


බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මුළු සසුන් බඹසරම මිත්‍රත්වය මත පවතින බවයි. මෙලෙස යහපත් මිත්‍රත්වය තුළින් ලොවුතුරා ඵල ලද හැකිය. ඒ සඳහා තමා පළමුව යහපත් මිතුරෙකු බවට පත් වී අන් යහපත් මිතුරන් හඳුනා ගත යුතුය. තමා වංචනික නොවන කල වංචනික නොවන සැබෑ මිතුරන් හඳුනා ගත හැකිය. ඒ තුළින් මිත්‍රත්වයෙන් ලද හැකි උතුම් ඵල ලද හැකිවේ.


No comments:

Post a Comment

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...